You dont have javascript enabled! Please enable it!

Ape Budu Hamuduruwo 101-150

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සදහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මනෝරි අතපත්තු මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!

අපේ බුදුහාමුදුරුවෝ 101

මතු බුදුවරයෙකු බුදුවරයෙකු වෙත බලෙන් රැගෙන ගිය කල්‍යාණ මිතුරා ඝටීකාර 1
අවසන්​ නියත විවරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 05

අධික ලෙස කාර්යය බහුලතාවය නිසා සියවෙනි කොටසෙන් පසුව ටික දිනකට ලිවීමට නොහැකි වුණා. එයට සමාවෙන්න. අද දිනයේත් රාත්‍රී දොළහ ආසන්නයේ ලිවිම පටන්ගත්තද කොතරම් දුරට එය නිම කරගත හැකි වේදැයි තවමත් දන්නේ නැහැ.  පසුගිය අවසන් කොටස අවසන් කලේ මෙලෙසින්.

ඝටීකාර මිත්‍රයා

“යහළු ජොතිපාලය, (අප මහා බෝසතාණන් වහන්සේ) භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේ වැඩසිටින්නේ මේ ආසන්නයේ. අපි උන්වහන්සේ බැහැ දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය . එබැවින් යමු’යි  කිවා.

ජෝතිපාල නම් වූ අප මහා බෝසතාණන් වහන්සේ.

‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැත, මට එන්නට බැරිය. ඔබම යන්න.”

හරිම පුදුමයි කල්‍යාණ මිත්‍රත්වය කියන එක. එලෙස පසුබට වෙන කෙනෙක් හෝ මොනයම් විපතකදී උවදුරකදී මිතුරා හැර යන කෙනෙකු නෙවෙයි. ඔහු බෝසතාණන් වහන්සේව කස්සප බුදුරජාණන් වහන්සේ වෙතට ගෙනියන්න නොයෙකුත් උපක්‍රම කල්පනා කළා. එහෙත් ඔහු ඒ වනවිටත් දැන සිටියේ නැහැ ඔහුගේ ප්‍රිය මිතුරා මෙම කල්පයේම බුදුබවට පත්වෙන ගෞතම බුදුන්බව. ඒ එක්කම ඔහු දැන සිටියේ නැහැ කස්සප බුදුන් වෙතට නොපැමිණ ඒ බුද්ධත්වය සාක්ෂාත් කරනොගත හැකි බව. ඔහුට අනඝි අදහසක් පහල වුණා. ඒ කස්සප බුදුන් වැඩ සිටි ආරාමය අසල සිටි මනහර දිය පොකුණට දිය නාන්ට යන්නට ජෝතිපාලත් සමග. එය මෙලෙස ඝටිකාර සුත්‍රයේ සඳහන් වෙනවා.

“එසේ නම් යහළු ජොතිපාලය, නහන සුණු ගෙන දියනාන්ට ගඟට යමුයි’ කීය. ආනන්දය, ජොතිපාල මානවක තෙමේ, ‘යහලුව එසේය’ කියා, ඝටීකාර කුම්භකාරයාහට උත්තර දුනි. ඉක්බිති ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද, ජොතිපාල මානවකතෙමේද (කුරුවින්ද පාෂාණයෙන් කළ) නහන සුණු ගෙන දිය නෑමට ගඟට ගියාහුය.

ස්වභාව ධර්මයේ අසිරිය සෞම්‍යබව කොතරම් තද සිතක් වුවද සුමට කිරීමට සමත්. ඒ සුන්දර දිය ජලාශයේ දියනෑමෙන් අනතුරුව ඝටීකාර මිත්‍රයා නැවතත් තම උත්සාහය මුදුන්පත් කරගන්නට උත්සාහ දැරුවේ මෙලෙසින්.

 ඝටීකාර මිත්‍රයා

“යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ ළඟය. මිත්‍ර ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතයයි සම්මත වූයේමය. (එබැවින්) යමුයි,’ කීය.

“මෙසේ ඝටීකාර කොතරම් ඇවටිලි කරනු ලැබුවත්  ජොතිපාල නම් අප මහා බෝසතාණන් වහන්සේ නැවත නැවතද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ මෙලසයි.

‘යහලුව ඝටීකාරය, මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන වැඩෙක්ද, එයින් වැඩක් නැතැයි, කීය. දෙවනුවද තෙවනුවද ජෝතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීවා . ‘යහලු ඝටීකාරය, ඒ හිස මුඩු මහණාගේ දැකීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද, එයින් වැඩක් නැතැයි’ යනුවෙනුයි.

එතැන් පටන් සියල්ලම වෙනස් වුණා. තම මිතුරාව හොඳින් බැරිනම් නරකින් බුදුන් වෙත ගෙනයායුතු බව ඝටීකාර මිත්‍රයා තේරුම් ගත්තේ සංසරගත යුතුකමක් ඉටුකරන්නට ලද අවස්ථාවක් වගේ. ඔහු එක්වරම බෝසතාණන් වහන්සේගේ දියරෙද්දෙන් අල්ලාගෙන නැවතත් කස්සප බුදුන් වෙත යාමට පැමිණෙන ලෙස බල කරන්නට වුනා. එහෙත් අප මහා බෝසතාණන්ගේ ඉරියව්වකවත් වෙනසක් සිදුවුනේ නැහැ. අවසානයේ ඝටීකාර කුඹල් කරුවට තමන්ගේ කුලය සහ ජීවිත අනතුරත් අමතක වූ ලෙසක් වුණා. ඔහු එක වරම පැන  අප මහා බෝසතාණන් වහන්සේගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තා. එය ඉහල වංශක්කාර රාජ කුමාරයෙකුට රටේ පහත යැයි පිළිගත් කුඹල් කරුවෙකු විසින් කොහෙත්ම මොනයම් කාරණයක් නිසාවත් කල හැකි ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසාම ඔහුට මරණීය දණ්ඩණයට පවා නියම වෙන්නට තිබුණා යනුවෙන් මට හිතෙනවා. හැබැයි ඒ ක්‍රියාව මේ කතාව වෙනස් මගකට යොමුකලා. බෝසතාණන් වහන්සේ සිතුවේ අප සිතු විදිහට නෙවෙයි. එය මෙලෙස සුත්‍ර පිටකයේ සඳහන් වෙනවා.

ආශ්චර්යකි. පුදුමයකි. (එනම්) යම් කාරණයකින් මේ ඝටීකාර කුම්භකාර තෙමේ පහත් ජාති ඇත්තෙකුවද ස්නානය කළ හිසින් යුත් අපගේ කෙස් වැටිය ඇල්ලීමට තරම් සිතීද, ඒ කාන්තයෙන් මේ කාරණය සුළු දෙයක් නොවන්නේය’, කියා සිතීය. එසේ සිතා ඝටීකාර කුම්භකාරයාගෙන් ‘යහලුව ඝටීකාරය, ඒ කාරණය මෙතරම් උසස් දෙයක්දැයි, (ඇසීය.) ‘යහලුව ජොතිපාලයිනි, ඒ කාරණය එතරම් උසස් දෙයකියි’ උත්තර දුනි. ඒ මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම එසේම යහපත්යයි සම්මත කරන ලද්දේ වෙයි. ‘යහලුව ඝටීකාරය, එසේනම් (කෙස් වැටිය) මුදව. යන්නෙමැයි’ (කීය).

“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල තරුණ තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ ගත්තේය.

මෙන්න මෙහෙම මහා සටනක් කරලා ඒ මතු බුදුවෙන කල්‍යාණ මිතුරාව  කස්සප බුදුහාමුදුරුවන් වෙතට ගෙන එන්නට ඉඩ හැර කස්සප බුදුහාමුදුරුවෝ නිහඬ වී බලා සිටියේ අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ බලය පෙන්වීමටත් ඔහුට ඒ යුතුකම සිදුකිරීමට ඉඩහැරීමටත් කියලයි  මට හිතෙන්නේ.

අපේ බුදුහාමුදුරුවෝ 102

සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය!    
අවසන්​ නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 05

සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක්  දිනකට දෙවරක් උදෑසන හා සවස මිනිසුන් උදෙසා ධර්මය දේශනා කිරීම සිරිතක්. එහෙම නොවෙන දවසුත් ඇති.  ඒ සෑම දේශනාවටම පෙර එහි රැස්වූ දෙව් මිනිසුන් හා ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව ඔවුන්ගේ සිත් සොළොස් ආකාරයකින් බලා වදාරමින් ඔවුනට ගැළපෙන අයුරින් ධර්ම දේශනා කරනු ලබනවා. එය අනුපිළිවෙල කතා යනුවෙන් හඳුන්වනවා.  එනම්

  1. දාන කථං – දන්දීම පිලිබඳ කථා,
  2. සීල කථං – සීලය පිළිබඳ කථා,
  3. සග්ග කථං – සප්ත කාම ස්වර්ගය පිළිබඳ කථා,
  4. කාමානං ආදීනවං – පංචකාම රසාස්වාදයෙහි වරද පෙන්නා දෙන කථා,
  5. නෙක්ඛම්ම ආනිසංසං – පංචකාම රසාස්වාදයෙන් වෙන්වීමෙහි අනුසස් පැහැදිළි කරන කථා,

මෙලෙස අනුපිළිවලින් දෙව් මිනිස් දෙවර්ගයම ක්‍රම ක්‍රමයෙන් සාමුක්කංසික නොහොත් චතුරාර්ය සත්‍යය දේශනා  කරා රැගෙන එන්නේ ඔවුන්ටවත් නොදැනෙන්නට ඔවුන්ගේ සසර පුරුදු පාරමිතා අවදි කරමින්. ඒ සදහාද ඒ පුද්ගල ස්වභාවය පිලිබඳ විමසීමක් කලයුතු වන්නේ දෙව් මිනිස් දෙවර්ගයටම අයිති සත්ත්වයෝ රූප කායෙන් මෙන්ම මානසික ආකල්පවලින් චරිත වලින් නා නා විධ වන නිසා. ඒකාකාර දෙදෙනෙකු සොයාගැනීමට අපහසු නිසා. එමනිසා ඒ ඒ  මානසික තත්ත්වයන් අනුව සත්ත්වයන් වර්ග සතකට බෙදෙනවා.

  1. රාග චරිත
  2. ද්වේශ චරිත
  3. මෝහ චරිත
  4. සද්ධා චරිත
  5. විරිය චරිත
  6. විතක්ක චරිත
  7. බුද්ධි චරිත යනුවෙන්

ඉහත තත්වයන් සළකා බලා එකිනෙක සත්ත්වයන්ගේ චරිත ලක්ෂණ අනුව ඒ එකිනෙක සත්ත්වයා හට ප්‍රත්‍ය දහම් තෝරා ගෙන දේශනා කිරීමට විශාරදත්වය ඇත්තේද  සම්මා සම්බුදුවරුන්හට පමණක්මයි.  සාරිපුත්තාදී මහා ප්‍රාඥ මහා රහතුන්හට පවා එය දුෂ්කර කාර්යයක් බවයි පෙළෙහි ඇත්තේ. 

එසේනමුත්  ඉහත කියන ලද චරිත ලක්ෂණ වලටද වැඩි විශේෂ ලක්ෂණ තුන් වර්ගයක් සත්ත්ව සන්තානයේ පවත්නා බව බුදු දහමේ සඳහන් වෙනවා. එනම්

  1. අධිමුක්ති,
  2. ආශය,
  3. අනුශය යනුවෙන්.

මෙහි
1.අධිමුක්ති නම් හද යට සැඟවුණු අන්අයට අප්‍රකට ප්‍රාර්ථනයයි.
2. ආශය නම් උඩුහිතේ ප්‍රකට ලෙස ක්‍රියාත්මක වෙමින් පවත්නා අදහස්ය.
3. අනුශය නම් හද පත්ලේ නිදන්ව පවතින තණ්හා, මාන, දිට්ඨි යන දුබලකම්ය. ඒවා සමහර විට ඒ ඒ අයටද අප්‍රකටය.

මේ සියල්ලත් සමග ඔවුන්ගේ පංච ඉන්ද්‍රිය ධර්ම නොහොත්
1. සද්ධා
2.විරිය
3. සති
4. සමාධි 
5. පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම වැඩි ඇති අකාරය සම්මා සම්බුදුවරයකු විසින් බලනු ලබන්නේ සම්මා සම්බුදුවරයෙකුටම පමණක් විශේෂයෙන් අයත්වන ෂඩ්අසාධාරණ ඤාණ අතුරින් එක් විශිෂ්ට ඤාණයක් වන ඉන්ද්‍රිය පරෝපර්‍යත්ති ඤාණය මගින්. මෙලෙස අතිවිශේෂ අධ්‍යනයකින් පසුව බුද්ධ දේශනාව ඒ ඒ පුද්ගල සන්තානයන්ට අනුරූපව විශේෂ අංග නවයකින් සිදුකරනු ලබයි. එම නිසා මෙම සුවිශේෂ දේශනා ශෛල්‍යයකින් යුතු සාසනය නවාංග ශාස්තෘ සාසනය යන නමින්ද හඳුවනවා. එය

1.සුත්ත
2. ගෙය්‍ය
3.ව්‍යොකරණ
4. ගාථා 5. උදාන 6.ඉතිවුත්තක 7.ජාතක 8.අබ්භූතධම්ම 9.වේදල්ල යනුවෙන් හඳුන්වනවා.

දැන් ඔබට තේරෙන්නට ඕනේ සම්මා සම්බුදුවරයෙකු විසින් කරන්නා වූ ධර්ම දේශනයක් අවසානයේ අධික ලෙස මිත්‍යදෘෂ්ටින්ගෙන් එළඹ සිටි බොහෝ දෙනා පවා අරහත්වයට  පත්වුණේ කොහොමද කියලා.

එදා ජෝතිපාල මානවකයා හමුවේ ක්‍රියාත්මක වුණෙත් ඒ අනුපිළිවෙල කතාවමයි. එතැන් සිට සුත්‍ර දේශනාවේ ඒ පිළිබඳව කර ඇති වර්ණනාව දෙස බලමු.

“ජොතිපාල තරුණ තෙමේ වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවීමට නිසිවූ සිහි කිරීමට සුදුසුවූ කතාව කොට නිමවා එක් පැත්තක හිඳගත්තේය.

“ආනන්දය, එක් පසෙක උන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ ‘ස්වාමීනි, තරුණවූ මේ ජොතිපාල තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්ම දේශනා කරණ සේක්වායි.’ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කීය.

ආනන්දය, එකල්හි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජ තෙමේ ඝටීකාර කුම්භකාරයාටද ජොතිපාල මානවයාටද දහම් කතාවෙන් කරුණු දැක්වූයේය. කරුණු ගැන්වූයේය. කරුණෙහි සිත් තියුණු කරවූයේය. පැහැදවූයේය.

“ආනන්දය, එකල්හි භාග්‍යත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද්දාවූද කරුණු ගන්වන ලද්දාවූද, එහි සිත් තියුණු කරවන ලද්දාවූද පහදවන ලද්දාවූද ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල මානව තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ දේශනාවට ඉතා සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට වැඳ, පැදකුණු කොට ගියාහුය.

මෙලෙස බණ අසා පිටත්වුණ ජෝතිපාල නොහොත් අප මහා බෝසතාණෝ ඝටීකාර යහළුවගෙන් මෙහෙම විමසුවා.

ඔබ බණ අස අසා ඇයි ගෙදර යන්නේ? මහණ වෙන්නට සිතක් පහල වෙන්නේ නැද්ද, මට නම් අදම පැවිදි වෙන්න හිතෙනවා. එවිට ඝටීකාර යහළුවා මෙලෙස පිළිතුරු දුන්නා.

මිත්‍රය මට එය කල හැක්කක් නොවෙයි. මගේ මාපිය දෙදෙනාම මහලුයි අන්ධයි. මම ඒ අයව රැක බලාගන්නවා. ඒ නිසා මට තවම පැවිදි දිවියට ඇතුලත් වෙන්න බැහැ. එවිට අප මහා බෝසතාණෝ මෙහෙම කීවා. අනේ එහෙමනම් බුදුහාමුදුරුවන්ට කියලා මාව මහණ කරවන්න. මට තවත් ගිහි ජිවිතයේ රැඳී ඉන්න උවමනාවක් නැහැ. අනේ මට මහණ වෙන්න අවසර ඉල්ලා දෙන්න.

ඝටීකාර මානවකයා යලිත් ආරාමය වෙත හැරුණා. යලිත් කස්සප බුදුන් වෙත පැමිණියා. එය මෙලෙස සුත්‍ර දේශනාවේ සටහන් වෙනවා.

පැමිණ, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ. ආනන්දය, එක් පසෙක හුන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට ‘ස්වාමීනි, මේ ජොතිපාල මානවක තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහු පැවිදි කරන සේක්වායි කීය.’

“ආනන්දය, ජොතිපාල මානවක තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් සමීපයෙහි මහණකම් ලැබී උපසම්පදාව ලැබී.

ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ජොතිපාල මානව උපසම්පදාවූ නොබෝ කලකින් උපසම්පදාවී අඩමසකින් වෙහලිංගයෙහි කැමතිතාක්කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එහි චාරිකාව සඳහා වැඩියේය. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනුයේ බරණැස යම් තැනෙක්හිද එහි පැමිණියේය.

මෙලෙස අප මහා බෝසතාණන් වහන්සේගේ හද යට වැළලී තිබු අප්‍රකට ප්‍රාර්ථනය යලි ගොඩගන්නට ඒ මහා විර්යයාණන් වහන්සේ  සමත් වුණා.

මම මෙලෙස බුද්ධ දේශනාව පිලිබඳ කෙටි විස්තරයක් කලේ මෙම ලිපි පෙළ කියවන මාගේ මිත්‍රයන් වන සහ නොවෙන අන්‍යාගමික මිතුරන් සඳහායි. සමහර කතෝලික මිතුරන් මගෙන් ඉතා උනන්දුවෙන් ධර්ම කාරණා අසමින් භාවනා කිරීමට පවා උත්සාහ දැරීම මටත් විශාල සතුටක් ගෙනදෙන්නක් වුණා. ඔවුන් අතරද  සමහර විට මෙවැනිම  පාරමිතාවන් පුරන්නන්  විය හැකියි. අවාසනාවකට අද සම්මා සම්බුදුවරයෙක් නැහැ එය කියා දෙන්න  මෛත්‍රියෙන් !!

අපේ බුදුහාමුදුරුවෝ 103

සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය!    
අවසන්​ නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 06

අප මහා බෝසතාණන් වහන්සේව කස්සප බුදුරජුන් වෙත පැමිණවූ ඝටීකාර කල්‍යාණ මිතුරා ඔහුගෙන් සමුගත්තා.  ඝටීකාර මිතුරාගේ කතාව එතනින් නිමා වුණේ නැහැ. එය ඉතාම ලස්සන් දීර්ග  කතාන්දරයක්.  ඔහු ඒ ජිවිතයෙන් සමුගත්තේ අනාගාමී ඵලයේ සිටයි. එනිසාම එතුමා අදටත් බ්‍රහ්ම ලෝකය තුල බුදුසසුන අරක්ෂා කරමින් වැඩසිටිනවා. උන්වහන්සේගේ සහ අප  බුදුරජාණන් වහන්සේගේ යලි හමුවීම ඉදිරියේදී ඔබහට මේ කතා පෙළ තුලින්ම කියවන්නට ලැබේවි.

මහණ වූ දිනයේ සිට පටන්ගන්නා ලද විර්‍ය්‍ය ඇතිව, වතාවත්හි දක්‍ෂව, සීල සමාධි ආදී කිසි තැනක නොපිරිහෙමින් අප මහා බෝසතාණන් වහන්සේ කස්සප බුදුසසුනේ මහණ දම් පුරන්නට වුණා. යම් පමණ බුදුවදන් වීද, නවඟ සසුනක් වීද, ඒ සියල්ල ඉගෙන බුදුසසුන හොබවන්නට වුණා. කාශ්‍යප  බුදුපියාණන් වහන්සේ  අප මහා බෝසතාණන් වහන්සේගේ මනා වත් පිළිවෙත් දැක, ’’මේ ජෝතිපාල තෙම මේ භද්‍රකල්පයෙහි බුදුවන්නේය’’ යි අවසන් විවරණය ලබා දෙනු ලැබුවා. පෙර පරිදිම නැවතත් දෙවියන්ගේ ඔල්වරසන් හඬ අත්පොළසන් හඩ වගේම සාදුකාර හඬත් සක්වලින්  සක්වලට පැතිර ගියා.

කස්සප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

මෙසේ මම නොකටයුතු දේ දුරු කරමින් සසරෙහි හැසිරීමි. සම්බෝධිය පිණිස මා විසින් දුෂ්කර ක්‍රියාද කරණ ලදී.

(කසුප් බුදුරදුන්ගේ) උපන් නුවර ’’බාරාණසී’’ නම් වී. (එහි) ’’කිකී’’ නම් රජකේ වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා කුලය (මහත් නෑ සමූහය) වාසය කළේය.

මහර්ෂීවූ කසුප් බුදුරජුන්ගේ පිය තෙම පසිඳු බඹදත් බමුණු නම් වී. වැදූ මව් ධනවතී නම් බැමිණිය වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දෙදහසක් බුදුවන්ට පෙර ගිහිගෙයි විසීය. ’’හංස’’ ය, ’’යස’’ ය, ’’සිරිනන්‍ද’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. පසිඳු බිරින්ද ’’සුනන්‍දා’’ නම් වූවාය. පුත් තෙම ’’විජිතසේන’’ නම් වී.

පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, පහයෙන් මහබිනික්මන් කළේය. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කළේය.

මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කසුප් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ කසුප් බුදුරජුන්ට ’’තිස්ස’’ ද, ’’භාරද්වාජ’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සබ්බ චිත්ත’’ නම් වී.

’’අනුලා’’ ද, ’’උරුවෙලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’නුගරුක’’ යයි කියනු ලැබේ.

’’සුමඞ්ගල’’ ද, ’’ඝටීකාර’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’විජිතසේනා’’ ද, ’’භද්‍ර’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ බුදුරජතෙම උසින් විසි රියනක් උස්විය. අහසෙහි විදුලියක් මෙන්ද, තරුවලින් පිරුණු සඳ මෙන්ද බැබලී.

මහර්ෂීවූ උන්වහන්සේගේ ආයුෂය අවුරුදු විසි දහසකි. ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතර කළ සේක.

දහම් නමැති විලක් මවා, සිව් පිරිසිදු සිල් නමැති විලවුන්දී, හිරි ඔතප් නමැති පිළි සඟලක් හැඳ, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍ම නැමැති මල් දමක් ගොතා (හෙවත් කොට)

“නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දෙසන ලද (දහම් නමැති) පළඳනාව බලත්වා”යි නිමල් (නොකිලිටු) දහම් නමැති කැඩපතක් මහජනයා වෙත තබා,

පන්සිල්, දසසිල්, සිව් පිරිසිදු සිල් නමැති සැට්ටයක් දී, (සිවු – පස් භෙද ඇති) ධ්‍යානයකද බඳින ලද්දේ, දහම් සම් පොරවා, උතුම් වීර්‍ය්‍ය දළ සතර බැඳුම් සැට්ටය දී,

සිහිය නමැති පලිහයක්ද, විදසුන් නැණ නැමැති හෙල්ලක්ද දී, ලොව්තුරු සීලයට සතුරු කෙලෙස් සියල්ල මඩනා නැණ නැමැති උතුම් කඩුවක්ද දී,

ත්‍රිවිද්‍යා නැමැති පළඳනාවක්ද, සිව් මග පල නමැති මුදුන් මල් කඩක්ද, ෂඩ් අභිඥා නැමැති අලංකාර කරන අබරණද, නව ලොව්තුරු දහම් නැමැති පළඳන මල් දමක්ද දී,

අකුසල් නැමැති අව්ව වැලැක්වීම් කරණ සදහම් නැමැති සේසතක්ද දී, ’’අභයපුර’’ යයි කියන ලද නිවනට පමුණුවන (අරි අටඟි මග නැමැති) මල් අතුළ මගක් ඇතිකොට ඒ (කසුප්) බුදුරදතෙම ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

අපමණ ගුණ ඇති, සතුරන් විසින් නොළංවිය හැකි, ඒ සම්බුදුරදහුද, යහපත්ව දෙසන ලද එව බලව යි කීමට සුදුසු ඒ දහම් රුවනද,

උතුම්වූ සුපිළිපන් ඒ සඟ රුවනද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

ශාස්තෘවූ මහ කසුප් ජිනරාජ තෙම ’’ස්වෙතව්‍ය’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය කාශ්‍යප භාග්‍යවත්හුගේ වංශය නම් (සෑය) යොදුනක් උසට (ගොඩ) නගන ලද්දේය.

අපේ බුදුහාමුදුරුවෝ 104

සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන්. 01

අපේ බුදුරජාණන් වහන්සේට අයත් දුරේ නිධාන කතා පුවතේ සූවිසි නියත විවරණ මා හට හැකි අයුරින් විස්තර කළෙමි. යම් කල්පයක දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුයේද එම කල්පයේම ඊට ප්‍රථම තවත් බුදුවරු තෙනමක් ලොව පහල වුණා. එහෙත් උන්වහන්සේලාගෙන් අප බුදුපියාණන් වහන්සේට විවරණ නොලැබුණි. ඒ නිසාම උන්වහන්සේලා පිලිබඳ විස්තර මෙම ලිපි පෙලට ඇතුළත් නොවුණි. එහෙත් අටුවාවෙහි එම කල්පයේ පහල වූ සියලු බුදුවරයන් වහන්සේලා ගැන විස්තර දක්වා තිබෙනවා. 

තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස, විපස්සි, සිඛි, වෙස්සභු, කකුසඳ, කෝණාගම, කස්සප, යන  ඒ අටවිසි බුදුපියාණන් වහන්සේලා ලොව පහල වුණා. සුර්යයා මෙන් ගණ අඳුර නසා ගිනි කඳක් මෙන් බැබලී සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ලෙස දක්වමින් නිවී ගියා.

අප බුදුපියාණන් වහන්සේ පෙරුම් පුරමින් මෙලෙස සාරාසංඛ  කල්ප ලක්ෂයක් පැමිණුනා. කස්සප බුදුරජාණන් වහන්සේගෙන් පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ හැරෙන්නට වෙනයම් බුදුවරු ලොව පහල වුණේ නැහැ. මෙසේ නියත විවරණ සඳහා දීපංකර පාදමුලේ සිට බුද්ධත්වය සඳහා පැමිණි ගමනට අනෙකුත් බෝධිසත්වයන් වහන්සේලා වගේම අප මහා බෝධිසත්වයන් වහන්සේත් අෂ්ට ධර්මයන්  සම්පුර්ණ කොට තිබිය යුතුයි. එනම්

  1. මිනිසත්බව,
  2. පුරුෂයකු වීම,
  3. රහත්වීමට තරම් පෙර පින් ඇතිබව,
  4. බුදුන්වහන්සේ නමක් හමුවීම,
  5. පැවිද්දකු වීම,
  6. ධ්‍යාන ලබා තිබීම,
  7. ප්‍රාර්ථනාව,
  8. අධික කැමැත්ත

මෙසේ අෂ්ට ධර්ම ආදී සියලු අංග සම්පුර්ණ කොට බුද්ධත්වය සඳහා නියත විවරණ ගත් බෝසත්වරු කල්ප කෝටි සියගණන් දීර්ග මාර්ග චාරිකාවක මෙම සසර තුල සැරිසරණ කාලය තුල මෙවැනි අන් පුද්ගලයන්ට නැති සුවිසේෂ පුණ්‍යමය ආනිසංස වලට හිමිකම් කියන බව අට්ඨ කතාවන්හි සඳහන් වෙනවා.

අවීචි මහා නිරයෙහි නුපදිති,  එසේම සක්වල තුනක් අතරෙහි ඇති  ලෝකාන්තර නිරයෙහිද, සාපිපාසා දෙකින් පීඩිත වූ නිජ්ජාම තණ්හා නම් ප්‍රේත යෝනියේද, කාලකඤ්ජන නම් අසුර යෝනියෙහිද නුපදෙති. තිරිසන් දුගතියෙහි ඉපදුනද වටුවකුට වඩා කුඩා සතෙකු ව නොයිපදෙති. ඒ බෝසත්වරු මිනිසත් භවයෙහි උපදිනා විට උපතින් අන්ධයෝ නොවෙති, එමෙන්ම බිහිරිව හෝ ගොළුව නොයිපදෙති. එමෙන්ම ස්ත්‍රී භාවයට නොයෙති, පුමඉතිරි දෙලකුණු ඇති  උභතො බ්‍යඤ්ජනව ද නපුංසකව ද එම වර්ගවලට ඇතුළත්ව ද නොවෙති. සම්බෝධියට නියත වූ බෝසත්වරු ආනන්තරිය පාප කර්මයෙන් මිදුනාහු වෙති. කර්මවාදී, ක්‍රියාවාදී, සමිදුටු දැකුම් ඇති බෝසත්වරු මිසදුටුවෝ නොවත්. සුගති ලොව උපන්නද අසඤ්ඤ නම්  බඹලොව වල  නොයිපදෙති. සුද්ධාවාසි බඹලොව වල ඉපදීමට හේතු නොමැත්තේ අනාගාමී නොවන බැවිනි. ඥානයට නැඹුරු වූ කුදුමහත් භාවයන්හි නො ඇළුණු බෝසත්වරු පෙරුම් පුරමින් ලෝකෝත්තර චරියාවේම මෙලෙස හැසිරෙනු ලබයි.   

අපේ බුදුහාමුදුරුවෝ 105

සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන්. 02

මිට පෙර අපේ බුදුහාමුදුරුවෝ 15 වෙනි ලිපියෙහි පාරමිතා සම්බන්ධව විස්තර සහිතව පල කළා. එය කියවූ නැති කෙනෙකු ඇත්නම් කරුණාකර කියවන්න. සාමාන්‍යයෙන් පාරමිතාව එකක් වුවත් පාරමිතාව ය, උප පාරමිතාව ය, පරමාර්ථ පාරමිතාව ය, යනුවෙන් කොටස් තුනකට බෙදා වෙනකොට දක්වන්නේ  ඒ ත්‍රිවිධ බෝධීන්හට අනුග්‍රහ දක්වන ආකාරය මතයි.  මෙහිදී සම්මා සම්බුදුවරයකු වූ අපේ බුදුහාමුදුරුවෝ ඒ තිස්ආකාර පාරමී සම්පුර්ණ කළා වූ ආත්මභාව දස දහස් ගණනක් අතරෙන් කිහිපයක් ගැන සඳහන් වෙනවා.   

දස පාරමී

  1. දාන පාරමිතාව
  2. ශීල පාරමිතාව
  3. නෙක්ඛම්ම පාරමිතාව
  4. පඤ්ඤා පාරමිතාව
  5. විරිය පාරමිතාව
  6. ඛන්ති පාරමිතාව
  7. සච්ච පාරමිතාව
  8. අධිෂ්ඨාන පාරමිතාව
  9. මෙත්තා පාරමිතාව
  10. උපේක්ඛා පාරමිතාව

දැන් ඉහතින් දැක්වූ තුන් ආකාර වූ දස පාරමිතා සම්මා සම්බුදු බුදුවරයෙකු විසින් පාරමී, උප පාරමී, පරමාර්ථ පාරමී  යනුවෙන් තුන් ආකාරයකට වැඩිය යුතුය. එවිට එය පහත දැක්වෙන පරිදී තිස්ආකාර වේ.

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන  පරමත්ථ පරමී

4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී

7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී

10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි

13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී

16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී

19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී

22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී

25.මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී

28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

බෝසත් පාරමිතා පුර්ණය සහ දස පාරමී, දස  උප පාරමි, දස පරමාර්ථ පාරමි සම්පුර්ණ කිරීම

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන  පරමත්ථ පරමී

අප බෝසතාණෝ මිට ඉහත ලිපියේ ආනිශංස ලබමින් ම සසර සැරිසරන්නට වුණා.   එසේම අකිත්හි බ්‍රහ්මන කල ,ධනංජය රජ කල,මහා සුදස්සන කල, මහා ගොවින්ද කල,නිමි මහා රජ කල, චන්ද කුමාර කල,වියස්හ සිටුකල,සිවි රජ කල, වෙස්සන්තර කල,ආදී දාන පාරමිතාව පිරූ අත්බැව් ප්‍රමාණයක් නැත. බෝසතාණන් පණ්ඩිත  ජාතකයෙහි සස හෙවත් හා යෝනියෙහි ඉපිද දාන පාරම්ය පිරූ අයුරු,

“ආහාර සොයා තමා වෙත බමුණු වෙසින් පැමිණි සක් දෙවිදුට සිය සිරුර පිරිනැමීය. දානයෙන් මා හා සමාන කෙනෙකු නැත.මේ මාගේ දාන පාරමිතාවයි.”

සිය ජිවිතය පරිත්‍යාග කැරෙන බෝසතුන්ගේ මේ දාන පාරමිතාව දාන පරමත්ථ පාරමිතා නම් විය.

4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී

එසේම සීලව නා රජ කල, චම්පෙයිය නා රජ කල, භුරිදත්ත නා රජ කල, ඡද්දන්ත නා රජ කල,ජයද්දිස රජ කල, අලීනසත්තු කුමාර කල ආදී ශීල පාරමිතාව පිරූ අයුරු,

“හුල්වලින් සිරුර විදින කල්හි ද අඩයටිවලින් කොටන කල්හි ද වැදී පුත්‍රයන් කෙරෙහි මම නො කිපෙමි. මේ මාගේ ශීල පාරමිතාවයි.”

මෙසේ ජීවිතය පරිත්‍යාග කිරීම ශිල පරමත්ථ පාරමිතා නම් විය.

7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී

එසේම සෝමනස්ස කුමාර කල, හත්තිපාල කුමර කල,අයෝඝර පණ්ඩිත කල මහා රාජ්‍යන් අත්හැර නෙක්ඛම්ම පාරමිතාව පිරූ අත්බැව් ගණන් නැත. විශේෂයෙන් චුලසෝතම ජාතකයෙහි නෙක්ඛම්ම පරමත්ථ පාරමී පිරූ අයුරු,

“අතට පත් මහා රාජ්‍යන් මම කෙළ පිඩක් මෙන් ඉවත දැමීමි.එසේ ඉවත දමන මට ඒ පිළිබද ඇලීමක් ඇති නො විය.මේ මගේ නෙක්ඛම්ම පාරමිතාවයි.”

ඇලීමක් නැති බැවින් රාජ්‍යන් අත්හැර නික්මෙන බෝසතුන්ගේ නෙක්ඛම්ම පරමත්ථ පාරමිතා නම් විය.

10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි

එසේම විධුර පණ්ඩිත කල, මහා ගෝවින්ද පණ්ඩිත කල,කුද්දාල පණ්ඩිත කල,අරක පණ්ඩිත කල,බෝධි පරිබ්බාජක කල,මහෝෂධ පණ්ඩිත කල,ආදී  පිරූ ආත්ම භව ප්‍රමාණ නැත.විශේෂයෙන් සත්තුභස්ත ජාතකයෙහි පඤ්ඤා පාරමිතාව පිරූ අයුරු,

“මම මගේ නුවණින් විමසා දුකට පත් බමුණා එම දුකින් මිදවිමි. නුවණින් මා හා සමාන කෙනෙකු නැත. මේ මාගේ පඤ්ඤා පාරමිතාවයි.

පසුම්බිය ඇතුලත සිටි නාගයා ගෙන හැර දැක්වූ පාරමිතාව,  පඤ්ඤා පරමත්ථ පාරමිතාව නම් විය.

13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී

එසේම විරිය පාරමිතා ආදී අනෙක් පාරමිතාවන් පිරූ ආත්ම භාව ප්‍රමාණ කල නොහැක.විශේෂයෙන් මහා ජනක ජාතකයෙහි වීර්ය පරමත්ථ පාරමිතාව පිරූ අයුරු, 

“පරතෙර නො පෙනෙන මහ මුහුද මැද මා සමග සිටි සියලු මිනිසුන් මළහ.පරතෙරට යා නො හැකි යැයි දෙගිඩියාවක් මා සිත නොවීය. මේ මාගේ වීර්ය පාරමිතාවයි.

මෙසේ මහා මුහුද තරණය කිරීමේ වීර්ය පාරමිතාව,වීර්ය පරමත්ථ පාරමිතාවයි.

16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී

ඛන්තිවාද ජාතකයෙහි,

“කසී රජ මා සිත් නැති මළ සිරුරක් මෙන් තියුණු මුවහත් පොරවෙන් කොටන කල්හි ඔහු කෙරෙහි නො කිපියෙමි.මේ මාගේ ඛන්ති පාරමිතාවයි.”

මෙසේ අචේතනයෙකු මෙන් මහා දුකක් විදි බෝසතුන්ගේ පාරමිතාව,ඛන්ති පරමත්ථ පාරමිතාවයි.

19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී

මහ සුතසෝම ජාතකයෙහි,

“මාගේ ජීවිතය පරිත්‍යාග කොට සත්‍ය වචනය ආරක්ෂා කරමින් එකසිය එකක් රජුන් මරණයෙන් මුදාලීය. මේ මාගේ පරමත්ථ සත්‍ය පාරමිතාවයි.

මෙසේ ජීවිතය අත්හැර සත්‍ය වචනය ආරක්ෂා කිරීම සච්ච පරමත්ථ පාරමිතා විය.

22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී

මුගපක්ඛ ජාතකයෙහි,

“මව්පියෝ මට අප්‍රිය වුවෝ නොවෙති. මහා සම්පත් ද මට අප්‍රිය නොවේ. බුද්ධත්වය මට ප්‍රියයි.එම නිසා දැඩි අධිෂ්ථාන කර ගනිමි.”

මෙසේ ජිවිතයද අත්හැර බලවත් අධිෂ්ඨානයෙන් ව්‍රත ශිල ආරක්ෂා කිරීම අධිෂ්ඨාන පරමත්ථ පාරමී නම් විය.

25.මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී

එකරාජ ජාතකයෙහි,

” මා දැක කිසිවෙක් බය නො වන්නෝය. මම ද කිසිවකු දැක බය නො වෙමි.මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි මහා වනයෙහි සතුටින් වෙසෙමි.”

මෙසේ ජීවිතය ද නො බලා මෛත්‍රී වඩන බෝසතුන්ගේ පාරමිතාව මෙත්තා පරමත්ථ පාරමී නම් විය.

28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

ලෝමහංස ජාතකයෙහි,

“මම මිණි ඇට පොදියක් හිස කොට්ටය කොට තබාගෙන සොහොනෙහි සැතපෙමි.ගොපළු දරුවෝ අවුත් විවිධ කෙළ ගැසීම්,උසුළු විසුළු ආදී විරූප දර්ශන කරත්,”

මෙසේ ගම දරුවෝ සමහරු කෙළ ගැසීම් ආදිය කරත්දීත් සමහරු සුවද මල් ආදියෙන් උපහාර කරත්දීත් ඔවුන් කෙරෙහි මැදහත් බව නො ඉක්මවීම, බෝසතුන්ගේ උපේක්ෂා පරමත්ථ පාරමිතාව විය.

මේ දැක්වුයේ සංක්ෂේපයෙනි. මෙහි විස්තර චරියා පිටකයෙන් ගත යුතුයි.මෙසේ පෙරුම් පුරා වෙස්සන්තර භවයෙහි සිටි බෝසතාණෝ , සිත් පිත් නැති, සැප දුක් දැනීම් නැති, මහපොළොව පවා මාගේ දාන පාරමිතා බලයෙන් සත් වරක් කම්පා විය.”මෙසේ පොළොව කම්පා කරන මහා පින් කොට බෝසතාණෝ ආයූ කෙළෙවර වෙසතුරු අත් බැවින් චුතව තුසිත පුරයෙහි උපන්හ. මතෙක් දීපංකර පාද මුලයෙහි සිට තුසිත පුර ඉපදීම දක්වා පවතී කථා පුවත් දූරේ නිදාන නැමැයි දත යුතුයි.

අපේ බුදුහාමුදුරුවෝ 106

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  01

මිට පෙර ලිපියේ පාරමිතා පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ ඒ ඒ පාරමිතා පුරණය කල ජාතක කතා පිළිබඳව කෙටි විස්තරයක් කළා. දැන් මේ ලියන්න යන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ බුදුවීමට ප්‍රථම මෙළොව ගත කල අවසන් ආත්මභාවයත් එහිදී මහ පොළව සත්වරක් කම්පා කරමින් සිදුකල මහා දාන පාරමිතා පිළිබඳව සෑම නෙතකටම කඳුලක් එක් කරන වෙස්සන්තර කතා පුවතයි.

වර්තමාන කතාව

“ථුසතිවර වණණාහෙ” යන මේ ගාථා කොටසින් ඇරබෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ කපිලවත්ථුපුරය ආශ්‍රයකොට නිග්‍රෝධාරාමයේ වැඩවසද්දී දේශනා කරනු ලැබුවා.

යම්කලෙක ශාස්තෘෘන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් රජගහනුවරට ගොස් එහි ශිතකාලය ගත කොට මාර්ගදේශක වූ කාලුදායී තෙරුන් සමග  විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරා කපිලවස්තු පුරයට වැඩම කළා. ඒ කාලයේ  ශාක්‍ය රජවරු අපගේ ඤාති ශ්‍රේෂ්ඨයාව දකිමුයි රැස්වී භාග්‍යවතුන් වහන්සේට වැඩසිටීමට යෝග්‍ය තැනක් සොයන්නාහු නිග්‍රෝධ ශාක්‍යාගේ ආරාමය සුන්දරයි සළකා එහි සියළු සංස්කරන වැඩ යොදා සුවද මල් ආදිය ගත අත් ඇතිව පෙරගමන් කරන්නට වුනා.  හැබැයි වැඩිමල් ශාක්‍ය වංශිකයෝ ඉදිරියෙන් ගියේ නැහැ.  සියළු අලංකාරයන්ගෙන් සැරසුණු ලාබාල නගර දරුවන් ද දැරියන්ද පළමුකොට යවනු ලැබුවා. ඒ පසු පස තරුණ රාජකුමරයන්ද, කුමාරිකාවන්ද ඔවුන්ට පසුව තමන්ද  ගදමල් සුවදසුණු ආදියෙන් ශාස්තෘෘන් වහන්සේට පුජා පවත්වමින්  භාග්‍යවතුන් වහන්සේව වැඩමවාගෙන නිග්‍රෝධාරාමයට ගියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතන් පිරිවරාගෙන පනවන ලද උතුම් ආසනයෙහි වැඩ සිටියා.

ශුද්ධෝදන රජු ඇතුළු ශාක්‍යයන් බුදුහාමුදුරුවන්ට නොවැඳ මාන්නයෙන් පසුපසට වී සිටීම.

මානයෙන් පෙළුණු ශාක්‍යයෝ,  සිද්ධාර්ථ කුමාරයන් අපට වඩා බාලය,අපගේ බෑනාය, පුතාය, මුණුබුරාය ආදී ලෙස සිතා, තරුණ රාජකුමාරවරුන්ට මෙසේ කීවාය.

” නුබලා වදීව්. අපි පසුපසින් සිටින්නෙමු.”

ශාක්‍යයන්ගේ මානය බිඳීම සහ යමක ප්‍රාතිහාර්ය පෑම.

මෙසේ වයෝ වුර්ධ ශාක්‍යයෝ නොවැද මෙසේ හුන්කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැනගෙන ” නෑයෝ මට නොවදිත්.දැන් වන්දවන්නේමි” යි  අභිඥාපාදක ධ්‍යානයකට සමවැදී ඉන් නැගිට අහසට නැගී තේජෝ සමාපත්තියටත් ආපෝ සමාපත්තියටත් වේගයෙන් සම වදිමින් ඔවුන්ගේ හිසට පාදුවිලි ඉසින්නාක් මෙන් ගණ්ඩබ්බ වෘක්ෂමුලයේ පැවැත්වූ යමක ප්‍රාතිහාර්යට සමාන ප්‍රාතිහාර්ය පාන්නට වුණා.  රජු ඒ ආශ්චර්ය දැක මෙසේ කීවා.

“ස්වාමීනි, ඔබවහන්සේ උපන් දිනයේ කාලදේවල තාපසයාට වැන්දවීම පිණිස යොමුකළ ඔබගේ පා පෙරළී ගොස් බ්‍රාහ්මණයාගේ හිසෙහි පිහිටි සැටි බලා මම ඔබවහන්සේට වැන්දෙමි.මේ මාගේ පළමු වැදීමයි. වප්මගුල් දිනයේ දඹරැක්මුල ශ්‍රී යහනාවේ සිටියා වූ ඔබවන්සේ දඹ සෙවනෙහි නොසිටි බව දැකීමෙන් ද ඔබවහන්සේගේ පා වැඳිමි. මේ මාගේ දෙවැනි වැදීමයි. දැන් මේ නුදුටුවිරු ප්‍රාතිහාර්ය දැක ද ඔබවන්සේගේ පා වදිමි. මේ මාගේ තුන්වන වැදීමයි.” 

රජු වැන්ද කල්හි නොවැද සිටිය හැකි එක් ශාක්‍යයෙක්වත් හිටියේ නැහැ.  සියල්ලෝම වැන්දා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑදෑයන් ලවා වන්දවා අහසින් බැස පැනවූ ආසනයෙහි වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල්හි නෑයෝ එක්රැස් වුණා. සියළුදෙනාම එක්සිත් ඇත්තෝ වුණා.

ආශ්චර්ය අද්භූත පොකුරු වැසි වැස්සවීම.

ඉන් අනතුරුව අප මහා බුදුපියාණන් වහන්සේ තව දුරටත් ඔවුන්ගේ මානය සිඳලීම සඳහා මහා පොකුරු වැස්සක් වස්සවන්න අධිෂ්ඨාන කළා. එවිටම මහා මේඝයක් නැගී පොකුරු වැස්සක් වසින්නට පටන් ගත්තා.  තඹවන් ජලය පහතට නද දෙමින් ගාලා බසින්නට වුනා.  ඒ පොකුරු වැස්සේ අනික් වැස්සට වඩා විශේෂයක් තියෙනවා. යමෙක් තෙමෙනු කැමැත්තෙ ද, ඔවුන් තෙමෙනවා. යමෙක් නොතෙමෙනු කැමතිනම් ඔවුන්ගේ ශරීරයේ ජලබිදුවක්වත් දැවටෙන්නේ නැහැ. මේ මහා පොකුරු වැස්ස දැක සියල්ලෝම ආශ්චර්ය අද්භූත සිත් ඇත්තන් වුණා. “අහෝ පුදුමය. බුදුවරුන්ගේ ආනුභාවයෙන්”  නෑ සමාගමයෙහි මෙබදු පොකුරු වැස්සක් වැස්සේ ද යන  කථාවක් පැතිර ගියා. එය අසා ශාස්තෘෘන් වහන්සේ  “මහණෙනි, දැන් පමණක් නොවෙයි, පෙරද මාගේ ඤාති සමාගමයේදී මහා මේඝයක් ඇතිවී පොකුරු වැස්සක් වස්සේයයි වදාරා ඔවුන් විසින් ආයාචනා කරන ලද්දේ වෙස්සන්තර අතීත කථාව මෙලෙස ගෙනහැර දක්වන්නට වුනා.

අපේ බුදුහාමුදුරුවෝ 107

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  02
වෙස්සන්තර රජුගේ මව සහ මහා මායා දේවිය

මෙයින් අනු එක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූණා. උන්වහන්සේ  පිළිබඳව මිට ඉහත අප විසින් දීර්ග විස්තරයක් කළා.   උන්වහන්සේ බන්ධුමති නුවර ඇසුරු කොට ක්‍ෂේම වූ මිගදායෙහි වැඩ වසන කාලයේ බන්ධුමතී නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාට කිසියම් රජකු විසින් ඉතා වටිනා සදුන් අරටුවකුත් ලක්ෂයක් වටිනා රන්මාලයකුත් තුටු පඬුරු වශයෙන් එවනු ලැබුවා. රජතුමා ඒ රන්මාලය තම බාල දියණියටත් සඳුන් අරටුව තමාගේ දෙටු දියණියටත් තෑගි වශයෙන් දුන්නා. ඒ දියණියන් දෙදෙනාම මහත් වූ සිල්වත් ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් වූ භක්තියකින් දැහැමි සිල්වත් ජිවිතයක් ගත කල දානාදියට ඉමහත් කැමැත්තක් ඇති කුමරියන් දෙදෙනෙක්.  ඔවුන් දෙදෙනාම එකවර තීරණය කලේ මේ වටිනා ත්‍යාගයන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට නොගෙන එකල ලොව පහල වී සිටි විපස්සි බුදුහාමුදුරුවන්ට පුජා කිරීමටයි. දැන් අප අතරෙත් එහෙම අය ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්නටත් බැරි නැහැ. බලන්න මේ ප්‍රාර්ථනා වල බලවත්කම. වැඩිමහල් කුමරිය ඒ ඉතා වටිනා සඳුන් අරටුව සියුම් ලෙස සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි” ප්‍රාර්ථනා කලා. බාල නැගෙණිය ඒ රන් මාලය උණුකරවා රන්නුලකින් තැනු පපුවැස්මක් තනා තථාගතයන් වහන්සේගේ රන්වන් සිරුර මත පුදා  (පැතිකඩ) ස්වාමිනි යම් දිනක රහත්බවට පත්වනතෙක්ම මෙම පලදනාව මගේ ශරීරයෙන් ඉවත් නොවේවා යනුවෙන් ප්‍රාර්ථනා  කළා. ශාස්තෘන් වහන්සේ ඔවුන් දෙදෙනාටම අනුමෙවෙනි බණ දේශනා කලා. ඒ දෙදෙනාම දිවි ඇති තෙක් සිට දෙව්ලොව උපන්නා.

ඔවුන් අතරින් බාල දියණිය ඒ කිවේ රනින් කල පැතිකඩ පුජා කල දියණිය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී රජුගේ දියණිය වී උපන්නා. සිතුවමකින් කලාක් මෙන් උරස්මාලයකින් සැරසීගත් පපුපෙදෙසෙකින් යුක්තවූ බැවින් උරච්චදා නම් වූ කුමාරිකාව වී සොලොස්වියේදී ශාස්තෘන් වහන්සේ භුක්තානුමෝදනා ධර්මදේශනයක් අසා සෝවාන් පලයෙහි පිහිටා පසුකාලෙක භුක්තානුමෝදනාව අසද්දීම පියා සෝවාන්ඵලයට පත් දවසේම රහත්බවට පත්ව පැවිදිවී පිරිනිවන්පෑවා. බාල සොහොයුරියගේ සසර ගමන එලෙස එතැනින් අවසන් වුණා.

මම මීට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශාසනයක පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ,  වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ සෙනෙවිවරු බිසෝවරු. ඉහතින් කී අයුරින් කිකී රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවයින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් සත්දෙනෙක් ලැබුණා.

  1. සමණී 2. සමණගුත්තා  3. භික්ඛුණී  4. භක්ඛදායිකා  5. ධම්මා  6.සුධම්මා 7. සංඝදාසි යන සත්දෙනායි.

ඔවුන් අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පිළිවෙලින්

  1. ඛේමා 2. උප්පලවණ්ණා 3. පටාචාරා 4. ගෝතමී 5. ධම්මදින්නා 6.මහාමායා 7. විශාඛා යනුවෙනුයි.

ඔවුන් අතරින් සුධර්මා දියණිය තමයි විපස්සි බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු  පුජා කොට බුදුකෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කළේ. ඇය මේ අත්මභාවයේ කිකී රජතුමාට දාව සුධර්මා රජ කුමරිය ලෙස ඉපිදී තව තවත් පිංකම් කොට සඳුන්සුනු පුජාවේ පුණ්‍යාණුබල මහිමයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසුකලෙක ශක්‍රදෙවිදුන්ගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍යමහිමයෙන්   අප මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන “ඵුසති”  දේවියද,  අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහමාය දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. දැන් මෙතැන සිට දිගහැරෙන්නේ ඒ සුධර්මා දේවිය ඵුසති දේවිය වශයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ අගමෙහෙසිය වී ආයුෂ ඇතිතාක් කල් දෙවු සැපවිඳ  දෙව්ලොවින් චුතවී වෙස්සන්තර රජුගේ මෑණියන් දක්වා පැමිණි මනහර කතා පුවතයි.

අපේ බුදුහාමුදුරුවෝ 108

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  03

සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෘන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි”ප්‍රාර්ථනා කල කුමරිය ගැන මිට ඉහත ලිපියේ කිවා.   ඒ සදුන් කුඩු පුජාවේ විපාක වශයෙන් රන් හදුන් ඉසින ලද්දක් වැනි ශරීර ඇතිව දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරන්නී තව්තිසා භවනයෙහි සක්දෙව් රජුගේ අගමෙහෙසිය වී ඉපදී බොහෝ කල් එහි දිව්‍යමය සම්පත් වින්දා. ඒත් දිව්‍ය තලයේත් පැවැත්ම සදාකාලික නැහැ. පින් ක්ෂය වුනහම එයිනුත්  නික්මෙන්නට ඕනේ.  ඒ ධර්මතාවයට අනුවම ඇයගේත්  ආයු කෙළවරවීමේ  පෙරනිමිති පහළ වුණා.  එය දුටු සක් දෙව් රජ ඇයව මහත් හරසරින් නන්දන උයන වෙත කැඳවාගෙන පැමිණියා. එහි විශේෂ අලංකෘත සයනක් මත ඇයව සැතපු සක්දෙවිදුන් ඇය අසලින් ඉඳගත්තා. එලෙස එය අසලින් හිද  ඇයට අනුකමපා පිණිස මෙලෙස කිවා.

“සොඳුරිය ඵුසතිය, ඔබහට දැන් සදෙවූ ලොවෙන් නික්මීමට කාලය පැමිණ ඇත. මම නුබට වර දහයක් දෙමි.  ඒවා ගන්න ”  මහ පොළව මත යමක් ඔබ සිතට ප්‍රිය වේද එය ගන්න. .

ඒවිට ඒ දෙවුලියට එතුමියගේ ආයුෂය ක්ෂය වී ඇති බව එක්වරම වැටහුනේ නැහැ. එය සක්දෙවිදුගේ ඒ වදනෙන් කම්පනයටත් ශෝකයටත් පත්වුණා. ඇය මෙලෙස බැගෑපත් වන්නට වුණා.

