You dont have javascript enabled! Please enable it!
0%

Ape Budu Hamuduruwo 251-300

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සදහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මනෝරි අතපත්තු මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 251

දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 45
නවවන සහ දශවන තථාගත බල
  1. සත්වයන්ගේ ච්‍යුති උත්පත්ති දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්තමානුසකෙන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානේ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මුපගේ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙත සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිචිඡාදිට්ඨීකා මිච්ඡාදිට්ඨීකම්ම සමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගිතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨී කම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්ත මානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෝ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මුපගෙ සත්තෙ පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො-පෙ-බ්‍රහ්මචක්කං පවත්තෙති.’

ඒ ඒ භවයෙන් ව්‍යුත ව ඔවුන් කළ පින් පව් අනුව සත්ත්වයන් සුගති දුර්ගති දෙක්හි උපදනා හැටි තථාගතයන් වහන්සේ දක්නාහ. ඒ ඥානය නව වන තථාගතබලය යයි මේ පාඨයෙන් දැක් වේ. තථාගතයන් වහන්සේට එකිනෙකට මුහුණ ලා පිහිටි ගෙවල් දෙකක් සමීපයේ බලාසිටින්නකුට ඒ ගෙයින් මේ ගෙයටත් මෙ ගෙයින් ඒ ගෙයටත් යන එන අය පැහැදිලි ලෙස පෙනෙන්නාක් මෙන් ලෝකයෙහි ඒ ඒ සුගති දුර්ගති භව වලින් ච්‍යුත ව කර්මානුරූප ව සුගති දුර්ගති දෙක්හි උපදනා සත්තවයන් පෙනෙන බව දේවදූත සූත්‍රයෙහි ද දක්වා තිබේ.

මේ චුතූපපාතඤාණය ශ්‍රාවකයනට ද සාධාරණ ඥානයෙකි. වර්තමාන භවයේ ච්‍යුතිය පමණක් දකින අනාගතෝත්පත්තිය නො දක්තා පුද්ගලයන් සත්ත්වයා මරණික් කෙළවර වන්නේය යන උච්ජේද දෘෂ්ටිය ගන්නා බවත්, අතීතභවයේ ච්‍යුතිය නො දැක වර්‍තමානොත්පත්තිය පමණක් දක්නවුන් අලූත් සත්ත්වයෝ පහළ වෙති ය යන දෘෂ්ටිය ගන්නා බවත්, ච්‍යුති උප්පත්ති දෙක ම දැකීම දෘෂ්ටිවිශුද්ධීය පිණීස පවත්නා බවත් විශුද්ධිමාර්ගයේ කියා ඇත්තේ ය.

  1. දශවන තථාගත බලය.

ආශ්‍රවක්ෂය ඥානය.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුක්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්මා තථාගතො අසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.’

(මහාසීහනාද සුත්ත)

තථාගතයන් වහන්සේ කාමාදි ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත වු අර්හත්ඵලසමාධිය අර්හත්ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව වර්ථමාන ආත්මභාවයේ ම අධික වූ ප්‍රඥාවෙන් තමන් වහන්සේ ම ප්‍රත්‍යක්ෂ කර ගෙන සම්පාදනය කරගෙන වාසය කරන්නාහ. එය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් ය යන බව ඉහත දැක්වූ පාඨයෙන් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට වදාළ සේක.

දශබලඥාන සංග්‍රහ ගාථා

ඨානාඨානෙ විපාකෙ ච – මග්ගෙ සබ්බත්ථ ගාමිනා,

නානාධාතුම්භි ලොකස්මිං – අධිමුත්තිම්හි පාණිනං,

පරොපරියන්තේ ඤාණං – ඉන්ද්‍රියානඤ්ච ජන්තුනං

ක්‍ධනාදීසු ඤාණං පුබ්බෙ – නිවාසේ දිබ්බචක්ඛු ච,

ආසවක්ඛයඤාණකන්ති – දසඤාණබලං මතං

(සාසනසම්පත්ති දීපනී)

මේ ආකාරයෙන් සම්මා සම්බුදුවරයෙකු සතු දශබලඥාන පිළිබඳව යම් සරළ අවබෝධයක් ඔබහට ලැබෙන්නට ඇතැයි සිතමින් දශබලඥාන පරිච්චේදය මෙයින් අවසන් කරමි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,

ඉහත සියලුම මුලාශ්‍ර මගින් මෙම සියලු විස්තර ගතහැකි වුවත් මාගේ පසුව තකා මෙම දශබල ඥාන පරිච්චේදය සඳහා මා විසින් භාවිතා කරනු ලැබුවේ රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථයයි. මෙයින් ලද සියලුම කුසල කර්මයෝ අපගේ සාසනයට මහඟු සේවාවක් කල උන්වහන්සේට අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා !!!

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)252

අසිරිමත් බුදුගුණ වරුණ 46
චතු විශාරද ඥාණ

අවිදුරේ නිධානය අවසාන කරන්නට සිතුවේ සම්මා සම්බුදුවරයෙකුගේ බුදුගුණ සහ බෝධිමුලයේදී අවබෝධ කරගත් බුද්ධ ඥාණ ගැන ස්වල්ප වශයෙන් සටහනක් තබමින්. ඒ අයුරින් පසුගිය ලිපි පෙළ සකසුනා. අවසාන වශයෙන් චතු විශාරද ඥාණ සම්බන්ධව කෙටිසටහනක් තබමින් මෙම බුද්ධ ඥාණ සම්බන්ධව ලියු ලිපි පෙලද අවිදුරේ නිධානයද අවසාන කරන්නට සිතුවා. ඒ අනුව අඞ්ගුත්තරනිකාය චතුක්කනිපාතපාළියෙහි භණ්ඩගාමවග්ගයේ ඇති වෙසාරජ්ජ සුත්‍රය මේ අයුරින් ඔබ වෙත ගෙන එනවා.

වෙසාරජ්ජ සුත්‍රය

“මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගතයන් වහන්සේ උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරෙත්ද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්ම චක්‍රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ මේ විශාරද බැව් සතරක් වෙති. කවර සතරක්ද යත්?

  1. “සම්‍යක් සම්බුද්‍ධභාවය ප්‍රතිඥා කරන්නාවූ මට, ‘නුඹ වහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලදැ’ යි ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.

2.“තොපට ක්‍ෂීණාශ්‍රව බව ප්‍රතිඥා කරන්නාවූ මට, ‘මේ ආශ්‍රවයෝ ක්‍ෂය නොවූහ’ ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.

  1. “තොපට මාර්‍ග ඵලයන්ට අන්තරායකරවූ ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ‘ඔවුන් සේවනය කරන්නාහට අන්තරායකර නොවේය’ යි මට ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දෙකු නොදකිමි. මහණෙනි, එබන්දෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
  2. “තොපට තොපට යමක් උදෙසා ධර්මය දේශනා කරණ ලද්දේද, ‘ඒ ධර්මය ඒ අනුව වැඩ කරන්නහුට මනාකොට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීයයි මේ කරුණෙහිලා මට ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දකු නොදකිමි. මහණෙනි, එබන්දකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.

“මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගත තෙම උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරෙයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්මචක්‍රය පවත්වයිද, මේ ඒ සතර විශාරද භාවයෝ වෙත්.

“සකස් කරණ ලද යම්කිසි බොහෝ වාද පථයෝ වෙත්ද, යම් ඒ වාද පථ ඇසුරුකළ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු විශාරදවූ, වාදපථ ඉක්මවූ, තථාගතයන් වහන්සේ කරා පැමිණ නැතිවෙත්. යමෙක් ඒ සියලු වාද පථයන් මැඩ සියලුදෙනාට හිත කැමැත්තෙන් ධර්ම චක්‍රය පැවැත්වූයේද, සත්ත්‍වයෝ භවයාගේ පරතෙරට ගිය, දිව්‍ය මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨවූ, එබඳුවූ බුදුරජානන් වහන්සේට නමස්කාර කරත්.”

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » භණ්ඩගාමවග්ගො » වෙසාරජ්ජ සුත්‍රය

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)253

අසිරිමත් බුදුගුණ වරුණ 47
අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාණ ගැන කියවෙන කාලකාරාම සුත්‍රය සච්චක සහ කාළබුද්ධරක්ඛිත රහතන් වහන්සේ 01

සච්චක.

තථාගතයන් වහන්සේ වැඩ විසු කාලයේ වෛශාලිපුරයෙහි සච්චක නම් නිගණ්ඨපුත්‍රයෙක් වාසය කළා. ඔහුගේ මාපිය දෙදෙන වාද පන්සියය බැගින් දැන සිටි උගතුන්. සච්චක ඒ දෙදෙනා දත් සියල්ල ද නොයෙක් ශිල්පශාස්ත්‍ර හා භාහිරසමයයන් ද උගෙන කීර්තිමත් පඬිවරයෙක් වුණා. ඒ විතරක් නෙවෙයි. ඔහු වෛශාලියෙහි ඔබ අසා ඇති ලිච්ඡවි කුමාරයන්ට උගැන්වූ ගුරුවරයා ද වුණා. “තමා තරම් දත්, තමා හා වාදකථා කිරිමට සමත් අනිකකු ලෝකයේ නැතය” කියා සිතා ඔහු පණ්ඩිත මානයෙන් මත්ව සිටියේ ය.

ඔහු වෛශාලියෙහි ජනයා මැද සිට මා වාද කළ හොත් වෙවුලා නො යන, කිසිලිවලින් ඩහදිය නො වැගිරෙන පණ්ඩිතයෙක් ගණාචාර්‍ය්‍යයෙක් නැත. සම්‍යක් සම්බුද්ධය යි කියා ගෙන සිටින්නකු වුව ද මා වාද කළ හොත් වෙවුලා යන්නේ ය. ඔහුගේ කිසිලිවලින් ඩහදිය ගලන්නේ ය”යි පුරසාරම් බස් දොඩන්නට වුණා.

දිනක් සච්චක වේසාලියෙහි පාගමනින් ඇවිදිනුයේ එහි පිඬු පිණිස පිවිසි අස්සජි මහරහතන් වහන්සේ හමුවී උන්වහන්සේ හා පිළිසඳර කථා කොට “පින්වත් අස්සජියනි, කෙසේ ශ්‍රමණ ගෞතමයෝ ශ්‍රාවකයන් හික්මවත් ද? ශ්‍රමණ ගෞතමයන් බෙහෙවින් ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ කෙසේදැ”යි විචාරන්නට වුණා.

“රූපං හික්ඛවෙ අනිච්චං, වේදනා අනිච්චං, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං, රූපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තා,”

“අග්ගිවෙස්සන, භග්‍යවතුන් වහන්සේ මෙසේ ශ්‍රාවකයන් හික්මවන්නාහ, මෙසේ ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරන්නාහ”යි අස්සජි තෙරුන් වහන්සේ වදාරනු ලැබුවා.

එකල්හි සච්චක “පින්වත් අස්සජියනි, නො ඇසිය යුත්තක් ඇසීමි, යම් කිසි විටෙක, ඒ භවත් ගෞතමයන් මුණ ගැසී කථා කරන්නට වුව හොත් ඔහු මේ පාප දෘෂ්ටියෙන් මිදවිය හැකි වන්නේ ය’යි කිවා. මෙසේ කියූ ඔහු තනියෙන් නොව ලොවටම දනවන්නට වජ්ජින් පන්සියයක්ද සමග බුදුරජුන් හා සමග වාදයට ගියා. එදා ඔහු අන්ත පරාජයක් ලැබ බුදුරජුන් ඉදිරියේම වජ්ජින් අතරද අවඥාවට ලක්වුණා. එහෙත් මෙම ලිපියේ එම කථාවසම්පුර්ණයෙන් ම නොලියන්නේ අද දිනෙන් මෙම ලිපිය අවසන් කලයුතු බව හැඟුණු නිසා. එහෙත් බුදුරජාණන් වහන්සේ ඔහුට බණ කියන්නට ගියේ නැත්තේ ඒ වනවිටත් මානයෙන් ඉදිමි තිබුණු ඔහුගේ හිස ධර්මාවබෝධය තරමටම ප්‍රඥාව මෝරා නැති බව අනන්ත වූ බුද්ධ ඥානයට වැටහී ගිය නිසයි.

ඔහු එතැනින් නතර වුනෙත් නැහැ. තවත් දිනක පිරිසක් නැතිව රහසේම පැමිණියා බුදුරජාණන් වහන්සේව වාද කොට පරද්දන්නට. ඊට හේතුව යලිත් පැරදුනොත් අන් අය අතර අවමානයට ලක් නොවන්නට.

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් දෙසීමට ආනාගතයේ විය හැකි යහපත දැන වදාරා කරුණා පෙරදැරිව සච්චකයා පිළිගෙන ඔහුගේ ප්‍රශ්න විසඳමින් මහාසච්චක සූත්‍ර ධර්මය වදාරනු ලැබුවත් සච්චකගේ නුවණ මෝරා නො තුබුණෙන් සූත්‍ර දෙකක් ම අසා ද ඔහුට ධර්මාවබෝධය නොවුණා. යටත් පිරිසයින් අත් ඔසවා වැඳිම් මාත්‍රයකුදු නො කරන මේ නිගණ්ඨයාට තථාගතයන් වහන්සේ බොහෝ වෙහෙස ගෙන ධර්මදේශනා කරන ලැබුවේ වෙන් කිසිවක් නිසා නොවේ, අනාගතයේ ඔහුට ලක්දිව ඉපිද පැවිදිව රහත් ව නිවන් දැකිය හැකි වන බව දුටු නිසයි.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරනු ලැබුවා. සච්චක මිනිස් ලොවින් චුතව දෙව්ලොව උපන්න. සිරිලක් දෙරණේ බුදුසසුන පිහිටි පසු සච්චක දෙව්ලොවින් චුතව දක්ෂිණගිරි විහාරස්ථානයෙහි ඇමති පවුලක ඉපිද පැවිදි වීමට සුදුසු වයසට පැමිණි කල්හි ගිහිගෙන් නික්ම පැවිදි වුණා. පසුව ඔහු කාළබුද්ධරක්ඛිත නම් වුණා. ඒ භික්ෂු තෙමේ ත්‍රිපිටක ධර්මය මැනවින් උගෙන ආචාර්‍යය වරයෙක් වී දිනක් බොහෝ භික්ෂුන් සමග උපාධ්‍යායන් දක්නට ගියා. උපාධ්‍යායන් වහන්සේ තමන්ගේ සඬිවිහාරිකයා හික්මවන්නට සිතා ත්‍රිපිටකය උගෙන මහා පිරිසකුත් සමඟ පැමිණි කාළබුද්ධරක්ඛිතට මුහුණ නුදුන්නා. අන් සැලකිල්ලක් තබා පිළිසඳර කථා මාත්‍රයකුදු නො කළ. සමහර විට මට හිතෙනවා ඒ බුදුරජුන්ට කරන්නට සැරසුණු අවමානය නිසාද කියලා. පසු දින උදෑසන බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන් වෙත ගොස් වැඳ “ස්වාමිනි, මම ත්‍රිපිටික ධර්මය උගෙනීම නිම කොට නුඹ වහන්සේ දක්නට පැමිණියෙමි. නුඹ වහන්සේ මට මුහුණ දී කථාවකුදු නො කරන සේක. මා අතින් සිදුවී ඇති වරද කිමදැ’යි අසා සිටියා. එකල්හි තෙරණුවෝ “ඇවැත්නි, බුද්ධරක්ඛිත ඔබ ත්‍රිපිටකය උගත් පමණින් පැවිදි කිස නිම වී යයි සිතන්නෙහිදැ යි ඇසුවා. ස්වාමිනි, කුමක් කරන්නෙම්දැයි බුද්ධරක්ඛිත භික්ෂුනම කීය. පිරිස හැර පළිබෝධ සිඳ, කසිතපබ්බත විහාරයට ගොස් මහණ දම් කරවා’යි තෙරුන් වහන්සේ කීවා. බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන්ගේ අවවාදයෙහි පිහිටා මහණදම් පුරා සිවුපිළිසිඹියාවන් සහිතව අර්හත්වයට පැමිණ බොහෝ භික්ෂුන් පිරිවර කොට ඇති රාජ පූජිත තෙරනමක් වී චේතියපබ්බත විහාරයෙහි වාසය කළා. ඒ කාලයේ තිස්ස රජ සිල් සමාදන්ව සෑගිරියේ රජලෙනෙහි වාසය කරයි. රජතුමා “කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසන, ප්‍රශ්න විසඳන අවස්ථාවක් වේ නම් මට දන්වනු මැනවයි” තෙරුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුවකට කියා තැබුවා. එක් දිනක් කාලබුද්ධරක්ඛිත තෙරණුවෝ භික්ෂුසංඝයා සමඟ කණ්ඨක චෛත්‍යය වැඳ එය සමිපයෙහි ඇති කළු තිඹිරිගසක් මුල වැඩ සිටියා. එකල්හි එක් පිණ්ඩපාතික තෙරනමක් උන්වහන්සේගෙන් කාළකාරාම සුත්‍රයෙන් ප්‍රශ්නයක් ඇසුවා. එය පොහෝ දිනයෙකි. තෙරුන් වහන්සේ “අද දහම් අසන දිනය නො වේදැ’යි භික්ෂුන්ගෙන් ඇසූහ. භික්ෂුහු “එසේය’යි පිළිතුරු දුන්හ. එසේ නම් “පුටුවක් ගෙනව, අද මෙහි ම දහම් දෙසමි’යි වදාළහ. තෙරුවන් වහන්සේ එහි වැඩ හිඳ රාත්‍රීය මුළුල්ලෙහි කාළකාරාම සූත්‍රයෙන් දහම් දේශණා කළා.

කාළකාරාමසූත්‍රය, සුත්‍රදේශනා අතුරෙන් ඉතා උසස් සුත්‍රධර්මයෙකි. එය දේශනය කිරිමේ දී පස් වරක් පොළොව කම්පිත වුණා. එය ඇසිමෙන් පන්සියයක් භික්ෂුහු සව්කෙලෙසුන්නසා රහත් වූණා. සුවාසූ දහසක් සත්වයනට ධර්මාභිසමය වූණා. එය බුදුගුණ දැක්වෙන සුත්‍රයක්. මේ බුදුගුණ කථනස්ථානයේ දී එය දැක්වීමට යෝග්‍ය සූත්‍රධර්මයක් වුව ද ඉතා ගැඹුරු වූ ඒ සුත්‍රයේ ධර්ම රසය සැමටම ලැබිය නොහෙන බැවින් මෙහිදී ලියවෙන්නේ නැහැ. එය අඬිගුත්තරනිකායේ චතුෂ්කනිපාතයේ පඨමපණ්ණාසකයේ උරුවේලවග්ගයේ සතරවන සූත්‍රයයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » උරුවෙලවග්ගො » කාළකාරාම සුත්‍රය

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)254

අසිරිමත් බුදුගුණ වරුණ 48
අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාණ ගැන කියවෙන කාලකාරාම සුත්‍රය සච්චක සහ කාළබුද්ධරක්ඛිත රහතන් වහන්සේ 02

අනන්ත වූ බුදුගුණ වැයුම

මිහින්තලේ රාජගිරි නමින් හැඳින්වුණු පෙදෙසෙහි කලු බුද්ධ රක්ඛිත නම් වූ කලු වර්ණයෙන් යුතු වූ තෙරුන් වහන්සේ, කලු ගල්ලෙනක, කලුවර අමාවක පොහොය දිනක, මිහින්තලේ කලු දිය පොකුණ අසල, කලුතිඹිරි ගසක් මුල කලු ගල් ආසනයක වැඩ හිදිමින් කාලකාරාම සූත්‍රය දේශනා කරන්නට පටන් ගත්තා. මෙය අනන්ත වූ බුදුගුණ වලින් අල්පයක් ගැන වැදැරු දේශනාවක් බව මීට පෙර සඳහන් කළා.

මෙදින ද අමාවක පොහොය දිනය වූයෙන් උපෝසථ සීලය සමාදන් වු සද්ධාතිස්ස රජු සුමධුර ධර්ම දේශනාවකට සවන් දීමේ ආශාවෙන් සිටියා. මිහින්තලේ පැවැත්වෙන සුවිශේෂ ධර්ම දේශනය පිළිබඳ රජුට අසන්නට ලැබුනා. මිට පෙර කියූ පරිදි උපස්ථායකයන් වහන්සේ විසින් කල පුර්ව දැනුම් දීමෙන් රජුද අතවැසියන් සමග බණ ඇසීමට එහි ගියා. රජු එහි යන විට අඳුර වැටී තිබූ අතර බොහෝ දෙනා ධර්ම දේශනා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී සිටියා. තමා පැමිණි බව තෙරුන් වහන්සේට දැන්වීම හෝ සෙනග පීරා ගෙන ඉදිරියට යෑම හෝ නොමනා යැයි රජු සිතු නිසා ඉඩ ලද තැනක සිටි වනම හිටිපිය නොසලා, මුළු රැය පහන් වනතුරුම ධර්ම ශ්‍රවණය කළා. පසු දින පහන් වත්ම හමාර බණ දෙසූ හිමියෝ ධර්ම දේශනය නිමා කළා.

තමන් පැමිණි බව තෙරුන්ට ඇඟවීමට සුදුසු කල යැයි සිතූ රජු උන් වහන්සේගේ දර්ශන පථයට සමීප වුනා. බුද්ධ රක්ඛිත හිමියෝ රජු හැඳින ගත්තා.

රජු තෙරුන් සමීපයට ගොස් දොහොත් මුදුන් දී වැද තමා මුළු රැයම ධර්ම ශ්‍රවණය කළ බවත් එයින් තමා ගැඹූරු ආශ්වාදයක් විඳි බවත් රජු පැවසුවා. රජකු වශයෙන් කිසි සුවයක් නොලැබ මුළු රැය පුරා හිටිවනම ධර්මය ශ්‍රවණය කිරීම ගැන තෙරුන් වහන්සේ පුදුමය පළ කළහ. ඊට පිළිතුරු දුන් රජු ‘ ඔබ වහන්සේගේ මිහිරි ධර්ම දේශනා විලාසය අතිශයින්ම ප්‍රසාදජනක යැයි ද එක් රැයක් නොව දිවි ඇතිතුරා වුවද ඔබ වහන්සේගේ දේශනාව අසා සිටිය හැකි යැයි ද පැවසුවා.

මෙතරම් අරුත්බර මිහිරි ධර්ම දේශනයක් මෙතෙක් තමාගේ ජීවිත කාලය පුරා අසා නැති බවත් පැවසු රජු ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය එක සූත්‍ර දේශනාවකින්ම පැවසුවේ නොවේදැ’යි විමසා සිටියා.

බුද්ධ රක්ඛිත තෙරුන් – නැත මහරජ ඒ අනන්ත ගුණ සමුදාය මා හට වචනයට ගොනු කල නොහැකියි. දේශණා කලේ ඒ අනත වූ බුදුගුණ සාගරයෙන් අල්පවූ වක්මයි. උපමාවක් නැති තරම්.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට එසේ කීවාට නොවැටහේ. උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – සතර මහා දේශයට වැටෙන මුරුගසන් වරුසාවක ගෙයක පියස්සක් මතට වැටි වතුර පොද හා සමානයි මාගේ දේශනාව. මුලු සතර දේශයට ම වැටි මහා ජලකඳ හා සමානයි ඒ මහා අනන්ත ගුණ සමුදාය.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට එසේ කීවාට නොවැටහේ. තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – අප්‍රමාණ ධාන්‍ය රැසකින් සැදි හාල් කෙතකින් ගිරෙවෙක් හොටෙන් ගත් එක් වී කරලක් හා සමානයි මා කල දේශණාව. ඒ මහත් කෙතහි ඇල් හාල් හා සමානයි මා නොකී ගුණ සමුදාය.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට එසේ කීවාට නොවැටහේ. තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – මහරජ දෙගොඩතලා යන වතුරකට දැමු ඉඳිකටු තුඩක සිදුරෙන් යන වතුර ස්වල්පය හා සමානයි මා කල දේශණාව. අර මහා දියකඳ හා සමානයි නොකී බුදුගුණ සමුදාය.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – මහරජ මහා සයුරෙන් දියබිදක් නියපිටට ගත්තා හා සමානයි මා විසින් දේශණා කරන්නට යෙදුනු බුදුගුණ. මහා සයුර මෙන් අනන්තයි දේශනා නොකළ බුදුගුණ.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – කුහුබියෙකු උගේ කුඩා තුඩින් මහා අත්රාජයකුගේ සිරුරෙන් ගත් මස් ස්වල්පයක් හා සමානයි මා දේශනාකල බුදුගුණ. ඒ අත්රාජයගේ මස් ප්‍රමාණය හා සමාණයි දේශනා නොකළ බුදුගුණ.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – මහරජ ආකාසයේ පියාසරණ පක්ෂියකුගේ තටු දෙකට ආවරණය වූ ආකාසය හා සමානයි මා දෙසු බුදු ගුණ. ඒ මහත් වූ අකාසයම හා සමානයි මා විසින් දේශනා නොකළ බුදුගුණ.

සාදු සාදු ස්වාමින්වහන්ස මට හොදින් වැටහුණි!

රජ තුමාගේ ශ්‍රද්ධා භක්තිය වැඩිණි. තෙරුන් වහන්සේ කෙරෙහිද ප්‍රසාදය ද වැඩිණි. රජු කොතරම් ප්‍රසාදයට පත් වීද යත් තමා සක් දෙවි නම් මුලු දිව්‍ය පුරයම පූජා කරමියි ද ස්වාමිනි මම ඔබ වහන්සේට මුලු ලංකාද්වීපයම පූජා කරමියි ද වැඳ වැටී කියා සිටියා.

මෙලෙස කියා නිමකළ නොහැකි බුදුගුණ සමුදායක් සමගින් අවිදුරේ නිධානය නිමාවට පත්වෙනවා. මින් ඉදිරියට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සිට පිරිනිවන්පෑ දින තෙක් ගතකල වස් හතලිස් පහ සහ එහි සුවිශේසී සිද්ධි, ධර්ම කරුණු මෙන්ම මෙතෙක් නොඇසූ හද සසල කරවන අප්‍රකට කරුණුද කියවන්නට ලැබේවි. එය සංතිකේ නිධානය නම් වනවා.

අපේ බුදුහාමුදුරුවෝ 255

සන්තිකේ නිධානය
හැඳින්වීම

අද වප් පුර පසළොස්වක පොහොය දිනය.අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ තුන්වන කොටස වන “සන්තිකේ නිධානය” අද දිනයේ අරඹන්න ඕනේ කියලා තදින්ම සිතා ගත්තා.අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළ ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්තයි. එය දූරේ නිධානය, අවි දූරේ නිධානය, සහ සන්තිකේ නිධානය නම් වනවා. දූරේ නිධානය කියන්නේ අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ප්‍රථම විවරණයේ සිට පිළිවලින් සුවිසිවිරණ ලැබීමෙන් පසු බුදුවීමට පෙර අවසන් වශයෙන් මනු ලොව ඉපදුන (වෙස්සන්තර ජාතකය) ආත්මභාවය දක්වා වූ කතා වෘතන්තයයි. ඉන් අනතුරුව උන්වහන්සේ තුසිත දෙවුලොව ඉපෙදෙනවා. ඒ කොටස ත්‍රිපිටක අට්​ඨ කථාවෙහි දූරේ නිධානය නොහොත් දුර නිදානය වශයෙන් හඳුන්වනවා. එය කොටස් 141 කින් ලියා අවසන් කළා.

අවිදුරෙ නිධානය කියන්නේ දුරේ නිධානයෙන් පසු තුසිත දෙවුලොවින් පිට වී බුද්ධත්වය දක්වා පැමිණි ගමන් මගටයි. එය අවිදූරේ නිධානය නොහොත් දුර නැති නිධානය වශයෙන්ද හඳුන්වනවා. එය කොටස් 142 සිට දෙසිය පනස් හතර තෙක් කොටස් 112 කින් ලිය අවසන් කළා.

දැන් ඇත්තේ සන්තිකේ නිධානයි. එනම් එනම් ළඟ නිධානය නොහත් බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වා පැමිණි ඒ වස් හතළිස් පහක් වූ කාලයෙහි විස්තර කතාවයි. දැන් අද දින සිට ඔබ වෙත දිග හැරෙන්නේ ඒ අති රමණීය බුදු පිය සටහන් පෙළයි .

බෝ මැඬ දී උදාන වාක්‍ය පහළ කොට වැඩ සිටි බුදුන් වහන්සේට මෙබඳු අදහසක් පහළ වුණා. මම මේ බෝමැඩ පළඟ සඳහා සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර ගමන් කළෙමි. ඒ කාලය තුළ මම මේ පළඟ සඳහා අලංකාර කළ හිස බොටුවෙන් සිඳ දුනිමි. අදුනෙන් සැරසූ ඇස් සහ හෘදය මාංශ උපුටා දුනිමි. ජාලිය කුමරු වැනි පුතුන් ක්‍රිෂ්ණජිනා කුමරිය වැනි දියණියන් මද්රි දේවි වැනි බිරියන් අනුන්ගේ බැලමෙහෙ සඳහා දුනිමි. මේ පළඟ මගේ නොපැරදුණු පළඟයි. බුදු බව ලබා ගත් උතුම් පළඟයි. මෙහි වැඩ හුන් මගේ සියලු ප්‍රාර්ථනා සඵල විය. තවදුරටත් මෙයින් නොනැගිටිමි. යනුවෙන් සිතමින් නොයෙක් කෙළ සිය ගණන් සමවත් වලට සම වදිමින් සත් දිනක් එහිම වැඩ සිටියා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව 01.

අපේ බුදුහාමුදුරුවෝ 256 (සන්තිකේ නිධානය)

සත්සතිය 01

අද සිට අපගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු ගතකල වස් හතලිස් පහක අති සුන්දර මෙන්ම අති ගාම්භීර ගමන් මග ලියන්නට පටන්ගන්නවා. මෙය සමහර විට මාගේ ඉතිරි ජීවිත කාලය පුරාවටම ලියන්නට වේවිද යන පිළිබඳව කිසිම අවබෝධයක් නැත්තේ වස් හතලිස් පහක් යන කෙටි කාලයක් තුල එතරම් දේශණා සිදුවීම් ත්‍රිපිටකය සහ අට්ඨ කතා තුල සංග්‍රහ වී තිබීමයි. එහෙත් බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා පැමිණි කාලය අනුපිළිවෙලින් දැනගැනීමට මාර්ගෝපදේශයක් සෙවීමේදී අද අප අතර නැති ගෞරවනීය බළන්ගොඩ ආනන්දමෛත්‍රි මහණායක හිමිපාණන් වහන්සේ විසින් රචිත “සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය” නම් ග්‍රන්ථය අහඹු ලෙස නෙත ගැටුනා. එම නිසා මහනායක හිමිනමක් මග පෙන්වන ලෙස සුත්‍ර දේශණා ද ඇසුරෙන් මෙම අති දීර්ඝ ලිපි පෙළ සාර්ථක කරගත හැකි බව හැඟී ගියා.

පළමු සතිය, පළමු දින සත.

භාග්‍යවතුන් වහන්සේ එදින බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල තව දුරටත් වාසය කරමින් සත් දවසක් නිවන් රසය විඳිමින් වජිරාසනයේම වැඩ සිටියා. එය “පඨම බෝධි සුත්‍රයේ” මෙලෙස කියවෙනවා. “මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ (බුදු වැ) පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා ගං තෙර බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.

පළමු සතිය, සත්වෙනි රාත්‍රිය පළමුවැනි යාමය ප්‍ර‍තීත්‍යසමුත්පාදය අනුලෝම වශයෙන් මෙනෙහි කිරීම

භාග්‍යවතුන් වහන්සේ එදින බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය තව දුරටත් වාසය කරමින් සත් දවසක් නිවන් රසය විඳිමින් වජිරාසනයේම වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැගිට රාත්‍රියෙහි පළමුවැනි යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය (ප්‍ර‍තීත්‍යසමුත්පාදය) අනුපිළිවෙළින් (අනුලෝම වශයෙන්) මෙසේ මෙනෙහි කරන්නට වුනා.

“මෙසේ මෙය ඇතිකල්හි මෙසේවේ. මෙය ඇතිවීමෙන් මෙය උපදී එනම්:- “අවිද්‍යාප්‍ර‍ත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍ර‍ත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍ර‍ත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍ර‍ත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍ර‍ත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍ර‍ත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍ර‍ත්‍යයයෙන් උපාදානය වේ. උපදානප්‍ර‍ත්‍යයයෙන් භවය වේ. භවප්‍ර‍ත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍ර‍ත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු වෙත්. (පහළ වෙත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ” යනු යි. මෙසේ මේ සියළු දුක් රැස පහළවීම වේයයි” මෙනෙහි කරනු ලැබුවා.

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ සෑම අයුරින්ම මෙහි අර්ථය දැන ඒ අවස්ථාවෙහි ම මෙම ප්‍රීතිවාක්‍යය පහළ කරනු ලැබුවා.

‘‘යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා,

ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස

අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා,

යතො පජානාති සහෙතුධම‍්ම’’න‍්ති.

“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ යොගියාට යම් වේලාවක සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙත්ද? එකෙණෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දුක් රාශිය දනීද, එහෙයින් ඔහුගේ සියළු සැකයෝ දුරුවෙත්.”

පළමු සතිය, සත්වෙනි රාත්‍රිය, දෙවැනි යාමය ප්‍ර‍තීත්‍යසමුත්පාදය ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම.

ඉන් පසුව අප මහා බුදුපියාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අග සිට මුලට මෙනෙහි කරන්නට වුනා.

ඒ “මෙසේ මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේ.” යනුවෙන්. ඒ මෙලෙසයි.,

“අවිද්‍යානිරොධයෙන් සංස්කාර නිරොධය වේ. සංස්කාරනිරොධයෙන් විඥාණ නිරොධය වේ. විඥාණ නිරොධයෙන් නාමරූපනිරොධය වේ. නාමරූප නිරොධයෙන් ෂඩායතන නිරොධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශයනිරොධය වේ. ස්පර්‍ශනිරොධයෙන් වෙදනානිරොධය වේ. වේදනානිරොධයෙන් තෘෂ්ණානිරොධය වේ. තෘෂ්ණානිරොධයෙන් උපාදානය නිරොධය වේ. උපදානනිරොධයෙන් භවනිරොධය වේ. භවනිරොධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරොධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරොධය වේ” යනු යි.

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ සෑම අයුරින්ම මෙහි අර්ථය දැන ඒ අවස්ථාවෙහි පෙරසේම ප්‍රීතිවාක්‍යය පහළ කරනු ලැබුවා.

‘‘යදා හවෙ පාතුභවන්ති ධම්මා,

ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස;

අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා,

යතො ඛයං පච්චයානං අවෙදී’’ති. දුතියං;

“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ පව් දුරු කළ යොගීහට බොධිපාක්‍ෂික ධර්ම පහළ වන කල අවිද්‍යාදී හේතුන්ගෙන් ගෙවීමට කරුණුවූ නිවන ප්‍රත්‍යක්‍ෂ කරණ බැවින් ඔහුගේ සියලු සැකයෝ දුරුවෙත්.”

පළමු සතිය, සත්වෙනි රාත්‍රිය, තුන්වැනි යාමය, ප්‍ර‍තීත්‍යසමුත්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගි සිට, රෑ පැසිම් යම්හි, “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදනේ ය. මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යි. අනුලෝම ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කරනු ලැබුවා.

ඒ මෙලෙසයි: “අවිද්‍යාප්‍ර‍ත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍ර‍ත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍ර‍ත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍ර‍ත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍ර‍ත්‍යයයෙන් වෙදනාව වේ. වෙදනාප්‍ර‍ත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍ර‍ත්‍යයයෙන් උපාදානය වේ. උපදානප්‍ර‍ත්‍යයයෙන් භවය වේ. භවප්‍ර‍ත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍ර‍ත්‍යයයෙන් ජරාමරණ ශොකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු වෙත් (උපදිත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ.

අවිද්‍යාවගේ නිරවශේෂ නිරොධයෙන් සංස්කාරයන්ගේ නිරොධය වේ. සංස්කාරයන්ගේ නිරොධයෙන් විඥානයාගේ නිරොධය වේ. විඥානනිරොධයෙන් නාමරූපනිරොධය වේ. නාමරූපනිරොධයෙන් ෂඩායතනනිරොධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරොධය වේ. ස්පර්‍ශනිරොධයෙන් වෙදනානිරොධය වේ. වෙදනානිරොධයෙන් තෘෂ්ණානිරොධය වේ. තෘෂ්ණානිරොධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරොධයෙන් භවනිරොධය වේ. භවනිරොධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරොධයෙන් ජරාමරණ ශොකපරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරොධය වේ.”

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ සෑම අයුරින්ම මෙහි අර්ථය දැන ඒ අවස්ථාවෙහි ම මෙම ප්‍රීතිවාක්‍යය පහළ කරනු ලැබුවා.

‘‘යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා,

ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස;

විධූපයං තිට‍්ඨති මාරසෙනං,

සූරියොව [සුරියොව (සී. ස්‍යා. කං. පී.)] ඔභාසයමන‍්තලික‍්ඛ’’න‍්ති.

“කෙළෙස් තවන වීර්යය ඇති පවු පිටමංකළ යොගී තෙමේ තමහට බොධිපාක්‍ෂීය ධර්ම පහළ වන කෙනෙහිම අඳුර දුර ගසා අහස බබුලුවන හිරුමෙන් සියලු මර සෙනඟ බිඳහරිමින් සිටී.”

උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » උදානපාළි » බොධිවග්ගො » පඨම බොධි සූත්‍රය.
විනය පිටකය » මහාවග්‌ගපාළිය » මහාඛන්‌ධකය සහ එහි අට්ඨ කථාවවන සමන්තපාසාදිකා විනය අට්ඨ කථාව.

අපේ බුදුහාමුදුරුවෝ 257 (සන්තිකේ නිධානය)

සත්සතිය 02
බුද්ධත්වයට පත්වීමෙන් දෙවැනි සතිය පළමු දින යමා මහ පෙළහර පෑම.

බුදු වීමෙන් පසුත් උන්වහන්සේ මිට ඉහත කී පරිදී සමවතින් නොනැගිට දවස් හතක්ම නිවන් සුවය අත්විදිමින් සිටියා. සත්වෙනි දවසේ රාත්‍රියේ පටිච්ච් සමුප්පාද දරමයන් මෙනෙහි කල බව මීට ඉහතදී කීවා. පළඟ නො ලිහා ම බෝ මුලැ භාග්‍යවතුන් වහන්සේ ඉන්නා දුටු ඇතැම් දේවතා කෙනෙක්නට තව ම සිද්ධාර්ථයන් වහන්සේ විසින් කළ මනා කෘත්‍ය ඇත්තේ වන. පළඟෙහි ඇල්ම නො හැරියේ එහෙයින් දෝ”යි කල්පනා කරන්නට වුණා. එවිටැ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ඒ පරිවිතර්කය දැන, අහසට නැග ඔවුන්ගේ විතර්ක දුරු කිරීමෙහි සමර්ථ වූ යමා පෙළහරක් දක්වන්නට වුණා. ප‍්‍රාතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප‍්‍රාතිහාර්ය ඥානය ලෙස හඳුන්වනව. අතිශය දුෂ්කර මෙන්ම විරළ කාර්යයක් වන යමක ප‍්‍රාතිහාර්ය පෑම රහතන් වහන්සේලාටද පසේ බුදුවරුන්ටද අර්හත්වයේ අනුහසින් කළ නොහැකියි. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප‍්‍රාතිහාර්ය පෑමට අසමත් වනවා. එහෙයින් සම්මා සම්බුදුවරයෙකුම බව ලොවට පෙන්වීමට ඇති හොඳම මාර්ගය සම්මා සම්බුදුවරයෙකුට පමණක් සුවිසේෂි වූ යමක ප්‍රාතිහාර්යය පෑම පමණක් බව දැන් ඔබටත් වැටහෙනවා ඇති. එහෙත් එවැනි ප්‍රාතිහාර්යය පෑමක් සම්මා සම්බුදුවරයෙකු ලෙහෙසියෙන් ම නොකරණ බවත් අප මහා බුදුපියාණන් වහන්සේ විසින් යමක ප්‍රාතිහාර්‍ය පෑවේ ජිවිත කාලයටම තුන් වරක් පමණක් බවත්, එහි විස්තරත් මීට ඉහත ලිපිවල සඳහන් කළා. එම පෙළහර දැක්වීම පිළිබඳව ඛුද්දකනිකායේ » පටිසම්භිදාමග්ගපාළියෙහි » මහාවග්ගයේ » ඤාණකථාවල » යමකපාටිහීරඤාණ නිද්දේශයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් මෙලෙස දේශණා කොට වදාරා තිබෙනවා. එමනිසා එම සුත්‍ර දේශනාවේ ඇති අයුරින්ම මෙහි සඳහන් කරනවා.

යමකප්‍රාතිහාර්‍ය්‍යය

කුමක් නම් තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය වේද? මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට අසාධාරණවූ යමක ප්‍රාතිහාර්ය දක්වයි.

උඩුකයින් ගිනිකඳ පවතියි. යටිකයින් දිය දහර පවතියි.

යටිකයින් ගිනිකඳ පවතියි. උඩුකයින් දිය දහර පවතියි.

පෙර කයින් ගිනිකඳ පවතියි. පසුකයින් දිය දහර පවතියි.

පසු කයින් ගිනිකඳ පවතියි. පෙර කයින් ගිනිකඳ පවතියි.

දකුණු ඇසින් ගිනිකඳ පවතියි. වම් ඇසින් දිය දහර පවතියි.

වම් ඇසින් දිය දහර පවතියි. දකුණු ඇසින් ගිනිකඳ පවතියි.

දකුණු කණින් ගිනිකඳ පවතියි. වම් කණින් දිය දහර පවතියි.

වම් කණින් ගිනිකඳ පවතියි දකුණු කණින් දිය දහර පවතියි.

දකුණු නාස් පුඩුවෙන් ගිනි කඳ පවතියි. වම්නාස් පුඩුවෙන් දිය දහර පවතියි.

වම් නාස් පුඩුවෙන් ගිනිකඳ පවතියි. දකුණු නාස් පුඩුවෙන් දිය දහර පවතියි.

දකුණු උරහිසින් ගිනිකඳ පවතියි. වම් උරහිසින් දියදහර පවතියි.

වම් උරහිසින් ගිනිකඳ පවතියි. දකුණු උරහිසින් දියකඳ පවතියි.

දකුණු අතින් ගිනිකඳ පවතියි. වම් අතින් දියකඳ පවතියි.

වම් අතින් ගිනිකඳ පවතියි. දකුණු අතින් දියදහර පවතියි.

දකුණු අංසයෙන් ගිනිකඳ පවතියි. වම් අංසයෙන් දිය දහර පවතියි.

වම් අංසයෙන් ගිනිකඳ පවතියි. දකුණු අංසයෙන් දිය දහර පවතියි.

දකුණු පාදයෙන් ගිනිකඳ පවතියි. වම් පාදයෙන් දිය දහර පවතියි

වම් පාදයෙන් ගිනිකඳ පවතියි. දකුණු පාදයෙන් දිය දහර පවතියි.

ඇඟිල්ලකින් ඇඟිල්ලකින් ගිනිකඳ පවතියි. ඇඟිලි අතරින් දිය දහර පවතියි.

ඇඟිලි අතරින් ගිනිකඳ පවතියි. ඇඟිල්ලකින් ඇඟිල්ලකින් දිය දහර පවතියි.

එක් එක් රෝමයකින් ගිනිකඳ පවතියි. එක් එක් රෝමයකින් දිය කඳ පවතියි.

