You dont have javascript enabled! Please enable it!
0%

Ape Budu Hamuduruwo 51-100

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සදහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මනෝරි අතපත්තු මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!

අපේ බුදුහාමුදුරුවෝ 51

මාළිගය යානාවක් කොට බුදුබව පතා නික්මුණු පදුමුත්තර බුදුහාමුදුරුවෝ 02.

ඒ පදුමුත්තර බෝධිසත්ත්වයන් වහන්සේටත් තුන් ඍතුවට ම යෝග්‍ය වූ මහා  ප්‍රාසාද තුනක් ලැබුණා. වසුදත්තා දේවිය ප්‍රමුඛ එක්ලක්ෂ විසි දාහක් ස්ත්‍රීහු උන්වහන්සේට උවැටන් කරනු ලැබුවා. වසුදත්තා දේවියට සියලු ගුණයෙන් උතුම් උත්තර කුමරු උපන් කල කළ සතර නිමිති දැක සසර කලකිරී මහබිනික්මන් කරමි යයි උන්වහන්සේට අදහස් පළ වුණා .  හරිම පුදුමයි ක්ෂණයක් ගත වුණා පමණයි . ඒ මහා ප්‍රාසාදය කුඹල් සකක් මෙන් අහසට නැග දෙව් විමනක් මෙන්ද පුන්සඳ මෙන් ද අහසින් ගොස් බෝරුක මැදිකොට සෝභිත බුද්ධ වර්ණනාවේ ආ ප්‍රාසාදය මෙන්ම බිමට බැස්සා . ඒ මහා පුරිස්හු  ඒ පහයෙන් බැස වෙසක් පුන් පොහෝ දින උදේනි නිගමයෙහි රුචිනන්දා සිටුදියණිය දුන් මී කිරිබත්  වළඳා සල්උයනෙහි  දිවාවිහාර කොට සවස් කාලයේ    සුමිත්තාජීවකයන් දුන්  අටතනමිට ගෙන සලල බෝධිය වෙත ගොස් පැදකුණුකොට අටතිස් රියන් පුළුලැති තනඇති අතුරා පලක් බැඳ චතුරංග විර්යාධිෂ්ඨානයෙන් මරුසහිත මරබල නසා පෙරයම පෙර විසීම්  සිහිකොට දෙවන යාමයෙහි දිවැස පිරිසිදුකොට තෙවන යාමයෙහි ප්‍රත්‍යාකාරය මෙනෙහි කොට ආනාපානසති චතුරාර්යධ්‍යානයෙන් නැගී පස්කඳෙහි වැද උදයවය වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් ලකුණු දැක ගෝත්‍රභූ ඥානය තෙක් වඩා ආර්යමාර්ගයෙන් සියලු බුදු ගුණ ප්‍රතිවේද කොට සියලු බුදුවරුන්ට ආවේණික “අනේක ජාති සංසාරං” යන  උදාන වාක්‍ය පවසමින් බුද්ධත්වයට පැමිණ උදන් ඇනුවා. ඒ මොහොතේ දසදහසක් සක්වළ අලංකාර කිරීමට මෙන් පියුම් වැසි සක්වළ පුරාම වසිනු ලැබුවා.


අපේ බුදුහාමුදුරුවෝ 52

තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගත් පියුමතරා බුදුරජාණන් වහන්සේ 03

පදුමුත්තර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පැමිණි දින විශේෂ සිදුවීමක් වුනා කියලා මිට ඉහත සඳහන් කළා. ඒ දස දහසක් සක්වළ මත පියුම් වරුෂා පතිතවිමයි. ඒ දෙවැනි වරටයි. මිට පෙරත් උන්වහන්සේට නම් තබන දිනයේත් එවැනිම පියුම් වරුසාවකින් දඹදිව තලයම වැසි ගියා. ඊට පසුව තවත් විශේෂ සිදුවීමක් උනා. මේ කියන්නට යන්නේ ඒ ගැනයි.

තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගැනීම.

පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝ පළඟෙහි හින්දා  ‘පොළොවෙහි පා තබමි’යි දකුණු පය දිගු කරනු ලැබුවා.  එවිට පොළොව පලාගෙන නිකැළැල් නිර්‍මල කොමළ කේශර කර්ණිකා ඇති ජලජ නිර්‍මල අවිකල විපුල පත් ඇති අජලජ වූ ජලජ පියුම් නැගී සිටගත්තා. ඒවායෙහි ප්‍රධාන පෙති අනූ රියන් දිග වුනා. කෙසරු තිස්රියන් පමණ වුනා. කර්ණිකා ව දස රියන් පමණ විශාලයි.  එකිනෙකෙහි නව කළයක් පමණ රේණු වලින් ගහන වුනා.

ශාස්තෲන් වහන්සේ උසින් පනස් අට රියන් පමණ වුනා. උන්වහන්සේගේ දෙනේත්‍ර අතර පරතරය අටළොස්රියන් පමණ වුනා. නළල පස්රියනක් උස වුවා. අත්පා එකළොස් රියනක් දිගින් යුක්තයි.  උන්වහන්සේගේ එකොළොස් රියන් පාදයෙන් දස රියන් කෙමිය ස්පර්ශ වන විට නව කෙළක් පමණ රේණු ඉහළට නැගී අටපනස් රියන් ශරීර ප්‍රදේශය උඩට නැගී මනෝසිල සුණු මෙන් විසිරී ගියා. ඒ හේතුවෙන් ශාස්තෘන් වහන්සේ ‘පදුමුත්තර නමින් ප්‍රකට වූහ.’යයි ද සංයුක්ත භාණකයෝ කියනු ලබනවා.

ප්‍රථම ධර්මාවබෝධය

ඉන් අනතුරුව පියුමතරා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශනය සඳහා සුදුසු පුණ්‍යමහිමය ඇති සංසාරය පුරා පතාගෙන පැමිණි පිරිස් ගැන පිරික්සන්න වුනා. ඒ වෙලාවේ මිථිලා නුවර දේවල , සුජාත නම් හේතුසම්පන්න රජකුමරුවන් දෙදෙන දැක ඔවුන් වෙතට යාමට විලෙන් නික්මුණු හංස රාජයෙක් මෙන් අහස් තලයට නගිනු ලැබුවා. ඒ මොහොතේ රජ කුමරුවරු සිටියේ මිථිලා රජ උයනේ. උන්වහන්සේ රජ උයනේ කුමාර වරු අසළින් අහසින් බැස්සේ නැහැ. අහසින් පැමිණියත් රජ උයනේ ප්‍රධාන දොරටුව අසළින් බිමට බැස උයන්පල්ලන් කැඳවා දෙකුමරුන් කැඳවා එන ලෙස පණිවිඩ යවනු ලැබුවා. ඔවුන්ද අපගේ නැන්දණියගේ පුත් පදුමුත්තර කුමරා පැවිදිව සම්බෝධියට පැමිණ අපගේ නුවරට පැමිණ ඇත. එතුමන් වෙත යමු යනුවෙන් පවසා ලහි ලහියේ බුදුහිමියන් වෙත පිරිවර සමග පැමිණ උන්වහන්සේව පිරිවරා සිටියා.

ඔවුන් පිරිවැරූ දසබලයන් වහන්සේ තරුගණ පිරිවැරූ සඳ මෙන් බබළමින් එහිම දම්සක් පැවැත්වුවා. එදා කෙළ ලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ වුනා. එය ප්‍රථම ධර්මාවබෝධයයි.

දෙවැනි ධර්මාවබෝධය

දෙවැන්න සරදතාපස සමාගමයේ මහජනයා නිරය සන්තාපයෙන් තවා ධර්මදේශනා කොට සතිස් ලක්ෂයක් ජනයාහට ධර්මාවබෝධය කරවනු ලැබුවා. ඒ දෙවැනි ධර්මාවබෝධයයි.

තෙවැනි ධර්මාවබෝධය

තවත් දිනක ආනන්ද මහරජ විසිදහසක් පුරුෂයන් සහ විස්සක් ඇමතියන්ද සමග විත් මිථිලා නුවරදී පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පෙනී සිටියා. පියුමතුරා බුදුන් ඔවුන්ව එහිභික්ඛු පැවිද්දෙන් පැවිදිකරවා උන්වහන්සේලා පිරිවරා පියාණන් හට සංග්‍රහ කරනු සඳහා හංසවතී නුවර වාසය කරන්නට වුනා. එහිදී උන්වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයේ ප්‍රාතිහාර්ය පෑ පරිදී අහසෙහි සක්මන් කරමින් බුද්ධවංශය දේශණා කරන්නට වුනා. එකල පන්ලක්ෂයක් දෙනාට ධර්මාවබෝධ වුනා.එය තෙවැනි ධර්මාවබෝධයයි.


අපේ බුදුහාමුදුරුවෝ 53

අප මහා බුදුපියාණන් වහන්සේ විසින් දේශිත සත්ධර්මය අද දින දක්වා පිරිසිදුව අඛන්ඩව පැවත ඒමට මේ ආකාරයට පිළිවෙලට වර්ගීකරණය කොට සංරක්ෂණය කිරීමට පෙරමුණගත් මහ රහතන් වහන්සේ කෙනෙකු වැඩ සිටියා. ඒ ප්‍රථම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්මය විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය නොවීමට ඉඩ සැලසූ ඔබ අප කවුරුත් හොඳින් දන්නා මහාකාශ්‍යප මහරහතන් වහන්සේයි. පදුමුත්තර බුද්ධවංශ කතාවේ තව විශේෂ සිදුවීමක් තියනවා. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතින් ගෞතම සසුනේ තෘතීය ශ්‍රාවක ලෙස මෙන්ම  ධූතාංගදාරී භික්ෂුන්   අතරින් අග්‍රස්ථානය (අල්පේච්ඡ දිවියක් ගත කරනභික්ෂූන් අතර අග්‍රස්ථානය ) සඳහා විවරණ ලැබීම.  සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුනා වගේම  උන්වහන්සේ රූපයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන වුනා.  එබැවින් සමහර අවස්ථාවන්හි දී ජනයා බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහාගෙන උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථා ඒමට තිබුණා. ඒ නිසාම මෙම අතිවිශේෂ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රථම විවිරණය ගැනද මෙම ලිපි පෙලේ සඳහන් කිරීම අද දක්වා සත්ධර්මය පාරිශුද්ධව තබා ගැනීමට කල මග පෙන්වීමට කෘතගුණ දැක්වීමක් ලෙසද සිතුවා.  මෙම කතාව ලිවීමට තවත් පහසුවක් වුනේ රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගේ “සුවිසි මහ ගුණය” පොතේ  පිටු අංක පනහේ මෙලෙස සංග්‍රහ වෙනවා. මෙය යතුරුලියනය කල ජනකට ද  www.pitaka.lk කාර්ය මණ්ඩලයටද පුණ්‍යානුමෝදනා කරනවා.

පදුමුත්තර බුදුන්ගෙන් ආශීර්වාද ලබාගත් මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී හංසවතී නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසුකෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.

දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය.

එකෙනෙහි තථාගතයන් වහන්සේ ‘ එතදග්ගං හික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදනං යදිදං නිසභො’ යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.

උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්‍මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියනි, හෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාරන සේක්වා’ යි සැළ කළේ ය.

‘උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙති’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමිනි, භික්ෂුන් වහන්සේලා කොපමණ වන්නාහූ ද? ‘උපාසකය, සැටඅටදහසක් ය’ යි වදාළසේක. ‘ස්වාමිනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නොකොට සැමදෙනා වහන්සේ සමඟ මාගේ භික්ෂාව පිළිගන්වා සේක්වා’ යි උපාසක කීය. ශාස්තෘන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියෙල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.

තථාගතයන් වහන්සේ මහත්වූ බික්සඟන හා ඔහුගේ නිවසට වැඩම කොට පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සඟන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමිපයෙහි හුන්නේ ය.

ඒ අතර මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ විදියට පැමිණිය හ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ ‘ස්වාමිනි, ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹ වහන්සේ ද මේ ගෙට වඩිනු මැනව’ යි කීය. ‘උපාසක, නොවටනේ ය’ යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන්වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමිපයෙහි හිඳ ‘ස්වාමිනි, මහානිසභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිතියි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමිනි, කිමෙක් ද? ඒ තෙරුන් වහන්සේ නුඹ වහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ’ යි විචාළේ ය.

බුදුවරුන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, ‘එසේය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිඳින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ ආරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අවකාශයෙහි ම වෙසෙන්නේය’ යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාල සේක.

මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී ‘මට අන් සැපතක් කුමටද? මමද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි’ යි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත් දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරු ද පුදා ශෘස්තෘන් වහන්සේගේ පාමුල වැදහෙව ‘ස්වාමිනි, සත්දිනක් දන්දුන් මම ඒ පිනෙන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර – බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදු කෙනෙකුන් ගේ ශාසනයෙහි මහානිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වෙවා’ යි පැතී ය.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන් පත් වන්නේ දෝ’ යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, උපාසක ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛයකින් ගෞතම නමි බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය’ යි වඳාල සේක. එය අසා උපාසකතෙමේ බුදුරදුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රිතියට පැමිණියේ ය. හෙතෙම ඉන් පසුව ද දානාදී බොහෝ පින්කම්කොට මරණින් පසු දෙව්ලොව උපන.


අපේ බුදුහාමුදුරුවෝ 54

පියුමතරා බුදුරජාණන් වහන්සේ 05 – මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේ .

විශේෂ හැකියාවන් විශේෂ ප්‍රාර්ථනාද පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත්  භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගණයට අයත් නොවන, එක්‌ බුද්ධ ශාසනයක්‌ තුළ එක්‌ භික්‌ෂුවකට පමණක්‌ පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක්‌ පූරණය කළ භික්‌ෂුවක්‌ ගැන අනෙකුත් බුද්ධ ශාසන වල මෙන්ම ගෞතම බුද්ධ ශාසනයේත් සඳහන්. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේයි. උන්වහන්සේත් පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රාර්ථනය කොට ආශීර්වාද ලබාගත් බව සඳහන්. උන්වහන්සේගේ අරහත්වය දක්වා පැමිණි ගමන අති සුන්දර වූ කතා පුවතක් වූවත් මෙහි සඳහන් කිරීමට කාල වෙලාවක් නොමැත. ඒ සඳහා නාලක සුත්‍රය කියවන්න.  (ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » මහාවග්ගො » නාලකසුත්තං )

එමපනක් නොව අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්, වප්ප තෙරුන්, නාලක තෙරුන්, උරුවෙල්කස්සප තෙරුන්, නදීකස්සප තෙරුන්, ගයාකස්සප තෙරුන්, මහාකස්සප තෙරුන්, මහාකච්චායන තෙරුන්, මහාකොට්ඨිත තෙරුන්, මහාකප්පින තෙරුන්, අනුරුද්ධ තෙරුන්, කංඛාරේවත තෙරුන්, ආනන්‍ද තෙරුන්, නන්‍දක තෙරුන්, භගු තෙරුන්, නන්‍ද තෙරුන්, කාළිගෝධාපුත්ත භද්දිය තෙරුන්, රාහුල තෙරුන්, සීවලි තෙරුන්, උපාලි තෙරුන්, දබ්බමල්ලපුත්ත තෙරුන්, උපසේන තෙරුන්, ඛදිරවනියරේවත තෙරුන්, පුණ්ණ මන්තාණිපුත්ත තෙරුන්, සෝණකූටිකණ්ණ තෙරුන්, සෝණකෝළිවිස තෙරුන්, රාධ තෙරුන්, සුභූති තෙරුන්, වක්කලී තෙරුන්, කාළුදායි තෙරුන්, පිලින්‍දවච්ඡ තෙරුන්, සෝභිත තෙරුන්, කුමාරකස්සප තෙරුන්, රට්ඨපාල තෙරුන්, වංගීස තෙරුන්, සේල තෙරුන්, උපවාන තෙරුන්, සාගත තෙරුන්, නාගිත තෙරුන්, ලකුණ්ඨකභද්දිය තෙරුන්, පිණ්ඩෝලභාරද්වාජ තෙරුන්, මහාපන්ථක තෙරුන්, චුල්ලපන්ථක තෙරුන්, බාහියදාරුචීරිය තෙරුන්, මෝඝරාජ තෙරුන්, නාගසමාල තෙරුන් ආදී තෙරවරුන් ද මහාපජාපතිගෝතමී තෙරණිය, ඛෙමා තෙරණිය, පටාචාරා තෙරණිය, කුණ්ඩලකේසා තෙරණිය, කිසාගෝතමී තෙරණිය, ධම්මදින්නා තෙරණිය, සකුලා තෙරණිය, නන්‍දා තෙරණිය, සෝණා තෙරණිය, භද්දකාපිලානී තෙරණිය, සිංගාලමාතා තෙරණිය, උබ්බිරි තෙරණිය, සුන්‍දරීනන්දා තෙරණිය, උප්පලවණ්ණා තෙරණිය ආදී තෙරණිවරුන් ද පෙර කරන ලද පින් ඇතිව  මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපිද නොයෙක් පිංකම් කොට නොයෙක් තනතුරු ප්‍රාර්‍ථනා කළ බව සඳහන් වෙනවා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ තවත් විශේෂත්වයක් තිබුණා. එනම් තීර්ථකයන් ගෙන් ශුන්‍ය වීමයි.  එයට හේතුව අන්‍ය තීර්ථකයන් හට කිසිම කෙනෙක් සංග්‍රහ නොකිරීමයි. සික්ෂා නොදීමයි. සත්කාර නොකිරීමයි, ගරුකටයුතු නොකිරීමයි, අස්නෙන් නොනැගිටීම්යි, ඇඳිලි බැඳීම් නොකිරීමයි, නිවාස නොදීමයි, පිටමං කිරීමයි. මෙලෙස රටවැසි මිනිසුන් විසින් නෙරපන ලද බැහැර කරන ලද සියලූ අන්‍ය තීර්ථකයෝ රැස්ව පියුමතුරා දසබලයන් වහන්සේම සරණ ගියා.  එම නිසා ගම් දනව් ජනපද සියලු රාජ්‍යයන් අන්‍ය තීර්ථකයන් ගෙන් ශූන්‍ය වූ ප්‍රදේශ බවට පත් වුණා.

 පදුමුත්තර බුදුරජාණන් වහන්සේටත් මහා  ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා 

එක් දිනක් ශාස්තෘන් වහන්සේ මිථිලා නුවර මිථිලා උයන්හි කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද  නවම් පුන් පොහෝ දින පුන් සද වන් මුහුනින් පාමොක් දේශනා කරනු ලැබුවා. එය ප්‍රථම මහා සන්නිපාතයද වුනා.

තව දිනක් භාග්‍යවතුන් වහන්සේ විහාර කඳුමුදුනෙහි වස් වැස කන්ද බැලීමට හා මහජනයාට දහම් දෙසා අනූකෙළක් ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කරවා උන් වහන්සේලා පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා. එය දෙවැනි සන්නිපාතය ද වුනා .

නැවත භාග්‍යවතුන් වහන්සේ ගුණවත් ලෝකනාථයන් වහන්සේ මහජනයා සසර  බැම්මෙන් මුදුවමින් ජනපද චාරිකාවේ හැසිරෙන කල අසූකෙළක් භික්ෂූන්ගෙ සමාගමයක් වුණා . ඒ තුන්වෙනි සන්නිපාතයයි.

ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ නොයෙක් කෙළ ගණන් ධනය ඇති ජටික නම් මහරැටිව බුදු පාමොක් සඟනට සචීවර මහදන් පුදනු ලැබුවා. උන්වහන්සේ ද අප මහා බෝසතාණන් වහන්සේට මතු කල්ප ලක්ෂයකින් ගෞතම නම්න් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාළා.

ඒ මොහොතේදීත් දෙතිස් පෙළහර ද  දෙවියන්ගේ සාධු නද ද  මීට පෙර කී බුද්ධවංශ  කථාවල මෙන්ම සිදුවුණා. පෙර සේම නැවතත් නියත විවරණයන්  ලැබූ  අප මහා බෝසතාණෝ සම්මා සම්බුදු වරයෙක් හමුවීත් සසරෙන් එතර උනේ නැහැ.  මතුභව වලදී අත්විඳිය යුතු කල්ප ගණනක දුක් දැක දැකත් අප වෙනුවෙන්ම මේ දුක්ඛිත සසර තුළම රැදී  සිටියා .


අපේ බුදුහාමුදුරුවෝ 55

පදුමුත්තර (පියුමතරා) බුදුරජාණන් වහන්සේ 06

ඒ පදුමුත්තර (පියුමතරා) භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ පදුමුත්තර බුදුරදුන්ගේ උපන් නුවර “හංසවතී’’ නම්වී. පිය තෙම “ආනන්‍ද’’ නම් රජය. වැදූ මව “සුජාතා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. “නාරිවාහනය, යශය, යසවතී’’ යයි උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාකොට සරසන ලද පිරිවර අඟනෝ සතළිස්තුන් දහසකි. බිරින්ද “වසුදත්තා’’ නම් වූවාය. පුත් තෙම “උත්තර’’ නම් වී.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දවසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුමුත්තර විනයැදුරු බුදුරද තෙම බඹහු විසින් අයදනා ලද්දේ, “මිථිලා’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේට “දෙවල’’ ද, ’’සුජාත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම “සුමන’’ නම් විය.

“අමිතා’’ ද, “අසමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ පදුමුත්තර භාග්‍යවත්හුගේ බෝරුක “සලල රුක’’ යයි කියනු ලැබේ.

“විතින්නා’’ ද, “තිස්ස’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. “හත්‍ථා’’ ද, “විචිත්තා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් ඇගෑවක් පහන් ගසක් බඳු, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් පදුමුත්තර මහමුනිඳු පණස් අට රියනක් උස්වූසේක.

ඒ බුදුරදුන්ට හාත්පස වටා දොළොස් යොදුනක් තැන කුඩා බිත්තිද, කවුලුද, මහබිත්තිද, ගස්ද, කඳු හා උස් පර්‍වතද ඇහිරීමක් නැත.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ තාක් කල් ඒ බුදුරජතෙම වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක.

බොහෝ ජනයා සසරින් එතෙරකොට සියලු සැක සිඳ, ගිනිකඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

සිව්සස් අවබෝධකළ පදුමුත්තර ජිනරාජයන් වහන්සේ නන්දාරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය දොලොස් යොදුනක් උස්ව බඳින ලදී.


අපේ බුදුහාමුදුරුවෝ 56

සුමේධ බුදුහාමුදුරුවෝ 01

පදුමුත්තර බුද්ධ වංශ කතාව අවසාන කරනකොට ඒ අටුවාචාරීන් වහන්සේලා  මෙහෙම කතාවක් කියනවා.

“මෙතැන් පටන් පාරමී පිරිමාදියෙහි නැවත නැවත ආ අරුත් හකුළුවා විශේෂ අර්ථ  පමණක් දක්වමින් යමි.  ඉදින් කී දේ ම පුන පුනා කියන්නම් ද එවිට කවදානම් මේ අර්ථ වර්ණනය  නිම වන්නේ ද ?”

ඉන් අදහස් වෙන්නේ මින් පෙර කරනු ලැබූ අර්ථ  වර්ණනා  නැවත නැවතත් නොකරන බවයි. ඊට හේතුව බුදුවරුන්ගේ අර්ථ වරුණ නම්  කියා නිම කළ නොහැකි බවමයි.

පියුමතුරා බුදුන් පිරිනිවී උන්වහන්සේගේ  සසුනද අතුරුදහන් වූ පසු සැත්තෑකප් ලක්ෂයක් බුදුවරු ලොව පහල උනේ නැහැ .  මෙතැන් පටන් තිස්කප් ලක්ෂයකින් මතු එක් කපෙක සුමේධ සුජාත නම් බුදුවරු  දෙනමක් ලොව පහළ වුණා . එහි ප්‍රඥාධික සුමේධ නම් බෝසතාණෝ පෙරුම්පුරා තුසී පුර ඉපිද එයින් චුතව සුදස්සන නුවර සුදත්ත නම් රජුගේ අගමෙහෙසිය සුදත්තා නම් දේවියගේ කුස පිළිසිඳ දසමස් ගෙවීමෙන් සුදුසුන් නුවර  වලා විවර ගත තරුණ හිරු මෙන් මවුකුසින් මෙලොවට බිහි වුණා. උන්වහන්සේ අවුරුදු  නව දහසක් ගිහිගෙයි ගත කළා . උන්වහන්සේට සුචන්‍දක, කොඤච හා සිරිවඩ්ඪ නම් රමණීය ප්‍රසාද තුනක් වුනා.  සුමනා දේවිය ප්‍රමුඛ හතලිස් අට දහසක් ස්ත්‍රින් උන් වහන්සේට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරනු ලැබුවා .

උන්වහන්සේගේ  මහා තේජසින් පිරි රූප රූපශ්‍රීය පිළිබඳව ගාථා කිහිපයකින් විශේෂ වර්ණනාවක් කර තිබෙනවා.  අට්ඨකථා ආචාර්යවරු ඒ ගාථා මෙලෙස අරුත් ගන්වනවා.

උන්වහන්සේ මහත් තේජස් සම්පන්න යි . උන්වහන්සේගේ දෙනෙත් සෝදා ඔප දමා තිබූ මිණි ගුලියක්  වැනි නුවන් යුගලක් කියලයි කියන්නේ . ඒ නේත්‍රා මුදු සිනිදු නිල් පැහැති සියුම් පිහාටුවෙන් වට වී අතිශයින් දීප්තිමත්ව බැබළුණා. පිරිපුන් සරා සඳ වන් මුහුණක් ඇති අසූ අටරියන් පමණ උස වූ පිරිපුන් සිරුර අන් අයට නැති දේහධාරී ස්වභාවයකින් යුක්ත වූ බව කියනවා . බ්‍රහ්මර්ජුගාත්‍ර ඇති   සෘජුව උස් වූ ශරීරයක් ඇති දෙව්නුවරක තැනූ රන්තොරණක් වැනි ප්‍රභාෂ්වර වූ දේහය නිරන්තරයෙන්ම බැබළුණ බවත් ඒ ගාථා වලින් කියනවා. ඒ වර්ණනාව එතැනින් නිමයි.

සුමනා දේවියට පුනබ්බසුමිත්ත නම් කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුනා. උන්වහන්සේ අනුව යමින් සිය කෝටියක් මිනිස්සු පැවිදි වූනා.  උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින නකුල නිගමෙහි නකුල සිටු දියණිය දුන් පරම මධුර මීකිරිබත් වළඳා සල්උයන්හි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන මිදෙල්ල (කොළොම්) බෝමුල  තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විසි රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල නසා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි භව්‍ය පුද්ගලයන් බලන සේක් තම බාල සොහොයුරු සරණ කුමරු ද සච්චකාල කුමරු ද ඇතුළු තමන් සමග පැවිදි වූ කෙළ සියයක් වූ පිරිස ද සිවුසස් අවබෝධයට  සමත් බව දැක අහසින් වැඩ  සුදස්සන නුවර අසල සුදසුන් උයනෙහි බැස දම්සක් දේශනා  කරනු ලැබුවා .  එහිදී කෙළ ලක්‍ෂයක සත්ත්වයන්ට ධර්මාවබෝධය වුණා . එය සුමේධ බුදු රජාණන් වහන්සේගේ  ප්‍රථම ධර්‍මාභිසමය ලෙස ඉතිහාසයට එක් වුණා .


අපේ බුදුහාමුදුරුවෝ 57

සුමේධ බුදුහාමුදුරුවෝ 02

 කුම්භකර්ණ යක්ෂ දමණය

 සුමේධ බුදුරජාණන් වහන්සේ අසූ අට රියනක් උස  දේහධාරී දෙව්ලොව තැනූ රන් තොරණක් මෙන් බබළන විශේෂිත වූ මනුෂ්‍යරත්නයක් බව මින් ඉහත ලිපියේ දී  පැවසුවා. එවන් ප්‍රභාෂ්වර පුද්ගලයෙක් හමුවේ ඕනෑම  පුද්ගලයෙකු දමනයවිම රහසක් නොවේ.  එහෙත් ඒ මනුෂ්‍යත්වයට උත්තරීතර  බුද්ධත්වයත් එකතු වූ කල ඇති වන අසීමිත බලය ශක්තිය හමු වේ මුළු විශ්වයම හිස නමනවා. එහෙත් එවන් උත්තරීතර මනුෂ්‍යත්වයකටත් හිස නොනමනා බිහිසුණු යක්ෂ සේනාධිපතියන් ඒ කාලෙත් හිටියා. මේ කියන්න යන්නේ එවැනි බිහිසුණු යක්ෂයෙක් ගැන. හරියට ම ඔබ අසා ඇති සුරංගනා කතාවක් වගේ. බුදු කෙනෙකුගේ දේශනාවක් නොවේ නම් ඇත්තෙන්ම මෙය  සුරංගනා කතාවක් ලෙසයි අපට හැඟෙන්නේ.

මේ අති භයංකාර යක්ෂයා ගේ නම කුම්බකරණ. ඔහු මහානුභාව සම්පන්නයි. ඔහු ජීවත්වුණේ මිනිසුන් ආහාරයට ගනිමින්. ඒ ඒ ජනපදවල රාජ්‍යය පාලනය කරනු ලැබූ රජවරුන් කළේ ඔහුට ආහාරය සඳහා අවශ්‍ය මිනිසුන් සහ අනිකුත් ද්‍රව්‍ය විටින් විට සැපයීමයි. එදින ද පෙර මෙන් ම මහා යාගයක් පවත්වන දවසක්. රාජ කුමාරයෙකු ඇතුළු ගැල් පිරූ බත්ද අනෙකුත් භෝජනද ඒ වන විට සැකසෙමින් තිබුණා. සුමේධ බුදුරජාණන් වහන්සේ එදින පාන්දර යාමයේ මහා කරුණා සමාපත්තියට සමවැදී ඉන් නැගී ලොව බලන විට අද දිනයේදී මේ සිදුවන්නට යන මහා යාගය දුටුවා. උන් වහන්සේ ඒ මොහොතේම මහත් වූ කරුණාවෙන් ඒ යක්ෂ භවනට වැඩම කොට යක්ෂයා ගේ සිරි යහනේ සමාධිමත් හිතෙන් වැඩසිටින්නට වුණා.

 දණ්ඩෙන් ගැසූ ඝෝර විෂ සහිත සර්පයකු මෙන් කිපුණු ඒ යක්ෂයා ද දසබලයන් වහන්සේ ට  හිංසා කරනු කැමැතිව තම ආත්මභාවය ඝෝරතර කොට හිස පර්වතයක් මෙන් කොට ඇස් හිරු මඬල මෙන් කොට  නඟුලිස් බදු දික්මහත් තියුණු දළ මවා එල්බෙන කළු මහත්  උසම  උදරයක් ඇතිව තල්කඳක් මෙන් සා  බාහු ඇති  විරූප වූ වක් නාසා ඇති පර්වත කුහරයක් බඳු මහා රතු කටක් ඇති මහත් පිඟුවන් රළු පරුෂ කෙහෙ ඇති අතිබිහිසුණු දැකුම් ඇතිව  සුමේධ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට දුවවිත් දිළියෙමින් පාෂාණ පර්වත අග්නි ජාලා මඩ අලු ආයුධ අඟුරු වැලි බඳු නව ආකාර මහා වැසි වස්වන්නට වුනා. එහෙත් ඒ සියල්ලගෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ රෝමාග්‍රයක් හෝ සෙලවිය නොහැකිව මහ හඬින් ගිගුම් දෙන්නට වුණා. අවසානයේ යක්ෂයාට තේරුම් ගියා එවැනි දෙයින් භාග්‍යවතුන් වහන්සේට කෙසේවත් හානියක් කල නොහැකි බව.