“සක්දෙව් රජුනි, ඔබට නමස්කාර වේවා! කිම මා කුමන වරදක් කර  ඇත්තේද? කුමන කරුණකින් මම නුබ වහන්සේට අප්‍රිය වෙම්ද?  මනරම්ව වැඩුණු ගසක් බිම හෙලන්නාක් වූ මාරුතයක් මෙන් කුමක් හෙයින් සිත්කලු වූ තැනින් මා පහ කරන්නේද?

මොහොතෙන් මොහොත ඇයගේ චුතවිමේ කාලය ලගා වෙමින් තිබුණා. එය ශක්‍ර දිව්‍ය රාජයාහටවත් වෙනස් කරන්න නොහැකි වුණා. ඇයට ද තමා ගත යුතු අවසන් කැමැත්ත නොහොත් වරය ගැන අවධානයක් තිබුණේ නැහැ. ඒ නිසාම සක්දෙවිඳු මහත් කරුණාවෙන් නැවත නැවතත් ඇයට මතක් කරන්නට් වුණා.

“ඔබ විසින් වරදක් නොකරන ලද්දේමය.  ඔබ  මට අප්‍රිය ද නොවෙයි.  එහෙත් ඔබගේ ආයුෂ කෙලවර වී ඇත. ඒ නිසා මෙම වර දහය ගන්න. “

එවිට මෙහෙසිය තමාගේ ආයු කෙලවර වී ඇති බව දැන සක්දෙව් රජ විසින් වර ලබාගනු  සදහා කරන ලද අවකාශ ඇතිව  සියලු දඹදිව්තලය දෙස උපතක් සඳහා බලන්නට වුණා. එවිට තමාට සුදුසු සිවිරජුගේ නිවෙස්න දැක මෙලෙස වර දහයක් සක්දෙවිදුගෙන් ඉල්ලා සිටියා.

වෙස්සන්තර රජුගේ මව සක්දෙවිදුගෙන් ලැබූ වර දහය !

  1. සිවිරජුගේ භවනෙහි අගමෙහෙසිය වේවා,
  2. නිල්වන් ඇස් ඇති වේවා,
  3. නිල්වන් බැම ඇති වේවා,
  4. එහිදී ඵුසති යන නමින් යුක්ත වේවා,
  5. කැමති සම්පත් දන්දෙන, කැමති දේ ඉල්ලන්නට සුදුසු, කිර්ති ඇති, පිරිවර ඇති, ගුණ විශේෂයන් යුත් යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා
  6. ගැබ් දරණ මගේ කුස උස් නොවේවා. සමසේ ලියවුණු දුනු මිටක් සෙයින් උස් නොවූ මැද පෙදෙස වේවා,
  7. සක්දෙවූ රජුනි, මගේ පියවුරු පහතට කඩා නොවැටේවා,
  8. කිසිකළෙක සුදුකෙස් ඇති නොවේවා,
  9. සියුම් සමක් ඇති වේවා,,
  10. වදයට පැමිණි ජනයන් එයින් මුදවන්නට හැකි වේවා ,යන මේ වර දහය ලබා ගනු ලැබුවා.

මෙසේ ඈ වරයන් ගෙන දෙවුලොවින්  චුතව මදුරජුගේ අගමෙහෙසිය කුස උපන්නා.  ඇය උපදින විට සදුන්සුනු  තවරන ලද්දක් බදු සුන්දර වතක්  ඇතිව සිටි හෙයින් ඇයට නම් තබන දිනයෙහි “ඵුසති” යයි නම් කරනු ලැබුවා.  ඈ මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි කළ උතුම් රූප ඇත්තියක් වුණා. ඉන්පසු  ඇය ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුගේ පුතා වූ සංජය කුමාරයා සදහා කැදවා සේසත් නන්වා ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අග මෙහෙසිය තනතුරෙහි තැබුවා.  ඒ වගේම ඕතොමෝ සංජය රජුට ප්‍රිය මනාප ස්ත්‍රියද වුණා. මේ වෙන කවුරුත් නෙවෙයි. අප මහා බෝසතාණන් වහන්සේගේ  මෑණියන් වහන්සේ වූ මහාමායා දේවියගේ එක් ආත්මභාවයක්.

අපේ බුදුහාමුදුරුවෝ 109

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  04

වෙස්සන්තර කුමරුගේ මවට ඇති වූ අපූරු දොළදුක.

වෙස්සන්තර කුමරුගේ මවගේ (ඵුසති කුමරිය) විවාහය.

ඵුසති රාජ කන්‍යාව මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි චු කළ උතුම් රූප ඇත්තියක් වුනා. ඒ කාලයේම  ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුට පින්වත් පුතෙකු ලැබුනා. ඔහු සංජය නම් වුනා. සංජය කුමාරයා හට නිසි වයස පැමිණි කල විවාහය සඳහා පින්වත් කුල කුමරියක් දෙමාපියන් විසින් සොයනු ලැබුවා. ඒ කාලේ තමයි අතිශය රූමත් ඵුසති දේවිය ගැන දැනගන්න ලැබුනේ. රජවරුන් අතර පණිවුඩ හුවමාරුවෙන් පසුව මහත් වූ හරසරින් ඵුසති කුමරිය කැදවා සේසත් නන්වා මහත් අලංකාර වූ පෙරහැරකින් රජමාළිගය වෙත රැගෙන විත් ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට සංජය කුමරුගේ අග මෙහෙසිය තනතුරෙහි තැබුවා. ඕතොමෝ සංජය රජුට ප්‍රිය මනාපම ස්ත්‍රියද  වුණා.

වෙස්සන්තර කුමරුට මනුලොව ඉපදීම සඳහා දේවාරාධනය.

ඒ මොහොත වන විට සක්දෙව්රජ  ඵුසතිදේවිය ගැන  විමසිලිමත්ව සිටියා.  එවිට ඔහුට පෙනුණා ඔහු විසින් ලබාදුන් වර දහය අතුරෙන්  මේ වනවිටත් වර නවයක් සමෘද්ධ වී ඇති බව. “පුතුවරය සමෘද්ධ නොවීය. එයද සමෘද්ධ කරවන්නෙමි යි” සිතූ සක්දෙවිදුන් ඒ වන විටත්  තව්තිසා දෙව්ලොව ක්‍ෂය වූ ආයුෂ ඇති බෝධිසත්ත්වයන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයට ගොස්,  “නිදුකාණෙනි, නුබ වහන්සේ  මිනිස්ලොවෙහි  සංජය රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිද ගැනීමට වටියි” යැයි කියමින් ආරාධනය කොට සිටියා. උන්වහන්සේත් එය සතුටින් පිළිගත්තා. ඒ තනිවම  නොවෙයි. නිරන්තරයෙන්ම උන්වහන්සේගේ පසුපසින් පැමිණි සැටදහසක් වූ  (බුද්ධ) පිරිවරද සමග. දෙව්ලොවින් චුත වන්නාවූ අනිකුත් හැටදහසක් දිව්‍ය පුත්‍රයන්ගෙන්ද ප්‍රතිඥා ගෙන ශක්‍ර රාජයා ශක්‍ර භවනයටම ගියා. බෝධිසත්ත්වයන් වහන්සේ ද එතනින් චුතව පිරිවර සමගින්ම මෙළොව උපන්නා.

ඵුසති දේවියගේ සුවිසේසි දොළදුක.

බෝසතාණන් වහන්සේ රජ මැදුරේත් සෙසු දිව්‍ය පුත්‍රයෝ හැට දහසක් අමාත්‍යවරුන්ගේ නිවෙස් වලත් උපන්නා. බෝධිසත්ත්වයන් කුස පිළිසිද ගත් විට  ඵුසති දේවියට අන් ස්ත්‍රියකට පහල නොවෙන සුවිසේසි දොළදුකක් පහල වුණා. ඒ ප්‍රධාන  නගර දොරටු හතරෙහි ද නගරය මැද ද රජවාසල දොරටුවෙහි ද වෙන් වෙන් වශයෙන් දාන ශාලා හයක් කරවා දිනපතා හය ලක්ෂයක් වියදම් කොට දන් දීමටයි. රජතුමා එතුමියගේ දොළ දුක අසා නිමිති දන්නාවූ බ්‍රාහ්මණයන් කැදවා මේ ගැන විමසා සිටියා. ඔවුන් “මහරජ දේවියගේ කුසෙහි දානයෙහි ඇලුම් ඇති උදාර සත්ත්වයෙක් පිලිසිදගත්තේය ඔහු දානයෙන් තෘප්තියට නොපැමිණෙන්නේයැයි” යැයි පවසනු ලැබුවා. එය  අසා මහත් වූ සතුටට පත් වූ පින්වත් රජතුමා අග මෙහෙසිය කී පරිදිම තම රාජධානියේ ස්ථාන සයක දාන පොළවල් පිහිටවනු ලැබුවා.

ශ්‍රමණ බ්‍රාහ්මණයන්, මහල්ලන් රෝගීන්, දුගී මගී යාචකයින් මෙම රාජකීය දානය අනුභව කොට අතිශයින් සතුටු වුණා වගේම ඔවුන්ව සතුටු කරවනු ලැබුවා. බෝධිසත්ත්වයන් වහන්සේ පිළිසිදගත් දින පටන්ම රජුගේ ආදායම මෙතෙකැයි ප්‍රමාණ කල නොහැකි වුණා. උන්වහන්සේගේ පුණ්‍යානුභාවය නිසාම කොතරම් දනට පිනට දුන්නත් රාජකීය වත්කම්වල අඩුවක් සිඳීමක් වුණේම නැහැ. එතුමන්ගේ පුණ්‍යානුභාවයෙන් සියලු දඹදිව රජවරු නිරන්තරයෙන්ම තුටු පඩුරු එවන්නට වුණා. බෝසතුන් වහන්සේගේ තේජසින්  රජබිසව දාන වස්තු පරිත්‍යගයේහි ඇලුණු ස්ත්‍රියක් වුණා. ධනය නැති අයට ද ලෙඩුන්ටද,  වයස් ගත වුවන්ටද, යාචකයන්ටද, මගී ජනයාටද, කිසිවක් නොපතන මහණ බමුණන්ටද, ධනයෙන් පිරිහුණු මිනිසුන්ටද, දිනපතා දන් දුන්නා. මෙය ලියනවිට මටත් එලෙසම දන් දෙන්නට ඇත්නම් යන මගේ සිතේ නිරන්තරයෙන්ම ඇති ආශාව නැවතත් ලියලන්නට පටන් ගත්තා. ඔබටත් එසේම විය යුතුයි. 

වෙස්සන්තර කුමරුගේ උපත සහ නම් තැබීම.

දේවිය මහත් ආරක්ෂාවෙන් යුක්තව ගැබ දරන්නී දසමසක් පිරුණු කල්හි නගරය දකිනු කැමති වී රජුට ඒ බව දන්වා සිටියා. රජතුමා නගරය  දෙවු පුරයක් මෙන් අලංකාර කරවුවා. හරියට අර ගුත්තිල කාව්‍යයේ වර්ණනා කරන නගරය වගේම වෙන්න ඇති. ඇයව ඉතාමත් අලංකාර වූ රථයක නංවා වීථි සංචාරය කරවුවා. ඇය එම නගරයේ ප්‍රධාන වෙළඳ වීදිය සංචාරය කරන අතර තුරදී ඇගේ  කර්මජ වාතය කම්පා වුණා. ඇමතියෝ රජුට ඒ බව දන්වා සිටියා. රජතුමා වෙළදුන්ගේ විදියෙහිම ඇයට සුතිකාගාරයක් කරවා එයට මහත් වූ ආරක්ෂාවක්ද පිහිටෙවුවා. ඇය එහිදී ඇය ඒ භාග්‍යවන්ත පින්වත් බෝසත්කුමරා මෙලොවට බිහිකරනු ලැබුවා. වෙළදුන්ගේ වීදියෙහි උපන් බැවින් ඒ පුත් කුමරාට වෙස්සන්තර යන නම තැබුවා. ඒ නිසා බෝසතුන්වහන්සේගේ නාමය මවගේ පරපුරෙන්ද පිය පසින්ද ලද දෙයක් නෙවෙයි.

වෙස්සන්තර කුමරු ඉපදුන මොහොතේම කතා කිරීම සහ දන්දීමට යමක් ඉල්ලීම.

අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ මව් කුසින් නික්මෙන මොහොතේම පිරිසිදු වුවෙක්ව ලෙසම ඇස් දල්වා බිහිවුණා. පිරිසුදු කරන්නට දෙයක් තිබුනේ නැහැ. බිහි වූ ඇසිල්ලෙහිම මව දෙසට අත දිගුකොට “මෑණියෙනි, දානයක් දෙන්නෙමි. කිසිවක් ඇත්තේදැයි”  විමසන්නට වුණා. එවිටම  ඔහුගේ මෑණියෝ “දරුව, කැමති පරිදි දන් දෙවයි”  දහසක් ඇති පසුම්බියක් තැබුවා.

අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි උම්මග්ග ජාතකයෙහි ද, මෙම ජාතකයෙහි ද, අවසාන ආත්ම භවයෙද, යන අවස්ථා තුනෙහි දීම  උපන් ඇසිල්ලෙහිම කථා කළා.  ඒ සිගිති හඬ රිදී සීනු හඬ මෙන් දෙවුලොව කරා පැතිර යන්නටත් ඇති. සක්දෙවිඳු කොතරම් සතුටු වෙන්නට ඇතිද? එවැනි බෝධිසත්ත්වයන් වහන්සේ නමක් අපගේ ශාස්තෘන්වහන්සේ වීමට අප කොතරම් භාග්‍යවන්ත වුණාද?

 අපේ බුදුහාමුදුරුවෝ 110

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  05

වෙස්සන්තර බිළිඳා හට විශ්වයෙන් ලද තිළිණය වූ  ශ්වේතවර්ණ හස්ති රාජයා.

පසුගිය කලාපයේ වෙස්සන්තර කුමරු මෙලොව පහල වීම සහ එදින සිදු වූ විශේෂ ආශ්චර්යමත් සිදුවීම් ගැන ලීවා. ඒ වෙස්සන්තර කුමරුගෙ පැත්තෙන් සහ මෑණියන්ගේ පැත්තෙන් සිදු වූ දේ. දැන් කියන්න යන්නේ විශ්වයෙන් වෙස්සන්තර බිළිඳාට ලැබූ ආශ්චර්යක්ම තෑග්ග ගැනයි.

එදා හරිම ලස්සන දීප්තිමත් දිනයක්. අහසින් ලොවට සුර්යය නැගී ආවේ ලොවට තවත් අලුත් ත්‍යාගයක් රැගෙන. එදා ජෙතුත්තර නගරය මහා මංගල්‍යයකට සරසලා වගේම සරසලා තිබුණා. විශේෂයෙන්ම වෙස්සන්තර කුමරා උපන් වෙළඳ වීථිය. හරියට කුමරාගේ අභිෂේකය පිණිස සරසලා වගේ. බිළිඳා වෙළද විථියේ උපත ලබන විටම තවත් ආශ්චර්යයක් කාටත් හොරා තව තැනක සිදු වුණා.  ඒ කුමරා උපන් මොහොතේම  අහසෙහි හැසිරෙන එක් ඇතින්නක් අතිශයින් මංගල සම්මත වූ සම්පුර්ණයෙන් ශ්වේතවර්ණ වූ හස්ති පෝතකයෙකු ගෙනවුත් මගුල් ඇතුගේ අසළින්  තබා අහසට නැග යන්නට ගියා. එය ඒ මහා විරයණන්හට සක්වලින් ලද ත්‍යාගය කියලයි මට හිතෙන්නේ. ඒ හස්ති පෝතකයා බෝධිසත්ත්වයන් වහන්සේ  ප්‍රත්‍ය කොට උපන් බැවින් “පච්චය” යැයි නම් කරනු ලැබුවා. ඒ හස්ති රාජයා විශේෂයි. මහා භාග්‍යවන්තයි. ඔහු ඉන්නා රාජ්‍යය සියලු යස ඉසුරෙන් පිරෙනවා. කිසි දිනක දුර්භික්ෂයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම මහා සද්දන්තයි. සුදු වර්ණයෙන් යුක්තයි. එම හස්ති රාජයා එතරම්ම භාග්‍ය සම්පන්න වූ නිසා ඔහුට ආභරණ පළදනා පැළඳුවේ සක්විති රජ කෙනෙකුට වගේ. ඔබ දන්නවා අපි අපේ දන්තධාතුන් වහන්සේ වැඩම කරන රාජා ඇත්රාජයාට කොතරම් ගරුබුහුමන් දැක්වූවාද කියලා. මේ හස්ති රාජයා වෙස්සන්තර කුමරුත් සමග එකට වැඩෙන්න වුණා; ඇතුට පලන්දපු ආභරණ ගැන මෙහෙම විස්තරයක් අටුවාවල තියෙනවා.

පච්චය හස්තිරාජයාගේ ආභරණ වල වටිනාකම සහ පිරිවර.

ඇතාගේ පා සතරෙහි ඇති සැරසිලි හාරලක්ෂයක් වටිනාකමින් යුක්තයි.

දෙපැත්තේ ඇති ඒවා ලක්ෂ දෙකක් වටී.

උදරය යට කම්බිලිය ලක්ෂයක්.

පිටෙහි මුතු දැල රත්‍රන් දැල මැණික් දැල යන දැල් තුන තුන් ලක්ෂයක වටිනාකමින් යුක්තයි.

දෙකන්හි ඇති ඝණ්ටා දෙක ලක්ෂයක්.

පිටෙහි අතුරා ඇති කම්බිලිය ලක්ෂයකි.

කුම්බස්ථල අලංකාර ලක්ෂයකි.

හිස්පලදනා තුන තුන්ලක්ෂයක් වටී.

කණෙහි සුළු පලදනාව ලක්ෂ දෙකකි.

දළ දෙකේ සැරසිලි ලක්ෂ දෙකකි.

සොඩෙහි ස්වස්තික අලංකාරය ලක්ෂයක් වටී.

අනර්ඝ වූ භාණ්ඩ හැර පිටට නැගීමට ඇති ආධාරකය ලක්ෂ විසිදෙකකි.

නගින හිණිමග ලක්ෂයකි.

ඇතාට ආහාර දෙන කටාරය ලක්ෂයකි.

ඊට අමතරව සේසතෙහි මත්තෙහි මාණික්‍යය, අංකුසයෙහි මැණික, ඇතාගේ ගෙලෙහි වෙළන මුතුහරෙහි මාණික්‍ය, අත්කුඹෙහි මාණික්‍ය, යන මේ ඉතා අනර්ඝ මැණික් හා අනෙකුත් ආභරණ වල මිල සඳහන් නැත.

 ඒ විතරක් නොව ඔහුව රැකීමට ඇත්ගොව්වන් පන්සියක්ද , එසේම ඇතාගේ ආවතේව සදහා පන්සියයක් කුල අත්වෙදුන් ගෙන්ද සමන්විත වුණා.

මිහිරි කිරි ඇති කිරි මවුවරු.

බෝසත් බිළිඳා අනේකවිද සම්පත් මැද වැඩෙන්නට වුණා. බිළිඳාට කිරිදීම සඳහා ඇති විශේෂ කිරිමවුවරු හැටහතර දෙනෙක් යොදවා තිබ්බා. ඒ අයට තිබිය යුතු විශේෂ දේහ ලක්ෂණ තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ මවුවරුන් ගේ කිරි උසස් මිහිරි රසයෙන් යුක්ත විය යුතු වුණා. ඒ එක්කම බෝසතාණන් වහන්සේ සමග දෙවුලොවින් පැමිණ මැති ඇමති වරුන්ගේ නිවෙස්වල ඉපදුන අනෙකුත් හැටදහසක් වූ පිරිසටත් එවැනිම අතිවිශේෂ කිරිමවුවරු යොදවනු ලැබුවා. මේ සියල්ලම අප මහා බෝසතාණන් වහන්සේ සසරේ වැඩු දාන පාරමිතාවන්හි ප්‍රතිඵල හැටියට තමයි මට හිතෙන්නේ. මෙලෙස රජකුමරා  හැටදහසක් රාජකුමාරවරු සමග මහත් සැපසම්පතින් වැඩෙන්නට වුණා.

අපේ බුදුහාමුදුරුවෝ 111

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  06

මෙම බෝසත් කතා පුවත හොඳින් කියවූ ඔබහට යම් සුවිශේෂ කරුණක් වැටහී යන්න ඕනේ. ඒ  තමයි බෝසත් චරිතය මෙතරම්ම දන් දීමට තරම් යස ඉසුරු ඇතිව සෑම උපතක්ම ලැබීම සහ යලි යලිත් ඒවා දනට පිනට දීම. එයම දස දහස් ගුණයකින් වැඩිවී යලි යලිත් ඔහු වෙත ළගාවීම. සත්‍ය වශයෙන්ම වෙස්සන්තර ජාතකය පුරාම ඇත්තේ බෝසතාණන් වහන්සේ විසින් පුරනු ලැබූ සුවිශේෂ වූ දාන පාරමිතා සමුහයයි. එනම් ඉපදුන දින පටන් මෙලොවින් සමුගැනීම දක්වා  මහ පොළව සත් වතාවක් කම්පා කරවමින් සිදුකරනු ලැබූ දාන පාරමිතාවයි.

කිරි මවුවරුනට තම රාජකීය පළඳනා වයස අවුරුදු හතරේ සිට දන්දීම.

අප මහා බෝසතාණෝ මෙලෙස ඉමහත් වූ රාජකීය සත්කාර මැද හැටදහසක් වූ තමා හා සමග දෙවුලොවින් පැමිණි රාජ කුමාරවරු  සමග උස්මහත් වන්නට වුණා. වයස අවුරුදු හතර වනවිට රජතුමා විසින් කුමරු හට ලක්ෂයක් වටිනා  කුමාර පැළදුම් කරවා දුන්නේය. එහෙත් උන්වහන්සේ  සතරපස් වයස් කාලයේ පටන්ම  ඒ පළදනා ගලවා කිරිමව්වරුන්ට දී නැවත ඒ තැනැත්තියන් විසින් ආපසූ දෙනවිට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කිරිමව්වරු ඒ පුවත රජුට දන්වනු ලැබුවා. එවිට රජතුමා “මාගේ පුත්‍රයා විසින් දෙන ලද, මනා දීමනාව බ්‍රහ්මයා විසින් දෙන ලද්දක් මෙන් වේවායි වෙනත් පළදනාවක් කරවාපීය.” යනුවෙන් පවසමින් වෙනත් පළඳනාවක් ඒ වෙනුවෙන් කරවනු ලැබුවා. එහෙත්  කුමාරයා එය ද පෙර පරිදිම දන්දුන්නා. හෙතෙම කුඩා කාලයේම කිරිමව්වරුන්ට මෙලෙස නව වාරයක්ම  පළදනා දැන් දෙනු ලැබුවා.

අභ්‍යන්තර අවයව දන්දීමට සිත් පහළවීම.

මෙසේ විවිධ දෑ දන් දෙමින් පැමිණි කුමරා අටවෙනි  වියේදී සයනය මත සිටිමින් මෙසේ සිතන්නට වුණා.

” මම  ශරීරයේ අභ්‍යන්තරික දෙයක් දෙනු කැමැත්තෙමි.ඉදින් කිසිවෙක් මගේ හදවත ඉල්ලන්නේද පපුව පලා හදවත බැහැරට ගෙන දෙන්නෙමි. ඉදින් ඇස් ඉල්ලන්නේ නම් ඇස් උගුලා දෙන්නෙමි. ඉදින් සිරුර ඉල්ලන්නේද මුළු සිරුරෙන්ම මස් ගලවා දෙන්නෙමි.”

පළමු වරට මහ පොළව කම්පාවීම සහ මහාමේරු පර්වතය සමග සදෙව්ලෝ උද්‍යාන පහක්  රජ මාළිගාව ඉහළින් රැඳීම.

මෙසේ ඔහුට මෙබදු සිතිවිල්ලක් ඇතිවනවිට සිව් නහුතයක් අධිකකොට ඇති යොදුන් දෙලක්‍ෂයක් ඝන වූ මේ පොළොව මත් හස්තිරාජයෙක් මෙන් ගුගුරමින් කම්පා වන්නට වුණා.  සිනේරුව (මහාමේරු පර්වතරාජයා) හුමාලයෙන් මනාව තැම්බූ වේවැල් අංකුරයක් මෙන් නැමී නටන්නාක් මෙන් ද වෙළද නගරයට අභිමුඛව සිටියා. ඒ මත පිහිටි නන්දන වනය, ඵාරුසක වනය, මිස්සක වනය, චිත්තලතා වනය ආදිකල්පික තරු වනය,  ඇතුළු සිනේරු වනද ඒ  අතර වුණා. පෘතුවිය මහා ශබ්දයෙන් මේඝ ගර්ජනා කරමින් හදිසියේ මහා වර්ෂාවක් වස්සන්නට වුණා.  විදුලිය සතර දෙස නික්මුණා.  සාගර ජලය මහා සුනාමි ජලකඳ මෙන් උඩට නැග සිටියා. ශක්‍ර දේවේන්ද්‍රයා අත්පොළසන් දුන්නා. මහා බ්‍රහ්මයා සාදුකාර දුන්නා. බඹලොව තෙක් එකකෝලාහලයක් පැතිරුණා. මසුරු බැවින් නොපිහිටි අචල වූ දන්දෙනු කැමති ස්වභාවය සිතන වෙසතුරු කුමරුන්ගේ සිත අනුව මෙරගල මුදුන්මල්කොට ඇති පෘතුවිය ඇතුළු මුළු විශ්වයම කම්පිත වුණා.

රජකම ලැබීම සහ දවසට හයලක්ෂයක් වියදම් කොට දානශාලා පැවැත්වීම. 

බෝධිසත්වයෝ සොළොස්විය වන විට සියළු ශිල්පයන්හි පරතෙරට පැමිණුනා.  ඒ නිසාම උන්වහන්සේගේ  පියා රාජ්‍ය දෙනු කැමැත්තෙන්  මව සමග මන්ත්‍රණයකොට මදුරජ කුලයෙන් මාතුල දියණිය වූ මද්දි නම් වූ කුමරිය ගෙනවුත් සොළොස් දහසක් ස්ත්‍රීන්ට දෙටු අගමෙහෙසිය කොට මහසත්ත්වයන්ව  රාජ්‍යයෙහි අභිෂේක කරනු ලැබුවා.  අප මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ දන්දීමේ ආශාව නිමා වුණේ නැහැ. රජකමේ  පිහිටි කාලයේ පටන් දිනපතා හයලක්ෂයක් වියදම්කොට මහදන් පවත්වන්නට වුණා.

ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා මෙලොව එළිය දැකීම.

මෙලෙස දැහැමින් සෙමින් රජකම් කරන අතර  මද්‍රි දේවිය පළමු පුතා මෙලොවට බිහිකරනු ලැබුවා.  ඒ මොහොතේ ඔහුව රන්දැල්කින් වසනු ලැබුවා. ඒ නිසාම  ඔහුට ජාලිය කුමාරයා යැයි නම් කළා. ඔහු ඇවිදින කාලයේ මද්‍රි දේවිය දෙවැනි දුවක් වැදුවා.  ඇයව කළු අදුන්දිවිසමකින් වැසුවා. ඒ නිසා ඇයට ක්‍රිෂ්ණජිනා යනුවෙන් නම් කළා. 

 අපේ බුදුහාමුදුරුවෝ 112

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 07

කලිඟු රටේ දුර්භික්‍ෂය

මෙලෙස සෙමින් සෙමින් කාලය ගතවුණා. මහාසත්ත්වයෝ එක්මසකට සයවාරයක් අලංකාර කළ පච්චය ඇතා පිට නැගී රාජධානිය පුරා පිහිටවනු ලැබූ දානශාලා හය බලන්නට යාම පුරුද්දක් කරගත්තා. ඒ කාලේම ඊට අසළ පිහිටා තිබූ කලිගුරටෙහි නියගයක් ඇතිවුණා. ගංගා ඇළදොළ සිඳී භවබෝග ඇතුළු ශස්‍යන්ගෙන් පිරිහී මහත් දුර්භික්ෂයක් රට තුල පැන නැග්ගා. මිනිස්සු ජීවත්වීමට නොහැකිව සොරකම් කරන්නට පටන්ගත්තා. දුර්භික්ෂයෙන් පීඩාවට පත්වූ ජනපදිකයෝ රාජාංගනයේ රැස්වී අහසටත් පොළවටත් රජතුමාටත් රාජ්‍යය පාලනයටත් දෝෂාරෝපණය කරන්ට වුණා. ඒ අසා රජතුමා “කිම,දරුවෙනියි” කියා අසුකල්හි ඒ බව ජනතාව දන්වා සිටියා පමණක් නොව අසල රාජ්‍යයේ වෙස්සන්තර රජ දැහැමින් සිල්වත්ව රට පාලනය කරනා අයුරුත් දන්වා සිටියා. ඒ ඇසු රජ “දරුවෙනි, යහපති, මම වැසි වස්සන්නේමියි” කියා ඔවුන් පිටත්කර යවා සමාදන් වූ සිල් ඇතිව උපෝසථය සමාදන් වී වැසි වස්වන්නට බොහෝ උත්සාහ කලත් වැසිවස්සනට අපොහොසත් වුණා. ඔහු යලිත් නුවරවැසියන් කැදවා “මම සමාදන් වූ සිල් ඇත්තෙමි, දවස් හතක්ම ගත්කළ නමුත් වැසි වස්සන්නට නොහැකි වුයෙමි.” දැන් ඉතින් කුමක් කළයුතුදැයි විචාරන්නට වුණා. එවිට රජුගේ උපදේශකයන් ” දේවයන් වහන්ස වැසි වැස්සවිය හැකි උපක්‍රමයක් තිබෙනවා. අප අසල පිහිටිරාජධානියට අයත් වෙළද නගරයේ සංජය රාජපුත්‍රයා වූ වෙස්සන්තර රජතුමා සියලු දේ දන්දෙන්නටම ඉපදුන කෙනෙක්. ඒ නිසාම ඔහුට දෙවුලොවින් ලැබුන සම්පුර්ණයෙන් ශ්වේතවර්ණ වු මංගල හස්තිරාජයෙක් සිටිනවා. ඒ ඇතා මහා බලවත්. ඒ ඇත් රාජයා ඉන්නා රාජ්‍ය සියලු යස ඉසුරෙන් පිරෙනවා. කිසි දිනක දුර්භික්ෂයක් ඇතිවන්නේ නැහැ. නිසි කලට වැසි ලැබෙනවා. ගිය ගිය තැන වර්ෂාව වසිනවා. එමනිසා ‍බ්‍රාහ්මණයන් යවා ඒ ඇතාව ඉල්වාගෙන එන්නයි ඇවිටිලි කරන්නට වුණා. රජතුමා යහපතැයි පිළිගෙන බ්‍රාහ්මණයන් රැස්කරවා ඔවුන අතුරෙන් අටදෙනෙක් තෝරගෙන ඔවුන්ට වියදම් දී, ඒ වෙස්සන්තර රජුගෙන් හස්තියා ඉල්වාගෙන එන්නැයි අණ කරනු ලැබුවා.

වෙස්සන්තර රජු ඇතා දන්දීම.

රාජ අණ පිළිපදිමින් ඒ බ්‍රාහ්මණයන්  අනුපිළිවෙලින් වෙළද නගරයට ගොස් දන්ශාලාවේ ආහාර වළදා තමන්ගේ ශරීරය දූවිලි තැවරුණු කිලිටි වැකුණු දෑත එකක්කොට පසළොස්වක දිනයේ රජුගෙන් ඇතා ඉල්වනු කැමතිව රජු දන්ශාලාවට එනතෙක් පෙරදිග දොරටුවට අසළ රැඳී සිටියා. එදින රජුද “දන්හල දකිනු කැමැත්තෙමියි” උදෑසනම සුවදපැන් සොළොස් කළයක් නා අනුභවකොට සැරසී අලංකාර කළ ඇතාපිට නැගී පෙරදිග දොරටුව වෙත පැමිණියා. මහජනයා පොරකමින් ඒ අවට සිටි නිසා එම මාර්ගය අසල සිටි බ්‍රාහ්මණයන් තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබී ගියා. ඉන්පසුව දකුණු දොරටුව වෙත ගොස් උස්තැනක සිට රජුගේ පැදුම් දොරටුවේ දානය බලා දකුණු දොරටුව වෙත එනකල්හි අත් දිගහැර “වෙස්සන්තර පින්වතාණෙනි! ජයවේවා” යි කෑ ගසනු ලැබුවා.

එවිට අප මහා බෝසතාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන්  දෙස බලා ඇතාව ඔවුන් සිටි තැනට යවා ඇතාපිට සිටම පළමු ගාථාව කීය.

දිග්වූ කිහිලි ලොම්, නිය, සිරුරේ ලොම් ඇති, කිළිටි දත් ඇති ධුලි වැකුණු කෙහෙඇති බමුණෝ දකුණත නගා මා අතින් කුමක් ඉල්වත් ද?

එය අසා බ්‍රාහ්මණයෝ මෙසේ පවසන්නට වුණා.

සිවිරට වඩන රජතුමනි, රුවනක් ඉල්වම්හ, කවර රුවනක් ද? රියහිස් බදු දළ ඇති බර උසුලනු සමත් උතුම් ඇත්රුවන දුන මැනවි.

එය අසා රජතුමා මෙසේ සිතිවිලි පහල කළා.

මම ඇස් හිස් මස් ලේ ආදීකොට ඇති අභ්‍යන්තර  වස්තූන් දානයක් ලෙස දෙනු කැමැත්තෙන් සිටියත් මොවුන් ඉල්ලන්නේම බාහිර දේමයි. මොවුන් බාහිර දෙයක්ම ඉල්ලන නිසා මේ අවස්ථාවේ මොවුන්ගේ මනදොළ පුරවන්නේමියි යයි සිතා ඇතාගේ පිට මතට නැග මෙලෙස සිතන්නට වුණා.

“බමුණො මා අතින් යමක් ඉල්වත්ද එය දෙමි. කම්පිත නොවෙමි. මා වෙත ඇති වස්තු නොසඟවමි. මගේ සිත දන් දීමෙහිම ඇලෙයි. යාචකයෙකු පැමිණි කල ප්‍රතික්ෂේප  කිරීම සුදුසු නොවේ. ගිලියෙන මද ඇති මනා දළ ඇති රාජවාහනය වූ උතුම් අත්රජුහු දන්දෙමි. අකම්පිත එලෙස පිළිගෙන, සිවිරට වඩන වෙසතුරු මහරජ, ත්‍යාගයෙහි  පිහිටි සිත් ඇතිව ඇත් කදින් බිමට බසිනු ලැබුවා.

බලන්න දානයෙහි ඇලුණු උත්තම පුරුෂයන්ගේ තරම. එතරම් වටිනා වස්තුවක් හිඟන්නන් ලෙස පැමිණි ඒ බ්‍රාහ්මණයන්ට  නිකම්ම දෙන්න සැලසුනේ නැහැ. ඔහු කලේ ප්‍රථමයෙන්ම  ඇතා මතින් බිමට බැස ඔහු වටා ගමන් කිරීමයි. එලෙස ගමන්කරමින් ඇතාගේ යම් නොසැරසු තැනක් ඇද්දැයි සුපරීක්ෂාකාරීව බලන්නට වුණා. එහෙත් කිසිම එවැනි තැනක් නොලැබූ නිසා මල් මිහිර සුවඳ දිය පිරි රන් කෙණ්ඩියක් රැගෙන “පින්වත්නි මෙහි එවූ” යැයි පවසා අලංකාර කරන ලද රිදී දමක් වැනි ඇත් සොඬ ඔවුන්ගේ අතෙහි තබා දිය වත්කොට අලංකාර කළ ඇතා දන් දෙනු ලැබුවා.

මහපොළව දෙවැනි වරටත් කම්පාවීම.

ඒ නිකම්ම නෙවෙයි ඔහුව සරසා තිබු ලක්ෂ විසිහතරක් වූ ආභරණද සමගින්

  1. සේසතෙහි මත්තෙහි වූ මාණික්‍යය,
  2. සිළුමිණ ද
  3. මුතුහර ද
  4. මිණි අංකුසය ද, (මැණික් හෙන්ඩුව)
  5. ඇතාගේ ගෙලෙහි වෙළන මුතුහර ද
  6. අත්කුඹෙහි මාණික්‍ය ද යන වටිනා වස්තු හයද ඒ සමගින් ඇතාද ඇතුළු අනර්ඝ වස්තු හතක් ඒ මොහොතේම දන් දෙනු ලැබුවා. ඒ සියලුම වස්තු මිළ කල හැකි වුවත් ඒ රදළ හස්ති රාජයාව කෙලස නම් මිල කරන්නද. එසේම ඇතාගේ ආවතේව සදහා පන්සියයක් කුල අත්වෙදුන් හා ඇත්ගොව්වන් ද සමග ඉහත දක්වන ආකාරයට බ්‍රාහ්මණයන්ට ලබා දුන්නා. ඔබ හිතන්නේ ස්වභාව ධර්මයෙන් ත්‍යාග කරනු ලැබූ වස්තුවක් දන් දෙන කල ස්වභාව ධර්මය කම්පා නොවී තිබෙයිද? නැහැමයි . මෙවැනි අත්හැරීමක් කරන කල්හි ස්වභාධර්මයත් කම්පා වුණා.

ඒ කාරණය දේශනාකරන ශාස්තෘන් වහන්සේ මෙසේ වදාරන්නට වුණා. ඒ උතුම් ඇත්රජු දුන්කල්හි මහපොළොව කම්පා විය. එකල්හි යම් බිහිසුණු බවක් වීද එසද ලොමුදැහැගැන්ම විය. ඇත්රජු දුන්කල්හි මුළු නුවරම කැළඹිණ. එදා යම් හිංසනයක් විද ඒසද ලොමුදැහැ ගැන්ම විය. සිවිරටවඩන ඇත්රජු දුන්කල්හි නුවර අවුල් විය. මහත් ඝෝෂාවක් ද විය.

අපේ බුදුහාමුදුරුවෝ 113

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 08

වෙස්සන්තර කුමරු වංකගිරියට නෙරපීම

මිට පෙර කී පරිදී ඒ උතුම් ඇත්රජු දුන්විට මුළු නුවරම කැළඹී ගියා. අවුල් ජාලයක් වුණා. හතර දෙසින්ම මහත් වූ ඝෝෂාවක්ද නැගුනා. මිනිසුන් ගැන කුමන කතාද? මහපොළවත් කම්පා වෙන කොට. 

බ්‍රාහ්මණයෝ දකුණු දොරටුව අසළදී ඇතා ලැබ ඇතා පිට නැගී මහජනයා පිරිවරාගෙන නගරය මැදින් යන්නට වුණා. තම රජුගේ මංගල හස්තියා පිට මත දුහුවිලි තැවරුණු කිළිටි බ්‍රාහ්මණ පිරිසක් යන විට මහජනයා කම්පා නොවෙන එක කීමට කරුණක් නෙවෙයි. ඔවුන් ප්‍රශ්ණ කරන්නට වුණා.

මහජනයා

“එම්බා බ්‍රහ්මණය. අපගේ ඇතාපිට නැගී අපගේ ඇතා කොහේ ගෙනියන්නේද?

බ්‍රාහ්මණයෝ රජුගේ බලයද සමගින් උත්තර දුන්නේ ඔවුන් කිසිවෙක් ගණන් නොගෙනයි. ඒ වගේම තව තවත් කේන්ති යන අයුරින්.

බ්‍රාහ්මණයන්-

ඇත්රාජයා වෙස්සන්තර රජ්ජුරුවෝ අපිට දුන්නේ. උඹලා කවුද ? ඒ ගැන අහන්න.

මෙලෙස වහසිබස් දොඩමින් පමණක් නෙවෙයි හස්ති විකාර කරමින් උසුළු විසිළු කරමින් නගරය මැදින්ම ගොස් උතුරු දොරටුවෙන් පිටවී ගියා.

නුවර වැසියන් දෙවියන් ආවේසවීමෙන් බෝසතුන්ට කිපී රජගෙදර දොරටුව ළඟ රැස්ව මහත් උද්ඝෝෂණයක් කරන්නට වුණා. රටේ සුප්‍රසිද්ධ මිනිසුන්ද, රජදරුවෝද, වෙළෙන්දෝද, බමුණෝද, ඇතරුවෝද, අසරුවෝද, රියදුරෝද, පාබල සෙනගද, මුළු නියම්ගම් වැසි කෙළෙඹියෝද, සිවුරට වැසියෝද, එක්රැස්ව ඇතු රැගෙන යන බව පියරජුට සැළකරනු ලැබුවා.

දේවයන් වහන්ස, ඔබගේ රට නසමින් ඔබගේ පුත් වෙසතුරු රජ රට වැසියා මහත් ගෞරවයෙන් පිදූ අපගේ ශ්‍රේෂ්ඨ හස්තියා කෙසේනම් දන් දෙන්නේද?

රිය හිස් බඳු දළ ඇති බර උසුලනු සමත් සියලු යුද්ධයෙහි ජයභූමි දත් හැම අවයවයක්ම සුදු වූ අපගේ උතුම් ඇතු කෙසේනම් දන් දෙන්නේද? 

රත්පළසින් වැසුණු මද වැහෙන සතුරන් මඩනා මහා දළ ඇති කෛලාසකූට පර්වතය බඳු සුදුපැහැති චාමර සහිත සේසත් සහිත බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත්වෙදුන් සහිත වූ ඇත්ගොවුවන් සහිත වූ රජු උසුලන අග්‍ර යානය වූ මෙම උතුම්  ධනය කලිඟුරට බමුණන්ට කුමක් හෙයින් දුන්නේද?

හෙතෙම ආහාරපානද, වස්ත්‍රද, සෙනසුන්ද, වැනි දෙය දනට සුදුසුය. බ්‍රාහ්මණයන්ටද යෝග්‍යය.

“සංජය රජතුමනි, මේ ඇත්රජු වෙස්සන්තර පරපුරෙන් අපට ආ රජෙකි. ඔබගේ වෙසතුරු පුත් කෙසේනම් සිවුරට වර්ධනය කරන ඇත්රාජයා දෙන්නේද?” 

රජතුමනි, ඔබ සිව්රට වැසියන්ගේ මේ බස නොකරන්නාහු නම් සිව්රට වැසියෝ පුතු හා සමග ඔබ අත්පත් කරති යැයි අපිට හිතෙනවා යනුවෙන් පවසන්නට වුණා.

මෙය අසා සිටි රජු මොවුන් වෙස්සන්තරව මරන්නට කැමතිව මෙලෙස කියන්නේ යැයි සිතා මහත්  හැඟීම් බරව මෙලෙස කියන්නට වුනා.

ඒකාන්තයෙන්ම ජනපදය නැතිවේවා. රටද වැනසේවා. මම සිව්රට වැසියන්ගේ වචන හේතුවෙන් නිර්දෝෂී රාජ පුත්‍රයාව සියරටින් එලවන්නේ හෝ මරා දමන්නේ නැත.

මම ඔහුට ද්‍රෝහී නොවෙමි. යම් හෙයිකින් ඔහු උතුම් සිල් ඇත්තෙක්ද එය මට අපකිර්තියද වෙයි. බොහෝ පවුද රැස්වෙයි. මෙවැනි උතුම් දරුවෙකු කෙලෙස නම් අවියකින් ඝාතනය කරන්නේද?

එය ඇසු සිව්වැසියෝ මෙලෙස කිවා.

ඔබ ඔහුව දණ්ඩෙන් හා ආයුධයෙන් ඝාතනය නොකරන්න. හිරගෙදරටත් යවන්න එපා. ඔහුට එයත් නුපුරුදුයි. ඔහුව රටින් පිට කරන්න. වංකගිරියට යවන්න රජතුමනි.

රජතුමා මේ සියල්ල අසා සිට අවසානයේ මෙලෙස කිවා.

මෙය සිව්රට වැසියන්ගේ කැමැත්ත නම් ඒ කැමැත්ත ඉවතලන්නේ නැහැ. එහෙත් මේ රාත්‍රිය පමණක් ඔහුට  ඉන්න දෙන්න. ඔහු රිසිසේ කාම සම්පත්ද අනුභව කරත්වා. ඉන් අනතුරුව රාත්‍රිය අවසානයේ හිරු උදාවන කල සිව්රට වැසියෝ සමගිව ඔහුව රටින් පිටකෙරෙත්වා යනුවෙන් කියමින් නිහඬ වුණා.

අපේ බුදුහාමුදුරුවෝ 114

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 09

සත්තසතික මහා දානය

මීට පෙර ලිපියේ කියූ පරිදී අවසානයේ වෙස්සන්තර කුමරාගේ පියතුමා පසුදින රාත්‍රිය පසුවනතෙක් පමණක් තම පුතුව මාළිගයේ තබාගෙන ඉන්පසු වංකගිරියට පිටමන්කිරීමට මහජනයා හට පොරොන්දු වුණා. එය ඇසූ සිවුරට වැසියෝ රාත්‍රිය අවසානයේ සමගිව හිරු උදාවෙන අලුයම විසිර ගියා.

එහෙත් රජමළිගාවක කටයුතු සිදුවෙන ආකාරයක් තියෙනවා. එවැනි කටයුතු පැවරිලා තියෙන්නේ කාර්යයබාර සෙනෙවියාට. රජතුමා ඔහුව කැඳවා මේ බව වෙස්සන්තර කුමරාහට දන්වන්න කිවා.

කාර්යය භාර ඇමති වෙස්සන්තර කුමරුන් හට පිටුවහල් කිරීමේ පණිවිඩය රැගෙනයාම. 

සිවුරජු විසින් මෙහෙයවනු ලැබූ කටයුතුබාර ඇමති වෙස්සන්තර කුමරු වෙත යන්නට සැරසුණා. සඳුන් ජලයෙන් ස්නානය කොට තෙත් කෙහෙ ඇතිව රාජකීය නිල ඇදුමෙන් සැරසී හස්තාභරණද පළන් මිණිකොඩොල්ද  ඇතිව වෙසතුරු නිවසේ වූ රම්‍ය පුරයට පියමන් කළා. තවුතිසා දෙවියන් මැද ප්‍රීතිවෙන සක්දෙව් රජමෙන් සැටදහසක් තමන් හා සමග සදෙවූ ලොවින් පැමිණි ඇමතියන් පිරිවරාගෙන ඔසවන ලද සේසත් සහිතව  තමන් දුන් දානයේ සිත් අලවාගෙන ප්‍රීති වෙමින් රාජාසනයෙහි මත  වෙස්සන්තර කුමරා සිටියේ විවේක සුවයෙන්.

කාරිය කරවන ඇමතියා දණ්ඩනමස්කාර කරමින් ගොස්  මහත් වූ ප්‍රීතියකින් සිටි වෙසතුරු කුමරුට හඬමින් මෙසේ පවසන්නට වුනා.

කාරිය කරවන ඇමති

” රජතුමණි, නුඹවහන්සේට දුක්ඛදායක හසුනක් දන්වන්නෙමි. මා කෙරෙහි නොකිපෙන්න. අනුකම්පා කරන්න.

දේවයන් වහන්සේ සිව්රට වැසියෝ ඔබවහන්සේ කෙරෙහි හොඳටම කිපිලා. ඔබ වහන්සේව රටෙන් නෙරපන්න යනුවෙන් කැරළි ගහනවා. ඒ අතර රටේ සුප්‍රසිද්ධ මිනිසුන්ද, රජදරුවෝද, වෙළෙන්දෝද, බමුණෝද, ඇතරුවෝද, අසරුවෝද, රියදුරෝද, පාබල සෙනගද, මුළු නියම්ගම් වැසි කෙළෙඹියෝද, සිවුරට වැසියෝද සිටිනවා. අද රාත්‍රිය අවසානයේ හිරු උදාවෙන සමයේ ඔබ වහන්සේව රටින් නෙරපන්න යැයි කැරළි ගසන්නට වුණා. පිය රජතුමා ඔබවහන්සේගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා එම ඉල්ලීමට එකඟ වුණා. 

වෙසතුරු රජතුමා

රජතුමා මහත් වූ කරුණාවෙන් ඔහුව අස්වසමින් ” කියන්න මා සමග කියන්න. විශ්වාස කොට කියන්න. ඔබහට අයහපත් නොවෙයි.

කාරිය කරවන ඇමති

රජතුමණි,

සුප්‍රසිද්ධ මිනිසුන්ද, රජදරුවෝද, වෙළෙන්දෝද, බමුණෝද, ඇතරුවෝද, අසරුවෝද, රියදුරෝද, පාබල සෙනගද, මුළු නියම්ගම් වැසි කෙළෙඹියෝද, සිවුරට වැසියෝද ඇතු දන්දීම හේතුවෙන් දොස් කියනවා. ඒ නිසාම ඔවුන් ඔබවහන්සේව නෙරපන්න යනුවෙන් කැරලි ගැසුවා.

හරිම පුදුමයි. මෙය ශ්‍රවණය කල වෙස්සන්තර රජුට දොම්නසක් නෙවෙයි ඇතිවුණේ. සොම්නසක්. ඔහු සොම්නස් සිතින් මෙලෙස කීවා.

වෙසතුරු කුමරු.

මම හදවතද  ඇස් ද දැන් දෙන්නෙමි. එසේනම් මාගේ බාහිර ධනය දීම ගැන කියනු කීම. මගේ සිත දීමෙහිම ඇලේ.

ඒකාන්තයෙන්ම සියලු සිව්වැසියන් මා රටින් නෙරපත්වා. නැතහොත් නසත්වා. නැතහොත් සත්කඩකට කපත්වා. එහෙත් දීමෙන් නොවළකින්නෙමි යනුවෙන් පවසන්නට වුණා. 

ඊට පස්සේ කාර්යය භාර ඇමති දෙවැනි හස්නත් කියවන්න වුණා. අටුවාවේ සඳහන් වෙන්නේ මෙය දෙවියන් ආරූඩ වීමෙන් ඔහු විසින් කියවන්නක් බවයි.

කාර්යය භාර ඇමති

දේවයන් වහන්ස. සිව්රට වැසියන්ද නියම්ගම් වැසියන්ද ඔබට මෙසේ කියනවා. කොන්තිමාර නම් ගංතෙරින් අරඤ්ජර නැමැති පර්වතය බලා වරද කල රජ දරුවෝ යම් මගකින් යත්ද, ඒ මගින් මහා පැවතුම් ඇති වෙසතුරු රජද  යේවායි යනුවෙන්.

මෙය අසා සිටි අප මහා බෝසතාණෝ සොම්නස් සිතින්ම මෙලෙස කීවා.

වෙසතුරු කුමරු

” හොඳයි මම ඒ කියනා අයුරින්ම රාජ්‍යය අතහැර වැරදි කල අය යම් මගකින් ගියේද ඒ මගින්ම යන්නම්. ඒ වරදක් කල හෙයින් නොවෙයි. ඇත්රාජයා දන් දුන් හේතුවෙන්. එහෙත් යන්නට පෙර මා හට දන් දීමට තව එක අවස්ථාවක් ලබා දෙත්වා. මම සත්සියයක මහ දනක් දෙන්නෙමි.  නුවර වැසියෝ තව එක් දිනක් මා හට දන්දීමට අවකාස දෙත්වා. හෙට දන්දී තුන්වන දිනයේ යන්නෙමි. “

කාර්යය භාර ඇමතිවරයා , රජතුමණි යහපති. මම නුවර වැසියන්ට කියන්නෙමි යැයි පවසමින් පිටව ගියා.

අප මහා බෝධිසත්ත්වයෝ ඔහු පිටත්කර යවා සේනාරක්ෂකයා කැඳවා මම හෙට “සත්තසතික” නම් වූ දානයක් දෙන්නෙමි. ඒ සඳහා මේවා සුදානම් කරන්න.

සත්තසතික දානය

  1. ඇතුන් සත්සියයක්,
  2. අශ්වයන් සත්සියයක්,
  3. රිය සත්සියයක්,
  4. ස්ත්‍රීන් සත්සියයක්,
  5. දෙනුන් සත්සියයක්,
  6. දාසීන් සත්සියයක්,
  7. දාසයන් සත්සියයක්, සුදානම් කරන්න යනුවෙන් උපදෙස් දුන්නා.

එපමණක් නොවෙයි. නොයෙක් ආකාර ආහාරපානාදියත් යටත්පිරිසෙන් සුරාවද යන දීමට සුදුසු සියලුම දන්දිය යුතු දේ සුදානම් කරවයැයි සත්තසතික මහාදානය සංවිධානයකොට ඇමතියන් පිටත්කර යවා හුදෙකලාවම මද්දී දේවිය සිටින තැනට ගොස් ශ්‍රී යහනාව මත වාඩිවී ඇය සමග කතා කරන්නට වුණා. ඇය වෙන කවුරුත් නෙවෙයි සංසාරය පුරා පසුපස හඹා එමින්  සියලු කීර්ති ප්‍රශංසා, නින්දා අපහාස යස අයස යන සියලු තැන්වල ඔහු පසු පසින් සිටි උත්තම චරිතය යසෝදරා.

අපේ බුදුහාමුදුරුවෝ 115

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 10

සියලුම දන්දිය යුතු දේ සුදානම් කරවයැයි සත්තසතික මහාදානය සංවිධානයකොට ඇමතියන් පිටත්කර යවා හුදෙකලාවම මද්‍රී දේවිය සිටින තැනට ගොස් ශ්‍රී යහනාව මත වාඩිවී ඇය සමග කතා කරන්නට වුණා. ඇය වෙන කවුරුත් නෙවෙයි සංසාරය පුරා පසුපස හඹා එමින්  සියලු කීර්ති ප්‍රශංසා, නින්දා අපහාස යස අයස යන සියලු තැන්වල ඔහු පසු පසින් සිටි උත්තම චරිතය යසෝදරා.

පසුගිය ලිපිය අවසන් වුණේ එතැනින්. විවාහක පුරුෂයෙකු තමන්ට ඇති වූ දුකකදී කරදරයකදී ඒ දුක බෙදාගැනීමට ගියේ තමන්ගේ මවමෙන් සිටිනා බිරිඳ ලඟට. අප මහා බෝසතාණන් වහන්සේත් ඒ දෙයමයි කලේ. කෙලින්ම පැමිණියේ තම අග බිසව ලඟට. එත් අපි වගේ තව තවත් දුකේ ගැලෙන්නට නොවෙයි. දුකෙන් මිදෙන මාර්ගය සොයා යන්නටයි.

එම කාරණය දේශනා කරන අප බුදුපියාණන් වහන්සේ  මෙසේ වදාලා.

මද්‍රි දේවිය සිටිනා කුටිය වෙත පැමිණි වෙසතුරු රජ දෙවගනක් මෙන් අගපසගින් හෙබි මද්‍රි දේවිය අමතන්නට වුණා.