රෝම කූපයකින් රෝම කූපයකින් ගිනිකඳ පවතියි රෝම කූපයකින් රෝම කූපයකින් දිය දහර පවතියි.

සකල ශරීරයෙන් නීල පීත ලොහිත ඔදාත මංජ්‍යෙෂ්ට ප්‍රභාස්වර යන සවණක් රැස් පවතියි.

මෙවැනි මහා ප්‍රාතිහාර්යය පෑමක් කරන අවස්ථාවේ පරිසරයේ නැගෙන ආලෝකය සමහරවිට දෙව්ලොව බඹලොව දක්වා පැතිරෙනවා ඇති. මෙම දර්ශණ බලා මවිත වුනේ සාදුකාර දුන්නේ මිනිසුන් නෙවෙයි. ඔබ මම මහා ඉහලින් සළකන ලබන දෙවියන් බ්‍රහ්මයන්. මොකද ඔවුන්ටවත් මෙවැනි දර්ශනයක් තම දීර්ඝ වූ ජිවත කාලය තුල දකින්නට නොලැබෙන නිසා.

උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකායේ » පටිසම්භිදාමග්ගපාළියෙහි » මහාවග්ගයේ » ඤාණකථාවල » යමකපාටිහීරඤාණ නිද්දේශය

අපේ බුදුහාමුදුරුවෝ 258 (සන්තිකේ නිධානය)

සත්සතිය 02
පළමුවන බෝධි පූජාව නොහොත් අනිමිසලෝචන පූජාව

එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියා. ඉන්පසු අටවෙනි දිනයෙහි යමක ප්‍රාතිහාර්යය පෑ බව අප මීට කලින් ලිපියේ සඳහන් කළා. (යමක ප්‍රාතිහාර්යය දාහතර වැනි දිනයේදී සිදුකල බව අභිධර්ම අටුවාවෙහි කියවෙනවා. සත්වෙනි දින අවසානයේ ලෙස සඳහන් කලේ විනය අටුවාවෙහි සඳහන් පිළිවෙලට.) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටියා. ඔබ මම හොඳින් දන්නා පරිදී බුදුවීමෙන් පසු දෙවන සතිය බුදුරජාණන් වහන්සේ ගතකලේ තමාට බුද්ධත්වයට සෙවණ දුන් ඇසටු බෝධිය දෙස ඇසපිය නොහෙළා බලා සිටිමින් තමා විසින් අවබෝධ කොටගත් ඒ අතිමහත් ධර්මය මෙනෙහිකරමින්ය. එහෙත් ඒ පිළිබඳව වැඩි විස්තරයක් සුත්‍ර පිටකයේ සොයාගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඒ අඩුව පිරවීමට මහාචාර්යය රෙරුකාණේ චන්දවිමල මහනායක ස්ථවිරයන් වහන්සේගේ බෝධි පුජාව නමැති ග්‍රන්ථයේ මෙම කොටස ඇතුලත් කරන්නට සිතුණා .

මහා බෝධිය

බෝධි වෘක්‍ෂවල සර්‍වඥවරයන්ට ඒ තත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නො ලබා බුදු විය නො හැකි ය. මහ බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධිමූලයන්ට එළඹෙන්නේ ඒ නිසා ය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණෙකි. එයින් ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුවරුන් පරිභෝග කළ වස්තූහු ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ බුදු වූ විගස ම ඒ අසුනෙන් නො නැඟී බෝධියට පිට දී සතියක් ම එතැන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසා ද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්‍ෂවලින් සියල්ලට උසස් වෘක්‍ෂය වන බැවින් ඒ වෘක්‍ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින් ද ශක්‍ර‍ බ්‍ර‍හ්මාදි මහත් වූ පුද්ගලයන්ගෙන් පුද ලබන බැවින් ද මහා බෝධි නම් විය.

බෝධි මණ්ඩලය

ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍ර‍ත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්වයට පැමිණිය හැකි ය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේ ය. මහා බෝධි සත්ත්වයනට එසේ කොතැනක දී හෝ බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. මිනිස් ලොවෙහි ම මිස දිව්‍ය‍ලෝක බ්‍ර‍හ්මලෝක නාගලෝකාදියෙහි ලොවුතුරා බුදුබව නො ලැබිය හැකි ය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහි ම ය. එහි ද සෑම තැනකදී ම බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නො හෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍ර‍හ්මයකුට වුව ද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැ යි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍යදේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.

සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.

පළමුවන බෝධි පූජාව නොහොත් අනිමිසලෝචන පූජාව

ශ්‍රී මහා බෝධීන් වහන්සේට පළමු වන පූජාව කෙළේ ද තථාගතයන් වහන්සේ විසිනි. ලොවුතුරා බුදු බව ලැබූ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝධි මූලයේ වජ්‍රාසනයේ ම පළමුවන සතිය ගෙවා ඉන් නැඟිට බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ මාගේ අදහස මේ බෝධිමූලයේ දී මස්තකප්‍රාප්ත වූයේ ය. මෙය නිකම් ම අත් හැර නො යා යුතු ය. මා හට බුදු බව ලැබීමට උපකාර වූ මේ බෝධි වෘක්‍ෂයට හා ආසනයට පූජාවක් කළ යුතුය යි සිතා බෝධිය දෙසත් වජ්‍රාසනය දෙසත් පඤ්ච වර්ණයෙන් බබලන්නා වූ නෙත් දෙකින් ඇසිපිය නො හෙළා ම සතියක් මුළුල්ලෙහි බලා ගෙන සිටි සේක. එය නේත්‍ර‍ පූජාවෙකි. එයට අනිමිසලෝචන පූජාව ය යි කියනු ලැබේ. එය ඉතා දුෂ්කර පූජාවකි. සාමාන්‍ය මිනිසුන්ට විනාඩි ගණනක් ඇසිපිය නො හෙළා විසීම ද දුෂ්කර ය. එහෙත් තමනට බුදු බව ලබා ගැනීමට ආධාර වූ ස්ථානය බව සලකා ඒ දෙස ඇසි පිය නො හෙළා බලාගෙන සතියක් ම ඇසින් පූජා කරමින් සමවත් සමවැද සිටිසේක. (මෙතැන අනිමිසලෝචන චෛත්‍ය නම් වී.)

උපකාරක ග්‍රන්ථ – මහාචාර්යය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත බෝධි පුජාව නම් ග්‍රන්ථය

පඨමං බෝධිපල්ලංකං දුතියං ච අනිම්මිසං

තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනාඝරං

පඤ්චමං අජපාලං ච මුචලිනෛඳ්‍රන ඡට්ඨමං

සත්තමං රාජායතනං වනෛඳ මුනිසේවිතං!!!

අපේ බුදුහාමුදුරුවෝ 259 (සන්තිකේ නිධානය)

සත්සතිය 03
රුවන් සක්මන

බුදුවීමෙන් පසු දෙවන සතිය බුදුරජාණන් වහන්සේ ගතකලේ තමාට බුද්ධත්වයට සෙවණ දුන් ඇසටු බෝධිය දෙස ඇසපිය නොහෙළා බලා සිටිමින් තමා විසින් අවබෝධ කොටගත් ඒ අතිමහත් ධර්මය මෙනෙහිකරමින්ය. ඉක්බිති බෝ පළඟත් වැඩ සිටි තැනත් අතරැ නැගෙන හිරැ සිට බස්නාහිරට සක්මනක් මවා එහි සතියක් දහම් මෙනෙහි කරමින් සක්මනින් කල් ගත කළ බව සඳහන්. ඒ සමගම අප මහා බුදුපියාණන් වහන්සේ සතියක්ම ඇසටු බෝධිය දෙස බලා සිටීම නිසා ශ්‍රී දේහයේ ඇති වූ වෙහෙස නිවීමට සක්මන් භාවනාවේ යෙදමින් කල් ගෙව්වත් කියා කියනවා. ඊට වැඩි යමක් ඒ පිළිබඳව පෙළෙහි සඳහන් නැහැ. (මේ ස්ථානය රත්නචංක්‍රමණ චෛත්‍ය නම් වනවා.) ඒනිසා ම මා විසින් මෙතෙක් ලියුඅපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ කෙටිම ලිපියත් මෙය වනවා.

අපේ බුදුහාමුදුරුවෝ 260 (සන්තිකේ නිධානය)

සත්සතිය 04
රුවන් ගෙයි වැඩ සිටීම සහ අවබෝධකොටගත් අතිවිශාල ධර්ම සාගරය මෙනෙහි කිරීම.

ඉන්පසු දෙවියන් විසින් ඒ ශ්‍රී මහා බෝධියට වායඛ්‍ය කෝණ යෙහි රුවන් ගෙයක් බුදුරජාණන් වහන්සේට මවනු ලැබුවා. අප බුදුපියාණන් වහන්සේ තුන්වන සතියෙහි රුවන් සක්මනින් මෙලෙස දින සතක් පසුකොට සතරවන සතියෙහි දෙවියන් මැවු රුවන් ගෙට සක්මනින් බැස පලක් බැඳ වැඩ හිඳ රජයක් ලද්දාවූ සක්විති රජකු නොයෙක් රුවනින් පිරූ භාණ්ඩාගාරවල දොර හරවා එහි ඇති නන් විසිතුරු රුවන් බලා අගයකොට ලේකම් බලා සතුටුවන්නා සේ, මාගේ ඒ සද්ධර්ම චක්‍රවර්තීන් වහන්සේ ද බුද්ධරාජ්‍යය ලදින් සද්ධර්ම නමැති රන් සමූහයන් සද්දවසක් මුළුල්ලෙහි විශේෂයෙන් වෙන වෙන බලා වදාරනු ලැබුවා. කෙසේ බැලූ සේක් ද යත්:-

තුන්පිටකය සම්මර්ශනය කිරීම

මම බුද්ධරාජ්‍යය ලදින් පන්සාලිස් හවුරුද්දක් හිඳ බුද්ධ ශ්‍රී විඳිමි යි, මාගේ ශාසනයෙහි ශාරිපුත්‍ර ස්ථවිර ප්‍රධාන අසීති මහා ශ්‍රාවකදි කෝටිගණන් භික්ෂුණයා චන්ද්‍ර සූර්ය දිව්‍ය පුත්‍රයන් සේ ශෝභාමත් ව සසුන් බබුළුවති යි, මාගේ මේ ශාසන ය මෙයින් මතු පන්දහසක් හවුරුදු පවත්ති, මාගේ හික්ෂූන්ට අනුශාසනා පිණිස විනය පිටකය දේශනා කෙරෙමි යි, විනෙයජනයන් නිසා සූත්‍ර පිටකය දේශනා කෙරෙමි යි, මාගේ ප්‍රඥාවගේ සාර ය දක්වා දිව්‍ය බ්‍රහ්මයන්ට විජම්පිටකය දේශනා කෙරෙමි යි, මෙසේ සංක්ෂේපයෙන් තුන්පිටකය කල්පනාකොට බලා වෙන වෙන පරීක්ෂාකරන්නා වූ මාගේ ස්වාමිදරුවෝ:

විනය පිටකය සම්මර්ශනය

තවද: විනය පරිජි නම් මෙයය, (පාරාජිකාපාළිය) වින ය පවිති නම් මෙයය, (පාචිත්තපාළිය) විනය මහ වග නම් මෙයය, (මහාවග්ගපාළිය) විනය සුළුවග නම් මෙයය, (චුල්ලවග්ගපාලිය)

විනයපිටක අටුවා සම්මර්ශනය

විනය පරිවාර නම් මෙයය, ඊට සමන්තපාසාදිකා නම් වූ විනය අටුවා නම් මෙයය, සාරාර්ථදීපනි නම් වූ විනයටීකා නම් මේ ය යි මෙසේ ඒ විනය පිටකය මුඛ පාළි හා අටුවා ටීකා වසයෙන් නව අනූදහස් දෙසිය පනස් ග්‍රන්ථසංඛ්‍යාවකැයි බලා දැක.

සුත්‍ර පිටක සම්මර්ශනය

දීඝ නිකා සම්මර්ශනය

ඉන්පසු සුත‍්‍රපිටකය මෙනෙහි කොට එහි පමසඟියක් දැක, පළමු වන දික්සඟියෙහි ශීලස්කන්ධවර්ග ය නම් මේ ය, මහාවර්ගය නම්

මේය, පාථික වර්ගය නම් මේ යි තුන්වර්ගයක් දකින ලදී.

මජ්‌ඣිම නිකා සම්මර්ශනය

තව ද දෙවන මධ්‍යම සඟයෙහි මූලපණ්ණාස නම් මේ ය, මජ්ජිම පණාස නම් මේ ය, උපරිම පණ්ණාස නම් මේ ය යි තුණාසයක් දකිනු ලැබුවා.

සංයුත්‌ත නිකා සම්මර්ශනය

තව ද තුන් වන සංයුක්සඟියෙහි සගාථව ය නම් මේ ය, නිදාන වර්ගය නම් මේ ය, ස්කන්ධ වර්ග ය නම් මේ ය, සළායතන වර්ග ය නම් මේ ය, මහා වර්ග ය නම් මේ ය යි පමහා වර්ගයක් දැක;

අංගුත්තර නිකා සම්මර්ශනය

තවද සතරවනවූ අංගුත්තර සඟියෙහි එක-වික තිකනිපාත නම් මේ ය, චතුක්ක නිපාත නම් මේ ය, පකනිපාත නම් මේ ය, ඡ-සත්තක නිපාත නම් මේ ය, අය-නවක නිපාත නම් මේ ය, දසකාදස නිපාත නම් මේ ය යි ෂට්කාරයක් දැක,

ඛුද්දක නිකා සම්මර්ශනය

තවද පනක්ෂුද්‍ර ග්‍රන්ථ නම් සංගීතියෙහි වන චූලනිදෙශ නම් මේ ය, මහානිදෙශ නම් මේ ය, ප්‍රතිසම්භිදා නම් මේ ය, මහාව නම් මේ ය, ජාතකපාඨ නම් මේ ය, නෙත්පවුරුණු නම් මේ ය යි ෂට්කාරයක් සම්මර්ශනය කරනු ලැබුවා.

අටුවා සම්මර්ශනය

තව ද සුමඞ්ගල විලාසිනි නවූ සූත්‍ර අටුවා මේ ය, පපඤ්චසූදනී. නවු සුත්‍ර අටුවා මේ ය, සාරාර්ථප්‍රකාශනී නම් වූ සුත්‍ර අටුවා මේය, මනොරථ පූරණී නම් වූ සූත්‍ර අටුවා මේ ය. සද්ධර්ම ජොතිකා නම් වූ සූත්‍ර අටුවා මේ ය, ප්‍රතිසභිදා නම් වූ සූත්‍ර අටුවා මේ ය, පරමාර්ථ ජොතිකා නම් වූ සුත්‍ර අටුවා මේ ය, උදාන නවූ සුත්‍ර අටුවා මේ ය, විමානවස්තු නම් වූ සුත්‍ර අටුවා මේ ය, ප්‍රේත වස්තු නම් වූ සූත්‍ර අටුවා මේ ය, ථෙරගාථා නම් වූ සුත්‍ර අටුවා මේ ය, ථෙරිගාථා නම් වූ සුත්‍රය අටුවා මේ ය, චර්යයාපිටක නවූ සූත්‍ර අටුවා මේ ය, බුද්ධ වංශ නම් වූ සූත්‍ර අටුවා මේ ය, ධම්පියා නම් වූ සූත්‍ර අටුවා මේ ය, පන්සිය පනස් ජාතක නම් වූ සුත්‍ර අටුවා මේ ය. විශුද්ධිමාර්ග නම් වූ සූත්‍ර අටුවා මේ ය, මනෙත් පවුරුණු නම් වූ සූත්‍ර අටුවා මේ ය යි මෙසේ සූත්‍ර පිටකයට වැද වෙන වෙන බලා තමන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාරන පාළි හා අටුවා කථා සාරල : එකොළොස් දහස් පන්සියයක් ග්‍රන්ථයෙන් සම්පූර්ණ වී යයි මෙසේ සූත්‍ර පිටකය ම සම්මර්ශනය කරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ – පුජාවලිය

අපේ බුදුහාමුදුරුවෝ 261 (සන්තිකේ නිධානය)

සත්සතිය 04 -02
පළමු වරට බුදුරැස් විහිදීම.

තව ද අභිධර්ම පිටකයට වැද ධඟුණු නම් වූ විජම් පාළි මේ ය. විභග නවූ විජම් පාළි මේ ය. ධාතුකථා නම් වූ විජම් පාළි මේ ය. පුද්ගල ප්‍රඥති නම් වූ විජම් පාළි මේ ය. කථාවස්තු නම් වූ විජම් පාළි මේ ය. යමක නම් වු විජම් පාළි මේ ය, පට්ඨාන නම් වූ විජම් පාළි මේ ය, අර්ථසාලිනි නම් වූ විජම් අටුවා මේ ය, සමොහවිනොදනී නම් වූ විජම් අටුවා මේ ය, පවක නම්වූ විජම් අටුවා මේ ය යි මෙසේ විජම් පිටකයෙහි ශ්‍රීමුඛ පාළි හා අටුවා කථා එක්ලක්ෂ විසිදහස් දෙසිය පනස් ග්‍රන්ථ දකිනු ලැබුවා.

මෙසේ තුන්පිටකය මුලපටන් අගදක්වා ය, අගපටන් මුල දක්වා ය, දෙකෙළවර පටන් මැද දක්වා ය, මැද පටන් දෙකෙළවර දක්වායයි මෙසේ අනුලොම ප්‍රතිලොමාදි වසයෙන් සකසා පරික්ෂා කොට බලා වදාරා. තව ද ඒ මාගේ ධමසංඛ්‍යාව විශේෂයෙන් බලම් නම්; රසවසයෙන් එකෙක් වෙයි, පිටක වසයෙන් තුන්දෙක් වෙ යි, නිකාය වසයෙන් පසෙක් වෙ යි, අග වසයෙන් නවයෙක් වෙ යි, ස්කන්ධ වසයෙන් සුවාසූ දහසක් පමණ වෙ යි. ශ්‍රී මුඛ පාළි වසයෙන් මම කරන්නා වූ දෙශනාවෝ දෙලක්ෂ පන් සැත්තෑදහස් දෙසිය පනසක් පමණ ග්‍රන්ථ වෙති.

මතු ශ්‍රී ලංකාද්වීපයෙහි දී කප් ලක්ෂයක් පැරුම් පුරා ආ බුද්ධඝෝෂ නම් ආචාර්ය ස්ථවිරයන් විසින් මාන්ගේ අභිප්‍රාය දැන ලියන ලද අටුවා කථා වසයෙන් තුල්ල එක් සැට දහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවෝ පමණ වෙති. ඒ මාගේ ආගම කථාවෝ හැමදෙන ම ග්‍රන්ථ සම්‍යා වෙන් සලක්ෂ සත්තිස් දහසක් පමණ වෙති. භාණවාර සංඛ්‍යා වෙන් පස්විසි ලක්ෂ අටසාලිස් දහසක් බණවර වෙති. අක්ෂර ගණනාවෙන් දෙකෙළ තුන්ලක්ෂ සුවාසූ දහසක් අක්ෂරයෙන් පිරුණේ යැ. නය වසයෙන් අසඞ්ඛ්‍ය ගණන් නය යැ. ඒ මාගේ සියලු ධර්ම සමූහයෝ මැ අවිනෂ්ටව පන්දහසක් අවුරුදු පවන්නාහු ය යි මෙසේ මාගේ ස්වාමිදරුවෝ “අනෙකජාති සංසාරං” කියා පළමු ඔසවාගත් ශබ්දයෙහි පටන් ගෙන කෙළවර යමහල වැදහොවැ “අප්පමාදෙන සම්පාදෙථ”යි යන මේ ශබ්ද ය අන්තකොට ඇති සියලු ධර්ම සමූහයන් ඒ දෙවියන් මැවූ රුවන් ගෙයි වැඩහිඳ ඒ සතරවන සති ය මුළුල්ලෙහි මෙනෙහි කොට නිමවා වදාළසේක. ඒ සද්ධර්ම රත්න ය වැඩහිඳ සම්මර්ශනය කළාවූ ස්ථාන ය දැන් රසරචේතිය නම් වි ය.

භාග්‍යවතුන්වහන්සේ මෙලෙස සිවු වන සතියෙහි බෝරුකින් වයඹ පැත්තේ රුවන්ගෙයි වැඩ හිඳ ධර්මය මෙනෙහි වැනි කොට, වෛනේය ජනයන් බලා ශීලයෙහි පිහිටා සමාධිය වඩා ප්‍රඥායෙන් විවසුන් කොට සත්ත්වයෝ ආර්යමාර්ගයට බසිතැ” යි ශීල සන්දීපක වූ විනය පිටකය ද, සමාධි සන්දීපක වූ සුත්‍රාන්ත පිටකය ද ඉක්බිති ප්‍රඥාසන්දීපක වූ අනන්තනය ඇති අභිධර්ම පිටකය ද සම්මර්ශනය කරන සේක් ප්‍රස්ථාන ධර්මය මෙනෙහි කිරීමට බැස ගත් සේක. සියල්ලට ම වඩා ගැඹුරු වූ ප්‍රස්ථාන ක්‍රමය මෙනෙහි කරත් කරත් ම උන්වහන්සේට බලවත් ප්‍රීතිය ඇති විය. හෘදයවාස්තු ගත ලෙය ප්‍රසන්න විය. වාස්තු රූපය ද විශේෂයෙන් පහන් විය. ඡවි වර්ණය ද පැහැදුණේ ය. චිත්ත සමූත්ථාන (සිත කරණ කොටැ සෘතුයෙන් හටගත්) වර්ණය හාත්පස අසූරියන් පමණ තැන පැතිරැ සිටියේ ය. එය වටා පෙදෙස සිය දහස් දෙව් දුනු පහළ වූවා සේ, ඉර සඳ සුවහසක් පහළ වූ කලෙකැ සේ එකාලෝක විය.

උපකාරක ග්‍රන්ථ – පුජාවලිය

අපේ බුදුහාමුදුරුවෝ 262 (සන්තිකේ නිධානය)

සත්සතිය 05
බුද්ධත්වයෙන් පසු ප්‍රථමයෙන්ම බුදුන් දුටු එහෙත් නිවන් නුදුටු බ්‍රාහ්මණයා

හරිම පුදුමයි. සමහරවිට අපට අහම්බෙන් හෝ දෝතටම ලැබෙන වාසනාව අප නොදැනුවත්වම අතහැරී යන හැටි. සමහරවිට අපහට වටිනා කල්‍යාණ මිත්‍ර ඇසුර අහිමිවෙන්නේ අපේ මනාන්නය නිසාමයි. මේ කියන්න යන කතාවත් එහෙමයි. බුදුවීමෙන් පසු බුදුන්වෙත පැමිණිමට වාසනාව ලත් මිහිපිට විසූ ප්‍රථම පුද්ගලයාට අහිමි වුනේ ලොව යම් පුද්ගලයෙකුට අහිමිවිය හැකි වටිනාම දේ. එනම් බුද්ධත්වයෙන් පසු පළමු දර්මදේශණාව පමණක් නෙවයි සසර දුකෙන් එතෙර වීමට තියෙන නිවනත් කල්ප කාලාන්තරයකට පස්සේ ඔහුගේ අත ළඟටම ඇවිදින් අහිමි වී ගියා. සමහරවිට ඔහු මබද මාද විය හැකි මෙන්ම ඔබත් මමත් අතරේ මේ මොහොතේද සිටිය හැකියි. ඒ කථාවපිලිබඳ බොහෝ කරුණු සුත්‍ර පිටකයේ නැතත් අට්ඨ කථාවකියවීමෙන් සුළු කරුණු ටිකක් සොයාගත හැකි වුණා.

අජපාල නුගරුක වෙත පැමිණීම

බුදු වීමෙන් මෙලෙස මසක් ගත වුණා. මින් පෙර සඳහන් කල පරිදී මසක් ම බෝ මැඩ අසළ විසූ භාග්‍යවතුන් වහන්සේ ඉන් නික්ම අජපාල නුග රුක කරා වැඩම කොට ඒ මුලැ සතියක් විමුක්ති සුඛය විඳිමින් සිටියා. අජපාල යන්නෙහි තේරුම එම නුග රුක සහ එම පරිසරය සම්බන්ධ විස්තර අටුවා ආචාරීන් වහන්සේලා මෙලෙස සඳහන් කොට තිබෙනවා.

අජපාල නිග්‍රෝධ නාමයෙහි තේරුම (උදානට්ඨකතා – සිවුවැනි සුත්‍ර වර්ණනාව)

සිව්වැනි උදානයෙහි අජපාල නිග්‍රෝධෙ යනු එළුවන් රකින්නෝ එහි ගොස් නුග රුක් සෙවනෙහි හිඳිති.එහෙයින් අජපාල නිග්‍රෝධ නාමය ඇතිවිය.ඇතැමෙක් වේදය සජ්ඣායනා කරන්නට අසමර්ථ වූ මහලු බමුණෝ එහි ප්‍රකාර පරික්ෂේප වලින් යුක්ත වූ නිවෙස් සාදාගෙන සියල්ලෝම එහි විසූ බැවින් අජපාල නිග්‍රෝධ යන නාමය විය. එහි මේ වචනාර්ථය යි. න ජපනතී ති (ජප නොකරත්) අජපා නම් වේ.මන්ත්‍ර සජ්ඣායනා නොකරන්නෝ යි අර්ථය යි .අජපා අය ඇලෙන රුචි කරන නිවාස මෙහි ඇති නිසා අජපාල යයි සමහරු කියති. යම් ලෙසකින් මධ්‍යහන සමයෙහි ඒ රුක් වෙත පැමිණි එළුවන් තමන්ගේ සෙවනැල්ලෙන් පාලනය කරයිද රකීද එබැවින් අජපාල නම් නාමය ආරෝපණය විය යැයි වෙනත් කෙනෙක් කියති .

අජපාල නුගරුක වෙත පැමිණීම

 භාග්‍යවතුන් වහන්සේ මෙලෙස අජපාල නුග රුක කරා වැඩැ ඒ මුලැ සතියක් විමුක්ති සුඛය විඳිමින් සිටින අතරතුර “උන් වහන්සේ පල සමවතින් නැඟී සිටි යම් වේලාවෙක මානයෙන් දැඩි වූ, අනුන් හෙලා දක්වා සුලු එක්තරා බමුණෙක් එහි පැමිණිය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමිචියේ යෙදුණා. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක සිටියාවූ ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියා.

බුදුන්ගෙන් ඇසු ප්‍රථම ප්‍රශ්ණය

ඒ “භගවත් ගෞතමයන් වහන්ස කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද? කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙන් .

ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ මේ කාරණය අසා ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කරනු ලැබුවා.

‘පවු දුරුකළ මානාහංකාරයෙන් අනුන් හෙලා නොදක්නා කෙලෙස් කසට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැකගත්, සතර

මග නුවණින් නිවන් කරා පැමිණි මාර්ග බ්‍රහ්මචර්යය වැසනිමවූ යමෙක් වේද, හේ සැබෑ බ්‍රාහ්මණයා නම් වේ. ලොව කිසි අරමුණකුත් රාගාදී වශයෙන් නොගන්නා හෙතෙම තමා බමුණෙකැයි කියානම් ඒ කරුණු සහිතය.”

දැන් ඔබට මෙයින් ප්‍රශ්ණ කිහිපයක් පැන නැගෙයි. එනම් ඔහු කෙලෙසද ගෞතමයන් වහන්ස කියා ආමන්ත්‍රණය කලේ කියලා. දෙවැන්න ඇයි බුදුරජාණන් වහන්සේ ඔහුට දීර්ඝ ධර්ම දේශනයක් නොකළේ කියලා. එයට පිළිතුරද අට්ඨකතාවෙහි මෙලෙස සඳහන් වෙනවා. උදානට්ඨකතා – සිවුවැනි සුත්‍ර වර්ණනාව

කෙසේ නම් මේ බ්‍රාහ්මනයා මේ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ ගෝත්‍රය දැනගත්තේද ? එය මේ අවස්ථාවෙහි පමණක් නොවේ, සය මසක් ප්‍රධන් වීර්යය කරණ සමයෙහි උපස්ථායක පස්වග මහණුන් සමග හැසිරෙන කල්හිත් ඊට පසු ඒ වෘතය අත්හැර උරුවෙලා වෙහි සේනානි ගම හුදෙකලාව පිඬු පිණිස හැසිරෙන කල්හිත් මේ බමුණා විසින් සම්මා සම්බුදුරජාණන්වහන්සේ දැක ඇත. කතාබහ ද කර ඇත. එබැවින් එම බමුණා පෙර පස්වග මහණුන් විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෝත්‍රය සිහිකරමින් ගෞතම යැයි ඇමැතීම අසා ඇත. එතැන් පටන් ශ්‍රමණ ගෞතමයන් යයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ චන්ද්‍රයා මෙන් සූර්යයා මෙන් ප්‍රකට වූහ.ප්‍රසිද්ධ වූහ. ඔහු විසින් ඇසූ ප්‍රශ්නයේ සියල්ල දැන , ඒ බමුණාට ධර්මය දේශනා නොකළහ. කුමක් නිසාද? ධර්ම දේශනාවට සවන් නොදෙන බැවිනි. එසේ වුවත් මේ ගාථාව අසා ඒ බමුණාට සත්‍යය අවබෝධ නො වී ය. මෙසේ මේ උපක ආජීවකයාට බුද්ධගුණ ප්‍රකාශිත ධම්මචක්ක සූත්‍රය දේශනා කිරීමට පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කොටස ඇසූ තපස්සු භල්ලික යන්ට දෙසරණ ලැබීම මෙන් වාසනා සම්පත ම උපන්නේය. ශෛකෂභාවය (රහත් මඟ හැර ඉතිරි මාර්ගඵල) හෝ ධර්මය අවබෝධ වීමක් නොවීය. මේ වනාහි ධර්ම ස්වභාවයයි.

මෙලෙස බුදුන් වෙත ප්‍රථමයෙන්ම පැමිණ ප්‍රථම ප්‍රශ්ණය යොමුකෙරූ ඔහුහට මගඵල ද, නිවනද,ප්‍රථම ධර්ම දේශනයද, බුදුවීමෙන් පසු දෙන්නා වූ ප්‍රථම දානයද ගිලිහී ගියේ පින් මදිකමට වඩා අහංකාරය නිසාම වෙන්නට ඇති කියලයි මට හිතෙන්නේ. ඔබටද මටද එය ජීවිතයට හොඳ පාඩමක්.

උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » උදානපාළි » බොධිවග්ගො » (අජපාල) නිග්‍රොධ සූත්‍රය – උදානට්ඨකතා – සිවුවැනි සුත්‍ර වර්ණනාව

අපේ බුදුහාමුදුරුවෝ 263 (සන්තිකේ නිධානය)

සත්සතිය 05 -02
මරහු ගේ දෝෂාරොපණයක් (තපොකම්ම සූත්‍රය)

අජපල් නුග රුක මුල වැඩ ඉන්නා භාග්‍යවතුන් වහන්සේට “අනර්ථ නිඃශ්‍රිත දුෂ්කර ක්‍රියායෙන් තමන් මිදී මැදුම් පිළිවෙතෙහි පිහිටා බුදු වූ බව කොතරම් යෙහෙක් දැ,යි සිතක් පහළවුනා. එවිට භාග්‍යවතුන් වහන්සේ වූ කල්පනාව දැනගත් මාර දේවපුත්‍රයා එහි පැමිණ,

“යම් තපසෙකින් සත්වයෝ පිරිසිදු වෙත්ද, එසේවූ ඒ දුෂ්කර ක්‍රියා තපසින් ඉවත්ව, අශුධවම හිඳ, ‘ශුද්‍ධයෙමි’ යි සිතන්නේහිය. ශුද්‍ධයට යන මග වරදවා ගත්තෙහිය.”එවිට භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු වසවත් මරු යයි දැන ඔහුට ගාථාවලින් මෙසේ වදාරනු ලැබුවා.

 ““යම්කිසි අමර තපසක් (ශරීරයට දුක් දීමෙහි යෙදීමක්) වේද, එය අවැඩම පිණිස පවතීයයි. වනයෙහි රිටි පලුපත් ගෙන නැවක් පදවන්නට තැත් කිරීමක් මෙන් සියලු අනර්‍ථය ගෙන දෙන්නේයයි දැන, “ශීල – සමාධි – පුඥා යන මාර්‍ගය සත්‍යාවබෝධය පිණිස වඩා පරම ශුද්‍ධිය (රහත් බව) අත්පත් කෙළෙමි. මරුව, තෝ පැරදුනෙහිය.” යි වදාරනු ලැබුවා. එවිට මාර තෙම “බුදු රජු තමා හැඳින ගත්තේ යැයි දැනැ දොම්නසින් එසැණින්ම අතුරුදහන් වුණා.

මරහු විශාල ඇත්රාජයෙකුගේ වෙසක් මවා බුදුරදුන් බිය කරන්නට කළ උත්සාය – (නාග සූත්‍රය)

එක් දිනක් රෑ දැඩි කළුවරයෙහි භාග්‍යවතුන් වහන්සේ අජපල් රුක අසළ සක්මන් කෙළවරැ ගල් පුවරුයෙහි වැඩ සිටියා. මඳින් මඳ වැහි පොද ද වැටෙමින් පැවතියා. ඒ වෙලේ දෙවමාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට බිය ගන්වන අදහසින් විශාල ඇත්රාජයෙකුගේ වෙසක් මවා ගත්තා. ඒ ඇත් රාජයාගේ හිස මහ කළුගලක් වගෙයි. දත් පිරිසිදු රිදී මෙන් සුදුය. හොඬ මහ නගුලිසක් පමණ විශාල ය.

 භාග්‍යවතුන් වහන්සේ “මේ මාරයා”යි දැන “දීර්ඝ කාලයක් ම ප්‍රිය අප්‍රිය අනේක ප්‍රකාර වෙස් ගෙන නොයෙක් වර මා වෙත ආයෙහි ය. ලාමකය, මේ යුෂ්මතාගේ බිය ගැන්වීමේ ව්‍යාපාරයෙන් වැඩෙක් නැතැයි වදාරනු ලැබුවා. එ විට මාර තෙම “බුදු රජහු මා හැඳින ගත්තෝ” යි සිතා දොම්නසින් එහි ම අතුරු දහන් ව ගියා.

නොයෙක් ආකාර වූ පියකරු බියකරු වෙස් මවමින් බුදුන් බියගැන්වීම. (සුභ සූත්‍රය)

තවත් වරෙකැ මාර තෙම අඳුරු වේලායෙහි භාග්‍යවතුන් වහන්සේට බිය ඇතිකරන අදහසින් කුදු මහත් ශුභාශුභ වෙසින් පෙනෙන්නට විය. එ විටැ ද පළමු සේ ම වදාරා, “මාරය, කයින් වචසින් මනසින් සංවෘත වූවෝ යුෂ්මත්හුගේ වශගයට නො යෙත්, යුෂ්මත්හුගේ අත වැස්සෝ හෝ නො වෙත් යැ” යි වරනු ලැබුවා. එවිටත් පළමු සේ ම මාරයා ලජ්ජාවෙන් පළා ගියා.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » මාරසංයුත්තං » පඨමවග්ගයෙහි » තපොකම්ම සුත්‍රය, නාග සූත්‍රය, සුභ සූත්‍රය

අපේ බුදුහාමුදුරුවෝ 264 (සන්තිකේ නිධානය)

සත්සතිය 05 -03
බුදුන් හමුවේ නැවත නැවතත් පරාජය වී දොම්නසට පතු වූ මරුන්ගේ සහයට දියණියන් පැමිණීම.

මෙලෙස අප මහා බුදුපියාණන් වහන්සේ බුදුවීමෙන් පසුවත් මාරදේව පුත්‍රයාගේ අනේකවිධි බාධා හමුවේ පසුබට නොවෙමින් පස්වෙනි සතිය තවදුරටත් අජපල් නුග රුකමුල රැඳෙමින් ධර්මය මෙනෙහි කරමින් නිවන් සුව විඳිමින් වැඩ සිටිය. එසමයෙහි මාර දෙවි පුත් “මෙතෙක් කල් මොහුගේ සිදුරු සොයමින් ලුහු බැන්ඳේ වී නමුත් මොහුගේ කිසි දෝෂයක් නො දුටිමි. මොහු මගේ බලය ඉක්ම වූයේ”යැයි නො සතුටුව මහමග හිඳ කරුණු සොළසක් මුල් කොට බිම රේඛා සොළසක් අඳිනු ලබන්නට වුණා. ඒ කරුණු මෙසේ ජාතක අට්ඨ කතාවෙහි මෙලෙස සඳහන් වෙනවා.

  1. මම මොහු මෙන් දාන පාරමිතාව නො පිරුවෙමි. එම නිසා මම මොහු සමාන කෙනෙක් නො වීමි යි පළමු වැනි රේඛාව අඳිනු ලැබුවා. එලෙසම,
  2. මම මොහු මෙන් ශීල පාරමිතාව,
  3. නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව,
  4. ප්‍ර‍ඥා පාරමිතාව‍,
  5. වීරිය පාරමිතාව,
  6. ක්ෂාන්ති පාරමිතාව,
  7. සත්‍ය පාරමිතාව,
  8. අධිෂ්ඨාන පාරමිතාව,
  9. මෙත්තා පාරමිතාව,
  10. උපේක්ෂා යන පාරමිතා නො පිරුවෙමි. එම නිසා මම ඔහු හා සමාන නො වීමි.

ඒ සේ ම මම මොහු මෙන් අන්‍යයන්ට පොදු නො වූ

  1. ඉන්ද්‍රියපරෝපරියන්ත ඥාණය,
  2. ආසයානුසය ඥාණය,
  3. මහා කරුණා සමාපත්ති ඥාණය,
  4. යමක ප්‍රාතිහාර්ය ඥාණය,
  5. අනාවරණ ඥාණය,
  6. සබ්බඳුත ඥාණය ලැබීමට දශ පාරමිතාවත් නො පිරීමි. එම නිසා මම ඔහු හා සමාන නො වීමි යි, පිළිවෙලින් සොළොස් රේඛාව ද අඳිමින් සිටියා.

එවේලෙහි තන්හා, රති, රගා යන මාර දියණියෝ තිදෙන “අපගේ පියා පෙනෙන්ට නැත. ඔහු කොහි ගියේදැ යි” බලමින් සිටියදී, දොම්නසට පත් ව බිම ඉරි අඳිමින් සිටිනු දැක පියා ළගට ගොස් නො සතුටට කරුණු කාරණා විමසන්නට වුණා. එවිට මාර දේවපුත්‍රයා ඔවුනට මෙසේ පවසන්නට වුණා.

දියණියනි, මේ ශ්‍රමණ ගෞතමයෝ මගේ අණසක ඉක්මවා සිටිති. මෙතෙක් කල් ඔහු පසුපස ගිය මුත් ඔහුගේ කිසියම් හෝ වරදක් නුදුටිමි. එම නිසා දුකට පත්වීමි.

එසේ නම් පියාණෙනි, ඒ ගැන නො සිතන්න. අපි ඔහු නතු කොට ගෙන එන්නෙමි.

දියණිවරුනි, ඔහු කිසිවකුගේ වසගයට ගත නො හැකිය. මේ මහා පුරුෂයා නො සෙලවෙන සැදැහැයෙන් යුක්ත වූයේය. පියාණෙනි, අපි ගැහැනු වෙමු. දැන් ම අපි ඔහු කාමාශා පුඬුවෙන් බඳිනෙමු. ඒ ගැන ඔබ සැක නො සිතන්නැ යි, පවසා සනසා බුදුන්වහන්සේ සිටියේ යම් පෙදෙසකද එදෙසට පියමණින්නට වුණා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨ කතා

අපේ බුදුහාමුදුරුවෝ 265 (සන්තිකේ නිධානය)

සත්සතිය 05 -04
පුරුෂයින්ගේ දුබලකම් බුදුවරයෙකු තුලින් සෙවූ මාර දුතියෝ.

කැලයේ සිටින මහා ඇත්රාජයෙකු වෙත යවනු ලැබූ ගණිකා ඇතින්නියන් ස්ත්‍රී භාව දර්ශණයෙන් පොළඹවා එම ඇත් රාජයාව බැඳගෙන එත්ද එලෙසම අප ඔහුව රාග බැම්මෙන් බැඳ ඔබවෙත ගෙන එන්නෙමු යැයි තම පියාණන් හට දුන් පොරොන්දුව ඉෂ්ඨ කිරීමට අතිශයින් රූමත් මාර දුතියන් තිදෙනා බුදුන් වෙත පැමිණියා. තන්හා, රති, රගා මාර දුතියන් තිදෙනා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ලයාන්විත ස්වරයෙන් මෙලෙස විමසනු ලැබුවා.

“ශ්‍රමණයාණනි, අප ඔබට පා මෙහෙවර කිරීම සඳහා පැමිණියෙමු. ඒ වනවිටත් භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදී සිටි නිසා ඔවුන්ගේ වචනය සිතට ගත්තේ නැහැ. ඉන්පසු තණහාද, රතිද, රගාද, යන මාරදූහු එක් පැත්තකට ඉවත්වගොස් මෙලෙස සාකච්චා කරන්නට වුණා .

“පිරිමින්ගේ අදහස් විවිධයි. එය පිරිමියාගෙන් පිරිමියාටත් වෙනස්. සමහර අය විවාහ නොවූ ලාබාල ස්ත්‍රීනට ආසයි. සමහර අය විවාහක ස්ත්‍රීනට ආසයි. සමහර අය ගැබ්බර ස්ත්‍රීනට කැමතියි. සමහර අය එක් ළමයෙකු වැදූ ස්ත්‍රීනට කැමතියි. සමහර ය දෙන්නෙක් වැදූ ස්ත්‍රීනට කැමතියි. සමහර අය මැදි වයසේ ස්ත්‍රීනට කැමතියි. සමහර අය මැදි විය ඉක්මවූ ස්ත්‍රීනට කැමතියි. මෙලෙස ඔවුන්ගේ ආශාවන් විවිධ නිසා අපි බාල වියේ සිට වැඩිහිටි විය දක්වා විවිධ මට්ටමේ වෙස් සියය බැගින් බුදුන් වෙත එළඹෙමු.

මෙසේ විවිධ වෙස්ගෙන බුදුන් වෙත පැමිණ බැලමෙහෙවර කම් කිරීමට ඉල්ලා සිටියත් නිහඬව සිටි බුදුන් දෙස බලමින් ඔවුන් මෙලෙස කතා වුණා.

‘අප පියා කීයේ ඇත්තක්මය. එනම් “සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පැවති පෙදෙස ඉක්මවාලූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි” යි. “අපි රාගය පහ නොකළ මොනම මහණකු කරා හෝ බමුණකු කරා හෝ මේ උපක්‍රමයෙන් එළඹුණමෝ නම් ඔහුගේ ළය හෝ පැලෙන්නේය, උණු ලේ හෝ ඔහුගේ කටින් පිටවන්නේය, උමතු බවට හෝ පැමිණෙන්නේය. සිත් කැලඹුමට හෝ පැමිණෙන්නේය. සිඳිනු ලැබූ යම් නිල් බටගසක් යම් සේ වියලෙන්නේද, වෙසෙසින් වියලෙන්නේද, මැලවෙන්නේද, එසේම හෙතෙම වියලෙන්නේය, වෙසෙසින් වියලෙන්නේය, මැලවෙන්නේය” යි පවසන්නට වුණා.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණිය. පැමිණ පසෙක සිටිය. පසෙක සිටි තණ්හා මාරදූ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙලෙස කියනු ලැබුවා.

