Ape Budu Hamuduruwo 151-200

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සදහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මනෝරි අතපත්තු මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 151

බෝසත් උපත සත්පියවර සහ සත් පෙරනිමිති
මහාමායා දේවිය දෙව්දහ නුවරට පිටවීම.

මිට ඉතත ලිපියෙන් කිවේ බෝසතාණන් වහන්සේ මවු කුස තුල පිළිසිඳගත් පසුව මවුතුමියට ලැබෙන අත්විශේෂ දේවාරක්ෂාව පිළිබඳව. එසේ විශේෂිත ආරක්ෂාවක් යටතේ සිටි මහා මායා දේවි තොමෝ පිරුණු තෙල් පාත්‍රයක් ගෙනයන්නාක් මෙන් කුසෙහි බෝසතුන් පරිහරණය කොට දස මසක් ගතකලා. මෙසේ කාලයාගේ ඇවෑමෙන් පිරිපුන් ගැබ ඇතිව, ස්වකීය ඥාති ගෘහයට යනු කැමැතිව, දේවයිනි, මම දේවදහ නුවර සිය කුල ගෙදරට යනු කැමැත්තෙමි යි යනුවෙන් සුදවුන් මහරජාණන්ට සැලකර සිටියා. රජතුමාද මැනවැයි පිළිගෙන කිඹුල්වත් පුර සිට දෙව්දහ නුවර දක්වා මග සම කොට කෙසෙල්, පුන්කලස්, කොඩි ආදියෙන් අලංකාර කරවා දේවිය රන් සිවිකාවක හිදුවා ඇමතියන් දහසක් ලවා සිවි කොටා ඔසවා මහත් පිරිවරින් ගම්බිම් බලා පිටත්කොට යවනු ලැබුවා. කිඹුල්වත් සහ දෙව්දහ දෙනුවරට ම පොදු වූ ලුම්බිණි වන නම් අති රමණීය  මගුල් සල් උයනක් තිබුණා. එදවස එහි සල් ගස් මුල පටන් අතු අග දක්වා එක පැහැයෙන් මල් වලින් පිරී පැවතියේ බෝසත් ආගමනය පිළිගන්න වගේ.  අතු අතරත් මල් අතරත් පස්වන් බමරු සමුහයාද විවිධ කුරුළු රංචු ද මිහිරි හඩ විහිදුවමින් ඒ මේ අත හැසිරෙන්නට වුනා. මුළු ලුම්බිණි සල් උයනම දෙව් ලොව චිත්‍රලතා වනය මෙන්ද මහානුභාව ඇති රජුගේ සුසැදු අවන්හලක් මෙන් ද වුනා.

ලුම්බිණි උයන

මේ අති රමණීය සල්වනය දුටු දේවිය එහි සිරි නරබනු රිසි වුවා. ඇමතියෝ දේවිය රැගෙන මල් වනයට පිවිසිය. එහි සිරි නරඹමින් සිටි අවස්ථාවේ ඇයගේ ශරීරය දුර්වල වුනා. එවිට ඇයව මගුල් සල්ගස වෙත ගෙනගොස් සයනයක් පනවා තිරවලින් වටකරනු ලැබුවා. මංගල සල් ගස යට සිටි ඇයට අලංකාර මලෙන් ගහන සල් අත්තක් අල්ලාගනු කැමති වූවා. ගතවූයේ නිමේෂයයි. සල් අත්ත මනාව නවන ලද වේබඩක් මෙන් නැමී දේවියගේ අතට පත්වුණා. ඕ තොමෝ අත දිගුකොට අත්ත අතින් අල්ලා ගත්තා. එකෙණෙහිම දේවියගේ විළිවාතය සෙලවුනා. පිරිවර ජනයා  එතැනින් ඉවත්වුණා. සුද්ධාවාස බ්‍රහ්මයෝ සතර දෙනෙක් රන් දැලකින් බෝසතුන් පිළිගෙන මවට පෙන්වා දෙවියනි, ප්‍රීතිවනු මැනවි, ඔබට මහා පිනැති පුතෙක් උපන්නේයැයි කියා සිටියා. ඔවුන්ගේ අතින් පිළිගනු ලැබුවේ සතර මහා දෙවියන් අදුන් දිවි සමින් නිමකළ සියුම් ඇතිරිල්ලකින් පිළිගනු ලැබුවා. ඔවුනගේ අතින් රජදරුවන් සියුම් රෙදි සුඹුලුවකින් පිළිගත්තා.

බෝසත් උපත

වෙනත් සත්ත්වයෝ මව් කුසින් බිහිවන කල පිළිකුල් අපවිත්‍ර දෙයින් තැවරී ඉඳිකටු සිදුරකින් එලියට එනසේ බොහෝ වූ දුකට පත්ව මෙලොව එලිය දකිනවා.  ඒත් බෝසතාණන්වහන්සේලා එසේ නො වෙයි. බෝසතාණන්වහන්සේලා වනාහි ධර්මාසනයෙන් බසින ධර්ම කථිකයෙක් මෙන්ද හිනි මගකින් බස්නා පුරුෂයෙක් මෙන්ද දෙඅත් දෙපා දිගු කොට කෙලින් නැගී සිටිමින් මව් කුසට අයත් කිසි අපවිත්‍ර දෙයකින් නො තැවරී පිරිසිදු ව පැහැදිලි ව කසී වස්ත්‍රයක් තබන ලද මැණිකක් මෙන් බබලමින් මව් කුසින් නික්මෙනු ලබනවා.

බෝසත් උපතතේදී මහපොළවෙන් පැන නගින සිසිල් සහ උණුසුම්  දිය දහර

බෝසත්  උපතකදී පරිභෝජනයට ගැනෙන ජලයද අන්‍යයනට සාධාරණ නැහැ.  බෝසතාණන්වහන්සේටත් බෝසත් මවටත් උවැටන් පිණිස පොළොවෙන් දිය දහර දෙකක් නික්මෙනවා. එකකින් සිතල වතුරද තවකෙකින් උණුසුම් වතුරද වනවා. උණුසුම් වතුර රන් තටාකයකටත්  සිසිල් ජලය රිදී තටාකයකටත් ඉබේම වැටෙනවා. එම ජලය පෘථිවි තලයේ කිසිම අශුචියක් සමගින් අසමිශ්‍රයි. අන් අය රත්‍රන් භාජන වල ගෙනා වතුර ඒ වතුර තරමට පිරිසුදු නැහැ කියනවා.   එමගින් බෝසතුන්ගේද බෝසත් මවගේද සිරුරෙහි විඩාව නිවා  සිසිල් බව ඇති කරනු ලබනවා. 

දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත්කුමරු පිළිගනිම.

ඉහතින් කී ලෙසම බෝසතාණන්වහන්සේ රන් දැලින් පිළිගෙන සිටි බ්‍රහ්මයන්ගේ අතින් සතර වරම් රජවරු මංගල සම්මත සුවපහස ඇති දෙතුන්පට කළ අදුන් දිවි සමින් පිළිගතතා. ඔවුන්ගේ අතින් මිනිස්සු දුහුල් පිළිසුඹුළුවකින් පිළිගත්තා. මිනිසුන්ගේ අතින් මිදුණු බෝසතාණන්වහන්සේ පොළොවෙහි සිට පෙරදිග බැලුවා. දහස් ගණන් සක්වල එකම මිදුලක් මෙන් ඔහුට දිස්වූනා.  එහි සිටි දෙව් මිනිසුන් මහා පුරුෂයාණෙනි, මෙහි ඔබ හා සමාන කෙනෙකු ද නැත. එසේනම් ඔබට වඩා උසස් කෙනෙකු කෙසේ ලැබේ දැයි කියනු ලැබුවා.  මේ අයුරින් සිවු දිශා ද සිවු අනුදිශා ද යට දිශා ද උඩ දිශා ද යන දශ දිශාව බලා තමා හා සමාන කෙනෙකු නොදැක උතුරු දෙස බලා සත් පියවරක් ඉදිරියට ගමන් කළා.  මහබඹහු සේසත දරමින් ද සුයාම දෙවි පුත් මල් විදුනාවද අනෙක් දෙවියෝ උණහිස ආදී සෙසු රාජ කකුධ භාණ්ඩ ද දරමින් බෝසතුන් සමග ගමන් කළා. සත් වැනි පියවරෙහි සිටි බෝසතාණන්වහන්සේ “ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත .”ආදීනයින් සිංහ නාද කලා. 

සත්පියවර සහ සත් පෙරනිමිති

මෙළොවට බිහිවූ මොහොතේම සත්පියවරක් තැබීම අපේ බුදුපියාණන් වහන්සේ විතරක් නෙවෙයි. මෙතෙක් පහල වූ සියලුම බුදුවරුන්ද මතු පහල වන බුදුවරුන් විසින් ද කරනු ලබනා ලෝක ධර්මතාවයනට අයිති නියාම ධර්මයක්. ඒ සත් පියවරේ තේරුම් මෙලෙස අට්ඨ කතාවේ පැහැදිළි කරනවා.

මෙළොවට බිහිවූ මොහොතේම මෙලෙස සත්පියවරක් තැබීම අපේ බුදුපියාණන් වහන්සේ විතරක් නෙවෙයි. මෙතෙක් පහල වූ සියලුම බුදුවරුන්ද මතු පහල වන බුදුවරුන් විසින් ද කරනු ලබනා ලෝක ධර්මතාවයනට අයිති නියාම ධර්මයක්. ඒ සත් පියවරේ තේරුම සහ ඒ මොහොතේ ඇති වූ සුවිශේෂ සිද්ධීන්  මෙලෙස අට්ඨ කතාවේ පැහැදිළි කරනවා.

  1. මෙහි සම පාද වලින් පොළොවේපිහිටීම සතර සෘද්ධිපාදයාගේ ලැබීමට පෙර නිමිත්තය.
  2. උතුරට අභිමුඛ බව මහජනයා මැඩ පවත්වා යාමට පෙර නිමිත්තය.
  3. සත්පියවරක් ගමන්කිරීම සප්ත බෝජ්ජංගයන් ලැබීමට පෙර නිමිත්තය.
  4. දිව්‍ය සේසත් දැරීම විමුක්ති ජත්‍ර ප්‍රතිලාභයට පෙරනිමිත්තය.
  5. පංචරාජකකුධ භාණ්ඩයෝ පංච විමුක්තීන් ලැබීමේ පෙරනිමිතිය.
  6. දිශාවන් බැලීම අනාවරණ ඥානය ලැබීමේ පෙරනිමිත්තය.
  7. උතුම් වචනය කීම නොහොත් සිංහ නාදය දම්සක් පැවැත්වීමේ පෙරනිමිත්තය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 152

තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ. 01

දම්සභා මණ්ඩපයේ ඇතිවූ කතාබහ

මම මේ දින කිහිපයේ ලියුවේ බොසත්වරයෙකුගේ ලොව පහළවීම සහ එහිදී ඇතිවන සුවිශේෂී ආශ්චර්යය කරුණු පිළිබඳව. ඔබට හිතෙන්න පුළුවන් මෙය සත්‍යක්ද කියා. ඒ නිසා මෙම සියලූම කරුණු එක් තැනකට සංශික්ප්ත කල සුත්‍ර පිටකයේ  එක් සුත්‍ර දේශණාවක් ගෙනහැර පාන්න හිතුනා. ඒ අච්ඡරියබ්භුත සූත්‍රය. මෙය තියෙන්නේ » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 3. සුඤ්‌ඤත වර්ගය »අච්ඡරියබ්භුත සූත්‍රය

එය මෙලෙසයි. ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍ය්‍යය, පුදුමය. ” (කෙටි කරනලදී – කරුණාකර පහතින් සඳහන් ලින්ක් එක ඔස්සේ ගොස් සුත්‍ර  පිටකය කියවන්න.)

බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩමකිරිම.

“මේ කතාව මෙසේ ඇතිවන අතර  ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්ට “ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍ය්‍යයද වෙත්. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි” කියමින් එය සනාථ කරනු ලැබුවා. ඒත් භික්ෂූන්ගේ මේ අතුරු කථාවේ නිමක් දුටුවේ නැහැ.

එදින භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟීසිට උපස්ථාන ශාලාව යම් තැනකද එතැනට පැමිණියා.  පැමිණ, පනවනලද අස්නෙහි වැඩසිටියා. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාරනු ලැබුවා. “මහණෙනි, මෙහි දැන් කිනම් කථාවකින් යුක්තවූවහුද? තොපගේ කවර නම් කථාවක් නොනිමියේදැ”යි කියා ඇසුවා.

“ස්වාමීනි, මෙහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්වූ අපගේ මෙලෙස අතුරු කථාව විය. එනම්. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට “ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයෝ අද්භූතය, අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි’ කිවා. “ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව නිමානොවෙමින් පවතිද්දී  ඔබ වහන්සේ වැඩිසේකැයි” පවසනු ලැබුවා.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූවා.

“එසේනම් ආනන්දය, මම මීට පෙර නුඹට දේශනා කරන ලද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ හොඳින් සිහිපත්වේවා!”

ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ
    1. “භාග්‍යවතුන් වහන්සේ පෙර දිනක, ‘ආනන්දය, බොධිසත්ව තෙමේ සිහි නුවණින් යෙදී තුසිත දෙවියන් කෙරෙහි උපන්නේය’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පිළිගන්නාලදී. එමනිසා “ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත දෙව්ලොව උපන්නේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයකැයි මම දරමි.”
    1. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක,“ආනන්දය, බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය”යි දේශනා කරනු ලැබුවා. “ස්වාමීනි, බෝසත්තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    1. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය” යනුවෙන් පැවසුවා.“ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    2. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, බෝසත්තෙම යම්කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත් වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි. යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු, අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, එහිද අප්‍රමාණවූ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි උපද සිටින තවත් සත්ත්වයෝ ඇතැයි හැඳින ගනිත්. “එවිට දස දහසක් ලෝකධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පාවෙයි, වෙවුලායයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා පහළ වෙයි” යනුයි. මෙය මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    1. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. භාග්‍යවතුන් මෙම කාරණයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි මම දරමි.”
    1. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, -“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය”යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
    2. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාගසිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක .” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 153

තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ. 02
    1. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
    2. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, එතැන්පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්දය, යහපත්වූ ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය්‍ය මාණික්‍යය යම් සේද එය නිල් පාට හෝ කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ පඬුපාට හෝ නූලකින් අමුණන ලද්දේ නම් එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත් ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියම් කරණලද වෙරළු මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬුවන් හෝ නූලක් අමුණන ලද්දේයයි යම්සේ දක්නේද ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වේද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුළ සිටින සියලු අඟපසඟින් යුත් නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. භාග්‍යවතුන් වහන්සේගේ විසින් වදාළ මෙම කරුණද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.
    3. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    4. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, අන් ස්ත්‍රිහු නවමසක් හෝ දසමසක් දරු ගැබ කුසින් උසුලා යම්සේ වදත්ද බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.
    5. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    6. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.
    7. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, බෝසත් තෙම බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙණ ‘දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේයයි’ මව ඉදිරියෙහි තබත් ” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    8. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසින් නික්මේද, (එකල) ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය, එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළයුත්තක් කෙරේද, එබඳු උදක ධාරා දෙකකි.” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    9. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, උපන් කෙණෙහි බෝසත්තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත දරන කල්හි උතුරුදිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත යන වචනය කියන්නේය” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
    10. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, ““ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මවුකුසින් නික්මේද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්ත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අන්‍ය සත්ත්වයෝත් ඇතැයි හැඳිනගනිත්. මේ දසදහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි, අතිශයින් කම්පාවෙයි වෙවුලායයි, මහත්වූ එලියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි.” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”මෙලෙස සියල්ල සාවධානව අසා සිටි බුදුපියාණන් වහන්සේ අවසානයේ මෙලෙස දේශනා කරනු ලැබුවා.

“ආනන්දය, එහෙයින් නුඹ මෙහිදී තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්‍ය අද්භූත ධර්මයද දරාගනුව. ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි දරව.”

“ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්මව විනාශයට යත්ද, දැනුවත්වම සංඥා උපදිත්ද දැනුවත්වම විතර්ක උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්වම විනාශයට යත්ද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරමි.”

මෙහිදී අප වටහාගත යුතු දෙයනම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයේ අසිහියට ඉඩක් නොමැති බවයි. උන්වහන්සේ තමන් වහන්සේගේ විතර්ක, වේදනා,  සඤ්ඤා ආදිය ඇතුලු  නාම කාය,  මෙන්ම කාය වාග් සමාචාරයන් සිහියෙන්ම හසුරුවයි. ඒක හරියට සුක්කානම අතින් ගත් රථාචාර්යයෙක් සේය. සිතෙහි පහල වන සෑම සිතුවිලි මාත්‍රයක් ම මනසින් අන්වේක්ෂණය කරන්නාවු තථාගතයන් වහන්සේලාගේ කාය වාග් සමාචාරයන්හි පවතින උතුම් බව ගැන කවර කථාද? මෙම සිහිය කොතරම් උතුම් ද යත් “මහණෙනි යම් දිනක මා සම්බුද්ධත්වයට පත්වූයේ ද යම් දිනක මා පිරිණිවන්පායිද ඒ අන්තර්කාලය තුල යමක් දේශනා කරයිද ප්‍රකාශ කරයිද පිහිටුවයිද ඒ සියල්ල එසේම වෙයි. වෙන විදිහකට නොවෙයි” වශයෙන් දේශනා කොට ඇත. තමා වදාල ධර්මය කොතරම් සිහියෙන් නිවැරදිව දේශනා කොට ඇත්දැයි මෙම සිංහනාදයෙන් මැනවින්  පැහැදිලි වෙයි. 

“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙලෙස ඒ තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ බුදුහිමි අභියස දේශනා කරනු ලැබුවා. ශාස්තෘන් වහන්සේද එය අනුදන්නා ලදී. සතුටුවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේගේ ඒ දේශනය සතුටින් පිළිගත්තා.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 154

අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙළොවින් සමුගත් මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. 01

සැළකිය යුතුයි.

මාතංග බුදුහාමුදුරුවෝ ගැන ත්‍රිපිටකයේ දීර්ඝ විස්තරයක් නැහැ. ඉතා සුළු විස්තරයක් අපදාන අට්ට කතාවෙන් හමුවුනා. (ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222) ඒ එක්කම මාතංග පසේබුදුන් පිළිබඳව බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය” නම් ග්‍රන්ථයේද දහතුන් වෙන පිටුවෙහි ඒ හා සමානම කෙටි විස්තරයක් සඳහන් වනවා. එහෙත් එම අඩුපාඩුව මගහරිමින් ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාවෙහි ඇති අතීත පසේ බුදුවරුන් ගැන අපේ බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට වැදෑරූ විස්තරද උපකාරක සුත්‍ර හැටියට භාවිතා කරමින් ඔබගේ සෘතමය ඥානය සඳහාත්, ශ්‍රද්ධාව සඳහාත්, ධර්ම රසය සඳහාත්, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ විර්යය ඇතුළු සුවිශේෂ කරුණු මෙම ලිපි පෙළට මෙලෙස ඇතුළත් කිරීම කාලෝචිත යැයි සිතුවා. (ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාව ඇසුරෙන්)

ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට පසේබුදුවරු පිළිබඳව විමසීම.

එක් කාලයක බුදුහාමුදුරුවෝ සැවැත්නුවර වැඩ වාසයකලා. එදා ගෞරවණිය ආනන්ද හාමුදුරුවෝ හුදකලාව විවේකයෙන් සිටිමින් මෙසේ සිතුවා. බුදුහාමුදුරුවන්ගේ බෝසත් කාලයේ විස්තරද, අගසව්වුවන් ගැන විස්තරද, වර්තමාන කටයුතු අනාගතය ගැන වැනි  මෙවැනි බොහෝ දේ විස්තර අසා තිබුණත් තවම පසේබුදුවරු ගැන යමක් අසා  නැහැ. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේගෙන් පසේබුදුවරු ගැන විස්තර අහන්න ඕනේ  කියලා. එහෙම හිතපු   අනද තෙරුණුවෝ විවේකයෙන් බැහැරව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පසේබුදුහාමුදුරුවන් ගැන විමසුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමිට “පුබ්බ යෝගාවචර සුත්‍රය” දේශණා කළ බව “ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාවේ” කියනවා. එය පසේ බුදුවරුන් ගැන දීර්ඝ අති රමණීය දේශණයක්. එය පටන් ගන්නේ මෙලෙසයි. 

සමත විදර්ශනා භාවනාවෙහි යෙදීසිටින ඔබට ලැබිය හැකි  සුවිශේෂ අනුසස් පහක්

“ආනන්ද, පූර්ව යෝගවචරයාට (පෙර බවුන් වැඩූ තැනැත්තාට) අනුසස් පහක් ඇත.

          1. මේ භවයේ කලින්ම රහත් වන්නේය.
          2. එසේ රහත්නොවී නම් මරණාසන්නයේ හෝ රහත්වන්නේය.
          3. එසේ නොවී නම් දේව පුත්‍රයෙකුව හෝ රහත්වන්නේය.
          4. එසේත් නොවී නම් බුදුවරයන් හමුවේ වහා නිවන් අවබෝධ කරගන්නෙක් වන්නේය.
          5. එසේත් නොවී නම් පසු කාලයේ පසේ බුදු වන්නේය.”

තවදුරටත් උන්වහන්සේ මෙලෙස දේශනා කරනවා. ආනන්ද පසේබුදුවරුන් නම්, දහම් අවබෝධය ලබන හේතුසම්පත් ඇති, මුලසිටම ඒ සඳහා භාවනායෝගීව කටයුතු කරන අයයි.

සම්මා සම්බුදුවරයෙකු  සහ පසේබුදු වරයෙකු විසින් පාරමී පිරිය යුතු කාලය.

එවිට අනද තෙරණුවෝ තවත් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්ස, බුදුවරුන්ගේ පැතුම් සඵල වන්න කොපමණ කාලයක් යනවාද?

එවිට බුදුන්වහන්සේ මෙහෙම උත්තර දුන්නා. ආනන්ද සම්මා සම්බුදුවරයෙකුට අවම වශයෙන් අසංඛ්‍ය සතරකුත් කල්ප සියදහසක්ද, අතරමැද අසංඛ්‍ය  අටකුත් කල්ප සියදහසක්ද, උපරිම අසංඛ්‍ය දහසයකුත් කල්ප සියදහසක්ද වනබවයි. අවමය වන අසංඛ්‍ය  සතරකුත් කල්ප සියදහස නොපිරුණහොත් දිනපතා වෙසතුරු දානය හා සමාන දාන පිරිනැමුවද ඊට අනුරූපව සීලාදී පිරිය යුතු පාරමී දහම් රැස් කලද, ඒ අතර කාලයේ බුදුබවට පත්වන්නේ නැති බවයි.  කවර හෙයින්ද ? මැනැවින් නුවණ තහවුරු වූ නැති බැවින්.

අනද තෙරණුවෝ ඉන් පස්සේ මෙලෙස අසනවා. බුදුරජාණන් වහන්ස, එසේනම් පසේ බුදුකෙනෙකු වීමට කොපමණ කලක් පාරමීදම් පිරිය යුතුද?

අසංඛේයය දෙකකුත් කප් සියදහසක්. මේ කාලයට අඩුවෙන් පසේ බුද්ධත්වයට පත්විය නොහැකි බව දේශනා කොට වදාරණු ලැබුවා.

සම්මා සම්බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු හා පසේ බුදුවරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු අෂ්ට ධර්ම සහ පංච ධර්ම.

අෂ්ට ධර්ම පිළිබඳව පැහැදිළි විස්තරයක් “අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළේ 13 වෙනි කොටසේ කරනු ලැබුවා. කරුණාකර එය කියවන්න. 

සම්මා සම්බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු අෂ්ට ධර්ම.

“මනුස්සත්තං ලිංගසම්පත්තිං – හෙතුසත්ථාර දස්සනං

පබ්බජ්ජා ගුණසම්පත්ති – අධිකාරො ච ඡන්දතා

අට්ඨධම්ම සමෝධානා – අභිනීහාරෝසමිඣතී”

උන්වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කරනවා.

සම්මා සම්බුද්ධත්වය  පතන්නා වූ බෝසත්වරුන් ප්‍රථම නියත විවරණය නොහොත් අභිනීහාරය සඳහා පහත සඳහන් අෂ්ට ධර්මයන්ගෙන්  යුක්ත විය යුතුය.

                1. එනම් මිනිසත් බව,
                2. ලිංග සම්පත්තිය,
                3. හේතු සම්පන්න වීම,
                4. බුදුකෙනෙකු හමුවීම,
                5. පැවිදිවීම,
                6. අධිමානසික ගුණයෙන් යුක්ත වීම.
                7. ජිවිත පරිහරණය,
                8. කැමැත්ත හා සම්බන්ධ විර්යය

 යන මේ අටකින් යුක්ත වුවන්ගේ ප්‍රාර්ථනය සඵලවේ.

පසේ බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු පංච ධර්ම.

සම්මා සම්බුදුවරයෙකු හට අභිනීහාරය සඳහා අෂ්ට ධර්ම සම්පුර්ණ කල යුතු වුණත් පසෙබුදුවරයෙකුට ඇත්තේ පහත සඳහන් පහ පමණි. 

මනුස්සත්තං ලිංගසම්පත්තිං   විගතාසවදස්සනං

අධිකාරො ඡන්දතා එතෙ අභිනීහාරකාරණා

ඒ සමගම සියලු බෝසත්වරුනට පොදු ලක්ෂණ හයක් තිබෙන බවද මෙම සුත්‍ර දේශනාවේ සඳහන්වනවා. 

සියලු බෝසත්වරුන් සතු පොදු ලක්ෂණ සය

              1. ගිහිගෙයින් නික්ම අනගාරික ජීවිතයට පත්වීම.
              2. විවේකීව සිටීම
              3. ආසාවන්ගෙන් තොරවීම
              4. තරහ නැති බව
              5. සිහි මුළා නොවීම
              6. සසරින් මිදීමට ඇති වීර්යය

යන කරුණු හය බුදුබව ලැබීමට උපකාරී පිණිස පවතින බවත් කීවා.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 155

අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙලොවින් සමුගත් මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. 02

තවදුරටත් අපේ බුදුහාමුදුරුවෝ මෙලෙස සම්මාසම්බුදුවරුන් සහ පසේ බුදුවරුන් අතර ඇති සුවිශේෂ වෙනස්කම් ගැන විශේෂ විස්තරයක් කරනවා.

පාරමිතා පිරීමෙන් පසු සම්මා සම්බුදුවරුන් ඉපදෙන්නේ කැත් කුලයක (ක්ෂත්‍රිය කුලය)  හෝ බමුණු කුලයක. එහෙත් පසේබුදුවරු කැත් කුල බමුණු කුල, මෙන්ම  ගැහැවි (ගෘහපති කුලය)  කුලයෙත් උපත ලබනවා. බුදුවරුයකු හෝ පසේ බුදුවරුයකු  සත්ධර්මය ලොවෙහි ශුන්‍ය කලෙක  ලොව පහල වෙනවා. එහෙත් පසේබුදුවරු බොහෝවිට බුදුවරු පහළවන කල්පයේ සම්මා සම්බුදුවරු උපත ලැබීමට ආසන්නයේ ඒ කියන්නේ මිට ඉහතින් සඳහන් කල බුද්ධකෝලාහලයෙන්  පසුවය උපත ලබනවා. සම්මා සම්බුදුවරු තමන් විසින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගන්නවා. අනුන්ටද අවබෝධයට මග පෙන්වනවා. පසේබුදුවරුත් එලෙසම තමන් විසින්ම සිවුසස්  අවබෝධ කරගන්නවා. එහෙත් අනුන් හට අවබෝධකිරීම නොකරයි. වත්පිළිවෙත් සහ යම් ධර්ම කරුණු පමණක් කියාදෙයි. . අරුත් රසයම අත්විඳියි. දහම් රස නොවිඳියි. ඔවුන් හට සිව්සස් ආදී ලොව්තුරා කරුණු වහරට අනුව ගලපා විස්තර කොට පහදාදෙන්නට නොහැකියි.

පසේබුදුවරු දහම අවබෝධ කරගනී. ඉද්ධි, සමවත්, සිවු පිළිසිඹියා ආදියට පැමිණෙනු ලබයි. එහෙත්  ගුණ වෙසෙස් බවෙන් සම්මා සම්බුදුවරුනට වඩා පහළ මට්ටමේය. එමෙන්ම සාවක මහරහත්වරුනට වඩා ඉහල මට්ටමේය.

අනුන් පැවිදි කරවා උසස් හැසිරීමෙහි (අභිසමාචාරික) හික්මවයි. සිතෙහි කෙලෙස් දුරුකළ යුතුය. පිරිසිදු කටයුතු ඇතිව වැරදිවලට නොපැමිණිය යුතුය. යනුවෙන් උපදෙස් පමණක් ලබා දෙමින්, “අද උපොසථ දිනයයි” පමණක් කීමෙන් පොහොය කරයි. ගන්ධමාන පව්වෙහි මඤ්ජුසක නම් රුකමුල රුවන්මය ශාලාවක එසේ පොහොය කරනු ලබනවා.

පසේ බුදුවරයෙකු විසින් පාරමී පුරාණයේදී නියත වශයෙන්ම වැඩිය  යුතු  ගතපච්චාගත වත.

ඉන් පස්සේ විශේෂයෙන්ම සියලුම පසෙබුදුවරුන් විසින් රැකිය යුතු “ගතපච්චාගත වත” පිළිබඳවද  එම සුත්‍ර දේශනාවේම සඳහන් වනවා. ගතපච්චාගත වත කියන්නේ කුමක්ද? එනම් තමන් පිහිටා සිටින කමටහන පිණ්ඩපාත සහ අනෙකුත් බාහිර කටයුතු වලදී ගෙනයෑමේ සහ ආපසු ගෙනඒමයි.  එයත් සතරාකාර ලෙස දක්වනවා.

  1. ඇතැම් පැවිද්දෙක් ගෙනයති. නමුත් ආපසු නොගෙනෙති.
  2. ඇතැම් පැවිද්දෙක් ගෙන එයි එහෙත් ගෙන යන්නේ නැත.
  3. ඇතැම් පැවිද්දෙක් ගෙන නොයති.ආපසූද නොගෙනෙති.
  4. ඇතැම් පැවිද්දෙක් ගෙන යති ආපසු එපරිද්දෙන්ම ගෙන යති. (ගතපච්චාගත වත

මෙහි ඉහත සදහන් පැවිද්දන්  පිබිදී සෑමළුවෙහි බෝමළුවෙහි වතාවත්කොට බෝරුකෙහි පැන් වත්කොට පැන්කල පුරවා පැන්හලෙහි තබා ආචාරිය-උපාධ්‍යාය වත් ඉටුකොට කුඩා වත් අසූ දෙකක්ද මහවත් දහහතරක්ද සමාදන්ව සිටිනවා. උන්වහන්සේලා  සිරුරු කටයුතු කොට සෙනසුනට පිවිස පිඩු පිණිස විවේකීව අසුනක හිද වේලාව දැන සිවුරු හැද පටිය බැද සගල සිවුර උතුරුසළුවක් සේ කරෙහි දමා පාත්‍රය උරහිසෙහි එල්ලාගෙන කමටහන් මෙනෙහි කරමින් සෑමළුවට පැමිණ සෑයද බෝධියද වැද පිටත්වී ගම සමීපයෙහිදී සිවුර පොරවා පාත්‍රය අතින් ගෙන පිඩු පිණිස ගමට පිවිසෙනවා. බොහෝ විට එසේ පැමිණෙන ඔවුන් හට  ඉහත 1, 2, 3, හි කියූ පරිදී කමටහනේ සිහිය යන අවස්ථාවෙහිදී හෝ ආපසු එන අවස්ථාවෙහිදී හෝ අවස්ථා දෙකේදීම බිඳී යනවා.  ඊට හේතුව එසේ පිවිස ආහාර ලද මහණුන් වහන්සේලා  පින්වත් උපාසකවරුන් විසින් සත්කාර කරන ලදුව උවටැන් කරන නිවසකට හෝ සම්භාවනීය සාලාවකට හෝ මග තොටදී පැමිණ ඔවුන් හා ආගිය තොරතුරු කතා කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් හෝ වෙනයම් කරුණු විමසා සිටීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම නිසා  කමටහණෙන් බැහැර වීමයි. සමහර භික්ෂුන් වහන්සේලා මේ තත්ත්වය මගහරවා ගැනීමට මුවෙහි වතුර පුරවාගෙන යනබව සඳහන්. සමහර භික්ෂුන් වහන්සේලා එය බිඳුන අවස්ථාවන්හි නැවත ආරණ්‍ය වෙත ගොස් කමටහනේ පිහිටා යලි මුල සිට වඩින ඉතා ලස්සන අපගේ හෙළ දිවයිනේ බණ  කතා  මිට පෙර ලියා තිබෙන බව මතකේ තිබෙනවා. ( අපේ පැරණි බණ කතා ලිපි පෙලේ.) කෙසේ හෝ මෙහි සතරවෙනුව සඳහන්  කර ඇති පරිදි පසෙබුදුවරුන් පාරමී පුර්ණයේදී මෙම “ගතපච්චාගත” වත  නියමාකාරෙන් වඩා සිටීම අනිවාර්යය බව සඳහන්. එම නිසාම පිඩුසිඟා වඩින ආරණ්‍යවාසී  භික්ෂුන් වහන්සේලා සමග අනවශ්‍ය කතාවට යාමෙන් වැලකී සිටිය යුතු බව ඔබටම දැන් වැටහෙන්නට ඕනේ.

පසේ බුදුවරුන් වැඩ සිටිනා හිමාලයෙහි ගන්ධමාන පව්ව

ගන්ධමාදන පව්ව හිමාලයෙහි 1. සුළුකළු පව්ව, 2.මහකළු පව්ව, 3. නාවෙළුම , 4.සදගැබ ,5.හිරැගැබ, 6.රන් පස , 7. හිමවත, යන පව් හතම ඉක්මවා පිහිටීය. එම ගන්ධමාන පර්වතයෙහි නන්දමුලක නම් තැන පසේ බුදුවරයන් වසන තැනයි. එම ස්ථානයේ රන් ගුහාව, මැණික් ගුහාව, රිදී ගුහාව යැයි ගල් ලෙන් තුනක් තියෙනවා. ඒ තුන අතරෙන් මැණික් ගුහා දොරටුවෙහි යොදුනක් උස යොදුනක් පළල “මඤජුසක”  නමින් හැඳින්වෙන මල් ගසක් තියෙනවා. පසේ බුදුවරුන් ලොව පහළවන කාලයට එම ගසෙහි සැම තැනම රන් මල් පිපෙන බව කියනවා. ඒ වගේම ඒ කාලයට දියෙහි මෙන්ම ගොඩබිමෙහිත් අති  සුන්දර පුෂ්පයන්ගෙන් පිරි යනවා. මෙම පින් බිමේ ආවතේව කරුවන් නැහැ. එම නිසාම මෙම භුමිය පිසදමන සේ හමායන විශේෂිත  සුළගින් එහි කසල ඉවත් වනවා. සමව හමන සුළගින් සියළු රුවන්මය වැලිගොඩැලි සමතලා කරනවා. දියපොද මුසුව හමනා සුළගෙන් අනෝතත්ත විලෙන් දිය ගෙනවුත් ඉසිනු ලබනවා. සුවදවත් සුළගින් හිමාලයෙහි සියළු සුවදවත් ගස්වලින් සුවද ගෙන එනවා. එක්රැස් කරන්නා සේ හමන සුළගින් මල් කඩා බිම හෙළනවා. අතුරා යන පරිදි හමන සුළගින් ඒ මල් හැමතැන විසුරුවනවා. හැමවිටම එහි ආසන පනවා තියෙනවා. පසේ බුදුවරයෙකු පහළවන දවසෙහි සහ උපෝසථ දවසෙහි ද සියළුම පසේ බුදුවරු රැස්ව ඒ ආසනවල හිදගනු ලබනවා. ඉක්බිතව එසේ පැමිණි කල නව පසේ බුදුවරයන් වහන්සේ එහි ගොස් පනවන ලද අසුනෙහි හිදිනවා. එමෙන්ම ඒ කාලයෙහි තවත් පසේ බුදුවරු පහළ වෙත්ද උන්වහන්සේලා රැස්වී පනවන ලද අසුන්වල අසුන්ගන්නවා. එහිදී යම් පසේබුදුවරයෙකු  කිසියම් සමවතකට සමවැද නැගී සිටියිද  දෙටු සංඝතෙරුන් වහන්සේ නවක පසේ බුදුවරයන් වහන්සේගෙන් සියළු පසේ බුදුවරුන්ට අනුමෝදන් වනු පිණිස අවබෝධය ලබන ලද්දේ කෙසේදැයි කමටහන විචාරනු ලබනවා.  එවිට උන්වහන්සේ එයම තම උදාන ගාථාව ලෙස කියනු ලබනවා.  එසේ උන්වහන්සේලා විසින් දේශනා කරන ලද අති සුන්දර උදාන වාක්‍යය වලින් මෙම ඛග්ගවිසාණ සුත්‍රයම පිරී පවතිනවා.

මාතංග පසේ බුදුහාමුදුරුවෝ.

ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනා නිධානයේ ඇති මේ සියලු කරුණු ඔබලාට විස්තර කලේ පසේ බුදුවරයන් වහන්සේලා පිළිබඳව  දැනුවත් කිරීමටත් ශ්‍රද්ධාව ඇති කිරීමටත්ය. මෙලෙස පාරමිතා පුරණය කරමින් අප බෝසතාණන් වහන්සේ ලොව පහළවීමට ප්‍රථම ඒ කාලයේම ලොව වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන ආපදානට්ඨ කථාවේ සඳහන් වනවා. උන්වහන්සේගේ නම මාතංග.  එහි සඳහන් වන අයුරින් අප බෝසතාණන් වහන්සේගේ උපත පිළිබඳව අසා එය නැරඹීමට පමණි දේවතාවෝ මාතංග පසේ බුදුරජුන්ද බැහැ දැකීමට පැමිණෙනවා. ඒ මොහොතේ උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද සිට එයින් එලියට පැමිණි අවස්ථාවයි.  මාතංග පසෙබුදුරජුන් ව බැහැ දකින ඒ දෙවිවරුන් නිදුකාණෙනි, නිදුකාණෙනි, ලෝකයෙහි සම්මා සම්බුදුවරයෙකු උපන්නා යනුවෙන් පවසා වැඳ අවසර ගෙන නික්ම නික්ම යනවා. ඉන්පස්සේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආයුෂ විමසා බලද්දී ආයුෂ ක්ෂය වී ඇති බවත් දැනගන්නවා. පසේ බුදුවරු ආයුසංස්කාර අත්හැර පරිනිර්වාණය සඳහා වැඩම කරන තැනක් හිමාලයේ තිබුණා. එය හඳුන්වන්නේ මහා ප්‍රපාත පර්වතය නමින්. උන්වහන්සේ එතැනට වැඩමකොට පිරිනිවන්පාන ලද අනෙකුත් පසේබුදුවරුන්ගේ  ඇටසැකිළි ආදිය ප්‍රපාතයට හෙළා ගල්තලාවේ හිඳ උදාන වාක්‍යයක් පවසා  අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑවා. ඒ තමයි මේ අතුරුකල්පයේ අන්තිම පසේබුදුරජුන්.

මාතංග පසේබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

උපකාරක ග්‍රන්ථ
සුත්තනිපාතට්ඨ කථා – ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාව,
ආපදානටඨ කථා – ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්ථවිරයන් වහන්සේ

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 156

බෝසතාණන් වහන්සේ උපත ලැබූ බව දැනඅසා බැහැදැකීමට දෙව්ලොව සිට පැමිණි අසිතදේවල තවුසා

එලෙස අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එලිය දුටු දිනයේම මාතංග පසේ බුදුහාමුදුරුවෝ ආයුසංස්කාර අතහැර   අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑවා.

බෝසතුන් මව් කුස පිළිසඳ ගත කෙණෙහිම යම් සේ දෙතිස් පෙරනිමිති පහල වූයේද, එලෙසම  ඔහු මෙලොව උපන් කල්හිදී දෙතිස් පෙර නිමිති ලොව පහල වුණා.  අප බෝසතාණෝ ලුම්බිණි උයනේදී උපන් දවසෙම  ඔහුගේ බුද්ධත්වය සඳහා මහෝපකාරී වන තවත් විශේෂිත වස්තුන් සතක් ලොව පහළවුනේ විශ්වධර්මතා මත. මේවා “සත සහජාත” නමින් හඳුන්වනු ලබනවා.

සත සහජාත

  1. යශෝදරා දේවිය
  2. ඡන්න ඇමති
  3. කාළුදායී ඇමති
  4. අජානීය හස්ති රාජයා
  5. කන්ථක අශ්ව රාජයා
  6. මහබෝ රුක
  7. සතර මහා නිධාන ද පහළ වුනා.

නිධාන සතර ගව්ව අඩ යොදුන් තුන් ගව්ව හා යොදුන යන ප්‍රමාණයෙන් යුක්ත වුනා.

දෙනුවර වැස්සෝ බෝසතුන් රැගෙන මහත් හරසරින් කිඹුල්වත් පුරවරයටම නැවත පැමිණියා.

බෝසත් උපතින් උද්ධාමයට පත්  තව්තිසා දෙවියන් ප්‍රීති ඝෝසා පැවැත්වීම.

එදිනම තව්තිසා වැසි දෙවියෝ කිඹුල්වත් පුර සුදොවුන් මහරජුන්ට උපන් කුමරා බෝමුල හිද බුදු වන්නේ යැයි සතුටුව හිස වටා සළු සිසාරා ක්‍රීඩා පවත්වමින් නටමින් ප්‍රිතිඝෝසා පවත්වන්නට වුණා.  සුදෝවුන් මහා රජුන්ගේ කුළුපග වූ අෂ්ඨ සමාපත්ති ලාභී කාලදේවල නම් තව්සා දිනපතා දහවල් ආහාරයෙන් පසු විවේකය ගතකලේ තව්තිසා භවනේ.  තවුතිසා භවනට ගොස් දවල් කාලය ගත කරන ඔහුට සතුටින් ක්‍රීඩා කරන දෙවියන් දැක “කුමක් නිසා ඔබ සතුටින් ක්‍රීඩා කරන්නහුද මට ඒ කරුණ කියනු මැනවැයි” විමසා සිටියා.  නිදුකාණෙනි, සුදවුන් මහරජාණන්ට පුතකු උපන්නා. එතුමාණෝ අද දිනයේ බෝ මුල හිද බුද්ධත්වය ලබා දම්සක් පවත්වනවා. අපි  එතුමාගේ බුද්ධ ශ්‍රීය දැකීමත් දහම් ඇසීමටත් පින් කර ඇත්තෙමු. මේ කාරණයෙන් අපි සතුටු වූවෝ වෙමුයි” කියා සිටියා.

අසිතදේවල තවුසාගේ පැමිණීම

දෙවියන්ගේ වදන් අසූ අසිත තවුසා වහාම දෙව් ලොවින් බැස රජ මැදුරට පිවිස පැනවූ අසුනෙහි වැඩ හිද මහරජ, ඔබට පුතකු උපන්නේ නොවේද? ඔහු දකිනු කැමැත්තෙමි පවසා සිටියා. එවිට රජ සුසැදි කුමරුවන් ගෙන්වා තවුසාණන්හට වැදවීමට කිට්ටුකලා. ඒත්  සිදුවුයේ නොසිතු දෙයක්. බිලිඳු බෝසතුන් වහන්සේගේ දෙපාදයෝ පෙරළී තවුසානන්ගේ ජටා මඩුල්ලෙහි පිහිටියා. එම අත්බැව්හි බෝසතුන් වහන්සේ විසින් වැදිය යුතු වෙනත් අයකු මෙම සක්වලෙහිම නැතිබව මීට පෙර ලිපිවල කියා තිබෙනවා.  ඉදින් එය නොදැනීමෙන් බෝසතානන්වහන්සේගේ හිස තව්සාණන්ගේ පාමුල තැබුවේ නම් ඔවුන්ගේ හිස සත් කඩකට පැළී යනවා. මෙම කරුණු දැනගත් අසිත දේවල තව්සා බෝසත් කුමරුගේ පා පියුම් ඇදිලි බැද වන්දනා කලා. මෙය දුටු සුද්ධෝදන පිය රජතුමා මාගේ පුතණුවන්ට මාගේ ගුරුවරයාද වන්දනා කලේ යැයි ප්‍රමුදිතව පලමු වරට බෝසත් කුමරුගේ පා පියුම් වන්දනා කලා. මෙය වනාහි පියරජු බෝසතුන්ට කල පලමු නමස්කාරයයි.

අසිත දේවල  තව්සාහට අතීතයෙන් කල්ප සතළිසක් ද අනාගතයෙන් කල්ප සතළිසක් ද වශයෙන් කල්ප අසූවක් සිහි කිරීමට සමත්. කුමරුන්ගේ අංග ලක්‍ෂණ  දුටු තවුසාණෝ කුමරුන්ගේ අතීත පාරමිතාද  දුටුවා.  එවිට ඔහු  බුදු වන්නේද නොහොත් නොවන්නේදැයි දිවසින් බලන්නාවිට, නිසැකවම බුදු වන්නේයැයි දැන සිනහ පහළ කළා. අනතුරු ව එතුමන් කලේ කුමරා බුද්ධත්වයට පත් කළ මට දක්නට ලැබෙන්නේදැයි නොලැබෙන්නේදැයි දිවැසින් විමසා බැලීමයි. එවිට තමාට දැකීමට නොලැබෙන බවද,  ඊට පෙර කළුරිය කොට බුදුවරුන් සියයක හෝ දහසක පහළ වන කාලයකදී වුවද ධර්මාවබෝධය නොකළ හැකි අරූපී බඔ ලොව උපදිමි යැයි ද එහෙයින් බුදු සිරිය දකින්නට නොලැබෙන්නේයැයි මට වූයේ මහත් හානියකැයි සිතා හඬන්නට වුනා.   මේ දුටු රජතුමා ඇතුළු පිරිස  බියට පත්වී “අපගේ තවුස් උතුමාණෝ දැන් ම සිනාසී නැවත හඩන්නට වන්හ. ස්වාමීනි අපගේ කුමරුවන්ට කිසියම් අනතුරක් වන්නේදැයි” විචාරන්නට වුනා. එවිට තවුසා මෙලෙස පිළිතුරු දුන්නා. “නැත කුමරුවන්ට කිසි අනතුරක් නොවේ. නිසැකයෙන්ම එතුමාණෝ බුදු වන්නාහ.” එවිට “එසේ නම් ඔබ හැඩුවේ මන්ද?” යනුවෙන් විමසා සිටි කල්හි,  “මේ මහා පුරුෂයන් වහන්සේ මතු බුදු වනු දකින්නට නො ලබන්නෙමි. එයින් මට මහත් හානියක් වන්නේය. මා පිළිබදව සිතා හඩමි යි”  ඉමහත් දුකෙන් පවසා සිටියා.   ඉන්පස්සේ ඔහු  මාගේ කවර හෝ ඤාතියකු මෙතුමන් බුදු වනු දකින්නේදැයි බලන්නට වුණා.  එවිට තමන්ගේ බෑණනුවන් වන නාලක දරුවා දුටුවා.

බුදුන් ලොව පහල වූ බව අසා සංඝ සාසනයට පිවිසීමට ගිහිගෙය හැර ගිය ප්‍රථම පුද්ගලයා නාලක

ඔහු තවත් පමාවුණේ නැහැ.  වහාම නැගණියගේ ගෙටගොස් “ඔබගේ පුත් නාලක කොහිදැයි” අසා ස්වාමීනි ගෙහි සිටී කී විට “එසේනම් ඔහු කැදවනු” යනුවෙන් කිවා. ළගට පැමිණි නාලක අමතා මෙසේ කීවා. “දරුව, සුද්ධෝදන රජ කුලයෙහි පුතෙක් උපන්නා. එතුමා බුද්ධාංකුරයකි. හෙවත් බෝධිසත්වයන් වහන්සේ නමකි. පන්තිස් වසකින් පසු බුදු වන්නේය. ඔබ ඒ බුදුන් දකින්නෙහිය. අද ම පැවිදි වන්න.”  අසූහත් කෙළක් ධනය ඇති කුලයක උපන් නාලක කුමරුවෝ මගේ මයිලණුවෝ මා අවැඩක නොයොදවන්නේයි සිතා කඩයෙන් කසාවත් ද මැටි පාත්‍රයක් ද ගෙන්වා ගෙන කෙස් රැවුල් බහා කසාවත් හැද මගේ පැවිද්ද ලෝකයෙහි උත්තම පුද්ගලයා උදෙසායි, බෝසතුන් වහන්සේ සිටි දෙසට මුහුණලා ඇදිළි බැද පාත්‍රය ථිවිකයෙන් බහා උරයෙහි එල්බගෙන හිමවතට පිවිස මහණ දම් පුරන්නට පිටත්වුනා.

