Ape Budu Hamuduruwo 201-250

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සදහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මනෝරි අතපත්තු මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)201

මාර පරාජය 02

මෙසේ මාරයා සුළඟ ,වැස්ස, ගල්, ආයුධ, අඟුරු, අළු, වැලි ,මඩ ,අදුර යන නව වර්ෂාවෙන් බෝසතාණන් වහන්සේ පලවා හරින්නට නොහැකි ව මාර සෙනග අමතා තොප බලා සිටින්නේ ඇයි? සිදුහතුන් අල්ලා ගනු. නසනු, පලවා හරිවූ යැයි අණ කොට තමාද ගිරිමේඛලා ඇතු පිට සිට චක්‍රායුධය ගෙන බෝසතාණන් වහන්සේ ළඟට අවුත් සිදුහත් කුමරුනි, පළඟින් නැගිටිනු. එය ඔබට අයිති නැත. එය පැමිණිය යුත්තේ මා වෙතැයි කෑගසන්නට වුණා.

එවිට බෝසතාණන් වහන්සේ ඔහුගේ වචනය අසා මෙසේ වදාරනු ලැබුවා. “මාරය, ඔබ දශපාරමිතා නොපිරුවෙයි. දශ උප පාරමිතා ද නොපිරුවෙයි. දශ පරමත්ථ පාරමිතා ද නොපිරුවෙයි. එසේම ඔබ අංග, ධන, පුත්‍ර ආදී මහා පරිත්‍යාගයන් නොකරන ලදී. එසේම ඤාතිචරියානම් වූ ඤාති වර්ගයා ගේ හිත සුව පිණිස හැසිරීම,ලොකිර්ථචරියා නම් ලෝකයාට හිත සුව පිණිස හැසිරීම, බුද්ධචරියා ඤාණය වර්ධනය කිරීම යන ත්‍රිවිධ චර්යාවෙහි ඔබ නො හැසුරුනෙහිය.එම නිසා මේ පළඟ මා සතුය. ඔබට අයත් නොවේ.”

අනතුරුව කිපුණු මාරයා තරහ වේගය දරාගත නොහැකිව බෝසතාණන්වහන්සේ වෙත චක්‍රායුධය දමා ගැසුවා. එයද දශ පෙරුම් දම් බලය සිහි කරමින් සිටි බෝසතාණන් වහන්සේගේ හිස මතුයෙහි මල් වියනක් වී සිටියා. එම සියුම් මුවහත් ඇති චක්‍රායුධය අන් දිනවල කිපුණු මරු විසින් විහිදුවා හලේ නම් කලු ගල් ටැඹක් වුවද හුණබඩක් මෙන් සිදීයනවා. එදින චක්‍රායුධය බෝසතාණන් වහන්සේගේ හිස මතුයෙහි මල් වියනක් මෙන් සිටි කල්හි මර සෙනග දැන් දැන් පළඟින් නැගිට පලායතියි මහත් ගල් කුළු පෙරළා හැරිය. ඒවාද පාරමී බලයෙන් මල් ගුලා බවට පත් ව බිම වැටුණ.

දෙවියෝ සක්වල ගැබ මුවවිටියෙහි සිට ගෙල ඔසවා හිස් උස්කොට සිදුහත් කුමරුන් ගේ රුවින් අගතැන්පත් ශරීරය දුටුව. දැන් කුමක් සිදුවන්නේදැයි විමසමින් සිටිනවා. අනතුරුව බෝසතාණන් වහන්සේ දශ පෙරුම් පිරූ බෝසතාණන් වහන්සේලා බුදුවන දවසෙහි ලැබෙන පළඟ අද මට හිමිවෙයි, ඔබ දාන පාරමිතාව පිරූ බවට කවරෙකු නම් සාක්ෂි දැයි ඇසූවා . එවිට මාරයා මෙතෙක් දෙනා මට සාක්ෂියයි මර සෙනග දෙසට අත දිගු කළා. මර සෙනග ද මම සාක්ෂි වෙමි මම සාක්ෂි වෙමි ඔවුන් වෙන වෙනම නැගූ හඬ මහ පොළොව ගුගුරණ ශබ්දය මෙන් විය. මාරයාද බෝසතාණන් වහන්සේට සිදුහත් කුමරුනි,ඔබ දාන පාරමිතාව පිරූ බවට කවරෙක් සාක්ෂි දැයි අසා සිටියා. මාරය, ඔබට දාන පාරමිතාව පිරූ බවට සජීවී සාක්ෂි ඇත. මට මෙහි සජීවී සාක්ෂියක් නැත. නොයෙක් ආත්ම වලදී පිරූ දාන පාරමිතාව තිබේ. වෙස්සන්තර ආත්මයෙදි සත්තසතක සත් සියය නම් මහා දානය දුන් බවට මේ සිත් පිත් නැති මහ පොළොව සාක්ෂි වෙයි. සිවුරු ගැබ අතරින් දකුණු අත දිගුකොට වෙස්සන්තර කාලයේ දුන් ඒ මහා දානයට ඔබ සාක්ෂි ද? නැද්දැයි පොළොව දෙසට ශ්‍රී හස්තය දික් කළහ. එවිට මහ පොළොව මම ඔබ වහන්සේට සාක්ෂි වෙමි කියන්නාක් මෙන් ලක්ෂ සංඛ්‍යාත මහා හඬ පතුරුවමින් මාර බලය යට කරමින් මිහිකතගේ රාවය දසත පැතිර ගියා.

මෙසේ බෝසතාණන් වහන්සේ ඒ මහා දානය නැවත නැවත සිහි කරන කල්හි ගිරිමේඛලා හස්තියා බෝසතාණන් වහන්සේ ඉදිරියේ දණ ගැසුවා. දානයක ඇති අනුහස් හිතන්නටවත් බැහැ. මාර පිරිස ඒ ඒ දිශාවන් වලට පලා ගියා. එහෙත් දෙදෙනෙක් එක මගින් නොගිය. හිස් වෙළුම් ද ඇඳි වස්ත්‍රද අතහැර ඒ ඒ දිශාවෙන් පැන දිවූවා. දේව සමූහයා පලා යන මර සෙනග දැක “මාරයා පරාජය වූයේය. සිදුහත් කුමරුවන්ට ජය වූයේය. ජය පූජා කරමු” යි සුවඳ මල් අතැතිව බෝමැඩ වෙත පැමිණිය. එසේම නාග, ගරුඬ, දේව සහ බ්‍රහ්මයෝ ද බෝසතාණන් වහන්සේ වෙත පැමිණ පූජා කරන්නටන් පටන්ගත්තා. ඔවුන් ගිය කල්හි දස දහසක් සක්වල දෙවියෝ මල්, ගඳ විලවුන් ආදියෙන් පූජා කරමින් ස්තුති ඝෝෂා කරන්නට වුණා.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)202

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය
පංච මාර

1.ස්කන්ධමාර (ඛන්ධ මාර – පංච උපාදානස්කන්ධය) 2.අභිසංස්කාර මාර, (අභිසංඛාර මාර, පිං පවු, කුසල් අකුසල්, පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙඤ්ජාභි සංඛාර) 3. මෘත්‍යු මාර, (මච්චු මාර – මරණය) 4. ක්ලේශ මාර (කිලේස මාර – 1500ක් වූ කෙලෙස්) 5.දේව පුත්‍ර මාර (දේවපුත්ත මාර නොහොත් “මාරයා” යනුවෙන් අපි හදුන්වන කාම ලෝකයට අධිපති දේවපුත්‍රයා) යනුවෙන් මාරයන් පස් ආකාරයට වර්ගීකරණය කිරීමක් ගැන ඔබ මිට පෙරත් අසා ඇති. බුදුරජාණන් වහන්සේ මේ පරාජය කලේ දේව පුත්‍ර මාර නමැති ඒ දිව්‍ය පුත්‍රයා සහ ඔහුගේ සේනාවයි. එහෙත් ඔහු පරාජය කල සැණින් බුද්ධත්වයට පැමිණෙන්නට නොහැක. ඒ සඳහා ඉහත කී අනෙකුත් මාරයන්ද පරාජය කල යුතුය. එය නිවන් දක්නා කා හටත් ඇති අභියෝගයකි. එහෙත් බුදුවරයෙකුට එහි ඇති මහා අභියෝගය වන්නේ අපට මෙන් නොව කිසිවෙකුගේ මගපෙන්වීමක් උපකාරයක් නොමැතිව තනිව ඒ කාර්යය කල යුතු වීමයි. මෙතැන් සිට මා හට ඇති අල්ප කාලවේලාව අනුව සොයාගත් මුලාශ්‍ර පරිශීලනය කරමින් ලියවෙන්නේ මා වැනි පුද්ගලයෙකුට වචනයෙන් ලියා කොහෙත්ම විස්තර කල නොහැකි ඒ අසීරු කාර්යයේ සංශික්ප්ත බාල සටහනයි.

 ලෝක මහා සංග්‍රාමයක් අවසානයෙන් පසු පෘථිවි ප්‍රජාවට දැනෙන සතුට කෙලෙසේද? එලෙස ඒ හා සම කල නොහැකි මේ කාමලෝකයට අධිපති වූ මහා බලපරාක්‍රමයෙන් යුත් මාර සේනාවා පරදා ලද ජයෙහි සතුට මෙතකැයි කිව නොහැකි බව ඔබට දැන් අවබෝධ වේවි. ඒ ජය මෙන්ම සතුටද බුද්ධත්වය කරා යාමට අප මහා වීරයාණන් වහන්සේට මහත් උපකාරයක් වෙන්නට ඇති කියලයි මට සිතෙන්නේ. සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්යය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ අවර දිගින් බැස ගියා. මීට මොහොතකට පෙර මහා යුධ පිටියක් වූ මෙම මනස්කාන්ත පරිසරයට කිසියම් හෝ හානියක් වූ බව පෙනෙන්නට නැහැ. ඒ සියල්ල එලෙසම පවතිනවා. කල්ප ගණනකට පසු පායන වෙසක් සඳ එදා නැගී රිදී සෞම්‍ය සඳ කිරණ තවත් කල්ප ගණනාවකට අපට දකින්නට ලැබෙන්නේ නැහැ. මුළු වා තලයම දෙවියන්ගෙන් භමුන්ගෙන් පිරිලා එත් හැමෝම නිහඬව බලා සිටිනවා. ඒ ප්‍රකෝටි සංඛ්‍යාවක් සසරදුකින් නිමා කරන බුද්ධ හෝරාව එළඹෙන තෙක්. අප මහා බෝසතාණන් වහන්සේ ඒ අවශේෂ මාර සටනට නෙත් පියාගත්තා. ඒ ටික බුද්ධ වචනයෙන්ම විස්තර කලොත් හොඳයි කියා මට හිතුනා. ඒ නිසා මිට පෙර විස්තර කල බෝධිරාජ කුමාර සුත්‍රයේ අවසාන කොටසට මෙලෙස අවතීරණය වෙනවා.

ප්‍රථම ධ්‍යානයට පැමිණීම

“රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

ද්විතිය ධ්‍යානයට පැමිණීම

“විතර්කවිචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි,

තෘතීය ධ්‍යානයට පැමිණීම

ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද එ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

සතරවෙනි ධ්‍යානයට පැමිණීම

සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවීම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) ඥාණය පහළවීම.

“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන.) කල්පයන්ද, නොයෙක් විවර්තී (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්තී විවර්තී කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තෙවීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

“රාජකුමාරය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. අලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය

මහ බෝසතාණන් වහන්සේ මෙලෙස පළමුකොට ආනාපාන ස්මෘති කර්මස්ථානය වඩා පළමු වන දෙවෙනි ලැබීම හා තෙවෙනි සිවුවන රූපාවචර ධ්‍යානයන් වෙත පැමිණුනා. නැවැත චතුර්ථධ්‍යානයෙන් නැඟී සිට (සිත ඒ ධ්‍යානාලම්බනයෙන් ඉවත් කොට) පෙර විසූ කඳ පිළිවෙළ අතට එල්ල කොට යැවූ සේකයවනු ලැබුවා. මෙසේ අතීත ජාතීන් සිහි කරන සේක්, අනේක කෙළ දහස් ගණන් ජාතීන් තත්වාකාරයෙන් දුටුහ. උක්ත පරිදි එදා පූර්ව යාමයෙහි ම පෙර වුසූ කඳ පිළිවෙල වසා ලන මෝහය බිඳී යෑමෙන් මහසතාණන් වහන්සේට පූර්වෙනිවාසානුස්මෘතිඥාන ප්‍රතිලාභය වුණා.

පූර්වෙනිවාසානුස්මෘති ඥානයෙන් පෙර වුසූ කඳ පිළිවෙළ බලන බෝසතාණන් වහන්සේ,

“නාමරූපයෝ තත්තද්භවයෙහි පරම්පරා වශයෙන් පහළ වෙමින් බිඳෙමින් පවතින බව පෙනුණා. ඒ නාම රූප පරම්පරාව ගේ ම චක්ෂුරාදි ද්වාරයන්හි රූප දැකීම් ආදි වශයෙන් නානා විඥානයෝ හට ගැනෙමින් බිඳෙමින් පවතින බව දුටුවා. එහෙත් හුදු තනි සත්වයෙක් හෝ ජීවයෙක් හෝ පුද්ගලයෙක් නො වූ බව දුටුවා. එය මවන දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ නො වී යැ” යි දක්නා සේක් විංශද්වස්තුක සත්කාය දෘෂ්ටිය සිඳ බිඳ දැම්මා. මේ වනාහි බෝසතාණන් වහන්සේ ගේ දිට්ඨිවිසුද්ධි සම්පාදනයයි පවසනවා.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)203

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය 02
පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය ලැබූ අන්‍යන්ට වඩා සම්මා සම්බුදුවරයෙකුගේ පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයේ සුවිශේෂතා

‘පූර්‍වෙ නිවාසය සිහි කෙරෙන හෝ පෙර විසූ කඳ පිළිවෙළ දක්නා සිහිකරනා ඤාණය පුබේබෙනිවාසානුස්මෘති ඤාණය නම් වනවා. සම්මා සම්බුද්ධත්වය සමග ලබන්නා වූ ඤාණ සාගරයේ ප්‍රථමයෙන්ම අවබෝධ කොට ගන්නා ඤාණය පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය නම් වනවා. එහෙත් මෙම ඤාණය සම්මා සම්බුදුවරයෙකුට පමණක් සාධාරණ වන ෂට් අසාධාරණ ඤාණ සයට අයත් වන්නේ නැහැ. එයට හේතුව පච්චේක බුදු, අග්‍රශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක ඇතුළු ශ්‍රාවකයන්ටත් බුද්ධ ශාසනයෙන් එපිට සමාධි ලභිනටත් මෙම ඤාණ සාධාරණ වීමයි. එහෙත් සම්මා සම්බුදුවරයෙකුගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඤාණයේ එවැනි ඤාණ ලද අන් අයට අසාධාරණ සුවිශේෂතා ඔබ හට පැවසීම ඒ තුලින් සම්මා සම්බුදුවරයෙකුගේ සුවිශේෂී ගුණ ඉස්මතු කොට ඔබගේ ශ්‍රද්ධාව නොසැලෙන නොබිඳෙන අචල ශ්‍රද්ධාවක් බවට පත්කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථයයි.

පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන ඇත්තන් ලොව සය දෙනෙක් සිටිනවා. ඒ පහත ආකාරයට
    1. තීර්‍ථකය
    2. ප්‍ර‍කෘති ශ්‍රාවකය
    3. අසූ මහා ශ්‍රාවකය
    4. අග්‍ර‍ශ්‍රාවකය
    5. ප්‍රත්‍යෙක බුද්ධ ය.
    6. සම්‍යක් සම්බුද්ධ යයි, යනුවෙන්.

 

  • තීර්‍ථකයන්

ඔවුන් මේ ශාසනයෙන් පිටත කර්‍මවාදී-ක්‍රියාවාදී-තාපසාදීන්ය. ඔවුන් හට ඉකුත් සතලිස් කපක් කල් සිහි කිරීමේ හැකියාව පවතිනවා. එයද ස්කන්ධ පටිපාටිය වසයෙන් ම ය. අන්‍ධයකු ගේ ගමන මෙනි. (සැරයටිය නැතිවැ අන්‍ධයාට ගිය නො හැක්කාක් මෙනි.) එයට හේතු වන්නේ නාම-රූප පරිච්ඡේද ගත විදර්‍ශනා ඥානය නැති හෙයින් දුර්‍වල ප්‍ර‍ඥා ඇත්තන් බැවිනි.

  • ප්‍ර‍කෘති ශ්‍රාවකයන්

ඔවුනට කල්ප සියයක් දහසක් සිහි කිරීමේ හැකියාව පවතිනවා. ඒ ස්කන්ධ පිළිවෙළින් හෝ, චුති පටිසන්ධි පිළිවෙළිනි.

  • අසූ මහා ශ්‍රාවකයෝ

කල්ප ලක්‍ෂයක් චුති පටිසන්ධි ක්‍ර‍මය අනුවැ සිහි කිරීමේ හැකියාව පවතිනවා.

දැගසවුවන් හට ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති-පටිසන්‍ධි පිළිවෙළින් සිහි කිරීමේ හැකියාව තියෙනව. එනම් එක සත්ත්‍වයකු ගේ මේ අත්බව්හි පටිසන්‍ධිය බලා, දෙ වන අත්බව්හි චුතිය ද, එහි ප්‍ර‍තිසන්‍ධිය දැ යි මෙසේ පිළිවෙළිනි.

  • පසේ බුදුවරයෝ

ඉහත ආකාරයටම දෙයාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති පටිසන්‍ධි වශයෙන් සිහි කිරීමේ හැකියාව පවතිනවා.
එයට හේතුව වන්නේ මහා ශ්‍රාවක ද, අග්‍ර‍ ශ්‍රාවක ද, ප්‍රත්‍යෙක බුද්ධ ද, අභිනීහාරය හා බෝධිසම්භාරය පුරණ කාලය එපමණ හෙයින්.

  • බුදුවරුන්ට වූ කලී ස්කන්ධ පටිපාටියක් හෝ, චුති පටිසන්‍ධි පටිපාටියක් හෝ, කාල නියමයක් හෝ නැත. එසේ මැ නොයෙක් කෝටි ගණන් කල්ප අතහැර යම් යම් තැනක් රිසි වූයේ නම් ඒ ඒ තැන ප්‍ර‍කට වීමේ හැකියාව පවතිනවා. පෙය්‍යාල මුඛයෙන් දෙසන පාළියක් සේයි. එලෙසම සිංහ ගතික වැ වාලවේධයෙහි සමර්‍ථ සරභඞ්ගාදි ධනුර්‍ධරයින් විදී හීය, ගස්-වැල් ආදියෙකැ නො ගැටී, ඉලක්කය ම, විදපියන්නා සේ අතරතුර ජාතීන්හි නො ගැටී අභිමත ජාතියෙහි නුවණෙහිම හැපී සිටිනවා. එයද කාල වශයෙන් ද සීමාවක් නැහැ කියලයි විශුද්ධමාර්ගයේ පවසන්නේ.

එය තව දුරටත් විස්තර කරමින් තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මරණය කණාමැදිරි එළියෙන් බැලීමක් මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ පහන් එළියක් මෙන් ද, මහා ශ්‍රාවකයන් ගේ ගිනි සුලක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ඔසධී තාරක මෙන් ද, පසේ බුදුවරයන් ගේ සඳ එළිය මෙන් ද, සම්‍යක් සම්බුදුවරයන් ගේ මධ්‍යාහ්න සූර්‍ය්‍යයා මෙන් ද යනුවෙන් පවසනවා.

තවද තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අන්‍ධයාගේ සැරයටි කොණ ගෙන යාම මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ තනි ඒදණ්ඩෙහි යාමක් මෙන් ද,

මහා ශ්‍රාවකයන් ගේ පුවරු හෙයකින් යන්නාක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ගැළක් යා හැකි හෙයක යන්නාක් මෙන් ද, පසේ බුදුවරයන් ගේ පා මඟෙක යන්නාක් මෙන් ද, බුදුවරයින් ගේ මහා ශකට මාර්‍ගයෙකැ යන්නාක් මෙන් ද යනුවෙන් විස්තර කරනු ලබනවා.

එය තව දුරටත් විස්තර කරමින් තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මරණය කණාමැදිරි එළියෙන් බැලීමක් මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ පහන් එළියක් මෙන් ද, මහා ශ්‍රාවකයන් ගේ ගිනි සුලක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ඔසධී තාරක මෙන් ද, පසේ බුදුවරයන් ගේ සඳ එළිය මෙන් ද, සම්‍යක් සම්බුදුවරයන් ගේ මධ්‍යාහ්න සූර්‍ය්‍යයා මෙන් ද යනුවෙන් පවසනවා.

තවද තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අන්‍ධයාගේ සැරයටි කොණ ගෙන යාම මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ තනි ඒදණ්ඩෙහි යාමක් මෙන් ද,

මහා ශ්‍රාවකයන් ගේ පුවරු හෙයකින් යන්නාක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ගැළක් යා හැකි හෙයක යන්නාක් මෙන් ද, පසේ බුදුවරයන් ගේ පා මඟෙක යන්නාක් මෙන් ද, බුදුවරයින් ගේ මහා ශකට මාර්‍ගයෙකැ යන්නාක් මෙන් ද යනුවෙන් විස්තර කරනු ලබනවා.

දැන් ඔබහට අප මහා බුදුපියාණන් වහන්සේගේ පූර්‍වෙනිවාසානුස්මෘතිඥාන විෂයපථය පිලිබඳ අල්ප වූ වැටහීමක් තියෙන්නට ඕනේ. ඔබ දොහොත්මුදුන් තබා වන්දේ එවැනි බුදුවරයෙකුටයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය. (අභිඥා නිර්දේශය)

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)204

ද්විතීය විද්‍යාව ලැබීම හා කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය (මධ්‍යම යාමය)
ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂු ඥානය පහළවීම.

නැවැත මහබෝසතාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි ද පළමු පරිදි ම ආනාපාන චතුර්ථධ්‍යානයට සම වැද ඉන් නැගී සිට, සත්ත්වයන්ගේ ච්‍යුත්‍යුපපත්තීන් බැලීමට සිත යොමු කිරීමේදී ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂුරභිඥානය පහලවුනා. මරණයට ඉතා ළං වූ ද, එ කෙණෙහි පිළිසිඳ ගත්තා වූ දැ යි කළකම් පරිදි සුගති දුගති දෙක්හි මැරෙන උපදින නන් වැදෑරුම් සත්ත්වයන් පෙනෙන්නට පටන්ගත්තා. උන්වහන්සේ මෙය බෝධිරාජ කුමාර සුත්‍රයේ මෙලෙස සඳහන් කරනවා.

“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්ත්වයන් දකින්නට වුනෙමි.

කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය

මෙසේ සත්ත්වයන්ගේ ච්‍යුති උපපත්ති දැක්මෙන් තත් ප්‍රතිච්ඡාදක මෝහය දුරු විය. “මම අතීතයෙහි වීම් ද , නොවීම ද යන ආදි වශයෙන් සොළොස් පරිද්දෙකින් වන සියලු සැකය ද ප්‍රහීණ වුණා. මේ වනාහි මහසතාණන් වහන්සේ ගේ කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය යි පවසනවා.

බුද්ධත්වයට පෙර ස්වකීය ඤාණයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධකොටගත් අප මහා බෝසතාණෝ.

අපේ බුදුහාමුදුරුවෝ ගෞතම සුත්‍රයේ කියනවා ” මහණෙනි මම පටිච්ච සමුප්පාදය අවබෝධ කලේ බුද්ධත්වයට පෙර බෝසත් අවදියේදී කියලා. උන්වහන්සේ ඒ තරම්ම ප්‍රඥාවන්තයි. මේ කියවෙන්නේ ඒ ගැන වුනත් ගෞතම සුත්‍රයේ තරම්ම සරළව විස්තරාත්මකව නෙවෙයි. ලිපිය දීර්ඝ නොකිරීම සඳහා පටිච්ච සමුප්පාද විස්තරය බුද්ධත්වයෙන් පසු මහා නිධාන සුත්‍රය ලියනතෙක් පසෙකට තැබුවා.