 ඔහුගේ  ඊළඟ පියවර වුණේ ආලවක යක්ෂයා වගේ ප්‍රශ්න ඇසීමෙන් පසු මරණයට පත් කිරීමයි. ඔහු ඇසූ සියලු ප්‍රශ්න වලට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නා . ඒ පිළිතුරු වලින්ම ඒ මහා භයානක යක්ෂයාව කෙමෙන් කෙමෙන් හික්මවන්නට වුණා. අවසානයේ තවදුරටත් කළ දෙයක් නොහැකිව ඒ මහා යක්ෂ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරමින් උන්වහන්සේ ඉදිරියේ දමනය වුණා. පසු දින උදෑසන මහජනතාව ගැල් පිරූ  බත්ද, රාජ කුමාරයා ද සමග සමග ගෙනවිත් යක්ෂයා හට පුද කලා. එවිට ඒ යක්ෂයා රාජ කුමාරයා ව බුදුරජාණන් වහන්සේට පූජ කරනු ලැබුවා. මේ වන විටත් මේ යුද්ධය බලන්න භික්ෂූන් වහන්සේලා ඇතුළු අනූ කෙලක් ප්‍රානීන්ගෙන් ඒ මුළු වනයම පිරි පැවතුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ  යක්ෂ සමාගමේ සිටිමින්ම යක්ෂයාගේ මනසට වැටහෙන පරිදි ධර්මය දේශනා කරනු ලැබුවා.  ඒ බුද්ධානුභාවයෙන් යක්ෂයාට පමණක් නෙවෙයි අනූකෙළක් වූ  මහජනතාවටද ඒ ධර්මය එකවර ශ්‍රවණය කරන්නට හැකි වුණා. එයින් ඒ රැස්ව සිටි සියලු ජනී ජනයා හට දහම් ඇස පහළ වුණා . එය උන්වහන්සේගේ දෙවැනි ධර්මාභිසමය ද වුණා.


අපේ බුදුහාමුදුරුවෝ 58

සුමේධ බුදුහාමුදුරුවෝ 03

ශ්‍රාවක සන්නිපාත

සුමේධ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා . යම් කලෙක ජිනරාජයන් වහන්සේ ’’සුදස්සන’’ නම් උතුම් නුවරට වැඩි සේක්ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්‍ෂය කළ (රහත්වූ) භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූනා. ඒ පළමු සන්නිපාතය වුනා.

ඒ කාලයෙහි නැවත “දේව කූට” නම් භික්‍ෂූන්ට කඨින සිවුර ඇතිරීමේදී අනූ කෝටියක් රහත් භික්‍ෂූන්ගේ දෙවැනි සන්නිපාතය වුනා.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ චාරිකා කරන සමයේ තෙවන සමාගම අසූ කෝටියක් වුනා.  

නියත විවරණ

ඒ කාලේ අපගේ බෝසතාණන් වහන්සේ සියලු දෙනාටම උතුම් උත්තර නම් මානවකයෙක්ව සිටියා.   ඔහුගේ නිවසෙහි නිදන් කිරීම සඳහා අසූ කෝටියක්  ධනය රැස්කොට තිබුණා. අප මහා බෝසතාණෝ ඒ සියලු ධනස්කන්ධය වියදම් කොට බුදුපාමොක් බික්සඟන ට මහ දන් පිරිකර පුදා උන්වහන්සේගේ බණ අසා සරණෙහි පිහිටා ගිහිගෙයින් නික්ම පැවිදි වුණා . ඒ දානය අවසානයේ දී  ශාස්තෘන් වහන්සේ පුණ්‍යානුමෝදනා කරමින් ඔබ මින් මතු කල්ප තිස්දහසක් ගිය කල  ගෞතම නමින් බුදු වන්නේ යැ යි නියත විවරණ දී වදාරනු ලැබුවා. දෙවියන් බඹුන් ගේ සාධුකාර නාදය ද ද දෙතිස් පෙළහර ද එකවර ඇති වුණා . ඒ විවරණය පිළිබඳව බොහෝ කරුණු අන්තර්ගත වී නැතත් කල්ප කාලාන්තරයක් තිස්සේ පැමිණ තවත් අධිෂ්ඨානයක් තවත් සම්මා සම්බුදුවරයෙකු හමුවේ මෙලෙස මල්ඵල ගැන් වුණා. අප මහා බෝසතාණෝ නොපමාව වෙහෙසෙමින්  සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන්ගේ පරතෙරට ගොස් මෙලොවින් සමුගෙන තවත් කල්ප ගණනකට බඹලොව ඉපදුණා.

 ඒ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංශිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ ඒ සුමේධ බුදුරදුන්ගේ (උපන්) නුවර ’’සුදස්සන’’ නම්. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුදත්තා’’ නම් වූවාය.

අවුරුදු නව දහසක් ඒ (සුමේධ) බුදුරජතෙම (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසිී. ’’සුචන්‍ද’’ය, ’’කඤ්චන’’ ය, ’’සිරිවඩ්ඪ’’ ය යන උතුම් ප්‍රාසාද රත්න තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතළිස් අට දහසෙකි. ඒ (ප්‍රසිද්‍ධවූ) බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’සුමිත්ත’’ නම් වී.

(සුමෙධ) ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ සුමෙධ නම් ලෝනාහිමි තෙම බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුදස්සන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සරණ’’ ද, ’’සබ්බකාමී’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සාගර’’ නම් වී.

’’රාමා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මිදෙල්ල (හෝ නොහොත් කොළොම්) ගස යයි කියනු ලැබේ.

’’උරුවෙල’’ ද, ’’යසව්’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’යසොධරා’’ ද, ’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

(සුමෙධ) මහමුනිඳු තෙම අසූ අට රියනක් උස්වී. තරු අතරෙහි සඳ මෙන් සියලු දිගුන් හෙබවී.

සක්විති රජුගේ මැණික යම්සේ යොදුනක් තැන් බබලවාද, එසේම ඒ (සුමෙධ) බුදුරදුන්ගේ ශරීර රත්නයේ කාන්තිය හාත්පස යොදුනක් තැන් පැතිරෙයි.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ත්‍රිවිද්‍යාවෙන් හා ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි, තාදී ගුණයෙන් යුත් යහපත් රහතුන්ගෙන් මේ ශාසනය ගැවසී ගත්තේ වී.

ඒ සියල්ලෝද අපමණ පිරිවර ඇත්තෝය. කෙලෙසුන්ගෙන් මිදුනෝය. උපධි රහිතයෝය. මහා යසස් ඇති උන්වහන්සේලා ඤාණාලෝකය දක්වා පිරිනිවියහ.

සිව්සස් අවබෝධ කළ සුමෙධ ජිනවර තෙම ’’මෙධ’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.


අපේ බුදුහාමුදුරුවෝ 59

සුජාත බුදුහාමුදුරුවෝ 01

සුමේධ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑවායින් පසුව නැවතත් බුද්ධ ශූන්‍ය කාලයක් ඇති වුණා. ආයුෂ අවුරුදු දහය දක්වා පිරිහී ගොස් නැවතත් අසංඛ්‍ය දක්වා  දක්වා වැඩි වුණා . අප්‍රමාණ ආයු ඇති සත්වයන් අනුක්‍රමයෙන් පිරිහී පිරිහී ගොස් අනූ දහසක් අවුරුදු ආයුශ මේ දක්වා පැමිණි කල කළ මනා රූපකායෙන් හෙබි පිරිසිදු වූ සුජාත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා.  උන්වහන්සේත්  මේ සසරෙහි පෙරුම් පුරමින් පැමිණ තුසිත පුරේ ඉපද ඉන් චුතවී සුමංගල නුවර උග්ගත නම් රජුගේ ප්‍රභාවතී නම් මෙහෙසිය කුස පිළිසිද දසමස්  ඇවෑමෙන් මව්කුසින් මෙලොවට බිහි වුණා. උන් වහන්සේ මෙලොව ඉපදීමෙන් පසුව මුළු දඹදිව පුරවරයට ම මහත් සැප සම්පත් භවභෝග ලැබුණේ හෙයින් නම් තබන දිනයේ ඔහුට සුජාත කියා නම් තබනු ලැබුවා . උන්වහන්සේටත් අනෙකුත් බෝධිසත්ත්වයන් වහන්සේලාට වගේම සිරි උපසිරි නන්ද  යනුවෙන්  ප්‍රාසාද තුනක් හිමි වුණා. සිරිනන්දා දේවිය ප්‍රමුඛ විසි තුන් දහසක් ස්ත්‍රීහු දිවා රාත්‍රියේ උවටැන් කරනු ලැබුවා. උන්වහන්සේ අවුරුදු නවදහසක් ඒ අනේක වූ සැප සම්පත් විඳිමින් ගිහිගෙයි වාසය කළා.

උන්වහන්සේ ඒ වන විටත් සතර පෙර නිමිති දැක  සසර කළකිරීමට පත්වෙලයි සිටියේ. ඒ අතරතුර තමයි සිරි නන්දා දේවි උපසේන නම් පුතු මෙලොවට බිහි කළේ. එදිනම උන්වහන්සේ  ගිහි ගෙයින් නික්ම සදා විමුක්තිය සොයා යන්නට තීරණය කළා. උන්වහන්සේ ගිහිගෙයින් නික්මුනේ ඉතා අලංකාර වූ අශ්ව රථයකින් හා කෝටියක් පමණ තම පිරිවර සමගින්. උන්වහන්සේ සමඟ ඒ කෝටියක් පිරිවර ද පැවිදි දිවියට ඇතුළත් වුණා . ඉන් අනතුරුව උන් වහන්සේ ඔවුන් පිරිවරා මාස තුනක්ම ප්‍රධාන වීර්යය වැඩුවා. අවසානයේ කල්ප ගණනක් පිරූ පාරමිතා මල්ඵල ගැන්වෙන දිනයද  උදා වුණා. ඒ උන්වහන්සේට විතරක් නෙමේ. මුළු ලෝක සත්ත්වයාටම. එදත් වෙසක් පුන් පොහෝ දිනයක්. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු වුනේ සිරි නන්දන නුවර .  සිරි නන්දන නුවර සිරිනන්දන සිටු දියණියත් මේ දිනය සඳහා කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණ තිබුණේ . ඇයි විසින් සාදනු ලැබූ  පරම මධුර මී  කිරිබත් වළඳා සල් වනයෙහි දිවා විහාර කොට සවස සුනන්දා ජීවක දුන් අට තන මිට  ගෙන උණ බෝධිය කරා පැමිණ එහි තිස්රියන් පළලැති තන අතුරා හිරු තිබියදීම මරු සහිත මර බල බිඳ  සම්මා සම්බෝධිය අවබෝධ කොට සියලු බුදුන්ට ආවේණික ප්‍රීති උදාන වාක්‍යය වදාරමින් උදම් ඇනුවා. පෙර පරිදිම දෙතිස් පෙළහර ලොව විද්‍යාමාන වුනා. සිත් පිත් නැති මහා පොළවද කම්පා වුනා.

ඉන් අනතුරුව බෝමැඩ සමීපයෙහි ම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයා විසින් කළ ආරාධනය පිළිගෙන තම බාල සොහොයුරු සුදසුන් කුමරු සහ පුරෝහිත කුමරු ද  සිව්සස් අවබෝධ කිරීමට සමත් බව දැන අහසින් වැඩම කරවා සුමංගල නුවර අසළ වූ  සුමංගල උයන්හි බැස උයන් පාලක ලවා සිය සොහොයුරු සමඟ පුරෝහිත පුතුද කැඳවා සපිරිවර ඔවුන් මැද වැඩහිඳ දම්සක් දේශනා කරනු ලැබුවා

එහිදී අසූ කෝටියක ධර්මාවබෝධය වුණා වුණා මේ ප්‍රථම ධර්මාභිසමය යි. යම්දාක භාග්‍යවතුන් වහන්සේ සුදසුන්  උයන් දොර මහාසාල මූලයෙහි යමක ප්‍රාතිහාර්ය කොට තව්තිසා දෙව්ලොව වස් විසූ සේක් ද එකල තිස්හත්දහසකට ධර්මවබෝධය වුණා. මේ දෙවැනි ධර්මාභිසමයයි. යම් කලක සුජාත දසබලයන් වහන්සේ පියාණන් වෙත වැඩි සේක් ද එකල සැටලක්ෂයකට ධර්මාවබෝධය වුණා මේ තෙවැනි ධර්මාභිසමය යි .

එම මණ්ඩ කල්පයෙහි සිංහයෙකුගේ හනුවකට බඳු හනු  ඇති, දෙටු ගවයකුගේ කඳට බඳු සමට වටවූ කඳ ඇති, අපමණ තෙද ඇති, කිසිම සතුරෙකුට  ළංවිය නොහැකි, සඳ මෙන් නිමල වූ , හිරු මෙන් ප්‍රභාශ්වර වූ  බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මුළු මහත් දඹදිවූ තලය පුරාම ප්‍රචලිත වන්නට වුනා.

අපේ බෝධිසත්වයන් වහන්සේ එකල මහා සක්විති රජ කෙනෙක්. සුජාත බුදුන්ගේ ලොව පහළවීම අහසින් ලොව සිසාරා යමින් සිටි උන්වහන්සේගේ කනවැටිමටත් වැඩිකල කරමින්  නැහැ. ඒ ඇසූ සැණින්ම උන්වහන්සේ සුජාත බුදුරජාණන් වහන්සේ වෙතට පැමිනියේ සසර පුරුද්දටමයි. ඇවිත් බණ අහන්නට වුණා .ඉන් අනතුරුව ඒ කෝටි ගණනක් වූ භික්ෂු සංඝයා හට සත් රත්න සමග දන් දෙන්නට වුණා . ලොව ඉහළම තනතුරු වූ සක්විති රජකම හැර දා උන්වහන්සේත් සුජාත බුදුරජාණන් වහන්සේ අබියස මහණ දිවියට ඇතුළත් වුණා .

ඒ රාජධානිය රජෙකුගෙන්  තොර වූවත්  සියලු මහජනතාව  රජයට හිමි අය බදු  රැස්  කරමින්  බුදුන් ප්‍රමුඛ  සංඝයා සිටිනතාක් කල් දන් දෙමින් පුද සත්කාර කරනු ලැබුවා .

මේ සියල්ල අවසානයේ සුජාත බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනා කරන්නට වුනා.  එවිට අප මහා බෝධිසත්වයන් වහන්සේ මතු ගෞතම නමින් බුදුසසුණ බබළවන සම්මා සම්බුදුවරයෙකු වන බව දැන “ඔබ මතු බුදුවන බව” දේශණා කරමින්  නියත විවරණ දී වදාරනු ලැබුවා.

 අප බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් අනතුරුව පාරමී ධර්ම, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල්, ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් ද මහා මේරු පර්වතය මහා සමුදර කළඹන්නාක් මෙන් ද විමර්ෂණය කරන්නට වුනා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ගණ වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුනා. කුඹුල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද  උක් දඬු යන්ත්‍රයක් මෙන්ද සෙලවුනා, රැවුදුන්නා, තෙල් යන්ත්‍රයෙහි සක මෙන්  භ්‍රමණය වන්නට වුනා. දස දහසක් සක්වලම කම්පාවන්නට වුනා.  

කෝටි සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසගේ සාදු කාර නදට දෙවියන් හා බ්‍රහ්මයන්ගේ සාදු නදද එකතු වුනා. ඒ නාදය සක්වලින් සක්වලට පතුරුණා. නැවතත් මදාරා මල් දසත විහිදුනා. වර්තමානයේ  ඔබ අප වෙනුවෙන් මෙලෙස බුද්ධාන්කුරයක් තව දුරටත් දළුලමින් පැවතිය.


අපේ බුදුහාමුදුරුවෝ 60

සුජාත බුදුහාමුදුරුවෝ 02

 ඒ සුජාත භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංශිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ (සුජාත) බුදුරදුන්ගේ උපන් නුවර ’’සුමඞ්ගල’’ නම් වී. (පියතෙම) ’’උග්ගහ’’ නම් රජය. මව් තොමෝ ’’ප්‍රභාවතී’’ නම් වූවාය.

ඒ (සුජාත) බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිීය. ’’සිරී’’ය, ’’උපසිරී’’ ය, ’’නන්දා’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’සිරිනන්දා’’ නම් වූවාය. පුත් තෙම ’’උපසේන’’ නම් වී.

(සුජාත) ජිනවර තෙම සතර පෙර නිමිති දැක අස් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු නව මසක් මුලුල්ලේ බුදුබව පිණිස උත්සාහ කෙළේය.

මහාවීරවූ (සුජාත) නම් ලෝනාහිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුමඞ්ගල’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සුදස්සන’’ ද, ’’සුදෙව්’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’නාරද’’ නම් වී.

’’නාගා’’ ද, ’’නාගසමාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මහ හුණගස’’ යයි කියනු ලැබේ.

ඒ හුණගස හටගත් ශොභා ඇත්තේද, මද සිදුරු ඇත්තේද, බොහෝ පත්‍ර ඇත්තේද වෙයි. කෙලින් වැඩුනු හුණගස, අවට පැතුරුණේද, දැකුම්කලු වූයේද, සිත් ඇලවූයේද වෙයි.

එක කඳක්ව වැඩී, එතැනින් අතු (පසකට) බෙදී ගියේය. හොඳින් බඳනා ලද මොනර පිල් කළඹක් යම්සේද, එසේ ඒ හුණ ගස බබලයි.

ඒ හුණගසේ කටු නොවූහ. සිදුරද ලොකු නොවී. පැතුරුණු අතු ඇති, ඝන අතු ඇති, ඝන සෙවන ඇති (ඒ ගස) සිත් අලවයි.

’’සුදත්ත’’ ද, ’’චිත්ත’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සුභද්දා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

සියලු ආකාරයෙන්ම උතුම්බවට පැමිණි, ඒ (සුජාත) ජිනවරතෙම උසින් පණස් රියනක් ඇත්තේ වී.

ඒ බුදුරදුන්ගේ අසම සමවූ ශරීර කාන්තිය හාත්පස නිතර දුවයි. පමණ නොකළ හැකිය. සමාන නොකළ හැකිය. උපමාවන්ගෙන් උපමා කිරීම ඉක්ම පැවැත්තේය.

ඒ කාලයෙහි අනූ දහසක් අවුරුදු ආයුෂ පවතී. ඒ (සුජාත) බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.

මුහුදෙහි රළ යම්සේ (අලංකාර වෙත්)ද, අහසෙහි තරු යම්සේ (බබලත්)ද, එසේ ඒ කාලයෙහි බුදුසස්න රහතුන්ගෙන් විසිතුරු කරණ ලදී.

ඒ සුජාත බුදුරජතෙම අසම සමය. ඒ බුදු ගුණයෝ පමණ කළ නොහැක්කාහ. සියල්ල අතුරුදන්වී, සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද,

සිව්සස් අවබෝධ කළ (ඒ) සුජාත ජිනවර තෙම ’’සීල’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම ඒ බුදුරජුන්ගේ සෑය (දාගැබ) තුන් ගව්වක් උස් වී.


අපේ බුදුහාමුදුරුවෝ 61

පියදස්සි බුදුහාමුදුරුවෝ 01

සුජාත බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසුව කල්ප සීයකට අධික කාලයක් මේ ලෝකයේ බුදුවරු පහළ වුණේ නැහැ. අවිද්‍යා අන්ධකාරයේ අඳුර මුළු ලෝකයම ගිල ගත්තා. ඊට පස්සේ ඒ අඳුර පහවෙන්නට වුනේ ලොවට යළිත් වර කල්පයක හිරු උදා වීමත් සමඟ. වර කල්පයක් කියන්නේ බුදුවරු තුන්නමක් ම ලෝකයේ පහලවන කල්පයක්. ඒ වර කල්පයේ පියදස්සී, අත්ථදස්සි, ධම්මදස්සී, කියලා න් බුදුරජාණන්වහන්සේලා තුන්නමක් ලොව පහල වන්නට නියමිතව තිබුණා . මේ කියන්නට යන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා තුන්නම අතරින්  පළවෙනි බුදුරජාණන් වහන්සේ වන පියදස්සී බුදුරජාණන් වහන්සේ ගැන.

පියදස්සි බුදුන් වහන්සේත් පෙරුම්පුරා අවසානයේ  තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් කල් වැඩසිට තුසීපුරෙන් චුතව සුධඤ්ඤවතී නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව පුර්ණ චන්ද්‍රයා මෙන් පැහැපත්  චන්‍දා දේවියගේ කුසයේ පිළිසිඳ ගත්තා. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි ම දෙතිස් පෙළහර ඇතිවුනා.  දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිවම දස මස් ඇවෑමෙන් වරුණ උයන්හි දී මව් කුසින් මෙලොවට බිහිවුණා. කුමාරයාට නම් තබන දිනයෙහි  ලොවට ප්‍රිය පෙළහර වෙසෙස් දැක්වූ හෙයින් නම් කරන්නාහු පියදස්සී යැයි නම් තැබුවා.

උන්වහන්සේත් අවුරුදු නම දහසක්ම ගිහිගෙයි වාසය කළා . උන්වහන්සේටත් සුනිම්මල, විමලා, ගිරිබුහා, නමින් සෘතු තුනට  ප්‍රාසාද තුනක් තිබුණා. උන්වහන්සේ ගේ අග මෙහෙසිය උනේ වුනේ විමලා දේවියයි. විමලා දේවිය ඇතුළුව තිස්තුන් දහසක් ස්ත්‍රීන් උන්වහන්සේට දිවා රාත්‍රී උවටැන් කළා. උන්වහන්සේත් අනෙකුත් බුදුවරු මෙන්ම සතර පෙර නිමිති දැක සසර කලකිරුණා. අගමෙහෙසිය වූ විමලා දේවියට කඤ්චන කුමරු උපන් දිනම ඒ මහා බෝසතාණෝ අභිණික්මන් කරනු ලැබුවා. ඒ තනියම නෙවෙයි කෝටියක් පිරිවර සමග. ඒ මහා පුරුෂයාණෝ ඔවුන් පිරිවරා සය මසක් ප්‍රධාන වීර්ය කොට වෙසක් පුන් පොහෝ දිනක වරුණ නම් බමුණුගම වසභ බමුණාගේ දියණිය විසින් පිදූ මී කිරිබත් වළඳා සල් වනයේ දී දිවාවිහාර කොට  සුජාත ආජීවක දුන් අට තණමිට ගෙන කුඹුක් බෝධිය වෙත පැමිණ තෙපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය  වැළඳ සර්වඥතා ඥානය ප්‍රතිවේධ කොට ලොවුතුරා බුද්ධත්වයට පැමිණුනා. ඉන් අනතුරුව උදන් අනා  එහි ම සත්සතිය ගෙවා  තමන් වහන්සේ අනුව පැවිදි වූවන්ගේ සිව් සස්  අවබෝධයට සමර්ථතා  දැන අහසින් වැඩ උසභවතී  නුවර අසල  උසභවන උයනෙහි බැස කෙලක් භික්ෂූන් පිරිවරා දම්සක් දේශනා කරනු ලැබුවා. කෙළ ලක්ෂයක් දෙනාට එදා ධර්මාවබෝධ වුනා. ඒ උන්වහන්සේගේ ප්‍රථම අභිසමයයි .


අපේ බුදුහාමුදුරුවෝ 62

පියදස්සි බුදුහාමුදුරුවෝ 02

මිථ්‍යාදෘෂ්ටික දෙවියන් දමනය කිරීම.

අපි මෙතෙක් කල් වැඩි පුර අසා තිබුණේ බුදුරජාණන් වහන්සේලා යක්ෂයො මිනිස්සු, වගේම සත්තුත්  දමනය කරනවා කියලා. ඒ එක්කම බුදු වරු දෙවියන්ට බණ කියනවා මිසක් දෙවියොත් සමග යුද වදිනවා කියලා  අපි අහලා තිබුනෙත් නෑ . මේ එහෙම කතාවක්.

ඒ කාලේ සුභවතී  නම්  නුවරට  නොදුරු සුදස්සන නම් පර්වතයෙහි සුදර්ශන  කියලා දිව්‍ය රාජයෙක් වාසය කළා .  ඔහු මිත්‍යා දෘෂ්ටිකයි. සියලු සුදර්ශන වැසියෝ ඒ දිව්‍ය රාජයාට අවුරුදු පතා ලක්ෂයක් වටිනා බලි  පුද පූජා පවත්වනු ලැබුවා. ඒ සුදස්සන  දිව්‍යරාජයා නර රජුත්  සමඟ එකම අසුනෙහි හිද  බලි පූජා පිළිගැනීමට පුරුදු වෙලා හිටියා. එකල පියදස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍යරාජයාගේ දෘෂ්ටි ගතිය දුරු කරනෙමෙයි සිතා ඒ දිව්‍යරාජයා යක්ෂ සමාගමයට ගිය කල්හි ඔහුගේ භවනට අහසින් වැඩම කළා.  ඉන් අනතුරුව ඔහුගේ සිරි  යහනට නැඟී සවණක් රැස් පතුරවමින් යුගදුරු පර්වතයෙහි  සරා හිරු මෙන් දසත බබළවමින් වැඩ සිටියා. සුදස්සන යක් රජුගේ පිරිවර පරිවාරිකා දෙවඟනන් මල්ගඳ විලවුන් ආදියෙන්  දසබලයන් වහන්සේට පූජා කොට පිරිවරා ගෙන සිටියේ බුදුකෙනෙකුගේ පරාක්‍රම බලමහිමය ද වෙන කිසිවක් කරගත නොහැකිවය. සුදස්සන දෙව්රජ යක්ෂ සමාගමෙන් පිට වී තම භවනට එනවිට මුළු පර්වතයෙන් ම  සවණක් රැස් විහිදුණු දැක මෙසේ සිතන්නට වුණා.

“වෙනදා  කිසි දිනෙක  මාගේ බවනෙන් මෙවැනි නානා රශ්මි ජාලාවන්ගෙන් බබළන  අසිරියක් නොදුටුවෙමි. කවරනම් දෙවියකු විසින් මෙවැන්නක් කරනු ලබන්නේ ද?” , යනුවෙන් බලමින් විපරම් කරන්න වුනා. එවිට උදාගිරි කුළු මුදුන් හි සරාකළ හිරු මෙන්   සවනක් රැස් දැලින්  බබළමින්  වැඩ සිටි  භාග්‍යවතුන් වහන්සේ දැක මේ මුඩුමහන මාගේ පිරිවර ජනයා පිරිවරා මාගේම සිංහාසනේ සිටින්නේ යැයි මහත් වූ ක්‍රෝධයෙන් වෙවුලන්නට වුණා. මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු දැනගෙන සිටියේ නැහැ බුදුවරයෙකුගේ ශක්තිය, බල මහිමය , විෂය ක්ෂේත්‍රය, ඒ වගේම දස දහසක් සක්වල ආඥා පැතිරෙන බව. අණසක පැතිරෙන බව . එහෙත් ඔහුගේ අණසක පැවතුණේ  ඔහුගේ භවන තිබූ ඒ  කඳු මුදුනට පමණයි. එහෙත් බුදුවරයකු හමුවේ එයත් වියාර්ථ වී ගියා.

 මහා සද්දන්ත රාජකීය ඇතකු අසල සිටි කුඩා කූඹියකු වැනි ඒ මිථ්‍යාදෘෂ්ටික දෙවියන්  මොහු හට මාගේ බලය පෙන්වමි යැයි  සිතා මොහොතකින් ඒ මුළු මහත් පර්වතයම එකම ගිනි ජාලාවක් බව ට  පත්කළා. ඒ මහා ගිනි ජාලාවෙන් මුඩු මහණ අළු දුවිලි බවට  පත්වෙන්නට ඇතැයි සිතා පිරික්ෂණ ඔහුට දකින්නට ලැබුනේ පෙර පරිදීම බබලමින් රැස් විහිදමින් ප්‍රභාෂ්වර  වූ සිරුරෙන්ම එක් රෝමකුපයක් හෝ නොදැවී වැඩ සිටිනා බුදුරජාණන් වහන්සේයි. “මේ මහණ අග්නිදාහය ඉවසයි. දැන් මම මේ මහණව සැඩදිය දහරේ ගිල්වා එක මොහොතකින් මරා දමන්නෙමියි” සිතා ගැඹුරු සැඩ දියදහරක් විමානයට අභිමුඛ කොට පවත්වන්නට වුනා. ඒ විමානයම රුදුරු සැඩ දියදහරෙන් පිරුණත් භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි රෝම මාත්‍රයක්වත් තෙමන්නට නොහැකිවුණා. එවිට සුදස්සන දෙවු රජ මෙයින් ශ්‍රමණතෙම හුස්මගැන්මට නොහැකිව මිය යන්නට ඇතැයි සිතමින් දිය වළකා බලන කල නිල්මේකළු විවරගත සරාකල සඳ මෙන්  නා නා රැස්දැලින් බබළමින් සිය පිරිස් පිරිවරා හුන් භාග්‍යවතුන් වහන්සේ දැක ක්‍රෝධය දරාගත නොහැකිව දැන්නම් මොහුව මරන්නේ යනුවෙන් මහා ආයුධ වර්ෂාවක් වස්සවන්නට වුනා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ  ආනුභාවයෙන් සියලු ආයුධ නන්වැදෑරුම් පරම රුචිර දැකුම් ඇති සුවඳ මල් මාලා බවට පත්ව භාග්‍යවතුන් වහන්සේගේ පාමුල රැඳෙන්නට වුනා.

එවිට ඒ අසිරිය දැක සුදස්සන දෙවු රජ පරම කුපිත මනසින් භාග්‍යවතුන් වහන්සේගේ දෑතින් දෙපයින් ගෙන සිය භවනින් ඇද දමනු රිසිව ඔසවා මුහුද ඉක්මවා සක්වළගලට ගොස් ජිවත් වෙයිද මලේදැයි බලන කල එම අසුනෙහිම හිඳුනු දැක, ආශ්චර්යයක්. මෙම මහණ මහානුභාව සම්පන්නයි. මම මේ මහණ මෙතනින් නෙරපීමට අසමත් වෙමි.  කවුරුන් හි දැනගතහොත් අපමණ අපකීර්තියකි. ඒ නිසා කිසිවෙකු දකින්නට පෙර මොහු වැඳ නමස්කාර කොට මෙතනින් එළවාදමන්නෙමි සිතන්නට වුනා. ඔහුගේ සිත හඳුනා ගත බුදුපියාණන් වහන්සේ

සියලුම දෙවු මිනිසුන්ට පෙනෙන පරිදි අධිෂ්ඨාන කරනු ලැබුවා. එදින දඹදිව සියයක් පමණ රජවරු ඔහුට උපහාර පිණිස රැස්වෙලා හිටියේ. ඒ නරරජවරු භාග්‍යවතුන්වහන්සේගේ සිරිපා වැඳගෙන සිටින සුදස්සන දෙවු රජ දැක අපගේ දෙවු රජ පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මෙහෙවර කරයි. අපොයි බුදුවරු නම් ආශ්චර්ය වෙති. බුදුගුණ විශිෂ්ටයි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත පහන් සිතින් සියල්ලෝම බුදුන්ට නමස්කාර කරමින් හිසෙහි ඇඳිලි බඳිමින් සිටියා. එහිදී පියදස්සි භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍ය රාජයා ප්‍රමුඛ කොට ධර්මදේශනා කරනු ලැබුවා. එදින අනුකෙළ දහසක් දිව්‍යමනුෂ්‍යයෝ ධර්මාබෝධයට පත්වුණා. එය උන්වහන්සේගේ දෙවැනි ධර්මාභිසමය වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 63

පියදස්සි බුදුහාමුදුරුවෝ 03

වර්තමානයේ සමහර දේවල් කල්ප කාලාන්තරයකට එහා අතීතයේ දී ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අතීතයේ  සිදු වූ යම් යම් සිද්ධීන් වර්තමානයේ දීත් ඒ විදිහටම සිදුවෙනවා. මේ කියන්න යන්නේ පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වුණු  එවැනි ම සිදුවීමක් ගැන .

පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ කුමුද  කියලා නුවරක් තිබුණා. ඒ  නුවර දෙව්දත් තෙරුන් වගේම බුදුරදුන්ට පසු මිතුරු වූ පසුව පැවිදි වූ සෝණ  කියලා භික්ෂුවක් හිටිය. මේ සෝණ  භික්ෂුවගේ ක්‍රියා කලාපයත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි දෙව්දත් තෙරුන්ගේ  ක්‍රියා කලාපයන් අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඒ සෝණ  භික්ෂුවත් පියදස්සී බුදුරජාණන් වහන්සේව ඝාතනය කිරීමට බොහෝ උපක්‍රම යෙදුවා . ඒ භික්ෂුව ප්‍රථමයෙන් ම කළේ ඒ ජනපදයේ රජතුමාගේ පුත්‍රරත්නයත් එක්ක  දැඩි මිත්‍රත්වයක්  ඇති කර ගැනීමයි. ඒ කුමාරයාගේ නම මහා පදුම. ඉන්පසුව  ඔහු ලවාම කුමන්ත්‍රණය කොට ඔහුගේ  පියාව ඝාතනය කිරීමට කටයුතු සැලැස්සුවා.  අහෝ පාපමිත්‍ර ඇසුරක විපත. මහා පදුම කුමරු තම පියාණන් වහන්සේ ව ඝාතනය කොට ආනන්තරිය පාපකර්මයකට උරුමකම් ලැබුවා. එයින් ඔහු නොනැවතුනා. මහා පදුම කුමරු ලවා බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීමට විවිධ උපක්‍රම යොදනු ලැබුවා. ඒ සෑම උපක්‍රමයක් ම ව්‍යාර්ථ වුනා. අවසානයේ ස්වභාවික ලෙසම නගරය නගරය මැදම ඝාතනය කිරීමට උපක්‍රමයක් යෙදුවා . ඒ රජුගේ මහා බලසම්පන්න සද්දන්ත මඟුල් ඇතා යෙදවීමෙන්. එ සද්දන්ත ඇතාගේ නම දොණමුඛ. ඔවුන් ඒ ඇතාව බලා ගන්නා ඇත්ගොව්වාව කැදවනු ලැබුවා . කැඳවා අවශ්‍ය කාරණය සැල කොට ඔහුව ඒ සඳහා පොළඹවනු ලැබුවා.” යම් විටෙක පියදස්සී ශ්‍රමණයා මේ නුවරට පිඬු පිණිස පිවිසෙයි ද පිවිසෙනවිට දොණමුඛ ඇත් රජු මෙහෙයවා පියදස්සී ශ්‍රමණයා මරවන්න” යැයි අණ කරනු ලැබුවා. එය අසා ඇත්ගොව්වා බොහෝ අසරණ වුණා. ඔහුට රාජ අණට පිටුපා යන්නට පුළුවන් කමක් තිබුණෙ නැහැ. තම ජීවිතයත් තම තනතුරක් දෙකම ඔහුට ආරක්ෂා කර ගන්නට සිදු වූ නිසා අකමැත්තෙන් හෝ ඔහු කැමැති වුණා. පසු දින පියදස්සී බුදුරජාණන් වහන්සේ නුවරට පිඬුසිඟා වඩින වේලාව බලා ඔහු තමාට ලැබුණු රාජ අණ ඉටු කිරීමට සියල්ල සැලසුම් කරනු ලැබුවා.. ඒ ඇත් රජුගේ ස්වභාවය ගැන සහ හස්ති දමනය පිළිබඳව අලංකාර වර්ණනාවක් බුද්ධවංශඅට්ඨ කතාවේ තියෙනවා. එය ඔබගේ රස වින්දනය පිණිස  එලෙස ම ලියන්නට හිතුවා .

පිඩුවූ කුම්භස්ථල සහිත සුජාත මස්තක ඇති දුනුවැනි දික් සොඬතල ඇති පුළුල් මෘදු කන් ඇති පිඟුවන් නුවන් යුත් සොඳුරුකඳ දසුන් ඇති අනුවත ඝන කොණ්ඩා ඇති දණ අතර සැඟවුණු ගුය්හ ඇති හීවැනි සොදුරු දළ ඇති මනා වලඟ යුත් සොදුරු වලගමුල් ඇති සියලු හස්ති ලක්ෂණ සම්පන්න නිල් වළාවක් මෙන් සුන්දර දසුන් ඇති සිංහ වික්‍රානත ලීලෝපෙත ගමන් ඇති ජංගම පර්වතයක් බඳු සත්තැන් බිම පිහිටි සත් අයුරින් විශේෂත්වයට පත් සර්වප්‍රකාරයෙන් මදවැහෙන විභ්‍රමණ මාරයා වැනි ඇතු ලගට ගොස්  පිඬු අහර අඳුන් බූප අලේපාදි විශේෂයෙන්  වඩාත් මත්ත ප්‍රමත්ත කොට සතුරු ඇතුන්  මඩින ඵෙරාවණ වාණරයා වැනි සතුරන් නසාලන ඇතු මුනිවරයාණයන් මරණු පිණීස පිටත් කොට හැරියා.

ඉක්බිති ඒ ඇත් රජ මිදූ කෙණෙහිම  ඇත් මිහි අස් ස්ත්‍රී පුරුෂයන් නසා ලේ තැවරුණු හිරුවැනි රතු සිරුරු ඇතිව  බඩවැල් ජාලයෙන් වැසුණු ඇසින්  ගැල්කවුළු  කූටාගාර දොරටු තොරණ ආදිය බිඳ කාක උකුසු ගිජුලිහිණි ආදීන් විසින් වටේ හැසිරුණු ලබන්නේ මල මිහි  කුරංගාදීන්ගේ අඟපසඟ කඩා දමා මිනී කන යකෙකු මෙන් කටින් සිසුගණ පිරිවරා දුරින් වඩින බුදුන් දැක අහසේ සැරිසරණ  ගුරුළකුට බඳු වේගයෙන් ඉදිරියට දිව ගියා.  එවිට පුරවැසි ජනයා භය සන්ත්‍රාසය පිරුණු හදින් ප්‍රසාද ප්‍රාකාර ගොඩනැගිලි ගස්වලට නැග තථාගතයන් වහන්සේ ඉදිරියට පනිනු දැක හා හා කියා කෑ ගසනු ලැබුවා.සමහර උපාසකයෝ නන් අයුරින් ඔහු වැළැක්වීමට පටන් ගත්තා . එවිට ඒ මහා කාරුණිකයන් වහන්සේ එන්නාවූ හස්තිරාජයා බලා කරුණාව පැතිරීමෙන් සිසිල් වූ හදින් ඔහුට මෛත්‍රිය පතුරුවමින් ඉදිරියටම යන්නට වුණා . ඉන්පසු ඒ  හස්තිරාජයා මෙත් පැතිරවීමෙන් මොළොක් වූ සිත් සතන් ඇතිව  තමාගේ දෝෂාපරාධය දැන ලැජ්ජාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටිය නොහැකිව පොළොවට පිවිසෙන්නත් මෙන් හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැටුණා.  මෙසේ  වැටුණා වූ ඒ හස්තිරාජයා අඳුරු ගොඩක් බඳු සිරුර ඇති සැන්දෑ කාන්තිය රැඳි රන්ගිරිකුලක් ළඟට වන් නිල්මේකළු  ගොඩක් මෙන් බැබලී ගියා. එවිට මෙසේ මුනිරාජ පාදමූලයෙහි වැටීසිටි ඇත්රජු දැක නුවර වැස්සෝ ප්‍රීති හරිත හදින් සාදුකාර සිංහනාද ද මහත් ඝෝසාද පැවැත්වුවා. සුවඳ මල්මාලා සඳුන් සුවඳසුණු අලංකාරාදියෙන් උන්වහන්සේට නානාප්‍රකාරයෙන් පුද පූජා පවත්වන්නට පටන් ගත්තා. හාත්පස පිළිසිසැරීම් පැවැත්තුවා.  අහසේ දෙව් බෙර  නාදවුනා.  එවිට භාග්‍යවතුන් වහන්සේ අඳුර ගිරි කුලක් මෙන් තම පාමුල වුන්  ඇත් රජු දෙස බලා අංකුස ධජ්ජාල  සංඛචක්‍රදියෙන් අලංකෘත අත්ලෙන් ඇතුගේ කුඹ පිරිමැද ඔහුගේ සිතට අනුකුල ධර්මදේශනයකින් ඒ ඇත් රාජයාට අනුශාසනා කරනු ලැබුවා. එයත් හරි ලස්සනයි. අවස්ථාවක් ලැබුනොතින් හෙට ලියන්නම්.


අපේ බුදුහාමුදුරුවෝ 64

හස්තිරාජයෙකු හට ඔහුගේ මනසට වැටහෙන පරිදී ධර්ම දේශණා කරන ලද පියදස්සි බුදුහාමුදුරුවෝ 04

ඒ මහා ප්‍රපාත වත් ඇත් රාජයා බුදුරජාණන් වහන්සේ අභියස දැන ගැහුවෙ පුංචි ළමයෙක් වගේ . තිරිසන් යෝනියේ උපන් සතෙකු සතෙකු එලෙස දන ගැසුවත්  මොලෙන් වැඩි මිනිසුන්ව දන ගස්සන්න සමහරවිට බුදු කෙනෙකුට වත් ඒ තරම් ලේසි නැහැ .ඒ මොහොතේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ තිරිසන් මනස ට  වැටහෙන , ඔහුගේ ද්වේශය  බිඳිය හැකි ඔහුව සුගතිය කරා ගෙනයා හැකි සරල සුමදුර ධර්ම දේශනාවක් දේශනා කරන්නට වුණා පමණක් නොවෙයි ඔහුට අවබෝධ වෙන්නට සැලැස්සුව.

පින්වත් හස්ති රාජය, මාගේ වචනය අසව. තමාට සැබැවින්ම හිතවත් අර්ථවත් අය ඇසුරු කරව. වදයෙහි නිරත  තොපගේ දුෂ්ට බව අතහැරව.  සුන්දර දළ ඇත. ශාන්ත වෙව. ලෝභයෙන් ද්වේශයෙන් හෝ මෝහයෙන් යමෙක් ප්‍රාණීන්ට හිංසා කරයි ද ඒ ප්‍රාණඝාතයා  බොහෝ කල් නිරයේ දුක් විඳී . හස්තිය  ප්‍රමාදයෙන් හෝ මදයෙන් නැවත මෙවැනි පාප කර්ම නොකරව.  ප්‍රාණඝාත ඒ කරන්න නොඉවසිය  හැකි දුක්දෙන අවීචියට පැමිණෙයි. අපායෙහි ගොරබිමේ දුක් විද  නැවත මිනිස්  ලොව  පැමිණියද බෙහෙවින් අල්පායුෂ්ක වෙයි . විරූප දේහ ඇත්තේ වෙයි. .  විහිංසකයා   නිරන්තරයෙන්ම දුක් විශේෂයට භාජනය වෙයි. හස්තිරාජය  යම්සේ තොප ජීවිතයට පරම ප්‍රිය ද එසේම අනුන්ටත් ප්‍රිය බව සිතා  ප්‍රාණඝාතය  දුරු කළ යුතුය . හිංසාවේ හි නිරත වීමේ දොස් ද ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ ද දැන ප්‍රාණඝාතය අතහැර පරලොව සුගතිසැප කැමැති වෙව. ප්‍රාණඝාතයෙන් වැළකුණු පුද්ගලයාගේ මෙලොව  ප්‍රිය ද මනාප ද වෙයි . කය බිඳී පරලොව සුගතියට යතැයි ද බුදුවරු පවසති . ලොව  කිසිවෙක් දුක කැමැති නොවෙති . උපන් සියල්ලෝම සැපම  සොයති . එබැවින් මහා හස්තිය, හිංසාව අතහැර සුදුසු අවස්ථාවෙහි මෛත්‍රිය හා කරුණාව වඩව. “

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අසා සිටි ඒ ඇත් රාජයා සිහි එළඹ පරම විනීත විනය ආචාර සම්පන්න ශිෂ්‍යයකු මෙන් වුණා . මෙසේ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගේ  කාලයේ සිටි ධනපාල ඇතු මෙන් ද දොණමුඛ  ඇතු දමනය කොට ඒ මහජන සමාගමෙහි ධර්ම දේශනා කරනු ලැබුවා. ඒ අවස්ථාවේ අසූ කෙළ ලක්ෂයක් ජනයාට ධර්මාවබෝධය වුණා. මේ උන්වහන්සේගේ තෙවන මහා ධර්මාභිසමය ද වුණා .


අපේ බුදුහාමුදුරුවෝ 65

පියදස්සි බුදුහාමුදුරුවෝ 05

 ප්‍රථම සන්නිපාතය

පියදස්සී බුදුහාමුදුරුවෝ දෝණමුඛ හස්ති රාජයා දමනය කරපු වෙලාවේ අසූ කෙළක් මිනිස්සුන්ට ධර්මාවබෝධ වුණා කියලා මීට ඉහත කීවා. ඒ සියලුම දෙනා ඊට පස්සේ මහණ වෙලා රහත් වුණා. පියදස්සී බුදුහාමුදුරුවෝ ඉන්පසු දිගටම ධර්ම චාරිකාවේ යෙදුනේ ඒ අසූ අසූකෙළක් වූ මහරහතන් වහන්සේලා සමග.  ඒ අතරතුර තවත් විශේෂ සිද්ධියක් වුණා. සුමංගල නුවර පාලි නම් රජතුමාගේ රාජ පුත්‍රයා ද  එම රජතුමාගේම  පුරෝහිතයා ගේ පුත්‍රයාද  හොඳම යාලුවො. ඒ අයත් පියදස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම චාරිකාවේ දී තම නුවරට වැඩි බව අසා කෙළ ලක්ෂයක් පිරිවර සමඟ පෙර ගමන්කර උන්වහන්සේලා හමුවට පැමිණුනා. ඉන් පසුව ඔවුන් පියදස්සී බුදුරජාණන් වහන්සේගෙන් දින හතක් පුරා ම  බණ අහන්නට වුනේ  සංසාර පුරුද්දටම වෙන්න ඇති. බණ අසා ඉමහත් ශ්‍රද්ධාවට පත් ඔවුන් බුදුරජාණන් වහන්සේ ඇතුළු කෝටි ගණනක් වූ මහරහතන් වහන්සේලාට විශාල දානයක් පිරිනැමුවා. දානයෙන් පස්සේ ඒ කෙළ ලක්ෂයක් වූ රාජ කුමාරවරු  ඇතුළු පිරිස මහණ වී අර්හත්වයට පැමිණුනා . ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස සහ උන්වහන්සේ හා වැඩි රහතුන් වහන්සේලා පිරිස පිරිවරා පාමොක් දේශනා කළා. එය පියදස්සී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සන්නිපාතය නමින් හඳුන්වනවා.

 දෙවන සන්නිපාතය

ඊට පසු කාලෙක සුදස්සන දේවරාජ සභාවේ අනු කෙළක් රහත් වුනා . එදා භාග්‍යවතුන් වහන්සේ උන් වහන්සේලා පිරිවරාගෙන පාමොක් දේශනා කළා. එය  දෙවැනි සන්නිපාතය වුනා .

 තෙවන සන්නිපාතය

නැවත මීට ඉහත සදහන් කල දෝණමුඛ හස්ති දමනයෙන් පසු බණ අසා රහත් වූ අසූකෙළක් මහ රහතන් වහන්සේලා පිරිවරා ඔවුන් මැද පාමොක් දේශනා කළා . එය උන්වහන්සේගේ තෙවන සන්නිපාතයද  වුණා.

 අප මහා බෝසතාණෝ තෙළෙස්වන නියත විවරණ ලැබීම.

ඒ කාලෙ අප මහා බෝසතාණෝ  ත්‍රිවේදයෙහි කෙල පැමිණුනි බමුණු තරුණයෙක්ව වාසය කළා . ඒ වගේම ඔහු මහා ධනවතෙක් . ඔහු ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ බණ අසා තිසරණයේ පිහිටියා . ඉන් අනතුරුව කෝටි ගණනක් වූ රහතන් වහන්සේලාට කෙළ ලක්ෂයක් පරිත්‍යාගයෙන් පරම රමණීය සංඝාරාමයක් කරවා පූජා කරනු ලැබුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහු මතු ගෞතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරණු ලැබුවා .

නැවතත් දෙවියන්ගේ සාදු කාර හඬ සහ අත්පොළසන් හඬ සක්වළ පුරා පතුරුණා. අප මහා බෝසතාණෝ තවත් බුදුවරයෙකු දැක නිවන අතහැර ඔබ සහ අප වෙනුවෙන් මේ රුදුරු සසරේම නැවතුනා.


අපේ බුදුහාමුදුරුවෝ 66

පියදස්සි බුදුහාමුදුරුවෝ 06

 පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා.

’’පියදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සුධඤ්ඤ’’ නම් වී. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුවන්දා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිී. ’’සුනිමාල’’ ය, ’’විමල’’ ය, ’’ගිරිගුහා’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. බිරින්ද ’’විමලා’’ නම් වූවාය. පුත් තෙම ’’කඤ්චනවෙල’’ නම් වී.

පුරුෂයන්ට උතුම්වූ (පියදස්සී) බුදුරජතෙම සතර පෙර නිමිති දැක රියයානයෙන් මහබිනික්මන් කෙළේය. සමසක් මුලුල්ලේ ප්‍රධාන චර්‍ය්‍යාව කෙළේය.

මහාවීරවූ පියදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ, සිත් අලවන ’’උස්සාවන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පියදස්සී ශාස්තෲන් වහන්සේට ’’පාලිත’’ ය, ’’සබ්බදස්සී’’ ය යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සෝභිත’’ නම් වී.

’’සුජාතා’’ ද, ’’ධම්මදින්නා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’කුඹුක්’’ ගස යයි කියනු ලැබේ.

’’සන්දක’’ ද, ’’ධම්මික’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’විසාඛාව’’ ද, ’’ධම්මදින්නා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අපමණ යසස් ඇති, දෙතිස් මහා පුරුෂ ලකුණෙන් යුත් ඒ බුදුරජතෙම අසූ රියනක් උස්වූයේ, (මල් පිපුණු) සල් රුකක් මෙන් දක්නා ලැබේ.

අසමවූ, මහර්ෂීවූ, ඒ (පියදස්සී) බුදුරදුන්ගේ ශරීර ශෝභාව යම්සේ වීද, එබඳු ශෝභාවක් (බැබලීමක්) ගිනිය, සඳය, හිරුය, යන මොවුන්ට නැත.

දෙවියන්ට දෙවිවූ ඒ (පියදස්සී) බුදුරදුන්ටද අවුරුදු අනූ දහසක් ආයුෂය වී. පසැස් ඇති බුදුරජාණන් වහන්සේ  ඒ තාක් කල් ලෝකයෙහි වැඩ සිටි සේක.

අසමසමවූ ඒ බුදුරද තෙමේද, අසමවූ ඒ අගසව් දෙනමද, යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

ඒ පියදස්සී මුනිවර තෙම ’’අස්සත්‍ථ’’ නම් ආරාමයෙහිදී පිරිනිවි සේක. ඒ ආරාමයෙහිම ඒ බුදුරදුන්ගේ ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

තෙළෙස්වන බුද්ධවංස වර්ණනාව සමාප්තයි .


අපේ බුදුහාමුදුරුවෝ 67

පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 01

පියදස්සී බුදුරජාණන් වහන්සේ  පිරිනිවන්පා වර්ෂ ලක්ෂයක් පමණ  ගත වූවායින් පස්සේ උන්වහන්සේගේ සසුනත් ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වුනා. ඒ සමගම මිනිසුන්ගේ ආයුෂඅවුරුදු දහය දක්වා පිරිහී නැවත අසංඛ්‍ය දක්වා පැමිණ වර්ෂ  ලක්ෂයක් දක්වා ආයුෂ අඩුවන්නට වුණා. ඒ කාලේ  අත්ථදස්සි නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේත් පෙරුම් පුරමින් පැමිණ අවසානයේ තුසිත දෙව්ලොව ඉපිද ඉන් චුතව පරම ශෝභන, ශෝභන  නම් නුවර  රජුගේ අග බිසව වූ සුදස්සන දේවියගේ  කුස තුල පිලිසිද දස මසක් ඇවෑමෙන් සුචින්ධන  උයන්හි  මවුකුසින් බිහිවුනා. එතෙක් කල් දෙවියන්ගේ ආරක්ෂාව නිතැතින්ම  ලැබුණා.

මේ මහා පුරුෂයන් වහන්සේ උපන් දා  සිටම රජ පරම්පරාවට සිරිකත වඩම්මනු ලැබුවා. බොහෝ කල් සැඟව ගිය කුල පරම්පරා ගත මහා නිධාන මතු වන්නට වුණා. ඒ නිසා රජ පෙළපතට ඇතුළු බොහෝ අයට ධනහිමිත්වය ලැබී සිටුවරුන් ධන කුවේරයින් බවට පත් වුණා. ඒ නිසාම නම් තබන දිනයේ ඒ බෝසතාණන් වහන්සේට අත්ථදස්සී කියා නම් තබනු  ලැබුවා. ඒ මහා නිධාන සියලු යස ඉසුරු  සහිතව කම්සැප මැද වැඩිවියට  පැමිණි උන්වහන්සේ  අවුරුදු දස දහසක් කල් ගිහිගෙදර  ගත කළා.

අමරගිරි සුරගිරි ගිරිවාහන නම් පරම සිත්ගන්නා තුන්පහයක් උන්වහන්සේටත් හිමිවුණා. උන්වහන්සේත් සතර පෙර නිමිති දැක විශාඛා දේවිය සේන කුමාර නම් පුතු ලැබූ දින සුදස්සන නම් අස් රජුගේ පිට නැගී මහබිනික්මන් කරනු ලැබුවා. උන් වහන්සේ අනුව යමින් නව කෙළක් පුරුෂයෝ මහණ වුණා. ඒ මහා බෝසතාණන් වහන්සේ ඒ වනවිටත් ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධාන වීර්ය කොට අවසන් කරලයි තිබුනේ.  එදා වෙසක් පුන් පොහෝ දිනකයක්. සම්පූර්ණ ශරීරය ප්‍රදර්ශනය කරමින් සිටි සුචින්දර නම් නාගිනියට පිදීම පිණිස මහජනයා විසින් ගෙනෙන ලද රන්පාත්‍රය සහිත වූ මී කිරි මී කිරි බත් පුදන ඒ ජනයා විසින් උන්වහන්සේට පුජා කරනු ලැබුවා.

එය වැළඳීමෙන් අනතුරුව සිය ගණන් තරුණ තරුණයන් සමලංකෘත තරුණපාල වනයෙහි දහවල් දවස ගෙවා සවස ධම්මරුචි නම් නාගයා විසින් දෙන ලද අට තණමිට ගෙන සපුබෝධිය වෙත පැමිණ තෙපනස් රියන් පුළුලැති කුස ඇතිරි අතුරා පර්යංකය වැළඳ සම්බෝධියට පැමිණ සියලු බුදුවරයන් වහන්සේලාට ආචීර්ණ උදම් අනා බෝරුක අසලම සත් සතිය ගතකොට බඹුගේ ධර්මායචනය පිළිගෙන තමන්වහන්සේ සමග පැවිදි වූ නවකෙළක් භික්ෂුන් හට ආර්ය ධර්මාවබෝධයට සමතැන් දැක අහසින් ගොස් අනෝම නුවර අසළ වූ අනෝම උයනෙන් බැස දම්සක් දේශනාව පවත්වනු ලැබුවා. එදින කෙළ ලක්ෂයක් දෙනාට  පළමු ධර්මාවබෝධය වුණා

නැවත ලෝනා භාග්‍යවතුන් වහන්සේ දෙවුලෝ චාරිකාවේ හැසිරෙමින් දහම් දෙසද්දී කෙළ ලක්ෂයක් දෙනාට ධර්මාවබෝධ වුණා. එය දෙවැනි ධර්මාවබෝධයයි.

යම් කලෙක අත්ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩමකොට ධර්ම දේශණා කලාක් මෙන් ශෝභන නගරයට වැඩම කොට ධර්ම දේශණා කරනු ලැබුවා.  එවරත් කෙළ ලක්ෂයක් දෙනාට ධර්මාවබෝධය වුනා. ඒ තෙවැනි ධර්මාවබෝධයයි.


අපේ බුදුහාමුදුරුවෝ 68

පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 02

අත්ථදස්සි බුදුරජුන්ගේ අගසවුවරුන්හට බුදුන් හමුවීම.

සුචන්දක නුවර ශාන්ත රාජ පුත්‍රයාද  උපශාන්ත  පුරෝහිත පුත්‍රයාද  හොඳම යහළුවෝ. හරියටම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ සසර පුරා පැමිණි මිත්‍රත්වය මෙනි. ඒ අත්ථදස්සි බුදුහාමුදුරුවන්ගේ අනාගත අගසවු දෙදෙනායි. ඔවුන් දෙදෙනාම ත්‍රිවේදයෙහි කෙල පැමිණිලයි සිටියේ. එහෙත් ඔවුන්ට ඒ තුලින් යම් සාරයක් සොයාගැනීමට නොහැකිව සිටියේ. ඒ සසර දුකෙන් එතෙර වීමටය. එම නිසාම ඔවුන් නුවර සතර දොරටුවෙහි පණ්ඩිත විශාරද මිනිසුන් සතරදෙනකු නතරකලා. නවත්වලා “ඔබලා යම් පණ්ඩිතයෙකු , මහණෙකු , හෝ බමුණෙකු දුටුවොහොත් අපට දන්වන්න” යනුවෙන් කිවා. ඒ අතර තුර තමයි අත්ථදස්සි බුදුහාමුදුරුවෝ සුචන්දක නුවරට වැඩම කලේ.  දොරටුවේ රැකවල්ලා සිටි පණ්ඩිත විශාරදයන් කලේ බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිස එහි නතර කරවාගෙන විගසින් රාජපුරැෂයන් යවා උන්වහන්සේලාගේ වැඩම කරවීම දැනුම් දීමයි. ඒ කල්ප ගණනක් පෙරුම්පෙරූ  තවත් අගසව්වරු දෙනමකගේ ප්‍රීතිමත්ම මොහොත. සසර පුරාවට මග බලාගෙන සිටි මොහොත. ඔවුන් දුවගෙන පැමිණියේ දසදහසක් වූ මහා පිරිවරත් සමගින්. ඔවුන් ප්‍රථමයෙන් කලේ බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිසට දනට ආරාධනය කිරීමයි. ඊට පස්සේ දින හතක්ම එක දිගටම අසමසම මහදන් දුන්නා. 

ප්‍රථම සන්නිපාතය.

එලෙස සතියක්ම දන් දීලා සත්වෙනි දින මුළු නුවර වැසියන් සමගින් බණ ඇසුවා. එදා අටානුලක්ෂයක්  ඒහි  භික්ෂු පැවිද්දෙන් පැවිදි භූමියට පැමිණිලා රහත් භාවයට පත්වුනා. ඒ පිරිසට භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශණා කරනු ලැබුවා. එය උන්වහන්සේගේ ප්‍රථම සන්නිපාතයයි.

දෙවැනි සන්නිපාතය.

අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේ සිය පුත්‍ර රත්නය වන සේල තෙරුන්ට ධර්මය දේශණා කරන අතරතුර අටාසුදහසක් පහදවා ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කරවා රහත්කොට පාමොක් දේශනා කරනු ලැබුවා. ඒ  දෙවැනි සන්නිපාතයයි.

තෙවැනි සන්නිපාතය.

එදින නවම් පොහෝදිනයක්. ඒ භාග්‍යවතුන් වහන්සේ මහාමංගල සමාගමයෙහි දෙවුමිනිසුන්ට දම්දෙසා හැත්තා අටදහසක් රහත් කරවා පාමොක් දේශණා කරනු ලැබුවා. ඒ තෙවැනි සන්නිපාතයයි.

නියත විවරණ ලබා ගැනීම.

ඒ කාලේ අප මහා බෝසතාණෝ වැඩ වාසය කලේ චම්පක නම් නුවර. උන්වහන්සේ සුසීම නම් ලෝකසම්මත මහාසාර බ්‍රාහ්මණයෙක්. උන් වහන්සේ සියලු ධනය දීන අනාථ දුගිමගී යාචකයනට දන්දී හිමවත සමීපයට ගොස් පැවිදිව පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා මහා සෘද්ධි මහානුභාව ඇතිව මහජනතාවට කුසලාකුසල  ධර්මයන් ගේ නිරවාද්ය සාවද්‍ය බව දක්වා බුද්ධෝත්පාදය බලාපොරොත්තු වෙමින් සිටියා. ඒ කාලේ අත්ථදස්සි ලෝක නායකයානෝ  ලොව  සුදස්සන මහා විහාරයේ අට පිරිස් මැද ධර්ම වර්ෂා වස්වමින් හිටියේ . අප මහා බෝසතාණන්   වහන්සේත්  ඒ ශ්‍රාවකයන් අතර  ධර්මය අසමින් සිටයා. ඒ අකාලික වූ ධර්මය අසා සිතේ ඇතිවුණු සතුට උතුරා ගලා ගොස්  උන්වහන්සේ මහා සෘද්ධි සමාපත්තියෙන් දෙව්ලොවට වැඩම කොට දිව්‍යමය මදාරා පරසතු මල් නෙලා ගෙනවිත් තමන් ආනුභාවය දක්වමින් දෘශ්‍යමාන ශරීරයෙන් සතර දිසාවට චාතූර්දීවීපික  මහා මේඝයක් මෙන් විසුරුනු ලබමින් මදාරා මල් කුඩයක්  දසබලයන් වහන්සේට පූජා කරනු ලැබුවා. ඒ දිව්‍යමය මල්වල සුවඳ මුළු නුවරම පැතිරෙන්න ඇති කියලා මට හිතුනේ මීට ඉහත කියවා තිබූ  කතාවක දෙවිවරුන් පැලද පැමිණි මල් ඔටුන්නක් නිසා මුලු නුවරම සුවඳවත් වූ  කතාවක් මතක් වෙලයි. හැකි විටක ඒ කතාව ලියන්නම්. භාග්‍යවතුන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේට මතු ගෞතම නමින් ලොවෙහි  බුදු වන බව නියත විවරණ දී වදාරනු ලැබුවා.

දෙවු මිනිසුන්ගේ සාදුකාර හඬ නැවතත් දස දහසක් සක්වල  දක්වා පැතිර ගියා. දසපාරමී මෙනෙහි කිරීමේදී මහ පොළොව  කම්පා වුණා . අත්ථදස්සි බුදු හාමුදුරුවන්ගෙන් යම් විදියකින් ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වුනොත් තවත් බුදුවරයෙක් මතුවට අප වෙනුවෙන් සිටින බව දැක දෙව්මිනිසුන් සතුටු වුණා . සමහරවිට අපිත් ඒ අතරෙ ඉන්න ඇති . ඒත් තාමත් සංසාරේ.


අපේ බුදුහාමුදුරුවෝ 69

පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 03

 අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා.

’’අත්‍ථදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සෝභන’’ නම් වී. පියතෙම ’’සාගර’’ නම් රජය. වැදූ මව ’’සුදස්නා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දස දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කෙළේය. ’’අමරගිරිය’’ ය, ’’සුරගිරි’’ ය, ’’ගිරිවාහන’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’විසාඛා’’ නම් වූවාය. පුත් තෙම ’’සෝන’’ නම් වී.

(අත්‍ථදස්සී) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, අස් යානයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩුවූ අටමසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, මහා යසස් ඇති අත්‍ථදස්සී නරදෙටු තෙම, බඹහු විසින් අයදනා ලද්දේ, ’’අනොම’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

අත්‍ථදස්සී ශාස්තෲන් වහන්සේට, ’’සන්ත’’ ද, ’’උපසන්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම අභය නම් වී.