මෝනෙය්‍ය වත පූරණය කළ නාලක මහරහතන් වහන්සේ

විශේෂ හැකියාවන් විශේෂ ප්‍රාර්ථනා පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගණයට අයත් නොවන, එක්‌ බුද්ධ ශාසනයක්‌ තුළ එක්‌ භික්‌ෂුවකට පමණක්‌ පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක්‌ පූරණය කළ භික්‌ෂුවක්‌ ගැන අනෙකුත් බුද්ධ ශාසන වල මෙන්ම ගෞතම බුද්ධ ශාසනයේත් සඳහන්. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේයි. උන්වහන්සේත් පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රාර්ථනය කොට ආශීර්වාද ලබාගත් බව සඳහන්. නාලක තෙරණුවෝ පසු කාලයෙහි සම්බෝධියට පත් තථාගතයන් වහන්සේ වෙත එලබ නාලක ප්‍රතිපදාව අසා දැනගෙන නැවත හිමවතට ගොස් රහත් බවට පැමිණ ඉතා දැඩි සසුන් පිළිවෙතෙහි පිළිපන්නාහු, සත් මසක් ආයු විද රන්වන් පව්වක් ඇසුරු කොට සිටි ඉරියව්වෙන් ම නිරුපදිශේෂ හෙවත් ස්කන්ධ ශේෂයක් නැති නිවනින් පිරිනිවන් පානු ලැබුවා.  උන්වහන්සේගේ අරහත්වය දක්වා පැමිණි අති සුන්දර වූ කතා පුවත මෙම ලිපි පෙලේ ඉදිරියට ලියවෙනවා. එලෙස කල්ප කාලාන්තරයක් පැමිණි නාලක වත පිරූ නාලක මහා රහතත් වහන්සේ මෙලෙස තම ප්‍රර්ථනාව මුදුන් පමුණුවා ගැනීම උදෙසා එදින ගිහිගෙය අත්හැර ගිය හැටි හරිම පුදුමයි. ඒ තමයි මතුබුදුවන අප මහා සම්බුදුපියාණන් වෙනුවෙන් සසුන්ගතවිමට ප්‍රථමයෙන්ම ගිහිගෙය හැරදා ගිය සුවිශේෂ පුද්ගලයා. 

උපකාරක ග්‍රන්ථ :- ජාතකට්ඨ කතා නිධානය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 157

නාමකරණ මංගල්‍යය
නම් තැබීම සහ ඵලාපල සඳහා බමුණන් එකසිය අටදෙනෙක් පැමිණීම.

එදා බෝසතුන් උප්පත්තියෙන් පස් වැනි දිනයයි.  කුමරුන්ගේ හිස නහවා නම් තැබීම සදහා රජ මැදුර සියලු සුගන්ධයන්ගෙන් සුවඳවත් කොට ලදපස් මල් විසුරුවනු ලැබුවා. ඉන්පසු දිය නුමුසු කිරි බත් පිසවා ත්‍රිවේදය මනාව දත් බමුණන් එකසිය අටදෙනෙක් රජ මැදුරට කැඳවා අසුන්හි වඩා හිදවා මිහිරි බොජුන් වළදවා මහත් සේ සම්මාන කොට කුමරුනට කුමක් සිදුවන්නේ දැයි ශරීරාංග ලක්‍ෂණ විමසන්නට වුනා. ඔවුන් අතුරින් රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදන්ත යන බමුණන් අට දෙනා ප්‍රවීණයන් වූ නිසාම  ඔවුනට රාජසභාවේ ප්‍රමුඛස්ථානය ලැබුණා. ඔවුන් සැවැදෑරුම් වේදාංග මන්ත්‍ර අනුව කුමරුන්ගේ ශරීර ලක්‍ෂණ විමසන්නට වුණා. මේ බමුණන් අට දෙනාම අංග ලක්ෂණ පරීක්ෂා කිරීමෙහි කෙළ පැමිණියන්. බෝසතුන් පිළිසද ගත් දිනයෙහි ද බෝසත් මව දුටු සිහිනය පරීක්ෂා කරනු ලැබුවේද මොවුන්මයි. ඔවුනතුරින් කොණ්ඩඤ්ඤ බමුණා හැර අනෙකුත් සත්දෙනා ඇගිලි දෙකක් ඔසවා මෙලෙස දෙවිදියකින් අනාවැකි ප්‍රකාශ කරනු ලැබුවා. ඒ මෙලෙසයි.

“මේ අංග සලකුණුවලින් යුක්ත වුවෝ ගිහි ගෙයි වසන්නෝ නම් සක්විති රජ වන්නෝය. පැවිදි වන්නෝ නම් බුදු වන්නාහ.” මෙසේ ප්‍රකාශ කළ බමුණෝ සක්විති රජුගේ ශ්‍රී විභූතිය වර්ණනා කරනු ලැබුවා.

ඔවුනතුරින් ලාබාලම වියේ සිටියේ කොණ්ඩඤ්ඤ නම් මානවකයයි. ඔහු විසින් බෝසතුන්ගේ සර්වප්‍රකාරයෙන් උතුම් වූ ශරීර ලක්ෂණ විමසාබලා ඒ අතර ඇති විශේෂිත ඌර්ණ රෝම ධාතුව ද සැළකිල්ලට ගෙන”මේ උත්තමයාණන්ට ගෘහ ජීවිතයේ විමසීමට හේතු කාරණා නැත. ඒකාන්තයෙන් කෙළෙස් ඉවත් කළ බුදු කෙනෙක් වන්නාහුයයි” ස්ථිර වශයෙන් දැන  එකම ඇගිල්ලක් පමණක් දිගු කොට එලෙස එකම එක අනාවැකියක් පමණක්  පලකළා.  මේ කොණ්ඩඤ්ඤ බමුණා වනාහි මේ අන්තිම අත්බව ඇත්තෙක්. නුවණින් ද අනෙක් සත් දෙනා අභිබවා සිටිය කෙනෙක්.

ඉන්පස්සේ පැමිණියේ නම් තබන හෝරාවයි. එහිදී සියලු කරුණු සැළකිල්ලට ගත් බමුණන් මොහු තුන් ලොවටම අර්ථ සිද්ධිය කරන බැවින් ‘සිද්ධත්‍ථ’ යනුවෙන් නම් කරනු ලැබුවා.

පස්වග මහණුන් එළිදැකීම.

ඒ සියලු කටයුතු නිමවුණායින් පස්සේ   ඒ බමුණෝ තමතමන්ගේ ගෙවල්වලට ගියේ යුහුසුළුව. එසේ ගොස් තම පුත්‍රයන් අමතා මෙසේ කිවා. ” අපිට අද ශුද්ධෝදන රජ්ජුරුවෝ මාළිගාවට එන්න කියලා තිබුණා. ඒ අලුත උපන් කුමාරයා පෙන්වන්නට. ඔහු එසේ මෙසේ කෙනෙක් නොවෙයි. අපේ ජිවිත කාලය තුලම දැක්ක සුවිශේෂ දෙතිස් පුරුෂ ලක්ෂණයන්ගෙන් පිරි ප්‍රථම පුද්ගලයා. සියල්ල දත් ඔහු ඒකාන්තයෙන්ම අනාගතයේ බුදු බවට පත්වන පින්වත් කුමරෙක්.  “අපි දැන් මහල්ලෝ. ඒ නිසාම ඔහුගේ බුද්ධත්වය දැකගැනීමට ලැබීම  හෝ නො වීම විය හැකිය.  නුඹලා එතුමා සියල්ල දත් බවට පැමිණි කල්හි එතුමාගේ සසුනෙහි පැවිදි වන්න”  යැයි පවසා ආයු ඇතිතාක් සිට මෙළොව අතහැර ගියා.

කොණ්ඩඤ්ඤ මානවකයා ඒ වනවිට නිරෝගීව තරුණ වියේ පසුවුණේ. පසුකලෙක බෝසතුන් වැඩිවිය පත්ව මහබිනික්මන් කොට පිළිවෙළින් උරුවේලාවට ගොස් “මේ භූමි භාගය ඉතා සිත්ගන්න සුළුය. මහා විර්යය කෙරෙනු කැමති කුල පුත්‍රයකු ව ප්‍රධන් වීර්යය කිරීමට ඉතා සුදුසුයැයි”  එහි සිත් අලවා වාසයට පැමිණි කාලයේ කොණ්ඩඤ්ඤ බමුණා තෙම අනෙක් සත් බමුණන්ගේ පුතුන් වෙත ගොස් මෙලෙස කිවා. සිද්ධාර්ථ කුමරු පැවිදි දිවියට ඇතුළත් වුණා. එතුමාණෝ නිසැකයෙන් බුදුවනවා. ඉදින් ඔබලාගේ පියවරු ජීවත්ව සිටියෝ නම් අද ම පැවිදි වනවා නිසැකයි. ඉදින් ඔබලා කැමති නම් එනු මැනව. මම ඒ උත්තමයාණන් අනුව පැවිදි වන්නෙමි.” පවසනු ලැබුවා. එහෙත් ඒ සියලු දෙනාම එකම අදහස් ඇත්තන් වීමට නොහැකි වූණා. තිදෙනෙක් පැවිදි නොවූණා. ඉතිරි සතර දෙනා කොණ්ඩඤ්ඤ බමුණු දෙටු කොට පැවිදි වූණා. මොවුන් පස් දෙනා පසු කල පස්වග තෙරවරුන් නමින් හඳුන්වනු ලැබුවා.

නාමකරණ මංගල්‍යය

එදිනම රජතුමා පුත් කුමරු කුමක් දැක පැවිදි වන්නේදැයි බමුණන්ගෙන් විමසනු ලැබුවා. ඔවුන් පැවසුවේ  මහලු, රෝගී, මළ, පැවිදි යන සිව් පෙර නිමිති දැක බවයි. එය අසා බොහෝ තැතිගත් රජතුමා “මෙතැන් සිට එවැනි අයට මෙගේ පුතු ළගට එන්ට ඉඩ නොදෙව්, මෙගේ පුතුට බුදු බවෙන් කම් නැත, මම මගේ පුතු දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයට අධිපති ව සතිසක් යොදුන් වට සිටීමට ප්‍රමාණවත් පිරිස පිරිවරා සක්විති රාජ්‍යය කරනු දකිනු රිසියෙමි”. කියා මෙලෙස රාජ ආඥාවක් නිකුත් කරනු ලැබුවා. ඉන්පසු එකී සිව් වැදෑරුම් පුරුෂයන්ට කුමරුන්ගේ ඇස් හමුවට පැමිණීම වැළක්වීම සදහා සිව් දිශාවෙන්හි ගව්වක් පමණ ආරක්ෂාව යොදවන්නට අණකරනු ලැබුවා.

එදා ඒ නාමකරණ මංගල්‍යයට සිව් දිශාවෙන්  අසුහරදසක් පමණ  වූ ඤාති කුල වලට අයත් ඤාතින් ඇවිත් සිටියා. ඒ අය අතර මෙලෙස කතාබහක් ඇතිවුනා. කුමරු බුදුවුවත් සක්විති රජ වුවත් අපට කම් නැත. “අප කුමරා වෙනුවෙන් එක එක පුත්‍රයා දෙමු”. ඉතින් ඔහු බුදු වී නම් ක්‍ෂත්‍රිය ශ්‍රමණයන් පිරිවරා ගෙන හැසිරේවි.  රජවන්නේනම් ක්‍ෂත්‍රිය කුමාරවරු පිරිවරා හැසිරේවි. මෙසේ කතිකා කොටගත් ඔවුන් සිදුහත් කුමරා වෙනුවෙන් එක් එක් කුමරෙකු බැගින් අසුදහසක් කුමරුන් දීමට එකඟතාවය පලකරා.

උපකාරක ග්‍රන්ථ :- අපදානටඨකතා නිධානය / ජාතකට්ඨ කතා නිධානය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 158

මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම

මම මිට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශාසනයක  පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ,  වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ  බිසෝවරු, සෙනෙවිවරු. ඉහතින් කී අයුරින් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී නමින් රජකෙනෙකු හිටියා. රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවයින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් සත්දෙනෙක් ලැබුණා.

ඔවුන් පිළිවෙලින්,

  1. සමණී 2. සමණගුත්තා  3. භික්ඛුණී  4. භක්ඛදායිකා  5. ධම්මා  6.සුධම්මා 7. සංඝදාසි යන සත්දෙනායි.

ඔවුන් අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පිළිවෙලින්

  1. ඛේමා 2. උප්පලවණ්ණා 3. පටාචාරා 4. ගෝතමී 5. ධම්මදින්නා 6.මහාමායා 7. විශාඛා යනුවෙනුයි.

මේ සහෝදරියන් සියලුම දෙනා මේ වනවිට ඉපදී හෝ මවුකුසක් බලාපොරොත්තුවෙන් සිටියේ පිරූ පාරමිතා සඵල කරගැනීමට. ඔවුන් අතරින් සුධම්මා දියණිය තමයි මිට අනුඑක් කල්පයකට ප්‍රථම විපස්සි බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු  පුජා කොට බුදුකෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රර්ථනා කලේ. ඇය ඉන්පසු ආත්මභාවයක  කිකී රජතුමාට දාව සුධර්මා රජ කුමරිය ලෙස ඉපිදී තව තවත් පිංකම් කොට සඳුන්සුනු පුජාවේ පුණ්‍යාණුබල මහිමයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසුකලෙක ශක්‍රදෙවිදුන්ගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍යමහිමයෙන්   අප මහා බෝධිසත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන “එූසති”  දේවියද,  අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහාමායා දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ සම්බන්ධව විස්තරයක් මා විසින්  “අපේ බුදුහාමුදුරුවෝ 107” කොටසේ සිට ලියා තිබෙනවා.

මෙලෙස අවුරුදු කල්ප ලක්ෂයක් අවම වශයෙන් පාරමී පුරමින් බුද්ධමාතාවගේ තනතුර ප්‍රාර්ථනා කරමින් පැමිණි මහාමායා දේවිය අවසානයේ අප මහා බුදුපියාණන් වහන්සේගේ බුද්ධ මාතාව වශයෙන් කිරුලු  පැළඳියා.

බුද්ධමාතාව කියන්නේ සුළුපටු චරිතයක් නෙවෙයි. ඒ තනතුර ලැබීමට අවම වශයෙන් අවුරුදු කල්ප ලක්ෂයක්වත් පෙරුම් පිරිය යුතයි. පියා දරුවන් මෙන්ම භාර්යාවද එලෙසමයි. ඔබට මතක ඇති මිට පෙර  “අපේ බුදුහාමුදුරුවෝ 152”  වෙනි කොටසේ  තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයන් ගැන සඳහන් කළා. එහිදී බෝසත්මවකගේ ගුණ සහ මහේශාක්‍ය බව මෙලෙස සඳහන් කළා

  1. බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුවෙන්ද,
  2. යම් කලෙක බෝසත්තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය” යනුවෙන්ද,
  3. යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාගසිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹියද  නොහැක .” යනුවෙන්ද,
  4. යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි”  යනුවෙන්ද,
  5. යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, එතැන්පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. යනුවෙන්ද,
  6. බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී ” යනුවෙන්ද, තව බොහෝ කරුණුද කිවා.

මෙහිදී ඒ ආශ්චර්ය අද්භූත කරුණු අතරේ බෝසතාණන් වහන්සේ මෙලොව උපත ලබා සත් දිනකින්  මව මේ කුණුකය අතහැර කළුරිය කොට තුසිත දෙවුලොව ඉපදෙන බව සඳහන්. එය සෑම බෝසත් මවකටම උරුමවුවක්. එයට විශේෂ වූ හේතුන් කිහිපයක් තිබ්බා. එකක් තමයි බුදුවරයෙකු මෙලොවට බිහිකළ මව්කුස තුල තව දරු උපතකට අවස්ථාවක් නැතිකම. එමෙන්ම බෝසත්වරයෙකු කුස පිළිසිඳ ගත් පසු එම  ස්ත්‍රී රත්නය සමග යහන්ගත වීමට තවත් සැමියා හෝ වෙනත් පුද්ගලයෙකුට නොහැකිවීම. ඇයගේ ආයුෂ උපතේ සිට දින හතෙන් අවසන් වීම, සහ එවන් අතිශය ශ්‍රේෂ්ඨ චරිතයක් තව දුරටත් ගැහැණියක් වශයෙන් නොසිටීම. පුරුෂයෙක් ලෙස ඉපදීමට වරම් තිබුණත් තම අභිලාෂය ලෝකෝත්තර හෙයින් ඇය බෝසත් උපත තෙක් බෝධිසත්ත්ව මාතෲත්වය පමණක් මනසින් සම්මර්ශනය කලනිසා ඇය පාරමී පුරන සමයේ පවා බෝසතුන්ට මව වී උපත ලබා ඇති ආකාරය දැකිය හැකියි.

කාන්තාවක් යනු ස්වභාවයෙන්ම පුරුෂයෙකුට වඩා බොහෝ සෙයින් ජීවිතයේ අපහසුතා වලට ලක් වන පිරිසකි. රාග නිශ්‍රිත ලෝකයේ කාන්තාවකට සිදුවන ගැහැට එමටයි. එහෙත් ඒ සා විශාල ගැහැට ඇති ස්ත්‍රී භාවය හිසෙහි තබා ගත් නෙලුමක් සේ ගෞරවයෙන් ගෙන ස්ත්‍රීයක විසින් විදිය යුතු සියලු ගැහැට සැනසුම් සහිත පහසක් හැටියට ගෙන ඝෝර සසරට වැදී පාරමී පූරණය කොට තිලොවට යහපත සදන බෝසතුන් කුසෙන් දැරීමට මහාමායාව ගත් වෑයම පූජනීයයි. මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනුව පහල වී වදාල ගෞතම අප මහා මුනීන්ද්‍රයන් වහන්සේට බෝසත් මාතාව වූ ඇය බෝසත් උපතින් සත් වන දින කලුරිය කිරීමට සිදුවන බව දැන දැනම එයද ආශිර්වාදයක් සේ සලකා බෝසත් මවක් වීමේ අභිලාෂය ඇතිව පාරමී පිරූ බව සිහි කටයුතුව ඇත. 

මේ සියලු හේතු ප්‍රත්‍යවීම නිසා ඇය බෝසත් උපතෙන් පසු නම් තැබීමේ මංගල්‍යයට ද  සහභාගී වී සත්වන දිනයේ සුවපහසුව සැතපුන පසුව නැවත අවදිවුයේ නැහැ. ඇය ඒ මොහොතේම සොළොස් අවුරුදු දෙව් කුමරෙකු ලෙස (පුතෙකු ලෙස) තුසිත දෙව්ලොව උපන්නා. ඒ වෙනකිසිවක් නිසා නොව එතරම්ම පාරමී දම් වඩා තවදුරටත් ස්ත්‍රී ආත්මභාවයකට  සුදුසු නොවී සිටි නිසයි. එහෙත් මානව වර්ගයාට ඇති අප්‍රමිත මෛත්‍රියෙන් ඇය බෝසත් උපත දක්වා ඒ පුරුෂ භාවය නැමති කිරුළ පැළඳුවේ නැහැ.

ඇයගේ ඇවෑමෙන් සුදොවුන් රජතුමා බෝසතාණන් වහන්සේගේ සුළුමව වූ මහාප්‍රජාපතී ගෝතමිය අගමෙහෙසිය බවට පත්කරනු ලැබුවා. ඒ දිනවලම නන්ද කුමරුත් ඉපදී සිටියා. ඇය ඔහුව කිරිමවුවරුනට දී අප මහා බෝසතාණන් වහන්සේට මෑණියන් වී මවුතුමිය නොමැති අඩුව පුරවනු ලැබුවා. 

උපකාරක ග්‍රන්ථ :- අඞ්ගුත්තර නිකායටඨ කතා – ථෙරි පාළි වර්ණනාව මහාපජාපති ගෝතමී තෙරණිය / ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 159

මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම 02

පසුගිය ලිපියෙන් – මාතෘ දේවපුත්‍ර

අවසන් දින කිහිපය  මහමායා දේවිය ගතකලේ හරිම සතුටෙන්.  එයට හේතුව අසිත දේවල තවුසාද, නම් තැබීමට පැමිණි බමුණන්ද තම පුත්‍ර රත්නය ලොව්තුරා බුදුවන බව පැවසීම නිසා වෙන්න ඇති. තම නැගණිය වූ ප්‍රජාපතී ගෝතමියත් අනෙකුත් ඥාතී ස්ත්‍රීන්ද සමග ඒ ගැන කතා කරමින් ප්‍රීති වෙමින් සිටියදී මෙලොව හැර ගියේත් ඒ චිත්ත ප්‍රීතියෙන්මයි. මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනුව පහල වී වදාල ගෞතම අප මහා මුනීන්ද්‍රයන් වහන්සේට බෝසත් මාතාව වූ ඇය එලෙස මෙලොවෙන් සමුගෙන දෙනෙත් පියාගත්තේ  තුසිත දෙව්ලොවෙහි සොළොසැවිරිදි දෙව් කුමරෙකු බඳු වූ දිව්‍යමය ශරීරයක් සහිතව දෙව් පුත්‍ර රත්නයක් ලෙස නෙත් ඇරියා.  ඒ නිසා ඔහු දෙවියන් අතර මාතෘ දේවපුත්‍ර (මව් දෙව්පුත්) නමින් ප්‍රකටව සියලු දෙවියන් අතර මහත් වූ ගෞරවයට පාත්‍ර වෙමින් අදටත් වැඩසිටිනවා.

මිහිරි කිරි ඇති කිරි මවුවරු.

බෝසත් බිළිඳා අනේකවිද සම්පත් මැද වැඩෙන්නට වුණා. බිළිඳාට කිරිදීම සඳහා අති විශේෂ කිරිමවුවරු ශුද්ධෝදන රජතුමා විසින් සොයන්නට වුණා. අන්තපුර වාසි කොතරම් ස්ත්‍රීන් සිටියත් සෑම ස්ත්‍රියකම එවැනි තනතුරකට සුදුසු වුණේ නැහැ.  ඒ අයට තිබිය යුතු සුවිශේෂ දේහ ලක්ෂණ තිබුණා. අතිශය රූමත් විය යුතුව තිබුණා. ඒ විතරක් මදි. සීලයෙනුත් අගතැන්පත් විය යුතුයි.  ඒ විතරක් නෙවෙයි. ඒ මවුවරුන් ගේ කිරි උසස් මිහිරි රසයෙන්ද  යුක්ත විය යුතු වුණා. මේ සියල්ලම අප මහා බෝසතාණන් වහන්සේ සසරේ වැඩු දාන පාරමිතාවන්හි ප්‍රතිඵල හැටියටමයි මට හිතෙන්නේ. එහෙත් කිරිමවුවරුන්ගේ කිරි බෝසත්බිළිඳාහට දීමට ප්‍රජාපතී ගෝතමිය ඉඩහැරියේ නැහැ. කිරිමවුවරුන් හට තමා බිහි කල නන්ද කුමරුන්ව පවරා තමාගේම පුතු වෙනුවෙන් එරුණු මව්කිරි තම දෙතනෙන්ම සිදුහත් කුමරුන්හට දෙමින් ඔහුව පෝෂණය කරනු ලැබුවා.

නන්ද කුමරු මෙලොව එළිය දැකීමට අවුරුදු දෙකකට පෙර ඇයට නන්දා නමින් දුවක්ද සිටියා. නන්ද කුමරුත් නන්දා කුමරියත්, සිදුහත් කුමරුත් යන සියලු දරුවන්ට මව වූ හෙයින් “දරුවන් ඇති ගෞතමී”  යන අර්ථය අනුව ප්‍රජාවතී ගෞතමී (ප්‍රජාපතී ගෝතමී) යන නම ඇයට සුදුසුම වුණා.

බොහෝ රාත්‍රීදන්නියන් අතර අග්‍රස්ථාන ලැබීමට  පෙරුම් පිරූ ප්‍රජාපතී ගෝතමිය.

තවත් පුදුම සිදුවීමක් තියෙනවා මම කියවපු දුරේ නිධානයේ. ඇය මිට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්ස්ගේ කාලයේ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳ සිටියා.  පසුකලෙක පියුමුතුරා බුදුරජුන්ගේ ධර්මදේශනයක් අසමින් සිටි එක භික්ෂුණියක “බොහෝ රාත්‍රීදන්නියන්”  අතුරින් අගතනතුරෙහි තබන්නා වූ ශාස්තෘන් වහන්සේ දැක  පින්දහම් කොට ඇයද මතු ඒ තනතුරම පතා සිටියා. එලෙස “බොහෝ රාත්‍රීදන්නියන්” දන්න අය අතරින් අගතනතුරෙහි විවරණ ලැබූ ඇය අප සාසනයේ ගෞතම බුදුපියාණන් වහන්සේ තමදෙතනේ කිරිපොවා ඇතිදැඩි කරගැනීමටද වාසනාව ලැබූ ඇය පසුකාලයේ “බොහෝ රාත්‍රීදන්නියන්” අතරින් අගතනතුරද ලැබුවා. ( එනම් ප්‍රථම භික්ෂුණිය ලෙස. එය පුරුෂ පක්ෂයේ කොණ්ඩඤ්ඤමහරහතන් වහන්සේට ලැබූ තනතුර මෙනි) ඇය එලෙස සසර පුරා කරගත්තා වූ කුසල කර්මයන් අපමණයි. ඇය ගැන ඉදිරියේදී තවදුරටත් ලියවෙනවා. එහිදී ඒ සියලු කරුණු ඔබහට කියවන්නට ලැබේවි.

බෝසත්කුමරා හට ප්‍රජාපතී ගෝතමිය සුලු මව්ලෙස නොදැනීමට කටයුතු කිරිම.

ළදරු වියේ සිටම සිද්ධාර්ථ කුමාරයන්ට මව ගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද ප්‍රජාපතීම එතුමන්ගේ ද මෑණියෝමයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ නන්ද කුමාරිද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙලෙන් සුවසේ වැඩුනා. පසුකාලයේ සිද්ධාර්ථ කුමාරයන්ටසේම නන්ද කුමරුටද පිරිවර වශයෙන් තෝරාගත් ශාක්‍යවංශික කුමරුවන්ද මහා පිරිසක් නිතර රජ ගෙය ඇසුරු කළා.

මෙලෙස තම වැදූ මව හා සමානම පින්වත් වූ සුලුමවකගේ ස්නේහය උණුසුම ලබමින් වැඩෙන බෝසත් බිලිඳා පිලිසිදගත් දිනයේ තම නෑ පරපුර විසින් පරිත්‍යාග කරනු ලැබූ අසුහාරදහසක් වූ කුමාරවරුන්ද,  උතුම් රූසපුවෙන් යුත් සියලු දෝශයෙන් මිදුණු කිරි මව්වරු, තවත් අනෙකුත් සැපසම්පත් පිරිවරින් ද යුතුව සොෟභාග්‍යයෙන් වැඩෙන්නට වුණා.

උපකාරක ග්‍රන්ථ :- අඞ්ගුත්තර නිකායටඨ කතා – ථෙරි පාළි වර්ණනාව මහාපජාපති ගෝතමී තෙරණිය / ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 160

වප්මගුල් උත්සවය සහ සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම.

රන් සහ රිදී නගුලෙන් කරනු ලැබූ රාජකීය වප්මගුළ

මෙසේ ක්‍රමක්‍රමයෙන් කාලය ගතවුණා. එක් දිනක් රටේ මෙන්ම රජුගේත් වප් මගුල උත්සවය එළැබ තිබුණා. එදිනට සියලු නුවරම දෙව් විමනක් මෙන් සරසනු ලබනවා. එදාට සියලු දැසිදස් කම්කරු ආදීහු ද නව වස්ත්‍ර හැද සුවද මල් ආදියෙන් සැරසී රාජ භවනට රැස් වෙනවා. රජතුමාගේ වප් මංගල උත්සවය සදහා නගුල් දහසක් යොදනු ලබනවා. එදවස වනාහි එකක් අඩු අටසියයක් නගුල් වුණා. ඒවා ගොනුන් රැහැන් යොත් සමගම රිදියෙන් ආලේප කොට තිබුණා. ඒ වුණත් රජුන් සී සානා නගුල රන් ආලේපිත කරලයි තිබුණේ. ගොනුන්ගේ අං සහ යොත් ද කෙවිට ආදිය ද රනින් විසිතුරු වුණා.

බෝසත් බිලිඳා වප්මගුල් උත්සවය සඳහා රැගෙනයාම.

බෝසත් කුමරාව වප්මගුල් උත්සවයට ගෙනයාම සඳහා කිරිමවුවරුන් විසින් සුවඳ පැනින් නහවනු ලැබුවා. ඒ සඳහා රනින් කල භාජනද, ඉස්තරම් වර්ගයේ විලවුන් වර්ගද, අනෙකුත් ආලේපනද තියෙන්නට ඇති.

රජතුමා මහත් පිරිවරින් වප් උත්සවය සදහා නික්මුණේ පුත් කුමරු ද රැගෙන. වප් මගුල ආසන්නයේ ඝනව වැඩුණු කොළ ඇති එනිසා ම සිසිල් සෙවන ඇති දඹගසක් තිබ්බා. එම ගස මුල අසුනක් පනවා රන්වන් කැටයම් කළ උඩු වියනක් බැද වටකුරු තිර ඇද රැකවරණ සලසා එහි බෝසත් කුමරාව සතපා රජතුමා සර්වාභරණයෙන් සැරසී ඇමතියන් පිරිවරා වප් මගුල් ස්ථානයට ගියා.

සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම.

එහි දී රජතුමා රන් නගුල ද ඇමතියෝ එකක් අඩු අටසියයක් රිදී නගුල්ද ගෙන කුඹුරට බැස්සා. ගොවියෝ සෙසු නගුල් ගනු ලැබුවා. ඔවුන් ඒවා ගෙන ඒ ඒ තමන්ට නියමිත ප්‍රදේශයන්හි සී සාන්නට පටන්ගත්තා. රජතුමාත් තමන්ට නියමිත රාජකීය භූමිභාගයේ අන් අය සමග හරි හරියට සී සාන්නට වුණා. මෙලෙස එක්කොනක සිට තව කොනකටත් එතැන් සිට අනෙක් කොනටත් පස පෙරළන අතරතුරේ සිදුවුණේ තවත් ආශ්චර්යයක්. කවුරුත් නොසිතූ ලෙස එම භුමිය තුලින් මහත් වූ සම්පත් මතු වන්නට පටන්ගත්තා. මෙම පුවත පැමිණි සිටි ජනයා අතරත් ඉක්මණින් පැතිර ගියා. බෝසතුන් පිරිවරා සිටි කිරි මව්වරුන්ට ද මෙම ආරංචිය පැමිණීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. එතෙක් වෙලා බෝසත්කුමරා පිරිවරා සිටි කිරිමවුවරුත් රජුගේ සම්පත් බැලීමට බෝසත් කුමරා සතපා වටකොට තිබු වට තිරයෙන් පිටතට පැමිණියා.

බෝසත් කුමරුන්හට තම පියා දෙවැනි වරටත් වැඳීම.

ඒ මොහොතේ සිදුවුනේ තවත් ආශ්චර්යයක්. බෝසත් කුමරුවෝ වටපිට බලා කිසිවකු නොදැක වහා නැගිට පළක් බැද ආනාපාන සති කමටහන් වඩා පළමු ධ්‍යානය ලබාගත්තා. කිරි මව්වරු ආහාර පාන ගැනීම සදහා මදක් කල්ගත කළා. ඒ අවස්ථාවෙහි සෙසු ගස්හි සෙවණැල්ල හිරු හැරුණ ද නොවෙනස්ව දඹ ගස වට කොට සිටියා. කිරි මව්වරු බෝසතුන් හුදෙකලා බව දැන අවුත් තිරය ඔසවා බලනා විට සයනයෙහි පළක් බැද වැඩහුන් බෝසතුන් වහන්සේ දැක මහත් වූ පුදුමයට පත්වුණා. ඉන්පසු ඉක්මණින් ඒ බව රජතුමාට සැලකොට සිටියා. දේවයිනි, කුමාරයෝ මෙසේ බද්ධපරියන්කයෙන් සිටිති. ඒ අවස්ථාවේ සෙසු ගස්වල සෙවණද හිරු අනුව නොවෙනස්ව තිබුණා. දඹ ගසේ සෙවණද මණ්ඩලාකාරව තිබුණා. රජතුමා වේගයෙන් අවුත් ඒ පෙළහර දැක “පුත, මේ මාගේ දෙවන වැදුම” යැයි පුතුට දොහොත් දී වඳිනු ලැබුවා.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 161

රාජභෝජන සැකසෙන අයුරු.

ළදරු වියේ සිටම සිද්ධාර්ථ කුමාරයන්ට මවගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද, ප්‍රජාපතී දේවිය එතුමන්ගේ ද මෑණියෝමයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ නන්ද කුමාරිද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙලෙන් සුවසේ වැඩුණා. පසුකාලයේ සිද්ධාර්ථ කුමාරයන්ටසේම නන්ද කුමරුටද පිරිවර වශයෙන් තෝරා ගත් ශාක්‍යවංශික කුමරුවන්ද මහා පිරිසක් නිතර රජ ගෙය ඇසුරු කළා.

සිප්සතර ඉගැන්වීම

සිය දරුවන්ට සිප්සතර ඉගැන්වීමට කාලයයි සැලකූ සුද්ධෝදන රජතුමා සුදුසු ඇදුරන් සොයන්නට වුණා. එදා පැවති සැම සිප්සතරෙහිම ප්‍රවීණ “සර්වමිත්‍ර” නම් බමුණු පඬිවරයා ගැන අසා ඔහුව මාලිගාවට කැඳවනු ලැබුවේ සිදුහත් කුමරාගේ ආරක්ෂාවත් සසර කලකිරිමෙහි අනාවැකිත් පියාණන්ගේ හිත තුල අනිසි බියක් ඇති කරන නිසා වෙන්නට ඇති. ඔහුව “විශ්වාමිත්‍ර” යනුවෙන් ද හඳුන්වන බව කියනවා. ඔහුගේ සියලු සුදුසුකම් සළකා බැලීමෙන් පසු ඔහුව මාළිගයේහිම රඳවාගෙන සිදුහත් කුමරු ඇතුළු රජ පවුලේ දරුවන්ට ඉගැන්වීම සිදු කරනු ලැබුවා. ඔවුන්තුරෙන් සිදුහත්කුමරා බොහෝකල් නොයවාම ඇදුරු බමුණා දත් සියලු සිප් සතර ඉගෙන ගත්තා.

 ළමා විය

සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරුන්ද, ඇමති පුත් කාළුදායි වත්ස ආදීහු ද, රියදුරු ඡන්න ආදීහු ද බෝසත් සිදුහත් කුමරාණන්ගේ මිතුරු කැල අතරින් ප්‍රධාන වුණා. දෙව්දත් කුමරු සිදුහත් කුමරාණන්ගේ කෙලිමඩලට ආවත් ඔවුන් හා සමග බොහෝ කුළුපග වුණේ නෑ.

එකල රජ කුමරුන් හට බත සැකසුණු අයුරු!

ඒ කාලේ රාජ රාජ කුමාරවරුණට ආහාරපාන සැකසුවේ හරිම පුදුමාකාර විදිහට. මේ කියන්නට යන්නේ අප බෝධිසත්වයන් වහන්සේ ලොව පහල වී සිටි කල්හි පසුකලෙක සාසනයේ අසුමහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු වූ සොණ කොළිවිස සිටු කුමරු හට කිරිබත් සැකසු අයුරුයි. මෙය කියවන ඔබට සිදුහත් කුමරුට බත සරිකල අයුරු සිතා ගත හැකිවේවි.

ඔහුට මෙබදු වූ ආහාරවිධානයක් වුණා. කිරිය සැටක් (මිනුම් දණ්ඩක්) පමණවූ තැනක් වපුරා ත්‍රිවිධ වූ ජලයකින් පෝෂණය කරනු ලබනවා. එනම් කෙතට පිවිසෙන්නාහු ජල මාර්ගයන්හි කිරිදියද, සුවදද, සුවද දියද, සැලි දහස් ගණන් එක් කරනු ලබනවා. ඇල්වී කිරිවදින කල්හි ගිරා ආදී ප්‍රාණීන්ගේ ඉදුල් කිරීම් වැලැක්වීම සදහාත්, වී ගැබේ සියුමැලි බව සදහාත්, කෙළවර සීමාවැටෙහිද අතරතුරද කණු සිටුවා ඒ මත්තෙහි දඩු තබා කලාලවලින් වසා හාත්පසින් තිර වටකොට සියල්ලට පසුව රැකවල්ලනවා. ශශ්‍ය නිපන් කල්හි ගබඩාවෙහි සිවුදෑ සුවදින් පිරිබඩ ගන්වා ඒ මත්තෙහි උතුම් සුවඳ මුසු කරනු ලබනවා. නොයෙක් දහස් ගණන් මිනිස්සු කෙතට බැස ඇල්හිස් නටුවෙන් සිද මිටි මිටි කොට රැහැනින් බැද වියලවනවා. ඉන්පසු ගබඩාවෙහි යටම මහලෙහි සුවද අතුරුවා ඒ මත්තෙහි ඇල්වී කරල් අතුරුවනු ලබනවා. මෙසේ එකක් හැර එකක් කොට අතුරන්නාහු ගබඩාව පුරවා දොර වසා තබනවා. නැවත ගබඩාව අරිනු ලබන්නේ තෙවසක් පැමිණුනායින් පසුවයි. මෙලෙස ගබඩාව විවරකල කල්හි සියලු නුවරම එහි සුවදින් සුවදවත් වෙනවා. ඇල් කෙටූවිට ධූර්තයෝ දහයියා විකුණා ගන්නවා. සහල් ඇගිටි (සුණු සහල්) සුළුසේවකයෝ ලබා ගන්නවා. සහල් කොටන කල්හි ඇල් සහල් තෝරා බේරා ගන්නවා. ඒවා රන්තීරු ඇති පසුම්බියක බහා සියවරක් පෙරා ගනු ලබනවා. ඉන්පසු එය කකාරවන ලද පිඩු රසෙහි එක්වරක් බහා උඩට ගනු ලබනවා. ගෑවුණු ගෑවුණු තැන රස වෑහෙන මෙම භෝජනය සමන් මල් බඳුනක මෙන් සුවඳ හමයි. ඒ දිව්‍යමය භෝජනය රන් තලියක බහා පැසවූ දිය අඩු මී පායාසයෙන් පිරවූ රිදී තලියක් මත්තෙහි තබා ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ඉදිරියෙහි තබනවා. හෙතෙම තමාට අවශ්‍ය ප්‍රමාණය පමණක් වළදා සුවද කැවූ දියෙන් මුව සෝදා අතපය සෝදනු ලබනවා. ඉන්පසු සෝදනලද අත්පා ඇති ඔහුට නොයෙක් ආකාර මුව සුවද ගල්වන දෑ පිළිගන්වනු ලබන්නේ ඉඳුල් සුවඳ යන්තමින්වත් මුව මතෙහි නොරැඳීමට. මේ සිටු පුතෙකුගේ එක් ආහාර වේලක්. රජකුමරෙකුගේ ආහාර වේලක් ගැන ඔබට දැන් සිතා ගත හැකියි. ඒ සිටු කුමාරටත් සිද්ධාර්ථ කුමාරට වගේම මාළිගා තුනක් තිබුණා. ඔහුට ඒ සැප සම්පත් ලැබීමට හේතුවාසනා වූ කුසලයට පාදක වූ සම්පුර්ණ කතාව මම ජීවතුන් අතර සිටියොත් ඉදිරියේදී අසූමහා ශ්‍රාවකයන් ගැන ලියවෙනවිට ඔබට කියවන්නට ලැබේවි.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 162

දෙව්දත් කුමරුගේ අරගල

සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරු ද ඇමති පුත් කාලුදායි වත්ස ආදීහු ද, රියදුරු පුත් ඡන්න ආදීහු ද, බෝසත් සිදුහත් කුමරාණන්ගේ බොහෝ මිතුරෝ වුණා. එහෙත් කිසිවිටෙකත් දෙව්දත් කුමරු සිදුහත් කුමාරයන්ගේ කෙළි මඩලට පැමිණියේ නැහැ. හෙතෙම ක්ෂත්‍රියමානයෙන් මත්වුවෙක් වගේම සැඩපරුෂ පුද්ගලයෙක්. සිද්ධාර්ථ කුමාරයාණන් ඡන්න ආදී සේවකයන්ගේ දරුවන් හා මිත්‍ර ලීලාවෙන් ගැවසීම ඔහු ඉවසුවේ නැහැ. තමාට පහත් අය හා සමාගම් නොපවත්වන්න යනුවෙන් ඔහු බෝසතාණන්ට නිතරම උපදෙස් දුන්නා. එවැනි අවස්ථාවල එහෙත් බෝසතාණන් වහන්සේ ඔහුගේ බසට කිසිම විදිහකින්වත් කන් දුන්නේ නැහැ. එවැනි අවස්ථාවල දෙව්දත් කුමරා කලේ සුදොවුන් මහ රජුන් වෙත ගොස් සිදුහත් කුමරු පහත් කුලවල අය හා සමග සමානයන් හා සේ එක්ව වෙසෙතැයි යනුවෙන් පැමිණිලි කිරීමයි. එහෙත් බෝසතාණන්ගේ හැටි දන්නා රජතුමා ඒ සඳහා කිසිවක් කීවේ නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ.

හංසයා අරභයා වූ නඩුව.

දවසක් බෝසතාණෝ තමන්ගේ කෙළි මඩලෙහි සිට එනවිට තමා ඉදිරියේ කිසිවක් වැටෙනු දැක දිවගොස් විපරම් කළා. ඒ එක් තටුවක ඊයක් ඇනී බිම වැටුණු හංසයෙක්. බෝසතාණන් වහන්සේ වහාම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙදරට පැමිණියා. දෙව්දත් කුමරු තමා විද බිම හෙලූ හංසයා කොහෙදැයි සොයමින්

එන විට සිදුහත් කුමරුන් දැක “ඔය මම විද බිම හෙළු හංසයා ඒ නිසා වහාම එය මට දෙන්න” කියා හඬ නගන්න වුණා. බෝසතාණන් වහන්සෙ ඔහු කී දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔහුට ඇහුම්කන් නොදීම තුවාල වූ හංසයාව රජමාලිගාව තුලට රැගෙන ගියා. ඊට පස්සේ උන්වහන්සේ කළේ ඔහුගේ තුවාලයට බෙහෙත් කිරීම. දෙව්දත් කුමරු ගොස් සුද්ධෝදන රජ්ජුරුවන්ට මේ සම්බන්ධව පැමිණිලි කළා. රජතුමා පුත් කුමරු කැඳවා ප්‍රශ්න කර සිටියා. තමාට හමුවූ ඒ අසරණ සතා සුවපත් කොට මුදා හරිනු මිස ඔහුට හිංසා පීඩා කරන්නෙකුට නැවත ලබා නොදෙන බව බෝසතාණන් වහන්සේ තරයේම කියා සිටියා. මතු රටේ පාලනය භාර ගන්ට සිටින මේ දරුවන් කුඩා වියේ සිටම රටේ නීතියට අනුව සිතන්නට කටයුතු කරන්නට පුරුදු විය යුතු යැයි සිතූ රජතුමා නුඹලාගේ නඩුව රාජ සභාවට පැමිණිලි කරන්නැයි දෙව්දත් කුමරුට කීවා. ඔහුත් ඒ අයුරින්ම එසේ පැමිණිලි කළා. රජතුමා රාජ සභාව කැඳවා තම පුතාත් බෑණනුවනුත් අතර ඇති ආරවුල විසඳා අවවාද කොට තීන්දුව දෙනමෙන් නියෝග කළා.

සිදුහත් කුමරු හා දෙව්දත් කුමරු අතර ඇති වූ අරගලය විසඳීමට රාජ සභාව රැස්වීම.

රාජ සභාව රජුගේ අණින් රැස්වුණා. කුමරුන් දෙදෙනාම රාජ සභාවට කැඳවනු ලැබුවා. එම හංසයා දෙව්දත් කුමරුවාණන් විසින් විද බිමැ හෙලූ බැවින් ඒ හංසයා ඒ කුමරුන්ටම අයිති බවත් එමනිසා දෙව්දත් කුමරුනට හංසයා භාරදිය යුතු බවත් එක්කෙනෙක් හැර අනිත් සියලු සහ සගයෝ තීන්දු කරමින් ප්‍රකාශයට පත්කලා. එය ඇසු සැණින්ම සිද්ධාර්ථ කුමාරයෝ නැගී සිටියේ විදුලියක් වගේ. නැගී සිටි ඔහු රාජ සභාවෙන් මෙලෙස විමසා සිටියා.

රාජ සභාවක් නිරුත්තර කල සිදුහත් කුමරුගේ තර්කය

“අහසේ නිදහසේ පියාසර කරන කිසිදු පක්ෂියෙක් මිනිසුන්ට අයත් නැත. උන් පෙළීමට ද කිසිවකුට අයිතියක් නැත. එබැවින් උන් පිළිබඳ අයිතිවාසිකම් පැවැසීම වියරුවකැයි පවසා සිටි ඔහු ජීවියකු අයත් වෙතොත් අයත්වියයුත්තේ උගේ දිවි නසන්නාට ද? එසේත් නැතහොත් ඔහුගේ දිවි රකින්නාට ද ?යනුවෙන් ප්‍රශ්නකර සිටියා. බෝසතාණන් වහන්සේ ඉදිරිපත් කළ යුක්තිසහගත ප්‍රකාශයට සවන් දුන් රාජ සභාවම ගොළු වුණා. මද වේලාවක් යනතුරු මුළු පරිසරයම නිහඬ වුණා. ස්වල්ප වේලාවකින් පසු එක් මහලු සහ සගයෙක් නැගිට මෙලෙස අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

“ජීවියකු අයත් වන්නේ ඔහුගේ ජීවිතය රකින්නාට මිස නසන්නාට නොවේ” යැයි එම වයෝවෘද්ධ රාජ අමාත්‍යවරයා කියා සිටියා. එබැවින් හංසයා තවද දිවි ඇති බැවින් සිදුහත් කුමරුට ඔහුගේ සම්පුර්ණ අයිතිය හිමිවන බව කියා සිටියා. එවිට සියල්ලන්ටම කාරණය අවබෝධ වුණා. නඩුවෙන් පැරදුණු දෙව්දත් කුමරු කෝපයෙන් හා ලැජ්ජාවෙන් සභා ශාලාවෙන් බැස තමාගේ නිවෙස කරා යන්නට පිටත්වුණා. බෝසතාණෝ ද නික්ම ගියා. කීප දිනක් සාත්තු කොට සුවපත් වූ හංසයා පසුව බෝසතාණන් වහන්සේ විසින් මුදා හරිනු ලැබුවා.

මෙය කියවන ඔබත් සමහරවිට සතුන් දඩයමේ යන හෝ දඩමස් හෝ සත්ත්ව ආහාරයට ගැති වුවෙක් වියහැකියි. මෙය ඔබ විසින් ඔබගෙන්ම ප්‍රශ්ණ කල යුත්තක්. “ජීවියකු අයත් වන්නේ ඔහුගේ ජීවිතය රකින්නාටද? නසන්නාටද? “

මෙලෙස අපේ බුදුපියාණන් වහන්සේ අප වෙත පැනවූ ප්‍රථම ශික්ෂා පදය පටන් ගැනුනේ එතැනින් කියලයි මට හිතුණේ. අපව සතර අපා බියෙන් මුදවාලු ඒ මහා කරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

බෝසතාණන් වහන්සේ ඈත ගමන් අත්හැරීම

එක් දවසක් නෑ රජ කුමාරවරු කිහිප දෙනෙක් ඇවිත් සිද්ධාර්ථ කුමාරයන් ද කැඳවාගෙන ඇවිදින්නට ගියා. එදා කුමාරවරුන් සඳහා පිළියෙල කොට තිබුණු කෙළිබිම ද ඉක්මවා ඈත වන පෙදෙසකට ඔවුන් කුමාරයාව රැගෙන ගියා. එය ඉතාම සුන්දර හිංසාකාරී නොවෙන ඈත මෑත දිව ඇවිදින ගෝනුන් මුවන් ආදී සතුන්ගෙන් ගහන වන ලැහැබක්. කුමරා ඒ වනයේ සුන්දර පහස විඳමින් දසුන් නරඹමින් ඔවුන් හා සතුටු වුණා. එහෙත් හැම කණ්ඩායමකම ඉන්නවා නොසන්ඩාල වැඩ කරන කිහිප දෙනෙක්. මෙම මිතුරන් පිරිස අතරෙත් එවැන්නන් සිටියා. ඔවුන් අන් අය වගේ දසුන් නරඹමින් පමණක්ම සතුටු වුණේ නැහැ. සතුන් ලුහුබැඳ ගොස් ඉන් ඔවුන් විද මරා දඩයම් කරන්නටත් වුණා. මෙය දුටු සිද්ධාර්ථ කුමාරයාණන් මහත් වූ කම්පනයට පත්වුණා. ” අනේ තමන්ගේ දුක මිනිස් බසින් කියන්නට නොහැකි ගොළුවන් රැසක් බඳු වූ මේ අසරණ සතුනට ඇයි මෙහෙම හිරිහැර කරන්නේ? ඔවුන් මොන වරදක් කලාටද? කළේ හැදෙන වල් පැළෑටි අනුභව කරමින් තමන්ගේ පාඩුවේ නිදැල්ලේ ජීවත්වන මේ අසරණ සතුන්ට හිංසා කරන්නේ කුමක් නිසාද? කියා කලකිරී වහාම එහි නොසිට ආපසු මාලිගාව වෙත පියමැන්නා. ඉන්පසු ඔවුන් හා යළිත් කිසිම දවසක දුර ඈත කැළයට ඇවිදින්නට ගියේ නැහැ.

බාල වියේ සිටම සිදුහත් කුමාරයාණන්ගේ ජීවිතයෙහි කරුණාව මෛත්‍රිය ශාන්තිය පරෝපකාරය සමානාත්මතාවය යනාදී ශ්‍රේෂ්ඨ ගුණයෝ පිළිබිඹුව පැවතුණා. ඔහුගේ මේ ගති පැවැතුම් ඇසූ දුටු හැම දෙනාම ඔහු කෙරෙහි මහත් ආදරයක් දැක්වුවා. මෙලෙස බෝසතාණන්ගේ කීර්තිය හැම තැනම පැතිර ගියේ රජ වීමටත් පෙරාතුව. මගධ රට රජය කරවන මහා පද්ම මහරජ ද තම පුත් බිම්බිසාර කුමරු ලවා සිද්ධාර්ථ කුමාරයාට තුටු පඩුර යැවීම ආදියෙන් ඒ කුමාරවරුන් අතර මිත්‍ර සම්බන්ධකම් ඇති කළා. ඒ ආකාරයට තමයි බිම්බිසාර කුමරා හා සිද්ධාර්ථ කුමරා අතර ප්‍රථමයෙන්ම මිත්‍ර සම්බන්ධය ඇති වුණේ. ඒ සම්බන්ධ කම් බුද්ධත්වයෙන් පසුවත් බොහෝ කල් පැවතුණ ආකාරය ඔබහට ඉදිරියේදී කියවන්නට ලැබේවි. ලිච්ඡවී රජ දරුවනුත් විටින් විට බෝසතාණන් හට තුටුපඬුරු එවනු ලැබුවා. සෑම රජකෙනකුගෙන්ම බෝසතාණන් වහන්සේ වෙත සුබ හසුන් ලැබුණා. මෙලෙස ළමා වියේ සිටම සිද්ධාර්ථ කුමරා ජනපද අතර සියලු රජවරුන්ගේ ප්‍රසාදයටත් ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණේ සක්විති රජෙකුට අවැසි කීර්ති රාවය පෙරනිමිති පතුරවමින්.