“ශෝකයට පැමිණ, වෙනෙහි සිතිවිලි සිත සිතා ඉන්නෙහිද? වස්තුවක් පැරදුණෙහිද? නැතහොත් වස්තුවක් පතමින් ඉන්නෙහිද? ගමෙහි යම් අපරාධයක් හෝ කෙළෙහිද? මහජනයා හා කවර හෙයින් යහළුකම් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළුබවෙක් ඇති නොවේද?”

එවිට භාග්‍යවතුන් වහන්සේ: “මම් ප්‍රියවූ, මිහිරි ස්වභාවය ඇති, කෙලෙස් සෙනඟ පරදවා, තනිව ධ්‍යාන කිරීමෙන් අභිමතාර්ථය ලැබගැන්ම වූ, ළය නිවීම වූ, රහත්ඵලය අවබෝධ කෙළෙමි. එබැවින් ජනයා හා යහළුකම් නොකරමි. කිසිවකු හා මගේ යහළුකමෙක් නැත්තේය” යි වදාරණු ලැබුවා.

ඉන්පසු රති මාරදූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කියනු ලැබුවා.

“මෙහි කවර විහරණයක් බහුලකොට ඇති මහණතෙම පඤ්චවාරික කෙළෙස් මහවතුර තරණය කෙළේද? මෙලොව සයවැනි (මනෝවාරික කෙලෙස්) මහවතුරත් එතර කෙළේද? කාමසංඥාවෝ බොහෝ සෙයින් කෙසේ ධ්‍යාන කරන ඔහු නොලැබ මුඑමනින් බැහැර වෙත්ද? “

එවිට භාග්‍යවතුන් වහන්සේ , “සන්සුන් කය ඇති, මොනවට මිදුණු සිතැති, කර්‍ම රැස් නොකරන, සිහියෙන් යුක්තවූ කාමාදී ආලය නැති රහත්තෙම චතුස්සත්‍යධර්‍මය දැන, විතර්‍ක රහිත ධ්‍යාන ඇක්තේ නොකිපෙයි, නොම සිහිකෙරෙයි, නොම හැකුඑනේද වෙයි.’

“එසේ බහුල විහරණ ඇති මහණතෙම මෙහි තරණය කළ පඤචවාරික (කෙලෙස්) ඇතියේ, සයවැනි (මනෝවාරික කෙලෙස්) මහ වතුරත් තරණය කෙළේය. කාම සංඥාවෝ මෙසේ බහුල විහරණ ඇති, ධ්‍යාන කරන ඔහු නොලැබ, මුළුමනින් ඔහුගෙන් බැහැරවෙත්ය” යි වවදාරනු ලැබුවා.

එවිට රගා නම් මරදූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නැවතත් මේ ගාථාව කීවා:

“ගණයා කෙරෙහිත්, සමූහයා කෙරෙහිත් හැසිරන මෙතෙම තෘෂ්ණාව සින්දේය. බොහෝ සත්ත්‍වයෝද ඒකාන්තයෙන් මොහු ගිය මගින් යන්නාහ. ආලය නැති මෙතෙම බොහෝ ජන සමූහයක් මාර රාජයාගෙන් පැහැරගෙන පරතෙරට (නිවනට) පමුණුවන්නේය.”

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනු ලැබුවා. “මහාවීරවූ කථාගතවරු සද්‍ධර්‍මයෙන් සත්ත්‍වයන් එතෙරට (නිවනට) පමුණුවත්මය. නුවණැතියන් ධර්‍මයෙන් සත්ත්‍වයන් එතෙර පමුණුවනකල්හි එයට කවර ඊර්‍ෂ්‍යාවෙක්ද?”

සියලු උත්සාහයන් නිෂ්ඵලව අවසානයේ තණහාද, අරතිද, රගාද, යන මාර දියණියන් පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණිය.

පාපී මාරයා, නැවත තමන්වෙත හිසතින් පැමිණෙන තණහාද, අරතිද, රගාද, යන මාරදූන් දුරදීම දුටුවා. දැක මෙසේ ගාථාවලින් කියනු ලැබුවා.

“අනුවණයිනි, නෙළුම් දඬුයෙන් කන්දක් පළන්නට සිතවුද? නියෙන් පර්‍වතයක් සාරන්නහුද? දතින් යකඩ විකන්නහුද?

“හිස මතුයෙහි මහ ගලක් තබාගෙන ගැඹුරෙහි පය ගසන්නට තැනක් සොයවුද? ළයෙහි උලක් වැදුණු සෙයින් කලකිරී ගෞතමයන් හමුවේ පැරදී එවුද?

(සංගායනා කළ තෙරහු මෙසේ කීහ:) තණ්හාද, අරතිද, රගාද යන මාර දූහු දිලිහි දිලිහී බුදුරජුන් වෙත ආහ. එහෙත් සුළඟ පුළුන්පෙදක් ඉවතලූවා සේ ශාස්තෲන් වහන්සේ එහිදී ඒ මර දූන් දුරුකළ සේක.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » මාරසංයුත්තං » තතියවග්ගො » මාරධීතු සුත්‍රය , ජාතකට්ඨ කතා

අපේ බුදුහාමුදුරුවෝ 266 (සන්තිකේ නිධානය)

සත්සතිය 05 -05
භාග්‍යවතුන් වහන්සේ ගුරුවරයකු පත්කර ගැනීම

අජපල් රුක් මුලැ මෙසේ රහසිගතව විවේකව හුන්නාවූ බුදුරජාණන් වහන්සේ වහන්සේට මෙලෙස කල්පනාවක් පහල වූ බව පසුකලෙක සද්‍ධම්ම ගරුක සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස හමුවේ දේශණා කරනවා.

“මහණෙනි ගුරුවරයෙකු නැතිව, වැඩි මහල්ලෙකු නැතිව, වාසය කරයිද, එය දුකකි. එමනිසා මම කවර නම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරම්ද?”

“මහණෙනි, ඒ මට, සම්පූර්‍ණ නොවූ සීලක්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළයුතුවූ, මට වඩා ශීලයෙන් වැඩිවූ, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදකිමි.

“මම සම්පූර්‍ණ නොවූ සමාධික්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළයුතුවූ, මට වඩා ශීලයෙන් වැඩිවූ, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදකිමි.

සම්පූර්‍ණ නොවූ ප්‍රඥාස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් සත්කාරකොට, ගරුකාරකොට, වාසය කළයුතුවූ, තමාට වඩා වැඩි ප්‍රඥාවෙන් යුත්, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නුවණැසින් නොදකිමි.

“මම සම්පූර්‍ණ නොවූ විමුක්ති ස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් යමෙකුට සත්කාරකොට, ගරුකාරකොට, වාසය කළයුතුවූ, තමාට වඩා වැඩි විමුක්තියෙන් යුක්තවූ අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නුවණැසින් නොදකිමි.

“මහණෙනි, ඒ මට යම් මේ ධර්‍මයක් මා විසින් අවබෝධ කරණ ලදද, ඒ ධර්‍මය මම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නෙම් නම් යෙහෙකැයි යන මේ සිත ඇතිවිය.

“මහණෙනි, එකල්හි සහම්පතී මහා බ්‍රහ්ම තෙම, ඔහුගේ සිතින් මගේ සිතෙහි පහළවූ අදහස දැන, යම් සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අත දිග හරින්නේද, දිගු කළ අත හකුථවන්නේද, එසේම බ්‍රහ්ම ලෝකයෙන් අන්තර්ධාන වූයේ මගේ ඉදිරියෙහි පහළවිය. මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පෙරවා, දකුණු දන මඩල පොළොවෙහි ඇන, මම යම් තැනෙක්හිද, ඊට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. ස්වාමීනි, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්බුදු කෙනෙක් වූවාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළාහුය. ස්වාමීනි, අනාගත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්බුදු කෙනෙක් වන්නාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරත්. ස්වාමීනි, දැන් අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේද ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කෙරෙත්වා. සහම්පතී මහා බ්‍රහ්ම රාජයා මෙසේ කීයේය. මෙසේ කියා නැවතද මෙසේ කීයේය.

“අතීත කාලයෙහි යම් සම්බුදු කෙනෙක් වූවාහුද, අනාගත කාලයෙහි යම් බුදු තෙනෙක් වන්නාහුද, බොහෝ දෙනාගේ ශොක නසන වර්‍තමාන යම් බුදුවරයෙක් වේද, ඒ සියලු දෙනා වහන්සේම සද්‍ධර්‍ම ගරුකව වාසය කළාහුය. වාසය කරත්. යලිදු වාසය කරන්නාහුය. මේ බුදුවරයන්ගේ ධර්‍මතාවයයි. එසේ හෙයින් වැඩ කැමැත්තහු විසින්, උසස් බව කැමති වන්නවුන් විසින් බුදුවරුන්ගේ අනුශාසනය සිහි කරමින් සද්‍ධර්‍මයට ගරු කළ යුතුයි.”

“මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙසේ කීයේය. මෙය කියා මා වැඳ ගරුකොට එහිම අතුරුදහන් විය. මහණෙනි, ඉක්බිති මම බ්‍රහ්මයාගේ ඉල්ලීම දැන, මටද සුදුසුවූ, මා විසින් අවබෝධ කළ යම් ධර්‍මයක් වේද, ඒ ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට, වාසය කළෙමි. මහණෙනි, යම් කලෙක සිට සංඝයාද මහත් බවට උසස් බවට පැමිණියේද, එකල්හි සංඝයා කෙරෙහිද මගේ ගෞරවය විය.”

උපකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය »චතුක්කකනිපාතපාළි » සද්‍ධම්ම ගරුක සූත්‍රය,
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේගේ සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

අපේ බුදුහාමුදුරුවෝ 267 (සන්තිකේ නිධානය)

සත්සතිය 05 -06
මංගල ධර්ම දේශණය නොවූ ප්‍රථම දේශණය සහ බුදුරජාණන් වහන්සේට එල්ල වූ ප්‍රථම චෝදනාව

බදුරජාණන් වහන්සේ තව දුරටත් උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වාසය කරමින් සිටියා.

උරුවෙලාවෙහි නමෙහි නමෙහි අර්ථය

උරුවෙලා යනු මහාතලයයි, මහවැලිගොඩය යන අර්ථයයි, නැතහොත් උරු යනු වැලියයි කියනු ලබනවා. වෙලා යනු සීමාවයි, ඉවුර ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි යනුවෙන්ද හැඳින්වෙනවා. අතීතයෙහි බුදුන් නූපන් කල්හි කුලපුත්‍රයෝ දසදහසක් තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පෙදෙසෙහි වාසය කලා. ඔවුන් දවසක රැස්වී කතිකාවතක් කළා. “කායකර්ම, වාකර්මයෝ නම් අන්‍යයන්ටද ප්‍රකට වෙත්. මනෝ කර්මය වනාහි අප්‍රකටය. එබැවින් යමෙක් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා, විතර්කයක් හෝ විතර්කනය කරයිද හෙතෙම එහි පාත්‍රගාටුවෙන් වැලි ගෙනවුත් විසුරුවිය යුතුයි.” මෙසේ එම පිළිවෙත අනුගමනය කිරීමෙන් පසුකලෙක එහි පිළිවෙලින් මහවැලි ගොඩක් බවට පත්වුණා. ඉන්පසු පැසුළු ජනතාව එය වටකොට චෛත්‍ය ස්ථානයක් කරනු ලැබුවා. ඒ උදෙසා එම ස්ථානයට උරුවෙලායයි කියනු ලැබුවා. මෙසේ ඉවුර ඉක්මවා ගෙනෙන ලද වැලි උරුවෙලායි යනුවෙන්ද හැඳින්වූවා.

බුදුරජාණන් වහන්සේ බුදුවුන අලුත උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වාසය කරන අතර තුර වූ විශේෂ සිද්ධියක් මෙලස බුද්‍ධාපචායන සූත්‍රයෙහි විස්තර කරනවා. එම සුත්‍රයද ද අට්ඨ කතාවද කියවා බලා මෙය පස්වෙනි සතියේම සිදුවූ සිදුවීමක් බව තහවුරු කර ගත්තා පමණක් නෙවෙයි බුද්ධත්වයෙන් පසු දේශණා කරනු ලබන ප්‍රථම මංගල දේශණාව වන චතුරාර්‍ය සත්‍ය දේශණාව නොවූ තවත් දේශනාවක් පිළිබඳව දැනගැනීමට ලැබුණා . එම සිදුවීම මේ ආකාරයට බුද්‍ධාපචායන සූත්‍ර දේශනාව අනුසාරයෙන් බුද්ධ වචනයෙන්ම මෙලෙස සඳහන් කරනවා.

’’මහණෙනි, එක්තරා කාලයෙක්හි මම බුදුවූ අලුත, උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වසමි. මහණෙනි, එකල්හි, දිරූ, වෘද්‍ධවූ, මහථවූ, කල්ගිය වයසට පැමිණි බොහෝ බ්‍රාහ්මණයෝ මම යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ මා සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාකොට නිමවා එකත් පසෙක සිටියාහුය.

’’මහණෙනි, එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණයෝ, ’භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි, බමුණන් නොවඳියි කියාද, උපස්ථාන නොකරයි කියාද, අසුනින් නිමන්ත්‍රණ (හිඳීමට කීම) නොකෙරෙයි කියාද, යන මෙය අප විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, එය එසේමද? භවත් ගෞතමයන් වහන්සේ, දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි බමුණන්ට නොවඳින්නේද, උපස්ථාන නොකෙරේද, අසුනින් නිමන්ත්‍රණය නොකරයිද, භවත් ගෞතමයන් වහන්ස, එය නුසුදුසුය.’’

වැඩිමහලු වුවත් ගෞරවයට පාත්‍රනොවන අඳබාල ස්ථවිරයන්

’’මහණෙනි, ඒ මට මේ ආයුෂ්මත්හු ස්ථවිරයන් හෝ (වැඩිමහල්ලා) ස්ථවිර බවට පත්කරණ ධර්මයෝ නොදනිති. මහණෙනි, ඉදින් උත්පත්තියෙන් අසූ වයස්වූ හෝ අනූ වයස්වූ හෝ වර්‍ෂ සියයක්වූ හෝ වෘද්ධයෙක් වේද, හෙතෙම නොකල්හි කියන්නේ වේද, නොවූවත් කියන්නේද, අනර්ත්‍ථයෙන් කියන්නේද, අධර්මයෙන් කියන්නේද, නොහික්මීමෙන් කියන්නේ වේද, හෘදයෙහි තබා නෙගත යුතු වචනය කියන්නේද, කරුණු සහිතව නොකියන්නේද, සීමා නොදක්වා කියන්නේද, ලෞකික, ලෝකොත්තර අර්ත්‍ථය නැතිව කියන්නේද, හුදෙක් ඔහු අන්‍ධබාල ස්ථවිරයෙකි යන සංඛ්‍යාවටම පැමිණෙයි.

තරුණ වුවත් වැඩිමහලෙකු ලෙසින් ගෞරවයට පාත්‍රවන පණ්ඩිත ස්ථවිරයන්

’’මහණෙනි, ඉදින් තරුණවූ, ලපටිවූ, කථ කෙස් ඇති, යහපත් යෞවනයෙන් යුක්ත, පළමුවෙනි වයසෙහි සිටි බාලයෙක් වේද, හෙතෙම සුදුසු කාලයෙහි කියයිද, අර්ත්‍ථයෙන් කියයිද, ධර්මයෙන් කියයිද, විනයෙන් කියයිද, සුදුසු කාලයෙන් කරුණු සහිතව කියයිද, සීමා දක්වා කියයිද, අර්ත්‍ථ සහිතව කියයිද, හෘදයෙහි තැන්පත් කර ගත යුතු වචන කියයිද, හුදෙක් හෙතෙම පණ්ඩිත ස්ථවිරයෙකි යන සංඛ්‍යාවට යයි.

ඔවුනට ලැජ්ජා හිතෙන්නටත් ඇති. ඔවුන් සියලූම දෙනා නිහඬව තව දුරටත් අසා සිටියා.

උපකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය »චතුක්කකනිපාතපාළි » බුද්‍ධාපචායන සූත්‍රය

අපේ බුදුහාමුදුරුවෝ 268 (සන්තිකේ නිධානය)

සත්සතිය 06
මුචලින්ද නාග දරණ
මුචලින්ද නමෙහි තේරුම

සයවන සතියෙහි අප මහා බුදුපියාණන් වහන්සේ උරුවේලාවෙහි නෙරඤ්ජරා ගංතෙර මුචලින්ද නම් වූ ගසක් මුලට වැඩම කළා. මුචලින්ද යන වචනයට අර්ථ කිහිපයක්ම අට්ඨ කතාවෙහි සදහන් වෙනවා. මුලින්ම මුචලින්ද නම් මිදෙල්ල ගස හඳුන්වන නමක් ලෙසින් හඳුන්වනවා. එය නිචූලයිද කියනු ලබනවා. එය වනයෙහි ජ්‍යෙෂ්ඨ ගසක් බැවින් මුචලින්ද වූයේ යැයි ද කියනු ලබනවා.

මහා අකාල මේඝය

මහා අකාලමෙසො යනුවෙන් හඳුන්වන්නේ වර්ෂා කාලය නොපැමිණි කල්හි ඇතිවුන මහා වර්ෂාව හඳුන්වන නමක්. එය උපත්කල්හි හත් දවසක් නොකඩවා වැස්ස පවතිනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වර්ෂාවද ජලය හා මිශ්‍ර වූ ශීතල වාතයෙන් යුක්ත වනවා. බුදුපියාණන් වහන්සේ බුදුවීමෙන් පස්සේ සයවෙනි සතිය විමුක්ති සුවයෙන් ගතකිරීමට මෙම ගස මුලට පැමිණිය විතරයි. එම ගස සමීපයේ මනහර පොකුණක් තිබුණා. ඒ පොකුණෙහි යට නාග භවනයක් තිබුණා. එහි උපන් මහානුභාව සම්පන්න නාගරාජයෙක් සිටියා. මුචලින්ද ගස අසල තිබූ බැවින් ඒ පොකුණ සමහරවිට මුචලින්ද පොකුණ නමින් හඳුන්වන්නත් ඇති. ඒ නිසාමද කොහෙද එම නාගරාජයාව හඳුන්වනු ලැබුවේත් මුචලින්ද නාරජු යනුවෙන්.

ඒ මහා මේඝය ඇද හැලෙන්නට වැහිබිඳු එකිනෙක අහසින් වැටෙන්නට පටන්ගත්තා. බුදුපියාණන් වහන්සේ ඒ වනවිටත් සමාධියට සමවැදිලා දවස් සතකට නොනැගිටින්නට. ලගම එන අවධානම ඉවෙන් මෙන් හැඳිනගත් මුචලින්ද නාග රාජයාට මෙලෙස සිතිවල්ලක් පහළවුනා. “භාග්‍යවතුන් වහන්සේ මාගේ භවන සමීපයෙහි ගසක් මුල වැඩවසති. දැන් හත් දවසක් වසින වැස්ස ඇත. එබැවින් බුදුරදුනට වාසයට සුදුසු ස්ථානයක් ලැබුනොත් යහපතැයි” සිතන්නට වුණා. “ඔහුට සත්රුවලින් තැනූ ප්‍රාසාදයක් මා හට නිර්මාණය කරන්නට හැකි වූයේ නමුත් එසේ කළ කල්හි සිරුරෙන් ගතයුතු ප්‍රයෝජනය නොගත්තේ වන්ය. දසබලයන් වහන්සේට කයින් වතාවතක් කරනෙමි” යි සිතමින් සෙමින් සෙමින් බුදුපියාණන් වහන්සේ අසලට පැමිණියා. ඉන්පසු පැමිණ අති විශාල නාගකයෙකුගේ වේශයක් මවාගත් ඔහු සත්වරක් තමාගේ ශරීරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය වටකොට භාග්‍යවතුන් වහන්සේගේ හිස මුදුන් පෙදෙස මතෙහි තමගේ මහත් වූ පෙණය තබා දරණගසා වටකරගනු ලැබුවා.

 දරණ ඇතුලත ලෝහමහා ප්‍රාසාදයක බඩු ගබඩාවක් පමණ විය යි අධටඨ කථාවෙහි සඳහන් වනවා. මෙම කාලය තුල ශාස්තෘන් වහන්සේ කැමති කැමති ඉරියව්වකින් වාසය කරත්වා යනු නා රජුගේ අදහස වුණා. එහෙත් භාග්‍යවතුන් වහන්සේ හිඳගෙනම සත්දවස ගතකළා. භාග්‍යවතුන් වහන්සේහට සීතලක් නොවේවා යනුවෙන් පතමින් හෙතෙම සීතද, උෂ්ණයද, මැසිමදුරුවන්ගෙන් වන හිරිහැර ද වැලැක්වීම සඳහා එලෙසම දින හතම රැඳී විටියා. එහෙත් සත් දවසක් ම වැසි වැස්ස නිසා උෂ්ණයක් පවතියේම නැහැ.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් පසු ඒ සමාධියෙන් නැගී සිටියා. මුචලින්‍ද නාග රජතෙමද වැහිකළු පහව ගොස් වැස්ස නැවති ඇති බව දැන භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් දරණ ලිහා ස්වකීය වේසය වෙනස් කොට තරුණ වෙසක් මවා හිස නමා භාග්‍යවතුන් වහන්සේට වඳිමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියා.

 භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කලා.

ඒ “චතුර් මාර්ග ඥාන සන්තොෂයෙන් සතුටුවූ තමාට ප්‍රකට වූ ලොවුතුරා දහම් ඇති නුවණැසින් උපධි විවේකය (නිවණ)

බලන පුද්ගලයාට ඒ උපධි විවේකය සැපවේ. ලොව කිසිවකු කෙරෙහිත් නොකිපෙන බවද, සත්වාවිහිංසාවද තවත් සැපයකි. කාමාශාවෙන් වෙන්වීමවූ විරාගී බව (අනාගාමී බව) ද ලොව සැපෙකි. මම ශ්‍රේෂ්ඨවෙමියි යන ආදී වශයෙහිවූ අස්මි මානයාගේ විනාශය (රහත් බව)උසස්ම සැපයවේ.” යනුවෙනි.

උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » උදානපාළි » මුචලින්දවග්ගො » මුචලින්ද සුත්‍රය සහ පරමත්ථ දීපනි නම් වූ උදානඅට්ඨ කථාව

අපේ බුදුහාමුදුරුවෝ 269 (සන්තිකේ නිධානය)

සත්සතිය 07
සත්වන සතිය

 සවන සතියෙන් පසු බුදුරජාණන් වහන්සේ නුදුරෙහි වූ කිරිපලු රුක වෙත වැඩ එහි සමවත් සුව විඳිමින් සතියක් වැඩ සිටියා. මෙලෙස සත් සතිය හෙවත් බුද්ධත්වයෙන් පසු දින හතලිස් නවයක් ගතවී තිබුණා. බුදු වූ තැන් පටන් කොට ගත වූ සත් සතියෙහි භාග්‍යවතුන් වහන්සේ කිසි දු අහරක් වැළඳූ බව සඳහනක් නැහැ. ඵල සමාපත්තියෙන් ම කාලය ගත කරනු ලැබුවා.

සක් දෙවිඳුගේ පූජාවක්

උසත්වන සතිය ඉක්මයත්ම නවසාළිස් දිනයෙහි උන්වහන්සේට මුව දෙවීමට සිතක් උපන්නා. එවේලෙහි ඒ බව දැනගත් සක් දෙවිඳු බෙහෙත් අරළු ගෙනවුත් පිළිගන්වනු ලැබුවා. ඒ වැළඳීල්ලෙන් පසු සිරුරු මළ පහ වූ බව පවසනවා. එවිට සක් දෙවිඳු ම නාලිය දැහැටි ද මුවදෙනා පැන් ද පිළිගන්වනු ලැබුවා. බුදුන් වහන්සේ එම දැහැටි වළඳා අනෝතත්ත විල් දියෙන් මුව දෝවා එම රජායතන රුක් මුල ම නැවතත් වැඩසියා.

තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ

මෙ සමයෙහි උත්කල ජනපදයෙන් වෙළඳාමෙහි යන තපුස්ස භල්ලික නම් සහෝදර වෙළෙන්දෝ දෙදෙනෙක් පන්සීයක් පමණ ගැල් පදවා ගෙන ඒ පෙදෙසට සම්ප්‍රරොත වුණා. තපස්සු භල්ලික දෙදෙන පුෂ්කරවතී නුවර ශාර්ථවාහකයකු ගේ පුත්තු යැයි ද ඔවුන් පන්සියයක් පමණ ගැලින් වෙළෙඳාම් යන විට බුදු වීමෙන් අට වන සතියෙහි කිරිපලු රුක මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා සමීපයෙන් යන්නට ආ බවද, එහි වියැලි බිමෙහි ගැල් පැද්ද විය නො හැකිව කරුණු කිම් දැයි සිතා බලන ඔවුනට පෙර අත් බැවේ නෑයකු වූ දේවතාවක රුක් වෙළෙප් අතුරේ පෙනී සිට බුදුරජාණන් වහන්සේගේ තොරතුරු කියා උන් වහන්සේට ආහාරයෙන් සංග්‍රහ කරන ලෙස දැන් වූ බවද පරමත්ත දීපනියෙහි පවසනවා. මෙයට මඳක් වෙනස් ලෙස, ඒ වෙළෙඳ දෙබෑයන් අසිතංජන නුවර කෙළෙඹි ගේක උපන් බවද ඉහත සඳහන් පරිදි ඔවුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා සමීපයෙන් යන විට එක් දේවතාවක්හු ගොනුනට ගැල් ඇද යෑ නොහැකි සේ සැලැස්සූ බව ද ඔවුන් ගැල් ගෙන යෑ නොහැකිව කරදරන දුටු දේවතාවා එ පිරිසේ එක් පුරුෂයකුට ආවිෂ්ට වී අතීත ආත්මයෙහි තමා ඔවුන් ගේ මවු බව කියා භාග්‍යවතුන් වහන්සේ ගේ තොරතුරු ද දවා දන් දීමෙහි ඔවුන් මෙහෙයූ බව ද මනෝරථ පූරණයෙහි සඳහන් වනබව බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේ විසින් බුද්ධ චරිතය ග්‍රන්ථයේ උප ග්‍රන්ථ නම් ශීර්ෂය යටතේ පවසනවා.

සතරවරන් දෙව්රජවරුන් විසින් දෙනු ලැබූ පාත්‍ර සතර එකක් බවට පත්වීම.

වෙළෙන්දෝ ද දේවතානුශාසනය පරිදිම භාග්‍යවතුන් වහන්සේ කරා එලැඹ විළඳිනුත් මී පිඬුයෙනුත් උන්වහන්සේ පුදනු ලැබුවා. එහෙත් එය පිළිගන්නට භාග්‍යවතුන් වහන්සේ සතුව කිසිම භාජනයෙක් ඒ වනවිට තිබුණේ නැහැ. ඒ නිසාම “කිමෙකින් මෙය පිළිගනිම් දැ”යි උන්වහන්සේට සිතෙක් වුණා. ඒ මොහොතේම උන් වහන්සේ ගේ චිත්තාවාරය දත් සිවුවරම් දෙව්රජහු මුං වන් ගල්මුවා පාත්‍ර සතරක් ගෙනවුත් පිළිගන්වනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්‍ර සතර ම අධිෂ්ඨාන බලයෙන් එකක් කොට එයින් යටැ කී දෙ වෙළෙඳුන් දුන් අත් සුණු හා මී පිඬු පිළිගෙන වළදනු ලැබුවා. එයත් බුද්ධත්වයට පෙර සුජාතාව විසින් පිළිගන්වනු ලැබූ කිරිපිඩු දානය මෙන්ම සසර පුරාවට පෙරුම් පුරමින් පැමිණ ලබාගත හැකි තවත් අති දුර්ලභ ගනයේ දානමය පින්කමක්.

ආනුපුබ්බී කථාව

මෙලෙස බුද්ධතවයෙන් දින සතළිස් නවයක ට පසු ඒ සුමිහිරි දානය වැළඳු උන් වහන්සේ ඔවුනට භූත්තානුමෝදනා වශයෙන් ආනුපුබ්බී කථාව* (අනුපිළිවෙළ කථා) වදාරනු ලැබුවා. බණ ඇසූ ඔවුහු ද “වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේත් ධර්මයත් සරණ යම්හ. අද පටන් දිවි හිමි කොට. බුදුන් දහම් සරණ ගිය උපාසකයන් හැටියට අප සලකන සේක් වා”යි කියා සරණ ගියා පමණක් නොවෙයි බුදුන් සරණ ගිය ප්‍රථම උපසකයන්ද ඔවුන් වුනා. . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නමින් පිදීමට වස්තුවක් ඉල්ලූ ඔවුනට කේශධාතු මිටක් දෙනු ලැබුවා. ඔවුහු රන් කරඬුයෙන්, ඒ ගෙන ගොස් සිය ජාත භූමිය වූ අසිතංජන පුරයෙහි චෛත්‍යයක් තැනවූ බව සඳහන්.

*ආනුපුබ්බී කථා නොහොත් පිළිවෙළ කථා නමින් සඳහන් වන්නේ ශ්‍රාවක හමුවකදී බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ සංවාද ක්‍රමයයි. යම් අවස්ථාවක යම් පුද්ගල හමුවකදී බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව හා පුද්ගල චරිත කෙරෙහි වඩා අවධානයකින් දහම් දෙසීම සිරිතයි. සෑම දෙනාටම එකම දහම් දෙසීමේ පිළිවෙතක් නැත. ඒ නිසාම ආනුපුබ්බී කථා පිළිවෙළ නමින් දාන කථා, සීල කථා, සග්ග කථා, කාමයන්හි ආදීනව හා එහි නික්මීම, (දාන කථාව, සීල කථාව, සග්ග කථාය නෙක්ඛම්මේ ආනිසංස ඔකාරෙ සංකිලෙසා) ආදී වශයෙන් ශ්‍රාවක මනස අගාරික ජීවිතයෙන් අනගාරික දිවි පෙවෙත වෙත යොමුකරයි.

උපග්‍රන්ථ – ජාතකටඨකථා, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

අපේ බුදුහාමුදුරුවෝ 270 (සන්තිකේ නිධානය)

අටවන සතිය – සාම්පතී මහා බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝකසත්වයා වෙනුවෙන් ධර්මය දේශණා කිරීමට ආරාධනය කිරීම

භාග්‍යවතුන් වහන්සේ කිරිපලු රුක් මුලින් නැගිට යලිත් අජපාල නුගරුක වෙත වැඩම කරනු ලැබුවා. ඒ රුක්මුලැ ඉන්නා උන් වහන්සේට මෙලෙස කලපනාවක් පහලවුණා. ඒ පිළිබඳව බුද්ධ දේශණාවෙන්ම “අරියපරියෙසන සූත්‍රය” ඇසුරෙන් මෙලෙස පළකරන්නට සිතුනා.

“ මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරුය, දැකීම දුෂ්කරය, අවබෝධ කර ගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.

“මමද ධර්මය දේශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබෝධ කර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි, ඉක්බිති මට පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.

“මා විසින් දුකසේ අවබෝධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසු නැත. රාගයෙන් හා ද්වේෂයෙන් මඩනා ලද්දාවුන් විසින් මේ ධර්මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.

“ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබෝධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්මය රාගයෙන් රත්වූ මෝහයෙන් වටවූ මේ සත්ත්වයෝ අවබෝධ කර නොගන්නාහ.”

“මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට නැමෙයිද දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හි සහම්පතී නම් බ්‍රහ්මයාහට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය. යම් ලොවක සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකය තෙම විනාශ වන්නේය’ යනුවෙනි

“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලනලද අතක් දික් කරන්නේද දික් කරනලද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මාගේ ඉදිරියෙහි පහළ විය. “මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පොරවා මා යම් දිසාවෙක්හිද ඒ දිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසන සේක්වා, ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ඔව්හු ධර්මය අසන්නට නැතිකමින් පිරිහෙති. ධර්මය දැනගන්නෝ ඇත්තාහුය.’

“මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්ත්වයන් කෙරෙහිද කරුණාවෙන් බුදු ඇසින් ලෝකය බැලීමි. මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාදී කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද ශ්‍රද්ධාදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්ත්වයන් දුටිමි.

“යම්සේ නම් උපුල් විලක හෝ හෙළ උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවී දිය ඇතුළේම පොෂ්‍ය වෙත්ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සමව සිටියාහුද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතුවී දියෙහි නොවැදී සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුදු ඇසින් ලෝකය බලන්නෙම් ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද, මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද, ශ්‍රද්ධාව ආදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්ත්වයන් දුටිමි.

“මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.

“බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්මය නොකීයෙමි, ඒ සත්ත්වයන්හට නිවණෙහි දොරටු හරින ලද යම් කෙනෙක් තුමූ කන් ඇත්තාවූද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.”

“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාව පිණිස කරනලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුකොට එහිම අතුරුදන් විය.

මේ කථාවමෙලෙස කියවන බඔබගේ සිතෙහි මෙලෙස ප්‍රශ්ණයක් පැන නැගෙන්නට ඇතෙයි කියල මට සිතුනේ මටත් ඒ ප්‍රශ්ණයම පැන නැගුණ නිසාමයි. ඒ නිසාම මෙම කොටස නොලියා මග හරින්නටත් සිතුණා. එහෙත් භාග්‍යයකට වගේ මිලින්ද ප්‍රශ්ණේ මිලින්ද රජතුමාටත් ඒ ප්‍රශ්නෙම හිතේ නැගිලා තිබුනා. ඒ සදහා නාගසේන මහරහතන් වහන්සේ දුන්න පිළිතුරින් මමත් සැහීමකට පත්වුණා. ඒ නිසා ඒ ප්‍රශ්ණය සහ පිළිතුර ලියාම මේ කොටස අවසන් කිරීමට සිතුණා .

බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය

මිලිඳු රජු –

ස්වාමීනි, බුදුපියාණෝ සියලු දෙවි මිනිසුන්ගේ යහපත උදෙසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවු සේක. එසේනම් අජපාල නුගරුක මුලදී බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වූයේ ඇයි?

නාගසේන තෙරණුවෝ –

මහරජ, ධර්මය ගැඹුරුය. සියුම්‍ ය. කෙලෙස් භරිත සත්වයන්ට අවබෝධ කිරීම දුෂ්කරය. කිඹුලා කටින් ඩැහැගත් දෙයක් ගලවාගත (නැවත ගත) නොහැකි සේ මිනිසුන් තුළ මුල් බැස පවතින සත්ව පුද්ගල හැඟීම දුරු කිරීම අපහසු නිසා මෙසේ බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී විය. මහරජ, බුදුපියාණෝ “මා අවබෝධ කළ සිවුසස් දහම හෙවත් චතුරාර්ය සත්‍යය ධර්මය දුකසේ දැකිය යුතුය. අවබෝධ කිරීම දුෂ්කරය. ශාන්තය. ප්‍රණීතය. තර්කයෙන් දැනගත නොහැකිය. නුවණැතියන් විසින්ම දත හැකිය. රාග, ද්වේෂ, මෝහ සහිත වූ අයට මෙය අවබෝධ කළ නොහැකිය. කෙසේ මොවුන්ට ධර්මය දේශනා කරම්ද?” යයි ධර්මයේ ගැඹුරු බව නිසා පසුබට වූ සේක. දක්ෂ වෛද්‍යවරයෙක් රෝගී මනුෂ්‍යයෙක් කරා එලඹ කවර උපක්‍රමයකින්, කවර බෙහෙතකින් මොහුගේ රෝගය සුව කරන්නේදැයි සිතන්නාක් මෙනි. එසේම මහරජ, මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පසුව ධර්ම දේශනා කිරීම සියලු බුදුවරයන්ගේ ධර්මතාවයකි. බුදුපියාණන්ට පෙර විසූ අය බ්‍රහ්මයා දේවතා කොට ගරු කොට සැලකූවෝ වූහ. එවන් බ්‍රහ්මයකු බුදුපියාණන්ට වඳිනු දකින විට දෙවියන් ඇතුළු ලෝවැසියෝත් එය නිතැතින්ම අනුගමනය කරමින් බුදුපියාණන්ට නමස්කාර කරති. ඒ අනුව සිතති. යම් මහරජ කෙනෙක් හෝ මහාමාත්‍යයෙක් යම් කෙනෙකුට නමස්කාර කරන විට අන් අයද නමස්කාර කරන්නාක් මෙනි. පූජා සත්කාර කරන්නාක් මෙනි. අජපාල නුගරුක මුලදි බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වෙත්ම පෙනී සිටි මහා බ්‍රහ්මයා වැඳ එකත්පස්ව සිට “ස්වාමීනි, බුදු උපත දුර්ලභය. ඔබවහන්සේ මෙපමණ කලක් දුක් වින්දේ සියලු සතුන් සංසාර සාගරයෙන් එතෙර කිරීම සඳහාය. ඔබවහන්සේ ධර්මය දේශනා කරන්න. එය අවබෝධ කරන්නෝ ඇති වන්නාහ” යයි දහම් දෙසීමට ආරාධනා කළේය. ඔහුගේ ආරාධනාව පිළිගත් බුදුපියාණෝ බුදු ඇසින් ලොව බලන්නේ කෙලෙස් අඩු අය හා වැඩි අයද, දහම් දත හැකි අය හා නොදත හැකි අයද ඇති බව දුටු සේක.

උපකාරක ග්‍රන්ථ – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය, මිළින්ද ප්‍රශ්නය (47. බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය)

අපේ බුදුහාමුදුරුවෝ 271 (සන්තිකේ නිධානය)

මංගල ධර්ම දේශණය සඳහා සුදුස්සන් සෙවීම

මෙලෙස ලෝක ධර්මතාවයනට අනුව බුදුරජාණන් වහන්සේට ආරාධනය කරනු ලැබූ සහම්පතී මහා බ්‍රහ්මරාජෝත්තමයන් වහන්සේ නික්ම ගිය පසු අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් යුක්තව මෙලෙස ලොව දෙස බලන්නට විය. එය තවදුරටත් සුත්‍ර දේශනාවේ උන්වහන්සේගේ වචනයෙන්ම මෙලෙස විස්තර වෙනවා.

“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. කවරෙකුට මම මේ ධර්මය පළමුවෙන් දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරගන්නේද? මහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම අවබෝධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, ආළාරකාලාමතෙම මින් සත්දවසකට පෙර කාලක්‍රියා කළේයයි’ කීය. මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලක්‍රියා කෙළේය යන ඥානය පහළවිය.

“මහණෙනි, ඒ ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසූයේ නම් වහාම අවබෝධකරගන්නේයයි සිත් විය.

“මහණෙනි, ඒ මට මම කවරෙකුට පළමුව ධර්ම දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරන්නේදැයි සිත් විය. මහණෙනි, ඉක්බිති මට මේ උද්දක රාමපුත්තතෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම දැනගන්නේ යයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, උද්දකරාම පුත්ත තෙම ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේය යන ඥානය මටද පහළ විය. ඒ මට කවරෙකුට මම පළමුව ධර්මදේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කර ගන්නේදැයි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇතිවිය. යම් කෙනෙක් මට ප්‍රධාන වීර්ය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භික්ෂූහු මට බොහෝ උපකාරී වූහ. මම පළමුකොට පස්වග මහණුන්හට ධර්මදේශනා කරන්නෙම් නම් යෙහෙකි. මහණෙනි, ඒ මට දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස් විය. මහණෙනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භික්ෂූන් දුටුවෙමි.

“මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව්වෙහි කැමතිතාක් කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එතනට යන්නට පිටත් වුනෙමි.

උරුවේලායෙන් පිටත් වීම සහ උපක අජිවකයන් හමු වීම

 භාග්‍යවතුන් වහන්සේ කිහිප දිනක් මෙලස බෝ මැඩ අසලැ වාසය කොට, ඉන්පසු, බරණැස් නුවර බලා අටළොස් යොදුන් මහ මඟට පිළිපනු ලැබුවා. මෙසේ වඩනා උන්වහන්සේට බෝ මැඬටත් ගයාවටත් අතරෙහි දී උපක නම් ආජීවකයෙක් හමු වුණා. ඔහු බුදුරජාණන් වහන්සේ දැක පැහැදී, “ආයුෂ්මතාණෙනි, ඔබ ගේ ඇස් ආදී ඉන්ද්‍රියයෝ ඉතාම ප්‍රසන්නයි. ශරීර වර්ණය පිරිසිඳුය. ඔබ කිනම් ශාස්තෘවරයක්හු උදෙසා පැවිදි වූ ද නොහොත් ඔබ ගේ ශාස්තෘන් වහන්සේ කවරෙක් ද? කාගේ ධර්මයෙක් ඔබට රිසියෙයි දැ?” යි අසනු ලැබුවා.

එ විට ඔහුට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

“සියලු ත්‍රෛභූමක ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතුර් භූමක ධර්මයන් දැනගත්තාවූ, සියලු ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ, සියලු ත්‍රෛභූමික ධර්මයන් පහකළාවූ, නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ, මම තෙමේම චතුස්සත්‍යය අවබෝධකොටගත හෙයින් අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද?

“මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිතවූ ලෝකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශාස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මාසම්බුද්ධ වෙමි.

“අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්‍රය පැවැත් වීම සඳහා කසීරට බරණැස් නුවර බලා යමි,

එවිට උපක ආජීවකය මෙලෙස පවසනු ලැබුවා.

“ඇවැත්නි, ඔබ යම්සේ ප්‍රකාශ කෙරෙහිද එසේ නම් ඔබවහන්සේ අනන්තජින නම් වන්නට සුදුසුය.”

 බුදුපියාණන් වහන්සේ උන්වහන්සේව හඳුන්වා දුන් සැටි

“උපකය, යම් කෙනෙක් අන් අයෙකුගේ උපකාරයකින් තොරව, තමා විසින්ම නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම් වෙමි’යි දේශණා කරනු ලැබුවා.

එහෙත් ඔහු හට ඒ මොහොත වනවිටත් ධර්මාබෝධයට පින මෝරා තිබුනේ නැහැ. ඒ නිසාම බුදුරජුන් එසේ කි කල උපක නම් ආජීවකතෙම ‘ඇවැත්නි, එසේත් විය හැකියයි’ කියා හිස වනා අන් මඟකින් තමා පැමිණි අරමුණු කරා යන්නට ගියා.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය පොතෙහි උපග්‍රන්තයන්හි තවදුරටත් මෙලෙස සඳහන් වෙනවා.

බෝ මැඩටත් ගයාවටත් අතර තුන් ගව්වක් ඇතුළත දී හමු වූ බව පපංචසුදනී පාසරාසි සූත්‍ර අටුවායෙන් පෙනේ. උපක ආජීවකයා වංගහාර ජනපදයට ගොස් එහි වැදි ගමෙක, තමා අර්ධපාල නම් රහත් කෙනෙකැයි හඟවා කලක් වැස ඉක්බිති ඔවුන් කෙරේ කලකිරී බුදුරජාණන් වහන්සේ ජේතවනයෙහි වසන කල එහි ගොස් පැවිදිව විදසුන් වඩා අනාගාමි විය.

උපකාරක ග්‍රන්ථ -මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

අපේ බුදුහාමුදුරුවෝ 272 (සන්තිකේ නිධානය)

“රහත් බවට පත් මා වැන්නෝ ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, සියලු පාපයෝ මා විසින් දිනන ලදහ. එ හෙයින් මම ජින වෙමි” යි යනුවෙන් වදාරනු ලැබුවා. එය ඇසූ උපක ආජීවකයා “එසේත් විය හැකි යි, ඇවැත්නි” යි කියා හිස සලා භාග්‍යවතුන් වහන්සේට වඩිනට මඟ හැරැ (පාරෙන් අයින් වැ) දකුණු දෙසට, යන්නට ගියා. භාග්‍යවතුන් වහන්සේ ද උතුරු දෙස බලා වඩිමින් ගයා පෙදෙස ඉක්මැ රෝහිතවාස්තු, උරුවිල්වාකල්ප, අරුණාලය, සාරථිපුර ආදී ග්‍රාමනිගමයන් පසු කොට ගංගා නදියෙන් එ තෙරැ වී බරණැස් නුවරට වැඩම කරනු ලැබුවා. මේ වනාහි ඇසළ පුණු පොහෝ දිනයද වුණා.