මා ඔබහට දුන් ධනධාන්‍යයන් තිබේද? අමුරන් හෝ රත්රන් හෝ බොහෝ වූ වෙරළුමිණි හෝ ඇත්ද? පියාගෙන් ගෙනෙන ලද යම් ධනයක් වේද? ඒ සියල්ල නිධන්කොට තබන්න යැයි පැවසුවා.

සියළු අගපසගින් හොබනා මද්‍රි දේවිය,

දේවයිනි, කවරතැනක නිධන්කොට තබන්නෙම්ද? මට ඒ ස්ථානය කියන්න යනුවෙන් පැවසුවේ පුදුමයෙන්. මාගේ ස්වාමියා වූ වෙස්සන්තර විසින් මෙතෙක් කල් කිසි දිනක ධනය නිධන් කරන්නැයි කියා නැහැ. හැමදාම කිවේ දන් දෙන්නට කියලා. ඒත් දැන් මෙසේ කියන්නේ ඇයිදැයි මට තේරෙන්නේ නැහැ. කොහේ නිධන්කර තබන්නෙම්දැයි විචාරන්නෙමියි සිතා කුමරුට එලෙස කිවා.

වෙස්සන්තර රජු ,

මද්‍රිදේවිය ,සිල්වන්තයින් කෙරෙහි සුදුසු පරිදි දෙව,සියළු සත්ත්වයන්ට දානයට වැඩි උතුම් පිහිටක් නැත.

ගබඩා ආදියේ නොතබා අනුගාමික නිධානයක් සිල්වතුන් කෙරෙහි දෙන්නේහිය.දානයට වඩා උත්තරීතර වූ පිහිටක් නම් නැත.

ඇය යහපතැයි ඔහුගේ වචනය පිළිගත්තාය. ඉන්පසුවත්  ඇයට තව තවත් අවවාද කරන්නේ මෙලෙස කිවා.  මද්‍රි දේවිනි, දරුවන් කෙරෙහිද නැදිමයිලන් කෙරෙහිද දයා මෛත්‍රිි පතුරවන්න. යමෙක් ඔබගේ ස්වාමියා යැයි අදහස් කරන්නේ නම් ඔහුට මනාව උපස්ථාන කරන්න.

යම් දිනෙක මාගේ වෙන්වීමෙන් පසුව මා තවදුරටත් ඔබගේ  සැමියා ලෙස නොසිතන්න. වෙන ස්වාමිපුරුෂයෙකු සොයා ගන්න. මාගේ වෙන්වීම හේතුකොට ගෙන කෘශ නොවන්න.  දයාව මෛත්‍රිිය කරන්න., සොදුර මා ගියකල්හි යමෙක් ඔබගේ ස්වාමියා යැයි හැගින්නේ ද ඔහුට හොදින් උපස්ථාන කරන්න. මා ගැන සිතමින් වෙහෙසට පත් නොවන්න.

මේ කියන කිසිම දෙයක් මද්‍රි දේවියට තේරුනේ නැත්තේ මේ දක්වාත් රජතුමා ඇයට ඔහුගේ රටින් පිටුවහල් කිරීම ගැන කියා නොතිබූ නිසයි. ඒ සියුමැලි සිත කෙලෙස තලන්න රිදවන්න දැයි සිතෙන්නට ඇති.  මද්‍රි දේවිය කුමක් නිසා මේ වෙස්සන්තර රජු මෙබදු වචනයක් කියයි දැයි සිතා ,ස්වාමීනි ,කුමක් නිසා මේ නුසුදුසු කථාවක් කියන්නෙහිදැයි විචාරන්නට වුණා.

 මහාසත්ත්වයෝ,

සොදුර,මා විසින් ඇතා දෙන ලද බැවින් සිවිරට වැස්සෝ හොඳටම මා රටින් පිටුවහල් කරත්.හෙට මම සත්තසතික මහාදානයක් දී තුන්වන දවසේ නගරයෙන් නික්ම යන්නෙමියි කියා මෙසේ පැවසීය.

මම බිහිසුණු ව්‍යාල මෘගයන්ගෙන් ගැවසීගත් මහා වනයට යමි. මහා වනයෙහි හුදෙකලාව වෙසෙන මාගේ ජීවිතය සැක සහිතය. ඒ මහා වනයේ වාසය කරන ඒකාන්තයෙන් සුඛුමාල වූ මාගේ ජීවිතය පැවැතෙන්නේ කොයින් ද? ස්ථිර වශයෙන් ම එහි රුදුරු සතුන්ගේ ග්‍රහණයට පත්වී මම මරණයට පත්වෙයි යන පරමාර්ථයෙන්  ඇයට එලෙස පවසන්නට වුණා. 

සෑම අගපසගකින් ම හෙබි මද්‍රි දෙවි .

අහෝ ! පෙර නොපැවසූ වදනක් ඔබ අද පවසනවා. ඒකාන්තයෙන් නපුරක් අද කියනවාදැයි පවසමින්  වෙස්සන්තර රජහට මෙලෙස කියන්නට වුණා.  මහරජ, යම්හෙයකින් හුදෙකලාව ඔබ වනයට යන්නහු නම් ඒ ධර්මය නොවෙයි, දේවයිනි ! යම්තැනකට ඔබ යන්නහු නම් මම ද එතැනට යන්නෙමි. තොප සමග මරණය හෝ තොපගෙන් වියෝව ජීවත්වීම හෝ යන මේ දෙකින් තොපගෙන් වෙන්ව ජීවත්වීමට වඩා මරණය උතුම්ය.  තොපගෙන් වෙන්ව ජීවත්වීමට වඩා චිතකයේ ගිනි දල්වා එකම ගිනි ජාලාවක් වූ කල එහි මාගේ මරණය උතුම්ය. යම්සේ ඇතිනි සම විසම ගිරි දුර්ගයන්හි හැසිරෙන ආරණ්‍යවාසී දළ ඇතෙකු අනුව යේද , එලෙසින් දරුවන් රැගෙන මමද  ඔබ  අනුව එමි. මම  එවිට  සුවසේ පෝෂණය කළ හැකි තැනැත්තියක් වන්නෙමි. පෝෂණයට අපහසු කෙනෙක් නොවෙමි.

සත්‍ය වශයෙන්ම ඔබ හට බෝසත් බිරිඳකගේ ස්වභාවය වටහාගත හැකි වන්නේ මෙවැනි ප්‍රේම වෘතාන්ත තුලින් මිසක වර්තමානයේ ලියෙවෙන මනංකල්පිත කතා තුලින් නොවෙයි.  ඇය ඔහුගේ තනිකම පාළුව අසරණ භාවය මකා ගැනීමට උපකාර කළා පමණක් නෙවෙයි බුද්ධත්වය උදෙසා සෑම බුදුවරයෙකු විසින් අවසන් ආත්මභාවයේ පිරිය යුතු දාන පාරමි, දාන උප පාරමී, දාන පරමාර්ථ පාරමී යන ඒ උතුම් පාරමී ධර්ම පිරීමට උපකාර කිරීමක්ද වූවා.  ඊලග කොටසෙන් කියවෙන්නේ සුකුමාල තරුණ වියේ පසුවුණු වෙස්සන්තර කුමරුහට ඒ රුදුරු වන පියස පිළිබඳව තිබු බිය චකිතය පහකරමින් ඇය විසින් ඇසින් දුටුවාසේ හිමාලය පිළිබඳව කෙරුණු විස්තර වර්ණනාවයි.  එයින් ඔබට බෝසත් බිරිඳකගේ අනුපමේය තවත් කැපකිරීමක් දැනගන්නට ලැබේවි.

අපේ බුදුහාමුදුරුවෝ 116

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 11

නොදුටු හිමවත පිළිබඳව රසවත් වර්ණනාවක්  කරමින් වෙසතුරු රජුට චිත්ත ධෛර්යය ලබා දුන් මද්‍රී දේවිය වූ යසෝදරා කුමරිය.

රාජ කුමාරයෙකු ලෙස සුකුමාල ජීවිතයක් ගතකල වෙස්සන්තර කුමරුහට තමාව රුදුරු වන සිවුපාවුන්ගෙන් ගහන වනයට නෙරපූ පසු එහි දිවිය  රැකගැනීමට හැකිවේ යැයි ස්ථිරසාර විශ්වාසයක් නැති බව ඔහු මද්‍රි දේවිය හා කෙරුණු දෙබසින් පැහැදිලි විය. ඒ නිසාම ඔහුගේ ඉල්ලීම වුණේ තම ආදරණිය බිරිඳට වෙන විවාහයක් කරගැනීමට හා තමා ගැන සිහිකරමින් දුක් වෙවි කෘෂ නොවෙන ලෙසය. එහෙත් ඔහුගේ පිනටම හිමි වූ ඒ සංසාරගත බෝසත් බිරිඳට එම අභියෝගය අභියෝගයක් වුණේ  නැහැ. ඇය හිමාල වනයේ රුදුරු ස්වභාවය මකා ඒ වෙනුවට එහි සොඳුරු මනරම් ස්වභාව සෞන්දර්ය ඇසින් දුටු තැනැත්තියක් මෙන් විස්තර කරමින් ඔහුව තව තවත් බුද්ධත්වය වෙත ලංකරනු ලැබුවේ මහා වීර කාන්තාවක් ලෙසින්.

ඇය තව දුරටත් මෙලෙස පවසන්න වුණා.

අප ඔබ තනිකරන්නේ නැහැ කොහොමටවත්. මමත් පුතත් දියණියත් ඔබ යන තැනකට ඔබ හා සමග එනවා. අපි ඒ හිමාලවනේ ලස්සන අසපුවක් තනාගමු. එවිට මිහිරි බස් ඇති ප්‍රියවදන් ඇති මේ කුඩා කුමරාත් කුමරියත් සිත්කලු අසපුවෙහි සෙල්ලම් කරන  හැටි ඔබ දකිනා විට  රාජ්‍ය සිහි වී දුක හිතෙන එකක් නැහැ.

රමණීය අසපුවෙහි මල්මාලා දරන අලංකෘත වූ මේ කුමර කුමරියන්  දකින ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

ඒ  රමණීය අසපුවෙහි සෙල්ලම් කරන මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරාත් කුමරියත් නිසා ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

රමණීය අසපුවෙහි මල්මාලා දරමින් නටන මේ කුඩා කුමරුන් යම්කලෙක දක්නෙහිද එවිට ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

උදේ සවස හැසිරෙන සැටවස් පිරුණු මාතාංග නම් ඇතු යම් කලෙක දක්නෙහිද, එකලත් ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

යම්කලෙක ඇතිනි රැළෙහිද ඇත්රැළෙහිද පෙරටුව යන පිරුණු සැටවස් ඇති මාතංග නම් ඇතා කුඤ්චනාද කරන්නේ ද නාදකරන ඔහුගේ ඒ නාදය අසා ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

වනමෘගයන් ගැවසුණු කැමති සම්පත් දෙන දෙපස වනයෙහි වන ගළ යම්කලෙක දක්නෙහිද එකල්හි  ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

සවස්,වේලෙහි පැමිණෙන අංදළු පහක් ඇති මුවා ද ගංතෙරෙහි නටන කිදුරඳ දකිනා ඔබට  රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

බැස යන දියෙහි ඝෝෂාවද කිදුරන්ගේ ගී හඩද යම්කලෙක අසන්නෙහිද එවිට ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

පර්වත ගුහාවල හැසිරෙන හඩන බකමුණන්ගේ නාදය යම්කලෙක අසන්නෙහිද එකල  ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

වනයෙහි සිංහ ,ව්‍යඝ්‍ර ,කඟවේණ, ගවර යන සතුන් දැකීමෙන්ද  ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

පර්වත මුදුන්හි සිටින පිල්කළඹින් ගැවසුණු මොනර සෙබඩුන් පිරිවරා නටන මොණරුන් යම්කලෙක දක්නෙහිද එකල්හි ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

සෙබඩුන් පිරිවැරූ නිල්ගෙල ඇති හිස සිළු ඇති නටන මොනර කැල  යම්කලෙක දක්නෙහිද එවිටත් ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

හේමන්ත මාසයෙහි රතිඳුගොවුවන් ගැවසුණු නිල්පැහ යුත් පොළොව යම්කලෙක දකින්නෙහිද ඒවටත් ඔබට රාජ්‍යය සිහි නොවේවි.

 හේමන්ත ඍතුවෙහි පිපෙණ මලින් යුතු සුවදහමන ගස් යම්කලෙක දක්නෙහිද එකල්හි ද ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

හේමන්ත ඝෘතුවෙහි පිපුණු කෙළිදගස් හා රත්කරවූ ගස්ද ලොත්ගස් හා පියුම්ගස් ද යන මේ සුවදහමන ගස් යම්කලෙක දක්නෙහිද එකල්හිත්  ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

හේමන්ත ඍතුවෙහි මල් වැටුණු වනයද පොකුණු දිය පිරුණු නෙළුම් මල් ද යම්කලෙක දක්නෙහිද එවිටත් ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.

මෙසේ මද්‍රිදේවිය හිමවත වාසය කරන්නියක් මෙන් මෙපමණක් ගාථාවලින් හිමවත වර්ණනා කරන්නට වුණා.

සත්‍ය වශයෙන්ම ඒ වර්ණනාව ඇසු විට කුමාරාගේ හිතේ තිබු චකිතය යම් පමණකට හෝ වෙනස් වෙන්නට ඇති. එහෙත් ඔහුගේ සිත  ඒ ගමන සඳහා තම පවුලේ සාමාජිකයන්වත් එකතුකර ගැනීම කොහෙත්ම අනුමත කෙරුවේ නැහැ.

 හිමාලය වර්ණනාව නිමියේය.

අපේ බුදුහාමුදුරුවෝ 117

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 12

වෙස්සන්තර කුමරුගේ මවුතුමිය වූ ඵුසති දේවියගේ විලාපය

මීට ඉහත ලිපියේ කීවේ මද්‍රී දේවිය විසින් වෙස්සන්තර කුමරු හට සිදු කරනු ලැබූ හිමවතෙහි වර්ණනාවයි.  ඔවුන්ගේ ඒ දෙබස ඇතිවන්නට පෙර කුමරු රටින් පිටුවහල් කිරීමට සැරසීම  පිළිබඳව විස්තර වෙස්සන්තර රජුගේ මවු තුමිය වූ ඵුසති දේවිය හටත් දැනගන්නට ලැබුණා.  මෙම කටුක ආරංචිය කණවැකුණු ඵුසති දේවිය මහත් වූ ශෝකයෙන් වෙස්වලාගෙන ගොස් වෙස්සන්තර කුමරුගේ සිරියහන් ගබඩා දොරටුව ලග සිටිමින් ඔවුන්ගේ දෙබසට කන්දුන්නා. ඔවුන්ගේ ඒ කථා සල්ලාපය අසා සිටි දේවිය තව දුරටත් දරා සිටිය නොහැකිව කරුණාව දනවන හැඩිල්ලක් සහිතව හඬන්නට වුණා. ඒ බව ප්‍රකාශ කරන  ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

පුතාය ලේලිය යන ඔවුන්ගේ විලාප බස් අසා පිරිවර ඇති මදුරජ දූ වූ ඵුසති දේවී තොමෝ බැගෑ ලෙස හැඩුහ. නිවැරදි වූ වෙස්සන්තර පුතු කවර හෙයින් රටින් පිටකෙරෙත්ද? මා විසින් විස අනුභව කරන ලද්දේනම් හෝ ප්‍රපාතයෙන් පනින්නේ නම් හෝ ගෙලවැල ලා මැරෙන්නේනම් නම් හෝ එයට වඩා උතුම්ය. ත්‍රිවේදයෙහි ද නානා ශිල්පයන්හි ද කෙළ පැමිණි දානපති වූ ඉල්ලන්නට සුදුසු නොමසුරු උපරජුන් විසින් පුදන ලද පතළ කීර්ති ඇති පිරිවර සේනා ඇති නිවැරදි වෙසතුරු පුතු කවරහෙයින් රටින් පිට කෙරෙත්ද? රජුට හිතැති දෙවියනට හිතැති නෑයන්ට හිතැති යහළුවන්ට හිතැති සියළු රටවැසියන්ට හිතැති නිවැරදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත්ද? 

මෙසේ ඇය කාරුණිකව හඩා පුතුවද ලේලියද අස්වසා රජු සමීපයට ඉක්මනින් දිව ගියේ එම තීරණයෙහි වෙනසක් ඇතිකිරීමට. ඉන්පසු මෙලෙස රජු හට එම තීන්දුවේ අසාධාරණයද ආදීනවද  මතු කරමින් තතු පහදන්න වුණා.

ඵුසති දේවිය

මෙසේ මාගේ  දරුවන් රටින් නෙරපා දැමුවිට දේවියන්වහන්ස ඔබගේ රට සෑම අයුරකින් අසාධාරණ වන්නේ යැයි නෝපෙනේද? , පියාපත් හැලුණු කුරුළු රාජයෙකු සේ මාගේ පුත්‍රයා එක්දින උපන් හැටදහසක් ඇමතියන් අත්හරිනු ලැබීමෙන්  පිඩාවට පත්වන්නේය. සිවිරට වැසියන්ගේ වචනයෙන් ඒ නිවැරදි පුත්‍රයාව පිටුවහල් නොකරන්න. නිවැරදි වෙසතුරු පුතු රටින් පිටුවහල් කෙරෙත්ද, ඔබගේ දේශය මී මැසිකැල හැරදමා ගිය මීවදයක් මෙන්ද ගිලිහී බිම වැටුනු අඹ මෙන්ද වන්නේය. මහරජ, දිය සිදුනු විලෙක පියාපත් හැලුණු හංසයෙකු මෙන් ඇමතියන් විසින් හැරදැමූ ඔබ හුදෙකලාව පීඩිත වන්නාහුය. මහරජ, ඔබට ඒ කරුණ කියමි. ප්‍රයෝජන ඉක්ම නොයේවා. සිවිරට වැසියන්ගේ බසට නිවැරදි තැනැත්තා පිටුවහල් නොකරන්න.

පිය රජතුමා

එය අසා රජු මෙසේ කියන්නට වුණා. සොදුර, මම සිවිරට වැස්සන්ගේ ධජයක් බදු වෙසතුරු කුමරු හික්මවමින් පිටුවහල් කරමි. සිවීන්ගේ පරපුරේ ධර්මතාවයට ගරු කරමි. මාගේ පුත්‍රයා වනාහි මගේ ප්‍රාණයටද වඩා මට අතිශයින් ප්‍රියය. සවිස්තරාර්ථය. සොදුර මම සිවිරට වාසීන්ගේ ධජය වූ වෙස්සන්තර කුමාරයාව හික්මවමින්  පිටුවහල් නොකරමින්  සිවිරටෙහි පැරණි රජවරුන්ගේ පාරම්පරික ධර්මතාවය කඩකිරීම කෙසේ කරම්ද ? ඒ නිසා ඉදින් මට මාගේ ප්‍රාණයට වඩා ප්‍රියතර වූ ඔහුව පිටුවහල් කරන්නෙමි

එය අසා දේවිය හඩා වැළපෙමින් මෙසේ පවසන්නට වුණා.

පෙර යමෙකුගේ ධජය අග පිපුණු මල් ඇති කිණිහිරි ගස් මෙන් යන්නාහු අනුව යෙත්ද හේ අද හුදෙකලාව යන්නේය.

පෙර යමෙකුගේ ධ්වජාග්‍රයෝ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නාහු අනුව යේද හේ අද වනාහි හුදෙකලාව යන්නේය.

පෙර යමෙකුගේ ඇතුන් ආදීකොට ඇති සෙනග පිපුණු කිණිහිරි ගස් මෙන් යන්නාහු අනුව යෙද්ද හේ අද හුදෙකලාව යයි.

පෙර යමෙකුගේ ඇතුන් ආදීකොට ඇති සෙනග පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නාහු අනුව යෙද්ද හේ අද හුදෙකලාව යයි.

යමකුගේ පෙර ඉදුගොව්වන්ගේ පැහැයට බදු ගන්ධාර රටෙහි සාදන ලද රතුකම්බිලි පෙර වූ සෙනග යන්නාහු අනුව ද හේ අද හුදෙකලාව යයි.

යමෙක් පෙර ඇතුපිටින් දෝලාවෙන් ද රියෙන්ද ගියේ නම් ඒ වෙස්සන්තර රජතෙමේ අද කෙසේනම් පයින් යයිද?

 සදුන් ගැල්වූ සිරුර ඇති ශිතයෙන් නැටුමෙන් පුබුදුවන වෙස්සන්තර රජ අද අදුන්දිවි සමද පොරොවාද තවුස් පිරිකර සහිත වු කද කෙසේනම් ගෙන යන්නේද?

මහා වනාන්තරයට පිවිසෙන්නහුට කසාවත් වස්ත්‍ර හෝ අදුන් දිවිසම් කවර හෙයින් ගෙන නොයෙද්ද ,කවර හෙයින් වැහැරී නොබෙදිත්ද? රජව සිට පැවිදි වුවෝ කෙසේනම් වැහැරියෙන් කළ සිවුරු දරත්ද ?

කුසතණයෙන් කළ වැහැරී මද්‍රිදේවි කෙසේ හැදින්නීද?

කසීසළුද ඛෝම රටෙහි කෝදුම්බර රටෙහි නිපන් සළුද දරාසිටින මද්‍රිදේවිය කෙසේනම් කුස වැහැරී දරන්නිද?

හිදොලයෙන් සිවිකායෙන් හාරියෙන් මෙනුවර සිසාරා ඇවිද නිදොස් සිරුරු ඇති ඕ අද කෙසේ නම් පා ගමනින් මහමග යන්නිද ?

යමකුගේ සුවසේ වැඩුණු මොළොක් අතුල් පතුල් ඇති හස්තපාදයෝ වෙත්ද නිදොස් සිරුරු ඇති  බියසුලු ඕ අද කෙසේ නම් වනයට යාද ?

යමකට සුවසේ වැඩුණු මොලොක් අතුල් පතුල් ඇති අත්පා ඇද්ද, යම් ස්ත්‍රියක් රන් මිරිවැඩි සගලින් යුතුව මිරිකෙමින්ම යාද ප්‍රශස්ත අවයව ඇති  ඕ අද කෙසේනම් පා ගමනින් මහමග යන්නීද?

පැළදි මල්දම් ඇති යම් ස්ත්‍රියක් දහසක් ස්ත්‍රීන්ට පෙරටුව යාද ප්‍රශස්ත ශරීර ඇති ඕ අද කෙසේනම් තනියම වනයට යාද ?

යම් ස්ත්‍රියක් නාදකරන කෞෂික ගෝත්‍ර ඇති මහමුහුණකුගේ හඩ අසා බියව දෙවියන් අවේෂ වූ යක්‍ෂ දාසියක් මෙන් වෙවුළාද ප්‍රශස්ත ශරීර ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යේද?

හිස් වූ කැදැල්ල දැක දරුවන් විනාශ වූ ලිහිණියක් මෙන් මට දරුවන්ගෙන් හිස් වූ මේ නිවෙසට අවුත් බොහෝකලක් දුකින් බර සිතිවිලිවලට බරවී සිටින්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ කිරිල්ලියක මෙන් මම හිස් වූ මේ නිවසට පැමිණ ප්‍රිය පුතුන් නොදක්නී කෘෂ වී පඩුවන් වන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මේ නිවෙසට අවුත් ප්‍රිය පුතුන් නොදක්නී ඒ ඒ තැන දිවයන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් විනාශ වූ උකුසු දෙනක මෙන් මම හිස් වූ මේ නිවසට අවුත් දිගුකලක් සිතිවිලි පර වන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් විනාශ වූ උකුසු දෙනක මෙන් ප්‍රිය පුතුන් නොදක්නී කෘෂව පඩුවන් වන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ ලිහිණියක මෙන් ප්‍රිය පුතුන් නොදක්නි ඒ ඒ තැන දිවයන්නෙමි.

දියසිදුණු මඩෙහි සක්වාලිහිණියක මෙන් ඒ මට දරුවන් නැති බැවින් හිස් වූ නිවෙසට අවුත් බොහෝකලක් ඒකාන්තයෙන් දුකින් සිතිවිලි පර වන්නෙමි.

දිය සුන් මඩෙහි සක්වාලිහිණියක මෙන් ඒ මට ඒකාන්තයෙන් ප්‍රිය පුතුන් නොදක්නී කෘෂව පඩුවන් වන්නෙමි.

මෙසේ වැලපෙන මට අනාදර කොට නිර්දෝෂී රජ පුතු රටින් වනයට නෙරපිය . මම ජීවිතය හෙළන්නෙමි. සිතමි.

දේවියගේ විලාප හඩ අසා සියලුම සංජයගේ සිවි කාන්තාවෝ එතනට රැස්ව හැඩුවාහ. ඇයගේ වැළපීම් හඩ අසා මහාසත්ත්වයන්ගේ නිවසේ එසේම හඩුහ. මෙසේ රජපවුල් දෙකෙම් කිසිවෙක් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැක්කාහු වාත වේගයෙන් පීඩාවට පත්වූ ශාලාවක් මෙන් බිම වැටී හඩන්නට වුණා.

අපේ බුදුහාමුදුරුවෝ 118

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 13

තෙවැනි වරටත් මහපොළව කම්පා කරමින් දෙනු ලැබූ මහා සත්තසතික දානය.

ඵුසති දේවියගේ විලාප හඩ අසා සංජයගේ රජුගේ සියලු අන්තපුර ස්ත්‍රීන් වෙස්සන්තර කුමරුගේ මාළිගාවට රැස්ව වැළපෙන්නට වුණා. ඔවුන්ගේ වැළපීම් හඩ අසා වෙස්සන්තර කුමරුගේ මාලිගාවේ සිටි ස්ත්‍රීන්ද එසේම හඬන්නට වුණා.  මෙසේ රජපවුල් දෙකෙහිම පිරිස් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැකිව වාත වේගයෙන් පීඩාවට පත්වූ ශාලාවක් මෙන් බිම වැටී හඬන්නට වුණා. පනස් හැටදහසක් පමණ පිරිසක් එලෙස විලාප නගද්දී රජ මාළිගාව කෙලෙස තිබෙන්නට ඇතිද? ඒ පිළිබඳව තවදුරටත් අප මහා බුදුපියාණන් වහන්සේ මෙලෙස විස්තර කරනවා.

 මහණෙනි, ඇගේ වැළපීම අසා රැස්වූ අන්තඃපුරයේ බොහෝ සිවි කන්‍යාවෝ හිස අත්බැදගෙන හැඬුවා. වෙස්සන්තර මාලිගයේ අඹුදරුවෝද සොවින් මඩනා ලදුව ඇළලී ගිය සල්වනයක සල්ගස් මෙන් බිම ඇද වැටුණා. වෙස්සන්තර මාලිගාවේ අන්තඃපුරයේ ස්ත්‍රීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හිස අත්බැදගෙන වැළපෙන්නට වුණා.  වෙස්සන්තර මාලිගාවේ අසරුවෝ ද ඇත්ගොව්වෝ ද රියදුරෝ ද පාබළ සෙනග ද හිසෙහි  අත් බැදගෙන හඬන්නට වුණා. මෙලෙස  උසුලාගත් නොහැකි දුකෙන් හඬමින්  රජ පවුල් දෙකේම කිසිවෙක් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැක්කාහු වාතවේගයෙන් මඩිනා ලද ශාලාවක් මෙන් වැටී පෙරළී තව තවත් හඬන්නටත් ශෝකවන්නටත් වුණා.  මෙලෙස එදා රාත්‍රිය මහා කඳුළු වර්ෂාවක් මැද පහන්වෙන්නට වුණා.

එලෙස මාළිගාව තුල මහත් වූ වියෝවක හඬ රැව් පිළිරැව් දෙද්දී මාලිගාවෙන් පිටත මහා සත්තසතික දානය සැකෙසෙමින් තිබුණා.   ඒ රාත්‍රිය ඉක්මයාමෙන් හිරු උදාවු කල්හි දානය සංවිධානය කරන්නවුන් විසින් දානය සූදානම් යැයි වෙස්සන්තර රජුට දන්වා සිටියා. ඉක්බිති වෙසතුරු රජු උදෑසනම නා නා සියලු අලංකාරයන්ගෙන් සැරසී මහා රසපිරි බොජුන් වළදා මහජනයා පිරිවරාගෙන සත්තසතික මහා දානය දෙන්නට දානශාලාවට පැමිණියා. එහි ගොස් හැටදහසක් වූ තම ඇමතියන් අමතා මෙසේ පැවසුවා. මත්පැන් දීම නිෂ්ඵලයයි මම දනිමි.  එසේ ඇතිකල්හිත් සුරසොඩෝහු දාන ශාලාවට ගොස් දාන ගෙදරදී සුරාව ලැබුනේ නැතැයි කියන්නට ඉඩ නොතබා සුරාව දෙන්න. දුප්පත් ජනයා අතර කිසිම එක යාචකයෙකුට හෝ කරදර නොකරන්න. මා විසින් පුදනු ලැබ යම්සේ මට ස්තුති කරත්ද එලෙසම ඔවුනටත් ස්තුති කරන්න.

මෙසේ ඔහු ස්වර්ණ අලංකාරයෙන් ඇති රන්දැලින් ගැවසීගත් ඇතුන් සත්සියයක් එබදු ලෙසම අශ්වයන් සත්සියයක් සිංහ සම් ආදියෙන් ආවරණය වූ නොයෙක් රත්නයන්ගෙන් විසිතුරු කළ ස්වර්ණ ධජ යෙදු රථ හත්සියයක් සියළු අලංකාරයන්ගෙන් යුක්ත උතුම් රූප සම්පන්න ක්‍ෂත්‍රීය කන්‍යාවන් ඇතුළු කාන්තාවන් සත්සියයක්ද දෙනුන් සත්සියයක්ද මානව හික්මුණු කීකරු දාසීන් සත්සියයක්ද එසේම දාසයන් සත්සියයක්ද අප්‍රමාණ වූ ආහාරපානාදිය ද සහිත සත්තසතික මහාදානයක දුන්නා.  එසේ දෙන කල්හි ක්‍ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශ්‍රුද්‍ර යන වෙළද නගරවැසියෝ මෙලෙස කෑගසමින් දුක් වන්නට වුණා.

“වෙස්සන්තර ස්වාමීනි සිවිරට වැසියෝ ඔබතුමා දන් දෙන්නේ යැයි ඔබව පිටුවහල් කරන්නාහ. ඔබතුමා නැවත දානයම දෙන්නේය” යනුවෙන්  විලාප නගන්නට වුණා.”

“ඉක්බිත දන් දීම හේතුවෙන් ඔබව රටින් නෙරපති. එහෙත්  ඔබ යලිත් දන් දුන්හ”  යයි මහත් බිහිසුණු ඝෝෂාවක් කලා. දානය ලබාගත් අය දන් ලබාගෙන “දැන් වනාහි වෙස්සන්තර කුමරු අපව අනාථකර ආරණ්‍යයට පිවිසෙන්නේය. මෙතැන පටන් කවුරුත් සමීපයට යමුදැයි” පාසිදයවුන් මෙන් බිම වැටෙමින් පෙරළෙමින් මහා හැදින් විලාප නගන්නට වුණා

දානය අවසානයේ වෙසතුරු රජතුමා නික්මෙන කල්හි ඔවුනතර වූ යදියෝ මත්වූවන් මෙන් ක්ලාන්ත වුවන් මෙන් බිම ඇද වැටුණා. හඬමින් මෙලෙස දොස් නගන්නටද වුණා.

 “භවත්නි ! නිදොස් වෙස්සන්තර රජුව යම්සේ රටින් නෙරපියත්ද ඔවුන් ඒකාන්තයෙන් නොයෙක් පල දරන වෘක්‍ෂයක් සිදලුය. භවත්නි නිදොස් වෙසතුරු රජු යම්සේ රටින් නෙරපා යවත් ද ඔවුහු ඒකාන්තයෙන් සියලු කැමති රස එළවන රුකක් සිදලුය.”

සිවි රට වර්ධනය කරන වෙසතුරු මහරජ නික්මෙන කල බාල වූද ව‍ෘද්ධ වූද මද්‍යම වූද යම් පුරුෂ කෙනෙක් ඇත්ද ඒ හැමදෙනා හිස අත්බැද හැඬුවා.  සිවිරට වඩන මහරජ නික්ම යන කල භූත විද්‍යාධරයෝ ද බීජෝද්ධරණය කළ අන්තඃපුර පාලකයෝද රජුගේ අන්තඃපුරය ද හිස් අත්බැදගෙන හඬන්නට වුණා. සිවිරට සුරකින  මහරජ නික්ම යනකල එනුවර යම් ස්ත්‍රීන් සිටියේද පුරුෂයින් සිටියේද ඒ සියලූම දෙනා හඬන්නට වුණා.  බමුණුයැ මහණයැ තවද ගුණ කියන යදියෝයැ යන යම්කෙනෙක් ඇද්ද ඒ හැමදෙන “භවත්නි අධර්මයෙකැයි” හිසැ අත් බැද හඬන්නට වුණා.

වෙසතුරු රජු යම්සේ සිය නුවර දන්දෙනුයේ සිවිරට වැසියන්ගේ වදනින් සිය රටින් නික්ම යාද, සව් බරණින් සරසන ලද රන්පොරෝදු රන්කසුකම් කළ වස්ත්‍ර ඇති මහ සිරුරැති අඩයටි අකුසු ගත් අත් ඇති ඇත්රුවන් නැගි ඇතුන් සත්සියයක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මේ වෙසතුරු රජු තව මොහොතකින් සියරටින් නික්ම යයි.

දුනුහී දරණ අසරුවන් නැගී සව්බරණින් සරසන ලද ඉක්මන් ගමන් ඇති සින්දු දේශයේ උපන් අජානේය අශ්වයන් සත්සියයක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මේ වෙසතුරු රජු සිය රටින් නික්ම යයි.

දුනු හී ඵලක ආයුධ ගත් අත් ඇති රථාචාරීන් නැගී දිවිසමින් හා ව්‍යඝ්‍ර සමින් වටකළ සියළු අලංකාරයෙන් සරහන ලද නගන ලද ධ්වජ ඇති සන්නද්ධ රථ සත්සියයක් දන් දී මේ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.  

ස්වර්ණාභරණයෙන් සැරසුණු රන් හවඩියෙන් බදනා ලද කසාවන් අලංකාර ඇති කසාවන් වස්ත්‍ර ඇති කසාවන් අබරණින් සරසන ලද විශාල ඇස්බැම ඇති මද සිනා පෙරදැරි කථා ඇතී මනා උකුළු ඇති සිහිනිග ඇති සත්සියයක් ස්ත්‍රීන්ද දන් දී මේ වෙසතුරු රජු සියරටින් නික්මෙයි.

එක් එක් දෙනාට රිදියෙන් සෑදු කිරි දෝනා බදුන් සහිතව දෙනුන් සත්සියයක් දන් දී මේ වෙසතුරු රජු සිය රටින් නික්මෙයි.

සත්සියයක් දාසීන් ද සත්සියයක් දාසයන්ද දන් දී මේ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.

ඇතුන් ද අසුන් ද රිය ද සරසන ලද ස්ත්‍රීන්ද දන් දී මේ වෙසතුරු රජු සිය රටින් නික්ම යයි.

අප බුදුපියාණන් වහන්සේ තව දුරටත් මෙලෙස දේශනා කරනු ලැබුවා.

මෙලෙස මහදන් දුන් කල්හි මහපොළොව කම්පා විය. එකල්හි බිහිසුණු බවෙක් විය. එකල්හි ලොමුදැහැ ගැන්මක් විය. යම්කලෙක ඇදිලි බැද රජ සියරටින් නික්ම ගියේද එකල්හි බිහිසුණු බවෙක් විය.එකල්හි ලොමුදැ ගැන්මේක් විය.  වෙස්සන්තර රජු යම් මහා දානයක් දී ඇදිලි බැදගෙන තමන්ගේ දානයට ගෞරව දක්වමින් මාගේ මේ දානය සර්වඥතාඥානය ලැබීම පිණිස හේතුවේවයි වැදගෙන සිටියා. එවිටද බිහිසුණු විය. ඒ මොහොතේ නැවත නැවතත් පොළොව කම්පාවිය.

අපේ බුදුහාමුදුරුවෝ 119

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 14

පින්වත්  කුලවත් ක්‍ෂත්‍රිය වාංශික  කන්‍යාවියන් දන් දීමටගත් තීරණය නිසා බිය වූ දෙවිවරුන්.

අප දන්නා තරමින් හා අපගේ අත්දැකීම්ද අනුව මෙවැනි විශාල පින්කම් සංවිධානය කරනාවිට දෙවියන්ගේ ආශීර්වාදය අනුග්‍රහය පමණක් නොව මගපෙන්විම්ද ආරක්ෂාවද ලැබෙනවා. මෙම කතාව පුරාම  එවැනි සිද්ධීන් බොහෝසේ ලිය වී තිබුණා. මෙයද එවැනිම කතාවක්.

සත්තසතික දානයේ එක දාන අංගයක් වුයේ  කුලවත් ක්‍ෂත්‍රිය කන්‍යාවන් සත්සියයක් දන් දීමය. මෙය දැනගත් රාජවංශිකයින් වගේම  දෙවිවරුත් කලබලයට පත්වුණා. ඒ පින්වත් කුල කන්‍යාවියන් පාපතර මිනිසුන්ගේ අතට පත්විය හැකියයි සිතුණු බිය නිසා ඒ නිසා දෙවියන් විසින්ම මෙම පණිවිඩය සියළු දඹදිව රජුන්හට, වෙස්සන්තර රජු විසින් ක්‍ෂත්‍රිය කන්‍යා ආදීන් මහදන් දෙන්නේයැයි දැන්වුවා. ඒ ඇසූ  ක්‍ෂත්‍රියෝ දේවානුභාවයෙන් රථවලින් අවුත්  ක්‍ෂත්‍රිය කන්‍යාවන් ආදී දානය ලබාගෙන පිටත්ව ගියා. මෙසේ බ්‍රහ්මණ ක්‍ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර ආදීහු දානය ගෙන ගියා.

වෙස්සන්තර කුමරු නික්මයාමට පෙර දෙමාපියන්ගෙන් අවසර පැතීම.

මේ මහා දානය දෙන්නාවූ වෙසතුරු කුමරු හට සවස් වන බව සිහියට නැගුනේ නැහැ. දානය අවසානයේ හෙතෙම තමන්ගේ වාසස්ථානයට ම ගොස්  “මව්පියන් වැද හෙට යන්නෙමියි” සිතා සරසන ලද රථයෙන් තම මව්පියන් වන පියරජතුමා සහ දේවිය සිටි තැනට පැමිණියා. මද්‍රි දේවිය “මම ද මොහු සමග ගොස් මව්පියන්ට දන්වන්නෙම්යි කුමරු සමග එකතුවුණා. මහාසත්ත්වයෝ පියාට වැද තමන් යන ගමන දන්වාසිටියා. දැහැමි රජුන් අතරෙහි උතුම් වූ සංජය රජ ඇමතු වෙස්සන්තර කුමරු “රජතුමනි, හෙට මම රටින් පිටවී යන්නෙමි. මම වංකගිරියට යමි. මහරජතුමනි යම්කෙනෙක් අතීතයෙහි වූවාහුද අනාගතයේ වන්නාහුද වර්තමානයේ වෙත්ද ඔවුහු හැමදෙන කාමයෙන් තෘප්ත නොවුවාහුම මරණයට පත්වෙති. ඒ මම සිය නුවර දන් දෙන්නෙමි. තමාගේ නුවරවැසියන්  පෙළිමි. ඒ මම සිවි රටවැසියන්ගේ බසින් සියරටින් නික්මෙන්නෙමි. කඟවෙහෙනුන් දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විදිය යුතු ඒ දුක් විදිනෙමි. මම පින් කරමි. තෙපි කාම නැමැති මඩෙහි ගැලෙව.

මෙසේ මහසත්ත්වයෝ  ගාථා සතරකින් පියා සමග කියා මව සමීපයට ගොස් වැද පැවිද්ද අනුමත කරවා ගැනීම සඳහා මෙසේ කියනු ලැබුවා.

” මෑණියනි මට පැවිද්දට කැමැත්ත දෙන්න. මට පැවිද්ද රිසි වෙයි. ඒ මම සිය නුවර දන් දෙන්නෙමි,  සිය නුවර වැසියන් පෙළෙමි. ඒ මම සිවිරට වැසියන්ගේ වචන හේතුවෙන් සියරටින් නික්මෙන්නෙමි. කඟවෙහෙනුන් දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විදිය යුතු දුක් විදිනෙමි. මම පින් කරමි. තෙපි කාමයෙහි ගැලෙව.

මවු තුමිය විසින් වෙසතුරු කුමරුගේ  දේවිය සහ දරුවන් රැගෙන නොයන ලෙස වෙසතුරු කුමරුහට ලෙස අවවාද කිරීම

එය අසා ඵුසති දේවිය මෙසේ පවසනු ලැබුවා. පුත, පැවිද්ද අනුදනිමි. තොපගේ පැවිද්ද සමෘද්ධ වේවා. වැලිත් මනා උකුළු ඇති සිහිනිග ඇති යහපත් වූ මේ මද්‍රි දේවි දරුවන් හා සමග මෙහිම සිටීවා. ඔවුන් වනයෙහි කුමක් කරන්නද? ධාන්‍යයෙන්  සමෘද්ධ වේවා. මෙහිම සිටීවා. එය අසා සිටි වෙස්සන්තර රජු මෙසේ කියන්නට වුණා.

“මම නොකැමැත්තෙන් දාසියක වුව ද වනයට ගෙන යන්නට  උත්සාහ නොකරමි. ඉදින් ඕ කැමති වූ නම් මා අනුව ඒවා. ඉදින් නොකැමැති නම් සිටීවා. මම අකමැත්තෙන් එක් දාසියකද ගෙන යන්නට උත්සහ නොකරමි. “

පියරජුගේ ආයාචනය 

කොතරම් නීති දැම්මත් දණ්ඩනයට යටත් කලත් පියවරුන්ගේ සිතෙහි දරුවන් කෙරෙහි ඇතිවන ආදරය කරුණාව මවගේ ආදරයට දෙවන නොවන බව දන්නේ මමත් එවැනිම පියෙකු නිසාය.  පුත්‍රයාගේ කථාව අසා සිටි  රජු ඔහුගෙන් මෙලෙස ඉල්ලා සිටින්නට වුණා.  එලෙසම  පිය මහරජ ලේලියගෙනුත් මෙලෙස  යදින්නට පටන් ගත්තේ ඇයවත් ඔහුට ඇහුම්කන් දේවි යන සිතුවිල්ලෙන්.

“රත්සදුන් ආලේප කළ සිරුරෙහි රජස්දැල් නොදරව , කසීසළු දරා කුස වැහැරී නොදරව වනයේ වාසය දුකකි. සුන්දර ලක්‍ෂණ ඇත්තීය තොපි නොයව.” එවිට මද්‍රි දේවිය මෙසේ කීවා.  වෙස්සන්තර රජුගෙන් වෙන්ව මට යම් සුවයක් ලැබෙන්නේනම් මම ඒ සුවයට නොකැමෙත්තෙමි.

එවිය මහරජ ඇයට මෙසේ කියයි. එම්බා මද්‍රි දෙවියනි වනයෙහි නොඉවසිය හැකි යම්බදු දුකක් වෙත්ද ඒ දුක අසව  එහි කුඩා ප්‍රාණීහුය, පලගැටියෝ ය මදුරුවෝ ය මීමැස්සෝ ය යන මොවුහු බොහෝ වෙති. ඔවුන් තොපට හිංසා කරයි. එය ඔබට අතිශය දුකක්ම වන්නේය. ගන්ඉවුරු ඇසුරු කළා වූ දුටුවන් තවන බලව විෂ නැති පිඹුරු නැමති සර්ප කෙනෙක් ඇත. ඔවුහු මහත් බල ඇත්තාහ.ඔවුන් තමා සමීපයට ආ මිනිසකු හෝ මුවකු හෝ දරණවැලින් වෙළා තම වසගයට ගනී. හිසෙහි කළු වූ අවුල්ලොම් සළා ඇති වලස් නම් අන්‍ය වූ ද දුක් එළවන සිවුපා කෙනෙක් ඇත. ඔවුන් විසින් දක්නා ලද පුරුෂයා ගසට නැග නොමිදෙයි. මෙහි සෝතුම්බර ගන්තෙරෙහි තියුණු අන් ඇති අන් ගටමින් පහරදෙන කුලුමීමෝ හැසිරෙති. වනයෙහි හැසිරෙන මුවරැල ගවරැල දැක වස්සා කෙරෙහි ලොල් වූ දෙනක මෙන් මද්‍රි කුමක් කරනනිද?  මද්‍රි දේවිනි රුක්මත පනින විරූපී වූ වදුරන් දැක වනමග නොදන්නා තොපට මහත් භයක් වන්නේය. යම්බදු තොපි පෙර සිවල්දෙනකගේ හඩ අසා පුන පුනා තැති ගත්තේය.ඒ තොපි වංකගිරියට ගොස් කුමක් කරන්නද? මධ්‍යහේන වේලෙහි පක්‍ෂීන් නිහඩව සිටිකල්හි මහවනය නාද කරන්නාක් වැනිය. එහි කුමට කැමැත්තෙන් යන්නේද?

 මද්‍රී දේවිය ද වෙසතුරු කුමරු හා සමග වනගත වන බවට ප්‍රතිඥා දීම. 

පියරජතුමා විසින් ඉතාමත් සංවේදී ජනකව ඇගෙහි ලොමුදහගන්වන කරුණු සහ  ඔවදන් අසා සිටි සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය රජුහට මෙසේ කියන්නට වුනා.

“වනයෙහි යම් ප්‍රතිභය කෙනෙකුන් මට කීයෙහිද ඒ හැම ඉවසන්නෙමි. උතුමාණෙනි යන්නෙමි. කෘෂ තණය පෝටකීල තෘණය සැවන්දරා මෘදු තෘණය බබුස් තෘණය යන මේවා උරයෙන් දෙපසට කර බැහැර කරන්නෙමි. මේ වෙසතුරු රජු විසින් දුකසේ ගෙනයන්නක් නොවන්නෙමි. කුමාරි තොමෝ බොහෝ වෘත චර්යාවන්ගෙන් පසු ස්වාමියකු ලබා ගනී. ඒ  ගව හනුයෙන් උකුළුතලය තැලීමෙන්ද උදරය වෙලීමෙන්ද ගිණි පිදීමෙන්ද දියෙහි කිමිදීමෙන්ද යන මෙයිනි. ලොව වැන්දඹු බව අමිහිරිය. හිමියා සමග යන්නෙමි.

පියරජු සහ මවුතුමිය විසින් මෙලෙස වෙසතුරු රජ සමග යන ගමන කොපමණ අවදානම්ද යන කාරණය මද්‍රී බිසවට අවබෝධ කරවන්නට හැදුවත් ඒ බෝසත් බිරිඳ ඒ කිසිවක් පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් ගණන් ගත්තේ නැත්තේ සංසාරයේ කල්ප ගණනක්ම මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී ලබා ඇති අත්දැකීම් නිසාම වෙන්න ඇති. තවත් එක් ආත්මභාවයක වර්තමාන යසෝදරාව මද්‍රි දේවිය වී බුද්ධත්වය සඳහා පාරමීදම් පිරිම සඳහා  උදවු වීමට ඇයද අනේක වූ රජසැප අතහැරියා. අවසානයේ පියරජතුමා සහ දේවියට නිහඬ වී සුසුම් හෙලීම හැරෙන්නට වෙන කළහැකි විකල්පයක් තිබුණේම නැහැ. ඒ දෙදෙන  බුදු වූ ආත්මභාවයේ දෙමාපියන් වූ ශුද්ධෝදන රජු සහ මහමායා දේවියමයි.

අපේ බුදුහාමුදුරුවෝ 121

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 16

බෝධිසත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ සහ මසක පුරා යායුතු ගමන්මග  දිනකට කෙටි කල දෙවිවරු.

මග දෙපස හමුවන මිනිසුන් දුක්වී හඬා වැටීම. 

මිට ඉහත ලිපියේ කී පරිදිම කුමරා සහ කුමරිය විසින් දරුවන් දෙදෙනා උකුලමත තබාගෙන තෙරක් නැති මහා වනය තුලින් ඉදිරියටම ගමන්කලා.

ඔවුන් ඉදිරි මාර්ගයෙහි හමුවන  මිනිසුන් දැක වංකගිරිය කොහේදැයි අසනා සෑම විටකම තව දුරයි තව දුරයි යනුවෙන් මිනිසුන් පවසන්නට වුණා. අනුමග ද පෙරමග ද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නේනම් වංකගිරිය කොහිදැයි ඔවුන් වෙතින්ද මාර්ගය විමසනු ලැබුවා. ඒ මිනිසුන්ද ඔවුන් යන දුර දැක වංකගිරිය දුරයි කියා ශෝකයෙන් හඬන්නට වුණා. 

බෝධිසත්ත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ.

ඒ යන මහා අතර තවත් පුදුමයක් වුණා. මග දෙපස සියලු ගස් බෝධිසත්ත්වයන් වහන්සේගේ ආනුභාවට පලබරවෙලා. ඒ  පලබරින් යුත් ගස් දැක දරුවෝ කෑ ගසමින් හඬන්නට වුණේ වෙහෙසත් බඩගින්නත් නිසා.  හරිම පුදුමයි. බෝධිසත්ත්වයන් වහන්සේගේ ආනුභාවයෙන් පලබර වූ ගස් නැමී ඔවුන් අත් ලගට එන්නට වුණා. රජයුවල එයින් මනාව පැසුනු ගෙඩි කඩාගෙන ඔවුන්ට දුන්නා. මෙම අසිරිය දැක මද්‍රි දේවිය පුදුමයෙන් පුදුමයට පත්වුණා. එය බුදුරජුන් මෙලෙස දේශනා කළා.

“ඉදින් දරුවෝ මහවනයෙහි පලගත් ගස් දකිත් ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස හඩයි. වැළපෙන දරුවන් දැක කම්පා වූ මියුරු පලයෙන් යුතු මහා වෘක්‍ෂයෝ තුමු නැමී දරුවන් ට සමීප වෙති.”

 සියළු අගපසගින් හොබිනා මද්‍රි දේවිය නොවූවිරූ ලොමුදහගන්වන මේ පුදුමය දැක “වෙසතුරු රජුගේ තෙදින් වෘක්‍ෂයෝ තමන්ම නැමුනාහ. මේ වූ කලී ලෝකයේ අපුර්ව වූ ලොමුදහ ගන්වන අසිරියක්ම විය”  යනුවෙන් උදම්අන්නට වුණා.

මසක පුරා යායුතු ගමන්මග  දිනකට කෙටි කල දෙවිවරු.

ජයතුරා නගරයෙන් රුවන්ගිරිතල පර්වතයට දුර යොදුන් පහක්. එතැන සිට කොන්නිමාර නම් වූ නදියට තව යොදුන් පහක්. එතැන් සිට  ආරඤඡරගිරි පර්වතයට යොදුන් පහක්. එයින් දුනනිවිටඨ බ්‍රහ්මණ ගමට පස්යොදුනක්. මෙලෙස  ඒ මාර්ගය කි නොකී නගර සමග ජයතුරා නගරයේ සිට තිස්යොදුනකි. ඒ කියන්නේ අවම වශයෙන් මසක විතර ගමනක්. තවත් පුදුමයක්. දෙවියන් විසින් ඒ දීර්ග ගමන කෙටි කරනු ලැබුවා. දෙවියන් විසින් මාර්ගය හකුලනු ලැබුවා. එබැවින් ඒ දීර්ඝ වූ ගමන එක් දිනකින් නිමා කොට ඔවුන්  මාතුල නගරය වෙත පැමිණිය. දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මග හැකිලු නිසා  නික්මුණු දවසේම චේතිය රටට පැමිණියා. ඒ කියන්නේ ජයතුරා නගරයෙන් උදේ ආහාර වෙලාවේ නික්ම සවස්භාගයේ චේතිය රටේ මාතුල නගරයට පැමිණියා. හැම සිදුවීමක්ම හරිම පුදුමයි ආශ්චර්යයි.

රජවරු සහ කුමාරවරු  හැට දහසක් බෝධිසත්වයන් වහන්සේ වෙතට හඬාවැටෙමින් පැමිණීම.

ඔවුන් ඒ දීර්ඝ ගමන නිමාකොට සමෘද්ධ වූ විපුල වූ බොහෝ වූ මස් රස සහිත ආහාර ඇති ජනපදවලින් යුත් චේතිය රටට පැමිණියහ. චේතිය රටේ කාන්තාවෝ ස්ත්‍රී ලක්‍ෂණයෙන් පරිපුර්ණ මද්‍රි දේවිය දැක මහත් පුදුමයෙන් පිරිවරා ගත්තා.

 “මේ බිසෝ ඉතා සියුමැලිය. එසේ නමුත් පා ගමනින් යයි. මේ බිසෝ පෙර දවස හිදොඵවෙන්ද රන්සිවි ගෙයින්ද ඇවිද ගිය ඒ මද්‍රි දේවිය අද වනයේ පා ගමනින්ම යයි.”

මහජනයා ඒ මද්‍රි දේවියද වෙස්සන්තර රජ ද දරුවන්ද අනාථයන් ලෙස පැමිණ ඇති බව දැක ගොස් රජුට සැලකළහ. හැටදහසක් රජවරු හඩා වැළපෙමින් මහාබෝධිසත්වයන් වහන්සේ ලගට පැමිණියා.

 

අපේ බුදුහාමුදුරුවෝ 122

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 17

අසල රාජ්‍යන්හි රජවරු පරිත්‍යාග කල රජකම පවා  අත්හල වෙස්සන්තර කුමරු.

මීට පෙර කී ලෙස හැටදහසක් වූ රජවරුන් ඇතුළු පිරිස වෙස්සන්තර ඇතුළු රජ පවුල අනාථව පැමිණි බව අසා මහත් වූ දුකෙන් පැමිණ විවිධ ප්‍රශ්න අසන්නට පටන්ගත්තා.

” දේවයිනි !කිම නිරෝගී ද? දුකක් නැද්ද? කිම  තොපගේ පියමහරජ නිරෝගීද? සිවිරට වැසියන්ට දුක් නැද්ද? මහරජතුමනි ! ඔබගේ සේනාව කොහිද? කිම සතුරන් විසින් යටත්කරන ලද ද? අසුන් නැතිව රිය නැතිව මෙරටට පැමිණියාහුද? ඉක්බිති ඒ රජවරුන්ට මහාබෝධිසත්ත්වයන් වහන්සේ තමන් පැමිණි කාරණය පැහැදිලි කරන්නට මෙලෙස කිවා.

රටින් නෙරපුබව කියා සත්‍ය ප්‍රකාශ කල වෙසතුරු කුමරු.