ඒ දීර්ඝ රාත්‍රියේ තුන් වැනි යාමය ද පැමිණියා. මහ බෝසතාණන් වහන්සේ පළමු සේ ම ආනාපාන චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැඟී සිට ස්කන්ධ පස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට වුණා. ඉන්පසු පටිච්ච සමුප්පාද අංග ආරෝහණ අවරෝහණ වශයෙන් මෙනෙහි කරන්නට වුණා. ඒ මගින් මෙතෙක් අවුලක් වූ නූල්බෝලයක හැඩය ගත් භව චක්‍රය සෙමින් සෙමින් ලෙහෙන්නට වුණා. කලාප සම්මර්ශනයේ සිට එක් එක් පටිච්චසමුප්පාද අංගය සත්තානුපස්සනාවීථියට බහාලමින් විමසන්නට වුණා. මෙසේ විවසුන් වඩමින් අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාව ද, දුක්ඛානුපස්සනායෙන් සුඛ සංඥාව ද, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාව ද, විරාගානුපස්සනායෙන් රාගය ද, නිබ්බිදානුපස්සනායෙන් නන්දිය ද, නිරොධානුපස්සනායෙන් සමුදයය ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් (පටිනිස්සග්ග = අත්හැරීම දුරුකිරීම) ආදානය ද (ආදාන =අල්ලා ගැනීම, ග්‍රහණය, පිළිසිද ගැනීම ) දුරු කරනු ලැබුවා.

මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි සම්පාදනය

නැවැත සියලු සංස්කාරයන් නාම රූප වශයෙන් දෙකට බෙදා උදය ව්‍යය වශයෙන් බලන උන් වහන්සේට ආලෝක පීති පස්සද්ධි ඤාණ සද්ධා සති සුඛ උපෙක්ඛා විරිය නිකන්ති යන විදර්ශනා උපක්ලේශ දහය පහළ වුණා. ඉන්පසු ඒ ආලෝක ප්‍රීති ආදි ධර්මයන් නුවණින් බලන සේක්, “තෘෂ්ණා දෘෂ්ටි මානයට අරමුණු බැවින්” මොහු මාර්ගය නො වෙත්, තරුණ විදර්ශකයාට ධර්මතා වශයෙන් පහළ වන විදර්ශනෝපක්ලේශයෝ ම බව වැටහුණා.

මොවුන්ගෙන් මිදුණු විදර්ශනා විථියට පිළිපන් නුවණ ම මාර්ගය වේ යැ” යි මෙසේ මාර්ගාමාර්ග පිරික්සා දැන ඒ ආලෝකාදීන් කෙරෙහි නො ඇලී සිත විදර්ශනා භාවනාවට ම යොමු කරනු ලැබුවා. මෙහි උන්වහන්සේට පහළ වූ මගනොමග පරීක්ෂා කැර තීරණ කොට ගන්නා තියුණු විදර්ශනා ප්‍රඥාව මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි සම්පාදනයයි පවසනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01,බෝධිරාජකුමාර සූත්‍රය ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය) , බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ධර්ත ගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)205

ආසවක්ඛය ඤාණය පහළවීම සහ පටිපදාඤාණ දස්සණ විසුද්ධිය (පච්ඡිම යාමය)

තථාගතයන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යාවක් දක්වා වදාරා තිබෙනවා. අම්බට්ඨ සූත්‍රයෙහි පමණක් අෂ්ට විද්‍යාවක් දේශනය කර තිබෙනවා. මේ ත්‍රිවිද්‍යාවන් බුද්ධත්වය කරා යන ගමනේ ප්‍රථම යාමයේ මජ්ජිම යාමයේ සහ පච්ඡිම යාමයේ යන යාමයන්හි පහල වන්නේ අනුපිළිවෙලින්.

ත්‍රිවිද්‍යාව නම්

  1. තමන්ගේ ද සෙස්සන්ගේ ද පෙර ඉපද සිටි ජාති පිළිවෙළ නාමගෝත්‍රාදි වශයෙන් දක්නා වූ පූර්වේනිවාසානුස්මෘති ඥානය,
  2. ඒ ඒ සුගති දුර්ගති භවවලින් ච්‍යූතව කර්‍මානුරූපව නැවත ඒ ඒ භව වල උපදනා සත්ත්වයන් දක්නා දිව්‍යංචක්ෂූරභිඥානය,
  3. දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි දැන කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කර නිවන් රසය මතු කර දෙන අර්හන්මාර්ගඥානය, නොහොත් ආසවක්ඛය ඤාණය.

උන්වහන්සේ “ආසවක්ඛය ඤාණය” ලබාගත් සැටි “භයබෙරව” සුත්‍රයේ වැඩිදුරටත් මෙලෙස බුද්ධ ශ්‍රී මුඛ දේශනාවෙන්ම සඳහන් වනවා.

“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයැයි සතුසේ දත්තෙමි. මේ දුක් නැති කිරීමයැයි තතුසේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයැයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය.

“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.

“බ්‍රාහ්මණය, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය”

පටිපදාඤාණ දස්සණ විසුද්ධිය

මෙලෙස විදර්ශනා මාර්ගයට පිළිපන් මහාසත්ත්වයන් වහන්සේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පරීක්ෂා කරන අතර පංචස්කන්ධයේ පහළ වීමත් විනාශයත් දුටු දකිනු ලැබුවා. (උදයව්‍යය ඥාන) ස්කන්ධයන්ගේ පහළවීමත් විනාශයත් වඩ වඩා බලත්ම වඩ වඩා ස්කන්ධ භංගය ම ප්‍රකට වැ පෙනෙන්නට වුණා. තමන් ඉදිරියෙහි සිටින ව්‍යාඝ්‍රයකුගේ අයා ගත් මුඛයම පෙනෙන්නා සේ ඉතා බලවත් වී මරණය ම පෙනෙන්නට විය. සියලු ස්කන්ධ පංචකය හුදු මරණය නම් දැයෙකින් ම සැදුණාක් මෙන් වැටහිණ. (භංගානුපස්සනඤාණය පහළ වුනා.)

මේ අනුව තව දුරටත් භංගය අනුව බලන සේක් භවත්‍රය ගත සියලු සංස්කාරයන් ව්‍යාඝ්‍ර සර්පාදීන් මෙන් භයක් කොට, භයට කාරණ කොට දුටුවා. (භයතොපට්ඨාන ඤාණය ලැබූ සේක.) මෙසේ සංස්කාරයන් භය වශයෙන්, භය උපදවන්නන් වශයෙන් බලත් බලත් ම භවත්‍රය මුළුල්ල ගිනිගත් කිහිරඟුරු වලක් සේ ජාති ජරාදී එකළොස් ගින්න ඇවිල පවත්නා ප්‍රතිෂ්ඨා රහිත තැනක් සේ පෙනුණා. “භවය මෙ නම් ජාති ජරාදි දුකින් යුක්ත ය” යි භවත්‍රයයේ ම දෝෂ දුටුවා. (ආදීනව ඤාණය ලැබූ සේක.)

ආදීනව ඤාණයෙන් සංස්කාරයන්ගේ දෝෂ බලන කල්හි තමන් සර්ප මුඛයට අසුවූ මැඩියකු සේ ද, දැලෙක අසු වූ මසකු සේ ද, හැඟී යෑමෙන් තුන් භූමියට අයත් සියලු ධර්මයන්ගෙන් මිදෙනු කැමැති නුවණ ඇති වුණා . (මුච්චිතුකම්‍යතා ඤාණය පහළ විය.)

එයින් මිදෙන උපාය සොයන සේක්, චණ්ඩ මෘගයන් ඇති වනයකට වන්නකු ඉන් පැන යෑමට ඒ මේ අත මඟක් සොයා ඇවිදින්නාක් මෙන්, යළිත් සංස්කාරයන් අනිත්‍යාදී ත්‍රිලක්ෂණයට නඟා සම්මර්ශනය කරනු ලැබුවා. (පටිසංඛානුපස්සනා ඤාණය)

මෙසේ විදසුන් වඩන කල්හි දුරාචාර දෝෂයෙන් කලකිරී හරනා ලද භාර්යාවක සැඩොලුන් ගේ සමාගමයෙකැ සිටිනු දැක ද, ආලයක් හෝ අමනාපයක් නැති වැ උදාසීන වන්නාක් මෙන්, දොස් දැක්මෙන් කලකිරුණු, ඇල්ම හැර දැමූ, සංස්කාරයන් මධ්‍යස්ථ වැ බලනා නුවණ (සංඛාරුපෙක්ඛා ඤාණය) පහළ වුණා.

මෙහි කී උදයව්‍යය ඤාණය පටන් කොට සංඛාරුපෙක්ඛාඤාණය තෙක් වූ අෂ්ට ඥානයෝ මහබෝසතාණන් වහන්සේ විසින් පෙරැ බුදුවරයන් වෙත පැවිදි ව ධර්මය ඉගෙන විදර්ශනා වැඩීමෙන් ලත් නිසා අළු යට ගිනි පුපුරු මෙන්, කුටියක් තුළැ ඇවිලෙන පහන් මෙන් සිටි නිසා වහාම අවදිව පැන නැග්ගා.

ඒ අයුරින් පරිදි වූ සංඛාරුපෙක්ඛාඤාණය පුරුදු කරන මහසතාණන් වහන්සේ ගේ ශ්‍රද්ධාව තව තවත් බලවත් වුනා, වීර්යය මනාව වැඩුණා, සිහිය මොනවට එළැඹ සිටිය. සිත සුසමාහිත වුණා. සංස්කාරෝපේක්ෂාව (සංස්කාරයන් මධ්‍යස්ථ ව බැලීම) ඉතා තියුණු වුණා.

සංඛාරුපෙක්ඛාව (සංස්කාරෝපේක්ෂාව) සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් සම්මර්ශනය කරමින් නැවැතැ භවාංගයට බැස ගත්තා. ඉන්පසු, භවාංගයට අනතුරු වැ සංඛාරුපෙක්ඛා ඤාණයෙහි ආ පරිදි ම අනිත්‍යතාදි ත්‍රිලක්ෂණ අරමුණු කරමින් මනොද්වාරාවර්ජන සිත පහළ වුණා. ඒ සමගම යටැ පහළ වූ උදයව්‍යය ඥානාදි අෂ්ට ඥානයන් ගේ කෘත්‍ය සංසිද්ධියටත් මතු පහළ විය යුතු වූ බෝධිපාක්ෂික ධර්මයනටත් අනුකූල වැ, චතුස් සත්‍යයන් මුවහ කරන අවිද්‍යාව බිඳ හරිමින්, අනිත්‍යාදි තිලකුණු සර්වප්‍රකාරයෙන් ප්‍රකට කෙරෙමින්, සියලු ලෞකික විදර්ශනාවන් ගේ මුදුන් පැමිණ මහා කුශල ජවන ගත ඥානත්‍රයය පිළිවෙළින් බලවත් වැ පහළ වුණා. (සච්චානුලොමික ඤාණය පහළ වුණා.)

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)206

ඥාන දර්ශන විශුද්ධිය සහ බුදුවීම (පච්ඡිම යාමය)
සච්චානුලෝමික ඤාණය

මිට පෙර ලිපිය නිම වුනේ සච්චානුලොමික ඤාණය පහලවුනා යනුවෙන්. සච්චානුලොමික ඤාණය හෙවත් අනුලෝම ඤාන යනුවෙන් හඳුන්වන්නේ අනිත්‍යාදි තිලකුණු විවිධාකාරයෙන් දැකීම් වශයෙන් පහළ වූ විදර්ශන ඤාන අටටත් ඉන් මත්තෙහි මාර්ග චිත්තක්ෂණයෙහි ලැබිය යුතු බෝධි පාක්ෂික ධර්මයනටත් යන දෙ පක්ෂයට ම ගැළපෙන පරිදි ගෝත්‍රභූඥානයට මුලින් ඇති වන පරිකර්ම උපචාර අනුලෝම යන තුන් කාමාවචර මහා කුසල සිත්හි පහළ වන නුවණයි. මෙම නුවණ සානුලොම විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, සංඛාරුපෙක්ඛා විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යනුවෙන්ද හඳුන්වනවා. දුඃඛානුදර්ශනය පටන්, කොට සත්‍යානුලෝම ඤානය තෙක් ඇත්තාවූ මේ නවය නව විදර්ශනඤාන නම්වනවා. මොහු පටිපදාඤාණ දස්සන විසුද්ධියේ අවයවයෝයි.

ගෝත්‍රභූ ඥාන ලාභය

මෙතැන් සිට ඔබ හට අසන්නට ලැබෙන්නේ ඔබ බොහෝවිට අසා ඇති ගෝත්‍රභූ ඥානය පිළිබඳව. ගෝත්‍රභු ඤාණය යනුවෙන් හඳුන්වන්නේ පෘථග්ජන ගෝත්‍රය ඉක්මෙමින් ආර්යය ගෝත්‍රයට පැමිණෙන සන්ධියෙහි (අනුලෝම ඤානයටත් සෝවාන් මාර්ග ඤානයටත් අතර) නිවන මුලින් ම දකිමින් පහළ වන ඤානයයි. මෙය අන්‍ය මාර්ගවලට මුලින් ද පහළ වෙතත් සෝවාන් මඟ හැර අන් සකෘදාගාමී ආදී මාර්ගවලට මුලින් පහළ වීමේ දී “චෝදන” නමින් හඳුනනු ලබනවා. අප මහා බෝසතාණන් වහන්සේ මහා විර්යයකින් පෘථග්ජන ගෝත්‍රය (ලෞකික බව) මඬිමින්, ඉක්මෙමින්, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ගෝත්‍රභූ ඥානය පහළ කරගනු ලැබුව.

ඥාන දර්ශන විශුද්ධිය බුදුවීම

ගෝත්‍රභූ ඥානය පහළ වී නිරුද්ධ වීමෙන් අනතුරුව එයින් දෙන ලද සංඥා ඇත්තක්හු සේ දුක දකිමින්, සමුදය දුරු කරමින්, (දුකට හේතු වූ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නසමින් ) නිරෝධ සත්‍යය (නිවන) අරමුණු කරමින්, මාර්ග සත්‍යය (අරිඅටැඟි මඟ) වඩමින් ප්‍රථම ඥාන දර්ශනය (සෝතාපත්තිමග්ග ඤාණය) පහළ වුණා.

පච්චවෙක්ඛණ ඤාණයෝ

එයට අනතුරු ව සොතාපත්ති ඵලය ද, ඉන් පසු තමන් ආ මාර්ගය බලන මහා පච්චවෙක්ඛණ ඤාණය ද,ලත් මාර්ගයේ අනුසස් බලන ඵල පච්චවෙක්ඛණ ඤාණය ද, බිඳ හල කෙලෙසුන් විමසා බලන පහීණ කිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද, ඉක්බිති ඉතිරි වූ කෙලෙසුන් සොයා බලන වජ්ඣකිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද යන ඤාණයෝ පහළ වුණා.

යලිදු උදයව්‍යය ඤාණයේ සිට සංස්කාරයන් තිලකුණට නඟා බලන බෝසතාණන් වහන්සේට සංඛාරුපෙක්ඛාව කෙළවරැ අනුලෝම ඤාණ වෝදාන ඤාණයෝ ද තදනන්තර වැ දුක් පිරිසිඳිමින් රාගදෙවෂමෝහයන් තුනී කෙරෙමින් නිවන සාක්ෂාත් කෙරෙමින් අරිඅටැඟි මඟ වඩමින් දෙවෙනි ඥාන දර්ශනය (හෙවත් සකදාගාමිමග්ග ඤාණය) පහළ වුණා. එයට අනන්තර වැ එහි ඵලය ද එයට පසු මාර්ගයත් ඵලයත් ප්‍රහීණ ක්ලේශත් ප්‍රහීණ නො කළ ක්ලේශත් පිරික්සන ප්‍රත්‍යවේක්ෂාඥානයෝ පිළිවෙළින් පහළ වූවා.

නැවැත ද මහා පුරුෂයාණන් වහන්සේ උදයව්‍යය ඥානයේ සිට සංස්කාරයන්ගේ ලක්ෂණ බලන්නට පටන් ගන්නට වුණා. උන්වහන්සේට පළමු සේ ම සංස්කාරෝපේක්ෂාව අවසනැ අනුලෝමවෝදාන ඤාණයෝද, තදනන්තරව දුක් පිරිසිඳිමින්, සමුදය (කාමරාග ව්‍යාපාදයන්) ප්‍රහාණ කරමින්, නිවන් පසක් කරමින් අරි අටැඟි මග වඩමින් තෙවෙනි ඥාන දර්ශනය ද (අනාගාමි මාර්ගය) පහළ වුණා.

සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණීම.

එයට අනන්තර වැ තදනුරූප ඵලය ද මාර්ග ඵල ප්‍රහීණ ක්ලේශ, ඉතිරි කෙලෙස් යන මොවුන් පරීක්ෂා කරන ඥානයෝ ද පහළ වුණා. තවත් වධ්‍ය ක්ලේශයන් ඇති බව දුටු උන්වහන්සේ පළමු පරිදි ම උදය ව්‍යයාදි නව මහා විදර්ශන ඥානයෙන් සංස්කාරයන් ලක්ෂණත්‍රයට නඟා ක්‍රමයෙන් විමසා බලන යෝගීන්ද්‍ර වූ මහා පුරුෂයාණන් වහන්සේ ට සංඛාරුපෙක්ඛා ඥානය ද, ඉන් පසු අනුලෝම චෝදාන ඥානයෝ ද පහළ වූවා. තව දුරටත් සියලු දුක් පිරිසිඳ දකිමින්, සමුදය (ඉතිරිවැ සිටි සියලු කෙලෙසුන් ) වාසනා දෝෂ ද සමග විහත විධ්වස්ත කරමින්, නිවන් සාක්ෂාත් කරමින් මාර්ගය භාවිත කරමින්, සිවු වන ඥාන දර්ශන ය (අරහත්ත්වමාර්ග ඥානය) පහළ කරගනු ලැබුවා. මෙසේ සෝවාන් ආදී සතර මාර්ගයන් ලැබීම උන්වහන්සේ ගේ ඤාණදස්සන විසුද්ධි සම්පාදන යයි පවසනවා.

අර්හත්ත්වමාර්ග ඥානයට අනතුරුව අරිහත්ත්ව ඵලය ද ඉක්බිති මාර්ගත් ඵලත් ප්‍රහීණ ක්ලේෂත් නිර්වාණයත් යන මොවුන් පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂණ ඥානයෝද පහළ වූවා.

මහාපුරුෂයාණන් වහන්සේට අර්හත්ත්වමාර්ග ඥානය සමග ම සිවුපිළිසිඹියා ද ෂඩ් අසාධාරණ ඥාන ද තුදුස් බුද්ධඥාන ද අටළොස් ආවෙණික ධර්ම ද දශබල චතුර්වෛශාරද්‍යාදි අපරිමිත බුද්ධ ගුණයෝ ද සමෘද්ධ වූවා.

මෙසේ බෝසතාණන් වහන්සේ හිරු බැසයාමට පෙරම මාර බලය පරාජය කොට රන් පබළු දැලකින් පුදන්නා ක් මෙන් සිවුර මත බෝ අංකුර වැටෙද්දී පළමු යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ද, දෙවෙනි යාමයේදී දිවැස් ඤාණයද ලබා පච්ඡිම යාමයෙහි පටිච්ච සමුප්පාදය හේතු ‍ප්‍රත්‍යය ඥානය ද ලබා ගත්තා. මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුණා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා , ජාතක අට්ඨකතා 01, බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ර්තධාර්ත ගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)207

මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුණා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.

දෙතිස් පෙර නිමිති

 සම්මා සම්බුදු රජාණන් වහන්සේ දස දහසක් ලෝක කම්පා කොට අළුයම් වේලෙහි සියල්ල දන්නා නුවණ හෙවත් සබ්බඤ්ඤුත ඤාණය අවබෝධ කරන කල්හි දස දහසක් සක්වල දෙතිස් පෙරනිමිති පහළවුනා. මේ දෙතිස් පෙරනිමිති සම්බන්ධව මිට පෙර “අපේ බුදුහාමුදුරුවෝ නවවෙනි කොටසෙහි ලීවා. එහෙත් එය කියවීමට නොලැබුන පින්වතුන්ගේ දැනගැනීම පිණිස නැවත මෙහි සඳහන් කරන්නට සිතුවා.

උන්වහන්සේ බෝධිමුලයේ සියල්ල දත් නුවණ නොහොත් “සබ්බඤ්ඤුත ඤාණය” අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන මොහොතේම

  1. දසදහසක් සක්වළ කම්පිත ප්රකම්පිත වන්නට වුණා.
  2. දසදහසක් සක්වළදෙවියෝ එදින එක් සක්වළකට රැස්වුණා.
  3. දසදහසක් සක්වළ මහත් ආලෝකයක් පැතිරී ගියා.
  4. සිර කරනු ලැබූ සියලු සත්ත්වයෝ විලංගු, සිරගෙවල් ආදියෙන් මිදුණා.
  5. අධි ශීත, අධි උෂ්ණ සම වුණා.
  6. සුළං කුණාටු ඇති වුණේ නැහැ. මුළු පරිසරයම නිහඬ වුණා.
  7. ගංගාවෝ ගලා නොගොස් නැවතුණා.
  8. එකෙණෙහිම සියලු ගොඩ දිය පිපෙන මල් පිපෙන්නට පටන්ගත්තා.
  9. තුරු ලිය ඵල බර වුණා.
  10. ආකාස ගත වුද පොළවෙහි වුද සියලු රුවන් දිළිසෙන්නට වුණා
  11. මිනිස් හා දිව්ය තුර්ය භාණ්ඩ ඉබේ එකවර වාදනය වුණා.
  12. නා නා වර්ණ මල් වරුසා අහසින් වසින්නට වුනා.
  13. මහා මුහුදු රළ සංසිදී ලුණු රස පහවගොස් මිහිරි රැසක් හටගත්තා.
  14. පහන් සිත් ඇති දෙවිවරු සිය දිව්ය විමන්වල නටන්නට වයන්නට,ගයන්නට, ක්‍රීඩා කරන්නට, දජ පතාක දමන්නට පටන් ගත්තා එකෙණෙහිම මහකවුළු දොරගුළු ඉබේටම විවර වුණා,
  15. නිරයවල නිරන්තරයෙන්ම ඇවිලුණු මහා ගිණිදැල් නිවෙන්නට පටන්ගත්තා,
  16. බුද්ධාන්තරයක් පුරා දියපොදක් නොලත් ප්‍රත ලෝකයෙහි පිපාසය පහවගියා.
  17. හිරු දීප්තිමත්ව බබලද්දී සියලු තාරකාවෝ පෙනෙන්නට වුණා.
  18. වැසි නො වැසම පොළොවෙන් ජල දහර උඩට පැන නැග්ගා,
  19. තරු සමූහය සමග නැකත් තරුද අහසේ බබළන්නට වුණා.
  20. සඳ විසාවේ නැකත් හා යෙදෙන්නට වුනා.
  21. පෘථිවියේ ගුහාවල වාසය කරන සත්ත්වයෝ එකවර එයින් නික්මුණා
  22. සියලු සත්වයන්ගේ උකටලී බව නැති වී සතුටු වුවන් බවට පත්වුණා.
  23. උපතින්ම අන්ධවුවන් හට පෙනීම ලැබුණ. බිහිරෝ ශබ්ද ඇසුවා. මානසික ආබාධිතයනට සිහි එළඹුණ. කොර වුවෝ පයින් ගමන්කළ
  24. සියලු සත්ත්වයන්ගේ රෝග හා සාගිනි දුරුවුණා
  25. සියලු සත්වයන්ගේ බය පහවගියා
  26. දුහුවිලි තවදුරටත් ඉහළට නැගුණේ නැහැ.
  27. අමිහිරි සුවඳ නැති වී මිහිරි සුවඳ දසත හමා ගියා
  28. එකෙනෙහිම අරූපී බඹුන් හැර සියලු දෙවු බඹුන් පෙනෙන්නට වුණා.ඒ විතරක් නෙවයි, සියලු නිර මිනිසුන්ට පෙන්නේට වුණා.
  29. අධික දුකින්ද මහත් අඳුරින්ද ගහණ වූ ලෝකාන්තර නිරයේ මහත් විපුල ආලෝකයක් ඉපැදුණා.
  30. බිත්ති ජනෙල් පර්වත අනාවරණය වී අහස මෙන් වුණා
  31. මියා පූසා වැනි නිත්‍ය වෛරී සත්වයෝ පරම මෛත්‍ර සිත් ලැබුවා. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණා. විසඝෝර සත්තු මුගටින් හා සමග ක්‍රිඩා කළා. ගෙවලමියෝ බළලුන් හා සෙල්ලම් කළහ.
  32. එක් ක්ෂණයෙහි සත්වයන් චුති හෝ ප්රතිසන්ධි වශයෙන් ලොව පහළවීම සහ නික්මීම වුනේ නැහැ.