ඉසිපතන වැඩීම

සවස් කාලය වනවිට භාග්‍යවතුන් වහන්සේ නගරයට නොදුරු වූ ඉසිපතනයට සමීප වෙමින් සිටියා. හදිසියේම පස්වග තවුසන්ගේ ඇස ඈත වඩිනා භාග්‍යවතුන් වහන්සේ ශාන්ත දර්ශණය වෙත යොමුවුනා. එහෙත් ඔවුනට ඇතිවුණේ වැරදි හැඟීමක්. එතැන් සිට බුද්ධ වචනයෙන්ම අරියපරියෙසන සුත්‍රයේ සඳහන් වන අයුරින් ම මෙලෙස ලියන්නම්.

“මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භික්ෂූහු එන්නාවූ මා දුරදීම දුටුවාහුය, දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමතෙම චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්ය කිරීමෙන් පිරිහී චීවරාදි ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන් නොකළ යුතුය, ඔහුගේ පාත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය. කැමතිනම් වාඩිවන්නේය.

 “මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැනවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදු වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නියයි’ ද කථාකරති. මහණෙනි, එසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි.

මහණෙනි, තථාගතයන් හට නම කියමිනුත් ‘ඇවැත්නි, කියමිනුත් කථා නොකරව්. “මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

“මහණෙනි, මෙසේ කී කල්හි පස්වග භික්ෂූහු මට මෙසේ කීවාහුය. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබුයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව වීර්ය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි, කීහ.

“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

මෙලෙසම දෙවනුවත් තෙවනුවත් පසවග බමුණන් බුදුරජාණන් වහන්සේට පවසන්නට වුනා. ඒ සියල්ලටම ඉහත සඳහන් ආකාරයටම පිළිතුරුදුන් අප බුදුපියාණන් වහන්සේ තුන්වැනි වරත් එසේ පවසන විට ඔවුන්වෙත පෙරළා මෙලෙස ප්‍රශ්ණයක් යොමුකරනු ලැබුවා.

“මහණෙනි, මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්නහුද?

 නැත ස්වාමීනි,

‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගතතෙම රහත්ය, සම්‍යක් සම්බුද්ධය, ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

“මහණෙනි, මා බුදුවූ බව පස්වග මහණුන්හට අඟවන්නට මම සමර්ථ වීමි. යනුවෙන් දෙශනා කරනු ලැබුවා.

පස්වග තවුසෝ භාග්‍යවතුන් වහන්සේ බුදුබව ලත් බැවින් ම මෙසේ වදාරන සේකැ” යි පිළිගනු ලැබුවා. පිළිගෙන ඒ අසිරිමත් ධර්ම ශ්‍රවණයට සැරසෙන්නට වුණා.

උපකාරක ග්‍රන්ථ -මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

අපේ බුදුහාමුදුරුවෝ 273 (සන්තිකේ නිධානය)

ප්‍රථම මහා සමාගම සහ මංගල ධර්ම දේශණය ආරම්භය
දස දහසක් සක්වළ ගිගුම්දුන් දම්සක්පැවතුම් දේශනාවේ ප්‍රථම හඬ

මෙලෙස අප මහා බුදුපියාණන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි වූ මිගදාය නම් වූ ඉසිපතනාරාමයට වැඩම කරනු ලැබුවා. ඒ සරාසන්ඛේයිය කල්පලක්ෂයක් පෙරුම් පුරා අප තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා සතර දුකින් මුදවාලීමට ඉතා දුක්ගැහැට විඳ රැගෙන පැමිණි නිර්වාන මාර්ගය ප්‍රථම වතාවට දේශණා කිරීමට. එම දේශණාව ධම්මචක්කප්පවත්තන සුත්‍රය නමින් හැඳින්වෙනවා. මෙහි ධම්ම නමින් හැඳින්වෙන්නේ තථාගත ධර්මයට. චක්ක නමින් හැඳින්වෙන්නේ චක්‍රයට, රෝදයට. පවත්තන නමින් හැඳින්වෙන්නේ ප්‍රවර්තනය කියන එක. ප්‍රවර්ථනය කියන්නේ ඉදිරියට කරකවන යන අර්ථය ගෙන දෙන්නක්. ආවර්ථනය කියන්නේ එහි විරුද්ධාර්ථය පසුපසට පෙරලීම යන්නයි. තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වුණේ යම් දවසකද එදින සිට මහා පරිනිර්වාණය දක්වා ගතකල කාලය තුල යම් වචනයක් දේශණා කලේද එය අතීත, වර්තමාන අනාගත යන කාල යාත්‍රාවේ කිසිවෙකුට හෝ ආපස්සට කැර

කිය හැරවිය නොහැකි, වෙනස් කල නොහැකි, බොරු කල නොහැකි, ලෙස ඉදිරියට ම ප්‍රවර්තනය වන බැවින් පවත්තන නම් වනවා. ඒ නිසාම අප මහා බුදුපියාණන් වහන්සේ තථාගත නමින්ද හඳුන්වනවා. ජනතාව වෙත පෙරලා හල එමෙන්ම ප්‍රථම වතාවට සම්ප්‍රේෂණය කල සුත්‍රය බැවින් මෙය ධම්මචක්කප්පවත්තන සුත්‍රය නම් වනවා.

බරණැස් නුවර නම සැදුනු සැටි

මෙම සුත්‍ර දේශණාව පවත්වනු ලැබුවේ බරණැස් නුවර ඉසිපතනා රාමයේ මිගදායේ. පුරාණ ඉන්දියාවේ ගංගා දෙකක් තිබුණා. ඒ ගංගා දෙකෙහි නම “වරුණ” සහ “අසී”. මෙම ගංගා දෙක මැදිකොට මිනිසුන් විසින් නගරයක් තනනු ලැබුවා. මෙම නගරය මිනිස්සු හැඳුන්වුයේ “වාරාණසී” කියලා. එයට පාලියෙන් කියන්නේ බාරාණසී කියල. සිංහලෙන් කියන්නේ බරණැස් නුවර කියලා. බරණැස් නුවර තුබුණා ඉසිපතනය කියලා තැනක්. ඉසිපතනය කියන්නට හේතු දෙකක් තිබුණා . එකක් තමයි පුරාණයේ වැඩසිටි. පුරාණයේ වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේලා ස්කන්ධ පරිනිර්වාණය ට පැමිණෙන විට උන් වහන්සේලා අහසට පැන නැගිලා පිරිනිවන් පානවා, එතකොට ඒ එක්කම උන්වහන්සේලාගේ ශාරීරික කොටස් සතර මහා ධාතූන් සමග එකතු වී එතනම අතුරුදහන් වෙනවා, හැබැයි උන් වහන්සේලාගේ සිවුරු බිමට වැටෙනවා, එම පසේබුදුවරුන්ගේ සිවුර බිමට වැටෙන තැන ඉසිපතන ලෙස හැඳින්වූවා, ඉස්සර පසේ බුදුරජාණන් වහන්සේලා හඳුන්වලා තියෙන්නේ ඉසි කියන නාමයෙන්.

ඉසිපතන නම සැදුනු සැටි

තවත් හේතුවක් තමයි ඉස්සර හිමාල කැලේ වැඩ සිටියා හිත දියුණු කරගත් අභිඥාලාභී සෘෂිවරු. උන්වහන්සේලාගේ ආහාර රටාව වෙනස් ගස් වල ගෙඩි කොළ පොතු ජාති කොළ මුල් තම්බලා වැළඳුවා. එකම රසකාරක යයි දැම්මෙ ඒ ලුණු, කැලේ ලුණු නැති නිසා ලුණු ඉවර වුණාම මේ සෘෂිවරුන් වහන්සේලා මොකද කරන්නේ අහසින් ඇවිත් බිමට බහිනවා අන්න ඒ බිමට බසින තැන ඍෂිවරු පතනය වන තැන ඉසිපතනය කියලා කිව්වා.

මිගදාය නම සැදුනු සැටි

මේ ඉසිපතනෙ තිබුණා මුවන්ට අභය දානය දුන්න තැනක්, ස්වර්ණ මිග ජාතකයෙහි සඳහන් වන කතාවකටත් අනුව බරණැස් නුවර කියන්නේ බොහෝම පැරැණි නගරයක්. ඒ නගරයේ තිබූ ඉසිපතනයේ කොටසක් වෙන්කර තිබුණා මුවන් සඳහා අභය දානය සඳහා. එම ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ ඉසිපතන මිගදාය නමින්. මුවන් කියන්නේ ඉතාම අහිංසක සතුන් ජාතියක්. ඉතින් එහෙම අහිංසක සතුන්ට අභයදානය දුන් ඉසිපතන මිගදායේ සුන්දර වන ලැහැබක තමයි පස් වග මහනුන් වැඩසිටියේ. මේ පස්වග මහණුන් සොයා බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කොට ලෝක සත්වයන් සසර දුකින් එතෙර කිරීමේ ඒ මහා කර්තවයට මෙලෙස මුල පිරුවා.

ප්‍රථම මහා සමාගම

“භික්ඛූ ආමන්තෙසි, ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා” “මහණෙනි, මෙම ලාමක වූ කොටස් දෙකක් පවතී” මේ කියමන ප්‍රකාශ කිරීම සමග ම එම ප්‍රකාශයේ මහ හඩ යටින් අවීචියෙහි පටන් උඩින් භවාග්‍රය දක්වා විහිදී දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරී සිටියා. එවිටම අටළොස් කෙළක් බ්‍රහ්මයෝ පැමිණියා. අවර දිගින් හිරු බැස යන අතර පෙර දිගින් ආසාහ නැකතින් යුතුව පුන්සඳ නැග එයි. මල් සුවඳින් උපන් මදයෙන් මුදිත ව හඩ නඟන බමර කැල ගෙන් ද, අතු අගැ රඟ දෙන මයුර පංක්තීන්ගෙන් ද සෙසු සියලු පක්ෂි නාදයනට නිගා දී හඩ නඟන කෝකිල සමූහයා ගෙන් දැ යි අනේක පක්ෂි කුලයන්ගෙන් හා මෙය නිරුපද්‍රිත යැ”යි දැනැ පෙම් කෙළිමින් සිය දරුවන් කැටි ව දිව පැන ඇවිදුනා මුවන්ගෙන් ද මෙසේ අනේක විධ මෘග පක්ෂි ගණයා ගෙන් සවස් කාලයෙහි ඍෂිපතනය රඟ බිමෙක ශ්‍රී ඉසිලුවා. කොන්ඩඤ්ඤ භද්දිය වප්ප මහානාම අජ්සජී යන තවුසෝ පස් දෙන එක් එළිමහන් පෙදෙසක රැස් වී සිටියා. ඔවුනට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ අනුපමේය බුද්ධශ්‍රීන් බබළමින් අස්නෙකැ වැඩසිටියා. එ කෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ ගලා එන මහ වතුරක් සේ සියුම් වෙස්ගෙන එහි රැස් වන්නට වුණා.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛය විවෘත කොට බ්‍රහ්ම ස්වර විහිදුවා දම් දෙසන්නට ආරම්භ කරනු ලැබුවා. පරිසරය පුරා ඒතාක් පැවැති සියලු ශබ්ද නැවතී දැඩි නිශ්ශබ්දතාවෙක් ඇති වුනා සියලු මෘග පක්ෂීහු ද නිහඬ ව හුන් තැන ම හිඳ උන් වහන්සේ ගේ මධුර කට හඬට කන් යොමු කළා. .

සද්ධර්මවර චක්‍රවර්ති වූ ද්විපදෝත්තම ශාක්‍යසිංහ සාමිදරුවන් වහන්සේ පස්වග තවුසන් අමතා මෙසේ වදාරනු ලැබුවා.

“භික්ඛූ ආමන්තෙසි, ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා” “මහණෙනි, මෙම ලාමක වූ කොටස් දෙකක් පවතී”

උපකාරක ග්‍රන්ථ -මජ්ඣිමනිකාය » සංයුත්තනිකාය » මහාවග්ගපාළි » සච්චසංයුත්තං » ධම්මචක්කප්පවත්තනවග්ගො » ධම්මචක්කප්පවත්ත සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, සංයුත්තනිකායට්ඨකථා

අපේ බුදුහාමුදුරුවෝ 274 (සන්තිකේ නිධානය)

මංගල ධර්ම දේශනයට ප්‍රථම කරනු ලැබූ ප්‍රථම අවවාදය

දීපංකර සර්වඥ පාද මූලයෙහිදී කරන ලද ප්‍රාර්ථනාවෙහි පටන් පාරමිතා පුරමින් අනුපිළිවෙළින් පැමිණ අවසාන භවයෙහිදී සක්විති කිරුළ, ප්‍රියාදර බිරිඳ, කුළුදුල් දරුවා ආදී ලෞකික ජීවිතයක ලැබිය හැකි උතුම්ම වස්තූන් හැර දා අබිනික්මන් කොට අනු පිළිවෙළින් බෝ මැඩ වෙත පැමිණ එහි අපරාජිත පරියංකය මත හිඳිමන් මාර බල බිඳ ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙළ සිහිකොට, මධ්‍යම යාමයෙහි දිවැස් පිරිසිදු කොට, පශ්චිම යාමයේ අවසානයෙහි දස දහසක් ලෝක ධාතුව මහත් සේ නාද කරවමින් සර්වඥභාවයට පැමිණ, සති සතක් බෝ මැඩ අසල කල් යවා දහම් දෙසීම සඳහා මහා බ්‍රහ්මයා විසින් ආරාධනා කරන ලද පසුව බුදු ඇසින් ලොව බලා ලෝකයට අනුග්‍රහ කිරීමේ අදහසින් බරණැසට ගොස් පස්වග තවුසන් දැනුවත් කරවා දම්සක් පවත්වනු කැමැත්තාහු ඒ තවුසන් හට මෙලෙස ආමන්ත්‍රණය කරන ලදී.

දෙවමෙ භික්ඛවෙ අන්තා, මෙලෙස සම්මා සම්බුදුවරයෙකු විසින් ප්‍රථම වරට ලෝකයා හමුවේ තැබූ මංගල උපදෙස වා තලය හා මුසුවී විශ්වය පුරා පැතිර ගියා. එනම් “මහණෙනි, මෙම ලාමක වූ අන්ත දෙකක් පවතී” මේ කියමන ප්‍රකාශ කිරීම සමග ම එම ප්‍රකාශයේ මහ හඩ යටින් අවීචියෙහි පටන් උඩින් භවාග්‍රය දක්වා විහිදී දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරී සිටියේය. එවිටම අටළොස් කෙළක් බ්‍රහ්මයෝ පැමිණිය.එකල්හි භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සුත්‍රය මෙලෙස අරඹනු ලැබුවා.

නිවන කරා ගමන් කරන පුද්ගලයෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක

“මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු අත්හළ යුතු මේ අන්ත දෙකෙළවරකි. එනම් ලාමකවූ ගැමියන්ට අයත්වූ පෘථග්ජනයන්ට අයත්වූ උතුම් නොවූ අනර්ථය පිණිස පවතින්නාවූ වස්තු කාමයන්හි ක්ලෙශ කාමය කරණකොට යම් ඇලී වාසය කිරීමක් වේද, දුක්වූ ලාමකවූ අනර්ථය පිණිස පවත්නාවූ යම් ඒ කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය.

“මහණෙනි, ඒ මේ දෙකෙළවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥාචක්ෂුව ඇති කරන්නාවූ, ඥානය ඇති කරන්නාවූ මධ්‍යම ප්‍රතිපදාව, කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස, චතුස්සත්‍යය දැනීම පිණිස, චතුස්සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්.

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාවූ ප්‍රඥා චක්ෂුව ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද?

“එය වනාහී මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කවරේදයත්?

1.සම්‍යක් දෘෂ්ටිය, 2.සම්‍යක් සංකල්පනාවය, 3.සම්‍යක් වචනය, 4.සම්‍යක් කර්මාන්තය, 5.සම්‍යක් ආජීවය, 6.සම්‍යක් ව්‍යායාමය, 7.සම්‍යක් ස්මෘතිය, 8.සම්‍යක් සමාධිය යන මොහුයි.

“මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි.

“දෙව මෙ භික්ඛවෙ අන්තා” මහණෙනි, මේ අන්ත දෙකක් පවතී ” ගිහි සංයෝජන බිඳ (පබ්බජිතෙන) පැවිදි බිමට පැමිණි තැනැත්තා විසින් භාවිත නො කළ යුතු (සෙවිතබ්බා) යෝචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො = වස්තු කාමයහි ලේශ කාමයෙන් යුතුව කාමසුඛයෙහි යෙදීම නම් වූ මෙය හීනෝ = ලාමක වූ ගම්මා = ගම් වැසියන් හට අයත් පොථුජ්ජනිකො = මෝඩ, නුවණ අඩු මිනිසුන් විසින් පුරුදු කරන ලද්දාවූ අනරියො = පිරිසිදු නොවූ, උතුම් නොවූ. උතුමන් හට අයත් නොවු අනත්ථ සංහිතො = යහපත සඳහා නොයෙදුණා වූ යන අරුත

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » මහාවග්ගපාළි » සච්චසංයුත්තය » ධම්මචක්කප්පවත්තන වග්ගය » ධම්මචක්කප්පවත්තන සූත්‍රය , සංයුත්තනිකායට්ඨකතා

අපේ බුදුහාමුදුරුවෝ 275 (සන්තිකේ නිධානය)

මංගල ධර්ම දේශනයට

මිට ඉහත කී පරදී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් මුලුන්ම දේශනා කරනු ලැබුවේ අවවාදයක්. ඒ නිර්වාන මාර්ගය සඳහා පිවිසීමේදී අත්හළ යුතු අන්ත දෙක පිළිබඳවයි. ඉන් අනතුරුව නිර්වානය ශාක්ෂාත් කරගත හැකි මෙතෙක් වැළලී පවතී සත්‍යතා පිළිබඳවත් එම සත්‍යතා අවබෝධය තුලින් පියමැනිය යුතු මැදුම් පිළිවෙත පිළිබඳවත් කෙටි වූ ගාම්භීර වූ සියලුම බුද්ධ දේශනාවන්හි හරය කැටි වූ චතුරාර්‍ය සත්‍ය දේශනාව මේ අකාරයෙන් දේශනා කිරීමට පටන් ගත්තා. එය ඉතාමත් ප්‍රවේශමෙන් සුත්‍ර පිටකයේ ඇති අයුරින්ම දක්වන අතර ඔබහට තේරුම් ගැනීමට පහසුවන අයුරින් මෙලෙස බෙදා වෙනකොට සකසනු ලැබුවා.

චතුරාර්ය සත්‍ය දේශණාව

“මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඤාණය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි.

1. “මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි.

1.ඉපදීම දුකය, 2.ජරාවද දුකය, 3. රෝගයද දුකය, 4. මරණයද දුකය, 5. අප්‍රියයන් හා එක්වීම දුකය, 6. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, 7. කැමති යමක් නොලැබේද, එයද දුකය. 8. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.

2. “මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්‍ය්‍ය සත්‍යයයි.

නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තණ්හා වක් වේද, ඒ කවරේද යත්.
1.කාම තණ්හා වය,
2.භවතණ්හා වය,
3.විභව තණ්හා වයි යන මොව්හුයි

3. “මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යයවේ.

යම් ඒ තණ්හා වගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි.

4. ‘මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍යසත්‍යය වේ. එනම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.

ඉන්පසු අප මහා බුදුපියාණන් වහන්සේ එම චතුරාර්ය සත්‍ය දෙශ්නාව තව දුරටත් මෙලෙස දොළොස් ආකාරයට විස්තාරණය කරනු ලැබුවා

චතුරාර්ය සත්‍ය පිලිබද දොලොස් ආකාර අවබෝධය (ද්වාදසාකාර තිපිරිවට්ටය)

1. සච්චං (සත්‍ය ඤාණය )

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

2. පරිඤ්ඤෙය්යං ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය පිරිසිඳ දත යුතුයයිනුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

3. පරිඤ්ඤාතං ( කෘත ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූ විරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය පිරිසිඳ දැනගන්නාලදැයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

4. සච්චං ( සත්‍ය ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඤාණය ය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

5. පහාතබ්බං ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි ඒ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පහකළ යුතුයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

6. පහීනං ( කෘත ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූ විරූ ධර්ම ඒ මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය ප්‍රහීන කරනලදැයි නුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

7. සච්චං ( සත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි මට මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

8. සච්ඡිකාතබ්බං කෘත්‍ය ඤාණය ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂකළ යුතුයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

9. සච්ඡිකතං ( කෘත ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයෙහි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ලදැයිමට නුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

10. සච්චං ( සත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්ම විෂයෙහි මට මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

11. භාවේතබ්බං ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මය විෂයෙහි මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය වැඩිය යුතු යයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

12. භාවිතං ( කෘත ඤාණය)

“මහණෙනි, පෙර නොඅසන ලද ධර්මයන්හි මට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වඩනලදැයි නුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, මට යම්තාක් කල් මෙසේ පරිවර්ත තුනකින් යුතු (තිපරිවට්ට), දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඤාණ දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්ත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ පරිවර්ත තුනකින් යුතු (තිපරිවට්ට), දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඤාණ දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබෝධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.

“මට වනාහි ඤාණ දර්ශනය පහළවිය. මාගේ අර්හත් ඵල විමුක්තිය වෙනස් කළ නොහැකිය. මේ අන්තිම ජාතිය වන්නීය. දැන් මට නැවත ඉපදීමක් නැත” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලැබීමෙහිදී ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවට කෙලෙස් රජස් නැති පහවූ කෙළෙස් මල ඇති ධර්මචක්ෂුස හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඤාණය පහළවූයේය (කෙසේද?) ‘යම් කිසිවක් ඇතිවීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීමද ස්වභාවය කොට ඇත්තේය’ කියායි,

“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්‍රය පැවැත්වූ කල්හි වනාහි භූමිය ඇසුරුකොට වසන දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි මේ අනුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදැයි” සාධුනාද පවත්වන්නට වුනා. මෙසේ ඒ ක්ෂණයකින් ඒ මොහොතින් අකනිට්ඨක බඹලොව දක්වා එම සාධුකාර ශබ්දය පැතිර ගියා. මේ දසසහශ්‍ර ලෝක ධාතුවම කම්පාවුනා. අතිශයින් කම්පාවුනා. මහත්සේ වෙව්ලා ගියා, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ පහන්වූ ආලෝකයක් ලොවෙහි පහළවූවුනා.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » මහාවග්ගපාළි » සච්චසංයුත්තය » ධම්මචක්කප්පවත්තන වග්ගය » ධම්මචක්කප්පවත්තන සූත්‍රය , සංයුත්තනිකායට්ඨකතා

අපේ බුදුහාමුදුරුවෝ 276 (සන්තිකේ නිධානය)

ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 01
ප්‍රථම සෝවාන් පුද්ගලයා

කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එදින මුලින් ම මාර්ගඵල ප්‍රාප්ත ශ්‍රාවක යා යි. එම නිසා උන්වහන්සේ ට අඤ්ඤාකොණ්ඩඤ්ඤ, අඤ්ඤාසිකොණ්ඩඤ්ඤ යැ යි ද කියනු ලබනවා. ආඥාතකොණ්ඩිණ්‍ය යනු දඹදිව සියලූ සංස්කෘත පොත්හි එක සේ ම සඳහන්. එහි තේරුම “දැන ගත් කොණ්ඩඤ්ඤ” යනු යි.

බුදුරජාණන් වහන්සේ මෙලෙස අසීමිත වූ බුද්ධ ඤාණයෙන් කොණ්ඩඤ්ඤ භමුණා සත්‍යාවබෝධයට පැමිණි බව දැන දකුණත මෑත් කොට “මහණ, මෙහි එව, දුක් කෙළවර කරනු පිණිස මනා ව බ්‍රහ්මචර්යායෙහි යෙදෙව” යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ නමක් මෙලෙස “මහණ, මෙහි එව, දුක් කෙළවර කරනු පිණිස මනා ව බ්‍රහ්මචර්යායෙහි යෙදෙව” යන වචනයෙන් යමකුට ආමන්ත්‍රණය කළ පමණින් හෙ තෙම සෘද්ධිමය අට පිරිකරින් සම්පූර්ණ වූ සැට අවුරුදු වයස් මහතෙර කෙනෙකුන් වැනි මනා ඉරියව්වෙන් යුක්ත වූ නිසි ප්‍රව්‍රජිත වේශය ඇත්තෙක් බවට පත්වන්නේ ඔහුගේ පෙර භාවයන් වූ කරනු ලැබූ මහත් වූ පුණ්‍ය බල මහිමයෙන්. ඔහු ගේ ප්‍රව්‍රජ්‍යාවත් උපසම්පදාවත් එලෙසම “ඒහි භික්ඛුපසම්පදා” යැ යි කියනු ලබනවා.

මේ ධර්මය ඇසීමෙන් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ට දහම් ඇස (ස්‍රෝත ආපත්ති මාර්ග නුවණ) පහළ වුනා.

“කිසිවකු විසින් අප්‍රතිවර්ත්‍ය වූ ධර්මචක්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලදැ” යි බුමාටු දේවතාවන් පටන් කොට බ්‍රහ්මකායික දෙවියන් තෙක් දෙව් බඹහු මහත් උද්ඝෝෂණ කලේ ලෝක ධාතු කම්පා කරමින්. කාලය ඉතිරි කර ගැනීමට ඒ ගැන ලියන්න යන්නේ නැහැ. ඔබට ධම්මචක්කපවත්වන සුත්‍ර දේශනාවේ අග කොටසෙහි ඒ සම්න්බන්දව කියවිය හැකියි. මෙලෙස එදින අප්‍රමාණ වූ උදාර දීප්තිමත් ය ආලෝකයෙක් සියලු දෙව් බඹුන්ගේ ආලෝක මැඩ ගෙන පවත්වාගෙන පැතිරෙන්නට පටන් ගත්තා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “භවත්නි, කොණ්ඩඤ්ඤ තෙම සිවු සස් දැන ගත්තේ වේ යැයි ” දෙවරක් ප්‍රීති වාක්‍ය පහළ කළ සේක.

මේ තැන් පටන් කොට කොණ්ඩඤ්ඤයන් වහන්සේ අඤ්ඤාත කොණ්ඩඤ්ඤ නම් වුනා. මෙසේ සෝවාන් වූ කොණ්ඩඤ්ඤ තවුසාණෝ භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේ කල්ප ලක්ෂයක් පුරා පැමිණි ප්‍රර්ථනා සම්පුර්ණ කර ගැනීමට. එවිට “භික්ෂුව එව, ධර්මය ස්වාක්ඛ්‍යාතය, මනා කොට දුක් නසන පිණිස මඟ බඹසර පුරව”යි භාග්‍යවතුන් වහන්සේ වදාරනු ලැබුවා. එය ම කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ උපසම්පදාව ද වුන බව පවසනවා. ඉර බස්නට පෙරැ ම භාග්‍යවතුන් වහන්සේ ගේ දම් දෙසුම අවසන් වුනා. මෙ දින සිට වැසි සමය ඇරැඹුනා. එ බැවින් ඒ ඇසළ පුණු පෝදා සැන්දෑවෙහි “මේ වර්ෂා ඉර්තුවෙහි ඉසිපතන්හි ම වෙසෙමි” යි භාග්‍යවතුන් වහන්සේ සිතා ගත්තා.. මේ බුදුරජුන්ගේ පළමු වස් විසීම යි.

මම මෙම ලිපි පෙළ ලිවීමේදී බොහෝ සතුටක් ලැබුවේ බොහෝ දෙනා දන්නා පොදු කරුණු වලට වඩා නොදන්නා සැඟවුණු කරුණු අනාවරණය කිරීමෙන්. ඒ නිසාම එවැනි කරුණු වලට මුලිකත්වය ලබා දෙන්නට සිත ඇලුම් කළා. ධම්මචක්කපවත්වන සුත්‍ර දේශනාවෙන් පස්සේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන තොරතුරක් මම අසා තිබුනේ නැහැ. ඒ නිසාම මම ගැන මේ මොහොතේ සොයන්නට පටන් ගත්තා. එය ඉතාම රසවත් කතවක් ඒ නිසාම ඒ කරුණු මේ අකාරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවේ කල ප්‍රාර්ථනය.

උන්වහන්සේ පියුමතුරා (පදුමුත්තර) බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි ගෘහපති මහාසාල කුලයෙහි ඉපිදලා හිටියේ. එක් දවසක් බුද්ධියෙන් මුහුකුරා ගිය බුදුන් සමීපයෙහි බණ අසන්නා වූ එක්තරා භික්ෂුවක් තමන්ගේ ශාසනයෙහි පළමුවෙන් ධර්මය අවබෝධ කර ගන්නවුන් අතරින් අග්‍රස්ථානයෙහි තබනු දැක තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නට (සතසහශ්‍රයක්) ලක්ෂ්‍යයක් භික්ෂුන් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට දවස් හතක් මහදන් පවත්වා ඒ උතුම් ප්‍රාර්ථනය උන්වහන්සේ හමුවේ එළිකලා . භාග්‍යවතුන් වහන්සේඥ ඔහුගේ වාසනා සම්පත්තිය බලා පැතූ සම්පත්තිය සඳහා විවරණ දුලබා දුන්නා. ඔහු දිවි ඇතිතෙක් පිංකොට ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි චෛත්‍යයන් පිහිටුවන්නේ ඇතුල් චෛත්‍යයෙහි රුවන් ගෙයක් කරවනු ලැබුවා. චෛත්‍ය පිරිවරා දහසක් රුවන් ඇබෑ කරවනු ලැබුවා.

විපස්සී බුදුරජාණන් වහන්සේ හමුවේ කරනු ලැබූ මහා දානමය පිංකම.

මෙසේ පිංකොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරමින් විපස්සී බුදුන්ගේ කාලයෙහි ‘මහාකාල’ නම් වූ කෙළෙඹි

පුත්‍රයෙක් ව ඉපිද එක් ශස්‍ය වාරයකදී නවවරක් අග්‍රශස්‍යදානමය නම් වූ සුවිශේෂ දානමය පින්කම් මාලාවක් කරනු ලැබුවා.

අග්‍රශස්‍යදානය
  1. අට නැලියක් පමණ කුඹුරෙහි හැල්බඩ පලා ලබාගත් ඇල්සහලින් නොමුසු කිරිබතක් පිළියෙල කර එහි මී ගිතෙල් සකුරු ආදිය දමා බුදුන් ප්‍රමුඛ සංඝයාට දන් දෙනු ලැබුවා. ඔහුගේ පුණ්‍යමය බල මහිමය නිසා හැල්බඩ පලාගත් තැන නැවත නැවත් පිරුනා.
  2. ඉන්පසු ගොයම් මෝරණ විට පුථුකග්ග නම් අග්‍ර ශස්‍ය දානයක් දුන්නා.
  3. ගොයම් කපන කාලයේ ලායනගග නම් අග්‍ර ශස්‍යදානයක් දුන්නා.
  4. ගොයම් අකුලන වාරයේ වෙණිකරණ නම් අග්‍ර ශස්‍යදානයක් දුන්නා.
  5. මිටි බඳින දවසේ කලාපග්ග නම් අග්‍ර ශස්‍යදානය දුන්නා.
  6. වී පාහින දවසේ බටගග නම් අග්‍ර දානයක් දුන්නා.
  7. ගබඩා කරන දවසේ භාණඩගග නම් අග්‍ර ශස්‍ය දානයද
  8. මණින දවසේ මිනගග නම් අග්‍ර ශක්‍යදානයක්ද
  9. ගබඩාවල තැන්පත් කරන විට කොට්ඨගග නම් දානයක්ද දුන්නා.

මෙසේ එක ශස්‍ය වාරයකදී නවවරක් අග්‍රශස්‍යදානය දෙනු ලැබුවා. ඒ ශස්‍යය ද ප්‍රමාණයටත් වඩා වැඩි වුනා. මෙසේ දිවි ඇතිතෙක් පිංකොට එයින් චුතව දෙලොව ඉපිද දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පළමුව කපිලවස්තු නගරයට නුදුරින් “ද්‍රෝණවත්ථු” නම් ගමෙහි බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන්නා. ඔහුට පරපුරෙන් කොණඩඤ්ඤ යන නම ගෝත්‍ර නාමය ලැබුනා.| ඔහු වැඩිවියට පත්ව ත්‍රිවේදය ඉගෙන අංග ලක්‍ෂණ මන්ත්‍රයන්හිද පරතෙරට ගියා. අපගේ බෝධිසත්වයන් වහන්සේ තුසිත පුරයෙන් චුතව කපිල පුරයෙහි සුද්ධෝදන මහරජුගේ නිවසේ ඉපිද නම් තබන දවසේ ආරාධිත එකසිය අටක් බමුණන් අතරින් අටදෙනෙක් අංග ලක්‍ෂණ විමසා බැලීම සඳහා ආරාධනා ලැබූවා. ඔවුනතරින් සියල්ලන්ටම වඩා නවකයෙක් වූ මේ බමුණා (කොණඩඤඤ) බෝසතුන්ගේ අංග ලක්ෂණ පරීක්ෂාකර ඒකාන්තයෙන් මොහු බුදුවන්නේ යැයි නිගමනය කර මහ බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය බලාපොරොත්තුවෙන් හැසිරුනා.බෝසතාණන් වහන්සේද මහත් පිරිවර සහිතව වැඩෙන්නේ පිළිවෙළින් වයසින් මුහුකුරා ගියේ එකුන්තිස්වන වියෙහිදී මහාභිෂ්ක්‍රමණය කොට අනෝමා ගංතෙරදී පැවිදිවී පිළිවෙළින් උරුවේලාවට ගොස් ප්‍රධන් වීර්ය වැඩු බව ඔබ මීට ඉහත කියවූවා. ඒ කාලයේ කොණඩඤඤ මානවකයා බෝසතුන් පැවිදි වූ බව අසා ශරීර ලක්ෂණ බැලීමට ආ බමුණන්ගේ පුත්‍රයන් වූ වප්ප ආදී කුල පුත්‍රයන් සමග පැවිදිව පිළිවෙළින් බෝසතුන් සමීපයට පැමිණ වර්ෂ හයක් ඔහුට උපස්ථාන කොට අවසානයේ බුද්ධත්වයෙන් පසුව ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කර ගත්තා. ඒ නිර්වාන මාර්ගය පළමුවෙන් සහ ඉක්මනින් අවබෝධ කොටගත් බුද්ධ ශ්‍රාවකයා හැටියටයි.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සුත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව

අපේ බුදුහාමුදුරුවෝ 277 (සන්තිකේ නිධානය)

ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 02
කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුන්ගෙන් සමුගෙන ඡද්දන්ත වනයේ මන්දාකිනි විල්තෙරට වැඩම කිරීම.

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භික්ෂු භාවය ලැබුවායින් පස්සේ ජීවත්වීමට හැකියාව ලැබුනේ අවුරුදු දොළහක් වැනි ඉතාමත් සුළු කාල පරිච්චේදයක්. ඒ සුළු කාල පරිච්චේදය උන්වහන්සේ කොහේ සිටියේද කියලා ඔබ සමහරවිට නොදැන සිටියා විය හැකියි. ඒ කාලය උන්වහන්සේ ගත කලේ ඉතාමත් මනරම් අති සුන්දර ස්ථානයක. ඒ තමයි ගන්ධමාන පර්වතය අසල වූ සොඳුරු වන පියස වූ ඡද්දන්ත වනයෙහි මන්දාකිනී විල් තෙර. ඉන්පසු කියන්නට යන්නේ ඒ විල් තෙර තිබු ඇති සුන්දර පරිසරය පිළිබඳවයි. එහෙත් ඊට පෙර කිව යුත්තක් තියෙනව. ඒ කුමක් නිසා උන් වහන්සේ එම පදෙසට වැඩියාද යන්නැයි.

උන්වහන්සේ ප්‍රඥාවන්ත මහා ශ්‍රාවකයා යි. භාග්‍යවතුන් වහන්සේගේ මෙන් මුන් වහන්සේගේ ගුණ ද දස දහසක් සක්වළ දෙව්මිනිසුන් අතර පැතිරී තිබුනා. දෙව් මිනිස්සු, තථාගතයන් වහන්සේ වෙත ගොස් සුවඳ මල්මාලා ආදියෙන් පූජා කොට, අග්‍ර ධර්මය ප්‍රතිවේධ කළ ශ්‍රාවකයාණන් වහන්සේ යි නිරතුරු ව ම කොණ්ඩඤ්ඤ තෙරුන් වෙත පැමිණ පූජා කරන්නට වුනා. එලෙස ළගට පැමිණි අය නිකම්ම පිටත් කර නොහැකි බව ඔබටද වැටහෙනවා ඇති. ඒ නිසාම ඔවුනට සුදුසු අකාරයේ ධර්ම කථා හෝ පිළිසඳර කථා හෝ කළ යුතුම වෙනවා. තෙරුන් වහන්සේ ද විහාර ගරුක යි. එහෙයින් එය ප්‍රපංචයක් (ප්‍රමාද බාධකයක්) මෙන් මෙන් පෙනී සිටියා. ඒ එක් කරුණක්.

තවත් කාරණයක්, භික්චාෂාචාර වේලාවෙහි සියලු ශ්‍රාවකයෝ වස් පිළිවෙලින් සඳහා පිටත්ව යනවා. ධර්ම දේශනා කාලයෙහි මධ්‍ය ස්ථානයක අලංකාර කරන ලද බුද්ධාසනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටින විට, දකුණු අත පැත්තේ ධර්ම සේනාපති සැරියුත් හිමියෝත්, වම් අත පැත්තේ මහමුගලන් තෙරණුවෝත් අසුන් ගෙන සිටිනවා. ඒ අග්‍රශ්‍රාවකයන් නිසා. උන්වහන්සේග්ලාට පිටුපස අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුනට ආසනය පනවලා තියෙනවා. සෙසු භික්ෂූන් වහන්සේලා උන් වහන්සේලා පිරිවරා වැඩ සිටිනවා. මහා බ්‍රහ්මයා මෙන්, ගිනි සිළුවක් මෙන්, ප්‍රභාශ්වර වූ වුන් වහන්සේ අග්‍ර ධර්මය ප්‍රතිවේධ කළ නිසා ද මහලු බව නිසා ද පසුපසින් වැඩ සිටීම අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට යම් අපහසු තාවයක් වුනා. අනුන්ගේ සිත් දන්නා නුවනින් කෙල පැමිණි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හට එය දැනෙන්නට ඇති. හුදෙකලාවට ප්‍රිය වූ නිසාත්, අන් අයව අපහසුතාවයට පවත්වන්නට අකමැති වූ නිසාත් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ වනගත වීමට තීරණය කළා. තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවක් බලා පසුව තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම ජද්දන්ත වනයෙහි විසීමට කැමැත්තෙමි’ යි” පැවසා සිටියා. අප මහා කාරුණිකයාණන් වහන්සේ හැම දෙයක් දෙසම බැලුවේ අසීමත වූ කරුණාවෙන්. උන් වහන්සේ මහත් උපේක්ෂාවෙන් ඒ ඉල්ලීම අනුමත කළා. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එදින බුදුන් ප්‍රමුඛ සංඝ රත්නයෙන් සමුගෙන පාත්‍ර සිවුරු රැගෙන ඡද්දන්ත වනයෙහි මන්දාකිනී ඉවුරට පියමනින්නට වුනා.

ඡද්දන්ත ඇත් රජු හා අටදහසක් වූ ඇත් සේනාව

ඡද්දන්ත වනයෙ මන්දාකිනී විල් තෙර මිට පෙර පසේ බුදුවරුන් වැඩ වාසය කල සොඳුරු වන ලැහැබක්. එහි එක අඩුපාඩුවක් තිබුණා. ඇප උපස්ථාන කරන්නට මිනිස් පුළුටක්වත් හිටියේ නැහැ. එහෙත් ඒ අඩුපාඩුව මැකුණේ අටදහසක් පමණ වූ ඇත් පිරිසකින්. සිවුරු , පාත්‍ර දරමින් බිමටම නැඹුරු වූ දෙනෙත් ඇතිව සිහි ශාන්තව පියවර තබන වයෝවෘද්ධ ශ්‍රමණ ඡායාවක් ඒ් මොහොතේ මන්දාකිණි විල් තෙර දිය නාමින් සිටි ඡද්දන්ත ඇත් රජුට දකින්නට ලැබුනා. අට දහසකින් යුතු හස්තීන් සමූයකට නායකත්වය දෙන ඡද්දන්ත ඇත් රජු සිය මුතුන් මිත්තන් පෙර පසේ බුදුවරුන්ට උදවු උපකාර කල සිරිතට අනුව යම් හැඟීම් මාත්‍රයක් හිතට පහල වෙන්නට ඇති. ඒ් නිසාම කලකට පසු දකින මේ ශාන්ත ශ්‍රමණ රුව දැක මහත් වූ ප්‍රීතියෙන් මුළු ඡද්දන්ත වනය සිසාරා කුංචනාද කරමින් ඇත් රජු තම අට දහසක් වූ පරිවාර සේනාව එක්රැස් කරන්නට වුණා.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සුත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව

අපේ බුදුහාමුදුරුවෝ 278 (සන්තිකේ නිධානය)

ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 03
හස්තයන්ගේ උන්සුම් පිළිගැනීම

පාත්‍ර සිවුරු රැගෙන ඡද්දන්ත වනයෙ මන්දාකිනී ඉවුරට වැඩිය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙස ඡද්දන්ත ඇත් රාජයා සහ පිරිවර බලා සිටියා. පෙර පසේ බුදුවරුන්ගේ සිරිතට අනුව ඇති කර ගත් පුරුද්ද සහිත අට දහසක් ඇත් රාජයන් තෙරුන්ගේ දර්ශනයෙන් අපගේ පින් කෙත පැමිණියේ ය යි නියවලින් තණ කොළ නොමැති සක්මනක් (සක්මන් මළුවක්) කොට ආවරණ ශාඛා ගෙනැවිත් තෙරුනට වාසය කිරීමට ස්ථානයක් සකස් කොට වතාවත් කොට එකිනෙකා තෙරුනට කළ යුතු දේ පිළිබඳව තීරණයකට නිහඬවම එළඹුනා. තෙරුන් වහන්සේ බොහෝ නෑයින් සිටින ගමට ගියාක් මෙන් මැනවින් සෝදන ලද පාත්‍රයෙ පටන් ගෙන හිමිදිරියෙන් ම තෙරුනට මුව දෝනා වතුර ද දැහැටි කුරු ද තබමින් පටන්ගෙන දිනය නිමා වනතෙක් එක දිනකට එක් ඇතෙකු බැගින් සියලු අවශ්‍ය කටයුතු මෙලෙස සලසනු ලැබුවේ බව අට්ඨ කතාවේ සඳහන්.