’’ධම්මා’’ ද, ’’සුධම්මා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’සපු ගස’’ යයි කියනු ලැබේ.

’’නකුල’’ ද, ’’නිසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’මකිලා’’ ද, ’’සුනන්දා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

’’අසම සමවූ ඒ බුදුරද තෙමේද අසූ රියනක් උස්විය. (මල් පිපුනු) සල් ගසක් මෙන්ද, පුන්සඳ මෙන්ද බබලයි.

ඒ (අත්‍ථදස්සී) බුදුරජුන්ගේ පියවින්වූ නොයෙක් කෝටි සිය ගණන් රශ්මීහු උඩද, යටද (සහිත) දස දිශාවල යොදුනක් තැන් ඒ කාලයෙහි පැතිරෙත්.

නරදෙටු, සියලු සත්ත්‍වයන්ට උතුම්වූ නුවණින් යුත්, පසැස් ඇති ඒ (අත්‍ථදස්සී) බුදුරජද අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.

ඒ බුදුරජද අසමවූ ආලෝකයක් දක්වා දෙවියන් සහිත ලෝකයන් බබලවා, උපාදානයන්ගේ ගෙවීයාමෙන් (හෙවත් දර දැවී යාමෙන්) ගින්නක් මෙන් (නිවී) අනිත්‍ය බවට පැමිණි සේක.

අත්‍ථදස්සී ජිනවර තෙම ’’අනෝමාරාමයේ’’ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.

තුදුස්වන බුද්ධවංස වර්ණනාව සමාප්තයි .


අපේ බුදුහාමුදුරුවෝ 70

අධිකරණ ව්‍යවහාර පුස්තකයන් හි තිබූ අධාර්මික ව්‍යවහාර අතුරුදහන් කරමින් මෙලොවට බිහිවූ ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 01.

අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අන්තර් කල්පයක් ගත වූවායින් පස්සේ අපරිමිත ආයුෂ ඇති සත්ත්වයින් පිරිහී ගොසින් මිනිසුන්හට වසර ලක්ෂයක පරමායුෂයට පැමිණි කාලයේ ලෝකලොකතර, ලෝකමල නසාලන ලොවට එකම නායක වූ ධම්මදස්සි නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුනා. උන් වහන්සේත් අනෙකුත් බුදුරජාණන් වහන්සේලා මෙන් ඊට පෙරභවයේ වැඩසිටියේ තුසිත දෙවුලොව. නිසිකල පැමිණිවිට දේවාරාධනය පිළිගෙන පස්මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව සරණ නම් නුවර සියලු ජනයාට සරණ වූ සරණ නම් රජුගේ අගමෙහෙසිය වුණ  සුනන්දා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තේ දෙවියන්ගේ සාදුකාර මැද්දේ.

ඒ සරණ නුවර සරණ කියලා මනස්කාන්ත මල් වලින් පිරුන උයනක් තිබුණා.  ධම්මදස්සි බෝසතාණන් වහන්සේ දසමස් ඇවෑමෙන්  සරණ උයනේ වර්ෂාවෙන් පිරුණ අන්ධකාර රාත්‍රියක පෑයූ පුන්සඳක් මෙන්  මෙලොවට මවුකුසින් බිහි වුණා. ඒ මහා පුරුෂයාණන් වහන්සේ මව් කුසින් බිහි වන කොටම හරි පුදුම දෙයක් වුණා . එනම් අධිකරණ ව්‍යවහාර පුස්තකයන් හි තිබූ අධාර්මික ව්‍යවහාර  ඉබේටම අතුරුදහන් වුනා. ධාර්මික ව්‍යවහාර  පමණක් ශේෂ වුණා. ඒ කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ උපත ලබන මොහොතේ ම මිනිසුන් බොහෝ සිල්වත් ගුණවත්වූ බවක්. ඒ නිසාම උන්වහන්සේට නම් තබන දිනයෙදී  රැස් වූ බ්‍රාහ්මණ පිරිස උන්වහන්සේට ධම්මදස්සී කියාම නම් තබනු ලැබුවා.

උන් වහන්සේ වෙනුවෙනුත්  විශේෂ ප්‍රාසාද තුනක් අරජ, විරජ, සුදස්සන කියලා ඉදිවුනා. උන්වහන්සේ වසර අටදහසක්ම එලෙස කම්සැප විඳිමින් එම මාලිගාවන් තුල ගත කලා. විචිකොලි දේවිය ප්‍රමුඛ දහසකට අධික ස්ත්‍රීන් උන් වහන්සේට උපස්ථාන කළා. කොතරම් කාමභෝගී ජීවිතයක් ගත කළත් පෙර සසරෙහි  පුරුදු පුහුණු කරනු ලැබූ අධිෂ්ඨාන සහ පාරමී බලයෙන් සතර පෙර නිමිති දුටු දිනයෙම ගිහිගෙයින් නික්මීමට තීරණය කලත්  එයට බාධාවන අයුරින්ම විචිකොලි දේවිය පුඤ්ඤවඩ්ඪන පුතුව මෙලොවට බිහිකලෙත් එදිනමයි. මේ වනතෙක් ලියු සෑම බුදුවරයෙකුට වගේ  ඒ බාධාව අබිනික්මන දිනයෙහිම පැමිණියේ සැලසුම් කල දෙයක් විලසමයි. එහෙත් රාත්‍රී නින්දෙන් පිබිදුන බෝසතාණන් වහන්සේ දුටු නළගනන්ගේ විකාර රූප දැක හටගත් සංවේගය ඇතිවම අබිනික්මනට සිත එකඟ කරගත්තා.

හරිම පුදුම දෙයක් වුනේ. ඒ සිතූ සැණින්ම උන්වහන්සේගේ සුදර්ශණ ප්‍රසාදය අහසට නැග සිවුරඟසෙන් පිරිවරා දෙවුවිමනක් ලෙස ගොස්  රත්කරව්  (බිම්බිජාල, කුරවක) රුක් මුල බෝධිය සමීපයෙහි බැස සිටියා. මා ලියනා මෙම ලිපි පෙළේ මාලිගාව සමගින් ම අභිනික්මනේ යෙදුනු තුන්වැනි බෝධිසත්වයින් වහන්සේයි මේ. බෝධිසත්වයන් වහන්සේ මාළිගාවෙන් එලියට වඩින විටම මහා බ්‍රහ්මයා කසාවත් ඇතුළු පිරිකර පුජා කරනු ලැබුවා. උන්වහන්සේ ඒ කසාවත් පැළඳ පැවිදිව පැහැයෙන් බැස ඊට නුදුරින් රැඳී සිටියා. ප්‍රාසාදය නැවතත් අහසින් ගොස් බෝරුක මැදිකොට අහසින් බිමට බැස පොළවෙහි පිහිටියා. ඒ වනවිටත් ඒ ප්‍රාසාදය තුල අගබිසව හැර අනෙකුත් පරිවාර ස්ත්‍රීන්ගෙන් පිරී පැවතියා. ඒ සියලූම දෙනාද ප්‍රාසාදයෙන් නික්ම ගොස් අඩගව්වුවක් දුරින් රැඳී සිටියා. එහිදී එහි සිටි ස්ත්‍රීන්ද ඔවුන්ගේ සේවිකාවන්ද හැර සියලු පුරුෂ පක්ෂය උන්වහන්සේ අනුව යමින් මහණ වුනා. තවත් බුදුවරයෙකුගේ විශ්මිත අබිනික්මන දුරේ නිධානයේ එලෙස සටහන් වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 71

ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 02 – සක්දෙවූ රජ ලෙසින් පැමිණ නියත විවරණ ලැබූ අප මහා බෝසතාණෝ.

එදා ධම්මදස්සි බෝසතුන් වහන්සේත් සමග පිරිවර ස්ත්‍රී හැර  කෙළ ලක්ෂයක් පිරිවර පැවිදි වුනා. උන් වහන්සේ දුෂ්කරක් ක්‍රියා කලේ සතියක් පමණයි. උන් වහන්සේගේ බුද්ධත්වයට පෙර වළඳන අවසාන දානය වන මිකිරිබත්  පුජා කරනු ලබන්නේ සංසාරය පුරා පසු පස පැමිණි උන්වහන්සේගේම බිරිඳ විචිකොලි දේවියමයි. ඉන් අනතුරුව ඩෙබර වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ගවපාලකයා දුන් අටතණමිට ගෙන බිම්බිජාල බෝධිය වෙත පැමිණ  තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තෙපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමග පැවිදි වූ කෙළ ලක්‍ෂයක් පිරිසගේ හේතු සම්පත් දැක අටළොස් යොදුනක් එක් දවසකින් ම ගෙවා ඉසිපතන මිගදායට පැමිණ ධර්මචක්‍රය ප්‍රථම වරට කරකවනු ලැබුවා. එහිදී කෙළ ලක්‍ෂයක් භික්ෂුන් වහන්සේලාහට  ප්‍රථම ධර්මාවබෝධය වුනා.

පසු කලෙක “නගර” නම් නුවර සංජය නම් රජ කාමයන්හි ආදීනව ද නෛෂ්කර්මයන්හි ක්ෂේම බව දැන සෘෂි පැවිද්දෙන් පැවිදි වුණා. ඒ සමගම ඔහුගේ පිරිවර ද නව කෙළක් ඔහු සමග පැවිදි වුණා. ඒ සියලුම දෙනා පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභීන් බවට පත්වුණා. ඉන් පස්සේ ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ උපනිශ්‍ර සම්පත් හඳුනාගෙන අහසින් වැඩ  සංජය තාපසයාගේ ආශ්‍රමයට ගොස් අහසේ සිට ඒ තාපස වරුන්ගේ අදහස් පරිදි  බණ දේශණා කොට දහම් ඇස උපදවනු ලැබුවා. ඒ උන් වහන්සේ විසින් කරන ලද දෙවන ධර්මාවබෝධය වුණා.

තවත් දිනක  සක්දෙවිදු දස දසබලයන් වහන්සේ ගෙන්  බණ අසනු රිසිව උන්වහන්සේ වෙත ගියේ ද එකල අසූ කෙලකට තෙවන  ධර්මාවබෝධය වුණා.

ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ සක් දෙව්  රජව දෙව්ලොව  දෙවියන් පිරිවරා අවුත් දිව්‍යමය ගඳින් මලින් දිව්‍ය තූර්ය වාදනයෙන් ද  තථාගතයන් වහන්සේට පුද පූජා කරනු ලැබුවා. ඒ ශාස්තෲන් වහන්සේ ඔහුට මතු ගෞතම නම්න් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. ඒ තූර්ය නාදය  දස දහසක් සක්වළ දක්වා විහිදුනා. තමන් බුදුවන බවට නියත විවරණ දුන් පසුව ඇතිවන ප්‍රීතිය වැනි  ප්‍රීතියක් මොන යම් දිව්‍ය තලයක සිටියත් ලබන්නට බැරැව ඇති.  යම් විදියකින් ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ වෙතින්  ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වුනොත් මතුකල්හී ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අවබෝධ කළ හැකි යැයි සිතා දෙවිවරු උදම් ඇනුවා.   සැනසුම් සුසුම් හෙළුවා සාධුකාර දුන්නා.


අපේ බුදුහාමුදුරුවෝ 72

 ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා.

’’ධම්මදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ උපන් නුවර ’’සරණ’’ නම් වී. පියතෙම ’’සරණ’’ නම් රජය. වැදූ මව් තොමෝ ’’සුනන්‍දා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම බුදුවන්ට පෙර අවුරුදු අට දහසක් ගිහිගෙයි විසී. ’’අරජ’’ ය, ’’’විරජ’’ ය, ’’සුදස්සන’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාකොට සරසන ලද පිරිවර අඟනෝ තුන් දහසකි. බිරින්ද ’’විචිතොලි’’ නම් වූවාය. පුත් තෙම ’’පුඤ්ඤවඩ්ඪන’’ නම් වී.

පුරුෂොත්තමවූ ධම්මදස්සී බුදුරජතෙම සතර පෙර නිමිති දැක, පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දවසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, ධම්මදස්සී නරදෙටු තෙම, බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

ධම්මදස්සී ශාස්තෲන් වහන්සේට, ’’පදුම’’ ද, ’’ඵුස්සදෙව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සුනෙත්ත’’ නම් වී.

’’ඛෙමා’’ ද, ’’සච්චනාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’රත්කරව්’’ ගස යයි කියනු ලැබේ.

’’සුභද්ද’’ ද, ’’කටිසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සාලියා’’ ද, ’’වලීයා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

’’අසම සමවූ ඒ බුදුරජහුද අසූ රියනක් පමණ උසය. දස දහස් ලෝදාහි තෙදින් ඉතා බැබලී.

හොඳින් මල් පිපුණු සල් ගසක් මෙන්ද, අහසෙහි විදුලිය මෙන්ද, ඉර මුදුන් වේලෙහි හිරු මෙන්ද, මෙසේ ඒ බුදුරජතෙම බැබලූ සේක.

අසම තෙද ඇති ඒ බුදුරදුන්ටද (සියලු සත්ත්‍වයන් හා) සමවූ ජීවිතයක් විය. පසැස් ඇති උන්වහන්සේ අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.

අහසෙහි හිරු සඳු දෙදෙනො මෙන් ආලෝකය දක්වා, ශාසනය පිරිසිදු කොට ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙමේද පිරිනිවි සේක.

මහාවීරවූ ධම්මදස්සී බුදුරජතෙම ’’කේසාරාම’’ යෙහිදී පිරිනිවි සේක. එහිම ඒ උතුම් දාගැබ තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)


අපේ බුදුහාමුදුරුවෝ 73

සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 01

බුද්ධශුන්‍ය කල්ප

ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණායින් පස්සේ උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වුනා පමණක් නෙවෙයි. කල්ප එක්දහස් හත්සිය හයක් යනතෙක් ලොවෙහි බුදුවරු පහළ වූයේ නැහැ. එතරම් දීර්ඝ කාලයක් ලොව අවිද්‍යා අඳුරේ ගිලුනා. දෙවු ලොව හිස් වන්නට ඇති වගේම සතර අපා භුමිය සත්ත්වයන්ගෙන් අතුරු සිදුරු නැතිව වැසී යන්නට ඇති. මේ මහා අවිදු අඳුර නිමා කරමින් ලොවට අරුනැලි උදාවන්නට වූයේ ලෝකාර්ථවර පරමර්ථාධිගත සිද්ධාර්ථ නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණායින් පස්සේ.

සිද්ධාර්ථ බෝසතාණෝ ලොව පහළවීම.

සිද්ධාර්ථ බෝසතාණෝ ද පෙරුම් පුරා තුසිත භවනෙහි  ඉපිද එයින් චුතව වේහාර නගරයේ උදේන රජුගේ අගමෙහෙසි පුළුස්සා දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන්  විරිය උයනෙහි මව්කුසින් මෙලොවට බිහි වුණා. උන්වහන්සේ ලෝපහළ වුනායින් පස්සේ තවත්  ආශ්චර්ය ජනක සිදුවීමක් වුණා.  ඒ තමයි සියල්ලන් විසින් පටන් ගත් කර්මාන්ත සාර්ථක වුනා මෙන්ම  ජනයා ප්‍රාර්ථනා කළ සියලු කටයුතුත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වුණා. ඒ නිසාම නම් කරන  දිනයේ ඥාතීන් ඔහුට සිද්ධාර්ථ කියා නම තැබුවා. උන්වහන්සේ අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත්  කෝකා උප්පල පදුම යනුවෙන් තුන් පහයක් වුණා. සෝමනස්ස දේවිය ප්‍රධාන අටසාලිස් දහසක්  ස්ත්‍රීන් උන් වහන්සේට උපස්ථාන කළා.

බුද්ධත්වය සහ ප්‍රථම ධර්මාවබෝධය.

අවසානයේ උන්වහන්සේත් සතර පෙර නිමිති දැක සෝමනස්ස දේවියට අනුපම කුමරු උපන් දින එනම් ඇසළ පුන්පොහෝ දින රන්සිවිගෙයකින් අබිනිකබිනික්මන් කොට විරිය උයනෙහි පැවිදි වුණා.  කෙළ ලක්ෂයක් පිරිවරද උන්වහන්සේ  අනුව යමින් එදිනම මහණ වුණා.ඒ මහා පුරුෂයාණෝ ඔවුන් සමඟ දසමසක් ප්‍රධාන වීර්ය කොට වෙසක් පුන් පොහෝ දිනක අසදිස බමුණුගම සුනෙත්තා නම් බ්‍රාහ්මණ කන්‍යාව  පිදූ මීකිරිබත් වළඳා ඩෙබර වනයෙහි දිවා විහාර කොට සවස වරුණ යවපල්හු ලබාදුන් අටතණමීට ගෙන කිණිහිරි බෝධිය වෙත පැමිණ සතලිස් රියන් පුළුලැති තණඇතිරි අතුරා පර්යංකය වැළඳ සර්වඥතාඥානය ලැබ උදන් අනා එහි සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ කෙල ලක්ෂයක් භික්ෂූන්ගේ සිවුසස් අවබෝධයට සමර්ථතා දැක අහසින් ගොස් ගයා මිගදායෙහි බැස  දම්සක් දේශනා කරනු ලැබුවා. එදින කෙල ලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය වුණා.

දෙවන ධර්මාවබෝධය

නැවත භීමරථ නුවර භීමරථ නම් රජු විසින් ආරාධනය කරනු ලැබූව  නුවර මැද තැනූ සන්ථාගාරයෙහි  වැඩ හිඳ කරවීක නාදය මෙන් මිහිරි කනට සුව පරමමධුර පණ්ඩිතයන්ගේ සිත්ගන්නා අමා අභිෂේකයත් බඳු බඹගොසින් දසදිගුන් පුරවමින් දහම් අමා බෙරය වාදනය කරනු ලැබුවා.  එදින අනූකෙළක්  දෙනාට දෙවන ධර්මාවබෝධය වුනා.

තෙවන  ධර්මාවබෝධය.

යම්කලෙක වේභාර  නගරයෙහි ඥාතීන් හට බුද්ධවංශ දේශනාව කළ සේක් ද එදින අනූ කෙළක් දෙනාට ධර්ම ඇස පහළ වුණා. ඒ තෙවන  අභිසමයයි.


අපේ බුදුහාමුදුරුවෝ 74

සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 02

සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේ  අපේ මහබෝසතාණෝ සූරසේන නම් නගරයේ මංගල නම් බමුණෙකු නමින් උපත ලබා සිටියා. උන්වහන්සේ වේද වේදාංගයන්හි පරතෙරට පත්ව මහා ධනස්කන්ධයකටද උරුමකම් ලැබූ රටේ කීර්තිමත් පුද්ගලයෙකු වශයෙන් යහපත් දිවිපෙවතක් ගතකරමින් සිටියේ.

එහෙත් ඒ කාර්යය බහුල ජිවිතයට උන්වහන්සේ ඇල්මක් දැක්වූයේ නැත්තේසංසාර පුරුද්දටම වගේ. අවසානයේ ඒ කෙළගණනක් වූ ධනස්කන්ධය දුගී මගී ජනයාට දන්දී තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට ඇතුලත් වුනා. උන්වහන්සේට ධ්‍යාන අභිඥා උපදවා ගන්නට වැඩිකලක් ගතවුයේ නැහැ. එලෙස වැඩවිසූ කාලයේ තමයි සිද්ධාර්ථ නම් බුදුවරයෙකු ලොව පහල වී ඇති බව දැනගන්නට ලැබුනේ. උන්වහන්සේ මුලින්ම කලේ බුදුරජාණන් වහන්සේව බැහැ දැකීමට යාමයි.

ඒ සිදුහත් බුදුරජාණන් වහන්සේ සැට රියනක් අහසට උස්වූයේ විය.  රන් ඇගෑවක් (පහන් ගසක්) මෙන් දසදහසක් යොදුන් දක්වා බබලන්නට වුනා. ඉතාම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ වෙත පැමිණි අප මහා බෝසතාණෝ උන්වහන්සේ වෙතින් බණ අසා තවත්  ශ්‍රද්ධාවට පැමිණ සුරසේණ නම් විහාරයට දානය සඳහා ආරාධනා කොට නික්මුණා. ඉන්අනතුරුව සිද්ධාර්ථ බුදුපියාණන් අනුකෝටියක් භික්ෂු පිරිවර සමග නියමිත දිනට සූරසේණ විහාරයට වැඩම කරනු ලැබුවා. ඒ කාලේ දඹදිව දඹගස් අතරින් ඉතා ප්‍රකට දඹගසක් තිබුණා. අප මහා බෝසතාණන් වහන්සේ ඒ දඹපල නෙලා ගෙනවුත් බුදුරජාණන් වහන්සේ ඇතුලු පිරිසට  එයින් සංග්‍රහ කරනු ලැබුවා. ඉන්පසුව ඒ ශාස්තෘන් වහන්සේ පල වළඳා මෙයින් සිවුඅනූ කපකින් මතු ගෝතම නම් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ අසමවූ, මහර්ෂීවූ ඒ බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇතිව මේ තවත් බුදුපැලයෙකැයි,  කුහුල්හඬ නංවමින්, අත්පොලසන් දෙමින්, සතුටින් සිනහසෙමින්, දෑත් එක්කරමින්  නමස්කාර කරන්නට වුනා. යම්හෙයකින් මෙම සස්නේ මගඵල ලබන්නට නොහැකි වුවහොත් අපි මතු ගෞතම බුදුසසුණේ හමුවී කෙලෙස් නදිය තරණය කරමු යනුවෙන් සැනසුම් සුසුම් හෙළන්නට වුනා. ඔබත් මමත්  ඒ අතර ඉන්නට නොහැකි යැයි කිසිවෙකුට හෝ කිවහැකි නොවුවත් අප සැවොම මේ සසරේ අදටත් යනුවෙන් අප සැමටම මේ මොහොතේ ස්ථිර වශයෙන්ම සනාථ කල හැකියි.


අපේ බුදුහාමුදුරුවෝ 75

සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා.

ධම්මදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි ’’සිද්‍ධත්‍ථ’’ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහසට නැගී හිරු යම්සේද, එසේ විය.

උන්වහන්සේද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක්, දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.

මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ගේ (උපන්) නුවර ’’වේභාර’’ නම් වී. පියරජ තෙම ’’උදෙන’’ නම් වී. වැදූ මව් ’’පුස්සා’’ නම් වූවාය.

බුදුරජතෙම අවුරුදු දස දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසීය. ’’කෝකාස’’ ය, ’’උත්පල’’ ය, ’’කෝකනද’’ ය යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’අනූපම’’ නම් වී.

(සිද්‍ධත්‍ථ) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, සිවිකා (දෝලා විශේෂයක් වන) යානයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, සිදුහත් ලෝනාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් උතුම් නුවරෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ට, ’’සම්බල’’ ද, ’’සුමිත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’රේවත’’ නම්.

’’සීවලා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’කිණිහිරි’’ ගස යයි කියනු ලැබේ.

’’සුප්පිය’’ ද, ’’සමුද්ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රම්මා’’ ද, ’’සුරම්මා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ සිදුහත් බුදුරජ සැට රියනක් අහසට උස්වූයේ විය. රන් ඇගෑවක් (පහන් ගසක්) මෙන් දසදහසක් යොදුන් තැන් බබලවයි.

දීපඞ්කර ආදී බුදුවරයන් හා සමවූ, අසමානවූ, තමහට සමාන පුද්ගලයෙකු නැති, පසැස් ඇති ඒ බුදුරජද, අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.

පිරිසිදු ආලෝකයක් දක්වා, සව්වන් පුබුදු කරවා, සමවතින් බබුලුවා, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

වස්ස ථූපවරො, චතුයොජනමුග්ගතොති.

මුනිවරවූ සිදුහත් බුදුරජතෙම අනෝමාරාමයේදී පිරිනිවි සේක. එහිම උතුම් සෑය සිව් යොදුනක් උස්වී. (උස්ව බැන්දේය.)


අපේ බුදුහාමුදුරුවෝ 76

ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ  01

තිස්ස බුදුරජුන්ගේ ලොව පහළවීම.

ඒ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට පස්සේ එක කල්පයක්ම පුරාම බුදුවරු ලොව පහළ වුනේ නැහැ. ඔබ මේ වනවිටත් දැනගත යුතුයි කල්පයක දීර්ඝ බව.  යම් කල්පයක බුදුවරු දෙනමක් පහළවේද එවැනි කල්පයට කියනවා මණ්ඩකල්පය කියලා. මේත් එවැනිම කල්පයක්.  තිස්ස, ඵුස්ස යනුවෙන් එකම කල්පයේ බුදුවරු දෙනමක් ලොව පහළවුණේ තවත් දීර්ඝ ගණිතයමය වශයෙන් ගණනය කල නොහැකි කාලයකට පස්සේ.

තිස්ස නම් මහා පුරුෂයාණෝ පෙරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුත වී ඛේම නුවර සච්චසන්ධ නම් රජුගේ අගමෙහෙසිය වූ පියුම් පෙති වන් නුවන් ඇති පදුම නම් දේවියගේ කුසතුළ පිළිසිඳ ගෙන දසමස් ඇවෑමෙන් අනෝම නම් මනහර මල් උයනේ මවුකුසින් මෙළොවට බිහිවුණා.  සෑම බෝසත් වරයෙකුගේම   පියාණන් විසින් තම ආදරණීය පුතුණුවන් ගිහිගෙයි රඳවා ගැනීමට සෘතු අනුව නිමකළ අති රමණීය ප්‍රසාද තුන මුන්වහන්සේටද නිම වුනා. ඒ ගුහසෙල, නාරිය, නිසභ නමින්. සුභද්දා දේවිය ප්‍රමුඛව තිස් දෙදහසක් ස්ත්‍රීන් උන් වහන්සේට උවැටන් කලේ තව දුරටත් ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට නොහොත් ගිහිගෙයි හැර නොයාමට වගබලා ගැනීමටයි. එත් ඒ සියල්ලන්ම මග හරවමින් උන්වහන්සේටත් අන් බෝසත්වරයන්හට මෙන්ම සතර පෙරනිමිති පෙන්වීමට දෙවිවරු දක්ෂවුනා පමණක් නොවෙයි ඒ දුටු දිනම සිහිඑළවී ගිහිගෙය අතහැර යන බව ඔවුන් දැන සිටියා.

අබිනික්මන සහ බුද්ධත්වයට පැමිණීම.

ඒ ලෙසම උන්වහන්සේත් සතර පෙර නිමිති දැක ගිහිගෙයින් නික්මීමට සැරසෙන විටම තවත් බන්ධනයක් වන තම කුළුඳුල් පුත් කුමරු මෙළොව එලිය දුටුවා. ඒ සියල්ල පරයා යන සංසාරෙහි වැඩු පාරමිතාවක් ඒ මොහොතේ මෝරමින් තිබුනේ. ඒ වනවිටත් ඔහු වසර හත්දහසක් ගිහිගෙයි ගතකොට තිබුනා. එදින රාත්‍රියේම සෝණුත්තර නම් අසුපිටින් ඒ අනේක වූ සැප සම්පත් අතහැර මහාබිනික්මන් කොට පැවිදි වුනා. ඒ පැවිදි වුනේ තනියෙම නෙවෙයි. කෝටියක් පිරිවර සමගයි. ඉන් අනතුරුව මාස අටක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින වීර නියම්ගමෙහි වීර සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි විජිතසංගාම නම් යවපාලකයා දුන් කුස තණ මිටි අට ගෙන පියාබෝධිය වෙත ගොස්  තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී හතළිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදාන වාක්‍යය ප්‍රකාශ කරනු ලැබුවා.

මංගල ධර්ම දේශණය සහ ප්‍රථම ධර්මාවබෝධය.

ඉන් අනතුරුව සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි බලන කල  හංසවතී නුවර බ්‍රහ්මදේව හා උදයන යන හේතු සම්පත් ඇති දෙරජකුමරුවන් දෙදෙන දැක අහසින් වැඩ හංසවතී නුවර මිගදායෙහි  බ්‍රහ්මදේව උයනෙහි බැස උයන්පල්ලන් ලවා රජ කුමරුවරු කැඳවා පිරිවර සහිත ඔවුනට අවිසාරී ව්‍යාපී මධුර බ්‍රහ්මස්වරයෙන් දසදහස්ශ්‍රි ලෝකධාතුවටද හඟවමින් දම්සක් පවත්වන්නට වුනා. එවෙලෙහි සියකෝටියක් දෙනාට ධර්මාවබෝධය වුනා. ඒ ප්‍රථමාභිසමයයි.

දෙවන ධර්මාවබෝධය

පසුකාලෙක තිස්ස ශාස්තෘන් වහන්සේ සමග මහණ වූ භික්ෂුන් කෝටියක් දෙනා මහාපුරුෂයාණන්ගේ ඝනවාසය අතහැර බෝමුලට වඩින සමයේ වෙනත් තැන්වලට ගොසින් සිටි නිසා පසුව තිස්ස බුදුරජාණන් වහන්සේ දම්සක් පවසනු බව අසා පැමිණ උන්වහන්සේට වන්දනා කොට පිරිවරා  සිටියා. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලාටත් දම්සක් දේශණා කරනු ලැබුවා. එකල අනුකෝටියකට දෙවන ධර්මාවබෝධය වුනා.

තෙවන ධර්මාවබෝධය

නැවත මහා මංගල සමාගමයෙහි මංගල දේශනාව කෙළවර හැටකෝටියකට ධර්මාවබෝධය වුනා. එය තෙවන ධර්මාවබෝධයයි.


අපේ බුදුහාමුදුරුවෝ 77

ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ  02

තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපගේ බෝසතාණන් වහන්සේ හිටියේ යසවතී නුවර සුජාත නමින් රජෙකුව. කෙළ ගණනක් වූ මහත් ධනරාශියෙන් අනුරාගයට පත් වූ ඒ අසිරිමත් යසවතී ජනපදයද රජකමද අනෙකුත් ලෞකික සැප සම්පත්ද කෙරෙහි කලකිරී ඒ සියල්ල  දිරාපත් පරඬැලක් සේ අතහැර  වනගත වුයේ සංසාර පුරුදු ඉස්මතුවිමෙන්ම වගේ. ඒ වෙනෙකක් නිසා නොව අප වෙනුවෙන්ම නිවන සොයමින් පැමිණියා වූ මග හමු වූ පන්ලක්ෂ දොළොස්දහසකට වැඩි වූ බුදුවරුන් අතරින් තවත් සුවිශේෂ බුදුවරයෙකු හමුවීමට ඇති මහා භාග්‍ය අතැතිවයි. තවුස් පැවිද්දෙන් පැවිදි වූ උන්වහන්සේ හට මහත් වූ සෘද්ධි ධ්‍යාන අභිඥා ලැබීමට වැඩි දිනක් ගියේ නැත්තේ අනන්ත වූ සසරේ වැඩි පුරම එවැනි උත්තරීතර තත්ත්වයන් ලබා තිබු නිසාමයි. ඒ නිසාම උන්වහන්සේගේ සිතේ ඊර්ශ්‍යා මාන ක්‍රෝධ තිබුනේම නැහැ. බුදුන් ලොව පහල වූ බව අසා පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු සහිතව අනතිමානී ගුණයෙන් තිස්ස භාග්‍යවතුන් වහන්සේ වෙත ගිය අප මහා බෝසතාණෝ මෙලෙස සිතන්නට වුනා.

මම භාග්‍යවතුන් වහන්සේව මල්වලින් අග්‍ර යම් මලක්වේද එයින් පුදන්නට ඕනේ. එහෙම හිතනකොටම උන්වහන්සේට මතක් වුනේ තවුතිසාවේ චිත්‍රලතා උයන.  ඒ චිත්‍රලතා උයනේ අලංකාරය ගැන ඛුද්දකනිකායේ විත්‍රලතා විමානවත්ථු කතාවේ  මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙලෙස පවසනවා.