මෙසේ දස දහසක් සක්වළ සියලු අලංකාරයෙන් සැරසුණ. ඒ සක්වල පෙරදිග මුවවිටියෙහි එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර බටහිර මුවවිටියෙහි පතිත වුණා. එසේම බටහිර මුවවිටියෙහි එස වූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර පෙරදිග මුවවිටියෙහි පතිත වුණා.මේ අයුරින් උතුරු-දකුණු දිශාවල එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර වල්ද ප්‍රතිවිරුද්ධ දිශා මුවවිටියෙහි වැදුණා. පොළොවෙහි ඔසවන ලද ධජ කෙළවර බඹලොව හැපුණා කියනවා. එසේම දස දහසක් සක්වල මල්, ගෙඩි හටගන්නා ගස් වල මල් ගෙඩි හට ගැනුණ. රුක් කදෙහිද මල් පිපුණි.අතු රිකිලි ලියවැල් වල මල් පිපුණි.ගල් තලා බිඳ මතු මතු සතක් වනසේ දඬු පියුම් පැන නැගුණ. මෙසේ අපමණ සිරි සැපතින් බුද්ධත්වය පිදුම් ලබද්දී විවිධ අසිරිමත් දේ පහළ වෙද්දී සබ්බඤ්ඤුත ඤාණය හෙවත් සියල්ල දන්නා නුවණ අවබෝධකොට සියලු බුදුවරයන් විසින් අත් නොහරින ලද ප්‍රීති වාක්‍ය උන්වහන්සේගේ මුවින්ද පහළ වුනේ සාරසංඛේය කල්පලක්ෂයක විඩාව පහකරන්නා වගේ.

“අනේක ජාති සංසාරං – සංධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා ”

“ පඤ්චස්කන්ධය කියන ගෙය හදන තණ්හාව කියන වඩුවා සොය සොයා මේ සසරෙහි නොයෙක් ජාතිවල ඇවිද්දත් මට ඒ වඩුවා දැකගන්නට නොහැකි වුණා. නැවත නැවත ඉපදීම දුකක්. එම්බා වඩුව, මන් නුඹව දැක ගත්තා. නැවත නුඹ මට පඤ්චස්කන්ධය කියන ගෙදර හදන්නේ නෑ. නුඹේ කෙලෙස් කියන සියලු පරාල විනාස කලා. අවිද්‍යාව කියන කැණිමඩල සිදලා දැම්මා. විසංඛාරගත මාගේ සිත නිවනටම පත් වුණා. තණ්හාව සම්පූර්ණයෙන්ම දුරුකර දැම්මා..”

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)208

බුද්ධ

මෙම විශ්වය තුළ දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් ද බුද්ධ නම් වනව. ඒ වගේම ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි බුදුවරයෙකු විසින්ම දේශණා කලද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වනවා.

මෙවැනි බුදුවරයෙකුගේ සර්වඥතා අවබෝධය ගැන බිදක් ලිවීමට කරුණු රැස් කරගැනීමට සති කිහිපයක සිට උත්සාහ දැරුවත් එය ඉතා ලේසි කටයුත්තක් නොවුනේ ඒ සුවිශේෂ අවබෝධය මුළු ත්‍රිපිටකය පුරාම විසිරි පැවතීමයි. එවැනි අති සංකීර්ණ ඥාන සාගරයක් වටහාගැනීමට තරම් අපගේ මනස ද වැඩි නොතිබීම තවත් අභියෝගයක් වුණා. විශේෂයෙන්ම මෙම ලිපිපෙලේ දැනට ලියවෙන දෙවැනි කොටස වන අවිදුරේ නිධානය අවසන්වීමට නියමිතව ඇත්තේ සම්මා සම්බුද්ධත්වයෙන්. එහෙත් ඒ අවසානය ඔබ දොහොත් මුදුන් තබා වඳින බුද්ධ ඥාණ කිහිපයක් ගැන හෝ ලියා මින් ඉදිරියට හදපත්ලෙන් පැන නගින අසීමිත ගෞරවයෙන් වන්දනා කිරීමට සැලැස්වීම මෙම අවසන් ලිපි පෙළෙහි සැඟවුන ඒකායන පරමාර්ථයයි. ඉන් පසු “සන්තිකේ නිධානය” නම් වූ අවසාන කොටස පටන් ගැනෙනවා.

උන්වහන්සේ මෙසේ භගවා නම් වූ සේක

බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාණ පිලිබඳ ලිපිපෙළ ආරම්භයක් ගන්න සුදුසු ප්‍රවේශයක් ගැන සිතමින් ඉන්නා අවස්ථාවෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භගවා බුදුගුණය අළලා මහානිද්දෙසපාළියෙහි සාරිපුත්ත සුත්‍ර නිර්දේශයෙහි දේශණා කොට තිබූ දීර්ඝ බුදුගුණ වැයුම අසන්නට ලැබී ඇති වුනේ මහත් වූ චිත්තප්‍රිතියක්. එහි අප දන්නා වුත් නොදන්නා වුත් සියලුම බුදුගුණ අන්තර්ගතව ඇතැයි හැඟෙනවා. ඒ ගැන දැනගත්තේ අති පුජ්‍යය නාඋයනේ අරියධම්ම මහ නායක හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න. එය ලියාගන්න කාලවේලාවක් නැතිව ලතවෙනවිට පින්වත් අපගේ කල්‍යාණ මිත්‍ර කථිකාචාර්යය වින්සන් හලහකෝන් මැතිතුමා එය මට ලඝුගණක කොට ඒවා තිබුණා.

  1. “ භගවාති ගාරවාධිවචන මෙතං බුද්ධානං යදිදං භගවාති” – භගවා කියන්නේ සර්වඥ බුදුරජාණන් වහන්සේලාට ගෞරව නාමයක්.
  2. “අපි ච භග්ගරාගොති භගවා”- ඒ නැතත් සර්වඥයන් වහන්සේ රාගය භග්න කළ බැවින්, වින්ද බැවින් භගවා නම් වෙනවා
  3. “ භග්ග දොසොති භගවා” – භගවා ද්වේෂය බින්ඳ බැවින් භගවා නම් වෙනවා.
  4. “භග්ග මොහොති භගවා” – මොහය බින්ද බැවින් භගවා නම් වෙනවා.
  5. “භග්ග මානොති භගවා” – මානය බින්ද බැවින් භගවා නම් වෙනවා.
  6. “භග්ග දිට්ඨිති භගවා” – දිට්ඨිය, මිත්‍යා දිට්ඨිය බිඳලූ බැවින් භගවා නම් වන සේක.
  7. “භග්ග කණ්ඨකොති භගවා” – කෙලෙස් කටු බිඳලූ බැවින් භගවා නම් වන සේත.
  8. “භග්ග කිලෙසොති භගවා” – ඒක්දහස් පනිසියයක් කෙලෙස් බිඳලූ බැවින් භගවා නම් වන සේක.
  9. “භජි විභජි පටිවිබජි ධම්මරතන්ති භගවා” – ධර්‍මරත්නය භජනය කළාල විජනනය කළා හාත්පසින් බෙදා දෙසූ බැවින් භගවා නම් වන සේක.
  10. “භවානං අන්තකරොති භගවා” – කාම භව රූප භව අරූප භව ආදී සියලු භවයන් කෙළවර කළ බැවින් ද භගවා නම් වන සේක.
  11. “ භාවිතො කායො, භාවිතො සීලො, භාවිත චිත්තො, භාවිත පඤ්ඤොති, භගවා” – කාය භාවනාවත්, සිල භාවනාවත්, චිත්ත භාවනාවත්, ප්‍රඥා භාවනාවත්, වැඩු බැවින් ද භගවා නම් වන සේක.
  12. “භජි වා භගවා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා,” – ඒ් කියන්නේ ආරන්‍ය සේනාසන, ප්‍රාන්ත සේනාසන, මනුෂ්‍යයන්ගේ හඩක් නැති, මනුෂ්‍යයන්ගේ හැසිරීමක් නැති, මනුෂ්‍යයන්ගේ කථාබහක් නැති, ආශ්‍රයක් නැති, නිශ්ශබ්දතාවෙන් පිරිපුන් වුණා වූ, සමථ විපස්සනා භාවනාවන්ට සුදුසු වූ, මාර්‍ගඵල ලබන්නට සුදුසු වූ ප්‍රාන්ත සේනාසන, විවේක සේනාසන භාජනය කළ නිසා ද භගවා නම් වන සේක.
  13. “ භාගී වා භගවා චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා,”චීවර ද, ප්‍රණීත ප්‍රණීත චීවර ද, ප්‍රණීත ප්‍රණීත පිණ්ඩපාත, ප්‍රණීත ප්‍රණීත සේනාසන, ප්‍රණීත ප්‍රණීත ගිලානප්‍රත්‍ය භෙසජ්ජපරිස්කාරයන් ලබන්නට භාග්‍යවන්ත බැවින් ද, භගවා නම් වන සේක.
  14. “භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා” ඒ් සර්‍වඥයන් වහන්සේ අර්‍ථ රසලාභී බැවින් ද, ධම්ම රසය ලාභී බැවින් ද, විමුක්ති රසය ලාභී බැවින් ද, අධිචිත්ත ලාභී බැවින් ද, අධී සීල ලාභී බැවින් ද, අධි පඤ්ඤා ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  15. “භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං ආරුප්පසමාපත්තීනන්ති භගවා” –
  16. ඒ භාග්‍යවතුන්වහන්සේ රූපාවචර ධ්‍යාන හතරක් ලැබූ බැවින් ද, බ්‍රහ්ම විහාර හතර ලැබූ බැවින් ද, අරූපාවචර සමාපත්ති හතර ලැබූ බැවින් ද, භගවා නම් වන සේක.
  17. “ භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිඤ්ඤායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා” – අෂ්ට විමොක්ෂ කියන ධ්‍යාන ලාභී බැවින් ද, අටක් වූ අභිභායතන කියන ධ්‍යාන ලාභී බැවින් ද, නව අනුපූර්‍ව විහාර සමාපත්තීන් කියන ධ්‍යාන සමාපත්තීන් ලාභී බැවින් ද, භගවා නම් වන සේක.
  18. “භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානස්සතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා,” – දස සඤ්ඤා භාවනා ලාභී බැවින් ද, භගවා නම් වන සේක. දස කසින සමාපත්තිලාභී බැවින් ද භගවා නම් වන සේක. දස අසුභ සමාපත්ති ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  19. “භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං – සතර සතිපට්ඨාන ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  20. “චතුන්නං සම්මප්පධානානං” – සතර සම්‍යක් ප්‍රධාන්ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  21. “චතුන්නං ඉද්ධිපාදානං” – හතරක් වූ ෘද්ධි පාදයන් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  22. “පඤ්චන්නං ඉන්ද්‍රියානං” – පඤ්ච ඉන්‍ද්‍රිය ධර්‍ම ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  23. “පඤ්චන්නං බලානං”- පඤ්ච බල ධර්‍මයන් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  24. “සත්තන්නං බොජ්ඣඞ්ගානං” – සප්ත බොජ්ඣඞ්ග ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  25. “අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා” – ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  26. “භාගී වා භගවා දසන්නං තථාගතබලානං” – තථාගතඥාණබල දහයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  27. “චතුන්නං වෙසාරජ්ජානං” – විසාරද ඥාණ හතරක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  28. “චතුන්නං පටිසම්භිදානං” – පටිසම්භිදා ඤාණ හතරක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  29. “ඡන්නං අභිඤ්ඤානං” – අභිඤ්ඤා ඥාණ හයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
  30. “ඡන්නං බුද්ධධම්මානන්ති භගවා”- බුද්ධ ධර්‍ම හයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.

එමෙන්ම එම සුත්‍ර දේශනාවේ වැඩි දුරටත් මෙලෙස සඳහන් කරමින්, මෙම භගවා යන නාමය මහ මායා දේවිය විසින් තැබුවක් නොව, ශුද්ධෝදන රජතුමා විසින් තැබුවක් නොව පිය පස හෝ මවු පස ඥාතීන් විසින් තබන ලද්දක් ද නොව, නන්ද ආනන්ද ආදී සහෝදර කෙනෙක් තැබූ නමක් නොව,රූප නන්දා ජනපද කල්‍යාණි ආදී සොහොදරියක් විසින් තබනු ලැබූ නමක් නොව, හිත මිතුරන් තැබූ නමක් නොව, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් තැබූ නමක් නොව, දෙවියෙක් බ්‍රහ්මයෙක් තැබූ නමක් නොව, සර්වඥයන් වහන්සේ බෝමුල අරා වැඩහිඳිමින් සපිරිවාර මාර පරාජයකොට යම් අලුයම් කාලයකදී දසදහසක් සක්වළ කම්පා කරමින් සතර මග පිළිවලින් ගොස් අරිහත් මලක්සේ අරිහත් ඵලයට පත්වූ සේක්නම්, ඒ විමොක්ශාන්ත නමැති ඒ අරිහත් ඵලයට පතවන විටම ඒ මත පිහිටා භගවා යන නාමය ලොවට උරුම වූ භවයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මහානිද්දෙසපාළි සාරීපුත්‍ර සූත්‍ර නිර්දෙශය,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)209

අසිරිමත් බුදුගුණ වරුණ 02
උන්වහන්සේ මෙසේ “අරහං” නම් වූ සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ කවර-කවර කාරණයෙකින් අර්‍හත් වන සේක් ද, යනුවෙන් සංකීර්ණ වූ විෂය පදාසයක් තුල කල මෙම මනරම් ගුණ වර්ණනාව මෙලෙස සංකිශිප්තව කෙටියෙන් සඳහන් කරන්නේ අද ලිපියට ගැලපෙන අයුරින්.

  1. උන්වහන්සේ සකල ක්ලේශයන් කෙරෙන් ආරකය. (ඉතා දුරස්ථය) අර්‍හත්මාර්‍ගඥානයෙන් ස්වාසනා සකල ක්ලේශ විධවංශනය කළ බැවිනි. එහෙයින් උන්වහන්සේ අරහ අර්‍හත් ය. යමෙක් යමෙක් හා අසමඞ්ගිත්‍වය වේ ද, එහෙයින් හෙතෙමේ ආරකා නම් වනවා. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් හා අසමඞ්ගී ය. එහෙයින් උන්වහන්සේ අර්‍හත් යයි මෙලෙස දක්වන ලදී.
  2. උන්වහන්සේ විසින් ඒ ක්ලේශ අරීහු (කෙලෙස් සතුරෝ) මාර්‍ගඥානයෙන් නසා වනසන ලදී. එහෙයින් අරහං (අර්‍හත්) ය.
  3. යම් හෙයකින් නාථයන් වහන්සේ විසින් ප්‍ර‍ඥා නමැති ශස්ත්‍රයෙන්, රාගාදි සංඛ්‍යාත සියලු අරීහු නසන ලද්දේ ද එහෙයින් ද උන්වහන්සේ අරහං නම් වනවා. (අරිහත යනු නිරුක්ති නයයෙන් අරහං යි විණි.)
  4. තවද සංසාරය රථ චක්‍ර‍යක් වැන්න. අවිද්‍යාව හා භව තෘෂ්ණාව එහි නාභිය. පුඤ්ඤාදි අභිසංඛාර අර හෙවත් දැවිය ජරාමරණ නිම්වලල්ලය. ආශ්‍ර‍ව සමුදය නමැති අකුරින් විද්‍ය ත්‍රිභව නමැති රථයෙහි යොදන ලදුව අනාදිමත් කාලයක් මුළුල්ලෙහි පවත්නේ ය. තථාගතයන් විසින් ඒ සංසාර නමැති චක්‍ර‍යාගේ පුඤ්ඤාභි සංඛරාදි නමැති අර බෝ මැඩ දී වීර්‍ය්‍ය නමැති පාදයෙන් ශීල නමැති පෘථිවියෙහි පිහිටා ශ්‍ර‍ද්ධා නමැති අතින් කර්‍මක්‍ෂයකරඥාන නමැති පොරොව ගෙනැ කපා පියන ලද්දේ ය. එසේ හෙයින් (අර හත බැවින්) උන්වහන්සේ අරහං (අර්‍හත්) ය. අර හත යන තන්හි නිරුක්ති නයයෙන් අරහං විය.
  5. අවිද්‍යාව හා සංස්කාර හා එක් සංක්‍ෂේපයෙකද, විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්ස වේදනා එක් සංක්‍ෂේපයෙකද, තණ්හා, උපාදාන, භව එක් සංක්‍ෂේපයෙකද, ජාති, ජරා, මරණ එක් සංක්‍ෂේපයෙකද, මෙයින් මුල දැක්වුණු සංක්‍ෂේපය අතීතකාලීන වශයෙන්ද, මැද දැක්වුණු සංක්‍ෂේප දෙක වර්‍තමානකාලින වශයෙන්ද, අවසානයෙහි දැක්වුණු සංක්‍ෂේපය අනාගත කාලික වශයෙන්ද,

තවද මෙහි

  1. අවිද්‍යා,
  2. සංස්කාර
  3. තණ්හා
  4. උපාදාන
  5. භව ගැනුමෙන් ඒ පඤ්ච ධර්‍ම අතීත කර්‍මවෘත්ත වශයෙන්ද,

 

  1. විඤ්ඤාණ
  2. නාම-රූප
  3. සළායතන
  4. ඵස්ස
  5. වේදනා යන පඤ්ච ධර්‍ම වර්‍තමාන විපාක වෘත්ත වශයෙන්ද,

 

  1. තණ්හා
  2. උපාදාන
  3. භව ගැන්මෙන්
  4. අවිජ්ජා
  5. සංඛාර ද ගැනුණේ බැවින්, ඒ පඤ්ච ධර්‍ම වර්‍තමාන කර්‍ම වෘත්ත වශයෙන්ද,

ජාති,ජරා,මරණ වශයෙන් දැක්වෙන්නේ

  1. විඤ්ඤාණ
  2. නාම-රූප
  3. සළායතන
  4. ඵස්ස
  5. වේදනා එබැවින් ඒ පඤ්ච ධර්‍ම අනාගත විපාක වෘත්ත වශයෙන්ද, මෙසේ මෙය ආකාර වශයෙන් විසි වැදෑරුම්වද,

තවද

  1. සංඛාර-විඤ්ඤාන දෙක අතර එක් සන්‍ධියෙකද
  2. වේදනා – තණ්හා අතර එක් සන්‍ධියෙකද
  3. භව-ජාති අතර එක් සන්‍ධියෙකද, (මෙහි වැඩි විස්තර මෙම ලිපි පෙළෙහිම මතු ලියවෙන පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙන් ද, අභිධර්‍ම චන්‍ද්‍රිකා පටිච්චසමුප්පාද පාදය කියවීමෙන්ද දත හැකිය. ) වශයෙන්

මෙසේ භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂේප සතරකින් හා අද්ධ තුනකින් හා ආකාර විස්සකින් හා සන්‍ධි තුනකින් හා යුක්ත වූ පටිච්චසමුප්පාදය සර්‍වාකාරයෙන් දන්නා සේක. ඒ අවබෝධය ඥානාර්‍ථයෙන් ඥාන වශයෙන්ද, ප්‍ර‍ඥාතාර්‍ථයෙන් ප්‍ර‍ඥා වශයෙන්ද, ‘ප්‍ර‍ත්‍යයාව බෝධයෙහි ප්‍ර‍ඥාව ධර්‍මසථිති ඥානය’ වශයෙන්ද එහෙයින් කියනු ලැබේ. උන්වහන්සේ ඒ ධර්‍මස්ථිති ඥානයෙන් ඒ ධර්‍ම තත්ත්‍වාකාරයෙන් දැනැ වදාරා ඒ ධර්‍මයන් කෙරෙහි කළකිරී එහි නො ඇලී ඒ සියල්ලෙන් මිදී යථෝක්ත සංසාර චක්‍ර‍යා ගේ අර විහත විධ්වංසනය කළ සේක. මෙසේ අරහත් බැවින් ද උන්වහන්සේ අරහං (අර්‍හත්) ය.

  1. බුදුරජාණන් වහන්සේ අග්‍ර‍දක්‍ෂිණාර්‍හ බැවින් චීවරාදි සිව්පසට ද, සෙසු විශේෂයන්ට ද අර්‍භ වන සේක. සම්මා සම්බුදුවරයෙකු උපන් කල්හි මහේශාක්‍ය දේවමනුෂ්‍යයෝ පවා අන් තන්හි නුපුදා උන්වහන්සේ ම පුදනු ලබනවා.

උදාහරණ වශයෙන් – සහම්පති බ්‍ර‍හ්ම මහමෙර සා රුවන් දමකින් පුදනු ලැබුවා. සෙසු දෙවියෝ ද, බිම්සර කොසොල් රජ ආදී මනුෂ්‍යයෝ ද, ශක්ති පරිදි පුදනු ලැබුවා. අශොක රජතුමා පිරිනිවි බුදුන් උදෙසා සයානු කෙළක් ධන විසඳා දඹදිව මුළුල්ලෙහි සූඅසූ දහසක් විහාර කරවනු ලැබුවා. සෙසු පූජා විශේෂයෙන් පිළිබඳ කවර කථා ද මෙසේ දෙවුන් බඹුන් මිනිසුන්ගේ ප්‍ර‍ත්‍යයාදීන්ට අර්‍භ වන බැවින් උන්වහන්සේ අරහං වනවා.

 

  1. තවද පණ්ඩිතමානී ඇතැම් මූඨයෝ අපකීර්‍තති භීතියෙන් රහසිගත ව පව් කරනු ලබනවා. සම්මා සම්බුදුවරයකු කිසි කලෙක එසේ රහසිගතව ද පව් නො කරන සේක. එසේ පව් කිරීමෙහි රහස් නැති බැවින් ද උන්වහන්සේ අරහං නම් වනවා.

“ආරකත්තා හතත්තා ච – කිලෙසාරීන සො මුනි
හතසං සාර චක්කාරො – පච්චයාදීනචාරමො
න රහො කරොති පාපාති – අරහං තෙන පවුච්චති”

‘මෙසේ බුදුරජාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් ආරක බැවින් ද, ක්ලේශාරි හත බැවින් ද, සංසාරචක්‍ර‍යාගේ අර හත බැවින් ද, ප්‍ර‍ත්‍යයාදීන්ට අර්‍හ බැවින් ද, රහසවත් පව් නො කරන බැවින් ද අරහ නම් වන සේක.