ලොවෙහි අති සුන්දර මන්දාකිණි විල්තෙර

මන්දාකිනී නම් වූ මේ විල යොදුන් පනහක් පමණ වනවා. එහි යොදුන් විසි පහක් පමණ වූ තැන දක්වා දිය සෙවල හෝ පණක හෝ නැත. පළිගු වන් ජලයෙන් ජලාශයම දිදුලනවා. ඉන් ඔබ්බට ඉගටිය ප්‍රමාණ වූ ජලයෙහි අඩ යොදුනක් පැතිරී සුදු වනය වනය යොදුන් පනහක් වූ විල වට කොට සිටියා. ඉන් අනතුරු ව එපමණ මහත රත් නෙළුම් වනය ය; ඉන් ඔබ්බට රන් කුමුදු වනය ය; ඉන් අතුරු ව සුදු කුමුදු වනයය; ඉන් අනතුරු ව නිලුපුල් වනය ය. ඉන් අනතුරු ව රතුපුල් වනය ය. ඉන් අනතුරු ව සුවඳ රත් සල් වනය ය. ඉන් අනතුරු ව කැකිරි, ලබු, කොමඩු ආදි මිහිරි රසයෙන් යුත් වැල් පල ය. ඉන් අනතුරු ව අඩ යොදුනක් පැතිරි උක් වනය ය. එහි පුවක් ගසක කඳ ප‍්‍රමාණ වූ උක් ය. ඉන් අනතුරු ව කෙසෙල් වනය ය. එහි ගෙඩි කොතරම් ලොකුදැයි කීවොතින් එයින් ගෙඩි දෙකක් කන අය වෙහෙසට පත් වෙන බව කියනවා. . ඉන් අනතුරු ව හැලියක් පමණ ගෙඩි ඇති කොස් වනය ය. ඉන් පසු අඹ වනය ය. ඉන් පසු දඹ වනය ය. ඉන් අනතුරු ව දිවුල් වනය ය. කෙටියෙන් ම ඒ විලෙහි කෑ යුතු ඵලයක් නම් නැතැයි නො කිව යුතුයි.

මල් පිපෙන කල්හි වාතය රේණු වැටි නංවා පියුම් විල කොළවල හෙළයි. එහි ජලය බින්දු වී වැටේ. ඉන් පසු හිරු රැස් ගින්නෙන් රත් වී රත් වුණු යකඩ ගුලියක් මෙන් වේ. එය ‘පුෂ්කරමධු” නම් වනවා. එය ද තෙරුන් වහන්සේස්ට අලි විසින් ගෙනැවිත් දෙනු ලබනවා. තෙළුඹු දැලි නගුලිස පමණ වේ. එය ද

ගෙනැවිත් දෙයි , නෙළුම් රිකිලි දවුල්හමක් පමණ වෙයි. එහි එක පුරුකක කළයක් පමණ වූ කිරි වේ. එය ද ගෙනැවිත් දෙයි.. නෙළුම් ඇට මිහිරි සකුරු සමග යොදා දෙයි.

ඒ හස්ත රාජයෝ සකුරු සැදුවේ මේ ආකාරයටය. පුවක් බඳක් තරම වූ උක් දඬු ඒ අසල ඇති ගල්කලාවක තබා පයින් පාගනු ලබනවා. එවිට, එයින් ගලායන යුෂ එම ගල් තලවෙහිම ඇති වලක රැස්වෙනවා. අවු රස්මියට රත්වෙන ගලෙහි වල තුල ඇති උක්පැණි රත් වී කිරිගරුඬ ගුලියක්

මෙන් ඝන වෙනවා. එය සොඩෙන් ගත් හස්ති සේනාව එය ගෙනැවිත් තෙරුන් වහන්සේට පුජා කරනු ලබනවා. . කොස්, කෙසෙල් අඹ ගෙඩි ආදිය ගැන කතා කරන්නට දෙයක් නැහැ.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සුත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව

අපේ බුදුහාමුදුරුවෝ 279 (සන්තිකේ නිධානය)

ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 04
බුද්‍ධානුබුද්‍ධ නම් වූ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
නාගදත්ත දිව්‍ය පුත්‍රයාගේ දානය

කෛලාස පර්වතයෙහි නාගදත්ත නම් දිව්‍ය පුත්‍රයෙක් වාසය කරනු ලබනවා. තෙරුන් වහන්සේ කලින් කල ඔහුගේ විමන් දොරටුව වෙත යන්නට පුරුදු වෙලා සිටියා. එවිට ඒ දිව්‍ය පුත්‍රයා විසින් අළුත් ගිතෙල්, නෙළුම් රේණු පැණි සුණු සහිත දිය මඳ කිරිබතින් පාත්‍රය පුරවා දෙනු ලබනවා. සමහරවිට උන්වහන්සේට ජීවිකාව පවත්වාගැනීමට අවශ්‍ය ලුණු ප්‍රමාණය ලැබෙන්නට ඇත්තේ ඒ මාර්ගයෙන් කියලා මට හිතෙනවා. මෙම දිව්‍ය පුත්‍රයාගේ අනුග්‍රහය ලැබීමටත් අතීත භවයන්හි උන්වහන්සේ විසින් කරගනු ලැබූ මහත් වූ කුසල කර්මයක් තියෙනව. ඒ තමයි කාශ්‍යප බුදුන් සමයෙහි වර්ෂ විසි දහසක් ම සුවඳ ගිතෙලින් යුත් කිරි සලාකයක් බුදුන්ට පුජා කිරීම. ඒ කුසල කර්මයේ බලයෙන් අවසාන් අත්භවයේදීත් මෙම අනුග්‍රය ලැබුන බව සඳහන්.

කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ විසින් ආයු සංස්කාර අත හැරීමට තීරණය කිරීම.

මෙසේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දොළොස් වසක් වාසය කොට තමාගේ ආයු සංස්කාරය බලන සේක් ආයුෂ ගෙවී ගිය බැව් දැන කොතැන පිරිනිවන් පානෙම් දැයි සිතන්නට වුනා. එවිට “ඇතුන් විසින් මා හට දොළොස් වසරක් උපස්ථාන කරමින් දුෂ්කර දෙයක් කරන ලදී. බුදුන් වහන්සේ ලවා අනු දන්වාගෙන ඔවුන් සමීපයෙහි පිරිනිවන් පානෙමි” යි අහසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණිය.

සමහරු තෙරුන් වහන්සේ දන්නවා. දොළොස් වසක්ම මිනිස් ප්‍රජාවෙන් ඈත්වී සිටි බැවින් සමහරු උන්වහන්සේව නොදැන සිටියා. ඒ කාලය තුල සාසනයට එක වූ මිනිස් ප්‍රජාව එමටයි. එහි දී තෙරුන් වහන්සේ මෙසේ සිතූවා.

“යමෙක් මා නො හඳුනන්නාහු ද ඔවුහු “බුදුන් වහන්සේ සමග පිළිසඳරෙහි යෙදෙන සුදු හිස කෙස් ඇති, වක ගැසුණු, ගොණැස්සක් මෙන් නැමුණු මේ මහල්ලා කවරෙක් දැයි සිතා සිත දූෂණය කරගන්නාහු ය. ඔවුහු අපාය පුරවන්නෝ වෙත්. යමෙක් මා දනිත් ද ඔවුහු දසදහසක් සක්වළ බුදුන් වහන්සේ මෙන් ප්‍රසිද්ධ මහාශ්‍රාවකයන් වහන්සේයි සිතා සිත පහදා ගත්තාහු ය, ඔවුහු දෙව් ලෝ යන්නාහු වෙත්’ සත්වයන්ගේ අපා මග වසා දෙව් ලෝ මග අරවමින් නම ඇස්සවීම කරවයි.

කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අවසාන වතාවට බුදුරජාණන් වහන්සේ බැහැදැකීම.

ඉන්පසු ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට අහසින් පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල සිරසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කරන්නට වුනේ බලවත් වූ ශ්‍රද්ධාවෙන්. ඒ අවසාන හමුවීමයි. භවත් ගෞතමයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. භවත් සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමියි, නමද ප්‍රකාශ කරන්නට වුනා.

වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ කල වර්ණනාව

එවිට එහි වැඩ සිටි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් පහල වුනේ කොණ්ඩඤඤ මහරහතන් වහන්සේගේ අධිස්ථානය නිසා වෙන්න ඇති. “ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල හිසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි, කියා නමද ප්‍රකාශ කරයි. මම ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනව” යි කියා සිතන්නට වුනා. ඉන්පසු ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙසේ කියන්නට වුනා.

“භාග්‍යවතුන් වහන්ස, මට යම් අදහසක් පහලවුනා. සුගතයන් වහන්ස, මට යම් අදහසක් පහලවුනා.”

එවිට භාග්‍යවතුන් වහන්සේ “වඞ්ගීසය, තට ඒ වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාරනු ලැබුවේ කොණ්ඩඤඤ මහරහතන් වහන්සේගේ අදහස දැනගෙන වෙන්නට ඇති. හරිම ලස්සන සිදුවීම්.

ඒ අවසරය ලත් සැණින් ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් හට භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළා.

බුද්‍ධානුබුද්‍ධ නම් වූ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

“බුද්‍ධානුබුද්‍ධවූ, තියුණු වීර්‍ය්‍ය ඇති, ඒ කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම සැප විහරණ ඇති, චිත්තවිවේකයන් නිතර ලබන්නේ වෙයි.

“ශාස්තෘශාසනකාරීවූ ශ්‍රාවකයකු විසින් යම් මාර්‍ග ඵලාවබෝධයක් වෙත පැමිණිය යුතුද, අප්‍රමාදීව හික්මෙන ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් විසින් ඒ සියලු මාර්‍ගඵලාවබෝධයන් වෙත පැමිණෙනලදී.

“මහානුභාව ඇති, ත්‍රිවිද්‍යාලාභී, සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවූ, බුදුන් විසින් දුන් ධර්‍ම දායාද ඇති, කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේගේ සිරි පා වඳී.”

 බුදුන් වහන්සේ පළමු ව සත්‍ය සතර අවබෝධ කළ සේක. පසු ව මේ තෙරුන් වහන්සේ ය. එහෙයින් “බුද්ධානුබුද්ධෝ” (බුද්ධ අනුබුද්ධ) යි කියනු ලබනවා. එවන් ශ්‍රේෂ්ඨ බුද්ධශ්‍රාවකයෙකුගේ පැතුම මෙලෙස ඉස්ඨ කිරීමට වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ මෙලෙස ඉදිරිපත්වුනා. එනම් නොදන්නා අය හට උන්වහන්සේව හඳුන්වා දීමටයි.

කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුන් ඇතුළු ආර්ය මහා සංඝ රත්නයෙන් සමුගැනීම.

මෙම වර්ණනාව අවසානයේ පිරිස සංසුන් වෙන්නට වුනා. හැමෝම මවිතයෙන් සහ අප්‍රමාණ ගෞරවයෙන් වයෝවුර්ධ තෙරුන් වහන්සේ දෙස බලා සිටියා. පිරිස සංසුන් වූ බැව් දැනගත් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ සමග පිළිසඳර කථා පවත්වා “ස්වාමීනි, මාගේ ආයුසංස්කාරය ගෙවී ගොසිනි. පිරිනිවන් පාන්නෙමි. පරිනිර්වාණ කාලය අනුදැන වදාළ මැනවි.” ආයාචනය කොට සිටියා.

“කොණ්ඩඤ්ඤයනි, කොතැන පිරිනිවන් පාන්නෙහි ද?”

“ස්වාමීනි, මාගේ උපස්ථායකයන් වන ඇතුන් විසින් දුෂ්කර කාර්යයක් කරන ලද්දේ ය; ඔවුන් සමීපයෙහි ය” බුදුන් වහන්සේ එය අනුදැන වදාරනු ලැබුවා.

තෙරුන් වහන්සේ බුදුන් පැදකුණු කොට “ස්වාමීනි, ඒ මාගේ පෙර වූ පළමු දැක්ම යි, දැන් අවසාන දැකීම යි” මහජනයා වැළපෙද්දී බුදුන් වහන්සේ වැඳ පිටත් ව දොරටුවෙහි සිටිමින්, මෙලෙස අවසාන අවවාදය කරනු ලැබුවා. ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ මුවින් අවසන් වතාවට මේ වාතලයට මුසු වුනු වචන කිහිපයයි.

“ශෝක නො කරව්, නො වැළපෙව්, බුදුන් වහන්සේ ලා වැඩ සිටියා හෝ බුද්ධ ශ්‍රාවකයන් වැඩ සිටියා හෝ වේවා උපන් සංස්කාරයෝ නො බිඳෙන්නාහු නම් නො වෙත්” යි පවසා මහජනයාට අවවාද කොට මහා ජනයා බලා සිටියදී ම අහසට නැග අතුරුදන් වී මන්දාකිනී විල අසලින් මතු වුනා.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සුත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව

අපේ බුදුහාමුදුරුවෝ 280 (සන්තිකේ නිධානය)

ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 05
පිරිනිවීම

මෙසේ මහජනයාට අවවාද කොට මහා ජනයා බලා සිටියදී ම අහසට නැග එහිම අතුරුදන් වූ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මන්දාකිනී විල අසලින් මතු වුනේ තත්පර කිහිපයකින්. එහි බැස එම විලෙන්ම පැන් පහසු වී සිවුරු හැඳ පෙරවා උත්තරාසංග කොට, ශයනාසනය නවා තබා ඵලසමාපත්තියෙන් යාම තුන ඉක්මවා හිමිදිරි කාලයේ ම පිරිනිවන්පානු ලැබුවා. තෙරුන් වහන්සේන්ගේ පරිනිර්වාණයත් සමග හිමවතේ සියලු වෘක්ෂයෝ මල්වලින් හා ගෙඩිවලින් පහලට නැමිගියා.

එදින මුරය හිමි හස්තියා තෙරුන් පිරිනිවි බැව් නොදැන හිමිදිරියේ ම මුවදෙවීම් සඳහා දියද, දැහැටි කූරු ද තබා වතාවත් කොට අනුභව කළ යුතු ඵල ගෙනැවිත් තබා සක්මන කෙළවරට වී බලා සිටියේ උන්වහන්සේ සුපුරුදු ලෙස වඩිනතෙක්. එහෙත් හිරු නැගීම තෙක්ම තෙරුන්ගේ නික්මීමක් නොදැක විපිළිසර භාවයට පත් වූ ඒ හස්ති රාජයා මෙලෙස සිතන්නට වුනා. මීට පෙර ආර්යයන් වහන්සේ හිමිදිරියේ ම සක්මන් කරති. මුව දොවති, අද පන්සලෙනුදු නො නික්මෙති’ යි කුටියේ දොර ඇර බලන්නේ තෙරුන් හිටි ලෙස ම හිඳිනු දැක හොඬවැල දිග හැර පිරිමැද ආශ්වාස ප්‍රශ්වාස පරික්ෂා කරන්නට වුනා. එහෙත් එහි ජිවයක පැවැත්මක් නොමැති බැව් දැන, තෙරුන් වහන්සේ පිරිනිවිය යයි සිතා හොඩවැල මුවෙහි රුවා මහ හඬින් හඬන්නට වුනා. ඒ හඬින් මුළු හිමවත ම නින්නාද වුනා. ඒ හඩින් කැලයේ විසිරි සිටි ඇත්තු අට දහසම එතැනට රස්වෙන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ. රැස් වූ හස්තිරාජයෝ තෙරුන් වහන්සේ ජ්‍යෙෂ්ඨ හස්තියාගේ කුම්භයෙහි වඩා හිඳුවා සුපුෂ්පිත වෘක්ෂ ශාඛාවක් ගෙන පිරිවරා මුළු හිමවත ම සැරිසරා යලිත් එම ස්ථානයට ම පැමිණිය. මේ සියල්ල දෙස නෙත් යොමා සිටි ශක්‍ර දිව්‍යරාජයාණන් විශ්වකර්ම දෙවින්දුන්ව අමතනු ලැබුවා. “පුත, අපගේ වැඩි මහල් සොහොයුරා පිරිනිවියේ ය, සත්කාර කරන්නෙමු. නව යොදුන් රන් මුවා කුටාගාරයක් (මහල් නිවසක්) මවව”

ඒ කියූ අයුරින්ම කුටාගාරය එසේ නිමකරනු ලැබූ විශ්කම් දෙවුරජු විසින් තෙරුන් වහන්සේ එහි හොවා හස්තීනට දබාරදෙනු ලැබුවා. ඔවුහු ඒ මහල් නිවස උසුළා යොදුන් තුන් දහසක් ඇති හිමවතට යළිත් වැඩම කරනු ලැබුවා. එහිදී ඔවුන් අතින් ආකාශස්ථ දේවතාවෝ එය ගෙන පුණ්‍ය සැණකෙළියක් පවත්වනු ලැබුවා. ඉන්පසු වස්සවලාහක, ශීත වළාහක, උණ වළාහක, චාතුර්මහාරාජික, තාවතිංස යන මේ ආකාරයට බ්‍රහ්ම ලෝකය දක්වා කුටාගාරය ගෙන ගියා. බ්‍රහ්මයෝ යළි එය දෙවියන්ට ය ආදි අනු පිළිවෙලට හස්තීන් වෙතටම යොමුකරනු ලැබුවා. අවසානයේ දේහය ඒ කූටාගාරයේම බහාලනු ලැබුවා .

ඉන්පසු සියලු දෙවුලොව එක් එක් දේවතාවන් ඇගිලි හතරක් පමණ වූ සඳුන් ගැට රැගෙන පැමිණියේ චිතකය ආදාහනය සඳහා වෙන්නට ඇතැයි මට හිතුනේ. මම වැරදි වෙන්නටත් ඇති. ඉන්පසු කූටාගාරය චිතකයට නංවනු ලැබුවා. ඒ මොහොතෙහිම එය දැන පන්සියයක් භික්ෂුහු අහසින් පැමිණයා. චිතකයට ගින්දර ඇවිලුනේ පලවෙනි බුද්ධශ්රාවකයා ඉතිහාසයට එක කරමින්. ඒ ආර්ය සංඝරත්නය විසින් මුළු රෑ පුරාම පිරිත් සජ්ඣායනා කරනු ලැබුවා. . එදා ධර්මකතා පවත්වනු ලැබුවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේට දෙවිවරුන්ගෙන් විශාල අනුග්‍රහයක් කොහමත්ම තිබුණා. ඒ රාත්‍රිය බොහෝ දෙවි දේවතාවනට ධම්මාභිසමයක් වුනා. පසු දින අරුණෝදයත් සමගම ම චිතකය නිවා දෑසමන් පොහොට්ටුවල වර්ණය ඇති ධාතු පෙරහන් කඩක් පුරවා, එකතු කරගනු ලැබුවා. ඒ ධාතුන් වහන්සේලා සමග අහසින් පැමිණි රැස්ව සිටි සංඝරත්නය බුදුන් වහන්සේ නික්මී වෙළුවන විහාර දොරටුවට සම්ප්‍රප්ත වූ කල්හි, ඉතාමත් ගෞරවයෙන් බුදුන් වහන්සේන්ගේ හස්තය මත තැබුවා. ඒ මොහොතෙහි බුදුන් වහන්සේ ධාතු පෙරහන ගෙන පොළවට අත දිග හරිනු ලැබුවා. ඒ මොහොතෙහිම මහ පොළව බිදී රිදී බුබුළක් මෙන් වූ චෛත්‍යයක් මතු වුනා. බුදුන් වහන්සේ ස්වකීය හස්තයෙන් ම චෛත්‍යයෙහි ධාතු නිදන් කළ කරනු ලැබුවා. .අදටත් ඒ චෛත්‍ය පවතින බව අට්ඨ කතාවෙහි සඳහන්.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සුත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව

අපේ බුදුහාමුදුරුවෝ 281 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 01

ගන්ධමාදන පව්ව, සුළුකළු පව්ව, මහකළු පව්ව, නාවෙළුම, සඳගැබ, හිරුගැබ, රන් පස, හිමවත යන පව් හතම හිමාලයේ පිහිටා තිබුනා . ගන්ධමාදන පව්ව මෙම කඳු සියල්ල ඉක්මවා සිටින බව පවසනවා. මෙහි නන්දමූලක නම් තැන පසේ බුදුවරයන් වසන තැනයි. රන් ගුහාව, මැණික් ගුහාව, රිදී ගුහාව යැයි ගුහා තුනත් පවතින බවත් එහි මැණික් ගුහා දොරටුවෙහි යොදුනක් උස, යොදුනක් පළල මඤජූසක නම් ගසක් ඇති බවත් එම ගසෙහි හැමතැනකම මල් පිපෙන බවත් සඳහන්. විශේෂයෙන්ම පසේ බුදුවරයකු පැමිණෙන දිනයන්හි මෙහි මලින් වැසි යන බව සැලෙකෙනාව. එහි හාත්පස රන්මලින් පිරි පවතිනවා. එහි පිපෙන මල් ගැනත් මිට පෙර ලියු ලිපියක විස්තර වශයෙන් සඳහන් වුනා. දැන් මේ ලියන්න යන්නේ මෙම අති රමණීය හිමවතෙහි විසු හේමවත යක්ෂ සේනාධිපතියා සහ එහි මැද දේශයේ පිහිටි සාත නම් පව්වෙහි විසු සාතාගිරි නම් යක්ෂ සේනාධිපතිවරුන් ගැනයි.

විනයදර භික්ෂූන් යක්ෂ සේනාධිපතියන් වූ හැටි.

මෙම කපෙහිම අවුරුදු විසිදහසක් ආයු ඇති මිනිසුන් අතර ඉපිද, අවුරුදු දහසය දහසක් වැඩසිට පිරිනිවන් පා වදාළ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේන්ගේ අවසන් කටයුතු මහත් පුදසත්කාර සහිතව පැවැත්වූනා. උන්වහන්සේන්ගේ ධාතු නොවිසිරි, රන් කඳක් මෙන් ඝනව පිහිටිය. එය දිගුකලක් ජීවත් වූ බුදුවරුන්ට ආවේණික කරුණක්. අඩු ආයු කාලයක් ඇති බුදුවරු බොහෝ ජනයාට දැකීමට නොලැබ, පිරිනිවන් පානවා. හරියටමඅපේ බුදුහාමුදුරුවෝ අපිට දක්නට නොලැබුණා වාගේ. ඒ නිසාම එවැනි බුදුවරු ධාතු පූජා පවත්වා ඒ ඒ මිනිසුන්ට පින් රැස් කරගැනීමට හැකිවෙතියි අනුකම්පාවෙන් ධාතු විසිරී යන පරිදි අදිටන් කර පිරිනිවන් පානු ලබනවා. ඒ අදිටන අනුව උන්වහන්සේලාගේ ධාතු රන් කුඩු මෙන් විසිරි යනවා. එය විශ්වයේම ධර්මතාවයක් වගේමයි පෙන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේගේත් ධාතු එලෙස විසිරී ගියා.

මිනිස්සු කසුප් බුදුරදුන්ගේ ධාතු තැන්පත් කිරීමට එකම එක දාගෙයක් යොදුනක් උස, යොදුනක වටරවුමක් ඇති සෑයක් ලෙසින් තැනුවා. එහි එක් එක් ගවුවක දුරින් දොරටු සතරක් පිහිට තිබුණා. එක් දොරටුවක් කිකී රජුට වෙන් වුනා. ඔහුගේ පුත් පඨවින්ධරට එක් දොරටුවක්ද, තවත් දොරටුවක් සෙන්පති හා මැති ඇමතිවරුන්ට ද යනුවෙන් වෙන්වුණා. අනෙක් දොරටුව සිටුවරුන් හා ජනපදවාසීන් වෙනුවෙන්. රත්පැහැ රනින් කරන ලද මෙන්ම එකට කැටිවූ රන් පිඬුවන්, කාන්තියෙන් බබළන, නා නා මැණික්වලින් සකසන ලද ගඩොල්, එකක් එකක් සියදහසක අගයක් වූ අතර, ඒවා හිරියල් රන්සිරියල් මැටියෙන් හා සුවඳ තෙලින් දිය කිස කොට දාගැබ තනවනු ලැබුවා.

මෙසේ එම දාගැබ පිහිටුවනු ලැබූ කාලයේම යහළු කුල පුතුන් දෙදෙනෙක් ගෙයින් නික්ම යද්දී හමුවූ සාවක තෙරුන් වහන්සේල්ලා වෙතින් පැවිද්ද ලබා ගත්තා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙම පැවිද්ද ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. එහෙත් දිගුකලක් වැඩවසන බුදුවරුන්ගේ කාලයේ එසේ හමුවීමට ලැබෙන සාවකයන් වහන්සේලා ලවා පැවිද්ද ලබාගැනීම උපසම්පදාව ලබාගැනීම විනයානුකුලයි. එලෙසම නිස හෙවත් අවවාද හා අනුශාසනද ලබනවා. අඩු ආයු ඇති බුදුවරුන්ගෙන් එලෙස සිදුවන්නේ නැහැ. එදා එලෙස පැවිදි වුයේ අපි කවුරුත් හඳුනන සාතාගිරි සහ හේමවත යන මහා බලවත් යක්ෂ සේනාධිපතිවරුන්. සාසනයට අලුත් වූ ඒ කුලපුත්තු සසුනෙහි ධුර මොනවාදැයි විමසනු ලැබුවා. එවිට තෙරුන් වහන්සේලා වාසධූර, සහ පරියතති ධූර යනුවෙන් සාසනයෙහි දූර දෙකක් ඇතැයි කියා සිටියා.

වාසධූර

පැවිදි වූ කුලපුතකු විසින් ගුරු හිමියන් සහ අවවාද අනුසාසනා කරන හිමියන් සමීපයෙහි පස් වසරක් වාසය කරමින් වත්පිළිවෙත් සපුරා පාමොක්ද, බණවර දෙකක් හෝ තුනක සූත්‍ර මැනවින් දැන, කමටහන් ඉගෙන, කුල නෑදැයන් හෝ (මා හා වෙසෙන අනෙක් පිරිස ගැන හෝ නොඇලී, වනයට පිවිස අරහත් බව අවබෝධ කරනු පිණිස උත්සාහ කළ යුතුය. වෑයම් කළ යුතුය. මෙය වාසධූරය නම් වනවා.

පරියතති ධූර

තමාට හැකි පරිදි දීඝ ආදී එක් නිකායක් හෝ මනාව පුහුණු වී, නිකාය දෙකක් හෝ පහක්ම හෝ ඉතා පැහැදිලිව අරුත් වටහා ගනිමින් ඉගෙන සසුනෙහි කටයුතුවල යෙදීම පරියත්ති ධූරයයි.

එවිට ඒ කුලපුත් හිමිවරු, එම ධුර දෙකින් වාස ධුරයම උසස්යැයි කියා, “අපි තවම තරුණ වෙමු. වියපත් වූ කල වාස ධුරය මනාව පිළිපදින්නෙමු. එතෙක් පරියතතිධුරය පුරමු” යැයි ඒ අනුව සසුනෙහි උත්සාහවත් වුනා. ඒ හිමිවරු සහජයෙන්ම නුවණැත්තෝයි. නොබෝ කලකින්ම, මුළු බුදුවදනම මනාව දැන, විනයද මැනවින් ඉගෙන, විනය කරුණු තීරණයෙහිද සමත් වූනා. උන්වහන්සේස්ලාගේ දහමෙහි පිරිපුන් දැනුම නිසා, පිරිවරද ඇතිවුනා. පිරිවර නිසා සිවුපසයද පහසුවෙන් ලැබුණ. එක් හිමිනමක් යටතේ පන්සියක් පිරිවර මහණහු වූනා. උන්වහන්සේලා බුදු සසුන බබළවමින් වැඩ සිටිය. හරියට යළිත් බුදුවරයකු ජීවමාන කාලයක් වගේ සාසනය බබලන්න වුනා.

ඒකාලේ එම ප්‍රදේශයේම දහමට ගරුකරන පැවිද්දෙක් හා අදැහැමි පැවිද්දෙක්ද වාසය කරනු ලැබුවා. අදැහැමි මහණ නපුරු, රළුවචන කියන, දොඩමළු සුළු වූවෙක්. ඒ මහණුගේ හැසිරීම අනෙක් මහණ හට දැනගැනීමට ලැබුණා. එවිට උන්වහන්සේ ‘ඔබේ මේ කටයුතු සසුනට සුදුසු නොවේ’යැයි චෝදනා කරනු ලැබුවා. . එවිට ඒ මහණ, කුමක්ද? ඔබ දුටුවෙහිද? කුමක් ඇසුවෙහිදැයි අවුලට පත් වුනා.. ‘විනයධර හිමිවරු එය දැනගන්නාහ’යි දැහැමි මහණ කීයා සිටියා.. එවිට අදැහැමි මහණ, මේ කරුණ විනයධර හිමිවරුන් තීරණය කරන්නාහු නම්, නිසැකවම මට සසුනෙහි විසුමක් නොවන්නේ යැයි දැන තම අදහස ඉවත් කර ගැනීමට නොකැමතිව, එකෙණෙහිම පිරිකර ගෙන, ඒ විනයධර හිමිවරුන් දෙනම වෙත පැමිණ පිරිකර දී උන්වහන්සේලා ඇසුරෙහි වාසය කිරීමට පටන් ගත්තා. එක තවත් දීර්ඝ කතාවක්. ඒ නිසා එය මගහැර කෙටියෙන් පවසන්නම්. ඒ පවිටු මහණ එදා සිල්වත් විනයධර මහණුන් ලෙස උපත ලබා සිටි සාතාගිරි සහ හේමවත යක්ෂයින් දෙදෙනා හට ඇප උපස්ථාන කොට සිත දිනාගනිමින් පසුව ඔහු හරි යයිද විනයදර භික්ෂුව පවසන දේ වැරදි යැයිද පවසන මෙන වැඳ වැටි ඉල්ලා සිටියා. මුලදී ඔවුන් එම ඉල්ලීමට අකමැති වුනත්, පසුව මොහුගේ ඇවිටිලි කිරීම හමුවේ නිහඬ වුනා. හරියට නීතිඥයින් විසින් වැරැද්ද නිවැරැද්ද මෙන්ම නිවැරැද්ද වැරැද්ද කරන අයුරින්. පසුව මෙයින් දුකට පත්වූ ඉහත කි විනයදර භික්ෂුව හඬාවැලෙපෙමින් යන්නට ගියේ අද කසුප් පියාණන් වහන්සේ පිරිනිවන් පෑවේය බුදුසසුණ නැසුනේය යනුවෙන් ද චෝදනා කරමින්.

ඉන්පසු ඒ විනයධර මහණුන් දෙදෙනා මහත් සංවේගයට පත්ව, ‘අප පුද්ගලයෙකු රකිමින්, සසුන නැමති මැණික මඩවළෙහි දැමුවෙමු’යි යනුවෙන් දුක්වෙන්නට වුනා.. ඒ කුකුසෙන්ම එම හිමිවරුන් තම දිවිය අඳුරු කරගත්තා. වැඩිමහළු හිමි කළුරිය කොට, දෙලොව හෝ ඉපදීමට නොහැකි වූයේ, හිමාලයෙහි

හේමවත පව්වෙහි හේමවත නම් යකෙක්ව උපන්න. ඒ දෙවැනි විනයධර ගුරු හිමි කළුරිය කොට මැද දේසයෙහි පිහිටි සිත පවුවෙහි සාතාගිර නම් යක්ෂයෙක්ව උපන්න. ඔවුන්ගේ පිරිවර මහණුන්ද, දෙව්ලොව ඉපදීමට නොහැකිව, ගුරුහිමිවරුන් දෙදෙනා අනුව යමින්, පිරිවර යක්කුව උපත ලැබුවා. හරිම පුදුමයි හිමිවරුන්ට සිවුපසය ලබාදුන් ගිහි පිරිස දෙව්ලොව උපන්නා. එහි සිටි යක් සෙන්පතියන් විසිඅට දෙනෙකු අතර, හේමවත, සහ සාතාගිර යන යක්ෂයින් දෙදෙනා මහත් වූ බලවත් යක් රජවරු වුනා.

ඒ තමයි සාතාගිරි සහ හේමවත යක්රජවරුන්ගේ නිධාන කථාව.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සුත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව

අපේ බුදුහාමුදුරුවෝ 282 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 02

යක්ෂ සේනාධිපතීන් හට ආවේණික මෙවැනි කරුණක් තිබුනා. එනම් ඒ ඒ මාසයෙහි අටවන දිනයෙහි, යම් යම් කරුණු පිළිබඳ තීරණ ගැනීමට හිමාලයෙහි, රත්හිරියල් තලාවෙහි භගලවතී පව්වෙහි දෙවියන්ගේ රැස්වීමකට සහභාගි විය යුතුව තිබුණා. සාතාගිර සහ හේමවත පැරණි මිත්‍රයන් එහිදී හමුවී එකිනෙකා දැන හඳුනා ගත්තා. මිතුර, ඔබ කොහි උපන්නෙහිද? ඔබ උපන්නේ කොහිද?” ආදී උපන් තැන් අසා, හරියට පසුතැවිලි වුනා. ‘මිතුර, අපි වැනසුනෙමු. අවුරුදු විසිදහසක් මහණදම්කොට, එක පාපී සහායකයෙකු නිසා යකුන්ව උපත ලදිමු. අපට සිවුපසය දුන්නෝ කාමාවචර දිව්‍යතල වල උපන්හ’යි යනුවෙන් දුක්වන්නට වුනා. ඒ විතරක් නොවේ, ආගිය තොරතුරුද කතාබස් කරන්නට් වුනේ පැරණි මිත්‍රත්වයෙන් බැඳී සෙනෙහෙන්මයි.

‘නිදුකාණනි, හිමාලය නම්, පුදුම, ඇදහිය නොහැකි දේ සිදුවෙතැයි සම්මතව පවතිනවා. කිසියම් අසිරිමත් දෙයක් ඇසුවොත් හෝ දුටුවොත් හෝ මට ද සැළකරනු මැනවැයි සාතාගිර කියා සිටියා. ‘නිදුකාණනි, හිමාලයෙහි මැද ඔබ වසන පෙදෙසද පුදුම, ඇදහිය නොහැකි දේ සිදුවෙතැ’යි සම්මතයි, කිසියම් අසිරිමත් දෙයක් ඇසුවොත් හෝ දුටුවොත් හෝ මටද කිවමැනව’යි හේමවතද පවසා සිටියා. ඔබ හිතන්නේ ඔවුන්ගේ හිතවත්කම මිත්‍රත්වය මෙලෙස කොතරම් කලක් පැවතියාද කියලා. මෙසේ මිතුරන් දෙදෙනා එකිනෙකා කතිකා කොට මෙලෙස වාසය කරනවිටම, මහපොළව එක් යොදුනක් හා ගවු තුනක් වැඩි යමින් මෙලෙස එක් බුද්ධාන්තරයක්ද ඉක්ම ගියා.

මේ අතර, අප බෝසතාණන් වහන්සේ දීපංකර බුදුපාමුල විවරණ ලැබ, වෙසතුරුව ඉපදෙන තෙක් සසර පාරමී දම් පුරා, තුසිත භවනයෙහි ඉපිද, එහි ආයු ඇතිතාක් වාසය කොට, දෙවියන් විසින් ආයාචනා කරන ලද පරිදි, පස්මහ බැලීම් විමසා බලා, දෙවියන්ට සැළකොට පෙරනිමිති දෙතිසක් පහළ වනවිට, දසදහසක් ලෝධාතු කම්පකොට මනුලොව පිළිසිඳ ගත්තා. සාතාගිර, හේමවතද ඒ පෙරනිමිති දුටුවද, ඔවුන් කෙළිදෙළින් යුතුව සිටි නිසා එයට නිසිපරිදි හේතුව නොදත් බව නොදුටු බව ඇතැමෙක් කියනවා.

මේ ආකාරයෙන් බෝසතුන් ඉපදීමේදීද, අබිනික්මණෙහිදී ද, බුදු බවට පත්වීමෙහිදී ද බුදුබව ලබා පස්වග මහණුන් අමතා, වට තුනකින් හා

දොළොස් ආකාර වූ උතුම් දහම් සක දේශනා කරන කල්හිද, පොළව සෙලවීම හා පෙරනිමිති පෙළහරද එකසේ සිදුවුනා පමණක් නොව පෙර අවස්ථාවලට සාපේක්ෂව බොහෝකාලයක් පැවතියා. එම පෙලෙහර ඔවුන් දෙදෙනාගෙන් පළමුව දුටුවේ සාතාගිරි.

ඊට හේතුව දැනගත් සාතාගිර සහ පිරිස, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් දෙසුම ඇසුවද මගපල කිසිත් ලැබීමට නොහැකි වුනා.. ඊට හේතුව වුනේද කල්ප ගණනක් පැවති මිත්‍රත්වයයි. ඔහු දහම් අසනවාට වඩා වැඩි අවදානයක් යොමුකළේ හේමවත තම කල්‍යාණ මිතුරා පැමිණ සිටීදැයි විමසිලිමත වීමටයි. පිරිස දෙස බලා ඔහු නොදැක, ‘මෙබඳු විසිතුරු වැටහෙන සුළු භාග්‍යවතුන් වහන්සේන්ගේ දේශනය ඇසීමට නොසැලස්වීමෙන් මා යහළුවා රවටනු ලැබීයැයි සිත අවුලට පත්වුණා. මෙබඳු විසිතුරු දෙසුමක් ඇසීමට යහළුවාට නොදැන්වීම ඔහු සිතුවේ යහළුවාව රැවටීමක් ලෙසයි. භාග්‍යවතුන් වහන්සේද හිරු අවරට ගියද දර්ම දේශනය නිමා කලේ නැහැ. තව දුරටත් තම යහළුවා නැතිව දර්මශ්‍රවනය වරදක් ලෙස සිතු සාතාගිරද, ‘යහළුවා සමග එහි අවුත් දහම් දෙසුම අසනෙමි’යි සිතා ඇත්, අස්, ගුරුළු වාහන ආදිය මවා, තම පිරිවර පන්සියයත් පිරිවරා හිමවත දෙසට අහසින් ගියා.

උපකාරක ග්‍රන්ථ – සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සුත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව
ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » උරගවග්ගො » හෙමවත සුත්‍රය සහ එහි අටුවාව

අපේ බුදුහාමුදුරුවෝ 283 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 03

මලෙස සාතාගිරි ඇතුළු පිරිස බුදුන් වෙති ඉවත්වුනේ තම හේමවත මිතුරාවත් රැගෙන ධර්මශ්‍රවණය සඳහා පැමිනිමටයි. දෙතිස් පෙරනිමිති බෝසත් කුමරු ඉපදීමේදී, අභිනිශ්ක්‍රමනයේදී සහ බුදුවිමේදී බොහෝ වේලාවක් නොපැවතුනත්, දම්සක් පවත්වනවිටදී ඊට වෙනස්ව ඒ පෙරනිමිති බොහෝ වෙලාවක් පැවතියා. මුළු හිමාලයම නානාප්‍රකාර පුෂ්පයන්ගෙන් වැසිගියා. හිමාලයෙහි ඒ පුදුම අසිරිය දුටු හේමවත යක්ෂ සේනාධිපතියා මෙලෙස සිතන්නට වුනා. ‘මා උපන් කල සිටම කිසිම දිනක මෙබඳු අසිරිමත් සිත්කළු දෑ නොවූවිරූය, මාගේ යහළුවාද සමග අවුත් මේ මල් අසිරිය විඳගනෙමි’ යි හිමාලයෙහි මැද ඔහු වසන පෙදෙසට ඒමට පිටත් වුණා . එහෙත් දෙදෙනාම රජගහනුවර ඉහළ අහසෙහිදී හුමුවුනේ අහඹු ලෙස. එකිනෙකා එකිනෙකාව මුණගැසීම සඳහා පැමිණි බව දැනගත් ඔවුන් “ඒ සඳහා හේතු විමසා සිටියේ මහත් කුතුහලයෙන්.හේමවත මෙලෙස කතාවට මුලපිරුවා.

‘සිරිමතාණනි, මා ඉපදුණු කල පටන්ම, මේ පර්වතයෙහි අකාලයෙහි මල් පිපුණු ගස්වලින් මෙලෙස හැඩ වූ පෙළහරක් නොවූ විරූය. එහෙයින් මේ මල් අසිරිය ඔබ සමග විඳගැනීමට සිතා පැමිණියෙමි”යි හේමවත පවසා සිටියා. එහෙත් එයට හේතු මේවනවිටත් දැනසිටි සාතාගිරි සිරිමතාණනි, මේ අකාලයේ මල් පිපුණු පුදුම පෙළහර සිදුවූයේ කිනම් කරුණක් නිසාදැයි දන්නෙහිදැ’යි ඔබ දන්නහෙද? ‘නොදනිමි, සිරිමතාණනි, මේ පෙළහර සිදුවූයේ හිමාලයෙහි පමණක් නොවේ. දසදහසක් ලෝධාතුවෙහිම පහළවුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව උපන්නා. අද දම්සක් පැවැත්වූවා,ඒ තමයි හේතුව, සාතාගිර හේන්මවතට බුදු උපත ගැන කියා, ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන යනු කැමතිව,

තව තවත් විස්තර කියන්නට වුණා . හේමවත යක්ෂ සේනාධිපතියත් තව තවත් ප්‍රශ්න අසන්න වුනා. එය සාසනයේ ප්‍රථම සෝවාන් ඵලලාභී උපාසිකාව බුදුන් නොදැකම බුදුගුණ අසා ඇති කිරීමට තරම්ම බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන ගාම්භීර සාකච්චාවක් වුණා . ඇය ගැන ඊළඟ ලිපියේ පලවනවා.

ඔවුනොවුන් අතර ඇති වූ දෙබස සුත්‍ර දේශණාව තුලින් ගලපා ගැනීමට තිබෙන මහන්සිය මග හරවා ගැනීමට බලංගොඩ ආනන්ද මෛත්‍රී ලොකු හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය පොතෙන් මෙලෙස උපුටා ගත්තා.

හේමවත : කිමෙක් ද? එ තොප ශාස්තෘහුගේ සිත මනා ව පිහිටියේ ද? හෙතෙම සියලු සතුන් කෙරේ සම සිත්

ඇත්තේ ද? කිමෙක් ද, ඉටු අනිටු අරමුණෙහි රාග ද්වේෂ වශයෙන් පහළ වන සංකල්ප එතුමා විසින් වශඟ කරන ලද ද?

ශාතාගිර: “එ තාදීහු ගේ සිත මනා වැ අචල වැ සියල්ල කෙරේ සම වැ පිහිටියේ ය. ඉටු අනිටු අරමුණු විෂයයෙහි

සංකල්පයෝ උන් වහන්සේ විසින් වශඟ කරන ලදහ.”

හේමවත : “කිමෙක් ද හෝ අන්සතු දෑ සොර සිතින් නො ගනී ද? පණිවායෙන් දුරු වූයේ ද? අබ්රම්සරින් දුරු වී ද?

ධ්‍යානය හිස් නොකෙරේ ද (නො හරී ද?)?”

ශාතාගිර: “බුදු රජාණන් වහන්සේ අන් සතු නො දුන් දෑ නො ගන්නා සේක. පණිවායෙන් ද වැළැකී සේක.

අබ්රම්සරින් දුරු වූ සේක. ධ්‍යානය නො හරිනා සේක.”

හේමවත : “කිමෙක් ද, ඒ යුෂ්මත්හුගේ ශාස්තෘ තෙම බොරු නො තෙපලා ද? පරුෂ බස් නො බෙණේ ද? කේලාම්

නො කියා ද? ප්‍රලාප බස් නො දොඩා ද?”

ශාතාගිර : “උන් වහන්සේ බොරු නො තෙපලන සේක. පරුෂ බස් නො බණිනා සේක. කේලාම් නො කියන සේක.

ප්‍රලාප නො දොඩන සේක. නුවණින් පිරිසිඳ වැඩ පිණිස පවත්නා වචන ම වදාරන සේක.

හේමවත : “කිමෙක්ද? හේ කාම වස්තූන් කෙරෙහි නෑ ලේද? ඔහු සිත ව්‍යාපාදයෙන් නො කැළැඹුණේ ද?