“තවුතිසා වැස්සන්ගේ ශ්‍රේෂ්ඨ උයනවූ චිත්‍රලතා වනය යම්සේ බබළයිද, එබඳුවූ නුඹගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ. මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද?”

ඇත්තෙන්ම එවැනි දිව්‍යමය උයනකට පෘථග්ජන මනසකින් අප වැනි පුද්ගලයන් ගියහොත් මල් නෙලාගෙන යලිත් බුදුන් පුදන්නට එන්නට මතක් වන එකක් නැහැ. එහෙත් පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභී උත්තමයෙකුගේ සිත එහෙම නෙවෙයි.

එසේ සිතු සැනින්ම බෝසතාණන් වහන්සේ සෘද්ධියෙන් අහසට නැග තවුතිසාවෙහි චිත්‍රලතා වනයට පැමිණෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ.

අප මහා බෝසතාණෝ පියුම්, පරසතු, මදාරාදී දිවකුසුමින් රුවන්මුවා ගවුවක් පමණැති කරඬුවක් පුරවාගෙන අහසින් අවුත්  භාග්‍යවතුන් වහන්සේව පුදනු ලැබුවා. එක් මිණිදඬු ඇති රන්මුවා කෙමි ඇති පියුම්රාමිණිමුවා කොළ ඇති සුවඳ කෙසුරු ඇති කුඩයක් බඳු පද්ම ඡත්‍රයක් (මල් කුඩයක්) භාග්‍යවතුන් වහන්සේගේ සිරසට දරමින් සිවු පිරිස් මැද නොසෙල්මන්ව සිටියා. මේ සියල්ල මහා කාරුණික දෙනතින් බලා සිටි තිස්ස භාග්‍යවතුන් වහන්සේ මෙයින් කල්ප අනුදෙකකින් පසු මොහු ගෝතම නමින් බුදුවන්නේ යැයි දේශණා කොට වදාරනු ලැබුවා.

කල්ප ගණනකට පසු නැවතත් දෙවිවරුන්ගේ සාදු කාර නාදය ද අත්පොලසන් හඬද සක්වලින් සක්වලට පැතිර ගියා. තවත් බුද්ධ අංකුරයක් යයි සතුටු සිනහ සලමින් තව තවත් මදාර පරසතු මල් දසත විහිදෙන්නට වුනා.  අප වෙනුවෙන්ම තවත් වරක් නිවන අතහැරු මොහොතක් එලෙස දුරේ නිධානයෙහි මෙලෙස සටහන් වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 78

ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ  03

 තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

මහ තවුස්වූ තිස්ස බුදුරදුන්ගේ (උපන්) නගරය ’’ඛෙමක’’ නම් වී. පිය තෙම ’’ජනසන්‍ධ’’ නම් රජය. වැදූ මව් ’’පදුමා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු හත් දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කළේය. ’’ගුහාශෙල’’ ය, ’’නාරී’’ ය, ’’තිස්ස’’ ය යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සමතිස් දහසක් වූහ. ප්‍රසිද්‍ධවූ බිරිඳ ’’සුභද්දා’’ නම් වූවාය. පුත් තෙම ’’ආනන්‍ද’’ නම් වී.

(තිස්ස) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, අස් යානයෙන් (අස් රියෙන්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, ’’තිස්ස’’ නම් ලෝනාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් ’’යසවතී’’ නම් වනයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ ’’තිස්ස’’ බුදුරදුන්ට, ’’බ්‍රහ්මදෙව’’ ද, ’’උදය’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සුමඞ්ගල’’ නම් වී.

’’ඵුස්සා’’ ද, ’’සුදත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’පියා’’ (මොර) ගස යයි කියනු ලැබේ.

’’සම්බල’’ ද, ’’සිරි’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’කිසාගෝතමී’’ ද, ’’උපසේනා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

පස්මරුන් දිනූ ඒ බුදුරජ තෙමේද උසින් සැට රියනක් ඇත්තේ වී. උපමා රහිතවූ සේක්, අසමවූ සේක්, හිමාලය පර්‍වතය මෙන් දක්නා ලැබේ.

අසම තෙද ඇති ඒ බුදුරදුන්ගේද ආයුෂය ඉතා දික්වූයේත්, ඉතා මඳ නොවූයේත් විය. පසැස් ඇති උන්වහන්සේ අවුරුදු සියක් දහසක් ලෝකයෙහි වැඩ සිටි සේක.

උතුම්වූ, ප්‍රවරවූ, ශ්‍රේෂ්ඨවූ මහා යසස් විඳ, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

පවනින් මේ කුලක් (වැහි වලාකුලක්) මෙන්ද, හිර කරණකොට පිනි මෙන්ද, පහනින් අඳුර මෙන්ද, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

ජිනරාජවූ තිස්ස බුදුරජතෙම ’’නන්‍දාරාමයෙහි’’ දී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උස්වී. (තුන් යොදුනක් උසට බඳින ලදී.)


අපේ බුදුහාමුදුරුවෝ 79

ඵුස්ස බුදුහාමුදුරුවෝ 01

ඒ කල්පයේ තිස්ස බුදුරජාණන්වහන්සේට පස්සේ ලෝකයේ ආයුෂ අනුක්‍රමයෙන් හානියට පත් වෙන්නට පටන් ගත්තා. පිරිහුණා ආයුෂ නැවතත් අවුරුදු අනූදහසක් දක්වා වැඩි වුනායින් පස්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණ. උන්වහන්සේගේ නම ඵුස්ස.

උන්වහන්සේත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම මේ සසර ගමන අවසන් කිරීමට පෙර අවසන් දිව්‍ය තලය ලෙස ඉපදුනේ තුසිත දිව්‍යලෝකයේ  .අනේක අප්‍රමාණ සැප සම්පත් භුක්ති විදිමින් උන්වහන්සේ අවුරුදු ලක්ෂ ගණනක් තුසිත දිව්‍ය ලෝකයේ ගත කළා. අවසානයේ  අනෙකුත් බෝසතාණන් වහන්සේලා හට වගේම  උන්වහන්සේටත් දස දහසක් සක්වල දෙවිවරුන් රැස්වී දැන් ලොව ඉපදෙන්නට කාලය යැයි ආරාධනය කළා. උන්වහන්සේ පස්මහ බැලුම් බලා ඒ ආරාධනය පිළිගෙන තුසිත දෙව්ලොවින් චුතව කසීනුවර ජයසේන රජුගේ අග මෙහෙසිය වූ සිරිමා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තා. ඒ මොහොතෙත් අතීතයේ මෙන් ම අසාමාන්‍ය දෙතිස් පෙර නිමිති ලෝකයේ  විද්‍යාමාන වුණා. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් වහන්සේ මෙලොවට බිහිවුණේ සිරිමා මල් උයනේ. පුන පුනා  නොකිව්වත් පිලිසිදගත් දා  පටන්  බුදු වන තෙක් සෑම බෝසත්වරයෙක් ම  දෙවිවරුන්ගේ විශාල ආරක්ෂාවක් යටතේ  ඉන්නෙ කියලා නැවත මතක් කරන්න ඕනේ. ඒ ගැන වැඩි විස්තර සිද්ධාර්ථ කුමාරයාගේ උපතේදී කිව හැකියි .

උන්වහන්සේත් අවුරුදු හය දහසක්  ගිහිගෙයි වාසය කලා. ඒ සඳහාම ගරුළ,  හංස, සුවන්නභර නමින් අනේක විධ සැප සම්පත් සහිත ප්‍රසාද තුනක් ඉදි වී තිබුණා. උන්වහන්සේගේ අග බිසව වූයේ කිසාගෝතමියයි. කිසා ගෝතමිය ප්‍රමුඛ තිස් දහසක් පමණ අතිශය රූමත් ස්ත්‍රීන් උන් වහන්සේට උපස්ථාන කළා. ඒ සියල්ලම ගිහි ගෙයි රඳවා ගැනීමට කල උපක්‍රම.

සෙමෙන් කාලය ගත වෙද්දි ඵුස්ස බෝධිසත්වයන් වහන්සේට දෙවියන් විසින් සතර පෙර නිමිති  පෙන්වා දෙනු ලැබුවා. එදිනම කිසාගෝතමිය අනුපම නම් පුතු මෙලොවට  බිහිකළා. පුතු මෙලොවට බිහි වූ දිනයේම ඒ මහා බෝසතානෝ සරසන ලද ඇත් කඳ මත නැගී මහබිනික්මන් කර පැවිදි දිවියට ඇතුළත් වුණා. කෝටියක් පිරිවර ද  උන්වහන්සේ ඒ අනුව යමින් පැවිදි දිවියට ඇතුළත් වුණා. ඒ පිරිසත් සමඟ හය මසක් ම ප්‍රධාන වීර්යය වැඩු වා. ඉන් අනතුරුව ඒ මහා බෝසතාණෝත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ පිරිසෙන්  හුදෙකලා වුනේ වෙසක් පොහෝ දිනයට  සතියකට මත්තෙන්. වෙසක් පොහෝ දිනයකට එළිය වැටුණේ අවිද්‍යා ගණ අන්ධකාරේ දුරලන තවත්  දිනයකට හිරු උදා කරමින්. ඒ වන විටත් සිරිවඩ්ඪා සිටි දියණිය මීකිරිබත් පිළියෙල කරමින්  සිටියේ.  ඇය විසින් පූජා කරන ලද මීකිරි බත් උදෑසනින්ම  වැළඳු ඒ මහා බෝසතානෝ ඇට්ටේරිය වනයෙහි දී දිවාවිහාර  කොට සවස් වරුවේ  සිරිවඩ්ඩ නම් තාපසයා දුන්  අටතණමීට ගෙන නෙල්ලිබෝධිය වෙත පැමිණ අටතිස් රියන් තණ ඇතිරිය අතුරා බුදු බවට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග මහණ වූ කෙළක් භික්ෂූන් ධර්මාවබෝධයට සමත්බැවු දැක අහසින් අවුත් සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි  බැස උන්වහන්සේලා මැද දම්සක් පවත්වන්නට වුනා. එදා කෙළලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය වුනා.

යම් කාලෙක බරණැස නුවර සිරිවඩ්ඩ නැමති සිටුවරයෙකු මහා සම්පත් අතහැර තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට අතුලුවුනා.   උන්වහන්සේත් සමග පැවිදිබිමට ඇතුළු වූ පිරිවර අනුලක්ෂයක් පමණ වුනා. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ධර්මය දේශනා කළා. එවිට ඒ අනුලක්ෂයකට දෙවැනි ධර්මාභිසමය වුනා.

තවත් දිනක සිය පුත් අනුපුම කුමරුට ධර්මය දේශනා කරනු ලැබුවා. එකල අසුලක්ෂයකට තෙවන ධර්මාභිසමය වුනා.  ඒ මහාකාරුණිකයාණෝ මෙලෙස ලක්ෂ ගණනින් මිනිසුන් සංසාර දුකෙන් එතෙර කරවන්නට වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 80

ඵුස්ස බුදුහාමුදුරුවෝ 02

ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය

බුදුන්ගේ කාලයේ උපතලබන හැමෝම අරහත්වය ප්‍රාර්ථනය කරගෙන ආපු අය නිසාදෝ අරහත්වයට පත්වන්නේ එකවර ලක්ෂ ගණනින්. ඒකාලේ  කුන්නකුජ්ජ නගරයෙහි රජකම් කල රජතුමාගේ පුතාගේ නම සුරක්ඛිත. රජ්ජුරුවන්ගේ පුරෝහිතයාගේ පුතාගේ නම ධම්මසේන. සුරක්ඛිත රාජ කුමාරයයි ධම්මසේන පුරෝහිත පුත්‍රයයි හොඳ යාලුවෝ. ඒ යාළුකම ආවේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේ කල්ප ගණනක් එකට අගසවු තනතුර ද පතමින්. මේ ඔවුන්ගේ ඒ පරම පිවිතුරු ප්‍රාර්ථනාව උදාවෙන අවසන් ආත්මභවය.  ඵුස්ස බුදුහාමුදුරුවෝ කුන්නකුජ්ජ නගරයට වඩින්නේ ඒ බව නොදැනම  නොවේ. බුදුරජාණන් වහන්සේ වඩින බව අසා ඒ අඹ යහළුවන් දෙදෙනා පෙරමගට ගමන් කලේ හැට ලක්ෂයක් පිරිවර සමග. ඒ සියලුම දෙනාම ඒ අවසන් ගමන සඳහා සසර පුරා එකටම  පැමිණි පිරිවර. ඔවුන් බුදුරජාණන් වහන්සේ මුණගැසී වැඳ ආරාධනය කොට දින හතක්ම පුරාම දන් දෙන්නට වුනා. අවසානයේ සියලු දෙනා පැවිදිව අරහත්වය සාක්ෂාත් කරගත්තා. ඒ හැටලක්ෂයක් වූ භික්ෂුසංඝයා මැද ඵුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාමොක් දේශනා කරන්නට වුනා. එය ප්‍රථම ශ්‍රාවක සන්නිපාතයද වුනා.

දෙවන ශ්‍රාවක සන්නිපාතය

ඒ කාලේ තවත් ජනපදයක් තිබ්බ කාසි නමින්. ඒ ජනපදයේ රජුගේ නම ජයසේන. ඵුස්ස බුදුරජාණන් වහන්සේ ඒ නගරයට වැඩම කොට ජයසේන රජතුමා ඇතුළු  හැටක් පමණ වූ නෑ පරපුරට බුද්ධවංශය දේශනා කරන්නට වුනා. ඒ මොහොතේ ඔවුන්ට අමතරව ඔවුන්ගේ පනස්ලක්ෂයක් වූ පිරිවර ද ධර්මශ්‍රවණයට එකතු වුනා.  ඒ බුද්ධවංශ කතාව,  බුදුගුණ වරුණ  බුදුකෙනෙකුගේ මුවින්ම සුමදුර ලෙස දේශනා කරනකොට මොනතරම් ලස්සනක් තියෙන්නට ඇතිද? මොනතරම් ශ්‍රද්ධාවක් ඇතිවන්නට ඇතිද? අවසානයේ ඒ කතාව අසා පනස්ලක්ෂයක් දෙනා ඒහිභික්ඛු පැවිද්දෙන් පැවිදිව අරහත්වයට පත්වුනා. උන්වහන්සේලා මධ්‍යයේ බුදුරජාණන් වහන්සේ පාමොක් දේශනා කරනු ලැබුවා. එය ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ශ්‍රාවක සන්නිපාතයද වුනා.

තෙවන ශ්‍රාවක සන්නිපාතය

නැවතත් මහාමංගල සමාගමයෙහි මංගල කතා අසා හතලිස් ලක්‍ෂයක් මහණව රහත්වුනා. උන්වහන්සේලා මැදටවන් උන්වහන්සේ පාමොක් දේශණා කරන්නට වුනා. එය ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ශ්‍රාවක සන්නිපාතයද වුනා.

නියත විවරණ 

ඒ කාලේ අප මහා බෝධිසත්වයන් වහන්සේ අරිමන්ද නම් නුවර විජිතවී නමින් රජෙකුව සිටියේ.   ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඉතාම පැහැදුණු ඒ රජතුමා උන් වහන්සේ ඇතුළු ඒ ලක්ෂගණනක් වූ භික්ෂු සංඝයා හට මහා දන් පුදා අවසානයේ ඒ මහා රාජධානියද රජකමද අලුයම ඉවත ලූ කෙළපිඬක්සේ  අතහැර පැවිදි දිවියට ඇතුළු වී  මුළු තුන්පිටකයම ඉගෙනගනිමින් අවසන්කොට ත්‍රිපිටකධාරීව මහජනයාට ධර්මය දේශණා කරන්නට වුනා. ඒ සමගම සීල පාරමිතාවද පුරන්නට වුනා. අවසානයේ  ඵුස්ස බුදුරජාණන් වහන්සේද අප මහා බෝසතාණන් හට මතු ගෝතම නමින් බුදුවන බවට නියත විවරණ දී වදාරන්නට වුනා. නැවතත් දෙවියන්ගේ සාදුකාර හඬ මේ සක්වළ පුරාම පැතිරෙන්නට වුනා. ඔබත් මමත් ඇතුළු මේ මුළු මිනිස් ප්‍රජාවක්ම වෙනුවෙන් අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ නැවතත්  මේ සසරෙහිම රැඳී සිටිමින් දස පාරමී මහා පොළව සෙලවී යන අයුරින් දැඩි ලෙස මෙනෙහි කරන්නට වුනා.

අපේ බුදුහාමුදුරුවෝ 80

ඵුස්ස බුදුහාමුදුරුවෝ 02

ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය

බුදුන්ගේ කාලයේ උපතලබන හැමෝම අරහත්වය ප්‍රාර්ථනය කරගෙන ආපු අය නිසාදෝ අරහත්වයට පත්වන්නේ එකවර ලක්ෂ ගණනින්. ඒකාලේ කුන්නකුජ්ජ නගරයෙහි රජකම් කල රජතුමාගේ පුතාගේ නම සුරක්ඛිත. රජ්ජුරුවන්ගේ පුරෝහිතයාගේ පුතාගේ නම ධම්මසේන. සුරක්ඛිත රාජ කුමාරයයි ධම්මසේන පුරෝහිත පුත්‍රයයි හොඳ යාලුවෝ. ඒ යාළුකම ආවේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේ කල්ප ගණනක් එකට අගසවු තනතුර ද පතමින්. මේ ඔවුන්ගේ ඒ පරම පිවිතුරු ප්‍රර්ථනා උදාවෙන අවසන් ආත්මභවය. ඵුස්ස බුදුහාමුදුරුවෝ කුන්නකුජ්ජ නගරයට වඩින්නේ ඒ බව නොදැනම නොවේ. බුදුරජාණන් වහන්සේ වඩින බව අසා ඒ අඹ යහළුවන් දෙදෙනා පෙරමගට ගමන් කලේ හැට ලක්ෂයක් පිරිවර සමග. ඒ සියලුම දෙනාම ඒ අවසන් ගමන සඳහා සසර පුරා එකටම පැමිණි පිරිවර. ඔවුන් බුදුරජාණන් වහන්සේ මුණගැසී වැඳ ආරාධනය කොට දින හතක්ම පුරාම දන් දෙන්නට වුනා. අවසානයේ සියලු දෙනා පැවිදිව අරහත්වය ශාක්ෂාත් කරගත්තා. ඒ හැටලක්ෂයක් වූ භික්ෂුසංඝයා මැද ඵුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාමොක් දේශනා කරන්නට වුනා. එය ප්‍රථම ශ්‍රාවක සන්නිපාතයද වුනා

දෙවන ශ්‍රාවක සන්නිපාතය

ඒ කාලේ තවත් ජනපදයක් තිබ්බ කාසි නමින්. ඒ ජනපදයේ රජුගේ නම ජයසේන. ඵුස්ස බුදුරජාණන් වහන්සේ ඒ නගරයට වැඩම කොට ජයසේන රජතුමා ඇතුළු හැටක් පමණ වූ නෑ පරපුරට බුද්ධවංශය දේශනා කරන්නට වුනා. ඒ මොහොතේ ඔවුන්ට අමතරව ඔවුන්ගේ පනස්ලක්ෂයක් වූ පිරිවර ද ධර්මශ්‍රවනයට එකතු වුනා.  ඒ බුද්ධවංශ කතාව,  බුදුගුණ වරුණ  බුදුකෙනෙකුගේ මුවින්ම සුමදුර ලෙස දේශනා කරනකොට මොනතරම් ලස්සනක් තියෙන්නට ඇතිද? මොනතරම් ශ්‍රද්ධාවක් ඇතිවන්නට ඇතිද? අවසානයේ ඒ කතාව අසා පනස්ලක්ෂයක් දෙනා ඒහිභික්ඛු පැවිද්දෙන් පැවැදිව අරහත්වයට පත්වුනා. උන්වහන්සේලා මධ්‍යයේ බුදුරජාණන් වහන්සේ පාමොක් දේශනා කරනු ලැබුවා. එය ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ශ්‍රාවක සන්නිපාතයද වුනා.

තෙවන ශ්‍රාවක සන්නිපාතය

නැවතත් මහාමංගල සමාගමයෙහි මංගල කතා අසා හතලිස් ලක්‍ෂයක් මහණව රහත්වුනා. උන්වහන්සේලා මැදටවන් උන්වහන්සේ පාමොක් දේශනා කරන්නට වුණා. එය ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ශ්‍රාවක සන්නිපාතයද වුනා.

නියත විවරණ 

ඒ කාලේ අප මහා බෝධිසත්වයන් වහන්සේ අරිමන්ද නම් නුවර විජිතාවී නමින් රජෙකුව සිටියේ.   ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඉතාම පැහැදුණු ඒ රජතුමා උන් වහන්සේ ඇතුළු ඒ ලක්ෂගණනක් වූ භික්ෂු සංඝයා හට මහා දන් පුදා අවසානයේ ඒ මහා රාජධානියද රජකමද අලුයම ඉවත ලූ කෙළපිඬක්සේ අතහැර පැවිදි දිවියට ඇතුළු වී  මුළු තුන්පිටකයම ඉගෙනගනිමින් අවසන්කොට ත්‍රිපිටකධාරීව මහජනයාට ධර්මය දේශනා කරන්නට වුණා. ඒ සමගම සීල පාරමිතාවද පුරන්නට වුණා. අවසානයේ ඵුස්ස බුදුරජාණන් වහන්සේද අප මහා බෝසතාණන් හට මතු ගෝතම නමින් බුදුවන බවට නියත විවරණ දී වදාරන්නට වුණා. නැවතත් දෙවියන්ගේ සාදුකාර හඬ මේ සක්වළ පුරාම පැතිරෙන්නට වුණා. ඔබත් මමත් ඇතුළු මේ මුළු මිනිස් ප්‍රජාවක්ම වෙනුවෙන් අප මහා බෝධිසත්වයන් වහන්සේ නැවතත් මේ සසරෙහිම රැඳී සිටිමින් දස පාරමී මහා පොළව සෙලවී යන අයුරින් දැඩි ලෙස මෙනෙහි කරන්නට වුනා.

අපේ බුදුහාමුදුරුවෝ 81

ඵුස්ස බුදුහාමුදුරුවෝ 03

ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ ඵුස්ස බුදුරදුන්ගේ (උපන්) නුවර’’කාසි’’ නම් වී. පිය තෙම’’ජයසේන’’ නම්. වැදූ මව්’’සිරිමා’’ නම් වූවාය.

ඵුස්ස බුදුරජතෙම අවුරුදු හය දහසක් ගිහිගෙයි විසී. ’’ගරුළ’’ ය,’’හංස’’ ය,’’සුවන්නභර’’ ය යයි උතුම් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද’’කිසාගොතමී’’ නම් වූවාය. පුත් තෙම’’අනූපම’’ නම් වී.

පුරුෂොත්තමවූ බුදුරජතෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සමසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, නරදෙටුවූ,’’ඵුස්ස’’ නම් ලොවග නාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ’’ඵුස්ස’’ බුදුරදුන්ට,’’සුඛිත’’ ද’’ධම්මසෙන’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’සභිය’’ නම් වී.

’’සාලා’’ ද,’’උපසාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’නෙල්ලි’’ ගස යයි කියනු ලැබේ.

’’ධනඤ්ජය’’ ද,’’විසාඛා’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’පදුමා’’ ද,’’නාගා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ ඵුස්ස මුනිඳු තෙමේ පණස් අට රියනක් උස්වූයේ, සහස් රැස් (හිරු) මෙන්ද, පුන් සඳ මෙන්ද බබලයි.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂය ඇත්තේය. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා (බව සයුරෙන්) එතර කළ සේක.

අපමණ යසස් ඇති ඒ ශාස්තෲන් වහන්සේද, බොහෝ සත්ත්‍වයන්ට අවවාද කොට මහජනයා (සසරින්) එතර කොට, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

ශාස්තෘවූ ඵුස්ස ජිනරාජතෙම ජේතවනාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්හි (උන්වහන්සේගේ) ධාතු පැතිරීම වී.

අටළොස්වන බුද්ධවංශය සමාප්තයි

අපේ බුදුහාමුදුරුවෝ 82

විපස්සී බුදුහාමුදුරුවෝ 01

ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නැවතත් අන්තර් කල්ප සහිත වූ කල්පයක් ගෙවිලා ගියා. නිකම්ම නිකම් කල්පයක් වශයෙන් හැඳුන්වුවාට ගණනය කල නොහැකි කාලයක් තමයි අපි එලෙස අද ඊයේ වගේ හඳුන්වන්නේ. පසුව කල්ප ගැන වෙනම විස්තරයක් ලියන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බුද්ධශුන්‍ය කාල වල අපිත් සතර අපායේ සැරිසරන්නට ඇති. කෙසේ හෝ ඒ අවාසනාවන්ත අවිද්‍යා අඳුර මකාලමින් විපස්සි නම් ශාස්තෘන් වහන්සේ ලොව පහලවුණා. ඒ නානාමාදිලියේ රුවන් කාන්ති සමූහයෙන් දිදුලන තුසිත දෙවුලොවින් චුතවී.

උන්වහන්සේ මෙළොව එලිය දුටුවේ බන්ධුමතී නුවර බන්ධුමතී අගමෙහෙසියගේ කුසේ. දෙවියන්ගේ සියලු ආරක්ෂාවන් මැද දසමස් ඇවෑමෙන් ඛේම මිගදායෙහි වලාරොදින් මිදි පුන්සඳ සේ මෙලොවට බිහිවුණා. උන්වහන්සේට නම් තබන දිනයේදී ලක්ෂණ පාඨකයෝද නෑයෝද දිවා රෑ අතර තුර මොහොතුකුදු අන්ධකාරයක් නොමැතිව පිරිසිදුව දක්නේය, වීවෘත ඇසින් දක්නේය යයි කියා විපස්සි යනුවෙන් නම් කරනු ලැබුවා. තවත් විමසා විමසා දකින්නේ යන නමින් විපස්සි වශයෙන් නම් කළා කියලත් කියනවා.

උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි ගතකලා. ඒ සඳහා ඉතාමත් දැකුම්කලු ප්‍රාසාද තුනක් උන්වහන්සේටත් හිමිවුණා. ඒවා නමින් නන්ද සුනන්ද සිරිමා නම් වුණා. සුදස්සනා දේවිය ප්‍රමුඛ කොට ස්ත්‍රීන් එක්ලක්ෂ විසිදහසක් උන්වහන්සේ වෙනුවෙන් සේවයේ නිරතවුණා. සුදස්සනා දේවියට” සුතනු” යනුවෙන්ද හඳුන්වනවා.  අනේක වූ රජ සැප සම්පත් විඳිමින් එලෙස අවුරුදු අටදහසක් ගතවුණා. අවසානයේ උන්වහන්සේටද දෙවියන් විසින් සතර පෙරනිමිති පෙන්නුවේ සුදස්සනා දේවිය සමවත්තකඛන්ධ පුතු මෙලොවට බිහිකළ දිනයෙමයි.

එදින රාත්‍රියේම උන්වහන්සේ මහභිනික්මන් කලේ ආජඤ්ඤ රථයකින් අසුහාරදහසක් පිරිවර සමග. ඒ සියලුම දෙනා උන්වහන්සේ සමග තපස් මහණ දිවියට අතුලුවුණා. ඒ මහා පුරුෂයාණන් වහන්සේ ඔවුන් සමගින් පුර අටමසක් ප්‍රධාන විර්යය වැඩුවා. අවසානයේ මෝහ අන්ධකාරය දුරලා ලොවට තවත් අලුත් ඉරක් උදාකරන තවත් වෙසක් දිනක් එළඹුණා. එදින උදෙන්ම සුදස්සන සිටුදියණිය ගෙනවිත් දුන් මීකිරිබත් වළඳා කුසුමින් සමලංකෘත සාලවනයෙහි දිවාවිහාර ගෙවා සුජාත නම් යුවලක දුන් අටතනමිට ගෙන සමලංකෘත පළොල් බෝධිය දැක දකුණු දිගින් ඒ වෙත එළඹුනා.

විශේෂිත පළොල් බෝධිය.

ඒ පළොල් බෝධිය ගැන විශේෂ වර්ණාවක් තියෙනවා. එය මෙහෙමයි. ඒ පළොල් බෝධිය සමවටකඳ ඇත්තේය. එදින පනස්රියන්ව උඩට නැගුනේය. ශාඛාව පනස්රියන්ය. උසින් රියන් සියයක් විය. එදිනම පළොල් රුක කර්නිකබද්ධ වුවක් මෙන් සුවඳ මලින් මුල පටන් හැමලෙසින්ම ගැවසී ගත්තේය. ඒ මල් වලින් දිවසුවන්ද දසත හමයි. එකල්හි මෙම රුක පමණක් නොවිය. දසදහසක් සක්වළ අභ්‍යන්තරයෙහි ධජමාලයෙන් අකූල විය. ඒ ඒ තැන්වල මලාගුල විසිරී නන් සුවඳ කුසුමින් පොළෝතලය සුවඳ දුමින් අඳුරු විය. 

ඒ ආශ්චර්යමත් රුක වෙත පැමිණි විපස්සි බෝසතාණෝ තෙපනස් රියන් පුළුදෙති තණ ඇතිරි අතුරා බුදුබව ලබනතුරු නොනැගිටිමි යන ප්‍රතිඥා කොට වැඩ සිටින්නට වුණා. එසේ වැඩහිඳ මාරු සහිත මැරබල නසා බුද්ධත්වයට පැමිණ තවත් අඳුරෙන් වැසි තිබු කල්පයක් ඒකාලෝක කරන්නට වුනා.

අපේ බුදුහාමුදුරුවෝ 83

විපස්සී බුදුහාමුදුරුවෝ 02

මංගල ධර්ම දේශණය

විපස්සි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණුනායින් පස්සේ උදන් අනා බෝ සමීපයෙහිම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන දිවැසින් ලොව දෙස බලන්නට වුනා. ඒ අවස්ථාවේ තම සුළු මවගේ පුත් ඛණ්ඩ කුමරුගේ ද, පුරෝහිතගේ පුත් තිස්ස කුමරුගේද හේතුසම්පත් දකින්නට වුනා. ඒ මොහොතේම ඛේම මිගදායෙන් අහසෙන් බැස උයන් පාලක ලවා ඔවුන් දෙදෙනා කැඳවා පිරිවර මැද ඔවුනට දම්සක් පවත්වන්නට වුණා.  ඒ අවස්ථාවේ ධර්මාවබෝධයට පැමිණි දෙවියන්ගේ ප්‍රමාණය සීමාවක් නැහැ කියලයි අට්ඨ කතාවේ සඳහන් වෙන්නේ.

 ඒකාලේ අප මහා බෝසතාණෝ මහර්ධිමත් මහානුභාව ඇති අතුල නම් නාරජව සිටියේ. උන්වහන්සේ නොයෙක් කෙළගණන් නාපිරිවර සහිත අසම සිල්බල ඇති, කරුණාවෙන් බරිත වූ සිහිල් සිත් ඇති අතිශය බලපරාක්‍රමයක් යුතුව වැඩ සිටින අතරේ තමයි විපස්සි බුදුරජාණන් වහන්සේ ලොව පහල වී ඇති බව දැනගන්නට ලැබුනේ. උන්වහන්සේ මුලින්ම කරන්නේ ඒ දසබලයන් වහන්සේට සත්කාර කරනු පිණිස සඳමඩල වන් රුවන්මුවා දර්ශණීය මණ්ඩපයක් කරවීමයි. ඉන් අනතුරුව එහි වඩාහිඳුවා සතියක් දෙවුසැපතට අනුරූප මහදන් පුදන්නට වුනා. අවසානයේ සත්රුවනින් සැරසූ මාහැඟි රන්මුවා නන් මිනිරැස්දහරින් බබළන පුටුවක් පුජා කරමින් මහත් වූ ශ්‍රද්ධාවෙන් වන්දනා කරමින් නොසැලී සිටියා. එකල්හි ඒ මහාකරුණිකයාණෝ ඔහුට පීඨාදානානුමෝදනා වශයෙන් මෙතෙම මෙයින් එකානුවන කප්හි ගෝතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. නැවතත් දිව්‍යමය සාදුකාරය අත්පොලසන් හඬ සක්වලෙන් සක්වලට පතුරුණා. අප මහා බෝසතාණෝ තවත් නියත විවරණයක් අපව සතර අපායෙන් ගලවන්න ලබාගෙන සසර නතර වුනේ එලෙසයි.