සැළකිය යුතුයි. – මෙම සංකීර්ණ විග්‍රහය ලිපිය සදහා සරළව ගැලපීමේදී ගුරු උපදෙස් නොමැතිව කල බැවින් අඩුපාඩු තිබිය හැක. ඒ බැවින් සම්පුර්ණ විග්‍රහය විශුද්ධි මාර්ගය කියවා දැනගන්න.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)210

අසිරිමත් බුදුගුණ වරුණ 03
උන්වහන්සේ මෙසේ “සම්මාසම්බුද්ධ” නම් වූ සේක.

‘කතමො ච පුග්ගලෝ සම්මාසම්බුඬො? ඉධෙකච්චො පුග්ගලෝ පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ක්‍ධති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං, අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුඬො’

සම්මාසම්බුද්ධ නම් කවරදැයි විවරණය කරන මේ පාඨය පාලියෙහි සඳහන් අර්ථ ගැන්වීමට අනුව විස්තර කිරීම අපහසු වුවත් එහි සරල අර්ථය මෙපරිදී දත යුතයි. “යම් පුද්ගලයෙක් අනිකකු ගෙන් නො අසා ස්වශක්තියෙන්ම ස්ඛන්ධාදි ධර්ම විෂයෙහි චතුස්සත්‍යය දැන ගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැනගැනීම් වශයෙන් සර්‍වඥත්වය ට පැමිණේද, බලයන්හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේය.” යනු එහි එහි කෙටි සරළ අරුතයි.

එය තව දුරටත් විශුද්ධි මාර්ගයේ මෙලෙස පැහැදිළි කරනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ අවිපරීත කොටැ සියලු ධර්‍මයන් පරෝපදේශ රහිත වැ තමන් වහන්සේ ම අවබෝධ කළ සේක. එහෙයින් උන්වහන්සේ සම්මාසම්බුද්ධ ය. (“සම්මා” යන්නෙන් අවිපරීත කොටැ යන අර්‍ථය ද, “සා” යන්නෙන් තමන් වහන්සේ ම යන අර්‍ථය ද සඳහන්. “සියලු ධර්‍මයන්” යි කර්‍මය ගත්තේ එක දේශයක් නො දක්වන ලද බැවිනි. එක දේශයක් නො දැක්වූ තැන නිෂ්ප්‍රදේශය ගත යුතු ය.)

එසේම උන්වහන්සේ සියලු ධර්‍මයන් ගුරු උපදේශයන්ගෙන් තොරව තමන් විසින්ම අවබෝධ කළ සේක්ම ය. එලෙසම උන්වහන්සේ අභිඥෙය ධර්‍ම අභිඥෙය වශයෙන් අවබෝධ කළ සේක. පරිඥේය ධර්‍ම පරිඥේය වශයෙන් ද, ප්‍ර‍හාතව්‍ය ධර්‍ම ප්‍ර‍හාතව්‍ය වශයෙන් ද, සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම සාත්ක්‍ෂාත් කරණිය වශයෙන් ද, භාවිතව්‍ය ධර්‍ම භාවිතව්‍ය වශයෙන් ද අවබෝධ කළ සේක. අභිඥෙය ධර්‍ම නම් විශිෂ්ට ඥානයෙන් දත යුතු චතුස්සත්‍ය ධර්‍ම යි. ලක්ඛණ – රස – පච්චුපට්ඨාන – පදට්ඨාන වශයෙන් දත යුතු ධර්‍ම හෝ පරිඥෙය ධර්‍ම නම් හාත්පසින් දත යුතු දුඃඛ සත්‍යයි. අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳැ දත යුතු ධර්‍ම හේ ප්‍ර‍හාතව්‍ය ධර්‍ම නම් ‍බැහැර කටයුතු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සමුදය සත්‍ය යි. සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම නම් ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දැක්ක යුතු නිර්‍වාණ සංඛ්‍යාත නිරොධ සත්‍ය යි. ඵල- නිර්‍වාණ හෝ භාවිතව්‍ය ධර්‍ම නම් වැඩිය යුතු මාර්‍ග ධර්‍ම යි.

“අහිඤ්ඤෙයං අභිඤ්ඤාතං – භාවෙතබ්බංච භාවිතං;
පහාතබ්බං පහීනං මෙ – තස්මා බුද්ධො‘ස්මි බ්‍රාහ්මණ” යි.

‘බමුණ! මා විසින්, ‘අභිඥේය ධර්‍ම අභිඥාත ය. ප්‍ර‍හාතව්‍ය ධර්‍ම ප්‍ර‍හීණ ය. භාවිතව්‍ය ධර්‍ම භාවිත ය. එහෙයින් මම බුද්ධ වෙමි.’ යනු අර්‍ථ යි.

භාග්‍යවතුන් වහන්සේ ඒ චතුස්සත්‍යය ආයතන විඤ්ඤාණා දි වශයෙන් අවබෝධ කළ හෙයින් සම්මාසම්බුද්ධ වන සේකැ යි දක්වති.

උන්වහන්සේ චක්‍ෂුරායතනය දුඃඛ සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතනය උපදවීමට මූලකාරණ වූ තෘෂ්ණාව සමුදය සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතන – තෘෂ්ණා යන දෙක්හි ම නො පැවැත්ම නිරෝධ සත්‍යය යි ද, නිරෝධ ප්‍ර‍තිවේධ කරන ප්‍ර‍තිපදාව මාර්‍ග සත්‍යය යි ද, මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් සියලු ධර්‍මයන් මනා කොටැ තමන්වහන්සේ ම අවබෝධ කළ සේක. සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන මෙසේ යොදා දත යුතු. මෙසේ ම රූපාදි වූ බාහිරායතන සයද, චක්ඛු විඤ්ඤාණාදි විඤ්ඤාණ කාය සය ද, චක්ඛු සම්ඵස්සාදි ඵස්ස සය ද, චක්ඛු සම්ඵස්සජ වේදනාදි වේදනා සය ද, රූපසඤ්ඤාදි සඤ්ඤා සය ද, රූප සඤ්චේතනාදි චේතනා සය ද, රූප තණ්හාදි තෘෂ්ණා සය ද, රූප චිතක්කාදි චිතක්ක සය ද, රූප විචාරාදි විචාර සය ද, රූපක්ඛන්‍ධාදි පඤ්චස්කන්‍ධ ද, දස කසිණ ද, දස අනුස්සති ද, උද්ධුමාතකාදි දස සංඥා ද, කේසාදි දෙතිස් කුණප ද, ද්වාදස ආයතන ද, චක්ඛුධාතු ආදි අටළොස් ධාතු ද, කාම භවාදි නව භව ද, ප්‍ර‍ථමධ්‍යානාදි ධ්‍යාන සතර ද, මෙත්තාදි සතර අප්පමඤ්ඤා ද, ආකාසානඤ්චායතනාදි අරූපසමාපත්ති සතර ද, ප්‍ර‍තිලෝම වශයෙන් ජරා – මරණාදි වූද, අනුලෝම වශයෙන් අවිද්‍යාදි වූ ද, පටිච්චසමුප්පාදාඞ්ග ද යොදා ගත යුතු යි. එයින් අවසන්හි දැක්වුණු ජරා-මරණ යොදන සැටි මෙසේ ය. ජරා-මරණ දුඃඛ සත්‍යය, ජරා – මරණයට ප්‍ර‍ත්‍යය වන ජාතිය සමුදය සත්‍යය, ඒ ජරා-මරණ ජාති දෙක්හිම නිස්සරණය නිරෝධ සත්‍යය, නිරෝධය ප්‍ර‍තිවේධ කරන ප්‍ර‍තිපදාව මාර්‍ග සත්‍ය යි.

මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් ද උන්වහන්සේ සියලු ධර්‍මයන් මනා කොටැ තමන් වහන්සේ ම අවබෝධ කරනු ලැබුවා. එ හෙයින් උන්වහන්සේ “සම්මාසම්බුද්ධ” නම් වනවා.

මෙලෙස සම්මා සම්බුද්ධත්වය ප්‍රතිඥා කරමින් බුද්ධ ශ්‍රී මුඛ දේශනාවෙන්ම දේශණා කරන ලද දේශණා කිහිපයක් පහත දැක්වෙනවා.

සම්මාසම්බුද්ධ සූත්‍රය

“මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලෝකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත නම්වූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගලතෙම වනාහි ලෝකයෙහි උපදනේ බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.”

ගොතමක සූත්‍රය

“මහණෙනි, මම ප්‍රත්‍යක්‍ෂකොට දැන ධර්‍මය දේශනා කරමි. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් නොදැන නොවේ. මහණෙනි, කරුණු සහිතව ධර්‍ම දේශනා කරමි. කරුණු රහිතව නොවේ. විරුද්ධ කරුණු දුරු කරමින්ම ධර්‍ම දේශනා කරමි. විරුද්ධ කරුණු දුරු නොකරමින් නොවේ. මහණෙනි, ප්‍රත්‍යක්‍ෂ නොකොට නොව ප්‍රත්‍යක්‍ෂ කොටම දැන ධර්‍මය දේශනා කරන්නාවූ, කරුණු නැතුව නොව, කරුණු සහිතවම ධර්‍ම දේශනා කරන්නාවූ, විරුද්ධ කරුණු දුරු නොකොට නොව, විරුද්ධ කරුණු දුරු කොටම ධර්‍ම දේශනා කරන්නාවූ, මාගේ අවවාදය කළ යුතුය. මාගේ අනුශාසනය කළ යුතුය.

“මහණෙනි, තොපට තුටුවීමට සුදුසුය. සතුටු සිත් ඇතිවීමට සුදුසුය. සොම්නස් වීමට සුදුසුය. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය.

මෙහිදී ගෝතමක සුත්‍රය දෙසු දවසේ සම්මා සම්මා සම්බුද්ධත්වය තුන්වාරයක් ප්‍රතිඥා කළා. මහපොලව තුන්වාරයක් කම්පාවුනා.

ධම්මචක්කප්පවත්ත සූත්‍රය

“මහණෙනි, මට යම්තාක් කල් මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබෝධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.

මෙම ප්‍රථම ධර්ම දේශනය ආරම්භයේ දස දහසක් සක්වල කම්පාවුණා.

සේල සූත්‍රය

තවදුරටත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලද සම්බුද්ධත්වය ගැන සේල බ්‍රාහ්මණයාට මෙසේ පවසා සිටියහ.

“රාජා හමස්මි සේල ධම්මරාජා අනුත්තරෝ” – පින්වත් සේල, මම ද රජෙක්මි. අනුත්තර වූ ධර්මරාජයාණන් වෙමි.

“ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං” – ලොව කිසිවෙකුටවත් කිසිසේත් ආපස්සට කරකවන්නට බැරි චක්‍රය ධර්මයෙන් කරකවමි.

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං” – විශිෂ්ට ඤාණයෙන් යුතුව දත යුතු දෙය මවිසින් විශිෂ්ට ඤාණයෙන් දන්නා ලද්දේ ය.

“භාවේතබ්බං ච භාවිතං” – ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් වැඩිය යුතු දෙය මවිසින් වඩන ලද්දේ ය.

“පහාතබ්බං පහීනං මේ” – ප්‍රහීන කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව මවිසින් ප්‍රහාණය කරන ලද්දේ ය.

“තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ” – එහෙයින් පින්වත් බ්‍රාහ්මණය, මම ‘බුද්ධ’ වෙමි.

“යේසං වේ දුල්ලභෝ ලෝකේ – පාතුභාවෝ අභිණ්හසෝ” – ලෝකයෙහි හැම තිස්සේ ම දකින්නට පුළුවන් විදිහට බුදු කෙනෙක් පහළව සිටීම අතිශයින් ම දුර්ලභ දෙයක්.

“සෝ’හං බ්‍රාහ්මණ සම්බුද්ධෝ – සල්ලකත්තෝ අනුත්තරෝ” – පින්වත් බ්‍රාහ්මණය, අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා වන ඒ මම සම්මා සම්බුද්ධ වෙමි.

ලියා නිමකළ නොහැකි ත්‍රිපිටකය පුරා පවත්නා සම්මා සම්බුද්ධ ගුණයට පසඟ පිහිටුවා වන්දනා කරමි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය – ධම්මචක්කප්පවත්ත සූත්‍රය- ගොතමක සූත්‍රය – සම්මාසම්බුද්ධ සූත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)211

අසිරිමත් බුදුගුණ වරුණ 04
උන්වහන්සේ මෙසේ “විජ්ජා-චරණ සම්පන්න” නම් වූ සේක.

නව අරහාදී සම්බුදුගුණ අතුරෙන් තෙවැන්න විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණය යි. තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගෙන් යුක්ත හෙයින් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න නමින් හඳුන්වනු ලබනවා. විසුද්ධිමග්ගයේ ජඅනුස්සති නිද්දේසයට අනුව “විජ්ජා” යන්නෙන් ත්‍රිවිද්‍යා හා අෂ්ටවිද්‍යා ගණනය කරණු ලබනවා. අෂ්ට විද්‍යා හෝ ත්‍රි විද්‍යාව භයභෙරව සූත්‍රයෙන් ද, අෂ්ට විද්‍යාව අම්බට්ඨ සූත්‍රයෙන්ද විසිතර සහිතව දැනගන්න පුළුවනි.

අෂ්ටවිද්‍යාවන් පහත දැක්වේ.

  1. විපස්සනා ඤාණය – නාම රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්‍ෂණ අවබෝධ කරගන්නා ඥානය
  2. මනෝමය ඉද්ධි ඤාණය – මනෝමය කයක් නිර්මාණය කිරීමේ (තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට එය තමාගේ කයින් පිටතට ගැනීමේ) හැකියාව ඇති ඤාණය
  3. ඉද්ධිවිධ ඤාණය – විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව ඇති ඥානය
  4. දිබ්බසෝත ඤාණය – පියවි කනට නො ඇසෙන සියුම් වූ ඉතා දුර ඇති ශබ්ද ඇසීමේ ඥානය
  5. පරචිත්තවිජානන/චෙතෝපරිය ඤාණය – අනුන්ගේ සිත්වල ස්වභාවය හඳුනාගන්නා ඥානය
  6. පුබ්බේනිවාසානුස්සති ඤාණය – තමන්ගේ ද සෙස්සන්ගේද පෙර ඉපිද සිටි ජාතීන්ගේ පිළිවෙළ නාම ගෝත්‍ර වශයෙන් දක්නා ඥානය
  7. දිබ්බචක්ඛු/ චුතූවුපපාත ඤාණය – කර්මානුරූපීව උපදින මැරෙන සත්වයන්ගේ ස්වරූපය දක්නා ඥානය
  8. ආසවක්ඛය ඤාණය – චතුස්සත්‍යය තත් වූ පරිදි දැන කාම ආදි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ලැබෙන ඤාණය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම විද්‍යා අටෙන් යුක්ත බැවින් උන්වහන්සේ විජ්ජා සම්පන්න නම් වනවා.

​මෙම සම්බුදු ගුණයෙහි දෙවැනි ලක්‍ෂණය චරණයයි. එය බුද්ධ ගුණයක් සේ දැක්වෙන නමුත් බුදුවරුන්ගේ චරණ ධර්ම විවරණය වී ඇති සූත්‍රයක් ත්‍රිපිටකයේ ඇතුළත් වී නැහැ. ශ්‍රාවකයන් අරමුණු කොට පැහැදිලි කළ චරණ ධර්ම නවයක් දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙහි ඇතුළත් වනවා. මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි එබඳු ධර්ම පසළොසක් විස්තර වනවා.

  1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
  2. ඉන්ද්‍රිය සංවරය
  3. ආහාරයෙහි පමණ දැනීම
  4. ජාගරියානුයෝගය
  5. ශ්‍රද්ධාව
  6. හිරිය
  7. ඔත්තප්පය
  8. බහුශ්‍රැත භාවය
  9. වීර්යය
  10. සිහිය
  11. ප්‍රඥාව
  12. ප්‍රථම ධ්‍යානය
  13. ද්විතීය ධ්‍යානය
  14. තෘතීය ධ්‍යානය
  15. චතුර්ථ ධ්‍යානය

උන්වහන්සේ මේ දැක්වුණු විජ්ජායෙන් ද, චරණයෙන් ද යුක්ත වනවා. එහෙයින් විජ්ජා චරණ සම්පන්න වනවා.

මේ විජ්ජා චරණ අතුරෙන් විද්‍යාසම්පත්තිය උන්වහන්සේගේ සර්‍වඥතාඥානය ද, චරණසම්පත්තිය මහාකාරුණිකත්‍වය ද, පිරිවරා සිටිනවා. උන්වහන්සේ සර්‍වඥතාඥානයෙන් ලෝකයාගේ අර්‍ථානර්‍ථ දැනැ වදාරා මහාකාරුණිකත්‍වයෙන් අනර්‍ථය හැරැ පියා අර්‍ථයෙහි යොදනු ලබනවා. විජ්ජා-චරණ සම්පන්නයෙන් කරන්නේ එසේයි. ඒ නිසාම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙනවා. දුප්පටිපන්න නො වෙනවා. විජ්ජාචරණසම්පන්න නො වූ ශාස්තෘවරයන්ගේ ශ්‍රාවකයෝ දුප්පටිපන්න වැ අත්තන්තප, පරන්තප, උභයන්තප වෙනබව විශුද්ධි මාර්ගයේ පවසනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය – භයභෙරව සූත්‍රය, අම්බට්ඨ සූත්‍රය, සේඛ සූත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)212

අසිරිමත් බුදුගුණ වරුණ 05
උන්වහන්සේ මෙසේ “සුගත” නම් වූ සේක 01

හැඳින්වීම

මෙහි සුගත යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ගමනය. එනම් දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය දක්වාම ශාන්තව සුන්දර ගමණින් වැඩියා වූ ඒ සුන්දර නිවන් මගෙහි සම්මුති ලෝකයට අයත් එදිනෙදා ජිවන රටාව තුල මෙන්ම පරමාර්ථ එසේත් නැතහොත් ලෝකෝත්තර භුමිය තුලත් උන්වහන්සේ විසින් අනුගමනය කල අසිරිමත් වැඩ පිළිවෙල හැඳින්වන සම්මුති නාමය “සුගත” නම් වනවා. මෙම සුගත ගුණය මැනවින් විස්තර කිරීම ලෞකික මෙන්ම ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන සැමටම ඉතාමත් වැදගත් බව හැඟී ගියෙන් කොටස් දෙකකට විස්තර කිරීමට සිත්වුණා.

විශුද්ධි මාර්ගයේ සුගත ගුණය හඳුන්වා තිබු සැටි.

ඒ භාග්‍යවතුන් වහන්සේ

  1. ශෝභන ගමන් ඇති බැවින් ද
  2. සුන්‍දර තැනට ගිය බැවින් ද
  3. මනා කොටැ ගිය බැවින් ද
  4. මනා තෙපුල් ඇති බැවින් ද සුගත වන සේක.

 

  • ගත නම් ගමන ය. භාග්‍යවතුන් වහන්සේගේ ගත-ගමන ශෝභන ය, පරිශුද්ධ ය, නිරවද්‍ය යි ඒ ගත නම් – ගමන නම් කිම? ආර්‍ය්‍ය මාර්‍ගය යි. උන්වහන්සේ ආර්‍ය්‍යමාර්‍ග සංඛ්‍යාත ගතයෙන් නො ලැගෙමින් නිවන්දිගට ගිය සේක. එබඳු ශොභන ගමන් ඇති බැවින් උන්වහන්සේ සුගත ය.
  • සුන්‍දර තැන නම් නිර්‍වාණය යි. ඒ නිර්‍වාණ සංඛ්‍යාත සුන්‍දර තැනට ගිය බැවින් ද උන්වහන්සේ සුගත ය.
  • උන්වහන්සේ මනා කොටැ ගිය සේක. ඒ ඒ මාර්‍ගයෙන් ප්‍ර‍හීණ ක්ලේශයන් කරා පෙරලා නො ගිය සේක. එහෙයින් උන්වහන්සේ සුගත ය.
    කීයේ මැ යි – “සොතාපත්ති මග්ගෙන යෙ කිලෙසා පහිණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො. -පෙ- අරහත්ත මග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො”යි. අර්‍ථ සුගම යි.
    තවද උන්වහන්සේ දීපංකරපාදමූලයෙහි පටන් බෝ මැඩ දක්වා සමත්‍රිංශත් පාරමී සංඛ්‍යාත සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් මුළු ලොවට හිත සුව එළවමින් ශාස්වතඋච්ඡෙද වශයෙන් හෝ කාමසුඛ-අත්තකිලමථ වශයෙන් හෝ අන්තද්වයයට නො පැමිණ ගිය සේක. එබැවින් ද උන්වහන්සේ සුගත ය.
  • උන්වහන්සේ මනා කොටැ ගදනය කරන සේක. කියන සේක යුතු තැන්හි යුතු වූ ම තෙපුල් තෙපලන සේක. එහෙයින් ද උන්වහන්සේ සුගත ය.

 

භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර තෙපුල් පැවසූ විලාසය.

‘තථාගතයන් වහන්සේ තමන් වහන්සේ දන්නා යම් වචනයෙක් අසත්‍ය ද, අනර්‍ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද, එබඳු වචන නො වදාරන සේක.

එසේම උන්වහන්සේ තමන් දන්නා යම් වචනයක් සත්‍ය ද, අනර්ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන ද නො වදාරන සේක.

එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද, අර්‍ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (අර්‍ථයෙක් වේ නම් අනුනට අප්‍රිය වුව ද සත්‍ය වචනය වදාරන සේකැ යි සේයි)

උන්වහන්සේ යම් වචනයෙක් අසත්‍ය නම් අනර්‍ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක.

එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය වුව ද අනර්‍ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක.

එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද අර්‍ථයෙන් යුක්ත ද එද අනුනට ප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (කාලානුරූප වැ එබඳු වචන වදාරන සේකැ යි සේයි.)

මෙසේ මනා තෙපුල් ඇති බැවින් ද උන්වහන්සේ සුගත ය. (“සුගඳ’ය යි කිය යුතු තන්හි-නිරුක්ත නයයෙන් “සුගත” විය.)

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය – බෝධිරාජ කුමාර සුත්‍රය ( සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » රාජ වර්ගය)

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)213

අසිරිමත් බුදුගුණ වරුණ 06
උන්වහන්සේ මෙසේ “සුගත” නම් වූ සේක 02

අප භාග්‍යවතුන් වහන්සේගේ “සුගත” නම් වූ ගුණය පිළිබඳව විශුද්ධි මාර්ගයේ සඳහන් පිළිවලින් සංශික්ප්ත වශයෙන් මිට පෙර සදහන් කළා. උන්වහන්සේගේ ඒ සුන්දර වූ වැඩපිළිවල ලෝකෝත්තර වූ ආර්යෂ්ඨාංගික මාර්ගයේ නිවන දක්වාත්, ලව්කික ලෝකයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් නිවී යනතෙක් එදිනෙදා ආහාරපාන ගැනීම, ඇවිදීම, වචන හසුරවීම, හිඳගැනීම නැගිටීම සැතපීම වැනි සරළ කරුණු පවා මෙම තුන් ලොවෙහිම කිසිවෙකුට සමාන කල නොහැකි අයුරින් ගෙන ගිය ශ්‍රේෂ්ඨ වැඩපිළිවලක් නිසා උන්වහන්සේ මෙම දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ “සුගත” නම් විශේෂ නාමයකින් හඳුන්වනවා. එහි ගිහි පැවිදි අපටද ආදර්ශමත් බොහෝ කරුණු ඇති නිසා උන්වහන්සේගේ සාමාන්‍ය ලෞකික ලොව තුල පරිනිර්වාණය දක්වා ගෙවුණු දිවිය තව දුරටත් බ්‍රහ්මායු සුත්‍රය අනුසාරයෙන් මෙලෙස ලියන්නට සිතුවා.