“සබදිනි, මට රෝගයක් නැත. මට දුක් නැත. මාගේ පියමහරජ නිරෝගීවෙයි. සිවිරට වැසියනටද දුකක් නැත. යම්හෙයකින් මම රියහිස් බදු දළ ඇති, බර උසුලන, සියලු යුද්ධ වලදී නියම භූමිය හදුනන, සම්පුර්ණ ශ්වේතවර්ණ වූ හැම ඇතුනටම උතුම් වූ ඇතු දන් දුන්නෙමි. රත්පලසකින් වසන ලද මද වැහෙන සතුරන් මඩිනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාසය මෙන් සුදු වූ සේසත් සහිත වූ බුමුතුරුණු, උඩුවියන්, ජවනිකා සහිත ඇත්වෙදුන් හා ඇත්ගොව්වන් සහිත වූ රජුව උසුලන අග්‍රයානය වූ අපගේ හස්තියානය බමුණන්ට මම දුනිම්ද ඒ කාරණයෙහිලා සිවිරට වැසියෝ මට කිපියහ. මා පියරජුද කෝප වූ සිත් ඇත්තේ මා රටින් නෙරපීය. එබැවින් වංකගිරියට යමි.”

මිත්‍රවරුනි, අපහට වනයේ විසීමට සුදුසු පෙදෙසක් දැන කියව.

එය ඇසු රජවරු මෙලෙස කියන්නට වුණා.

රජකම භාරගන්නා ලෙස ආරාධනය කල චේතිය රටවැසියන්.

මහරජුනි, ඔබගේ පැමිණීම අපහට  මැනවි , තවද ඔබ නිදොස්ය.  මෙලෙස පැමිණි ඔබ  අපට ඉසුරු වන්න. ඔබහට තොප රිසි යමක්  ඇත්නම් කියන්න,  මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුකයකු බැවින් පලා ද, නෙලඹල ද, මී ද, මස් ද, පිරිසිදු හැල්බත් ද, වලදන්න. අපි සියල්ල පිළියෙළ කර දෙන්නෙමු. රට වඩන මහරජුනි, ඉදින් ඔබව එරට රටවැසියන්ට එපාවීනම් චේතිය රටවැසියන් විසින් පිරිවරන ලදුව මෙහිම රජකම් කරන්න. දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණේ ය, සමෘද්ධ ය, විශාල ය, මේ රජයට අනුශාසනා කරන්නට අදහස් කරත්වා යයි කීය.

එවිට මහාබෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන්ව අස්වසමින් මෙලෙස පිළිතුරු දුන්නා.

රටින් නෙරපන ලද මට රාජ්‍යානුශාසනාවට කැමැත්තෙක් හෝ බුද්ධියක් නැත. කරුණාවෙන් මාගේ බස් අසන්න. යම් හෙයිකින් රටින් නෙරපන ලද වෙසතුරු හට චේතිය රටේ වැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හයි සිවිහුද බලකාය ද නියම්ගම් වැසියෝද යන යම්කෙනෙක් දැනගත්තා වෙත්ද ඔවුහු සැමදෙන නොසතුටු වනවා ස්ථිරයි. ඒ විතරක් නෙවෙයි. මා නිසා ඔබ රාජ්‍යයන් අතර අසමගිය ද නිරතුරුව වන්නේය. ඒ නිසාම එකිනෙකා අතර කලහවිවාද ඇතිවීමද වැළක්විය නොහැකියි.  එවැනි සිවි වැසියන්ගේ කලහයද විග්‍රහයද මට රුචි නෙවෙයි. තවද එම නිසාම කර්කශ කලහයද පහරදීමට නොමදව සිදු වන්නේය. එසේ ඇතිකල්හි එකල මා නිසා බොහෝදෙනා නැසෙන්නේය.   හැමදෙනා විසින් සම්මාදන් වී කරන ලද යමක් ඇද්ද තෙලහැම තොප විසින් දෙන ලදමැ මා විසිනුදු පිළිගන්නා ලදම වේවා. පියමහරජ මා නෙරපීය. එහෙයින් මම වංකගිරියට යමි. සබදිනි, වනෙහි යම්තැනක් වසමෝද එහි අපට නිසි පෙදෙසක් කියනු.

මෙසේ ඒ රජවරුන් මහා බෝධිසත්ත්වයන් වහන්සේ වෙතින් නොයෙක් අයුරින් රාජ්‍යය භාරගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එයට  කැමැති වුණේ නැහැ. ඊටපස්සේ  ඔහුට ඒ රජවරු බොහෝ සත්කාර කරන්නට වුණා. මේ සියලු කතාබහ සිදු වුණේ ප්‍රධාන නගරයෙන්  පිටත ශාලාවක් තුලයි. ඊට හේතු වුණේ  මහා බෝධිසත්ත්වයන් වහන්සේ නගරයට පිවිසෙන්ට අකමැති වූ නිසාවෙන්. එනිසා රජ යුවල සිටි ඒ ශාලාව අලංකාරකොට තිරයකින් වටකොට මහා ආසනයක් සුදානම් කර ආරක්ෂාවද  යොදා සියල්ලෝම පිරිවරා ගත්තා. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ එක්දිනක් එක් රාත්‍රියක් ඔවුන් විසින් ආරක්ෂා කරන ශාලාවේ වාසයකොට ඔවුන්ගේත් සිත නොරිදවා පසුදා උදෑසනම යන්න තීරණය කළා.

රාජකීය බෝජන සංග්‍රහය

පසුදා උදෑසන රාජකීය භෝජන සංග්‍රහයක් ඔවුන් විසින් රජකෙනෙකුට සුදුසු අයුරින් සකසා තිබුණා. නොයෙක් අග්‍ර රසයෙන් පිරිපුන් භෝජන අනුභවකොට ඒ රජවරුන් විසින් පිරිවරමින්ම ඔහු  ශාලාවෙන් නික්ම ගියා. හැටදහසක් පමණ ක්ෂත්‍රියෝ ඔහු සමග පසළොස් යොදුන් මාර්ගය ආසන්නයට පැමිණුනා. පැමිණ ඒ භාග්‍යවන්ත ලොව දුකෙන් මුදවාලීම උදෙසා සියල්ල අතහැර අසීරු ගමනක් යන සියුමැලි පිවිතුරු රජ පවුලට වාසය කිරීමට සුදුසුම වනගත පෙදෙස පිළිබඳව මෙලෙස විස්තර කරනු ලැබුවා. 

“එම පුදන ලද ගිනි ඇති එකග සිත් ඇති රාජර්ෂිහු යම්තැනක සන්සිදෙත් ද එයට යන භාරිය දක්ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට අපි කියම්හ. මහරජුනි, තොපි දරුවන් හා භාර්යාව සමග යම්තැනක වාසය කරන්නාහු නම් එයට නිසි  පර්වතය ගන්ධමාදන නම් වේ. කදුළු පිරුණු නෙත් ඇති වැලපෙන මුහුණු ඇති චේතිය රටේ රජු වෙස්සන්තර රජුට අනුශාසනා කළහ. මහරජුනි ,මේ මගින් ඍජුව උතුරු දිග බලා යව.තොපට යහපතක්ම වේවා.”

ඉන්පසු වෙසතුරු රජ ඇතුළු ඒ කුඩා පවුල කිසිදිනක නොගිය මහා වනපෙත අතරින් ඉදිරියටම පියවර තැබුවේ ඔබ අප වෙනුවෙන්මයි.

අපේ බුදුහාමුදුරුවෝ 123

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 18

වෙසතුරු කුමරු හිමවතෙහි මුචලින්ද පොකුණ වෙතට පැමිණි මගෙහි අසිරිය.

ඒ රාජකීය පිරිස ඇතුළු මහජනයාගෙන් සමුගත් වෙසතුරු යුවළ ඇතුළු දරුවන් සෙමින් සෙමින් ඒ වංකගිරියට යන වන පියසේ ඉදිරියට පියනගන්නට වුණා. ඔවුන් පසුපස පැමිණි පිරිස තවමත් මග ඈතින්  බලා සිටිනවා. කෙමින් කෙමින් ඔවුන් නොපෙනී යද්දී ඒ අහිංසක සිත්වලට කොතරම් අවිනිශ්චිත බවක් දැනෙන්නට ඇද්ද? එහෙත් අප මහා බෝසතාණන් වහන්සේටනම් එලෙස නොදැනෙන්නට ඇති කියලා මට හිතෙනවා. මක්නිසාද මීට ඉහත ආත්මභාව වල මෙම හිමවතෙහිම උන්වහන්සේ අනන්ත අප්‍රමාණවාරයක් පාරමී වැඩුව නිසා. ඒ මහා වනපියස ගැන හොඳින් දත් වනචරිකයන් මගින් ලබාගත් තොරතුරු අනුව ගන්ධමාන පර්වතය අසල ඇති මුචලින්ද විල අසලට යන මාර්ගය දෙසට යන පසළොස් යොදුනක් වූ මාර්ගය ගැන පැහැදිලි කිරීම මද්‍රි දේවිය වූ වර්තමාන යසෝදරාව මෙනෙහිකරන්නට වුයේ ඒ මහාවීරයාණන් හට සංසාරයේ සුපුරුදු ලෙසින්ම සහාය වීමටය.

මද්‍රි දේවිය මග සලකුණු මෙනෙහි කරන්නට වුණා.  

ඔබලා මෙම වනපෙතේ ඉදිරියට යන්න. යම් දුරක් යනවිට නොයෙක් වෘක්ෂ සමුහයෙන් ගැවසීගත් මනහර සිහිල් සෙවණ ඇති විපුල නම් මහා ගලකින් සැදි පර්වතය මුණගැසේවි. ඒ ගල් පර්වතය ඉක්ම යනවිට යලිත් පොකුලොම් මසුන් ගැවසීගත් අති සුන්දර බොහෝ දිය ඇති ගැඹුරු වූ,  විපුල ගල් පර්වතයෙන් ගලා පැමිණෙන කේතුමතී නම් මහ ඔයක් දක්නට ලැබේවි. ඒ තමයි මෙම වෙහෙසකර ගමනේ විඩා හැරීමට සුදුසුම ස්ථානය.  එහි ඇති තරම් ස්නානය කරන්න. පිරිසිදු පැන් පානය කරන්න. එහි කිසිම අනතුරක් නැහැ. ඉන්පසුව දරුවන් ඇති පමණ සතුටුකොට, නැවත ගමන අරඹන්න. පින්වතාණෙනි , එය පසුකොට තවත් ඉදිරියට යනවිට අති රමණිය වූ කදු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරපල ඇති නුගරුකක් දක්නට ලැබේවි.  පින්වතාණෙනි , එය පසුකොට යනවිට නොයෙක් ළිහිණි ගණයා විසින් ගැවසීගත් කිදුරන් ගහන වූ නාලික නම් වූ ශෛල පර්වතය දකින්නට ලැබේවි.  ඒ නාලික පර්වතයට ඊසාන දිගින් හෙළපියුමින්ද හෙල්මැලි කල්හාරයෙන්ද ගැවසීගත් විලක් ඇත. ඒ විල හඳුන්වන්නේ “මුචලින්ද” යන නමින්. ඒ විල අසල  නීල වලාකුළක් බදු නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින්ද පලරුකින්ද යන දෙකින්ම  ගැවසීගත් අතිරමණිය වනලැහැබක් ඇත.  ගොදුරු කැමති සිංහයෙකු මෙන් එම සුන්දර වන ලැහැබට පිවිසෙන්න. එහි ඒකරාශිව පවත්නා හඩ ඇති මියුරු රාවයන් ඇති නන්පැහැ නන් කුළු ඇති බොහෝ සියොත්හු ඍතු සමයෙහි නොයෙක් පුෂ්පයන් පිපි රුක්හි හිද කුජනය කරන්නවුන්ට අනුව කුජනය කරයි. ඒ භුමිය තමයි ඔබගේ අසපුව තනන්නට සුදුසුම ස්ථානය.

මේ සියල්ල ආවර්ජනය කරමින් ඔවුන් සතර දෙනා ඉදිරියටම පියමැන්නා. හැබැයි මුචලින්ද පොකුණ දෙසට යන පසළොස් යොදුන් මාර්ගය  කියා දී ඔවුන්ව පිටත්කර යවා ඒ සත්පුරුෂ රජවරු නිකන්ම හිටියේ නැහැ. වෙසතුරු රජුට යම් අනතුරක් බියක්  ඇතිකිරීම පිණිස කිසියම් හෝ සතුරකු හෝ පාපතරයෙකු එහි යාමට ඇති අවස්ථාව වළක්වාලීම සඳහා එක් දක්ෂ කුලී  හේවායකු ඒ මග යන එන්නවුන්  පරික්ෂා කිරීමට ඒ පෙදෙසට ඇතුළුවන දොරටුව දෙසට යවනු ලැබුවා. එලෙස එම කුලී හේවායව වනයට ඇතුළුවන තැන ආරක්ෂාව සදහා තබා ඔවුන් සැම දෙන තමන්ගේ නුවරටම ආපසු ගියා.

වෙස්සන්තර රජුද දරුවන් සහ බිරිද සහිතව ඒ කියූ අයුරින්ම නිරුපද්දිතව ගන්ධ මාන පර්වතයට  පැමිණියා.  ඉන්පසු එදින එහි ගතකොට පසුදින උතුරුදිසාවට අභිමුව විපුල පර්වත පාදය වෙතට  පියමැන්නා. ඉන්පසු එහි පිහිටි කේතුමතී නම් ගංඉවුරේ සිට වනයෙහි හැසිරෙන්නන් විසින් දෙනලද මී පැණි හා මස් කා ඔවුන්හට රන්කුරක් දී නා පැන් පානයකොට සංසිදුන වෙහෙස ඇතිව එම නදියෙන් එතෙරව පර්වත ශිඛරයෙහි පිහිටි නිග්‍රෝධ රුකමුල වෙතට පැමිණියා. ඉන්පසු එහිද  ටිකවෙලාවක් ගතකොට නුගපල අනුභවකොට වෙහෙස නිවීමෙන් පසු අසුනින් නැගිට  නාලිකා නම් වූ පර්වතයට දෙසට යන්නට වුණා. එහි ළගා වූවායින් පසුව එහිද  අසිරිය විඳ එයද පසුකොට  මුචලින්ද විල්තෙර කොනට පැමිණ එහි ඇති අඩිපාරකින් වනරොදට පිවිස එය පසුකොට ගිරි දුර්ග,නදී දුර්ග ,පර්වත දුර්ගයන්ගේ ඉදිරියේ පිහිටි ඒ සතරැස් පොකුණ ලගට පැමිණියා.

ඔබ හොද කෙනෙකුනම් ඔබව දෙවියොත් රකිනවා කියන්නේ නිකම්ම නෙවෙයි. ඒ මොහොතේ ශක්‍ර දේවේන්ද්‍රයා පවා අප මහා බෝසතාණන් වහන්සේගේ ගමන පිළිබඳව අවදානයෙන් සිටියේ. එවිට උන්වහන්සේ දැක්කා අප මහාබෝධිසත්ත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබව. දැන්  වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බව සිතා වහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැදවා දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් වෙසතුරු කුමරු සඳහා  මවා එවයි අණකරනු ලැබුවා. ඒ සැණෙකින්ම විශ්වකර්ම දිව්‍යපුත්‍රයන් වහන්සේ එහි පෙනීසිටියා.

අපේ බුදුහාමුදුරුවෝ 124

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 19

සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව

වෙසතුරු කුමරු මුචලින්ද විළ අසලට පැමිණීම 

මම ඔබ හට මිට පෙරද කී සක් දෙවිඳු බෝධිසත්ත්වයන් වහන්සේට නිරතුරුවම ආරක්ෂාව රැකවරණය ලබා දුන්නා පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පවා ඒ ඒ අවස්ථාවල ඒ ඒ ආත්මභවයන්හි ලබා දුන්නා.  ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඔහු කෝටි සංඛ්‍යාත දෙවු මිනිසුන් මෙම සසරින් එගොඩකරන  මතු බුදුවරයෙකු නිසා. ඒක හරියට විශ්වය තුලින්ම උන්වහන්සේට උන් වහන්සේගේ නිලයට නිල වශයෙන් ලැබූ වගකීමක් වගේමයි. එදත් ඒ වගේම තියෙන්නට ඇති. රමණීය හිමවත පාමුල මුචලින්ද විල තිබු තැනි තලාව ආසන්නයට  අප මහා බෝසතාණෝ නොහොත් වෙසතුරු කුමරු පැමිණියේ දරු පවුලත් සමග හිස් අතින්.  සුඛෝපභෝගී රජ මාළිගාවක සිටි එම කුමර කුමරියන් ගස් ගල් යට කෙසේ ජිවත් වන්නද?

සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව

ඒ මොහොතෙහි ශක්‍ර දේවේන්ද්‍රයා ආවර්ජනා කර බලමින්  ඒ කාරණය දැනගෙන මහාබෝධිසත්ත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබවත් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බවත් සිතා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවනු ලැබුවා.  “දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් මවා එවයි”  ඔහුට අණ කරනු ලැබුවා. ඒ කියූ සැණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එම භුමියේ පෙනී සිටියා. ඉන් අනතුරුව අඹු සැමියන් වෙනුවෙන්  පන්සල් දෙකක් සක්මන්මළු දෙකක් රාත්‍රීස්ථාන, සහ දිවස්ථාන මවනු ලැබුවා. ඉන් පස්සේ සක්මන් මළුවේ කෙළවර ඒ ඒ තැන්වල නොයෙක් මල්ගස් ද කෙසෙල් වනයක් ද මවනු ලැබුවා. එලෙස සියල්ල යුගල වශයෙන් මැවුවේ ඇයිද යන්න ඔබට පසුව වැටහේවි.  ඒ සියල්ල එසේ සිදුකර සියලු පැවිදි පිරිකරද  සපයා දී “යම් කෙනෙක් පැවිදිවෙනු කැමැත්තේ ද මෙය ගනීවායි” අකුරු ලියා එම අසපුවට ඇතුළුවන දොරටුව මත එල්වා තැබුවේ පැමිණි සැණින් බෝසතාණන් වහන්සේට එය දැක ගැනීමටයි. ඒ සියල්ල අවසන් කර තවත් අත්‍යාවශ්‍ය කාර්යයක් ඉටුකලා. ඒය දෙවිකෙනෙකුට හැර අපහට කල නොහැක්කක්. එනම්  අමනුෂ්‍යන් ද   බියජනක ශබ්දයන් ද  රවුද්‍ර මෘගයන් ද  පක්ෂීන් ද  ඉවත්කරවා එම ස්ථානය තුල ඔවුන්හට සුරක්‍ෂිතව විසිය හැකි  පරිසරයක් නිර්මාණය කිරීමයි. එම සියලු කටයුතු නිම කල විශ්වකර්ම දෙවිදුන් ඒ වෙත පැමිණීමට අඩිපාරක්ද මවා එතැනින් අතුරුදන් වුණා.

වෙස්සන්තර කුමරු හා මද්‍රී බිසව ඇතුළු දරුවන් තවුස් වෙස් ගැනීම.

බෝධිසත්ත්වයන් වහන්සේ ද ඒ අඩිපාර දැක පැවිද්දන්  වාසයකරන තැනක් වන්නේයැයි  සිතා මද්‍රි දේවිය ද දරුවන් දෙදෙනා ද අසපුව අසල  තබා දොරටුව අසලට පැමිණ එහි වූ දැන්වීම  බලා ශක්‍රයා විසින් තමා වෙනුවෙන් මවන ලද්දක් යැයි දැනගෙන පන්සල් දොර විවෘත කර ඒ තුලට  පිවිස කඩුව ද දුන්න ද ඉවත්කර සළු ගලවා තවුස් වෙස් ගෙන හැරමිටිය රැගෙන පන්සලෙන් නික්ම සක්මනට නැග ඒමේ අත ඇවිද පසේ බුදුකෙනෙකුන්ට සමාන සංයමයකින් දරුවන් හා බිරිද සමීපයට ගියා. මද්‍රි දේවිය එදාද වර්තමානයේ යසෝධරා වගේම මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ පාලග වැටී හඩා ඔහු සමග අසපුවට පිවිස තමන්ගේ පන්සලට ගොස් තවුස් වෙස් ගත්තා. පසුව දරුවන්වද තාපස කුමාරවරුන් කළා. මෙලෙස මෙම  ක්‍ෂත්‍රියෝ සතරදෙනා  වංකගිරි පර්වතයෙහි වාසය කළා.

මද්‍රී බිසව වෙසතුරු කුමරුගෙන් ඉල්ලු වරය.

බලන්න ආදරණිය බිරිඳකගේ ලක්ෂණ.  මද්‍රි දේවිය මහා බෝධිසත්ත්වයන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලනු ලැබුවා. එය ඉතාමත් අහිංසක ඉල්ලීමක්.

“ස්වාමිනි, ඔබවහන්සේ මින් ඉදිරියට පළාපල සොයා නොගොස් අවුත් දරුවන් සමග මෙහිම සිටින්න. මම පළාපල ගෙන එන්නෙමි.”

 එතැන් පටන් ඇය වනයෙන් පළාපල ගෙනවුත් තුන්දෙනාව පෝෂණය කරන්නට වුණා.

වෙසතුරු කුමරු මද්‍රී දේවියගෙන් ඉල්ලු වරය

ඒ එක්කම මහා බෝධිසත්වයන් වහන්සේත්  ඇගෙන් වරයක් ඉල්ලුවා. “මද්‍රීය අපි මෙතැන් පටන් පැවිද්දෝ වෙමු. ස්ත්‍රිය වනාහි බ්‍රහ්මචරියාවට කිලුටයි. මෙතැන් පටන් ඔබ නුසුදුසු වේලාවෙහි මා සමීපයට නොඑන්න. ඕ තොමෝ යහපතැයි පිළිගත්තා. හැමදාම වගේම එදත් ඇය උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙවෙයි ලොව්තුරා බුද්ධත්වය වෙනුවෙනුත්,  අප වෙනුවෙනුත්  රති සැප අත්හළේ ඉතාමත් තරුණ වයසේදී.  මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ මෛත්‍රී අනුභාවයෙන් හාත්පසින් යොදුන් තුනක් තුළ විසු  සියළු තිරිසන්ගත සත්ත්වයෝ පවා ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රීය සහගත සිත් ඇත්තෝ වුවා.   මද්‍රි දේවියද උදෑසනම පිබිද පරිහරණයට අවශ්‍ය පැන්ද සුදානම් කර තබා මුවදෝනා පැන් ද ගෙනවුත් දැහැටි දඩු දී අසපුව ඇමද  දරුවන් දෙදෙනාව පියා සමීපයේ රදවා පැස බිම කණින යකඩයත්, කෙක්කත් ගත් අත් ඇතිව වනයට පිවිසුණා.  ඉන්පසුව වනමුල් පළාපල ද රැගෙනවුත් පැස පුරවා සවස් වෙලාවේ අවුත් පන්සලෙහි පළාපල තබා දියනා දරුවන් දිය නැහැවීම කරවා රාත්‍රී ආහාරය පිළියල කරනු ලැබුවා. ඒ සියල්ල අවසානයේ  ඔවුන්  සතරදෙනාම   පන්සල දොරටුවේ අභියස සිට පළාපල අනුභව කරනු ලබනවා.  ඒ සියල්ල අවසානයේ  මද්‍රි දේවිය පොරොන්දු වූ පරිදී දරුවන් දෙදෙනාද  රැගෙන තමන්ගේ පන්සලට නික්ම යනවා. මෙය තමයි දවසේ දින චරියාව වුණේ. මේ අයුරින් අසපුව තුල  සත්මසක් ජීවිතය සතුටින් සෙමින් ගතකලා. වනයට පිවිසීමේ කොටස නිමි.

අපේ බුදුහාමුදුරුවෝ 125

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 20

කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

වෙසතුරු රජ ඇතුළු පවිලේ සියලු දෙන තපස් පැවිද්දෙන් පැවිදිව එලෙස බ්‍රහ්මචාරී ජිවිතයක් ගත කරද්දී තවත් පදෙසෙක ඔබ අප අසා ඇති තවත් අතීත වෘතාන්තයක්  මෙලෙස ආරම්භ වෙමින් පැවතුණ.

කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

ඒකාලයේ  කලිගු රටේ දුනනිවිටඨ නම් බ්‍රාහ්මණ ගමෙහි වැසියෙකු වූ  ජූජක නම් බ්‍රාහ්මණයෙක් සිගාකෑමෙන් ජීවත්වුණා. ඔහු සිගාකෑමෙන් ලැබූ කහවණු සියයක් ආරක්ෂාව පිණිස එක්තරා බ්‍රාහ්මණ ගෙදරක තබා නැවත මුදල් සෙවීම සදහා පිටත්වුණා. ඔහු ආපසු ඒමට කල්ගත වූ නිසා බ්‍රාහ්මණ ගෙදර අය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වලට පරිස්සමට තැබූ කහවණු වියදම් කරගත්තා.  පසුව මුදල්හිමියා අවුත් මුදල් නැති බව පිළිබදව චෝදනා කරද්දී මුදල් දීමට නොහැකි නිසා අමිත්තාතාප නම් තම දියණියව ඔහුට ඒ සඳහා හිලවු වීමට පාවාදුන්නා. ඔහු ඇයවත්  රැගෙන කලිගු රටේ දුනනිවිටඨ නම් ගමට ගොස් අලුත් දිවියක් ආරම්භ කළා.

ජූජක මහලු බමුණාගේ තරුණ බිරිඳට ගමේ අනෙකුත් ගැහැණුන් නින්දා පරිභව කිරීම.

ඇය අමිත්තාතාපාව බ්‍රාහ්මණයාට ඉතාමත් හොදින් සැළකුවා.  අනෙක් තරුණ බමුණෝ ඇගේ ආචාරශීලි බව දැක “මේ තැනැත්තිය මහළු බමුණකුට සත්කාර කරන්නීය.නුබලා අප කෙරෙහි කුමක් නිසා එසේ නොකරන්නාහුදැයි” තමන්ගේ බිරින්දන්ට තර්ජනය කරන්නට දොස් කියන්නට පටන්ගත්තා. එයින් කිපුණු ඒ  කාන්තාවෝ මේ අමිත්තාතාපාව ගමෙන් පැන්නිය යුතුයයි සිතා ගංතොට ආදී තැන්හිද රැස්වී ඇයට නින්දා කරන්නට පටන්ගත්තා. ඒ  කාන්තාවෝ දිය ගෙනෙන්නට ඔයට ගිය ඒ අමිත්තතාපාව පිරිවරාගෙන මෙසේ ඇනුම් පද කියන්නටත් පරිභව කරන්නටත් වුණා.

“මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ මව සැතිරියකයි සිතම්හ. තිගේ ඒ පියා සතුරෙකයි හගිම්හ.

මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හිද තිගේ ඒ නෑයෝ රහසිගත තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තීට දුෂ්කරයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුවිය ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හුද තීගේ ඒ නෑයෝ රහසිගතව තිට පව්කමක් මන්ත්‍රණය කළාහු වන.

මෙවන් තුරුණුබව ඇතිකල්හි යම්කෙනෙක් තීමේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ එකලා වැලිදු තිට අමනාපයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුබව ඇතිකල්හි නොමනා විසීමක් වසන්නෙහි යම්බදු තෝ මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද ඒ තිගේ ජිවිතයට වඩා මරණය උතුම්ය.

කල්‍යාණ වූ සොදුරිය, මෙවන් තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තිගේ මවුද ඒ තිගේ පියාද තිට අනික් සැමියකු නොලත්හයි සිතම්හ.

මෙවන් දහර බව ඇතිකල්හි තී යම්කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තී විසින් නවම් යාගය නපුරුකොට පුදන ලද වන තී විසින් ගිනිපුජා නොකරනලද්දේ විය.

මෙවන් තරුණ බවක් ඇතිකල්හි යම්බදු තොප මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද, ඊට හේතුව  තොප මිට පෙර ආත්මභවයන්හි ලෝකයේ බඹසරෙහි නියැලී සිල්වත් බොහෝ අසුපිරූ තැන් ඇති මහණ බමුණන්ට අක්‍රෝෂ කල නිසාවෙනි..

නයකු විසින් නසන ලද්දේ දුක් නොවෙයි. සැතින් පහරන ලද්දේ දුක් නොවෙයි.යම් ස්ත්‍රියක් මහළු සැමියකු දකීද හේ මැ දුක්ද තියුණු දුක්ද වෙයි.

මහළු සැමියා සමග ක්‍රීඩාවක් නැත. කාමරතියක් නැත. අල්ලාප සල්ලාපයක් නැත. සිනාවද නො හොබී. යම්කලෙක තරුණයාද තරුණියද දෙදෙන රහසිව හිද රහස් කියද්ද එසද ඔබලාගේ ළය ඇසුරුකළ යම්කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයන් නසිති.

තෝ ළදැරියෙහි රූමත්ය.පිරිමින් විසින් වෙසෙසින් පතන ලදුවහු නැගී යන්න.නෑයන්ගේ ගෙයි වසන්න.මහල්ලා කෙසේ නම් තී රමණය කරන්නේද ?

ඇය ඔවුන් ඉදිරියේ මෙලෙසින් අපහාස විද දියකළයද  ගෙන හඩමින් නිවස වෙත පැමිණියා. සොදුරිය අඩන්නේ ඇයිදැයි බමුණා විසින් විචාරණ ලද්දී ඔහුට ඒ බව දන්වමින් මෙලෙස හඬා වැටෙමින් කියන්නට වුණා.

” බමුණ තොප මහලු හෙයින් ගැහැණු මට නින්දා කරති. එහෙයින් බමුණ තොපට දිය ගෙනඒමට ගගට නොයමි.”

එවිට බමුණා ඇයව සනසමින් මෙලෙස කියන්නට වුණා.

“තොපි මින් පසු මට මෙහෙ නොකරව. මට දියගෙන ඒමද  නොකරන්න.  මම දිය ගෙනෙමි. ඔබ නොකිපෙන්න. “

හරිම පුදුමයි, මෙම කාන්තාව ගැන අප මිට පෙර අසා තිබුනේ මේ අයුරින් නෙවෙයි. නපුරු දුෂ්ඨ මහල්ලාගෙන් වැඩගත් වංක කතක් ලෙසයි. එත් ඒ සියල්ල මේ සටහන කියවන ඔබට බොරු යැයි වැටහේවි. ඇත්තෙන්ම තමාගේ ස්වාමිපුරුෂය වයෝවෘද්ධ මහල්ලෙක් වුවත් ඇය ඔහුට හැම යුතුකමක්ම ඉෂ්ඨ කලේ අවංක කීකරු බිරිඳක් ලෙසින්. එත් ඒ හැම දේම වෙනස් කලේ අපිරිසිදු සමාජය. අපට මෙම කතාව කියා දුන්නෙත් එවැනිම සමාජයක සත්‍ය වසාලමින්.

ගැහැණුන් ගේ අපවාද නිසා පොදු ස්ථාන වලට නොයාහැකි බැමිණිය ඒ සඳහා සේවකයන් ඉල්ලීම.

එම කාන්තාව කෙලෙසින්වත් ඔහුගෙන් වැඩ කරවගන්නට කැමති වුණේ නැහැ. ඇය විසින් සැළකුවේ එය ඇයට කරන මදිපුංචි කමක් ලෙස.  ඔහුගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කල ඇය මෙලෙස  කියන්නට වුණා.

යම්හෙයකින් ඔබ මා වෙනුවෙන් දිය ගෙනෙන්නේනම් මා හට බැල මෙහෙවරකම් කරයි නම් මම සැමියාගෙන් වැඩගන්නා  එවන් කුලෙයෙහි නුපන්මු. බමුණ, ඔබ එසේ කරනු ලැබුවහොත් මම ඔබගේ  ගෙයි නොවසන්නෙමි. එම නිසා මා හට බමුණ ඉදින්  දාසයකු හෝ දාසියක හෝ නොගන්නාහු නම් තොප කෙරෙහි නොවසන්නෙමි. යම් කුලයක ස්ත්‍රීන් ස්වාමියන්හට  වදකරත් ද මම එබදු කුලයක නුපන්නේ වෙමි. යම් හෙයකින් ඔබ ජලය ගෙනෙන්නේද මට එයින් වැඩක් නැත. බමුණ දැනගනුව, එසේ වුවහොත් මම ඔබට රුචිනොවන දෙයක් කරමි. එවිට ඔබ  දුක් වන්නේය. යම්කලෙක ඍතු සම්බන්ධයේදී පවත්නා සැණකෙළියේ ස්වර්ණාභරණයෙන් සැරසුණු මා අන් පිරිමින් හා රමණය කරන්නී දක්නහුද ඒ තොපට දුක්වන්නේය. මා  නොදැක්මෙන් හඩන්නාවූ මහළු තොපගේ කුදු බව බොහෝ වන්නේය. පැසුණු කෙහෙද බොහෝ වන්නේය.

එය අසා සිටි බමුණා බොහෝ අසරණ වුණා. ඔහු ඇයට මෙලෙස කිවා. 

 “බැමිණිය, මා සතු ශිල්පයක් හෝ ධනයක් නැත . මම කෙසේනම් තිට දාසයක් හෝ දාසියක් ගෙනෙන්නෙම් ද? මම තිට මෙහෙ කරමි. පින්වතිය, කෝප නොවන්න.”

වෙස්සන්තර රජුගේ දරුවන් මෙහෙකාර කමට ගෙනෙන්න යැයි ජූජක බමුණා පිටත්කර යැවීම.  

එහෙත් ඒ බසට  ඒ තරුණ ස්ත්‍රිය  කීකරු වුයේ නැහැ. ඇය මෙලෙස ඔහුට උපාය මාර්ගයක් කියාදුන්නා.

බ්‍රාහ්මණය, යම්සේ මා විසින් තෙපුලක් අසන ලදද එය මම ඔබට කියමි. සියල්ල දන් දෙන වෙසතුරු මහරජ, වංකගිරියේ වසයි. බමුණ ඔබ එහි ගොස් ඔහුගෙන් දාසයකු හෝ දැස්සක ඉල්ලව.  එවිට ඒ රජ තොපට දාසයකුද දාසියකද දෙන්නේය. වෙස්සන්තර සමීපයට ගොස් දාසයකු හෝ දාසියක නොගෙනෙන්නාහු නම් තොපට රුචිනොවන දෙයක් කරන්නෙමි. ඒ අසා බ්‍රාහ්මණය තව තවත් බිය විය.

අවසානයේ ඇයගේ තර්ජන බියවැද්දීම් සහ ආදරය හමුවේ ඒ මහලු බ්‍රාහ්මණය තව තවත්  බිය වුණා. ඉක්බිති ඒ බමුණා බියපත්ව බැමිණියගේ වයසට සහ  කාමරාගයෙන් පෙළෙන ලදුව බැමිණියට මේ කාරණය කීවා.

“බැමිණිය තෙපි සංකුල නම් වූ කැවිලි ද සකුරුනම්වූ කැවිලිද මනාව සෑදු අත්වටද අත්සුණු ද බත්මුලක් ද මට මග උපකරණ ලෙස දෙන්න.සමාන කුල ඇති කුමරුවන් දෙදෙනෙකු තොපට දාසයන් පිණිස ගෙනෙන්නෙහි ඔවුහු දිවාරාත්‍රී නොමැළිව තොපට මෙහෙ කරන්නාහ. ඇයද වහා මාර්ගෝපකරණ පිළියෙළ කරදී බ්‍රාහ්මණයාට දැන්වූවා. ඔහු යාමට පෙර ගෙයි දුබල තැන් ශක්තිමත් කර දොර අලුත්වැඩියා කර වනයෙන් දර ගෙනවුත් කළයෙන් පැන් ගෙනවුත් සියළු භාජන පුරවා එහිදීම තවුස් වෙස් ගෙන, සොදුර මෙතැන් සිට අකාලයෙහි ගෙයින් පිටතට නොයන්න. මා ආපසු එනතෙක් අප්‍රමාදී වන්නැයි අවවාද දී පාවහන් ගලවා මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව ප්‍රදක්ෂිණා කොට වැද කදුළින් පිරුණු දෙනෙතින් යුතුව ජයතුරා නුවරට දාසදාසියන් සොයමින්  පිටත්ව ගියා.

අපේ බුදුහාමුදුරුවෝ 126

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 21

ජූජක බමුණා දරුවන් ලබාගැනීමට වෙස්සන්තර රජ සොයමින් පිටත්වීම. 

මෙසේ මා ආපසු එනතෙක් පරිස්සම් වන්නැයි අවවාද දී මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව දෙසට හැරී අවසන් වතාවට ඇය දෙස බලා  කදුළින් පිරුණු දෙනෙතින් යුතුව වෙසතුරු රජු මීට පෙර විසූ ජයතුරා නුවරට දසිදාසියන් සොයමින්  ජූජක බමුණා පිටත්ව ගියා. ඔහු ඒ වනවිටත් දැන සිටියේ නැහැ රජතුමා සියල්ල අතහැර වනගත වී සිටිබව. ඒ කෙසේවෙතත් මේ සියල්ල මෙසේ සිදුවන්නේ දෙවිවරුන්ගේ මැදිහත් වීමෙන් බෝසතාණන් වහන්සේ හට අවසාන පාරමිතා පුර්ණය සඳහා බව අට්ඨ කතාවන්හි සඳහන් කාරණා අනුව මැනැවින් පැහැදිළි වෙනවා.

ජයතුර නගර වැසියන් ජූජක බමුණාට ගල් ගසා පැන්නීම.

ඔහු ජයතුරා නගරයට ගොස් රැස්ව සිටිය ජනයාගෙන් වෙස්සන්තර රජු කොහේදැයි විමසුවා. එවිට සිදුවුනේ ඔහු හීනෙකින්වත් නොසිතු දෙයක්. ඒ වනවිටත් වෙසතුරු රජුව අධික ලෙස දන්දීමේ හේතුවෙන් ඔහුගේ සියලු දේ ඉල්ලාගත් බමුණන් කෙරෙහි රටේ  සාමාන්‍ය මහජනතාව මහත් කෝපයකින් සිටියේ. එවිට වැසියෝ බමුණ, රජතෙම අඹුදරුවන් ගෙනගොස් වංකගිරියේ වාසය කරයි. තොපවිසින් අධික දානයෙන් පෙළන ලද රජ සියරටින් නෙරපන ලද්දේ වංකගිරිය පර්වතයේ වාසය කරයි. මෙසේ අපගේ රජතුමාව විනාශකොට නැවතද ආවාහු ඔහොම හිටු කියා”  ගල්මුගුරු ගස් අතැතිව  බමුණාව  ලුහුබඳින්නට වුණා. ඔහු දේවතාවන් විසින් මෙහෙය වූ නිසාම එයින් මිදී වංකගිරියට යන මාර්ගයට නිරුපද්‍රිතව පිවිසියා.

මහා වනයේ අතරමංවූ ජූජක බමුණා දඩයම් බල්ලන් විසින් වටකරනු ලැබීම.  

කාමයෙහි ගිජු වූ ඒ බමුණා බැමිණිය විසින් චෝදනා කරන ලද නිසා වනමුර්ගයන් ගැවසීගත් කඟවෙහෙනුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයක  වින්දයුතු යම් දුකක් ඇත්ද ඒ දුක විඳිමින් වෙසතුරු රජු සොයමින් ඉදිරියටම පියමැන්නා.  මෙලෙස ඒ බමුණා බේලුව සැරයටියද ගිණිපුදන කෙනෙස්සද කමඩලාවද ගෙන  වෙසතුරු රජ වෙසෙතැයි අසා දැනගත් ඒ මහා ආරණ්‍යට ද පිවිසියා. එහෙත් ඒ වනවිටත් මිට ඉහත කි පරිදී මිත්‍ර රජවරුන් විසින් වෙසතුරු රජුගේ ආරක්ෂාව පිණිස ඔහුටත් හොරෙන් ඉතා පළපුරුදු දක්ෂ විශ්වාසවන්ත කුලී හේවායෙක් යොදවා තිබුණ.  ඔහු හිටියේ දඩයම් බල්ලෝ රෑනක් පිරිවරාගෙන. ඒ බල්ලන්ට හොරෙන් කාටවත් ඒ ප්‍රදේශයට ඇතුළු වන්නට පුළුවන් කමක් තිබුනේ නැහැ.

ඒ වනවිටත් අන්ත අසරණ වී සිටි ජූජක බමුණා මහාහඩින් හඬන්නට වුණා. මම මංමුළා වුණා. හරිමගින් දුරුව ගියා. භෝග සම්පතින් ගිජු වූ සංයමයක් නැති ඒ බමුණා  වංකගිරියට යන මග මුළා වුණා. මහජනයා විසින් පසුපස ඒමේ දුකද, වනයට පිවිසීමේ දුකද, නිවැරදි මග සොයාගැනීමට නොහැකි වූ දුකද නිසා ඔහු තව තවත් හඬන්නට වුණා. මෙසේ වනයේ අතරමංව දසත ඇවිදිමින් සිටින අතරතුර  ආරක්ෂාව පිණිස සිටි සේවක පුරුෂයාගේ සුනඛයෝ ඔහුව වටකරගත්තා. වහාම ආරක්ෂාව පිණිස අසළ තිබූ ගහකට නැගගත් ඔහු  සුනඛයින් විසින් පිරිවරන ලදුව  ගසේ සිටිමින් මෙලෙස ගාථාවෙන් කියන්නට වුණා.

රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජයගන්නාවූ අපරාජිත වූ බිහි අභය දෙන්නාවූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නේද?

හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කලණ කොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බදු වෙසතුරු මහරජු හු කවරෙක් මට දැන් කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මග මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග ඇති මනරම් ඇසතු රුකක් යම්සේ නම්, එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහෙදැයි කවරෙක් මට දැන කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්ගයේ ක්ලාන්ත වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගි මනරම් නුගරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහිදැයි කවරෙක් මට කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගිමනරම් අඹරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජු කොහේදැයි කවරෙක් මට දන්වන්නේද?

විඩාපත් ජනයාගේ වෙහෙස හරණ වූ මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවන ඇති මහමග නැගී මනරම් සල්රුකක් යම්සේ එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහේදැයි කවරෙක් මට දැන කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමග වෙහෙසට පත් වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගී මනරම් රුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු රජු කොහේදැයි කවරෙක් මට දැන කියන්නේද? 

මහා වනයේ මංමුළා වූ මෙසේ වැලපෙන මට යමෙක් “මම දනීමි යි කීනම් හේ මට සොම්නස් දනවන්නේය.

මහවනයේ මංමුළා වූ මෙසේ වැළපෙනා මට යමෙක් මම දනිමියි කි නම් හේ වදනින් බොහෝ පින් රැස් කරන්නේය. 

ඔහුගේ ඒ වැළපීම් හඩ අසා ආරක්ෂාව පිණිස තබන ලද දඩයක්කාරයකු ලෙස වනයෙහි ඇවිදිමින් සිටි සේවකයා මෙලෙස සිතුවා.

වෙසතුරු රජුගේ ආරක්ෂාවට යොදවා තිබූ කුලී හේවායා ජූජක බමුණාව මැරීමට අදහස් කිරීම.

“මේ බ්‍රාහ්මණය වෙස්සන්තර රජු වසන තැන සදහා වැළපෙයි. මොහු වනාහි හොද දෙයකට පැමිණි කෙනෙකු විය නොහැකියි. මොහු නියත වශයෙන්ම එන්නට ඇත්තේ  මද්‍රි දේවිය හෝ දරුවන් ඉල්ලීමටයි. ඔහුව මෙහිම මරා දැමිය යුතුයි.”  යනුවෙන් ඔහුගේ සමීපයට ගොස් බ්‍රාහ්මණය තට ජීවිතය නොදෙමි කියා දුන්න ඇද තර්ජනය කරනු ලැබුවා.

ඔහු තව දුරටත් මෙසේ කිවා.

බමුණ තොප විසින් අතිදානයෙන් පෙළන ලද රජතෙම සියරටින් නෙරපන ලද්දේ වංකගිරියේ වාසය කරයි. බමුණ තොප විසින් අධික දානයෙන් මඩනා ලද වෙසතුරු රජ අඹුදරුවන් කැටිව ගොස් වංකගිරියේ වසයි. නුවණ නැති නොකටයුතු කරනසුලු තොප දියෙහි මත්සයකු සොයන කෙනෙකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි. බමුණා තා මරා තාගේ හිස සිද අක්මා සහිත හදමස් කපාගෙන තාගේ මසින් මාර්ග දේවතාවන්ට පන්තසකුල නම් බිලිපුජාවක් කරමි. බමුණ, තාගේ හදමස් කපාගෙන තාගේ මසිනුදු මස් තෙල්වලින් හිස්මොලවලින් ද හෝම කරන්නෙමි. බමුණ ම විසින් තාගේ මසින් කරන ලද ඒ මනාව යාගකරණ ලද මනාව පුදන ලද කවර හේතුවක් නිසාද? ඒ හේතුවෙන් තොප රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නොගෙන යන්නේය.

ජූජක බමුණාගේ වහසිබස් හමුවේ රැවටුන ආරක්ෂක කුලී හේවායා.

හෙතෙම ඔහුගේ වචනය අසා මරණභයින් තැතිගත්තේ බොරු ගොතමින් මෙසේ කියන්නට වුනා. චේත පුත්‍රය !  මාගේ බස් අසව, බමුණාද දුතයාවද නොමැරිය යුතු වෙයි. ඒ කරුණෙන් දුතයා නොමරති. මේ සනාතන ධර්මයකි. හැම සිවීහු සන්හිදුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසිවෙයි. ඔහුගේ මවද දුබලය. නොබෝ කලකින්ම ඇගේ ඇස් පිරිහෙයි. මම ඔවුන් විසින් මෙහෙයන ලදුවෙමි. චේත පුත්‍රය, මාගේ බස් අසව වෙසතුරු රජපුතු ගෙන යමි. ඉදින් දනීනම් මට කියව.

මෙය ඇසු  කුලී හේවායා මොහු වෙස්සන්තර රජුව නැවත  රැගෙන යන්නේයැයි සොම්නසට පත්ව  සුනඛයින් බැද තබා බ්‍රාහ්මණයාව බස්සවා අතු අතරේ හිදුවා මෙසේ කීවා. බමුණ මාගේ ප්‍රිය වෙසතුරු රජ හට ඔබ ප්‍රිය දුතයෙකි. තට තුටුපඩුරු කොට මේ මී පුරවන ලද ලබුකබල ද මුවකලඹද දෙමි.කැමති සැපත් දෙන වෙසතුරු රජු යම්තැනක වෙසේද එදෙස තට කියමි.

අපේ බුදුහාමුදුරුවෝ 127

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 22 

ජූජක බමුණාට රැවටුණු වෙසතුරු කුමරුගේ ආරක්ෂක  නිලධාරියා.

ඒ කුලී හේවායා ජූජක බමුණාගේ වහසිබස් වලට රැවටී ඔහුව විශ්වාස කරනු ලැබුවා. ඇත්තෙන්ම ඔහු සිතුවේ ඔහු දෙමාපියන්ගේ පණිවිඩ කරුවෙකු කියායි. ඉතාමත් දුකට පත්වී සිටින මහලු රජ තුමා සහ දේවිය ගැන අනුකම්පාවෙන් වෙසතුරු කුමරුහට කරුණු පැහැදිලි කොට ආපසු රැගෙනයාමට පැමිණි ඔහුගේ පැරණි ගුරුදේවයන් කියලයි හිතුවේ. ඔහු එම නිසාම ඔහුව විශ්වාස කරනු ලැබුවා.

වෙසතුරු රජ සිටිනා තැන පිලිබඳ විස්තර ජූජක බමුණාහට ලබාදීම.

” මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගත්කරන්න යැයි පලාපල අදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නේ අත දිගුකර මෙසේ ගන්ධමාන පර්වතය අසල ඇති මුචලින්ද විලත්, එහි අවට පරිසරයත්, එහි අසිරියත්, කුරුළු සිවුපා මල්වැල් ගහකොළ ඇතුළු සියලු විස්තර ඔහුට මෙලෙස එකිනෙක විස්තර කලේ ලස්සන සිතුවමක් මවමින්.

බමුණ,යම්තැනක වෙසතුරු රජදරුවන් ඇතුළු ඔහුගේ අඹුදරුවන් වාසය කරයිද, අර පෙනෙන පර්වතය ගන්ධමාන නම් වේ. ඔහු  තාපස විලාශයද දෙහෙටිල්ලද, ගිණිපුදන හැන්දද, දළමඩුළුද, දරනුයේ අදුන්දිවිසම් දරනුයේ බිම හොවී ගිනිදෙවිය පුදයි. එහි  නිල්වන් වූ නොයෙක් පළ දරණ වෘක්ෂයෝ නැගී සිටි වලාකුළු මෙන් නිල්වන් අදුන්කුළු මෙන් පැනෙතිවව.

හෙළගිරිකිල්ල මල් පිපෙණ  නිල්වන් කැළෑ හීතණ.

දැව, අසුය, කිහිරිය, සල්ය, කොළොම්ය, මාළුවාය යන වෘක්ෂයෝ එක්වරක් පානය කල සුරාසොඩුන් මෙන් පවනින් වෙව්ලති. රුක් අතු මත්තේ පක්ෂීන්ගේ රාවය දේවගීතිකා මෙන් ඇසෙයි. විලිකුළු ගණන හා කෙවිලි ගණන ගසින් ගසට පනිති. යම්තැනක වෙසතුරු රජ දරුවන් හා සමග වෙසේද එහි පවනින් සැලෙන ගසේ පත්‍ර තමා පියා දරුවන් කැදවන්නවුන් වැනිය. තමා කරා එන්නාහු සතුටු කරනුවන් වන්නාය. නිරන්තරයෙන් වාසය කරන ජනයා තුටු කරන්නාහ. රජ එහි තවුස් වෙස්ද පළවැල නෙළන කෙක්කද ගිණිපුදන හැන්දද දළමඩුළුද දරනුයේ අදුන්දිවිසම් හැදගෙන බිම සයනය කරයි. ගිණි දෙවියාද පුදයි. ඒ වනයේ සිත්කළු බිම්පෙදස්හි පැතිර සිටි හෙළගිරිකිල්ල මල් ඇති බිම හීතණයෙන් නිල්වන් ය. ඒ බිම ධුලි නොනැගෙන්නේය.ගිරිතිල්ල මල් වියනකින් හා නිල් තණයෙන් නීල වර්ණ වූ ඒ ස්ථානයෙහි අල්ප වුද දුවිල්ලක් නොනගී.

මොණරකර බදු වූ හිඹුල් පුළුන් ස්පර්ශය සමාන උපමා ඇති, ස්පර්ශයෙන් පුළුන් හා ස්පර්ශවීම සමානය. තෘණයෝ හාත්පසින් සතරගුල් ඉක්ම නොවැඩේ. ඒ භූමියේ ඇති මොණර ග්‍රීවාව වැනි වර්ණ ඇති නිල් තණ හාත්පසින් අගල් සතරක් පමණක්ව පවතී. අඹ දඔ ගිවුළුද මිටි රුක්හි විලිකුන් දිබුල් ද ඇත.නොයෙක් පරිභෝග වෘක්ෂයන්ගෙන් ඒ වනය ඇලුම් වඩවයි.

සිව්රැස් පොකුණ

නොයෙක් ඵලයන්ගෙන් යුතු පරිභෝග වෘක්ෂවලින් හා වනරොදෙහි වන්කගිරියෙහි කුඩා ගංගාවලින් ගලාබස්නා ජලය පවතී මස්කැලන් විසින් නිරන්තරයෙන් සෙවුනා ලද වෙරළුමිණිවන් පැහැ ඇති පිරිසිදු සුවද සලිල් ඇති දියදහර ඒ වනරොදෙහි ගලාබසියි. එයට නුදුරුව මනරම් බිම්පෙදෙසක දෙවියන්ගේ නදුන් උයනෙහි මෙන් පියුමින් හා උපුලින් සැදි පොකුණක් ඇත. බමුණ ,ඒ සිව්රැස් පොකුණෙහි උපුල් වර්ග තුනක් ඇත.එක් වර්ගයක් නිල්පාටය එක් වර්ගයක් සුදුය. එක් වර්ගයක් ලේ පාටය. මේ තුන් ආකාර උපුල්වලින් ඒ විල විසිතුරුය. සරසන ලද මුදුන් මල්කඩක් මෙන් බබලයි. ඒ පොකුණ විසිතුරුය. මෙසේ  සිව්රැස් පොකුණ වර්ණනා කර නැවත මුචලින්ද විල වර්ණනා කරමින් මෙසේ කියන්නට වුණා.

මුචලින්ද විල

ඒ වන ලැහැබෙහි විලක් ද ඇත. ඒ විලෙහි හෙලපියුම්, හෙළපිලි අතුරනලද තැනක් බදුය. හෙළපුළින් හා හෙල්මැල්ලෙන් ද දියකුරයෙන්ද ගැවසුනේය. ඒ විල මුචලින්ද නම් වේ. තවද ඒ මුචලින්ද විලෙහි පියුම් කෙළවරක් නැත්තා සේ පෙනෙති. ඇතිරිල්ලක් ඇතුරුවාසේ හාත්පසම පෙනේ. ගිම්හාන, හේමන්ත ඍතුවල පිපුණු පියුම් දණක් පමණ ගැබුරු දියෙහි පැතිරී සිටිති. විසතුරු මල් සතර අත  සුවද පතුරුවයි. බඹරු මල්සුවදින් හාත්පසම අභිනාද කරයි. වෙසතුරු රජුද, තොප සතුටු වේවයි කියන නන්දික ලිහිණියෝ ද, දරුවන් සමග සැරදෙවයි කියන ජිවපුත්ත ලිහිණියෝද, තොප ද තොප ප්‍රිය දරුවෝද සැරදේවයි කියන ලිහිණියෝ ද තොපිද තුටුව තොප දරුවෝද තුටුවෙත්වයි කියන ලිහිණියෝ ද මුළු පොකුණම නිවාස කොට ඇත්හ. යම්තැනක වෙස්සන්තර රජුන් දරුවන් සමග සිටීද ඒ වනහිස් නන්පැහැ වූ මලින් නිපුණයින් විසින් ගෙතූ මල්දම් ලෙසින් සොබනේය.තවද බමුණ ඒ විල්දිය කෙළවර වෘක්ෂයෝ වෙත්.සුපිපි කොළොම් රුක්ය. පළොල් රුක්ය. මල් පිපී ගිය කොබොලීල රුක්ය. අගුණ රුක්ය,වැල්කිණිහිරිය, කරගස් නාගස් යන මේ වෘක්‍ෂයෝ මුචලින්ද විල වටා පීපී සිටියි.