අපේ බුදුහාමුදුරුවෝ 84

විපස්සී බුදුහාමුදුරුවෝ 03

විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ගේ (උපන්) නුවර’’බන්ධුමතී’’ නම් වී. පිය තෙම’’බන්ධුමන්තු’’ නම් රජය. වැදූ මව්’’බන්ධුමතී’’ දේවිය වූවාය.

ඒ විපස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු අට දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’නන්‍ද’’ ය’’සුනන්‍ද’’ ය,’’සිරිමන්තු’’ යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද’’සුතනා’’ නම් වූවාය. පුත් තෙම’’සමවත්තක්ඛන්‍ධ’’ නම්.

(විපස්සී) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රථ යානයෙන් (රියකින්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

බඹහු විසින් අයදනා ලද්දේ, මහා වීරවූ, නර දෙටු විපස්සී ලෝනා හිමිඳු’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ට,’’ඛණ්ඩ’’ ද,’’තිස්සනාම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’අසෝක’’ නම් වී.

’’චන්‍දා’’ ද,’’චන්‍දමිත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’පළොල්’’ ගස යයි කියනු ලැබේ.

’’පුනබ්බසුමිත්ත’’ ද,’’නාග’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සිරිමා’’ ද,’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

විපස්සී ලෝනාහිමිඳු අසූ රියනක් උස්විය. උන් වහන්සේගේ පැහැය සත් යොදුනක් තැන් දුවයි.

ඒ කාලයෙහි (විපස්සී) බුදුරජුන්ට අවුරුදු අසූ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

බොහෝ දෙවි මිනිසුන් සසර බැඳුමෙන් මිදෙව් සේක. මග හා නොමග සෙසු පුහුදුන්ට වදාළ සේක.

ඒ (විපස්සී) බුදුරජතෙම ආලෝකය දක්වා, අමාපදයයි කියන ලද නිවන් තැබීමට කරුණුවූ දහම් දෙසා, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

උතුම් ඍද්‍ධියද, උතුම් පිනද, (සක්) ලකුණු ආදිය කරණ කොට මල් පිපුණු ගසක් මෙන් අලංකාර ශරීරයද, සියල්ල අතුරුදන් විය. සියළු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?

නුවණ (නොහොත් වීර්‍ය්‍යය) ඇති විපස්සී ජිනරාජ තෙම සුමිත්තාරාමයෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය (දාගැබ) සත් යොදුනක් උස්වී. (හෙවත් සත් යොදුනක් උසට බඳින ලද්දේය.)

අපේ බුදුහාමුදුරුවෝ 85

සිඛී බුදුහාමුදුරුවෝ 01

දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය. 

විසිඑක් කපක් බුද්ධ ශූන්‍ය වීම.

විපස්සි බුදුහාමුදුරුවන්ට පස්සේ ඒ කල්පයද ගෙවිලා ගියා. ඊට පස්සේ කල්ප විසිඑකක්ම බුදුවරු මේ ලෝකයේ පහල වුනේ නැහැ. ඔබට දැන් හිතෙන්න ඕනේ ඔබ අප ඒ කාලය තුල කොතරම් සතර අපා දුක් විඳින්නට ඇතිද කියා. බුදුවරයෙකුගේ නිර්මල බුද්ධ ධර්මය පවතින මේ කාලයේත් මෙතරම් මිනිසුන් පිරිහිලානම් බුද්ධ කියන වචනයක් වත් ඇසීමට නොමැති කාලයක ලෝකයේ තත්ත්වය හිතාගන්නටත් බැහැ.

රන් පැහැයෙන් බබළන පභාවතී අග මෙහෙසිය.

උන්වහන්සේත් සුපුරුදු ලෙස පෙරුම් පුරමින් පැමිණ පාරමිතා සම්පුර්ණ වූවායින් පස්සේ තුසිත දෙවුලොව ඉපදී එයින් චුත වුණේ බුද්ධත්වය අපේක්ෂාවෙන්. ඒ භාග්‍යය ලැබුණේ භාරතයේ අරුණවතී නුවරට. පියාණන් වහන්සේ වුණේ පරම ගුණයෙන් යුත් අරුණවත රජතුමා. උන්වහන්සේගේ මෑණියෝ වුනේ පභාවතී අග මෙහෙසිය. ඇය රූසිරියෙන් අග තැන්පත් රන් පැහැයෙන් බබළන ස්ත්‍රියක්. පභාවතී දේවියගේ කුසතුල දසමාසයක් ගෙවුවේ දෙවියන්ගේ ආරක්ෂාව මැද්දේ. එය සෑම බෝසත්වරයෙකුටම ලැබූ ආශීර්වාදයක්.

සුවිසිදහසක් රූමත් තරුණ ස්ත්‍රීන්ගේ පුද සත්කාර

එලෙස දසමසක් ඇගේ කුසතුළ වැඩුණු බෝසත් බිලිඳා මෙලොව එලිය දුටුවේ නිපක උයනේ. නිමිති කියනන් උන්වහන්සේට නම් තබන දිනයේ සිඛාවක් මෙන් උණ්හීසය උඩනැගී හෙයින් සිඛී යනුවෙන් නම් කළා. උන්වහන්සේ අවුරුදු හත්දහසක් ගිහිගෙයි ගතකලේ සුචන්දකසිරි, සීරියස නාරිවසභ නම් අධිසුඛෝපභෝගී මාළිගා වල. සබ්බකාමා දේවිය පෙරටුකොට සුවිසිදහසක් රූමත් තරුණ ස්ත්‍රීන් උන්වහන්සේට ඇප උපස්ථාන කළා.

අභිනික්මණ

උන්වහන්සේත සතර පෙරනිමිති දැක සසර කලකිරී අතුල නම් පුතු උපන්දිනයේ ගිහිගෙයින් නික්මෙමින් අභිනික්මන් කලේ ඇත්යානයෙන්. ඒ තිනියම නෙවෙයි. හැත්තෑලක්ෂයක් පිරිවර සමග. උන්වහන්සේ සමග ඒ හැත්තෑලක්ෂයක් වූ පිරිවරම තපස් පැවිදි දිවියට අතුලුවුණේ සංසාරයේ පතාගෙන පැමිණි හැටියටමයි. ඒ මහා පිරිවර පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධාන විර්යය වඩමින් ගතකලා. සෑම මෙහෙයක් ඉටුකිරිමටම සංසාරේ පතාගෙන ආපු බොහෝ දෙනා පෙළ ගැසී සිටිය නිසා කිසි දෙයක් අහඹුවක් වුණේ නැහැ. ඒ තවත් වෙසක් පුන්පොහෝ දිනයක්. සුදස්සන නියම්ගමේ පියදස්සි සිටුතුමාගේ දියණිය මීකිරිබත් එදින උදේම පිළියල කලේ මේ බව දැනගෙන නෙවෙයි. සංසාරේ පතාගෙන ආපු අධිෂ්ඨානය පින සමග මතුවීමෙන්.

දසදහසක් සක්වළ රුක්ෂලතාවන් බුද්ධත්වය වෙනුවෙන් මලින් ඵලින් බරවීම.

ඒ මිකිරිබත් වැළඳු සිඛී බෝසතාණෝ තරුණකිනිහිරි වනයෙහි දිවා කාලය ගතකලා. ඒ අතරතුරදී තමයි අනෝමදස්සී නම් තවුසා පැමිණියේ. ඔහුත් ඔහුගේ සංසාරේ පැතුම ඉෂ්ඨ කරගත්තේ අටතණමිට ලබාදීමෙන්. සිඛී බෝසතාණෝ ඒ අටතණමිටත් රැගෙන පුණ්ඩරික බෝධිය වෙත එළඹුණේ තනිවම. ඒ පුණ්ඩරික බෝධියද මිට පෙර කියූ පාඨලි බෝධිය ප්‍රමාණයම වුනා. එදිනම එය පනස් රියන් කඳ ඇතිව නැගී සිටියා. ඒ බුදුබව ලැබීමට සෙවන සැදීමට ස්වභාව ධර්මයෙන් කරනු ලබන ආශීර්වාදයක් ලෙස.  එහි ශාඛාද පනස් රියන් පමණ වුණා. සියලු ශාඛා සුවඳති මලින් ගැවසී ගත්තේ පරිසරයම සුවඳවත් කරමින්. මලින් පමණක් නොව ඵල සහිතද වුණා . එක පැත්තකින් තරුණ ගෙඩි. තව පැත්තකින් මැදිවියේ ගෙඩි. තවත් පැත්තකින් වඩා නොපැසුණු ගෙඩි. තවත් පැත්තකින් පැසුණු දිවඕජා මෙන් සුරස වර්ණ ගන්ධ රස සම්පන්න ගෙඩි තැන තැන එල්ලෙමින් තිබුනා. ඒ විතරක් නෙවෙයි. එදා දස දහසක් සක්වලම මල් හටගන්නා ගස් මලින්ද ඵල හටගන්නා ගස් ඵලින්ද යුක්ත වුණා කියලා කියනවා. ඒ තමයි සිඛී බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යමහිමය. ඒ ස්වභාව ධර්මයේ අනේක ආශීර්වාද මැද මාර පරාජය කරමින් තවත් බුදුවරයෙකු එලෙස ලොව්තුරා බුද්ධත්වයට පැමිණුනා.

අපේ බුදුහාමුදුරුවෝ 86

දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුහාමුදුරුවෝ 02

සිඛී බුදුපියාණන් වහන්සේ සතිස් යොදුන් දක්වා පැතිරගිය මාරසේනවා තනිවම පරදවා බුද්ධත්වයට පත්වී ධර්මය දේශනා කිරීමට බ්‍රහ්මයාගේ ඇරයුම පිළිගත්තා. ඒ සඳහා හේතු සම්පත් ඇතිව සිටියේ උන්වහන්සේ හා සමග පැවිදි දිවියට ඇතුලත් වූ හැත්තෑලක්ෂයක් වූ පිරිවර. උන්වහන්සේ ඒ මොහොතෙහිම රණහංසයකු සේ අහසට නැග මිගාචිර උයනට බැස ඒ භික්ෂු සංඝයා අතරට ගියා. එහි හැත්තෑලක්ෂයක් භික්ෂූන් පිරිවරණ ලද උන්වහන්සේ ඔවුන් හමුවේ දම්සක් පැවැත්වුවා. එකළ කෙළලක්ෂයක් දෙනාට ධර්මාවබෝධ වුනා.

නැවත අරුණවතී රාජධානිය සමීපයෙහි අභිභූ රාජපුත්‍රයාටද සම්භව රාජපුත්‍රයාටද යන පිරිවර සහිත දෙදෙනාට දහම් දෙසා නවකෙළදහසකට දහම් අමා පොවනු ලැබුවා. ඒ දෙවන ධර්මාභිසමයයි.

තවත් දිනෙක සුරියවතී නුවර දොර සපු රුක්මුල තීර්ථකයන්ගේ මද මාන බිඳීම පිණිසද සියලු ජනයාගේ මෝක්ෂාර්ථය සඳහාද යමක ප්‍රාතිහාර්ය කරමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවිට අසූකෙළ දහසකට තෙවන ධර්මාවබෝධය වුනා.

ඒ කාලේ අප මහා බෝසතාණෝ පරිභුත්ත නුවර අරින්දම නම් රජව රජකම් කරමින් සිටියේ. සිඛි බුදුරජාණන් වහන්සේ පරිභුත්ත නුවරට වැඩි බව අසා සපිරිවර සමග රාජභවනයෙන් පෙරගමන් කොට පාදපද්ම යුගලයෙහි පිරිස් සහිතව සරසරින් නැමද දසබලයන් වහන්සේට ආරාධනා කොට සතියක් ආශ්චර්ය කුල සම්පත් ශ්‍රද්ධාවට අනුරූප මහදන් දී සළු ගබඩා හැර බුදුපාමොක් බික්සඟනට මහඟු සළු පුදනු ලැබුවා.

එමෙන්ම තමන්ගේ බල රූප ලක්ෂණ ජව සම්පන්න රන්දැල් මලාදියෙන් සරසන ලද නවරන් සොඳුරු දළකොපු චාමර යුග්මයෙන් බබළන මහත් මෘදු කන් ඇති සඳරේඛා මෙන් බබළන මුවශෝභා යුත් එවරණ ඇතු මෙන් සතුරන් වළකන වර ඇතුද පුදා ඇත් ප්‍රමාණයෙන් කැපබඩු ද පුජා කළා. මේ සියල්ල ඉවසා වැදෑරූ සිඛි ශාස්තෘන් වහන්සේ මෙයින් එක්තිස්වන කල්පයෙහි මොහු ගෝතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා.

නැවතත් දිව්‍යමය සාදුකාරය අත්පොලසන් හඬ සක්වලෙන් සක්වලට පතුරුනා. අප මහා බෝසතාණෝ තවත් නියත විවරණයක් අපව සතර අපායෙන් ගලවන්න ලබාගෙන නැවතත් මේ ඝෝර සසරේ නතරවුනේ එලෙසයි.

අපේ බුදුහාමුදුරුවෝ 87

දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුහාමුදුරුවෝ 03

සිඛී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

විපස්සී බුදුරජුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙකු නැති’’සිඛී’’ නම් ජිනරාජතෙම විය.

මහර්ෂීවූ බුදුරජුගේ නුවර’’අරුණවතී’’ නම්. පිය තෙම’’අරුණවන්තු’’ රජය. වැදූ මව්’’පභාවතී’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු සත් දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’සුවන්‍ද’’ ය,’’ගිරි’’ ය,’’වහන’’ ය යන උතුම් තුන් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිහතර දහසකි. බිරින්ද’’සබ්බකාමා’’ නම් වූවාය. පුත් තෙම’’අතුල’’ නම් වී.

(සිඛී) පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහා වීර්‍ය්‍ය ඇති නරදෙටු’’සිඛී’’ ලොවග නා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ,’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ’’සිඛී’’ බුදුරදුන්ටද,’’අහිභූ’’ ද, ’’සම්භව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’ඛෙමඞ්ක’’ නම් වී.

’’මඛිලා’’ ද,’’පදුමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’ඇටඹ රුක’’ යයි කියනු ලැබේ.

’’සිරිවඩ්ඪ’’ ද,’’නන්‍ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’චිත්ත’’ ද,’’සුගුත්ත’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් පහන් කණුවක් හා සමානව, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත්, ඒ බුදුරද තෙම උසින් සැත්තෑ රියනක් උස්වී.

ඒ (සිඛී) බුදුරජුන්ගේද බඹයක් තැන් පැතිර පවතින බැබලීමක් ඇති කයින් (නික්මෙන) ප්‍රභාවෝ රෑ දවල් නිතර තුන් යොදුනක් පමණ දිශානුදිශාවන්හි පැතිරෙත්.

මහර්ෂීවූ ඒ (සිඛී) බුදුරජුන්ට අවුරුදු සැත්තෑ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

දහම් වැසි වස්වා, දෙවියන් සහිත ලෝ වැස්සන් තෙමා, ඒ නිවනට පමුණුවා, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත්, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

සිව්සස් අවබෝධ කළ’’සිඛී’’ මුනිසඳු’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

විසිවෙනි බුද්ධවංශ වර්ණනාව මෙයින් සමාප්තවනවා.

අපේ බුදුහාමුදුරුවෝ 88

අප මහා බෝසතාණන් වහන්සේට විසිඑක්වෙනි නියත විවරණය ලබාදුන් වෙස්සභු  බුදුහාමුදුරුවෝ 01.

සිඛි බුදුරජාණන් වහන්සේ පිරිනිවුණායින් පස්සේ උන්වහන්සේගේ සාසනයත් ක්‍රමයෙන් පිරිහී අතුරුදන් වුනා. ඒ කාලේ අවුරුදු හැත්තෑදහසක් පරමායුෂ වැළඳු මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහය දක්වා අඩුවුණේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව පෙන්වමින්. නැවතත් එය වැඩීමෙන් ලෝකවාසීන් අපමණ ආයු ඇත්තන් බවට පත්වුනා. ඒ කලෙත් බුදුවරු ලොව පහල වන්නේ නැහැ. මොකද අධික සැප සම්පත් සහ දිර්ඝායුෂ නිසා අනිත්‍ය ලක්ෂණය ලොවට වැටහෙන්නේ නැති නිසා. නැවතත් ඒ අප්‍රමාණ වූ ආයුෂ පිරිහෙමින් පැමිණ පරමායුෂ අවුරුදු හැටදහසට ලගා වුණා. අන්න ඒ කාලේ තමයි සර්වඥ වෙස්සභු නම් සාස්තෘන් වහන්සේ මෙලොවට පහල වුණේ.

උන්වහන්සේත් අනෙකුත් බෝසතාණන් වහන්සේලා වගේම පෙරුම් පුරමින් පැමිණ පාරමී සම්පුර්ණවුණායින් පස්සේ තුසිත දෙවුලොව ඉපදුනා.  දේවාරාධනයෙන් පස්සේ පස් මහා බැලුම් බලා දෙවුලොවින් චුත වුණේ කල්ප කාලාන්තරයක් පෙරුම් පෙරූ බුදුබව උදෙසා. උන්වහන්සේ ඒ සඳහා තෝරාගත්තේ අනුපම නුවර නිරන්තරයෙන්ම මහා ප්‍රීතියකින් කල්ගත කරන සුප්පතීත නම් රජුගේ අගමෙහෙසිය වූ සිල්වත් යසවතී දේවියගේ කුසයේ. සියලු දෙවිවරුන්ගේ ආරක්ෂා හා ආශීර්වාද මැද උන්වහන්සේ අනුපම උයනෙහි මෙලොව එලිය දුටුවා. උපතෙහිදීම ජනයා සතුටුකොට සෘෂභානාද කළා.  ඒ නිසාම උන්වහන්සේට නම් තබන දිනයේ වෙස්සභු කියා නම් තබනු ලැබුවා.

උන්වහන්සේත් අවුරුදු හයදහසක් ගිහිගෙයි වාසය කරනු ලැබුවා. උන්වහන්සේටත් සුචී සුරුචි රතිවඩ්ඩ නම අධික කම්සැප සම්පත් වලින් පිරි තුන්පහයක් වුණා. සුචිත්තා දේවිය තමයි අගබිසව වුනේ. ඇය ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීන් උන්වහන්සේට දිවා රාත්‍රී උවැටන් කරනු ලැබුවා. එහෙත් හැමදාමටම එලෙස ඉන්න වුණේ නැහැ. දෙවියන් විසින් පෙන්වනු ලැබූ සතර පෙරනිමිති දුටු දිනම සංසාරේ පුරාගෙන ආපු පාරමිතා මතුව ගිහිගෙයින් නික්මෙන්නට තීරණය කළා. එදිනම තමයි සුචිත්තා දේවියට සුප්පබුද්ධ පුතා ලැබුනේ. ඒත් උන්වහන්සේ එය අභිනික්මනට බාධාවක් කරගත්තේ නැහැ. ලෝකසත්ත්වයා වෙනුවෙන් විමුක්තිය සොයා යෑමේ තිරණයේම සිටියා. උන්වහන්සේ ගෙහිගෙයින් නික්මුණේ රන්සිවිගෙයකින්. තනියමම නෙවෙයි. හැත්තෑදහසක පිරිවරද සමග. ඉන්නඅනතුරුව දෙවියන් විසින් පිරිනමන ලද කසාවතක් ගෙන පැවිදි දිවියට ඇතුලත්වුණා. ඒ හැත්තෑදහසක් වූ මහා පිරිවරද උන්වහන්සේ අනුව යමින් පැවිදි දිවියට එක්වුණා.

ඉන්පස්සේ වෙස්සභු බෝසතාණන් වහන්සේ ඔවුන්ව පිරිවරාගෙන සමසක් ප්‍රධාන විර්යය වැඩුවා. ඒ කල්ප ගණනකට පස්සේ ලොවට අලුත් ඉරක් පායපු තවත් එක් වෙසක්දිනයක්. සුචිත්ත නියම්ගමේ සිරිවඩ්ඪනාව සංසාරයේ පතාගෙන ආපු මීකිරිබත් හදාගෙන පැමිණියේ බුද්ධත්වයට පෙර දිනයේ වළදන අවසන් භෝජනය පුජා කරන්නට. උන්වහන්සේ එය වළඳා ඒ සල්වනයේම දිවාවිහාර කොට සවස නරින්ද නාරජු දුන් අටතණමිට ගෙන සල් බෝධිය වෙත දකුණු දෙසින් පැමිණියා. ඒ සල් බෝධියද මිට ඉහතින් කියූ පළොල් බෝධියේ ප්‍රමාණයම වුණා. උන්වහන්සේ සල්රුක වෙත පැමිණ හතලිස් රියන් පුළුලැති  තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ මාර පරාජයකොට බුද්ධත්වයට පත්වුණා. කල්ප ගණනකට පසු නැවතත් බුදු සිසිලස දස දහසක් සක්වළ පුරා පැතිර ගියා. සක්වළ අතර පිහිට මහා ඝණ අන්ධකාරයෙන් යුතු ලෝකාන්තර නිරවල්ද ආලෝකමත් වුනා. දෙවියන්ගේ සාදු නද සක්වලින් සක්වලට පැතිර ගියා. ඒත් එදා ඔබටත් මටත් ඒ හඬ නොඇසුන නිසාදෝ තවමත් මෙම ඕඝ සසර තරණය කරමින් ඉන්නවා.

අපේ බුදුහාමුදුරුවෝ 89

රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය විහිදවූ  වෙස්සභු  බුදුහාමුදුරුවෝ 02.

වෙස්සභූ බුදුරජුන්ගේ මංගල ධර්ම දේශනය සහ ප්‍රථම ධර්මාවබෝධය

රන් පහන් කණුවක් හා සමාන, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත්  සිඛී බුදුරජාණන් වහන්සේ උසින් සැට රියනක් වුණා. රන් යාග ටැඹකට සමාන උපමා ඇති සේක්, රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් උන්වහන්සේගේ ශරීරයෙන් රශ්මිය නික්මෙන්නට වුණා. මහා තේජාන්විත ලෝකසත්වයා කෙරෙහි අපමණ කරුණාවෙන් බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ බ්‍රහ්ම ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශනය සඳහා හේතු සම්පත් ඇති සංසාරයේ ඒ සඳහාම පතාගෙන පැමිණි පිරිස් ඇත්දැයි දැවසින් ලොව දෙස බලන්නට වුනා. එවිට ඒ සඳහාම පැමිණි තම බාල සොහොයුරු සෝණ කුමරුගේද උත්තර කුමරුගේද හේතු සම්පත් දැක ඔවුන් ඒ මොහොතේ ක්‍රීඩා කරමින් සිටි අනුපම නගර සමීපයෙහි පිහිටි අරුණ උයනට වැඩියේ අහස්තලය දෙබෑකරමින් අඳුර දිනක පෑවූ සුර්යය රාජයා මෙන් දසත ඒකාලෝක කරමින්. ඒ කුමරුන් දෙදෙනාත් නිකම්ම අරහත්වයට පැමිණි දෙදෙනෙකු නොව දෑසවුවන්ගේ තනතුර පතමින් පැමිණි අය.  උයන් පාලකය ලවා කුමාරවරු කැඳවූ උන්වහන්සේ කුමාරවරු ඇතුළු පිරිසට දම්සක් පවත්වන්නට වුණා. ඒ මොහොතේ අසූකෙළ දහසකට ප්‍රථම ධර්මාවබෝධය වුනා.

 දෙවන ධර්මාවබෝධය

නැවත ජනපද චාරිකාවේ වඩිනවිට භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තැන්වල දහම් දෙසා හැත්තෑකෙළ දහසකට ධර්මාවබෝධය කළා. ඒ දෙවන ධර්මාවබෝධයයි.

 තෙවන ධර්මාවබෝධය

ඉන්පස්සේ යලිත් අනුපම නුවර සිටි මාන්නයෙන් අධික මිසදුටු පිරිසක් වෙනුවෙන් ඔවුන් හික්මවීමට යමක ප්‍රාතිහාර්යය කරනු ලැබුවා. ඒ මහා පෙළහර නැරඹීමට දෙවියන්ද අහස්තලය මත අතුරු සිදුරු නැතිව පිරීසිටියා. අවසානයේ බුදුකෙනෙකුන් විසින් ඉතාමත් කලාතුරකින් පානු ලබන යමක ප්‍රාතිහාර්යය දක්වන්නට වුනා. පෙර නොවූවිරූ, ලොමු දැහැගන්නාවූ මහ පුදුමය දැක, දෙවියන් ඇතුළු මිනිසුන් සැටකෝටියක්  හික්මී ධර්මාවබෝධයට පැමිණුනා. එය තෙවන අභිසමයද වුණා.

 පළමු සන්නිපාතය

මහර්ෂීවූ වෙස්සභූ බුදුරජුන්ට, තාදී ගුණ ඇති, සන්සුන් සිත් ඇති, කෙලෙස් කිලිටු නැති රහතුන්ගේ රැස්වීම් (සන්නිපාත) තුනක් වූණා. සෝණ උත්තර නමැති දෑසවුවන්ගේ සමාගමයෙහි පැවිදි වූ අසූ දහසක් රහතන් මැද පළමුවන පාමොක් දේශණාව කරනු ලැබුවා.

දෙවැනි සන්නිපාතය

යම් කලෙක මුළු ලොව දිනූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ සමග පැවිදි වූ සැත්තෑ දහසක් භික්‍ෂූන් වහන්සේලා ධම්මචක්ක පුවත අසා සෝරෙය්‍ය නම් නුවරට අවුත් භාග්‍යවතුන් වහන්සේ බැහැදුටුවා. භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් උන්වහන්සේලාට දහම් දෙසා ඒහිභික්ෂු භාවයෙන් පැවිදි කරවා සිවු පිරිසෙහි පාමොක් දේශනා කරනු ලැබුවා. එය දෙවැනි සන්නිපාතයද වුනා.

 තෙවැනි සන්නිපාතය

නාරිවාහන නම් නුවර උපසනක නම් රාජපුත්‍රයෙක්  රජකම් කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එම නුවරට වැඩම කරනු ලැබුවා. ඒ රජතුමා ඒ බව අසා පෙරමගට ගොස් ආරාධනය කොට මහදන් පුදා උන්වහන්සේගෙන් බණ අසා පහන් වූ සිතින් පැවිදි දිවියට ඇතුලත් වුණා. රජතුමා සමග සැටදහසක් පිරිස පැවිදි දිවියට ඇතුලත් වුණා. ඒ සියලුම දෙනා එතුමන් සමග අරහත්වයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පිරිවරණ ලදුව පාමොක් දේශනා කරා. එය එය තුන්වන සන්නිපාතය යනුවෙන් කියනවා.

විසිඑක්වන නියත විවරණය. 

ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ සරභවතී නුවර පරම ප්‍රියදර්ශන සුදස්සන නමින් රජකම් කරමින් සිටියේ.වෙස්සභූ ලෝකනායකයාණෝ සරභ නගරයට වැඩියේ ඔය කාලයේ. උන්වහන්සේගෙන් බණ ඇසූ අප මහා බෝසතාණෝ ජලජ නිමල අවිකල මානෙල් කැකුළක් වන් ඇදිලිය හිස තබා බුදුපාමොක් සඟනට මහා චීවරදානයක් දෙනු ලැබුවා. එයින් නොනැවතුන උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වාසය වෙනුවෙන් ගඳකිලියක් කොට  එය වටකොට විහාර දහසක් කරවා සියලු සම්පත් බුද්ධශාසනයට පුදකොට  උන්වහන්සේ හමුවේ පැවිදි වනු ලැබුවා. ආචාරයෙන් හා ගුණයෙන් යුත්වූ  වතින් හා සීලයෙන් අගතැන්පත්ව, බුදුබව සොයමින්, බුදු සස්නෙහිම  සිත් අලවා වාසය කරන්නට වුණා. අප මහා බෝසතාණෝ සැදැහැයෙන් හා සතුටෙන් යුතුව, බුදුන් වෙත වෙත පැමිණ දෙවි මිනිසුන්ට අනුශාසනා කරණ බුදුරදුන්ගේ පා වන්දනා කරන්නට වුනා. එකල සම්බෝධිය (බුදුබව) හේතුකොටගෙන උන්වහන්සේ මහත් වූ ප්‍රීතිය සිත් තුල උපදවා ගත්තා. සම්බුදුරද තෙම නොපසුබස්නා සිත් ඇති බව දැන,’’මෙයින් තිස්එක්වන කපෙහි මේ පැවිදි තෙම බුදුවන්නේය’’ යනුවෙන් විසිඑක්වෙනි  නියත විවරණ දී වදාරනු ලැබුවා.

අසමවූ, මහර්ෂීවූ ඒ බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැයි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ පවත්වන්නට වුණා.  අත්පොලසන් දෙන්නට වුණා.  සතුටින් සිනහසෙන්නට වුණා.  දොහොත් මුදුන් දී නමස්කාර කරන්නට වුණා.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි හෙවත් මතු කාලයෙහි මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ හෙවත් පීනන්නාවූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ වෙස්සභූ බුදුරදුන් කාලයෙහි මගඵල අවබෝධකොටගත නොහැකි වුණොත්  මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’ යනුවෙන් සැනසුම් සුසුම් හෙලන්නට වුණා. ඒ අතර සමහර විට ඔබත්  මමත් ඉන්නට ඇති.  ඒත් තවමත් සංසාරේ.

අපේ බුදුහාමුදුරුවෝ 90

රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය විහිදවූ වෙස්සභු  බුදුහාමුදුරුවෝ 03.

වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ වෙස්සභූ බුදුරදුන්ගේ නුවර’’අනූපම’’ නම් වී. පිය තෙම’’සුප්පතීත’’ නම් රජය. වැදූ මව්’’යසවතී’’ නම් වූවාය.

 (වෙස්සභූ) බුදුරජතෙම අවුරුදු හය දාහක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කෙළේය. ’’රුචි’’ ය,’’සුරුචි’’ ය,’’වඩ්ඪමාන’’ ය යන උතුම් තුන් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද’’සුචිත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’සුප්පබුද්‍ධ’’ නම් වී.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක, සිවිකා (දෝලා විශෙෂයක්වූ) යානයෙන් මහබිනික්මන් කෙළේය. සය මාසයක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

බඹහු විසින් අයදනා ලද්දේ, මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ,’’වෙස්සභූ’’ නම් ලෝනාහිමිඳු’’අරුණ’’ නම් ආරාමයේදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ’’වෙස්සභූ’’ බුදුරදුන්ට,’’සෝණ’’ ද, ’’උත්තර’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’උපසන්තා’’ නම් වී.

’’දාමා’’ ද,’’සමාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’සල් ගස’’ යයි කියනු ලැබේ.

’’සොත්‍ථිත’’ ද,’’රම්ම’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’ගොතමී’’ ද,’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

උන්වහන්සේ සැට රියනක් උස්වූ, රන් යාග ටැඹකට සමාන උපමා ඇති සේක්, රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය නික්මෙයි.

ඒ කාලයෙහි අවුරුදු සැට දහසක් ආයුෂ ඇත්තේය. ඒතාක් කල් වැඩ සිටිමින් උන්වහන්සේ බොහෝ ජන සමූහයා (සසර සයුරෙන්) එතර කළ සේක.