උපකාරක ග්‍රන්ථ -. බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේගේ සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 163

බුද්ධත්වය මග හැරවීම සඳහා නිමවූ තුන් ප්‍රාසාද, රම්‍ය සුරම්‍ය සුභ

මෙතැන් සිට ලියැවෙන ලබන ප්‍රසාද තුන පිළිබඳ විස්තර මා විසින් උපුටා ගන්නා ලද්දේ බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමිපාණන් වහන්සේගේ බුද්ධ චරිතය පොතෙනි. ඊට හේතුව වූයේ ජාතකට්ඨකතාවේ ඒ පිළිබඳව සුළු විස්තරයක් ඇතත් වැඩි විස්තරයක් සොයා ගැනීමට මා හට කාල වේලාවක් නොමැති වීමයි. එබැවින් මේ අවස්ථාවේදී බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමිපාණන් වහන්සේ හට ගෞරවපූර්වකව පුණ්‍යානුමෝදනා කර සිටින්නෙමු.

උතුරු දඹදිව කාලගුණය ශීත ඍතුව, ග්‍රීෂ්ම ඍතුව, වර්ෂා ඍතුව යනුවෙන් ඍතු තුනක්ව පවතී. ශීත ඍතුවට අයත් මාස සතරෙහි දැඩි සීතලද, ග්‍රීෂ්ම ඍතුවට අයත් මාස සතර, දැඩි උෂ්ණය ද, වැසි ඍතුවට අයත් මාස සතර තොරතෝංචියක් නැති වැස්ස ද වශයෙන් පවතිනවා. එබැවින් සමහරු තමන්ට අහිතකර ඍතු ගුණය ඇති මාසවල සෞම්‍ය ඍතු ඇති වෙනත් පෙදෙස් වලට යන්නට පුරුදුව සිටියා. තවත් ඉතා ධනවත් සිටුවරු රජ කුමාරවරු වැන්නන් තමන් ඉන්නා පෙදෙසේම වෙනස්වන ඍතු ගුණය අනුව එයට ගැලපෙන පරිදි නිවාස පිළියෙළ කරවාගෙන ඒ ඒ ඍතුවලදී ඒවාට මාරුවෙමින් සුවපහසුවෙන් ජීවිතය ගත කළා. යසකුල පුත්‍රයාට ද සිය පියා විසින් මෙලෙස ඍතුවලට සරිලන සේ නිමවූ ප්‍රසාද තුනක් කරවා තිබුණු බව මහා වග්ග පාලියේ දැක්වෙනවා. ඒ වගේම මීට පෙර ඔබ හට රාජභෝජන සැකසීම පිළිබඳව ලියූ ලිපි පෙළට පාදක වූ කොළිවිස සොණ තෙරණුවන්ගේ කථා වෘත්තයේ ද මෙවැනිම ප්‍රසාද තුනක් ඒ තෙරණුවන් සිටුවරයෙකුගේ පුතෙක් වශයෙනි ගිහි ගත කල ජීවිකාව කරන අවස්ථාවේදී තම පියා විසින් නිමවා තිබූ බව අංගුත්තර නිකායට්ඨකථා වෙහි සඳහන් වනවා.

රම්‍ය ප්‍රසාදය

ඒ එකක් පිළිවෙලින් බෝසතාණන් වහන්සේ සොළොස් වියට පාතැබුවා. රජතුමා බෝසතාණන් වෙනුවෙන් හේමන්ත, ග්‍රීෂ්ම, වර්ෂා යන ත්‍රිවිධ ඍතුවලට සුදුසු පරිදි මාලිගා තුනක් කරනු ලැබුවා. සිද්ධාර්ථ කුමරාහට සීත ඍතුවේ දී වාසය කිරීමට නිමවූ ප්‍රාසාදය රම්‍ය නම් වුණා. එය මහල් නවයකින් යුක්ත වූවක්. එම ප්‍රාසාදය උණුසුම ගන්වනු පිණිස එකකට එකක් අනුක්‍රමයෙන් මිටි වන ලෙසට එහි දොර කවුළු සිදුරු නැති වන සේ මනාව හේත්තු කොට නිමවා තිබුණා. ඒ එක්කම බිත්තිවල ඇවිලෙන මහා ගිණිදැල් සිතුවම් කොටද තිබුණා සියලු බුමුතුරුණු කම්බල වස්ත්‍ර වලින්ම සාදවා තිබුණා. එහිදී පරිභෝග කරන තිර, වියන්, සහ හැට්ට, හඳනා, පොරෝනා, වස්ත්‍ර ද හිස්වෙලුම් ආදිය දුහුල් වස්ත්‍ර වලින් නිමවා තිබුණා. සේවකයන් විසින් පහය තුළ උණුහුම ඇතිවන පිණිස දොරවල් ජනෙල් ද දහවල් හැර තබා රාත්‍රී කාලයෙහි වසා තබනු ලැබුවා.

 සුරම්‍ය ප්‍රාසාදය

ග්‍රීෂ්ම ඍතුවේ වාසය කිරීමට නිමවූ ප්‍රාසාදය සුරම්‍ය නම් වුණා. එය පස් මහලකින් යුක්ත වූවක්. එහි මහල්ද උසින් දිගින් පළලින් වැඩි කොට දොර ජනෙල් විවර සහිත කොට දැල් කවුළු ඇති කොට කරවනු ලැබුවා. බිත්තිවල නිල් මහනෙල් මල්, හෙල පියුම්, රත් පියුම් වැනි දියේ හටගන්නා මල්ද සිතුවම් කොට තිබුණා. බුමුතුරුණු, තිර, වියන්, සැට්ට, හඳනා,පොරෝනා වස්ත්‍ර හිස් වෙලුම් ආදිහු දුහුල් රෙද්දෙන්ම නිමවුණා. ප්‍රාසාදය අවට තැන තැන ජලයන්ත්‍රිකා කරවා තිබුණා. ඒ මගින් වැසි වස්නා සමයේ මෙන් නිතර පාහේ දියදහර විහිදෙන්නට වුණා. තැන් තැන්හි මඩ පිරවූ ඔරු තබවා ඒවායේ පස්වණක් පියුම් රෝපණය කොට තිබුණා. ප්‍රාසාදයේ දොර කවුළු දහවල්හි වසාද තබා රාත්‍රියේ විවර කොටද තැබුවා.

 සුභ ප්‍රාසාදය

බෝසත් කුමරු හට වැසි සාර මාසයෙහි විසීම පිණිස නිමවූ ප්‍රාසාදය සුභ නම් වුණා. ඒ මහල් සතෙකින් යුක්ත වූවක්. ශිතයත් උණුහුමත් ප්‍රමාණවත්ව ඇති වන්නට එහි මහල් වඩා මිටිත් වඩා උසත් නොවනසේ මැදුම් පමණින් කරවා තිබුණා. සමහර දොර කවුළු හොඳට හේතු වන ලෙසටද සමහරක් එතරම් හේත්තු නොවන ලෙසටද නිමවා තිබුණා. බිත්තිවල කිසි තැනක ගිනිජාලාද කිසිතැනක ජලජ පුෂ්ප ද සිතුවම් කොට තිබුණා. ඇතැම් දහවල් විවෘතව ද රාත්‍රියේ වසන ලද්දේ ද වුණා. සෙසු කවුළු දහවල් වසා තබා රාත්‍රියේ විවර කොට තැබුවා.

මෙලෙස සිදුහත් කුමරා මේ තුන් ප්‍රාසාදයේ වෙසෙමින් ඒවායේ නිතර පැවැත්වෙන නෘත්‍යගීතා දී දකිමින් අසමින් මහත් සිරි සැපතින් වැඩෙමින් තරුණ වියට පැමිණුනා. සතලිස්දහසක් නිළියෝ බෝසතුන්ව සතුටු කළා. ඒ අප මහා බෝසතාණන් වහන්සේ දෙව්ලොව අප්සරාවන් පිරිවරාගත් දිව්‍ය රාජයෙක් මෙන් අලංකෘත නලගනන් විසින් පිරිවරන ලදුව පිරිමි පහස නැති ඒ ප්‍රාසාද තුළ සතුටින් කාලය ගත කළා. මේ සියලු මායාවන් මෙලෙස පැවතියේ බුද්ධත්වය කරා යන ගමන වෙනස් කිරීමට. එහෙත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතාවන්ට එයද අභියෝගයක් වුණේ නැහැ.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 164

සිදුහත් කුමරු ශිල්ප දැක්වීම. 01

මෙලෙස සිදුහත් කුමරා මේ තුන් ප්‍රාසාදයේ වෙසෙමින් ඒවායේ නිතර පැවැත්වෙන නෘත්‍යගීතා දී දකිමින් අසමින් මහත් සිරි සැපතින් වැඩෙමින් තරුණ වියට පැමිණුනා. සතලිස්දහසක් නිළියෝ බෝසතුන්ව සතුටු කළා. අප මහා බෝසතාණන් වහන්සේ දෙව්ලොව අප්සරාවන් පිරිවරාගත් දිව්‍ය රාජයෙක් මෙන් අලංකෘත නලගනන් විසින් පිරිවරන ලදුව පිරිමි පහස නැති ඒ ප්‍රාසාද තුළ සතුටින් කාලය ගත කළා. මේ සියලු මායාවන් මෙලෙස පැවතියේ බුද්ධත්වය කරා යන ගමන වෙනස් කිරීමට. එහෙත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතාවන්ට එයද අභියෝගයක් වුණේ නැහැ.

 ඤාතීන්ගේ දෝෂාරෝපණය

මෙසේ මහත් සම්පත් විදිමින් කල්ගත කරන අතර එක් දවසක් ඤාති සමුහයා අතර මෙබදු කථාවක් ඇතිවුණා. “සිදුහත් කුමරු ක්‍රීඩාලෝලී ව සිටියි. කිසි ශිල්පයක් නොහදාරයි. යුද්ධයක් ආ කල්හි කුමක් කරන්නේද?” රජතුමා බෝසතුන් වහන්සේ කැදවා මෙසේ විමසනු ලැබුවා.

“දරුව, ඔබ ඤාතීන් සිදුහත් කුමරු කිසි ශිල්පයක් නොහදාරා ක්‍රීඩාවෙහි නිරත ව සිටියි කියති. යුද්ධයක් පැමිණි කල්හි කුමක් කරන්නට සිතා සිටින්නෙහිද?”

එවිට කුමරා මෙසේ පිළිතුරු දුන්නා.

“පියාණෙනි, මා හට දිනපතා ශිල්ප හැදෑරීමේ අවශ්‍යතාවක් නැහැ. මගේ ශිල්ප දැක්වීම සදහා නුවර බෙර හසුරවනු මැනවි. මෙයින් සත් වන දවස ඤාතීන්ට ශිල්ප දක්වමි. “

 ශිල්ප දැක්වීම පිළිබඳව අඬබෙර පැතිරවීම

රජතුමා කුමරු කී අයුරින්ම අණබෙර පතුරුවා බෝසතාණන් හට ඒ බව දන්වා සිටියා. කුමරා “පියාණෙනි යහපතැ යි, මෙයින් සත්වැනි දිනයේදී රාජංගනයේ ශිල්ප දක්වන්නෙමියි” පවසා තම මාලිගාව වෙත පියමැන්නා.

රජු නගරයේ බෙර හඬ නංවා දුනු ශිල්පීන් කැඳවනු ලැබුවා. සැටදහසක් දුනුවායෝ ඒ සඳහා ඒකරාශී වුණා. ඔවුන් විවිධ දක්ෂතා වලින් කෙළපැමිණියන්. රජු ඔවුන් හට රැස් කළ කාරණාව දන්වා සිටියා. නගරවාසීන්ද ශිල්පය බැලීම සඳහා බෙර හඩ නංවා රාජාංගණයට රැස්කරවනු ලැබුවා. රාජ රාජ අමාත්‍යවරුන් ශාක්‍ය වංශිකයන් ඇතුළු සියලු නෑයන් පිරිවරාගෙන රජතුමා ඇතුළු පවුලේ සැමද නියමිත දිනයේදී රාජාංගනයට පැමිණියා. සිදුහත් කුමරු ගුරුතුමා විසින් දෙනලද දුන්න, කිණිහිර, සන්නද්ධ සැට්ටය, හිස් පළඳනාව ඇතුළු සියලු ආරක්ෂක උපකරණද, ශිල්ප දැක්වීමට ඇවැසි සියලුම අංගෝපාංග වලින් ද සමන්විතව පැමිණ රජතුමා සමීපයට ගොස් එකත් පසෙක සිටියා. ඉන් පසු නියමිත වේලාව පැමිණි කල රජු කුමරු අමතා “පුත දැන් ශිල්ප දැක්වීම සඳහා සුදුසු කාලයයි කියාසිටියා.

 ඊතල වැළක්වීමේ ශිල්පය

කුමරු හණ රෙද්ද ඇතුළතින් තිබූ සළුව ඉවත්කොට සන්නාහ සන්නද්ධ හැට්ටයත් උරහිස් හිස් පළඳනාත් ඉවත්කොට එළු අඟක බහා තිබූ දුන්නෙහි පබුළු වර්ණ දුනුදිය නංවා කිණිහිර පිටෙහි බැඳ කඩුව වමතින් ගෙන දියමන්ති අග ඇති නාරාවය (යකඩ හුල) නියපිටින් පෙරළමින් හණරෙද්ද විවරකොට පොළොවට ගසා බිඳ, අලංකාර වූ ඇත් පැටවකු මෙන් නික්ම ගොස් රජුට ගෞරව දක්වා සිටියා. ඒ දැක මහජනයා ප්‍රීති ඝෝෂා කරන්නට වුණා.විවිධ නාද නංවන්නට වුණා. අත්පොළසන් දෙන්නට වුණා. ඉන්පසු කුමරා රජතුමනි ඔබතුමාගේ දුනු ශිල්පීන් අතර සිටින අක්ෂණවේදීන්, වාලවේදීන්, ශබ්ද වේදීන්, ඊතල විදින්නන් යන සතර ධනුර්ධරයන් කැඳවන්නැයි කියා සිටියා. ඒ අනුව රජතුමා විසින් ඔවුන්ව කැඳවනු ලැබුවා.

බෝධිසත්ත්වයෝ රාජ අංගනයෙහි චතුරස්‍රය අභ්‍යන්තරයේ කරවා තිබූ මණ්ඩපයේ කොන් සතරෙහි කැඳවනු ලැබූ දූතයන් සතර දෙනෙකු තබා එකිනෙකාට ඊතල තිස් දහසක් බැගින් දී එකිනෙකාට සමීපව ඒවා බෙදා දෙන්නෙකුද රඳවා තබා ඔහු දියමන්ති අගින් යුත් යකඩ හුල්කටුව බැගින් ගෙන්වාගෙන මණ්ඩපය මැද සිට “මහරජතුමනි, මේ ධනුර්ධයන් සතර දෙනා එකවර ඊතල දමා මා හට විදිත්වා, මම මේ සියල්ල නවත්වන්නෙමියි කියා සිටියා. රජතුමා හට තම පුතු පිළිබඳව බිය දැනෙන්නට ඇති. එහෙත් ඊටත් වඩා ඔහුගේ පෞරුෂත්වය පිලිබඳ ඇති විශ්වාසය බලවත් වෙන්නට ඇති. රජතුමා දුනුවායන් හට “එසේ කරව්” යනුවෙන් අණකරනු ලැබුවා. එහෙත් ධනුර්ධරයෝ බොහෝ බියට පත්වුණා. ඔවුන් යටහත් පහත්ව රජු වෙත් පැමිණියා. පැමිණ මෙසේ පවසනු ලැබුවා.

දුනු හේවායන් බියට පත්වීම.

මහරජතුමනි,

අපි අකුණු සැරින් විදින්නන්, ඝන අදුරේ විදින්නන්, ශබ්ද වේදීන්, ආයුධවේදීන් ඊතල ආදී දෙයින් නානාවිධ උපක්‍රමයන්ගෙන් විදින්නන්. අපගේ කුමරා තවමත් තරුණ වියේ පසුවෙයි. එම නිසා අපහට විදිය නොහැකිය. එයට හේතුව සුලු අත්වැරදීමක් නිසා ජිවිත හානියක් සිදුවිය හැකියි. එහෙත් කුමරාගේ තීරණයට හිසනැමීමට මිස වෙනස් කිරීමට ඔවුනට හැකිවුයේ නැහැ. බෝධිසත්ත්වයන් වහන්සේ නැවතත් ඔවුන්ව තමන් සිටිය යුතු ස්ථාන වලට විසිරුවා හැරියා.

ඊතල වැළක්වීමේ ශිල්පය

ඔවුන්ට අකමැත්තෙන් වුවද රාජ අණට කීකරු වීමට සිදුවුණා. ඔවුන් සතර දෙනාම එකවර සතර දෙසින් ඊතල එවනු ලැබුවේ කොතරම් වේගයෙන්ද යත් එක්කෙනෙක් සතු තිස්දහසක් ඊතල නිමවීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ වගේම ඒ ඊතල ගුවන සිසාරා එල්ලය කරා පියඹා යන සද්දයෙන් මුළු රාජාංගනයේම අහස්කුස ගිගුම් දුන්නා. බෝධිසත්ත්වයන් වහන්සේ නාරස්සනෙන් පහරදී ඒ සියලු ඊතල තමා අභියස බිම හෙලනු ලැබුවා. අවසානයේ හීතල හඬ පමණක් ගුවනේ ඉතිරිවෙමින් දුනුවායන්ගේ ඊතල ක්ෂය වුණා. ඔහු ඊතල අවසන් වූ බව දැන ඊතල හඬ අවසන්වීමට පෙර පලාගොස් රජු සමීපයේ සිටගත්තා. සතුට වැඩි වුණාම දුගීජනයා එය මුළු සර්වන්ගයෙන්ම ප්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම උද්ධාමයට පත් මහජනයා හඬ නගන්නට වුණා, අත්පොළසන් දෙන්නට වුණා, ගල් උඩ යන්නාක් මෙන් අමුතු ආකාරයට දුවන්නට වුණා, අසුරු පහර දෙන්නට වුණා, මහා කෝලාහලයක් කර වස්ත්‍රාභරණයෙන් දමා ගැසුවා.

රජතුමා පුතුගෙන් මෙලෙස ප්‍රශ්න කොට සිටියා.

රජතුමා – ” පුත මේ කුමන ශිල්පයද?

කුමරුන් – ” පියාණෙනි, මෙය ඊතල වැළක්වීමේ ශිල්පයයි.

රජතුමා – මෙම ශිල්පය වෙනත් කිසිවෙක් දන්නෙහිද?

නැත පියාණෙනි, මා හැර මුළු දඹදිව් තලයම අන් කිසිවෙක් නැත මහරජතුමනි. එ පමණක් නො ව, අන්අයට අසාධාරණ වූ ශිල්ප ක්‍රම දොලසක් දන්නෙමි.

රජතුමා – එසේ නම් වෙනත් ශිල්පයක් දක්වව.

සැළකිය යුතුයි. – මෙහි දක්වන ලද ශිල්ප දැක්වීම පිළිබඳව වැඩි විස්තරයක් අවිදුරේ නිධානයේ සඳහන් නොවේ. ඒ වෙනුවට එහි “ශිල්ප දැක්වීමේදී අනෙකුත් දුනු හේවායනට අසාධාරණ වූ කුමරුන්ට පමණක් සාධාරණ වූ ශිල්ප ක්‍රම දොළසක් සරභංග ජාතකයේ පරිදී දත යුතු” යැයි සඳහන් කොට ඇත. එම නිසා මෙම ශිල්ප දැක්වීම එතැනින් උපුටාගත්තකි.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 165

සිදුහත් කුමරු ශිල්ප දැක්වීම. 02

දේවයන් වහන්ස මේ සිව්කොණේ සිටවු දක්ෂ දුනුහේවායන් සතර දෙනෙකුට මට විදීමට නොහැකි වුණා. හොඳයි මම දැන් ඔවුන්ව සිව්කොනේ රඳවා එකම ඊතල පහරින් සතර දෙනාටම විදිනවා. ඔබට එය වැළක්විය හැකිද? එහෙත් දුනුවායෝ එසේ සිටීමට නො සමත් වුණේ බියට වෙන්න ඇති. . බෝධිසත්ත්වයෝ සතර කොණ්වල කෙසෙල් ගෙඩි සතරක් තබා නාරසන්නය තුඩෙහි රතු නූල් කැබැල්ලක් බැද, එක් කෙසෙල් ගෙඩියක් ඉලක්ක කොට දමා ගසනු ලැබුවා. හරිම පුදුම දෙයක් වුණා. නාරසන්නය එල්ල කරනු ලැබූ කෙසෙල් ගෙඩිය විද අනතුරුව සතර කොණේ තිබු දෙවෙනි තෙවෙනි හතරවෙනිද යන කෙසෙල් ගෙඩිද සිදුරු කරමින් යළිත් පළමු පරිද්දෙන්ම විද නැවත අතටම පැමිණියා. කෙසෙල් නූලේ දැවටී තිබුණා. මහජනයා දහසක් ප්‍රීතිඝෝෂා පවත්වනු ලැබුවා.

රජතුමා, දරුව, එය කුමන ශිල්පයක් ද? දෙවියන් වහන්සේ එය චක්‍රවිදීමනම් වනවා.

දරුව තවත් ශිල්පයක් දක්වන්න.

බෝධිසත්ත්වයෝ ඊතල යෂ්ටි නම් ඊතල රැහැන් නම්, ඊතල වේය නම්, ඊතල ප්‍රසාද නම්, ඊතලය මණ්ඩප නම්, ඊතල හිණිමග නම්, ඊතල ප්‍රකාර නම්, ඊතල පොකුණ නම් ඊතල පියුම් නම් ආදිය ඊතල පිපුනේ නම් යනාදී අනෙකුත් දුනුහේවායනට අසාධාරණ ඔහුට පමණක්ම කළහැකි ඊතල දුනු හරඹ මාලාවක් කරවමින් ඊතල වර්ෂාවක් වැස්ස වනු ලැබුවා. මේ ආදී තවත් අනභිබවනීය ශිල්ප දොලසක් පමණ දක්වා පෙන්වා යළිත් අසාධාරණ මහ කඳන් හතක්ද, බිඳවාලනු ලැබුවා. අඟල් අටක් පමණ ඝනකම දිඹුල් කොටයකට ද විදනු ලැබුවා. අඟල් සතරක් පමණ ඝනකම පියාගස් ලෑල්ලක් ද අඟල් දොළහක් ඝනකම තඹ පුවරුවක් ද, අඟල් එකක් ඝනකම යකඩ පුවරුවක්ද, ඒකාබද්ධ වූ පුවරු සියයක්ද, පිදුරු ගැලක් ද, වැලි ගැලක් ද , ලෑලි ගැලක්ද යන ඒවාට ඉදිරියෙන් හීය විධ පසුපසින් නික්මවාලනු ලැබුවා. ජලයෙහි ගොනුන් සතර දෙනෙකුටද ගොඩබිම වෘෂභයන් අට දෙනෙකුටද සිටින තැනට ඊතල යැවීය. ගොඩබිම වාතයේ සංඥාවෙන් ගොනුන් මත්තෙහි වූ අශ්ව ලෝමයක්ද සිදුරු වන සේ විදුණු ලැබුවා. බෝසතාණන්ගේ මෙපමණ ශිල්ප දක්වන අතර තුරේම හිරු බැස ගියා. ඔල්වරසන් හඬ ප්‍රීති ඝෝසා හඬ නගමින් සියල්ලොම සතුටින් විසිර ගියා.

සැළකිය යුතුයි. – මෙහි දක්වන ලද ශිල්ප දැක්වීම පිළිබඳව වැඩි විස්තරයක් අවිදුරේ නිධානයේ සඳහන් නොවේ. ඒ වෙනුවට එහි “ශිල්ප දැක්වීමේදී අනෙකුත් දුනු හේවායනට අසාධාරණ වූ කුමරුන්ට පමණක් සාධාරණ වූ ශිල්ප ක්‍රම දොළසක් සරභංග ජාතකයේ පරිදී දත යුතු” යැයි සඳහන් කොට ඇත. එම නිසා මෙම ශිල්ප දැක්වීම එතැනින් උපුටාගත්තකි.

උපකාරක ග්‍රන්ථ – සරභංග ජාතකය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 166

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව.

එක් දිනක් සුද්ධෝදන මහරජු හා සෙසු රජුහු හා මැතිවරුන් කිඹුල්වත් පුර සංස්ථාගාර ශාලාවෙහි රැස්ව රාජ්‍යය කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් සිටියා. එහිදී මහලු ශාක්‍ය රජවරු සුද්ධෝදන මහරජුට දේවයිනි අනාවැකි කරුවන් කී පරිදි සිද්ධාර්ථ කුමාරයෝ ගිහිගෙහි විසුවොත් චක්‍රවර්ති රජ කෙනෙක් වනවා මෙන්ම පැවිදි වුවහොත් බුදු බව ලබනවා. ඔබත් අපත් පතනුයේ ඔවුන් චක්‍රවර්ති රජ කෙනෙකුන් වීම මිස බුදු කෙනෙකුන් වීම නොවේ. මෙසේ වූ කළ පෙරද චක්‍රවර්ති රජුන් සිටි අපේ වංශය නොසිඳී දිගටම පවතීවි. එවිට අපි සැම සෙසු රටවල රජුන් විසින් මානිත පූජිත වන්නෙමු. එබැවින් කුමාරයන්ට ස්ත්‍රී ගණයා සහිත කුමරියක පාවා දිය යුතු කාලය පැමිණ ඇතැයි කියනු ලැබුවා. එවිට ශුද්ධෝදන රජු, ” එසේය එසේනම් කුමාරයන්ට සුදුසු කුමරියක සොයා බලන්න යයි’ යනුවෙන් ඔවුනටම ඒ කාර්යය පවරනු ලැබුවා. එවිට එහි සිටි එක් රජෙක් “මගේ දුව සුදුසු යැයි” කියනු ලැබුවා. සෙසු රජවරු ද අපේ දූවරු සුදුසු යැයි කියන්නට වුණා. එවිට සුද්ධෝදන රජු සිද්ධාර්ථ කුමාරයා ලෙහෙසියෙන් අනුන්ගෙ බසට නොනැමෙන කෙනෙක් එහෙයින් පළමුකොට ඔවුන් කැමති කුමරිය කවරේදැයි ගොස් ඔහුගෙන්ම අසමු යැයි කියන්නට වුණා.

ඉන්පස්සේ සුද්ධෝදන මහරජු ප්‍රධානකොට ඇති ඒ හැමදෙනාම සිද්ධාර්ථ කුමාරයන් වෙත එළඹුණා. එළැඹි කාරණය සැළ කර සිටියා. මම මෙයින් සත්වැනි දිනෙහි උත්තරයක් දෙන්නේමෙයි කුමාරයා ඔවුනට පවසනු ලැබුවා ඉක්බිති එතුමෝ විවේකීව හිඳ මෙසේ සිතූවා. කම් සැපෙහි දොස් අනන්තය. කලහ වෛරය ශෝක නානාවිධ දුක් කරදර ඇතිවීමට කම්සැපත මුල්වේ. කම්සැප බියකරුය. කෑ කෙණෙහි දිවි නසන විෂ පලපත්‍ර බඳුය. ගිනි ජාලාවක් බඳුය .කඩු මුහුණතක් බඳුය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නොවේ.ගණයකට වී ධාන්‍ය සමාධි සැපයෙන් වසන්නට ඇතොත් මැනවි.මෙසේ සිතා මාගේ අදහස පියාණන්ට දන්වා කිසිසේත් වන වාසයට යන්නට නම් අවසර ගත නොහැකියි. ඒ නිසා ඔවුනට කළ නොහැකි දෙයක් ලියා දන්වමි සිතා බෝසතාණන් විසින් පතන මෙම ගුණාංග 32 කින් යුතු ස්ත්‍රියක් පිළිබඳව මෙලෙස ලිපියක් සැකසූවා.

මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇති කෙනෙකු විය යුතුයි.

එනම් ඇය:

  1. රූප මදයෙන් මත් නොවිය යුතුයි.
  2. මවක සේ සොයුරියක මෙන් මෙත් සිතැතියක් සේ විය යුතුයි.
  3. මහණ බමුණන්ට දන් දීමෙහි ඇලුණු කෙනෙක් විය යුතුයි.
  4. මානය නැති
  5. කිපෙන ගතිය නැති
  6. ශඨ බව
  7. ඊර්ෂ්‍යාව නැති
  8. වංක බව යන දුර්ගුණ නැති
  9. ස්වාමි භක්තිය ඇති
  10. උඩගු නොවූ
  11. හැඩිදැඩි නොවූ
  12. රසයෙහි ගිජු නොවූ
  13. ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාථා ගාලගෝට්ටි කෙරෙහි ඇලුම් නැති
  14. සුවඳ විලවුන් දැරීමෙහි ආශා නැති
  15. ලොහොබි නොවූ
  16. අන්සතු දේ දැක ආශා නොකරන
  17. සත්‍යවාදී වූ
  18. සැපතෙහි ආඩම්බර නොවන
  19. විපතේදී නොතැවෙන්න
  20. ඒ හැම තැනදී මධ්‍යස්ථව සිටින
  21. ලැජ්ජා භය ඇති
  22. දෘෂ්ට මංගල සුත මංගල (ප්‍රිය දෑ දැකුම් ආදියෙන් සුබ පල ලැබෙතැයි යන මතයෙන් නොඇලුණු)
  23. ගුණ දහමින් යුත්
  24. හැමකල්හි හිත කය වචනය යන තුන්දොර ම පිරිසිදු ලෙස රැක ගන්නා
  25. අලස බවින් කුසීත බවින් දුරු
  26. කුල මානවංශ මානයෙන් මන්මත් නොවූ
  27. විමසා කටයුතු කරන
  28. ධර්මචාරී වූ
  29. නැදි මයිලන් කෙරෙහි ගුරුනටසේ ආදර ගෞරව ඇති
  30. යටහත්
  31. මවක සේ කාරුණික
  32. කුහක නොවූ එකියක විය යුතුයි

මෙබඳු ගුණ ඇති කුමරියක ලදොත් පිළිගනිමි.

මේ කරුණු ලියා සුද්ධෝදන මහ රජුට ලැබෙන්නට සැලැස්සුවා. ශුද්ධෝදන රජතුමා ඇස් බැමි උස්සමින් නළල රැලි ගන්වමින් ඒ දෙස බලා ඉන්නට ඇති.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්ථගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 167

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 02

මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන දෙතිස් ගුණාංගයන්ගෙන් යුතු කෙනෙකු විය යුතු යැයි කුමරා බෝසත් බිරිඳක් සතු විය යුතු ගුණාංග පිලිබඳ විස්තරයක් සුද්ධෝදන මහ රජුට යවනු ලැබුවේ එවැනි කුල කාන්තාවක් කිසිදිනක සොයා නොගනීවි යයි සිතමිනි. එහෙත් ඒ සඳහාම පාරමී පුරමින් පැමිණ මේ සියලුම ගුණාංගයන් සහිතව තම ආදරණිය බිරිඳ යසෝධරා ඔහු උපන් දිනයේම මෙලොව එළිය දුටු බව ඔහුද දැන සිටියේ නැත.

සේවකයන් මෙම ලිපිය සුද්ධෝදන මහ රජුට දෙනු ලැබුවා. මහරජ එය කියවා බලා පෙරෙවි බමුණා කැඳවා ඔහුට මෙලෙස පවසනු ලැබුවා. “බමුණානෙනි, යන්න මෙහි සඳහන් ගතිගුණ ඇති කන්‍යාවන් ඇත්දැයි සොයා බලන්න. යම් කන්‍යාවක කෙරෙහි මේ ලිපියෙහි සඳහන් ගුණ ඇත්නම් ඇය ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කවර කුලයක එකියක වුවද කම් නැත. මාගේ පුතා කුලවංශ ගෝත්‍ර භේද නොසලකති. ඔහු ගුණ දහම පමණක් සළකනවා. ඒ නිසා වහාම මාව දැනුවත් කරන්න. යනුවෙන් කියා ඔහුව පිටත් කර යවනු ලැබුවා.

බමුණු තෙමේ ද ලියවිල්ල ගෙන විවිධ නගර වෙත යමින් මානාධික වූ ශාක්‍යකන්‍යාවන් අතුරෙහි හෝ අන් කුලවල දැරියන් අතර හෝ එම ගුණාංග වලින් යුතු කුමරියක් සොයන්නට වුවත් අවසානයේ එය නිෂ්ඵල කාර්යයක්ම වුණා. එහෙත් නොපසුබට වීර්යයෙන් තව දුරටත් ඇවිදින ඔහු එක් රාජ වංශිකයකුගේ මාලිගයකට පිවිසුණා. එවිට පෙර නොදුටු විරූ රූප සම්පත්තියෙන් යුතු කන්‍යාවක් ඔහු විසින් දුටුවා. බමුණා දුටු කුමරිය වහා ඉදිරියට අවුත් පෙරෙවි බමුණා ගේ පාමුල වැටී දෙපා අල්ලා ඔබට කුමක් අවශ්‍ය දැයි විමසනු ලැබුවා. එවිට බමුණා ඒ ලියවිල්ල පෙන්වා සුද්ධෝදන මහරජු සිද්ධාර්ථ කුමාරයාට මේ ලියවිල්ලෙහි දැක්වෙන ගුණ ඇති කෙනෙක් ආවාහ කොට දෙන්නට අපේක්ෂා කෙරෙයි යනුවෙන් පවසනු ලැබුවා. මේ කුමරිය නම් යශෝධරාවයි. ඕ ලියැවිල්ල අතට ගෙන කියවා බලා එහි සඳහන් සියලු ගතිගුණ තමා තුළ ඇති නියාව දැක “බමුණානෙනි, මෙහි සඳහන් හැම ගුණයක්ම මා කෙරෙහි ඇත. සිද්ධාර්ථ කුමාරයෝ මාගේ ස්වාමියා වෙත්වා එය කුමාරයන්ට කියන්න”එමෙන්ම පහත් ගති ඇති කිසිවකු හා එක්ව මාගේ වාසයක් ද නොවන්නේ යැයි කියනු ලැබුවා. යශෝධරාවෝ සුප්‍රබුද්ධ රජුගේත් සුදොවුන් රජුගේත් සොහොයුරියකගේ දියණියයි. බමුණානෝ ගොස් සුදොවුන් මහ රජුට යශෝධරාවන් පිළිබඳව තමා විමසා දත් සියල්ල සැළ කර සිටියා.

එවිට රජතුමා මෙලෙස සිතුවා. කුමාරයෝ ගුණ දහමෙහිම ඇලුණ කෙනෙක්. ඇතැම්විට ස්ත්‍රීහු තමන් කෙරෙන් නැති ගුණද ඇති සේ අඟවනවා. එනිසාම කුමරියක තෝරාගැන්ම කුමාරයන්ටම පැවරීම නුවණටහුරු යැයි සිතා එයට උපායක් යොදනු ලැබුවා. රජතුමා ස්ත්‍රී පළඳනා රාශියක් කරවා මේවා කුමරුන් ලවා රැස්වන ශාක්‍ය කුමාරිකාවන්ට දෙන්නෙමි මේවා දීමේදී යම් එකියක කෙරෙහි කුමරුවෝ වැඩි සැලකිල්ලෙන් බැල්ම හෙලූ නම් ඇය පාවා දෙමියි සිතා ගත්තා. ඉන්පස්සේ රන් රිදී මුතු මැණික් යොදවා ස්ත්‍රී පලදනා රාශියක් කරවනු ලැබුවා. ඉන්පස්සේ මෙලෙස නිවේදනයක් කරනු ලැබුවා.

“අද පටන් තව සතියකින් කපිල වස්තුවෙහි සංස්ථාගාර ශාලාවෙහි සිද්ධාර්ථ කුමාරයෝ පෙනී සිටින්නාහ. එහි එන සියලු දැරියනට තුටු පඳුරු දෙන්නාහ. ඒවා ලබනු කැමති සියලු දැරියන් එදා එම ශාලාවට පැමිණිය යුතුයැයි” සැමතැනම ඝණ්ටාඝෝෂාවන් කරවනු ලැබුවා.

සත්වෙනි දිනයෙහි බෝසතාණෝ ශාලාවට වැඩ තමන්ට නියමිත භද්‍ර ආසනයෙහි හිඳ ගත්තා. සුද්ධෝදන රජ ද කවර නම් තැනැත්තියකට කුමාරයාණන් වැඩි සැලකිල්ලක් දක්වන්නේදැයි විමසා රහසින් බලා සිටින්නට රාජ පුරුෂයන් කිහිපදෙනෙකු යොදවනු ලැබුවා. කුමාරිකාවන් කෙනෙකුට පසු කෙනෙක් පිළිවෙලින් කුමාරයන් වෙත පැමිණියා. සිද්ධාර්ථ කුමාරයාණන් රූපශ්‍රීයෙන් අගපත් නිසාද, එක්කම පැවැති තේජස නිසාද, පැමිණි කිසිම කුමරියක් කුමාරයාණන් දෙස කෙලින් බලන්නට නො සමත් වුණා. බිම බලාගත් වනම ඇවිත් කුමරුන් දෙන පඬුරු පිළි ගෙන වහා නික්මගියා. සිද්ධාර්ථ කුමාරයෝ ද තුටු පඬුරු දුන්න නමුදු ඒ කිසිම කුමරියක දෙස ඕනෑකමින් බැලුවේ නැහැ. මැදහත් බැල්මෙන් යුතුව ඒ හැමදෙනාටම තුටු පඩුරු දෙනු ලැබුවා. ශාලාව වටා ආසනවල හිඳ බලා සිටී ශාක්‍ය අධිපතීහු කුමාරයාණන්ගේ ඉරියව් දැක “මේ නම් මහ පුදුම කෙනෙක් දෙව් කුමරියන් බඳු මේ තරම් රුසිරු හෙබි මේ කුමරියන් දැක ද ඕනෑකමින් බැල්මකුදු නොහෙලා යි සිනහ පමණකුදු නො පෑය. කිසිකෙනෙකු විසිනුත් නමා ගත නොහැකි තද සිතක් ඇත්තෙකු යැයි” ඔවුන් නොවුන් කොඳුරන්නට වුණා.

සියලු කුමරියන් නික්ම ගොස් නොබෝ වේලාවකින් යශෝධරාවන් පැමිණියා. ඇවිත් කුමාරයාණන් වෙත ගොස් බලාගත් වනම සිටියා. මේ වන විට පිළියෙල කර තිබූ සියලුම පළඳනාද නිම වී තිබුණා. එහි යශෝධරාවන්ට දෙන්නට කිසිවක් ඉතිරිව තිබුනේ නැහැ. යශෝධරාවෝ කුමාරයන් ළඟටම ගියා. ගොස් සිනාමුසු මුහුණින් යුතුව “කුමාරයාණෙනි මට තුටු පඩුරක් නොදෙන්නේද? ඔබෙන් යමක් පතා ආ මට සැලකිල්ලක් නොදක්වන්නේදැයි” ඇසුවා.

එවිට කුමරු “ඔබට නො සලකන්නේ නොවෙමි. සියලු තුටු පඬුරු දී නිම විය. ඔබ ආවේ බොහෝ පරක්කු වී කියා සිනහ මුහුණින් යුතුව තමන්ගේ ඇඟිල්ලක තිබුන ලක්ෂ ගණනක් අගනා මුද්ද ගලවා ඇය අතෙහි තැබුවා. එවිට “මේ ඔබේ මුදුව පළඳින්නට මම සුදුසුදැයි ඇය ඇසුවා” එවිට කුමරා ” මෙය මා සතු මුද්දකි. මේ පිළිගන්න. එවිට යසෝධරාව අපි ඔබගේ පළඳනා හැරගෙන ඔබගේ ඇඟිලි හිස් කරන්නට කැමැති නැත යනුවෙන් පවසා සිටියා. එවිට කුමරා “අපි ඔබට සුදුසු පළඳනා වන්ගෙන් මෙලෙස සරසන්නෙමු” යනුවෙන් පවසනු ලැබුවා. එවිට යශෝධරාවෝ බොහෝ සතුටු සිත් ඇතිව ගරු බුහුමන් දක්වා නික්ම ගියා.

සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූණා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුණා යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ රජ එය අසා ප්‍රීතිව යශෝදරාවන්ගේ පියාණන් වෙතට ඔබ දුව මා පුත් කුමරාට පාවා දෙන්නේ යැයි දූතයකු යැවී ය

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 168

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 03

සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් “දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූණා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුණා” යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ රජතුමාත් එය අසා ප්‍රීතිව යශෝධරාවන්ගේ පියාණන් වෙතට “ඔබ දුව මා පුත් කුමරාට පාවා දීමට කැමතිදැයි අසා දූතයකු පිටත්කර යැවුවා.

බුද්ධත්වය පතා තම දියණිය හැර දා සිදුහත් කුමරු යයි යනුවෙන් බියවූ යසෝධරාවගේ පියාණන් විවාහ යෝජනාවට අකමැති වීම.

යශෝධරාවන්ගේ පියා මේ වනවිටත් සිදුහත් කුමරුවන්ගේ භාෂාශාස්ත්‍ර, ශිල්ප විද්‍යා විෂයයන්හි දැක්වූ සමාර්ථයන් පිළිබඳව පැහැදී සිටියේ. එහෙත් ලපටි වියෙහි කුමාරයන් පිලිබඳ අනාවැකි පැවසූ අනාවැකි කරුවන්ගේ කතාවන් සිහිකොට කවරදාක හෝ මේ කුමරු ගිහිගෙය හැරදමා පැවිදි වෙතැයි සිය දියණිය පාවා දීමට මැළි වුණා. එහෙත් එය පිටතට නොඅඟවා යශෝධරාවන්ට තම අදහස් පිළිගන්වනු පිණිස ඇය ළඟට කැඳවා “දුව සිද්ධාර්ථ කුමාරයෝ කවරදාක හෝ ගිහි ගෙය හැර තපසට යන එක ඒකාන්තයි. අසිතර්ෂි තුමා ද නිමිත්ත පාඨක බමුණන් ද කී අනාවැකිය කා අතරත් ප්‍රකට එකක්. නුඹ ඔහුට පාවා දුනහොත් වැඩිකල් නොයා දීම කනවැන්දුම් වෙන්න පුළුවන්. එබැවින් ඔහු හා කර බන්ධනයට කැමති නොවන්න. යැයි කියා සිටියේ පියෙකු ළඟ දුවකට තියෙන අසීමත සෙනෙහෙන්. එතකොට යශෝධරා දේවිය මෙලෙස කිවා.

සිද්ධාර්ථ කුමරුන් හැර වෙන කිසිවකු හා සමග විවාහ නොවන බව යසෝධරාව තම පියාණන් හට පැවසීමෙන් පසු විවාහය සිදුකිරීම.

” පියාණෙනි මා සරණ යතොත් ඒ සිද්ධාර්ථ කුමාරයන් සමගම පමණමයි. එතුමන් හෙට පැවිදි වෙතත් එතුමන් කෙරෙහිම මිස අන් කිසිවෙකු හා සමග නො වසමි ” යනුවෙන් කියා සිටියා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකට පැමිණි ගමන එලෙස කිසිවෙකුට ලෙහෙසියෙන් වෙන් කිරීමට හැකියාවක් ඇත්තේම නෑ . සිද්ධාර්ථ කුමාරයෝ ද යශෝධරාවන් මිස අන් කිසිම කුමරියක ආවාහ කොට නොගන්නෙමි එලෙස තරයේම කියා සිටියා. මෙසේ ඒ කුමරු කුමරියන්ගේ සරණ මංගල්‍යය වෙන කිසිවෙකුහට වලක්වාලිය නොහැකි වුණා. නොබෝ දිනකින් මහත් වූ මඟුල් උළෙලකින් යශෝධරා ව සිද්ධාර්ථ කුමාරයාණන්ට පාවා දෙනු ලැබුවා. ශුද්ධොදන රජ්ජුරුවෝ දෙදෙනාටම එක් විට කිරුළ පැළදුවා.

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය ත්‍රිවිධ ප්‍රාසාද තුල ගතකල තපස් දිවිය.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් යශෝධරා දේවීන්වහන්සේත් පෙර සිය දහස් ගණන් ජාතීන්හි එකට ඇසුරු කරමින් පෙරුම් පිරීමට එකිනෙකාට උපකාර වුණා. එයින් ඇති වූ ස්නේහය නිසා ඔවුහු එක්ව විසීමට කැමැත්ත ඇති ව සිටියත් කාමාසක්ත නොවී සෙනෙහෙබර සහෝදරයෙකුත් සහෝදරියකත් ලෙසින් ඔවුඔවුන්ට උපකාරී ව ලැදි ව කල් ගෙවන්නට වුණා. සුද්ධෝදන රජු සහ ප්‍රජාපතී දේවිය මේ අලුත් රාජ රාජිනී දෙදෙනාට දුක් පිළිබඳ කිසිම හැඟීමක් ඇති නොවන ලෙසට අවශ්‍ය හැමදෙයක්ම සපයනු ලැබුවේ සසර කලනොකිරීමට.

යසෝධරාවගේ පැමිණීමෙන් පසු රජමාලිගයේ සේවක සේවිකාවන් වහල්භාවයෙන් මිදීම.

යශෝධරාවන් රජගෙදරට එන්නට පෙර රජ පවුලේ පිරිසට වෙනමත් සේවක සේවිකාවන්ට වෙනමත් බොජුන් පිළියෙල කෙරුණා. එහෙත් යශෝධරාවන් එය වෙනස් කොට රජපවුලට පිළියෙල කෙරෙන ආකාරයෙන් රාජ භෝජන එහි සේවක සේවිකා දාසි දාසියයි දාසයන්ට හැමදෙනාටම දෙන්නට සැලැස්වූවා. එදා රටේ සිරිත අනුව සුද්ධෝදන රජ ගෙදරද දාස දාසි නමින් සේවක පිරිසක් සිටියත් ඔහු වහල්ලු නොවුණා. ඔවුන්ද රජ පවුලේ හිත මිතුරන් සේ මහත් රුචියෙන් තම සේවාව ඉටුකලා. රජගෙයි පමණක් නොව මුළු රටෙහි හැමදෙනාම යශෝධරාවන්ගේ කරුණා ගුණය කෙරෙහි පැහැදුණා.

සිදුහත් කුමරාගේත් යශෝධරා දේවියගේත් තපස් දිවිය නිසා දරු ඵල ප්‍රමාද වීම

කපිලවස්තු පුර වැසි සියල්ලෝ යශෝධරාවන්ට තමන් හැමදෙනාගේ මවක මෙන් මහත් ආදර ගෞරව බුහුමන් දැක්වුවා. සිද්ධාර්ථ කුමාරයත් යශෝධරාවත් වසන මාලිගාව සුද්ධෝදන රජුගේ මෙහෙයවීමෙන් නිරතුරු පැවැත්වෙන නැටුම් ගැයුම් ආදියෙන් හැමදාමත් මගුල් ගෙයක මෙන් සිරි ගත්තා. කොතරම් යස ඉසුරු සම්පත් පිරී තිබුනත් සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් ගිහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස් වරයෙක් හා තපස් වරියකගේ ජීවිතය බඳු වුණා. ඔහු ලොව තතු සලකා බලන්නේ එළැඹ සිටි සිහියෙන් කල් යැවූවා. යම්කිසි දවසක ගිහිගෙය හැරදා යා යුතුයැයි අනගාරික ජීවිතයක් ගත කළ යුතු යැයි යන අදහස දෙදෙනාටම විය. තවුසන් මෙන් දිවි ගත කළ නිසාම ඔවුන් දෙපලට බොහෝ කලක් යන තුරුත් දරුවෙක් නොලැබිණ. යශෝධරාවන්ගේ කුස දරුවකු පිළිසිඳ ගත්තේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දේදීයි.

සැළකිය යුතුයි; සිදුහත් කුමරුගේ විවාහය පිළිබඳ වැඩි විස්තරයක් ජාතක අටුවාවේ හෝ අනිකුත් ථෙරවාද ග්‍රන්ථ වල සඳහන් නැත. එනිසා බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් මෙම විස්තර උපුටාගෙන තිබුණේ ලලිත විස්තරය ඇතුලු මහායාන ග්‍රන්ථවලිනි.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 169

අපි නොදකින සතර පෙර නිමිති 01

ස්වභාව සෞන්දර්යට ප්‍රිය කළ අප මහා බෝසතාණෝ

මෙසේ දිනෙන් දින සති මාස ගෙවීගියා. අන්තපුර ස්ත්‍රීන් හා සමග කාලය ගතකරනවාට වැඩිය බෝසතාණන් වහන්සේ ප්‍රිය කලේ ස්වභාව සෞන්දර්යය හා කාලය ගත කිරීමට. ඒ සසරේ වැඩි කාලයක් ගතකලේ මහා වනපෙත් වල තවුස්දම් වඩමින් පාරමිතා පුරමින් සිටි නිසා වෙන්න ඇති. ඒ නිසා ඉඩ ලද සැමවිටම කලේ රාජකීය උයන්වෙත ගොස් ඒ ස්වභාව සෞන්දර්යයත් හා කාලය ගත කිරීමයි. එදත් එවැනිම තවත් දවසක්. සිදුහත් කුමරා එන බව ආරංචි වී ඔහුගේ රූපශ්‍රීය දැකීමට මිනිසුන් මග දෙපස රැස් වී පොර කකා සිටියා. ශුද්ධෝදන රජතුමා ඒ වන විටත් සසර කළකිරීම සඳහා භාජනය වන යමක් ඇද්ද ඒ සියල්ල මග දෙපසින් ඉවත් කරලයි තිබුණේ. එදින බෝසතාණන් වහන්සේ උයන් බිමට යනු කැමැත්තෙන් රථය සරසන ලෙස ඡන්න ඇමතියා හට කියනු ලැබුවා.