මිථ්‍යාදෘෂ්ටියට හේතු වූ මුළාව ඉක්මියේ ද? ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිලැ පවත්නා සමතැස් ඇත්තේ ද?

ශාතාගිර : “ඒ භාග්‍යවතුන් වහන්සේ පංච කාමයන්හි නො ඇලෙන සේකි. උන්වහන්සේ ගේ සිත ව්‍යාපාද

දෝෂයෙන් නො කැළඹුණේ ය. උන් වහන්සේ මෝහය ද ඉක්මි සේකි. ඒ බුදුරජාණන් වහන්සේ සකල ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිළ පවත්නා සමතැස් ඇති සේක.”

හේමවත : “කිමෙක? එ ශාස්තෘහු අෂ්ට විද්‍යායෙන් යුක්ත ද? පිරිසිදු චරණ ධර්ම ඇත්තෝ ද? ඔවුන් විසින්

ආස්‍රවයෝ නසන ලදු ද? ඔවුනට පුනර්භවයෙක් නැද්ද?”

ශාතාගිර: “ඒ ශාස්තෘන් වහන්සේ අෂ්ට විද්‍යායෙන් ද සම්පන්න සේක. පිරිසිදු චරණ ධර්ම ද ඇති සේක.

උන්වහන්සේගේ පුනර්භවයෙක් නැත.

හේමවත : “ඒ මුනීන්ද්‍රයන් වහන්සේන්ගේ සිත සම්පූර්ණද? විද්‍යා චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ උන් වහන්සේට

යුෂ්මත්හු බෝ ගුණ දැන ම ඇති ගුණයෙන්ම ප්‍රශංසා කරවුද?”

ශාතාගිර : “එසේය මිත්‍රය, ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිත ඒ කී පරිදි ම සම්පූර්ණ ය. පිරිසිදු කාය වාක් මනඃ කර්මයෙනුත් සම්පූර්ණය. ඒ යුෂ්මත්හු විසින් මොනවට දැන ගන්නා ලද්දේ ය. එ සේම යැ යි මැනැවින් පිළිගන්නා ලද්දේ ද වේ.”

“ඒ මුනීන්ද්‍රයන් වහන්සේ ගේ සිත සම්පූර්ණය, කාය වාක් මනඃ සුචරිත සම්පන්නය. සැක රහිත ව එය දැන ගන්න. එසේ වූ විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්ත උන් වහන්සේ දැකුම්හ.” (මේ තාක් කළ කථාව නුවණින් සැලකූ හේමවතයා එහි දී සෝවාන් විය.) භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ තවත් තොරතුරු ශාතාගිරයා වෙතින් අසා දත් හේමවත යක් තෙම මෙසේ ද කී ය.

හේමවත : “එව මිත්‍රය, යම්හ, ඒනි මෘගයකුගේ වැනි ක්‍රමයෙන් වට වූ කෙංඩා ඇති ස්ථුල නොවූ සිරුරක් ඇති, වීර වූ, ස්වල්පහාර ඇති ආහාරයෙහි ලොල් නො වූ, මුනි ගුණ ඇති වනයෙහි ධ්‍යාන කරන ඒ ගෞතමයන් වහන්සේ දකුම්හ. සිංහයකු මෙන් එකචාරි වූ, පව් නො කරන, කාමයන්හි අපේක්ෂා රහිත ගෞතමයන් වහන්සේ කරා එළැඹ මරහුගේ මලින් මිදීමට නිමිත්ත වූ නිවන විචාරමු.”

​උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » උරගවග්ගො » හෙමවත සුත්‍රය සහ එහි අටුවාව
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

අපේ බුදුහාමුදුරුවෝ 284 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 04

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සහ සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව.

මීට ඉහත කි පරිදී රජගහ නුවර ඉහල අහසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාව සාතාගිරි යක්ෂ සේනාධිපතියා විසින් හේමවත යක්ෂ සේනාධිපතියාට පවසන්නට වුනේ සිත පිනා ගිය අසීමිත ශ්‍රද්ධාවෙන්. ඒ දින කිහිපයේ රජගහ පුරයේ ඇසළ නැකත් උළෙල පවත්වමින් පැවතියා. මිනිස්සු මුළු නුවරම උත්කර්ෂවත් අන්දමින් සරසා නැකත් කෙළි සුව විඳිමින් සිටියා. මෙම දෙබස යන අතර තුර කාලි නම් කුල ස්ත්‍රියක් ක්‍රීඩා සුව විඳිමින් සිටින අතරතුර සිය පහයෙහි සී මැදුරු කවුළුව විවෘත කොට සුළං වදිනා තැනෙකට වී හුදෙකලාව ගිමන් නිවන්නට වුනා. යක්ෂයන්ගේ දෙබස ඇතිවුනේ ඇය සිටි ප්‍රසාදය අසල අහසෙහි. දෙබසක් යන හඬ ඇයට ඇසුනත් රූපයක් දර්ශණය නොවුණ නිසා මෙය අමනුෂ්‍ය කට හඬක් බවට ඉවෙන් මෙන් හැඟී ගියා. එහෙත් ඇය බිය වුනේ නැහැ. සිතට දිරිය ගෙන ඒ දෙබස ශ්‍රවණය කරමින් ඇයත් ශාතාගිර සහ හේමවත දෙදෙනා ගේ කථාව මුළුමනින් ම අසා සිටියා. ඉන්පසු “බුදුවරයෝ මෙබඳු විශිෂ්ට ගුණ ඇත්තෝ යැ” යි බුද්ධාලම්බන ප්‍රීති උපදවා සෝවාන් පලයෙහි පිහිටියා. ඒ නිසා ඇය බුදුන් නොදැකම ආරංචියෙන් බුදු ගුණ අසා පැහැදී සෝවාන් ඵලයට පැමිණි පළමු වන සෝවාන් උපාසිකාවද වුනා පමණක් නෙවෙයි ගිහියන් අතරෙහි පළමුව මාර්ගඵල ලාභී උතමාවියද වුණා. එලෙසම සාතාගිරි යක්ෂයාගේ ධර්මදේශනානුසාරයෙන් හේමවත යක්ෂයාද සෝවාන් ඵලයේ පිහිටියා. හිතන්න එක දේශණාවකින් දෙදෙනෙකු මරගඵල ලාභින් කරවන්නට තරම් සාතාගිරි යක්ෂ සේනාධිපතියාගේ දේශණාව කොතරම් මනරම් දේශණයක් වෙන්නට ඇතිද?

ඉන්පස්සේ ලියන්න තියෙන්නේ සෝවාන් වූ දිනයෙහිම ඇයගේ කුසයෙහි පිළිසිදගත සෝණ මහ රහතන් වහන්සේගේ නිධාන කතාවයි.

​උපකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය අට්ටකතා

අපේ බුදුහාමුදුරුවෝ 285 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 05

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සහ සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 02

ඒ දින රජගහ නුවර විශේෂ උත්සව පැවැත්වූ කාලයට අයත් දිනයක් කියා මිට පෙර ලීවා. දම්සක් පැවතුම් සුත්‍රය පැවසීම නිසා හටගත් දෙතිස් පෙළහර ඒ උත්සවය දෙගුණ තෙගුණ කරන්නටත් ඇති. දසත අකලට පිපි මල්වරග වගේම හිමවතෙහි පිපි අනේක විදි පුෂ්පයන්ගේ සුවඳින් හමා පැමිණි මදනල මුළු නුවරම සුවඳවත් කරන්නට ඇති. සෑම ගෙයකම පවත්වන උත්සව ප්‍රීති සම්භාෂණ වලට සාපේක්ෂව කාලි කුමරියගේ මාලිගාවෙහිත් උත්සව පවත්වන්නට ඇති. ඒ සුන්දර රාත්‍රී යෙහිම කාලි නම් කුල ස්ත්‍රිය සෝවාන් බවට පත්වූවා සේම ගැබ් ගනු ලැබීමත් ආශ්චර්යමත් සිදුවීමක් ලෙසයි මා දකින්නේ. ඇය ඉන්පසු තව දුරටත් එම මාලිගාවෙහි කල් යැවුවේ නැහැ. දරු ප්‍රසූතිය සඳහා තම දෙමාපියන් විසූ කුරරසර නියම් ගමට පැමිණියා. ඇයගේ ස්වාමි පුරුෂයා සම්බන්ධව විශේෂ සටහනක් මෙම දේශණාව තුල මා දුටුවේ නැහැ. කෙසේ හෝ නියමිත කලට ඇය තම පින්වත් දරුවා ප්‍රසූත කරනු ලැබුවා වගේම ඔහු විරළ වූ බුදුසසුනක පහල වන අසුමහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු බව දැන නොසිටියා.

මෙම බිලිඳා පසුකලෙක අපේ සාසනයේ සුවිශේෂ චරිතයක් බවට පත්වීමට පැමිණි කෙනෙක්. ඒ තමයි අසූ මහා ශ්‍රාවකයන් අතර මිහිරි වදන් ඇත්තන් අතරින් අග්‍රස්ථානය පතා පැමිණි උත්තම පුරුෂයා වගේම දශබලයන්වහන්සේ සමඟ එක් ගඳකිළියෙහි රාත්‍රියක් ගතකොට උන්වහන්සේගේ පාමුල මදුරශ්‍රවයෙන් දර්මය දේශණාකිරීමට දුර්ලභ අවස්ථාව හිමිවුන වාසනාවන්ත දරුවෙක්. මෙම පින්වත් දරුවාට නම් තබන දිනයෙහි සෝණයයි නම් කරනු ලැබුවා. පසුව ඔහුට කුටිකණ්ණ නම් වූ ආරූඩ නාමයක්ද එකතු වුණා. ඒ ඔහු නිරන්තරයෙන්ම කෝටියක් වටිනා කන් පළඳනාවක් පැළදි නිසා. .

ඒ කාලයේම මහාකච්චාන තෙරුන්වහන්සේ ඒ නුවර ඇසුරෙහි පැවැති පර්වතයක වාසය කළා. කාලි මාතාව ඉතාම ගෞරවයෙන් උන්වහන්සේට උපස්ථාන කරන්නට වුනා. තෙරුන්වහන්සේ නිබඳව ඇයගේ නිවසට වඩිනු ලැබුවා. ඒ නිසාම සෝණ දරුවාද කුඩා කල සිටම නිබඳවම මහාකච්චාන තෙරුන් සමීපයෙහි හැසිරෙමින් විශ්වාෂ කටයුතු පුද්ගලයෙකු බවට පත්වුනා පමණක් නොවෙයි ධර්මයද අසා දැනගත්තා. ඔහු පසු කලෙක තෙරුන් සමීපයෙහි ම පැවිදි දිවියට ඇතුළු වුනා.

මහාකච්චාන තෙරුන්වහන්සේ ඔහු උපසම්පදා කරනු කැමැත්තෙන් ඔහු පිළිබඳව වර්ෂ ගණනාවක් සොයා බැලුවා. ඉන්පසුව තෙරුන්වහන්සේ වෙතින් උපසම්පදාව ලබාගත් උන්වහන්සේ කමටහන් කියවා විදසුන් වඩා රහත් බවට පැමිණයා. එමෙන්ම තෙරුන් සමීපයෙහි සුත්තනිපාතය සම්පුර්ණ වශයෙන්ම ඉගෙන වචනයක් නෑර කටපාඩම් කර ගත්තා. මෙසේ බොහෝ තැන් කෙල පැමිණි උන්වහන්සේට උපතින්ම ගෙනා පුණ්‍ය ශක්තියකුත් පාරමිතා පුර්ණයකුත් තිබ්බා. ඒ “මිහිරි වදන් ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය” ට පත්වීමට. ඒ බව මහාකච්චාන තෙරුන්වහන්සේ හොදින්ම දැන හිටියා. එහෙත් අවසාන මොහොත වනතෙක් කිවේ නැහැ. ඔබ මේ අවස්ථාවේ ඒ නිධාන කථාවදැනගත යුතුයි කියා සිතනවා. ඒ නිසා ඊළඟ ලිපියෙන් කෙටියෙන් ඒ පාරමිතාව පිළිබඳව පවසන්නම්.

​උපකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය අට්ටකතා – සොන කුටිකණ්ණ තෙරණුවෝ

අපේ බුදුහාමුදුරුවෝ 286 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 06

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සහ සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 03

පියුමුතුරා බුදුන්වහන්සේන්ගේ කාලයෙහි සොණ තෙරුන් වහන්සේද ඉපිද අන් අය සමගින් බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් බණ ඇහුවා. ඒ අවස්ථාවේ විහාරයට පැමිණ දහම් අසමින් සිටි එක් භික්ෂුවක මිහිරි වදන් ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි යම් බුදු කෙනකුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුන් අතුරෙන් අග්‍රවීමට වටීයයි එක්වරම සිතට බලවත් ආශාවක් පැමිණියා. එය සිතේ තබාගෙන ඔහු දශබලයන්වහන්සේ ට තම නිවසට සත් දිනක් දන් සඳහා වඩින මෙන් ආරාධනය කරනු ලැබුවා. ආරාධනය කොට දින සතක් දක්වා උවැටන් කොට “ස්වාමීනි, නුඹවහන්සේ විසින් යමිහික්ෂුවක මෙයින් දින සතකට පෙර කලනවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූ සේක්ද, මමද මේ පුණ්‍යකර්මයාගේ විපාකයෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි එවැන්නෙක් වෙම්වායි ප්‍රාර්ථනා කරනවා යනුවෙන් පවසමින් ආශීර්වාදය බලාපොරොත්තුවෙන් ශ්‍රී පතුල් වන්දනා කරමින් සිටියා. ශාස්තෘන්වහන්සේ එයට අනතුරක් නොමැති බව දැන අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුනට අග්‍ර වන්නෙහිය’යි විවරණදී නැවත වදිනු ලැබුවා. ඔහු දිවි ඇති තෙක් කුසල කම් කොට කල්ප ලක්‍ෂයක් දෙවියන්ද මිනිසුන්ද අතුරෙහි සැරිසරන්නේ අපගේ බුදුන්වහන්සේගේ පහළවීමෙන් පසු දෙලොවින් බැස කාලි නම් ඇති උපාසිකාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇය සෝවාන් වූ දිනදීමයි. ඉන්පසු වැඩිවියට පත්වීමෙන් පසු මිට ඉහත ලිපියේ කියූ අයුරින්ම මහා කච්චායන තෙරුන් හමුවේ පැවිදිව උපසම්පදාවද ලබාගත්තා. උපසම්පදාව ලබා වැඩිකල් නොගොස්ම විදසුන් වඩා වැඩිකල් නොගොස්ම අරහත්වයට ද පත්වුණා .

තවදුරටත් තෙරුන් සමීපයෙහි වෙසෙමින් ත්‍රිපිටකය අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ඉන්පසු සම්පුර්ණ වශයෙන්ම සුත්තනිපාතය ඉගෙන ගෙන වස්කාලයද ගත කරන්නට වුණා . ක්‍රම ක්‍රමයෙන් උන්වහන්සේටත් නොදැන උන්වහන්සේගේ අධිෂ්ඨානය පල දරනා කාලය ලඟා වන්නට වුනා. ඒ කාලයේම මෙතෙක් නුදුටු බුදුන්වහන්සේව දකින්නට මහත් වූ අශාවක්ද සිත තුල ලියලන්නට වුනා. වස් පවරා ශාස්තෘන්වහන්සේ දකිනු කැමතිව උපාධ්‍යායයන් වහන්සේන්ගෙන් බුදුන් වහන්සේ දකින්නට යාමට අවසර ඉල්ලා සිටයා. ඒ එක්කම හරිම පුදුම දෙයක් සිදු වුනා. සොන රහතන් වහන්සේට මහා කච්චායන මහා රහතන් වහන්සේ විසින් අනාවැකියක් පල කොට සිටියා. එය මෙලෙසින් සඳහන්ව තියෙනවා.

මහා කච්චායන තෙරුන්වහන්සේ, සෝණ, ඔබ ගිය කල්හි ශාස්තෘන්වහන්සේ නුඹව එකම ගඳකිළියෙහි වස්වා ධර්මය දෙසීමට ඉල්ලා සිටින සේක. නුඹ ධර්මය දෙසන්නෙහි. ශාස්තෘන්වහන්සේ නුඹගේ ධර්මකථාවෙන් පැහැදී නුඹට වර දෙන සේක. නුඹ වර ගන්නේ මේ මේ වර ද ගනුව. මගේ වචනයෙන් දශබලයන්වහන්සේගේ පාවඳුව’යි යැයි ද ඉල්ලා සිටියා.

බලන්න රහතන් වහන්සේ කෙනෙකුගේ වැඩ පිළිවෙල. උන් වහන්සේ ඒ අවසරය ලත් සැණින් ප්‍රථමයෙන්ම කලේ තම මෑණියන් වහන්සේව හමුවීමට යාමයි. ගොස් බුදුන් වහන්සේ බැහැදැකීමට යන බවත් ඒ සඳහා අවසර ලැබුණු බවත් ඇයට දන්වා සිටියා. ඇයද “යහපතී දරුව, නුඹ තථාගතයන් වහන්සේ දැකීමට යන්නේ නම් මේ කම්බිලිය ගෙන ගොස් ශාස්තෘන්වහන්සේ වෙසෙන ගඳකිළියෙහි බුමුතුරුණක් කෙට අතුරුවයි” යැයි මහත් කම්බිලියක් දුන්නා. සෝණ තෙරුන්වහන්සේ එය රැගෙන සෙනසුන හැර අනුක්‍රමයෙන් ශාස්තෘන් වසන තැනට පැමිණ ශාස්තෘන්වහන්සේ බුද්ධාසනයෙහි හුන්

වේලාවේදීම එළඹ වැඳ එකත් පසෙක සිටිය. ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ සමඟ ටික වෙලාවක් පිළිසඳරෙහි ගතකොට අනඳ තෙරුන්වහන්සේ ඇමතුවා. “ආනන්දය, මේ භික්ෂුවට සෙනසුනක් දනුව’. තෙරුන්වහන්සේ ශාස්තෘන්වහන්සේගේ අභිප්‍රාය දැන ඇතුළු ගඳකිළියෙහිම ගෙනෙනු ලැබූ බුමුතුරුණ ය අතුරනු ලැබුවා. උන්වහන්සේ හට එහි රැදෙන්න අවසර දුන්නා.ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ රාත්‍රිය බොහෝ කලක් එළිමහනෙහි කල් යවා වෙහෙරට පිවිසියා. ආයුෂ්මත් සෝණ තෙරුණුවෝද රාත්‍රියෙහි බොහෝ කලක් එළිමහනෙහි ගතකොට උන්වහන්සේ සමගින්ම විහාරයට පිවිසිය. ශාස්තෘන්වහන්සේ මධ්‍යම යාමයෙහි සිංහශය්‍යාවෙන් සැතපී උදෑසන නැගිට හිඳ “මෙපමණ වේච්චාවකින් සොනගේ කයෙහි වෙහෙස නිමියේ වන්නේන්යයි දැන” ආයුෂ්මත් සෝණ තෙරුන්ට ‘හික්ෂුව ඔබට දහම් දෙසීමට වැටහේවා’ යි වදාරනු ලැබුවා. සෝණ තෙරණුවෝ ද ඒ අවසරය ලද සැණින් මිහිරි සරින් එක් ව්‍යංජනයකුදු නොනසමින් අෂ්ටක වර්ගයන් දේශනා කරනු ලැබුවා. දේශනාව අවසානයෙහි භාග්‍යවතුන්වහන්සේ සාධුකාර දුන්නා. සාධුකාර දී මහණ, “ඔබ විසින් ධර්මය මනාව ගන්නා ලදි. මා දෙසන වේලාවෙහිද අදද එක් සමානවම දෙසුම කිසි අඩුවක් හෝ වැඩියක් නැතැයි පැහැදුණු බව පවසා සිටියා. සෝණ තෙරණුවෝද මේ සුදුසු වෙලාව යැයි සළකා උපාධ්‍යායයන්ගේ වචනයෙන්ම විනයදරයන් පස්දෙනෙකුම පරම කොට ඇති සංඝයා විසින් දෙන උපසම්පදාව ආදී කොට ඇති සියලු වරයන් ඉල්ලා සිටියා. සාස්තෘන් වහන්සේද ඒ වර ඔහුට ලබා දුන්නා. ඊට පසුව වූ දේ ඊළඟ ලිපියෙන් කියන්නම්.

​උපකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය අට්ටකතා – සොන කුටිකණ්ණ තෙරණුවෝ

අපේ බුදුහාමුදුරුවෝ 287 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 07

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සහ සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 04

පසුගිය පුරා මසකට වැඩිකාලයක් පුරාවට සංවිධානය කරනු ලැබූ බුදුගුණ සත්‍යක්‍රියාව නිසාඅපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙළ ඇන හිටීම සිදුවුනා. එම නිසා මෙතෙක් ලියමින් පැමිණි අනුපිලිවලට යම් බාධාවක් සිදුවුනා සේම යලි ලිවීමට කරුණු රැස්කිරීමට පින්තුර සෙවීම වැනි කරුණු කාරනා සඳහාද සෑහෙන වීර්යයක් දැරීමට සිදුවෙනවා. අවසාන ලිපියෙන් පසු ඊළඟ ලිපිය හා සම්බන්ධ කිරීමට සිතා සිටි කරුණු දැන් හරියටම මතකයේ නැතත් අද මෙලෙස ආරම්භයක් ගැනීමට සිත ගත්තා.

පසුගිය ලිපියෙන් …

ශාස්තෘන්වහන්සේ මධ්‍යම යාමයෙහි සිංහශය්‍යාවෙන් සැතපී උදෑසන නැගිට හිඳ “මෙපමණ වේච්චාවකින් සොනගේ කයෙහි වෙහෙස නිමියේ වන්නේන්යයි දැන” ආයුෂ්මත් සෝණ තෙරුන්ට ‘හික්ෂුව ඔබට දහම් දෙසීමට වැටහේවා’ යි වදාරනු ලැබුවා. සෝණ තෙරණුවෝ ද ඒ අවසරය ලද සැණින් මිහිරි සරින් එක් ව්‍යංජනයකුදු නොනසමින් අෂ්ටක වර්ගයන් දේශනා කරනු ලැබුවා. දේශනාව අවසානයෙහි භාග්‍යවතුන්වහන්සේ සාධුකාර දුන්නා. සාධුකාර දී මහණ, “ඔබ විසින් ධර්මය මනාව ගන්නා ලදි. මා දෙසන වේලාවෙහිද අදද එක් සමානවම දෙසුම කිසි අඩුවක් හෝ වැඩියක් නැතැයි පැහැදුණු බව පවසා සිටියා. සෝණ තෙරණුවෝද මේ සුදුසු වෙලාව යැයි සළකා උපාධ්‍යායයන්ගේ වචනයෙන්ම විනයදරයන් පස්දෙනෙකුම පරම කොට ඇති සංඝයා විසින් දෙන උපසම්පදාව ආදී කොට ඇති සියලු වරයන් ඉල්ලා සිටියා. සාස්තෘන් වහන්සේද ඒ වර ඔහුට ලබා දුන්නා. ඊට පසුව වූ දේ ඊළඟ ලිපියෙන් කියන්නම්.

බුදුරජාණන් වහන්සේ වෙතින් සමුගැනීම

ඉන්පස්සේ පැමිණියේ බුදුරජාණන් වහන්සේගෙන් සමුගන්න අවස්ථාවයි. සසරෙහි පිරු පාරමී ධර්ම නිසාම ඔහුට ලැබුනේ විරල අවස්ථාවක්. ඉන්පස්සේ සෝණ තෙරණුවෝ මවුඋවැසියගේ වචනයෙන් බුදුන් වැඳ ‘ස්වාමීනි, අපේ මව විසින් ඔඹවහන්සේ වසන ගඳකිළියෙහි බිම ඇතිරීම සඳහා මෙම කම්බිලිය එවනලදැයි කම්බිලියදී අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේ නමැඳ පැදකුණුකොට පිටත්වුනේ අසූ මහා ශ්‍රාවකයෙක් වශයෙන්. .

මෙසේ සෝණ තෙරුන්වහන්සේ ශාස්තෘන් වහන්සේ සමීපයෙන් වරඅටක් ලබාගෙන ප්‍රථමයෙන්ම ගියේ තම උපාධ්‍යායයන් වහන්සේ වන මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැසෙන්නට උන්වහන්සේ සමීපයට ගොස් සිදු වූ සියලු පුවත් සැළකොට සිටියා. දෙවන දිනයෙහි මවුඋවැසිගේ ගෙදොරට (කාලි මාතාව) ගොස් පිඬුපිණිස වැඩසිටිය. එතුමිය, ‘මගේ පුතා දොරටුවෙහි සිටියේයි අසා වේගයෙන් අවුත් නමැඳ අතින් පාත්‍රය ගෙන ඇතුළු නිවස්නෙහි හිඳුවා දානය පුජා කරනු ලැබුවා. ඉන්පසු දානය වළදා අවසානය වනතෙක් බලා සිටියා. ඉන්පසු තම පුතුණුවන් වන සෝණ තෙරුණුවන් හා සමග මෙලෙස දෙබසකට පිවිසියා.

‘දරුව ඔබ භාග්‍යවතුන්වහන්සේ දක්නාලද සේක්ද? ‘එසේ, උපාසිකාවනි’,

‘ඔබ විසින් මගේ වචනයෙන් වඳනා ලද සේක්ද? ‘එසේය, වඳනාලද සේක. මා විසින් ඒ කම්බිලියද තතාගතයන්වහන්සේ වසන තැන බුමුතුරුණක්කොට ඇතුරන ලදී.’

‘දරුව, ඔබ විසින් ශාස්තෘන්වහන්සේට ධර්‍මකථාව කියනලද්දේද? ශාස්තෘන්වහන්සේ විසින්ද ඔබට සාදුකාර දෙනලද්දේද?’ ‘උසිකාවනි, ඔබ විසින් එය කෙසේ දැනගන්නාලද්දේද?’ ‘දරුව මගේ ගෙහිඅධිගෘහීත දෙවියා දශබලයන්වහන්සේ විසින් ඔබට සාධුකාර දුන් දිනයෙහි ‘සියලු දසදහසක් සක්වළ දෙවියෝ සාධුකාර දුන්හ’යි කීවේය, දරුව ඔබ විසින් කියනලද ධර්‍මකථාව බුදුන්වහන්සේට කියනලද අයුරින්ම මටද කීම කැමැති වන්නෙමි’.

තෙරණුවෝ මවගේ කථාව පිළිගත්තා. ඕ ඔහුගේ පිළිගැනීම දැන දොරටුවෙහි මණ්ඩපයක් කරවා දශබලයන් වහන්සේට දෙසූ අයුරින්ම තමන්ට ධර්‍මකථාව කියවා ගත්තා. යනුවෙන් මෙම කථාවස්තුවෙහි සඳහන්. මෙලෙස ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි වැඩසිටිසේක් සෝණ තෙරුන්වහන්සේ මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.

උපකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය අට්ටකතා – සොන කුටිකණ්ණ තෙරණුවෝ

අපේ බුදුහාමුදුරුවෝ 288 (සන්තිකේ නිධානය)

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 08

දෙවෙනි ධර්ම දේශනාව

මීට පෙර විස්තර කල පරිදී බරණැස් නුවර අහසෙහි එකිනෙක මුණගැසී බුදුරජාණන් වහන්සේ ගැන ගුනකතනයක යෙදුනු සතගිරි සහ හේමවත යක්ෂ සේනාධිපතියන් සහ ඔවුන්ගේ පිරිවර වෙසක් පුරපසොලොස්වක දිනට පසුදින අහසින්ම ඉසිපතයට පැමිණියා. පැමිණ දම්සක් පැවැත්තු පළඟින් ම හුන් බුදුරජාණන් වහන්සේ කරා එළැඹුනා. ඉන්පසු හේමවත යක්තෙම භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙකව සිට ඉතාම ගැඹුරු ධර්ම සාකච්චාවකට පිවිසියා.

ප්‍රථම ධර්ම දේශනයට පසුදින පැවැත්වූ මෙම ධර්ම සාකච්චාව දෙස බලන ඔබට මෙවන් ගැඹුරු ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ වෙත යොමුකිරීමට තරම් යක්ෂයෙකුට ධර්මඥාණයක් ලැබුනේ කෙලෙසද යන්න සිතට නැගෙන්නට ඕනේ. එසේනම් මෙම ලිපි පෙලේ සාතාගිරි හේමවත යක්ෂයන්ගේ පුරාණ කථාවලියවුනු මුල් ලිපියේ සිට බලන්න. සංසාරයේ ඔවුන් පුරුදු කොට පැමිණි ත්‍රිපිටකධර වූ සැටි සැටි එහි විස්තර කොට තිබෙනවා. හේමවත මෙලෙස ඔහුගේ හඬ අවදි කළා.

“සත්‍යයන් බෙදා නිශ්චය කොට වදාරන, ආර්යය සත්‍ය විෂයයෙහි ඥානය පවත්වන, සිවු බිමැ සියලු දහමුන්ගේ පර තෙරට පැමිණි, මෝහ නිද්‍රායෙන් පිබිදුණු, වෛර හා භය ඉක්මැවූ ගෞතමයන් වහන්සේ විචාරම්හ.”

 “කුමක් නම් උපන් කල්හි ලෝකය උපන්නේ වේ ද? කුමක් කෙරෙහි සත්ත්ව තෙම තෘෂ්ණා දෘෂ්ටි සංස්තවය කෙරේ ද? කුමක් නිසා “ලොව” යැ යි ව්‍යවහාර වේ ද? කවර කරුණෙකින් ලොව පෙළේ ද?”

භාග්‍යවතුන් වහන්සේ : “ආධ්‍යාත්මික බාහිර ෂඩාතනයන් උපන් කල්හි ලෝකය උපන්නේ වේ. ඒ ද්විප්‍රකාර ආයතනයන් කෙරෙහි ම ලෝ වැසි තෙම තෘෂ්ණා දෘෂ්ටි සංස්තවය කෙරේ. ඒ දෙ වැදෑරුම් ෂඩායතන නිසා ම “ලෝක යැ”යි ව්‍යවහාරය වේ. ඒ ෂඩායතනයන් ඇති කල්හිම ලෝකය පෙළේ.”

හේමවත: යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ලෝකය පෙළේ නම් එ උපාදානිය ධර්ම කවරේ ද? ලෝකය කෙරෙන් නික්ම යන මාර්ගය කවරේ ද? උපාදානීය ධර්මයෙන් (දුකින්) කෙසේ සත්ත්ව තෙමේ මිදේ ද? මේවා මට පැහැදිලි කරන සේක් වා!

භාග්‍යවතුන් වහන්සේ: ලොව මනස සවන කොට ඇති පංච කාම ගුණාලම්බනයෝ ඇත. ඒ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ද්විවිධ වූ ෂඩායතන විෂයයෙහි තෘෂ්ණාව සර්ව ප්‍රකාරයෙන් දුරු කිරීමෙන් මෙසේ සත්ත්ව තෙම දුකින් මිදේ.

“මෙය ලෝකයෙන් නික්මෙන උපාය යි. දහස්වර විචාළත් මා විසින් අවිපරිත කොට කියන ලද මේ ලෝකනිර්යායණ මාර්ගය ම කියමි.

කවර හෙයින් ද? මෙයින් ම සත්ව තෙම දුකින් මිදේ, එහෙයිනි.”

මේ දේශනාව අවසන්හි දී යක් සෙනෙවියෝ දෙදෙන සහ දහසක් පමණ වූ තම පිරිවර සෝවාන් ඵලයෙහි පිහිටියා.

ඉන්පසු හේමවත යක්ෂයා ස්වභාවයෙන් ම දහමට ගරු කරන හෙයින් මෙතෙකින් අතෘප්ත ව තව තවත් සේඛාසේඛ ධර්මයන් පිළිබඳව විචාරන්නට වුනා.

“මෙහි කවරෙක් සතර ඕඝයෙන් එ ගොඩ වේ ද? කවරෙක් මෙහි සසර සයුරින් එ තෙරැ වේ ද? යැටින් පිහිටක් හෝ මත්තෙන් එල්බෙන තැනක් නැති ගැඹුරු සසර සයුරෙහි කවරෙක් නො ගිලේ දැ?”යි ඇසුයේ ය.

මෙය විසඳන භාග්‍යවතුන් වහන්සේ:

“සෑම කල්හි ශීල සම්පන්න වූ, ලොවි ලොවුතුරා ප්‍රඥා ඇති, උපචාර අර්පණා සමාධියෙනුත් යට මාර්ග ඵලයෙනුත් මොනොවට පිහිටි, නිජ ස්කන්ධ පංචකය තිලකුණට නගා විමසන සුලු, එලැඹ සිටි සිහි ඇති පුද්ගල තෙම සතර ඕඝයෙන් එතෙර වේ.

කාම සංඥායෙන් සර්ව ප්‍රකාරයෙන් දුරු වූ, සියලු සංයෝජනයන් ඉක්ම, තෘෂ්ණාව හා පුනර්භවය ක්ෂීණ කළ රහත් පුද්ගලයා සසර සයුරෙහි ච්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් නො ගැලේ.”

මේ කථායෙන් පසු හේමවත තෙම යහලු ශාතාගිරයා දෙස ද සෙසු යක් පිරිස දෙස ද බලා, ප්‍රීති සොම්නසින්:

“ගැඹුරු ප්‍රඥා ඇති, ප්‍රශ්නයන් ගේ අර්ථ දක්නා, රාගාදි පරිබෝධ නැති, වස්තුකාම ක්ලේශ කාම දෙක්හිත් ත්‍රිවිධ භවයෙහිත් නො ලැගුණු, ස්කන්ධාදි ප්‍රභේද ගත සියලු අරමුණෙහි ඡන්ද රාග වශයෙන් බැඳීමෙන් මිදුණු, දිව්‍ය විහාර පථයෙහි (හෝ පල සමවහි) නුවණින් බස්නා ඒ මහර්ෂීන් වහන්සේ බලවු. සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ (අලාමක) නම් ඇති නිපුණාර්ථදර්ශි වූ, ප්‍රඥා දායක වූ කාමාලයයෙහි නො ඇලුණු, සියල්ල දන්නා, ශෝභන වූ (පාරමිතා) ප්‍රඥා ඇති, ආර්යෂ්ඨාංගික මාර්ග පථයෙහි (හෝ පල සමවත්හි) නුවණින් බස්නා ඒ මහර්ෂීන් වහන්සේ බලවු. චතුරෝඝ තරණය කළ නිරාස්‍රව වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දැකගත් හෙයින් අද අප ගේ ශුභ දැක්මෙක් විය. අද පහන් වීම ශුභ ය. අද නින්දෙන් නැගී සිටියා ශුභ ය. තවද කර්ම විපාකජ සෘද්ධියෙන් සමන්විත වූ යශස් ඇති මේ සියලු දහසක් යක්කු ලොවුතුරා සරණ ගමණයෙන් ඔබ සරණ යෙති. ඒ අපි සම්බුද්ධ වූ, ඔබ වහන්සේට ද ඔබ වහන්සේ ගේ ධර්මයේ සුධර්මත්වයට ද නමස්කාර කරමින් දෙව් ගමින් දෙව් ගමට ද දිව්‍ය පර්වතයෙන් දිව්‍ය පර්වතය ට ද යන්නමු.”

මෙසේ හේමවත තෙම භාග්‍යවතුන් වහන්සේට ස්තූති කොට වැඳ ප්‍රදක්ෂිණා කොට සිය මිතුරා සහිත යක්සෙන් කැටුව ස්වකීය භවනයට ම යන්නට ගියා. ඔවුන් අදටත් සාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනිසිටිනවා ඇති.

උපකාරක ග්‍රන්ථ – සුත්‍ර පිටකය » ඛුද්දකනිකාය » සුත්තනිපාතය » උරගවග්ගය » හෙමවත සුත්‍රය
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ

අපේ බුදුහාමුදුරුවෝ 289 (සන්තිකේ නිධානය)

වප්ප තවුසා සෝවාන් ඵලයට පත්වීම

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දෙව්‌ රජුන්‌ දෙදෙනෙකුගේ මහා සංග්‍රාමයක්‌ එළඹුණ. එම සටන් බිමට බොහෝ දෙවියෝ රැස්වුනා. එනිසාම මහා ඝෝෂාවක්‌ හටගත්ත. මේ අවස්ථාවේ එය දුටු ලෝකයාගේ පූජාවන්‌ පිළිගත්නා වු තුන්‌ ලෝ මැනවින්‌ දත්‌ ශාස්තෘ වු පදුමුත්තර බුදුරජාණන්‌ වහන්සේ බුදුරැස් විහදවමින් අහසෙහි වැඩ හිදිමින්‌ දෙවියන් ඇතුළු මහා මහජනයා සංවේගයට පත්කරනු ලැබුවා. මෙම දසුන් දුටු සියලු දෙවියෝ සතුටුව බැහැර ලු ආයුධ හා යුධ ඇඳුම්‌ සහිතව බුදුරජාණන්‌ වහන්සේට වැඳ එකඟ සිතින්‌ පසෙක සිටිය. සියල්ලන්ගේ සිත්‌ දැනගත්‌ බුදුරජාණන් වහන්සේ මෙලෙස ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කරමින් ලෝක සත්වයා වෙනුවෙන් හටගත්‌ මහත් වූ අනුකම්පාවෙන්‌ යුධ ගිනි දැල් නිවනු ලැබුවා.

“එක්‌ ප්‍රාණියකු හෝ නසන දුෂිත සිත්‌ ඇති මනුෂ්‍යයා එම නපුරු සිත නිසා අපායෙහි ම උපදින්නේ ය. යුධ පෙරමුණෙහි බොහෝ ප්‍රාණීන්‌ සිය සිත නිවවු, නැවත නැවත නො නසවු.”

මෙය ඇසු දිව්‍ය සේනාවෝ විශ්මයට පත්‌වුනා. තාදි ගුණ ඇති ලෝක නායකයන්‌ වහන්සේගේ සරණ ගිය ඔවුහු යුද්ධය නවත්වනු ලැබුවා. ​මහා ප්‍රාඥ වූ බුදුපියාණෝ ජනසමුහයාට කරුණු අවබෝධ කරවා මෙලෙස පවින්‌ ගොඩ ගොඩගත්තා. ඉන්පසු දෙවියන්‌ විසින්‌ බලාසිටිය දීම උන්වහන්සේ උතුරු දෙසට වඩිනු ලැබුවා. ඒ අසිරිය දුටු වප්ප තවුසා එදින පළමු කොට බුදුන්‌ සරණ ගියා. එහි ආනුභාව​යෙන්‌ කල්ප ලක්‍ෂයක්‌ මුලුල්ලෙහි දුගතියක නුපන්නා. මෙයින්‌ තිස්‌ දහස් වන කල්පයේ දී රජවරු අතර ශ්‍රේෂඨ වු මහා දුන්දුහි නාමයෙන්‌ සක්විති රජවරු දාසයක්‌ ව සැප වින්දා.

ඒ කාලයේම “අසුවල්‌ අසුවල්‌ තෙරවරු ශාස්තෘන්‌ වහන්සේගේ පළමු ධර්ම දේශනාව පිළිගත්හ” යි යන්න අසා මෙදා වප්ප තවුසා ඉතා සතුටට පැමිණිය. පසුව භාග්‍යවතුන්‌ වහන්සේ වෙත එළඹ වැඳ තමා තෙරුවන්‌ සරණයන බව පවසා.,”ස්වාමීනි ! මම ද අනාගතයේ දී නුඹ වහන්සේ වැනි සම්බුදුවරයකුගේ ප්‍රථම ධම්දේශනාව අසන්නවුත්‌ අතුරින්‌ එක්‌ අයෙකුවෙම්‌ වා” යි ප්‍රාර්ථනා කළා. ඔහු දිවි ඇති තාක්‌ එලෙසින්‌ පින්දහම්‌ සිදුකොට ඉන්‌ චුතව දෙව්‌ – මිනිස්සු දෙගතියේ සැරි සරනු ලැබුවා.

ඉන්පසු අපගේ බුදුරජාණන්‌ වහන්සේ පහලවන සමයෙහි කපිලවස්තුවේ වාසෙට්ඨ නම්‌ බමුණාගේ පුතෙතු වී උපන්නා. දෙමාපියෝ ඔහුට වප්ප යන නම තැබුවා. ‘අසිත සෘෂිවරයා විසින්‌ සිදුහත්‌ කුමරු සර්වඥ වන්නේය” (බුදුවන්නේය) යනුවෙන්‌ පවසන ලද බැවින්‌ කොණ්ඩඤ්ඤ පුමුඛ බ්‍රාහ්මණ පුතුන්‌ සමග ගෘහවාසය හැරදමුවා. තාපස ප්‍රවෘජ්‍යාවෙන්‌ පැවිදි වී එකුමරු බුද්ධත්වයට පත්‌ වූ පසුව, උන්වහන්සේ සමීපයට ගොස්‌ බණ අසා නිවන්‌ අවබෝධ කරගන්නෙම්‌” යි සිතා උරුවේලාවෙහි වාසය කළා. මහ බෝසතාණෝ සයවසරක්‌ දුෂ්කර ක්‍රියා කොට, ඉන්‌ වෙන්ව දළ ආහාර ගැනීමට පටන්‌ ගත්කල්‌ හි උන්වහන්සේ හැර දමා ඉසිපතනයට ගිය ​වප්ප තවුසා, සම්බුද්ධපවයට පත්‌ වු ශාස්තෘන්‌ වහන්සේ සත්‌ සති ගෙවා ඉසිපතනයට වැඩ දම්සක්‌ පැවතුම්‌ සුත්‍රය දේශනා කිරීමෙන්‌ පසුදින සෝවාන්‌ ඵලයෙහි පිහිටිය. පස්වන දින අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී තවුසන්‌ සමග ම මහරහත්‌ ඵලයෙහි පිහිටි වප්ප තෙරණුවෝ, ගේ මෙම කෙටි විස්තරය මෙයින් අවසන් කරනවා.

උපකාරක ග්‍රන්ථ – සුත්‍ර පිටකය » ඛුද්දකනිකාය » සුත්තනිපාතය » උරගවග්ගය » හෙමවත සුත්‍රය
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ

අපේ බුදුහාමුදුරුවෝ 290 (සන්තිකේ නිධානය)

පස්වග මහණන් සියලු කෙලෙස් නසා රහත්භාවයට පත්වීම

මිට පෙර කියූ පරිදී ඇසළ පුණු පොහො දිනෙන් දෙවෙනි දිනයෙහි අන් සිවුදෙන පිඬු පිණිස යවා භාග්‍යවතුන් වහන්සේ ආරාමයෙහි හිඳ, වප්ප තවුසාණනට දර්මය දේශනා කරනු ලැබුවා. . වප්ප තවුසාණෝ ද, භාග්‍යවතුන් වහන්සේ දුන් කමටහන් වඩා පෑලවිය දා ම සෝවාන් ව ඒහි භික්ෂු ප්‍රව්‍රජ්‍යෝසම්පත්තිය ලැබුවා.

එ සේ ම අව දියවක් දා භද්දිය තවුසාණෝ ද, අව තියවක් දා මහානාම තවුසාණෝ ද, අව ජලවක් ද අස්සජී තවුසාණෝ ද, භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටා කමටහන් වඩා සෝවාන් වුනා. ඒහි භික්ෂු සම්පත්තිය ද ලැබුවා. මෙලෙස මේ දිනවල ඒ භික්ෂූනට අවවාද කෙරෙමින් විහාරයෙහි ම භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියා. තුන් නමක් පිඬු පිණිස ගොස් ගෙනා භෝජනයෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු අන් අය යැපුනා. නැවැත අව විසේනිය දා භාග්‍යවතුන් වහන්සේ ඒ කොණ්ඩඤ්ඤ ආදී පස් නම ම අමතා මෙලෙස අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරනු ලැබුවා.