දෙපා හසුරවන ආකාරය ත්‍රිපිටකයේ සදහන් අයුරු

“ඒ භවත් ගෞතමයන් වහන්සේ පියනගන සේක් දකුණු පසින් පළමුව යන සේක. උන්වහන්සේ ඉතා දුර පාදය නොඔසවනසේක. ඉතා ළඟ පාදය ද නොතබන සේක. උන්වහන්සේ ඉතා ඉක්මණින් නොවඩිනසේක. ඉතා සෙමින් ද නොවඩිනසේක. පිරිසෙන් වෙන්ව නොවඩිත්, දණහිසින් දණහිස ගටමින් නොවඩින්නාහ. ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් නොවඩින්නාහ. උන්වහන්සේ වඩිනසේක් කලවය උඩට නොනැමෙයි. කලවය පහළට නොනැමෙයි. කලවය දැඩිකොට පය නොතබයි. කලවය එහා මෙහා නොසලවයි. වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට කයම සෙලවෙයි, කයින් වෙර ගමනින් නොවඩිත්. උන්වහන්සේ උඩ නොබලනසේක. යට ද නොබලනසේක, වට පිට බලමින් ද නොවදින සේක, වියදඬු පමණම ඉදිරියට ( අඩි හයක පමණ ප්‍රමාණයක් ඉදිරියට) බලත්. ඉන් එහා උන්වහන්සේගේ කිසිම ආවරණයක් නැති ඤාණයෙන් (අණාවරණඤාණ) බැලීම වෙයි. එයින් කියවෙන්නේ උන්වහන්සේ වඩිනා විට අඩි හයක පමණ ප්‍රමාණයක් දෙස නේත්‍රා යොමුවුනත් ඊට එහා ඇති සියලු දර්ශණ ආවරණය වී නැති බවයි.

උඩුකය හසුරවන ආකාරය ත්‍රිපිටකයේ සදහන් අයුරු

උන්වහන්සේ ගෙයක් තුළට ඇතුල්වනවිට කය පහළට නොනමන සේක. ඊට හේතුව උළුඅස්ස උන්වහන්සේගේ උස ප්‍රමාණයට වඩා උසින් අඩුනම් එය ඉබේම බුදුරජාණන් වහන්සේගේ කයේ ප්‍රමාණයට උස් වීමයි. කය උඩට ද නොඔසවන සේක, කය දැඩිකොට නොතබයි. කය එහා මෙහා නොසොළොවයි. ඒ භවත් ගෞතමයන්වහන්සේ වනාහි හැරී බලනසේක් සියලු කයම හරවා බලයි.

අසුන්ගන්නා අයුරු ත්‍රිපිටකයේ සදහන් අයුරු

උන්වහන්සේ ඉතාදුර ඉතා ළංවද ආසනයට නොයත්. “අතින් තදකොට ආසනයෙහි නොඉඳිත්. ආසනයෙහි කය නොහෙළත්, උන්වහන්සේ ඇතුළුගෙහි හුන්නේ හස්ත විකාර නොකරත්. පාද විකාර නොකරත්. පයක් පිට පයක් දමා නොහිඳිත්. ගොප් මස්පිට ගොප්මස (බත්කෙන්ඩ) නගා නොඉඳිත්, නිකට අත තබා නොහිඳිත්. උන්වහන්සේ ඇතුළුගෙහි බියවූ ස්වභාවයෙන් නොඉඳිත්. උන්වහන්සේ භය නොවූ කම්පා නොවූ නොසෙල්වෙන තැති නොගෙන පහවූ ලොමුදැහැ ගැනීම් ඇතිව නිවන් ඇසුරු කරන සිත් ඇතිව ඒ භවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ගමෙහි වැඩ හිඳිත්.

පාත්‍රය භාවිතාකල අයුරු

“උන්වහන්සේ පාත්‍රයට වතුර පිළිගැනීම සදහා පාත්‍රය උඩට නොඔසවත්, පාත්‍රය පහලට නොනමත්, පාත්‍රය දැඩිකොට නොතබත්, පාත්‍රය එහාමෙහා නොසොළොවයි, උන්වහන්සේ පාත්‍රයට වතුර වැඩියත් නොව අඩුවත් නොව පිළිගන්නා සේක, උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගිනසේ පාත්‍රය නොසෝදනසේක, පෙරල පෙරලා පාත්‍රය නොසෝදන්නාහ, පාත්‍රය බිම තබා අත් නොසෝදන්නාහ, අත් සේදූ කල්හි පාත්‍රය සෝදන ලද්දේවෙයි, පාත්‍රය සේදූකල්හි අත් සෝදනලද්දේ වෙයි, උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරත් නොව ඉතා ළඟත් නොව දමනසේක, උන්වහන්සේ බත් පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමත්, පාත්‍රය පහලට නොනමත්, පාත්‍ර තදකොට නොතබත්, පාත්‍රය එහා මෙහා නොසොළොවත්, උන්වහන්සේ බත් වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නා සේක.

ආහාර වැළඳීම

ඒ භවත් ගෞතමයන් වහන්සේ බතින් හතරෙන් කොටසක් පමණ ව්‍යඤ්ජන පිළිගන්නා සේක. බත් ආලොපය ව්‍යඤ්ජනයෙන්ම වැඩිමනත් නොකරන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ මුඛයෙහි බත් පිඩු දෙතුන් වරක් පෙරළා වළඳනසේක. උන්වහන්සේගේ කිසි බත් උලක් නොබිඳී කයට නොපැමිණෙයි. උන්වහන්සේගේ මුඛයෙහි කිසි බත් උලක් ඉතුරු නොවෙයි. ඉක්බිති නැවතද බත් පිඩක් මුඛයට පමුණුවයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ රසය දැන ආහාර වළදනසේක. රස තෘෂ්ණාවෙන් රස විඳිමින් නොවළඳනසේක, ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි අංගඅටකින් යුක්තවූ ආහාරය වළඳනසේක.

මල්ලවපොර බැදීම පිණිස, මද වැඩීම පිණිස, ශරීරයේ අඩු තැන් පිරවීම පිණිස, අලංකාරය පිණිස නොවළඳනසේක. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස දුක් නැතිකරගැනීම පිණිස බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳන සේක. මෙසේ පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවන්නෙමි යන්න මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. වරද නැති බවද, පහසු විහරණයද, වන්නේය’ යන අදහසින් වළඳන සේක

පාත්‍ර පරිහරණය

උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයට වතුර පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමනසේක. පාත්‍රය පහලට නොනමනසේක. පාත්‍රය නොඔබන සේක. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ පාත්‍රජලය ඉතා වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නාසේක. උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගනසේ පාත්‍රය නොසෝදන සේක. පෙරළ පෙරළා පාත්‍රය නොසෝදන සේක. “පාත්‍රය බිම දමා අත නොසෝදන්නාහ. අත සේදූ කල්හි පාත්‍රය සෝදනලද්දේ වෙයි. පාත්‍රය සේදූ කල්හි අත සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරද ඉතා ළඟද නොදමන්නාහ. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රය ඉතා දුරද, ඉතා ළඟද, බිම නොතබනසේක. පාත්‍රයෙහි බලාපොරොත්තුව අත්හරින්නේද නොවෙත්. සීමාව ඉක්මවා රක්නේද නොවෙත්.

දන් වැළඳීමෙන් පසු හැසුරුණු ආකාරය

උන්වහන්සේ වළඳා අවසන්වී මොහොතක් නිශ්ශබ්දව හිඳිනසේක. අනුමෝදනාවට කාලය නොඉක්මවනසේක. උන්වහන්සේ වළඳා අවසානව අනුමෝදනා කරන සේක. ඒ බතට නින්දා නොකරනසේක, අන් බතක් බලාපොරොත්තු නොවනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිසට දක්වයි. කුශල ධර්මයෙහි සමාදන් කරවයි. උත්සාහවත් කරවයි, සතුටු කරවයි. උන්වහන්සේ ඒ පිරිසට ධර්ම කථාවක් දක්වා, කුසල ධර්මයන්හි සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා, හුනස්නෙන් නැගිට වඩින සේක.

සිවුරු පැළඳීම

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ කයෙහි සිවුර හනුඇටයෙන් උඩට පොරවා උදරය පෙනෙනසේ නොවඩියි, එක් උරයක් පොරවා තනය පෙනෙනසේ නොවඩියි, කයෙහි සිවුර දහඩියෙන් ඇලෙනසේ තදකොටද නොවඩිනසේක, සිවුර කයින් වෙන් වූයේද නොවේ, ඒ භවත් ගෞතමයන්ගේ කයින් සිවුර වාතයෙන් ඉවතට නොයවයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි, සිවුරෙහි රජස්දැලි නොගැල්වෙයි.

ආරාමය තුළ වැඩසිටීම සහ ධර්ම දේශණය

උන්වහන්සේ ආරාමයට වැඩියේ පැනවූ අස්නෙහි වැඩ හිඳිනසේක. හිඳ පාදයන් සෝදන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ පාදයන් සැරසීමෙහි නොයෙදෙන සේක. උන්වහන්සේ පාදයන් සෝදා පර්යංක බැඳ කය කෙලින් තබා සිහිය එළවාගෙන වැඩ හිඳිනසේක. උන්වහන්සේ තමාහට විනාශය පිණිස අනුන්පෙළන්නේ විනාශය පිණිස නොසිතන සේක. දෙදෙනාගේම විනාශය පිණිස නොසිතන සේක. තමාට හිතවූවක් අනුන්ට හිතවූවක් දෙදෙනාටම හිතවූවක් සියලු ලෝකයටම හිතවූවක් ඒ භවත් ගෞතමයන් වහන්සේ සිතමින් වැඩහිඳින සේක. උන්වහන්සේ ආරාමයට වැඩියේ පිරිසට ධර්මය දේශනා කරනසේක. ඒ පිරිස උසස් තන්හිලා කථා නොකරන සේක. ඒ පිරිස පහත් තන්හිලා කථා නොකරනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිස දක්වත්. කුසල් දහම් සමාදන් කරවත්. උත්සාහවත් කරවත්. සතුටුකරවත් පැහැදිලිවද, දැනීමෙහි පොහොසත් බවද, මිහිරි බවද, කනට සුව බවද, විහිදී නොයනබවද, නොවිසිරෙන බවද, ගැඹුරු බවද, බොහෝ නාද ඇති බවද යන අංග අටන් යුක්තවූ ඝොෂයක් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙයි. පිරිසේ පමණට ශබ්ද නගන ස්වරයන්වූ සේක. උන්වහන්සේගේ ඝොෂය පිරිසෙන් පිටතටද නොයයි. ඒ භවත් ගෞතමයන් විසින් ධර්මකථාවෙන් දක්වන ලද්දාවූ කුසල් දහම්හි සමාදන් කරවන ලද්දාවූ, උත්සාහවත් කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ඔව්හු උන්වහන්සේ හැරයාමට නොකැමැත්තෙන් හුනස්නෙන් නැගිට ‘පින්වත්නි, වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ අපි බලන්නෙමු. සිටියාවූ උන්වහන්සේ බලන්නෙමු. ඇතුළුගමට වඩින්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඇතුළුගෙහි තුෂ්ණිම්භූතව වැඩ උන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. වළඳා අවසන්වී අනුමෝදන් කරන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට වඩින්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට ඇතුල්ව නිශ්ශබ්දව වැඩඋන්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට පැමිණි පිරිසට දම්දෙසන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳුය. මෙබඳුය, මෙයටත් වඩා අධික ගුණ ඇතිසේකැයි ගුණ කියමින් යන්නාහ.”

මෙම කෙටියෙන් පැවසු බුදුරජාණන් වහන්සේලාගේ “සුගත” ගුණය ලියා අවසන් කල නොහැක.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය – බ්‍රහ්මායුසුත්‍රය (මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » බ්‍රාහ්මණවග්ගය » බ්‍රහ්මායුසුත්‍රය)

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)214

අසිරිමත් බුදුගුණ වරුණ 07
උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 01

එක් කලෙක රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් භගවත් බුදුන් කරා එළඹැ “ස්වාමීනි! මම පෙර රොහිතස්ස නම් සෘෂියෙක් වැ සෘද්ධිබලයෙන් ලෝකාන්තය දක්මි”යි සිතා ගමන් කෙළෙමි. ඒ මම ලෝකාන්තය දැකැ ගන්නට නො හැකි වැ අතර දීම කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි! පා ගමනින් ගොස් ලෝකාන්තය දැකැ ගන්නට නො හැකිදැ”යි විචාළේය. එවිට බුදුහු මෙසේ වදාරනු ලැබූ බව ඔබද අසා ඇත.

‘ඇවැත්නි, යම් තැනෙක්හි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද,පා ගමණින් ගොස් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද, නොකියමි’. ඇවැත්නි මම ලෝකයෙහි කෙළවරට නොපැමිණ, දුක්ඛයාගේ කෙළවර කිරීම ද නොකියමි. ඇවැත්නි, මම නැවතද, සංඥාව සහිතවූ, සිත් සහිතවූ, බඹයක් පමණවූ, මේ ශරීරයෙහි, ලෝකය ද හෙවත් දුක්ඛ සත්‍යයද, සමුදය හෙවත් දුකට හේතුවද, දුක්ඛ නිරෝධය හෙවත් නිවන ද දුක්ඛ නිරෝධයට යන ප්‍රතිපදාව ද පනවමි.

“පා ගමනින් ලෝකයෙහි කෙළවරට කිසිකලෙක නොපැමිණිය හැක. ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදමක්ද නැත්තේය. යනුවෙන් වදාරනු ලැබුවා.

එලෙස පැවසුයේ “ලෝක” නම් වූ අනන්ත විශ්වය පුරා විසිරී පවත්නා වූ අති විශාල දැනුම් සම්භාරය සාමාන්‍ය මිනිස් මනසට විෂය නොවූ නිසා බව බුදුරජාණන් වහන්සේගේ “ලෝකවිදූ” නම් වූ බුදුගුණය කියවූ විට ඔබට යන්තමින් හෝ වැටහේවි. එය සම්මා සම්බුදුවරයෙකුට අයත් විෂය ක්ශේත්‍රයක් මිස ඉන් මෙහා ඇති කිසිවෙකුට සිතා හෝ ගොස් දැකබලා ඉවර කරගැනීමකට නොහැකි විෂයකි.

කෙටියෙන් පවසතොත් ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වප්‍ර‍කාරයෙන් මේ සියලු ලෝක දන්නා බැවින් “ලෝකවිදූ” නම් වනවා. මිනිස් මනසට හසුකරගැනීමට ලෙහෙසිවන පරිදීද නිර්වාණයට උපකාරී වන අයුරින්ද මෙම විශ්වය පුරා විසිරී පවතින ලෝක මූලික වශයෙන් වෙන්කරගැනීමේ පහසුව පිණිස ත්‍රිවිධාකාර ලෙස වර්ගීකරණයට ලක් කරනවා. ඒ මෙසේයි.

  1. සත්ත්‍ව ලෝක
  2. සංස්කාර ලෝක
  3. අවකාශ ලෝක යනුවෙන්.

සත්ත්ව සමූහය සත්ත්වලෝක නම් වනවා. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව-කඳු-ගස්-වැල් ආදිය අවකාශ ලෝක නම් වනවා. ඒ ලෝක දෙකට අයත් රූප වේදනාදි සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වනවා.

රූපාදීන්හි ඇලී සිටින්නෝ ය යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්ත්ව නම් වනවා. ‘ලෝකීයති එත්ථ කුසලාකුසලං තබ්බිපාකොචාති ලොකො’ යි දැක්වෙන පරිදි කූශලාකුශලයන් හා විපාක ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ත්ව සමූහය ලෝක නම් වනවා. සත්ත්වයන් හා සංස්කාරයන් එහි දැකිය හැකිය යන අර්ථයෙන් පොළොව-කඳු-ගස්-ගල් ආදිය ද ලෝක නම් වේ. ‘ලූජ්ජති පලූජ්ජතීති ලොකො’ යි දැක්වෙන පරිදි සම්පූර්ණයෙන් විනාශ වීම, කොටස් වශයෙන් විනාශ වී පලූදු වීම ඇති බැවින් සංස්කාර සමූහය ලෝක නම් වේ. මේ තුන් ආකාර ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ‘ලෝකවිදු’ නම් වන සේක.

සත්ත්‍වලෝකය

භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්‍වයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා බැවින්ද, එසේ ම අප්පරජකඛ, මහාරජක්ඛ, තික්ඛින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, සුවිඤ්ඤාපය, දුවිඤ්ඤාපය, භව්‍ය, අභව්‍ය සත්ත්‍වයන් දන්නා බැවින්ද, එලෙස උන්වහන්සේ සත්ත්‍ව ලොකය ද දන්නා බැවින් ලෝකවිදු නම් වනවා. ( ලිපිය දීර්ඝ වන නිසා එක් එක් වෙන් වෙන් වශයෙන් විස්තර කරන්නේ නැහැ.)

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය – රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ “සූවිසි මහ ගුණය” ග්‍රන්ථය, රෝහිතස්ස සුත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)215

අසිරිමත් බුදුගුණ වරුණ 08
උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 02
ලෝකවිදූ නම් වූ අපේ බුදුහාමුදුරුවෝ සත්ත්‍වලෝකය තව දුරටත් මෙලෙස විස්තර කරනවා.

‘සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො’ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයෙහි විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඥානස්ථිති යනු ප්‍රතිසන්ධි විඥානය ඇතිවන ස්ථානයෝ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති වන්නේ සත්ත්වයන් කෙරෙහි ය. එබැවින් සත්ත්වයෝ ම විඥානස්ථීතීහු නම් වෙති.

  1. නානත්වකාය නානත්වසඤ්ඤීහුය
  2. නානත්වකාය ඒකත්වසඤ්ඤීහූය
  3. ඒකත්තකාය නානත්තසඤ්ඤීහුය
  4. එකත්වකාය එකත්ව සඤ්ඤීහුය
  5. අකාසානඤ්චායතනූපගයෝය
  6. විඤ්ඤාණඤ්චායතනූපගයෝය
  7. ආකිඤ්චඤ්ඤායතනූපයෝගය කියා ඒ ඒ සත්වයන්ගේ විඥානස්ථිතීන් මත පිහිටන රූපස්කන්ධ සහ සංඥාස්කන්ධ අනුව ද මෙලෙස සත්වලෝකය සත් කොටසකට බෙදා දක්වනවා.

 

නානත්වකාය නානත්වසඤ්ඤීහු

කයෙහි හා ප්‍රතිසන්දි සංඥාවෙහි වෙනස්විම් ඇති සත්ත්වයෝ නානත්වකාය නානනත්වසංඤී සත්ත්වයෝය. මනුෂ්‍යයෝ ය, චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝක සයෙහි දෙවියෝ ය, ඇතැම් විනිපාතිකයෝ ය යන මොවුහු නානාත්වකාය නානාත්වසංඤීහු ය.

අනන්ත චක්‍රවාළයන්හි වෙසෙන සියලූම මනුෂ්‍යයෝ වර්ණ සංස්ථානාදියෙන් එකිනෙකට වෙනස් වනවා. ඔවුන් අතර සර්වාකාරයෙන් සමාන දෙදෙනෙක් නැති තරම්. නිවුන් දරුවෝ ද ඔවුනොවුන් බෙහෙවින් සමානවුවත් සර්වාකාරයෙන් සම නොවෙනවා. ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, එබැවින් ප්‍රතිසන්ධි සංඥාවෙන් ද ඔවුහූ එකිනෙකා වෙනස් වූවෝය. එබැවින් සියලුම මනුෂ්‍යයෝ නානත්වකාය නානත්වසංඤීහූ වනවා. කාමාවචර දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද නොයෙක් පැහැ ඇත්තෝ ය. නොයෙක් සටහන් නොයෙක් ප්‍රමාණ ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිභේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය. එබැවින් ඔවුහු නානත්වකාය නාවත්වසංඤීහූ වනවා.

නානත්වකාය ඒකත්වසඤ්ඤීහූය,

විනිපාතිකයෝ නම්, ප්‍රේතයන්ට ද අයත් නොවන, දෙවියන්ට සේ යස ඉසුරු නැති, සෑහෙන තරමට ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, චාතුර්මහාරාජිත දිව්‍යලෝකයට අයත් වන මේ මිනිස්ලොව ම හැසිරෙන දුප්පත් සත්ත්ව කොට්ඨාසයක්. ඔවුහු නානාවර්ණ ඇත්තෝය. නොයෙක් සටහන් ඇත්තෝ ය. ඇතැම්හු කෘෂයෝ ය. ඇතැම්හු ස්ථුලයෝ ය. ඇතැම්හු කුඩා සිරුරු ඇත්තෝ ය. ඇතැම්හු මහත් සිරුරු ඇත්තෝය. ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුකයෝ ය. ඇතමෙක් ද්විහේතුකයෝ ය. ඇතමෙක් ත්‍රිහේතුකයෝ ය. එබැවින් ඔවුහු ද නානත්ත්වකාය නානත්වසංඤීහූ ය, විනිපාතිකයන් දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් වුව ද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහේතුක ප්‍රතිසංධිකයෝ මඟ පල ද ලබති. උත්තරමාතා නම් විනිපාතිකාව අනුරුදු තෙරුන් වහන්සේගේ ධර්මසජ්ඣායනාවක් අසා සෝවාන් වූ බවද, පුනබ්බසුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයා ද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන් දි සෝවාන් වූ බව ද යක්ඛසංයුත්තයේ දක්වා තිබෙනවා.

ඔවුනොවුන්ට වෙනස් කය ඇති ව එක ම ප්‍රතිසන්ධි සංඥාවක් ඇත්තෝ නානත්වකාය එකත්වසංඤීහු වනවා. බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන රූපාවචර භූමි තුනෙහි බ්‍රහ්මයන් හා සතර අපායට අයත් සත්ත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධි සංඥාවක් ඇති සත්ත්වයෝ ය. බ්‍රහ්මපාරිසජ්‍යවාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්මපුරෝහිත භූමි වාසින්ට ඇත්තේය. ඔවුන්ගේ කයට ද මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේය. ශරිරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැම දෙනම පිළිසිඳ ගන්නේ ප්‍රථමධ්‍යාන විපාක සංඥාව නමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු යි සතර අපායෙන් නරකයෙහි ඇතැම් සත්ත්වයන්ගේ ශරීරිය ගව් පමණ වේ. ඇතැමෙකුගේ ශරීරය අඩ යොදුන, යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුගෙන් ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝ ය. ඇතැම්හු මහත් ශරීර ඇත්තෝ ය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝ ය. අනේක සටහන් ඇත්තෝ ය. ප්‍රේතයෝ ද එසේම ය. ඇතැම් ප්‍රේතයෝ සැටරියන් පමණ කය ඇත්තෝ ය. ඇතැම්හු අසුරියන් පමණ කය ඇත්තෝ ය’ දීඝපිට්ඨික නම් සැට යොදුනක් කය ඇති ප්‍රේතයන් ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් නානාප්‍රකාර වන ඔවුන් සැම දෙනම පිළිසිඳ ගන්නේ අකුශලවිපාකාහේතුක සංඥාව නමැති එකම සංඥාවකිනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු නම් වනවා.

ඒකත්තකාය නානත්තසඤ්ඤීහු

පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන ද්වීතීයධ්‍යාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරිරයෙන් සමාන වනවා. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිසිඳ ගන්නේ ද්විතීයධ්‍යාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමෙකු පිළිසිඳ ගන්නේ රූපාවචර විපාක තෘතියධ්‍යාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්තසඤ්ඤීහු වනවා.

ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූ

පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණ යන භූමි තුනෙහි බ්‍රහ්මයෝ සමාන ශරීර ඇත්තෝය. ඔවුන් සෑම දෙනම රූපාවචර චතූර්ථධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුන් ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූ වනවා. වේහප්ඵල භූමියෙහි බ්‍රහ්මයෝ ද සමාන ශරීර ඇත්තෝ වනවා. ඔවුන් පඤ්චමධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝයි. එබැවින් ඔවුහු ද ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූ වනවා..