සතර පෙරනිමිති පෙළගැස්වූ දෙවිවරු

ඔහු මැනවැයි පිළිගෙන මාහැගි උතුම් රථයක් සියලු අලංකාරයෙන් සරසා කුමුදු පත්‍ර වර්ණ ඇති මංගල සෛන්ධව අශ්වයන් සිව් දෙනෙක් යොදා බෝසතාණන්වහන්සේට දන්වනු ලැබුවා. බෝසතාණන්වහන්සේ දෙව් විමනක් සමාන රථයට නැගී උයන දෙසට යන්නට පිටත්වුණා. බෝසත්වරයකුගේ බුද්ධත්වය කරා යන ගමනේදී දෙවියන් හටත් ඉටු කරන්න ලොකු කාර්යය භාරයක් තියනවා. දුරේ නිධානයේදී එවැනි බොහෝ තැන් අපි සඳහන් කළා. එදින සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මෙලෙස සිතන්නට වුණා. සිදුහත් කුමරුගේ අහිංසා බෝධියට දැන් සුදුසු කාලයයි. ඒ නිසා පෙර නිමිති දැක්විය යුතුයි. එලෙස සිතා එක් දිව්‍යය පුත්‍රයෙක් මහළු දිරාපත්, ගොනුස්සෙකු මෙන් වක් වූ කද, කටී, දණ, යන තැන්වලින් නැමුණු සැරයටියක් අතින් ගත් වෙවුලන ආකාරයෙන් පෙනී සිටියා. එහෙත් එම රූපය පෙනුණේ බෝසතාණන් වහන්සේට සහ රියදුරාට පමණක්මයි. ඒ නිසාම මහල්ලන් කුමරා යන මාර්ගයෙන් ඉවත් කරන්නට සිටි රාජ සේවකයනට ඔහුව පෙනුනේ නැහැ නෙවෙයි දෙවියන් විසින් පෙනෙන්නට සැලැස්සුවේ නැහැ.

සසර ගමනක් වෙනස්කල මහලු මිනිසා

එවිට බෝසතාණන් වහන්සේ රියදුරා අමතා යහළුව,මේ පුරුෂයා කවරෙක්ද? ඔහුගේ කෙස්වත් අන් අය හා සමාන නොවෙයි. ඔහුගේ කයද අන්‍ය පුරුෂයන්ගේ කය මෙන් නොවේ, යනුවෙන් පුදුමයෙන් විමසන්නට වුණා.

එවිට ඡන්න ඇමති ‘දේවයන් වහන්ස, මෙතෙමේ ජරාවටපැමිණි මහලු පුරුෂයෙක්යයි’ කියා කෙටි පිළිතුරක් දුන්නේ පුදුමයෙන්. ඇයි මෙතරම් ආරක්ෂකයන් සිටියදීත් මෙම මහලු මිනිසා කොහෙන් පැමිණියාද කියලා හිතන්නට ඇති. එවිට බෝසතාණන් ‘කිමෙක්ද යහළු රියැදුර, මේ තෙමේ ජරාවට ගිය පුරුෂයෙක්දැයි නැවතත් අසනු ලැබුවේ පුදුමයෙන්. එවිට ඡන්න රියදුරු ‘දේවයන්වහන්ස, එසේය, මෙතෙමේ ජරාවට ගිය කෙනෙක්. ඒ නිසා ඔහු තව වැඩි කලක් ජීවත් නොවන්නේයයි’ කියා සිටියා. ඒ අසා පුදුමයට පත්වුණ අප මහා බෝසතාණෝ ‘යහළු ඡන්න, කිමෙක්ද මමත් ජරාව ස්වභාවකොට ඇත්තෙම්ද? මා විසින් ජරාව නොඉක්මවනලද්දීදැයි, අසනු ලැබුවා. එවිට ඡන්න, ‘දේවයන් වහන්ස, ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම ජරාව ස්වභාවකොට ඇත්තෝ වෙමු. අපවිසින් ජරාව නොයික්මවන ලද්දේයැයි’ පැහැදිළි කොට දුන්නා. රියදුරුගේ පිළිතුර අසා මෙළොව ඉපදීමට නින්දා වේවා. උපන්නා හට මහළු බව පෙනෙන්නේයැයි සංවේගයට පත් සිතැති ව එතැනින් ම ආපසු හැරී එහෙනම් අද උයන් ක්‍රීඩාවට යාමෙන් කමක් නැත, දැන්ම ආපසුහැරී ඇතුළුනුවරට රථය ගෙනයවයි’ ඡන්නට අණ කරනු ලැබුවා.

උයන්කෙළියට ගිය සැණින්ම එය නිමාකොට සිදුහත් කුමරා ආපසු පැමිණි බව ඔහු කෙරෙහි නිරන්තරයෙන්ම, ඇස ගසා සිටි ශුද්ධෝදන රජතුමාට දැන ගැනීමට වැඩි වේලාවක් ගතවුණේ නැහැ. සිදුවූ දෙය අසා දැනගත් පියරජතුමා හට මහල්ලෙක් දැක පැවිදි වනේයැයි පෙර ඇසු වදනම සිහිපත් වුණා. තම පුතු කෙරෙහි අසීමිත ආදරයෙන් බැඳී සිටි රජතුමාට “මා නො නැසුව මැනවි”, “මා නො නැසුව මැනවි” යනුවෙන් කියවුණේ ඉබේටමයි. නාට්‍යය සංගීතාදිය පිළිවෙල කරව්. සැප සම්පත් විදින විට පැවිද්ද සිහි නොවන්නේයැයි ආරක්ෂා තව තවත් තර කොට සියලු දිශාවන්හි තව දුරටත් අඩ යොදුනක් තැන් රැකවරණ යොදනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 170

අපි නොදකින සතර පෙර නිමිති 02

තවත් එක් දිනක් බෝසතාණන් වහන්සේ පෙර සේම රාජකීය උයනට යන්නට සිතුවා. එදත් සුපුරුදු පරිදී රථාචාර්ය වරයා රාජකීය රථය ලස්සනට සැරසුවා. පිය රජතුමා වෙනදාටත් වඩා වැඩියෙන් යන මග දෙපස ගව්වක් දක්වා ආරක්ෂා විධිවිධාන තරකරනු ලැබුවේ කිසිම අසුභ දර්ශනයක් කුමරුන් ඇස නොගැටීමට. එහෙත් ඒ බාධක බාධකයක් වුනේ මිනිසුන්ට. දෙවියන්ට නෙවෙයි. එදත් දෙවියන් විසින් පෙර පරිදිම සසර කල කිරවන රෝගී පුද්ගලයෙකු මවනු ලැබුවා. දෙවියන් විසින් මවන ලද රෝගී පුරුෂයා දැක පෙර සේම විචාරා කළකිරීමට පත් වූ කුමරු ආපසු මාළිගවටම පැමිණියේ උයන් ක්‍රීඩාව ඉවතලමින්. රජතුමාටත් මෙය ලොකු ප්‍රශ්ණයක් වුනා. සමහරවිට ඇමතිවරු සේවයක්යෝ නොසැලිකිලිමත් වුනා කියලා නොසෑහෙන්න බැනුම් අහන්නත් ඇති. රජතුමා ද පෙර පරිදිම ආරක්‍ෂණ සංවිධාන තවත් වැඩිකොට තිගව්වක් ප්‍රදේශය දක්වා තර කළා. නැවතත් පෙර පරිදීම තවත් එක් දවසක් උයනට යන බෝසතාණන් වහන්සේ දේව නිර්මිත මළ සිරුරක් දැක සංවේගයට පත්ව පෙර පරිදීම ආපයින්ම ආපසු මලිගයටම පැමිණියා. මෙවර රජතුමා තවත් යොදුනක් පමණ ඔබ්බට ආරක්‍ෂාව තර කළා. ඔබ හිතන්න එපා මේ දේවල් මේ ආකාරයෙන්ම සිදුවුනේ අපේ බුදුහාමුදුරුවන්ට පමණක්මයි කියලා. නැහැ මෙතෙක් අප විසින් ලියු සියලු බුදුවරුන්ටත් මතු පහළවන බුදුවරුනටත් මේ කරුණු එක සේ සමානයි. එය ලෝකයේ ධම්ම නියාම යන යන නියාමනය යටතේ සිතුවන්නක්. තවත් දවසක බෝසතුන් වහන්සේ පෙරසේම උයනට යන්නට පිටත් වුනා. ඒ ගිහි ජිවිතයේ අවසාන උයන් ක්‍රීඩාව සඳහා බව උන්වහ්න්සේවත් දැනගෙන නොයින්නට ඇති. ඒත් ඒ බව දෙවිවරු දැන සිටියා. අතරතුරඑදත් ඒ යන අතරතුර දෙවියන් විසින් මවන ලද මනාව සිවුරු හැද පොරවූ පැවිදි රුවක් දැක මේ කවරෙක්දැයි රියදුරුගෙන් විචාරනු ලැබුවා. බුදු සසුන පවත්නා කාලයක් නොවන නිසා පැවිද්දෙකු හෝ පැවිදි ගුණ නොදන්නා රියදුරා දෙවියන්ගේ අනුහසින් දේවයිනි, මේ පැවිද්දෙක්යැයි හදුන්වා පැවිදි ගුණ ද වර්ණනා කරන්නට වුණා. ජිවිතයේ බොහෝදෙවල් වෙනස් වෙන්නේ බොහෝ විට එක ක්ෂණයකින්. බෝසතාණන් වහන්සේට ඒ පැවිදි රුවත් ඔහුගේ අරමුණත් පිළිබඳව සිත නැමුණේ පුදුමාකාරයට. සිත නැමුණා විතරක් නෙවෙයි සිත ඇලුනා. පැවිද්දට සිත ඇලුණු උන්වහන්සේ එදවස උයනට ගියේ පුදුම සතුටකින්. . හරියටම දීඝභාණක තෙරවරු සතර පෙර නිමිති එක දවසෙහි ම දැක අභිනික්මන් කළ බව කියනවා වගේ

එදා උන්වහන්සේට විශේෂ දවසක්. මීට පෙර දුටු පෙරනිමිති නිසා බොහෝ දුකට පත්ව සිටි උන්වහන්සේට දුකින් මිදිය හැකි දොරටුවක්ද මෙම සසරෙහිම සැඟව පවතින බව පෙනෙන්නට ඇති. උයන් සිරි විදිමින් මගුල් පොකුණෙහි ප්‍රීතියෙන් ගතකල උන්වහන්සේ නා හිරු බැස යත්ම එයින් නික්මිවුත් මගුල් ගල් පුවරුවෙහි අසුන් ගත්තා.

බෝසතාණන් වහන්සේව විස්කම් දෙවිඳු විසින් සැරසීම.

මේ ඔබ හට කියන්නට යන්නේ ලොව තවත් ධම්ම නියාමයක්. ඒ අභිනික්මනට පෙර බෝසත් වරුන්ව සක්දෙවිඳුගේ අනින් විස්කම් දෙවිඳු විසින් සැරසීම යන කාරණයයි. මෙය සම්මා සම්බුද්ධත්වයට පත්වෙන සියලු බෝසතන් වහන්සේලාට සාධාරණ වූ ධර්මතාවයක්. ඒ කරුණ නිසාම වෙන්නට ඇති බෝසතුන්ට එහිදී තමා අලංකාර කරවා ගන්නට කැමැත්තක් ඇතිවුණා. බෝසතාණන් වහන්සේ ගේ පිරිවර පිරිස නානා වර්ණ වස්ත්‍ර ද විවිධ ආභරණ ද මල් ගද විලවුන් ද රැගෙන උන්වහන්සේව පිරිවරා සිටිය. එහෙත් එය ඔවුනට අයිති කාර්යයක් නොවනබව ඔවුන්වත් දැන සිටියේ නැහැ. එකෙණෙහි සක් දෙවිදුගේ පඩු ඇබුල් අස්න උණුසුම් වෙන්නට පටන්ගත්තා. සක් දෙවිදු කවරකු මා සක් පදවියෙන් ඉවත් කරනු කැමැත්තෝ දැයි විමසනා විට සිදුහත් කුමරුන්ගේ අවසන් සරසන කාලය බව දැන විස්කම් දෙව්පුත් අමතා “සගය, අද මධ්‍යම රාත්‍රියෙහි සිදුහත් කුමරා මහාභිනිෂ්ක්‍රමනය කරන්නේය. මේ මොහුගේ අවසන් සරසීමයි. උයනට ගොස් බෝසතුන් වහන්සේ දිව්‍යාභරණයෙන් සරසව” යි නියම කරනු ලැබුවා. ඔහුද මැනවයි පිළිගෙන දිව්‍යානුභාවයෙන් එකනෙහිම උයනට පැමිණ බෝසතාණන් වහන්සේගේ කපුවාගේ වේශයෙන් ගොස් කපුවාගේ අතින් හිස වෙලුම් පිළිගෙන බෝසතාණන් වහන්සේගේ හිස වෙලන්නට වුණා.

බෝසතාණන් වහන්සේ විශ්වකර්ම දේව පුත්‍රයාගේ අත ස්පර්ශ වූ කෙණෙහිම මේ මිනිසකු නොව දිව්‍යය පුත්‍රයකු යැයි දැන ගත්තා. හිස වේලූ කෙණෙහිම ඔටුන්නෙහි එබ්බු මිණි කැට අයුරින් පිළි දහසක් පැන නැග්ගා. නැවතත් හිස වෙළත්ම නැවතත් පිළි දහස බැගින් පැන නැග්ගා. මෙලෙස දස වරක්ම හිස වේලනු ලැබුවා. මෙසේ හිස වෙළත් වෙළත් ම දශ දහසක් පිළි පැන නැග්ගා. මෙහිදී හිස කුඩාය පිළි බොහෝය, කෙසේ පැන නැග්ගේදැයි නොසිතිය යුතුයි. ඔවුනතුරින් සියල්ලටම වඩා මහත් පිලිය පූඩා මලක් පමණ වුණා. සෙසු පිළි මල් පමණ විය. බෝසතාණන් වහන්සේගේ හිස කෙසරු ගැවසී ගත් බක්මී මලක් මෙන් වුනා. සියලු ආභරණයෙන් සැරසී සිටි බෝසතුන් වහන්සේට සියලු වාද්‍යය විශේෂයන්හි දක්‍ෂ වූවන් තම තමන්ගේ කුසල භාවයන් දක්වද්දී බමුණන් ජය වේවා. සතුටු වේවා. ආදී වදන් කියද්දී ව න්දිභට්ටයෝ නන් අයුරින් සුබ වචන කියද්දී සතුන් නාදයෙන් බුහුමන් දක්වද්දී එතුමෝ සර්වාලංකාරයෙන් යුත් උතුම් රථයට නැග ගත්තා. මෙම කාලය තුළ යශෝදරා අග බිසව පුතකු බිහිකළ බව ඇසු සුදොවුන් මහරජාණෝ තම පුතුට සතුට දන්වනු පිණිස හසුනක් යවනු ලැබුවා. බෝසතාණන් වහන්සේට ඒ අසුන ලැබුණේ ඒ මොහොතේමයි. එය ඇසු සැණින් රාහුලයෙක් හෙවත් රඝුරාජ පුත්‍රයෙක් උපන්නේය. එයින් බන්ධනය වීයැයි උන්වහ්න්සේගේ මුවින් පිට වුනේ මේ වනවිටත් සසර දුකින් මිදීමට වනගත්විමට තීරණය කර තිබු නිසා වෙන්නට ඇති. පැමිණි සේවකයන් ද පියරජතුමා හට සිදුහත් කුමරු කී දෙය දන්වා සිටියා. රජතුමා පුතුන්ගේ වචනය අසා මෙතැන් සිට මුනුබුරාණන්ට රාහුල යන නාමය ම වේවා යි කියා සිටියා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 171

කිසා ගෝතමියගේ උදාන වාක්‍යය

විශ්වකර්ම දෙවියන් විසින් දිව්‍ය රාජයෙක් මෙන් සරසනු ලැබූ අප මහා බෝසතාණන් වහන්සේ ඒ හා සමානම අලංකෘත වූ රාජකීය රථයට නැගී මහත් යසසින් හා සිත්කළු රූසපුවෙන් යුතුව ඇතුළු නුවරට පිවිසියා. මේ අවස්ථාවෙහි කිසාගෝතමී නම් රජ කුමරිය තම මන්දිරයේ උඩුමහලෙහි සිටිමින් නගරයේ ඈත කෙළවර සිට මහා පිරිවරක් සමග පැමිණෙන සිදුහත් කුමාරයා දෙස ඇසිපිය නොහෙලමින් බලා සිටියා. ඇය සමහරවිට බොහෝ වෙලා ඔහු දකිනු සඳහාම ඒ සඳලු තලයට වී පෙරමග බලා ඉන්නට ඇති. නුවර පැදකුණු කරන බෝසතාණන් වහන්සේගේ රූසපුව දැක සතුටු සිතින් ඉපිලී ගිය ඇය උන්වහන්සේ තම මන්දිරය අසළට පැමිණෙන තෙක් බලා සිටියේ නොවිසිල්ලෙන්. ඒ මෙම ප්‍රීති වාක්‍යය බෝසතාණන් වහන්සේට ඇසීමට ගායනා කිරීමට.

නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සො පිතා
නිබ්බුතානූන සා නාරී
යස්සායං ඊදිසො පති

මෙබදු කුමරකුට යම් කතක් මව් වූවාද ඕ තොමෝ නිවුනා යි හගිමි. යම් පුරුෂයෙක් පියා වූයේද හේද නිවුනේ යි හගිමි. යම් ස්ත්‍රියකටද මෙවැනි හිමියකු සිටී ද ඒ බිරියද නිවුනා යි හගිමි. යන්න එහි කෙටි අරුතයි.

බෝසතාණන් වහන්සේ මේ උදාන වාක්‍යය අසා එහි අරුත ගත්තේ හරිම පුදුම විදිහට. උන්වහන්සේ මෙලෙස සිතන්නට වුණා. ඇය විසින් කියන ලද්දේ මේ අදහස විය යුතුය. මෙවැනි රූසපුවක් ඇති ආත්ම භාවයක් දකින මවකගේ හදවත නිවෙයි. පියෙක්ගේ හදවත ද නිවෙයි. බිරියගේ හදවතද නිවෙයි. එහෙත් කුමක් නිවුණු කල්හි හදවතට නිවීමක් වේද?බෝසතාණන් වහන්සේට මෙසේද මෙසේද සිතුණි. රාග ගින්න නිමුණු කල්හි හදවත නිමුණේ වෙයි. මාන දිට්ඨි ආදී කෙලෙස් ගින්දර නිවුණු කල්හි නියම වශයෙන් හදවත නිවුණේ වෙයි. එම නිසා ඇය මට අස්සවන ලද්දේ මා හැගි දහමකි. මම ද නිවීම හෙවත් නිබ්බාණය සොයමින් සිටියි. හැකි ඉක්මණින් ගිහි ගෙය අතහැර නික්මී පැවිදි ව නිවීම හෙවත් නිර්වාණය සොයන්නට වටී.

මෙලෙස බෝසතාණන් වහන්සේගේ රූපශෝභාවයෙන් වසඟයට පත්වූ අතිශය රූමත් වූ ශාක්‍ය කන්‍යාවිය විසින් ව්‍යංග අර්ථයෙන් කල ඇරයුම තණ්හා දිට්ඨි මාන වශයෙන් ගෙන ප්‍රපංච නොකොට අලුයම ඉවතලු කෙල පිඬක් සේ තම සිතෙන් ඉවත ලු උන්වහන්සේ ඇයට පඩුරු වේවා යි ලක්‍ෂයක් වටිනා මුතුහර ගෙලෙන් මුදා ඇය වෙත යවනු ලැබුවා. එය ලැබූ කිසාගෝතමී සිදුහත් කුමරු මා කෙරෙහි අනුරාගී හැගීමෙන් එවන ලදැයි සතුටු වූවා. බෝසතාණන් වහන්සේ මහත් ප්‍රීතියෙන් තම ප්‍රසාදයට පියමැන්නා. පියමැන තම සිරියහනේ සැතපෙමින් ගිහිගෙයින් නික්මයාම පිළිබඳවම සිතන්නට වුණා. ඒ සිතන අතර තුරම උන්වහන්සේ කෙටි නින්දකට පිවිසුණා. ටික වේලාවකින් නින්දෙන් පිබිදුණ බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේ යැයි කල්පනා කරනු ලැබුවා. එහෙත් මා හදාවඩා රැක බලා ගත් මාගේ සැපපහසුව ද අභිවෘද්ධිය තකා පමණ කළ නොහැකි මහත් ධන සම්භාරයක් වියදම් කළ රෑ දවාලේ මගේ යහපතම පතා නො පමණ වෙහෙස මහන්සි වෙමින් මගේ කරුණාබර පියාණන් වහන්සේට නොදන්වා උන්වහන්සේගෙන් අවසර නොගෙන නික්මයෑම අයුත්තක් බව උන්වහන්සේට තේරුම් ගියා වගේම එය අකෘතඥ බවත් වැටහුණා. එබැවින්දැන් පියාණන් වහන්සේ වෙත ගොස් දන්වමි යැයි සිතා මහ රෑම පියාණන්ගේ මාලිගාව වෙත පියමැන්නා.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 172

අභිනිෂ්ක්‍රමනය සඳහා පියරජුගෙන් අවසර පැතීම.

මෙම ලිපියෙහි බෝසතාණන් වහන්සේ පියරජතුමා හමු වී අවසර ගැනීම පිළිබඳව යම් කුකුසක් ඔබ සිතට ඇතිවිය හැකියැයි සිතුණා. එයට හේතුව එවැනි කතා අපි අසා නොතිබීමයි. එහෙත් බෝසත් චරිතයක් ගැන අප ඊට වඩා ගැඹුරින් බුද්ධිමත්ව විමසිය යුතුයි. ඔබ හිතනවාද බුද්ධත්වය අපේක්ෂාවෙන් ගිහිගෙය හැර යන බෝසත්වරයෙක් තම දෙමාපියනට හොරෙන් ඒ ගමන යාවි කියලා. එවැනි සිතිවිල්ලක් ඇති වුවහොත් සිත එයට වසඟ නොවීම පිණිස සූත්‍ර පිටකයේ අරියපර්යේෂණ සුත්‍රයේ බුද්ධ වචනයෙන් සඳහන් කොටසක් මම උපුටා ගත්තා. එහි ඒ සියල්ලටම පිළිතුරු තියෙනවා.

අරියපරියෙසන සූත්‍රය

“මහණෙනි, මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ම සොයන්නෙම්ද? ඒ නිසා අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය.

“මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි,

මෙහි පැහැදිළිවම සඳහන් වෙනවා “මවුපියන් අඬද්දී හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි” කියලා. ඒ නිසා එය හොරෙන් ගිය ගමනක් නෙවෙයි. යන දිනයෙහි නොවුණත් දින සතකට පෙර පූර්ව දැනුම් දීමකින් පසුව ඔබ හා අප වෙනුවෙන් ගිය ගමනක් බව දැන් ඔබට වැටහෙන්නට ඕනේ.

ශරීර ආලෝකය

ඔබට මතක ඇති දුරේ නිධානයෙහි අපි ලියු සමහර බුදුවරු සිටියා මවු කුසට පැමිණි දිනයේ සිටම ශරීරයෙන් ආලෝකය බොහෝ දුරට විහිදුණ. අපේ බෝසතාණන් වහන්සේගේත් එලෙසයි. ස්වභාවයෙන්ම බෝසතාණන් වහන්සේගේ සිරුරේ ප්‍රභාව බඹයක් පමණ ඔහුගේ සිරුර වටා ආලෝකවත් කෙරෙනවා. යශෝධරාවන්ගේ ශරීර ප්‍රභාව ද එබඳු ම යි. විශේෂයෙන් මෙය ප්‍රකට වනුයේ රෑ අඳුරෙහි ඉන්නා විට යි.

අභිනිෂ්ක්‍රමණය සඳහා පියරජුගෙන් අවසර පැතීම

එදින රාත්‍රිහිම බෝසතාණන් වහන්සේ තම පිය රජතුමාගේ මාළිගාවට පියමැන්නේ තම විමුක්තිය සොයා යන ගමන සඳහා ඔහුගෙන් අවසර ගැනීමට. බෝසතාණන් වහන්සේ පියරජුගේ මාලිගයට පැමිණියේ රාත්‍රියේ නිසා ඔහුගේ ශරීර ප්‍රභාව පැතිර පෙදෙසම ආලෝකමත් වන්නට වුණා. එවිට රාත්‍රියේ පවා පුත් කුමරු ගැන නිතර සෝදිසියෙන් සිටින සුද්ධෝදන රජ සේවකයන් බණවා “රෑ පාන් වූයේ දැයි” විමසා සිටියා. එවිට සේවකයන් “නැත රජතුමනි තවම රැය පහන් වී නැත රාජ පුත්‍රයාණන් වහන්සේ වැඩිය සේක.” යැයි පවසා සිටියා.

ශුද්ධෝදන රජතුමා යහනෙන් නැගිට බෝසතාණන් වහන්සේ පිළිගෙන “පුතා මේ මහ රෑ මෙහි ආයේ කිසි උවමනාවක් දැයි” අසා සිටියා. එවිට බෝසතාණන් වහන්සේ “එසේය පියාණන් වහන්ස” යනුවෙන් පිළිතුරු සපයනු ලැබුවා.

“කිමෙක්ද මගේ පුතුණුව උවමනාව?

“පියාණන් වහන්ස මට දැන් ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේය. මට සමාවන්න. රට වැසියන් සහිත පියාණන් වහන්සේගෙන් සමාව යදිමි. මම පිටත්ව යන්නෙමි.”

එවිට පියරජ. “පුතා ඇයි මේ නෑදෑ පිරිසත් රාජ සම්පතත් කීකරු රට වැසියනුත් හැරදමා යන්නට සිතන්නේ? ඔබට උවමනා යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල සපයා දෙමි. “

ගිහිගෙය අත්හැර නොයාමට ඉල්ලු කරුණු සතර.

බෝසතාණන් වහන්සේ

“පියතුමණි, මට වුවමනා දෙය සපුරා දෙතොත් මේ රජ සැප හැර නොයමි. සපයා ගත හැකි නොවෙතොත් මට යන්නට ද අවසර ඇත්ද?

පියරජතුමා

මා විසින් සපයා දෙත නොහැකි කිසිවක් නැත. සියල්ල සපයමි. ඒ කිසිවක් මට නොහැකි වී නම් එය සොයා යන්නට අවසර ඇත.

බෝසතාණන් වහන්සේ

එසේනම් පියාණන් වහන්ස මට අවශ්‍යව ඇති දෑ සතරෙකි.

එනම් මහළු බව මට ඇති නොවේවා! මෙය මා ඉල්ලන එක් දෙයකි.

යොවුන් බව මනා පැහැපත් තරුණ බව හැමකල්හිම මා කෙරෙහි වේවා.මා මේ ඉල්ලන දෙවෙනි දෙයයි.

කිසිදු කලෙක මා සිරුරට රෝගයක් නොවැලදේවා. තුන්වෙනි දෙයයි.

කිසිදු කලෙක මා නොමැරෙම්වා.මේ මා ඉල්ලන සතරවැනි දෙයයි.

පියාණන්වහන්ස, මෙසේ මහලු නොවන බව සදා තරුණබව ලෙඩ නොවෙන බව නොමැරෙන බව යන කරුණු සතර හැර මට අවශ්‍ය අන් දෙයක් නැත. මේවා සපයා දෙත හැකි නම් රජගෙය හැර නොයමි. මෙහිම රැඳෙමි. මේවා සපයාදිය නොහැකි නම් මගේ පමණක් නොව ඔබ වහන්සේගේ පමණක් නොව මා වැඩු කුඩා මෑණියන්ගේ ද යශෝධරාවන්ගේ ද රාහුල නන්ද ආදී මගේ සහලේ නෑයන් ගේ ද පමණක් නොව ජරා ව්‍යාධි ආදී දුක් වලින් පෙලෙන සියලු අසරණ ලෝකයාගේ යහපත පිණිස ඒ හැම දෙනාට මෙකී සියලු දුකින් මිදෙන මඟ සොයා පිහිට වනු පිණිස මෙයින් පිටවන්නෙමි. එයට හේතුව එය මේ රජ ගේ තුළ රැඳී කල නොහැක්කක් බව පෙනෙන බැවිනි. එය සොයනු පිණිස මා මෙහෙන් නික්ම යා යුතු නොවේද?

ඉන්පස්සේ ඇතිවුණේ දැඩි නිහඬතාවයක්. බෝසතාණන්ගේ කතාව අසා සිටි සුද්ධෝදන රජතුමාට තමා මෙතෙක් කල් කොතරම් උපාය යෙදුවත් කොතරම් වෙහෙස මහන්සි ගත්තත් අසිත සෘෂිතුමා ගේ සහ නිමිත්ත පාඨක බමුණු කී අනාවැකි හරි යන බව තේරුම් ගත්තා. ඒ වගේම එය කෙලෙසකවත් වලක්වන්නට නොහැකි බවත් වැටහුණා.

ඉක්බිත කඳුළු පිරි මුහුණින් පුත්‍රයාණන් දෙස බලා හිඳ “පුත ඔබ ඉල්ලූ වර දීමෙහි ශක්තියක් මට නැත මහානුභාවසම්පන්න දීර්ඝායුෂ්ක ඍෂිවරු පවා කළුරිය කළහ. ඔබේ අදහස මට වැටහේ. ගමනට ඔබට අවසර ඇත. ඔබ තුළ පවත්නා ලොව ජරා මරණාදී දුකින් මුදාලීමේ ශ්‍රේෂ්ඨ අදහස එසේම සඵල වේවා. සම්පූර්ණ වේවා.

මෙසේ පියරජුගෙන් අවසර ගත් බෝසතාණන් වහන්සේ පිය රජුට ගරු බුහුමන් දක්වා එතැනින් සිය මාලිගයට පැමිණියා. පසුදින පහන් වූ සැණින් රජ සියලු ශාක්‍ය ප්‍රභූන් රැස්කරවා සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්න බව තමා හා පුත්‍රයාත් අතර ඇතිවූ කතාව පවසා අවසාන මොහොතේ හෝ ඔහුව වළක්වාලීම සඳහා කුමක් කළ යුතු දැයි විමසා සිටියා. ඊට හේතුවක් තිබුණා. නිමිත්ත පාඨකයන් කියා තිබෙන පරිදි පැවිදි වීම හෝ සක්විති රජ වීම වයසේ එකුන් තිස් වැන්න වූ පිරුණු තැනදී වීමයි. මේ මොහොත වන විට ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියක් පමණයි. මේ අප හට ලැබෙන අවසාන අවස්ථාවයි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතුයැයි ශාක්‍යයෝ තරයේ කියා සිටියා. එයට කළ යුතු දෑද ඒ මොහොතේම නිශ්චය කරගත්තා.

උපකාරක ග්‍රන්ථ – අරියපරියෙසන සූත්‍රය (සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » ඕපම්ම වර්ගය) ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 173

යසෝදරා දුටු සිහිනය සහ ඇයගෙන් සමුගැනීම.

මිට පෙර ලිපියේ ලියූ පරිදි පිරජතුමාගෙන් අවසර ගන්න ගිය දිනයේ සිට අභිනිෂ්ක්‍රමණය සඳහා දින සතක් ඉතිරිව තිබුණා. ඒ නිසාම පියරජතුමා විසින් නව ආරක්ෂක සැලැස්මක් නුවර පුරා යොදවනු ලැබුවා. මේ ඒ සම්බන්ධවයි.

අනාවැකි කරුවන් පැවසූ පරිදී ගිහිගෙයින් නික්මීම යෙදී තිබුණේ වයසේ එකුන් තිස් වැන්න වූ පිරුණු තැනදීයි. ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියක් පමණයි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතුයැයි ශාක්‍යයෝ තීරණය කරනු ලැබුවේ බුද්ධත්වයට වඩා ඔවුන්ගේ සිතෙහි සක්විති රජකම කෙරෙහි තිබුණ දැඩි කැමැත්තට. ඒ නිසා එයට කළ යුතු දෑ නිශ්චය කරගත්තා.

 වනගතවිම වැළක්වීම සඳහා පියරජතුමා විසින් සකස් කල නව ආරක්ෂක සැලැස්ම.

ඒ අනුව එදා සිට නුවර දකුණු වාසල් දොර ද්‍රෝණෝදන රජු සමඟ පන්සියයක් ශාක්‍ය තරුණයෝ ද, බස්නාහිර පැත්තේ වාසල් දොර ශුක්ලෝදන රජු සමඟ එපමණම ශාක්‍ය තරුණ පිරිසක් ද, උතුරු වාසල් දොර අමිතෝදන රජ සහිත තරුණ ශාක්‍ය පිරිසක් ද, නැගෙනහිර වාසල් දොර පන්සියයක් පමණ ශාක්‍ය තරුණයන් සමඟ ශුද්ධෝදන මහරජ ද, රැකවල් කරන්නට නියම කර ගත්තා. ඔවුන්ගේ නියමය පරිදි නුවර සෑම දෙමංහංදි තුන්මං හංදි හතරමං හංදි ආදී සංධිස්ථාන වල මහලු ශාක්‍ය රජවරු රැකවල් කරන්නට භාර ගත්තා. නුවර මැද සංචාරය කරමින් ආරක්ෂා කරගැනීමට මහානාම කුමාරයාට පැවරුණ. මෙසේ ඔවුන් සදිනක්ම රෑ නිදිවරා නගරය ඇතුළත පිටත හැමතැනම මුර කළා. ඔවුන් ගත් ක්‍රියාමාර්ගය දැනගත් සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ ද සුදුසු දිනය හා වේලාව පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සිටියා. ප්‍රජාපතී ගෝතමී ද නුවර හැම ප්‍රසාදයකම හැම හැම ගෙයකම ඉන්නා ස්ත්‍රීන්ට එළිවනතුරු පහන් නොනිවා සෝදිසියෙන් ඉන්නට විධාන කළා.

යසෝදරාව දුටු සිහිනය

බෝසතාණන් වහන්සේ ද මේ කාලය තුළ ලොව දුක්ක තත්ත්වය නුවණින් සලකා බැලීම් තමන් ජාතිස්මරණ ඥානය ඇත්තකු බැවින් අතීත ජාතීන්හි කළ චිත්තප්‍රණිධීන් මෙනෙහි කිරීම් ආදී කටයුතු කරමින් තවුසකු සේ කල් යැවූවා. සිද්ධාර්ථ කුමරුන් හා සුදොවුන් රජු අතර ඇති වූ කතාව රජමළිගාවට තවදුරටත් රහසක් නොවුනා. යශෝධරා ආදී කවුරුත් එය දැනගත්තා. කවරදාක හෝ සිද්ධාර්ථ කුමාරයාණන් කැටුව තමාද ගිහිගෙයින් වෙන්ව දිවිය තවුස් දිවියට යෑමට සිතාගෙන සිටි යශෝදරාවෝ ඒ කිසිවක් අසා කලබලයට පත්වුණේ නැහැ. එහෙත් ඇයගේ සිත නොසන්සුන් වන්නට කරුණක් ඇති වුනා. ඊට හේතුවුනේ එකී සත්වැනි දින කලින්ම නිදා ගත් ඇය විසින් දුටු සිහිනයක්. එදා සැන්දෑවේ ඇය නිදාගද්දී සිහිනයක් දැක නැගිට සිද්ධාර්ථ කුමාරයාණන් වෙත ගියා. තමා දුටු සිහිනය ඔහුට කියා සිටියා. “ස්වාමීනි ඔබ මෙහි මා තනිකොට හැරදමා තපසට ගියා සිහිනෙන් දුටිමි. ස්වාමීනි ඔබ යන තැනට මම ද එන්නෙමි” කිවේ සංසාරේ හැමදාම හැම මොහොතකම ඔහු පසුපස හඹා පැමිණි බෝසත් බිරිඳක් ලෙස.

සංසාරය පුරා පසුපස පැමිණි ආදරණිය බිරිඳගෙන් සමුගැනීම.

මේ සියල්ල ඉවසීමෙන් අසා සිටි බෝසතාණන් වහන්සේ ද තමන් යනුයේ නිවන දෙසටය යන්න සලකා, එසේය මා යන තැනටම නුබත් පමුණුවමි කියනු ලැබුවා. එහි සැඟවුණු අරුතක් ඇති බව ඔබටද හැංගෙන්න ඕනේ. ඉක්බිති නිවන් අවබෝධ කරනු පිණිස මහත් දුක් පීඩා වින්ද යුතු බව බොහෝ වෙහෙස මහන්සි විය යුතු බව දරුවකු සහිත යශෝදරාවන් බඳු සියුමැලි ස්ත්‍රියකට එවැනි දුක් පීඩාවලට මුහුණ පෑ හැකි නොවන බවද පැහැදිලි කොට දී මම විමුක්ති සැපය අත්පත් කොට ගෙන ඇවිත් ඔබ හැම ට එය ලබා දෙන්නෙමි. යනුවෙන් ආදරයෙන් කියා සිටියා. එතෙක් ඉවසා දරුවා රැක ගන්න. මේ සියලු ධන සම්පත් ඔබට ඇත. මා පියාණෝ ද කුඩා මෑණියෝ ද ඔබේ ආරක්ෂාවට සිටිති යනුවෙන් සැනසිලි බස් කීවා. දුරදිග දක්නා නුවණ ඇති, ස්වාමි භක්තියේ ප්‍රතිමුර්තිය වූ, විනීත වූ යශෝදරාවෝ සසරේ හැමදාම වගේ කුමාරයාණන්ගේ අවවාදයට අවනත වුණා. ප්‍රිය විප්‍රයෝග දුක ඉවසා දරා ගන්නට නොයෙක් දේ සිතමින් උත්සාහ කරන්නට වුණා.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 174

සංසාර ගමනක සමුගැන්ම.

ගිහිහෙයි ගතකල අවසාන රාත්‍රිය.

මේ සිදුහත් කුමරු අභිණික්මනට සැරසෙන සහ යොමුකරන අවසාන රාත්‍රියයි. ඒ යොමු කරන්නේ වෙනත් කිසිවෙකු නොවෙයි. උන්වහන්සේ විසින් සරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පුර්ණය කරනු ලැබූ පාරමී ශක්තියයි. උන්වහන්සේ යසෝදරා දේවියගෙන් වෙන්වී පැමිණ මද වෙලාවක් විවේක සුවයෙන් ගතකොට රාත්‍රියේ නර්තන ශාලාව වෙත පැමිණියේ සුපුරුදු ලෙස. එකෙණෙහි ම සියලු අලංකාරයෙන් සැරසුණු නැටුම් ගැයුම් කලාවන්හි මනාව පුහුණු වූ දෙවගනන් මෙන් රුවින් අග තැන්පත් වනිතාවෝ නොයෙක් තුර්ය භාණ්ඩ ගෙන පිරිවරා කුමරුන් සතුටු කරවනු පිණිස නැටුම් ගැයුම් ආරම්භ කළා. බෝසතාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් නො ඇළුණු සිත් ඇති බැවින් නැටුම් ගැයුම් හි නොඇලීම නිසාවැඩි වෙලාවක් නොගොසින්ම නින්දට වැටුනා. ස්ත්‍රීන්ද “අපි යමකු සදහා නැටීම් ආදිය කරමුද ඔහු දැන් නිදිගතව සිටී. අපි දැන් කුමකට වහෙසේමුදැයි” සිතා අත තිබු තුර්ය භාණ්ඩාදිය මැඩගෙන ම නින්දට වැටුනා. සුවද තෙල් පහන් තවමත් දැල්වෙනවා. හදිසියේ පිබිදුණ බෝසතාණන් වහන්සේ සිය යහනෙහි ම පළක් බැදගෙන අවට බලන්නට වුනා. ඒ වනවිටත් තැන තැන වැටි නිදමින් සිටි විප්‍රකාර වූ ඒ ස්ත්‍රීන් දුටවා. ඔවුන් මීට මොහොතකට පෙර සිටියේ දිව්‍යංගනාවන් වගේ. සමහර ගැහැණු කුණු කෙළ වගුරුවමින් නිදි. සමහරු ගොරවනවා. සමහරු දොඩවනවා. සමහරු අයාගත් මුඛ ඇත්තෝ වුණා. බෝසතාණන් වහන්සේ මේ විකාර රූප දැකීමෙන් වඩවඩාත් කාමයෙහි නො ඇලුණු සිත් ඇත්තෙක් වුණා. සර්වාලංකාරයෙන් පිළියෙළ වූ සක් දෙවිදු විමන හා සමාන වූ මාහැගි පැහැය තැන තැන දමන ලද මළ කුණු ඇති අමු සොහොනක් මෙන් වැටහුණා. කාම, රූප ,අරූප භාවත්‍රය ම ගිනි ගත් ගෙවල් මෙන් දැනිණ. පින්වතුනි,මේ ලෝකය උවදුරුවලින් පිරී ඇත. පින්වතුනි,මේ ලෝකය පීඩාවලින් පිරී ඇත. එවැනි හැගීම්බර වාක්‍යය මුවෙන් පිටවුණා. තව තවත් පැවිද්දටම සිත නැමුණා. අද ම මා මහබිනික්මන් කළ යුතු යි සිතුනා.

පසුගිය දින සතෙහිම නිදි වැරූ රජ මාළිගයේ වගේම ආරක්ෂාවට තබා සිටි සියල්ලන්ටම නින්ද ගිහින්. බෝසතුන් වහන්සේ සයනයෙන් නැගිට දොර ළගට ගොස් මෙහි නිදන්නේ කව්දැයි විපරම් කරලා බැලුව. එහි එළිපත හිස තබා අඩ නින්දේ නිදා සිටියේ ජන්න. සිද්ධාර්ථ කුමරු පැමිණි මොහොතේම ඔහු අවදිවුනා. තමා සදහා අශ්වයකු සුදානම් කරන ලෙස ජන්නට අණ කරණු ලැබුවා. ස්වාමීනි මේ මැදුම් රෑ කොහි යන්නටද? යි ජන්න විමසුවේ විමතියෙන් වගේම බියෙන්. මම පැවිදි වන්නට ගිහිගෙයින් නික්මෙමියි” බෝසතාණන් වහන්සේ පවසා සිටියා. ස්වාමිනී මාපිය නෑදෑ පිරිස් හැරදමා කොහි වඩින්නද? එසේ නොම වඩින්න. ජන්න ඇමති අසරණව හඬන්නට වුණා. බෝසතාණන් වහන්සේ නොයෙක් සැටියෙන් කරුණු කියා දී ඔහුව කැමති කරව ගත්තා.

මහ හඬින් සිනාසුනු කන්ථක අශ්වරාජයා.

ජනන අශ්වයා සැදීමට අවශ්‍යය උපකරණ ගෙන අස් හළට ගොස් සුවද තෙල් පහන් දැල්වෙද්දී සමන් මල් විසුරුණු වියන යට සිත්කළු බිම් පෙදෙසක සිටින කන්ථක අශ්ව රාජයා දැක අද මොහුම සැකසිය යුතුයි සිතූ හෙතෙම ඔහු වෙත පියමැන්නා. සැකසෙන අයුරින් ම කන්ථක අශ්ව රාජයාට කාරණය දැනුණා. අද සැකසීම ඉතා දැඩිය. අන් දිනවල උයන්කෙළි අඩිය සදහා යන ගමනට සැකසීම මෙන් නොවේ. මාගේ ආර්යය පුත්‍රයා අද මහබිනික්මන් කැමැත්තේ විය යුතුයැයි සිතූ අශ්ව රාජයා සතුටු සිතින් මහා සිනාවක් පහළ කළා. ඒ සිනා හඩ මුළු නුවර පුරාම පැතිර ගියා. එහෙත් දෙවියෝ එම ශබ්දය වලකා කිසිවකුට අසන්නට ඉඩ ලබා දුන්නේ නැහැ.

යසෝදරාව අවදිකිරීමට මහ හඬ නැගු ජන්න ඇමති.

කරුණු එසේ වුවත් ජන්න අසු සරසන අතරත් බෝසතාණන් වහන්සේගේ ගමන නතර කරන්න තවත් උත්සාහයක් ගත්තා. ඔහු කන්ථක අසු සරසන අතර යසෝදරාවට ඇසෙන මානයට ගොස් ඇය පුබුදුවන්නට මහා හඬක් පවත්වා පෙරළා පැමිණියා. එහෙත් යසෝදරවනට ඒ හඬ ඇසුණේ නැහැ. එසේත් නැත්නම් දෙවිවරුන් විසින් ඒ හඬ අහන්නට සැලැස්සුවේ නැහැ. යසෝදරාව තවමත් නිදි.

සංසාර ගමනක සමුගැන්ම.

සිදුහත් බෝසතාණන් වහන්සේ ජන්න ඇමති අසු සැකසීමට යවා පළමුවරට තම පුතු දකිමියි සිතා යශෝදරා දේවිය වෙසෙන ශ්‍රී යහන් ගැබ වෙත පියමණින්නට වුණා. කුමරිය සැතපෙන කාමරය වෙතට පැමිණ සෙමින් දොර විවර කළා. ඒ අවස්ථාව වනවිටත් යහන් ගැබ තුළ සුවද තෙල් පහන් දැල්වෙනවා.

රහල් මව දෑ සමන් සීනිද්ද ආදි මල් අමුණක් පමණ අතුරා සැරසූ යහනෙහි පුතු මත අත තබාගෙනම නින්දට වැටිලා. බෝසතාණන් වහන්සේ එළි පතෙහි පය තබා සිටි වන සිට බලා සිටම මෙලෙස සිතන්නට වුණා. “මම දේවියගේ අත ඉවත් කොට පුතු අතට ගන්නේ නම් දේවිය පිබිදෙනවා. එවිට මාගේ අභිනික්මන ට එය බාධාවක් වන්නට පුළුවන්. සම්බෝධියට පැමිණ ම පුතු දකින්නට එනවා.” මෙලෙස සිතමින්ම මව සහ පුතු දෙස මොහොතක් බලා සිටි අප මහා බෝසතාණෝ සංසාර ගමනකට එලෙස සමුදී අප වෙනුවෙන්ම ප්‍රසාදයෙන් බිමට බැස්සා. මෙලෙස ජාතක අටුවාවෙහි රාහුල කුමරුන් ඉපද සත්වෙනි දවසෙහි අබිනික්මන කළ බව සඳහන් වෙනවා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 175

මහාභිනිෂ්ක්‍රමණය

බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ ප්‍රසාදයෙන් එළියට පිය මැන්නේත් සසර පුරාවට පුරුදු කල මහා උපේක්ෂාවෙන්. ඒ එනවිටත් කන්ථක අසු අජාන් අස්වයෙකු මෙන් සරසා පිළියල කොට තිබ්බේ. සිදුහත් කුමරු උපත ලත් දිනයේම “සත සහජාත” නමින් තවත් උපත් සතක් සිදුවුන බව අප 156 වෙනි කොටසේ ලීවා. එයින් දෙදෙනෙක් තමයි ඡන්න ඇමතියා සහ කන්ථක අශ්ව රාජයා. ඒ බුද්ධත්වය සඳහාම අනුග්‍රහ දැක්වීමට. මෙතන මම දකින තවත් අසිරිමත් කරුණක් තිබෙනවා. එනම් මෙම තුන්දෙනාගේ නික්ම යාම කෙළවර වන්නේ එකිනෙකට වෙනස් අන්ත තුනකින්. ඡන්න ඇමතියා නැවත ආපසු රජමාළිගාවටම හැරී එනවා. ඒ ලව්කික දිවියට. කන්ථක අශ්වරාජයා ගේ ගමන අවසන් වන්නේ මෙලොවින් සමුගෙන දිව්‍ය කුමාරයෙකු ලෙස දිව්‍ය අප්සරාවන් පිරිවරමින් පූර්ව පක්ෂයෙහි නැකැත් තරු පිරිවරකොට ඇති චන්ද්‍රයා යම්සේද, තාරකාවන්ට අධිපති චන්ද්‍රයා හාත්පස හැසිරෙද්ද? අහසෙහිද රැස් ඇති සූර්යයා පහළවන්නාක් මෙන් එවැනි දිව්‍ය විමානකය. ඉදිරියේදී ඔබට ඒ කතාවද මෙම ලිපි පෙලින් කියවන්නට ලැබේවි. එහෙත් අප මහා බෝසතාණන් ගේ ගමන කෙලවර වුයේ සියලු සත්‍වයන් දුකෙන් එතෙර කරවූ එතෙර කරවීමට මග සැදුවා වූ ලොව්තුරා බුද්ධත්වයෙනි.

හක්ගෙඩියක පැහැයගත් කන්ථක අසු රාජකීය ඇඳුමින් සැරසී සමන් මල් විසුරුණු යායක් මැද ගාම්භීරව සිටියේ තවත් බුදුවරයෙකුගේ මහා අභිණික්මනක් සඳහා මවනු ලැබූ දිව්‍යමය අජාන් අශ්වයකු ලෙසයි. මෙසේ බෝසතාණන් වහන්සේ මාලිගයෙන් බැස කන්ඨක අසු ළඟට ගොස් ඔහුගේ කණට කොඳුරා මෙලෙස රහසක් කියන්නට වුණා.

“කන්ඨක ඔබ මා මේ රැය එතෙර කරවන්න. ඔබ නිසා මම බුදු වී දෙවියන් සහිත ලෝකයා එතෙර කරවන්නෙමි.”