ධර්‍මය පැතිරවීම කොට, මහජනයාට බෙදා, දහම් නමැති නැව තබා, ශ්‍රාවකයින් සහිතව ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

දැක්ක යුතු සියලු පිරිවර සහිත බුදුරජ තෙමේද, විහාරයද, ඉරියව්ද යන සියල්ල අතුරුදන් වී. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

ශාස්තෘවූ ඒ වෙස්සභූ ජිනරාජතෙම’’ඛෙම’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.

[සිව්සස් අවබෝධ කළ’’සුඛී’’ මුනිසඳු’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

අපේ බුදුහාමුදුරුවෝ 91

රන්වැලකින් හටගත් ගිනිජාලාවක් මෙන් මවුකුසෙන් මෙලොවට බිහිවූ කකුසඳ බුදුරජාණන් වහන්සේ 01   

මහා භද්‍ර කල්පය

වෙස්සභු බුදුහාමුදුරුවොත් පිරිණිවන්පාලා මේ ලෝක ධාතුව යලිත් අඳුරේ ගිලුණායින් පස්සේ  තවත් කල්ප විසිනවයක් පසුවෙනතෙක් ජිනසුර්යයෝ මේ ලෝකේ පහල වුණේ නැහැ. අපි කල්ගෙවන මේ භද්‍රකල්පය උදාවුණේ එවැනි අඳුරක් නිමා කරමින්. ඔබ අප කවුරුත් දන්නා පරිදී මේ මහා භද්‍ර කල්පයේ සම්මා සම්බුදු බුදුවරුපස්නමක් ලොව පහළ වෙනවා. එයින් මේ වනවිටත් බුදුවරු හතර නමක් ලොව පහළ වී නිවී ගිහින් අවසන්.  කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, යන තුන් නම සහ අප මහා සම්මා සම්බුදුරජාණන්සෙයි.  අවාසනාවක මහත. අපි මේ වනවිටත් ප්‍රමාදයි.  එහෙත්  තවමත් ප්‍රමාද නැති නිමේෂයක ඉන්නේ. ඒ තවමත් නිර්මල බුදුදහම ලොවේ පවතිනවාට වඩා සුරැකි පවතින ශ්‍රී ලංකා පෘථිවි තලය මත ජිවත් වන නිසා.

වසර විසිනවයක අවිද්‍යා අන්ධකාරය සිඳ බිඳ දැමු කකුසඳ බුදුහාමුදුරුවෝ.

ඒ වසර විසිනවයක අවිද්‍යා අන්ධකාරය සිඳ බිඳ දැමුවේ කකුසඳ බුදුහාමුදුරුවෝ. පාරමී පුරමින් පැමිණි උන්වහන්සේගේත් අවසන් දෙවුලොව උපත වුණේ තුසිතය. දේව ආරාධනයෙන් පස්සේ එයින් චුතවුණ කකුසඳ බෝසතාණෝ අනිත් බුදුරජාණන් වහන්සේලා මෙන් මිනිස් ලොව පහළවුණේ රජකෙනෙකුට දාව නෙවෙයි. ඛේමවතී නුවර ඛේමංකර නම් රජුගේ අර්ථධර්මානුශාසක අග්ගිදත්ත නම් පුරෝහිතයාගේ අගබිසව වූ විසාඛා නම් බැමිණියගේ කුසේ. 

එයටත් හේතුවක් තිබ්බා යම් කලෙක රජවරු බමුණන්ට ගරු සත්කාර කරයිද, මානන කරයිද, පුජා කරයිද, එකල බෝසත්වරු බමුණු කුලයේ උපදිනවා. යම්කාලෙක බමුණෝ ක්ෂත්‍රියයනට සත්කාර කරයිද, මානන කරයිද, පුජා කරයිද, එකල බෝසත්වරු කැත්කුලයේ උපදිනවා. ඒ කාලේ රජවරු බමුණන්ට ගරුසත්කාර පුද පුජා කරනු ලැබූ කාලයයි. ඒ නිසාම කකුසඳ බෝධිසත්වයන් වහන්සේ දසසහශ්‍රී ලෝකධාතුව නාද කරවමින් කම්පා කරවමින් ඒ බමුණු කුලයේ විසාඛා නම් බැමිණියගේ කුසේ ඉහතින් කී අයුරින් පිළිසිද ගත්තා. දෙවියන්ගේ රැකවරණය මැද දසමස් ඇවෑමෙන් ඛේම උයනේ දී රන්වැලකින් හටගත් ගිනිජාලාවක් මෙන් මවුකුසෙන් මෙලොවට බිහිවුණා. 

මහභිනික්මන

උන්වහන්සේ වසර හාරදහසක් ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත් සුචි, අරුචි, රතිවද්ධන නමින් තුන්පහයක් වුනා. රෝහිණී බ්‍රහ්මණිය ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීන් උන්වහන්සේට දිවා රෑ සේවය කරනු ලැබුවා. එහෙත් සතර පෙරනිමිති පෙන්වා උන්වහන්සේගේ සිත වෙනස් කරන්න දෙවිවරු සමත්වුණා. රෝහිණී බැමිණියට උත්තර කුමරු උපන් කාලයේම මැනවින් සෑදු ආජඤ්ඤ රථයකින් මහභිනික්මන් කොට නික්ම පැවිදි වුණා. ඒ තනියෙන් නොවෙයි. හතලිස් දහසක පිරිවරත් සමගයි. ඒ හතලිස් දහසක් දෙනාත් උන්වහන්සේ අනුව යමින්ම පැවිදි දිවියට ඇතුලත්වුනා. ඒ සියල්ලම සංසාරේ එකටම පැමිණි පිරිවර වෙන්න ඇති. අපිත් එලෙසම සංසාරය තරණය කරන පිරිසකගේ කොටස් කාරයෝ වෙන්න ඇති. මටත් එහෙම හිතෙන්නට වුනා.

අපේ බුදුහාමුදුරුවෝ 92

කාන්තාරයේ අතරමංකොට මිනිසුන් බිලිගත් නරදේව යක්ෂයාව දමනය කල කකුසඳ බුදුරජාණන් වහන්සේ 02 

හතලිස් දහසක් සමග අභිනික්මන් කල උන්වහන්සේ අටමසක් පුරා ප්‍රධාන විර්යය වඩන්නට වුනා. ඒ සුචරින්ධ නියම ගමට වගේම අපගේ පෘථිවිතලයටම  කල්ප විසිනවයකට පස්සේ ලස්සනම වෙසක් පුන්පොහෝ සඳ පායන දිනය. සුචිරින්ද නියම ගමේ වජිරින්ද බ්‍රාහ්මණයාගේ දියණිය මිකිරිබත් හදාගෙන ආවේ සංසාරේ කල්ප ගණනක් පැතුමක් ඉෂ්ඨ කරගන්න. ඒ ලොවුතුරා බුද්ධත්වයට පෙර වළඳන අවසාන ආහාරවේල පුජා කිරීමට ඇති පින අතැතිව. ඒ මී කිරිබත් හදන විස්තරය ඉදිරියේදී විස්තර කෙරනවා. ඉතින් ඒ මීකිරිබත් වැළඳු කකුසඳ මහා බෝසතාණෝ කිහිරි වනයේ දිවාවිහාර කොට සවස සුභද්ද යවපාලකයා දුන් අටතණමිට රැගෙන පැමිණයේ දිවසුවඳ හමන සිරසබෝධිය වෙත. එහි මුල තෙතිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකයෙන් වැඩසිටමින් මහා වීර්යයෙන් යුතුව මාර පරාජය කොට බුද්ධත්වයට පැමිණුනේ දසදහසක් සක්වල පුරා මහා ආලෝකධාර විහිදවමින්.

ප්‍රථම අභිසමය

බුද්ධත්වයට පැමිණ සත් සතිය ගෙවීමෙන් පසුව සෑම බුදුවරයෙකුට වගේම කකුසඳ බුදුරජාණන් වහන්සේටත් ධර්මය දේශනා කිරීම සඳහා මහා බ්‍රහ්මයා විසින් ආරාධනය කරනු ලැබුවේ එයත් ලොව ධර්මතාවයක් නිසා බවට ඔබට දැන් වැටහෙන්න ඕනේ. මොකද මෙතෙක් මා විසින් ලියනු ලැබූ සෑම බුදුවරයෙකුටම ඒ ආරාධනය ලැබුණා. මහා කරුණාවෙන් ලොව දෙස බලනවිට උන්වහන්සේ සමග පැවිදි දිවියට ඇතුලත් වූ හතලිස් දහසක් වූ පිරිවරට සත්‍ය ප්‍රතිවේධ සමර්ථතාව දැක එක් දවසකින් මකිල නුවර අසල තිබු ඉසිපතන මිගදායට වැඩ උන්වහන්සේලා මැද දම්සක් පවත්වන්නට වුනා. එදින හතලිස් කෙළලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය වුණා.

දෙවන අභිසමය

කාන්‍යකුඛජ නගර ද්වාරයෙහි මහා සල්ගසක් තිබුණා. එතැනට වැඩිය උන්වහන්සේ මිට ඉහත සඳහන් කල වෙස්සභු බුදුරජාණන් වහන්සේ වගේම යමක ප්‍රාතිහාර්යය කරනු ලැබුවා. එදා තිස්කෙළ ලක්‍ෂයකට දහම් ඇස පහල වුණා කියනවා. එය දෙවන අභිසමයද වුණා.

තෙවැනි අභිසමය සහ නරදේව යක්ෂ දමනය.

ඛේමවතී නුවර ආසන්නයේ මහා කාන්තාරයක් තිබුණා. මේ කාන්තාරය තිබුණේ නගර දෙකකට මැදිව. ලෝකප්‍රකට කාන්තාර මාර්ගයක් මේ කාන්තාරය මැදින් වැටිලා තිබුණා. මේ කාන්තාරය දෙපස කාන්තාර දොරටුවල කාන්තාරය තරණය කිරීම සඳහා නිතරම මහජනයා රැඳී සිටියේ මහා සාගරයක් තරණය කිරීමට සිටින පිරිස් වගේ. ඛේමවතී නුවර ආසන්නයේ එක් දේවායතනයකට අරක්ගත් බලගතු මහා භයානක නරදේව නම් යක්ෂයෙක් හිටියා. මොහු කලේ කාන්තාරයේ මධ්‍යයෙහි   තරණය කරන පිරිස් හට පෙනෙන සේ අතිරමණිය පියුමුපිලින් සැදි පරම මිහිරි සිහිල්දිය පිරි විලක් ලග සිට පියුම් උපුල් මානෙල් ආදියෙන් සත්ත්වයන් පෙළඹවීමයි. කිසි දිනක ඒ විලට ජනයාට කිට්ටුවෙන්නට බැරි එය මායාවක් නිසයි. ඔහු කරන්නේ වෙහෙසට පත්වී අතරමංවන මිනිසුන්ව කා දැමීමයි. ඒ එක්කම මාර්ගය අවසානයේ මිනිසුන් රහිත කැලයක් තිබුනා. ඔහු කලේ ඒ කාලයේ සිටන සතා සිවුපාවා පවා ඔහුගේ ආහාරයට මදිපාඩුවට ගැනීමයි.

එදා කාන්තාර දොරටු අභියස රැස්වී සිටි මිනිසුන් රාත්‍රියේම  කාන්තාරය තරණය කිරීමට පටන්ගත්තා. එදිනම පාන්දර යාමයේ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මහාකුළුණු සමවතින් නැගීසිට ලොව බලන සේක් උන්වහන්සේගේ නැණදැලට හසුවූණේ ඒ මහේශාක්‍ය නරදේව යක්ෂයාත් තව මොහොතකින් ඔහුගේ වසඟයට පත්වන දුගී ජනයාත්ය. ඒ දුටු මොහොතේම එතැනට අහසින් වැඩම කල උන්වහන්සේ මහජනයා බලා සිටියදීම මහා පෙළහර පාමින් නරදේව යක්ෂයාගේ භවනට බැස ඔහුගේ මංගල පර්යංකයෙහි සවනක් රැස් විහිඳමින් වැඩසිටින්නට වුණා.  එවිට ඒ මිනීකන යක්ෂයා සවණක් රැස් විහිදවමින් දෙව්දුනු පිරිවැරූ සුර්යයා මෙන් බුද්ධ දිවාකරයන් අහසින් වඩිනු දැක දසබලයාණන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙහි වඩින්නට ඇතැයි සිතන්නට වුණා. එයාට ඇත්තෙන්ම හිතුණේ එයා කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ එයාගේ භවනට වැඩලයි කියල. එයින් හටගත් පහන් සිත් ඇතිව තම පිරිවර යකුන් සමගින් අහසින් නානා මලින්ගහන හිමතට පැමිණි ඒ යක්ෂ සේනාව නානා වර්ණයෙන් සුවඳින් යුතු දිය ගොඩ පිපුණු පරම මනරම් සුවඳවත් මල් ගෙනවිත් සිය පලඟෙහි වැඩහුන් විගතරන්ධු වූ කකුසඳ ලෝකනායකයන් මාලා ගන්ධ විලේපනාදියෙන් පුදා තුතිසංගීත පවත්වමින් දොහොත් මුදින් දී වන්දනා කරමින් සිටින්නට වුණා. මම හිතන්නේ ලේසියෙන්ම දමනය වුණු යක්ෂසෙන්පතියා කියලයි.

ඒ අවට රැස්වී සිටි ඒ මනුෂ්‍යයෝ ඒ ආශ්චර්යය දැක පහන් සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේ නමස්කාර කරමින් සිටියා. එවිට අප්‍රතිසන්ධි ඇති කකුසඳ බුදුරජාණන් වහන්සේ අභිපුජිත නරදේව යක්ෂයාට කර්මඵල දැක්වීමෙන් තෙද ගන්වා නිරය කතාවෙන් තැතිගන්වන සිවුසස් දහම් දේශනා කරන්නට වුණා. එදින අප්‍රමාණ සත්ත්වයන්ට දහම් අවබෝධය වුණා. මෙය තෙවැනි අභිසමය වශයෙන් හඳුන්වනවා.

එකම සන්නිපාතය.

සියලු පාරමිතා පිරීම් වශයෙන් පරතෙරට ගිය සිංහයකු මෙන් සංසාර කූඩුව බිඳ යන ඇත්රජෙකු මෙන් නසන ලද බව බැඳුම් ඇති කකුසඳ භාග්‍යවතුන් වහන්සේට එකම එක ශ්‍රාවක  සන්නිපාතයක් වුණා. ඒ කාන්‍යකුබ්ජ නගරයෙහි උන්වහන්සේ සමග පැවිදි වූ සතළිස් දහසක් රහතුන් පිරිවරණ ලද නවම් පොහොය දින කරනු ලැබූ පාමොක් දේශනාවයි.

එකල අප මහා බෝසතාණන් වහන්සේ ඛේම නම් රජෙක්ව රජකම් කරමිනුයි සිටියේ. කකුසඳ බුදුපියාණන් බැහැදුටු උන්වහන්සේ පාසිවුරු සමග මහා දන් දී  අඳුන් ආදී සියලු බෙහෙත් වර්ගයන් පුජාකරණු ලැබුවා. වෙනත් පිරිකරද පුදා බණ අසා පහන් සිත් ඇතිව මෙම සංසාර ගමනේ තවත් වරක් රජකම අතහැර උන්වහන්සේ හමුවේ පැවිදි වුයේ අප වෙනුවෙන්මයි කියලා මට හිතෙන්නේ. කකුසඳ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේගේ පුණ්‍ය ශක්තිය හා පාරමිතාවන් දිවැසින් දැක මේ කපෙහිම ගෝතම නමින් බුදුවන බවට නියත විවරණ දී වදාරණු ලැබුවා. දෙවියන් බමුන්ගේ සාදුකාර හඬ අත්පොළසන් හඬ නැවතත් සක්වළින් සක්වලට පැතුරුණා. උන්වහන්සේ නැවතත් අප වෙනුවෙන්ම නිවන අතහැර මේ සසරෙහිම අප හා නතර වුනා.

අපේ බුදුහාමුදුරුවෝ 93

රන්වැලකින් හටගත් ගිනිජාලාවක් මෙන් මවුකුසෙන් මෙලොවට බිහිවූ කකුසඳ බුදුරජාණන් වහන්සේ. 03

’කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

වෙස්සභූ නම් බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සතුන්ට දෙවි මිනිසුන්ට උතුම්වූ, අපමණ ගුණ ඇති, සතුරන්ට ළංවිය නොහැකි, නමින්’’කකුසඳ’’ නම්වූ බුදුරජතෙම පාරමිතා පිරීමෙහි පරතෙරට ගියේ, සිංහ රාජයෙක් මැදිරිය (කූඩුව) බිඳ, සියලු නවවිධ භවය උගුලුවා උතුම් සම්බෝධියට පැමිණි සේක.

ඒ කකුසඳ බුදුරදුන්ගේ උපන් නුවර’’ඛේම’’ නම් විය. ඒ කාලයෙහි මමද’’ඛේම’’ නම් ඇත්තෙක් වීමි. සර්‍වඥබව සොයමින් උන්වහන්සේගේ සමීපයෙහි පැවිදිවීමි.

මහර්ෂීවූ ඒ කකුසඳ බුදුරදුන්ගේ ඒ පිය තෙම’’අග්ගිදත්ත’’ බමුණු නම් වී. වැදූ මව්’’විසාඛා’’ නම් වූවාය.

ඒ’’ඛෙම’’ නගරයෙහි මිනිසුන්ට උතුම්වූ ප්‍රධාන උසස් ජාති ඇති, මහත් පිරිවර ඇත්තාවූ සම්බුදුරජුන්ගේ මහත් නෑ කුලය විසී.

ඒ බුදුරජතෙම අවුරුදු හාරදහසක් ගිහිගෙයි විසීය. ’’රුචි’’ ය,’’සුරුචි’’ ය, ’’වඩ්ඪමාන’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සමතිස් දහසකි. බිරින්ද’’විරෝචමානා’’ නම් වූවාය. පුත් තෙම ’’උත්තර’’ නම් වී.

ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක, රථ යානයෙන් (රියෙකින්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කකුසඳ ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

කකුසඳ ශාස්තෘන් වහන්සේට ’’විධුර’’ ද, ’’සඤ්ජීව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’බුද්‍ධජ’’ නම් වී.

’’සාමා’’ ද,’’චම්පා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’භෙරී’’ (මාරා) ගසයයි කියනු ලැබේ.

’’අච්චුත’’ ද,’’සුමන’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’නන්‍දා’’ ද,’’සුනන්‍දා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

මහමුනිඳු සතළිස් රියනක් උස්විය. රන්වන් රැස් හාත්පස දසයොදුනක් තැන පැතිරෙත්.

මහර්ෂීවූ ඒ කකුසඳ බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු සතළිස් දහසකි. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

දෙවියන් සහිත ලෝකයෙහි පුරුෂ ස්ත්‍රීන්ට දහම් නමැති සල්පිලක් ඇර තබා, සිංහ (උසස්) නාදකොට ශ්‍රාවකයින් සහිතව පිරිනිවි සේක.

අටඟ හඬින් යුත් වචන ඇති කකුසඳ බුදුරජ තෙමේද නිතර සිදුරු නැති සීලයෙන් යුත් අගසව් ආදී සියල්ලම අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

කකුසඳ ජිනරාජතෙම’’ඛෙම’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය ගවුවක් අහසට උස්ව නැංගේය. (හෙවත් ගවුවක් උසට බඳින ලදී.)

[සිව්සස් අවබෝධ කළ’’සුඛී’’ මුනිසඳු’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

අපේ බුදුහාමුදුරුවෝ 94

රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 01

කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවුණායින් පසුව මිනිස්සුන්ගේ ආයුෂ නැවතත් පිරිහෙන්නට වුණා. ඒ පරමායුෂ වසර දහය දක්වා. නැවතත් වසර දහයේ සිට  අසංඛ්‍යය දක්වා වැඩිවූ පරමායුෂ අවුරුදු තිස්දහසක් පිරිහුණ කාල පරිච්ඡේදයේ  කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ මෙලොවට බිහිවුණා. උන්වහන්සේත් පෙරුම් පුරමින් පැමිණ අවසානයේ තුසිත  දෙවු ලොව ඉපිද දේවාරධනයෙන් පසුව එයින් චුතවී සෝභවාති නුවර පඤ්ඤදත්ත බ්‍රාහ්මණයාගේ භාර්යාව වූ රූපාදී ගුණයෙන් අනුත්තර වූ උත්තරා නම් බැමිණියගේ කුසතුල පිළිසිඳ ගත්තා.

සෝභවාති නුවර අසල ඒ නමටම සරිලන සෝභමාන උයනක් තිබුණා සුභගවතී කියලා. දසමසක් ඇවෑමෙන් පස්සේ කෝණාගමන බෝධිසත්වයන් වහන්සේ සුභගවතී උයනේදී තමයි මෙලොව එළිය දුටුවේ. ඒ බොසතාණන් වහන්සේ ඉපදෙන විටම මුළු දඹදිව පුරාවටම රන් වරුසාවක් වහින්නට පටන් ගත්තා. ඒ උන්වහන්සේගේ පුණ්‍ය මහිමයට. එලෙස රන්වැසි පැමිණි නිසාම උන්වහන්සේට නම් තබන්නෝ නම් තබන දිනයේ කනකාගමන යැයි නම් තැබුවා. පසුකාලයේ ඒ නම කෝණාගමන යනුවෙන් පරිණාමය වුණා කියලා අටුවාවේ කියනවා.

උන්වහන්සේ අවුරුදු තුන්දහසක් ගිහිගෙයි වාසය කරනවා. ඒ තුසිත සන්තුසිත සන්තුට්ඨි නම් දිව්‍ය සැප බඳු ලෞකික සැප ඇති තුන් පහයන් තුල. රුචිගත්තා බ්‍රාහ්මණිය ප්‍රමුඛ දහසයදහසක් වු ස්ත්‍රීන් උවැටන් කරනු ලබනවා. එහෙත් උන්වහන්සේත් සතර පෙර නිමිති දැක රුචිගත්තා බ්‍රාහ්මණිය සත්ථවාහ නම් පුතු උපන් දිනයේම ගිහිගෙයින් නික්මෙන්නේ ඇත්යානයකින්. ඒ තනියම නෙවෙයි. තිස්දහසක පිරිවරත් සමග.

අපේ බුදුහාමුදුරුවෝ 95

රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 02

තිස් දහසක් පිරිවර සමග අභිනික්මණින් නික්ම පැවිදි වූ කෝණාගමන බෝධිසත්ත්වයන් වහන්සේ ඒ මහා පිරිවර පිරිවරමින් සයමසක් ප්‍රධාන විර්යය වඩන්න වුණා. එය අවසාන වුයේ තවත් වෙසක් පොහොදිනකට ඉර උදාවීමත් සමග. ඒ වනවිටත් දෙවියන්ගේ ආශීර්වාද රැකවරණ සහිතව අග්ගිසෝණ බ්‍රාහ්මණයාගේ දියණිය අති මිහිරි  මී කිරිබත් සකසමින් සිටියේ සංසාරේ පතාගෙන පැමිණි ලෙසට. ඇයගේ කිරිපිඩු පුජාවෙන් පසු එය වැළඳු ඒ මහා විරයාණෝ කිහිරි වනය වෙත දිවාවිහාර ගතකිරීමට පැමිණුනා. එහි විවේකයෙන් ගත කල උන්වහන්සේ හමුවට පැමිණියේ නම් තින්දුක යවපල්ලා. ඔහුත්  සංසාරේ පතාගෙන පැමිණි ලෙසටම අටතණමිට පුජාකලේ වජිරාසනය මත ඇතිරීමට. ඒ අටතණමිටද රැගෙන මිට පෙර පුණ්ඩරික බෝධියෙහි කි තරමටම ඵලවිභුතියෙන් යුතු උදුම්බර බෝධිය වෙත පැමිණියේ දකුණු දිශාවෙන්. එහි විසිරියන් පමණ තණ ඇතිරි අතුරා පලක් බැඳ මරබල නසා දසබල ඥාන ලබා උදන් අනා විවේක සුවයෙන් සත්සතිය ගත කරනු ලැබුවේ අනෙකුත් බුදුවරුන් සියලු කටයුතු නිමකෙරු ආකාරයටමයි.

ඉන් අනතුරුව මහා බ්‍රහ්මයා පැමිණ උන්වහන්සේටත් ලෝකසත්ත්වයා වෙනුවෙන් ධර්මය දේශනා කිරීමට ආරාධනය කරනු ලැබුවේ චාරිත්‍රයක් ලෙසයි. ඒ ආරාධනය පිළිගත් කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ හේතුසම්පත් ඇත්තවුන් පිරික්සන විට තමන් හා සමග ගිහිගෙයින් නික්මුණ තිස්දහසක පිරිවර ඒ සඳහාම පැමිණිය බව අවබෝධකොට ගත්තා. ඒ මොහොතේම සුදස්සන නුවර ඉසිපතනය වෙත අහසින් වැඩිය උන්වහන්සේ උන්වහන්සේලා මැද ධර්මචක්‍රය කරකවන්නට වුණා. එදා දෙව් මිනිස් තිස්කෙළ දහසකට ධර්මවබෝධ වූ බව සඳහන් වෙනවා වගේම එය ප්‍රථම ධර්මාභිසමය ලෙසද සදහන් වෙනවා.

නැවතත් සුන්දර නුවර දොර මහසල් රුක මුල යමක ප්‍රාතිහාර්ය කොට විසිකෙළ දහසකට දහම් අමා පොවනු ලැබුවා. එය දෙවන අභිසමයයි.

තම මෑණි උත්තරාවන් ප්‍රමුඛකොට දසදහසක් සක්වළ රැස්වූ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ විජම්පිටකය දෙසද්දී දසකෙළ දහසකට තෙවන ධර්මාභිසමය වුණා.

උන්වහන්සේටත් මීට ඉහත බුදුරජුන්ට මෙන් එකම ශ්‍රාවක සන්නිපාතයක් වුණා. ඒ සුරින්දවතී නුවර සුරින්දවතී උයනෙහි වසන සමයේ තිස්දහසක් පිරිවර ඇති භීයස රාජ කුමාරයාට සහ උත්තර රාජ පුත්‍රයාට යන දෙදෙනාට දහම් දෙසා ඒ සියලු දෙනාම එහිභික්ෂු පැවිද්දෙන් පැවිදි කරවා උන් වහන්සේලා මැද නවම් පුන් පොහෝ දින  පාමොක් දේශනා කරනු ලැබුවා. එය එකම එක ශ්‍රාවක සන්නිපාතයද වුණා.

ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ මිථිලා නුවර පබ්බත නමින් රජකෙනෙකුව වාසය කලා. සරණාගත සියලු ප්‍රාණින්ගේ ආගමන ඇති කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ මිථිලාවට වැඩියේ ඒ කාලයේ. රජතුමා ඒ බව අසා රාජකීය පිරිවර සමග පෙර ගමන්කොට උන්වහන්සේට  දානය සඳහා ආරාධනය කරනු ලැබුවා. උන්වහන්සේ රජමාලිගයට වැඩකොට මහදන් දී මහත් ගෞරවයෙන් සියලු යුතුකම් ඉටුකොට පැමිණෙන වස් තෙමස තුල එහිම වස්විසිම සඳහා අයැද සිටියා. භාග්‍යවතුන් වහන්සේද එය පිළිගෙන ඒ තෙමස මිථිලා නුවරම වස් කාලය ගතකලා. අප මහා බෝසතාණන් වහන්සේත් ඒ තෙමස තුල ඉතා ප්‍රණීත වූ රාජකීය භෝජනයන්ගෙන් බුදුරජුන්ට සංග්‍රහ කොට එයින් නොනැවතී පත්තුන්ණ චීන පට කම්බල, කොසෙය්‍ය දුහුල් කපු ආදී මහඟු සිනිදු වස්ත්‍රද රන්මිරිවැඩද, අනෙකුත් බොහෝ පිරිකරද පුජා කොට වන්දනා කරනු ලැබුවා. ඒ භාග්‍යවතුන් වහන්සේද මේ සියල්ල අවසානයේ මෙම උත්තමයාණන් මේ භද්‍රකල්පයේම ගෝතම නමින් බුදුවන බව දේශනා කොට වදාරමින් විසිතුන්වන නියත විවරණයෙන් ආශිර්වාද කරනු ලැබුවා. අප මහා බෝසතාණෝ මේ බව අසා ඒ මහාරාජ්‍ය පරිත්‍යාග කොට උන්වහන්සේ වෙතම පැවිදි වුණා.

දස දහසක් සක්වළ සාදුකාර හඬ පෙරසේම පැතිරුණා. ඔබත් මමත් වෙනුවෙන් මේ උතුම් ධර්මස්කන්ධය කල්පෙන් කල්පේ ළඟාවුණේ ඒ ආකාරයටයි.

අපේ බුදුහාමුදුරුවෝ 96

රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 03

’කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

කෝණාගමන බුදුරදුන් උපන් නුවර’’සෝණවතී’’ නම්. (එහි)’’සෝණ’’ නම් රජක් වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා නෑ කුලය වාසය කළේය.

ශාස්තෘවූ ඒ කෝණාගමන බුදුරදුන්ගේ ඒ පිය තෙම’’යඤ්ඤදත්ත’’ නම් බමුණු විය. ’’උත්තර’’ නම් බැමිණි තොමෝ මව් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු තුන් දහසක් ගිහිගෙයි විසී. ’’තුසිත’’ ය,’’සන්තුසිත’’ ය, ’’සන්තුට්ඨි’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ නොඅඩුවූ සොළොස් දහසකි. බිරින්ද’’රුචිගත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’සත්‍ථාවාහ’’ නම් වී.

පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සය මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසුරුණේය.

මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කෝණාගමන නම් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

කෝණාගමන නම් ශාස්තෘන් වහන්සේට’’භිය්‍ය’’ ද, ’’උත්තර’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’සොත්‍ථීජ’’ නම් වී.

’’සමුද්දා’’ ද,’’උත්තරා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය’’දිඹුල් ගස’’ යයි කියනු ලැබේ.

’’උග්ග’’ ද,’’සෝමදේව’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සීවලා’’ ද,’’සාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ බුදුරජතෙම උසින් තිස් අට රියනක් උස්වී. උදුන් මුවෙහි රත්රන් යම් සේද, එපරිද්දෙන් රශ්මියෙන් අලඞ්කාරවී.

ඒ කාලයෙහි (කොණාගමන) බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු තිස් දහසකි. ඒතාක් කල් උන්වහන්සේ වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ධර්ම නමැති සෑයක් ගොඩනගා, සිවුසස් නමැති ධජ පතාකයෙන් හොබවා, දහම් නමැති මල්ගුළාවක් කොට, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

උන්වහන්සේගේ ලොවුතුරු දහම් පළවන මහා විලාසයද, ශ්‍රාවක ජන සමූහයාද (යන) සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

’’කෝණාගමන’’ නම් බුදුරජතෙම’’පබ්බතාරාමයේ’’ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල උන්වහන්සේගේ ධාතු පැතිරීම වී.

