අපේ බුදුහාමුදුරුවෝ 423 (සන්තිකේ නිදානය)

 

දරුවන් නැති වූ ශෝකයෙන් සන්තාපයට පත් වූ ශුද්ධෝදන රජතුමා

රාහුල කුමාරයා බුදුකෙනෙකුගේ පුතු වන්නට පතාගෙන පැමිණියේ එලෙසයි. මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේ කෙනකුගේ බිරිඳවීමට, පුතුවීමට, දියණිය වීමට පතා පැමිණීම සුළුපටුකරුණක් නෙවෙයි. ඊට හේතුව, තම බෝසත් පියා හෝ සැමියා විසින් ඔවුන්ව දන්දීම, හැරයාම වැනි අවස්ථාවල දී තමන් මෙවැනි ප්‍රර්ථනාවක් කොට පැමිණි බව නොදන්නා නිසා ලබා ගන්නා සෑම ආත්මභාවයකදීම දුකට පත්වීමට සිදුවන නිසයි. මෙය සෑම බෝසත් පවුලටම පොදු කරුණක්. ඒ විතරක්ද නෙවෙයි, ඒ දුක තම පවුලේ ඥාතීන් දක්වාද පැතිරයන අවස්ථා එමටයි. ඒ ඉරණමම ශුද්ධෝදන රජතුමාටත් උරුම වෙලා. එදින මුළු රාත්‍රිය පුරාම එතුමාට නින්දක් නැහැ.

ශුද්ධෝදන රජතුමාගේ මඞ්ගල දිනයෙහි නිමිත්තපාඨකයෝ බොධිසත්ත්‍වයන් වහන්සේ ගැනද, නන්‍ද කුමරු ගැනද, රාහුල කුමරු ගැනද, මතු ‘සක්විති වන්නේය’යි අනාවැකි පළකර තිබූ බව මීට පෙරද සඳහන් කළා. ඒ නිසාම රජතුමාගේ ඒකායන බලාපොරොත්තුව තිබුණේ ප්‍රථමයෙන්ම “සිදුහත් කුමාරගේ චක්‍රවර්ති ශ්‍රීය බලන්නෙමි’යි යනුවෙන්. උන්වහන්සේ ගිහිගෙය හැරගියායින් පසු ඒ බලාපොරොත්තුව නන්ද කුමරා වෙත යොමුවුණා. ඒ කුමරුත් බුදුරජුන් රැගෙන ගිය පසු අවසාන බලාපොරොත්තුව රාහුල මුණුපුරා වෙත යොමුවුණා. දැන් ඔහුත් පැවිදි කරගෙන. කාට කියන්නද? දරුවන් නැති වුන ශෝකයත් සක්විති රජකම දරුවන් හට නොලැබීම යන ශෝකයත් දැඩි ලෙස රජතුමාගේ සිත වේදනාවෙන් පෙලන්නට වුණා. අනිත් අතට දැන් කුලවංශය ද සිඳීගිහින්. ඉතින් චක්‍රවර්තිශ්‍රීයක් කොයින්දැ’යි සිතන්නා වූ රජුට ඉතා අධික වූ දුකක් උපන්නා. රජතුමා මේ දුක කියන්නට ඉක්මණින්ම බුදුරජාණන් වහන්සේ හමුවට යාමට තීරණය කළේ ඔහු පවුලේ වැඩිමහල් පුතුණුවනුන් වගේම මේ සියලු ප්‍රශ්ණවලට ප්‍රධාන හේතුව ඔහුම යනුවෙන් රජතුමාගේ සිතට නැගුනු සිතිවිලි නිසා වන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මහමායා දෙවියත් නැහැනේ.

හැබැයි රජතුමා බොහෝ ප්‍රඥාවන්තයි. එතුමා තමන්ට විදිනට සිදු වූ අසාධාරණය පිළිබඳව බුදුන් හමුවේ චෝදනා කරනු වෙනුවට තමනට විදීමට සිදු වූ වේදනාව අනාගතයෙහි කිසිම දෙමාපියකුට හෝ දරුවන්ගේ භාරකරුවකුට අත්නොවිඳීම සඳහා වරයක් ඉල්ලීමට සිතා ගත්තා. එවිටම තවත් කරුණක් සිතට ආවා. එනම් යම්හෙයකින් භික්‍ෂාචර්‍ය්‍යයෙන් ජීවත්වන්නා වූ පැවිද්දන් හට අවිශේෂයෙන් ‘වරයක් ඉල්ලමි’යි කියූවිට ‘ඉල්ලව’ යන වචනය එතරම්ම සුදුසු නොවන බවයි. ඒ, එය බුදුවරයන් විසින් පුරුදු කරණ ලද්දක්ද නොවන නිසා. එහෙයින් ඔබවහන්සේටද යමක්දීම කැපවේද, යමක් දොස්රහිතවේද, මාගේ පිළිගැනීම හෙතුකොට නුවණැත්තන් විසින් නොගැරහිය යුතුද, මම එය ඉල්ලමි, යන ආකාරයෙන් අයද සිටීම ප්‍රඥා ගෝචර බවයි.

රජතුමා මහත් වූ සංවේගයෙන් බුදුරජුන් වෙත පැමිණියා. පැමිණ මෙලෙස කියන්නට වුනා. ස්වාමීනි, පුත්‍රප්‍රේමය සිරුරෙහි සිවිය සිඳි යි. සිවිය සිඳ සම සිඳි යි. සම සිඳ මස් සිඳි යි. මස් සිඳ නහර සිඳි යි. නහර සිඳ ඇට සිඳි යි. ඇට සිඳ ඇටමිදුලු හැපී පැතිර සිටි යි. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා මවුපියන් විසින් නො අනු දන්නා ලද පුත්‍රයකු පැවිදි නො කරන්නෝ නම් මැනැවැ” යි ගෞරවයෙන් සැළකොට ඉහත කී පරිදී ඒ කරුණ බුදුරජුන්ගේ අවධානය වෙත යොමුකරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ‘රජතෙමේ සසුනෙහි නෛර්‍ය්‍යාර්‍ත්‍ථක කාරණයක් කියා’යි යනුවෙන් ධර්‍මකථාව වදාරා “න භික්‍ඛවෙ අනනුඤ්ඤාතො මාතාපිතූහි පුත්තො පබ්බාජෙතබ්බො” යන භික්‍ෂාපදය පණවා වදාරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර

රාහුලවත්ථුකථා මහවග්ග අටුවාව මහාඛන්‍ධක වර්‍ණනාව

මහාඛන්‍ධකය විනයපිටකය මහවග්ගපාළිය

error: Content is protected !!