අසංඥ භූමියෙහි ප්‍රතිසන්ධිවිඥානයක් නොලැබෙන බැවින් එහි සත්ත්වයෝ මේ විඥානස්ථිති විභාගයට භාජනය කොට නැහැ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝකසිණ භාවනාවෙන් චතූර්ථධ්‍යානය උපදවා එයින් නැගිට සිත පිළිකුල් කළ යුතුය. සිත නැති බවම යහපති, වධබන්ධනාදි අනේක දුක් නැතය’යි සලකන යෝගීහු’ ධී චිත්තං ධී චිත්තං යි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමති ව කාලක්‍රියා කොට අසංඥ භවයෙහි රූපය පමණක් ඇතිව ඉපද කල්ප පන්සියයක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චල ව ජීවත් වනවා.

අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන ශුද්ධාවාසභූමිහු අනාගාමී, අරහත් ආර්යයන්ගේ වාසස්ථානයෝ ය. අනාගාමින් හා රහත්හු ලෝකයෙහි සැම කල්හි නැත. ඒවායේ වෙසෙන අනාගාමී, රහතුන් පිරිනිවී ගිය පසු ලෝකයෙහි බුදු කෙනකුන් පහළ නොවුව හොත් ඒ භූමි හිස් වනවා. සෑම කල්හිම ඒ භූමින්හි සත්ත්වයන් නැති බැවින් ඒවා මේ විඥානස්ථිති විභාගයට නොගත යුතුයයි ද කියනවා.

පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්න, වේහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන නව භූමියෙහිම බ්‍රහ්මයෝ ඒකත්වකාය එකත්වසංඤී සත්ත්වයන් වශයෙන් ගත යුත්තාහ යි ද කියනු ලබනවා. නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප භූමියෙහි, සත්ත්වයනට ඇතය යි ද නො කිය හැකි, නැතය යි ද නො කිය හැකි ඉතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්ත්වයෝ ද විඥානස්ථිති විභාගයට නො ගන්නා ලදී. මෙ සේ සත්ත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය – රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ “සූවිසි මහ ගුණය” ග්‍රන්ථය, රෝහිතස්ස සුත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)216

අසිරිමත් බුදුගුණ වරුණ 09
උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 03

සංස්කාර හෙවත් සංඛාර යනු කුමක් දැයි තවදුරටත් හදුන්වන බුදුරජාණන් වහන්සේ එහි මුලික වශයෙන් ලක්ෂණ තුනක් ඇති බව අඞ්ගුත්තරනිකායේ » තිකනිපාතපාළියෙහි » චූළවග්ගයෙහි » සංඛත ලක්‍ෂණ සූත්‍රයේ මෙලෙස පෙන්වා දෙනවා.

“මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්‍ෂණයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්‍ෂණ තුන වෙත්. එම ලක්ෂණයන්ගෙන් හෙබි සංස්‌කාර ලෝකය පිළිබඳ ව විශුද්ධිමාර්ගයේ මෙලෙස සඳහන් වෙනවා.

සංස්කාර ලෝකය.

“ලෝක එකෙකි – එනම් සියලු සත්ත්‍වයෝ ප්‍ර‍ත්‍යයෙන් පවත්නෝ ය.

“ලෝක දෙකෙකි – එනම් නාම – රූප ය.

“ලෝක තුනෙකි – එනම් සුඛ, දුඃඛ, උපෙක්‍ෂා යන ත්‍රිවෙදනාය.

“ලෝක සතරෙකි – එනම් කබලීකාර, ඵස්ස, මනො සඤේචතනා,විඤ්ඤාණ යන සතර ය.

“ලෝක පසෙකි – එනම් පංච උපාදානස්කන්‍ධයෝ ය.

“ලෝක සයෙකි – එනම් ආධ්‍යාත්මික ආයතන සය ය.

“ලෝක සතෙකි – එනම් විඥාන සථිති සත ය.

“ලෝක අටෙකි – එනම් අෂ්ට ලෝක ධර්‍ම ය.

“ලෝක නවයෙකි – එනම් සත්ත්‍වාවාස නව ය.

“ලෝක දසයෙකි – එනම් ආයතන දස ය.

“ලෝක දෙලොසෙකි – එනම් ආයතන දොලොස ය.

“ලෝක අටලොසෙකි – එනම් ධාතු අටලොස ය.”

මේ සංස්කාර ලෝක යි. මේ සංස්කාර ලෝකයන්හි සියල්ල තමන්විසින්ම අවබෝධකොටගත් බැවින් උන්වහන්සේ මෙලෙසද “ලෝකවිදූ යන නාමයෙන් හඳුන්වනවා. (නිර්‍වාණය ද, මාර්‍ග-ඵල ද සංස්කාර ලෝකයට ඇතුළත් නොවේ. නිර්‍වාණය ප්‍ර‍ත්‍යයෙන් නො පවත්නේ ය. මාර්‍ග-ඵල ප්‍ර‍ත්‍යයෙන් නිපන් ද ලෝකොත්තර බැවින් සංස්කාර නො වන්නේ ය. සංස්කාර වනාහි අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත යි.)

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය – අඞ්ගුත්තරනිකාය » තිකනිපාතපාළි » චූළවග්ගො » සංඛත ලක්‍ෂණ සූත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)217

අසිරිමත් බුදුගුණ වරුණ 10
උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 04
අවකාශලෝකය

බුදුරජාණන් වහන්සේ ඉහතින් සඳහන් කල සත්ව ලෝක සංස්කාර ලෝක මෙන්ම අවකාශලෝකය ගැනත් හොඳින්ම දැන සිටියා. මා හට ඇති මහත් වූ ගැටලුව නම් ඒ පිළිබඳව වදාරා ඇති එක් සුත්‍ර දේශනාවක් පවා එක් ලිපියක් සදහා කෙටි කර ගැනීමයි. එම නිසා ඉතාම කෙටියෙන් “සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය” පදනම් කොටගෙන මෙම ලිපිය සැකසෙනවා. ඊට අමතරව “අනමතග්ග සංයුක්තයෙන්” ඔබ හට කල්ප පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත්, දේවදුත සුත්‍රයෙන් සතර අපා ලෝක පිළිබඳව විස්තරත් මහා සමය සුත්‍රයෙන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සහ ඔවුන්ගේ දේව නිකා පිළිබඳවත් දැනගන්නට පුළුවන්.

සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රයේ ආනන්ද මහ තෙරුන් අප මහා බුදුපියාණන් වහන්සේගෙන් මෙලෙස අසනු ලබනවා.

“ස්වාමීනි, ‘සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අරහත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් චක්‍රාවාට ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

මෙලෙස ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ තුන්වරක්ම මෙම ප්‍රශ්නය ඇසීම නිසා සක්වළවල් සම්බන්ධව මෙම විස්තරය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා.

චූළනී ලෝක ධාතුව

“එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.

ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව

“ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ.

ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව

ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.

“ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. ඉන් පිටත් ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”

“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.

එය තව දුරටත් මෙලෙස විස්තර වෙනවා.

සක්වලක විශාලත්වය

සක්වලක විශාලත්වය අට්ටකතා අනුසාරයෙන් රේරුකානේ චන්දවිමල මහනායක ස්ථවිරයන් වහන්සේ විසින් “සුවිසි මහා ගුණය” නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් වනවා.

එක් ලෝකධාතුවක හෙවත් සක්වළක භූමි එක් තිසක් ඇත්තේය. ඒ මෙසේය:-

  • නරකය,
  • තිරිසන්යෝනිය,
  • ප්‍රේතවිෂය,
  • අසුරකාය කියා අපාය භූමි සතරකි.

  • මනුෂ්‍ය භූමිය,
  • චාතුර්මහාරාජික භූමිය,
  • තාවතිංස භූමිය,
  • යාම භූමිය,
  • තුෂිත භූමිය,
  • නිර්මාණරති භුමිය,
  • පරනිර්මිත වශවර්ති භූමිය කියා කාම සුගති භුමි සතක් ඇත්තේය.

  • බ්‍රහ්මපාරිසජ්ජය,
  • බ්‍රහ්මපුරෝහිතය,
  • මහාබ්‍රහ්මයයි ප්‍රථමධ්‍යාන භුමි තුනෙකි.

  • පරිත්තාහ,
  • අප්පමාණහ,
  • ආභස්සරය යි ද්වීතිය ධ්‍යාන භූමි තුනෙකි.

  • පරිත්තසුභ,
  • අප්පමානසුභ,
  • සුභකිණ්ණය යි තෘතියධ්‍යාන භූමි තුනෙකි.

  • වේහප්ඵලය,
  • අසඤ්ඤසත්තය,
  • සුද්ධාවාසය.
    • අවිහ
    • අතප්ප
    • සුදස්ස
    • සුදස්සී
    • අකනිට්ඨ කියා සුද්ධාවාස පසෙකි. කියා චතුර්ථධ්‍යාන භුමි සතක් ඇත්තේය.මේ භූමි සොළස රූපාවචර භුමිහු ය.
  • අකාසානඤ්චායතනය,
  • විඤ්ඤාණඤ්චායතනය,
  • ආකිඤ්චඤ්ඤායතනය,
  • නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි අරූපාවචර භූමි සතරෙකි.

මෙසේ භූමි එක්තිසක් වේ. සඤ්ජීව කාලසූත්‍රාදි වශයෙන් නරකය අටවැදැරුම් වේ. එක් මහානරකයක් අවට කුඩා නරක සොළොස බැගින් ද ඇත්තේ ය.

ශ්‍රාවකයන්ට ද විෂය වූ සක්වළ

මේ සක්වළ හා මෙයට සමීපව පිහිටි සක්වළ නවසිය අනූනවය සහශ්‍රී ලෝකධාතුවය. එය ශ්‍රාවකයනට ද විෂය ය. සෘඬිමත් ශ්‍රාවකයන්ට ඒ සක්වළ දහසට ඇසෙන සේ කථා කළ හැකිය. ඒ සක්වල දහසෙහි ආලෝක අන්ධකාර පැතිර විය හැකිය.

බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රය

මේ සක්වල හා අවට පිහිටි දශලක්ෂයක් සක්වල ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවය. එය බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රයයි ද, මහබෝසතුන්ගේ මවුකුස පිළිසිඳීම, එයින් බිහි වීම, මහාභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවැත්වීම, ආයුසංස්කාරය හැරීම, පරිනිර්වාණය යන අවස්ථාවන්හි ඒ මධ්‍යමලෝක ධාතුව කම්පිත වන බවද අංගුත්තර අටුවාවෙහි දක්වා තිබේ. අන් බොහෝ තැන්වල දැක්වෙන්නේ මහබෝසතුන්ගේ පිළිසිඳ ගැනීම් ආදියෙහි සක්වල දසදහසක් කම්පාවෙන බවය.

බුදුවරුන්ගේ ආඥාක්ෂේත්‍රය

මේ සක්වළත් සමඟ කෝටිලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය ය. එහි ආටානාටිය පරිත්ත, ඉසිගිලි පරිත්ත, ධජග්ග පරිත්ත, බොජ්ඣංග පරිත්ත, ඛන්ධ පරිත්ත, මෝර පරිත්ත, මෙත්තරිත්ත, රතන පරිත්ත යන මේවායේ බලය පිහිටන බව කියා තිබේ. තථාගතයන් වහන්සේ ආඥා බලය ඒ සක්වල කෝටි ලක්ෂයෙහි පවත්නා බැවින් ත්‍රිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය වේ.

බුදුවරුන්ගේ විෂය ක්ෂේත්‍රය

ත්‍රිසහශ්‍රී ලෝකධාතුවෙන් ඔබ ඇති සක්වල සියල්ල තථාගතයන් වහන්සේගේ විෂය ක්ෂේත්‍රයය. එහි ප්‍රමාණයක් නැත්තේ ය. එය අනන්ත ය. ඒ සක්වල සියල්ලටම තථාගතයන් වහන්සේට ආලෝක අන්ධකාරයන් පැතිරවිය හැකි ය. සැමතැනම වෙසෙන සත්ත්වයනට ඇසෙන සේ කථා කළ හැකි ය. චක්‍රාවාළයන්ගේ බොහෝ බව දැක්වීමට අටුවාවෙහි දක්වා ඇති උපමාවක් මෙසේ ය. ‘කෝටි ලක්ෂයක් සක්වළවල බ්‍රහ්මලෝකය දක්වා පිරවීමට තරම් අබ ඇට ගෙන යම් කිසිවකු හමුවන හමුවන සක්වළට එක අබ ඇටය බැගින් හෙළමින් එක් දිශාවක් බලා ගමන් කළ හොත් අබ ඇට රාශිය ඉවර වෙනවා මිස ඒ දිශාවේ සක්වලවල් අවසන් නොවේය යනු ඒ උපමාව ය. මෙසේ අතිමහත් වූ අනන්ත වූ ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වන සේක.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය – අඞ්ගුත්තරනිකාය » තිකනිපාතපාළි » (8) 3. ආනන්දවග්ගො » සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)218

අසිරිමත් බුදුගුණ වරුණ 11
උන්වහන්සේ මෙසේ “අනුත්තර” නම් වූ සේක.

“තථාගතයන් වහන්සේ ගුණයෙන් තමන්වහන්සේට වඩා විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.” යනුවෙන් අනුත්තර නම් ගුණය කෙටියෙන් විශුද්ධි මාර්ගයේ හඳුන්වා තිබෙනවා. “අනුත්තරෝ පුරිසදම්මසාරථී” නමින් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ලෙස මෙම පද අර්ථ ගැන්නුවත් වෙන් වෙන් වශයෙන් පද දෙකෙහි අර්ථ වෙන්කර හඳුනාගැනීම තව තවත් ශ්‍රද්ධාව ඇති කරගැනීමට ඉවහල් වේවි. එය මෙසේ තේරුම් ගත යුතයි.

අසම, සම, සහ අසමසම

බුදුරජාණන් වහන්සේ 1.ශීල ගුණයෙන් ද, 2.සමාධි ගුණයෙන් ද, 3.ප්‍ර‍ඥා ගුණයෙන් ද, 4.විමුක්ති ගුණයෙන් ද, 5. විමුක්ති ඥානදර්‍ශන ගුණයෙන් ද යන සියලු ගුණයෙන් සියලු ලෝකය මැඩ ඉහලින්ම සිටිනවා. උන්වහන්සේගේ ඒ ශීලාදි ගුණයෙන් තමන් හා සමාන අන් අය නැති බැවින් අසම වනවා. එලෙස අසම වූ වද අතීත බුදුරජාණන් වහන්සේලා හා සම බැවින් අසමසම වනවා. එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

අප්‍ර‍තිම

එමෙන්ම තමන්ගේ රුව හා සමාන ප්‍ර‍තිමාවක් කල නොහැකි නිසා ද උන්වහන්සේව “අප්‍ර‍තිම” නමින් හඳුන්වනවා. එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

අප්‍ර‍තිභාග

එමෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ “සතිපට්ඨානාදි ධර්‍ම එසේ නොවේය” යි පෙරලා කිව හැකි වෙනයම් ජගතෙක් ලොව නැතිනිසා පෙරලා ප්‍ර‍තිපක්‍ෂ කල හැකි පුද්ගලයකු නැති බැවින් “අප්‍ර‍තිභාග” නමින් හඳුන්වනවා.

එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

අප්‍ර‍තිපුද්ගල

එමෙන්ම “ඔබ බුදු නොවෙයි මමයි බුද්ධ” යනුවෙන් අභියෝග කල පුද්ගලයෙකු නැති බැවින් උන්වහන්සේට “අප්‍ර‍තිපුද්ගල” නමින් හඳුන්වනවා. එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

තවද උන්වහන්සේ ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ ආසයානුසයේ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ පටිහාරිය ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ මහා කරුණා සමාපත්ති ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ සබ්බඤ්ඤුත ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ අනාවරණ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ තේ සත්තෑ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ සත් සත්තෑ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ සුවිසි ප්‍රත්‍ය ඤාණ සුවිසි පට්ඨාන ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ අනන්ත ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ රූපකාය සම්පත්තියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ බුද්ධත්වයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

සකල ධර්මයන්ගෙන් මෙලෙස සකල ධර්මයන්ගෙන් ද ගුණ ඤාණයන්ගෙන් ද, නවදහස් එකසිය අසූකෝටි පනස් ලක්‍ෂ තිස් හය දහසක් වූ සික්‍ෂාපදයන්ගෙන් උත්තරීතර බැවින් ද අනුත්තර නම් වනවා. මෙසේ ලියා නිම කල නොහැකි අනන්ත වූ ගුණධර්ම සමුදායකින් ලොවට වඩා උසස් වන බවින් උන්වහන්සේ “අනුත්තරෝ” නම් වනවා.

තවදුරටත් අග්ගප්පසාද සුත්‍රයේ මෙලෙස සඳහන් වනවා.

“මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ පා සතරක් ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ, රූප අත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ, භවාග්‍රයෙහි ඉපදුනාවූ හෝ යම්තාක් සත්ත්‍වයෝ ඇත්තාහුද, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගත තෙම ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍රවූ දෙයෙහි පැහැදුනාහු වෙති. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය – අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » චක්කවග්ගය » අග්ගප්පසාද සුත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)219

අසිරිමත් බුදුගුණ වරුණ 12
උන්වහන්සේ මෙසේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වූ සේක.

මීට පෙර ලිපියේ සඳහන් වුනේ ” අනුත්තරෝ පුරිසධම්ම සාරථි” ගුණයේ “අනුත්තර” ගුණය පිළිබඳවයි. උන්වහන්සේට වඩා ගුණයෙන් උසස් කිසිවෙක් මෙන්ම උන්වහන්සේට සමාන කෙනකුත් තුන්ලොවෙහිම නැති හෙයින්, අනුත්තර නම් වන බව දැනගත්තා.

ලෝකයෙහි කායබල ධනබල ඥානබල විද්‍යාබල ස්ථානබල ආදී යම්කිසි බලයකින් මත්ව ගරුකළ යුත්තන්ට ගරු නොකරමින් යටත් විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන උඬඟු පුද්ගලයෝ දමනය කළ යුතු පුද්ගලයන් වශයෙන් හැඳින්වෙනවා. එවැනි පුද්ගලයන් ඉතාම ශීලාචාර වන පරිදි, ඉතා ගුණවත් වන පරිදි, ඉතා ශාන්ත වන පරිදි, නැවත වෙනස් වී රෞද්‍ර නොවන පරිදි දමනය කිරිමට සමත් වන බැවින් ද රජුන් විසින් හෝ ශක්‍රාදි දෙවියන් විසින් හෝ බ්‍රාහ්මණයන් විසින් හෝ දමනය කළ නොහැකි අතිචණ්ඩ අතිමානී අතිකෛරාටිකයන් වුවද දමනය කිරිමට සමත් බැවින් ද තථාගතයන් වහන්සේ ලෝකයෙහි දම්‍යයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍රවනවා. දමණය කරනවා පමණක් නොව, ඔවුන්ව නිවණ කරා හික්මවමින් මෙහෙයවනවා. එබැවින් උන්වහන්සේ “අනුත්තර පුරිසදම්මසාරථී” යන විශේෂ නාමයෙන් හඳුන්වනවා.

මෙම දමණය කිරීමේ විශේෂත්වයක් තියෙනවා. එනම් එවැනි දරුණු, උඬගු, දෙවියන්, බඹුන්,මිනිසුන්, යක්ෂයින් මෙන්ම තිරසනුන් පවා දමණය කරනු ලැබුවේ කිසිම දඬු මුගුරු හෝ අවිආයුධ භාවිතයකින් නොමැතිව වීමයි. එම නිසාම එවැනි කටයුතු සඳහා සම්මා සම්බුදුවරයෙකු විසින් භාවිතා කරන ලද සුවිශේෂ උපක්‍රම තුනක් වුනා. එය දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගපාළියෙහි කේවට්ට සූත්‍රයේ කේවට්ට ගෘහපතීන් හට මැනවින් විස්තර කරන්නේ මේ අයුරින්.

කේවට්ටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මේ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනම් 1. ඍද්ධි ප්‍රාතිහාර්යය 2. ආදේශනා ප්‍රාතිහාර්යය 3.අනුශාසනා ප්‍රාතිහාර්යය යන මේ තුනයි.

  1. කේවට්ටය එයින් ඍද්ධි ප්‍රාතිහාර්යය කවරේද?

“කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපෙමින්යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි. මෙවැනි දේ ඍද්ධි ප්‍රාතිහාර්යය නම් වෙයි.

  1. කෙවට්ටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද?

“කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂූතෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබේ හිත මේ ආකාරද වෙයි. ඔබේ හිත මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි.

  1. කේවට්ටය, (අනුශාසනී) අනුශාසනාකිරීමේ ප්‍රාතිහාර්යය කවරේද?

කෙවට්ටය, භික්ෂුතෙම මෙසේ අනුශාසනා කෙරෙයි. “මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්. මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්. මෙය දුරු කරව්, මීට පැමිණ වාසය කරව් කියයි” මෙයද කේවට්ටය, අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ. මෙයින් බුදුරජාණන් වහන්සේ බොහෝසේ අගය කරනු ලැබුවේ දේශණා ප්‍රාතිහාර්යයි.

මෙලෙස සම්මා සම්බුදුවරයෙකු පමණක් සතුවන ෂට් අසාධාරණ ඤාණ වලට අයත් “ඉන්ද්‍රිය පරොපරියත්ත ඤාණය” සහ “අනාවරණ ඤාණයන්හි අනුභාවයෙන් ලොව කිසිවෙකුට දමණය කල නොහැකි සත්වයන් කෙරෙහි ඇති සුවිශේෂී ලක්ෂණ, ඉන්ද්‍රිය දර්ම, වාසනා ගුණ මහිම, වැනි දෑ මැන බැලීමෙන් දමනය කිරීමේ සුවිශේසී ගුණය නිසා “අනුත්තර පුරිසදම්මසාරථී” නමින් හඳුන්වනවා.

තව දුරටත් කෙසී සුත්‍ර දේශනාවේ කෙසී නම් රජුගේ අශ්වයින් පුහුණු කරන්නා හට වල් අශ්වයින් දමනය කිරීම පුරුෂයින් දමනය කිරීම හා සසඳමින් මෙලෙස විස්තර කරනවා.

“කෙසිය, මම දමනය කළ යුතු පුරුෂයන් මෘදු කමින්ද හික්මවමි. ඵරුෂකමින්ද හික්මවමි. මෘදු ඵරුෂකමින්ද හික්මවමි.

  1. මෘදු කමින් හික්මවීම.

“කාය සුචරිතය මෙසේය, කාය සුචරිතයාගේ විපාකය මෙසේය, වචී සුචරිතය මෙසේය, වචී සුචරිතයාගේ විපාකය මෙසේය, මනො සුචරිතය මෙසේය, මනො සුචරිතයාගේ විපාකය මෙසේය,“දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, කෙසිය, මෙය මෘදු කමින් හික්මිමය.

  1. ඵරුෂ කමින් හික්මවීම.

කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. වාග් දුෂ්චරිතය මෙසේයි. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. මනො දුෂ්චරිතය මෙසේයි. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. නිරය මෙසේයි. තිරිසන් යොනිය මෙසේය. ප්‍රේත නිකාය මෙසේය. කෙසීය, මෙය ඵරුෂ කමින් හික්මවීමය.

  1. මෘදු ඵරුෂකමින්ද හික්මවමි.

“කාය සුචරිතය මෙසේය.කාය සුචරිතයාගේ විපාකය මෙසේය. කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේය. වාග් සුචරිතය මෙසේය. වාග් සුචරිතයා ගේ විපාකය මෙසේය. වාග් දුෂ්චරිතය මෙසේය. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේය. මනො සුචරිතය මෙසේය. මනො සුචරිතයාගේ විපාකය මෙසේය. මනො දුෂ්චරිතය මෙසේය. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේය.

“දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, නරකය මෙසේය, තිරිසන් යෝනිය මෙසේය, ප්‍රෙත යෝනිය මෙසේය.” මෙය මෘදු මෙන්ම ඵරුෂකමින්ද හික්මවීමය.