අනතුරුව බෝසතාණන් වහන්සේ උඩ පැන අසු පිටට නැග්ගා. කන්ථක අශ්වරාජයා වනාහි බෙල්ලෙහි පටන් අටළොස් රියනක්. ඊට අනුරූප උසින් ද යුක්ත වුණා. ශක්තියෙන් හා ජවයෙන්ද අන් අශ්වයෙකුට සම නොකලහැකි වුණා. ඔහුගේ මුලු සිරුරම සුදු වන්ය. ඔප කළ හකක් හා සමානය. ඔහුගේ හේෂාරාවය සහ පිය ගැටෙන ශබ්දය මුළු නගරයේ පුරාම පැතිරෙනවා. ඒ නිසාම දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් ඔහුගේ පියසටහන් කිසිවකුට නො ඇසෙන සේ වළකා අසු තබන තබන පියවර අත්හළ පිරිනැමුවා. බෝසතාණන් වහන්සේ අසු පිට සිටියදී චන්න ඇමති අසු වලිගය අල්ලා ගෙන මැදියම් රැයෙහිම නගර දොරටුව ළඟට පැමිණියා. ඒ වනවිට පිය රජතුමා සිදුහත් කුමරුට යම්කිසි වේලාවක් නගර දොරටුව හැර නික්මීමට නොහැකි වන පරිදි දොර පවුරු දෙකෙහි එකක් පුරුෂයන් දහසකින් විවර කළ හැකි සේ තනවා තිබුණා. බෝසතාණන් වහන්සේ ඉතා ශක්තිමත් ඇතුන් ගණනින් කෙළ දහසක් ඇතුන්ගේ බල දරයි.

පුරුෂ ගණනින් දශ කෙළ දහසක් බල දරයි. දොරටුව අසළට එන විටත් එහි ආරකෂාව සඳහා යොදවා තිබූ සියලුම දෙනා පසුගිය දින හතෙහිම අක දිගටම නිදිවැරීමෙන්ද, දෙවිවරුන්ගේ අනුහසින්ද තද නින්දට වැටි සිටියා. එවිට බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුණා. “ඉදින් දොර නො හැරුණේ නම් තමා අසුපිට සිටියදීම ඡන්න වලිගය ගෙන සිටිය දීම අසූ දෙකලව යෙන් තද කොටගෙන අටළොස් රියන් උස පවුරු උඩින් පැන යන්නෙමි.” මේ අතර චන්න ඇමතිත් මෙලෙස සිතන්නට වුණා. ‘ඉතින් මේ දොර නො හැරුණේ නම් බෝසතාණන් වහන්සේ උරහිසෙහි තබාගෙන කන්තක ගේ කුස දකුණු අතින් වෙළාගෙන කිසිලි අතරෙහි තබාගෙන පවුරු පැන යමි.’ කන්ථක ද මෙසේ සිතන්නට වුණා. “දොර නො හැරුණේ නම් තම ස්වාමියා පිට උඩ සිටියදීම වලිගය ගෙන සිටින ඡන්ද සමඟම උඩට පැන පවුරු ඉක්මවමි.”

වසා තිබු ඒ මහා දොරටුව අභියසට පැමිණි ඔවුන් තිදෙනා එලෙස වෙන් වෙන්ව සිතන්නට වුණා. මේ දොරටුවට අධිගෘහිත දෙවිකෙනෙක් හිටියා. මේ අය මෙලෙස සිතනකොට දොරටුවට අධිගෘහිතදෙවියාට මෙහෙම හිතුණා. යම් විදිහකින් මේ දොර නො හැරුණේ නම් තුන් දෙනාගෙන් එක් අයකු සිතූ පරිදි එම කාර්යය සිදු වන්නේය. ඒ නිසා දොරටුව විවුර්ත කල යුතුයි. මෙලෙස සිතූ දොරටුවට අධිගෘහිත දෙවියා දොර විවෘත කළා.

ඒ අතර තුර මේ සියල්ලම අහසෙහි සිට බලා සිටි තව කෙනෙක් සිටියා. ඒ මාර දිව්‍ය පුත්‍රයා. එකෙණෙහිම මාර දෙව් පුත් අහසෙහි සිට බෝසතාණන් වහන්සේගේ ගමන වළක්වමින් සිතා “නිදුකාණනේ නොයනු මැනවි. මෙයින් සත්වෙනි දවසෙහි ඔබට සක්විති රාජ්‍ය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවරකොට ඇති සතර මහා ද්වීපයන්ට සක්විති රජ වන්නෙහිය. නවතිනු මැන”.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 176

මහාභිනිෂ්ක්‍රමණය 02

බෝසතාණන් වහන්සේ : ඔබ කවුද?

මම වසවර්ති මාරයා වෙමි.

මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුණා.

මහපොළව කරකැවී බෝසතාණන් වහන්සේට අවසන් වරට මාළිගය ඇතුළු නුවර පෙන්වීම.

මෙසේ බෝසතාණන් වහන්සේගේ අතට පත් සක්විති රාජ්‍යය කෙළ පිඩක් මෙන් අනපේක්ෂිතව හැරදමා උතුරුසල නැකත පවත්නා කාලවෙලාවේම නගරය සහ තමා මෙතෙක් කල් ජීවත් වූ මාළිගාවනද, ආදරණිය බිරිඳද, සිගිති පුතුද , පියා සුළුමව ඇතුළු මුළු නෑ හිතවත් සංහුරයම හැරදා යන්නට පිටත් වුනා. එහෙත් නගරයෙන් පිටත්වන මොහොතේම යලිත් තමා මෙතෙක් කල ජීවත් වූ නුවර දෙස ආපසු හැරී බලන්නට කැමැත්තක් ඇති වුයේ සමුගන්නට අවසර පැතීමට වාගේ. මේ සිතිවිල්ල උපන් කෙණෙහිම මහා පුරුෂය ඔබ පෙරුම්පිරුවෙ නැවතී ආපසු හැරී බැලීම සඳහා නොවෙයි කියන්නාක් මෙන් මහ පොළොව කුඹල් සකක් මෙන් කැරකැවී මාළිගය ඇතුළු නගරය බෝසතාණන් වහන්සේට පෙන්නුවේ ඔහුට ආපසු හැරෙන්නට අවසර නොදෙමින්. ඒ තමයි බුද්ධත්වය සඳහා මිහිකත දැක්වූ සහය එක අවස්ථාවක. බෝසතාණන් වහන්සේ නගරයට මුහුණලා නුවර දෙස බලා නැවතුණු ප්‍රදේශය කන්ථක අශ්වයා නැවතුණු සෑය වශයෙන් සනිටුහන් කොට යළි අසු ගමන්මගට අභිමුඛ කොට මහත් සිරි සොභාවයෙන් ඉදිරියටම ගියා.

මග දෙපස දෙවියන් විසින් දැල්වූ සැටදහසකට වඩා වැඩි පහන් වැටි සහ මදාරා මල් වැසි.

එදින දෙවියො බෝසතාණන් වහන්සේ යන මග පෙරටුව සැට දහසක් ආලෝක වැටි දල්වා සිටියේ ඒ මහා අභිනික්මනට ආශීර්වාද කරමින්. එසේම බෝසතාණන් වහන්සේගේ පිටුපස ද, දකුණු පස ද, වම්පස ද සැට සැට දහස බැගින් ආලෝක වැටි දරන්නට වුණා. සමහර දෙවිවරු හා නා, ගුරුළු ආදීහු ද දිව්‍යමය මල් සුවඳ සුණු ආදියෙන් පුදමින් පසුපසින් යන්නට වුනා. සමහර විට ඔබත් මමත් ඒ අතර ඉන්නටත් ඇති. ඝන වලාවකින් වැගිරෙන වැසී ධාරා මෙන් පරසතු මදාරා මල් වලින් අහස වැසී ගියා. දිව්‍යමය සංගීත හඬ දසත පැතිරී ගියා. හාත්පස අට වග බෙර සැටවග බෙර වශයෙන් සැට දහසක් බෙරවාදනය වුණා. ඒ එක්කම මහ මුහුද ඇතුළත් මහා මේඝනාදයක් ඇතිවුණා. යුගදුරු කුස මුහුද ගිගුම් දෙන කල මෙන් වුණා.

කන්ථක අශ්වරාජය බෝසතාණන් වහන්සේව ගමනාන්තය දක්වා එක් රැයකින් රැගෙන ඒම.

මෙසේ මහත් උපහාරයෙන් බෝසතාණන් වහන්සේ එක රැයකින් ම තුන් රජයක් ඉක්මවා තිස් යොදුනක් ගමන්කොට අනෝමා ගංතෙරට පැමිණ එහි නතර වුණා. ඔබ හිතනවද ඒ අශ්වරාජයාට ඊට වඩා දුර යන්නට බැරිව නතර වුණා කියලා. නැහැ, නොහැකිව නො වෙයි. ඔහු වනාහි එක සක්වල වටයක් මැද අක්ෂයෙන් තබන ලද රිය සක නිම් වළල්ල වටා යන්නාක් මෙන් කෙළවරට ගොස් තමා සඳහා සැපයූ භෝජනය බුදීමට සමත්. එහෙත් එදා දෙව් නා ගුරුළු ආදීන් විසින් අහසෙහි සිට විසුරුවන ලද සුවඳ මල් ආදියෙහි කළවා පෙදෙස දක්වා ගිලුණු සිරුර ඔසවා මල්ගැට ආදිය ඉවත් කරමින් ගමන් කිරීමට සිදුවීම නිසා ගමන ඉතා ප්‍රමාද වුණා. එම නිසා එක රැයකට තිස් යොදුනක් පමණක් ගමන් කළ හැකි වුණා.

මෙලෙස සෙමින් සෙමින් අනෝමා ගංතෙර වෙත පැමිණි බෝසතාණන් වහන්සේ ගංතෙර සිට ඡන්න ඇමති අමතා මේ ගග කුමක් දැයි විමසුවා. දේවයිනි, මෙම නදිය අනෝමා නම් වන බව ඔහු පවසා සිටියා. එවිට එකවරම බෝසතාණන් වහන්සේට මෙලෙස කියවුණා.

අපගේ පැවිද්ද? අනෝම වේ. ලාමක නො වෙයි යැයි පවසා විළුඹින් අසුට සන් කරනු ලැබුවා. කන්ථක අශ්වයා ද උඩට පැන අට ඉස්බක් පළල්වූ ගඟෙහි එතෙරට ඔවුන්ව පමුණුවනු ලැබුවේ බෝසතාණන් වහන්සේට අවසන් වශයෙන් කෙරෙන උපහාරයක් ලෙස වෙන්නට ඇති.

බෝසතාණන් වහන්සේ පැවිදිවීම කෙටියෙන්

බෝසතාණන් වහන්සේ අසුපිටින් බැස රිදී පටක් සමාන වැලි තලාවෙහි සිට ඡන්න ඇමති අමතන්නට වුණා.

බෝසතාණන් වහන්සේ

යහළු ඡන්න, ඔබ මගේ ආභරණද කන්ථක අසු ද රැගෙන ආපසු යන්න. මම පැවිදි වෙමි.

ඡන්න ඇමති

දේවයාණන් වහන්ස, මම ද පැවිදි වෙමි.

මෙලෙස තුන් වතාවක්ම ඔහු වැළකූ බෝසතාණන් වහන්සේ ආභරණද කන්ථක අසු ද ඡන්නට දී ආපසු යන ලෙස අණ කරනු ලැබුවා.

අනතුරුව බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුණා. කෙස්කලඹ පැවිද්දන්ට සරුප් නොවේ. බෝසතාණන් වහන්සේ කෙස් කැපීමට සුදුසු කෙනෙකු නැති හෙයින් තමාම දකුණතින් කඩුව ගෙන වමතින් සිළුමිණ සහිත කෙස් වැටිය ගෙන කපා දැම්මා. දෑගුල් පමණ වූ කෙස් දකුණට කැරකැවී හිස සමග ඇලී සිටිය. රැවුල ද එපමණ ම වුණා. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය තුළ කෙස්ද රැවුලද එපමණම වුණා. නැවත කිසිදිනක කෙස් රැවුල් බා තැබීමේ කාර්යයක් සිදුවුණේ නැහැ. ඉන් අනතුරුව බෝසතාණන් වහන්සේ සිළුමිණ සහිත කෙස්කලඹ ගෙන මම බුදු වන්නේ නම් අහසෙහි සිටිවා නොඑසේ නම් බිම වැටේවා යි අහසට විසි කලා. කෙස්කලඹ යොදුනක් පමණ අහසට ගොස් නැවතුණා. සක්දෙවිඳු දිවැසින් දැක අවුත් යොදුනක් පමණ රුවන් කරඬුවකින් පිළිගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය පිහිටුවූවා.

“ලෝකනායක බෝසතාණන් වහන්සේගේ උතුම් සුවඳ ගල්වන ලද ඒ කෙස් කළඹ අහසේම රැඳුනා. අප සාසනය නිරන්තරයෙන්ම සුරකින බෝසතාණන් වහන්සේගේ පාරමිතා පුර්ණයේ දී අවශ්‍ය සෑම විටකම උදවු උපකාර කල දහසක් නෙත් ඇතිi සක්දෙවිඳු ඒ මොහොතේදීත් එතැන අහසෙහි රැඳී සිටියා. අහසෙහි රැඳුන ඒ කෙස් කළඹ රන් කරඬුවකින් රැගෙන හිස් මුදුනින් පිළිගත්තා.”

නැවත බෝසතාණන් වහන්සේ ට මෙහෙමද සිතුණා. “මේ රාජකීය කසී සළුපිළි කිසිවක් ශ්‍රමණයන්ට සුදුසු නොවේ.” ඒ සමඟම කසුප් සම්බුදු කළ යහළු වූ ඝටීකාර මහා බඹු බුද්ධාන්තරයක් ගෙවුනද දැඩි මිත්‍ර භාවය නිසා “මාගේ යහළු බෝසතාණන් වහන්සේ අද මහබිනික්මන් කළහ. ඒතුමන්ට ද ශ්‍රමණයන්ට ද සුදුසු අටපිරිකර ගෙන යමි” සිතා, ශ්‍රමණ අටපිරිකර බෝසතාණන් වහන්සේට පිළිගැන්වූවා. අප මහා බෝසතාණන් වහන්සේ රහතන්වහන්සේගේ කොඩිය වූ තුන් සිවුර හැඳ පෙරවා උතුම් පැවිදි වෙස් ගෙන ඡන්නය, මාගේ වචනයෙන් මව්පියන්ට සුව බව කියව. බෝසතාණන් වහන්සේ ඡන්න ඇමතිට ආපසු ගමන සඳහා සමු දුන්නා. ඔහු බෝසතාණන් වහන්සේට වැද පැදකුණු කොට නැවත කපිලවස්තු පුරය බලා පිටත් වුණා.

කන්ථක අශ්වරාජයාගේ වියෝව සහ චන්න ඇමති හඬමින් ආපසු තනිවම රජමාළිගය කරා නික්මීම.

කන්ථක අසු මේ සියල්ල දෙස බලා සිටියා.බෝසතාණන් වහන්සේ ඡන්න ඇමැති සමඟ කළ කතාව අසා මාගේ හිමියාගේ දැකීමක් මට තව නැතැයි සිතා බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් ස්නේහයෙන් ලෙවකන්නට වුණා. ඔවුන් එකට ඉපදී එකට උස් මහත් වුණේ සහෝදරයන් වගේ. මෙවැනි සමුගැනීමක් කෙලෙස ඉවසන්නද? බෝසතාණන් වහන්සේ තම දර්ශනයෙන් ඉවත් වෙත්ම හටගත් ශෝකය ඉවසාගත නොහැකිව ළය පැලී එතැනම කළුරිය කොට තව්තිසා දෙව්ලොව කන්ථක නමින් දේව රාජයෙක්ව උපන්නා. ඡන්න ඇමැති හට පළමුව පැවතියේ බෝසතාණන් වහන්සේගේ වෙන්වීමේ දුක පමණයි. නමුත් කන්ථක අසුගේ මරණයෙන් දෙවෙනි ශෝකයක් ද හට ගැනුණා. ඔහු හඬමින් වැලපෙමින් කිඹුල්වත් පුරයට යන්නට පිටත් වුණේ තනිවමයි. මෙලෙස එකමග පැමිණි මෙම තුන් පිරිස අවසානයේ තුන් පෙදෙසකට වෙන්ව ගියා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 177

මෙසේ තමන්ගේ පුර්ව ජන්මයේ කල්‍යාණ මිත්‍ර ඝටීකාර බ්‍රාහ්ම රාජයා වෙතින් ලැබුණු සිවුරු හැඳ පොරවා පත්‍රයද උරේ එල්ලගෙන කිඹුල්වත් නුවර දෙසටම නික්ම ගියා. ඒ යන අතර අඹවනයක් දැක ඒ තුලට වැඩම කළා. මේ මල්ලරට මායිමේ වූ අනුපිය නම් නුවර සමීපයේ වූ අඹ වනයයි.

ළදරු වියේ සිට නවවිසි වන වස තෙක්ම නිතර පැවැති නැටුම් ගැයුම් වැයුම් හා ඇසුරු කලවුන් ගේ කතාබස් ආදී වශයෙන් කිසිදු නිසි විවේකයක් නොලබා කල්ගෙවූ බෝසතාණන් වහන්සේට ඒ සියල්ලන්ගෙන්ම වෙන්ව පටන්ගත් මේ හුදෙකලා ජීවිතය මහත් සැනසිල්ලක් බව වැටහුණා. ලෝක තත්ත්වය ජීවිත තත්වය සිතා බලන කෙනෙකුට අවශ්‍ය වනුයේ ජනයාගෙන් වෙන් වූ හුදෙකලා බවයි.එය ලත් බෝසතාණන් වහන්සේ එයින් උපන් විවේකය ද ඒ නිසාම උපන් ප්‍රීතිය ද භුක්ති විදිමින් නුවණින් ජීවිත තත්ත්වය විමසමින් සතියක්ම කල් යැවූවා. ඒ කාලය තුළ සා පිපාසාවක් ඇති වුනේ නැහැ. මේ අතර මාගේ වියෝගයෙන් ඇතිවන ප්‍රිය විප්‍රයෝග දුක දරා ගැනීමේ ශක්තිය පියාණන් වහන්සේට කුඩා මෑණියන් වහන්සේටත් යශෝධරාවන්ට නන්ද කුමාරයාට නන්ද කුමරියටත් සෙසු ඥාති ජනයාටත් යන හැම දෙනාටම ඇති වේවා. එයින් කිසි කෙනෙකුටවත් කිසිම විපතක් නොවේවා යි තරයේ අධිෂ්ඨාන කරනු ලැබුවා. බෝධිසත්වයන් වහන්සේ අනුපිය අඹ වනයෙහි සතියක් එහි වැඩ සිට එයින් නික්මී, ශාක්‍යා බ්‍රාහ්මණි නමින් ප්‍රසිද්ධ තපස්විනියක ගේ අසපුවට වැඩියා. තපස්විනිතොමෝ භෝජන වලින්ද නවාතැනින් ද උන්වහන්සේට සංග්‍රහ කළා. එතැනින් උගත යුතු දෙයක් නැති සේ දැක එහි නුදුරෙහි වූ පද්මා නම් තපස්විනිතොමෝ ගේ අසපුවට වැඩිය. එහිදී ද මහත් ආදර සත්කාරයෙන් පිළිගන්නා ලද්දේ එතැනිනුත් උගත යුතු දෙයක් නැති නිසා එතනිනුත්නික්මුණා. ඉන්පසු එම අසපුවට නොදුරු රේවත නම් සෘෂිහු ගේ අසපුවට වැඩම කළා. ඒ සෘෂීහු ගේ ද ධර්මයෙහි සාරයක් නො දැක එතැන නොසිට එතැනිනුත් නික්මුණා. මෙසේ රජගහ නුවරට සමීප අසපුවක යාගහෝම කරමින් නොයෙක් වත පුරමින් වසන තවුසන් සමූහයක් ඉන්න භාග්‍රවාශ්‍රමයට පිවිසියා. ඒ අසපුවට අධිපති භාර්ගව තෙම මහත් සත්කාරයෙන් බෝසතාණන් වහන්සේ පිළිගත්තා. ඔහුගේ දහම විමසා බලනුයේ සංඝ සුව පතා යාගහෝම කරනුව ට වැඩියෙන් දෙයක් නැතැයි දැක එතැනින්ද නික්මෙන්ට සැරසුනා. ඒ දුටු එහි වෘත පුරන මහලු තවුස් කෙනෙක් ඔබ සොයන දහම උගන්වන ආළාර නම් තව කෙනෙක් විශාලා මහනුවර අසපුවක වෙසෙති. එහි වඩින්නැයි කීවා. විසාලා මහනුවරට යෑමට රජගහ නුවරට ගොස් ගංගා නදියෙන් එගොඩ යා යුතුය. එබැවින් බෝසතාණන් වහන්සේ පළමුකොට රජගහනුවර අතට ගමන ඇරඹුවා.

සැළකිය යුතයි – මෙම කොටස අපගේ අට්ට කතාවේ සඳහන් නැති හෝ මා හට හමු නොවූ කොටසක්. උපුටා ගනු ලැබුවේ ගෞරවනීය බලන්ගොඩ ආනන්දමෛත්‍රිය මහනායක හිමිපාණන් වහන්සේගේ බුද්ධ චරිතය ග්‍රන්ථයෙනි.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 178

බිම්බිසාර රජතුමා පරිත්‍යාග කල රජකම ප්‍රතික්ෂේප කල අප මහා බෝසතාණෝ.

මේ අයුරින් බෝසතාණන් වහන්සේ රජගහ නුවරට පැමිණියේ එක් දවසක උදේ වරුවේ. පිඬුසිඟා යාමට කාලය එළඹ ඇති බැවින් උන්වහන්සේ පාත්‍රය ද අතින් ගෙන ප්‍රධාන නගරය වෙත නික්මුණා. රජගහ නුවර ඒ වනවිට රජකම් කරනු ලැබුවේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේගේ් අදෘෂ්ට මිත්‍රයෙක්. ඔබට මතක ඇති මින්පෙර ඔවුනොවුන් අතර තෑගි සහ ලිපි හුවමාරු වුන බව ලියා තිබුණා. නිසා ඔවුන් කුඩා කල සිට ම හොඳ මිත්‍රයෝ. එහෙත් බිම්බිසාර රජතුමා දැනන් හිටියෙ නෑ මේ වන විටත් ඔහුගේ ඒ නුදුටු මිත්‍රයා තම නගරයට පැමිණ ඇති බව. ඒ බව දැන සිටියා නම් මේ කතාව තව ටිකක් වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. ඒ කෙසේවෙතත් අප බෝසතාණන් වහන්සේට වුවමනා වුණේ නැහැ ඔහුට මේ බව දන්වා සිටින්න. බෝසතානන් වහන්සේ මෙහෙම හිතුවා.

“ මා මෙහි ආ බව රජුට දැන් වුවොත් මහත් සත්කාර සංග්‍රහ ලැබුණු ඒකාන්තයි. එහෙත් දන්වා යවා සංග්‍රහ ලැබීම නුසුදුසුයි. පිඬු සිඟා ගොස් ලත් දෙයින් යැපීම ඊට වඩා උතුම් ය.

මෙලෙස සිතූ අප මහා බෝසතාණන් වහන්සේ පිඬුසිඟා යමින් රජගහනුවර ප්‍රධාන වීදි වෙතට පිය මැන්න. මුළු නගරයම බෝසතාණන් වහන්සේගේ රූපය දැකීමෙන් ධනාල නම් ඇතා පිවිසි රජගහනුවර මෙන් මෙන් කැලඹුනා. මෙයට පෙර කිසි කලෙක නො දුටු ඒ අපූර්ව රූපශ්‍රීයෙන් බබලන බෝසතානන් වහන්සේ දුටු නුවර වැසියෝ විශ්මයට පත්වුණා. බෝසතාණන්ගේ රූපශ්‍රීයෙන් වශීකෘත වූ ඔවුන් තමන්ගේ වැඩ කටයුතු නවතා උන්වහන්සේ දෙස බලාගත් වනම බලා සිටියා. “මේ නම් මනුෂ්‍යයෙක් නොවේ. මහා බ්‍රහ්මයා කිසියම් අදහසකින් මිනිස් වෙසින් පැමිණ සිට යැයි” කෙනෙක් කීවා. සමහරු මොහු බ්‍රහ්මයා නොවේ කලින් කළ ලොවට එන විෂ්ණු දෙවියන්ගේ මනුෂ්‍ය අවතාරයක් යැයි කියා සිටිය. තවත් මහරු මේ ශිව දෙවියෝ ද, සමහරු මේ සඳ මඩලට අරක්ගත් සඳ දෙව්රජ ද, තවත් කෙනෙක් මේ හිරු මඬලට අරක්ගත් සූර්ය දිව්‍යරාජයාද, තවත් කෙනෙක් මොහු වෙන කිසිවෙකු නොව අනංගයාම විය යුතු යැයි තමන්ගේ ඇදහිලි අනුව විවිධ මත පළකරන්නට වුණා. ගැඹුරින් කරුණු විමසන යම් කිසි කෙනෙක් “මේ ඔය කියන කිසිවෙක් නොවේ ලෝවැඩ පිණිස පහළ වූ කිසියම් මහා පින් ඇති උත්තමයෙක්” යැයි කියා සිටියා.

මේ අතර මේ සියල්ල දෙස විමසිලිවත්ව බලා සිටි රාජපුරුෂයෝ වහාම බිම්බිසාර රජතුමා වෙත ගොස් බැහැදැක “දේවයන්වහන්ස රටට මහා ශාන්තියක් සැලසෙන පෙරනිමිත්තක්, දෙවියෙක්ද මිනිසෙක් දැයි නො දනිමු. පෙර නොදුටු විරූ විශ්මය උපදවන රූපශ්‍රීයෙන් යුත් කෙනෙක් පැවිදි විසින් නුවර පිඬුසිඟා වඩිති. යැයි කියා සිටියා. රජතුමාද සීමැදුරු කවුළුව හැර බලනුයේ බෝසතාණන් වහන්සේ දැක විශ්මයට පත්ව ඒ දෙසම බලා උන්නා. මොහු ආශ්චර්යමත් කෙනෙක්, දැකුම් කළු අඟ පසෙකින් යුක්ත ආරෝහපරිණාහ සම්පන්න දේහයෙන් පිරිසිදු බබළන වර්ණයෙන් යුක්ත සිත පහදවන ඉරියව්වෙන් යුක්ත වූ දෙවියකු හෝ අමනුෂ්‍යයෙක් විය හැකියි. යම් හෙයිකින් මොහු දෙවියෙකු හෝ අමනුෂ්‍යයෙක් වන්නේ නම් ටික දුරක් ගොස් අදෘශ්‍යමාන විය යුතයි. මිනිසෙක් වී නම් කිසියම් තැනකට ගොස් පිඬුසිඟා ලත් ආහාර වළඳය යුතුයි. ඒ නිසා මොහො පසුපස ගොස් විමසා බලා ඒ බව මට කියවයි රජතුමා රාජපුරුෂයන් පිටත් කොට යැවුවා.

අප මහා බෝසතාණන් වහන්සේද පිඬුසිගා අවසානයේ පිවිසි දොරටුවෙන්ම නගරයෙන් නික්ම පාණ්ඩව පර්වතයට මුහුණලා හිඳ ආහාර පිළිගැනීමට පටන් ගත්තා. රාජ බෝජනයෙන් යැපුණු ඔහුට අමාරුවෙන් වැලඳු ආහාර පෙරළා අවුත් මුඛයෙන් නික්මෙන ඔක්කාර ගතියක් දැනෙන්නට වුණා. ඒ මේ ආත්මභාවය තුල මේවනවිට මෙබඳු ආකාර ආහාරයක් ඇසින් නොදුටු විරූ නිසයි. එයින් ආහාරයේ පිළිකුල් බව සලකනු ලබන්නේ මෙසේ තමන් තමන්ටම අවවාද කර ගත්තා. ” සිද්ධාර්ථ ඔබ ආහාර පාන සුලභ කුලයක වාසය කළා සුවඳසැල් භෝජන නොයෙක් අනර්ඝ රසයෙන් වළඳනා තැනක උපත ලබා වැරහැලි එක් පාංශුකූලික සිවුරක් පොරවා ගත් අයකු දැක කවර දා හෝ මමත් මෙබඳු ආකාර වී පිඩු පිණිස හැසිර අනුභව කරන්නේ මේ වන්නෙමි. මට ඒ සුදුසු කාලය යයි සිතා රජකමද රාජ්‍යයද අතහැර පැමිණියා. දැන් කුමක් නම් කරන්නේද ? දැන් ඒ ආහාර පිලිකුල් කරන්නේද?” මෙසේ තමන් තමන්ටම අවවාද දී කලකිරුණේ වී නමුත් ආහාර අනුභව කළා.

මේ සියල්ල දෙස බලා සිටි රාජපුරුෂයෝ හැකි ඉක්මණින්ම රජතුමාව දැනුවත් කළා. රජු දූතයන්ගේ වචන අසා වේගයෙන් නගරයෙන් පිටවී බෝසතාණන් වහන්සේ සමීපයට පැමිණි රජු ඇතුළු පිරිස සන්සුන් හික්මුණු ඉරියව් ආදියෙන් සැදී පැහැදී බෝසතාණන් වහන්සේ අසළ එකත් පසෙක හිඳගෙන මෙලෙස පවසනු ලැබුවා.

ඔබ ඉතා සියුමැලි කෙනෙක් තවම තරුණ වියේ පිඬුසිඟා යකුන් ඔබ වැන්නෙකුට නොවැටී පින්වතා නිමි මේ අංග මගධ දෙරට විශාලයි දෙකට බෙදා කොටසක් ඔබට පියනම ඉතිරි කොටස මම ගනිමින් මෙසේ අපි දෙදෙනා මේ රට පාලනය කරමු යැයි කියා සිටියා

බෝසතාණන් වහන්සේ ඔහුගේ කතාව අසා මේ රජ මා නොහඳුනති. ඉතා තමන්ව හඳුන්වා දෙන්නට මේ සුදුසුම අවස්ථාවයි සිතුව.

මහරජ භූමි ප්‍රදේශ වශයෙන් කෝසල රටට ඇතුළත් ශාක්‍ය නම් රටක් හිමවත් පාමුල ඇත. බොහෝ පෙර සිට පරම්පරා උරුමයෙන් රටට අධිපති ව පාලනය කරන සූර්යවංශික වූ ශාක්‍ය නමින් ප්‍රකට පරම්පරාවක් ඇත. සහ දුක්වලින් ලොව පෙනෙන්නා දැක එයින් මිදෙන මගක් වනු වස් මට අයත් රජකම හැර දමා ඒ ශාක්‍ය කුලයේ නික්ම පැවිදි වුණෙමි ිමුක්ති මාර්ගය යන රාජ්‍යයන් මට වැඩක් නැත බෝසතාණන් වහන්සේ වදාරනු ලැබුවා.

එය ඇසූ කෙණෙහි ම රජුට කාරණය වැටහී ගියා. පින්වතාණන් වහන්ස, ශාක්‍ය දේශාධිපති සුද්ධෝදන මහ රජාණන්ගේ පුත් සිද්ධාර්ථ කුමාරයාණන් සතර පෙර නිමිති දැක ගිහි ගෙයින් නික්ම ගොස් පැවිදි ව බුදු වනු ඇතයි අසා ඇත්තෙමි. ළදරුවියේ සිටම මා හා හසුන් හා තුටුපඬුරු හුවමාරුවෙන් මිතුරු වී සිටින මගේ හිත මිතුරු ඔබ වහන්සේ දැකීමෙන් ඉතා ප්‍රීතියට පත්වීමි. වහන්ස ඔබේ මනෝරථය සඵල වේවා!! ඔබ වහන්සේ විසින් ප්‍රර්ථනා කරන්න වූ බුදු බව ලැබූ පසු කල්නොයවා මගේ නුවරට ද වඩින සේක්වා!! ඔබවහන්සේ ලැබූ විමුක්ති සැපය දී අපවද සනසන සේක්වා!! යැයි රජතුමා කියා සිටියා බෝසතාණන් වහන්සේ ද එසේය, බුදු වූ පසු පැමිනෙන්නෙමි යි වදාරනු ලැබුවා. ඉක්බිති රජ ද පිරිසද බෝසතාණන් වහන්සේට මහත් වූ ආදර බුහුමන් දක්වා වැඳ පැදකුණු කොට නික්ම ගියා. බෝසතාණන් වහන්සේ ද එදා රෑ ගිජුකුළු කඳු පදෙස අසපුවක වැඩ සිට පසුදින උදේ විසාලා මහනුවරට යනු පිණිස එතැනින් පිටත් වුණා .

උපකාරක ග්‍රන්ථ – අපදානට්ඨ කතා, ජාතකට්ඨකථාව. ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 179

රජගහනුවර බිලි පූජා සහ සත්වඝාතන නතර කළ අප මහා බෝසතාණෝ.

මෙම කතාව අපගේ පෙළපොත් වල සඳහන් නැති එහෙත් බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතයේ අඩංගු කතා පුවතක්. මෙහි මූලාශ්‍ර පිළිබඳ සඳහනක් උන්වහන්සේ ගේ පොතෙහි දක්නට ලැබුණේ නෑ. මෙය විශේෂයෙන්ම වර්තමානයට ඉතා වටින කතාවක් ලෙස හැඟී ගිය හෙයින් එහි ඇති අයුරින්ම මෙලෙස සඳහන් කරනවා.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ විශාලා මහනුවරට යන අදහසින් ගංගා නදියෙන් එතෙරව යා යුතු බැවින් ඒ දෙසට ගමන් කළා. මේ අතර 500ක් පමණ වූ බැටලු රංචුවක් දක්කාගෙන රජගහනුවර අතට යන අජ පල්ලෙකු ඉදිරියේ මුණගැසුණා. රජගහ නුවර කියන්නෙ ඒ කාලේ මගධ රට ප්‍රධාන රාජ්‍යයයි. එය ගිරිව්‍රජ රාජ්‍යය යන නමින් ද හැඳින් වුණා. ඒ බැටළු රැලෙහි හැමටම පස්සෙන් කොර ගසමින් අමාරුවෙන් පිය නගන බැටලු පැටියෙක් ද වුණා. ඒ අසලින් ඌගේ මව වූ බැටලු දෙන ද ආවා. ඒ අජපල්ලා කිසිම කරුනාවක් නැතිව කෝටුවකින් තලමින් ඒ බැටළු පැටියාව ඉදිරියටම මෙහෙයවන්නට වුණා. බෝසතාණන් වහන්සේ ඔහු හමුවී මේ සතුන් කොහේ ගෙන යන්නේ දැයි විමසා සිටියා.

“අප රජතුමාගේ අපල උවදුරු දුරු කරන්නට වේද නියමය පරිදි අද නුවර ලඟ දෙවොලෙහි බිලි පූජාවක් කෙරෙනවා.රාජ නියෝගයෙන් බැටළුවන් පන්සියයක් ගෙන යාමට මට නියම වුණා” යනුවෙන් අජපල් ලා කියා සිටියා.

මේ ළදරුවාට තලන්න එපා මේ පැටියා මම ගෙනවිත් දෙන්නම්. මෙසේ වැදෑරු අප මහා කාරුණිකයාණෝ ළදරු බැටළු පැටියා වඩාගෙන බැටළු රළ පසුපසින් ඔහු සමග යන්නට වුණා. බැටළු පැටියා ගේ මවට ද උන්වහන්සේගේ කාරුණික බව හැඟී බෝසතාණන් වහන්සේගේ පසුපසින්ම යන්නට වුණා.

බෝසතාණන් වහන්සේ කෙළින්ම පූජාසනය කරා වැඩිය. එකෙනෙහිම පුදසුනෙහි හුවා සිටි බැටළුවෙකු ඔසවාගත් පූජකයා ඌගෙ බෙල්ලට මුවහත් පිහිය තැබීමට සැරසුණා පමණයි. බෝසතාණන් වහන්සේ වහාම ඉදිරියට විත් ඔහුව නවතනු ලැබුවා. බෝසතාණන් වහන්සේගේ තේජාන්විත භාවය දුටු පූජකයා මෙල්ල වී පසුබැස්සා. ඔහු අසරණ වී එහි පැමිණ සිටි බිම්බිසාර රජු දෙස බැලුම් හෙලුවා. රජතුමාත් බෝසතාණන් වහන්සේ දැක නිහඬව බලා ගත් වනම බලා සිටියා. එවිට බෝසතාණන් වහන්සේ රජතුමා හට මෙලෙස පවසා සිටියා. අසරණ සතුන් බිලි දෙමින් තමන්ගේ උවදුරු දුරු කරගන්නට සිතා කරන ක්‍රියාවලින් වඩාත් පව් රැස් වනු මිස විපත් වැඩිවනු මිස ඒවා අඩු නොවනු ඇතැයි දේශනා කළා. මේ අසරණ සතුන් බිලිගන්නා තැනැත්තෙක් වෙතොත් ඒ දෙවියෙක් නොව හීන දීන රකුසෙකු යයිද යන ආදියෙන් කරුණු පවසා අවවාද කළා. බිම්බිසාර රජතුමා ඒ අවවාදය පිළිගෙන එවෙලේම සිය රටෙහි සත්ව බිලිපූජා තහනම් කරනු ලැබුවා. බුද්ධත්වයෙන් පසු තම මාලිගාවට වඩින්නයි නැවතත් ආරාධනය කර නික්ම ගියා. අප මහා බෝසතාණන් වහන්සේ ද විශාලා මහ නුවර බලා වඩින්නට ගංගා නම් නදිය වෙතට පිය නැග්ගා.

උපකාරක ග්‍රන්ථ – . ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 180

අප මහා බෝධිසත්වයන් වහන්සේහට ආචාර්යවරුන් සිටියේද? නැද්ද? යන ප්‍රශ්නය.

අද ලිපිය පින්වත් ඔබ විසින් අමුලිකා ශ්‍රද්ධාවෙන් තොරව ඉතාමත් තියුණු තීක්ෂණ විචාර බුද්ධියකින් විමසිය යුතු කාරණාවක් බව හැඟුනේ මිට පෙර බෝධිසත්වයන් වහන්සේ හට ශිල්ප ඉගැන්වීම සඳහා සබ්බමිත්ත ආචාර්යවරයා කැඳවීම සහ ඔහු කෙරෙන් ශිල්ප ඉගෙනගත් බවට සහ බෝසතාණන් වහන්සේලා හට ආචාර්යවරුන් නැති බවට තාරක විතර්ක කරමින් ලියූ යම් ප්‍රතිචාර නිසාය.

මා හට අද දින ලිවීමට ඇත්තේ බෝධිසත්වයන් වහන්සේගේ ආචාර්යවරයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින්ම හැඳින්වෙන ආළාරකාලාම, උද්දකරාමපුත්‍ර‍ නම් තපස්වීන් පිලිබඳවය. මෙහිදීද ඉහත තර්කය නැවත මතුකර හැකි නිසාත් අට්ටකථා ආචාර්යවහන්සේලාත් අනුපිළිවෙල කතාවේ මේ කොටස බැහැර කොට ඇති නිසාත් මා ඔබහට ලියන දේ පිළිබඳ ශාස්ත්‍රීය භාවය සහ නිරවද්‍ය භාවය පිලිබඳ මනා වගකීමක් මා කෙරෙහි පැවරී ඇතිනිසාත්, ලිපියට පෙර ප්‍රවේශයක් ලෙස මෙම ලිපිය සකස් කිරීමට සිත්විය. මේ සඳහා මා හට ගුරුඋපදෙස් ලැබුණු භික්ෂූන් වහන්සේලා දෙනමක් පිළිබඳව මූලිකවම ගෞරවාන්විතව පුණ්‍යානුමෝදනා කරන්නට කැමැත්තෙමු. ඒ කම්මට්ඨානාචර්ය, අභිධර්ම විශාරද, ති‍්‍රපිටකාචාර්ය ධර්මකීර්ති ශ්‍රී‍්‍ර පුජ්‍ය දිගන සුගතවංශ ස්ථවිරයන් වහන්සේ සහ රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ යන ගෞරවනීය භික්ෂුන් වහන්සේලා දෙනමය.

මේ ප්‍රශ්ණයට නිවැරදි ශාස්ත්‍රීය විසදුමක් දෙන අප බෞද්ධ සාහිතයේ ඉමහත් ගෞරවයට පත්‍ර වූ “මිලින්ද ප්‍රශ්ණය” ග්‍රන්ථයේ සඳහන් මිලින්ද රජු විසින් අසනු ලැබූ “ගුරුවිරහිත” ප්‍ර‍ශ්නයත් ඊට නාගසේන මහරහතන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුරත් මේ අයුරින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එය මගේ මතයක් නොවන බැවිනි.

මිලින්ද රජු,

ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො”.

යන මේ ගාථාවෙන් “මට ආචාර්ය කෙනෙක් නො ම ඇත. මට සදෘශ කෙනෙකු දු නැත්තේ ය. දෙවියන් සහිත වූ ලොකයෙහි මට වැඩි පුද්ගලයෙක් නැත්තේ ය” යි කියා මේ ගාථාව වදාරණ ලද්දේ ය. නැවත ද:-

“ඉති ඛො භික්ඛවෙ ආලාරොකාලාමො ආචරියො

මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි.

උළාරාය ච මං පූජාය පූජෙසි” යි.

යන මෙයින් “මහණෙනි, මෙසේ ආළාරකාලාමතෙම මට ආචාර්ය වූයේ අන්තෙවාසික වූ මා තමා හා සම සම ව තැබුයේ ය. මට මහත් වූ පූජාවක් පූජා කෙළේ ය. යි කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින්:-

න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො යි.

මෙම ගාථාව වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන්

ඉති ඛො භික්ඛවෙ ආළාරොකාලාමො ආචරියො

මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි

යි කී වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන්වහන්සේ විසින් ඉති ඛො භික්ඛවෙ ආළාරොකාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති යනාදි වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඒ ප්‍ර‍ශ්නයතෙම ඉසිලියයුත්තේ ය යි කීහ.

මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“මට ආචාර්ය කෙනෙක් නො ම ඇත. මට සදෘශ කෙනෙකු දු නැත්තේ ය. දෙවියන් සහිත වූ ලොකයෙහි මට වැඩි පුද්ගලයෙක් නැත්තේ ය”

යන මේ ගාථාවත් වදාරණ ලද්දේ ය. නැවත ද:-

“මහණෙනි, මෙසේ ආළාරකාලාමතෙම මට ආචාර්ය වූයේ අන්තෙවාසික වූ මා තමා හා සම සම ව තැබුයේ ය. මට මහත් වූ පූජාවක් පූජා කෙළේ ය.”

කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. ඒ වදාළ වචනය වනාහි බුදු වීමට පූර්වයෙහි ම අභසම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ ආචාර්යභාවය සඳහා වදාරණ ලද්දේ ම ය. මහරජානෙනි, බුදු වීමට පූර්වයෙහි ම යම් කෙනෙකුන් විසින් අනුශාසනා කරණ ලද්දා වූ බොධිසත්වයන් වහන්සේ ඒ ඒ තන්හි දවස් හැර වදාළසේක් ද, ඒ අභිසම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ මේ ආචාර්යවරයෝ පස්දෙනෙකි. ඒ ගුරුවරයෝ පස්දෙන කවරහු ද?

  1. මහරජානෙනි, යම් ඒ බ්‍රාහ්මණයෝ අටදෙනෙක් බොධිසත්වයන් උපන් කල්හි ලක්ෂණ පරීක්ෂා කළාහු ද, හේ කවරහු? යත්:- චතුර්වෙදයෙහි නිපුණ වූ රාම ය, ධජ ය, ලක්ඛණ ය, මන්ති ය, යඤ්ඤ ය, සුයාම ය, සුභොජ ය, සුදත්ත ය යන ඒ බ්‍රාහ්මණයෝය. බොධිසත්වයන්ගේ දෙතිස්මහාපුරුෂලක්ෂණාදිය බලා “මේතෙම ගෘහ වාසයෙහි විසී නම් චක්‍ර‍වර්තිරජ වෙයි. මහණ වී නම්, ලොවුතුරා බුදු වෙ” යි කියා දෙඇඟිලි නැඟූහ. හැමට ම බාල සුදත්ත නම් බ්‍රාහ්මණයා මකුළුහුයක් වඅන් ඌර්ණාරොම ධාතුව බලා “මේ තෙම එකාන්තයෙන් ම ලොවුතුරා බුදු වේ ම ය” යි කියා එකැඟිල්ලක් නඟා ලී ය. මෙසේ බොධිසත්වයන්ගේ සිරිසෙත් ප්‍ර‍කාශ කොට කියා රක්ෂා කට යුතු කෙරෙව්වාහු ය. ඒ අට දෙන පළමුවන ආචාර්යයෝ ය.
  2. නැවත ද, මහරජානෙනි, බොධිසත්වයන්ගේ පිතෘ වූ සුද්ධෝදන නම් මහරජානෝ එසමයෙහි විශෙෂජාති ඇති උදිච්චබ්‍රාහ්මණවංශ ඇති පදක වෙය්‍යාකරණඡළංගශාස්ත්‍ර‍ දන්නා සබ්බමිත්ත නම් බ්‍රාහ්මණයෙකු ලඟට ගෙන්වා ස්වර්ණභිංකාරයෙන් පැන් වත්කොට “මේ කුමාරයාට ශිල්ප උගන්ව” යි කියා භාර දුන්නාහු ද, මේ දෙවෙනි ආචාර්යයා ය.
  3. තවද, මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේ සාරමසින් සාර මසින් ශක්‍රදෙවෙන්ද්‍ර‍විලාසයෙන් සැරසී උද්‍යානක්‍රීඩාවට වඩනා කල්හි යම් ඒ දෙවතාවෙක් මහණවෙසය සතර වැනි කොට ජරා ව්‍යාධි මෘත රූපයන් දක්වා බොධිසත්වයන්ට සංවෙග කෙළේ ද යම් දෙවතාවකුගේ ආනුභාවයෙන් කියූ රථාචාර්යයාගේ වචනය අසා බොධිසත්වයන් වහන්සේ තුන් භවය ම ගිනි ගත් දෙයක් සේ සිතා සසර කලකිරී උද්විග්න ව ඒ ක්ෂණයෙහි ම නෛෂ්ක්‍ර‍ම්‍ය නික්ම පැවිදි වූසේක් ද මේ තුන්වැනි ආචාර්යයා ය.
  4. තව ද, මහරජානෙනි, අප මහබෝසතනානන් වහන්සේ පාණ්ඩව නම් පර්වතගුහායෙන් නික්ම ඒ ඒ තැන විහරණය කරණසේක් අරූපසමාපත්තිලාභී වූ ආළාරකාලාම නම් තපස්වීන් කරා එළඹ වාසය කොට අෂ්ටසමාපත්ති උපදවා ගෙණ මේ ආචාර්යයාගේ සමයයෙහි නිවන් මෙතෙක් ම ය යි එතැනින් ඉවත වැඩිසේ. මේ සතරවැනි ගුරුවරයා ය.
  5. නැවැතත්, මහරජානෙනි, බොධිසත්වයෝ උද්දකරාමපුත්‍ර‍ නම් තපස්වීන් කරා ගොස් වාදය කොට ධ්‍යානමාත්‍ර‍යක් මිස එහිත් නිවන් නැතැ යි සිතා එහිත් නො රඳා උරුවෙලාවට වැඩියසේක. මේ පස්වැනි ආචාර්යතෙම ය.

මහරජානෙනි, සම්බොධියට පූර්වයෙහි ම සම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ මේ ගුරුවරයෝ පස්දෙනා ය. ඒ ආචාර්යවරයෝ වනාහි ලෞකිකගුණධර්මයෙහි යෙදූහ. මහරජානෙනි, මේ ලොකොත්තර වූ නිර්වාණගුණධර්මයෙහි සර්වඥතාඥානය ප්‍ර‍තිවෙධ කිරීමෙහි තථාගතයන් වහන්සේට අනුත්තර වූ අනුශාසක ගුරුවරයෙක් නැත්තේ ය. මහරජානෙනි, අප තථාගතයන් වහන්සේ අන්‍යොපදෙශ විරහිත ව ස්වයම්භූඥානයෙන් ම බුදු වූ සේක. ආචාර්ය විරහිතසේක. ඒ කාරණයෙන් බුදුරජානන් වහන්සේ විසින්:-

න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො. යි.

(“මට ආචාර්ය කෙනෙක් නො ම ඇත. මට සදෘශ කෙනෙකු දු නැත්තේ ය. දෙවියන් සහිත වූ ලොකයෙහි මට වැඩි පුද්ගලයෙක් නැත්තේ ය” )

යන මේ ගාථාව වදාරණ ලදැ යි වදාළසේක.

මිලින්ද රජ,

යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නය ද එසේ ම මමත් පිළිගන්නෙමි යි රජතුමා කීහ.

ගුරුවිරහිතප්‍ර‍ශ්නය නිමි.

මෙය ඔබ සැමට බෝධිසත්වයන් වහන්සේගේ ගුරුවරුන් සම්බන්ධව සෑහීමකට පත්විය හැකි සටහනක් යැයි සිතමි.

උපකාරක ග්‍රන්ථ – මිලින්ද ප්‍රශ්ණය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 181

බෝසතාණන් වහන්සේ රජගහනුවර පෙදෙසින් නික්ම විශාලා මහනුවර බලා වඩිමින් ගංගා නදී තීරයට පැමිණ ගඟෙන් එගොඩ වුනා. විසාලා මහ නුවරට වැඩ එය සමීපයෙහි වූ වින්ධ්‍යාකෝෂ්ඨය ට පැමිණියා. ඒ සමයෙහි කාලාම ක්ෂත්‍රීය ‍පරපුරට අයත් ආළාර නම් සෘෂි තුමා තුන් සියයක් පමණ වූ තවුස් ගණයට නායකව වින්ධ්‍යාකෝෂ්ඨ අසපුවෙහි වාසය කළා. ඔහු සප්ත සමාපත්තිලාභී මහා බලවත් තවුසෙක්. ඔහු සිය ශ්‍රාවකයන්ට ආකිංචඤ්ඤායතන ධ්‍යාන භූමිය තෙක් සමථ භාවනා මාර්ගය පෙන්වා දීමට සමත්වුණා. එතුමා එහි වැඩි බෝසතාණන් වහන්සේ දැක සාදරයෙන් පිළිගෙන එහි නැවතී භාවනා කරන්නට අවශ්‍ය සියලු සැප පහසුකම් සැලසුවා. බෝසතාණන් වහන්සේ ද ඔහුගේ අවවාදයෙහි පිහිටා භාවනාව වැඩුවා.