අපේ බුදුහාමුදුරුවෝ 97

අහසින් අබිනික්මන් කළ කස්සප බුදුහාමුදුරුවෝ 01

කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ගෙන් පස්සේ උන්වහන්සේගේ සාසනයත් කෙමෙන් කෙමෙන් අතුරුදන් වන්නට වුණා. අවුරුදු තිස් දහසක් ආයුෂ තිබූ මිනිසුන් පිරිහීමෙන් අවුරුදු දහය දක්වා ආයුෂ අඩු කර ගත්තා. දස වස් ඇත්තන් ක්‍රම ක්‍රමයෙන් ගුණයෙන් මුහුකුරා යාමෙන් නැවතත් අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි කර ගත්තා. අසංඛ්‍යයක් ආයුෂ කියන්නේ අවුරුදු වලින් ගණන් කළ නොහැකි ප්‍රමාණයක්. එවැනි කාල වලට මිනිසුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ වන්නේ නැහැ. මම හිතනෙ විදියට මිනිසුන් මහා ගුණ වන්තයි . ඔවුන් අකුසල වල යෙදීම් යුද්ධ කිරීම් නැති ගානයි. මිනිස් ලොව සදෙව්ලොව මෙන් සැප සම්පත් වලින් ගහනයි . එහෙම කාලවල මිනිසුන්හට දුක්ඛ සත්‍යය අවබෝධ වීමක් නැහැ. මොකද සැප බහුල නිසා. ඒ නිසාම එවැනි කාලවල ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නෙත් නැහැ. සියලුම දේ අනිත්‍ය බව පසක් කරමින් ඒ අසංඛ්‍යයක් වූ ආයුෂ කාලය නැවතත් පිරිහීමෙන් අවුරුදු විසි දක්වා අඩු වුණා. අන්න ඒ කාලයේ අප සම්මා සම්බුදු පියාණන් හට අවසාන නියත විවරණය ලබා දුන් කස්සප බුදුරජාණන් වහන්සේ මෙලොවට බිහි වුණා. ඒ අනෙකුත් බුද්ධ වංශ කතා වල කී පරිදිම තුසිත දිව්‍ය ලෝකයේ සිට.  ඒ බරණැස් නුවර බඹදත් නම් බමුණුහුගේ භාර්යාව වූ මහා ගුණයෙන් පිරි ධනවතී නම් බැමිණියගේ කුස තුළ පිලිසිද දසමස් ඇවෑමෙන් ඉසිපතන මිගදායෙහිදී.

නම් තබන්නන් උන් වහන්සේගේ ගෝත්‍ර නාමයෙන් උන්වහන්සේට කස්සප කුමාර යනුවෙන් නම් කළා. හංසවා යසවා සිරිනන්ද නමින් උන්වහන්සේටත් තුන් පහයක් බිහිවුණා. එහි අනේක අප්‍රමාණ සැප සම්පත් මැද ඔහු වසර දෙදහසක් කාලය ගතකලා. සුනන්දා නම් අගමෙහෙසිය ප්‍රමුඛව හතලිස් අටදහසක් ස්ත්‍රීන් උන්වහන්සේට උවටැන් කළ. ඒ කොතරම් සැප සම්පත්  තිබුණත් සතර පෙර නිමිති දුටු  දිනයේම ඒ සියල්ල කලකිරී ගිහිගෙයින් නික්මෙන්නට කස්සප බෝසතාණන් වහන්සේ තීරණය කළා . එදත් අනෙකුත් බෝසතාණන් වහන්සේලාට වගේම උන්වහන්සේටත් අති විශේෂ දිනයක් . ඒ තම අග මෙහෙසියට විජිතසේන නම්  පුත්‍ර රත්නය ලැබීමයි . එහෙත් ලෝක සත්ත්වයා සසර දුකින් ගලවාගැනීමට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා පෙරුම් පුරා ආ ගමනට ඒ කිසිවක් බාධාවක් වුණේ නෑ. තව දිනක්වත් ප්‍රමාද කලෙත් නැහැ.  සිත තුල ඇති වූ සංවේගය තුළම පිහිටා ගිහි ගෙයින් නික්මීම ට තීරණය කළ සැණින් උන්වහන්සේ සිටි ප්‍රාසාදය කුඹල් සකක් මෙන් කැරකී කැරකී අහසට නගින්නට වුණා. අහස් කුසට නැගී සඳ පිරිවැරූ තරු මෙන්, මහා පිරිවරක් පිරිවැරූ උන්වහන්සේ, අහස්තලය අලංකාර කරන්නාක් මෙන්, පින්  අනුහස්  ප්‍රකාශ කරන්නාක් මෙන්, ජන නුවන් ඇද ගන්නාක් මෙන් අහස් කුසතුළ  විද්‍යාමාන වුණා. අවසානයේ  අහසින් පැමිණි මාලිගයද ඒ පිරිවරද නිග්‍රෝධ බෝධිය මැදි කොට පොළොව මත පිහිටා සිටියා . ප්‍රථමයෙන්ම මාළිගයෙන් පිටතට පැමිණි ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මහ පොළොව මත පිහිටා දෙවිවරුන් විසින් දෙන ලද අර අරහත් ධජය ගෙන පැවිදි දිවියට ඇතුළත් වුණා . උන්වහන්සේගේ නාටක ස්ත්‍රීන් ද ඒ මාලිගාව හා සමඟ පැමිණියා . බෝසතාණන් වහන්සේ මාලිගාවෙන් පිටවීමෙන් පසු උන් වහන්සේ හා සමග පැමිණි  නාටක ස්ත්‍රීන් ද මාලිගාවෙන් පිටවී අඩ ගව්වක් පමණ දුර ගොස් අනිත් පිරිවර හා සමඟ සමූහ ගතව සිටියා . ඉන්පසුව පිරිවර ස්ත්‍රීන් හැර අනිකුත් සියලුම දෙනා පැවිදි දිවියට ඇතුළත් වුණා . ඒ අනෙක වූ  පිරිවර පිරිවැරූ ඒ මහා බෝසතාණන් වහන්සේ එතැන් පටන් ප්‍රධාන වීර්ය වඩන්නට වුණා .

අපේ බුදුහාමුදුරුවෝ 98

අහසින් අබිනික්මන් කළ කස්සප බුදුහාමුදුරුවෝ 02

ප්‍රථම අභිසමය

ඒ මොහොතේ ලෝක සත්ත්වයන් මේ සසර දුකින් එතෙර කරනා තවත් වෙසක් පුර පොහොය දිනයකට හිරු උදා වෙන්නට ආසන්න වෙලයි තිබුණේ.  ඒ සඳහා ඇප උපස්ථාන කිරිමට පෙරුම් පුරමින් පැමිණි උත්තමාවිය සුනන්දා නම් බැමිණියක් නමින් මෙලොව උපත ලබා තිබුණා. කස්සප බෝසතාණන් වහන්සේ ඇය සදා ගෙන පැමිණි මී කිරි බත් වළඳා කිහිරිවෙනෙහි විවේකයෙන් ගත කළා. එදිනම හවස් යාමේ සෝම නම් ගව පාලක දුන් අටතණමිට ගෙන නුග බෝධිය වෙතට පැමිණයේ බුද්ධත්වය අපේක්ෂාවෙන්.  බෝධිය වෙත පැමිණි උන්වහන්සේ පසළොස් රියන් තණ ඇතිරි අසුරා එහි වැඩහිඳ

සියලු කෙලෙස් නසා මාර පරාජය කොට අභිසම්බෝධිය වෙතට පැමිණ උදම් අනමින් ප්‍රීති වාක්‍යය දේශනා කලේ මහා සිංහනාදයක් දස දහසක් සක්වළ පුරා පතුරවමින්. සත් සතිය විවේක සුවයෙන් ගෙවීමෙන් අනතුරුව මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශනය සඳහා හේතු සම්පත් ඇති අය කවුරුදැයි විමසන්නට වුණා. එවිට තමන් වහන්සේ සමග පැවිදි වූ කෝටියක් භික්ෂූන්ගේ හේතු සම්පත් දැක ඒ මොහොතේම අහසින් වැඩම කොට බරණැස ඉසිපතන මිගදායෙහි ඔවුන් වෙනුවෙන් දම්සක් පවත්වනු ලැබුවා. එදා විසි කෙල දහසක් දෙනාට ධර්මාවබෝධ වුණා. ඒ ප්‍රථම අභිසමයද වුණා.ණ

දෙවන ධර්මාවබෝධය

ඉන් පසුව හාර මාසයක් පුරා ධර්ම චාරිකාවේ හැසිරෙන කල්හි දස කෙල දහසකට දෙවන ධර්මාවබෝධය වුණා.

තෙවන ධර්මාවබෝධය

තවත් දිනක සුන්දරනුවර දොර පියාගස මුල යමක ප්‍රාතිහාර්ය කර ධර්ම දේශනා කරන කල්හි පස් කෙල දහසකට තෙවන ධර්මාවබෝධය වුණා.

අසුරයන්ටවත් නොමැඩිය හැකි තව්තිසා භවනෙහි සුධම්මා නම් දේව සභාවක් තියෙනවා. එහි වැඩහිඳ දෙවියන්ට අනුග්‍රහ පිණිස සප්ත ප්‍රකරණ ඇති විජම් පිටකය දේශනා කරන කල්හි තෙකල දහසක් දෙවියන්ට දහම් අමා පොවන්නට සමත් වුණා.

නරදේව යක්ෂ දමනය

මීට ඉහත සඳහන් කළ පරිදි මහත් ආනුභාව සම්පන්න ඇති මහා සෘද්ධි බල ඇති බලවත් නරදේව නම් යක්ෂයෙක් ඒ කාලෙ දඹදිව වාසය කළා. ඔහු එක එක වෙස් මවා ගැනීමට තරම් දක්ෂයි ආනුභාව සම්පන්නයි. ඔහු ප්‍රථමයෙන් ම කළේ රජු හා සමානව රජුගේ රූපය මවා රජුව මරා ගෙන කෑම යි. ඉන්පස්සෙ රජ්ජුරුවන්ගේ වේශයෙන් රාජ්‍ය පාලනයට පැමිණි ඔහු අප්‍රමාණ මස් බුදින්නෙක් බවට පත්වුණා. තමන් මිනිසුන් පමණක් නොව ස්ත්‍රීන් පවා මරාගෙන කන්නට පටන්ගත්තා. එක දිනක් ඉතා දක්ෂ පින්වන්ත කුළ ස්ත්‍රීන් විසින් මේ රජු නෙමෙයි යක්ෂයෙක් යයි හඳුනා ගත් විට ඉතාමත් ලජ්ජාවට පැමිණ ඔවුන් සියල්ලන්ම කා දමා නගරයෙන් නගරයට පනින්නට පටන් ගත්තා.  මේ විදිහට ඒ නරදේවයක්ෂයා මිනිසුන් කමින් සුනන්ද නගරයට ද පැනගත්තා. ඒ වන විටත් මේ ආරංචිය ඒ නුවර වැසියන් වෙත පැමිණ තිබුණා. ඔහුව දැක බිය පත් වූ මිනිසුන් හිස් ලූ ලූ අත දිව යන්නට වුණා. එවිට ඒ පළා යන මිනිසුන් දැක මහත් කරුණාවෙන් කස්සප බුදුපියාණන් වහන්සේ ඒ යක්ෂයා ඉදිරියේ පෙනී හිටියා. ඔහු මහත් බියකරු ගෝරනාඩු හඩ නංවමින් කස්සප බුදුපියාණන් වහන්සේ වෙත කඩා පැන්නේ මුළු පොළෝ තලයම කම්පා කරමින්. එහෙත් එයින් භාග්‍යවතුන් වහන්සේට බිය ඉපදවීමට බැරි බව දැනගත් ඔහු ඒ ප්‍රශ්න අසමින් පැරදවීමට උත්සාහ කළා. ඒ සියල්ල අසාර්ථක වූ කල්හි ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවේ දමනය වුණා . ඒ මොහොතේ දේශනා කල ධර්ම දේශනය ඇසීමට පැමිණි දෙවි මිනිසුන් ගණන ගණනය කළ නොහැකිය කියලයි අට්ඨකථා ආචාරින් වහන්සේලා කියන්නේ.

ශ්‍රාවක සන්නිපාතය

උන්වහන්සේට එකම එක ශ්‍රාවක සන්නිපාතයක් වුණා. බරණැස්නුවර තිස්ස නම් පුරෝහිත පුත්‍රයකු හිටියා. ඔහු දේහ ලක්ෂණ විද්‍යාවේ පරතෙරට ගොස් තිබුණේ. කස්සප බෝසතාණන් වහන්සේගේ කුමාර අවදියේ ශරීරයේ තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක නිසැක වශයෙන්ම වශයෙන්ම මොහු බුදු වන බව දැන ගත්තා. ඔහු කළේ තම පියාගෙන් අවසර ගැන හිමවතට ගොස් තපස් පැවිද්දෙන් පැවිදි වීමයි.  ඒ කස්සප බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලද දිනක සසර දුකින් එතරවීමටයි. උන්වහන්සේටත් පිරිවර විසි දහසක් හිටියා. උන්වහන්සේ පසුව කස්සප කුමරා අභිසම්බෝධි පැමිණි බව අසා දැනගෙන තම පිරිවර සමගින් පැමිණ කස්සප බුදුරජාණන් වහන්සේ වෙතින් ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදිව රහත් බවට පත් වුණා. කස්සප බුදුපියාණන් වහන්සේ නවම් පුන් පොහෝ දින ඒ සමාගමයෙහි පාමොක් දේශනා කරනු ලැබූවා. ඒ උන්වහන්සේගේ ප්‍රථම සහ අවසාන ශ්‍රාවක සන්නිපාතයයි.

අපේ බුදුහාමුදුරුවෝ 99

පෙර භවයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතකයට නැගී හසිතුප්පාද සිතින් සිනහා නැගූ අවසන්​ නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 03 ​

මෙතැන​ සිට ලියවෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ කස්සප බුදුරජාණන් වහන්සේ වෙතින් ලබාගත් අවසන් නියත විවරණයයි. එය කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ ඇති ආශ්චර්ය  පිළිබඳව කියවෙන හොඳම කතාව ලෙසයි මට දැනෙන්නේ. ඒ විතරක් නෙවෙයි. බියකරු සසරේ ප්‍රයෝගකාරී ස්වභාවයද එයින් කියවෙනවා. මේ

සඳහා මම​ තෝරාගත්තේ මෙතෙක් මේ කතාපෙල පෙළ ගැස්වූ බුද්ධවංශ ආපදානේ වෙනුවට මජ්ඣිම නිකායෙහි එන ඝටීකාර සූත්‍රයයි. ​

එක්​ සමයෙක අපගේ භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කෝසල ජනපදයෙහි චාරිකාවෙහි වඩින්නට වුනා. ඒ වඩිනා අතරතුර  මාර්ගයෙන් ඉවත් වූ අප බුදුපියාණන් වහන්සේ එකවරම සිනහ පහල කරන්නට වුණා. ඒ සිනහවට හසිතුප්පාද සිනහව කියලා කියනවා. ​​

සිනහවේ​ ප්‍රභේද සහ හසිතුප්පාද  සිනහව. ​

සිනාව​ සයාකාර වන බව අලඞ්කාර ශාස්ත්‍රයෙහි දක්වා තිබෙනවා. ​

1.​සිතය, 2.හසිතය, 3.විහසිතය, 4.උපහසිතය, 5.අපහසිතය, 6.අතිහසිතය යනුවෙන් සයාකාර වූ සිනාව ඒ ඒ ​නාමයන්ගෙන් ​හඳුන්වනවා.​

1.සිතය,​

මුහුණ​ බලා ඉන්නා කෙනකුට ප්‍රීතිමත් වූ බව හැඟෙන පරිදි ඇස් දෙක පමණක් මඳක් විවෘත වන සිනාව “සිත” නම් වනවා. ​

2.හසිතය​

ධර්මයේ හසිතුප්පාද  චිත්තය යනුවෙන් හඳුන්වන්නේ සිනා උපදවන සිතක්. සිනා උපදවන තවත් සිත් තිබෙනවා.  මේ අහේතුක ක්‍රියා චිත්තය ද ඉන් එකක්. සිනා උපදවන අන් සිත්වලින් සිනාව පමණක් නොව තවත් දේ ද සිදු කරනු ලබනවා. මේ සිතින් කරන්නේ සිනාව පමණෙකි. එබැවින් මෙයට හසිතුප්පාද යන නම තබා ඇත්තේ ය. (මෙය පසුව අභිධර්මනුකුලව විස්තර කෙරෙනවා.) 

දත්වල අග පෙනෙන හඬ නොනැගෙන  සිනාව හසිත නම් වනවා. ඒ සිනහවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ කර්ම විපාකයක් නිසා හටගත් හෝ කර්ම පතයකට අවතීර්ණ වන සිනහවක් නොව හුදෙක් ඒ මොහොතේ සිදුවන ක්‍රියා මාත්‍රයක් පමණක්ම වීමය. ඒ තුල අකුසළ මූල වන ලෝභ, ද්වේශ, මෝහ, හෝ කුසල මූල වන අලෝභ, අද්වේශ, අමෝහ, අඩංගු නොවන නිසා  අභිධර්මයේ චිත්ත විග්‍රහයේ දී මෙය අහේතුක ( ලෝභ, ද්වේශ, මෝහ, හෝ අලෝභ, අද්වේශ, අමෝහ, අඩංගු නොවන)  ක්‍රියා සිත් තුනේ එකක් වන “සෝමනස්ස සහගත හසිතුප්පාදය” යනුවෙන්ද හඳුන්වනවා. බුද්ධ ප්‍රත්‍යේක බුද්ධාදි උත්තම පුද්ගලයෝ ඉහත දෙයාකාරයෙන්ම සිනාසෙනමුත් හඬ නගා සිනාසීම  නොකරනවා.

3.​ විහසිතය​

මිහිරි​ හඬක් නැගෙන සිනාව විහසිත නම් වෙනවා.​

4.​ උපහසිත​

 හිස​ හා උරහිස් සැලෙන සිනාව උපහසිත නම් වනවා. කල්‍යාණ පෘථග්ජනයෝ ද ශෛක්ෂයෝ ද ඒ දෙයාකාරයෙන් සිනාසෙනවා. මහ හඬ නගා සිනා සෙන්නේ නැහැ. 

5.​ අපහසිත​

ඇස්වලින්​ කඳුළු ගලන සිනාව අපහසිත නමින් හැඳින්වෙනවා

6.​ අතිහසිත​

 ශරීරාවයව​ සියල්ල ම සොලවමින් දඟලමින් කරන සිනාව අතිහසිත නමි. ගුණධර්ම දියුණු කර නොගත් ලාමක අදහස් ඇත්තෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හසිතෝත්පාද සිතින් ඇති කරන්නේ සිත – හසිත දෙක පමණෙකි.​

ලෞකික, සේඛ සහ අසේඛ යන පුද්ගල සිනහවන්හි අභිධර්ම විග්‍රහය.

මේ​ කොටස එකතු කිරීමට මා හට කැමැත්ත  ඇතිවුනේ අභිධර්මය හදාරණ සහ හැදෑරු ඔබට සිතට සතුටක් ඇතිකිරීමට සහ අභිධර්මය මෙතෙක් නොහැදෑරූ අයට ඒ පිළිබඳව යම් උනන්දුවක් කුහුලක් ඇතිකිරීමටය. ​

මෙම​ කොටස මා විසින් උපුටාගනු ලැබුවේ මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසකපාළි කොටසේ රාජවග්ගයේ ඝටීකාර සුත්‍ර අට්ඨකතා වර්ණනාවෙනි. එය ඒ ආකාරයෙන්ම පිටපත් කලෙමි. ​

බුදුවරුන්ගේ​ සිනහව තුටු පහටු මාත්‍රයක්ම වෙයි. මෙය හසිත නම්වේ. මෙය සෝමනස්ස සහගත සිත් තේරසකින් (13 කින්) වෙයි. එහි ලෞකික මහජනයා අකුසල වශයෙන් සතරකින්ද, කාමාවචර කුසල් වශයෙන් සතරකින්ද සිත් අටකින් සිනාසෙයි. ​

සේඛයෝ​ අකුසල වශයෙන් දිට්ඨි සම්පයුත්ත දෙකක් ඉවත්කොට සිත් සයකින් සිනාසෙත්. ​

ක්ෂීණාශ්‍රවයෝ​ සහේතුක ක්‍රියා සිත් සතරින් සහ (පොතේ මුද්‍රණ දෝෂයක් නිසා “සහ” යනුවෙන් නොතිබුණි. එය නිවැරදි කළෙමු.) එක් අහේතුක ක්‍රියා සිතකින්ද යනුවෙන් සිත් පසෙකින් සිනාසෙත්. ඒ අතරද බලවත් අරමුණක් පහළවූ කල්හි ඤාණ සම්පයුත්ත සිත් දෙකකින් සිනාසෙත්. දුර්වල අරමුණෙහි ද්විහේතුක සිත්​ දෙකකින්ද, අහේතුක සිතින්ද යන සිත් තුනෙන් සිනාසෙත්. ​

මෙතැන​ ක්‍රියා අහේතුක ( මුද්‍රණ දෝෂය නිවැරදි කළෙමු) මනෝවිඤ්ඤාණ ධාතු සෝමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට උපස්ථාකාර මාත්‍රවූ සිනාව ඉපදවිය. ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකට විය.

සම්මාසම්බුදුවරයෙකු හට හසිතුප්පාද සිනහව නැගෙන අවස්ථාවේ දී ශ්‍රී මුඛයෙන් නික්මෙන රශ්මිධාරව පළිබඳව විස්තර හෙට දිනයේදී බලාපොරොත්තුවන්න

අපේ බුදුහාමුදුරුවෝ 100

පෙර භවයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතකයට නැගී හසිතුප්පාද සිතින් සිනහා නැගූ අවසන්​ නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 04

අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ අද සියවෙනි කොටස. මම පටන් ගන්නා අවස්ථාවේ කොහෙත්ම සිතුවේ නැහැ මෙය මෙතරම්ම දිග ලිපිපෙලක් වේවි කියලා. එහි අවසානය ගැන තාමත් හිතාගන්නට බැහැ. ඒ කෙසේවෙතත් මේ ලිපි පෙළ මේ තාක් දුරට ලිවීමට හැකි වුයේ මෙය කියවන මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබ නිසා. ඒ නිසාම මෙය අවස්ථාවක් කරගැනීමට සිතුවා ඔබට ස්තුති කරන්නට. ඇත්තෙන්ම ඔබ සැමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නේ හද පත්ලෙන්මයි. ඒ එක්කම තවත් සතුටක් වන්නේ මෙම අවසාන ලිපි පෙළ කල්‍යාණ මිත්‍රත්වයෙ අරුත කියා දෙන කතාවක් වීමයි. එය ඔබගේ කල්‍යාණ මිත්‍රත්වයට තුටු පඬුරක්ම වේවා !!!

මිට ඉහත ලිපියේ සම්මා සම්බුදුවරයෙකුටම පමණක් ආවේණික හසිතුප්පාද සිනහව පිළිබඳව චිත්ත විග්‍රහය සුත්‍ර අනුසාරයෙන් හා අභිධර්ම අනුසාරයෙන් ලියනු ලැබුවා. එය මිනිස් සිතට නොපෙනෙන එහෙත් සම්මා සම්බුදුවරයකු විසින් දේශනා කොට පැහැදිළි කරන ලද්දක්. ඒ සිනහව පිළිබඳව දැක්වූ චිත්ත විග්‍රහයම බුදුදහමේ ගැඹුර අර්ථවත් බව කය සහ මනසෙහි සෑම ක්‍රියාකාරිතවයක් කෙරෙහිම බුදුදහම මගින් කෙරෙන නවීන විද්‍යාවට එහා ගිය දැනුම් සම්භාරය සොයාගැනීමට ප්‍රමාණවත් යැයි ඔබට දැන් හැඟෙන්නට ඕනේ. මෙතැන් පටන් ලියවෙන්නේ හසිතුප්පාද සිනහවේ බාහිරින් දිස්වෙන ආශ්චර්යයි.

මිට පෙර ලිපිය අවසන් වුයේ “ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකට විය.” යනුවෙන්. සමහරවිට එය ඔබට තේරෙන්නට හෝ නොතෙරෙන්නට ඇති. මේ පැහැදිලි කිරීම යම් නොදන්නා අයෙක් සිටිනම් ඒ පින්වතුන් සඳහායි.

භාග්‍යවතුන් වහන්සේ විථිසංචාරය කරන අවස්ථාවේ පිටුපසින් ලගින්ම වඩින්නේ ආනන්ද හාමුදුරුවෝ. ඒ එක්කම අනෙකුත් මහා තෙරවරුත් පසුපසින් වඩිනවා මිසක බුදුරජාණන් වහන්සේට ඉදිරියෙන් වඩින්නේ නැහැ.  සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ නමක් මෙවැනි  හසිතුප්පාද සිනහවක් නැගූ කල පසු පසින් පැමිණෙන සමහර තෙරුන්ට අවබෝධ වුණ බව පසුගිය ලිපියේ අවසානයේ පල කරනු ලැබුවා. එය  සිදුවන්නේ මෙලෙසයි.

යම් විටක භාග්‍යවතුන් වහන්සේ නමක් සිවු දළදාවන් පෙනෙන සේ මද සිනහා පාන විට  උන්වහන්සේගේ ශ්‍රී දළදාවන්ගෙන් චාතුර්ද්වීවික මහා මේඝ මුඛයෙන් අකුණු සහිත විදුලියක් මෙන් බබලමින් මහතල් කඳක් පමණ වූ රශ්මිමාලා නැගී තෙවරක් උතුම්වූ සිරස පැදකුණු කොට නැවත දළදාවන් වෙත පැමිණ අතුරුදහන් වනු ලබනවා. ඒ සළකුණින් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යමින් සිටියදීම සිනහ  පහල කල බව දැනගන්නවා. එදත් ඒ දෙය එලෙසම සිදුවුණා. බුදුකෙනෙකු එලෙස හිනැහෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එහි නිධාන කතාව අසා දැනගැනීමට ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ කල්පනා කළා.

ඉන්පසුව ආයුෂ්මත් ආනන්ද තෙරුන් සිව්ර එකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද ඒ දෙසට ඇඳිලිබැඳ වැඳ, භාග්‍යවතුන් වහන්සේට මෙලෙස කිවා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගතවරයෝ නොකරුණෙහි සිනහ පහල නොකෙරෙති”යි කියාය.

බුදුරජාණන් වහන්සේ

“ආනන්දය, මම ඔබට පෙර වූවක් කියන්නම්. මේ ප්‍රදේශයෙහි සමුර්ධවූ සම්පත් ඇති, සැපතින් පිරී ගියාවූ බොහෝ ජන සමූහයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් වේහලිංග නම් නියම්ගමෙක් වුනා.

“ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ ඒ වේහලිංග නම් නියම්ගම ඇසුරුකරමින්  වැඩහිඳ, භික්ෂු සංඝයාට අවවාද කරමින් වාසයකලා”

එවිට මෙය ටිකක් දීර්ග දේශනාවක් බව දැනගත් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ  දෙපට සිවුර සතරට නමා අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේට මෙලෙස කීවා; “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ හිඳිනාසේක්වා.

එවිට භාග්‍යවතුන් වහන්සේ “මේ බිම් කොටස අර්හත්වූ සම්‍යක් සම්බුදුවරු දෙදෙනෙකුන් වහන්සේ විසින් පරිභෝග කරණ ලද්දේ වන්නේයයි” පවසමින් පැණවූ අස්නෙහි වැඩහිඳිමින් ආනන්ද හාමුදුරුවන්ට මෙලෙසින් ඒ අතීත කතා ප්‍රවෘත්තිය දේශනා කරන්නට වුනා.

“ආනන්දය, පෙර දවස මේ ප්‍රදේශයෙහි ධනයෙන් පිරුණු සැපතෙන් පිරීගිය බොහෝ ජනයන් ඇති, මිනිසුන්ගෙන් ගහණවූ වෙහලිංග නම් නියම්ගමක් වුණා.

“ආනන්දය, මේ වේහලිංග නම් නියම්ගම ඇසුරුකොට භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වැඩ සිටියා. ආනන්දය, මෙහි  භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමයද පිහිටා තිබුණා. ආනන්ද, මෙහි වැඩහුන්නාවූ භගවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද අනුශාසනාද කරනු ලැබුවා. “

“ආනන්දය, වේහලිංග නම් ගමෙහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ උපස්ථායකවූ ඝටීකාර නම් කුම්භකාරයෙක් ජිවත් වුණා. ඔහු කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ අග්‍රවූ උපස්ථායක ද වුණා.

“ආනන්ද, ඝටීකාර නම් කුම්භකාරයා හට යහළුවූ ජොතිපාල නම් තරුණයෙක්ද සිටියා. ඔහු ඉතාමත් ප්‍රියවූ යහළුවෙක්. ඒ කාලයෙහි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මානවකයාට මෙලෙස ආමන්ත්‍රණය කළා.

“යහළු ජෝතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේ වැඩසිටින්නේ මේ ආසන්නයේ. අපි උන්වහන්සේ බැහැ දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය . එබැවින් යමු’යි  කිවා.

“ආනන්දය, මෙසේ කීකල්හි ජෝතිපාල මානවක තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙලෙස පිළිතුරු දෙනු ලැබුවේ බුදුන් දැකීමට යාමට හිත තුල තිබු ප්‍රභල අකැමැත්ත ප්‍රකාශ කරමින්. ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැත, මට එන්නට බැරිය. ඔබම යන්න.”

ඝටීකාර දෙවනුවත් තෙවනුවත් මෙලෙසින්ම ඇවිටිලි කලත් ජෝතිපාල මානවකයාගෙන් ලැබුනේ එකම පිළිතුරයි.  ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැහැ.  මට නම් කොහොමටවත් එන්නට බැරිය. ඔබම යන්න.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේට “ඒ මුඩු ශ්‍රමණයා” යනුවෙන් නින්දා අපහාස කල ජෝතිපාල මානවකයා කවුරුදැයි ඔබ දන්නවාද? ඒ තමයි ගෞතම බුදුරජුන් නමින් බුදුවීමට පාරමී පෙරූ අප මහා බෝසතාණන් වහන්සේ.  ඒ තමයි කල්ප කාලාන්තරයක් බුද්ධත්වය සඳහා පෙරුම් පුරමින් පැමිණි අප මහා බෝසතාණන් වහන්සේගේ අවසන් නියත විවරණය ගත යුතු ආත්මභාවය. සසර කොතරම් ප්‍රයෝගකාරිද? එවන් පුණ්‍ය මහිමයක් කරපින්නා පැමිණි බෝසත් වරයෙකුගේ චිත්ත සන්තානය ඒ තරමටම  වෙනස් කල හැකි නම් අප ගැන කුමන කතාද? එයම සිත තබාගෙන අදටත් ධර්මයට ගරහණ ඇතැම් යාලුවන්හට නින්දා පරිභව කිරීම වෙනුවට ඔවුන්ව ධර්ම මාර්ගයට අවතීර්ණය කරගන්නට උත්සාහ ගන්න. මොකද සමහරවිට ඔවුන් ඔබට කලින් ධර්මය අවබෝධ කරගැනීමට මෙන්ම මේ අති භයංකාර ඝෝර සසරෙන් එතෙර වන්නට තරම් පින් ඇති අය වෙන්නට පුළුවන්. එයම තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. එයම තමයි අප කාගේත් විමුක්ති මාර්ගයේ දොරටුව වන්නේ. එයම තමයි පරම යුතුකම වන්නේ.

බුදුපියාණන් වහන්සේත් එය මෙලෙස සෝතාපත්ති මාර්ගාංගයක් ලෙස පෙළ ගස්වා තියෙනවා.

  1. කල්‍යාණ මිත්‍ර ඇසුර.
  2. ඒ මගින් සත්ධර්මශ්‍රවණය,
  3. ඒ තුලින් යෝනිසෝමනිසිකාරය,
  4. අවසානයේ ධම්මානුධම්ම පටිපදාවට මගින් සෝතාපත්ති මාර්ගයට පිවිස මෙම සසරින් එතෙර වීම සඳහා උඩුගම් බලා පිහිණීම.

ඔබ වෙතින් ඔබ යහළුවන් හට කොතරම් මේ යුතුකම ඉටු වුනාද? එලෙස ඔබගේ කල්‍යාණ මිත්‍රත්වය ඔබටම මැන බලන්නට පුලුවන්.

error: Alert: Content is protected !!