මුචලින්ද පොකුණ වටකොට ඇති  ගස් වර්ග

මහරිය, හෙළපළුය , පියුමගස්ය, යන මේ ගස් වලින් මනා සුවද හමයි. මහනිකද,සුළුනිකද ගස්ද පියාරුක්ද එහි පීපී තිබේ. පගුරුය, මුහුළුය, සල්ය, මුරුංගාය යන මේ රුක් පීපී සිටී. දුනුකේ ගස්ද කිණිහිරි ගස්ද  කණේරු ගස්ද පීපී තිබේ. මහා කුඹුක්ද සුළු කුඹුක්ද මහඋක්ද මල්මල් පීපී සිටී. මනාව පිපුණු අගති කැල ගස් දිළිසෙන අගුරු මෙන් සිටී. ඇත්දෙමටය, රුක්අත්තනය, කදලය, වනුක්ය, දුනුවලලා ය තිටිගය යන රුක්මලින් ඇට්ටර හා වරණ රුකින්ද ඒ වනය හෙබුනා. අසුගස්ද තෙලබු රුක්ද හින්සල්රුක්ද පිපීවනම සිටී. හෙළවසුරුක් හා තුවරලාද මැසිගස්ද උපුල්කොළ ද කළුවර ගස්ද ඇත. තවද ඒ විලෙහි උදයකාන්තයෙහි බහුලව හටගත් දඹලද ඇත. සිහින් මුගු ද මහමෑ ද කටුකොහොවිල ද බොහෝය. තවද ඒ විලමියර ඇත්තේය. වාතයෙන් අලළන ලද්දේ වෙයි. නද දෙන මීමැස්සන්ගෙන් යුක්ත මල් පිපුණු හුගු ගස් හා රත්කරව් ගස් ඇතියේය. සුළු අංගෙන්ද මහ අංගෙන්ද හුරුකලන්ද ගස් ද මෙහි බොහෝය.

මල් වර්ග සහ එහි සුවඳ

බමුණ, හෙළ කලවැලින් ගැවසීගත් වෘක්ෂ ඇත. සත් දවසක් මුළුල්ලෙහි රදා සිටින ඒ මල්වල සුවද නොසිදේ. ඒ මුචලින්ද විල දෙපස ශෝභමාන මල් ඇත. එරහැන්ද ගස්වලින් යුතු ඒ වනය හොබනේය. අඩමසක් මුළුල්ලෙහි දරනු ලබන ඒ එරහැන්ද ආදී මල්වල සුවද නොසිදේ.පිපියා වූ දියබෙරලිය සේතවාරි,නිල්කටරොළු ද ඇත.ඒ වනය කටෙරුකයෙන් හා තලාගසින් වැසුනේය. ඒ වනය මල්අත්තෙන් පවත්නා සුවදින් පැමිණි අයව මත්  කරවයි.මල් සුවදින් හාත්පසම නද දෙන බඔරු වෙති. බමුණ,ඒ විල අසල කැකිරි වර්ග තුනකි.එක් වර්ගයක් කළයක් පමණය.වර්ග දෙකක් මිහිගු බෙර දෙකක තරම් වෙයි. තවද ඒ අසපුව ඉදිරියේ අබ ද හරිතායුත යනාදිය යන ලුහුණු බොහෝය.ඉදිගස් තල්රුක් මෙන් සිටී. මිටින් සිදලිය හැකි රන් එරහැදී බොහෝය.ගැහැවි සුවද වත්  සමන් වැල්ද හිරිවැල්ද කෑලිය ද මිහිගෙදි ද හෝපලු ද නීතුල ද ලබුකොමඩු ද හිගිනි රුක් ද කටුකරඩු, අනෝජා ද පීපී ඇත.නාලියද හිරමුසු වලද ගස්නාග පිපිවනම සිටී. රන්කටුකරඩු ද වෑකොද විනිගස් ද ඉද්ද ද වැල්සමන් ද හොයොඹු ද ගදඇඹුලු ද යන වෘක්ෂයන්ගෙන් ඒ වනය හොබනේය. මීපැණි සමාන සුවද ඇති මධුගන්දිය, පළොල් ද සූරිදුගස් ද කිණිහිරි ගස්ද පිපියාහු රුසිරැ ගිනිසළු වැනිය. එළන ලද රන්දැල් මෙන් පෙනේ. දියගොඩ උපදනා හටගන්නා යම්කිසි කුසුමයෙක් ඇද්ද ඒ සියළුම පුෂ්පයන් ඒ විලේ පෙනෙයි.මහා දියකද දරන මුචලින්ද විල මෙසේ රමණිය වේ.

මුචලින්ද විලේ දිවිගෙවන මත්ස්‍ය වර්ග සහ විල අවට ඇති සිවුපාවුන්

විශාල ජලකදක් දරා සිටින මුචලින්ද විලේ දිය ඇසුරු කොට සිටින්නාවූ රෙහෙ මස්හුද ඉස්සෝද සුගුමස්හුද කිඹුලෝද මෝරුද සුංසුමාරයෝද බොහෝ වෙති. මී ද වැල්මී ද තලිස්පතුරු ද පුවගු ද කළුනීර ද වම්මුතු ද සියපුප් ද ලොලුපද තුවරලාය,තුංගවණ්ටකය, පද්මකය නරදය කුට්ඨය කධාමකය හරෙණුකය යන සුවද රුක් බොහෝය. තවද ඒ වනයේ සිංහයෝද ව්‍යඝ්‍රයෝද වෙළෙඔ, මුව පක්ෂීහුද ඇතුන්ද ඒණිමුවන් ද පසද මුවන්ද රෙහෙ මුවන්ද සරභ මුවන්ද කැනහිලුන් කොක් නහවෝත් ගිජු නහවෝත් පිය බළලුන් ද රුක් නහවෝද සෙමරහුද තිත්මුවෝද වාමුවෝද මහකළු වදුරෝද හැලිවදුරන්ද රිලා වදුරන්ද ගෝණහුද හගමොරලියෝද වලස්සුද දඩගෝන්නුද බොහෝ වෙති. කඟවෙහෙණුවෝ ද හූරෝ ද මුගටියෝද කලවැද්දෝ ද ඒ විල්තෙර බොහෝ වෙති. 

කියා නිමකළ නොහැකි හිමවතෙහි තව බොහෝ විස්තර  විස්තර. 

එයින් මතුද ආශ්‍රමය වර්ණනා කරමින් මෙසේ කියයි.  අඹ ද ගිවුළුද පනාද සල්ද දඹද බුළුද අරළුද නෙල්ලිද ඇසතුද ඩෙබරද එහි රන්තිඹිරි රුක්ද නුගද හෙලකිදි ඇසතු ද ඇත මියුරු රස ඇති මීරුක්හු හොබවති.  මිටි රුක්හි විලිකුන් දිඹුල්පලද ඇති කිරිපළුද එල්ගෙදද මී වෑහෙන මිදිද ඇත. ඒ වෙනෙහි නිවසි මී තුමු මැ ගෙන බුදති. ඒ වනයෙහි සමහර අඹ රුක් කෙතෙක් මල් පිපී තිබේ. ඇතැම් අඹරුක් අමුපලද විලිකුන් පලද ඇතිව සිටිති .ඒ අමු විලිකුන් පළ දෙවර්ගයම මැඩියන් වැන්න. තවද ඒ අසපුවෙහි අඹරුක් යට සිටි පුරුෂ තෙම  වර්ණ ගන්ධ රසයෙන උතුම් වූ අමු අඹද විලිකුන් අඹද නෙලා ගනී. මට මෙය ඉතාම අසිරිය. මට විශ්මය වැ වැටහෙයි. දෙවියනට නිවාස වූ නදුනුයනු මෙන් හොබී. ඉදුරුකින් සැදි මහවනයෙහි තල් රුක්ද නෙරළු රුක්ද ඇත. සුපිපි වෘක්ෂයෝ ගෙතු මල්දම් සෙයින් සිටිති. ධ්වජාග්‍රයන් මෙන් පෙනෙයි. නන්පැහැ මලින් තරුවලින් සැදි අහස මෙනි. සළුකෙලිද උපුල්කොළද තුවරලාද පළොල් රුක්ද පිපී සිටී. දොඹරුක් ද මහදොඹ රුක්ද කොබෝලීල රුක්ද පිපී සිටී. එහි එරහැන්ද ද සෝමරුක් ද ඇගිල්රුක් ද බදුලුරුක් ද බොහෝය. අවරිද සුලුකුඹුක් ද පියාරුක් ද පිපී සිටී. එහි මහකෙලිද ද සළල රුක් ද බක්මී රුක්ද කොසඹ රුක්ද දෙල් රුක්ද දැවරැක්ද සල්රුක්ද පිපී සිටී. පිදුරු කලවිටි වැන්න. ඒ අසපුවට නුදුරෙහි මනරම් බිම් පෙදෙසක දෙවියන්ගේ නදුනුයනෙහි මෙන් පියුමුපුලෙන් සැදි පොකුණෙක් ඇත .තවද එහි පොකුරු මී රසින් මත් වූ මියුරු හඩ ඇති කුරවි කෙවිල්ලෝ ඍතු සමයෙහි පිපි රුක්වල හිද මහවනය වෙසෙසින් හඩවති. මලින් බස්නා මුවරදින් පොකුරු පත මී ඇත. තවද ඒ අසපුවෙහි දකුණු දෙසින් පවන් හමයි. පියුම් කෙසරුයෙන් හා රොනින් ඒ අසපුව ගැවසී ගත්තේ වෙයි. ඒ පොකුණෙහි මහවිල්කටු හා ස්වයංජාත හුරු හැල්ද එයින් සැදුනු හාල් ද ඇත. රැහැබැද ඇවිදින මස්කැස්බෝ ද ඇත .එහි කකුළුවෝ ද බොහෝ වෙති. නෙලූඹු අලයෙන් මී වෑහෙයි. නෙලූඹු වලින් වෑහෙන රස කිරිමුසු ගිතෙල් වැන්න. සෑම වූ ගන්ධයෙන් වෑහුණු ඒ වනය සුවද හමයි. පුෂ්පයන්ගෙන් වහනය වන්නාවූ සුවදින් ඒ වනයට පැමිණෙන දනන් මත් කරන්නේය. බඹරු මල් සුවදින් හාත්පසම නද දෙයි. තවද ඒ වනයෙහි ලිහිණියෝ සිටිති. නේක වර්ණයෙන් යුතු ලිහිණියෝ ඔවුන්නොවුන් කුල්නාහු ලිහිණි දෙනුන් හා තුටු වෙයි.

මෙලෙස කුලී හේවායා විසින් කරනු ලැබූ දීර්ඝ විස්තරය  එය අසා සතුටු වූ බමුණා තමා සතු වූ මීපැණින් සාදන ලද බත චේත පුත්‍රයා වෙත පිළිගැන්නුවා. එවිට චේත පුත්‍රයා මාර්ගෝපකරණ තොපටම වේවා. මම තොපගේ මාර්ගෝපකරණ නොකැමැත්තෙමි. යනුවෙන් එම තුටු පඬුරු ප්‍රතික්ෂේප කරනු ලැබුවා. බමුණ මතැනින් දැන් යන්න. සැපසේ යන්න. මෙලෙස ඉදිරියට යනවිට අඩිපාරක්  හමුවෙයි. එය අසපුවට ඉදුරාම යයි. ඒ මාර්ගයේ මැලියම් බැදුණු දත් ඇති දුවිලි වැනි හිස් ඇති අච්‍යුක නම් තපසයෙක්ද වෙයි. ඔහු  තාපස විලාශය ද පළාපල නෙලන අංකුශයද ගිණිපුදන හැන්දද දළමඩුලු දරනුයේ බිම නිදන්නේය. ගිණි දෙවියෝ පුදයි. ඔබ ගොස් ඔහුගෙන් පාර අසන්න. ඔහු ඔබට නිවැරදි  මග කියන්නේය. බමුණා මෙය අසා චෙත වැසියන්ට පැදකුණු කොට අච්‍යුත තවුසා යම්තැනකද ඒ වෙත  ඔදවැඩි සිතින්ම පිටත්ව ගියා.

අපේ බුදුහාමුදුරුවෝ 128

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 23

ආරක්‍ෂාවට සිටි කුලී හේවායා මග කියූ මග අනුව පූජක බමුණා වෙස්සන්තර තපස තුමා සොයමින් ඉදිරියටම ගමන් කළා.  ඔහු කියූ මග සලකුණු අනුව යමින් සිටි ඔහුට ඔහු කියූ අයුරින්ම  ඒ යන මග අතරමග සිටින අච්‍යුත නම් තවුසා ඔහුට මුණ ගැසුණා.  ඔහු දුටු ජූජක බමුණා තවුසා සමග පිළිසදර කථාවේ යෙදුණේ  ඉදිරි ගමන ගැන තොරතුරු ඔහුගෙන් තවදුරටත් දැනගන්නා අටියෙන්.

ජූජක බමුණා 

“කිම, භවත ඔබ නිරෝගීද, ඔබට  දුකක් නැද්ද? ඔබ වනමුල් පලාපලයන්ගෙන් යැපෙන්නෙහිද? මෙහි  මුල් හා පලවැල බොහෝ ඇද්ද? මෙම වනයෙහි  මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝද අල්පව සිටිත්ද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද?

අච්‍යුත තවුසා ඔහු හට මෙලෙස පිළිතුරු දෙන්නට වුණා.

බමුණ, මට රෝග නැත. තවද මට දුක්ද නැත. වනමුල් පළවලින් ජීවත්වෙමි. මුල් හා පළවැල බොහෝය. තවද මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝද මෙහි අල්පමය. චණ්ඩ මෘගයන් සිටින වනයේ මා හට හිංසාවක් නැත. අවුරුදු බොහෝ ගණනක් අසපුවේ වසන මට උපන් සිත්කළු නොවන රෝගයක් නුදුටිමි. බමුණ, ඔබට යහපත් ගමන් වේවා. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවනය කරන්න පන්සල ඇතුළට පිවිසෙන්න.බමුණ තිඹිරි පලය,පියල්පලය,මිහිරි කටු එරමිණිය දඩවැල් බෑ මීයේය යන මේවා මෙහි ඇත. යහපත්  දේ වළදන්න. මේ පැන්ද සීතලය,ගල්කුසින් ගලා ආ ඔයෙන් ගෙනෙන ලදය. බමුණ, ඉදින් තෙපි රිසියව් නම් එයින් ගෙන පානය කරව. පුජකයා කියන්නට වුණා.

කපටි ජූජක බමුණාට අවශ්‍ය වුණේ කෑමක් නෙවෙයි. වෙස්සන්තර කුමරු ඉන්නා දිශාව මොහුගෙන් නිවැරදිව දැනගැනීමටයි. ඔහු නැවතත් කතාවට මුලපිරුවා.

ඔබ විසින්  යමක් දෙමියි කීවේනම් ඒ දෙන ලදමය වේවා. මා විසිනිදු එය පිළිගන්නා ලදමයි. සියල්ල පඩුරු කරන ලදය. රජුගේ ප්‍රිය පුත්‍රයා සිවීන්ගෙන් වෙන්ව වසන බව ඔබ නොදහුද? මම ඔහු දක්නට ආමි. ඉදින් දන්නේ නම් මට කියන්න ඔහු ඉන්නා දිශාව. මම ඔහු දැකීමට ආවෙමි යි තාපසයා පැමිණි කාරණය වසා මෙලෙස කිවා. එහෙත් ඒ තාපස තුමාට මොහු පැමිණියේ වෙස්සන්තර තාපස තුමාව බැහැදැකීමට පමණක් නොවන බව හැඟී ගියා. 

“මොහු වෙසතුරු රජ  දකින්නට එන්නේ පිනක් කරගනු පිණිස නොවෙයි.  මොහු රජුගේ දේවිය පතාගෙන ආවා වන්නටත් පුළුවන. ක්‍රිෂ්ණජිනා දාසියකොට ජාලිය දාසයාකොට ගන්නට රුචිවන බව වන්නටත් පුළුවන්.  සමහරවිට  මව සහ දෙදරුය යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයේ වනැයි මට හැඟෙනවා.” යනුවෙන්  සිතමින් තවදුරටත් ඔහුව අධෛර්යමත් කිරීමට මෙලෙස කියන්නට වුණා.

” එම්බා බ්‍රාහ්මණය වනයේ වසන වෙස්සන්තර රජුහට භවභෝග සම්පත් නැත. පෙර පරිදී  ධන ධන්‍යද නැත. දුප්පත්ව සිට ජීවත්වෙයි. ඔබ ඔහුගේ සමීපයට ගොස් කුමක් කරන්නෙහිද? “

කපටි වයෝවුර්ධ ජූජක බමුණාට ඔහුවත් ලේසියෙන්ම මෙලෙස රවටනු හැකි වුණා. 

එම්බා තාපසය, ඔබ මා කෙරෙහි තරහා ඇතිකරගන්න එපා. එවැනි දේ වලින් මට වැඩක් නැත .මට වනාහි වෙස්සන්තර රජු ගෙන් කිසිවක් ඉල්වනු කැමැත්තේ නොවෙමි. උතුමන්ගේ දැකීම යහපත්ය. මොවුන් සමග විසීමද සැපතකි. මම ඔහුගේ ඇදුරු බමුණා වෙමි. යම්කලෙක සිවීන් විසින් නෙරපන ලද්දේ ද එතැන්පටන් මා ඔහුව නොදකින ලද්දේය. ඒ නිසා මම ඔහු දැකීමට ආවෙමි. ඔහු වසන තැනක් දන්නේ නම් මට කියන්න. 

මම ඔහුගේ ගුරුවරයා යන වචනය අසා ඒ තාපසයාද ඔහුට රැවටුණි. ! “මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගත්කරන්න යැයි  පළාපල ආදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නට  අත දිගුකර මෙසේ කියන්නට වුණා.  බමුණ,යම්තැනක වෙසතුරු රජදරුවන් සැමගේ වාසය කෙරේද,තෙල පෙනෙන පර්වතය ගන්ධමාන නම් වේ. හේ තාපස විලාශයද දෙහෙටිල්ලද ගිණිපුදන හැන්දද දළමඩුළුද දරනුයේ අදුන්දිවිසම් දරනුයේ බිම හොවී ගිනිදෙවිය පුදයි. එහි  නිල්වන් වූ නොයෙක් පළ දරණ වෘක්ෂයෝ නැගී සිටි වලාකුළු මෙන් නිල්වන් අදුන්කුළු මෙන් පැනෙති. මෙම අඩිපාර නිමවෙන්නේ ඔහුගේ අසපුව අසලින්.”

“පුජකයා අච්චුත තාපසයා විසින් කියන ලද මාර්ගයෙන් ගොස් සතරැස් පොකුණ වෙත පැමිණ මෙසේ සිතන්නට වුණා. ” අද බොහෝ සවස් විය. දැන් මද්‍රි දේවිය වනයෙන් එන්නීය. කාන්තාවෝ වනාහි දානයට විරුද්ධ වුවෝ වෙති. හෙට ඇය වනයට ගිය කල්හි අසපුවට ගොස් වෙස්සන්තර රජුගෙන් දරුවන් ඉල්වා ඇය පැමිණෙන්නට පළමුව දරුවන් රැගෙන නික්ම යන්නෙමි.” ජූජක බමුණා මෙලෙස සිතමින්,  එයට නුදුරෙහි එක් කදුගැටයකට නැග සුව පහසුතැනක වැතුරුනේ හෙට දවස ගැන සිහින මවමින්.

අපේ බුදුහාමුදුරුවෝ 129

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 24 

වෙස්සන්තර තාපස තුමාගේ අසපුවට  නුදුරෙහි එක් කදුගැටයකට නැග සුව පහසුතැනක මීට ඉහත කියූ පරිදී රැය පහන් කරන්නට නැවතුනේ මද්‍රි දේවිය පසුදින පලවැල නෙලීමට යනතෙක් සැඟවී සිට දරුවන් වෙසතුරු තාපසයන්ගෙන් ඉල්ලාගෙන පළා යාමටයි. එහෙත් මවු සෙනෙහස කියන්නේ ඊට වැඩිය බල සම්පන්න දෙයක්. බෝසත්වරු බුදුවනතෙක් ඔහුගේ දරුවන් රැක්කේ යශෝධරාවරු. ඔවුනට හැම දෙයම ඉවෙන් වගේ දැනුනේ බෝසත්වරයෙකුගේ පළමු ආරක්ෂකයා ඇයම වීමෙන්.

මද්‍රි දේවිය දුටු නපුරු සිහිනය.

එදාත් ඒ වගේමයි. ජූජක බමුණා මාන බලන ඒ බියකරු රාත්‍රියේ මද්‍රී දේවිය විශේෂ හීනයක් දුටුවා. එය මෙබදු එකක්. 

එක් කාලවර්ණ පුරුෂයෙක් කසාවන් රෙදි දෙකක් හැද කන්දෙකෙහි රතුමාලා පැළද ආයුධ අතැතිව තර්ජනය කරමින් ඇවිත්  පන්සලට පිවිස මද්‍රි දේවියගේ  ජටාවෙන් අල්ලාගෙන ඇද බිම හෙළා ඇය හඩා වැලපෙද්දී ඇගේ ඇස්දෙක ගලවා, අත්දෙක කපා, පපුව පළා ලේ බිදු වගුරුවමින් හෘදයමාංශය ගෙන නික්ම යාමයි. ඇය ඒ මහා වනාන්තරයේ දරුවන් සමග තනිව යාබද අසපුවේ රාත්‍රී පහන් කරන්නේ වෙසතුරු කුමරා සමග ගිවිසගත් ගිවිසුම නිසාවෙන්. ඒ බ්‍රහ්මචාරී වීමට.   සිහිනයෙන් බිය වැදුණු ඈ “මා විසින් පවිටු සිහිනයක් දකින ලදී.

මද්‍රි දේවිය රාත්‍රියේ හදිසියේ තම කුටියට තනිව පැමිණීම බ්‍රහ්මචර්යා සීලයට සුදුසු නොවන්නක්  ලෙස බෝසතාණන් වහන්සේ සිතීම.

වෙස්සන්තර රජු හා සමානව සිහින විස්තර කරන්නාවූ වෙන කෙනෙක් නැත. ඔහුගෙන් විචාරන්නෙමි ” යයි සිතා බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ සිටින්නාවූ පන්සලට ගොස් දොරට තට්ටු කරන්නට  වුණා. එවිට බෝධිසත්ත්වයන් වහන්සේ මේ කවරෙක්දැයි අසන්නට වුණා. ස්වාමිනි, මම මද්‍රි දේවියයි, ඇය සෙමින් පැවසුවා. පුදුමයට පත් වූ බෝසතාණන් වහන්සේ ” සොදුර, අපගේ පොරොන්දුව කඩකර කුමක් නිසා විකාලයේ මෙහි ආවෙහිද? යනුවෙන් ප්‍රශ්න කරන්නට වුණා. එවිට අවිහිංසක ඇය  “ස්වාමිනි කෙලෙස් සිතකින් පැමිණියා නොවෙයි, තවද ම විසින් පවිටු සිහිනයක් දක්නා ලදී”  කියා ඇය දුටු සිහිනය දුටු අයුරින්ම බෝධිසත්ත්වයන් වහන්සේට පැවසුවා.

බෝධිසත්ත්වයන් වහන්සේ සිහිනය පරික්ෂා කර බලා ” මාගේ දාන පාරමිතාව සම්පුර්ණ වනවා. මෙම හීනයට අනුව හෙට මා වෙත යදියෙකු පැමිණ දරුවන් ඉල්වන්නේය.”  යනුවෙන් එහි අර්ථය වටහාගත්තා. එය ලෞකික ජිවිතයක් ගත කරන්නෙකුට බියගෙනදෙන සිහිනයක් වුවත් බුදුබව පතන්නෙකුට තම අවසාන පාරමිතාව සඵල කරන සුභඵල සිහිනයක්ම වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. තමන්ගේ බිරිද දරුවන් සමග මත්තෙහි තවත් කෝටිගණනක දරු දැරියන්ද බිරින්දෑවරුන්ද  මේ මහා සංසාර දුකෙන් සදාකාලික ගලවාලන සම්මා සම්බුද්ධත්වය උදෙසා සෑම බෝසත්ත්වරයෙකු විසින්ම කල යුතු අවසාන පරිත්‍යාගය වීම නිසාමයි.  ඒ නිසාම ඔහු මද්‍රි දේවිය සනසා සිතෙහි බිය දුරුකර ඒ මටසිලුටු මනසට කිසිවක් සඳහන් නොකර පිටත්කර හැරියා.

ඇය එම බස් අසා තම කුටියට ගියත් ඒ භයංකාර සිහිනය සිතේ හොල්මන් කරන්නට ඇති. ඇය ඒ නොනිදි රාත්‍රිය පහන්වූ  පසු  සියලු වැඩ නිමවා දරුවන් දෙදෙනා වැළදගෙන හිස සිඹ, ” අද ම විසින් නරක සිහිනයක් දකිනා ලදී. දරුවෙනි, ප්‍රවේශම් වන්නැයි”  අවවාද දී ස්වාමීනි දරුවන් හොදින් බලාගන්නැයි මහාබෝධිසත්ත්වයන් වහන්සේට දරුවන් භාරදී  අවශ්‍ය උපකරණ රැගෙන කදුළු පිසමින් මුල් පළාපල සදහා වනයට පිවිසියා. ඒ අතරතුර  පුජකයාද දැන් මද්‍රි දේවිය වනයට යන්නට ඇතැයි සිතමින් කදුගැටයෙන් බැස අඩිපාර දිගේ අසපුව දෙසට පියමැන්නා.

 බෝධිසත්ත්වයන්වහන්සේ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රන්පිළිමයක් මෙන් හිද පෙරදා මද්‍රී දේවිය දුටු සිහිනය අනුව සිතමින්  දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයෙකු මෙන්, සුරාසොඩකු මෙන් ඔහු එනමග බලමින් සිටියේ නොවිසිල්ලෙන්. මේ කිසිවක් නොදත් සුරතල් දරුවන් දෙදෙනාද  ඔහුගේ දෙපා ලග සෙල්ලම් කරමින් සිටියා. අසපුවට එන අඩිපාර ඈතින් ඒ මහලු බමුණාගේ රුව මතුවුණා. මගබලමින් සිටි බෝධිසත්ත්වයන් වහන්සේට  බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන ධූරය යලි ඔසවන්නාක් මෙන්, මුවට සිහින් සිනහවක් නැගුණා.

අපේ බුදුහාමුදුරුවෝ 130

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 25

බෝධිසත්ත්වයන්වහන්සේ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රන්පිළිමයක් මෙන් හිද පෙරදා මද්‍රී දේවිය දුටු සිහිනය අනුව සිතමින් දැන් දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයෙකු මෙන්, සුරාසොඩකු මෙන් ඔහු එනමග බලමින් සිටියේ නොවිසිල්ලෙන්. මේ කිසිවක් නොදත් සුරතල් දරුවන් දෙදෙනාද  ඔහුගේ දෙපා ලග සෙල්ලම් කරමින් සිටියා. අසපුවට එන අඩිපාර ඈතින් ඒ මහලු බමුණාගේ රුව මතුවුණා. මගබලමින් සිටි බෝධිසත්ත්වයන් වහන්සේට  බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන දජය  යලි ඔසවන්නාක් මෙන්, මුවට සිහින් සිනහවක් නැගුනා. පසුගිය ලිපිය අවසන් වුණේ එතැනින්.

ජූජක බමුණා පිළිගැනීමට පෙරමගට ගිය ජාලිය කුමරුට නපුරු ලෙස කතා කල බමුණා

මෙහි එව බ්‍රාහ්මණය කියා එම දසුනෙන් සතුටට පත්වු වෙස්සන්තර තාපසතුමා  ජාලිය කුමාරයා හට මෙසේ කිවා. 

“”ජාලිය නැගී සිටින්න පෙරගමන් කරන්න පැරණි දසුනක් මෙන් පෙනේ බමුණකු ලෙස පෙනේ, මගේ සිත සොම්නසින් පිරේ.”

 එය අසා කුමාරයා කුමාරයා මෙසේ කිවා. ” පියාණෙනි, මමද දකිමි යමෙක් බමුණෙකු මෙන් පෙනේද ඔහු යදියෙකු ලෙසින් එයි. හේ අපට අමුත්තෙක් වන්නේය. මෙසේද කියා කුමාරයා ඔහුට ගරුසත්කාර දක්වන්නේ අසුනින් නැගිට බ්‍රාහ්මණයාට පෙරගමන්කොට පිටකර ගන්නටදැයි විමසුවා. බ්‍රාහ්මණයා ඔහු දෙස බලා මේ වෙස්සන්තර රජුගේ පුත්‍රයා වූ ජාලිය කුමාරයා බව දැන මුලසිටම පරුසවචනයෙන් කථා කරන්නෙමියි සිතා ඉවත්වන්න ඉවත්වන්න  කියා අසුර ගැසුවා.

අනේ අහිංසක ජාලිය කුමාරයා කියූ සැණින් කීකරුව ඔහුගෙන් ඉවත්වුණා.  ඉවත්ව ගොස් “මේ බ්‍රාහ්මණයා අතිශයින් ඵරුෂය. ඒ කුමක් නිසාදැයි ඔහුගේ ශරීරය ලක්ෂණ බලනවිට අසත්පුරුෂයන් කෙරෙහි පිහිටන  අටළොස් පුරුෂ දෝෂයන් දුටුවා. . ඒ නපුරු බ්‍රාහ්මණයාද බෝසතුන් වෙතට පැමිණ පිළිසදර කථා කරමින් මෙලෙස අසන්නට වුනේ ඉතා කාරුණික ගුණවන්තයෙක් ලෙසින්.

” කිම භවතට රෝගයක් නැද්ද? කිම ඔබට දුකක් නැද්ද? කිම වනමල් වනඵලයන්ගෙන් යැපෙන්නෙහිද? කිම  අලවර්ග හා පලාඵල බොහෝ තිබේද? කිම මැසිමදුරුවෝද දීර්ඝජාති සර්පයෝද අල්පද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ උන්ගෙන් හිංසාවක් නැත්තේද?

අප මහා කාරුණිකයන් වහන්සේද  ඔහු සමග පිළිසදර කථා කරමින් මෙසේ පැවසුවා. “බමුණ අපට රෝග නැත්මය, තවද දුකක්ද නැත, වනමුල් වන ඵලයෙන් යැපෙමි. පළාපල බොහෝ ඇත. තවද මැසිමදුරැවෝද උරග ජාතිහුද අල්පම වෙති. සතුන්ගෙන් ගැවසී ගත් වනයෙහි අපට උන්ගෙන් හිංසා නැත. සත්මසක් කල් වනයේ වසන අප වසන තැනට බෙලිපහ හුණ දණ්ඩ ද ගිණිපුදන හැන්දද කමඩලාවද  දෙවියන් විසින් ගෙන ආ බව වර්ණනා කරමින්”  මේ බමුණාට පළමුකොට පෙන්නුවා.

 “බමුණ තොපගේ පැමිණීම යහපත් එකකි, තවද මේ පැමිණීම නොමනා එකක් නොවේ. භවත ඔබගේ දෙපා සෝදා පන්සල ඇතුළට පිවිසෙන්න.  තිබිරි, පියල්,මිහිය,කටුඑරමිණිය යන ඵලයෝද දඩුවෙල් බෑ මී ද ඇත. බමුණ හොද හොද දේ අනුභව කරන්න. මේ කළයේ පැන්ද සිහිල්ය. ගිරිකදුරුවලින්ගලා ආ ඒවාය. බමුණ තොප පානය කරනු කැමතිනම් එයින් ගෙන පානය කරන්න.

බමුණා ළමයින් ඉල්ලීම.

මෙසේද කියා මහා බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේද  සිතුවා. “මේ බ්‍රාහ්මණයා කිසිම හේතුවක් නැතිව මේ මහා වනාන්තරයට පැමිණියේ නොවන්නේය. පැමිණි කාරණය ප්‍රමාද නොකොට ඔහුගෙන් විචාරන්නෙමියි සිතා මේ ගාථාව කීවා.

බමුණ තොප කුමන කරුණකින් හෝ කවර හේතුවකින් නම් මහා වනයට පැමිණියාහුද? එවිට බමුණා මෙසේ කීවා.

යම්සේ පිරුණු දියකඩ හැමකල්හි නොගෙවේද, එවන් තොප අයදනට ආවෙමි. මාහට තොප දරුවන් දාසයන් ලෙස දෙන්න.

එවිට අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ

බමුණ,දෙදරුවන් දෙමි. කම්පා නොවෙමි, ඔබ මාගේ දරුවන්ට ප්‍රධානියා වී, ස්වාමියා වී ඔවුන් රැගෙන යන්න.

එහෙම කියල නිකන් හිටියේ නැහැ. බලන්න බෝසත්වරයකුගේ, මහා දානපතියකුගේ, සත්පුරුශයකුගේ ලක්ෂණ. තව දුරටත් මෙහෙම කිවා.

“රජ දුව උදයේම වනයට ගියාය. සවස වනයෙන් ආපසු එයි. බමුණ, එක රැයක් මෙහි නතරවී සිට අලුයම යව. ඒ මද්‍රි දේවිය විසින් නහවා හිස සිඹ සනසන ලද  මල්දම් පැළදි නොයෙක් සුවද කුසුමින් සදන ලද නොයෙක් සුවද විලවුන් ආලේප කරන ලද මගට අවශ්‍ය පළාපලද ඇතිව දරුවන් ගෙන යන්න.

එම කාරුණික වදන් අසා කපටි නපුරු ජූජක බමුණා මෙලෙස පිළිතුරු දුන්නා.

මද්‍රී දේවිය පිළිබඳව  බමුණාගේ අඩු තක්සේරුව

” රජතුමනි, මෙහි එක් රැයක් සිටීම නොකැමැත්තෙමි. ගමනම මට රුචි වෙයි. මෙහි විසීම මට ලාභාන්තරායද වන්නේය. එහෙයින් යන්නෙමි. එමෙන්ම කාන්තාවෝ ඉල්ලීමට සුදුසු නොවෙති. ඔව්හු පිනට බාධා කරති. ලාභයටද බාධා කරති. මායා මන්ත්‍ර දනිති. හැමදෙයක්ම අවැඩ ලෙස සළකති. යාචකයන්ට ලැබෙන දෙයටද බාධා කරත්, ශ්‍රද්ධාවෙන් දන් දෙන්නාහු මොවුන්ට මව නොදක්වව. ඔවුන් දුටුනම් දානයට අන්තරාය කරන්නීය. රජතුමනි ඒ නිසා යන්නෙමි. තොප දෙදරුවන් කැදවන්න. ඒ දරුවෝ මව නොදකිත්වා. මහරජතුමනි, මා වැන්නකුට පුත්‍රධනය දී දෙව්ලෝ යන්න. දරුවන් මා සමග එවන්න යැයි යදින්නට වුනා.

අනේ ඒ ආදරණිය බිරිඳ ගැන එලෙස අඩු තක්සේරුවක් කරනවිට අප මහා බෝසතාණන් වහන්සේට සිත නොරිදුණා වන්නට නුපුළුවන්. අප මහා බෝසතාණන් වහන්සේ තව දුරටත් මෙලෙස පැවසුවා.

දරුවන් තම පිය රජතුමාට පෙන්වීමට කියූ බස් ප්‍රතික්ෂේප කල කපටි ජුජකයා.

තොප මට පතිනිය වූ බිරිය දක්නට නොරිස්සුහුනම් නම් ජාලිය, ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනාව මුත්තා සදමහරජුට දක්වව. සිත්කළු වූ පියතෙපුල් ඇති මේ දෙදරුවන් දැක ඔද වැඩි සතුටු වූ  මහරජ තොපට බොහෝ ධනය දෙන්නේය. එවිට බමුණා

රජපුත්‍රය, මාගේ වචනය අසන්න. ඒ රජ මා දඩුවම් කිරීමට ඇමතියන් දෙන්නේ හෝ වෙයි. රජ මා විකුණන්නේ හෝ වෙයි. ඝාතනය කරන්නේ හෝ වෙයි. ධනය ද දාසයන්ද යන දෙකින්ම පිරිහුණු මම බැමිණිය විසින් ගැරහීමට ලක්වෙමි.

බෝසතාණන් වහන්සේ කාරුණිකව තව දුරටත් මෙලෙස කිවා.

සිත්කළු වූ ප්‍රියතෙපොල් ඇති මේ දරුවන් දැක සිවිරට වඩන දහමෙහි හැසිරෙන සිවි මහරජ ප්‍රීති සොම්නස් සිත් ඇතිව තොපට බොහෝ ධනය දෙන්නේය.

එම නිසා දරුවන් ඔවුන්හට පෙන්වන්න.

බෝසතාණන් වහන්සේගේ ඒ කාරුණික ඔවදන නපුරු ලෙස ඉවතලමින් ඒ ජූජක බමුණා තව දුරටත් මෙලෙස පැවසුවා.

“මහරජ, තොප මට යමක් කියවූ නම් එය නොකරමි. මම මේ දරුවන් බැමිණියගේ දාසමෙහෙවරට ගෙන යන්නෙමි. මට වෙන ධනයකින් ප්‍රයෝජනයක් නැත. මම මේ දරුවන් තමන්ගේ බැමිණියගේ දාසයන් ලෙස ගෙන යන්නෙමි.”

ජූජක බමුණාට බියටපත් දරුවන් පැන යාම. 

මේ සියල්ල අසල සිට අසා සිටි දෙදරුවෝ නපුරු බමුණාගේ නපුරු බස් අසා වෙව්ලන්නට වුණා. බොහෝ තැතිගෙන ඒ මේ ඇත  දුවන්නට වුණා. දරුවෝ ඔහුගේ ඒ නපුරු වචනය අසා පන්සල පිටුපසට ගොස් සැඟවුණත් එතැනත් අනාරක්ෂිත යැයි සිතමින් එතැනිනුත්  පැනගොස් වනරොදක සැගවී එහිදීද පුජකයා අවුත් අල්ලා ගන්නා යැයි සිතමින් කම්පාවට පත්ව කිසිතැනක සිටින්නට නොහැකිව එහෙමෙහෙ දුවගොස් සතරැස් පොකුරු තෙරට ගොස් ගොරෝසු වැහැරී වස්ත්‍රය පොරවාගෙන වතුරට බැස නෙලුම්කොළයක් හිසට තබාගෙන ජලයේ සැගවී සිටිය.  පුජකයාද දරුවන් නොදැක බෝධිසත්ත්වයන්වහන්සේට මෙලෙස අකාරුණික දොස් පවරන්නට වුණා.

වෙස්සන්තර රජුට අවලාද නැගු පවිටු ජූජක බමුණා.

“වෙස්සන්තරයෙනි, දැන්ම මට දරුවන් දෙනු. මම ඔවුන්ව ජයතුරා නගරයට ගෙන යන්නෙමි. දරුවන් මගේ බැමිණියගේ සේවකයන් ලෙස ගෙන යන්නෙමි”  කියා ඉගියක් කර හරියටම බෝසතාණන් වහන්සේ දරුවන් පලවාහැර නොදන්නාක් මෙන් පෙන්නා සිටියා. ඒ විතරක් නෙවෙයි  “ඔබ වැනි මුසාවාදියෙක් මේ ලොව නැතැයි සිතමි”  කියා කී කල්හි මහා බෝධිසත්ත්වයන්වහන්සේ මහත් ලෙස කම්පා වුණා.

තම දාන පාරමිතාව පුරන්නට උදව් වෙන්නැයි ආයාචනය කරන අප මහා බෝසතාණෝ.

ඔවුන් පැන ගියහයි සිතා “බ්‍රාහ්මණය, එලෙස නොසිතන්න. මම දරුවන් රැගෙන එමියි”  නැගිට පන්සල පිටුපසට ගොස් ඔවුන් වනරොදට පිවිසි බව දැනගෙන පියසටහන් අනුසාරයෙන් පොකුණුතෙරට ගොස් ජලයට බැස්ස පාසටහන් දැක ජලයට බැස සිටින්නාහු යයි දැන දරුව ජාලිය, ප්‍රිය පුත්‍රය එව මාගේ ප්‍රාර්ථනාව සම්පුර්ණ කරන්න. මාගේ ළය තෙත් කරන්න. මාගේ වචනය කරන්න.සංසාර සාගරයෙහි මට නිසල වූ ගමන් නැවක් වන්න. ජාති සාගරයෙහි පරතෙරට තරණය කරන්නෙමි. දෙවියන් සහිත ලොවැසියනුදු තරණය කරවන්නෙමි.” කියා පවනු ලැබුවා.

කුමාරයා පියාගේ හඩ අසා මෙසේ සිතුවා. ” බ්‍රාහ්මණයා මට කැමති දෙයක් කලාවේ, පියා දෙවරක් කතා කරනතෙක් නොසිටිනනේමි යයි”   හිස ඔසවා නෙලුම්කොළ බැහැර කර ජලයෙන් ගොඩ අවුත් බෝධිසත්ත්වයන්වහන්සේගේ දකුණු පාදය ලග වැදවැටී වළලුකරය තදින් අල්ලාගෙන හඬන්නට වුණා. ඉක්බිති බෝධිසත්ත්වයන්වහන්සේ ඔහුට මෙසේ කිවා, දරුව, ඔබගේ නැගණිය කොහිද?දරුව මේ සත්ත්වයෝ බියක් ඇතිවූ විට තමන්ව රැකගනිති. ඉක්බිති මහසත්ත්වයෝ මා විසින් දරුවන් සමග කතිකාවක් කලේ වන්නේයයි දැනගෙන “එන්න නැගණිය

එන්න නැගණිය ක්‍රිෂ්ණජින” යැයි හඬ ගැසුවා. අප මහා කාරුණිකයන් වහන්සේ තවදුරටත් දරුවන්හට මේ උතුම් පාරමිතා පුරණයේ අගය වටහා දෙමින්  මෙලෙස අයැද සිටියා.

දරුවන්ගේ කඳුළු බෝසතුන්ගේ පාදයත් බෝසතාණන් වහන්සේගේ කඳුළු දරුවන්ගේ පිටත් පුරා ගලායාම.

දරුව ප්‍රිය දියණියනි. මාගේ දාන පාරමිතාව සම්පුර්ණ කරන්න. මාගේ ළය තෙමන්න. මාගේ වචනය කරන්න. සසර සයුරෙහි මට නිසල ගමන් නැව වන්න. ජාති සාගරයෙහි පරතෙරට යන්නෙමි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් නගාලන්නෙමි.ඕ තොමෝද පියා සමග කථා දෙකක් නොකරන්නෙමි. ඒ මොහොතේදීම ඇය ගොඩ අවුත් බෝධිසත්ත්වයන්වහන්සේගේ වම් පා ලග වැටී වළලුකරය තදින් අල්ලාගෙන හඬන්නට වුණා.  ඔවුන්ගේ කදුළු බෝධිසත්ත්වයන්වහන්සේගේ පිපුණු පියුමක් බදු පාමත වැටී හිමිදිරියේ රෝස පුෂ්පයක් මත පිහිටි පිණිකැට මෙන් දිළිසුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට දුක හිතේවි. දෙපාලග වැටි හඬමින් සිටි දරුවන්ගේ රන්පලකයක් මෙන් වූ පිට මතට වැගිරුණු අප මහා බෝසතාණන් වහන්සේගේ  කදුළු වලින් ඔවුන්ගේ පිට තෙත් වී ගියා. මෙය ලියනවිට මටත් ඉකිගසමින් හැඬුනා. මම නොදැනුවත්ව හෝ සිතෙන් කයෙන් වචනයෙන් අප මහා බුදුපියාණන් වහන්සේ හට වරදක් කළා නම් පළමුවත් දෙවනුවත් තුන්වනුවත් සමාව අයැද සිටියා.

අපේ බුදුහාමුදුරුවෝ 131

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 26

ජූජක බමුණාහට දරුවන් දන්දීම.

ඔවුන්ගේ කදුළු බෝධිසත්ත්වයන්වහන්සේගේ පිපුණු පියුමක් බදු පාමත වැටී හිමිදිරියේ රෝස පුෂ්පයක් මත පිහිටි පිණිකැට මෙන් දිළිසුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට දුක හිතේවි. දෙපාලග වැටි හඬමින් සිටි දරුවන්ගේ රන්පලකයක් මෙන් වූ පිට මතට වැගිරුණු අප මහා බෝසතාණන් වහන්සේගේ  කදුළු වලින් ඔවුන්ගේ පිට තෙත් වී ගියා.

ඉන්පස්සේ අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ කුමාරයන් නැගිටුවා සනසා ” ජාලිය, කීම දරුව, ඔබ මාගේ දාන චේතනාව ගැන නොදන්නේද? මාගේ බලාපොරොත්තුව මස්තකප්‍රාප්ත කරන්නැයි “කියා වටිනා දෙයක් මිළ කරන්නාක් මෙන් එහිම සිට දරුවන් හට මිළ නියම කරන්නට වුණා. ඔබට හිතෙයි ඒ කුමක්නිසාද කියලා. ඒ වෙනකිසිවක් නිසා නෙවෙයි යම් කෙනෙකුට ඔවුන්ව දාස භාවයෙන් ගලවාගැනීමට හිතුනොත් ඒ සඳහා ගෙවිය යුතු මිළයි . උන්වහන්සේ  පුත්‍රයා අමතා මෙසේ කීවා.

බෝසතාණන් වහන්සේ විසින්ම තම දරුවන් වහල්බවෙන් නිදහස්කර ගැනීමට මිළ නියම කිරීම.

දරුව ජාලිය, නුඔ දාස කමෙන් නිදහස් වනු කැමැත්තේනම් බමුණාට තික දහසක් දී නිදහස් වන්න. ඔබගේ නැගණිය වනාහි අතිශයින් රූමත්ය. කිසියම් පහත් ජන්ම ඇති කෙනෙක් බමුණාට කිසියම් මුදලක් දී ඔබගේ නැගණියට නිදහස්කරගෙන ජාතිභේදය කරන්නේය. අන්තැනක රජු විසින් හැර සියල්ලෙන් සියය බැගින් දීමට හැකි කෙනෙක් නම් නැත. ඒ නිසා ඔබගේ නැගණිය දාසබවෙන් නිදහස් කරගනු කැමැත්තේ බමුණාට දාසයන් සියයක්, දාසීන් සියයක්, ඇතුන් සියයක්, අශ්වයන් සියයක්, වෘෂභයන් සියයක්, රන්මසු සියයක් යන ලෙස සියල්ල සියය බැගින් දී නිදහස් කරගන්න.

මෙසේ දරුවන් මිළකර අස්වසා අසපුවට ගෙනගොස් කෙන්ඩියෙන් පැන් ගෙන, “එම්බා බමුණ මෙහි එවයි අමතා සර්වඥතා ඤාණයට හේතුවේවායි  ප්‍රාර්ථනාකොට පැන් වත්කර, එම්බා බ්‍රාහ්මණය, මට දරුවන්ට වඩා සියගුණයකින් දහස් ගුණයකින් ශතසහශ්‍ර ගුණයකින් දෙව් බඔුන් මිනිසුන් මේ දුක් සහිත සංසාර සාගරයෙන් එතෙර කරවීම පිණිස  සර්වඥතා ඤාණයම ප්‍රිය වන්නේය” කියා මහපොළොව කම්පා කරවමින් බ්‍රාහ්මණයාට සිය දරුවන් දන් දුන්නා. . සිවිරට වඩන වෙසතුරු මහරජ තම ප්‍රිය දරු දෙදෙනා වන ජාලිය ක්‍රිෂ්ණජිනාවන් බමුණාට එලෙස දන් දුන්නා.

මහපොළව කම්පාවීම.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ දාන පාරමිතාව මෙලෙස විස්තර දේශනා කරන්නට වුණා.

“යම්විටක දරුවන් දෙදෙනා දන් දුන් කල්හි මහපොළොව කම්පා වීද එකල්හි යම් බිහිසුණු බවෙක් වීද එකල්හි ලොමුදැහැ ගැන්මක් විය. යම්කලෙක සිවිරට වඩන  වෙසතුරු මහරජ කළ බැදැදිලි ඇතිව සුවසේ විසූ දෙදරුවන් බමුණාට දන් දුන්නේද එදවස් යම් බිහිසුණු බවෙක් වීද එදවස් ලොමුදැහැගැන්මෙක් විය. එකල්හි දාන තේජසින් නද දෙන්නා වූ මහපොළොව කම්පා විය. සිනෙරු පර්වතරාජයා නැමුණේය. සියළු දෙවියෝ සාධුකාර දුන්හ. බඹලොව තෙක් ඒකකෝළාහල විය. හදිසි වර්ෂාවක් වැස්සේය. අකල්හි විදුලිය නිකුත් විය. හිමවත් වැසි සිංහාදිහු මුළු හිමවතම එකනින්නාද කළහ. මේ ආකාර බිහිසුණු බවක් විය..

සියුමැලි දරුවන්ට ගවයන්ට මෙන් තලමින් බමුණා රැගෙනයාම.

මහා බෝධිසත්ත්වයන්වහන්සේ දරුවන් දන් දී අහෝ! මා විසින් මනාකොට දන් දෙන ලදී යැයි සතුටු උපදවාගෙන දරුවන් දෙස බලමින් සිටියා. බමුණා වනරොදට පිවිස වැලක් අතින් කඩාගෙන කුමාරයාගේ දකුණ අත කුමරියගේ වම් අතේ බැද එම වැල් කෙළවර අල්ලාගෙන තලමින් වෙසතුරු රජු බලා සිටියදී ම දරුවන් ගෙන යන්නට වුණා. එහිදී ඔවුන්ට පහර දුන් තැන්වල සම බිඳුණා. එයින් ලේ වැගිරෙන්නට වුණා.  පහරදෙන කල්හි ඔවුනොවුන් එකිනෙකා ආරක්ෂා කිරීමට පිට දෙන්නට වුණා. 

ජාලිය කුමරු බමුණාගෙන් මිදී බෝසතාණන් වෙතට පළායාම.

ඉන්පසු හදිසියේම එක් විෂම තැනක බමුණා කකුල පැකිළී බිම වැටුනා. කුමාරයන් ගේ මෘදු අත්වලින් තදවී තිබුණු වැල ගැලවී ගියේ ඒ මොහොතේ.  ඔහු හඩමින් පැනගොස් බෝධිසත්ත්වයන්වහන්සේගේ සමීපයට පළාගියා. . කදුළු පිරි දෑසින් ජාලිය කුමරා පියා දෙස අහිංසක ලෙස බලමින්,  බෝපත් සෙයින් වෙවූළමින් පියාණන්ට වදින්නට වුණා. පියාණන් වහන්සේගේ පාවැද මෙවදනන් පවසනු ලැබුවා.  පියාණෙනි අම්මා ද පන්සලින් බැහැර නික්ම ගිහින්. පියාණෙනි ඔබද අපව බමුණාට දුන්නා. පියාණෙනි ඔබ අපව දෙන්න එපා. යම්තාක් අපගේ මව්තුමෝ ඒ ද එසද මේ බමුණා රිසිසේ අපව විකුණනවා නැත්නම් මරනවා. ඉන්පසු බමුණා ගේ නපුරු දේහ ලක්ෂණ මෙලෙස ප්‍රකාශ කරන්නට වුණා.

අසත්පුරුෂ බමුණාගේ  දේහ ලක්ෂණ පවසමින් ජාලිය කුමරු නංගිව බේරාගන්නා ලෙස අයැදීම.

මේ බමුණා හට බකල වූ පාද ඇත්තේය. කුණු නිය ඇත්තේය.තවද එල්ලා හැලෙන පීඩිමස් ඇත්තේය. දිගු උඩුතොලුය, මහතොලුය. නිකුත් දළ ඇත්තේය. බුන් නාසා ඇත්තේය. සැළ බදු උදර ඇත්තේය. තුන් තැනකින් වක්වූ බිදුණු පිටකොදු ඇත්තේය. තවද වමරු සිය, තඹදැලි ඇතියේය. තඹවන් රැවුල,රන්වන් වැඩුණු කෙස්,  කළුතල කැළැල් වලින් පිරීගිය සම රැලි ඇතියේය. කටහඬ වැනි හඬක් නිකුත්වන ඇටසන්ධිවලින් යුක්තය. බළල් ඇස් ඇතියේය. කටිය පිට කදට වකැ, විසුළු පා ඇතියේය. මහ සිරුර ඇතියේය. අදුන් දිවිසම් දරයි. මිනිස් වෙසින් හැසිරෙන මොහු යක්ෂයෙකි. අතිශයින් හිංසාකාරීය, බිය ගෙන දෙයි.  මොහු අපගේ මස් කණු කැමතිව ඔබගෙන් පුත්‍ර ධනය ඉල්ලයි.  පියාණෙනි මේ පිසාචායා විසින් ගෙනයනු ලබන අප දෙස කුමට උදාසීනව බලන්නේද? පියාණෙනි, මවුපියන්ගේ හදවත් දරුවන් කෙරෙහි මෘදු වෙයි.  දරුවන්ගේ දුක නොඉවසයි. ඔබගේ සිත ගලින් කලේ යැයි සිතමි. එසේ නැත්නම් ලෝහයෙන් බඳනා ලද්දක් මෙනි. ඒ නිසාවෙන් අපහට මෙවන් දුකක් ඇති වූ කල ඔබට නොදනේන්නේද? එසේත් නැතිනම් නොදන්නා ලෙස සිටින්නේද? අතිශයින් නපුරු මෙම බමුණා විසින් නංගිවත් මාත් දැඩිකොට බැඳ සිටින බව ඔබට නොපෙන්නේද? පියාණෙනි ක්‍රිෂ්නජිනාව කිසිම දුකක් නොදනී. යම්සේ කිරි පිපාසයෙන් මුළා වූ මුවපෙල්ලක් රංචුවෙන් මගහැරී කිරිසොයමින් හඬනාමෙන් හඬයි. ඇය මව නොදැක හඬා වැලපී මරණයට පත්වේවි. ඒ නිසා මා පමණක් බමුණාට දෙන්න. මේ ක්‍රිෂ්ණජිනාව මෙහි රඳවාගන්න. මේ සියල්ල අසා සිටි මහා බෝධිසත්ත්වයෝ කිසිවක්ම පැවසුවේ නැහැ. ඒ ඔබ සහ අප වෙනුවෙන්මයි. ඉන් පස්සේ කුමාරයා මවුපියන් පිළිබඳව වැළපෙමින් මෙසේ කිවා. 