උන්වහන්සේ ටික කලකින්ම ඔවුන්ගේ ඒ ධර්මය අසා ඉගෙන ගත්තා. අප මහා බෝධිසත්වයන් වහන්සේගේ ඒ මහත් වූ ප්‍රඥාව විර්යය පිළිබඳව බෝධිරාජ කුමාර සුත්‍රයේ මෙලෙස සඳහන් වෙනවා.

“රාජකුමාරය, මා හට යම්දෙයක් කියා දෙන්නට තොල පෙරලු පමණින්ම, ඔහු විසින් කියන්නට යන දෙය අවබෝධකොට ගත්තෙමි. කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිමියයි කීමද) කියමි. ථෙරවාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ ම කියති.”

කලින් ගිහි කල ආනාපානසතිය වඩා සිටි බැවිනුත් බැවිනුත් සංසාරය පුරා පුරුදු කල බැවිනුත් බෝධිසත්වයන් වහන්සේට සිත සමාධිගත කිරීම ලෙහෙසි කාරියක් වුණා. මෙසේ නොබෝ දිනකින්ම බෝසතාණන් වහන්සේ ආකිංචඤ්ඤායතන ධ්‍යාන ලැබුවා. බෝසතාණන් වහන්සේ ආළාර තවුසා හට මේ බව දන්වා සිටියා. ආළාර තවුසාණෝ බෝසතාණන් වහන්සේ තමන්ගේ තත්ත්වයටම පැමිණි නියාව දැක ඉතාමත් පැහැදී ගෝල පිරිස දෙකොටසකට බෙදා කොටසක් බෝසතාණන් වහන්සේට පැවරුවා. එතැන් සිට තමාට දායකයන් පිරිනමන සියලු සත්කාරද බෝසතාණන් වහන්සේ වෙතටත් යොමු කරා. සෑම තැනදීම බෝසතාණන් වහන්සේට ප්‍රමුඛස්ථානය දෙනු ලැබුවා. බෝසතාණන් වහන්සේ ද ආකිංචඤ්ඤායතන සමාපත්තිය පිරිසිද බලනුයේ එය පරම විමුක්තිය නොව ලොවටම ඇතුළත් තරමකට සිත සංසුන් බව ඇතිකරන සමාධි මාත්‍රයක් බව දුටුවා. මෙයටත් එහා කළ යුතු දෙයක් නැද්දැයි ඍෂිතුමා ගෙන් විචාලා නැතැයි පරම නිෂ්ඨාව යැයි ඔහු කීවා. ඉන්පසු බෝසතාණන් වහන්සේ මෙහි සිටීමෙන් වන විශේෂ අර්ථයක් තමාට නැතැයි සලකා ආළාරඍෂිතුමන්ට ඒ බව දන්වා ඒ අසපුවෙන් සමුගෙන නික්මුණා.

උද්‍රක රාමපුත්‍ර

මහබෝසතාණන් වහන්සේ මෙසේ සැරිසරන අතර මහී නදියෙන් එගොඩ රාමපුත්‍ර උද්‍රක නම් මහා තවුස් ඇදුරෙකු ඉන්නා බව අසන්නට ලැබුණා. ඒ පළාතේ අධිපති එළෙයියක පෙදෙස් රජ ද ඔහුගේ යමක, මොග්ගල්ල, උග්ග, නාවින්දකි, ගන්ධබ්බ අග්ගිවෙස්සාන යන මහා ඇමතියන් ද ඔහු තමන් ගරු කොට සලකන බවද ඇසුවා. එහේ ගියොත් මැනවැයි බෝසතාණන් වහන්සේට සිතුවා. නොබෝ දිනකින්ම ඔහුගේ අසපුවට පැමිණියා. ඔහුද බෝධිසත්ත්වයන් වහන්සේ දැකපෙර පරිදීම සාදර ගෞරවයෙන් පිළිගත්තා. නවාතැන් දුන්නා, හාර පානාදී අවශ්‍ය සියලුම දෑ සපයමින් ම තමන්ගේ කර්මස්ථානරාම පුත්‍ර. මාර්ගයද ඉගැන්වූවා. ඉහතදී සඳහන් කල අයුරින්ම මෙහිදීත් බෝධිසත්වයන් වහන්සේ බෝධිරාජ කුමාර සුත්‍රයේ සඳහන් කරනවා තම ගුරුවරයා තොල සොලවන පමණින්ම කියනා දෙය අවබෝධ කරගත්තා කියලා. බෝසතාණන් වහන්සේ ද එය ඉගෙන පිළිපැද නොබෝ දිනකින්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය ලැබුවා. බෝසතාණන් වහන්සේ තමන් ලත් සමාධි තත්ත්වය උද්‍රක රාමපුත්‍ර අදුරුතුමාට පවසා සිටියා. මාගේ ගුරු රාම තවුසාණෝ ද ඔය සමාධිය ලැබ සිටියා. හෙත් මා වනාහි මාගේ ගුරුන්ගෙන් මේ සමාධි භාවනා ක්‍රමය ඉගෙන ඇතත් ඒ පරිද්දෙන්ම උගන්න තත් තවම ඒ සමාධිය නම් නොලැබුණි. ඔබ මගේ ගුරු වූ රාම මහා ඍෂීන් ගේ තත්ත්වයට පැමිණියා. මෙතැන් සිට මෙහි අධිපති ව වැඩ ඉන්නයි ඉල්ලා සිටියා. අපි හැම ඔබගේ ශිෂ්‍ය බවට පත් වන්නෙමි කියා ඔහුද බෝසතාණන්වහන්සේගේ ශිෂ්‍ය බවට පත්වුණා. එවිට බෝසතාණන් වහන්සේ මීට වැඩි යමක් ඔබ උගන්වන්නේ දැයි තවුසාගෙන්ගෙන් ඇසුවා. නැත මේ අප ගුරු වූ රාම සෘෂීන් ඉගැන්වූ පරම විමුක්තිය බව තවුසා කීවා. බෝසතාණන් වහන්සේ විමසා බලනුයේ එය තමන් සොයන පරම විමුක්තිය නොවන බව දැන එයට මඟ පෙන්වන අන් ගුරුවරයකු සොයා යන්නට සැරසුණා.

ඔබට මේ අවස්ථාවේ යම් හෙයකින් “බෝසතාණන් වහන්සේලා හට ආචාර්ය වරුන් සිටියේ නැහැ” යන මතය සිතට නැගුනොත් එය නැතිකිරීමට ආළාර කාලාම, උද්‍රක රාමපුත්‍ර ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන්ම වදාළ බෝධිරාජ කුමාර සුත්‍රයේ යම් කොටසක් ගෙනහැර දක්වන්නට සිත් වුනා.

බුදුරජාණන් වහන්සේ .

රාජ කුමාරය. මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.

බුදුරජාණන් වහන්සේ

රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.

උපකාරක ග්‍රන්ථ – බොධිරාජ කුමාර සූත්‍රය -මජ්ඣිමනිකාය, මහා පරිනිබ්බාණ සූත්‍රය, අරියපරියේසන සූත්‍රය, මහාසච්චක සූත්‍රය, බෝධිරාජකුමාර සූත්‍රය, මිලින්ද ප්‍රශ්ණය, සංගාරව සූත්‍රය – මජ්ඣිම නිකාය, උදක සුත්ත- සලායතන වග්ග, ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 182

පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 01

තබන පියවරක් පාසා මහ පොළවෙන් නැගි සියපත් ශ්‍රී පාදය පිළිගත් පියුමතරා බුදුපියාණන් වහන්සේ

සුද්ධෝදන රජතුමා ද පුතණුවන්ගේ තොරතුරු විමසා තමාට දන්වනු පිණිස මාරුවෙන් මාරුවට තමා යවන දූතයන් මගින් බෝසතාණන් වහන්සේගේ තොරතුරු දැනගත්තා. රජ පවුලේ හැම දෙනාට ම එය සිත් සනසා ගන්නට හේතු වුණා. උන්වහන්සේ රාමපුත්‍ර උද්‍රක තවුසාණන්ගේ අසපුවට පැමිණ වසන සමයෙහි රජු විසින් එවන ලද දූතයෝ ඔහුට විශේෂ උපස්ථායක කෙනෙක් නැතැයි දුටුවා. එය ඔවුන් ඉක්මණින් රජුට දැන්වූහ. මේ ඇසූ සුද්ධෝදන රජතුමා සහ සුප්‍රබුද්ධ රජතුමා තමන් වෙතින් වෙන වෙනම පිරිස් දෙකක් බෝසතාණන් වහන්සේට උපස්ථාන පිණිස ඒ අසපුවට යැව්ව කියලා කියනවා. එලෙස ගිය පිරිස අතර බෝධිසත්වයන් වහන්සේ මතු බුදුවනබව දැන කපිලවස්තු පුරයේ ඔහු ගැන විස්තර සොයමින් සිටිය පිරිසක් හිටියා. ඒ තමයි කොණ්ඩඤඤ භමුණා ප්‍රධාන පස්වග මහණුන් යැයි අප විසින් හඳුන්වන ලබන පිරිස.

ඔබට මතක ඇති මින් පෙර බෝධිසත්වයන් වහන්සේට නම් තැබූ දිනයේ එක ඇඟිල්ලක් ඔසවා මෙම කුමරා ස්ථිර වශයෙන්ම බුදුවනවා යනුවෙන් කි භමුණන් අතර සිටි ලාබාලම භමුණා. ඒ තමයි කොණ්ඩඤඤ. ඔහු ඉන්පස්සේ එතැන සිටි භාමුණන් කිහිපදෙනෙක්ගේ දරුවන් හමුවී මතු බුදුවන බුදුවරයා ගැන දැනුවත් කොට සිටියේ ඒ කාලය වනවිට අන් භමුණන් ජිවතුන් අතර නොසිටින නිසා. ඇත්තෙන්ම නොසිටින නිසා කියනවට වැඩිය බුද්ධත්වය සඳහා ඇප උපස්ථාන කිරීමටත් ප්‍රථමයෙන් ම මගඵල අවබෝධ කරගැනීමටත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි පිරිස ඒ. ඒ අතරින් ප්‍රධාන වුනේ කොණ්ඩඤඤ භමුණායි. මෙතැන් සිට මේ ලියවෙන්නේ ඔබගේ සිතේ එවන්ම පාරමිතාවක් පිරවිම්ටත්, බුදුන් කෙරෙහි නැති ශ්‍රද්ධාව වැඩිකිරීමටත්, ඇති ශ්‍රද්ධාව ප්‍රභල ඉන්ද්‍රිය ධර්මයක් බවට පත්කිරීමටත්, ඇවැසි අතීත කතා ප්‍රවුර්තියක්. මේ සමගම ඔබ තව කරුණක් දැනගත යුතයි. එනම් මෙම අසු මහා ශ්‍රාවකයන් ඒ මොහොතේ අහඹු ලෙස හමුවූ අහඹු ලෙස මහා ශ්‍රාවකයන් ලෙස බුදුන් වෙතින් පිදුම් ලැබූ පිරිසක් නොවෙන බවයි. ඒ සඳහාම පින්දහම් කරමින් විවිරණ ලබමින් කල්ප ලක්ෂයක්වත් අවම වශයෙන් පෙරුම් පුරමින් මෙම ඝෝර සසර තුලම පැමිණි මහා පුණ්‍යවන්ත පිරිසක් බවයි. මෙතැන් සිට ලියවෙන්නේ ඒ අතරින් අග්‍ර, අප සාසනයේ පළමුව මගඵල නිවන් අවබෝධකොටගත් මනුෂ්‍ය රත්නය වන කොණ්ඩඤඤ භමුණා ගැනයි.

මීට කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා පදුමුත්තර නොහොත් පියුමතුරා කියලා බුදු කෙනෙක් ලොව පහළ වුණා. උන්වහන්සේ පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙළේ පනස් එක්වෙනි ලිපියේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. අවබෝධ කළ සර්වඥතා ඥාන ඇති ඒ මහා බුදුපියාණන් වහන්සේ ලග අනිත් බුදුරජාණන් වහන්සේලා වෙත නොතිබූ වෙනස් සුවිශේෂ පුණ්‍ය මහිමයක් තිබුණා. ඒ තමයි උන්වහන්සේ බුද්ධත්වය ලැබූ දින සිට තබන පියවරක් පියවරක් පාසා මහ පොළොව මතින් පියුමන් මතුවී ඒ ශ්‍රී පාදය පිළිගැනීම. උන්වහන්සේ ඉපදුන දිනයේත් උන්වහන්සේට නම් තබන දිනයේත් මහා මල් වරුසාවක් වැහැලා දසදහසක් සක්වල මත පතිත වුණා කියලා කියනවා.

ඒ පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝ පළඟෙහි හිඳ ‘පොළොවෙහි පා තබමි’යි දකුණු පය දිගු කරනු ලැබුවා. එවිට පොළොව පලාගෙන නිකැළැල් නිර්‍මල කොමළ කේශර කර්ණිකා ඇති, ජලජ නිර්‍මල අවිකල විපුල පත් ඇති, අජලජ වූ ජලජ පියුම් නැගී සිටගත්තා. ඒවායෙහි ප්‍රධාන පෙති අනූ රියන් දිග වුනා. කෙසරු තිස්රියන් පමණ වුනා. කර්ණිකා ව දස රියන් පමණ විශාලයි. එකිනෙකෙහි නව කළයක් පමණ රේණු වලින් ගහන වුනා.

ඒ ශාස්තෲන් වහන්සේත් ඒ හා සමානව උසින් පනස් අට රියන් පමණ වුනා. උන්වහන්සේගේ නේත්‍රා අතර පරතරය අටළොස්රියන් පමණ වුනා. නළල පස්රියනක් උස වුවා. අත්පා එකළොස් රියනක් දිගින් යුක්තයි. උන්වහන්සේගේ එකොළොස් රියන් පාදයෙන් දස රියන් කෙමිය ස්පර්ශ වන විට නව කෙළක් පමණ රේණු ඉහළට නැගී අටපනස් රියන් ශරීර ප්‍රදේශය උඩට නැගී මනෝසිල සුණු මෙන් ශරීරය මත විසිරී ගියා. ඒ රේණු අභිභවනය කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පැහැ නික්මී යන්ත්‍ර නාලිකාවකින් විසුරුණු රන්රසදහරක් මෙන් හාත්පසින් දොළොස් යොදුනක් තැන් ඒකාලෝක කලා. දෙවැනි පය ඔසවන කල්හි පළමුව නැගුන පියුම අතුරුදහන් වී තෙවැනි පියවර පිළිගැනීම සඳහා වෙනත් අලුත් පියුමක් මහපොළොවෙන් පැන නැග්ගා. මෙලෙස උන් වහන්සේ යම් තැනකට යන්නට කැමැති වුණේ ද ඒ යන මඟ පියවරක් පියවරක් පාසා මහපොළොවෙන් පියුම් පැන නැගී ඒ ශ්‍රීපාදය පිළිගත්තා.

ඒ හේතුවෙන් ශාස්තෲන් වහන්සේ ‘පදුමුත්තර නමින් ප්‍රකට වුණා.’යයි ද සංයුක්ත භාණකයෝ කියනු ලබනවා.

පළමුව ප්‍රතිවේධ කළ ධර්මය ඇති එක් භික්ෂුන් අතර එතදග්‍රස්ථානය

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද භික්ෂූන් ලක්ෂයක් පිරිවරා කොට ඇතිව වැඩ සිටියා. මහජනයාට සංග්‍රහ පිණිස ගම් නියම් ගම් රජදහන් හි පිඬු පිණිස හැසිරෙන්නා වූ උන්වහන්සේ හංසවතී නම් නගරයටද පැමිණියා. ඒ උන්වහන්සේ උපන් නගරයයි. උන් වහන්සේ වඩින බව අසා පිය මහ රජතුමා පෙර පෙර මගට ගමන්කලා. එවිට ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කරනු ලැබුවා. දේශනාව අවසානයෙහි ඇතැම්හු සෝවාන් වුනා. ඇතැම්හු සකෘදාගාමි, අනාගාමී භූමි වලට පැමිණිය. ඇතැම්හු උතුම් රහත් බවට පත්වූණා. රජතුමා හෙට දිනයේ බුදුරජාණන් වහන්සේට දනට ආරාධනා කොට දෙවන දිනයෙහිද භික්ෂූන් ලක්ෂයක් පිරිවර කොට ඇති සම්මා සම්බුදුරජාණන්වහන්සේට සිය නිවසෙහි මහ දන් දුන්නා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ භුත්තානුමෝදනාව කොට විහාරයට ම වැඩම කරනු ලැබුවා. ක්‍රමයෙන්ම දෙවෙනි

දිනයෙහි නුවරු ද ඊලග දිනයෙහි රජ ද වශයෙන් දිගු කලක් මහදන් දුන්නා. ඒ කාලයේම මේ කොණ්ඩඤඤ තෙරුන් වහන්සේ හංසවතී නගරයෙහි ගෘහපති මහාසාර කුලයක ඉපදී සිටියා. එක් දිනක් බුදුරදුන් දහම් දෙසන කල් හි, ගඳ මල් ආදිය අතැතිව බුදුරජාණන් වහන්සේ යම් තැනක ද ධර්මය යම් තැනක ද මහා සංඝයා යම් තැනක ද ඒ දෙසට යොමුව ඒ දෙසට නැඹුරුව යන්නා වූ හංසවතී නුවර වැසියන් දැක ඒ මහජනයා සමගම දම් දෙසන්නා වූ බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැනට ගියා. එදිනම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තම සසුනෙහි පළමුව ප්‍රතිවේධ කළ ධර්මය ඇති එක් භික්ෂුවක එතදග්‍රස්ථානයෙහි තබනු ලැබුවා. ඒ කුල පුත්‍රයා එකරුණ අසා “මේ භික්ෂුන් වහන්සේ වනාහි ආශ්චර්යයකි. බුදුන් වහන්සේ හැර මොහු විසින් පළමුව අවබෝධ කළ ධර්මය ඇති අන් භික්ෂුවක් නැත. මම ද අනාගතයෙහි එක් බුදු සසුනක පළමුව ධර්මය අවබෝධ කිරීමෙහි සමර්ථයෙක් වන්නේ නම් අහෝ යෙහෙකැයි” සිතා දෙසුම අවසන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “හෙට මගේ ශික්ෂාව පිළිගනු මැනවයි” ආරාධනා කර සිටියා. සම්මා සම්බුදු රජාණන් වහන්සේත් එම ආරාධනාව ඉවසා වදාරනු ලැබුවා..

කල්ප ලක්ෂයකට පෙර දින සතක් පුරා පදුමුත්තර බුදුන් ඇතුළු ලක්ෂයක් වූ මහා සංඝරත්නයට මහ දන් දී “පළමුව ප්‍රතිවේධ කළ ධර්මය ඇති එක් භික්ෂුන් අතර එතදග්‍රස්ථානය” පැතූ කොණ්ඩඤඤ තවුසා.

හෙතෙම භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුණු කොට සිය නිවසට ගොස් මුළු රැය පුරාම බුදුන් වහන්සේ හිඳින තැන ගඳ මල් දම් ආදියෙන් සරසා මිහිරි ප්‍රණීත බොජුන් පිළියෙල කරවා සිය නිවසෙහි භික්ෂූන් ලක්ෂයක් පිරිවරන ලද භාග්‍යවතුන්වහන්සේට විසිතුරු කැඳ කැවිලි පිරිවරකොට ඇති නොයෙක් රසැති හොදි ව්‍යඤ්ජන සහිත සුවඳ හැල් බොජුනක්දී බත්කිස අවසන්හි තුන් සිවුරකට පොහෝනා වංගරෙදි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාමුල තබා මෙලෙස සිතුවා. “ මම සුළු තනතුරක් සඳහා මෙලෙස නොහැසිරිමි. මහත් තැනක් පතමින් හැසිරෙමි. එක් දිනක් පමණක් දන් දී ඒ තනතුර පැතීම සුදුසු නැතැයි” අනුපිළිවෙළින් සත් දිනක්ම මහ දන් දී බත්කිස අවසන්හි රෙදි ගබඩාව විවර කරවා උතුම් සියුම්වතක් බුදුන් වහන්සේ පාමුල තබා භික්ෂුන් ලක්ෂයද තුන් සිවුරෙන් පුදවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ” ස්වාමීනි ඔබ වහන්සේ විසින් මෙයින් දින හතකට මතුයෙහි යම් ඒ භික්ෂුවක් එතදග්‍රස්ථානයෙහි තබන ලද්දේ ද මමත් ඒ භික්ෂුව මෙන් අනාගතයෙහි උපදින සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සසුන්හි පැවිදිව පළමුව ධර්මය අවබෝධ කිරීමෙහි සමත් වේවායි” කියා බුදු පාමුල හිස තබා වැඳගෙන සිටියා. ශාස්තෘන් වහන්සේ ඔහු ගේ වචනය අසා “මේ කුලපුත්‍රයා විසින් මහත් ප්‍රාර්ථනාවක් කරන ලදී”, මොහුගේ මේ ප්‍රාර්ථනාව ඉටු වන්නේද නැද්ද යන්න අනාගතංසඥානය යොමා ආවර්ජනය කර එය ඉටු වන බව දකිනු ලැබුවා. අතීතය හෝ අනාගතය හෝ වර්තමානය අරභයා ආවර්ජනා කරන්නාවූ බුදුන් වහන්සේලාට වනාහි කඩතුරාවක් නම් නැහැ. නොයෙක් කල්ප කෝටි ලක්ෂයක් අතුරෙහි වූද අතීතය හෝ අනාගතයේ හෝ දහසක් සක්වල අතුරෙහි වූද අතීතය හෝ අනාගතය හෝ දහසක් සක්වල අතුරෙහි වූද වර්තමානය හෝ ආවර්ජනයට පිළිබැදියේම මෙනෙහි කිරීමට පිළිබදියේම වෙයි. මෙසේ ආපසු නොහැරෙන්නාවූ නුවණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි කල්ප ලක්ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදින බවත් එකල්හි මොහුගේ පැතුම ඉටුවන බවත් දැක ඔහුට ” පින්වත් කුලපුත්‍රය අනාගතයෙහි කල්ප ලක්ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදිති. නුඹ ඒ බුදුරජාණන් වහන්සේගේ පළමු දෙසුම වන පිරිවැටුම් තුනක් ඇති දම්සක් පැවතුම් සූත්‍රය කෙළවර අටලොස් බඹ කෙළක් සමඟ දහසක් නයින් යුතු උතුම් සෝවාන් ඵලයෙහි පිහිටන්නේ” යැයි මෙසේ වදාරනු ලැබුවා. මෙසේ ඒ පදුමුත්තර බුදුපියාණන් වහන්සේ කුල පුතුට විවරණ දී අසූසාර දම්සක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;-

කොණ්‌ඩඤ්‌ඤ සූත්‍රය (සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 8. වඞ්‌ගීස සංයුත්‌තය » වඞ්‌ගීස වර්ගය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවවදානය – ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි – භික්ඛූ අපදාන 1 » 1. බුද්‌ධාපදානය » ථෙරාපදානං)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා – ( සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 15. සොළස නිපාතය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ – (අඞ්‌ගුත්‌තර නිකාය අට්ඨකතා 01- සිංහල පිටු අංක 106 සිට 115 )

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 183

පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 02

පියුමතුරා බුදුන්ගේ පරිනිර්වාණය

මෙසේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ කුල පුතුට විවරණ දී අසූසාර දම්සක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශරීරය ස්වර්ණස්කන්ධයක් මෙන් ඒකඝන වුනා. උන්වහන්සේගේ ශරීරය තැන්පත් කළ චෛත්‍යය සත් යොදුන් උසැතිව තැනූවා. ඒ සඳහා ගඩොල් කරවනු ලැබුවේ රනින්. හිරියල් මනෝසිලා වලින් මැටිකිසද තෙලෙන් දියකිසද නිමකළා. මිට පෙර කි ලෙසින් බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි ශරීර ප්‍රභාව දොළොස් යොදුනක් දුරට පැතිරුනා. පිරිනිවන් පෑ උන් වහන්සේගේ සිරුරින් පවා මහා රශ්මියක් නික්මුනා. එම රශ්මිය හාත්පසින් යොදුන් සියයක් පැතිරුණ. මේ සිටු තෙමේ බුදුන් වහන්සේගේ ශරීර චෛත්‍යය වටකොට දහසක් රන් ඇගෑ කරවූවා. (ඇගෑ – පහල සිට ඉහලට කුඩා වනසේ තැනූ තොරන් විශේෂයක්, චෛත්‍ය දාගැබ් ) චෛත්‍යය පිහිටුවන දිනයෙහි චෛත්‍යය තුළ රන් ගෙයක් ද කරවූවා.

විපස්සී බුදුන්කල යලි මෙලොව එලිය දූටු කොණ්ඩඤඤ තවුසා.

ඔහු මෙලෙස අවුරුදු ලක්ෂයක් මහත් දානාදිමය වූ යහපත් කටයුතු කොට එයින් නික්ම දෙව්ලොව උපන්නා. දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නා වූ ඔහු මෙලෙස අනේක වූ සැප සම්පත් විදිමින් සිටිනා විට කල්ප අනූ නවදහස් නවසිය නවයක් ඉක්මුණා. මෙපමණ කලක් ඇවෑමෙන් මෙයින් අනූ එක් කල්පයකට මත්තෙහි මේ කුලපුත් බන්ධුමතී නගර ද්වාරයෙහි වූ ගමක කෙළෙඹි ගෙයක යලිත් උපන්නා. ඔහුට මහාකාළ යයි නම් වුණා. ඔහුගේ කනිටු සොහොයුරා චූලකාළ නම් වුණා. ඒකාලයේ විපස්සි බෝසතාණන් වහන්සේ තුසීපුරෙන් නික්ම බන්ධුමතී නගරයෙහි බන්ධුම රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපදුණා. (අපේ බුදුහාමුදුරුවෝ 82 ) අනුක්‍රමයෙන් සර්වඥ බවට පත්ව දම්දෙසුම සඳහා මහ බඹු විසින් ආරාධනය කලාට පස්සේ කවරකුට නම් පළමුව දහම් දෙසන්නේ න් දැ යි උන්වහන්සේ දිවැසින් බලන්නට වුණා. එවිට තමන්ගේ කණිටු සොහොයුරු බණ්ඩ නම් කුමරුද තිස්ස නම් වූ පුරෝහිත පුතු ද පළමුව ධර්මය අවබෝධ කිරීමට සමර්ථ බව දැක “ඔහුන්ට ද දම් දෙසන්නෙමි පියාට ද සංග්‍රහ කරන්නෙමි” යැයි සිතා බෝමැඩ සිටම අහසින්ම පැමිණ ඛෙම නම්වූ මිගදායෙහි (අභය භූමියෙහි) ඔවුන් කැඳවා ධර්ම දේශනාකරනු ලැබුවා. ධර්ම දේශනාව කෙළවර ඒ දෙදෙනා ද අසූසාර දහසක් ප්‍රාණීන් සමග රහත් පෙළෙහි පිහිටියා. බෝසත් කල්හි අනුව පැවිදි වූ වෙනත් අසූසාර දහසක් කුල පුත්‍රයෝ ඒ පුවත අසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමීපයට පැමිණ ධර්ම දේශනය අසා ඔවුනුත් රහත් බවෙහි පිහිටියා.

ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදිනම ඒ බණ්ඩස්ථවිරයන් අගසව් තනතුරෙහි ද තිස්සස්ථවිරයන් දෙවෙනිසව් තන්හි ද තැබූවා. රජ තුමා ද ඒ පුවත අසා පුතු දකින්නෙමි උයනට ගොස් දම් දෙසුම අසා තිසරණයෙහි පිහිටා සම්මා සම්බුදු රජාණන් වහන්සේ හෙට දිනයට ඇරයුම් කොට පැදකුණු කොට පිටත්ව ගියා. මේ සියලු දේ දැක සතුටට පත් වූ පිය රජතුමා මෙලෙස සිතන්නට වුනා.” මාගේ දෙටු පුත් ගිහිගෙයින් නික්ම ගොස් බුදු බව ලැබූවා. මාගේ දෙවැනි පුතා අගසව් වූනා. පෙරවිපුත් දෙවෙනිසව් වුනා. මේ සෙසු භික්ෂූහු ද ගිහි කල්හි ද මාගේ පුතුම පිරිවරා හැසිරුනා . ඒ නිසා පෙරද දැනුදු මොවුහු මටම භාරයි. ඒ නිසා ඔවුනට මම ම සිව්පසයෙන් උවටැන් කරන්නෙමි. අනුන්හට ඉඩක් නොදෙන්නෙමි.” යනුවෙනුයි.

රජතුමා කැමති වුනේ නැහැ රටේ ජනයා උන්වහන්සේ දකිනවාට සහ කතාබස් කරනවාට එය වැළක්වීමට රජතුමා කරනු ලැබුවේ වෙහෙර දොර කොටුවෙහි සිට රජගෙයි දොරටුව තෙක් දෙපසින් කිහිරි පවුරක් කරවා ඒ දෙපස වස්ත්‍රයෙන් වස්වා ඒ මත්තෙහි රන් තරු වලින් විසිතුරු වූ එල්ඹෙන තල් කඳක් පමණවූ නොයෙක් මල්දම් කරවා පොළොව මත විසිතුරු ඇතිරිලි වලින් අතුරුවා සුවඳද තබවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කල් දන්වා සිටියා. සම්මා සම්බුදු රජාණන් වහන්සේද භික්ෂූන් වහන්සේලා පිරිවරා කඩතුරා තුළින්ම රජ ගෙට පිවිස බත් කිස කොට වෙහෙරට යලි පෙරළා වැඩියා.

වසර සතක් එක දිගට බුදුන් ඇතුළු හැටලක්ෂයක් වූ මහසඟනට දන්දුන් දුන් පියරජතුමා.

මෙලෙස ආවරණය කල මාර්ගය ඔස්සේ රජගෙදරට වැඩීම සහ යලි වෙහෙරට වැඩීම නිසා අන් කිසිවෙක් හට සම්මා සම්බුදු රජාණන් වහන්සේ දැකීමට වත් නොලැබුනා. කරුණු එසේනම් දානයක් දීමට හෝ පූජාවක් කිරීමට හේ කෙසේ නම් ලැබේද? මෙලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සත් අවුරුදු සත් මසක් ගතවුණා. “අප හට ඒ මහා උත්තමයන් වහන්සේ දක්නට නොලැබුණි. භික්ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ දහමක් ඇසීම ගැන කියනු ම කිම? රජතුමා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මගේ ම ය, ධර්ම රත්නය මගේමය, සංඝරත්නය මගේම යයි මමායනය කොට ඔහුම තුණුරුවනට උවටැන් කරයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාට වැඩ සඳහා උපකාර සඳහා පහළ වූ සේක. රජුට පමණක්ම නිරය උණුසුම් වූයේත් අනෙකුන්ට නිලූපුල් වනයක් සමාන වූයේත් නොවේ.” ඒ නිසා අපි රජුට කියමු අපිටත් පින් කරගන්නට සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙන්න කියලා. නොදේනම් රජු සමග යුද කොට හෝ සංඝයා ගෙන දානාදී පින් කරමු. නගර වැසියන් වූ අපට පමණක්ම මෙසේ කිරීමට නොහැකියි. ඒ නිසා හමුදා සෙන්පතියාද අපේ පැත්තට ගනිමු යි නුවර වැසියෝ සිතූවා. මෙසේ සිතා සෙන්පතිතුමා වෙත එළඹ ඔහුට එම අදහස දන්වා” ස්වාමීනි අප ඔබට පක්ෂ වුවෝ වෙමු. ඔබද එලෙසමයි. එලෙස පවසා මේ යෝජනාව කර සිටියා. මෙය ඇසු සෙන්පති තුමා එයට එකඟ වුනේ තවත් කොන්දේසියක් පනවමින්. එනම් රජතුමාගෙන් අවසර ගත පසු බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට උවැටන් කිරීම සඳහා පළමු දිනය මට දිය යුතුය යන පොරොන්දුව මත. මහජනයාත් එය පිළිගත්තේ වෙන කල හැකි කිසිවක් නැති නිසා.

දන්දීමට යුද ප්‍රකාශ මහජනයා.

හෙතෙම රජු වෙත එළඹ “දේවයන් වහන්ස නුවර වැසියෝ ඔබ ගැන කිපිලා.” දරුව, ඒ කුමක් නිසා දැයි රජ ඇසුවේ පුදුමයෙන්. ඔබ වහන්සේ පමණක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උවටැන් කරන්නාහුය. අප ඒ පින නොලබම්හ”. කියා සෙන්පති කීවා. ඉතින් දැන්වත් ඒ පින ලබත් නම් නො කිපෙයි. නොලැබේ නම් ඔබ සමග යුද කිරීමට ඔවුන් කැමති බව දැන්වූවා. එවිට මහරජ “ දරුව, මා යුධ කරමි , භික්ෂු සංඝයා නොදෙමි “. යනුවෙන් කියා සිටියා. රජ්ජුරුවෝ දැන සිටියේ මහ සෙනවියත් ඒ පැත්තේ කියලා. එවිය සෙනවියා මෙහෙම කීවා. දේවයෙනි නුඹගේ දාසයෝ නුඹ සමග යුධ කරමි යැයි කියත් ඔබ වහන්සේ කවරකු ගෙන යුද කරන්නේදැයි ඇසුවා. රජු එවිට සෙන්පති නුඹ නේදැයි ප්‍රශ්ණ කළා. සෙනෙවි එවිට නුවරුන් ගෙන් තොරව මම සමත් නොවෙමි යනුවෙන් පවසා සිටියා. රජතුමාට කාරණා කටයුතු තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඔහු මෙහෙම සිතුවා. නුවර බලවත්ය, සෙන්පති ද ඔවුන්ටම පක්ෂයි. ඒ නිසා තවත් සත් අවුරුදු සත් මසක් මට භික්ෂු සංඝයා දෙත් වායනුවෙන් ඉල්ලීමක් කළා. එහෙත් නුවර වැසියෝ එයට කැමති වුයේ නැහැ. රජතෙමේ හය වසක් පස් වසක් යයි මෙසේ අඩු කරමින් එය නොලැබුණ තැන අවසානයේ තව සත් දිනක්වත් දෙන ලෙස ඇය සිටියා. අනේ රජකෙනෙක් දානයක් වෙනුවෙන් බැගෑපත් වූ සැටි. නුවර වැසියෝ දැන් රජු සමඟ ඉතා රළු දෙයක් කිරීමට නුසුදුසු යැයි සිතා එයට කැමති වුනා. රජතුමා සත් අවුරුදු සත් මසකට පිළියෙල කළ දාන මුඛය දින හතකට ම පිළියෙල කොට සදිනක් කිසිවකු නොදකිද්දිම දන් දී සත්වැනි දිනයෙහි නුවරුන් කැඳවා “දරුවනි මෙසේ දන් දීමට හැකි වන්නාහු දැයි” අසා සිටියා. එවිට ඔවුන්ද අප නිසාම මෙය දේවයන්වහන්සේට උපන්නේ නොවිය දැයි කියා හැකි යැයි කියා සිටියා. එය ඇසු රජතුමා අතින් කඳුළු පිසිමින් භාග්‍යවතුන්වහන්සේ වැඳ “ස්වාමීනි සැටඅටලක්ෂයක් භික්ෂූන් වහන්සේ අනෙකකුට නොපරවා දිවි ඇති තෙක් සිව්පසයෙන් උවටැන් කරන්නට සිතුවා. දැන් මවිසින් නුවර වැසියන්ට අනුදනිමි. භාග්‍යවතුන්වහන්ස, නුවර වැසියන් ඔවුන්හට දන්දීමට නොලැබේ යයි හොඳටම කිපිලා. හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරන සේක්වා” යි කඳුළු සලමින් කියා සිටියා. විපස්සි බුදුරජාණන් වහන්සේත් එය නිහඬව පිළිගත්තා. ඊළඟ ලිපියෙන් තාපස තුමා ඒ ආත්ම භවයේදී විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළු හැට අටලක්ෂයක් මහා සංඝ රත්නයට දුන් දානය ඔබට කියවන්නට ලැබේවි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;-

කොණ්‌ඩඤ්‌ඤ සූත්‍රය (සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 8. වඞ්‌ගීස සංයුත්‌තය » වඞ්‌ගීස වර්ගය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවවදානය – ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි – භික්ඛූ අපදාන 1 » 1. බුද්‌ධාපදානය » ථෙරාපදානං)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා – ( සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 15. සොළස නිපාතය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ – (අඞ්‌ගුත්‌තර නිකාය අට්ඨකතා 01- සිංහල පිටු අංක 106 සිට 115 )

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 184

පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 03

“ස්වාමීනි සැටඅටලක්ෂයක් භික්ෂූන් වහන්සේ අනෙකකුට නොපරවා දිවි ඇති තෙක් සිව්පසයෙන් උවටැන් කරන්නට සිතුවා. මම අද සිට නුවර වැසියන්ට ඒ අවස්ථාව ලබා දෙනවා. භාග්‍යවතුන්වහන්ස, නුවර වැසියන් ඔවුන්හට දන්දීමට නොලැබේ යයි හොඳටම කිපිලා. යුධ වැදීමට සැරසෙනවා. ඒ නිසා හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරන සේක්වා” යි කඳුළු සලමින් කියා සිටියා. විපස්සි බුදුරජාණන් වහන්සේත් එය නිහඬව පිළිගත්තා.

තරගෙට දන්දීම

මේ සියල්ල ඒ අසලට විත් අසා සිටි මහ ඇමති රජතුමාගෙන් ගිලිහුණු ඒ අවස්ථාව පළමුවෙන්ම තමා වෙත ලබා ගත්තා. ” දෙවෙනි දිනයෙහි සෙන්පති විසින් රජුට පසු පළමුවෙන්ම මහ දන් දෙනු ලැබුවා. එය එසේ සිදු වෙද්දී නුවර වැසියන්ට ඕන වුනා රජතුමා කල සත්කාරයටත් වඩා ඉහලින් බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාට ඇප උපස්ථාන කරන්නට. අනතුරුව නුවර වැසියෝ රජු විසින් කළ සත්කාරයට වඩා උසස් වූ සත්කාර සම්මාන බුදුන් හට පුද කරනු ලැබුවා. මෙලෙස ක්‍රමක්‍රමයෙන්ම සියලු නගරයන් කරා පිළිවෙලින් ආ විට ඒ ගම්වැසියෝ හැකි උස්සස්ම අයුරින් සත්කාර සම්මාන පිළියෙළ කරනු ලැබුවා.

මහකොල නම් වූ කොණ්ඩඤ්ඤ තවුසා පෙර භාවයේදී දුන් නවා ආකාර වූ දානය.

ඔය ආකාරයට තමයි එකල මහාකාළ නම් වූ මෙකල කොණ්ඩඤ්ඤ නමින් බුදුන්හට ඇප උපස්ථාන කෙරූ තවුසා සිටි ගම දනව්වුට වැඩම කලේ. ඔහු තම සොහොයුරා අමතා “බුදුන් වහන්සේට සත්කාර කිරීමට හෙට අපට පැමිණෙයි. කිම, සත්කාර කරමුදැයි” චූල කාළටකියා සිටියා. එවිට ඔහු සොයුර, ඔබම තමයි ඔය පිළිබඳව දන්නේ කැමැත්තක් කරන්න යනුවෙන් පැවසුවා. අපගේ සොළොස් කිරියක් පමණ වූ කෙතෙහි ගැබ්ගත් හැල් ඇත. හැල්ගැබ් පලවා ගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේට සුදුසු පරිදි පිසවමු යැයි මහාකාළ කීවේය. මෙසේ කරනු ලබන කල්හි කිසිවකුට උපකාරයක් නොවේ. එහෙයින් එය මට රුචි නොවේ” යනුවෙන් චූල කොළ කියා සිටියා.

ඉතින් ඔබ එසේ කියයි නම් මම මට අයත් දෙය මට අයත් කොට ලබමි. කියා සොළොස් කිරියක් පමණ වූ කෙත මැදින් වෙන් කොට අට කිරියක් තන්හි සීමා පනවා හැල් ගැබ් පලවාගෙන නොමුසු කිරෙහි පිසවා චතුමධුර බහා බුදුපාමොක් සඟනට මහකොළ විසින් දන් දුන්නා. හරිම පුදුමයි. ඒ අස්වැන්න නෙලාගත්ත තැනින් නැවත පලදාව පිදෙන්නට වුනා. එය ලපටි කළ පුථුකගග නම් දානයක් දුන්නා. ගම් වැසියන් සමග අග්සස්ස නම් දානයක් දුන්නා. ගොයම් කැපීමෙහි දී දයග්ගදානයද, වේළු කිරීමේදී වෙණග්ගදානයද, කලාපාදියෙහිදී කලාපග්ග , බලග්ග, ඛලභණ්ඩග්ග, කොටඨග්ග, යනුවෙන් මෙසේ එක් ශශ්‍යයෙක්හි නවවරක් අග්‍රගණයේ දාන දුන්නා. එහි අස්වැන්නද වඩා වැඩි අභිවෘද්ධියෙන් යුක්තවූයේ වුනා. යම්තාක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවත් වෙද්ද ඔහු ජිවත් වේද ඒතාක් ඒ ක්‍රමයෙන්ම පින්කම් කොට මනු ලොවින් චුතව දෙව්ලොව ඉපිද දෙවි මිනිසුන් අතර සැරිසරමින් කල්ප අනූ එකක සැප විඳ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව උපන් කල්හි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණවත්ථු නම් බමුණු ගමෙහි දොණවත්ථු බ්‍රාහ්මණ නම් වූ බ්‍රාහ්මණමහාසාර කුලයෙහි උපන්න. නම් තබන දිනයෙහි කොණ්ඩඤ්ඤ මාණවකයා යි යන නමින් පිවිස බෝසතාණන් වහ්න්සේගට නමක් තැබූහ. හෙතෙම වැඩිවිය පැමිණ ත්‍රි වේදයන් උගෙන ලකුණුකීමේ මන්ත්‍ර යන්හි තෙරට පැමිණියේය . මේ ආකාරයෙන් තමයි කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් කොණ්ඩඤ්ඤ ඇතුළු පිරිස බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට සඳහා උදවු උපකාර කොට ප්‍රථම ධර්මාවබෝධයට පැමිණුනේ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;-

කොණ්‌ඩඤ්‌ඤ සූත්‍රය (සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 8. වඞ්‌ගීස සංයුත්‌තය » වඞ්‌ගීස වර්ගය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවවදානය – ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි – භික්ඛූ අපදාන 1 » 1. බුද්‌ධාපදානය » ථෙරාපදානං)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා – ( සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 15. සොළස නිපාතය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ – (අඞ්‌ගුත්‌තර නිකාය අට්ඨකතා 01- සිංහල පිටු අංක 106 සිට 115 )

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 185

පස්වග තවුසන් මුණගැසීම සහ ප්‍රධන් විර්යය ඇරඹීම.

පසුගිය ලිපි තුනෙන් ඔබ කියවනු ලැබුවේ අප මහා බුදුපියාණන් වහන්සේගේ අසුමහා ශ්‍රාවකශ්‍රාවිකාවන් අතරින් පළමුව දරමාවබෝධයට පැමිණි ප්‍රථම ශ්‍රාවකයාගේ කල්පලක්ෂයක පාරමිතා කාල පරිච්චේදය තුල අපහට හමුවුණු අත්මභාව දෙකක කතා වෘතන්තයක් පමණයි. අනෙකුත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සැත්තෑ නව දෙනා ඇතුළු සිය දහස් ගණනකගේ චාරිතාපදාන, පාරමිතා, කැපකිරීම්, වීර්යය පිළිබඳව ඉදිරියේදී මා හට ජීවත්වන්නට අවසර ලත් කාලය තුල ඉඩ ප්‍රස්ථා ලැබෙන සැටියෙන් කියවන්නට ලැබේවි.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම බොහෝ කලකට පෙර තපස් පැවිද්දෙන් පැවිදි වූ කොණ්ඩඤ්ඤ තවුසන් ප්‍රධාන පසවග මහණුන් පස් නමද ගම් නියම් ගම් රජදහන්වල ඇවිදිමින් තොරතුරු සොයමින් බෝසතාණන් වහන්සේ වැඩ සිටි පෙදෙස වෙත ක්‍රම ක්‍රමයෙන් ලන්ගාවන්නට වුණා.

බෝසතාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම.

ආලාර කාලාම, උද්දකරාම පුත්‍ර වෙත එළඹ ධාන්‍ය සම්පත්තීන් ලබාගෙන මෙය සත්‍ය අවබෝධය මාර්ගය නොවේ යැයි සිතු බෝසතාණන් වහන්සේද චාරිකාවේ හැසිරෙමින් සමාපත්ති භාවය ප්‍රමාණ වශයෙන් පිළි නොගෙන අලංකාර නොකොට සදේවක ලෝකයාට තමන්ගේ බල වීරිය මානසික ශක්තිය දැක්වීම සඳහා පධන් වීරිය වඩනු කැමැත්තෙන් සුදුසු පරිසරයක් සොයමින් නේරංජනා නදී තීරයට වැඩියා. එහි සුදුසු තැනක් සොයා පිය මණින උන්වහන්සේට ගලන මිණි කඳක් වන් නිමල් සිසිල් නිල් සිලිලෙන් හොබනා සිත්කලු නිල්දලා නදිය ද (නේරංජනා) එහි අද්දරැ සුපිපි මලින් සැදුණු රුක්ලියෙන් සැදුම්ලත් මනරම් බිම් පෙදෙස ද අනිත් පසෙහි විහිදැගිය මොනරපිල් කලඹක් වන් ප්‍රසාද ජනක වනලැහැබ ද හාත්පසැ නොදුරැ වූ සේනානී නිගමය ද දැක, “මේ නම් බවුන් වඩන යෝගීනට සුදුසු ම තැනැ යි නිශ්චය කොටගෙන එහි නැවතීමට තීරණය කළා. ඇත්තෙන්ම එම බිම බුද්ධත්වය ශාක්ෂාත් කරගැනීම සඳහාම ස්වාභාවධරමයෙන් ලැබුන තෑග්ගක් ලෙසයි මට සිතෙන්නේ.

මේ අප මහා බෝසතාණෝ සැරසෙන්නේ සෑම බුදුවරයෙකුම බුද්දත්වයට පැමිණීම සඳහා අවසාන වශයෙන් දරනු ලබන මහා විර්යය වැඩිමටයි. එම කාලයත් පාරමී පූරණය කරන කාල පරිච්චේදය මෙන්ම බුදුරජාණන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ නමකට වෙනස්. ඒ සඳහා උපකාර කිරීමට පැමිණි පස්වග තවුසන් මෙහිදී මුණගැසුණේ ඒ සැමගේ පාරමිතා එකවර සඵල කරගැනීමටම වගේ කියලයි මට හිතෙන්නේ.

මේ අප මහා බෝසතාණෝ සැරසෙන්නේ සෑම බුදුවරයෙකුම බුද්දත්වයට පැමිණීම සඳහා අවසාන වශයෙන් දරනු ලබන මහා විර්යය වැඩිමටයි. එම කාලයත් පාරමී පූරණය කරන කාල පරිච්චේදය මෙන්ම බුදුරජාණන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ නමකට වෙනස්. ඒ සඳහා උපකාර කිරීමට පැමිණි පස්වග තවුසන් ද බොහෝ කලක් සැරිසරමින් පැමිණ මෙහිදී මුණගැසුණේ ඒ සැමගේ පාරමිතා එකවර සඵල කරගැනීමටම වගේ කියලයි මට හිතෙන්නේ.

භාවනා වැඩීම

මෙසේ උරුවෙල් දනව්වෙහි නිල්දලා ගං තෙර වන පෙදෙසෙහි වෙසෙන මහ බෝසතාණෝ පළමුවෙන් ම මෛත්‍රී භාවනාව වැඩූහ. නොයෙක් විට වනයෙහි විසීමේ දුෂ්කරතා විමසනුවෝ, කායික වාචසික මානසික දුශ්චරිතාදිය වෙනෙහි වසන්නවුනට බියට හේතු යැ යි දුටුවා. තමන් තුළ ඒ කිසිදු ලාමක ගති නැති බැවින් බිය ගන්නට කරුණු නැතැ යි දුටුවා. මිනිසුන් අදහන පරිදි තුදුස්වක් අමාවක් පසොළොස්වක් අටවක් තිථින්හි අමනුෂ්‍යයන් බැල්ම හෙලන චෛත්‍ය වශයෙන් සලකන ලද රුක් වෙත ද වන පෙදෙස් වෙත ද රෑ ගොස් වෙසෙන උන්වහන්සේට මුවකු හෝ වෙන යම් එබඳු සතකු තමා වෙත එන නියාව ද කුරුල්ලකු ගසෙකින් ලී කැබැල්ලක් හෙලන නියාව ද සුළඟින් ගසකොළ සැලෙන නියාව ද දුටුවා. මිනිසුන් එහි ඇතැයි කියන භූත විකාර (හොල්මන්) මේවා නොවේ දැ යි සලකා බැලූවා.