අනාත්ම ලක්ෂණ සූත්‍රය (පඤ්චවග්ගිය සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ: මහණෙනි, රූපය ආත්ම (තමා) නොවේ. මේ රූපය ආත්ම වේ නම්, ආබාධ පිණිස නො පවත්නේ ය. “මාගේ රූපය මෙසේ වේවා මෙසේ නම් නො වේ වා” යි රූපයෙහි තමා රිසි අයුරෙක් ලැබෙන්නේ ය. එහෙත් මහණෙනි, රූපය ආත්ම නොවන බැවින් ම ආබාධ පිණිස පවතී. “මෙසේ මගේ රූපය වේ වා, මෙසේ නම් නො වේවා! යි තමා රිසි අයුරෙක් රූපයෙහි නො ලැබෙන්නේ ය.

මෙලෙසම භාග්‍යවතුන් වහන්සේ පංච උපාදන්ස්කන්දයට අයත් අනෙකුත් වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන උපාදන්ස්කන්දයන පිළිබඳවද විස්තරයක් කරන්නට වුනා. කල්පගණනක සිට බුදුවරුන් හට අභිමුඛ වෙමින් ධර්මය හදාරමින් පැමිණි ඔවුනට එහි යථාවබෝධය සඳහා වැඩි වෙලාවක් ගියෙත් නැහැ.

එයින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ වැඩිදුර අවබෝධය වඩාත් පහසු කිරීමට මෙලෙස ප්‍රශ්නකිරීමට ලක්කලා.

මහණෙනි, රූපය නිත්‍ය ද? නැතහොත් අනිත්‍ය ද? තෙපි මේ කිමැයි සිතවු ද?

පස්වග මහණහු : වහන්ස, ඒ අනිත්‍ය යි.

භාග්‍යවතුන් වහන්සේ : යමෙක් අනිත්‍ය නම් ඒ දුක් ද නො හොත් සැපද?

පස්වග මහණහු: ඒ දුක්ය, භාග්‍යවතුන් වහන්ස.

භාග්‍යවතුන් වහන්සේ: යමෙක් අනිත්‍ය වේ නම්, දුක් වේ නම් වෙනස්වන විපරිනාමයට පත්වන සුලු නම්, එය “මෙය මමය, මගේ ය, මේ මම ය,

මේ මා තමා යැයි දක්නට සුදුසුද?

පස්වග මහණහු: එසේ දක්නට නම් සුදුසු නො වේ මය, වහන්ස.

එලෙසම වේදනා සංඥා සංස්කාර විඥාන යන සතර ගැනත් මෙසේ ම ප්‍රශ්න කරන්නට වුනා. එයද එලෙසම මමය මාගේය මාගේ ආත්මය යැයි ගැනීමට නුසුදුසු බව ඔවුන් පවසා සිටියා.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ: එහෙයින් මහණෙනි, 1.අතීත 2. අනාගත 3.වර්තමාන 4.ආධ්‍යාත්මික(අභ්‍යන්තර) හෝ 5.බාහිර, 6. ඖදාරික (රළු)

හෝ 7.ශූක්ෂම(සියුම්), 8.හීන හෝ 9.ප්‍රණීත වූ 10.දුරැ හෝ 11.සමීපයේ වූ යම් රූපයෙක් වේ ද, එ සියලු රූපය “මෙය මගේ නොවේ. මෙය මම් නො වෙමි. මෙය මගේ ආත්මය නො වේ යැ” යි මෙසේ තත් වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥායෙන් දැක්කැ යුතු ය යනුවෙන් මෙම එකොලොස් ආකාරයට පංච උපාදානස්කන්දයම විදර්ශනා කිරීම පිළිබඳව කියා දුන්නා. ඉන්පසුව තව දුරටත් විස්තර කරමින්

මහණෙනි, මෙසේ ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවක තෙම රූපය කෙරෙහි කලකිරේ, වේදනාව කෙරෙහි කලකිරේ, සංඥාව කෙරෙහි කලකිරේ, සංස්කාර කෙරෙහි කලකිරේ, විඥානය කෙරෙහි කලකිරේ. කලකිරෙන්නේ එහි ඇල්ම දුරු කෙරේ, ඇල්ම දුරු කිරීමෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදේ, මිදුණු කලැ මා සිත මිදුණේ යැ යි දැනීම වේ. මතු ඉපදීම ක්ෂීණ විය, මාර්ග බ්‍රහ්මචර්යයාව වැසනිමවන ලද්දේ ය. (රහත් බවට පැමිණියෙමි.) දුකින් මිදීමට කළමනා සියලු (ගෝඩෂ විධ) කෘත්‍යය කරන ලද්දේ ය. මේ රහත් බව පිණිස තවත් කළ යුතු කිසිත් නැතැ” යි දැන ගනී. යනුවෙන් ඉතා මිහිරි ස්වරයෙන් වදාරන්නට වුනා.

භාග්‍යවතුන් වහන්සේ ගේ මේ දේශනාව ඇසීමට කල්පාන්තරයක් පෙරුම්පිරූ ඒ පස්වග මහණහු දේශනාව අවසන් වත්ම සියලු කෙලෙසුන් නසා රහත් බවට පත්වුනා.

උපකාරක ග්‍රන්ථ – සුත්තපිටකයේ/ සංයුක්තනිකාය/ ඛන්ධකවග්ග/ ඛන්ධසංයුත්ත/ උපයවග්ග
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ

අපේ බුදුහාමුදුරුවෝ 291 (සන්තිකේ නිධානය)

මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 01
මොනෙය්‍ය වත සඳහා විවරණ ලැබීම.

ලොව්තුර බුදුපියාණන් වහන්සේ නමක විසින් පිහිටුවනු ලබන උතුම් වූ බුද්ධ සාසනයක සියලුම ශ්‍රාවක පිරිස් විසින් රකින පිළිපදින අනුගමනය කරන අනුගමනය කලයුතු වත්පිළිවෙත් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් එකම එක ශ්‍රාවකයන් වහන්සේනමක විසින් පමණක්ම රකින උන්වහ්න්සේටම පමණක් සාධාරණ වූ සුවිශේෂ වත් පිළිවෙතක් තිබෙනවා. ඒ වත්පිළිවෙත මොනෙය්‍ය පිළිවෙත වශයෙන් අප සාසනයේ හඳුන්වනු ලබනවා. ඒ පිළිවෙත කෙලෙසද යන්න බුද්ධ වචනයෙන්ම මෙම ලිපිපෙලේ පසුව සඳහන් වෙනවා. එම මොනෙය්‍ය පිළිවෙත පිරීමට කල්ප සියදහසක් කල් පෙරුම් පුරමින් පැමිණි නාලක මහරහතන් වහන්සේ ගැනයි මේ ලියවෙන්නේ.

හරියටම බලනකොට තවත් සුවිශේෂ කරුණක් උන්වහන්සේ කෙරෙහි විද්‍යාමාන වෙනවා. ඒ තමයි අප මහා බුදුපියාණන් වහන්සේගේ සාසනයෙහි පැවිදි වීම වෙනුවෙන් ප්‍රථමයෙන්ම ගිහිගෙයින් නික්මී ප්‍රථමයෙන්ම තපස් පැවිද්දට පත් වූ ප්‍රථම පුද්ගලයා වනුයේ මේ නාලක මහරහතන් වහන්සේයි. එහෙත් ඔහුගේ අධිෂ්ඨානය වූයේ ප්‍රථම ධර්මාවබෝධය නොව මොනෙය්‍ය පිළිවෙත රකින්නා පමණක් වීම නිසා උන්වහන්සේ පසවග මහණුන් අතරට එක්වීමට අවස්ථාව උදාවුනේ නැහැ.

නාලක මහරහතන් වහන්සේට මෙම ආශාව හිතට පැමිණියේ පියුමතුරා බුදුපියාණන්ගේ කාලයෙහි මෙවැනිම මොනෙය්‍ය පිළිවෙත අනුගමනය කරනු තවත් භික්ෂුවක් දැකීමෙන්. එදා යම් සසනයක එවැනිම මොනෙය්‍ය පිළිවෙතරකින ශ්‍රාවකයෙකු වීමට තමා හට ඇති ආශාව පිළිබඳව පියුමතුරා බුදුපියාණන් වහන්සේ සමග පැවසීමෙන් උන්වහන්සේගේ විවරණ ලබමින්, එතැන් පටන් එසේ කිරීමට බලාපොරොත්තු වෙමින්, කප් සියදහසක් කල් පෙරුම් පිරූ උන්වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ නමින් බුද්ධත්වය සදහා මෙලොව පහල වූ විට නාලක නමින් අසිත ඉසිවරයාගේ බෑණනුවකු ලෙස මෙලොව උප්පත්තිය ලැබුවා.

පරම්පරා දෙකකට පුරෝහිත වූ අසිත තවුසා

අසිත තවුසාට සිද්ධාර්ත කුමුරුගේ රජපවුලට දීර්ඝ කාලයක පටන් සේවය කළා. ප්‍රථමයෙන්ම අසිත ඉසිවරයා සුද්ධෝදන රජුගේ පියා වූ සීහහනු රජුගේද පුරෝහිතව සිටියා. ඒ වගේම සුද්ධෝදන කුමරු ඔටුනු පැළඳීමට පෙර, ඔහුට ශිල්ප ඉගැන්වූ ඇදුරවද, රජ බවට පත්වූ පසු ඔහුගේ පුරෝහිත ලෙසද සේවය කරමින් භාවනා කටයුතු වලද නිරත වෙමින් ඒවා ප්‍රගුණ කරමින් කාලය ගතකලා.

සුද්ධෝදන රජු කෙරෙන් ලද ගරුබුහුමන් මදකම නිසා රාජ්‍ය සේවයෙන් සමුගත් අසිත ඉසිවරයා

ඉසිවරයා උදේ සවස රජුට උවටැන් පිණිස (උපදෙස් දීමේ සේවය පිණිස) පැමිණි විට, රජතුමා තරුණ කාලයේදී මෙන්, ගරුසත්කාර නොකොට ඇඳිලි බැඳ වැඳීම පමණක් කරන්නට වුනේ එය ඔටුනු පළඳා රජබවට පත්වන සැකිකුල රජ සිරිත නිසාවෙන්. එහෙත් අසිත ඉසිවරයාට එය රිස්සුවේ නැහැ. එයින් බොහෝදුරට කලකිරුණු ඉසිවරයා, ‘මහරජ, මම පැවිදි වෙමි’යි කියා සිටියා. රජු ද තවුසාගේ තීරණය දැන ‘එසේනම් ඇදුරුතුමනි, මට නිතර දැකිය හැකි පරිදි මගේම උයනෙහි විසිය යුතු’යැයි ඉල්ලා සිටිය. තවුසා ද ‘එසේ’ යැයි පිළිවදන් දී, තවුස් පැවිද්දෙක්ව, රජුගෙන් උවටැන් ලබමින්, උයනෙහිම වෙසෙමින් කසිණ බවුන් වඩා සමාපත්ති අට හා අභිඤ්ඤා පහ උපදවා ගත්ත.

දිව්‍ය සැණකෙළිය

එතැන් පටන් රජමැදුරෙහි අහර ගෙන, හිමාලය, චාතුම්මහාරාජික දෙව්ලොව, ආදී තැනකට ගොස් දිවාකාලය ගත කිරීම පුරුද්දක් කොට ගත්තා. එක් දවසක් තවුතිසාවට ගොස්, රුවන් විමනට පිවිස, දෙව්රුවන් පලඟෙහි හිඳිමින්, සමාධිසුව විඳ හවස් කල නැගිට, විමන් දොරටුවෙහි සිට වටපිට බලනවිට, සැටයොදුන් මහා වීදියෙහි පිළී හිස සිසාරාවමින් බෝසත් ගුණ සඳහන් තුති වදන් කියමින් කෙළිදෙලින් පසුවන සක්දෙව් පිරිවරා ගත් දෙවියන් දුටුවා. ඒ හරියටම මග මානවක නම් උපාසක තුමා තම පිරිවරද සමග මනුලොවින් සමුගෙන දෙව් ලොව පැමිණ අසුරයින් එලවා ජයගෙන සක්දෙව් පදවියට පත් දින පැවැත්වූ ප්‍රීති ඝෝසා පැවැත්වූ දිනයට පමණක්ම මෙම ප්‍රීති ඝෝසාව දෙවැනි වූ නිසා.

අසිත තවුසා ඒ දෙවියන් දැක…කුමක් නිසා මෙලෙස සතුටු වන්නේ දැයි අසා සිටියා.

ඔවුන් මුවෙන් සතුට දනවන හඬ පිපිට කරුවෙ මනු ලොවේ වගේ. නොයෙක් ආකාර ගීත දසත ගායනා කෙරෙමින් පැවතුන. වසන්තය පිළිගන්නට යුරෝපයේ පවත්වන සැණකෙලි දිනය මගේ සිතට යම් අදහසක් ගෙනාව. වාදන භාණ්ඩ සැටඅට දහසක් වාදනය කෙරුනා. ඒ වාදනයන්ට අනුව නගන අත්පොළසන් හඬ දසත පතුරුනා. අසිත ඉසිවරයාට මෙයට හේතුව තමන්ට මෙනෙහිකොට දැනගත හැකි වුවත්, ඔවුන්ගේම වචනයෙන් දැනගනු කැමතිව එලෙස ප්‍රශ්න කෙරුනා.

එවිට දෙවිවරු “බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් සතුටු වෙමු. එතුමා බුදුබවට පත්ව, අනෙක් දේව සමූහයාටද, අපට ද මගපල හෝ රහත් බව ලබන ලෙසටද, දහම් දෙසන්නේය. දහම් අසා නිවන් ලැබීමට නොහැකි වුවහොත් මිනිස්සු දානාදී පින්කම් කොට දෙව්ලොව උපත ලබති. ” යනුවෙන් කියා සිටියා.

එකල්හි ඒ දේවවාක්‍යය අසා එ අසිත තෙම දේවපුරයෙන් මනුලොවට බැස සුදොවුන් රජුගේ භවනයෙහි පෙනී සිටියා. “ඒ කුමර කොහි යැ? මම් ද දක්නා කැමැතියෙමි”යි යන මෙ බස් ශාක්‍යයනට කියා සිටියා.

උපකාරක ග්‍රන්ථ – සුත්තපිටකයේ/ සංයුක්තනිකාය/ ඛන්ධකවග්ග/ ඛන්ධසංයුත්ත/ උපයවග්ග

අපේ බුදුහාමුදුරුවෝ 292 (සන්තිකේ නිධානය)

මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 02
මහා බෝසතුන් වහන්සේ බුදු වූ කල ධර්මශ්‍රවනය සඳහා තම දෙසවන් රැකගැනීමට දියෙහි නොගිලුණු නාලක තරුණයා

ඉන්පසු දක්‍ෂ වූ රන්කරුවකු විසින් කෝවා මුවෙහි ලා මොනොවට ඝටා තවනලද වූ ම දිලියෙන රණක් වන් ශෝභායෙන් බබලන රූසපුයෙන් යුත් පුත්කුමරු ශාක්‍යයෝ අසිත නම් තවුසාට පෙන්වා සිටියා. දිලෙන ගින්නක් බඳු වූ ද අහස්හි සරන පිරිසුදු තාරාපති බඳු වූ ද සරාකල්හි අභ්‍රමුක්ත වූ දිලියෙන හිරු බඳු වූ ද කුමරු දැක උපන් සතුටු ඔහු විපුල ප්‍රීතියට පත්වුණා. මෙහිදී වඩාගෙන පැමිණි කුමරුවා පිළිගන්නා ලෙස යොමු කිරීමේදී සියදහස් ගණනින් වටිනා ගන්‍ධාර දේශයෙහි රත් කම්බිලියක තබන ලද රත්රන් පිඬක් බඳු වූ කුමාරයාගේ සිරස මුදුනට දෙවියන් සුදු සේසතක් දරා සිටිනු දැක, ඒ අයුරින් මහත් වූ ගෞරවෙයෙන් දෑතින්ම පිළිගත්ත. පියාණන් විසින් ඉසිවරයාට වැන්දවීමට කුමාරයා යොමුකළවිට, කුමරුගේ දෙපා හැරවී ඉසිවරයාගේ හිසමුදුනෙහි පිහිටියා.

අසිත ඉසිවරයා මහපුරිස් ලකුණු ගැනද වේදයෙහිද පරතෙරටම ගිය උත්තමයෙක්. එමෙන්ම උතුම් ඉසිවරයෙක්. තමා ඉදිරියට ගෙනනු ලැබූ මහබෝසතුන්ගේ දෙපතුලෙහි සක්ලකුණු දැක, ඒ අනුව ඉතිරි ලකුණු ද විමසමින්, සියළුම මහ පුරිස් ලකුණු හඳුනාගෙන නිසැකවම මොහු බුදු වන්නේ’ යැයි දැන රාජකීයන්ට පවසා සිටියේ කිසිදු සැකයකින් තොරව.

එමෙන්ම අසිත තවුසා ඊළග උපත ලෙස ඔහු තම අරූප බඹලොව උපත සිහිකොට ‘මම දැන් මෙතුමාගේ දහම් දේසනය අසන්නට නොලබමි’යි කඳුළු හෙලන්නටද වුනා. ශාක්‍යයෝ වැලපෙන තවුස් දැක “කුමරු කෙරෙහි අනතුරෙක් නොවේදෝ විමසා සිටියා. එවිට නොසතුටු බියට පත්ව ඇති ශාක්‍යයන් දැක “මම කුමර කෙරෙහි අහිතයක් නො සමරමි, මේ කුමාරයා ලාමක වූ, සුළුකොට තැකිය හැකි තැනැත්තෙකු නොවේ. මෙ කුමර අනුත්තර සම්බෝධියට පැමිණෙයි. පරමවිශුද්ධ නිර්‍වාණය දක්නාසුලු මෙතෙම බහුජන හිතානුකම්පා ඇතියේ දම්සක් පවත්වන්නේය. මොහුගේ ශාසනය ලොව පතළ වන්නේ යි. මාගේ ආයුෂත් මෙ මිනිස් ලොව්හි දිගුකල් නො වේ. මෙ අතුරෙහි මාගේ කාලක්‍රියා වන්නේ ය. එවන් මම අසම වීර්‍ය්‍යය ඇති බුදුන්ගේ දහම් නො අසන්නෙමි. එකරුණින් දුක් ඇතියෙමි” හැඩීමට හේතු පවසා සිටියා.

ඉන්පසු තමා සුළු කාලයක් ජීවත්වන බව දැනගත ඔහු රජමාලිගයෙන් ඉක්මණින් නික්මගියේ තම කණිටු සොහොයුරියගේ පුත්, වූ තමාගේ බෑණනුවන්ව හමුවීමට. නාලක නම් වූ මෙම තරුණයා පින් රැස්කොට ඇති බව තම ධ්‍යාන බලයෙන් දැන, ඔහු වැඩිවියට පත්වීමේදී පමාවනු ඇතැ’යි සිතා සොහොයුරියගේ ගෙට ගොස්, ‘නාලක කොහිදැ’යි අසා පිටත කෙළිලොලින් ගතකරන ඔහුව කැඳවා ’ සියලු විස්තරද පවසා එකෙණෙහිම තවුස් පැවිද්දෙන් පැවිදි කරවා, වත් පිළිවෙත්හි සමාදන් කරවා, අවවාද කරනු ලැබුවා.

අසිත ඉසිවරයා විසින් ඔහුගේ අතීතයද අනාගතයද පැහැදිලි කරන අසිරිමත් කතා පුවත අසා සිටි නාලක තරුණයාට ඔහු කල අදිෂ්ඨානයේ පරම පිවිතුරු බව අවබෝධ කරගන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඔහු පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් කරන ලද අධිෂ්ඨානය සිහිකොට එදිනම පැවිදිව තවුස් වෙස් ගෙන ගිහිගෙයින් නික්ම ගියා. ඒ විතරක් නෙවෙයි. ඔහු සවන් නම් වූ ඉන්‍ද්‍රිය රැකගන්නටද බොහෝ වෙහෙසුනා. ඔහු කොතරම් ත සවන ධර්ම ශ්‍රවණය සඳහා ආරක්ෂා කලාද යත් ‘වතුරට පිවිසි විට, කන නමැති ඉන්‍ද්‍රිය වැනසුනහොත්, දහම් ඇසීමට නොලැබේ’ යැයි සිතා, එතැන් පටන් දියෙහි ගිලුනේවත් නැතැයි කියනවා.

උපකාරක ග්‍රන්ථ – සුත්තපිටකයේ/ සංයුක්තනිකාය/ ඛන්ධකවග්ග/ ඛන්ධසංයුත්ත/ උපයවග්ග

අපේ බුදුහාමුදුරුවෝ 293 (සන්තිකේ නිධානය)

මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 03
පංච කෝලාහලය

ලෝකයෙහි 1.කල්ප කෝලාහලය, 2.චක්‍රවර්තී කෝලාහලය, 3.බුද්ධ කෝලාහලය, 4.මංගල කෝලාහලය, 5.මෝනෙය්‍ය කෝලාහලය යැයි පස් වැදෑරුම් කෝලාහලයෙක් ඇතැයි බෞද්ධ ග්‍රන්ථ වල සඳහන්වනවා. මෙහිදී මෝනෙය්‍ය කෝලාහලය ගැන යම් කරුණක් සඳහන් කලයුතු යැයි හැඟුණ නිසා මෙම මෙම ලිපිය මෙලෙස පුජාවලියේ ඇති අයුරින්ම ඉදිරිපත කරනවා.

1.කල්ප කෝලාහලය නම් කවර යත්,

කල්ප විනාශය ඇති වන්නේ ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟිනි. මෙය සිදුවීමට අවුරුදු ලක්ෂයක් තිබියදී එක්තරා කාමාවචර දේවතාවෙත් රතු වස්ත්‍රයක් හැඳ තවත් රතු වස්ත්‍රයක් ඒකාංශ කොට කෙස් පිටෙහි විහිදුවා ගෙන කඳුළු වගුරුවමින් අවමංගල්‍යයක් වූවා සේ මහත් සක්වළ ඇවිදිමින් මෙසේ කියයි.

‘පින්වත් වූ සත්වයෙනි, හවුරුදු ලක්ෂයක් ගිය කල කප නස්සි. කෙළ ලක්ෂයක් සක්වළ ගල් නස්සි. කෙළ ලක්ෂයක් මහ පොළෝ නස්සී. කෙළ ලක්ෂයක් මෙර ගල් නස්සි. කෙළ ලක්ෂයක් හිමවු කුළු නස්සි. කෙළ ලක්ෂයක් කුල පව්වෝ නස්සි. කෙල ලක්ෂයක් දෙව්ලෝ නස්සි. හිර සඳ නස්සි. බඹ ලෝ නස්සි. ඒ කල්පාන්ත විනාශයෙන් ගැලවෙනු කැමති නම් මවුන්ට මෙහෙ කරව. පියන්ට කීකරු වව. කුලදෙටුවන් පුදව. පස් පවු නොකරව. පන්සිල් රකුව. යනාදීන් ඔවා තෙපුලෙන් අවවාද දී ඇවිදිති.’

මේ අනුව මෙම දෙවියාගේ ප්‍රකාශනය ඇසූ මිනිසුන් කල්ප විනාශය ඇති වන්නේ යයි බියෙන් කළ කෑ කෝ ගැසීම් පූජාවලියෙහි දැක්වෙන්නේ කල්ප කෝලාහලය යනුවෙනි.

2. චක්‍රවර්තී කෝලාහලය නම් කවර යත්,

සක්විති රජ කෙනකු ලොව පහළ වීමට අවුරුදු සීයක් තිබියදී පෙර සේම එක්තරා දේවතා කෙනෙක් රජ මඟුල් වෙසක් ගෙන සක්වළ ඇවිදිමින් මෙසේ පළ කරයි.

‘පින්වත් වූ ජනයෙනි, සියක් හවුරුදු ගිය කල සක්විති රජෙක් මේ සක්වළ උපදී. ඔහු උපන් කල රා පිය නොහැක්ක. බොරු කිය නොහැක්ක. සොරකම් කළ නොහැක්ක. සතුන් මැරිය නොහැක්ක. පරදාරයෙහි අනාචාර කළ නොහැක්ක. යමෙක් තමා රහසත් මේ පස් පවින් පවක් කළේ නම් ඔවුන් ඉස් පැළී යෙයි. මතු තොප පස් පව් නොකිරීමට දැන් පටන් අභ්‍යාස කරව. පන්සිල් රකුව. යනාදීන් ඔවා තෙපුල් කිය කියා මුළු සක්වළ වටා ඇවිදිති.’

මේ අනුව සක්වළ වැසියන් කෝලාහල කරන්නට පටන් ගත්තේ සක්විති රජකු පහළ වීමත් සමඟම චින්තාමාණික්‍යය පහළ වන බව, මංගල හස්තිරාජයකු පහළ වන බව, අස් රුවනක් පහළ වන බව, අග බිසෝ රුවනක් පහළ වන බව, පුත් රුවනක් පහළ වන බව සිටු රුවනක් පහළ වන බව ද ආදී වශයෙන් කියමිනි. මෙය පූජාවලියෙහි චක්‍රවර්ති කෝලාහලය නම් වෙයි.

3. බුද්ධ කෝලාහලය නම් කවර යත්,

බුදු කෙනකු ලොව පහළ වන්නට අවුරුදු දහසක් තිබියදී සුද්ධාවාස දෙවි කෙනෙක් සුදු වස්ත්‍රයක් හැඳ සුදු වස්ත්‍රයක් ඒකාංශ කොට සුදු මල් මාලාවක් පැලඳ සුබ මඟුල් වෙසක් ගෙන සක්වළ වටා ඇවිදිමින් සියලු සත්වයන්ට ඒ බව දැනුම් දුන්නේ මෙසේය.

‘පින්වත් වූ සත්වයෙනි, මෙතැන් පටන් දහසක් හවුරුදු ගිය කල ලොව්තුරා බුදු කෙනෙක ලොව ඉපිදැ දහම් වැසි වස්වා සසර ගිම් නිවා නිවන් පුරයෙහි දොර හරිති. ඒ බුදු සිරි දක්නා කෙනෙක් පංචානන්තර්ය කර්මයන් නොකරව. මවුපියන්ට ආක්‍රෝෂ පරිභව නොකරව, නියත මිථ්‍යාදෘෂ්ටි නොගනුව. පංචශීලය රක්ෂා කරව. පවු නොකරව. ව්‍රතයන් නොගනුව. ත්‍රිවිධ වූ සුචරිත ධර්මයන් පුරව. දසපින් කිරියවත් පුරව. ඒ බුදුන් දක්නා සේ පතව.’

මේ ඇසූ මිනිස්සු ද දෙවියෝ ද බඹහු ද දහසක් අවුරුදු පුරා මේ ප්‍රීතිය උදෙසා කරන ලද කෝලාහලය බුද්ධ කෝලාහලය නම් වෙයි.

4. මංගල කෝලාහලය නම් කවර යත්,

බුදුරදුන් මංගල සුත්‍රය දේශනා කිරීමට පළමුව දොළොස් හවුරුද්දක් පුරා දෙවියන් විසින් මංගල කරුණු අරබයා සිදු කළ කෝලාහලයයි.

5. මෝනෙය්‍ය කෝලාහලය නම් කවර යත්,

තවත් සත් වසකින් පසු බුදුරදුන් වෙත පිවිසෙන මහණ කෙනෙකු මෝනෙය්‍ය ධර්ම හෙවත් බුද්ධකාරක ධර්ම විචාරති යි එක්තරා දෙවි කෙනෙක් සක්වළ පුරා ඇවිද කළ ප්‍රකාශයකින් සතුටට පත් සියලු සත්වයන් විසින් කරන ලද කෝලාහලය මෝනෙය්‍ය කෝලාහලය නම් වෙයි.

උපකාරක ග්‍රන්ථ – පූජාවලි පංච කෝලාහලය

අපේ බුදුහාමුදුරුවෝ 294 (සන්තිකේ නිධානය)

මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 04
ලොවෙහි සහ සාසනයෙහි ප්‍රභලතම අත්හැරීම

මෝනෙය්‍ය කෝලාහලය

තවත් සත් වසකින් පසු බුදුරදුන් වෙත පිවිසෙන මහණ කෙනෙකු මෝනෙය්‍ය ධර්ම හෙවත් බුද්ධකාරක ධර්ම විචාරති යි එක්තරා දෙවි කෙනෙක් සක්වළ පුරා ඇවිද කළ ප්‍රකාශයකින් සතුටට පත් සියලු සත්වයන් විසින් කරන ලද කෝලාහලය මෝනෙය්‍ය කෝලාහලය නම් වෙනවා.

නාලක තවුසා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම.

ඒවනවිටත් නාලක තවුසා සිද්ධාර්ථ කුමාරගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ඒ ආසන්නයේම තවුස් දම් පුරමින් සිටියේ. ඔහු ඒ වන විටත් බොහෝ දෙවි දෙවතුවන් සමග සම්බන්ධතා ඇති කරගෙන සිටියේ. ඒ අය සසර පුරාවට පැමිණි කල්‍යාණ මිත්‍රයන් වෙන්න ඇති . ඔවුන් මුන් වහන්සේගේ ප්‍රාර්ථනය දැනගෙන ඉන්නත් ඇති. සමහරවිට මෝනෙය්‍ය කෝලාහලය ඇති කරන්නට ඇත්තෙත් ඒ අය වෙන්න ඇති. ඒ වගේම නාලක තෙරුන් කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි පාරමිතාව උන් වහන්සේ මතක් කොට දෙන්න ඇත්තෙත් ඒ අ අයමද දන්නේ නැහැ. ඒ එක්කම සම්මා සම්බුදු බුදුවරයෙකු ලොව පහල වූ බව උන් වහන්සේට හිතවත් දේව මණ්ඩලයක් විසින් දන්වා සිටි බවයි අට්ඨ කතාවෙහි සඳහන් වෙන්නේ. එවිට අපගේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව ඉසිපතනයේ දම්සක් පවත්වා නාලක තවුසාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා. දෙවියන්ගේ ආරාධනාවෙන් පසු නාලක තවුසා ට අසිත තපස තුමා අවසන් වරට කී දෙය මතක් වුනා. උතුම් නුවණ, සිවුසස් දැනීමේ මග-නුවණ යන බවයි. එමෙන්ම ‘දහම් මග හෙළිදරව් වන කාලයේදී, එහි ගොස්, ඒ ගැන විමසා, භාග්‍යවතුන් වහන්සේ උදෙසා බඹසර හැසිරෙව’යි නාලක මයිලණුවනට දුන් අවවාදයද මතකයට පැමිණියා . මේ එයට කාලයයි. එහෙයින්, අසිත ඉසිවරයාගේ දැනුම් දීම අනුව පිළිපැදිය යුතු කල් පැමිණියේ යැයි සිහියට නගමින් ලොව එක් බුද්ධසාසනයක එකම එක ශ්‍රාවකයකු පමණක් කරනු ලබන ලොව ප්‍රභලතම අත්හැරීමෙහි කමටහන් ගැනීමට සෙමින් සෙමින් බුදුන් වෙත පියමැන්නා. එදා දෙවු ලොව මෝනෙය්‍ය කෝලාහලය පැවැත්වෙන සත්වෙනි දිනය බොහෝ දෙවිවරු මේ අසිරිමත් දර්ශණය බලන්නට දින ගනිමින් බලා සිටියත් පස්වග මහණුන්ට හැර අනෙකුත් පෘථග්ජන මිනිසුන්ට ඒ දසුණ විද්‍යමාන වුයේ නැහැ.

බුදුන් වහන්සේ විසින් නාලක තාපසයනට මොනෙය්‍ය වත දේශනා කිරීම

නාලක තවුසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ නමස්කාර කරමින් එකත්පසේකව වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ සුමදුර ස්වරයෙන් ඔහුට මොනෙය්‍ය වත ගැන දේශණා කරන්නට පටන් ගත්තා.

මොනෙය්‍ය වත වනාහි උතුම් මුණිවරයන් විසින් පමණක් අනුගමනය කරනු ලබන උතුම් පිළිවෙතක්. එය සාමාන්‍ය පුද්ගලයෙකුට රැකිය හැකි අනුගමනය කල හැකි පිළිවෙතක් නොවෙයි. මෙලෙස භාග්‍යවතුන් වහන්සේ මුනි පිළිවෙතෙහි අපහසුතාව හා පහසුවෙන් ළංවිය නොහැකි බව පෙන්වා දෙමින්, නාලක තවුසා උත්සාහවත් කොට, ඔබට ඒ මුනිවරයාගේ පිළිවෙත පවසමි. එවැනි අපහසු දේ කිරීමට හැකිවීමෙන්ද, උත්සාහ ඇතිකර ගැනීමෙන් ද තමන්ට උපකාර කරගනුව. එය ලඟාකර ගැනීමට පහසු නොවන හෙයින්, ඒ සඳහා ඉවසීමෙන් යුතුව, ලිහිල් නොවූ, දැඩි උත්සාහයෙන් නොවෙනස්ව කටයුතු කරව. ඔබ පෙර රැස්කරන ලද පින් ඇත්තෙකි. අපහසු වූ, පහසුවෙන් ලද නොහැකි ඒ මුනි පිළිවෙත ඔබට මෙසේ පවසමි. එහෙයින් නිසැකවම එහි යෙදෙමින් උත්සාහ වඩව.

මෙසේ කෙලෙස් දුරුවන, උතුම් මුනි පිළිවෙත පහදා දෙනු කැමතිව, නාලක තවුසා උත්සාහවත් කොට, දැඩි ලෙස එහි යොදවීමට ඒ ගාම්භීර දේශණය ආරම්භ කරනු ලැබුවා. මෙය දීර්ඝ දේශනාවක් නිසා මම එය නොලියන්නට සිතා ගත්තා. ඔබට නාලක සූත්‍ර දේශනාව සහ ඊට අදාල උප ග්‍රන්ථ කියවීමෙන් ඒ ගැන යම් අවබෝධයකට පැමිණිය හැකියි.

ඒ ඇසූ නාලක හිමි, දැකීමෙහි, ඇසීමෙහි, විමසීමෙහි යන තුන් තන්හි සෑහීමකට පත්ව වුවා. නාලක හිමි දේසනාව අවසානයෙහි පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේස්ට වැඳ වනයට පිවිස, නැවත, මම භාග්‍යවතුන් වහන්සේ දකින්නෙම් නම් මැනව’යි කැමැත්තක් දැක්වුයේ නැහැ. මේ දැකීමෙහි සෑහීමට පත්වන අයුරුයි, එසේම, ‘මම නැවත දහම් අසන්නෙමි’යි කැමැත්තක් ඇතිකර නොගැනීම ඇසීමෙහි සෑහීමට පත්වීමයි. ‘මම නැවත මොනෙය්‍ය පිළිවෙත විමසන්නෙමි’යි කැමති නොවීම විමසීමෙහි සෑහීමට පත්වීමයි.

මෙසේ සෑහීමට පත්ව, බුදුපියාණන් වහන්සේගෙන් සමුගත්තා. ඒ උන්වහන්සේ විසින් බුදුපියාණන් වහන්සේ දකිනු ලැබුද, ධර්ම ශ්‍රවණය කළා වුද, වන්දනා කරනු ලැබුවා වුද ප්‍රථම සහ අවසාන අවස්ථාවයි. පුදුම අත්හැරීමක් යලිත් උන්වහන්සේට බුදුරජාණන් වහන්සේව දකින්නට හෝ බණ අසන්නට සිතක් පහල වුයේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන පව්වෙහි පාමුලට පිවිස, එතැන් සිට එක වන පියසක දවස් දෙකක් නොසිටිය. එක් ගසක් මුල දින දෙකක් නොසිටිය. එකම ගමෙහි දින දෙකක් පිඬු පිණිස නොගිය. මේ අයුරින් කැලයෙන් කැලයට, ගසෙන් ගසට, ගමෙන් ගමට ඇවිදිමින්, සුදුසු පිළිවෙත අනුව අග පලයෙහි පිහිටිය.

බුදුන් වෙනුවෙන් ප්‍රථමයෙන්ම පැවිදිභාවයට පැමිණිය වුද බුද්ධ සාසනයේ ප්‍රථමයෙන්ම පිරිනිවූ වූද බුද්ධ ශ්‍රාවකයාණෝ

මොනෙය්‍ය පිළිවෙත දැඩිව උත්සාහවත්ව පුරන පැවිද්දා ජිවත් වන්නේ සත් මසයි . සමව උත්සාහවත් වන පැවිද්දා ජීවත් වන්නේ සත් වසරයි. අඩුතරමින් පිළිවෙත් පුරන පැවිද්දා ජීවත්වන්නේ වසර දහසයයි . ඒ පිළිවෙතෙහි දැඩි ලෙස පිහිටනු ලැබූ නාලක හිමිපාණන් වහන්සේට ජිවත් වීමට හැකි වුයේ මාස සතක් පමණයි. ආයු කාලය අවසන් බව දැනගත් වුන්වහන්සේ , දිය නා, සිවුරු හැඳ, පටිය බැඳ, සඟල සිවුර පොරවා, බුදුරජාණන් වහන්සේ වැඩසිටින දෙසට පසඟ පිහිටුවා වැඳ, ඇඳිලි බැඳ, සිටිනා ඉරියව්වෙන්ම රත්හිරියල් පව්වෙහි අනුපාදිසෙස පිරිනිවනට පත්වුණා. . භාග්‍යවතුන් වහන්සේ නාලක පිරිනිවන්පෑ බව දැන, බික්සඟන පිරිවරා ගොස්, සිරුරු කිස කොට, ධාතු ගෙන සෑයක් පිහිටුවා ආපසු වැඩම කළා. ඒ අපගේ තවත් එක් අසූ මහා ශ්‍රාවකයෙකුගේ නිහඬ වීමයි. එලෙසම බුද්ධ සාසනයේ ප්‍රතමයෙන්ම පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේයි. ඊට ප්‍රථම වෙන කෙනෙකු ගැන සඳහනක් දුටුවේ නැහැ.

උපකාරක ග්‍රන්ථ – සුත්තපිටකයේ/ සංයුක්තනිකාය/ ඛන්ධකවග්ග/ ඛන්ධසංයුත්ත/ උපයවග්ග/නාලක සුත්‍රය

අපේ බුදුහාමුදුරුවෝ 295 (සන්තිකේ නිධානය)

මහත් වූ දානයෙහි පිනෙන් කල්ප එක්දහස්‌ අටසියයක්‌ දෙව්ලොව සැරිසැරූ යසකුල පුත්‍රයා 01

නාලක තෙරුන් යලිත් කිසිදා නොඑන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන නොපෙනී ගියා. සමහර බුද්ධ සාසන වල ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශණා කර අවසන් වනවිටම ලක්ෂ සංඛ්‍යාත සංඝ පිරිසක් ප්රිවිර ලෙස ඇති වී අවසානයි. ඒත් මේ මොහොත වනවිට අපේ බුදුහාමුදුරුවන් සමග වැඩවසන්නේ පස්වග තවුසන් පමණයි. කල්ප ලක්ෂගණන් පාරමී දම් පුරා පැමිණී බුද්ධත්වයට බුද්ධත්වයට පසු කල යුතු ප්‍රධාන බුද්ධ කෘත්‍යක් තිබෙනවා. ඒ තමයි ලෝකසත්වයාගේ හිත සුව පිණිස දර්ම ප්‍රචාරය කිරීම. සත්‍ය වශයෙන්ම ඒ සියල්ල විශ්වය විසින්ම සැලසුම් කොට ඇති බවක් තමයි පෙනෙන්නට ඇත්තේ.අපේ බුදුහාමුදුරුවෝ ත් ඒ දිනය එනතෙක් භාවනා යෝගීව වැඩසිටිනවා. අන්න ඒ මොහොත බලගන්වන්න තමයි මේ මොහොතේ යසකුල පුත්‍රයාගේ මනස සැකසෙන්න පටන්ගත්තේ. ඔහු ඒ සඳහාම පැමිණි මහා පුණ්‍යවන්ත සිටු කුමරෙක්. ඔහුගේ අභිනික්මණය ගැන කියන්නට පෙර ඔහුගේ සුවිශේෂ පූර්ව අත්මභාවයක් ගැන දැන සිටියොත් හොඳයි කියලා හිතුනා.

මහා සමුදුර අභියස අහසට පැනනැගුන පෙර යසකුල පුතුන්ගේ මාළිගය;

එතුමන්ද බුදුවරු හමුවෙහි කරන ලද නා නා ප්‍රර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී සැරිසරමින් සසරින්‌ මිදීම සඳහා පින්‌ රැස්කරමින්‌ පැමිණ සුමේධ නම්‌ භාග්‍යවතුන්‌ වහන්සේ ලොව උපන්‌ කාලයෙහි මහානුභාව නාගරාජයෙකු වී උපත ලැබුවා.

“ඔහුගේ පිනෙහි තෙද බවට මහ සමුදුර සමීපයෙහි භවනයක්‌ මැවුණා. සක්වාලිගිණි හඬ ඇති මණුර, පියුම්‌, උපුල්‌ මලින්‌ ගැවසුණු පොකුණක්‌ ඒ අසල මැවුණා. ඒ පෙදෙසෙහි සිත්කලු වූ මනා තොටුපල ඇති මස්‌ කැසුබුවන්‌ ගැවසුනු විහඟ සමූහයා රැස්වූ නදියක්‌ නිරතුරුවම ගලබසිනවා. මොණර, කොස්වාලිහිණි. කොවුල්‌ ආදී පක්‍ෂි නාදයෙන්‌ ඒ මනරම්‌ නදී පෙදෙස නිරන්තරයෙන්ම දොඩමලු වුනා . පරවි, රවිහංස, සක්වා ලිහිණි, නදීචර, දිය කිරල, සැළලිහිණි, උණහපුළු, ජීවංජිරක යන මොවුහු එහි රැස්ව සිටිය. එහි නිති රැව්දෙන හංසයෝ, කොස්වා ලිහිණියෝ, බකමුහුනෝ, පිංගලයෝ යන පක්‍ෂීහු බොහෝ වූනා. සත්රුවනින්‌ පිරි මිණිමුතු සහිත වැලිද නොයෙක්‌ සුවඳ හමන හැම රන්මුවා වූ ගස්‌ ද ඒ භවනය දිචා රෑ හැමකල්හි බබුලුවනු ලැබුවා.

සැටදාහක්‌ තූර්යනාද උදේ සවස පැවැත්වෙයි. හැම කල්හිම සොළොස්‌ දහසක්‌ ස්ත්‍රීහු ඔහු පිරිවරාගෙන සිටියා. ඒ කාලයේම තමයි සුමේධ භාග්‍යවතුන් වහන්සේ ලොව පහල වී සිටියේ. සංසාර පුරුද්දටම වෙන්න ඇති මේ සැපසම්පත් මැදත් ඔහුට භාග්‍යවතුන් වහන්සේ දකින්නට සිත් වුනා.

ලක්ෂයක් වූ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ සංඝ පිරිවරට දුන් මහා දානය

එක දිනක තම භවනෙන් නික්මුණු ඔහු ප්‍රසන්න වූ සිතින්‌ සතුටු සිතින්‌ මහත්‌ යශස්‌ ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරදුන්‌ වහන්සේගේ දෙපා මුලට පැමිණ වන්දනා කරන්නට වුණා. බුදුරදුන්ට වැඳ, සංඝයා සහිත උන්වහන්සේට දන්‌ පිණිස ආරාධනා කරනු ලැබුවා.. ලෝකනායක වූ ප්‍රාඥවූ බුදුරජහු එය පිළිගත්තා. අනුතුරුව උන්වහන්සේ ඔහු හට ධර්ම දේශනයක් කළා. හරිම පුදුමයි ඒ බුදුන් හමුවේ ඔහුට මගඵල අවබෝධ වූයේ නැහැ. ඒ සුවිශේෂ වගකීමක් අප භාග්‍යවතුන් වහන්සේ හමුවේ තිබෙන නිසා වෙන්නට ඇති. ඒ උතුමන් උන්වහන්සේට වැඳ ඔහුගේ භවනට පැමිණ පිරිවර ජනයා අමතා, මෙලෙස කිවා.