 මට ලැබෙන දුක් දුක් නොවෙයි. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමයි. යම්හෙයකින් අම්මා නොදකී ද ඒ දුක මට පහරදීමෙන් ලබන වේදනාවට වඩා සියගුණයකින් දුකය. මට ලැබෙන දුක දුකක් නොවේ. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමයි. යම්හෙයකින් පියා නොදකී ද ඒ දුක මට මෙයට වඩා දුක් දෙයි. මනා සොදුරු  දැකුම් ඇති ක්‍රිෂ්ණජිනා කුමරියව නොදක්නා මව්තොමෝ සහ පියාණන්  දුකින් බොහෝකලක් අසපුවෙහි හිද  වැළපෙයි. ඒ අපේ මව්තුමෝ මුළුරැයක්ම අප සිහිකර බොහෝ දුකින් වැළපෙයි. ජලය ස්වල්පයක් ඇති කුඩා නදියක් මෙන් වියළී යයි.(අරුණ නැග එනවිටම වියළි මැරෙන්නේය යන අදහසින් කියන ලදී.)

මේ අඹ වෘක්ෂයෝ එළෙන අතු ඇති තික ගස්ය. නොයෙක් ආකාර ගස් ඇත. අද අප ඒ සියල්ල හැර පියා යන්නෙමු. මේ ඇසතු රුක්ය, පනාරුක්ය, හෙළකිද ඇසතු රුක්ය,නොයෙක් ආකාර පලු දරන වෘක්ෂයෝය. ඒ සියල්ල හැරපියා යන්නෙමු. පෙරයම් තැනක හිද ක්‍රීඩා කළේනම් මේ ඒ සියල්ල හැරපියා යන්නෙමු. මේ ගල් මුදුන්වල ඇති නොයෙක් වර්ගයේ මල් පෙර පැළදෙමුද ඒ හැම අද හැරපියා යන්නෙමු. මේ ගල් මුදුනෙහි නන්වැදෑරුම් ඵලජාති වේද ඒවා පෙර වැළදු ඒ හැම අද හැරපියා යන්නෙමු. පෙර යමකින් අප බොහෝ වේලා සෙල්ලම් කලේද, ඒ අපගේ පියා විසින් අපට සෙල්ලම් කිරීමට තනා දුන්  ඇත්රූප, අශ්වරූප,ගවරූප, ආදී ඒ හැම දේ අද හැරපියා යන්නෙමු.

බෝසතාණන් වහන්සේ නිහඬබව රකිද්දී ජූජක බමුණා දරුවන්ට තලමින් හිරිහැර කරමින් රැගෙනයාම.

මෙසේ සිය නැගණිය සමග හඩාවැලපෙන දරුවන් දෙදෙනා පුජකයා අවුත් පහරදෙමින් රැගෙන ගියා. බමුණා විසින් ගෙනයනු ලබන ඒ කුමාරයා පියමහරජහට මෙසේ කියයි පියාණෙනි “අප නිරෝගී බව අම්මාට කියන්න. පියාණෙනි ඔබට සැපවේවා. මේ අපගේ සෙල්ලම් අලි, අශ්වයින් සෙල්ලම් හරකුන් ආදීය අම්මට දෙන්න අම්මා එයින් පුත්‍රශෝකය දුරුකර ගනී.

දරුවන් දන් දුන් බෝසතාණන් වහන්සේ දරාගත නොහැකි ශෝකයෙන්  තනිව වැළපීම.

මෙලෙස නින්දා පරිභව කරමින් තලමින් තම දරුවන් රැගෙන යනතෙක් බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට දරුවන් අරභයා  මහා ශෝකයක් උපන්නා. හෘදයමාංශයම  පත්වුණා . කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන්, රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වාභාවික ලෙස සිටින්නට අපොහොසත් වී  කදුළු පිරි දෙනෙතින් පන්සලට පිවිස වේදනානෙන් හැඩුවා. ඒ හඬ වනය පුරා රැවු පිළිරැවු  දෙන්නට ඇති. ඒ සියලු කැප කිරීම් නිසාම ඔබද මාද ඇතුළු ප්‍රකෝටි ගණනක දෙවු මිනිස් බඹුන් මේ බියකරු සංසාරේ යම්තමට හෝ දුගතියක  නොවැටී යන්නට තරම් වාසනාව  ලැබුවා.

අපේ බුදුහාමුදුරුවෝ 132

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 27

 මෙලෙස නින්දා පරිභව කරමින් තලමින් තම දරුවන් රැගෙන යනතෙක් බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට දරුවන් අරභයා  මහා ශෝකයක් උපන්නා. හෘදයමාංශයම  රත්වුණා. කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන්, රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වාභාවික ලෙස සිටින්නට අපොහොසත් වී  කදුළු පිරි දෙනෙතින් පන්සලට පිවිස වේදනානෙන් හැඩුවා. ඒ හඬ වනය පුර රැවු පිළිරැවු  දෙන්නට ඇති. ඒ සියලු කැප කිරීම් නිසාම ඔබද මාද ඇතුළු ප්‍රකෝටි ගණනක දෙවු මිනිස් බඹුන් මේ බියකරු සංසාරේ යම්තමට හෝ දුගතියක  නොවැටී යන්නට තරම් වාසනාව  ලැබුවා.

ක්‍ෂත්‍රිය වූ වෙස්සන්තර රජු දරුවන් දන් දී පසුව දරුවන් හඩන හඩ අසා පන්සලට පිවිස බැගෑපත්ව වැළපෙන්නට වුණා.

 ” මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාටනම් හඩා කියත්ද? සවස ආහාර ගන්න වේලෙහි කවරෙක් ඔවුන්ට බොජුන් දෙත්ද? මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාහට හඩා කියත්ද? සවස ආහාර ගන්න වේලෙහි මෑණියනි, බඩගිනියි අපට ආහාර දෙන්න කියා අද කාහට කියන්නහුද? පා ගමනින් යන පාවහන් නැති මාගේ නොදරුවෝ ගමනේදී මිරිකුණාහු ඉදිමුණු පයින් සැටයොදුන් මග කෙසේනම් යයිද? ඔවුන්ගේ විඩාහැරීමට කවරෙක් ඔවුන් අතට ගනිත්ද?  මාගේ නිදොස් දරුවන්ට මා හමුවේදී පහර දෙන ඒ බමුණා කෙසේ නම් ලැජ්ජා නොවන්නේද? ඒ බමුණාට ලැජ්ජා නැත්තේමය. යමෙක් වනාහි මාගේ දාසියකගේ දාසයෙක් විද නැතහොත් අන් මෙහෙකරුවෙක් හෝ වීද ඕහට ද වඩා හීනතරයෙක් වීද ඕහට පවා ලැජ්ජා ඇති කවරෙක් පහර දෙන්නේද?

කෙමණෙහි බැදුණු මසකු මෙන් මා බලාසිටියදීම මාගේ ආදරණීය දරුවන්ට ආක්‍රෝෂ කරයි. පහරදෙයි. මෙසේ මහා බෝධිසත්ත්වයන්වහන්සේට දරුවන් පිළිබදව ආදරයෙන් සිතෙහි තර්ක විතර්ක ඇතිවුණා. මේ බමුණා මාගේ දරුවන්ට අතිශයින් වෙහෙසට පත්කරයි. බමුණාව ලුහුබැද ගොස් දිවිතොරකොට ඒ කුමාරවරුන් ගෙන එන්නමි. දරුවන්ට දෙන වධහිංසා මහා දුකකි. එය සුදුසු වුවක් නොවේ. මෙසේ දන් දී පසුතැවිලි වීම සත්පුරුෂයන්ගේ ස්වභාවය නොවෙයි සිතුවේය. යම්හෙයකින් දරුවෝ වෙහෙසෙත්ද ඒ වෙහෙස මට ඒකාන්තයෙන්ම බොහෝ දුක් ගෙන දෙන සුළුයි. ඉන්පසු බෝධිසත්ත්වයන්වහන්සේ පෙර බෝධිසත්ත්වයන්වහන්සේලාගේ ප්‍රවේණි ධර්මය, බෝධිසත්ත්වයන්වහන්සේලාගේ පරම්පරා ධර්මය  සිහිපත් කරනු ලැබුවා.

දරුවන් දන්දී සොවින් වැලපෙන අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ  සිත සදා ගැනීම.

 සියලුම බෝධිසත්ත්වයන්වහන්සේලා ධන පරිත්‍යාගයෙන්, අංග පරිත්‍යාගයෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, දරුවන් පරිත්‍යාගයෙන්, බිරිද පරිත්‍යාගයෙන් යන මේ මහා පරිත්‍යාග පස කඩකර බුදු වූ කෙනෙක් නම් නැත. මමද ඒ කොටසට අයත් වෙමි. මා විසින්ද දූදරුවන් දන් නොදී බුදුවන්නට නොහැකිය සිතා, කිම! වෙස්සන්තර නුඹ අනුන්ට දාසපිණිස දුන් දරුවන්ගේ දුක්බව නොදන්නෙහිද? යම්හෙයකින් ලුහුබැද ගොස් ඔහුව මරා දමන්නෙමියි අදහසක් ඇතිකර ගත්තෙහිද, දනක් දී පසුතැවිලි වීම නම් නුඹට නුසුදුසු දෙයකි. මෙසේ තමන්ට නින්දා කරගෙන ඉදින් ඔහු දරුවන් මරන්නේද දෙන ලද කාලයේ පටන් මට කිසිවක් නොඇසේවායි  මෙසේ දැඩි ලෙසේ අධිෂ්ඨාන කරගෙන පන්සලින් නික්ම පන්සල්දොර අසල ගල්තලාවේ රන්පිළිමයක් මෙන් සිටියා. පුජකයාද කුමාරයන්ට බැටදෙමින් ගෙන ගියා.

ජාලිය කුමාරයා වැළපෙමින් මෙසේ පවසනු ලැබුවා.  “මේ ලෝකයේ ඇතැම් මිනිස් කෙනෙක් යමක් අබියස සිට මව යම්සේ නැද්ද ඔහු ද නැතැයි සැබෑවක්ම කීහ. ක්‍රිෂ්ණජිනාවෙනි! ධනය සොයන ඉතා රෞද්‍ර බමුණාට පියරජ විසින් අපි දෙනු ලදුම්හ. එන්න මියම්හ. ගවයන්ට මෙන් අපට පහර දේද, ඔහු ලග අපට ජීවිතයෙන් වැඩක් නැත.”

නැවතද බමුණා වැටී දරුවන් පළායාම .

නොදරුවන් දෙදෙනාට මහත් දුක් දෙමින් බමුණා ගෙනයන අතරතුරේ නැවතද බමුණා එක් විෂම තැනක පැටලී වැටුනේය. ඔවුන්ගේ අත්වලින් බැමි ගැලවී ගියේය. ඔවුහු පහරදෙන ලද කුකුළන් මෙන් කම්පාවෙන් පලාගොස් එකවේශයෙන්ම පියා සමීපයට ආවාහ. බැදගෙන යනු ලබන ක්‍රිෂ්ණජිනා දෙකුමාරයෝ බමුණා අතින් මිදී ඒ ඒ තැන්හි දිවගියහ. ඔහුගෙන් මිදුණු කෙණෙහිම යම්පැත්තක පියා සිටීද, එහි දුවගෙන ගියාහ. බමුණා වේගයෙන් නැගිට දණ්ඩක් ගත ඇත්තේ කල්ප විනාශයෙන් නැගී ගින්නක් මෙන් ගුගුරමින් අවුත් නුඹලා පැනයන්නට දක්ෂයි කියා අත්බැද නැවත ගෙන ගියේය. ක්‍රිෂ්ණජිනා පියරජුහට මෙසේ කියා වැලපුනේය.  පියාණෙනි මේ බමුණා තමාගේ ගෙයි උපන් දාසියකට මෙන් වැල්කොනින් පහරදෙයි. පියාණෙනි මේ බමුණෙක් නෙවෙයි. බමුණෝ දැහැමි වෙති. පියාණෙනි යමෙක් බමුණු වෙසින් අපව කන්නට හෝ පිසින්නට  ගෙනයයි. පියාණෙනි යකකු විසින් අපව කන්නට ගෙනයන කල්හි කුමට උපේක්ෂාවෙන් බලා සිටින්නේ ඇයි? පියාණෙනි ඔබ සැමදා සුවෙන් සිටින්න.

පළා පැමිණි ක්‍රිෂ්ණජිනාගේ ශෝකාලාපය අසා දරාගත නොහැකි ශෝකයෙන්  කඳුළු ලේ බවට පත්වීම.

සියල්ල ඉවසාවදාරමින් සිටි බෝසතාණන්වහ්න්සේට  ලාබාල කුමරිය වැලපෙමින් කම්පා වෙමින් යන කල්හි මහා බලවත් ශෝකයක් යලි උපන්නා. හදවත උණුසුම් වුණා. ඒ ගලාගෙන පැමිණි මහා සුසුම්දාරාවට නාසය නොසෑහෙන බැවින් මුඛයෙන්ද  උණුසුම් ආශ්වාස ප්‍රාශ්වාස පිටකලා.  ඒ මහා පිය සෙනෙහසට ඒ  මොහොතේ  කදුළු ලේ බවට පත්වී නේත්‍රයන්ගෙන් ගලා ගියා. ඒ ලේකඳුලින් දෙකොපුල් සිරුර තෙත් වෙද්දී අප මහා බෝසතාණන් අප වෙනුවෙන් සිත හදාගැනීමට මෙලෙස සිතන්නට වුණා.

දුක ස්නේහයේ දෝෂයක් බව දකිමින් යලිත් සිත සාදාගැනීම.

” මේ බදුවූ දුකක් සෙනෙහසේ දෝෂයෙන්ම උපදී.  වෙන කරුණක් නිසා නොවේ. සෙනෙහෙ නොකොට මා මධ්‍යස්ථ වියයුතුයි. එබදු වූ ශෝකය හුලක්.”  මෙසේ සිතා තමන්ගේ ඤාණබලයෙන් දුක බැහැර කරගෙන ස්වභාවික ස්වභාවයෙන්ම ගල්රුවක් සේ සිටියා.  ගිරිදොරටුව විවර නොවූ නිසාම  කුමරිය වැළපෙමින් යන්නට ගියා.  අපේ මේ කුඩා පතුල් රිදෙයි. මාර්ගයද දුරය. දුෂ්කරයි. හිරුද පහතින් එලබෙයි. මේ බමුණා අපව ඉක්මන් කරවයි.

කිසිවෙකුගේ හව්හරණක් නැති දරුවන් දෙවියන්ට ආයාචනය කිරීම.

අවසානයේ කිසිම හවූ හරණක් නැති වූ දරුවන් සියලුම දෙවියන්ට යදින්නට වුණා. “පර්වතයෙහි උපන් දෙවියන්ටද වනයෙහි උපන් දෙවියන්ටද යටපත්ව හඩගා යදිමු. මේ විල්වලට අරක්ගත් දෙවියන්ද හිස් මුදුනින් වදුම්හ. සුන්දරවූ තොටුපොළවල් ඇති නදියෙහි උපන් දෙවියන් වදුම්හ. තෘණ දෙවියනි, ලිය දෙවියනි ඖෂධීය දෙවියනි, ගිරි දෙවියනි වන දෙවියනි අම්මාට අප නිරෝගී බව කියන්න. මේ බමුණා අප මරමින් ගෙනයයි. භවත්නි ඉදින් අප ලුහුබැද කැමතිනම් වහා අප අනුව එන්න. අප මෑණියන් මද්‍රි දේවියට කියන්න. මේ අඩිපාර අප කරා එයි. ඍජුව අසපුවට යයි. ඒ මාර්ගයෙන්ම එන්න ඔවුන් වහා දකින්නට ඇත්නම් යෙහෙකැයි කියන්න. අහෝ විපතකි දළමඩුලු ඇත්තිය. වනමුල්ඵල ගෙනෙන්නිය. අප නැති හිස් අසපුව දැක ඇයට මහත් වූ දුකක්ම වන්නේය. යමෙක් අපට ගවයන් සේ බැටදෙමින් ගෙනයාද ඒ ඉතා රුදුරු ධනය සොයන බමුණා විසින් බදනා ලද අපගේ තොරතුරු යම් මවක් නොදනීද ඒ මව විසින් වේලාව ඉක්මවා බොහෝ අල පලාපල ලද්දේය. අලමුල් පළවැල නෙළාගෙන සවස වනයෙන් ආ මව දක්නට ලැබේනම් හොදය. අම්මා දදුයෙල්බෑ මීයෙන් අනන ලද පළවැල මේ බමුණාට දෙන්නීය. එකල්හි ඒ පළවැල අනුභව කළ එහෙයින්ම තෘප්තිමත් වූ මේ බමුණා අපව ඉක්මනින් නොගෙනියයන්නේය. අපගේ පාද ඉදිමී ඇත. මේ බමුණා අපව වෙලමින් ගෙනයයි” කියා මවට ආදරය  කරන ඒ දරුවෝ ඒ මහා මාර්ගයේ වැළපුනහ. 

කුමාර කාණ්ඩය නිමි.

අපේ බුදුහාමුදුරුවෝ 133

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 28

දරුවන් දන්දීමේ තොරතුර බඹලොව දක්වා පැතිරයාම සහ දෙවියන් මද්‍රි බිසවගේ පැමිණීමට බාධා කිරීම.

මහාපොළොව කම්පා කරමින් රජු විසින් බමුණාට තම දරුවන් දීම බඹලොව දක්වා පැතිර ගියා. එයින් බිදුණු හදවත් ඇති හිමවත් වැසි දේවතොවෝ බමුණා විසින් ගෙනයනු ලබන ඔවුන්ගේ විලාපය අසා මෙසේ කතිකාකර ගත්හ. ඉදින් මද්‍රි දේවිය කල්ඇතිව අසපුවට පැමිණියහොත් එහි දරුවන් නොදැක වෙස්සන්තර රජුගෙන් අසා බමුණාට දන් දුන් බව දැනගෙන බලවත් සෙනෙහසින් පසුපස්සේ දුවගොස් මහත් දුකකට පත්වියහැකියි.  එලෙසෙ සිතූ ඒ දේවතාවෝ  සිංහ,ව්‍යාඝ්‍ර,දිවි,යන වෙස්ගෙන මද්‍රි දේවියගේ ගමන්මග බාධාකරමින් ඇය නැවත අසපුවට එන මග අහුරා සිටියා.  එහෙම කරලා නිකම්ම හිටියේ නැහැ. ඉර බැසයනතුරු මාර්ගයේ ඉඩ නොදී සිටීම නිසා යම්සේ සද එළියෙන් අසපුවට පැමිණේද එවිට සත්‍ය වශයෙන්ම කැළයේ වසන  සිංහ ආදී සතුන්ගෙන් පීඩාවක් ඇයට නොවන ලෙස ඇයව ආරක්ෂා කරන්නටද කතිකා කරමින් මෙලෙස පැවසුවා.

” අපගේ රජදේවිය සන්ධ්‍යාවේ වනයෙන් නොඒවා. අප නිරන්තරයෙන් පරිභෝග කරන වනයෙහි චණ්ඩ මෘගයෝ ඇයට පීඩාවක් නොකරත්වා. සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ ඒ ශ්‍රීමතිය වෙහෙසට පත්කරන්නේනම් ජාලිය කුමරුන්හට පැවැත්මක් නැතිවෙනවා. ක්‍රිෂ්ණජිනා කෙසේ පවතීද? ඒ පින්වත් බිසෝ තොමෝ ස්වාමියාගෙනුත් දරුවන්ගෙනුත් යන දෙකොටසටම අහිමිවෙනවා.  එමනිසා ඇයට ආරක්ෂාව මනාව සංවිධානය කරව්.”

වැසි දෙවියන් නපුරු සතුන් මෙන් මද්‍රි දේවිය එන මග පෙනීසිටීම. 

 ඉන්පසු  ඒ දේවපුත්‍රයෝ යහපතැයි ඒ දේවතාවන්ට ප්‍රතිඥා දී සිංහ, ව්‍යාඝ්‍ර ,දිවියන් ගේ වෙස් ගෙන ඇය එන ගමන්මග පිළිවෙලින් සිටියා. මද්‍රි දේවිය මෙසේ සිතුවා. “මා විසින් නරක සිහිනයක් දකින ලදී. ඉක්මනින් මූලපලාදිය ගෙන අසපුවට යන්නෙමියි”  කම්පාවෙමින් මූලපලයන් සොයා බලන්නට වුණා. ඉක්බිති ඇගේ අතින් අලවංගුව බිම වැටුණා. එසේම පසෙකින් එල්ලාගත් පැස ද වැටුණා.  දකුණු ඇසද සෙලවෙන්නට වුණා.  ඵල දරන ගස් ඵල නැති ඒවා ලෙසත්, ඵල නැති ගස් ඵල ඇති ලෙසත් පෙනෙන්නට වුණා. ක්‍රමක්‍රමයෙන් මද්‍රි දේවියට දස දිසාවම නොපෙනී ගියා.  ඇය මේ කුමක් සිදුවන්නේදැයි බලා අද සිදුවන්නේ කලින් කිසි දිනක සිදු නොවූවක්යැයි මෙසේ සිතන්නට වුණා.

මද්‍රි දේවියට දස දිසා අමතකවීම.

“මා අතින් පොළොව කණින හුල ගිලිහුණි, දකුණු ඇසද සැලෙයි. පළ ඇති රුක් පළ  නැති සේය. මට සැට දිශාවක් මුලාව පෙනෙයි. මා සවස් වේලෙහි හිරු අවරට ගිය කල්හි අසපුව දෙසට එනකල්හි සැඩ සිව්පාවෝ පෙරමග නැගී සිටියහ. හිරුද බැසයයි. අසපුවද ඉතා දුරය. දරුවන්ට යමක් මෙයින් ගෙනයම්ද ඔවුහු ඒ බොජුන් වළදන්නාහ. වෙස්සන්තර රජුන් මා නො එන්නා දැක සාගිනි ඇති හඩන දරුවන් සනසමින් අසපුවෙහි හුදෙකලාව හිදින්නේයැයි සිතමි. මාගේ බැගෑ වූ පින් නැති දරුවෝ සවස බොජුන් වේලෙහි කිරිබොන ඒ දරුවෝ කිරි නොලැබ නිදිතීයි සිතමි. බඩගින්නේ සිටින ඔවුන් මව්දෙන එනකම් පෙරමග පැමිණ සිටින වසුපැටවුන් මෙන් මා එනතෙක් පෙරමග බලා සිටිතීයි සිතමි. මාගේ දරුවෝ විල්පිට හංස පෝතකයන් මෙන් මා එනතෙක් බලා සිටිතීයි සිතමි. මාගේ දරුවෝ මා එනතෙක් අසපුව අබියස පෙරමග බලා සිටිතීයි සිතමි. එක් අඩිපාරක් ඇත.එය එකම මගය. දෙපසම විල් හා හෙල්ය. යම් මගකින් අසපුවට යන්නේමි නම් එබදු අන් මගක් නොදකිමි. ඇය වෙනත් මගක් නොදැන පළාපල පැස හිසෙන් බිමට බා ඇදිලි බැදගෙන වදිමින් මෙසේ කීවාය.

මද්‍රී බිසවගේ අධිෂ්ඨානය

“වනයේ මහා බලැති මුවරජහට නමස්කාර වේවා. දැහැමින් මට සොහොයුරෝ වව්. මා විසින් අයදනා ලද තෙපි මට මග ඉඩදෙව්. මා රටින් නෙරපන ලද සිරිමත් වෙසතුරු මහරජුගේ අඹු වෙමි. මම ඔහු රාම රජහට අනුගත වූ සීතා දේවිය මෙන් ඔහු ඉක්මවා වෙනකෙකු ගැන නොසිතමි. එපරිද්දෙන්ම මම ද වෙස්සන්තර රජුහට උපස්ථාන කරයි. තෙපිදු සවස ගොදුරු ගන්නා වේලෙහි තොප දරුවන් බලව්. මමද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දකින්නෙමි. මේ අල හා පළවැල බොහෝය. මෙහි කෑ හැකි දේ බොහෝය. එයින් අඩක් තොපට දෙමි. මා විසින් අයදනා ලද තෙපි මට මාර්ගයේ ඉඩ  දෙන්න. අප මව් රජුය, අප පිය රජුය තෙපි මට දැහැමින් සොහොයුරු වව්. මා විසින් අයදනා ලද තෙපි මට මාර්ගයේ ඉඩ  දෙන්න. “

ඉක්බිති ඒ දෙවපුත්‍රයෝ වේලාව බලා දැන් මැයට මාර්ගය ඉඩ දිය යුතුයැයි දැනගෙන නැගිට පිටව ගියා. වැලපෙන්නාවූ ඇගේ බැගෑබවින් මුසුවූ බොහෝ මියුරුතෙපුල් වචන අසා සැඩ නපුරු වෙස් ගත් දේවපුත්‍රයෝ මගින් බැහැර වුණා. මද්‍රි දේවියද මෘගයන් ඉවත්ව ගිය කල්හි අසපුවට ගියා. එදිනද පුන්පොහෝ දිනයක්. ඇය සත්වන කෙළවර සිට යම්තැනක් පෙර දරුවන් දකීද ඒ තැන්වල දරුවන් නොදැක මෙසේ කීවාය.

පෙරමගට දරුවන් නොපැමිණි සොවින් භීතියෙන් කම්පනයට පත්වූ මද්‍රි බිසව.

පස් වැකුණු සිරුරු ඇති දරුසිගිත්තෝ පෙරනම් මව්දෙන පෙරමගට ආ වසුපැටවුන් මෙන් මා ඉදිරියට ආවාහු. මේ මේ තැන්හි පෙර සිටිති. පස් තැවරුණු සිරුරු ඇති දෙදරු බිළින්දෝ විලේ මතුපිට හංස පෝතකයන් මෙන් පෙරනම් මා ඉදිරියට එයි. ඒ දෙදරුවෝ කන් ඔසවාගත් මුවපොව්වන් මෙන් මා දැක සතුටු වෙයි. ප්‍රමුදිත වෙයි. යම් සේ මුවපොව්වෝ මව දැක කන් ඔසවා ගෙල දිගු කොට මව ලගට ගොස් තුටුපහටු වූවාහු හාත්පස දුවති. පනනුවන් මෙන් මාගේ ළය කම්පා කරයි. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.

පැටවුන් අතහැර ගොදුරට ගිය එළුදෙනක මෙන් මුවපෙල්ලක මෙන්  කැදැල්ල හැරගිය කිරිල්ලියක මෙන් ගොදුරට ගිජු සිංහ දෙනක මෙන් දරුවන් හැරපියා අහර සොයා නික්මුණෙමි. යම්සේ එළුදෙන, මුවදෙන, මැදිරි සංඛ්‍යාත වූ කුඩුවෙන් මිදුණු පක්ෂියෙක් මෙන්  තමන්ගේ පැටවා තබා ගොදුර සදහා යන්නීද එපරිද්දෙන්ම මම දරුවන් දමා ආහාර සෙවීමට ගියෙමි.

 ඒ මට ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත. පර්වතයෙහි ඇතුන්ගේ පියසටහන් ලෙසින් මේ ඔවුන් ඇවිදි පියසටහන් පෙනෙයි. අසපුව අබියස වැලි සෑයවල් විසිරී ඇත. ඔවුන්ගේ ක්‍රීඩා කරන ස්ථානයෙහි එහෙමෙහෙ දුවනලද අඩි පාරවල් පෙනෙයි. ගොඩනගන ලද වෙලිගොඩවල් විසිරී ගොස් ඇත.  ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.

තවරාගත් වැලිවලින් ගැවසීගත් දරුවෝ වෙනදාට මා සිසාරා දිවයෙති. ඒ දරුවන් අද දක්නට නැත.

පෙර යම් දරු කෙනෙක් වනයෙන් එන මා දුරදීම දැක පෙරමගට එත්ද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.

පෙර ඔවුන් අසපුවෙන් පෙරමගට අවුත් මව් එළුදෙන  මව් මුවදෙන එනතෙක් බලාසිටිනා පැටවුන් මෙන් දුරසිට මා එනකම් බලා සිටී. අද ඒ දරුවන් පෙනෙන්නට නැත.

මේ ද ඔවුන්ගේ කෙළිබඩු වූ ගිලිහී වැටුණා වූ ඉදුණු  ඵලය. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් අද දක්නට නැත.

මාගේ දෙතන් කිරියෙන් පිරී ඇත. ළය පැළෙනු වැනියි. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් අද මා නොදකියි.

එකෙක් මා හින සොයයි. අනිකා තනයෙහි එලබගනී. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදකිමි.

යම්දරු කෙනෙක් පස් වැකුණු සිරුරු ඇතිව සවස් වේලෙහි මාගේ ඇකයෙහි පෙරළෙත්ද ඒ දරුවන් අද නොදකිමි.

පෙර දවස යම් අසපුවක් කෙළි මඩලක් මෙන් මට වැටහුනේ වේද මේ ඒ අසපුවයි. අද ඒ දරුවන් නොදක්නා මට අසපුව භ්‍රමණය වෙන්නාක් මෙන් දැනේ. මේ කුමක්ද? අසපුව නිහඩව මෙන් මට වැටහෙයි. වන කවුඩෝද නො හඩති. මාගේ දරුවෝ මළාහු දෝ වෙත්දැයි? මේ කීම? නැතහොත් කවරෙකු විසින් ගෙනයන ලදද?

මෙසේ ඇය වැලපෙන්නී බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඩව සිටින බෝධිසත්ත්වයන්වහන්සේ දැක දරුවන්ද ඔහු ළග නැති බව දැක මෙසේ පවසමින් හඬා වැළපෙන්නටවුවා.

අපේ බුදුහාමුදුරුවෝ 134

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 29

ගැන අසා හඬා වැටුණු මද්‍රී බිසව සහ මුනිවත රැකි වෙසතුරු කුමරු

මෙසේ ඇය වැලපෙන්නී බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඩව සිටින බෝධිසත්ත්වයන්වහන්සේ දැක දරුවන්ද ඔහු ළග නැති බව දැක මෙසේ පවසමින් හඬා වැළපෙන්නටවුවා.

ස්වාමිනි, ඔබ ඇයි අද නිහඬ?  මාගේ සිත ඉතා අළුයම  සිහිනයක් දුටු කලෙක මෙනි. අද වනකවූඩෝද නො හඩති. මාගේ දරුවෝ මළාහුද? කිම ස්වාමිනි, මාගේ දරුවෝ චණ්ඩ සිව්පාවෝ කෑවාහුද? ජනශුන්‍ය වූ ඕජස් නැති වනයෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙනයන ලද්දාහුද? එසේ නැතහොත් ඔබ විසින් සිවිරජුගේ සමීපයට දුතයන් ලෙස දූත මෙහෙයට යවන ලද්දාහුද? නැත්නම් ප්‍රිය තෙපුල් ඇති දරුවෝ නිදාගත්තාහුද? නැත්නම් ඔවුහු ක්‍රීඩාවෙහි යෙදී බැහැර ගියාහුද? ඔවුන්ගේ අදුන්වන් කේශයෝ නොපෙනෙති. රන්දැළින් විසිතුරු වූ අත්පා නොපෙනේ. හිමවත් පෙදෙසෙහි ඇත්ගිජුළිහිණියෝ නම් පක්ෂීන් සිටියි. ඔවුන් විසින් මාගේ දරුවන් ගෙනයන ලද්දාහුද?  දරුවෝ කවරක්හු විසින් ගෙනයන ලද්දාහුද? මෙසේ කී කල්හි ද බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක් නොකීවා. නොකීවාට වැඩිය දියහැකි පිළිතුරක් නොතිබෙන්නට ඇති.

ඇයි ස්වාමීනි, කුමක් නිසා මා සමග නොකියන්නේද? මාගේ වරද කුමක්ද? කියා මෙසේ කීවා. අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නො දකිම්ද? ඒ දුකට වඩා ඔබ කථා නොකරන එක ඉතා දුකක්ය. හුළින් විදින ලද වනයක් මෙනි. අද මම ඒ දරුවන් නොදක්මි. ඔබද මා හා කථා නොකරයි. මේ දෙවැනි හුළද මාගේ ළය කම්පා කරවයි. රාජපුත්‍රයාණෙනි, අද මේ රාත්‍රිය මා හා කථා නොකරන්නාහු නම් පැහැව ගිය දිවි ඇති මා උදයේ මළ එකකු ලෙස දකින්න. ස්වාමිනි, රටින් නෙරපන ලද වනයෙහි වාසය කරන දරුවන් දකින්නට නැති මා සමග මේ දුක නොකියා සිටීම ඊටත් වඩා දුකකි. ඔබ වනාහි ගින්නෙන් දැවුනු මා නැවත දවන්නාක් මෙනි. තල්ගසින් වැටුනහුට මුගුරකින් ගසන්නාක් මෙන් නිහඩතාවයෙන් මා වෙහෙසට පත්කරන්නෙහිය. මේ මාගේ හදවත ආයුධයකින් විදින ලද්දක් මෙන්ද එසේම වනයක් මෙන්ද වේදනාවට පත්වෙයි. කම්පාවෙයි. 

වෙසතුරු කුමරු මද්‍රී දේවියගේ සිත වෙනතකට යොමු කිරීම සඳහා ඇයට අභූත චෝදනා කිරීම.  

මහාසත්ත්වයෝ කර්කශ කථාවෙන් ඇගේ දරුශෝකය දුරු කරන්නෙමියි සිතා මෙසේ ඇසුවා.

“රුපශ්‍රියෙන් යුත් යසස් ඇති මද්‍රිරාජදේවිය, ඔබ වනමුල් පළවැල පිණිස උදයෙන්ම ගියා නොවේද? කුමන කරුණකින් ප්‍රමාදවී ආවාහුද? මද්‍රි දේවිය, නුඹ රූමත්ය,පැහැපත්ය,හිමවත වනාහි වනයේ හැසිරෙන බොහෝ තාපස විජ්ජාධරයන්ගෙන් යුක්තය. ඔබ  විසින් කුමක් කරන ලද්දේ දැයි කවුරු දනීද? ඔබ අළුයම ගොස් කුමක් නිසා මේ සවස එන්නෙහිද? සිගිති දරුවන් දමා වනයට ගිය ස්ත්‍රීහු නම් ස්වාමිවරුන් සහිත නම් මෙසේ නොකරන්නාහ. මාගේ දරුවන්ගේ තොරතුරු මොනවාද? මාගේ ස්වාමියාට කුමක් වීද? යන මෙපමණක්වත්  ඔබට සිතුනේ නැත. උදේම ගොස් සදඑළියේ එන්නෙහිය. මේ මාගේ දුගී බවෙහි දෝෂයක්මයැයි තර්ජනයකොට වංචාකර මෙලෙස පැවසුවේ ඇයගේ සිත වෙනතකට යොමු කිරීමට.

එම අභූත චෝදනාව නිසා දරුවන් අරඹයා ලතවිම මොහොතකට අමතකවීම.

මද්‍රි දේවිය ස්වාමියාගේ කථාව අසා මෙසේ කීය. යම් සිව්පා කෙනෙක් දිය බොන්නට විලට ආවාහුද ඔවුනතුරෙන් වෙසෙසින් නාදකරන සිංහයාගේද ව්‍යාඝ්‍රයාගේද අනිකුත් ඇත් ආදීන්ගේ කුරුළු සමුහයාගේද කුජනය  ඒ නින්නාද කිම ඔබට නොඇසුනාහුද? ( ඒ ශබ්දය බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දරුවන්ව දන් දෙන ලද වෙලාවේ විය.) මහාවනයෙහි සැරිසරන මට පෙරනිමිති පහළ වී මා අතින් අල කණන හුල ගිලිහී වැටුණේය. දසරුවෙන් පලවැල පැස ගිලිහී වැටුණේය. එකල්හි මට කම්පා වී බියපත්ව වෙන වෙනම ඇදිලි බැදගෙන මෙයින් ශාන්තියක් වන්නේයැයි සිතා හැම දිශාවන්ටම වැන්දෙමු. අප හිමි රාජපුත්‍රයා සිංහයකු විසින් හෝ දිවියකු විසින් නොනසාවා.දරුවෝ ද වලස් වෘක යන සතුන්ගේ හිංසාවට පත්නොවෙත්වායි ප්‍රාර්ථනා කරමින් නමස්කාර කලෙමි. ස්වාමිනි, මම වනාහී මේ බිහිසුණු මහත් වූ නරක සිහිනයක්ද දුටුවෙමි. පල සහිත ගස් පල නැති ගස් ලෙසත් ගෙඩි නැති ගස් ගෙඩි ඇති ගස් ලෙසත් දකින්නී අපහසුවෙන් පළාපල ගෙන ගිරිදොරකඩට පැමිණියෙමි. ඒ මග අවුරමින්  සිංහය, ව්‍යාඝ්‍රය, දිවිය යන සැඩ වනමෘගයෝ තිදෙනෙකි. ඔවුහු මට මග ඇවුරූහ. ඒ නිසා ප්‍රමාද වී සවස ආවෙමි. ස්වාමිනි මට සමාවෙන්න. ඉක්බිති බෝධිසත්ත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව යන්නට වුණා.

අපේ බුදුහාමුදුරුවෝ 135

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 30

දරුවන් නොලද සොවින් සිහිසුන්වූ මද්‍රී  දේවිය.

ඉක්බිත බෝධිසත්ත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව යන්නට වුණා.

 දරුවන් සොයමින් වැළෙපෙමින් පටාචාරාව සේ වනය පුරා දිව ගිය වෙස්සන්තර දේවිය.

මම දඩමඩුළු දරන්නී බඹසර රකින්නි අතවැසි මානවකයෙක් ඇදුරහුට මෙන් හිමියන්ටද දරුවන්ටද දිවා රෑ අප්‍රමාදීව මෙහෙ කලෙමි. එහෙත් මම ලෝකයේ බඹසර පිහිටකොට ඇති බොහෝ ඇසුපිරූ තැන් ඇති සිල්වත් මහණුන්ටද බමුණන්ටද ශාප කර ඇත්තාක් සේය. එහෙයින් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නොදකිමි. දරුවනි, මම තොප කැමැත්තෙන් අදුන්දිවිසම් පොරවා වනමුල් පලවැල ගෙනයමින් දිවාරාත්‍රී ඇවිදිමි.

දරුවනි, මේ රන්වන් කසාය, කල්ක ගෙනෙන ලදී. ඔබලාට සෙල්ලම් කිරීමට රන්වන් බෙලිපල ගෙනෙන ලදය. ගස්වල ඉදුණු මිහිරිපලද ගෙන ආමි. ඔබලාට කෙළිබඩු රැගෙන ආමි. මේ නෙලූඹුදැලි වළලුය, ඕලුය, පිඤ්ජර යුෂය යන මේවා තිබේ. රජතුමනි, දඩුයෙල්බෑ මීයෙන් හනන ලදුවැ දරුවන් හා එක්ව වලදන්න. මේ පියුම් ජාලියට දෙන්න. ඇඹුලමල කුමරියට දෙන්න. මල් පැළවන් නටන දරුවන් බලන්න, සිවි රජතුමනි දරුවන් කැදවන්න. ,ඇය මෙසේ කිය කියා හඩයි.

රජතුමනි, මියුරු හඩ ඇති සිත්කළු ස්වභාව ඇති ක්‍රිෂ්ණජිනාවද අසපුව කරා යන්නීය. බලන්න. රටින් නෙරපන ලද අප දෙදෙනා සමාන සුවදුක් ඇත්තෝ වෙමු. සිවි මහරජුනි, ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දුටුවාද? සිවිරජතුමනි දරුවන් දකින්නෙහිද? දකීනම් මට පෙන්වන්න. ඇයි මා වෙහෙසට පත් කරන්නෙ. මෙසේ වැළපෙන්නාවූ ඇයට බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක් පැවසුවේ නැත.

ඇය ඔහු කිසිවක් නොකියන කල්හි කම්පාවෙමින් සදඑළියෙන් දරුවන් සොයන්නී ඒ ඒ දඹරුක් ආදී තැන්වල පෙර ඔවුන් ක්‍රීඩා කළේද ඒ ඒ තැන්වලට ගොස් වැලපෙමින් මෙලෙස කියන්නට වුනා.  මේ දරුවන් සෙල්ලම් කළ තැන්වල දඹරුක්ය, එල්ලෙන  අතු ඇති සිදුවරය. නන්වැදෑරුම් පලරුක්දෑය. එහෙත් දරුදෙදෙනා  නොපෙනෙති. පෙර යම්තැනක හිද ක්‍රීඩා කලේද මේ ඒ අරම එලෙසම පවතී. මේ සිහිල් දිය ඇති හොයද තිබේ. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක මල්වර්ග පැළදියාහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පුෂ්පවර්ග ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක යම් ඵලාජාති වැළලුහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පලජාති ඇත. එහෙත් දරුදෙදෙනා නැත. පෙර දිනක යම් පෙතලිරුවින් ක්‍රීඩා කළාහුද මේ ඒ ඇත්රූපය අස්රූපය මේ ඒ ගොනුන්ගේ පෙතලි රූපද ඇත. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි පර්වතය මත්තේ දරුවන් නොදැක හඩන්නී ඉන් බැස නැවත අසපුවට අවුත් එහි ඔවුන් ගැන සිතන්නී ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩයන් දැක මෙසේ කීවාය.පෙර යම් කෙනෙකුන් හා සමග ක්‍රීඩා කළාහු නම් ඒ කුඩා සමවන් මුවෝය. සාවෝය. බකමූණෝය. බොහෝ වූ කෙහෙල්මුවෝය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙරයම් කෙනෙකු හා ක්‍රීඩා කළාහුද මේ ඒ හංසයෝය. කොස්ලිහිණියෝය. විසිතුරු පිල්කළඹ ඇති මොනරුය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි කුඩා මුවෝ, රන් මුවෝ, හාවෝ ද මහ මුහුණෝ ද ඇත දරුවන් දෙදෙනා නොමැත. ඇය අසපුවෙහි ප්‍රිය දරුවන් නොදැක ඉන් නික්ම මල් පිපුණු වනරොදට පිවිස ඒ ඒ තැන බලන්නී මෙසේ කීවාය. පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් මේ ඒ හැමතැන්හි මල් පිපී ඇති වනලැහැබ්ය. ඒ දරුදෙදෙනා නොපෙනෙති.

පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් ඒ සක්වාලිහිණියන් ළග හිද කුල්නා හෙල්මැලිවලින් ද පියුම්වලින් ද උපුල්වලින් ද ගැවසීගත් රමණීය පොකුණු ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. මෙසේ කැලෑ රොදවල් වල හඩ හඩා දරුවන් සොයන්නාවූ ඇය කිසිතැනක දරුවන් නොදැක නැවත බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් දුර්මුඛව සිට මෙසේ පැවසුවා. රජතුමනි, ඔබ විසින්  දර නොබිදින ලද්දේ තොප විසින් දිය නොගෙන ලද්දේ තොප විසින් ගිනිද නොදල්වන ලද්දේ කිම නොදන්නා බාලයකු මෙන් සිතිවිලි පරවශව සිටීද? තෙපි මට ප්‍රියව, ප්‍රිය වූ තොප හා සමග එක්ව විදිනා දුක් මා විසින් නසනු ලැබේ. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදක්මි.  ස්වාමිනි ඔබ පෙර දර කඩන්නෙහි, ජලය ගෙන තබන්නෙහි ගිනිකබලෙහි ගිනි මෙල්විය. අද එයින් එකක්වත් නොකොට සිටී. ඔබේ මේ ක්‍රියාවන් මට රුචි නොවේ. වෙස්සන්තර රජු මට ප්‍රියය. මීට වඩා මට ප්‍රියකෙනෙක් නම් නැත. මේ ප්‍රියයා සමග එක්වී පෙර  දුක පහව යයි. අද වනාහි මොහු දකින්නා වූ මාගේ ශෝකය පහව නොයයි. කවර කරුණක් නිසාද? මා විසින් කරුණ දක්නා ලදී. අද ඒ අප ප්‍රිය දරුවන් නොදකිමි. රජු දකින්නාවූ නමුත් මා හට ශෝකය පහව නොයයි. ඈ විසින් මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ නිහඩව හුන්නේය.

දරුවන් නොලද සොවෙන් සිහිසන්වූ වෙසතුරු දේවිය.

ඇය ඔහු කථා නොකර සිටිනවිට ශෝකයෙන් මඩනා ලද්දේ පහරකෑ කිකිළියක් මෙන් නැවත කලින් සොයාබැලූ තැන්වලට ගොස් නැවත බලා ආපසු ඇවිත් මෙලෙස කියන්නට වුණා. දේවයිනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුහු ගෙන යන ලදහුද? නොහොත් මළාහුද? වනකවූඩෝද නොහඩති. මාගේ දරුවෝ කිසිවක් විසින් ගෙනයන ලද්දෝ වත්ද? මෙසේ කී කල්හිද බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක්ම කිවේ නැහැ. ඇය දරුසොවින් දරුවන් ගැන සිතන්නී තුන්වන වරටත් ඒ ඒ තැන්වලට වාතවේගයෙන් ගියා. එක්රැයක් තුළ ඇවිද්ද තැන් ගණන් කරන්නේ නම් යොදුන් පසළොසක් පමණ කියලයි කියන්නේ. රාත්‍රිය ගතවිය. අරුණ නැගි කල්හි ඕතොමෝ නැවත ගොස් බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයේ සිට හැඩුවා. දේවයෙනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුන් ගෙනයන ලදද? නැතහොත් මළාහුද? වනකවුඩෝද නො හඩති. මාගේ දරුවෝ කිසිවෙක් විසින් ගෙනයන ලද්දේ විය යුතුයි.දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම්කිසිවක් විසින් ඔව්හු ගෙනයන ලදහුද? නොහොත් මළාහුද? පක්ෂීහු නොහඩති. මාගේ දරුවන් මළා විය යුතුය. දේවයිනි පර්වතයෙහි රුක්මුල්හි ගල්ලෙන්වල ඇවිදින්නී අපගේ දරුවන් නොදක්මි. ඔවුන් යම්කිසිවෙක් විසින් ගෙනයන ලදද? නැතහොත් මළාහුද?  මෙසේ යසස් ඇති උතුම් ශරීර ඇති අභිරූපත්වූ මදුරජ දූ දොහොත් හිස බැද හඩා වෙස්සන්තර පාද මූලයේ කපා දැමූ රන්වන් කෙසෙල් ගසක් මෙන් සිහිසුන්ව බිම පතිත වුවා.

 සිහිසුන්ව වැටුන මද්‍රී බිසව මියගිය බව සිතා ශෝකයෙන් හැඬු අප මහා බෝධිසත්ත්වයාණෝ.

මද්‍රි දේවිය දරුවන් නොදැක නිසැකවම මළා විය යුතුයැයි රජු සිතුවා. බෝධිසත්ත්වයන්වහන්සේ  ඇය මළායැයි සිත කම්පා වන්නේ මද්‍රි දේවිය අස්ථානයෙහි පිටරටකදී මළාය. ඉදින් ඇගේ මරණය ජයතුරා නුවරදී සිදුවූවානම් මහත් වූ පෙරහැර වන්නේය. රටවල් දෙකම කම්පා වන්නේය. මම වනාහි වනයෙහි හුදෙකලා වීමි. කුමක් කරන්නේම්දැයි හටගත් බලවත් ශෝක ඇත්තේ සිහිය පිහිටුවාගෙන පළමුව දැනගන්නෙමියි නැගිට ඇගේ හදවතට අත තබා සන්තාපයට පත්වූ බව දැනගෙන කෙණ්ඩියෙන් ජලය ගෙනවුත් සත්මසක් කාය සංසර්ගයක් නුවූ නමුත් හටගත් බලවත් ශෝකයෙන් පැවිදිබව සළකා ගන්නටද නොහැකිව කදුළු පිරි දෙනෙතින් යුතුව ඇගේ හිස ඔසවා උකුලෙහි තබාගෙන වතුර ඉස මුහුණද හදවතද පිරිමදිමින් සිටියා. මද්‍රි දේවිය ටිකවෙලාවකිනි සිහි එළවා නැගිට ලැජ්ජාභය පිහිටුවා ගෙන බෝධිසත්ත්වයන්වහන්සේ හට වැද පසෙකට වුණා. ඒ එක්කම ඇයට යලිත් මතක් වුණේ දරුවන්ව. ස්වාමීනි, ඔබගේ දරුවෝ කොහි ගියාහුදැයි නැවතත් ඇසුවා. මෙතෙක් වෙලා නිහඬව සියලු දේ වසන් කරමින් සිටි වෙසතුරු රජු සියලු තතු පවසන්නට වුණා.

 දරුවන් දාස කමට දන්දුන් බව මද්‍රි බිසවට හෙළිකිරීම.

මද්‍රි දෙවියනි දරුවන් බමුණකුගේ දාස බවට දැන් දුන්නා.  බිම වැටුනා වූ රජදුවගේ මුහුණ දියෙන් තෙමී ගිහින්. ඉක්බිත ඇය පියවි බවට පත්වූ සැටි දැන ඇයට මේ වචන ඔහු විසින් පවසනු ලැබුවා. හරිම පුදුමයි ඇයගේ පිළිතුර.  දේවයන්වහන්ස දරුවන් බමුණාට දන් දුන් බව  මුළු රැයම හඩමින් ඇවිදින මට නොකීවේ ඇයිදැයි විමසන්නට වුණේ සන්සුන් වූ මනසින්.  බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ ඇයට පවසනු ලැබුවා.

” මද්‍රි දෙවියනි, මුලදීම ඔබව දුකට පත්කරන්නට නොකැමැති විමි. ඉදින් මම නුඹට කලින්ම ඒ කාරණය කියුව්වේ නම් ශෝකය දරාගත නොහැකිව හදවත පැලෙන්නේය. ඒ නිසා මද්‍රි දෙවියනි ඔබට  දුකක් ඇතිකරන්නට කැමති නොවූයෙමි. දිළිදු වූ මහලු වූ යාචක බමුණෙක් ගෙට ආවේය. ඔහුට මා විසින් දරුවෝ දෙන ලදිමි. මද්‍රි දෙවියනි බිය නොවන්න.සැනසෙන්න.  මද්‍රි දේවියනි,මා බලව දරුවන් ගැන නොබලව. දැඩිකොට නොහඩන්න. ජිවත්වන්නමෝ නිරෝගීවන්නමෝ නම් දරුවන් ලබම්හ. සත්පුරුෂයා යදින්නා ආ කල්හි දැක දරුවනුත් සිව්පාවනුත් ගෙහි ඇති යම් ධනයක් ඇද්ද ඒ සියල්ල ද දන් දෙන්නේය. මද්‍රි දේවියනි දරුවන් කෙරෙහි පිහිටි මාගේ උතුම් දානය අනුමෝදන් වන්න. සත්පුරුෂයා වනාහි උතුම් කරුණක් ප්‍රර්ථනා කරමින් පපුව පළා හෘදයමාංශයද දෙන්නේය. එය විය මද්‍රි දේවයිනි, ඔබ දරුවන් කෙරෙහි පිහිටි උතුම් දන අනුමෝදන් වෙන්න. දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.” දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.  

දේවියනි, සිවිරට වඩනා යම්බදු ඔබ  මසුරුමලින් මැඩුනු මිනිසුන් අතුරෙහි බමුණහුට පුත්‍රදානය දුන් දූන්නාහුය. දසමසක් කුසෙහි දරාගෙන දවසට දෙතුන්වතාවක් නාවා පොවා කවා ළයෙහි හොවාගෙන පෝෂණය කළ දරුවන් බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දන් දුන්කල්හි තමන්ගේ පින අනුමෝදන් වෙමින් මෙසේ කීවාය.(මේ කරුණෙන් පියාම ස්වාමියා ලෙස දතයුතුය.)

 දරුවන් දන්දුන් කුසලය අනුමෝදන් වූ මද්‍රි බිසව.

මහරජ, මත්තෙහිද නැවත නැවත දන් දෙන්නෙක් වව. යම් ඒ ඔබ මසුරුබවින් මඩින ලද සත්ත්වයන් ඇති ලෝකයේ ප්‍රිය දරුවන් දන් දුන්නේද, මා විසින් මනාකොට දෙනලද දානයෙහි  සිත පහදවා ගත්තෙමි. මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ මද්‍රි දෙවියනි, ඔබ මේ කුමක් කියන්නෙහිද? ඉදින් වනාහි මා විසින් දරුවන් දන් දී සිත ප්‍රසාදයට පත්නුවුයේ නම් මාගේ මේ විශ්මය වන සිද්ධීන් සිදුනොවන්නේ යැයි සියළු මහපොළොව කම්පාවීම ආදිය කීවේය. ඉක්බිත මද්‍රි දේවිය ඒ පුදුමයන් ගැන සිතා දානයේ පින අනුමෝදන් වෙමින් මෙසේ පැවසුවා.

ඔබ විසින් රජතුමනි මහපොළොව හඩවන ලදී. ඔබගේ  කීර්තිඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත් පෙදෙසෙහි හාත්පස අවට හැසිරිණි. පර්වතවලින් ප්‍රතිරාවය මෙන් මහත් හඩක් නැගුණේය.

තොපගේ ඒ පුත්‍රදානය නාරදය, පර්වතය යන දෙකොටසෙහි දෙවිවරු අනුමෝදන් වෙති. ඉන්ද්‍ර, බ්‍රහ්ම, ප්‍රජාපතී, සෝමදේව, යමදේව, වෙසමුණි රජ ද ඉන්ද්‍රයා ප්‍රමුඛ තව්තිසාවේ සියළු දෙවියෝද අනුමෝදන් වෙත්. ශක්‍රයා ප්‍රමුඛ තව්තිසා වැසි සියළු දෙවිවරු ඔබගේ දානය අනුමෝදන් වෙත්. හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය ,මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී  ගින්දර තවත් වරක් සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය.

මද්‍රි දෙවි කාණ්ඩය නිමි

 

අපේ බුදුහාමුදුරුවෝ 136

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 31

හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය, මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී ගිය ගින්දර මෙවරද සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය.

මෙසේ ඔවුනොවුන් සතුටුසාමීචියේ යෙදී සිටියදී ශක්‍ර දෙවියන්හට මෙලෙස සිතිවිල්ලක් හටගත්තා.

ශක්‍ර දේවරාජෝත්තමයන් වහන්සේ පැමිණ මද්‍රි බිසව ලබා ගැනීම.