පස්වැගි තවුසන් උපස්ථාන කළ ද බෝසතාණෝ හුදෙකලා වැ ඉඳීම ම රිසි කළහ. එහි වසන සමයෙහි ඒ සය නම ම පිඬු සිඟා වැඩියේ සෙනානි නිගමයට ය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතකට්ඨ කතාව සහ බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 186

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 01

මෙතැන් සිට ලියවෙන්නේ අප මහා බෝසතාණන් වහන්සේ මේ සංසාරගත සත්වයා සදාකාලික දුකෙන් ගැලවීමට බුද්ධත්වය සඳහා අවසන් වශයෙන් සිදුකල අප්‍රමාණ වීර්යයි. එය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් ම ලිවීමට සිත් වුනේ ඒ දුක දන්නේ උන්වහන්සේම මිසක් වෙන කිසිවෙක් නොවෙන නිසාමයි. ඒ සඳහා මා විසින් පරිශීලනය කරනු ලැබුවේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ රාජ වර්ගයේ ඇති බෝධිරාජකුමාර සූත්‍රයයි. මෙම දුෂ්කරක්‍රියාවේ කටුකබව අප මහා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රිමුඛ දේශනාවෙන් වදාරනු ලැබුවේ බෝධිරාජ කුමරයාටයි. ඔබ මෙය හොඳින් අසා ඇති සුප්‍රසිද්ධ කතාවක්. ඒ දරුඵල බලාපොරොත්තුවෙන් අධිෂ්ඨාන කොට පලසක් එළා ඒ මතින් බුදුන්වහන්සේ වඩිනකම් බලා සිටි කුමරාගේ කතාවේ අවසාන කොටස. ඉදිරියේදී එය මෙම ලිපි පෙළ මගින් එම කතාවත් කියවන්නට ලැබේවි. මෙතැන් සිට සඳහන් වන්නේ බුදුන්වහන්සේ ඔහු වෙනුවෙන් කල ශ්‍රී මුඛ දේශනාවයි.

රාජකුමාරය ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින්, මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන් කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූ, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය. සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගම්ද වෙයි. වීර්යය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. රාජකුමාරය, ඒ මම මේ ස්ථානය වීර්ය කිරීමට සුදුසුයයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම උන්නෙමි.

“රාජකුමාරය, මට ආශ්චර්යවූ, පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනාහුය. රාජකුමාරය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම ජලයෙහි බහාලන ලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:-භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. එහෙයින්? ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදුවන්නේය.”

“රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය මාර්ග ඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසුවිරූ මේ පළමු වන උපමාව මට වැටහුණි.

“රාජ කුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. රාජකුමාරය යම්සේ කිරි සහිතවූ අමු දිඹුල් ලීයක් දියෙන් ඈත්කොට ගොඩවීමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපදවන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම කිරි සහිතවූ දියෙන්

ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනිගානා දණේඩන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්. භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩ බිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය” (කෙටි කරන ලදී. විග්‍රහය පෙර පරිදිමය.)

“රාජකුමාරය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන්වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. රාජකුමාරය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබන ලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද, ගින්න ඇති කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එසේය.

ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේ වෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.”

“රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආශාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩපැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ග ඥාන දර්ශනය පිණිස, නිරුන්තරවූ අවබෝධය පිණිස සුදුස්සෝමැයි රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.

“රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ‘යම්හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත්මිටි කාගෙන.) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ කියායි. රාජ කුමාරය, ඒ මම දත්මිටිකාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි, තවමි. රාජකුමාරය, දත්මිටි කාගෙන දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නට විය.

“රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩුතල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.

“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්යයෙන් මඩනා, ලද්දාවුම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. රාජකුමාරය, මට උපන්නාවූද මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;- බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 187

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 02

මේ අවස්ථාව වනවිටත් පස්වග මහණුන් බෝසතාණන් වහන්සේ හමුවී උපස්ථාන කරමින් සිටියා. බුදුපියාණන් වහන්සේ තව දුරටත් තම දුෂ්කරක්‍රියාව පිළිබඳව බෝධිරාජ කුමාරයා හට දේශණා කරන්නට වුනේ සමහරවිට අපිටත් දැනගන්නට වෙන්නට ඇති.

අධික ශබ්ද නගමින් දෙකනින් පිට වූ ආශ්වාස වාතය

“රාජ කුමාරය, එදින මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම ආශ්වාස කිරීම රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ කියාය රාජකුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම රාජකුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්ය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළා නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. රාජකුමාරය, නමුත් මට උපන්නාවූද, මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරන ලදි.

හිස් මුදුන පලන්නාක් මෙන් වූ ආශ්වාස වාතය.

“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ කියායි රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම රාජකුමාරය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාසේ වෙයි.

“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිතවිය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළනා කලෙක මෙන් හිසෙහි ඇති වූ දැරිය නොහැකි වේදනාව.

“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ කියාය. රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇතිවෙයි. රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.

“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

කුස සිදින්නාක් මෙන් වූ ආශ්වාස වාතය

“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ කියාය. රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.

“රාජකුමාරය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.

“රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

අඟුරු වළකට අල්ලා තවන්නා මෙන් ඇති වූ ශරීරයේ දාහය.

“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නේ නම් යෙහෙක’ කියාය. රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක් වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, රාජකුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.

“රාජකුමාරය, මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේමය සිහිය එළඹ සිටියාය. එහෙයින් මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජ කුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

බෝසතාණන් වහන්සේ කලුරිය කළා යැයි සිතු දෙවිවරු.

“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’. ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි කීහ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;- බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 188

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 03

දිනෙන් දින කාලය මෙලෙස ගතවුනා. පස්වග තවුසන්ද උන්වහන්සේට හැකි උපරිම අයුරින් උපස්ථාන කරමින් බුද්ධත්වය ලබන දින තෙක් නොවසිල්ලෙන් ඇඟිලි ගනිමින් උන්වහන්සේගේ අසලම රැඳී සිටියා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි ඔවුන්හට මේ සුළු දිනගණන ඉවසා සිටීමට තරම් ඉවසිල්ලක් නැති බව පෙනෙන්නට තිබුණා. ඒ තමයි සසරේ ස්වභාවය. සසර පුරාවට එකිනෙකට බැඳී පැමිණි අත්වැල් සුළු මොහොතකින් ගිලිහී යන අවස්ථාවන්ද තිබෙනවා දිනුම් කනුව පෙනි පෙනී.

අප්‍රාණික සමාධියෙන් වෙන්වීම.

අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙස ආශ්වාස ප්‍රශ්වාස යෙන් වැලකි සිටීමෙන් සෙවූ චිත්ත සමාධිය අප්‍රාණික ධ්‍යාන වශයෙන් හඳුන්වනවා. එයින් පලක් නොවන බව වැටහී දැන් උන්වහන්සේ මේ උත්සාහ කරන්නේ කයට දුක්දීම තුලින් දුක කෙළෙවර කිරීමේ යම් මාර්ගයක් ඇත්ද එය අත්හදා බැලීමටයි. ඒ පිළිබඳව බුදුපියාණන් වහන්සේගෙන්ම අසා දැනගනීමට නැවතත් සුත්‍ර දේශනාවට යොමුවෙමු.

ලොම සිදුරුවලින් දෙවියන් විසින් දිව්‍ය ඕජස් ශරීරගත කිරීම ප්‍රතික්ෂේප කිරීම.

“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනාවිය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. රාජකුමාරය, එවිට දේවතාවෝ මාවෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි, යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු ඔබ එයින් යැපෙන්නෙහිය.’ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

නිරාහාරයෙන් සිහිමුර්ජාවිම.

“රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම පතක්, පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි, කියායි.

“රාජකුමාරය, ඒ මම පතක්, පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉත් ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි, අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස්මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත් ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

බඩ අතගානාවිට පිට කටුව ස්පර්ශවීම.

“රාජකුමාරය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.

“රාජ කුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය, ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන්වන් සිවි ඇත්තේයි.’ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.

හීන ග්‍රාම්‍ය පෘථග්ජන, අනාර්ථ, අනර්ථ සංහිත කාමසුකල්ලිකානු යෝගයත්, දුක්ඛ, අනාර්ය අනර්ථ සංහිත නිසා අත්තකිල මථානුයෝගයත් නො සෙවිය යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරලීම.

“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි කල්පනා විය.

“රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මඟුල් දිනයෙහි සිහිල්වූ දඹරුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි අදහස් විය. රාජකුමාරය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය, රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද කියාය. රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි කියාය. රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ ප්‍රථමධ්‍යාන සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය කියාය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;- බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 189

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 04

රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය කියාය.

මේ අතර පස්වග තවුසන් වර්ෂ හයක පමණ කාලයක් අතිමහත් දුෂ්කරක්‍රියා කරන බෝසතාණන් වහන්සේ දැන් බුදු වන්නේය දැන් බුදු වන්නේය යයි සිතමින් පිරිවෙන් මලු ඇමදීම ආදියද කාය පිළිවෙත්වලින් ද උපස්ථාන කරමින්ද රැඳී සිටියා. ඔවුනට මහත් වූ විශ්වාසයක් වුයේ දුෂ්කරක්‍රියා මගින් ශරීරයට දුක්දීමෙන් මෙම බුද්ධත්වය කරා ලඟා විය හැකි බවයි.

දෙවිවරුන්ටත් වැරදීම.

බෝසතාණන් වහන්සේගේ රන්වන් වූ ශරීරය කාලවර්ණ වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ද වැසී ගියා. ආශ්වාස ප්‍රාශ්වාස නැති කොට ධ්‍යාන වැඩිම නිසා මහත් වේදනා මැඩ පවත්වමින් විසංඥා වී සක්මන් කෙළවර වැටුනා. එවිට ඇතැම් දෙවිදේවතාවෝ ශ්‍රමණ ගෞතමයෝ කලුරිය කළේ යැයි පවසන්නට වුනා. ඒ අතර එක් දෙවි කෙනෙක් බෝසතුන් කලුරිය කලේ යැයි සිතා ක්ෂණයකින් ගොස් සුද්ධෝදන රජුට ඔබ පුත් මළ යැයි දන්වා සිටියා. ශුද්ධෝදන රජතුමා එකවර කලබල වුයේ නැහැ. සුද්ධෝදන රජු “මාගේ පුතා බුදුවී කළුරිය කළේ ද නැතහොත් නොමැතිවද” ඇසුවා. “බුදු වීමට නොහැකි විය. සක්මන් මලුවේම වැටී කලුරිය කළේය” යනුවෙන් ඒ දේවතාවන් විසින් පවසා සිටියත් ඒ වචන අසා රජතුමා මම එය නො පිළිගනිමි ගේ පුතා බෝධියට පැන් නො පැමිණ කලුරිය කිරීමට නොහැකියැයි ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පුතා ස්ථිර වශයෙන්ම බුදුවන බව අසිත තවුසා සහ කොණ්ඩඤ්ඤ බමුණා විසින් ප්‍රකාශ කල වදන් ද කාලදේවල වැඳීම් දවසේ කළ පෙළහරින් දඹ රුක මුල දී කරන ලද ප්‍රාතිහාර්යයන් දක්නා ලද බැවින්.

යළි බෝසතාණන් වහන්සේ සිහි ලැබ නැගිටී කල්හි ඒ දේවතාවෝම මහරජතුමනි ඔබගේ පුතා නිරෝගී ව සිටිති” යැයි දැනුම් දී සිටියා. රජතුමා ද “දනිමි මම පුතාගේ අමරණීය භාවය” යයි කිවේ සිනහමුසු මුහුණින්.

පස්වග තවුසන් බෝසතාණන් වහන්සේ අතහැර යාම.

අනතුරුව මිට පෙර කියූ ආකාරයට දුෂ්කර ක්‍රියාව නම් අවබෝධයට මාර්ගය නොවේ යැයි තීරණය කොට ඕලාරික ආහාර ගැනීමට තීරණය කරනු ලැබුවා. යලිත් ගම් නියම් ගම් වල පිඩු පිණිස හැසිර ආහාර රැගෙන පැමිණියා. එවිට උන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ප්‍රකෘතිමත් වුනා. ශරීරය ස්වර්ණ වර්ණ වුණා. එහෙත් මෙම තත්වය තව දුරටත් පසවග මහණුන්ගේ සිත් ගත්තේ නැහැ. ඔවුන් මෙසේ සිතන්නට වුණා. “මුන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්නේ නමුත් සර්වඥතා ප්‍රතිවේධය ලැබීමට නොහැකි විය. දැන් ගම්වල පිඬු පිණිස හැසිර ලාමක ආහාර රැගෙන එමින් කුමක් කළ හැකි වන්නේ ද? පධන් වීරිය ට මෙය බාධාවක්. මොහු වීර්යයෙන් පිරිහුණා. අප මොහු විශේෂ අධිගමයක් ලබා වී යැයි සිතීම හිස පටන් නහනු කැමති කෙනෙක් පිණි බිඳුවකි න් නෑමක් වැනිය. මොහුගෙන් අපට ප්‍රයෝජනයක් නැතැයි බෝසතාණන් වහන්සේ අතහැර තම තමන්ගේ පාත්රා සිවුරු රැගෙන යොදුන් දහ අටක් මඟ ගෙවා ඉසිපතනයට පිවිසුණා. අප මහා බෝසතාණන් වහන්සේ නැවතත් මාර සේනාව අභියස තනිවුණා. එත් විර්යය දශමයකින්වත් හීන වුයේ නැහැ.

ඒ සම්බන්ධව බෝධිරාජ කුමාර සුත්‍රයේ මෙලෙස බුදු වදනින්ම පවසනවා.

“රාජකුමාරය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔලාරික ආහාරයක් ගත්තෙමි. රාජකුමාරය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. රාජකුමාරය, මේ කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරිහුණෙයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;- බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 190

යශෝධරාවන්ගේ ව්‍රතසමාදානය

අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙස අනේක වූ දුක්කම්කටුලු විදිමින් බුද්ධත්වය කරා දිනෙන් දින ලගා වෙද්දී බෝසතාණන්වහන්සේගේ ආහාර අඩුකිරීම් ආදීන් පුරන දුෂ්කර තපෝව්‍රත පිළිබඳ තොරතුරු කිඹුල්වතින් යැවෙන රාජ දූතයන් මගින් ශුද්ධෝදන රජ්ජුරුවෝ හැම දා ම දැනගත්තා. එහෙත් එ තුමෝ අසිතර්ෂි ආදීන් කී අනාවැකි සියල්ල ඒ තාක් අකුරට ම හරි ගිය බැවින් ඉතිරි ටිකත් එසේ ම හරියතැයි ද “මා පුතාණෝ බුදු වන්නාහු ම යැ” යි දැඩි විශ්වාසයෙන් දිනෙන් දින ලැබෙන අසුභ ආරංචිවලින් නො කැලැඹුණා. කොතරම් දුෂ්කර ව්‍රත පිරුවත් විපතක් නොවෙති යි තරයේ ම විශ්වාස කරනු ලැබුවා. එහෙත් බෝසතාණන් වහන්සේ ආහාර අඩු කිරීම් ආදී වශයෙන් කරන කය තැවීම් පිළිබඳ කිසි ම පුවතක් යශෝධරාවනට ආරංචි වෙන්නට ඉඩ තිබ්බේ නැහැ. ඒ වගක් ඇයට නොකියන ලෙසට ඒ රාජ පුරුෂයනට ද අණ කිරීමට අමතක කලේ නැහැ.

යශෝධරාවන් සිතා සිටියේ බෝසතාණන් වහන්සේ සාමාන්‍ය තවුසකු සේ ජීවත් වන බව පමණ යි. එහෙත් පසුකාලයේදී ඕ තමාට හිතවත් රාජපුරුෂයන් ගෙන් බෝසතාණන් බිම සැතපෙති යි අසා ඇයත් ඇඳ පුටු පරිහරණය අත්හරියා. කසට පෙවූ සිවුරු හඳිතැයි පොරොවතැ යි අසා තොමෝත් ආභරණ සුවඳ විලෙවුන් පාවිච්චිය හැර දමා කසට පෙවූ වස්ත්‍රයක් හැඳ කසට පෙවූ වතක් ම පෙරෙව ගත්තී ය. බෝසතාණන් කෙස් වැටිය සිඳ දැමූ පවත් අසා තොමෝ කෙස් වැටිය සිඳ දැමුවා. බෝසතාණන් වහන්සේ වළඳනුයේ එක් වේලක් පමණයැ යි තොමෝත් එක් වේලක් ම අහර ගත්තා. මෙසේ රජගෙහි හිඳම තපස්විනියක සේ කල් යැවුවත් හැම සැප පහසුවක්ම දෙමින් මැනැවින් රහල් කුමරු පෝෂිත කළා. ඔබට මතක ඇති වෙස්සන්තර ජාතකය. ඒ අවසන් ආත්මභාවය තෙක් ඇය අවසන් මොහොත වෙනතෙක්ම ලගින්ම සිටියා. මේ මොහොතේත් උපස්ථාන කරන්නට ඇත්නම් කියා සිය දහස්වාරයක් හිතෙන්නට ඇති. එහෙත් අද ඔවුන් දෙදෙනා දෙතැනක. තව ටික කලෙකින් මගේ ස්වාමිදරුවන් බුදු වී අවුත් අපට දුකින් මිදෙන මාර්ගය පෙන්වතියි, අපට විමුක්ති සැපය ලබවතියි උදාර අපේක්ෂා ඇත්තී අනාගත භාග්‍යය පතමින් කල් යැව්වා පමණක් නොවෙයි හැමදාම පෙරමග බලා සිටියා. සංසාරය පුරා කොතරම් එලෙස බලා ඉන්නට ඇතිද?

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 191

මරුහුගේ දයාව මරුට තර්ජනය කිරීම සහ දස මාර සේනාව.

මතක් කිරීමක් – ඔබට මතක ඇති අපේ බුදුහාමුදුරුවෝ 175 වෙනි ලිපිය (අභිනිෂ්ක්‍රමණය) අවසානයේ මෙලෙස සටහන් කළා.

ඒ අතර තුර මේ සියල්ලම අහසෙහි සිට බලා සිටි තව කෙනෙක් සිටියා. ඒ මාර දිව්‍ය පුත්‍රයා. එකෙණෙහිම මාර දෙව් පුත් අහසෙහි සිට බෝසතාණන් වහන්සේගේ ගමන වළක්වමින් සිතා “නිදුකාණනේ නොයනු මැනවි. මෙයින් සත්වෙනි දවසෙහි ඔබට සක්විති රාජ්‍ය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවරකොට ඇති සතර මහා ද්වීපයන්ට සක්විති රජ වන්නෙහිය. නවතිනු මැන”.

ඔබ කවුද?

මම වසවර්ති මාරයා වෙමි. මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුණා.

“හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුණා.”

එදින සිට ඒ කියූ පරිද්දෙන්ම යම් හිඩැසක් සොයමින් මාර දේව පුත්‍රයා බෝසතාණන් වහන්සේව ලුහු බඳින්නට වුණා. ඒ ඔහුට පැවරී ඇති රාජ කාරියයි.

එදින සිට ඒ කියූ පරිද්දෙන්ම යම් හිඩැසක් සොයමින් මාර දේව පුත්‍රයා බෝසතාණන් වහන්සේව ලුහු බඳින්නට වුණා. ඒ ඔහුට පැවරී ඇති රාජ කාරියයි. ඒ සම්බන්ධව ඉදිරියේදී විශේෂ සුත්‍ර දේශනාවක් ගෙනහැර පාමින් මාර උගුල් හට හසුනොවී අප මහා බෝසතාණන් වහන්සේ අකුසල විතර්ක සිඳලමින් බුද්ධත්වය කරා පැමිණි අයුරු දැනගත හැකියි.

මරහුගේ දයාවක්

ක්ලේශ මාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, මච්චු මාර, දේවපුත්‍ර මාර යනුවෙන් මාරයන් බෙදෙන පඤ්චවිධ මාරයන් ගැන ඔබ කොතෙකුත් අසා ඇති. මේ කියවෙන්නේ එහි දේවපුත්‍ර මාර වශයෙන් සළකන නිවනට බාධා කරනු ලබන ඉහලම දිව්‍ය තලයේ සිට මෙම කාම ලෝකයට අධිගෘහත වූ මාර දේවපුත්‍රයා ගැනයි. ඔහු මෙසේ සිතන්නට වුනා.

නිවන් සුව අපේක්ෂා කෙරෙමින් අප්‍රාණකධ්‍යානය දැඩි සේ වඩන බෝසතාණන් දුටු වසවත් දෙව්පුත් “සිද්ධාර්ථ කුමාරයන්ගේ වෑයම ඉතා මහත් ය. කිසි දවසක බුදුවනු සැක නැත. දැන් ම ඔහු රවටා දුෂ්කර ක්‍රියාව නවතාලුවොත් යහපතැ” යි සිතන්නට වුනා. දවසක් හේ බෝසතාණන් වෙත ගොස් හිත විලාසයක් පා, “යහලුව, ඔබ කෙට්ටු ය, දුර්වර්ණ ය, මැරෙන්නට ළඟ ය. මරණය අතට ම බරවූ අප්‍රාණකධ්‍යානාදී දෑ දහස් ගණනෙකි. එයට ඔබේ ජීවිතය එක් කොටසක් වා පමණෙකි. පින්වතාණෙනි, මේ තරම් දුක් නො විඳින්න, ජීවත් වෙන්න. ජීවත් වීම මරණයට වඩා උතුම්. හොඳට ආහාර පාන ගනිමින් ජීවත් වෙමින් දානමානාදී පින් කරන්න. ඒ අතර ඉඩ ලැබෙන පරිදි බඹසර ද පුරන්න. හෝම පූජා කරන්න. එයින් බොහෝ පින් රැස් වේ. ජීවත් වේදෝ යි සැක සිතෙන තරමට කටුක ලෙස මේ දුෂ්කර ව්‍රත පිරීමෙන් සිදු වන යහපත කිමෙක්ද ? යහලුව, පෙර බුද්ධාංකුරයන් ගිය ප්‍රධාන වීර්ය මාර්ගය අද සිටින අයට දුර්ගම එකෙක, දුෂ්ප්‍රාප්‍ය එකෙකැ” යි ව්‍යාජ දයාවක් පෙන්වා කියන්නට වුණා.

මරුට තර්ජනය කිරීම

අප මහා බෝසතාණන් වහන්සේ ඒ සැණින්ම මේ මාර දිව්‍ය පුත්‍රයා බව දැනගත්තා. ඔහු බස් පිළිකුල් කොට පිළිකෙවු කරන සේක් “පමා වූවන් බැඳ ගන්නා පවිට, මගේ ප්‍රධාන ව්‍යායාමයට හානි කිරීමට, තගේ වාසිය තකා ම තෝ මෙහි ආයෙහි. ඒ තා වණන පින් බිඳෙකිනුත් මට වැඩෙක් නැත. යම් කෙනෙක්නට එබඳු පිනින් වැඩෙක් ඇද්ද ඔවුනට නම් තගේ කථාව හොබී.

“ශ්‍රද්ධා, වීර්යය, ප්‍රඥා, ස්මෘති, සමාධි යන පඤ්ච ඉන්ද්‍රියෝ මා තුළැ ඇතියහ. මෙ කී අංගයන් ගෙන් සමන්විත ව ප්‍රධාන ව්‍යායාමයෙහි යැවූ සිතැති, නිවන් සඳහා පරිත්‍යක්ත ආත්මභාවය ඇති මගෙන් (ප්‍රධානයෙන් ජීවිතයට කවර වැඩෙක්දැයි”) ජීවනය ගැන ප්‍රශ්න කෙරෙහිද?

“මා අප්‍රාණික ධ්‍යානයෙන් ඉපැදැ වූ වායු තෙම ගංගා ශ්‍රෝතසුනුදු වියලන්නට සමත් ය. එබැවින් මේ වායු තෙම කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක වූ දැඩි වීර්යය ඇති මගේ නැලියක් පමණ වූ ස්වල්ප ලෙය කිමෙක නො වියලන්නේ ද? ලෙය වියැලෙන කල්හි පිතත් සෙමත් වියැලේ. මෙසේ පිළිවෙළින් මසුත් ක්ෂීණ වන කල්හි ද සිත වඩාත් පහදී. සිහිය ද ප්‍රඥාව ද සමාධිය ද ස්ථිර ව පිහිටති. තෝ මෙ බඳුවූ මගේ ධෛර්යයවත් සිත නො දැන “කය පමණක් බලා, “කෘශ ය” යන ආදීන් කියයි ද ?

“දෘඪාධිෂ්ඨාන ඇති ව මෙසේ කර්මස්ථානානුයෝගී වැ වසන මගේ උතුම් විඳීම බලව, මෙ තරම් දුර්වල වුවත් මෙය හැර ආපසු රාජ සම්පත් ආදිය බලා යමි’යි මසිත කිසිදු කාම වස්තුවක් අපේක්ෂා නො කරයි. බලව, සත්ත්වයකුගේ ශුද්ධියෙක හැටි !”

දස මරසෙන්

“තවද පවිට මම දනිමි, කාමයෝ තගේ පළමු සේනාවයැ. ගුණධර්මයෙහි උකටලී බව දෙවෙනි සේනාව ය. බඩගිනි හා පවස තෙවෙනි සේනාව ය. ආහාරාදිය සෙවීමෙහි ආශාව සිවු වන සේනාව ය. චිත්ත චෛතසිකයන්ගේ මිලාන බව පස් වන සේනාව ය. බියසුලු බව සවන සේනාව ය. මේ මඟ වේ ද නැද්දැයි පිළිවෙත්හි සැකය සත් වන සේනාව ය. මකු බව හා සිත අවවාදයට නො නැමෙන දැඩි බව අට වන සේනාව ය. ලාභ කීර්ති සත්කාර හා නො නිසි මගින් ලත් යස ඉසුරු යන මෙයින් නැංග තෘෂ්ණා මානයෝ නව වන සේනාව ය. තමා උසස් තැනැ තැබීම හා මෙරමාට අවමන් කිරීම දස වන සේනාව ය.

“නමුචිය, මේ අකුශල රාශිය තගේ දස වැදෑරුම් සේනාව යි. මහණ බමුණන් පෙළන පාපී වූ තගේ ආයුධ රැස යි. ශූර නො වූයෙක් තගේ එ දස මරසෙන් නො දිනයි. ශූර තෙමේ ම උන් හැම බිඳ ජය ගනී. දිනීමෙන් වනාහි ඒකාන්ත සුවය ලබයි.

“ජය ගෙන මිස පෙරළා නො ඊමේ ලකූණක් වශයෙන් මුදු තණ ගසක් දරන යෝධයකු සේ කොට මා සලකා ගනුව. මේ ක්ලේශ යුද්ධයෙන් පැරදුණොත්. ඒ මගේ ජීවිතයට නින්දා වේවා! පැරැදී ජීවත් වීමට වඩා රණබිමැ වැටී මිය යෑම උතුමි.

“ඇතැම් මහණ බමුණෝ මේ ක්ලේශ සේනා මධ්‍යයෙහි වන්නෝ නො පැනෙත්. මනා පැවතුම් ඇතියන් නිවනට යන ප්‍රතිපත්ති මාර්ගය ද නො දනිත් යැ” යි වදාරනු ලැබුවා.

මෙ බස් ඇසූ වසවත් මරු කිසිත් නො බැණම පලා ගියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 192

සතානුසාරි විඤ්ඤාණය පහළවීම

මේ දුෂ්කර ක්‍රියාව බුද්ධත්වයට මඟ නො වේ ආනාපාන ධ්‍යානය නම් එයට මඟ ය” යි මෙ සේ වරක් දෙකක් උපන් සිහියට අනතුරුව උපන් සිත සතානුසාරිවිඤ්ඤාණ නොහොත් ස්මෘත්‍යනුසාරි විඥානය නම් වනවා. මෙසේ යලි ගත වූ කාලය විමසා බලන සේක්, තමන් කුඩා වියෙහි පියාණන්ගේ කෙත් බිමේ දී දඹ ගස යටැ හිඳ වැඩූ ආනාපාන ස්මෘතිය සිහි කොට, “මෙය බෝධියට මඟ වේ දෝ” යි සිතා එය වැඩීමට ඉටාගත්තා. “දුර්වල සිරුර ඇති ව ආනාපාන ස්මෘතිය පුරනු නො හැකි ය. එබැවින් ආහාර සේවනයෙන් කය සතපා, එයට පසු ව සමාධිය වඩන්නෙම් නම් යෙහෙකැ” යි සිතූ සේක.

කය සැතැප්වීම

ඉක්බිති බෝසතාණන් වහන්සේ පාත්‍රය තුබුණු තැනින් ගෙනැ උරුවෙල් දනව්වට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු උන්වහන්සේ දැකැ, “පෙර මෙ තුමා තමා ළඟට ගෙනවුත් දුන් ආහාරය වත් නො ගත්තේ ය. ඒකාන්තයෙන් මුන් වහන්සේ ගේ මනෝරථය මස්තක ප්‍රාප්ත වූයේ මය. එබැවින් තුමූ ම පිඬු පිණිස ආහයි සතුටු වැ ප්‍රණීත ප්‍රණීත ආහාර පිළිගන්වන්නට වුණා. බෝසතාණන් වහන්සේ සෑහෙන තරම් සුව පහසු ලැබෙන තෙක් ප්‍රණීත ආහාර වළඳමින් දෙසතියක් පමණ කාය විවේකයෙන් මෙලෙස කල් යවනු ලැබුවා.

විතර්ක විමැසීම

ප්‍රධන් වීර්ය වඩන බෝසතාණන් වහන්සේගේ සිත් සතන්හි නෛෂ්කාම්‍යසංකල්ප ආදී කුශල විතර්කයෝ මහ ගංවතුරක් සේ ඉතා අධික වැ පහළ වෙමින් පැවැතුනා. කලක් ම කෘශ වැ සිටි මුත් ආහාර සේවනයෙන් නැවතත් සිරුර ප්‍රකෘතිමත් වැ කලදී සේ ම මහා පුරුෂලක්ෂණයන් මතු වැ බ්‍රහ්මශරීරය ද ඉක්මැ ශෝභාසම්පන්න වූ නියාව දැක්මෙන් “මගේ ශරීරය සමෘද්ධියට පැමිණියේ යැ”යි කිසි විටෙක උන්වහන්සේට කල්පනා වුවත්, එහෙත් එය ද කාමවිතර්කයක් කොට සලකා නැවැත එවැන්නක් සිතේ පහළ නො වන ලෙසට සිත රැක ගන්න ඉටා ගත්තා.

කාමවිතර්ක මැඩලීම

 තව ද අසපුව ඉදිරියේ ඉන්නා බෝසතාණන් වහන්සේ මුව ගව ආදි සිවුපාවුන් ද වෙනෙහි රැව් පිළිරැව් දෙමින් රුකින් රුක සරණ මොනර වලිකුළු ආදී පක්ෂීන් ද, නෙලුම් ඕලු මහනෙල් කුමුදු ආදී ජලජ පුෂ්ප සංඡන්න හෙප් හා මඬවගුරු ද, නානා පුෂ්ප සමූහයෙන් ශෝභිත තරුවර ශතයෙන් ගහන වනරොද ද, මිණි කඳක් වන් පිරිසිදු ජල ධාරායෙන් ශෝභමාන නේරංජරා නදිය ද දකින සේක. ඒ දැක්මෙන්, “මේ සිවුපා රැල සිත්කළු ය. මේ පක්ෂීහු ප්‍රියංකර හ. මේ දිය හෙප් රම්‍ය ය, මේ රාජිහු ශෝභමාන හ. නේරංජරාව දර්ශනීය යැ”යි උන් වහන්සේට සිතෙයි. එවිට “අහෝ මට කාම විතර්කයෙක් වී යැ” යි ඒ ස්වල්පය පවා කාමවිතර්ක පක්ෂයෙහි ලා සලකා ඒ ද දුරු කිරීමට ඉටා ගත්තා.

ව්‍යාපාද විතර්ක මැඩලීම

දැඩි උණුසුම් දැඩි ශීත ආදියෙන් සිතෙහි මඳ පෙරැළීමක් වූ විටැ එය ව්‍යාපාද විතර්ක පක්ෂයෙහි ලා සලකා එබඳු විතර්ක ද දුරු කරන්නට වුණා .

විහිංසා විතර්ක මැඩලීම

පන්සල් දොරැ ඉන්නා කිසි විටෙකැ උන් වහන්සේට ව්‍යාඝ්‍රාදීන් මුව හූරු ආදී දුබල සතුන් පෙළනු දක්නට ලැබේ. ගමට පිඬු පිණිස වැඩි කිසි විටෙක රාජකාර්යය හේතුයෙන් තමන් රැකියාවන් කැරැ ගන්නට නො ලැබැ උපද්‍රෑත වූවෝ ද දක්නට ලැබෙයි. මෙකී දර්ශන හේතුයෙන් උන්වහන්සේගේ සිතෙහි ශෝකය උපදින්නට වුණා. ඒ අනුනට හිරිහැර ඇති කරන්නන් ගේ අකාරුණික බව, ක්‍රෑරකම උන්වහන්සේට වැටහුණා. ඉන් සිත නොසංසුන් වන්නට වුණා. නො එකඟ වුණා. එවිටැ ඒ ස්වල්ප නොසන්සුන් බව පවා විහිංසා විතර්ක යැ යි ගෙන, එය ද දුරු කලයුතු යැයි සිතුවා.

නෛෂ්කාම්‍ය විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක වැඩීම.

“මෙ සේ සිතන බෝසතාණන් වහන්සේ විතර්කයන් කුශලාකුශල වශයෙන් දෙ කොටසකට බෙදන සේක් “මේ කාම විතර්කය, මේ ව්‍යාපාද විතර්කය, මේ විහිංසා විතර්ක යැ”යි අකුශල පක්ෂය එක් කොටසක්ද “මේ නෛෂ්කාම්‍ය විතර්කය, මේ අව්‍යාපාද විතර්ක ය, මේ අවිහිංසා විතර්ක යැ” යි කුශල පක්ෂය එක් කොටසක් දැ’යි කුසල් අකුසල් විසින් විතර්කයන් දෙ කොටසක් කොට අකුශල විතර්ක වැනසීමෙහි ද කුශල විතර්ක වැඩීමෙහි ද යෙදෙන්නට වුණා. කාම විතර්කාදී අකුශල විතර්කයන් පහළ වූ විටැ එය තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයට ම අවැඩ පිණිස පවත්නා බව, ලොවුතුරු සුවයට බාධක බව, දුක් පැත්ත ගෙන සිටින බව, නිවන් පිණිස නො පවත්නා බව සැලැකූවා. මෙසේ සලකන බෝසතාණන් වහන්සේ තුළැ ඒ හටගත් දුර්වල විතර්ක විනෂ්ට විය. උන්වහන්සේ අකුශල ධර්මයන් ගේ දෝෂයත් ලමා බවත් කෙලෙසුමත් කුශල ධර්මයන්ගේ, නෛෂ්කාම්‍යයාගේ, අනුහසුත් විශුද්ධ පක්ෂයත් දුටුවා.

මෙ සේ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්යය ඇති ව වසන සේක්, තමනට පහළ වූ නෛෂ්කාම්‍ය විතර්කාදී කුශල සංකල්පයන් තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයටමත් අවැඩ පිණිස නො පවත්නා බව ද, ලොවී ලොවුතුරා ප්‍රඥාව ගේ වැඩුමට හිත බව ද, දුඃඛ පක්ෂයෙහි නො වන බව ද, නිවන් පිණිස පවත්නා බව ද දුටුවා.

යටැකී පරිදි රෑ මුළුල්ල ද, දාවල් මුළුල්ල ද, රෑ දාවල් දෙක් හි ම ද විතර්කන විචාරණයන්හි යෙදුණු උන් වහන්සේගේ ශරීරය ක්ලාන්ත වන්නට වුනා. සිරුර ක්ලාන්ත වූ විට සිත නො සංසුන් වුණා. ඒ හේතුයෙන් සිත එකඟ බැවින් ඈත් වන්නටද වුණා. එවිට සමාපත්තියට සමවැද ඒ සියලු පීඩා ද නො සංසුන් බව ද සංහිඳුවා ගන්නටද දක්ෂ වුණා. අකුශල විතර්ක පක්ෂය නුවණින් බලමින් නිග්‍රහකොට කුශල විතර්ක පක්ෂය වඩමින් මෙ සේ ප්‍රධන් වීර්යය වඩන බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ ගේ ඒ තවුස් ජීවිතය සම්බන්ධ සවන වර්ෂයේ අවසාන භාගයටද පැමිණිය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 193

බෝසතුන් දුටු සීන පස

එදා තවත් එක් වෙසක් මසක පුර තුදුස්වක් දිනයක්. එ දින රාත්‍රියෙහි නිද්‍රෝපගත වූ බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ එළි වීගෙන එන වේලෙහි සුවිශේෂ සිහින පහක් දකිනවා. එම සිහිනත් එහි තේරුම් යයි සැළකෙන කරුනුත් පහත දැක්වෙන පරිදී කෙටියෙන් සඳහන් කරනවා.

පළමු සීනය

“මහ පොළොව යහනෙක් වී ය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරු වැ නිදන බෝසතාණන්ගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද බැහුණා හ.” මේ උන් වහන්සේ දුටු පළමු සීනය යි . (මෙය උන් වහන්සේ ලොවුතුරා බුදුවන බවට පෙර නිමිත්ත ය.)

දෙවෙන සීනය

“උන් වහන්සේ ගේ නාභියෙන් රතු ඊතන ගසෙක් ඉතා උසට නැගී අහසැ පැතිර සිටියේ ය.” (මේ ස්වප්නය උන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිවේධ කොට ලොවට ප්‍රකාශ කරන බවට පෙර නිමිත්ත ය.)

තෙවෙන සීනය

“කළු හිස් ඇති සුදු පණුවෝ පා මුලින් නැගී දණ ඉස දක්වා වසා ගත්හ.” (මෙය බොහෝ ගිහියන් උන් වහන්සේ ගේ උපාසකයන් වන බවට පෙර නිමිත්ත ය.)

සිවු වන සීනය

“නානා වර්ණ ලිහිණියෝ සිවුදෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් උන් වහන්සේ ගේ පා මුලැ හොත්තෝ වහා සුදු පැහැ වූහ. (මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදි වැ පිරිසිදු වැ නිවන් පැමිණෙන බවට පෙර නිමිත්ත ය.)

පස් වන සීනය

“උන් වහන්සේ මහත් අශූචි පර්වතයක් මතුයෙහි ඒ අශූචි යෙන් නො තැවරී සක්මන් කළ සේක.” (මෙය සිවුපස බොහෝ සේ ලැබෙතත් එහි නො ඇලෙන බවට පෙර නිමිත්ත ය.)

අජපල් නුගරුක් කරා යාම

“මහා පුරුෂයාණන් වහන්සේ මෙකී ස්වප්න පස දැක, තුමූ ම ඒ විසඳා බලා, තමන් ‘බුදු වන බව නිසැක’ යි දැනැ, පසු දා උදය ම සිරුරු පිළිදැගුම් කොට, ගොස් අජපල් නුග රුක් මුල භික්ෂාචාර වේලාව තෙක් පෙර දිගට මුහුණ ලා වැඩ සිටියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 194

සුජාතාවගේ කිරිපිඩු දානයේ ඔබ නොදත් කරුණු 01
ලොව උතුම් වූ පිණ්ඩපාත දාන වර්ග දෙක

චුන්දය, ලොව උතුම් වූ උසස් වූ මහත් වූ ආනිසංස ගෙනෙන අන් දානයන්ට සමකල නොහැකි පිණ්ඩපාත දාන වර්ග දෙකක් වෙත්. ඒ දෙපිණ්ඩපාතයෝ මහත් වූ ආනිසංස අතින්ද, කුසල විපාක අතින්ද, ශ්‍රේෂ්ඨ බැවින්ද අන් දාන වලට වඩා උතුම් වන අතරම කුසල විපාක අතින් ඔවුනොවුනට සමාන වනවා. ඒ “කවර දෙකක්දයත්,

  1. තථාගතයන් වහන්සේ යම් පිණ්ඩපාතයකුත් වළඳා නිරුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද,
  2. තථාගතයන් වහන්සේ යම් පිණ්ඩපාතයකුත් වළඳා පඤ්චස්කන්ධයන්ගේ ශෙෂය නැත්තාවූ නිර්වාන ධාතුවෙන් පිරිනිවන්පානසේක්ද,

මේ දෙපිණ්ඩපාතයෝ සමානවෙත්, සමඵලය ඇත්තාහුවෙත්, සමානවූවාහු සමවිපාක ඇත්තාහුවෙත්, ඉතාම අන් පිණ්ඩපාතයනට වඩා අතිශයින් මහාවිපාක ඇත්තාහුවෙත්, අතිශයින් මහානිසංස ඇත්තාහු වෙත්.(මහා පරිනිර්වාණ සුත්‍රය)

මට මේ ආරම්භය ගන්න හිතුනේ සුජාතාවගේ කිරිපිඩු දානයේ අප නොදන්නා උතුම් බව මෙන්ම සැඟවුණු ශ්‍රේෂ්ඨත්වය පෙන්වීමට. බුදුරජාණන් වහන්සේ නමක් උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණීමට පෙර ගන්නා වූ අවසාන දානය අහඹු ලෙස ලැබෙන්නක් නොව යනුවෙන් මෙම ලිපිය අවසානයේ ඔබට වැටහේවි. ඒ විතරක් නෙවෙයි. එවැනි දානයක් ප්‍රදානය කිරීමටද කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණිය යුත්තක් බවද ඔබට වැටහේවි. යම් දිනක මතු බුදුවරයෙකුට බුද්ධත්වයට පෙර මෙම උතුම් දානය පුද කරන ඔබත් එක් උපාසිකාවක් විය හැකියි. එවැනි පාරමිතාවක් උපද්දවිමට හෝ එවැනි පාරමිතාවක් ඇතිනම් ඒ සඳහා දිරිය දීමට මෙම කරුණු බොහෝ බාධක මැද්දේ සොයාගැනීමට වෙහෙසුනා.

 පියුමුතුරා (පදුමුත්තර) බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි අප සසුණෙහි ප්‍රථම උපාසිකාව වූ සුජාතාව.

උපාසිකා පාළියෙහි පළමුවැන්නේ “පඨමං සරණං ගච්ඡන්තීනං” යන්නෙන් සියල්ලන්ටම පළමුව සරණයෙහි පිහිටි උවැසියන් අතරින් සුජාතා සේනානි දියණිය අග්‍රයයි දැක්වෙනවා. ඇය පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නා. බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් නිරන්තරයෙන්ම බණ ඇසීමට යාම ඇය පුරුද්දක් කරගෙන තිබ්බා. එදත් ඇය බණ ඇසීමට පැමිණ වන්දනා කරමින් සිටියා. එදා සුවිශේෂ දිනයක්. එදා ඒ පිරිස අතර සිටිය එක් උපාසිකාවකට පළමුව සරණ ගිය උපාසිකාවන් අතර අග්‍රස්ථානය තබන්නා වූ පියුමුතුරා ශාස්තෘන් වහන්සේ දැක පහල වූ සිතින් ඇයත් පින්දහම් කොට ඒ තනතුරම පතා සිටියා. ඒ බුදුන්වහන්සේද ඇයගේ පාරමී සැළකිල්ලට ගෙන අප බුදුපියාණන් වහන්සේ දවස ඒ පැතුම් එලෙසම ඉටුවන බවට විවරණ ලබා දී වදාරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;-

ඛුද්දක නිකාය උදාන පාලියේ චුන්ද සූත්‍රය, මහා පරිනිර්වාණ සූත්‍රය , මනොරථපූර්ණී නම් වූ අංගුත්තර නිකායට්ඨකතා 01 හි(299 පිට) උපාසිකා පාළි වර්ණනාවෙහි සුජාතා සේනානි කතා වස්තුව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 195

සුජාතාවගේ කිරිපිඩු දානයේ ඔබ නොදත් කරුණු 02

සෙනානි නිගමය

මහාමන්ධාතු රජු ගේ සේනාපති සෙනානී නම් වුණා. එ රජුට මනුලොව සිටියදීම දෙව්ලොව යන්න වාසනාව හිමිවුණා. ඒ ගැන පසුව මෙම ලිපිපෙලෙන් කියවන්නට ලැබේවි. ඔහු දෙව්ලොව ගොස් සක්දෙවිඳු හා එක්ව එහි ද රජකම් කළා. ( මෙය කිවේ කලකට පෙර කියවූ ජාතක කතාවක මතකයෙන්. වැරදි ඇතොත් සමාවන්න.) ඔහු දෙවු ලොව යනවිට ඔහු ගේ සේනාපති ඇතුළු චතුරංග සේනාව නවතා ගිය ස්ථානය උපචාර වශයෙන් සෙනානි නමින් හඳුන්වනවා. එයට සර්වදිශාභාගයෙන් ජනයා එළඹීම නිසා නිගම නම් වුනා. ඒ සෙනානි නම් ගම්හි නායක කුටුම්බික සෙනානී නම් වී යැයි මහාබෝධිවංශ ගැටපදයේ සඳහන්වනවා.

සුජාතාවගේ උපත සහ ප්‍රාර්ථනාව.

පියුමුතුරා බුදුන්ගෙන් ආශීර්වාද ලත් සුජාතා කුමරිය කල්ප ලක්ෂයක් දෙව් මිනිසුන් අතර සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උපතට පෙර උරුවේලාහි සේනානි නියම් ගමේ සේනානි නම් සිටුවරයාගේ දියණිය ලෙස උපත ලැබුවා. සිටු දියණියක් වී උපන් සුජාතා දැරිය සුදුසු වියට පත් වූ පසු එකල ඒ නියම ගමේ ගෞරවයට පත් වූද අනුහස් ඇතැයි මිනිසුන් විසින් පිළිගනු ලැබුවා වූද, එක් නුග රුකක් වෙතගොස් ප්‍රාර්ථනාවක් කළා. එය අදද පින්වත් කුල කුමරියන් විසින් නිබදවම කරන ප්‍රාර්ථනාවක්.එය මෙලෙසයි. ඉතිං මම සම ජාතික කුලගෙයක කුමාරයෙක් සමඟ විවාහව පළමුව පුතකු ලබයි නම් වසරක් පාසා ලක්ෂයක් පරිත්‍යාග කොට මෙම නුග රුක පාමුලට විත් මෙහි වැඩ වාසය කරන රුක්ෂ පුජාවක් කරන්නෙමි යන්නයි. ඇගේ ප්‍රාර්ථනාව ඒ පැතූ අයුරින්ම සඵල වුනා. ඇයට ලැබුණ පින්වත් පුත්‍රරත්නය තමයි ඔබ අප කවුරුත් හොඳින් හඳුණන යසකුල පුත්‍රයා. ඔහු ගැන ඉක්මනින් කියවන්නට ලැබේවි. එහෙත් ඇය කල්ප ලක්ෂයක් පුරා පැතු පැතුම එය නොවන බව ඇය දැන සිටියේ නැහැ. එය එලෙස වුනත් ඒ සුවිසේෂ ප්‍රාර්ථනාව මේ මහත් වූ විශ්වයට අමතක වුනෙත් නැහැ. ස්වභාව ධර්මය විසින් ඇයගේ ඒ උතුම් වූ ප්‍රාර්ථනාව සඵල වීමට අවශ්‍ය පසුබිම ඒ වනවිටත් සකසා තිබුණා.

බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ සය වස සම්පූර්ණ වූ වෙසක් මස පුන් පොහෝ දිනම දේව පූජාව කරනු කැමති වූ සුජාතාවෝ ඒ සඳහා විශේෂයෙන්ම සැරසුණා. ඒ ඔබ අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන කිරිපිඩු දානය වගේ එකක් නෙවෙයි. ඒ නිසාම ඒ පිළිබඳව මෙම ලිපි පෙලේ ලියන දිනය තෙක් මමත් හිටියේ නොවසිල්ලෙන්.

කිරිදෙනුන් දහසකගේ කිරේ සාරයෙන් සැදූ කිරිබත

පළමුකොටම මිහිරි කිරි ඇති කිරි දෙනුන් දහසක් තෝරාගනු ලබනවා. ඉන්පසුව ඔවුන් වැල්මී වනයක් වෙත රැගෙනවිත් එහි හොඳින් පෝෂණය කරනු . ඉන්පසේ ඒ දහසක් දෙනුන්ගෙන් නොඉදුල් කිරි දොවාගනු ලබනවා. ඉන්පස්සේ ඒ කිරි පන්සියයක් දෙනුන්ට පොවනු ලබනවා. ඒ දෙනුන්ගේ කිරි ඉන් අඩකට, ඒ කියන්නේ දෙසිය පනහකට පොවනු ලබනවා. නැවත ඒ දෙනුන්ගේ කිරි ඉන් අඩකට, ආදී වශයෙන් දෙනුන් අටදෙනෙකු දක්වා පොවා කිරෙහි ඝන බව මිහිරි බව ඔදවත් බව ඇතිකරමින් කිරෙහි කිරි මාරු කිරීම නම් ක්‍රියාව කරනු ලබනවා. ඉන්පසු ඇය වෙසක් පුන් පොහෝ දින ඉතා අලුයම නැගිට ඒ දෙනුන් අට දෙනාගෙන් කිරි දෙවීම සඳහා ඔවුන් වෙත ගියේ තමාගේ අතින්ම ඒ කටයුත්ත කරනු රිසියෙන්. එදා හරිම පුදුම දේවල් වුනා. කිසිම වසු පැටියෙක් දෙනුන්ගේ තන මුලට පැමිණියේ නැහැ. ඇය විසින් රැගෙන පැමිණි අලූත්ම භාජන තන මුලට ලංකලා පමණයි. ස්වභාවිකවම කිරි දහර ඒ භාජන වලට විදින්නට වුණා.

දෙවුන් බඹුන් විසින් පිළියෙළ කරනු ලැබූ ලොව දුර්ලභ පිණ්ඩපාත දානය.