පෙරවරු කල්හි බුදුරජහු මාගේ භවනට වඩිනසේක. නුඹලා සැම රැස්වවු” . ඒ පිරිවර ජනයා” ඔබ සමීපයෙහි විසීම අපට වූ ලාභයකි. යහපත්‌ ලැබීමකි. අපිත්‌ ශාස්තෘ වූ බුදුරජාණන්‌ වහන්සේට පූජාවක්‌ කරන්නෙමු”යි පවසා සිටියා. . ආහාරපාන පිළියෙල කළ ඔහු ඒ බව බුදුරදුන්ට දන්වා සිටියා. . ලෝකනායක වූ උන්වහන්සේ ලක්‍ෂයක්‌ රහතුන්‌ පිරිවරා දනට වැඩම කරවනු ලැබුවා. පසඟතුරු සහිත වු ඔහු පෙරගමන්‌ කලා. උන්වහන්සේට වැඩ සිටීමට රනින් කරනු ලැබූ ආසනයක් පනවා තිබුනා. පුරුෂෝත්තම වූ බුදුරජාණන්‌ වහන්සේ මුළුමනින්‌ම රනින්‌ නිමවූ පුටුවෙහි වැඩහුන්නා. උන්වහන්සේට රනින්ම නිම වූ උඬුවියනක්‌ ද පනවනු ලැබුවා . ලක්ෂයක් වූ භික්‍ෂු සංඝයා අතරෙහි වූ පිරිස් චිජිනිපතින්‌ උන්වහන්සේලා හට පවන් සලනු ලැබුවා.. බොහෝ වූ ආහාර පානයන්ගෙන්‌ භික්‍ෂු සංඝයා සන්තර්පනය කරනු ලැබුවා; . වෙන්‌ වෙන්‌ වූ වස්ත්‍ර යුගල බැගින්‌ භික්‍ෂු සංඝයාට වස්තු පුදනු ලැබුවා. ලෝකයාගේ පූජාවන්‌ පිළිගන්නා වූ සුමේධ නම්‌ බුදුපියාණන්‌ වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙසේ වදාරනු ලැබුවා;

එය යසතෙරගතාවන්හි උන්වහන්සේගේ වචනයෙන්ම මෙලෙස සනිටුහන් වෙනවා;

යසකුල පුත්‍රයා සුමේධ භාග්‍යවතුන් හමුවේ ලද ආශීර්වාදය

“මා ඇතුළු ශ්‍රාවකයන්‌ ආහාරයෙන්‌, පානවර්ගවලින්‌ තෘප්තිමත්‌ කළ පුද්ගලයා පිළිබඳව පවසමි. ඒ මාගේ වචනය අසවු, හෙතෙම මින්‌ මතු කල්ප එක්දහස්‌ අටසියයක්‌ දෙව්ලොව සිත්‌ අලවා වෙසෙන්නේ ය. දහස්වරක්‌ සක්විති රජ වන්නේ ය. දෙව්‌ මිනිස්‌ දෙගතියෙහි සැරිසරන ඔහුට සැමදා රන්වන්‌ වියනක්‌ ඇතිවන්නේ ය. මෙයින්‌ තිස්‌ දහස්‌ කල්පයක්‌ ගෙවීමෙන්‌ ඔක්කාක කුලයේ උපදින ගෞතම නම්‌ ශාස්තෘන්‌ වහන්සේ ලොව පහළවන සේක. මොහු, උන්වහන්සේගේ ධර්මය දායාද කරගත්‌ ධර්මයෙන්‌ නිර්මිත කළාවක්‌ වැනි වූ බුද්ධපුත්‍රයෙක්‌ ​වන්නේ ය. සියලු ආශ්‍රව දන අනාශ්‍රව වුයේ පිරිනිවන්‌ පාන්නේ ය. හෙතෙම භික්‍ෂු සංඝයා මැද හිඳ අභීත සිංහනාද කරන්නේය. මළ සිරුර මත පවා ඡත්‍රයක්‌ දරන්නේය. ඡත්‍රය යටදී උන්වහන්සේගේ සිරුර ආදාහනය වන්නේය. “මම දන්‌ සෝවාන්‌ ආදී මගඵල නුවණ ලබා සිදුකරගත්‌ ශ්‍රමණ ඵල ඇත්තෙක්මි. මම සියලු කෙලෙස්‌ දැවූවෙමි. මණ්ඩපයක හෝ රුක්‌ මුලක සිටි මා හට සන්තාපයක්‌ ඇති නොවේ. මෙයින්‌ කල්ප තිස්දහසකට පෙර දුන්‌ දානයේ විපාක වශයෙන්‌ දුගතියක නූපන්නෙමි. සියලු දේ දීමෙහි විපාකය මෙබඳුය. මවිසින්‌ සියලු කෙලෙස්‌ දවන ලදී. – පෙ – බුදුරජාණන්‌ වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.

උපකාරක ග්‍රන්ථ – (මහාවග‍්ගපාළිය /මහාක‍්ඛන්‍ධකං/ යසස‍්ස පබ‍්බජ‍්ජා)
ථෙරගාථාපාළි/එකකනිපාතො/වග‍්ගො ද‍්වාදසමො/යසත්‍ථෙරගාථා

අපේ බුදුහාමුදුරුවෝ 296 (සන්තිකේ නිධානය)

මහත් වූ දානයෙහි පිනෙන් කල්ප එක්දහස්‌ අටසියයක්‌ දෙව්ලොව සැරිසැරූ යසකුල පුත්‍රයා 02
යසකුල පුත්‍රයාගේ මාලිගා තුන සහ අන්තපුරය

මෙලෙස එම පින්කමේ චිපාක වශයෙන්‌ දෙව්‌ මිනිස්‌ දෙගතියේ සැරිසැරූ හෙතෙම සිද්ධත්​ව භාග්‍යවතුන්‌ වහන්සේගේ කාලයේ දි සිටුපුතෙක්‌ ව මහ බෝ මැඬට සත්විධ රත්නයන්ගෙන්‌ පූජා කරනු ලැබුවා. මෙසේ කාම සුගතීන්‌ හි ම සැරි සරමින්‌ අවුත්‌ අපගේ භාග්‍යවතුන්‌ වහන්සේගේ කාලයේ දී මහත්‌ සම්පත්‌ ඇනි සිටුවරයෙකුට දාව බරණැස්‌ නුවර දී ඉපිද යස නමින්‌ ප්‍රකට වුණා. ඔහු අතිශයින්‌ සියුමැලියි. ඔහුටත් සිදුහත් කුමාරයාණන්ට වගේම ඔහුට ප්‍රාසාදයෝ තුණක් හිමිවුණා. එක් ප්‍රාසාදයෙක් හෙමන්ත ඍතුවට සුදුසු පරිදින්ද, එක් ප්‍රාසාදෙයක් ග්‍රීෂ්ම ඍතුවට සුදුසු පරිදින්ද, එක් ප්‍රාසාදයෙක් වර්‍ෂාසෘතුවට සුදුසු පරිදින්ද, නිමකොට තිබුණා. මේ වනවිටත් වස්සාන කාලය පැමිණ තිබුනා. විශේෂයෙන්ම වැසිකලට සුදුසු පහයෙහි වැසි සාරමසයෙහිම ස්ත්‍රීන් විසින්ම වාදනය කළ තුර්‍ය්‍යයන් ගෙන් සන්තර්පණය වෙමින් හැම ලෙසින් ඉඳුරන් පිණවමින් විනෝදවෙමින් කාමභෝගී දිවියක් ගතකරන ඔහු යටපහයට නිකමටවත් බැස්සේ නැහැ කියනවා.

මාළිගාව අත්හැරදමා පිටවීම.

එදත් එවැනිම තවත් දිනයක්. පස්කම්ගුණයෙන් මොනවට සෑහීමට පැමිණි හැම ලෙසින් ඉඳුරන් පිණවන යස කුලපුත්‍රයාහට එදා හැමට පළමුව නින්ද ගියා. ඒ නිසාම සිද්ධාර්ථ කුමරා අභිනික්මන කල දිනයේ මෙන්ම සියලු කරුණු සැකසෙමින් තිබුනේ ඔහුවත් මෙම කාම උගුලෙන් නෙරපා දැමීමට. ඔහු නින්දට වැටි නිසාම පිරිවර ජනයාහට ද නින්ද ගිහින්. එහෙත් මුළු රෑ පුරාවටම තෙල් පහන් දැල්වී තිබුනේ.

හදිසියේම යසකුලපුත්‍රයා හට තිගැස්සී ඇහැරුණා. එවිට තමන් අවට නිදන සිය පිරිවර දුටුවා.එක් ස්ත්‍රියකගේ කිසිල්ලෙහි වීණාව. එක් ස්ත්‍රියකගේ බෙල්ලේ මිහිඟුබෙරය. එක් ස්ත්‍රියකගේ කිසිල්ලෙහි පණාබෙරය. තව කෙනෙකු අවුල් වූ කෙස් ඇතිවද, තව කෙනෙකු කුණු කෙළ වැහෙමින්ද, තව කෙනෙකු හීනෙන් දොඩවමින්ද යන ආකාරයෙන් මොහොතකට කලින් සුරගලියන් මෙන් දිස්වූ නළගණන් අමු සොහොනක නරක වූ මළ මිනි මෙන් වෙලා. හරිම පුදුමයි. ඒ දර්ශණ දුටුවිටම ඔහුට සිහිය එළඹුණා. සසර කළකිරීමෙහි සිත පිහිටිය. ඒ සියල්ල හිමිකර දෙන්න ඇත්තේ සංසාරේ සුමේධ බුදුන් හමුවේ කල ප්‍රාර්ථනා වෙන්නට ඇති.

එවිටම ඔහු උදාන වාක්‍යයක් පහල කළා. “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදි ක්ලෙශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. භවත්නි, තෘෂ්ණාදික්ලෙශයන් විසින්. දැඩි කොට ගන්නා ලද්දේ ය”

දෙවියන් විසින් මාලිගයේ සහ නුවර ප්‍රධාන දොරටු විවර කොටදීම.

ඉන්පසු යසකුලපුත්‍රයා මහත් වූ කුසල ශක්තියෙන්ම හිමි වූ රන්මිරිවැඩිසඟළ පය ලා නිවෙස්දොරට පැමිණිය. මේ සියල්ලම ඉවසිල්ලෙන් දෙවිවරු බලාසිටියා. දෙවියෝ “යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය ‍නො කෙරේවා” යි ප්‍රාර්ථනය කරමින් විශේෂ දොරක් මවා දුන්නේ දොරටුපාලකයනට නොපෙනී මාලිගාවෙන් පිටවීමට. ඔහු මාලිගයෙන් පිටවී නුවර දොරටුව වෙත පැමිණියා. යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය නො කෙරේවා” යි දෙයැයි ආශීර්වාද කරමින් නැවතත් දෙවිවරුන් විසින් නුවර ප්‍රධාන දොරටුවත් විවර කොට දුන්නේ කිසිවෙකුට නොපෙනෙන්නට, බුදුරජාණන් වහන්සේ ව මුණගැසීමට යන ගමනට බාධාවක් ඇති නොවීමට. .

භාග්‍යවතුන් වහන්සේ මුණගැසීම

යසකුලපුත්‍රතෙමේ ඉසිපතනය වූ මිගදාය දෙසට සෙමින් සෙමින් පියමැන්නේ මෙම සසර දුකින් මිදෙන්නට ක්‍රමයක් සොයන්නට වෙන්න ඇති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අලුයම්වේලෙහි නැඟී සිට එළිමහනෙහි සක්මන් කරමින් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ යසකුලපුත්‍රයා දුර දී ම දුටුවා. දැක, සක්මනින් ඉවත් වී පැණවූ අසුනෙහි වැඩ සිටියා. එකල්හි යසකුලපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සිට “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදික්ලෙශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. තෘෂණාදික්ලෙශයන් විසින් දැඩි කොට ගන්නා ලද්දේ ය” යි නැවතත් උදම් ඇනීමට වුණා.

එය අසාසිටි භාග්‍යවතුන් වහන්සේ යසකුලපුත්‍රයාහට “යසය, මෙහි තෘෂ්ණාදික්ලෙශයන් විසින් පීඩා නො කරණ ලද්දේ ය. තෘෂ්ණාදි ක්ලෙශයන් විසින් දැඩි කොට නො ගන්නා ලද්දේ ය. යසය, එව. හිඳුව, තට දහම් දෙසන්නෙමි” යි වදාරනු ලැබුවා. එය කන වැටුණු යසකුල පුත්‍රයාට පුදුම සතුටක් ඇති වුනේ. ඒ “මේ පීඩා නො කරණ ලද්දේ, මේ දැඩි කොට නො ගන්නා ලද්දේ” යන වචන අහලා. ඔහු කොතරම් සතුටු වුනාද ඔද වැඩුනාද කිවතොත් පැළඳ පැමිණි රත්රන් මිරිවැඩිසඟළ එතැනම ගලවා භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හසුන් ගනු ලැබුවා. පසෙක හුන්නා වූ යසකුලපුත්‍රයාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළකථාවවවදාරනු ලැබුවා. . එනම්:– දානකථාව, සීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගේ දොෂය, ලාමකභාවය, කෙලෙසීමට හෙතු වන ගිහිගෙන් නික්මීමෙහි අනුසස් යනාදී කරුණු දේශණා කරනු ලැබුවා.

යසකුලපුත්‍රයා සොවන්භාවයට පත්වීම.

 භාග්‍යවතුන් වහන්සේ මෙලෙස ක්‍රමක්‍රමයෙන් ධර්ම දේශණා කරමින් යන අතර තුර යසකුලපුත්‍රයා කාමච්ඡන්දය පහ වීමෙන් යොග්‍ය වූ සිත් ඇත්තෙකැ යි ද, ව්‍යාපාදය දුරු වීමෙන් මොළොක් වූ සිත් ඇත්තෙකැ යි ද, උද්ධච්චකුක්කුච්චය දුරු වීමෙන් නො විසිරුණු සිත් ඇත්තෙකැ යි ද ථීනමිද්ධය පහ වීමෙන් නො හැකුළුනු සිත් ඇත්තෙකැ යි ද විචිකිච්ඡාව දුරු වීමෙන් නිසැක සිත් ඇත්තෙකැ යි ද දිවැසින් දුටුවා. එකල්හි බුදුවරයන්ගේ තමා ම උසස්බවට පැමිණි යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරොධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ වතුරාර්‍ය්‍යසත්‍යය ඔහුට දේශනා කරනු ලැබුවා. පහ වූ කිලුටු ඇති පිරිසුදු වස්ත්‍ර‍යක් මනා සේ සායම් ගන්නේ යම් සේ ද, එපරිද්දෙන් යසකුලපුත්‍රයාහට ඒ අසුනෙහි දී ම “හටගැණීම ස්වභාවය කොට ඇති යම්කිසිවක් වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන රාගාදිරජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම්ඇස (සොතාපත්තිඤාණය) පහළ වූනා.

උපකාරක ග්‍රන්ථ – (මහාවග‍්ගපාළිය /මහාක‍්ඛන්‍ධකං/ යසස‍්ස පබ‍්බජ‍්ජා)
ථෙරගාථාපාළි/එකකනිපාතො/වග‍්ගො ද‍්වාදසමො/යසත්‍ථෙරගාථා

අපේ බුදුහාමුදුරුවෝ 297 (සන්තිකේ නිධානය)

යසකුල පුත්‍රයා 03
අප බුද්ධ සාසනයේ පළමු තෙවාචික උපාසක (තිසරණය සරණ ගිය) වූ යසකුල පුත්‍රයාගේ පියා (බරණැස සිටු)

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මිහිතලයට තවත් දිනකට හිරු උදාවෙමින් තිබුනේ. යසකුලපුත්‍රයාගේ මවුතුමිය ඔහු නිදා සිටි මාලිගයට හිමිදිරියේම දුවගෙන පැමිණියේ ඔහු එහි නොමැති බවට සේවකයන්ගෙන් ලැබුණු පණිවිඩයකින් වෙන්න ඇති. ඇය මාලිගය පුරා විපරම් කොට බැලුවත් ඔහු ගේ සේයාවක්වත් එහි දකින්නට තිබුනේ නැති නිසා හඬා වැළපෙමින් සිටුවරයා වෙත දිව ගියා. දිව ගොස්, සිටුවරයාට “අනේ ඔබගේ පුත් වූ යසතෙමේ නො දක්නා ලැබේ” යයි හඬමින් පවසන්නට වුනා. මහත් බිය වූ සිටුතුමා වහාම අසුනින් නැගී සිටියා. නැඟී සිටි ඔහු ඒ මොහොතේම දූතයන් සිවුදිගට යැවීමට කටයුතු කරනු ලැබුවා. මොහොතක් කල්පනාකාරීව සිටි ඔහු තව දුරටත් මාලිගයේ හිඳුනු නොහැකිව එළියට බැස “පුතු කෙසේ හෝ සොයාගෙන මිස මාලිගයට නොපැමිණෙන්නෙමි” යන සිතෙන් අසුනෙන් නැගී සිටියේ මවගේ වැළපීම තව දුරටත් අසා සිටිනු නොහැකිව. ඔහු බුදුන් වැඩ සිටි ඉසිපතන නම් වූ මෘගදාය දෙසට පියමන්නේ ඉබේටම වගේ. එයත් දෙවිවරුන්ගේ අනුභාවයෙන් වුන දෙයක්ද කියා කියන්නට දන්නේ නැහැ. තවමත් හිමිදිරිය නිසා කුමරා ගිය මග වූ සුවර්‍ණපාදුකාවන්ගේ අඩි තවමත් මැකී තිබුනේ නැහැ. අනික එය රනින් කරනු ලැබූ සුවිශේෂී මිරිවැඩි යුවලක්. එවැනි පා සටහනක් දඹදිව තව වෙන කෙනෙකුට තිබිය හැක්කක් නොවේ. ඔහු ඒ දැක, එය අනු ව යන්නට වුනා.

භාග්‍යවතුන් වහන්සේ දුරසිටම තම වෙතට පියමනින්න වූ සිටුවරයාව දුටුවා. දැක්මෙන් භාග්‍යවතුන් වහන්සේට “මෙහි එන සිටුවරයා හට මෙහි අසුන්ගෙන සිටින යසකුලපුත්‍රයා යම් සේ නො දක්නේ ද, මම එබඳු වූ සෘද්ධියක් කරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් පහල වුනා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ සෘද්ධියක් කරනු ලැබුවා. ඒ සමගම යසකුල පුත්‍රයාව නොපෙනී ගියා.

සිටුවරයා ද භාග්‍යවතුන් වහන්සේ වෙත පියමැන්නා. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි ඔහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මගේ යසකුලපුතු දුටු සේක් ද?” අසා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ සිටුවරය එසේනම් මෙහි අසුන්ගන්න. එවිට ඔබට ඔබගේ පුත්‍රයාව තව මොහොතකින් දකින්නට ලැබේවි.

එයින් ඔද වැඩීගිය සිටුවරයා “මම මෙහි ම සිටින්නෙමි. මෙහි ම සිට යසකුලපුතු ද දකින්නෙමි” යි සතුටු ව ඔද වැඩි සිත් ඇතිව, භාග්‍යවතුන් සකසා වැඳ පසෙක සිටියා. සිටුවරයාහට භාග්‍යවතුන් වහන්සේ ඔහුටද පුතුට මෙන්ම පිළිවෙළකථාවවදාරණු ලැබුවා.

“ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ’ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍ය පුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. යනුවෙන් වන්දනා කරමින් පවසා සිටියා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්ස අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා”යි ඉල්ලා සිටියා. එලෙස යසකුලපුත්‍රයන්ගේ පියාණන් ලොකයෙහි පළමු තෙවාචික උපාසක බවට පත්වුනා.

අපේ බුදුහාමුදුරුවෝ 298 (සන්තිකේ නිධානය)

සාසනයේ සත්වැනි රහත් භික්ෂුව, යසකුල පුත්‍රයා 04
යසකුල පුතු අරහත්වයට පැමිණීම,

සිටුවරයා දැන් දැන් තම පුතු මෙතැනට පැමිණේවි යැයි බලාපොරොත්තුවෙන් සිටියේ මව මාලිගයේ වැළපෙන බව යලි යලිත් සිහියට නැගෙන බැවින්. යසකුල පුත්‍රයා තම පියාණන් හට නොපෙන්වා අතුරුදන් කිරීමෙන් බුදුරජාණන් වහන්සේ කාරනා දෙකක් බලාපොරොත්තු වුනා. එකක් තමයි පියාණන් හට ධර්මය දෙසීම සහ පියා හා සංවාදයෙන් පසුව නැවත යසකුලපුත්‍රයට මාලිගයට යාමට සිතක් පහල නොවීමට අවශ්‍ය පරිසරය සැකසීමට. ඒ උපක්‍රමය අතිශයින්ම සාර්ථක වුනා. පියාහට දෙසනු ලබන දර්මය ශ්‍රවණය කරමින් සිටි යසකුල පුත්‍රයා හට තමා මොහොතකට පෙර අවබෝධකොටගත් ආර්‍ය්‍යභූමිය පිලිබන්ධව තව තවත් ප්‍රඥාව වැඩිදියුණු වෙන්නට පටන් ගත්තා. සිත තුල තාෂ්ණදෘෂ්ටි වශයෙන් අල්ලා ගෙණ සිටි ආශ්‍රවයන් කෙරෙන් සම්පුරණයෙන්ම මිදුන. අප දහම තුල ආශ්‍රව කියා හඳුන්වන්නේ මෙම දීර්ඝ සංසාරය තුල චිත්ත සන්තානය තුල පල්වෙමින්, පැසවමින්, එයටම ලොල් වෙමින් එයින්ම මත් වෙමින් රැගෙන පැමිණි කෙලෙස් ගොන්නටයි. පුද්ගලයාට සසර තුල නැවත නැවත උපතක් ඇති කර දෙන නිමක් නොපෙනෙන මරු කතරක් හා සමාන සංසාරයට ඇද දමන මෙම දර්මතා කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව හා අවිද්‍යාශ්‍රව යනුවෙන් සතර වැදෑරුම් වනවා. මෙය ක්ෂයවීම සොතාපත්ති ඵලයෙන් පටන්ගෙන අරහත්වයේදී සම්පුර්ණයන්ම පහව යනවා. එදා ඒ සියලු ආශ්‍රව යසකුල පුත්‍රයා කෙරෙන් දුරුවුනා කියලා බුදු ඇසට පෙනුනා. ඔහු තව දුරටත් පෙර ගිහි කල්හි මෙන් − ගිහි වී – කම්සැප විඳීමට නුසුදුසු ම ය යන බව හැඟී “මම ඒ සෘද්ධිය දැන් හැර ලන්නෙම් නම් යෙහෙකැ” යි සිතා නොපෙනීමට සලස්වා සිටි යසකුල පුත්‍රයාව තම පියාණන් හට පෙනීමට සැලස්වූවා.

යසකුල පුතු පියාණන් හට නැවත දර්ශණය කරවීම.

අනේ ඒ වෙලාවේ තමයි සිටුතුමාට තමා අසලින්ම අසුන්ගෙන සිටි තම පුත්‍රයාව දුටුවේ. දැක, “පුත්‍රය, නුඹගේ මවු තුමිය මහත් වූ ශෝකයෙන් වැළපෙනවා. විලාප දෙනවා. වැඩිවෙලාවක් යන්නට පෙර ළය පැලී මියයාවී. ගෙදර යන්න එන්න.” ආයාචනය කරමින් ඇයද සිටියා.

යසකුලපුත්‍රයා නිහඬවම භාග්‍යවතුන් වහන්සේ වෙත නෙත් යොමුකලා. එවිට භාග්‍යවතුන් වහන්සේ සිටුතුමා හට මෙලෙස ප්‍රශ්ණයක් යොමුකළේ ඒ වනවිටත් ඔහු යම් පමණකට දර්මය අවබෝධකොට සේඛ භාවයට පැමිණි සිටි නිසා ඔහුගේ මුවින්ම ඔහුටම පිළිතුරු ලබා දෙන්නට.

භාග්‍යවතුන් වහන්සේ:

සිටුවරය, යසකුලපුත්‍රයා විසින්, ඔබ විසින් මෙන්, (පළමු කොට) සෙඛඤාණයෙන් ද, සෙඛදස්සනයෙන් ද ආර්‍ය්‍යසත්‍යධර්‍මය දක්නා ලද්දේ ය. දක්නා ලද පරිදි දන්නාලද පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නා වූ ඒ යසකුලපුත්‍රයාගේ සිත තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. ගැහැවිය, එබැවින් යසකුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහිබවට හැරී කම්සැප විඳින්නට දැන් සුදුස්සෙක් වේ දැ?”

සිටුතෙම,

“ස්වාමීනි, සුදුසු නො වේ ම ය.”

භාග්‍යවතුන් වහන්සේ,

“ගැහැවිය, යසකුලපුත්‍රයා විසින් යට තුන්මග නුවණින් ද යට තුන්මග දැක්මෙන් ද චතුස්සත්‍ය ධර්‍මය, ඔබ විසින් මෙන්, දක්නා ලද්දේ ය. දුටු පරිදි දත් පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නා වූ ඔහුගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නො ගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේ ය. ගැහැවිය, යස කුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහි වී කම්සැප විඳින්ට නුසුදුසු ම ය.”

සිටුතෙම,

 “යම් සේ යසකුලපුත්‍රයාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන් ගෙන් මිදුනේ ද, ස්වාමීනී, යසකුලපුත්‍රයාහට එය ලාභයකි. ස්වාමීනි, යස කුලපුත්‍රයා විසින් ඒ මනා සේ ලද්දකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පසුමහණ වූ යසකුලපුතු සමග අද මාගේ බත ඉවසන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් එම ඉල්ලීම ඉවසා වදාරනු ලැබුවා.

යසකුල පුතුන් ඒහිභික්ඛු පැවිද්ද සහ ඒහි භික්ඛු උපසම්පදාව ලැබීම

භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ආරාධනය පිළිගත් පසු හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ හට සකසා වැඳ පැදකුණු කොට සිටුවරයා මාලිගය වෙත ඉක්මණින්ම පියනැගුවේ මෑණියන් හට මෙම සුභ පණිවිඩය රැගෙන යාමටත් දානමය කටයුතු සැකසීමටත් යන බලාපොරොත්තු සිත තුල දල්වාගෙන. පියා යනතෙක් බලා සිටි යසකුල පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට පැදකුණු කරමින් මෙලෙස පැවිද්ද ඉල්ලා සිටියා.

යසකුල පුත්‍රයා :

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි”

භාග්‍යවතුන් වහන්සේ :

“මහණ, එව. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මොනවට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙව” යි වදාරනු ලැබුවා. බුදුන්ගේ ඒ වචනය ම ඒ ආයුෂ්මත්හුහට උපසම්පදාව වුවා. එම වදන පිටවීමත්‌ සමග ම කෙස්‌ රවුල්‌ දැගුල්‌ පමණ වි අටපිරිකර දරණ සැට වයස්‌ පිරි තෙරුන්වහන්සේ කෙනෙකු මෙන්‌ පෙනී සිටියා. මෙසේ ලබන්නා වූ පැවිද්දට හා උපසම්පදාවට “ඒහිභික්ඛු පැවිද්ද යයි ද, ඒහි භික්ඛු උපසම්පදාවය” යි ද කියනු ලබනවා. හිසකේ රැවුළු කැපීමක් නැති ව, සිවුරු දීමක් නැතිව, සික පද සමාදන් කරවීමක් නැති ව, සිදු කරන ඒ පැවිද්ද ලොවුතුරා බුදුවරයකුගෙන් මිස අනෙකකුගෙන් නො ලැබිය හැක්කක්. ඉන්පසු

යස තෙරුණුවෝ තමාගේ පිළිවෙත්‌ පිරිම නැවත සිහිකර බලා උදන්‌ අනනසේක්‌ ඒහිභික්‍ෂුභාවයට පෙර අවස්ථාව දක්වමින්‌ මේ ගාථාව පවසනු ලැබුවා.

”’සුවිලිත්තෝ සුවසනො සබ්බාභරණභූසිතො

තිසෙසා චිජ්ජා අජ්‍ඣගමිං කතං බුදධස්ස සාසනං”.

එහි “සුවිලිත්තෝ” යනු සුන්දරවූ කොකුම්‌ සඳුන්‌ ආලේප කරගැනීමෙන්‌ සුවඳ වත්‌ වූ ශරීරාවයව ඇති වූයෙමි යන්නයි. “සුවසනො” යනු ඉතා යහපත්‌ මහාර්ඝ වූ කසී සළු හදින පොරවන අයෙක්‌ වීමි. යන්නයි. “සබ්බාභරණභූසිතො” ශීර්ෂා භරණාදී සියලුම ආභරණවලින්‌ අලංකාරවත්‌ වූ යෙමි.

“අජ්‍ඣගමිං” යනු අවබෝධ කරගත්තෙමි. ත්‍රිවිද්‍යාව ලැබූවෙමි.

ඒත් සමගම ලොකයෙහි රහතුන් ගණන සත් දෙනෙක් වුණා.

යසකුලපුත්‍ර‍යාගේ පැවිද්ද මෙසේ කියා අවසන්.

අපේ බුදුහාමුදුරුවෝ 299 (සන්තිකේ නිධානය)

අප සාසනයෙහි ප්‍රථම තේවාචික උපාසිකාව – සුජාතාව

බරණැස සිටුවරයා භාග්‍යවතුන් වහන්සේගේ වැඩම කිරීමට සහ දානයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටියේ. ඒ සමගම සසරේ පාරමී පුරා පැමිණි තවත් තැනැත්තියක් ඒ සදහා සුදානම් වෙමින් සිටිය. ඒ තමයි ඔබ හොඳින් දන්නා සුජාතාව. බරණැස් සිටුවරයාගේ පුණ්‍යවන්ත භාර්යාව. එමෙන්ම යසකුල පුත්‍රයාගේ ආදරණිය මව. ඒ එක්කම යසකුල පුත්‍රයාගේ එකල භාර්යාවත් ඒ අතර සිටියා. මෙයින් සුවිශේෂී චරිතය වුනේ විශාකාවයි. ඇය පියුමතුරා බුදුන්ගේ දවස සිට ප්‍රථමයෙන්ම බුදුන් සරණ ගිය උපාසිකාවන් අතරෙන් අග්‍රස්ථානය පතා පැමිණි යුවතිය. කල්ප ලක්ෂයක් දෙව් මිනිසුන් අතර සැරිසරමින් පැමිණි එතුමිය ඒ සඳහාම උරුවේලාවෙහි සෙනානි ගමෙහි සෙනානි සිටුවරයාගේ මාලිගයෙහි උපත ලැබුවා. ඒ එක්කම ඇයගේ ප්‍රාර්ථනය පරිදි බුද්ධත්වයට පෙර වළදනු ලබන කිරිපිඩු දානයද පුජා කිරීමට භාග්‍යවන්ත වුණා . ඇය එම පුජාව කරනු ලැබුවේ යසකුල පුතුන්ගේ පිළිසිඳ ගැනීම වෙනුවෙන්. මේ සම්බන්ධව සුජාතාවගේ දනය යනුවෙන් මීට කලකට පෙර ලියූ ලිපි පෙළෙහි සම්පුර්ණ විස්තරයක් සඳහන් වෙනවා. එහිදී කිරිබත සැකසීම සඳහා වැල්මී වනයක කිරි එළදෙනුන් දහසක් පෝෂණය කිරීමෙහි සිට කිරිපිඩු පුජා කිරීම දක්වා ඔබ නොදන්නා බොහෝ කරුණු ලියා තිබෙනවා. (අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 194) එම කොටස් කියවන්න.

අන් හැම පිණ්ඩපාත දානයන්ට වඩා ඉමහත් ඵල ඇති, වඩා ඉමහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල වූ සමවිපාක වූ මේ පිණ්ඩපාත දෙකක් තිබෙනවා. එනම් යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ අනුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණෙත් ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ නිරුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද, මේ අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉතා ඉමහත් පල ඇති ඉතා මහත් විපාක ඇති හැම ලෙසින් ම සම ඵල ඇති, සම අනුසස් ඇති පිණ්ඩපාත දෙක යි.

බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර වළදනු ලැබූ අවසාන දානය පිළිගන්වනු ලැබුවේ සුජාතාව විසිනි. එවිට බෝසතාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ සහිත පෘතජන පුද්ගලයෙකි. බුදුවීමෙන් පසු පරිනිර්වාණයට පෙර වළදනු ලැබූ අවසාන දානය පිළිගන්වනු ලැබුවේ චුන්‍ද සිටුවරයා විසිනි. එවිට භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය තමන් විසින්ම අවබෝධ කොටගෙන රාග, ද්වේශ, මෝහ, යලි කිසිදින පැන නොනගින සේ මුළුමනින්ම දුරු කෙරූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුවරයෙකි. මෙහි ආනිසංස අනුව බලන කල ආකාර තුනකින් මෙහි සමානකම් ඇති බව අට්ඨ කතාවෙහි සඳහන්. එය මිට පෙර නොලීව නිසා මෙහි සටහන් කිරීම හොඳ යැයි සිතුවා.

1.පරිනිර්වාණ සමතාවය 2.සමාපත්ති සමතාවය හා 3.අනුස්සරණ සමතාවය යනුවෙන් මෙහි සමානතා අනුව තුන් ආකාරයකට විස්තර වෙනවා.

1.පරිනිර්වාණ සමතාවය
භාග්‍යවතුන් වහන්සේ සුජාතාව විසින් දෙනලද පිණ්ඩපාතය වළඳා සවුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවනු ලැබුවා. චුන්‍ද විසින් දෙන ලද දානය වළඳා අනුපාදිසෙස නිර්වාණධාතුවෙන් පිරිනිවනු ලැබුවා. මෙසේ පිරිනිවන්පෑමේ සමතාවය නිසාද මෙම දාන දෙකෙහි සමානඵල ඇති බව සඳහන්.

2.සමාපත්ති සමතාවය

බුදුවන දවසේද කෝටිවිසිහතර ලක්‍ෂයක් සංඛ්‍යාත සමාපත්තීන්ට සමවදිනු ලැබුවා. පිරිනිවන්පානා දිනයේද ඒ සියල්ලට නැවතත් සමවදිනු ලැබුවා. මෙසේ සමාපත්ති සමතාවය නිසාද සමානඵල ඇති බව පවසනවා.

3.අනුස්මරණ සමතාවය

පසුව සුජාතාවටද මෙසේ අසන්නට ලැබුණා. ඒ වෘක්‍ෂ දේවතාවෙක් නොවේ. බෝධිසත්ත්වයන් වහන්සේනමක්. උන්වහන්සේ එම දවස ඒ පිණ්ඩපාතය වළඳා උතුම් වූ සම්මා සම්බෝධියට පත්වුණා. උන්වහන්සේට සත් සතියක් යැපෙන්නට එය ප්‍රමාණවත් වුණා. මෙය අසා සිහිපත් කරන්නා වූ ඇයට බලවත් ප්‍රීතියක්, සොම්නසක් ඇතිවුණා. මට මහත් ලාභයක් සිදුවිය. චුන්ද ද මෙසේම සිහිකරනු ලැබුවා. මා විසින් අවසන් පිණ්ඩපාතය දෙන ලදි. මාගේ ධර්ම ශීර්ෂය ගන්නා ලදි. මාගේ පිණ්ඩපාතය වළඳා ශෘස්තෲන් වහන්සේ අනුපාදිසෙස නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑවේය. එය මට මහත් ලාභයක් විය. සිහිකරන්නාන වූ මට බලවත් සොම්නසක් ඇතිවිය. මෙසේ අනුස්මරණ සමතාවය නිසාද සමානඵල වේයැයි පවසනවා..

ඉතින් මෙලෙස ලොවෙහි ඇති අග්‍රගණ්‍ය දානයකට හිමිකම් කියූ සුජාතාව තවත් එවැනිම සුවිශේෂී දානයකට හිමිකම් කියන අවස්ථාවක් උදා කරගනු ලැබුවා. එනම් අප භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසු දානයක් පලිගැනීම සඳහා නිවසක් තුලට වඩින ප්‍රථම අවස්ථාව මෙයම වීමයි. බුදුරජාණන් වහන්සේ දම්සක් පැවැත්මෙන් පසු තව දුරටත් එහි රැඳී සිටියේ යසකුල පුත්‍රයා ගේ පුණ්‍යමය මහිමය නිසා ඔහුව පැවිදි කිරීමටම කියලත් කියනවා. ඒ එක්කම සුජාතාව පැතූ මෙම දානයත් තවද එක හේතුවක් විය හැකිය කියා මට හිතෙනවා.

අප මහා කරුනිකයාණන් වහන්සේ යසකුල රහතන් වහන්සේ ඇතුළු පස්වග රහතුන් සමග ශාන්ත ලීලාවෙන් සිටු මාලිගය වෙත වැඩමකලා. උතුම් අයුරින් පිළිගන්වනු ලැබූ ඒ ප්‍රණීත භෝජන වැළඳීමෙන් පසු අප බුදුපියාණන් වහන්සේ ඔවුනටද දර්මය දේශනා කරනු ලැබුවා. සුජතාවද යසකුල රහතන් වහන්සේගේ ගිහි ජිවිතයේ බිරිඳද දර්ම දේශණය අවසානයේ සෝවාන් ඵලයට පත්වුණා. පුතුන් සහ සැමියා දැකීමේ ප්‍රීතියද බුදුන් ඇතුළු පිරිසගේ නික්ලේශ හික්මුණු රුපස්වාභාවයද මේ සදහා බොහෝ උපකාරී වන්නට ඇති කියා මට හිතෙනවා. එතුමියන් දෙදනද එම අවස්ථාවේ බුදුන් දහම් සඟුන් සරණ ගියා. පසුකලෙක අප මහා බුදුපියාණන් වහන්සේ උපාසිකාවන් තනතුරුවල පිහිටුවන අවස්ථාවෙහි මේ උවැසිය පළමුව තිසරණ සරණ ලද අය අතුරෙන් අගතැන්හි තැබුවා. ප්‍රථමයෙන්ම තිසරණ සරණ ගිය (තේවාචික සරණයෙහි පිහිටි) උපාසිකාවන් බවට ඔවුන්ගේ නම් මෙලෙස සාසන ඉතිහාසයෙහි ලියවුනා .

උපකාරක ග්‍රන්ථ;- අඞ‍්ගුත‍්තරනිකායො අට‍්ඨකථා/එකකනිපාත-අට‍්ඨකථා/එතදග‍්ගපාළි/සත‍්තමඑතදග‍්ගවග‍්ගො/සුජාතාවත්‍ථු
දීඝනිකාය අට‍්ඨකථා/මහාවග‍්ගට‍්ඨකථා/ මහාපරිනිබ‍්බානසුත‍්තවණ‍්ණනා

අපේ බුදුහාමුදුරුවෝ 300 (සන්තිකේ නිධානය)

ප්‍රථම රහතුන් එකොළොස් දෙන අතරට පැමිණි
විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති සිටු කුමාරවරු

ආයුෂ්මත් යසතෙරුන් වහන්සේට සිටි යහළුවන් අතරින් සුවිශේෂී එකම පවුලේ උපන් හොදම යහළුවෝ සතර දෙනෙක් සිටියා. එනම් බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වූ විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති, යන සතර දෙනායි. ඔවුනට “යසකුලපුත්‍රයා ඉසකේ රවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ යැ” යි අසන්නට ලැබීමට වැඩිකලක් ගියේ නැහැ. එය ඇසීමෙන් ඔවුනට “යම් සස්නෙක යස තෙමේ පැවිදි වූයේ නම්, ඒ ධර්‍මවිනය (ශාසනය) ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් පහළ වුණා. ඔහු ආයුෂ්මත් යසතෙරුන් සිටි තැනට සොයාගෙන එදිනම ගියා.. ගොස්, ආයුෂ්මත් යසතෙරුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටිය. ඉන්පසු ආයුෂ්මත් යසමහණතෙමේ ඒ ගිහි යහළුවන් සිවු දෙනා කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩම කළා. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක උන්නා. පසෙක හුන් ආයුෂ්මත් යසමහණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වු විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන මේ සිවු දෙන මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා” යි සැළ කර සිටියා. හොද මිත්‍රයෝ නිවනට යන්නෙත් තනියෙන් නොවෙයි. අනිත් යහළුවන්වත් අරගෙනමයි.

යහළුවන් සතරදෙනාට දර්මය දේශණා කිරීම

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ගේ ඉල්ලීම පරිදී ඔවුන්ටත් පිළිවෙළකථාව වදාරනු ලැබුවා. එනම් දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමයන් දුක්සහිත බව, ලාමක බව, කෙලෙසීමට හේතු වනබ,ව හා නෙක්ඛම්මයෙහි අනුසස් ද දේශණා කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සත්‍යයාවබෝධයට සුදුසු සිත් ඇතියවුන් කොට, මොළොක් සිත් ඇතියවුන් කොට, නීවරණයන්ගෙන් තොර වූ සිත් ඇතියවුන් කොට, ඔද වැඩි සිත් ඇතියවුන් කොට පහන් සිත් ඇතියවුන් කොට, එය දත් කල්හි බුදුවරයන්ගේ තමා ම උසස් වූ ධර්‍මදේශනාව වූ දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුරාර්‍ය්‍ය සත්‍යය දේශණා කරනු ලැබුවා.

යහළුවන් සොතාපත්ති ඵලයට පැමිණීම

එවිට පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් හොඳින් සායම් අල්ලාගන්නේ යම් සේ ද, එසේ ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම ‘යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොට ඇතැ” යි යන පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ග ඤාණය පහළ වුණා. ඉන්පසු ඔවුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කියා සිටියා.
භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරනු ලැබුවා.

රහතුන් එකොලොස්නමක් ලොව පහල වීම.

ඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාවක් වුණා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කතාවෙන් අවවාද කරනු ලැබුවා. අනුශාසනා කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් අවවාද කරණු ලැබූ අනුශාසනා කරණු ලැබූ ඒ භික්‍ෂූන්ගේ චිත්තයෝ තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදී ගියා. එලෙස රහත්හු එකොළොස් දෙනෙක් මෙලොවට බිහිවුණා.

ආයුෂ්මත් යසතෙරුන් වහන්සේගේ ගිහි කල්හි යහළුවන් වූ බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වූ විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන සතර දෙනාට “යසකුලපුත්‍රයා ඉසකේ රවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ යැ” යි අසන්නට ලැබුනා. එය ඇසීමෙන් ඔවුනට “යම් සස්නෙක යස තෙමේ පැවිදි වූයේ නම්, ඒ ධර්‍මවිනය (ශාසනය) ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් පහළ වුණා. ඔහු ආයුෂ්මත් යසතෙරුන් සිටි තැනට සොයාගෙන එදිනම ගියා.. ගොස්, ආයුෂ්මත් යසතෙරුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටිය. ඉන්පසු ආයුෂ්මත් යසමහණතෙමේ ඒ ගිහි යහළුවන් සිවු දෙනා කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩම කළා. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක උන්නා.. පසෙක හුන් ආයුෂ්මත් යසමහණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වු විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන මේ සිවු දෙන මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා” යි සැළ කර සිටියා.
උපකාරක ග්‍රන්ථ ;- මහාක‍්ඛන්‍ධකං/ චතුගිහීසහායපබ‍්බජ‍්ජා

error: Alert: Content is protected !!