” වෙස්සන්තර රජුන් ඊයේ මහපොළොව කම්පා කරමින් දරුවන් ජූජකයාට දන් දුන්නා. දැන් කිසියම් හීන වූ ගති ඇති පුද්ගලයෙක් පැමිණ සියළු අගපසගින් හෙබි සිල්වත්වූ ගුණවත්වූ මද්‍රි දේවිය ඉල්වා රජ තනිකොට මද්‍රි දේවිය ගෙන යා හැකිය. එවිට ඔහු පිහිටක් නැති අනාථයෙක් වන්නේය. එමනිසා බ්‍රාහ්මණ රූපයක් මවාගෙන වෙස්සන්තර රජු වෙතට පැමිණ මද්‍රි දේවිය ඉල්ලා පාරමී මුදුන් පමුණුවා කිසිවකුට නැවත නොදෙන ලෙස පොරොන්දුකොට නැවත පින්වත් මද්‍රි දේවිය වෙස්සන්තර රජුටම දී එන්නෙමියි” සිතුවා. එහෙම හිතු දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේව රාජෝත්තමයන් වහන්සේ හිරු උදාවෙන කල්හි බ්‍රාහ්මණ රූපයක් මවාගෙන වෙස්සන්තර රජු සහ මද්‍රි දේවියට පෙනෙන පරිදි පෙනී සිටියා. පෙනී සිටි ශක්‍ර  දෙවියන් මෙසේ ඇසුවා.

“කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමල් පලයන්ගෙන් යැපෙන්නේද? කීම අල හා පළවැල බොහෝ තිබේද? කිම මැසිමදුරුවෝද සර්ප ජාතීහුද අල්ප වෙත්ද, චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද? එවිට බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ පැවසුවා.  බමුණානෙනි, අපට රෝග නැත්තේමය. තවද බමුණානෙනි, අපට දුක් නැත්තේමය. තවද අප වනයේ පලවලින් යැපෙන්නෙමු. අල හා පලවැල බොහෝ තිබේ. මැසිමදුරුවෝද, සර්පයෝද, අල්ප වෙති. නපුරු වනසතුන් ගැවසීගත් වනයෙහි අපට හිංසා නොපෙනෙයි. සත්මසක් වනයෙහි වසන ජීවශෝකී වූ අප වෙතට සැරයටිය ගෙන ආවා වූ අදුන්දිවිසම් දරන දෙවියන් පසස්නා මේ දෙවෙනි බමුණා නන්ද දකිමු. බ්‍රාහ්මණය.තොපගේ යහපත් වූ ගමනෙකි. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. ඔබට යහපතක් වේවා.”ඔබගේ දෙපා දෝවනය කර පන්සල තුලට පිවිසෙන්න. තිඹිරිපලය, පියල්පලය, මීපලය, කටුඑරමිණිය යන මේ පලවැල මිහිරිය. බමුණානෙනි, හොද හොද පල ගෙන වළදන්න. පර්වතය තුළින් ගලා ආ හෙයින් ගෙනෙන ලද මේ පැන් ද සිසිල්ය. බමුණානෙනි ඉදින් ඔබ පැන් බොනු කැමතිනම් එයින් ගෙන පානය කරන්න. මෙසේ ඔහු සමග පිළිසදර කථා කොට, තවද ඔබ කිනම් කරුණක් නිසා මේ මහා අරණට පැමිණියාහුද?” මෙසේ ආගන්තුක සත්කාරයෙන් අනතුරුව පැමිණි කාරණය විචාරන්නට වුණා.  එවිට ශක්‍රයා මෙලෙස කිවා.

“මහරජ, මහළු මම මෙහි එන්නේ නුඹගේ බිරිද වූ මද්‍රි දේවිය ඉල්ලන්නටයි. ඇයව මට දෙන්න. මෙසේ පිරුණු ගංගාවෝ හැමකල්හි නොසිදේද, එබදු වූ තොපගෙන් ඉල්ලීමට ආවෙමි. මා විසින් අයදනා ලද ඔබගේ බිරිද මට දෙන්න. මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ බ්‍රාහ්මණය ඊයේ මම දරුවන් දෙන ලදී. දිගුකල අතෙහි දහසින් බැදි පසුම්බියක් තබන්නාක් මෙන් නොගැටී නොබැදී නොසැගවනු සිතැත්තේ පර්වතය සිසාරා නදදෙමින් මෙසේ කිව්වා.

 මද්‍රී බිසව දන්දීම.

” බමුණානෙනි  ඔබ යමක් මා අතින් ඉල්ලුවානම් එය දෙමි. දෙන්නට නොසැලෙමි.ඇති දෙය නොසගවමි. මා සිත දානයෙහි ඇලෙයි. මෙසේ කියා කෙන්ඩියෙන් පැන් ගෙන අත පැන් වත්කොට

බමුණාට දුන්නේය. එකෙණෙහිම දරුවන් දෙදෙනා දන්දුන් ආකාරයටම මහත්වූ ආශ්චර්යයන් සිදුවුණා. එදවස යම් බිහිසුණු බවක් වීද, එදවස ලොමුදැහැ ගැන්මක් වීද එලෙසම මද්‍රි දේවිය දන් දෙත්ම මහපොළොව කම්පා විය. මද්‍රි දේවියගේ මුව නොහැකිලුනි. දුර්මුඛ නොවුණි. ඇය හැඩුවේද නැත. මියෙන් නොබැන වෙසතුරු රජු මට යම් වෘද්ධියක් ඇත්ද එය දනියි. ඔහුගේ මුහුණ බලමින්ම සිටියාය.

” එම්බා බ්‍රාහ්මණය, මට මද්‍රි දේවියට වඩා සිය දහස් ගුණයකින් සර්වඥතා ඥානය ප්‍රියතරය. මාගේ මේ දානය සර්වඥතා ඥානය අවබෝධ කරගැනීම පිණිසම හේතුවේවායි” කියා මද්‍රි දේවිය මහළු බමුණාට දන් දුන්නේය. තවද මෙසේද කීවේය, මා පුතු ජාලියද ක්‍රිෂ්ණජිනා දියණියද ප්‍රිය බිරිද වූ මද්‍රි දේවියද  සංසාර සාගරයෙහි අතරමන්ව මහත් දුක් විදින්නාවූ සත්ත්ව වර්ගයා සංසාර දුකින් එතෙරකරවීම පිණිස, සම්මා සම්බුදු බව පතා ත්‍යාග කරනුයෙමි. කිසිවක් නො සිතමි. දෙදරුවන් මට අප්‍රිය නොවෙති, මද්‍රි දේවියද මට අප්‍රිය නොවෙයි, ඔවුන්ට වඩා සර්වඥතා ඥානය මට ප්‍රිය වෙයි. එහෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දුන්නෙමි.

ඒ මොහොතෙහි, රජු මහළු බමුණකුට මා දෙයි කියා ක්‍රෝධ වශයෙන් මද්‍රි දේවියගේ මුහුණෙහි බුකුටි බවක් නොවීය. මකු වුයේ නැත.ඇස් පුරවාගෙන හැඩුයේ නැත. ඉක්බිති නිහඩව මා වැනි ස්ත්‍රියක දෙන තැනැත්තා භේද රහිතව නොදෙයි.මොහු යමක් උතුම්ද එය දනීයි. පිපුණු පියුමක් මෙන් පෙනේයැයි බලමින්ම සිටියාය. ඉක්බිත බෝධිසත්ත්වයන්වහන්සේ මද්‍රි දේවිය කෙසේදැයි අසා මුහුණ බැලීය. එවිට ඇය. ඇයි ස්වාමීනි, මා දෙස කුමක් නිසා බලන්නේදැයි අසා මෙලෙස  සිංහනාද පැවැත්වුවා.

“කුමාරි වූ මම යමෙක් හට භාර්යාව වීම්ද ස්වාමී වූ තෙපි මට ඉසුරු වව. යමෙක්හට දාසියක් දෙනු කැමතිනම් ඕ හට මා දෙන්න. නැතහොත් ධනයෙන් වැඩක් ඇත්තේ නම් මා විකුණන්න. මස්වලින් වැඩක් ඇත්තේ නම් මා මරා දමන්න. ඒ නිසා ඔබට යමක් කැමති වන්නේද එය කරන්න. මම නොකිපෙමි.

මේ සියල්ල අසා සිටි ශක්‍රදේවරාජෝත්තමයන් වහන්සේ  ඔවුන්ගේ ඒ උතුම් වූ අදහස් දැනගෙන ස්තුතිය  පලකළා. ඉන්පසු සක්දෙව් රජ ඔවුන්ගේ අදහස් දැන මේ වචන පැවසුවා.

 “යම් දිව්‍යමය වුත් මානුෂික වුත් සතුරෙක් වූ නම් ඒ හැම දෙන තොප විසින් දිනන ලදහ. සතුරෝ දේවත්වයට විරුද්ධය මනුෂ්‍යත්වයට විරුද්ධය. ඔවුන් වනාහි කවරහුද යත් මසුරුබව ස්වාභාවකොට ඇති සියල්ලන්වම දුදරුවන් දන් දුන්නාවූ බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දිනන ලදී. තොප විසින් පෘථිවිය හඩවන ලදී. ඒ කීර්ති ඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත සිසාරා ගියේය. පර්වත්යන්ගේ ප්‍රතිරාවය නැගුනේය. තොපගේ ඒ දානය නාරදය, පර්වතය, යන නිකාය දෙකේම දෙවියෝ අනුමෝදන් වෙති.

ඉන්ද්‍රය, බ්‍රහ්මය, ප්‍රජාපතිය, සෝමය, යමය යන දෙවිවරු ද වෙසමුණි මහරජද අනුමෝදන් වෙති. අසත්පුරුෂයෝ වනාහි නොදිය හැකි දෙය දෙනුවන් නොකටහැකි දෙයක් කරනුවන් අනුකරණය නොකරති. සත්පුරුෂයන්ගේ අදහස් සිතාගත නොහැක. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙලොවින් චුතව යන පරලෝගමන් වෙන් වෙන් ව වෙයි. අසත්පුරුෂයෝ නිරයට යත්. සත්පුරුෂයෝ ස්වර්ගයට යත්. යම්හෙයකින් වනයේ වාසය කරමින් දරුවන් දිනී ද අඹුව දිනී ද ඒ බ්‍රාහ්මණයා අපාය භූමියට නොබැස ස්වර්ගයේ තොපට විපාක වේ. වෙස්සන්තර රජුන් විසින් හුදෙකලාව වනයෙහි වසන්නේ බිරිදව බමුණාට දුන්නේ ඉතා දුෂ්කර වූ දෙයක් කරේය. ශ්‍රේෂ්ඨ වූ මාර්ගය, සුචරිත ධර්මය තුන්වැදෑරුම්ය. මෙබදු වූ මේ දාන ධර්මය ආර්ය මාර්ගය ලැබීමට හේතු වන්නේය. ඒ නිසා අද යම් මේ දානයක් දෙන්නහුට අපායභුමියේ බැස නොගෙන ස්වර්ගයෙහි මෙය පලදේවා. විපාක කෙළවර සර්වඥතා ඥානය ලබාදෙන්නක් වේවා.

 සක්දෙවිඳු සැබෑ රුවෙන් පෙනීසිටීම.

මෙසේ කියා ඔහුට අනුමෝදන් කොට දැන් මා විසින් මෙහිදී ප්‍රමාද නොවී මැයව මොහුටම දී යන්නට වටනේ යයි සිතා මෙසේ පවසනු ලැබුවා.

සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය භවතාට භාර්යාකොට දෙමි. මද්‍රි දේවියට සුදුසු වන්නේ තොපමයි. මද්‍රි දේවියද ස්වාමියා සමග වාසයට සුදුසුය. යම්සේ කිරිත්, සේදු සංඛයන් යන දෙකම සමාන පැහැ ඇත්තාහුද එසේයින්ම ඔබද මද්‍රියද සම වූ සිතින් යුක්ත වන්නේය. මව්පිය දෙපසින් සුජාත වූ ගෝත්‍රයෙන් සමෘද්ධ වූ ක්‍ෂත්‍රිය වූ ඔබ දෙදෙන රටින් නෙරපන ලදව මේ වනයේ අසපුවක වාසය කරන්න. යළි යළිත් දන්දෙමින් හැකි පමණින් පින් කරන්න.

මෙසේ කියා සක්දෙව් රජ වරයක් දීමට තමාව හෙළිදරව් කරමින් මෙසේ කීය.

“මම දෙවියන්ට අධිපති වූ සක්දෙව්රජ වෙමි. තොප සමීපයට ආවෙමි. රජ තුමනි  කැමති වරයක් අයදින්න, තොපට වර අටක් දෙමි. මෙසේ කියත්ම දිවය ආත්මභාවයෙන් දිළිසෙමින් පිරුණු හිරු මෙන් අහසෙහි සිටියේය. ඉක්බිත බෝධිසේත්ත්වයන්වහන්සේ මෙසේ කිවා.

 අප මහා බෝසතාණන් වහන්සේ ඉල්ලු වර අට.

  1. සියළු දෙවියන්ට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙන්නේ නම් මාගේ පියා මේ වනයෙන් සිය ගෙදරට පැමිණීම පිලිගනීවා. සිහසුනෙන් පවරාවා.මේ වරය පළමු කොට ඉල්ලමි.
  2. පුරැෂයකු හට වධය රුචි නොකෙරෙම්වා. දරුණු ක්‍රියාකොට වධයට පැමිණිය යුතු කෙනාද වධයෙන්ම දවන්නෙම්වා. ධර්මයෙන් දිනත්වා. දැහැමින් රාජ්‍ය කරත්වා. මේ වරය දෙවැනි කොට ඉල්ලමි.
  3. යම් මහළු  මිනිස් කෙනෙක් ඇත්ද, යම් ළදරු කෙනෙක් ඇද්ද යම් මධ්‍යම පුරුෂ කෙනෙක් ඇද්ද ඒ හැමදෙනාම මා නිසාම ජීවත් වෙත්වා. මේ වරය තුන්වනුව ඉල්ලමි.
  4. පරඹුවන් කරා නොයෙම්වා. තම අඹුවගෙන්ම සන්තෝෂයෙහි නියැලෙවා .මාගමුන් වශයට නොයෙම්වා. මේ වරය සතරවෙනිව ඉල්ලමි.
  5. සක්දෙව් රජුනි, මට පුතෙක් උපදීවා.හේද දීර්ඝායු ඇතිවේවා.පෘථිවිය දැහැමෙන් දිනාවා.මේ වරය පස්වනු කොට ඉල්ලමි.
  6.  ජයතුරා නුවරට පැමිණි ඉක්බිති රාත්‍රී අවසානයේ හිරු උදාවෙත්ම දිවබෝජුන් පහළ වේවා. මේ වරය සවනුකොට ඉල්ලමි.
  7. මා දන්දෙත්ම ක්‍ෂය නොවේවා. මම දන් දී පසුව නොතැවෙම්වා.දෙමින් සිත පහදම්වා.මේ වරය සත්වනු කොට ඉල්ලමි. 
  8. මම මේ ජාතියෙන් මිදුණුයෙම් වෙසෙස් ගමන් ඇතිව සුගති ගමන් ඇතිවෙම්වා. ඉක්බිත භවයෙහි පුනර්භව නැත්තෙක් වෙම්වා. සර්වඥතා ඥානය ලබන්නේම්වා. මේ වරය අටවනුව ඉල්ලමි.

ඒ  වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මේ වචන කීය.තොපගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්ත්වයන්වහන්සේට  අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය.

ශක්‍ර  කාණ්ඩය නිමි.

අපේ බුදුහාමුදුරුවෝ 137

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 32

අප මහා බෝසතාණන් වහන්සේ හට දුන් වර අට පිළිගැනීමෙන් පසු වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මෙලෙස කීවා. ” ඔබගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්ත්වයන්වහන්සේට අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය….

සියල්ල එලෙසම නිමා වුයේ නැහැ. බෝධිසත්ත්වයන්වහන්සේත් මද්‍රී  දේවියද ඉතාමත් සතුටට පත්ව සක් දෙවිදුන් විසින් දෙන ලද පන්සලෙහි නැවත වාසයට ගියා.

දෙමාපිය වෙස්ගෙන දරුවනට සත්කාර කල දෙවිවරු.

මේ අතර බමුණාද දෙදරුවන් රැගෙන තම ගම්බිම් බලා යාමට සැටයොදුන් මගට පිළිපන්නා. දෙවියන් විසින් දෙදරුවන්ගේ ආරක්ෂාව සිදුකළා. ජූජකයාද හිරු බැසගිය කල්හි ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් ගසක බැද බිම තබා තෙමේ චණ්ඩ වූ සතුන්ට බියෙන් ගසකට නැග අතු අතර නිදන්නට වුණා. ඒ මොහොතේ එක් දිව්‍ය  පුත්‍රයෙක් වෙස්සන්තර රජු ලෙසත් එක් දෙව් දුවක් මද්‍ර  දේවිය ලෙසත් වෙස් ගෙන අවුත් දරුවන් දෙදෙනා ඉන් මුදා අත්පා මිරිකා නාවා සරසවා භෝජන අනුභව කරවා හිරු උදාවෙන කල්හි බැද ඇති සැටියෙන්ම තබා නිදිකරවා අතුරුදහන් වෙයි. මෙසේ දරු දෙදෙනා දේවතාවන්ගේ සැළකිල්ලෙන් නිරෝගීව සතුටෙන් ගමන් කරා. ඒ විතරක් නෙවෙයි. තවත් අරුම පුදුම දෙයක් වුණා. බමුණාටද දෙවියකු අධිගෘහිත වී තම ගම වූ කලිගු රටට යමියි සිතා අඩමසෙකින් දරුවන්ගේ සීයා සහ ආච්චිය වන වෙසතුරු කුමරුගේ දෙමාපියන් වූ රජ යුවළ වෙසෙන දිවිතුරු නගරයටම පැමිණියා.

සිව්මහරජ දුටු සිහිනය

ඒ දිනයේම අළුයම සිවිමහරජ වූ සංජය රජු සිහිනයක් දුටුවා. එය මෙබදු සිහිනයක්. මහාධිකරණ කාර්යයේ රජු යෙදී සිටින අවස්ථාවේ එක් පුරුෂයෙක් නෙලුම් මල් දෙකක් ගෙනවුත් රජුගේ අතේ තැබුවා. රජු ඒ මල් දෙකන්හි පැළද ගත්තා. ඒ පුෂ්පයන්ගේ රේණු ගැලවී රජුගේ උදරයට වැටෙන්නට වුණා. රජු උදයේ පිබිදී බ්‍රාහ්මණයන්ගෙන් තමා දුටු සිහිනයේ අරුත විචාරා සිටියා. එවිට බ්‍රාහ්මණයන් මෙලෙස ඒ සිහිනයේ තතු පහදා දුන්නා.

“දේවයන් වහන්ස, එහි අදහස බොහෝකලක් වෙන්ව සිටිය නෑයෝ පැමිණෙනවා යන්නයි.” රජු උදයෙන්ම නොයෙක් රජභොජුන් වළදා විනිශ්චයාසනයේ අසුන්ගත්තා. ඒ මොහොතේ දේවතාවුන් විසින් බමුණා දෙදරුවන් සමග රජගෙදර මිදුලටම එවනු ලැබුවා.

දරුවන් රජමිදුලටම දෙවියන්ගේ ආශීර්වාදයෙන් පැමිණීම.

ඒ මොහොතේ රජගෙදර මිදුලට පැමිණි සිටි කුමරුවා සහ කුමරිය දැක රජතුමා මෙසේ කිවා.

“ගින්නෙන් තවන ලද රත්‍රන් මෙන් උදුනෙහි ලා පැහැ ගැන්වූ රන් ගඩොලක් සෙයින් තෙල කාගේනම් මුහුණක් බබළන්නේද? දෙදෙනාම සමාන වූ අගපසගින් යුක්තය. දෙදෙනාම සමාන වූ ලක්‍ෂණ ඇත්තාහ. එකෙක් ජාලිය කුමරු හා සමානය අනිකා ක්‍රිෂ්ණජිනා කුමරිය හා සමානය. දෙදෙනාම ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහයෙන් නික්මුණු සිංහ පැටවුන් වැනියහ. මේ දරුවන් රනින් මවන ලද රූපයන් මෙන් පෙනෙයි.” මෙසේ කියා රජතුමා එක් ඇමතියෙකුට මෙලෙස අණ කරනු ලැබුවා. “යව මේ බමුණාව දරුවන් සමග මෙහි කැදවාගෙන එව.” එම ඇමතියා ඉක්මණින් ගොස් දරු දෙදෙනාත් බමුණාත් කැදවාගෙන ආව. ඉන්පසේ බමුණාට රජු මෙසේ පැවසුවා.

පින්වත් බමුණ, මේ දරුවන් කොහිසිට ගෙනෙන්නෙහිද? එවිට බමුණා සදමහ රජතුමනි, මේ දරුවෝ මා හට ප්‍රසාදයට පත් වූවකු විසින් දෙන ලදහ. මේ දරුවෝ යම් දවසක මට ලද්දාහුද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රීයයි. රජතුමාට එන්න එන්නම සැකය වැඩි වුණත් තවමත් දරුවන්ව හඳුනාගත්තේ නැහැ. එවිට රජු නැවත විචාලේ “බමුණ තා විසින් කවරනම් ප්‍රිය  වචනයකින් ලබන ලද්දාහුද? සත්‍ය  කරුණෙන් පහදව. කවරෙක් තොපට තමන්ගේ දරුවන් උතුම් දානයක් ලෙස සළකා දන් දුන්නේද?”

එවිට බමුණා, “යමෙක් සත්ත්වයනට මහපොළොව මෙන්ද, යදියනට පිහිටවී ද, ඒ පින්වත් වෙසතුරු මහරජ වනයෙහි වසන්නේ තම දරුවන් මට දුන්නේය. යමෙක් ගංගාවන්ට සාගරය මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වනයෙහි වසනුයේ තම දරුවන් මට දන් දිනි.

දරුවන් දන්දීම ගැන කිපුණු රාජකීය පිරිස වෙසතුරු කුමරුට දොස් පැවරීම.

ඒ වචන පිටවූ සැණින්ම රජගෙදර මහා ගාලගෝට්ටියක ස්වභාවය ගත්තා. ඒ ඇසූ ඇමතිවරු වෙස්සන්තර රජුට නින්දා කරමින් මෙසේ කීවා. භවත්නි,මෙහි යම්තාක් දෙනා රැස්වූවාහුද ඒ හැමදෙනා මේ අසව්. වෙසතුරු රජ වනයෙහි වසනුයේ කුමට දරුවන් දන් දුනිද? හේ දාසයකද දාසියකුදු අශ්වයකු ද අශ්වතරයන් යෙදු අගනා රථයක්ද දන් දෙනු ලැබුවා. උතුම් වූ ඇතෙකු ද දන් දෙනු ලැබුවා.හේ කුමට නම් මේ දරුවන් දන් දුන්නේද? ශ්‍රද්ධා  සම්පන්න ගිහිගෙයි වසන්නා රජු විසින් නුසුදුසු අකටයුත්තක් කරන ලදී. රටින් නෙරපන ලද්දේ වනයෙහි වසන සේක. පින්වත් නගරවැසියනි, මෙහි පැමිණි යම්තාක් දෙනා සිටීද, ඒ සියල්ලෝම මෙය අසත්වා. කල්පනා කර බලත්වා. කෙසේ නම් වෙස්සන්තර රජු තම දරුවන් දාසයන් ලෙස දුන්නේද? කවරකු විසින් නම් මෙබදු වූ කටයුත්තක් කරන ලදදැයි කෑගසා අසන්නට වුණා.

ඒ ඇසු ජාලිය කුමරා සිය පින්වත් වූ පියාට නින්දා කිරීම නොඉවසුවා. වාතයෙන් කම්පා වූ සිනේරුවේ අතක් ඔසවන්නාක් මෙන් මෙසේ කිවා.

“මුත්තණුවනි, යමෙක් හට තම ගෙයි දාසයෙක් හෝ අශ්වයකු හෝ උතුම් අශ්වයන් යෙදු රියක් හෝ ගැඹුරු හඩ ඇති උතුම් ඇතෙක් හෝ නැත්නම් හේ කුමක් දෙන්නේද? “

දරුවන් දාසභාවයෙන් ගලවාගැනීම.

එවිට රජතුමා මෙසේ කිවා. “දරුවනි, ඔබ පියාගේ දානය පසසමි. දරුවන් යදියාට දී ඔහුගේ ළය කෙසේ වීද?” එවිට කුමරු පියාගේ දුකගැන විස්තර කරන්නට වුණා.

“ඔහුගේ ළය දුක්වී, මියෙන් උණු උඩුහුරු කළ වායුව විහිදුවන ලද රෝහණ නැකත මෙන් තඹ පැහැ ඇස් ඇති මාගේ පියාගේ දෙනෙත් කඳුලෙන් තෙත්වුණා.”

මුත්තණුවනි, මේ ක්‍රිෂ්ණජිනා විසින් කියන ලද එක් වචනයක් අසා ඔහුගේ සිත මහත් වූ දුකට පැමිණියා. තඹවන් රෝහිණිය මෙන් තඹවන් ඇස්වලින් මාගේ පියාගේ ඒ මොහොතේ කදුළු උතුරන්නට වුණා. කියමින් ක්‍රිෂ්ණජිනා බමුණාගෙන් පළාගොස් තම පියා හමුවේ කියූ වදන් මතක් කළා.

” පියාණෙනි ! මේ බමුණා ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි. පියාණෙනි! මේ බමුණෙක් නෙවෙයි. බමුණෝ ධාර්මිකය. පියාණෙනි ! යකෙකු විසින් ගෙනයනු ලබන කල්හි කුමක් නිසා උපේක්‍ෂාවෙන් බලා සිටිවූදැයි? ඇසුවා.

ඒ කෙසේ වෙතත් දරුවන් දෙදෙනා ඒ නපුරු බමුණාව අත්හැරියේ නැහැ. ඊට හේතුව තම පියාගේ වදනට කීකරු වීමයි. මෙලෙස කිය කියාත් ඒ දරුවන් දෙදෙනා බමුණාව අත්නොහරින බව දැක රජතුමා මෙසේ ඇසුවා. තොපගේ මවු රජ දියණියකි, තොප පියා රාජපුත්‍රයෙකි. ඔබ පෙර මාගේ ඇකයෙහි නැගී හිදියි. කුමක් නිසා දැන් දුරින් සිටින්නහුද? හරිම පුදුමයි එවිට දරුදෙදෙනා, පියාණෙනි ! අප දැන් බමුණාගේ දාසයෝ වෙමු” යැයි පැවසුවා. එවිට පියරජතුමා දරුවනි! එසේ නොකියන්න.මාගේ ළය දැවෙයි.මාගේ සිරුර ගින්නට නැගු කලක වැන්න. කය අගුරු සෑයකට දමන ලද එකක් බදුය. හුනස්නෙහි සුව නොලබමි.මට බොහෝ සේ ශෝකය දැනෙයි. මා ධනය දී ඔබව මුදවා ගන්නෙමි. ඔබ දෙදෙනා ඔහුට දාස නොවන්න. දරුවනි,තොපගේ පියා තොප දෙදෙනා කොතෙක් මිලකොට මේ බමුණාට දෙන ලදද? ඇත්ත කියව. බමුණාට ධනය දෙනු ලැබේවා.”

මුත්තණුවෙනි! මගේ පියා මා තිස් දහසක් මිළකොට බමුණාට දුන්නා . ක්‍රිෂ්ණජිනා ඇතුන් සියයෙන්ද අශ්වයන් සියයක්, රථ සියයක්, යටත් පිරිසෙන් ඇදපුටු ආදී සෑම දේම සියය බැගින්ද අගය කරනු ලැබුවා. රජු ඒ මොහොතේම මිළ ගෙවන්නට අණ කළා. “කාර්යයන් කරවන ඇමතිය, නැගී සිටව, වහාම මොහුට දිය යුතු තාක් දෙන්න. දැස්සන් සියයකුදු, අසුන් සියයකුදු, ඇතුන් සියයකුදු, ගොනුන් සියයකුදු, දෙනුන් සියයකුදු, රත්‍රන් තිස්දහසකදු දරුවන්ට මිළ ගෙවන්න. ඒ විතරක් නෙවෙයි. රජු විසින් බමුණාට සත්මහල් ප්‍රාසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුණා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රාසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.

අපේ බුදුහාමුදුරුවෝ 138

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 33

රජු විසින් ජූජක බමුණාට සත්මහල් ප්‍රසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුනා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.

ජාලිය කුමරා මද්‍රී දේවිය ගැන කියූ දුක්බර කතාව.

ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා නහවා වළදවා සරසවා එක් දරුවකු මුත්තාගේත් එක් දරුවකු මිත්තණියගේත් උකුලෙහි හිදුවා ගත්තේ මහත් වූ සෙනෙහසින්. ඒ විතරක් නෙවෙයි. ඔවුන් වෙසතුරු කුමරුගේ හා මද්‍රි දේවියගේ තොරතුරු දැනගැනීමේ මහත් වූ ආශාවකින් හිටියේ. පිය මහරජ දරුවන් ඇකයෙහි හිදුවා මෙසේ ඇසුවා.

” ජාලිය කියන්න, ඔබගේ මව්පිය දෙදෙනා නිරෝගීද? වනමුල් පලයෙන් යැපෙත්ද? එහි අල හා පලවැලබොහෝ ඇත්ද?  මැසිමදුරුවන් සර්පයෝ අල්ප වෙත්ද?  නපුරු වනසතුන්ගෙන් ගහන වනාන්තරයෙහි ඔවුන්ට පීඩාවක් නැද්ද?”

“ජාලිය කුමරු, එසේය දේවයිනි, මාගේ මව්පිය දෙදෙනා නිරෝගී වෙත්. එසේම වනමුල් පලවැලයන්ගෙන් යැපෙති. එසේම අල හා පලවැල බොහෝ ඇත. එසේම මැසිමදුරුවෝද සර්පජාතීහුද අල්පමය. වන මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි ඔවුන්ට පීඩාවක් නැත. ඒ අපගේ පින්වත් මව්තොමෝ අලද හුරුඅලද කටුඅලද කෙකටිය අලද කණිමින් ඩෙබර පලද බදුලු පලද බෙලිපලද ගෙනවුත් අප පෝෂණය කරයි. වනමුල් පල ගෙනෙන ඒ අපගේ පින්වත් මව්තුමෝ යම් දෙයක් ගෙන ඒද අපි හැමදෙනම එක්ව ඒවා රාත්‍රියෙහි වළදම්හ. දහවල් නොවළදම්හ. අපගේ මව්තුමෝ සියුමැලි වුවා රුක් පලාගෙන එන්නී අව් සුළගින් බැහැර සුදුව ගියාය. අතින් මඩින ලද පියුමක් වැන්න. නපුරු වන සතුන්ගෙන් ගැවසී ගත් කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනා ලද මහා වනයෙහි ඇවිදින අපගේ පින්වත් මව් ගේ හිසකෙස් ඉතා තුනීව ගියේය. කෙස් දළ මඩුළු ලෙස බැදී සිටී. එහි අල ද හුරු ද සරන්නී අපට ලබා දෙන්නේය.එසේ මව්පියන්ගේ කාර්ය බහුල ජීවිකාව වර්ණනා කරන ලදී.

දේවයිනි, මහා වනයෙහි ඇවිදින්නා වූ මාගේ පින්වත් මව්ගේ බඹරපත් වැනි කළුකෙස් ගස් අතු ආදියෙහි පැටලී තුනීව ගොස්ය.  කිලිටිව හැසිරෙයි. දෙකිසිලි දැලි දරයි.සම් හැදින්නීය. බිම සිටී. ගිණි පුදයි. 

ජාලිය කුමරුගේ දෝෂාරෝපණයෙන් මිත්තනුවන් ලැජ්ජාවට පත්වීම.

මෙසේ මවගේ දුක්ඛිත බව කියා මුත්තණුවන්ට චෝදනා කරමින් මෙසේද කීවා. ඊට හේතුව දන්දීමේ වරදට තම පියණන්ව වංක ගිරියට පිටමංකිරීමයි.

මුත්තනුවණි,  ලෝකයේ මිනිසුන්ට දරුවෝ ප්‍රියව උපදෙති. අපගේ මුත්තණුවන්ට දරු සෙනෙහස නුපන් වනැයි සිතම්හ.

ඉක්බිත රජු තමන්ගේ වරද හෙළිකරමින් මෙසේ කීවා. දරුව, අප විසින් නපුරක් කරන ලදි. මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරන ලදී. ඒ මම සිවිරට වැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරපීමි. පුත, මෙහි මා සතු යමක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද ඒ හැම දෙමි. වෙසතුරු රජ ඒවා සිවිරට නගරයට  අනුශාසනා කෙරේවා.  එවිට ජාලිය කුමාරයා මෙසේ කිවා.

“දේවයිනි සිවිරට වැසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නොඑයි. දේවයෝ තුමුම ගොස් පුතණුවන් සම්පතින් අභිෂේක කරන්න. “

ඉන්පසු රජතුමා සෙනෙවියා හට මෙසේ කීවා.

වෙසතුරු කුමරු රැගෙන ඒමට සංවිධානය කල අරුම පුදුම චතුරංග සේනාව.

“ඇත්,අස්,රිය,පාබළ,සේනාවෝ සන්නද්ධ වෙත්වා. නියම්ගම් වැසියෝද පෙරවි බමුණෝ ද මා අනුව එත්වා. මාගේ පුත්‍රයා හා සහජාත වූ හැටදහසක් ඇමතිවරු ,ඇතැම් කෙනෙක් නීල වස්ත්‍ර ධරව ,ඇතැම් කෙනෙක් පීත වස්ත්‍ර ධරව අන්‍යයෝ රක්ත වර්ණ නළල් පට ධරව. ඇතැම් කෙනෙක් ශ්වේත වර්ණ වස්ත්‍ර ධරව, මෙසේ නන් වස්ත්‍රයෙන් සැරසී ඉක්මනින් එත්වා. සුවද මල්පල ඇති එහෙයින්ම ගන්ධමාන නම් නොයෙක් රුකින් වැසුණු යක්‍ෂ රක්‍ෂාදී මහා භූත සමුහයා ට නිවාස වූ හිමවත් පර්වතය යම්සේ දිව ඔසුවෙන් දිසා බබළාද සුවද හමාද එසෙයින් සන්නද්ධ වූවාහු ඉක්මනින් එත්වා. පැලදී අභරණින් දිසා බබළත්වා. තවරාගත් විලවුන් සුවද හමත්වා. ඉක්බිති රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැදින් සාදන ලද අඩයටි හා අකුසු ගත් අත් ඇති ඇත්රුවන් විසින් අරා හිදුනා ලද තුදුස් දහසක් ඇතුන් යොදත්වා. දක්වන ලද විභුෂණ ඇති සන්නද්ධ භටයෝ ඇතුන්පිටින් වහා එත්වා. ඉක්බිති දුනු හී දරන අසරුවන් විසින් හිදුනා ලද ජාතියෙන් අජානේය වූ සින්ධු දේශයේ උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා.අලංකෘත සන්නද්ධ වූවාහු අශ්වයන් විසින් වහා එත්වා. ඉක්බිත ලෝභයෙන් මොනවට කරන ලද නිම්වළලු ඇති රන්කම් කළ රථ ඇති තුදුස් දහසක් රිය යොදත්වා. ඒ රියෙහි ධ්වජ නගත්වා. ඵලකායුධයන් හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා. පහරදෙන දුනුවායෝ දුනුදිය නගත්වා. රියදුරෝ සන්නද්ධව රියෙහි හිද වහා එත්වයි” අණ කරනු ලැබුවා. 

මෙසේ රජතුමා සේනා අංගයන් විමසා බලා මාගේ පුත්‍රයාට ජයතුරා නගරයේ සිට වංකගිරිය දක්වා උසභ අටක් පමණ වූ ගමන්මග සමතලා කොට මග සැරසීම සදහා මේ මේ දේ කරවයි අණ කරමින් මෙසේ කීය.

රජතුමා කුමරු වඩින මග සරසන ආකාරය නියම කිරීම.

ඉස්නා ලද පස්මල් මල්දම් හා සුවද විලෙවුන් ප්‍රතිපාදන කරව. වෙස්සන්තර යම් මගකින් එයිද ඒ මග මල් ඇගෑ රුවන් ඇගෑද සිටුවා. යම් මෙගෙකින් ඒද ඒ මග ගම්දොරක් පාසා රහමෙර පුරවන ලද සියක් කළ තබාවා. යම් මගෙකින් ඒද ඒ මග මස් ද කැවුම් ද ආස්මි ද මසින් යුතු කොමුද තිබේවා. යම් මගෙකින් ඒ ද එමගෙහි ගිතෙල් ද තලතෙල් ද දී ද කිරි ද තණපිටියෙන් හා වී පිටියෙන් කළ බොහෝ සුරාද තිබේවා. බත් පිසින්නොද මාළු පිසින්නොද නටන්නෝද නටා ගී කියන්නෝද අත්තල ගසනුවෝද කළබෙර වයනුවෝද මුණ්ඩකයෝද ශෝක නසනුවෝද එත්වා. හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණට කැරකුණු සක් පිඹිත්වා. පුෂ්කර වාදය වයත්වා. මෙසේ රජු මග සැරසීම් පිළියෙල කරවිය.

ජූජක බමුණාගේ හදිසි මරණය.

බමුණාද සීමාවට වඩා ආහාර අනුභවකොට දිරවා ගන්නට අසමත් වුයේ එහිම මළේය. රජු ඔහුගේ සිරුර කිස කරවවා නගරයෙහි බෙර හසුරුවා ඔහුගේ කිසි ඤාතියකු දුටුවේ නැත.ධනය නැවතත් රජුටම අයත් විය.

මහා චතුරංග සේනාව වංකගිරිය බලා පිටත්වීම.

එතැන් සිට සත්වන දිනයේ රජු අණ කල පරිදී සියළු සේනාවෝ එක්රැස් වුණා. රජු මහත් පිරිවරින් ජාලිය කුමරුව ගමන්මග ප්‍රධානියා කොට පිටත්ව ගියා. එසේ ගමන් ගත්තා වූ සිවිරජහු උසුළන ඒ සෙනග මහත්වී මග කියන ජාලිය හා සමග වංකගිරියට නික්මුණා.  මහත් සිරුරු ඇති ගැඹුරු හඩ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන්පොරොදු බදනා ලබන කල්හි කුංචනාද කරයි. අජානීය අශ්වයෝ හේසරාව කළහ. නිම්වළලු හඩ මතුවිය. ධූලි අහස වැසීය.චතුරංගනී සේනාව ගමන්හි යෙදුනේය. ගමනෙහි යෙදුණු නිල් තණබිම් හරනා වූ ඒ සේනාව විශාල විය.ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසිය. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සැටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක්  ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.

කලිඟුරටවැසියනට දන්දුන් මංගල හස්තිරාජයා යලි ලැබීම.

ඒ එක්කම තවත් ආශ්චර්යයක් වුණා. මේ සියල්ලටම මුල් වුන මංගල හස්තිරාජයා කලිගුරටවැසි බමුණෝ තමන්ගේ රටෙහි වැසි වට කල්හි ගෙන අවුත් සංජය රජුට ආපසු දුන්නා. ඒ හස්තියා තමන්ගේ ස්වාමියාව දැකගන්නට ලැබේයැයි සතුටින් කුංචනාද කළා. ගෙනයාමට ඇත් රජු රන්පටියෙන් බදිනු ලබනවිට සතුටින් කුංචනාද  කළා.

මහා රාජ කාණ්ඩය නිමි.

අපේ බුදුහාමුදුරුවෝ 139

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 34

අජානීය අශ්වයෝ හේසරාව කරනු ලැබුවා. නිම්වළලු හඩ මතුවුණා. දුවිල්ලෙන් අහස වැසුනා.  චතුරංගනී සේනාව ගමන්හි යෙදුනා.  නිල් තණබිම් හරහා  ගමනෙහි  යෙදුණු  ඒ සේනාව විශාල වුණා.  ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසුණා. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සැටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක්  ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.

අසපුව අසලට පැමිණි මහා සේනාව දැක වෙසතුරු කුමරු බියවීම.

ජාලිය කුමාරයා මුචලින්ද විල ඉවුරේ කදවුරු බදවා දහහතර දහසක් රථ ආවා වූ මාර්ගයට අභිමුඛව තබ්බවා ඒ ඒ ප්‍රදේශවල සිංහ,ව්‍යාඝ්‍ර, වැනි බිහිසුණු සතුන් ගැවසීගත් මාර්ගයන්හි ආරක්‍ෂාව යොදවනු ලැබුවා. ඇත් ආදීන්ගේ ශබ්දය මහත්විය. බෝධිසත්ත්වයන්වහන්සේ එම ශබ්ද අසා” කිම මාගේ සතුරෝ පියා ඝාතනය කොට මා සොයා ආවාහු” යැයි සිතා මද්‍රි දේවියද ගෙන පර්වතයට නැග සේනාව දෙස බලා මෙසේ පවසනු ලැබුවා.

” මද්‍රි දේවියනි,වනයෙහි යම්බදු මහා හඩක් ඇද්ද එය පිරික්සව. අජානේය අශ්වයෝ හේසරාව කරති. රථයන්හි නැගූ දද  අග පෙනෙයි. ඒකාන්තයෙන් මොවුන් වනාහි වනයෙහි මුවසමූහයා වරදැලින් හාත්පස බැද වළට හෙළා එකෙණෙහි මරව, තලව ආදී විවිධාකාරයෙන් නපුරු හඩ නගමින් ඔවුනතුරෙහි හොද හොද මුවන් තියුණු ආයුධවලින් යම්සේ සැණින් මරාදමත්ද එසෙයින් අපවද නසතියි සිතමි. අපි නිදොස් වෙමු. රටින් නෙරපන ලදුව වනයෙහි සිරකරනු ලැබුවාහු සතුරන් අතට පත්වූයෙමි. දුර්වලයන් මරණ සැටි බලව. තමන්ගේ සේනාව කියා හෝ පරසේනාව කියා හෝ කල්පනා කරයි. මද්‍රිය, යම්සේ වනයෙහි වැද්දෝ මෘග සමුහයාව වරදැල් දමා හෝ වළවල්වලට හෙළා හෝ එවෙලේම නසන්නාහුය. දුෂ්ට මෘගයන් කියමින් නිග්‍රහ කරමින් තියුණු මෘගයන් මරණ ආයුධවලින් ඒ මුවන්ගෙන් හොද හොද මුවන් නසති. මොවුන් වනාහි ඒකාන්තයෙන් අපව අසභ්‍ය වචනවලින් නිග්‍රහ කරමින් තියුණු ආයුධවලින් නසත්. අපි ද නිවැරදිකාරයෝ වෙමු. රටින් නෙරපන ලද්දාහු වනයෙහි වසමු. මෙසේ මරණ සැටි බලව කියා තැතිගෙන පවසන්නට වුණා.

මද්‍රී දේවිය වෙසතුරු කුමරුගේ බිය දුරු කිරීම.

 මද්‍රි දේවිය රජුගේ වචනය අසා සේනාව දෙස බලා එය තමන්ගේ සේනාව විය යුතුයැයි වෙසතුරු රජුන් අස්වැස්සුවේ නියම එඩිතර බිරිඳක් ලෙසින්.

“තණහුලෙක ගින්න ගැඹුරු දිය ඇති මුහුද මැඩිලිය නොහැකි සෙයින් සතුරන්හට ඔබව  මැඩිලිය  හැකි නොවෙත්. මේ බලකායෙන් සෙතක් වන්නේය.  යම්සේ තණ ගිණිහුල ආදියෙන් ගෙනෙන ගින්න මහා සාගර සංඛ්‍යාත විශාල ජලකදක් මැඩපවත්වන්නට අසමත් වෙයි. රත් කරන්නට නොහැකි වෙයි. එපරිද්දෙන් ඔබව අභිභවනය නොකරත්. ශක්‍රයා විසින් ඔබට වරයක් දී මහරජ නොබෝකලකින් ඔබගේ පියා එන්නේයැයි කියන ලදී. මේ බලකායෙන් අපට යහපතක් වන්නේය.බිය නොවන්න.

ඒ මහා වීර්යවන්ත පින්වත් බිරිඳගේ වදන් ඇසු බෝධිසත්ත්වයන්වහන්සේ ශෝකය දුරුකොට ඇය සමග පර්වතයෙන් බැස, ” අපි පැවිද්දෝ වෙමු. අපට කවරෙක් කුමක් කරන්නේදැයි”  සිත දැඩි කොටගෙන පන්සල් දොරටුවට පිවිසියා.

පළමුව පියරජ පමණක් වෙසතුරු කුමරු අභියසට පැමිණීම.

ඒ මොහොතේ වෙසතුරු කුමුරුගේ අසපුව ආසන්නයටම පැමිණි සිටි සංජය රජු ඵුසති දේවියට අමතා ” සොදුර, අපි සියළු දෙනාම එකට ගියකල්හි ශෝකය මහත් වන්නේය. මම පළමුව යන්නෙමි. එයින් ශෝකය නැතිකොට හුන්නේ යැයි සළකා නුඹ මහත් පිරිවරින් එන්නයැයි”  කියා රථය නතරකොට පැමිණ මගට අභිමුඛව ඒ ඒ තැන්හි ආරක්ෂාව යොදා අලංකාර කරන ලද ඇතාපිට නැගී එයින් බැස පුතාගේ සමීපයට යන්නට පිටත්වුණා.  පියමහරජ රිය නවත්වා සෙනෙවියන්ට නියෝග කොට හුදෙකලාව වනයේ වාසය කරන පුතු වෙත එළඹියා. ඇත්කදින් බැස ඒකංස කළ උතුරුසළු ඇතියේ ජනයා විසින් කරන ලද ඇදිලි ඇතියේ ඇමතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට පැමිණියා.  එසද මහරජ ඒ අසපුවෙහි පන්සල් දොර හුන් රම්‍ය වූ ස්වභාව ඇති එකග සිත් ඇති ධාන්‍ය කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරු දුටුවා. වෙසතුරු රජු ද මද්‍රි දේවිය ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැක පෙරමගට ගොස් ඔහුට වැන්දා. දේවයිනි මම ඔබ ලේලීය වන මද්‍රි වෙමියි කියා මද්‍රි බිසව මාමණ්ඩිගේ පා යුගල හිස තබා වැන්දා. පියරජු එහිදී  ඇයව වැළදගෙන සෙනෙහසින් අත්ලෙන් පිට පිරිමැද්දා. ඉන්පසු දුපුතුන් දෙදෙනාම ඒ ශක්‍රයා විසින් දෙන ලද අසපුවෙහි වැළදගෙන හදවතේ හොවා ගෙන සිඹ මොළොක් අතින් ඔවුන්ගේ පිට පිරිමදින්නට වුණේ  මහත්වූ සෙනෙහසින්.

ඉන්පසු  හඩා වැළපී ශෝකය තුනිවු  කල්හි රජුඔවුන් සමග පිළිසදර කථා කරමින් මෙසේ කීවා. “පුතණුවෙනි, කිම තොප සුවසේද?  පුතණුවනි කිම දුක් නැද්ද? කිම වනමුල් පලයෙන් යැපෙව්ද? කිම අල හා පළවැල බොහෝ ඇද්ද? කිම මැසිමදුරුවෝ ද සර්පයෝද අල්ප වෙත්ද? චණ්ඩ මෘගයන්ගෙන් යුතු වනයෙහි පීඩා නැද්ද? පියාගේ වචනය අසා බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ කිවා. දේවයිනි,අපගේ දිවිපැවත්මක් ඇත. එයද යම්තම් වනුයේය. සිගාකෑමෙන් පවත්වන අපගේ ජීවිතය වනමුල් පලවැලින් දිවිපැවැත්ම වෙයි. දුකින්ම දිවි පැවැත්වෙමු. මහරජතුමනි සම්පත් නැති දුප්පත් දිළිදු පුරුෂයා වනාහි එම දිළිදු බව විසින්ම දමනය කරයි. දක්‍ෂ රථාචාර්යයා අශ්වයකු දමනය කරන්නාක් මෙනි. දුප්පත්කම විසින්ම අපව දමනය කරයි. මහරජතුමනි, රටින් නෙරපන ලදුව වනයෙහි වසන ජීවශෝකී වූ අපගේ මව්පියන් නොදැක්මෙන් ශරීරයේ මස්ද කෘශ විය. පහනොවූ ශෝක ඇති අපට කුමන නම් සැපයෙක්ද? මෙසේද කියා නැවත දරුවන්ගේ තොරතුරු අසමින් මෙසේ කීවා.

ජාලිය ක්‍රිෂ්ණජිනා ජූජක බමුණාගෙන් නිදහස් කරගත් බව පැවසීම.

 ඒ ජාලිය ,ක්‍රිෂ්ණජිනා දෙදෙරුවන් සිවිමහ රජුගේ දායාද නොලත්  සම්පුර්ණ නොවූ  මනදොළ ඇතිව ඉක්මන් වූ රුදුරු බමුණකු යටතට පත්විය. ඒ බමුණා ගවයන්ට  පහරදෙන්නාක් මෙන් ඔවුන්ට පහරදෙයි. ඉදින් ඒ දරුවන් තතු  දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ දනිව් නම් මේ රජදූට කියව. සර්පයකු විසින් දෂ්ට කරන ලද මානවකයන් හට බෙහෙත් කරන්නාක් මෙන් වහා අපට කියන්න.

එවිට මහරජ, ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා බමුණාට ධනය දී නිදහස්කොට ගන්නා ලදහ. පුත,බිය නොවන්න.සැනසෙන්න. ධනය ගෙවා දරුවන් ගත්තේය. ඒ අසා බෝධිසත්ත්වයන්වහන්සේ ලබන ලද අස්වැසීම් මෙතෙකැයි කියන්නට බැහැ.  එය අසා සතුටුව නැවතත්  පියා සමග පිළිසදර කථාවේ යෙදුනා.

කියන්න, පියාණෙනි, සුවසේද? කිම පියාණෙනි දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් කදුළින් නොපිරිහේද? පුත්‍ර ශෝකයෙන් අඩන්නියගේ ඇස් නොපිරිහෙයි.රජු කීවා. පුතණුවනි,මට රෝග නැත, තවද පුතණුවනි, මට දුක් නැත, තවද පුතණුවනි තොප මවගේ ඇස් නොපිරිහේ. එවිට  වෙසතුරු රජු, කිම තොපගේ ධූර දරන්නෝ සුවසේද? කිම වාහන උසුලාද? කිම ජනපද සමෘද්ධ ද? වැසිද නොසිදේද? . මෙසේ කථාසල්ලාපයේ යෙදෙන අතරතුර ඒ දෙදෙනා අතර දෙබස මෙසේ යනවිට ඵුසති දේවියට තව දුරටත් සැඟවී සිටිය නොහැකි වුණා. දේවිය දැන් ශෝකය තුනීකොට ඇතැයි සිතමින්  මහා පිරිවර සමග පුතා සමීපයට පැමිණියා. .මව්රජ දුවමින් පාවහන් නැතිව පා ගමනින් පැමිණෙන බව  පර්වත දොරටුව සිටි වෙසතුරු යුවළ දුටුවා.  පුතු කෙරෙහි ගිජු වූ ඒ මව එන්නී දැක වෙස්සන්තර රජු ද මද්‍රි දේවියද පෙරගමන්කොට ඇයට වඳිනු ලැබුවා.

ජාලිය ක්‍රිෂ්ණජිනා, වෙසතුරු යුවළ, පියරජ යුවළ සහ හැටදහසක් අමාත්‍ය මණ්ඩලය සිහි නැතිව වැටීම.

“ආර්යාවෙනි,මම තොපගේ ලේලිය මද්‍රි වෙමි. තොපගේ පා යුවළ වදිමියි”. මද්‍රි දේවියද නැන්දණියගේ පා යුගවල හිසතබා වැන්දා. ඔවුන් ඵුසති දේවියට වැදසිටි අතරතුර කුමාර කුමරියන් පිරිවර සමගින් පැමිණියා. මද්‍රිය දේවියද ඔවුන් එනමග බලමින්ම සිටියා. දුර සිට සුවසේ ආ දරුවෝ මද්‍රි දේවිය දැක මුවදෙන කරා දුව එන පැටියන් මෙන් හඩමින් පෙරට දුව ආවා.

මද්‍රි දේවිය දුරින් සුවසේ ආ දරුවන් දැක භූතාවේශ වූවකු මෙන් වෙව්ලමින් මහත් හඩින් හඩ හඩා කම්පා වී සිහි නැති වී බිම පතිත වුණා.  කුමාරවරුද වේගයෙන් අවුත් සිහි නැතිව මව් මත්තේම වැටුනා. ඒ මොහොතේ මහත් වූ දරු සෙනෙහෙන් ලය පිරී තිබු  ඇගේ දෙතනයෙන් කිරි ධාරා දෙකක් නික්ම ඔවුන්ගේ මුඛයටම පතිතවුණේ තවත් ආශ්චර්යයක් ලෙසින්. එසේ ඒ සා වූ අස්වැසිල්ලක් නොවන්නට දරුවෝ දෙදෙනා හදවත් වියළි නැසිය හැකි බවයි සඳහන් වන්නේ.  වෙසතුරු රජුත් ප්‍රිය පුතුන් දැක ශෝකය දරාගන්නට නොහැකිව සිහි නැතිව එහිම වැටුණා. මව්පියවරුද සිහි නැතිව එහිම වැටුණා . 

එසේම සහජාත වූ හැටදහසක් ඇමැතිවරු ද ඒ ශෝකී දර්ශනය බලන්නවුන්ගෙන් එක් අයෙක්වත් එය දරාගන්නට නොහැකිවුණා.

මහපොළව කම්පාවීම සහ ශක්‍ර දෙවිඳු විසින් පොකුරු වැසි වැස්සවීම. 

මුළු අසපු පෙදෙසම යුගාන්ත වාතයෙන් කම්පා වූ සල්වනයක් මෙන් හඬ නැගුවා.  ඒ මොහොතේ පර්වතයෝද  හඩ නැගුවා.  පොළොව කම්පා වුණා. මහා සමුද්‍රය කැළබිණ. සිනෙරු පර්වතය නැමී ගියා. කාමාවචර දිව්‍යතල සය දක්වාම මෙම කෝලාහලය පැතිර ගියා.  මෙලෙස ක්‍ෂත්‍රියයන් සය දෙනාම  සිය පිරිස් සමග සිහි නැතිව වැටුණා. ඔවුනතුරෙන් කිසිවෙක් නැගිට කිසිවකුගේ ශරීරයකට ජලය ස්වල්පයක් ඉසින්නට සමර්ථ නැතැයි සිතු සක් දෙවිදුන් පොකුරු වැස්සක් වස්වා පියවිසිහිය ගෙනදෙනුයයි සිතා  ක්‍ෂත්‍රිය සමාගමයෙහි මතට පොකුරු වැස්සක් වැස්සවුවා.  පොකුරු වැස්සේ විශේෂත්වය යමෙක් එහි තෙමනු කැමති වෙත්ද ඔවුහු තෙමෙනවා. යමෙක් එහි තෙමෙනු අකමැති නම් ඒ අය මතට ජලබිදුවක් වත් නොවැටෙයි. නෙලුම්පතකට වැටුණු ජලය මෙන් පෙරලී යයි. මෙසේ එය පොකුරු වනයෙහි වට වැස්සක් මෙන් විය. ක්‍ෂත්‍රියයෝ සයදෙනා හට සිහිය ආවේ ඒ මොහොතේ. ඤාති සමාගම මතටත් පොකුරු වැසි වස්සා. මහපොළොව නැවත නැවතත්  කම්පාවුණා.