මේ අසිරිය දුටු සුජාතාවෝ පුදුමයෙන් පුදුමයට පත්වුනා. සියතින්ම කිරි ගෙන අලුත් බඳුන්වල බහා සියතින් ම ගිනි අවුලුවා ඇය විසින්ම පිසීමත් ඇරඹූවේ මෙහෙකරුවන් සහභාගී නොකරමින්මයි. මේ කිරිබත පැසිගෙන එන විට මහත් මහත් බුබුළු පැන නැගී දකුණට පමණක් කැරකැවෙමින් ඒ මේ අත හැසිරුණා. ඒ කිරි බුබුලු කොතරම් නැටුවත් එයින් එක් බිඳුවක් පමණ දු පිටතටනොවැටුණා. සිදුවෙන හැම දෙයක්ම ආශ්චර්ය ජනකයි. සුජාතාවට අදහාගන්නත් බැහැ. කොතරම් ගිනි ඇවිලුනත් ඒ ලිපෙන් සුළු වූද දුමක් නැගුණේ නැහැ. එකෙණෙහි ලෝකපාලක සතර වරම් දෙවියෝ උදුනට ආරක්ෂාව සපයන්නට සතර කොණින් සිට ගත්තා. මහබඹු සේසත් දැරූවා. සක් දෙවිඳු ගිනි පෙහෙලි පෙරලමින් ගිනි දැල්වූවා. දෙවියෝ දෙදහසක් දිවැසින් පිරිවර වූ සතර මහා ද්වීපයෙහි දෙවි මිනිසුන්ගේ පරිභෝජනයට සුදුසු වූ ඕජාව තම දේවානුභාවයෙන් දඬුවැල් බෑ මී වදයක් මිරිකා මීපැණි ගන්නාක් මෙන් කැටි කොට ගෙන එම කිරි බතට මුසුකලා. අන් දිනවල දෙවියෝ පිඬක්පාසා දිව්‍ය ඕජස බහාලනවා. එහෙත් සම්බුදු බවට පත්වන දිනයෙහි සහ පිරිනිවන්පානා දිනයෙහි දිව්‍ය ඕජස සැලියටම බහාලනු ලබන බව අට්ට කතා ආචාර්යයන් වහන්සේලා දේශණා කරනු ලබනවා.

පුණ්ණා දාසි භාවයෙන් මිදීම.

සුජාතාවෝ එක් දවසක් තුළ තමාට ම ප්‍රකට වූ මේ අසිරිමත් සිදුවීම් දැක පුණ්ණා දාසිය අමතනු ලබනවා.

දුව පුණ්ණා වෙනි, අද අපගේ දෙවියෝ වඩාත්ම පහන් වූ සේය. මම මෙතෙක් කල් මෙබඳු අසිරියක් නොදුටුවෙමි. වහාම ගොස් දෙවොල පිළිදැගුම් කරව යි කියා සිටියා. පුණ්ණා විසින් දේවියගේ වදන් සතුටින් පිළිගෙන රුක් මුල වෙත වහාම ගියේ පුජාව සඳහා ඒ පෙදෙස පිළියෙළ කිරීමේ අරමුණින්. එදා බෝසතාණන් වහන්සේ ද ඉකුත් රැයෙහි පස් මහා සිහින දැක විමසන්නා හු අද මම බුදුවෙමි යි අධිෂ්ඨානයෙන් යුතුව අලුයම සිරුර පිළිබඳ කටයුතු අවසන් කොට පිණ්ඩපාත කාලය පැමිණෙන තුරු ඒ නුග රුක මුල වැඩ සිටියා. බෝසතාණන් වහන්සේගේ ශරීරාලෝකයෙන් මුළු නුග රුකම ආලෝකමත් වෙලා. නුග රුකමුල වෙත පැමිණි පුණ්ණාට පෙරදිග බලා වැඩ හුන් සිරුරින් නික්මෙන රැස් දහරින් මුළු ගසම රන්වන් කරමින් වැඩ සිටි බෝසතාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. ඇයට සිතුනේ රුක් දෙවියා ගසින් බැස සියතින්ම පූජාව පිළිගැනීමට බලා සිටිනවා කියලයි. බියට පත් පුණ්ණා වෙවුලමින් ගොස් සුජාතාවන් ට මේ පුවත සැළ කළා. සුජාතා සිටු දේවිය ඇගේ වදන් අසා සතුටට පත්ව අද පටන් පුණ්ණා මගේ දෙටු දියණිය වන්නේ යැයි ඇයට දියණියකට සුදුසු සියලු ආභරණ දෙනු ලැබුවා. හරිම පුදුමයි. ඒ පින්වත් දර්ශණය නිසාම පුණ්ණා වහල් භාවයෙන් නිදහස් වුණා.

බෝසතාණන් වහන්සේ බුදු බවට පත්වන දිනයෙහි ලක්ෂයක් අගනා රන් බඳුනක් ලැබීම තවත් ධර්මතාවයක්. සුජාතාව එබඳු රන් බඳුනක් ගෙන කිරිබත එහි බහාලනු පිණිස පිසූ බදුන යටිකුරු කළා පමණයි. එවිට සියලු කිරිබතින් රන් බඳුනම පිරුණේ ඉබේමයි. එය නැවත වෙනත් රන් බඳුනකින් වසා වස්ත්‍රයක ඔතා තමාද සර්වාභරණයෙන් සැරසී රන්පාත්‍රය හිස මත තබාගෙන මහත් සිරියාවෙන් නුග රුක මුලට පිය නැගුවේ ඉහවහා ගිය ප්‍රීතියෙන්. එහි ගොස් බෝසතාණන් වහන්සේ බලා රුක් දෙවියන් යන හැඟීමෙන් සතුටුව දුටු තැන් සිට නැමි නැමී ගොස් හිසෙන් පාත්‍රය ගෙන පියන විවෘත කොට රන් කෙණ්ඩියෙන් සුවඳ ගැල්වූ දිය ගෙන බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි සිටියා. පැවිදි වන දින ඝටීකාර මහා බඹු විසින් දෙන ලද මැටි පාත්‍රය එතෙක් කලක් අත්නොහැර තිබුනත් ඒ මොහොතෙහි අතුරුදහන් වුණා.

බෝසතාණන් වහන්සේ පාත්‍රය නැති නිසා දකුණු අත දිගුකොට පැන් පිළිගත්තා. සුජාතා දේවිය රන්පත සමගම කිරිබත බෝසතාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙහි තැබුවා. බෝසතාණන් වහන්සේ සුජාතා දෙස බැලූ ආකාරයෙන්ම කාරණය වටහා ගත් සුජාතා දේවිය උතුමාණෙනි, මා විසින් රන් පාත්‍රය ඔබ වහන්සේට පිරිනැමුණි. කැමති සේ එය රැගෙන යනු මැන වැයි වැඳ මාගේ මනදොළ සපිරුණා ක් මෙන් ඔබවහන්සේගේ පැතුම් සඵල වේවා යැයි පවසා ලක්ෂයක් වටිනා රන්පත දිරාපත් පතක් මෙන් අපේක්ෂා රහිතව යන්නට් ගියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර –

ඛුද්දක නිකාය උදාන පාලියේ චුන්ද සූත්‍රය, මහා පරිනිර්වාණ සූත්‍රය , මනොරථපූර්ණී නම් වූ අංගුත්තර නිකායට්ඨකතා 01 හි(299 පිට) උපාසිකා පාළි වර්ණනාවෙහි සුජාතා සේනානි කතා වස්තුව. ජාතකට්ඨ කතා පළමු කාණ්ඩය 80 වෙනි පිටුව.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 196

ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට

කහවණු ලක්‍ෂයක් වටිනා රන් භාජනයද මෙතැකැයි මිළ නියම කල නොහැකි දෙවුන් බඹුන් හා එක්ව කල කිරි පිඩුද පුජා කරන ලද සුජාතාව අති මහත් වූ චිතප්‍රිතියෙන් යුතුව නිකම ගියේ තමන්ගේ සියලු ප්‍රර්ථනා සඵල වීමෙන්. සුජාතාව නොපෙනී යනතෙක් එහිම රැඳුන අප මහා බෝසතාණන් වහන්සේ ඉන්අනතුරුව වැඩ හුන් තැනින් නැගිට ගස පැදකුණු කොට පාත්‍රයද රැගෙන නේරංජනා ගං තෙරට වැඩම කරනු ලැබුවා. ඒ මුළු පෙදෙසම වෙනදා දක්නට නොලැබුණු බොහෝ පුෂ්පයන්ගෙන් පිරී ගොස්. නේරංජනා නදියද ගලා බැස්සේ වෙනදා වගේ නෙවයි. ජලකදෙන් මවනු ලැබූ දිව්‍යමය විනාවක හඬ නංවමින් මහත් වූ ආඩම්බරයෙන්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. නොයෙක් ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට නේරංජනා නදියට අයත් නිසා. සුදු වැලි තලාවද නිල් දියදහරද, දියපහරේ රිද්මයට නැගෙන ජල කඳේ දිව්‍යමය ස්වරයද බලා සිටියේ බෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිගන්නට නොවසිලිමත්ව.

මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය එක් දිනක් සේ දැනුණ කාලනාගරාජයා

එහි ඉවුරෙහි වූ ගල් තලාවේ පාත්‍රය තබා දියට බැස ස්නානය කරනු ලැබූ බෝසතාණන් වහන්සේ නායෙක් ශතසහස්‍ර සංඛ්‍යාත බුදුරජාණන් වහන්සේලාගේ චීවරය වූ අරහත් ධජය පොරවා පෙරදිගට අභිමුඛව වැඩහිඳුනු ලැබුවා. ඉන් පසු ඒ බෝසතාණන් වහන්සේලා මෙන්ම එක තල් ඇටයක් පමණ වන පරිදි එකුන් පනස් පිඩක් කොට ඒ මධුර පායාසය එහි සිටම වළඳනු ලැබුවා. එම ආහාරය ම උන් වහන්සේට බුද්ධත්වයටත්, ඉන්පසුත් සත් සතියක් බෝ මැඩ වැඩ විසීමට ආහාරයක් වුන බව කියනවා. ඒ කාලය තුළ වෙනත් ආහාරයක් ගැනීම සිදුනොවෙනවා. ඉන්පසු උන්වහන්සේ ධ්‍යාන සුවයෙන් හා මගඵල සුවයෙන් කල් ගත කළා. ඒ කිරිබත් ආහාරය වැළඳූ බෝසතාණන් වහන්සේ ඒ පාත්‍රය ගෙන “මම අද බුද්ධත්වයට පත් වන්නේ නම් මේ පාත්‍රය උඩුගං දහර අනුව යේවා. නොහැකි වන්නේ නම් ගඟ දිය පහර අනුව යේවා” යැයි සිතා දිය මත පත්‍රය තැබුවා. හරිම පුදුමයි. ඒ පාත්‍රය ද ගඟ සැඩපහර සිඳිමින් ගඟ මැදට ගොස් ජවසම්පන්න අශ්වයකු මෙන් ගඟ මැදින්ම අසූ රියනක් පමණ උඩුගං බලා ගොස් දිය සුළියකට හසු වූ කලෙක මෙන් ගිලී කාල නාරජුගේ භවනට ගොස් මීට පෙර තුන් බුදුරජුන්ගේ පරිත්‍යාග කළ පාත්‍රයන් වෙතට ගොස් කිටි කිටි ශබ්දය නඟමින් ඒ පාත්‍ර තුනට යටින් පිහිටා සිටියා. කාල නාගරාජයා ඒ ශබ්දය අසා “පළමුදා එක් බුදුරජාණන් වහන්සේ නමකි, ඊයේ එක් බුදුරජාණන් වහන්සේ නමකි. අද තව බුදුරජාණන් වහන්සේ නමක් උපන්හ” යැයි නොයෙක් පද සිය ගණනින් යුතු තුටු ගී ගයමින් ප්‍රීතිවුනා. ඔහුට මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය අද හෝ ඊයේ හා සමාන වෙයි. ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත යැ’යි ස්ථිර වශයෙන්ම සිතාගත්තා. බෝසතාණන් වහන්සේ ගඟ අසබඩ මලින් ගැවසුණු සල් වනයෙහි මෙලෙස දහවල් කාලය ගතකොට සවස මල් නටුවෙන් බිඳෙන කාලයෙහි දෙවියන් විසින් සරසන ලද අට ඉස්බක් පමණ පැතිරී ගිය මාර්ගයේ පියනගමින් සිංහයකු මෙන් අභීතව ඇසතු බෝ රුක වෙත වැඩම කළා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 197

නා, යක්, ගුරුළු ආදීන්ගේ දිව්‍යමය සුවඳ මල් වරුසා මත ඇසතු බෝ රුක වෙත වැඩම කිරීම.

භද්‍ර වනයෙහි දිවා විහරණය සහ චිත්තවිසුද්ධි ලාභ

ඉන්පසු මහා පුරුෂයාණන් වහන්සේ ගං තෙරැ පිහිටි පරම සුරභි කුසුම සමලංකෘත වූ, පත්‍රයන් ගේ නීලාවභාෂයෙන් ශෝභිත, මනෝරම්‍ය උත්තුංග ශාල වෘක්ෂ පංක්තීන් ගෙන් සුසජ්ජිත භද්‍ර වනය දෙසට වැඩම කරනු. එහි දිවා විහරණය කරන සේක්, පෙර ආළාර උද්‍රකයන් හමුවේ උපදවන ලද, පසු කලැ දුෂ්කර ක්‍රියා සමයෙහි නොවැඩූ හෙයින් මල බැදුණවුන් මෙන් වූ අෂ්ටසමාපත්තීන් හා පංචාභිඥාවන් පිරිසිදු කරනු ලැබුවේ මහා සංග්‍රාමයකට රාජකීය අසිපත මුවහත් කරන විලසින්. මේ වනාහි අප මහා බෝසතාණන් වහන්සේ ගේ “චිත්තවිසුද්ධි ලාභ” යනුවෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ බුද්ධ චරිතය පොතේ සඳහන් කරනවා. එනම් උපචාර සමාධි, අපර්ණා සමාධි, යන දෙකින් සිත භාවනා අරමුණෙහි පිහිටුවා නීවරණයන් කෙරෙන් ශුද්ධ කැරැ ගැනීම යනුවෙන් උන්වහන්සේ විසින් තව දුරටත් එය උපග්‍රන්තයන්හි විස්තර කරනවා.

දෙවියන් විසින් සරසනු ලැබූ මග ඔස්සේ බෝධි මණ්ඩලය කරා වැඩම කිරීම.

මෙලෙස භද්‍ර වනයෙහි නොයෙක් සමවත්වලට සමවදිමින් සමවත් සුවයෙන් කල් ගෙවූ අප මහා බෝසතාණෝ සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙළ කරන ලද මාර්ගය ඔස්සේ බෝධි මණ්ඩලය දෙසට වැඩම කරනු ලැබුවා. නා, යක්, ගුරුළු ආදීහු දිව්‍යමය සුවඳ මල් ආදිය දසත විසිරවන්න වුණා. ඒ සමගම දිව්‍යමය සංගීත රාවයද දසත පැතිරෙන්නට වුණා. දස දහසක් ලෝක සුවඳ මල් මාලාවක් මෙන් සුවඳවත් වුණා. සාධුකාර හඬ ද ඒ හා සමානව දසත පතුරුනා. ඒ මිනිසුන්ගේ නෙවෙයි. දෙවියන්ගේ. අප මහා බෝසතාණන් වහන්සේ ඒ සියලු පුද පූජා සත්කාර මැද බුද්ධත්වය සඳහා සුදුසු භුමිය සොයමින් ඉදිරියටම වඩින්නට වුණා.

සොත්ථිය තණ වෙළෙන්දා සහ අට තණ මිට.

ඒ වේලාවෙහි සොත්ථිය නම් තණ වෙළෙන්දා තණ ගෙනයමින් ඒ මාර්ගයේම ඉදිරියට එමින් සිටියා. එයත් ඉබේ සිදුනොවුවක් ලෙස ඔබ තරයේ සිත තබා ගත යුතයි. එයත් පාරමී දම් පුරමින් ලබාගත හැකි මිනිස් ජීවිතයක විරළ අවස්ථාවක්. ඔහුද බෝසතාණන් වහන්සේගේ ආකාරය දැන කුඩා තණ තණ මිටි අටක් බුදුන් වහන්සේට පිළිගන්වනු ලැබුවා. ඒවා ගවයන්ට කැවීමට ගෙන යන තණ නොව මෙට්ටයක් වශයෙන් ගුදිරියක් වශයේ බිම අතුරා හිඳීමට හා සැතපීමට පාවිච්චි කරන වියළි තණයි. සොත්ථිය බමුණා බෝසතාණන් වහන්සේට ඒවා පිළිගැන්වූයේ ද බිම අතුරා ඒවා මත වැඩ සිටීම සඳහායි. දඹදිව තවුසන් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ තණ ඇතිරිය. බෝසතාණන් වහන්සේ ඒ තණ අට මීටත් රැගෙන බොරුක කරා වැඩියා.

බෝධි වෘක්‍ෂය

ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍ර‍ත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්වයට පැමිණිය හැකි ය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේ ය. මහා බෝධි සත්ත්වයනට එසේ නො හෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍ර‍හ්මයකුට වුව ද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැ යි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍යදේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.

සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.

කොතැනක දී හෝ බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. මිනිස් ලොවෙහි ම මිස දිව්‍ය‍ලෝක බ්‍ර‍හ්මලෝක නාගලෝකාදියෙහි ලොවුතුරා බුදුබව නො ලැබිය හැකි ය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහි ම ය. එහි ද සෑම තැනකදී ම බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නොහැකි යැයි ඉහතින් සඳහන් කල පරිදී “කාලිංග බෝධි ජාතකයේ” දේශණා කොට ඇත. ඒ පිළිබඳව ඊලග ලිපියේ ලියන්නට සිතුවේ එහි අනුහස් හා ආශ්චර්ය අද්භූත බව පෙන්වනවීමට.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01, මහාචාර්‍යය රේරුකානේ චන්දවිමල මහනායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “බෝධි පූජාව” නමැති ග්‍රන්ථය. බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ධර්තගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 198

සියලු බෝධි සත්වයන් බුදුබව ලබන බෝධි මණ්ඩලයේ අනුහස්.

සියලු මහා බෝධි සත්ත්වයන්වහන්සේලා බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නොහැකි යැයි ඉහතින් සඳහන් කල පරිදී “කාලිංග බෝධි ජාතකයේ” දේශණා කොට ඇත. ඒ පිළිබඳව ඊලග ලිපියේ ලියන්නට සිතුවේ එහි අනුහස් හා ආශ්චර්ය අද්භූත බව පෙන්වනවීමට.

කාලිංගබෝධි ජාතකය

පසුගිය ලිපියේ ලියවෙන්නේ බුදුවරුන් පිළිබඳව අචල ශ්‍රද්ධාව ඇති කිරීමටයි. ඒ නිසා මහා බෝධි සත්ත්වයන්වහන්සේලා බුදුබව ලබන භුමිය නොහොත් බෝධි මණ්ඩලයේ අනුහස් ගැන දැනුවත් කිරීම බුදුවරයෙකුගේ තේජාන්විත භාවය ගැන කියාදෙන්න කරන්න වූ තවත් මෙහෙවරක් ලෙසයි මා දුටුවේ. ඒ නිසා ඒ ගැන සඳහන් “කාලිංගබෝධි ජාතකය” මෙතැන් සිට කෙටියෙන් ලිවීමට උත්සාහ කරනවා.

මෙම ජාතක කතාව දේශණා කරන්න නිධාන වුනේ ආනන්ද බෝධියට ආනන්ද මහා තෙරුන්වහන්සේ දැක්වූ පූජෝපහාර. එහෙත් එය නොකියා මෙම මාතෘකාවට අවශ්‍ය කොටස පමණක් ලියන්නට හිතුනේ මෙම ලිපිය එක් කොටසකින් ඉවරකරන්න.

යටගිය දවස කලිඟු රට දන්ත නුවර රාජ්‍ය කළ කලිඟු රජ්ජුරුවන්ට මහා කාලිංඝ, චුල්ල කාලිංඝ නමින් පුත්‍රයෝ දෙදෙනෙක් සිටියා. පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයා රාජ්‍ය කරන බවත් චුල්ල කාලිංඝ කුමාරයා සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවැදිව භික්ෂාටනයෙන් කල් යවන අතර ඔහුට දාව උපදින පුතණුවෝ අනාගතයේ දී කාලිංග චක්‍රවර්තීව රාජ්‍ය කෙරෙතියි නිමිති පාඨකයෝ අනාවැකි කිවා. මෑත භාගයෙහි පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයෝ රාජ්‍යයට ද මළනුවෝ යුව රජ තනතුරටද පැමිණියා. යුව රජ්ජුරුවෝ තමාගේ පුත්‍රයා චක්‍රවර්තී රාජ්‍යයට පැමිණියේ යැයි ඉතා ප්‍රීතියෙන් පුත්‍රයා නිසා ආඩම්බරව පසුවන දුටු රජතුමා එය ඉවසා ගත නොහී යුව රජ්ජුරුවන්ව අල්ලා ගෙන එවයි වැඩෙහි හැසිරෙන එක් ඇමතියෙකුට නියෝග කළා. ඒ ඇමති ගොස් යුව රජ්ජුරුවන්ට මේ බව දන්වා ඔබතුමා මේ නුවරින් නික්ම ගොස් ජීවිතය රැකගත මැනැවැයි කියා සිටියා. යුව රජ්ජුරුවෝ පේරැස් මුද්දත් සියුම් වූ පලසත් මඟුල් කඩුවත් තුනම ඒ ඇමති හට පෙන්වා මතු දවසක පුතු පැමිණි කල මේ සංඥාවෙන් මාගේ පුතණුවන්ට රාජ්‍යය පාවා දෙවයි කියා පවසා වනගත වුණා. ඉන්පසු ඔහු තනිව මහා වනයේ මිනිස් වාසයෙන් තොර ගංතෙරක පන්සලක් කොට ගෙන පැවිදිව වාසය කළා.

එකල මධු රට සාගල නුවර මධුරජ්ජුරුවන්ගේ දියණියගේ දේහ ලක්‍ෂණ බැලු නිමිති පාඨකයෝ “මේ කුමාරිකාව මතු දිනක පැවිදිව පිඬු සිඟා ජීවත් වන්නීය. මුන්ගේ බඩ උපන් කුමාරයෝ චක්‍රවර්තී රාජ්‍යයට පැමිණෙන්නේය” යනුවෙන් කියා සිටියා. ඒ සියළු දඹදිව රජ දරුවෝ එපවත් අසා ඈ ලබා ගැනීමේ අදහසින් එකවිට අවුත් නුවර වටකර ගත්තා. මධුරජ්ජුරුවෝ සිතන්නේ” ඉදින් මම දියණිය එක කුමාරයෙකුට පාවා දුනහොත් සෙසු අය කිපෙන්නාහ. එබැවින් ඈ රකිමියි” සිතා දියණිය සහ බිසව අප්‍රසිද්ධ වේසයකින් නුවරින් ගෙන ගොස් වනයට වැද කාලිංග කුමාරයන්ගේ අසපුවටම නුදුරින් උඩුගඟ පන්සලක් කොට ගෙන පැවිදිව තිදෙනම එහි කල් යැවූවා. දෛවය කියන්නේ මහා පුදුම දෙයක්. වාසනාව තමා වෙත ගෙනෙන්නේ සමහරවිට කිසිම උත්සහයකින් තොරව. දෙමව්පියෝ දියණිය පන්සලෙහි රඳවා පලාඵල පිණිස දිනපතා යනවා. ඈ දෙමව්පියන් ගිය කල නොයෙක් මල් ගෙන මාලා ගොතා ගං තෙරවූ අඹ රුකට නැඟී දියට දැමීම පුරුද්දක් කොටගෙන සිටියා. දවසක් ඇය විසින් ගඟට හෙලනු ලැබූ මල් මාලයක් පාවී ගොස් ගඟට බැස නාන්නා වූ කලිඟු කුමාරයන්ගේ හිසෙහි දැවටුණා. කුමාරයත් ඒ මල් පට දෙස බලා මෙය තරුණ ස්ත්‍රියකගේ කර්මාන්තයෙකැයි නිශ්චය කොට පරීක්‍ෂා කෙරෙමියි සිතා ක්ලේශ වසඟයෙන් උඩු ගං බලා යන්නන්ට වුණා. ඒ යනවිටත් ඇය සිටියේ ඒ අඹ ගහ මත නැගී මියුරු හඬින් ගීත ගායනා කරමින්. ඒ හඩ ඔස්සේ ගොස් ඈ දුටු තාපස තුමා ඇයව දැක “සොඳුර තෙපි කවුරුදැයි විචාරනු ලැබුවා. ස්වාමීනී මම මිනිස් ලියක්මියි ඈ කීවා. මෙසේ ඔවු නොවුන්ගේ සියළු තොරතුරු අසා දැන දෙදෙනාම ක්‍ෂසත්‍රීය වංශයට අයත් බැව් දැන ගසින් බැස එකතු වී දෙමව්පියන් ආකළ සියළු විස්තර පවසා සිටියා. ඔවුන්ද ඉතා සතුටුව කුමාරිකාව රාජ කුමාරයන්ට පාවා දෙනු ලැබුවා. ඈ ටික කලකින් මහ පින් ඇති පුත් රුවණක් වැදුවා. ඒ කුමාරයා වැඩිවිය පැමිණ පියාගෙන් සහ මුත්තණුවන් සමීපයෙහි සියළු ශිල්ප ඉගෙන නිමා කළා. ඉන්පසු ඔහුගේ පියා නැකත් යෝග අනුව තම වැඩිමල් සොහොයුරු මළ බව දැන පුතු අමතා තම පේරැස් මුද්ද පළස හා මඟුල් කඩුව අතට දී “පුත දන්තපුර නුවර අසවල් වීදියේ අපට හිතවත් එක් ඇමතියෙක් ඇත. ඔහු ලඟට ගොස් මේ ලකුණු පෙන්වා මාගේ පුත්‍ර නියාව කියව. ඔහු තොපව රාජ්‍යයෙහි පිහිට වන්නේය.” යනුවෙන් කියා සිටියා. කුමාරයෝ වැඩිහිටියන් වැද අවසර ගෙන කුසලමය වූ සෘඬියෙන් අහසින් ගොස් අමාත්‍යාගේ සමීපයට පැමිණ සියළු පුවත් දන්වා ලකුණු පෙන්වා සිටියා. ඇමති තෙමේ එපවත් රජ පිරිසට දන්වා ඔහුට කිරුළු පැලන්දුවා.

ඒ කාලිංග රජතුමා භාරචාඡ නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් පිළිපැදිය යුතු දසවිධ චක්‍රවර්තිවන් දැන ඒවා පුරන්නට පටන් ගත්තා. ඒ වත් පිළිබඳව මිට පෙර මෙම ලිපි පෙලේ ලියා තිබෙනවා. ඊට අනතුරුව පැමිණ පසළොස්වක් පොහෝ දිනයෙහි චක්‍රවර්ති රජ කෙනෙකුට නියමිත සප්තවිධ රත්න පහළ වුණා. ඒ රජජුරුවේ සියළු සක්වළ ගැබ රාජ්‍යය ගෙන මහ පිරිස පිරිවරන ලදුව අති ධවල වූ හස්ති රත්නය මතින් ප්‍රථමයෙන්ම දෙමව්පියන් බැලීමට යන්නට පිටත් වුණා. ඒ උපෝසථ කුලයේ ධවල හස්තිරාජයා මුළුනනින්ම සුදු වූ කෛලාස පර්වතය මෙන් සුදුම සුදුපාටයි. ගමන් කරන්නේ අහසින්. ඔවුන් යන මාර්ගය වැටී තිබුණේ මහ පොලවේ නැඹ වූ සියලු බුදුවරුන්ට මාර පරාජය කොට බුදුබවට පත්වීමට රාජාසනයක් බඳු වූ ඒ බෝධි මණ්ඩලය උඩින්. එම හස්ති රාජයා සියළු බුදුවරුන්ට ජය භූමිය වූ බෝ මැඩට මතු භාගයෙන් යන්ට අසමත් වුණා. රජතුමා කොතෙක් උත්සාහ කළත් ඇත් රජ යන්ට මැළිවුණා. මැළි වුනාම නෙවෙයි යන්නට බැරි වුණා. එවිට රජතුමා තම පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් ඊට හේතුව විමසා සිටියා. අහසින් බිමට බැස පරීක්‍ෂා කරන ඔහු හට එක පැලෑටියක් වත් නොමැති ධවල වූ රිදී පටක් බඳු වැල්ලෙන් ශෝභාමත් වූ විටින් එදෙසට නැමූන තෘණතලාදියෙන් හෙඹි බෝමැඩ දැක රජ්ජුරුවන් අමතා “මහ රජතුමනි සියළු බුදුවරු සකල කෙලශයන් නසන්නා වූ ස්ථානය මෙය වන්නේය. මෙහි මතු පිටින් ශක්‍රයකුට පවා යා නොහැක. දස ලක්‍ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළවට නාභියක් හා සමාන වූ අචල ස්ථානයක් වූ මෙය කප මුලහටගත්තේය. නස්නා කල්හි පසුව නැසෙන්නේය. මේ ස්ථානයට නමස්කාර කට යුත්තේ ය. මේ උතුම් හස්ති රාජයා වජ්‍රාකුසයෙන් කොටා මෙහෙයතත් මේ බෝධි මංඩලය මත්තෙන් නොයන්නේය. මාගේ කීම සැබෑදැයි බලනු සඳහා මේ උතුම් හස්ති රාජයා විදුරු එබූ අකුස්සෙන් කොටා මෙහෙයා බලනු මැනවයි කියා සිටියා. චක්‍රවර්තී රජ්ජුරුවෝ එබස් අසා පරීක්‍ෂා කර බලනු සඳහා ඇතු මෙහෙයාලූවා. එවිට ඇත් රජ අහස දෙදරවමින් කොස්වා ලිහිණියෙකු මෙන් කුඤ්චනාද කොට පසු බැස අහසෙහිම උක්කුටකයෙන් නිසොල්මන් වුණා. චක්‍රවර්තී රජ්ජුරුවෝ වීදුරු එබූ අකුස්ස්සෙන් නැවත නැවතත් අනින්ට වන් කල්හි වේදනාව ඉවසා ගත නොහී ඇතු අහසෙහිම කළුරිය කළා. රජතුමා ඇතු මළ නියාව නොදැන ඔහු පිටම සිටියා. පුරෝහිත බ්‍රාහ්මණයා “රජතුමනි ඔබේ ඇත්රජ මිය ගිහින්. ඔබ කෙතෙක් උත්සාහ කළත් මේ බෝ මැඩ මතුයෙන් යාමට නොහැක. වෙන ඇතෙකු එනසේ සිතුව මැනවයි” පවසා සිටියේ ශෝකයෙන්. රජ්ජුරුවන්ගේ ආනුභාවයෙන් කුසල ශක්තියෙන් වෙනත් ඇත් රජෙක් පැමිණෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ. රජතුමා ඒ ඇතු පිට නැග්ග සැණින්ම මළ ඇත් රජ බිම පතිත වුණා.

ඊට පස්සේ රජතුමා වහා බිමට බැස බෝධි මණ්ඩලයේ වූ ප්‍රාතිහාර්යය දැක බ්‍රාහ්මණයාට බොහෝ ප්‍රශංසා කොට බමුණානෙනි තෙපි නම් සියල්ල දත්තා වූ සම්‍යක් සම්බුදු වරයෙක්මයයි ස්තුති කරනු ලැබුවා. එවිට බ්‍රාහ්මණයා “රජතුමනි අපි ශාස්ත්‍රයෙන් දැන කියන හෙයින් ශ්‍රුත බුද්ධ නම් වම්හ. බුදුවරු තුන් කල්හි වූ සියළු පදර්ථයන් දක්නාහු වෙති. සර්වඥ ඥාණයෙන් සියල්ල දන්න හු වෙති. පඤ්චවිධඥෙය්‍ය මණ්ඩලය කරතලා මලක ආකාරයෙන් දනිතියි” බුදුගුණ වර්ණනා කරන්නට වුණා. චක්‍රවර්තී රජතුමා බුදු ගුණයෙහි පැහැද සොම්නස් වී සියලු සක්වල වාසීන් ලවා ගඳ දුම් මල් පහන් ගෙන්වා ගෙන මහ බෝමැඩ සතියක් මුළුල්ලෙහි බෝධිපූජා කරවූවා. සත්රුවන්මය වූ පහන් කනු ප්‍රාකාර කරවූවා. මෙසේ පූජා පවත්වා ගොස් දෙමාපියන් කැඳවා ගෙන තම රාජ්‍යයට ගොස් දානාදී පින්කම් කොට ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපන්නා.

එසමයෙහි කලිඟු රජ්ජුරුවෝ නම් දැන් මේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ. කාලිංග භාරචාජ පුරෝහිත බ්‍රාහ්මණයා නම් තිලෝගුරු බුදුරජාණනන් වහන්සේයි.

ඉතින් ඔය කතාව ඔය අයුරින් මනසේ තබාගෙන ඒ බෝධිමණ්ඩලයට වූ අපමණ ගෞරවයෙන් ඉතිරි කොටස කියවන්න.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 04,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 199

බෝධි මණ්ඩලය වෙත පැමිණීම සහ අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳීම.

බෝධි මණ්ඩලය වෙත පැමිණීම.

මෙලෙස දෙවියන් විසින් සරසනු ලැබූ මග ඔස්සේ දෙවුන් බඹුන් පිරිවරා අප මහා බෝසතාණන් වහන්සේ වැඩමකලේ යුද්දෙකෙට යන මහා සෙන්පතියකු චතුරංග සේනාව පිරිවරා යන ආකාරයට මාර පරාජය කොට බුද්ධත්වය සඳහා නියමිත බෝධිමන්ඩලය සොයමින්. මෙසේ පැමිණි අප මහා බෝසතාණන් වහන්සේ අවසානයේ බොරුක වෙත එළැඹ තණ අට මිට ගෙන බෝමැඩ ට නැග දකුණු දිශාවෙහි උතුරට මුහුණ ලා වැඩ සිටියා.

බුද්ධත්වය සඳහා වැඩ සිටිය යුතු දිශාව සෙවීම.

මෙලෙස දකුණු දිශාවෙහි සිට උතුරට මුහුණ ලා වැඩ සිටිකෙණෙහි එ පෙදෙස නෙළුම් පතකැ රැඳී දිය බිඳක් මෙන් කම්පිත වන්නට වුණා. එකෙණෙහි සක්වළෙහි දකුණු පැත්ත ගිලී අවීචි නිරය පැමිණියාක් මෙන් වුණා. උතුරු සක්වල භවාශ්‍රයෙහි පිහිටියා මෙන් විය. එය දුටු බෝසතාණන් වහන්සේ මේ ප්‍රදේශයට සම්බෝධියට සුදුසු දිශාව නොවේ යැයි සලකා පැදකුණු කරමින් බටහිර දෙසට ගොස් පෙර දිගට මුහුණ ලා සිටගත්තා. ඒ පෙදෙසද පෙරසේම කම්පිතවන්නට වුණා. එහිදී ද පෙරමෙන් බටහිර පැත්ත ගිලී අවීචියෙහි පිහිටියා මෙන් වුණා. පෙරදිග උඩට නැගී භවාත්‍රයෙහි පිහිටියා ක් මෙන් වුණා. බෝසතාණන් වහන්සේ සිටි තැන නැබින් තිබූ චක්‍රයක් නේමියෙන් මඩනා කල මෙන් මහ පොළොව උස්පහත් වන්නට වුණා. එම දිශාව ද සම්බෝධි ස්ථාන නොවේ යැයි පැදකුණු කරමින් උතුරු දිශාවට ගොස් දකුණු දිසාවට මුහුණ ලා සිටියා. එහිදීද පෙර පරිදිම වුණා. ඒ දිශාවද සම්බෝධි ස්ථානය නොවේයැයි සිතූ බෝසතාණන් වහන්සේ පෙරදිගට ගොස් පැදුම් දෙස බලා සිටගත්තා. පූර්ව දිශාව වනාහි සියලු බුදුරජාණන් වහන්සේලාගේ සම්බෝධි අසුන පිහිටන තැන වේ.ඒ උස් පහත් නොවේ. නොසැලේ. බෝසතාණන් වහන්සේ මේ ස්ථානය සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහරින ලද නොසෙල්වන කෙලෙස් මැදිරි විනාශ කරන ස්ථානයයි දැන ඒ තණ අගින් ගෙන සොලවනු ලැබුවා. ඒ සමගම මුළු පරිසරයම ගිගුම් දෙමින් දෙවියන්ගේ සාදු කාර හඬ ඔස්සේ තුදුස් රියන් වජ්‍රාසනය පැන නැගුණ. ඒ තණ ඒ ආකාරයෙන්ම පිහිටිය. ඉතා දක්ෂ සිත් කරුවකු හෝ පෙත් කරුවකු මේ ආසනය සිතුවම් කිරීමට සමත් නැහැ කියලා අට්ට කතා ආචාර්යවරු කියනවා. මා සිත තුල ඇති වූ අපරිමිත ශ්‍රද්ධාව බුද්ධාලම්භන ප්‍රීතිය නිසා නෙතින් ගලා ගිය කඳුළු මුළු සටහනම බොඳ කර හැරියා.

අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳීම.

“මේ ශරීරයේ සම් මස් ලේ ඇට නහර වියැලි සුණු විසුණු වන කල්හි ද පුරුෂස්ථාමයෙන් පුරුෂ විර්යයයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියැ යුතු වූ සම්‍යක් සම්බෝධිය ලැබ මිස මා උත්සාහය අත් නොහරිමි” යි චතුරංග වීර්යයය ඉටා බෝ කඳට පිට දී පෙර දිග බලා වජ්‍රාසනයෙන් (අජේය පර්යංකයෙන්) වැඩ සිටියා.

චතුරංග වීර්යයය.

  1. සම ගැලවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.
  2. නහර ගැලැවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.
  3. ඇට ගැලැවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.
  4. මස් ලේ වියැලී ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.

 මෙසේ අංග සතරින් යුත් වීර්යයය චතුරංග වීර්යය නම් වනවා.

ආසන සහ වජ්‍රාසන

ආසන වනාහි ගණනින් අසූසාර ලක්ෂයකැ යි ද එයින් සුවාසූවක් මැනැවැ යි ද ඉනුත් දෙ තිසක් ම වඩා යෝග්‍ය යැ යි දක්වා ඒ ආසන දෙ තිසේ නම් ඝෙරණ්ඩසංහිතායෙහි මෙසේ දක්වන බව බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමිපාණන් බුද්ධචරිතය පොතේ උප ග්‍රන්ථයෙහි මෙලෙස සඳහන් වනවා.

යෝගීනට සිද්ධිදානය කරන ආසන දෙ තිස.

  1. සිද්ධාසන 2. පද්මාසන 3. භද්‍රාසන 4. මුක්තාසන 5. වජ්‍රාසන 6. ස්වස්තිකාසන 7. සිංහසන 8. ගෝමුඛාසන 9. විරාසන 10. ධනුරාසන 11. මෘතාසන12. ගුප්තාසන 13. මත්ස්‍යාසන 14. මත්ස්‍යෙන්ද්‍රාසන 15. ගෝරක්ෂාසන16. පශ්චිමෝත්තනාසන 17. උත්කටාසන18. සංකටාසන 19. මයූරාසන 20. කුක්කුටාසන 21. කුර්මාසන 22. උත්තාන මණ්ඩුකාසන 23. උත්තාන කුර්මකාසන 24. වෘක්ෂායන 25. මණ්ඩුකාසන 26. ගරුඬාසන 27. වෘෂාසන 28. සලහාසන 29. මකරාසන 30. උෂට්‍රාසන 31. භුජඞ්ගාසන 32.යෝගාසන

මෙයින් වජ්‍රාසන නම් :

ජඞ්ඝාභ්‍යඃ වජ්‍රවත් කෘත්වා ගුදපාර්ශවෙ පදාවුභෞ

වජ්‍රාසනං භවෙදෙතත් යොගිනාම් සිද්ධිදායකම්

කෙංඩා දෙක වජ්‍ර (දියමන්ති) මෙන් දැඩිකොට දෙපතුල් පසුපස තට්ටම දෙ පස තැබීමෙන් මේ යෝගීනට සිද්ධි දායි වූ වජ්‍රාසනය වන්නේ යැ යි දක්වනවා. වජ්‍රාසනය යනු සිද්ධාසනයට නමෙකැ යි ද හඨයෝග‍ප්‍රදීපිකායෙහි කියන බව සඳහන්. සිද්ධාසනය මෙහි දැක්වූ වජ්‍රාසනයට සමාන යි. ලක්දිව ඔත් පිළිමවල පෙනෙන බද්ධපර්යංකය යෝගශාස්ත්‍රයෙහි සුඛාසන නමින් දක්වා සිටිනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01, බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ධර්තගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය සහ එහි උපග්‍රන්ත.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 200

මාර පරාජය 01

බෝසතාණන් වහන්සේ පෙර කී පරිදී බුද්ධත්වය සඳහා වැඩ සිටිය යුතු නියමිත දිශාව තිරණය කල පසු බෝ කඳ ට පිටදී පෙරදිගට අභිමුඛව දැඩි සිත් ඇතිව මගේ ශරීරයෙහි සම්, නහර, ඇට විසි වේවා. මස්, ලේ, වියලේවා. සම්මා සම්බුද්ධත්වයට නොපැමිණ මේ බද්ධාශනය නොහරින්නෙමි සිතා සිය ගණන් හෙණ පාත් වුවද නොබිදිය හැකි පරාජය කළ නොහැකි පර්යංකය බැද අපරාජිත පර්යංකයෙන් වැඩ සිටියා. මහා පුරුෂයාණන් වහන්සේට ගෞරව ස්තූති පූජා පිණිස, ගලා එන මහාජලෞඝයක් මෙන් අතුරු සිදුරු නැති සේ රැස් වන දිව්‍ය බ්‍රහ්ම සේනා හේතුයෙන් හාත් පස සියලු පෙදෙස මිහිබට දෙව් පුරයෙක සිරි ඉසිලුවා. දස දහසක් සක්වල දෙවියෝ බෝසතාණන් වහන්සේට ස්තුති ගායනා කරමින් උන්නා. සක්දෙව් රජ විජයුත්තර නම් සංඛය පිඔමින් සිටිය. ඒ සංඛය වනාහි එක්සිය විසිරියන් වෙනවා. එක්වරක් පිබි කළ සිව් මසක් රැව් දී නිහඬ වනවා. ඒ වේලාවෙහිම මහ කෙළ නා රජ සිය ගී වලින් බෝසතාණන් වහන්සේගේ ගුණ වනමින් සිටිය. මහබඹු සුදු කුඩය දරමින් සිටිය.

මේ අතරැ කලින් ම ඈත එන සතුරකු දැක බිය ලකුණු සෙස්සනට ද පහළ කොට පැන යන්නනාක් මෙන් හිරු අස්ත පර්වතය දිසාවටගමන් කරන්නට වුණා. සඳට හිරුට තරම්ම බලයක් තිබ්බේ නැහැ. එහෙත් වුවමනා විටෙකැ බෝසතාණන් පෙරුම් පිරූ බවට දෙස් කියනු පිණිස සුප්‍රකාශිත ශශ ලාංඡන ඇතිව ගගන තලය බබුළුවමින් උදාවීම ආරම්භ කළා.

එකෙනෙහිම මාර දෙවි පුත් “සිදුහත් කුමරු මාගේ බලය ඉක්මනු කැමැත්තේය. මම දැන් ඔහුට මා ඉක්මවන්නට ඉඩ නොදෙමි”. යැයි සිතා මර සෙනග වෙත ගොස් මෙම කරුණ කියා මර සෙනග සමග අහසට නැංගා. ඒ මාර සේනාව මරු පෙරටුව දොළොස් යොදුනක් වුනා. දකුණු හා වම් පසින් ද දොළොස් යොදුනක් ම වුණා. පිටුපසින් සක්වල කෙළවර කොට සිටිය. උඩ දිශාව ට තව යොදුනක් වුණා. මේ මාර සේනාවේ ගුගුරන ශබ්දය පොලව ගුගුරන කලක් මෙන් යොදුන් දහසක් දුරට ඇසෙනවා. ඒ මාර දෙවි පුත් අඩ සියයක් උස ගිරිමේඛලා නම් ඇතුපිට නැගී අත් දහසක් මවා නොයෙක් ආයුධද ඒ අත් මතට මවා ගත්තා. ඔහුගේ මාර සේනාවටද දෙදෙනකුට එක සමාන නොවන සේ විවිධ ආයුධ ලබා දුන්නා. මර සෙනග නොයෙක් වර්ණයෙන් හා විවිධාකාර මුහුණු වලින් යුක්තව බෝසතාණන් වහන්සේ මැඩගෙන යන්නාක් මෙන් ඉදිරියට පැමිණිය. මර සෙනග බෝමැඩ ලඟට පැමිණෙත්ම පෙර කී එක් අයකුට හෝ සිටින්නට නොහැකි වුණා. ඔවුන් හිස් ලූ ලූ අත පලා ගියා. නාරජ පොළොව යටට කිමිදී යොදුන් පන්සියයක් වූ මඤ්ජෙරික නාග භවනට ගොස් අත් දෙකෙන් මුහුණ වසාගෙන සිටිය. මහබඹු සේසත සක්වල කෙළවර තබා බඹ ලොවට ම ගියා. එක දෙවියකු හෝ උන්වහන්සේ අසළ සිටින්නට සමත් වුනේ නැහැ. එහෙත් අප මහා බෝසතාණන් වහන්සේ තනිවම එහි රැඳී සියා. මාරයා සිය පිරිස අමතා මෙලෙස කිවා. .

” දරුවනි, සුද්ධෝදන පුත්‍ර සිද්ධාර්ථ සමාන අන් කෙනෙකු නැත. මුහුණට මුහුණ ලා යුධ කිරීමට අප සමත් නො වෙමු. පසුපසින් යුධ කරමු.” යනුවෙන් උපක්‍රමශීලිව පසුබැස්සා. බෝසතාණන් වහන්සේ තුන් පැති බලා සියලු දෙවියන් පළා ගිය බැවින් හිස්ව ඇති බව දැන එහෙත් නැවතත් උතුරු දෙසින් මර සෙනග තමා මැඩීමට එන බව දැක “මේ විශාල සෙනග මා හා යුධවදීමට උත්සාහ කරති. මෙහි මා සඳහා මව්පිය සොහොයුරො හෝ අන් කිසිවකු හෝ නැත. මේ දශ පාරමිතාවෝ මා විසින් දිගු කලක් පෝෂණය කළ වන්නාහ. එහෙයින් පාරමී ධර්ම පළිහක් කොට පාරමී නැමැති ආයුධයෙන්ම මේ මර පිරිස විසිරුවා හැරිය යුතු වන්නේ යැයි” සිතා දශ පාරමිතාවන් සිහිකරමින් වැඩහුන්නා. ඉක්බිති මාර දෙවිපුත් මෙයින්ම සිදුහත් කුමරු පලාපි යමි සිතා මහා සුළඟක් මවනු ලැබුවා. එකෙනෙහිම සියලු දිශාවෙන්ම වා මඩුලු හටගෙන යොදුන්, අඩ යොදුන්, තුන් යොදුන් පමණ වූ මහා පර්වත බිදිමින් මහා ගස් මුල් මුලිනුපුටා සියලු ගම්, නියම් ගම් සුනු විසුනු කරමින් පැමිණියද බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනක් හෝ සෙලවීමට සමත් නොවුණා.

නැවත මාරයා ජාලයෙන් බෝසතුන් යට කොට මරමියි ගණන් වළා පටල නැගී මහා වරුසා වට වැසි ධාරා වේගයෙන් පොළොව සිදුරු වුණා. වන රුක් මතුපිටින් ගලා ආ මහාමේඝ ය බෝසතාණන් වහන්සේගේ සිවුරු පිණි බිඳකින් තෙමන පමණකුදු තෙමීමට අසමත් වුණා. අනතුරුව ගල් වර්ෂාවක් වැස්ස වන්නට වුණා. මහත් වූ පර්වත මෙන් ගල් ගිනි ගෙන දුම් දමමින් අහසින් අවුත් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ දිව්‍යයමල් බවට පත්වුණා. අනතුරුව ආයුධ වරුසාවක් වැස්ස වනු ලැබුවා. එක් පැත්තක මුවහත් ඇති, දෙපැත්තෙහි මුවහත් ඇති කඩු, අඩයටි, ඊතල ආදිය ගිනි ගෙන දිලිසෙමින් දුම් දමමින් අහසින් බෝසතාණන් වහන්සේ වෙත අවුත් දිව්‍යය කුසුම් බවට පත්වුණා. අනතුරුව අඟුරු වරුසාවක් වැස්ස වනු ලැබුවා. කිනිහිරි මල් වන් ගිනි අඟුරු අහසින් අවුත් බෝසතාණන් වහන්සේගේ පාමුල දිව්‍යය කුසුම් මෙන් විසිරී ගියා. අනතුරුව අළු වර්ෂාවක් වැස්සවූවා. ඉතා උණුසුම් වූ ගිනි ගත් අළු අහසින් අවුත් බෝසතාණන් වහන්සේගේ පාමුල සඳුන් සුනු මෙන් විසිරී ගියා. අනතුරුව වැලි වර්ෂාවක් වැස්සවුවා. ඉතා සියුම් වැලි ගිනි ගෙන දුම් දමමින් අහසින් අවුත් බුදුරජුන් අවට දිව්‍යය මල් බවට පත්වුනා. අනතුරුව මඩ වර්ෂාවක් වැස්ස වුවා. ගිනි ගෙන දිලිසෙන මඩ අහසින් අවුත් බෝසතුන් පාමුල දිව්‍යය විලවුන් බවට පත්වුණා . අනතුරුව මෙයින් සිදුහත් බිය ගන්වා පලවා හරිමු යැයි සිතා ඝන අඳුරක් මවනු ලැබුවා. සිව් අතකින් වුත් මහා ගණදුර මෙන් ගනාන්ධකාරය බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සූර්යයා ලෝකයක් මෙන් වී අතුරුදහන් වුණා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;- ජාතක අට්ඨකතා 01,