අනුත්තර පුරිසදම්මසාරථී ගුණය විස්තර කිරිමේ දී පණ්ඩිතමානයෙන් මත්ව සිටි සච්චකාදීන් දමනය කළ සැටි ද, කුලමානයෙන් මත්ව සිටි ශාක්‍යාදීන් දමනය කළ දැටි ද, ජාතිමානයෙන් මත්ව සිටි ඇතැම් බ්‍රාහ්මණයන් දමනය කළ සැටි ද, මුළාව මිසදිටු ගෙන සිටි ඇතැම් තීර්ථකයන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන් දමනය කළ සැටි ද, අංගුලිමාල – නාලාගිරි – ආලවක අති චණ්ඩයන් දමනය කළ සැටි ද, අතිසම්මූළ්හව සිටි බකබ්‍රහ්මාදීන් දමනය කළ සැටි ද, අදින්නපුබ්බක මච්ඡරියකෝසියාදී මහ මසුරන් දමනය කළ සැටි ද, තවත් දමනයට දුෂ්කර පුද්ගලයන් දමනය කළ සැටි ද විස්තර කළ යුතු වුවත් මෙවැනි ලිපියකින් එවැන්නක් කල නොහැකිය. මෙසේ බෙහෝ සත්ත්වයන් විවිධ ආකාරයනට දමනය කළ බැවින් තථාගතයන් වහන්සේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – දීඝනිකාය » සීලක්ඛන්ධවග්ගපාළි » කේවට්ට සූත්‍රය – අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » කෙසිවග්ගය » කෙසි සුත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)220

අසිරිමත් බුදුගුණ වරුණ 13
උන්වහන්සේ මෙසේ “සත්‍ථා දෙවමනුස්සාන” නම් වූ සේක.

සත්ථා යනුවෙන් අදහස් වන්නේ ශාස්තෘ යන්නයි. දෙවිමිනිසුන් සහිත ලෝකයාට ශාස්තෘ (අනුශාසනා කරන්නේ යැයි) යන අරුතින් සත්ථා නම් වේ. භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන්ට ශාස්තෘ වනවා. උන් වහන්සේ කවර අර්‍ථයෙකින් ශාස්තෘ වන්නේද යන්න තව පැහැදිලි කරමින් විශුද්ධි මාර්ගයේ මෙලෙස සඳහන් වනවා.

කවර අර්‍ථයෙකින් ශාස්තෘ වන සේක් ද?

  1. දිට්ඨධම්මික,
  2. සම්පරායික
  3. පරමත්‍ථ

යන මේ ත්‍රිවිධ අර්‍ථයෙන් සුදුසු පරිදි දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට අනුශාසනා කරන්නාහ යන අර්ථයෙන් “සත්‍ථා දෙවමනුස්සානං” වනවා.

දිට්ඨධම්මික නම් මෙ ලොවින් වන අර්‍ථ ය. සම්පරායික නම් පරලොවින් වන අර්‍ථ ය. පරමත්‍ථ නම් නිර්‍වාණය. උන්වහන්සේ මේ ත්‍රිවිධ අර්‍ථයෙන් යෝග්‍ය පරිදි දෙවිමිනිසුන්ට අනුශාසනා කරන එහෙයිනි උන්වහන්සේ (සත්‍ථා ය) ශාස්තෘය.

එමෙන්ම යම් සේ ලෝක සත්වයන් චෞරකාන්තාරයෙන්, ව්‍යාල කාන්තාරයෙන්, දුර්භික්‍ෂකාන්තාරයෙන්, නිරුදක කාන්තාරයෙන් එතෙර කරන්නේ ද, එමෙන් භාග්‍යවතුන් වහන්සේ සත්ත්‍වයන් ජාතිකාන්තාරාදියෙන් එතෙර කරනු ලබනවා. ක්‍ෂේම භූමි සංඛ්‍යාත නිර්‍වාණයට පමුණුවනවනවා. එහෙයින් උන්වහන්සේ සත්‍ථා නම් වනවා. තවදුරටත් විශුද්ධි මාර්ගයේ මෙලෙස විස්තර වෙනවා.

දෙවිමිනිසුන්ට යයි කීයේ උත්කෘෂ්ට පරිච්ඡේද වශයෙනි. භව්‍ය පුද්ගල වශයෙනි. උන්වහන්සේ තිරිසන් ගිය සත්ත්‍වයන්ට ද අනුශාසනා කරනසේක් ම ය. තිරිසන් ගිය සත්ත්‍වයෝ ද උන්වහන්සේගේ ධර්‍මය අසා උපනිස්සය සමපත් ලැබැ එයින් දෙවන තෙවන අත්බැව්හි මාර්‍ගඵල ප්‍ර‍තිලාභය කරති. මණ්ඩුක දෙවපුත්‍රාදීහු එයට නිදර්‍ශන යි.

භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා නම් පොකුණු තෙර චම්පා නගරවාසීන්ට ධර්‍ම දේශනා කරන කල්හි එක් මැඩියෙක් උන්වහන්සේගේ ස්වරයෙහි නිමිත්ත ග්‍ර‍හණය කැරැ සිටියේය. එක් වසුපල්ලෙක් නො දැනැ දඬු කෙළවර උගේ හිස මත තබා එහි එල්බැ සිටියේ ය. එයින් මැඩියා කලුරිය කෙළේ ධර්‍ම ස්වරයෙහි ගත් ප්‍ර‍සාදයෙන් තව්තිසා දෙව්ලොව දොලොස් යොදුන් රන් විමනෙක උපන්නේ ය. දෙවඟනන් දහසෙක් පිරිවර විය. හේ තමා සිරි සම්පත් දැකැ “කොල, මමත් මෙහි උපන්මි. කවර කර්‍මයක් කෙළෙම් දැ”යි බලන්නේ ඒ කාරණය දැනැ සතුටු වැ එකෙණෙහි ම විමානය හා සමඟ එහි අවුත් බුදුන් පා වැන්දේ ය. බුදුහු මෙසේ විචාළෝ ය.

“කො මෙ වන්‍දති පාදානි – ඉද්‍ධියා යසසයා ජලං
අභික්කන්තෙන වණ්ණෙන – සබ්බා ඔහාසයං දිසා”

‘සෘද්ධියෙන් යසසින් සියලු දිගුන් බබුළුවමින් විශිෂ්ට වර්‍ණයෙන් යුක්තවැ කවරෙක් මේ මාගේ පා වඳින්නේ ද’

එවිට මණ්ඩුක දේවපුත්‍ර‍ මෙසේ කිය යි.

“මණ්ඩුකොහං පුරෙ ආසිං – උදෙකෙ වාරි ගොචරො
තව ධම්මං සුණත්තස්ස – අවධි වච්ඡපාලකො”

‘මම පෙර ජලය ගොදුරු කොටැ ඇති දිය මැඩියෙක් වැ සිටියෙමි ඔබගේ බණ අසත් ම පසුපල්ලෙක් මා මැරුයේ ය.
උන්වහන්සේ ඔහුට බණ වදාළ සේක. සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මභිසමය විය. ඒ දෙව්පුත් ද සෝවාන් වැ සිනාසිසී ගියේ ය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)221

අසිරිමත් බුදුගුණ වරුණ 14
උන්වහන්සේ මෙසේ “බුද්ධො” නම් වූ සේක.

‘කවර අර්‍ථයෙකින් බුද්ධ නම් වේ ද? යන්න විශුද්ධි මාර්ගයේ මෙලෙස දක්වනවා.

දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් බුද්ධ නම් වන සේක. (“සියලු කෙලෙසුන් කෙරෙන් මුක්ත වන හෙයින් රහත් මඟ විමොක්‍ෂ නම් වේ. විමොක්‍ෂාවශාන යෙහි උපදනා බැවින් රහත් ඵලය විමොක්‍ෂාන්ත නමි. රහත් ඵලය ලද කල ලැබිය යුතු බැවින් සව්නේ දන්නා නුවණ විමොක්ඛන්තික ඤාණ නමි. ඒ නුවණින් බුද්ධ නම් විය යන අර්‍ථ යි” යනු සන්න යි) එමෙන්ම

චතුස්සත්‍යය තමන් ම අවබෝධ කල බැවින්, අන්‍යයන් අවබෝධ කරවූ බැවින්, සියල්ල දන්නා බැවින්, සියල්ල දක්නා බැවින්, අනෙකකු විසින් අවබෝධ නො කරවන ලද බැවින්, ක්ලේශ නිද්‍රායෙන් පිබිදි බැවින්, ආශ්‍ර‍වක්‍ෂය කළ බැවින්, ක්ලේශ ලෙල්ප නැති බැවින්, ඒකාන්තයෙන් වීතරාග, වීතදෝස, වීතමෝහ බැවින්, ඒකාන්ත නික්ලේශ බැවින්, ඒකායන මාර්‍ගයට ගිය බැවින් හුදෙකලාව අනුත්තර සම්‍යක් සම්බෝධි අවබෝධ කළ බැවින්, අබුද්ධි නැසූ බැවින්, බුද්ධි ලැබූ බැවින් බුද්ධ නම් වේ. උන්වහන්සේට බුද්ධ යන මේ නාමය මව්පියන් විසින් සහෝදර – සහෝදරියන් විසින් මිත්‍රාමාත්‍යයන් විසින් සහ ලේ නෑයන් විසින් මහණ බමුණන් විසින් දෙවියන් විසින් තබන ලද්දේ නො වේ. ඒ බුද්ධ යන ප්‍ර‍ඥප්ති නාමය වනාහි උන්වහන්සේට බෝමුල සවන් නැණ ලැබීම සමඟ විමොක්‍ෂාන්තික වශයෙන් ලැබුණේ ය යනු එහි සංක්‍ෂෙපාර්‍ග යි.

අඞ්ගුත්තරනිකායේ » චතුක්කනිපාතපාළියෙහි » චක්කවග්ගයෙහි » දොණ සුත්‍රයේ දොණ බ්‍රාහ්මණයා ඇසු ප්‍රශ්ණ වලට මෙලෙස උත්තර සපයමින් බුදුරජාණන් වහන්සේ වචනයෙන් විස්තර කල නොහැකි “බුද්ධ” නම් පදයට කුඩා දරුවෙකුට හෝ වැටහෙන අයුරින් සරළ කෙටි අර්ථයක් දුන් හැටි හරිම ආශ්චර්ය ජනකයි.

දොණ සුත්‍රය

ඔබ වහන්සේ දෙවියෙක් නොවන්නේදැ?”

“බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි.”

“පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම ගාන්‍ධර්‍වයෙක්ද නොවන්නෙමි.”

“පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි.”

“පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි.”

“බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හට ගන්නේ, ජලයෙහි වැඩුනේ, ජලයෙන් උඩට නැංඟේ. ජලය හා නොගැටුනේ යම්සේ සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහි උපන්නේ, ලෝකයෙහි වැඩුණේ, ලෝකය හා නොගැටුනේ, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්‍ධයයි දරව.”

“යම් ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්‍වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට ඒ ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුම් ඇත්තාහ. යහපත්වූ උපුලක් යම්සේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්‍ධ වෙමි.”

මෙය කියවූ විට මිට වඩා වැඩියමක් අපගේ අවබෝධය පිණිස ලියන්නට නැත කියා සිතුනා. ඒ එක්කම

ඛුද්දකනිකායේ » සුත්තනිපාතපාළියේ » මහාවග්ගයේ » සෙල සුත්‍රයේ මෙලෙස සටහන් කොට තිබෙනවා.

‘‘අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං;
පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.

“දතයුත්ත දන්නාලදී. වැඩියුත්ත වඩනලදී.
දුරුකළ යුත්ත දුරුකරණලදී. බ්‍රාහ්මණය එහෙයින් මම බුද්ධයෙමි.

‘‘රාජාහමස්මි සෙලාති, (භගවා) ධම්මරාජා අනුත්තරො;
ධම්මෙන චක්කං වත්තෙමි, චක්කං අප්පටිවත්තියං’’.

සෙලය ශ්‍රේෂ්ඨ ධර්මරාජවූ මම රජෙක් වෙමි.
යම් චක්‍රයක් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකිද ධර්මයෙන් ඒ ආඥාව පවත්වමි.”

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » සච්ච සංයුක්තය » සීසපාවන වර්ගයේ සිංසපා සූත්‍රයේ මේ විශ්වයෙහි දතයුතු යමක් ඇද්ද? අවබෝධ කලයුතු යමක් ඇද්ද? ඒ සියල්ල බුදුකෙනෙකුන් විසින් මෙසේ අවබෝධ කොට ඇතත් වදාරා නැති බව සඳහන් කරමින් “බුද්ද” නම් පදයට තවත් නිදසුනක් දෙනවා.

සිංසපා සූත්‍රය

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවූ ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරොධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බොධිය පිණිස නො පවතී. නිර්වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.

මෙලෙස මා විසින් කාලවේලා නැතිකමින් කෙටියෙන් විස්තර කල “බුද්ධෝ” යන ගම්භිර පදය ඔබ විසින් සුත්‍ර දේශණා හා ගලපමින් ගැඹුරින් හැදෑරීමෙන් මතුකරගන්නා ශ්‍රද්ධාව නිවන් දක්නා ජාති දක්වා නොබිඳී පවතිනවා ස්ථිරයි. එයමයි අපගේ නිරන්තර වෑයම.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

අඞ්ගුත්තරනිකායේ » චතුක්කනිපාතපාළියෙහි » චක්කවග්ගයෙහි » දොණ සුත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » සච්ච සංයුක්තය » සීසපාවන වර්ගයේ සිංසපා සූත්‍රය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)222

අසිරිමත් බුදුගුණ වරුණ 15
ෂට් අසාධාරණ ඤාණ 01

 

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණං බුද්ධ ඤාණං

සත්තානං ආසයානුසයේ ඤාණං බුද්ධ ඤාණං

යමකපාටිහාරියේ ඤාණං බුද්ධ ඤාණං

මහාකරුණා සමාපත්තියා ඤාණං බුද්ධ ඤාණං

සබ්බඤ්ඞ්ත ඤාණං බුද්ධ ඤාණං

අනාවරණ ඤාණං බුද්ධ ඤාණං

ඉමානි චුද්දස බුද්ධඤාණානි, ඉමේසං අට්ඨ ඤාණානි සාවක සාධාරණානි – ඡ ̃ඤාණානි අසාධාරණානි සාවකේහී ති.

සම්මා සම්බුද්ධත්වය ගැන ඉගෙනගැනීමේදී ඔබ අප සැම විසින් දැන ගතයුතු විශේෂිත “ෂට් අසාධාරණ ඤාණ” නමින් හඳුන්වන තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ, සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේලාට පමණක් ලැඛෙන, ඤාණ සයක් පිළිබඳවයි ඉහත සූත්‍ර පාඨයෙන් කියවෙන්නේ. ඔබ “තෙසැත්තෑ ඤාණ” වශයෙන් හඳුන්වන ඤාණ සැත්තෑ තුනක් පිළිබඳව මිට පෙර අසා ඇති. ඒ ඤාණ සැත්තෑ තුනෙන් ඤාණ හැට හතක් සම්මා සම්බුදුවරුනට පමණක් නොව පසේ බුදු, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදි රහතන් වහන්සේලාට ද යම් මට්ටමකින් ලැබිය හැකි නිසා ඒ සියල්ලටම සාධාරණ ඤාණ නමින් හඳුන්වනවා. එහෙත් “තෙසැත්තෑ ඤාණ” අතරින් අවසාන ඤාණ සය පසේ බුදුරජාණන් වහන්සේලාට ද නොලැඛෙන, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදි රහතන් වහන්සේලාට ද නොලැඛෙන, සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ම ලැඛෙන, විශේෂිත වූ ඤාණ සයක් නිසා ද එය අන් අයට අසාධාරණ බැවින්ද “ෂට් අසාධාරණ ඤාණ” නමින් හඳුන්වනවා. ඒ නිසාම අවිදුරේ නිධානය අවසන් කිරීමට මත්තෙන් හැකි අයුරින් එම “ෂට් අසාධාරණ ඤාණ” පිළිබඳව කෙටියෙන් විස්තර කිරීමක් ඉදිරි ලිපි පෙළ මගින් පල කරනු ලබනවා.

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ, සන්තානයේ පහළ වෙනව පුද්ගලයන්ගේ සන්තානවල, ඉන්ද්‍රියයන් පිළිබඳව, උස් පහත් බව තේරුම් ගන්නා විශේෂ ඤාණ දර්ශනයක්. මෙන්න මේ ඤාණ දර්ශනයට කියනවා “ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය” කියල. එයින් මෙතැන ඉන්ද්‍රිය කියන්නේ කුමක් ද? යන්න අපි තේරුම් ගන්නට අවශ්‍ය යි.

පුද්ගල සන්තානයේ බෝධිපාක්ෂික ධර්ම වශයෙන් වැඩෙන ඉන්ද්‍රිය ධර්ම පහක් තිඛෙනව. ඒවානම්, 1.සද්ධා ඉන්ද්‍රිය, 2.විරිය ඉන්ද්‍රිය, 3.සතින්ද්‍රිය, 4.සමාධි ඉන්ද්‍රිය, 5. පඤ්ඤින්ද්‍රිය’ යන ඉන්ද්‍රිය ධර්ම පහයි. එමෙන්ම සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය පහ. මෙය ලෞකික ලෝකෝත්තර යන දෙපාර්ශවයටම සාධාරණයි. සම්මා සම්බුදුවරයෙකු මෙම ඉන්ද්‍රිය ධර්ම පස පුද්ගල සන්තානයේ වැඩි ඇති අයුරු යුගල වශයෙන් ආකාර පසකට බලා ඔවුන් හට උචිත අයුරින් ධර්මය දේශණා කොට නිවන කරා පමුනවනවා. ඒ යුගල පස සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිසම්භිදාමග්ග පාලියේ මෙලෙස දක්වා තිබෙනවා.

  1. අල්පරජස්ක – මහාරජස්ක යුගලය 2. තික්ඛින්ද්‍රිය – මුදින්ද්‍රිය යුගලය 3. ස්වාකාර – ද්වාකාර යුගලය 4. සුවිඤ්ඤාපය-දුවිඤ්ඤාපය යුගලය සහ 5. පරලෝකවජ්ජභයදස්සාවි – න පරලෝකවජ්ජභයදස්සාවි යුගලය වශයෙන්.

රජස් කියන්නේ කෙලෙස් වලට කියන නමක්. බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් සත්වයාගේ කෙලෙස් අඩු වැඩි බව. එය තීරණය වෙන්නේ ඉන්ද්‍රිය දරමයන්ගේ වැඩි ඇති උස් පහත් භාවයෙන්. එය මෙලෙසයි.

ශ්‍රද්ධාව තියන පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. ශ්‍රද්ධාව නැති පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. ඒ වාගේම අරඹන ලද වීර්යයෙන් යුතු පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. කම්මැලි හෝ කුසීත පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. එල්බ ගත් සිහිය ඇති පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. සිහියෙන් බැහැරව ඉන්න පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. සමාධිය තියන පුද්ගලයා කෙලෙස් අඩුකෙනෙක්. සමාධියක් නැති පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. නුවණ තියන පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. නුවණ නැති පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්,

මේ ආදී වශයෙන් මෙම ඉන්ද්‍රිය දර්ම පස යුගල වශයෙන් පනස් ආකාරයකට සසඳා බලා ධර්මය දේශණා කරනු ලබන්නේ ඔහුට හෝ ඇයට ඇසු සැණින් අවබෝධයට පැමිණෙන ආකාරයට. දැන් ඔබට වැටහෙනවා ඇති බුදුවරයෙකුගේ එක් වචනයක් හෝ වචන කිහිපයක් අසා සමහර පුද්ගලයින් එක් සැණින් මගඵල නිවන් අවබෝධ කොට ගන්නේ කාගේ දක්ෂතාවය මතද කියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – පටිසම්භිදාමග්ග පාළිය, ඤාණකථා, මහානිද්දේසපාළිය,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)223

අසිරිමත් බුදුගුණ වරුණ 16
ෂට් අසාධාරණ ඤාණ 02

මැදියම් රාත්‍රිය ආසන්න වනවිට දැනෙන අධික වෙහෙස මහන්සිය නිදිමත, ලිපිය දිර්ඝවිම වැනි කරුණු නිසා සමහර කරුණු නොලියා අතහැරෙනවා. ඒත් පහුවදාට ඒ පිළිබඳව සිත දොස් කියනවා. පෙර දින ලිපියෙත් ඒ දේම සිද්ධ වුණා. ඒ පිළිබඳව චිත්ත සන්තානයේ පැන නැගෙන දොම්නස නිසාම යලිත් හැකි අයුරින් විස්තරාත්මකව ඒ කරුණුම ලියන්න සිතා ගත්තේ මේ ලිපි පෙළ හදිසියේ නිමකිරීමට ලියන්නක් නොවන නිසාමයි. පද ගැලපීමේදී කරුණු එක්රැස් කිරීමේදී මගහැරී යන අනන්තවත් දේ ඇති. බුදුන් දහම් සඟුන්ගෙන් මෙන්ම ඔබලාගෙනුත් ඒ පිළිබඳව සමාව අයදිනවා.

දෙවිසි ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රිය, සහ සම්මා සම්බුදුවරයෙකුගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙහි කාර්‍යය භාරය.

දෙවිසි ඉන්ද්‍රියන් ලෙස බුදුදහමේ ඉන්ද්‍රිය වර්ගීකරණයේදී 1.චක්ඛු ඉන්ද්‍රිය, 2.සෝත ඉන්ද්‍රිය, 3.ඝාණ ඉන්ද්‍රිය, 4.ජිව්හා ඉන්ද්‍රිය, 5.කාය ඉන්ද්‍රිය, 6. මනින්ද්‍රිය, 7. ඉත්ථීන්ද්‍රිය, 8. පුරිසින්ද්‍රිය, 9.ජීවිතින්ද්‍රිය, 10.සුඛින්ද්‍රිය, 11.දුක්ඛින්ද්‍රිය, 12.සෝමනස්ස ඉන්ද්‍රිය, 13.දෝමනස්ස ඉන්ද්‍රිය, 14.උපේක්ඛින්ද්‍රිය, 15.සද්ධින්ද්‍රිය, 16.විරියඉන්ද්‍රිය, 17. සති ඉන්ද්‍රිය, 18. සමාධි ඉන්ද්‍රිය, 19. පඤ්ඤින්ද්‍රිය, 20. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය, 21. අඤ්ඤින්ද්‍රිය, 22. අඤ්ඤාතාවී ඉන්ද්‍රිය යනුවෙන් නම් වෙනවා.

ඒ අතරින් අගට තිඛෙන අනඤ්ඤාස්සාමීති ඉන්ද්‍රිය සෝවාන් මාර්ග ඤාණය වශයෙන් හඳුන්වනවා. අඤ්ඤින්ද්‍රිය සෝවාන් මාර්ගයෙන් ඉහළ අරහත් මාර්ග ඤාණය දක්වා පවතින මාර්ගඵල ඤාණ හයයි. අඤ්ඤාතාවී ඉන්ද්‍ර්‍රිය අරහත්ඵල ඤාණය යි. එම තුන ලෝකෝතරමයි.

මෙතැනදී ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙන් විශ්ලේෂණයට ලක්වෙන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම අතරින් 15.සද්ධින්ද්‍රිය, 16.විරියඉන්ද්‍රිය, 17. සති ඉන්ද්‍රිය, 18. සමාධි ඉන්ද්‍රිය, 19. පඤ්ඤින්ද්‍රිය කියන බෝධිපාක්ෂික ධර්ම පසයි. මෙම සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය පහ ලෞකික ලෝකෝත්තර දෙකටම සාධාරණයි.