වෙසතුරු කුමරු අභිෂේක කරනු ලැබීම.

  මහජනයා පුදුමයට පත්වුණා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුණා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණා. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුණා.  මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුණා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ළග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි,ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදෙනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.

ක්‍ෂත්‍රියයන් සයදෙනා පිළිබද කාණ්ඩය නිමි 

අපේ බුදුහාමුදුරුවෝ 140

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 35

මහජනයා පුදුමයට පත්වුණා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුණා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණා. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුණා.  මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුණා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ලග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි, ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.

වෙසතුරු කුමරු ඔටුන්න ප්‍රතික්ෂේප කිරීම. 

මේ සියල්ල ඉවසීමෙන් අසාසිටි අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ තම පියරජු සමග කථා කරමින් මෙසේ පැවසුවා.  “ඔබද දනව්වැසියෝද නියම්ගම් වැසියෝද එක්ව දැහැමින් රජකෙරූ මා රටින් නෙරපවනු ලැබුවා.” උන්වහන්සේ කිවේ එපමණ වූවත් කිවයුතු බොහෝ කරුණු එහි සඳහන්ව තිබ්බා.   ඉන්පසු රජතුමා පුතණුවන්ගෙන් සමාව අයදිමින් ” පුත, අප විසින් අකටයුත්තක් කරන ලදී. මා විසින් රටෙහි අභිවෘද්ධිය නසන ලදී. මම සිවිරට වැසියන්ගේ වචනයෙන් ඔබව රටින් නෙරපූයෙමි.”  ඉන්පසු තමාගේ දුක නැතිකර ගැනීම පිණිස ඉල්ලමින් මෙසේ කීවා. පුතණුවනි, යම්කිසි අයුරකින් තමා ජිවිතයද පුදා  පියා හට උපන් දුක්ද මවට හා සොයුරියට උපන් දුක් ද පහකරන්නේද, එලෙසම  දරුවකු විසින් ජීවිතය හැරදමා හෝ මව්පියන්ගේ ශෝකය දුක නැති කළ යුතුය. දරුව, එය සිතෙහි තබා තවුස්වෙස් අත්හැර රජවෙස් ගන්නැයි” කිවේ බැගෑපත්ව.

රජතුමා ඇතුළු සියලු රටවැසියන්ගේ ආරාධනයෙන් පසු යලිදු රජකම බාරගැනීම.

බෝධිසත්ත්වයන්වහන්සේ රාජ්‍ය කරනු කැමැත්තේ නමුත් මෙපමණක්ම නොකියූ දෙයෙහි සැලකිල්ලක් නැතැයි කීවා. ඉන්පසු රජතුමා මහා බෝධිසත්ත්වයන්වහන්සේට ආරාධනා කරනු ලැබුවා.  බෝධිසත්ත්වයන්වහන්සේත්  එය පිළිගනුලබුවා. ඉන්පසු  ඔහුගේ ඉවසීම දැනගෙන සහජාත හැටදහසක් ඇමතිවරු මහරජතුමනි, දැන් ජලස්නානයට කාලයයි. රජස් දැලි ඉවත්කරන්න යැයි පවසනු ලැබුවා.  බෝධිසත්ත්වයන්වහන්සේ ටික වේලාවක් ඉවසන්න යැයි කියා පන්සලට පිවිස තවුස් උපකරණ බැහැරකොට ඒවා තැන්පත් කර පන්සලින් නික්ම මේ මා විසින් මාස හතක් මහණදම් පිරූ තැන, පාරමිතා මුදුන්පත් කර දන් දී මහපොළොව කම්පා කළ තැන කියා පන්සලට තුන්වරක් පැදකුණු කර වැද, පසග පිහිටුවා වැද සිටියා. ඉන්පසු වෙසතුරු රජු රජස්කදැල් සෝදා, කපුවෝ  හිසකෙස් රවුල් කැපීම් ආදියද කරනු ලැබුවා. සියළු ආභරණින් අලංකාර වූ ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් බබලන වෙසතුරු රජුව රාජ්‍යයෙන් අභිෂේක කරනු ලැබුවා.  

වංකගිරියේ පැවැත්වූ සැණකෙළිය.

එතැන්පටන් ඔහුගේ යසස් මහත් විය. බැලු බැලු තැන කම්පා වෙයි. ස්තෝත්‍ර ගායකයෝ මංගල ගී ගායනා ගැයුවා. සියළු තූර්ය භාණ්ඩ ඔසවා ගත්තා. මහා සමුද්‍රය තුළ හෙණ ගිගුරුම් මෙන් නාද වෙන්නට පටන්ගත්තා. මේ සියලු කරදර වලටද පාරමිතා පූර්ණයටද එකසේ හේතුවූ ඒ දන්දුන්  හස්ති රත්නය සුදානම් කර සමීපයට ගෙන ආවා. වෙසතුරු රජු උතුම් කඩුව පැළදගෙන තමන් උපන් දිනයේම උපන් ඒ සතුරන් නසන මංගල හස්තියා පිටට නැග්ගා.  එවිටම සියලු අලංකාරයන්ගෙන් සැරසුණු සහජාත හැටදහසක් ඇමතියෝ ඔහු පිරිවරා ගත්තා. ඉක්බිති  වෙසතුරු රජ සමග උපන් මනා දැකුම් ඇති සැටදහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරාගත්තා. සිවි කන්‍යාවෝ රැස්ව මද්‍රි දේවිය නැහැවුවා. ඉන්පසු සිවි රජුගේ බිසෝවරුන් රැස්වී ඇයව නැවතවරක් සුවද පැනින් නාවනු ලැබුවා.  මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුණා.  “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුණා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුණා.  මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා. මීට පෙර තමන් වනයෙහි වාසය කිරීම් නැමැති කිලිටි සිහිකර වංකගිරි පර්වතය තුළ වෙස්සන්තර රජුගේ ආඥාව යැයි වැල් ඔතන ලද ආනන්දය භේරිය හසුරුවා සැණකෙළි පැවැත්වුහ. සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව තව තවත් අතිශයින් සතුටු වුණා.

අපේ බුදුහාමුදුරුවෝ 141

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 36

අපේ බුදුහාමුදුරුවෝ පළමු කොටස නොහොත් දුරේ නිධානයේ අවසානය. 

මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුණා.  “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුණා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුණා.  මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා.

ජිවිත අවදානමක් මැද්දේ පාරමිතා පුර්ණය සඳහා උදවු කල දරුවනට පුණ්‍යානුමෝදනා කිරීම.

සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව අතිශයින් සතුටු වෙමින් මෙසේ දරුවන්ට පවසන්නට වුණා,

දරුවෙනි, ජූජක බමුණා ඔබ රැගෙන ගියබව දැනගත් පසු ඔබ පතමින් නිරතුරුවම එක්වේලක් පමණක් වළදන්නට වුණෙමු. බිම නිදාගන්නට වුණෙමු. මෙසේ මට මෙය ඔබ වෙනුවෙන් ඔබ බලපොරෝතුවෙන් දිනපතා කෙරෙන වෘතයක් විය.  දරුවෙනි, මාගේ ඒ වත සමාදානය අද තොප හා සමෘද්ධ විය. මව කෙරෙන්ද පියා කෙරෙන්ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. සදමහරජ එය රකීවා. මා විසිනිදු තොප පියා විසිනිදු කරන ලද යම්කිසි පිනක් ඇද්ද ඒ හැම පිනෙන් ඔබ දෙදෙනා අජර අමර වේවා. දරුවෝ මව නිසා හටගත් සොම්නස ද පියා නිසා හටගත් සොම්නසද පාලනය කෙරේත්වා. මව්පියන් සතු පින ඔහුව පාලනය කෙරේවායි හඬනගා කිවා.

වෙසතුරු කුමරුගේ මව මද්‍රි දේවියට යවනු ලැබූ ආභරණ.

ඉන්පසු වෙසතුරු කුමරුගේ මව ඵුසති දේවියද “මෙතැන් පටන් මාගේ ලේලිය මේ වස්ත්‍රම හදීවා. මේ ආභරණ ද පලදීවයි” කරඩුවක දමා ලබා දුන්නා.  යම් වස්ත්‍රයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එයට නිසි කපුපිළි ද කිහිරිපිළිද කොමුපිළිද කොදුම්බර රට නිපන් පිළිද නැන්දා වූ ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා.  ඉක්බිති යම් අලංකාරයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද, එබදු රන්මුවා ග්‍රීවාභරණද,  අගුපලදනාද, මිණිමෙවුල් ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යැවුවා. ඉක්බිති යම් ආභරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එබදු රන්මුවා  ග්‍රීවාභරණද   මිණිමුවා ග්‍රීවාභරණද  ඵුසති දේවිය  විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා.  යම් ආභරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද එබදු රන් බුබුළු ද නන්පැහැ මැණිකෙන් කරන ලද තිලකාභරණ ද ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. යම් පළදනාවකින් මද්‍රිදේවි ශෝභමාන වූද එබදු රන්කසුකම් කළ තනපටද, රන් වොරසුද, මෙවුල්දම්ද, පාදාභරණ ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා.  හුයෙන් ඇමුණු ආභරණ ද හුයක් නැති ආභරණද පරීක්ෂාවක් කර බලා සැරසී සිටි උතුම් රූ දැරූ රාජපුත්‍රී නදුන් වනයේ දෙවගනක් මෙන් ශෝහමාන ව බබළන්නට වුණා. ස්නානය කොට පවිත්‍ර ඇදුම් ඇදගත් සියළු ආභරණයන්ගෙන් සෑදුනු රජ දු තව්තිසා වැසි දිව්‍ය අප්සරාවක් මෙන් ශෝභමාන වුවා. 

එදින මද්‍රී දේවියගේ රූප සෝභාව තවදුරටත් අටුවාවෙහි මෙලෙස විස්තර කරනවා.

බිඹුපලවන් ලවනින් යුතු රාජපුත්‍රිය චිත්‍රලතා වනයේ හටගත් සුළගින් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභමාන විය. ඉදුණු නුගපල බිඹුපලවන්ලවන් ඇති ඒ රජ දු උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිදුරු ලිහිණියක මෙන් ශෝභමාන විය. ස්වර්ණමය ගෙල පලදනාවද අගුපලදනාවද මිණිමෙවුලද ස්වර්ණමය වූ වනයෙහි ඉදිගෙඩ්වලට සමාන වූ ගෙළ පළදනාව තවත් මාණික්‍යමය ගෙළ පළදනාවක් නළලත බදින බුබුළුද තිලකාභරණද නොයෙක් වර්ණ ඇති මාණික්‍යමය ආභරණ විශේෂ දෙකක් රන් හා රිදීමය මෙවුල පා පළදනාවන් නුලෙන් අමුණු හා නුලෙන් අමුණු නැති ආභරණ, මේ නූලෙහි අමුණන ලද හා නූලෙහි නො අමුණන ලද ආභරණ ඒ ඒ හිස්තැන් බලා සරසා සිටියා වූ උත්තම රූප ඇති මද්‍රිය නන්දන වනයේ දෙව්ලියක් මෙන් බැබළින. චිත්‍රලතා වනයෙහි හටගත් රන්කෙසෙල් ගසක් මෙන් ඒ දවස ඇය බැබලෙමින් සිටියාය. බිඹුපල හා සමාන වූ තොල්වලින් යුක්ත යම්සේ මිනිස් සිරුරෙන් හටගත් මානුසිනී නම් වූ විසිතුරු පියාපත් ඇතිව අහසෙහි සැරිසරන්නේ පියාපත් දිගුකර යන්නී ඉතා අලංකාරය. මෙසේ ඇය රතු පැහැයෙන් නුගගෙඩි හා බිඹුපල හා සමාන වූ තොල්වලින් බබලන්නීය. ඇයටද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත්  රියහිස් වැනි දළ බර උසුලන හස්තියකු විය. ඒ මද්‍රි දේවිය තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන ඇතුපිට නැගුණි. ඉක්බිත ඔවුන් දෙදෙනාම මහත් වූ යසසින් කදවුරට ගියහ.

වෙසතුරු රජතුමා ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත යලි රැගෙනයාමට රැස්වුණ පරිවාර සේනාව. 

සංජය රජු මසක් පමණ සැණකෙළි පවත්වා සේනාපතියා කැදවා දරුව, අප බොහෝ කලක් වනයෙහි විසුවෙමු. “කිම,  මාගේ පුත්‍රයාගේ ගමන්මග සරසන ලද්දේදැයි” අසා “එසේය දේවයන් වහන්ස,ඔබවහන්සේලාට ගමන් ඇරඹීමට කාලයයි”  කී කල්හි වෙස්සන්තර රජුට දන්වා සේනාව ගෙන පිටත් වුණා. වංකගිරියේ සිට ජයතුරා නුවර දක්වා වූ මග මනාලෙස අලංකාර කරන ලද සැටයොදුන් මගට මහත් පිරිවර සමග බෝධිසත්ත්වයන්වහන්සේ පිළිපන්නා. වෙස්සන්තර රජු යම්තැනක විසීද එතැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මල් අතුරන ලද රාජමාර්ගය පිළියෙළ කරන ලැබුවා.  ඉක්බිති සිවිරට යන්නා වූ වෙස්සන්තර රජු නික්මුණු කල්හි යහපත් දර්ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජ නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝ ද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්මුණු කල්හි ඇත්රුවෝද අසරුවෝද රථාචාරීහුද පාබල සේනාද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝද නියම්ගම් වැසියෝද රැස්වුණා . සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පලගදරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පොරවාගත් අය රජු පෙරටුකොට පිළිපන්නා.(වෙසක් සැණකෙළි කාලයේ මෙන් අලංකාර කරන ලදී ) 

වෙසතුරු රජුගේ තේජසින් සහ මෛත්‍රියෙන් සන්සුන්වූ වනසතුන් එකට රැස්ව කම්පාවීම.

සංජය රජු මෙලෙස මාසයක් පමණ පර්වත ක්‍රීඩා, වන ක්‍රීඩා පැවැත්වුවා. අප මහා බෝධිසත්ත්වයන්වහන්සේගේ තේජසින් විශාල වූ ආරණ්‍යයේ කිසිම නපුරු සතෙක් හෝ පක්‍ෂියෙක් හෝ කිසිවකුටත් පීඩා කලේ නැහැ. ඒ සෑම වනයකම යම් පමණ සැඩ සිව්පාවෝ වුහුද ඔවුන් බෝධිසත්ත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන්ද  නොපෙලූවා. ඒ මුළු වනයෙහිම යම් පමණ ලිහිණියෝ වූවාහු ද ඔවුහු බෝධිසත්ත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන් නොපෙලූවා. සිවිරට වර්ධනය කරන වෙස්සන්තර රජු එම වනයෙන් නික්ම ගියකල්හි ඒ මුළු වනයෙහි යම් පමණ සිව්පාවෝ වූවාහුද ඔවුහු එක් තැනක රැස්වුණා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්ම ගියකල්හි ඒ හැම වනයෙහි යම් පමණ සියොතුන් වූවාහුද ඔවුහු සියල්ලෝමත් එක්රැස් වුණා. ඒ සැම ඉන්පසු මියුරු ලෙස කුජනය කලේ නැහැ. ඔවුන් එක්රැස්වී මෙතැන් පටන් අපට ඔවුනොවුන් අතර ලැජ්ජාවක් හෝ සංවරයක් හෝ නොවේ යැයි  දොම්නස් වුණා. බෝධිසත්ත්වයන්වහන්සේගේ වෙන්වීමේ වියෝදුකින් මිහිරි නදින් පෙරසේ නාද නොකළා.

වෙස්සන්තර රජු ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත රැගෙන යාම සඳහා ආරක්ෂාව ලබාදුන් සැටදහසක් යෝධයෝ.

කෙසෙල් පුන්කලස් ධජ පතාක ආදියෙන් විසිතුරු වූ ලදපස්මල් විසුරුවා යම්තැනක වංකගිරියේ වෙස්සන්තර රජ වාසය කළේද එතැන් පටන් ජයතුරා නුවර තෙක් අලංකාර කරනු ලැබුවා. හිසෙහි පළදනා ඇති යෝධයෝ ඊතල පහරවල් වලක්වන සම් දරණ විසිතුරු දැල්වලින් මනාව යුධ ඇදුම්වලින් සැරසී මෙබදු මත්ඇතුන්ද එනකල්හි නොනවතින සුර යෝධයෝ වෙස්සන්තර රජු පෙරටුකොට ගියා. රජු සැටයොදුන් මග දෙමසකින් ගෙවා ජයතුරා නගරයට සැපත් වුයේ මනාලෙස අලංකාර කර පිළියෙළ කරන ලද නගරයට පිවිස ප්‍රසාදයට ගොඩවුණා. ආහාරපානවලින්ද ගීනැටුම්වලින්ද යන දෙකින් යුක්ත වූ බොහෝ පවුරු හා තොරණ් ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔවුහු පිවිසිය. සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපද වැසියෝද නියම්ගම් වැසියෝද බොහෝ ලෙස සතුටුවුණා. මහජනයාට ධනය දෙන්නාවූ වෙස්සන්තර රජු සිය නුවරට පැමිණි කල්හි පිළිහිස සිසෑරීම් පැවැත්වුණා. සතුටු බෙර හැසිරවූවා. රජුගේ අණ යැයි නගරයෙහි බෙර හැසිරුවුවා. සියළු සතුන් බන්ධනයෙන් මිදිය යුතු යැයි  ඝෝෂා කළා. යටත් පිරිසෙන් බළලුන් ඇතුළුව සියළු සතුන් බෝධිසත්ත්වයන්වහන්සේ අණින් නිදහස් කරවුණා. වෙසතුරු රජු නගරයට පිවිසි දිනයේම අළුයම් වේලෙහි මෙලෙස සිතන්නට වුණා. රෑ පහන් වූ කල්හි මා පැමිණි බව අසා යම් යාචක කෙනෙක් පැමිණෙත්ද ඔවුන්ට මම කුමක් දෙන්නේම්ද? ඒ මොහොතේම  ශක්‍ර දෙවිදුගේ ආසනය උණුසුම් වුණා. සක් දෙවිදුන් විසින් රජගෙදරට බටහිර හා පෙරදිග නිවාසවල තුනටිය තෙක් ප්‍රමාණයේ පිරෙන්නට තද සත්රුවන් වර්ෂාවක් වැස්සවනු ලැබුවා. එයින්  මුළු නගරයෙහිම දනක් පමණ සත්රුවනීන් වැසී ගියා. පසුදා බෝධිසත්ත්වයන්වහන්සේ ඒ ඒ නිවෙස්වලට බටහිරින් හා පෙරදිගින් වැසි වසින ලද ධනය ඔවූන්ටම වේවායි ඔවුන්ට දී ඉතිරිය ගෙන්වාගෙන තමන්ගේ වාසස්ථානයේ ධනයත් සමග භාණ්ඩාගාරවල විසිරුවා දන්දීම ආරම්භ කරනු ලැබුවා. 

මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෘන් වහන්සේ මෙසේ වදාරනු ලැබුවා.

සිවිරට වසන වෙසතුරු රජු නුවරට පිවිසි කල්හි එකෙණෙහිම පැමිණි වලාකුළු ස්වර්ණමය වැසි වස්සුවා. ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති පින්වත් අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ බොහෝ සේ දන්දී කය බිදීමෙන් මරණින් පසු එයින් චුතවුයේ දෙවැනි චිත්තයෙන් තුසිත පුරයෙහි උපන්නා.

නගර කාණ්ඩය නිමි

අප මහා බුදුපියාණන් විසින් ජාතක කතාවෙහි එන චරිත ගැලපීම. 

සම්මා සම්බුදු රජාණන්වහන්සේ මේ ගාථා දහසකින් සමන්විත මහා වෙස්සන්තර ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව මෙලෙස ගලපා වදාළ සේක. එකල්හි බමුණා වුයේ දෙව්දත්ය. අමත්තතාප වුයේ චිංචිමානවිකාවය. චේත පුත්‍රයා වුයේ චන්න ඇමතිය. අච්චුත තාපසයා වුයේ සැරියුත් තෙරුන් වහන්සේය.ශක්‍රයා වුයේ අනුරුද්ධ තෙරුන්ය.සංජය රජුනම් සුද්ධෝදන මහරජතුමාය.ඵුසති දේවිය නම් මහාමායා දේවියයි.මද්‍රි දේවිය නම් රාහුල මාතාවය.ජාලිය කුමරුනම් රාහුලය. ක්‍රිෂ්ණජිනා නම් උප්පලවණ්ණාය.ඉතිරි පිරිස බුදුපිරිසය.වෙස්සන්තර රජුනම් සම්මා සම්බුදු රජාණන්වහන්සේයි.

මහා වෙස්සන්තර ජාතකය නිමි

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 142

ඔබද යායුතු දෙවුලොව
අපේ සක්වලෙහි පවතින ලෝක  බුදු ඇසින්

අප සක්වලෙහි සත්ත්වයන් වාසය කරන ලෝක 31 එකක් පවතින බව අපේ බුදුහාමුදුරුවන්  දේශනා කොට තිබෙනවා. ඒ ලෝක තිස්එක ප්‍රධාන කොටස් තුනකට බෙදාදක්වනවා. ඒ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය වශයෙන්. කාම ලෝකයට ලෝක එකොළහක් අයත්. ඒ තමයි අප ජිවත් වන පෘථිවිය, සතර අපාය සහ කාමාවචර දිව්‍යතල වලට අයත් දිව්‍යලෝක සය. ඒ සියල්ලේ එකතුව 11 ක් වෙනවා.  ඊට අමතරව රූපාවචර සහ අරූපාවචර නමින් බ්‍රහ්මලෝක විස්සක් තිබෙනවා.  මේ සියල්ලම එක් වුනහම ලෝක විසිඑකක් වෙනවා.

කාම ලෝකයත්  ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කාම සුගතිය සහ කාම දුගතිය වශයෙන්. අපි ජීවත්වන පෘථිවියයි ඊට ඉහලින් ඇති කාමාවචර දිව්‍යතල හයටයි කියනවා කාම සුගතිය කියලා. සතර අපායට කියනවා කාම දුගතිය කියලා.  අප මහා බෝධිසත්වයන් බුද්ධත්වය සඳහා මනු ලොවට වඩින්නේ ඉහතින් දැක්වූ දිව්‍යතල සයෙන් එකක සිටයි.  ඒ දිව්‍ය තලයට කියනවා තුසිත දෙව්ලොව කියලා. අපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙලේ දෙවන කොටස ඇරඹෙන්නේ එතැනින්. ඒ නිසා මෙතැන් සිට ඒ දිව්‍යතල සයට අයත් පොදු සැප සම්පත් ගැන කෙටි විස්තරයක් ගෙනෙනවා

කාමාවචර දිව්‍යලෝක සය

චාතුම්මහාරාජිකය,

අප හොඳින් දන්නා හඳුනන 1.ධ්‍රැතරාෂ්ට්‍ර, 2.විරෑඪ, 3.විරෑපාක්‍ෂ හා 4.වෛශ්‍රවණ(කුවේර)  සතරවරම්  දෙවිවරුන්ගේ සහ දෙව්රජ දරුවන්ගේ රාජ්‍ය සතර මෙම දෙව්ලොව පිහිටා ඇති බැවින් මෙයට චාතුම්මහාරාජික දෙව්ලොව කියා කියනවා. දෙව්ලොව වාසය කරන සත්ත්වයන් “දේව” වශයෙන් හඳුන්වන්නේ ඔවුන් රූපාදියෙන් බබළන නිසයි. සෑම දෙවිකෙනේකුගේම ප්‍රභාෂ්වරභාවය අවම වශයෙන් ගවු දොළහක්වත් දුරට පැතිරෙනවා කියලයි කියන්නේ. ඒ ඒ දෙවියන්ගේ පුණ්‍ය ශක්තිය මත මෙය එයටත් වඩා බොහෝ දුර විහිදිය හැකියි. චතුර්මහාරාජික දෙවිවරු මහාමෙරු පර්වත මධ්‍යයෙහි වාසය කරනවා. ඔවුන් අතර පර්වතවාසීහු ද ආකාශස්ත වාසින්ද සිටිනවා. ඔවුන්ගේ පරපුර චක්‍රාවාට පර්වතය දක්වා විහිදෙනවා.

මේ දිව්‍ය ලෝකයට අධිපති වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා  මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්, මිනිස් ලෝකයේ මිනිසුන් සිදු කරන හොඳ වැඩ, නරක වැඩ, කුසල් අකුසල් දෙස දිවැස් හෙළාගෙන බලා ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මේ දිව්‍ය සමූහයා සූත්‍ර දේශනා පවා අසන්නට මනුෂ්‍ය ලෝකයාට පැමිණිලා තිබෙනවා. නැගෙනහිර දිශාවට අධිපති වන්නේ ධෘතරාෂ්ඨ දෙවියන්, දකුණු දිශාවට විරූඪ දෙවියන්, බස්නාහිර දිශාවට විරූපාක්ෂ දෙවියන් හා උතුරු දිශාවට වෛශ්‍රවණ දෙවියන් අධිපති වෙනවා. මේ දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස හඳුන්වන්නේ විශ්ව කර්ම දිව්‍ය රාජයා.

දේව නිකායන්.

බ්ඩ්ඩාපදෝසික, මනෝපදෝසික සීත වලාහක දෙවියෝද උෂ්ණ වලාහක දෙවියෝද අබ්භවලාහක දෙවියෝද වැස්සවලාහක දෙවියෝද චන්දිම හා සූරිය දේවපුත්‍රයෝ ද චාතුම්මහාරාජික දේව ලෝකයෙහිම වාසය කරනවා. ඒ චාතුම්මහාරාජිකයන්ගේ ජීවිතයයි.

‘ඛිඩ්ඩාපදෝසික’ කියන්නේ චතුර්මහාරාජිකයේ ජීවත්වෙන සෙල්ලමින් කල්ගෙවා ආහාර ගන්නට බැරිවීමෙන් චුතවෙන විශේෂ දේව කොට්ඨාශයකට කියන නමක්.  ඔවුන් වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසයකර සිහි මුලාවීම නිසා ඒ දෙවිවරු ඒ දෙව්ලොවෙන් චුතවෙනවා. 

‘මනෝපදෝසික’ කියන්නේ  වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලගෙන ඉන්නා දේව කොට්ටාසයක්. ඔවුන් වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලාගෙන ඉන්න කොට එකිනෙකාගේ සිත් දූෂ්‍ය වෙලා යනවා. එකිනෙකාගේ සිත් දූෂ්‍ය වීමෙන් කය ක්ලාන්ත වෙනවා. සිත ක්ලාන්ත වෙනවා. එතකොට ඒ දෙවිවරුත් ඒ ලෝකයෙන් චුත වෙනවා.

චාතුම්මහාරාජික දෙව්ලොව ආයුෂ

මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුම්මහාරාජික දෙව්ලොවට එක් දිනයක්.  එවැනි දින 30ක් එහි මාස එකක්.  එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක්. එවැනි දිව්‍ය වර්ෂ 500ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වනවා. එය අප ලොව මනුෂ්‍ය ආයුෂ වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූ ලක්‍ෂයක් වැනි දීර්ඝ කාලයක්.  බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මෙම දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන දිව්‍යලෝක කාලය තවමත් දින පනස් ගණනක් පමණයි.

මනුලොව සිට දෙව්ලොව දක්වා දුර ප්‍රමාණය.

දිව්‍ය ලෝක අතරින් පහළින් ම පිහිටා තිබෙන්නේ චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයයි.. මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක්(42000) දුරින් මේ දිව්‍ය ලෝකය පිහිටා තිබෙන්නේ.  එතැන් සිට යොදුන් 42 000 බැගින් දුරකින් අනෙක් දිව්‍ය ලෝක පිළිවෙළින් ඉහළට පිහිටා තිබෙනවා යනුවෙන් සඳහන්ව තිබෙනවා.

තාවතිංසය

මඝමානවකයා ඇතුළු යහළුවන් තිස්තුදෙනා බොහෝ පුණ්යකර්ම කොට උපන් දෙවු ලොව යන අර්ථයෙන් තාවතිංසය නොහොත් තව්තිසා දිව්‍ය ලෝකය නමින් ද හඳුන්වනවා. චාතුර්මහා රාජිකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් තාවතිංසය පිහිටා තිබෙනවා. ඉතා විශාල සැප සම්පත් තිබෙන මෙම දිව්‍ය ලෝකයට අධිපති වන්නේත් ශක්‍ර දේවේන්ද්‍රයන්මයි. ඒ නිසා ඔහුට දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවිඳු කියලාත් කියනවා. ඔවුන්ද පර්වතවාසීහු ද ආකාශස්ථයෝ ද වනවා. ඔවුන්ගේ පරපුර ද සක්වල ගල දක්වා පැතිර පවතිනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහා මායා දේවිය කළුරිය කරලා, තාවතිංසය දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයෙක් ලෙසයි උපත ලබා තිබෙන්නේ. එතුමන්ට ධර්ම දේශනා කරන්නට පවා බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. ඒ වගේම දරුවනේ, බුදුරජාණන් වහන්සේ හත්වැනි වස් කාලය ගත කර තිබෙන්නේත් තව්තිසා දිව්‍ය ලෝකයේ. ඒ වස් තුන්මාසයේ මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දිව්‍ය සමූහයකට උන්වහන්සේ අභිධර්මය දේශනා කොට තිබෙනවා. ඒ කාල සීමාවේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර තිබෙන්නේත්, දෙවිවරු. තව්තිසාවේ ඉන්නා දෙවියන්ගේ ස්වරූපය, නැතිනම් ලස්සන රූපශ්‍රීය ලිච්ඡවී රජ දරුවන්ගේ රූපයට සමාන වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. සිළුමිණි සෑය, පරසතු වෘක්ෂය, සහ පරසතු වෘක්ෂය පාමුල ඇති පණ්ඩුකම්බල ශෛලාසනය පිහිටා තිබෙන්නේත් තව්තිසාවේ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තාවතිංස දෙව්ලොවට එක් දිනයක්. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වෙනවා. එවැනි දිව්‍ය වර්ෂ 1 000ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වනවා. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 3 60 00 000 කි. බුද්ධ පරිනිර්වානයෙන් පස්සේ තාවතිංස දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන කාලය දින විසි ගණනක්.

යාමය

තව්තිසා දිව්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් ඉහළින් යාමය දිව්‍ය ලෝකය පිහිටා තිබෙනවා. යාමය දිව්‍ය ලෝකයේ අධිපති “සූයාම’ නම් දිව්‍ය රාජයා. යාමයෙහි වාසය කරනවා කියන්නේ කිසිම දුකකින් තොරව ජීවත් වනවා යන්නයි. මෙහි ඉපදීම බොහෝ දුෂ්කර වුවද එයින් චුත වීම එතරම් කෙටි කලකින් සිදු නොවෙයි.   මනුෂ්‍ය ලෝකයේ වසර දෙසීයක් යාමයේ එක දිනයයි. බුද්ධ පරිනිර්වානයෙන් පසුව යාමය දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන කාලය දින දහතුනයි.

තුසිතය

තමන් ලැබූ සැප සම්පත් නිසා ඉතා සතුටින් ජීවත්වනවා යන්න තුසිතය යන්නෙහි අර්ථයයි. සතුටු වන දෙවියන් සිටින දිව්‍ය ලෝකය තුසිතයයි. යාමයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් පිහිටා තිබෙන තුසිතයට අධිපති ‘සංතුසිත’ දිව්‍ය රාජයාය. ‘සංතුසිත’ කියන්නේ සැම විටම සතුටින් සිටීමයි. අනෙක් දෙවිවරුන්ට වඩා සුවිශේෂී අයයි මෙහි වාසය කරන්නේ. ලෝකයෙහි ධර්මයෙන් පෙළහර පානා පිනැතියන් පහළ වන පුණ්‍ය භූමිය තුසිතයයි. තෙවන ධර්ම සංගායනාවේ මුලසුන හෙබවූ මහාමොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේද  අටුවාචාරී බුද්ධඝෝසයන් වහන්සේද මෙහි ඉපදීමට  පෙර අත් භවයෙහි තුසිතයෙහි වැඩ සිටි බව සදහන්ය.  සිදුහත් බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමට පෙර තුසිත දිව්‍ය ලෝකයේ ‘ශ්වේතකේතු’ නම් දිව්‍ය පුත්‍රයෙක්වයි උපත ලබා සිටියේ. මිනිස් ලෝකයේ අවුරුදු හාරසියයක් තුසිත දිව්‍ය ලෝකයේ එක දිනයයි.  එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වනවා.  එවැනි දිව්‍ය වර්ෂ 4000ක් එහි අයුෂයි. .(මනුෂ්‍ය වර්ෂ 57,60,00000) බුද්ධ පරිනිර්වාණයෙන් පසු එහි ගෙවී තිබෙන කාලය දින හයයි.

නිම්මාණරතී

ප්‍රකෘතියෙන් පිළියෙළ වූ අරමුණට වඩා වැඩියෙන් රමණය කරනු කැමති විටෙක කැමති පරිදි ඒ සම්පත් මවාගෙන රමණය කෙරෙති යි නිම්මාණරති නම් වනවා. තමන් උදෙසා නිර්මාණය වූ සම්පත්වලට ඇලීමෙන් වාසයකරන දිව්‍ය සමූහයා වෙසෙන ස්‌ථානය නිම්මාණ රතියයි. මෙම දිව්‍ය ලෝකයෙහි අධිපති වන්නේ “සුනිම්මිත ” දෙවියන්ය. මනුස්ස ලෝකයෙන් අවුරුදු 800 ක් මෙම දිව්‍ය ලෝකයට එක දවසයි. එවැනි අවුරුදු 8000 ක් එහි ආයුෂය. එය මනුස්ස අවුරුදු වලින් බිලියන දෙකයි මිලියන තුන්සිය හතලිහයි.  විශාඛා උපාසිකා වැනි මහා පිනැතියන් මෙම දිව්‍ය ලෝකයෙහි උපත ලැබූ බව සඳහන්ය.

පරනිම්මිත වසවත්තී

අනුන් විසින් නිමවන ලද අර්ථය පරිනිම්මිත යන්නෙන් ලැබේ. යම්කිසි දෙවියෙක්‌ අනුන්ගේ දිව්‍ය සම්පත් තමන් අතට ගෙන සැප විඳී නම් ඔවුන් පරනිම්මිත දෙව්වරුය. මෙම දිව්‍ය ලෝකයෙහි අධිපති වන්නේ ” වසවත්ති ” දිව්‍ය රාජයාය. මනුස්ස ලෝකෙන් අවුරුදු 1600 ක් මෙම දිව්‍ය ලෝකයට එක දවසයි.  එවැනි අවුරුදු 16000 ක් මෙම දිව්‍ය ලෝකයට ආයුෂය.  එය මනුස්ස අවුරුදු වලින් බිලියන නමයයි මිලියන දෙසිය දහසයක් වෙනවා.

අපරිමිත මගඵල ලාභී පිනැතියන්ගේ  භූමි  වූ මෙම දිව්‍ය තල වත්මන් සසර අසරණ සත්ත්වයන්ට සිත පිහිටුවා ගත අභයස්ථාන ලෙස මෙම භූමි අපිට පෙන්වන්න පුලුවන්.  බුදුරජාණන් වහන්සේ සද්ධා සීල සුත චාග පඤ්ඤා වැඩීමෙන් , දියුණු කිරීමෙන් මෙම දිව්‍ය තලයන්හි උපදින්න පුලුවන් බවත් එම දිව්‍ය තලයන් පිළිබඳ මෙනෙහි කිරීම  දේවතානුස්සති භාවනාවක් හැටියටත් පෙන්වලා දුන්නා.  සනඞකුමාර වැනි උසස් බ්‍රහ්මයන් ඇතැම් දිව්‍ය තල වලට පැමිණ ධර්ම සාකච්ඡා කරන අයුරුද දකින්න ලැබෙනවා.  එවැනි දහම් කථා අසමින් මගඵල ලාභී දෙවියන් ඇසුරෙහි වාසයද සැපයක්මය.

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 143

ශක්‍ර භවන සහ සුධම්ම දේව සභාව

බුද්ධවංශ කතාවෙහි නිතර කියවෙන චරිතයකි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවයාණන්ගේ චරිතය. ඔහුට ඒ මහා බලපරාක්‍රමයෙන් යුතු ඒ තනතුර ලැබුවේ ඔහු කල සමාජ සත්කාර ව්‍යාපෘති නිසාමයි. දෙව්ලොව යන්නට පෙරුම් පුරන ඔබට ඒ නිසාම එය කෙටියෙන් මෙහි ලියන්නට සිතුනා.

ශක්‍ර දෙවිඳු

ශක්‍ර දෙවිදු මිට පෙර ආත්මභාවයේ මගධ රට මචල ගමේ “මඝ” නම් මාණවකයෙක්. පණ්ඩිත වූ ව්‍යක්ත වූ ඔහුගේ හැසිරීම බෝධිසත්ව චර්යාව හා සමාන වුනා. ඔහු යහළුවන් තිස්තුන් දෙනෙකු හා එක්ව තමා ජිවත් වූ පෙදෙසට යහපත් බොහෝ කටයුතු කළා. තමාම නුවනින් පරික්ෂාකොට ගම මැද මහජනයා රැස්වන තැන තිබු විශාල කසළ ගොඩක් දෙඅතින්ම බැහැරකොට එම ස්ථානය රමණීය ස්ථානයක් බවට පත්කරනු ලැබුවා. ටික දිනකට පස්සේ එහිම විශාල මණ්ඩපයක් කළා. පසුව කල්යත්ම එහිම විශාල ශාලාවක්ද ඉදිකරනු ලැබුවා. එතැනින් නතරවුණේ නැහැ. ගමින්ද නික්මගොස් ගව්වක්ද අඩ යොදුනක්ද, ගව් තුනක්ද සැරිසරා තම සහායකයන්ද  සමග විසම තැන් සම කරනු ලැබුවා.  ඒ සියලුම දෙනා එකච්ඡන්දයෙන් ම ඒ ඒ තැන් බලා පාලම් දැමිය යුතු තැන් පාලම්ද, මණ්ඩප, ශාලා, වැව්පොකුණු, මල් ගස් මල් ආදිය අවශ්‍ය ඒ ඒ තැන්වල ඒ ඒ දේ අවශ්‍ය පරිදි තනා බොහෝ පුණ්‍යක්‍රියා සිදුකොට මරණින් පසු තාවතිංස භවනෙහි තම සගයන් තිස්තුන් දෙනාත් සමගින් උපන්නා. මෙය දීර්ඝ ලස්සන කතා පුවතක්. සමහරවිට කල්වේලා ලැබුනොත් මෙම ලිපි පෙළෙම ඉදිරියේදී විස්තර සහිතව කියවීමට ලැබේවි.  

ශක්‍ර දෙවිදුගේ යසස

සක්දෙවිඳුගේ මාළිගාව හැඳින්වුයේ “වෛජයන්ති ප්‍රාසාදය” යන නමින්.  වෛජයන්ති ප්‍රාසාදය යොදුන් සත්සියයක්  උසයි. එහි කොඩි යොදුන් තුන්සියයක් උසයි. වෛජයන්ති රථය නොහොත් සක්දෙවිඳුගේ නිල රථයේ දිග යොදුන් එකසිය පනහකි. මැද රථපඤ්ඡරය යොදුන් පනහක්. රථ සන්ධිය සිට ශීර්ෂය දක්වා යොදුන් පනහක්. පසුපස කොටස යොදුන් පනහක්. එහි පර්යංකය ප්‍රමාණයෙන් යොදුනක්. යොදුන් තුනක් වූ සේසතක් එහි මුදුනේ සවිකර තිබෙනවා.  එකම විය ගසේ අජානි​ය අශ්වයෝ දහසක් බැඳ තිබෙනවා. එහි දජය යොදුන් දෙසිය පනහක් උසයි. වාතයෙන් ඒ දජය සෙලවනවිට පංචමහා තුර්ය භාණ්ඩ වාදනය කරන්නාක් මෙන් මහා ශබ්දයක් පිටවෙනවා. ඒ නිසාම ඔහු පැමිණි විට තම පරිවාර සේනාව  “අපි දැන් කාට බයවෙමුද? අප රජතුමා පැමිණ ඉන්ද්‍ර්ඛිලයක් මෙන් සිටගෙන සිටි යනුවෙන් එකිනෙකා උද්දාමයෙන් කතා කරන්නට වෙනවා.

ඒ විතරක් නෙවෙයි. ඔහුගේ දිව්‍යමය හස්තියාද, දිව්‍යමය වෘක්ෂයන් දහසකින් ගැවසීගත් නන්දන වනය, චිත්තලතා වනය, ඵාරුසක වනය, මිස්සක වනය, යොදුන් සියයක් උසයි. පරසතු රුක යට යොදුන් සැටක් දිග යොදුන් පනහක් පළල, යොදුන් පහළොවක් උස ජයසුමන මල්වල වර්ණයට සමාන පඬුපුල් අස්න පිහිටා තිබෙනවා. එහි මොලොක්බව නිසාම හිඳගත්තා වූ ශක්‍ර දෙවිදුන්ගේ සිරුරෙන් හරි අඩක්ම ගිලෙනවා. කෝටි දෙසියපනහක් පමණ වූ දෙවියන්  කන්‍යාවියන් තුන් යොදුන් සේසත් දරනු ලබනවා. සතරවරම් රජදරුවෝ එහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ පරිවාරකයෝ ලෙසින් දොරටුව ළඟ සිටිනවා. සක්දෙවිඳු මහා සෘද්ධි ඇත්තෙක්. මහානුභාව ඇත්තෙක්.

සුදම් දේව සභාව.

සක්දෙවිදුට අයත් තවත් විශාල මන්දිරයකි දේව සභාව රැස්වෙන සුධම්ම දේව සභා ශාලාව. සුධම්මා දේව සභාවට නම ලැබුණු එක ගැනත් ලස්සන පසුබිම් කතාවක් තියෙනවා. සමහරවිය ඔබ දන්නවත් ඇති. ඉදිරියේදී කියවන්නට ලැබේවි.

එහි බිම නිමවී ඇත්තේ පලිගු වලින්. මිණිමුවා ඇණය. රුවන්මුවා මැටිය. රිදීමුවා ටැමිගැටි සහ එක්කොට බැදීම්ය. පබලුමය ව්‍යාල රූපය. සත්රුවන් මුවා ගෝපාන සීස (කැණිමඩල මුදුන) පැතිපාසක මුවවිටිය. නිල්මැණික් ගඩොල් පියසිය. රුවන්මුවා පියසි පටය. රිදීමුවා කොත්ය. දිග පළලින් යොදුන් තුන්සියයක්. වටේට යොදුන් නවසියයකි. 

සක්දෙව් රජ සුධම්මා දෙව් සභාවේ යොදුනක් වූ රන් පලගෙහි හිදිමින් සිටිනවා. තුන් යොදුන් සේසත් දරනු ලබන දෙවියන් දේව කන්‍යාවියන් කෝටි දෙසියපනහක් ඔහුව පිරිවරා සිටිනවා. මෙබදු වූ සුධම්මා සභාවෙහි ධතරට්ඨ නම් ගාන්ධර්ව රජ කෝටි ලක්‍ෂයක් ගාන්ධර්ව දේවතාවන් විසන් පිරිවරමින් කෝටි ලක්‍ෂයක් රන්මුවා පලක ද රන් සැත් ද ගන්වාගෙන පෙරදිසායෙහි බටහිර බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට සිටිනවා. විරූපාක්ෂ රජ කෝටිලක්ෂයක් නාගයන් පිරිවරමින් බටහිර දිශාවෙහි පෙරදිග බලා දෙව්ලොව දෙවියන් පිරිවරමින් ඉන්නවා.  විරූළ්හක කුම්භණ්ඩ රජ කෝටි ලක්‍ෂයක් කුම්භණ්ඩ දෙවියන් පිරිවරා කෝටි ලක්‍ෂයක් මිණිමුවා පලක සහ රන් සැත් ගන්වාගෙන දකුණු දිසාවෙහි උතුරු දෙස බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේය. වෙස්සවණෝ යක් රජු කෝටි ලක්‍ෂයක් යකුන් පිරිවරා කෝටි ලක්‍ෂයක් පබළු පලක ද රන්සැත් ද ගෙන්වාගෙන උතුරු දිසාවෙහි දකුණු බලා දෙදෙව්ලොව දෙවියන් පෙරටු කොට සිටිනවා. ඔවුන්ට පිටුපසින් අනෙකුත් දෙවිවරුන් ඔවුන්ගේ බලපරාක්‍රමය අනුව රැස්වී සිටිනවා.

මෙහි රැස්වෙන්නේ පහත දැක්වෙන සතරාකාර අවශ්‍යතා සපුරාලීමටය

                1. වස් විසීම් සංග්‍රහය සඳහා.
                2. වස්පවාරණ සංග්‍රහය සඳහා
                3. ධර්මශ්‍රවණය සඳහා
                4. පරසතු ක්‍රීඩාව සඳහා යන කරුණු මතය.

වස් වසන භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාවද, වස් පවාරනයද, වස් එළඹෙන දිනයෙහි මෙන් වස් පවාරණ පොහොය දිනයෙහි ද රැස්ව අද කොහාට ගොස් කාගේ සමීපයෙහි පවරන්නෙමුදැයි සාකච්ඡා කරනු ලබනවා. එහි දෙව් රජ වූ සක්‍රයා පුවගු දිවයිනේ මහා විහාරයෙහි ම බොහෝ සෙයින් පවාරණය කරනවා.  සෙසු දෙවිවරු පරසතු ආදී දිවමල් ද දිව සදුන් සුණු ද ගෙන තම තමා මනාප තැන්වලට පවාරණය කිරීමට කතිකා කරගන්නවා.

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 144

දෙව්ලොවෙහි ධර්ම කථික සනඞ්කුමාර බ්‍රහ්මරාජයා

මිට පෙර ලිපියෙහි සුධම්ම සභාවට දෙවිවරු රැස්වෙන කාරණා හතරක් කිවා. එයින් එකක් තමයි ධර්මශ්‍රවණය. මෙතැන් සිට ඔබ හට කියවන්නට ලැබෙන්නේ දෙව්ලොව එලෙස ධර්මය දේශණා කරනු ලබන ප්‍රධාන ධර්මකථිකයන් අතර අග්‍රස්ථාන වන සනඞ්කුමාර බ්‍රහ්මරාජයා පිළිබඳව.

දෙව්ලොව දෙවිවරුත් අපවගේම සතර පෝයට සිල්ගන්නවා. එවැනි අවස්ථාවල ඔවුන් සුධම්ම සභාව වෙත පැමිණෙන්නේ ධර්මශ්‍රවණය සඳහා. එය හරිම අසිරිමත් අවස්ථාවක්. මිට පෙර කී පරිදී එවැනි අවස්ථාවල එම ශාලාව අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන්ගෙන් පිරියනවා. සාමාන්‍ය දෙවිකෙනෙකුගෙන් අවම වශයෙන් ගව් දොළහක්වත් ආලෝකය විහිදෙනවා කියනවා. පුණ්‍යමය ශක්තිය වැඩි මහේශාක්‍ය දෙවිවරුන්ගෙන් ආලෝකය ගව් සියයක් දක්වාත් විහිදෙනවා. ඒ වර්ණ අපි දන්නා වර්ණ නෙවෙයි. ඒව වර්ණ වලින් අපේ ඇසට හසුවෙන්නෙත් බොහෝ සුළු ප්‍රමාණයක්. එවැනි දෙවිවරු රැස්වූ ඒ ශාලාවෙන් කොතරම් දුරට රශ්මිධාරා විහිදෙන්න ඇතිද කියා දැන් ඔබට හිතේවි. එහෙත් ඒ රශ්මිධාරාත් පරදවන මොහොතක් එනවා. ඒ තමයි සනඞ්කුමාර බ්‍රහ්මරාජයා දම්සභාවට වඩින අවස්ථාව

දෙවියන්ගේ දිව්‍ය ප්‍රභාස්වරය මැඩළන සනඞ්කුමාර බ්‍රහ්මරාජයාගේ ආලෝකය

යම් කලෙක්හි සනඞ්කුමාර බ්‍රහ්මරාජයා තව්තිසා දිව්‍ය ලෝකයෙහි පහළ වන්නේද, එකල්හි මහත් ශරීරයක් මවාගෙනයි පහළ වෙන්නේ. ඊට හේතුවන්නේ  බඹහුගේ යම් ඒ ප්‍රකෘති ශරීරයක් වේද, එය තව්තිසා වැසි දෙවියන්ගේ ඇස්වලින් දක්නට නොහැකි වීමයි.  ඒ විතරක් නෙවෙයි ඔහුගේ යම් ප්‍රකෘති වර්ණයක් වේද එයත්  තව්තිසා වැසි දෙවියන්ගේ ඇස්වලින් දක්නට නොහැකි වීමයි. ඒනිසා සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, ඒ බ්‍රහ්මතෙමේ අන් දෙවියන් තමාගේ ශරීරයේ පාටින්ද යසසින්ද මැඩපවත්වා ඊට වැඩි ආලෝකයකින් වර්ණයකින් බබලමින් තමයි  පහලවෙන්නේ.  හරියටම  රත්රන් රූපය යම්සේ මනුෂ්‍ය රූපය ඉක්මවා වැඩියක් බබලාද,  එපරිද්දෙන්ම යම් කලෙක සනත් කුමාර බ්‍රහ්මතෙමේද  ශරීර පාටෙන් යසසින් අනිත් දෙවියන් මැඩපවත්වා වැඩියකින්  බබලනවා.

ඒ වගේම යම් කලෙක සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, එකල්හි, ඒ පිරිසෙහි කිසි දෙවි කෙනෙක් ඔහුට වැඳීමක් හෝ දැක හුනස්නෙන් නැගී සිටීමක් හෝ  ආසනයක් දීම කරනුලබන්නේ නැහැ.  සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ යම් දෙවියෙකුගේ ආසනයක හිඳීමට කැමැති වන්නේද ඒ දෙවිහුගේ ආසනයෙහි සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ අසුන්ගනු ලැබේවා යයි සිතමින්  ඒ සියලු දෙවියෝම නිශ්ශබ්දව අත්දෙක එකට තබා වැඳගෙන ආසනවලම හිඳිනව. ඒ වගේම  සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ යම් දෙවියෙකුගේ ආසනයෙහි හිඳගන්නේද, ඒ දෙවි තෙමේ මහත්වූ සතුටක් ලබනවා.  එය හරියටම  අලුත රාජ්‍යයෙන් අභිෂෙක කරනලද ඔටුණු පළන් ක්ෂත්‍රිය රජෙක් මහත්වූ ප්‍රීතියක් ලබන්නේද, මහත්වූ සැපයක් විඳින්නේද,  එපරිද්දෙන්ම සනඞකුමාර බ්‍රහ්මතෙමේ යම් දෙවියෙකුගේ ආසනයෙහි හිඳීද, ඒ දෙවිතෙමේ මහත්වූ ප්‍රීතියක් ලබනවා. ඒ වගේම  මහත්වූ සැපයක් විඳිනවා

එය තවදුරටත් සුත්‍ර දේශනාවේ මෙලෙස විස්තර වෙනවා.

එලෙස සනඞ්කුමාර බ්‍රහ්මතෙම ඖදාරික (මහත්) ශරීරයක් මවාගෙන පංචසිඛ දිව්‍ය පුත්‍රයා මෙන් කුමාර වෙසයෙන් තව්තිසා වැසි දෙවියන් අතරෙහි පහළ වනු ලබනවා. ප්‍රථමයෙන්ම කරනුලබන්නේ ඔහු අහසට නැඟී පිහිටීමක් නැති ආකාශයෙහි පලක්බැඳ සිටීමයි. කෙසේදයත්, බලවත් පුරුෂයෙක් මනාකොට වස්ත්‍රාදියෙන් අතුරනලද ආසනයෙක්හි හෝ සමවූ භූමියක හෝ පලක් බැඳ හිඳින්නේද, ස්වාමීනි එපරිද්දෙන්ම සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ අහසට පැනනැඟී පිහිටීමක් නැති අහසෙහි පලක් බැඳ, තව්තිසා වැසි දෙවියන්ගේ යහපත් පැහැදීම දැනගෙන මේ අදහස් ඇති ගාථාවලින් සතුට ප්‍රකාශ කරනු ලබනවා.

“පින්වත්නි, ඉන්ද්‍රයා (ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කරමින් ඉතා ප්‍රීතිමත් වෙත්මය.”

“(ජනයෝ) සුගතයන් වහන්සේ කෙරෙහි බඹසර (උතුම් හැසිරීම) රැක මේ දෙව්ලොවට (ඉපදීම් වශයෙන්) පැමිණියාවූ වර්ණවත්වූද යසස් ඇත්තාවූද අලුත් දෙවියන් දක්නාහුය.

“ඒ දෙවතාවෝ වර්ණයෙන් (පාටින්) ද, යසසින්ද ආයුෂයෙන් වෙන දෙවියන් ඉක්මවා බබළත්. මහා ප්‍රඥා ඇති තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දිව්‍ය ලෝකයෙහි විශේෂ බවට පැමිණියාහුය.”

“ඉන්ද්‍රයා (ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කරමින් වඩාත් සතුටුවෙත්.”

බ්‍රහ්ම ස්වරය

මෙලෙස ධර්ම දේශණය ආරම්භ කරන්නා වූ සනඞ්කුමාර බ්‍රහ්මයාගේ ශබ්දය අංග අටකින් යුක්තවනවා.

              1. පීඩාවක් නැතුව මනාකොට නික්මෙන විස්සට්ඨ නම් ස්වරයද,
              2. වහා අර්ථය අවබෝධ කරන්නාවූ විඤ්ඤේය නම් ස්වරයද,
              3. මෘදු ගුණ යුක්තවූ මඤ්ජු නම් ස්වරයද,
              4. ඇසීමට මිහිරිවූ ස්වර්ණය නම් ස්වරයද,
              5. එක ඝනවූ බින්දු නම් ස්වරයද,
              6. නොවිසිර පවත්නාවූ අවිසාරී නම් ස්වරයද,
              7. ගැඹුරුව නික්මෙන ගම්භීර නම් ස්වරයද,
              8. මිහිරිවූ නින්න