ඉන්ද්‍රිය යන්නෙහි අරුත

තථාගතයන් වහන්සේව ඉන්ද්‍ර ̃ නමින් හඳුන්වනවා. අපි නම කියනකොට මුනින්ද්‍ර කියනව, සුගතීන්ද්‍ර කියනව. ඔයවාගේ ඉන්ද්‍රිය භාවිතාවක් අපි භාවිතා කරනව. ඉන්ද්‍රිය කියන්නේ, ප්‍රධාන කියන එකයි. මුනිවරයින් වහන්සේලාගේ ප්‍රධාන බැවින්, ශ්‍රේෂ්ඨ බැවින්, භාග්‍යවතුන් වහන්සේට මුනීන්ද්‍ර ̃ කියනව. ඒ වගේම තම තමාට අයිති කටයුත්තෙහි යම් යම් චිත්ත චෛතසික ධර්මයක් හෝ, රූප ධර්මයක් ප්‍රධාන වෙනව නම්, ඒකට කියනව ඉන්ද්‍රිය කියල.

ඉන්ද්‍රාර් ථය නමින් එය හඳුන්වනව. සක්දෙව් රජ්ජුරුවෝ දිව්‍යලෝක දෙකකට නායකයි, ප්‍රධානයි. එනිසා ශක්‍ර දේවේන්ද්‍ර කියනව. ඉන්ද්‍ර කියල සක්දෙව් රජ්ජුරුවන්ට නමක් තියෙන්නේ ඒනිසයි. ඒ වගේ මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන පංචකයටත් තියෙනවා ප්‍රධානත්වයක්. මේ ප්‍රධානත්වය තිඛෙනව ක්‍රම දෙකකට.

  1. ප්‍රදේශ අධිපති
  2. සර්වත්‍ර අධිපති කියල.

ප්‍රදේශ අධිපති කියන්නේ එක එක ප්‍රදේශවලට නායකත්වය. සර්වත්‍ර අධිපති කියන්නේ හැම තැනටම නායකත්වය. සක්විති රජ්ජුරුවෝ වාගේ. සක්විති රජ්ජුරුවෝ නම් මුළු පොළෝ තලයට ම නායකයි, අධිපතියි. ප්‍රදේශ භාර රජ දරුවෝ ඉන්නව, එක එක රාජධානියට අධිපති. ඒ වාගේ අපේ සන්තානවල පවතිනව ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියල අධිපති ධර්ම හතරක්. මේවා සර්වත්‍ර අධිපති සැම තැනටම නායකත්වය දරනවා, මේ අධිපති ධර්ම හතර. ඒ හැර ඉහත කී ඉන්ද්‍රිය විසිදෙක තම තමාට අයිති කෘත්‍යරසයෙහි ප්‍රධානත්වයක් උසුලනවා. මෙම ඉන්ද්‍රිය ධර්ම පස සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතරෙන් බෝධිපාක්ෂික ධර්මයන් ලෙස ප්‍රධානත්වයක් ගන්නා බැවින් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙන් කරනු ලබන විමර්ශනයේදී මුල් තැනක් ලැබෙනවා. ඒ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණ විමර්ශනය යුගල වශයෙන් ප්‍රභේද පහකට බෙදා දක්වනවා. ඒ නිසා සෑම ඉන්ද්‍රිය ධර්මයක්ම කොටස් දහයකට වෙන්වෙනවා. ඒ අනුව පුද්ගල සන්තානයේ ඒ වනවිට වැඩි ඇති පංච ඉන්ද්‍රිය ධර්ම 5 x කිරීම යුගල වශයෙන් ප්‍රබේද 10 යනුවෙන් පහත දැක්වෙන පරිදී පනස් අකාරයකට ක්ෂණයකින් සම්මා සම්බුදුවරයෙකු විසින් දැන හඳුනා ගන්නවා. ලිපිය දිග වැඩි වූ බැවින් ඒ පිළිබඳව හෙට ලියන්නම්.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – පටිසම්භිදාමග්ග පාළිය, ඤාණකථා, මහානිද්දේසපාළිය,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)224

අසිරිමත් බුදුගුණ වරුණ 17
ෂට් අසාධාරණ ඤාණ 03

ඔබ මිට පෙර දෙවිසි ඉන්ද්‍රිය ධර්ම සහ ඒ අතරෙහි ඇති පංච ඉන්ද්‍රිය ධර්ම ගැන ද කෙටියෙන් දැනගත්තා. දැන් කියන්නට යන්නේ සම්මා සම්බුදුවරයෙකු විසින් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙහි අනුභාවයෙන් පංච ඉන්ද්‍රිය ධර්මද යුගල වශයෙන් පහකටද ප්‍රභේධ වශයෙන් පනහකටද තව දුරටත් අනුඛන්ඩනය කොට පුද්ගල චිත්ත සන්තානයේ කෙලෙස් අඩු වැඩි මට්ටම් නිර්ණය කරමින් ගැඹුරු දහම් හෝ සාමාන්‍ය සරල දහම් කරුණු දේශණා කොට වැදෑරු නියාය ගැන පොඩි හෝ අවබෝධයක් ලබාගැනීමටය.

යුගල පස සහ එහි සරල තේරුම.

ඉහත සඳහන් කර අයුරින්

  1. අප්පරජක්ඛේ- මහාරජක්ඛේ 2. තික්ඛින්ද්‍රියේ – මුදින්ද්‍රියේ 3. ස්වාකාරේ – ද්වාකාරේ 4. සුවිඤ්ඤාපයේ – දුවිඤ්ඤාපයේ 5. අප්පේකච්චේ – පරලෝකවජ්ජභයදස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනො කියල යුගල යුගල වශයෙන් කොටස් පහක් දක්වා වදාරා තිබෙනවා. ’

එහි සරළ තේරුම

  1. අප්පරජක්ඛේ- මහාරජක්ඛේ

රජස් කියල කියන්නේ කෙලෙස්වලට නමක්. අක්ඛ කියන්නේ චිත්ත සන්තානයේ මනින්ද්‍රියට. මනින්ද්‍රියෙහි නොහොත් සිතෙහි කෙලෙස් රජස් අඩු පුද්ගලයා අප්පරජක්ඛේ වශයෙනුත් කෙලෙස් වැඩි පුද්ගලයා මහාරජක්ඛේ වශයෙනුත් හඳුන්වනවා. කෙලෙස් රජස් වැඩි පුද්ගලයා ශ්‍රද්ධාව අඩු පුද්ගලයෙක්. වීර්යවන්තයාගේ කෙලෙස් රජස් අඩුයි.

ශ්‍රද්ධා ඉන්ද්‍රිය උත්සන්න පුද්ගලයා, අල්ප රජස්කයි. ඒ කියන්නේ චිත්ත සන්තානයේ කෙලෙස් රජස් අඩුයි. මනින්ද්‍රියෙහි කෙලෙස් රජස් අඩු පුද්ගලයා ශ්‍රද්ධාවන්තයි. කෙලෙස් රජස් වැඩි පුද්ගලයා ශ්‍රද්ධාව අඩු පුද්ගලයෙක්. වීර්යවන්තයාගේ (විරිය ඉන්ද්‍රිය) කෙලෙස් රජස් අඩුයි. කුසීත පුද්ගලයාගේ කෙලෙස් රජස් වැඩියි. එලඹ සිටි සිහිය ඇති (සති ඉන්ද්‍රිය)පුද්ගලයාගේ කෙලෙස් රජස් අඩුයි. සිහි මුළා වූ පුද්ගලයාගේ කෙලෙස් රජස් වැඩියි. සමාහිත පුද්ගලයාගේ (සමාධි ඉන්ද්‍රිය) කෙලෙස් රජස් අඩුයි. අසමාහිත පුද්ගලයාගේ කෙලෙස් රජස් වැඩියි. ඤාණවන්ත පුද්ගලයාගේ (ප්‍රඥා ඉන්ද්‍රිය)කෙලෙස් රජස් අඩුයි. දුෂ්ප්‍රාඥයාගේ කෙලෙස් රජස් වැඩියි. මෙන්න භාග්‍යවතුන් වහන්සේ ඛෙදල බලන ආකාරය.

මේ මේ පුද්ගලයාගේ චිත්ත සන්තානයේ, මේ මේ කෙලෙස් බලපාන්නේ මේනම්, මේනම්, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් අඩු නිසයි, ශ්‍රද්ධා,විරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රය ධර්මයන් වැඩි නිසයි, කියල මේ ශ්‍රද්ධා ආදි, පංච ඉන්ද්‍රිය ධර්මයන්, උන්වහන්සේ අල්ප රජක්ඛ, මහාරජක්ඛ යුගල අනුව ඛෙදල බලනව.

  1. තික්ඛින්ද්‍රියේ – මුදින්ද්‍රියේ

තික්ඛින්ද්‍රිය, කියන්නේ තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනාට. මුදින්ද්‍රිය කියන්නේ මෘදු ඉන්ද්‍රිය ඇති කෙනාට. ශ්‍රද්ධාවන්තයා, තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්.

අශ්‍රද්ධාවන්තයා, මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. විර්යවන්තයා, තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. කුසීත පුද්ගලයා, මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. එසේම, එලඹ සිටි සිහිය ඇති පුද්ගලයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. සිහිමුළා වූ පුද්ගලයා, මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. සමාහිත පුද්ගලයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. අසමාහිත පුද්ගලයා, මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. ඤාණවන්තයා, තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. දුෂ්ප්‍රාඥ පුද්ගලයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. මෙසේ තික්ඛින්ද්‍රිය, මුදින්ද්‍රිය, යුගල වශයෙන් පුද්ගලයන් කොටස් දහයක් ඒ භාග්‍යවතුන් වහන්සේ දැන ගන්නව. මැන ගන්නව.

  1. ස්වාකාරේ – ද්වාකාරේ

ස්වාකාර කියන්නේ යහපත් පැවතුම් ඇති අයට. ද්වාකාර කියන්නේ අයහපත් පැවතුම් ඇති අයට. ශ්‍රද්ධාවන්තයා යහපත් පැවතුම් ඇති කෙනෙක්. අශ්‍රද්ධා වන්තයා අයහපත් පැවතුම් ඇති කෙනෙක්. මේ වාගේ විරිය, සති, සමාධි, ප්‍රඥාව, ඇති අය යහපත් පැවතුම් ඇති අය. ඒවායින් තොර පුද්ගලයා අයහපත් පැවතුම් ඇති පුද්ගලයෙක්. ඉහත ආකාරයටම ස්වාකාර, ද්වාකාර වශයෙන් පුද්ගලයන් කොට්ඨාශ දහයකට උන්වහන්සේ ඛෙදල වෙන්කරගන්නවා.

  1. සුවිඤ්ඤාපයේ – දුවිඤ්ඤාපයේ

සුවිඤ්ඤාපයේ – දුවිඤ්ඤාපයේ කියන්නේ සුවසේ අවබෝධ කළ හැකි පුද්ගලයා සහ සුවසේ අවබෝධ කළ නොහැකි පුද්ගලයනට ඔවුන්ද ඉහත දැක්වූ ආකාරයට කොටස් දහයකට තථාගතයන් වහන්සේ විසින් ඛෙදා ගන්නවා.

ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති පුද්ගලයා සුවසේ අවබෝධ කළ හැකි කෙනෙක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැති පුද්ගලයා සුවසේ අවබෝධ නොකළ හැකි කෙනෙක්. එසේම, විරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව ඇති පුද්ගලයා සුවසේ අවබෝධ කළ හැකි පුද්ගලයෙක්. ඒවා අඩු පුද්ගලයා සුවසේ අවබෝධ නොකළ හැකි කෙනෙක්.

මෙසේ සුවසේ අවබෝධ කළ හැකි, නොකළ හැකි පුද්ගලයන් වශයෙන් වෙන්කර තෝරා ගන්නවා.

  1. අප්පේකච්චේ – පරලෝකවජ්ජභයදස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනො

කඩුවක් අමෝරාගත් වදකයෙකු පසුපස එන වෙලාවේ යම් භයක් වෙයි නම්, ඒ වාගේ සංසාරය ගැන, ලෝකය ගැන, වරදවල් ගැන, පාපයන් ගැන, භයක් ඇති අය වෙයි නම්, අන්න ඒ අයට කියනවා පරලෝක වජ්ජභයදස්සාවිනෝ කියලා. ඒ වගේම ලෝකය ගැනවත්, සංසාරය ගැනවත්, කෙලෙස් ගැනවත්, අකුසල් ගැනවත්, කිසිම භයක් නැත්නම්, යම් කෙනෙකුගේ තැති ගැනීමක් නැත්නම්, ඒ අයට කියනව න පරලෝකවජ්ජභයදස්සාවිනෝ කියලා. ඒ

වගේම ලෝකය ගැන, පරලෝකය ගැන, වරද ගැන, භයක් නැති, තැති ගැනීමක් නැති, අයට කියන්නේ අභව්‍ය ̃පුද්ගලයෝ කියලා. පරලොව ගැන, පාපයන් ගැන, වරද ගැන, භය දක්නාසු පුද්ගලයාට කියන්නෙ භව්‍ය ̃ පුද්ගලයා කියලා. ඒ භව්‍ය පුද්ගලයන්ට තමයි ධ්‍යාන ලැඛෙන්නේ. නිවන් අවබෝධ වන්නේ. අභව්‍ය පුද්ගලයන්ට ඒ කිසිවක් ලබන්න බැරි වෙනවා. සුගතියකටවත් යා ගන්න බැරිවෙනවා. මෙන්න මේ ආකාරයට සම්මා සම්බුදු රජාණන් වහන්සේ සත්ව පුද්ගල කොට්ඨාසයන් පනහක් මෙලෙස බෙදා වෙන්කර බලනු ලබන්නේ ඒ ෂට් අසාධාරණ ඤාණයක් වන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙහි අනුභාවයෙන්. ඒ තමයි අපේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය. අසමසම බව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – පටිසම්භිදාමග්ග පාළිය, ඤාණකථා, මහානිද්දේසපාළිය,

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)225

අසිරිමත් බුදුගුණ වරුණ 18
ෂට් අසාධාරණ ඤාණ 04

බුදුවරු ද පසසන, නිවණට ද කැන්දන, ඔබ සතුවියම යුතු ධනය

අචල ශ්‍රද්ධාව පිළිබඳව.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීම හෝ චතුරාර්ය සත්‍ය අවබෝධයට හෝ කැමැති පුද්ගලයා මුලින් ශ්‍රද්ධාවට පැමිණිය යුතු වනවා. ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන ශ්‍රද්ධා ධනයක් බවට පත්කරගත යුතුත් වනවා. සොතාපත්ති මාර්ගාංග වලද පංච ඉන්ද්‍රිය ධර්ම වලද ශ්‍රද්ධාවට මූලිකත්වය හිමිවෙනවා. එම නිසාම සම්මා සම්බුදුවරයෙකු ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය උපනිශ්‍ර කරමින් ලෝකසත්වයා දෙස බැලීමේදී ශ්‍රද්ධා ඉන්ද්‍රිය කෙරෙහි විශේෂ පරීක්ෂාවක් කෙරෙනවා. ඒ පුද්ගල සන්තානය පිහිටන ශ්‍රද්ධා ප්‍රබේධ හයක් පිළිබඳව. මේ විස්තරය නිවන ප්‍රර්ථනා කරන ඔබ විසින් වැඩිය යුතු බුදුරජාණන් වහන්සේ නමකගේ පවා පැසසුමට ලක්වෙන ශ්‍රද්ධාව පිළිබඳවයි.

ශ්‍රද්ධාව යනු කුමක්ද?

කතමං තස්මිං සමයේ සද්ධින්ද්‍රියං හෝති
යා තස්මිං සමයේ සද්ධා, සද්ධහනා,
ඕකප්පනා, අභිප්පසාදෝ, සද්ධා, සද්ධින්ද්‍රියං, සද්ධා
බලං, ඉදං තස්මිං සමයේ සද්ධින්ද්‍රියං හෝති.

මේ අභිධර්ම පිටකයේ සද්ධා ඉන්ද්‍රිය පැහැදිලි කරන සූත්‍ර පාඨයක්. එහි සරළ තේරුම මෙලෙසයි.

“කතමං තස්මිං සමයේ සද්ධින්ද්‍රියං හෝති” -ඒ සමයේ කෙතෙකින් සද්ධින්ද්‍රිය වේද යත්

යා සද්ධා: තුනුරුවන්ගේ ගුණ යම් අදහා ගැනීමක් වෙයි නම්, සද්ධහනා යනුවෙන්ද

අදහන ආකාරයක් තියෙනවා නම් එයත්,  ́ඕකප්පනායනුවෙන්ද

තුනුරුවන්ගේ ගුණයේ පතුලටම පිහිටුවා ගත්ත ස්ථීර පැහැදීමක් තිඛෙනවා නම් එයත්, අභිප්පසාදෝ යනුවෙන්ද

තුනුරුවන්ගේ ගුණය පිළිබඳව අතිශයින්ම පැහැදීමක් වෙත්නම් එයත්, සද්ධා සද්ධින්ද්‍රියං යනුවෙන්ද

සිත පැහැදවීමේ ඉසුරුමත් බවක් ඇත්නම් එයත්, සද්ධා බලං යනුවෙන්ද,

අශ්‍රද්ධාවෙන් සොලවාලිය නොහැකි සේ බලවත් වූ පැහැදීමක් වේ නම් එයත්, ඉදං තස්මිං සමයේ සද්ධින්ද්‍රියං හෝති යනුවෙන්ද, මෙලෙස කුසල් සිතේ, සෝභන සිතේ, පවත්නා සද්ධා ඉන්ද්‍රිය’ හැඳින්වෙනවා. මෙලෙස ශ්‍රද්ධා කියන්නෙ ඇදහීමට. ඇදහීම කියනකොට ඤාණ සම්ප්‍රයුක්ත ඇදහීම’ මේ ශ්‍රද්ධාවේ අවස්ථා හයක් තිඛෙනවා. එම ශ්‍රද්ධාවේ අවස්ථා හය මෙලෙස හඳුනා ගනිමු.

  1. සද්ධහන ලක්ඛණ සද්ධා
  2. සම්පසාදන ලක්ඛණ සද්ධා
  3. සම්පක්ඛන්දන ලක්ඛණ සද්ධා
  4. ඕකප්පන සද්ධා
  5. ආගම සද්ධා
  6. අධිගම සද්ධා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, අතිගරු පූජනීය ත්‍රිපිටකාචාර්ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත “සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවේණික ෂට් අසාධාරණ ඤාණ” ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)226

අසිරිමත් බුදුගුණ වරුණ 19
ෂට් අසාධාරණ ඤාණ 05

බුදුවරු ද පසසන, නිවණට ද කැන්දන, ඔබ සතුවියම යුතු ධනය

අචල ශ්‍රද්ධාව පිළිබඳව 02
  1. සද්ධහන ලක්ඛණ සද්ධා

සද්ධහන ලක්ඛණ සද්ධා කියන්නේ තුනුරුවන්ගේ ගුණය හදවතින්ම පිළිගැනීම.

  1. සම්පසාදන ලක්ඛණ සද්ධා

සමෙවන් ශ්‍රද්ධාවට පැමිණි තැනැත්තා සෑම කටයුත්තක දී ම, තුනුරුවන්ගේම ගුණ සිහිපත් කරගෙන, කටයුතු කරනව. කනගාටුවක්, දුකක්, දොම්නසක්, විපතක් ආවත්, බියක්, තැති ගැනීමක්, අන්තරාවක්, සන්ත්‍රාසයක්, සිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වුණත්, තුනුරුවන්ගේ ම ගුණ සිහි කරලා, ඒ සිත සනසවා ගන්නවා. පහදවා ගන්නවා. බොරවතුරට උදක ප්‍රසාදක මාණික්‍යරත්නය ̃ දැමීමෙන් බොරවතුර පැහැදෙන්න වගේ. සිතේ කැළඹීමක්, නොසන්සුන් බවක්, අසහනයක් ඇතිවුණා නම් වෙන පිහිටක් නොසොයා රත්නත්‍රයේම ගුණ සිහිපත් කරලා, ඒ තුළින් සිතේ පැහැදීමක් ඇති කරගෙන සැනසුමක් ලබා ගන්නවා නම්, එයට කියනවා සම්පසාදන ලක්ඛණ ශ්‍රද්ධාව.

  1. සම්පක්ඛන්දන ලක්ඛණ ශ්‍රද්ධා

ඊටත් වඩා බලසම්පන්න ශ්‍රද්ධාව. දාන, සීල, භාවනාදී කවර ආකාරයේ හෝ ආගමික කටයුත්තකට යොමු වුණත් වැස්සෙන්, පින්නෙන්, අව්වෙන්, සුළඟින්, මැසි මදුරුවන්ගෙන්, කුසගින්නෙන්, පිපාසයෙන්, රජ, සොර, සතුරු ආදි අභ්‍යන්තර බාහිර කවර ආකාරයේ උපද්‍රවයක් පැමිණියත්, ඒවාට පස්සට අඩිය නොතබා තමා බලාපොරොත්තු වන, ඒ ආගමික කටයුතුවල යෙදීමේ උද්‍යෝගීමත්, ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්ධන ලක්ඛණ ශ්‍රද්ධා කියල. අට්ඨකථාවේ මෙය හඳුන්වනවා. ගංගාවක් දෙගොඩතලා ගලන වෙලාවේ එහා මෙහා යන්න බැරිව, භීරුක ජනතාව දෙතීෙරේ රැස්වී සිටිද්දී, නිර්භීත, සූරවීර, සංග්‍රාමජී යෝධයෙක් යගදාවක් අරගෙන, කැසපොට ගහගෙන, ගඟ දිය දෙබෑ කරමින් මේ ජනයා බලාගෙන සිටිද්දී එගොඩ, මෙගොඩ යනවා. ජනතාව එගොඩ, මෙගොඩ කරවනව වගේ දාන, සීල, භාවනාදී කවර ආකාරයේ හෝ කුසල ක්‍රියාවන්ට, නිර්භීතව ඉදිරිපත් වීමේ, උද්‍යෝගීමත් ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්ධන ලක්ඛණ ශ්‍රද්ධාව කියල.

  1. ඕකප්පන ලක්ඛණ සද්ධා

මඩ වගුරෙක ඉන්නක් හිටෙව්වා නම්, ඇද වැටෙනවා. දහයියා ගොඩක ඉන්නක් හිටෙව්වා නම් ඇද වැටෙනවා. එසේ නොමැතිව අටරියනක් දිග ඇති නා කඳක්, ඇසළ කඳක් ̃ වැනි හර ඇති දැව කඳක්, හතර රියනක් ම පොළොවේ හිටවලා හතර රියනක් පොළොවෙන් උඩට තියනවා. මේකට කියනවා ඉන්ද්‍රඛීලය ̃ කියල. නගර ද්වාරවල නගර දොරටුව සවිකරල තිඛෙන්නේ මේ වාගේ ඉන්ද්‍රඛීලවල. සිවු දිගින් හමා එන සැඩ මාරුතයකින්, සුළඟකින් වත් මේ ඉන්ද්‍රඛීලය සොලවන්නට බැහැ. ඒ වගේම බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන්ගේ ගුණය කෙරෙහි පත්ලටම පිහිටුවා ගත් නොසැලෙන ශ්‍රද්ධාවට හඳුන්වනවා ́ඕකප්පන ලක්ඛණ ශ්‍රද්ධා නමින්. මෙන්න මේ ́ඕකප්පනලක්ඛණ ශ්‍රද්ධාවයි මෙතැන ගැනෙන්නේ.

  1. ආගම ශ්‍රද්ධා

නියත විවිරණ ලබා ගත්ත බෝධිසත්වයින් වහන්සේලාට කාගේවත් උපදේශයක් නැතිව භවයක් පාසා ශ්‍රද්ධාව පිහිටනවා. දාන, ශීල, නෛෂ්ක්‍රම්‍යාදී පාරමී පුරන්න. මෙසේ ආත්ම භාවයෙන්, ආත්ම භාවයට පිහිටන ශ්‍රද්ධාවට කියනව ආගම ශ්‍රද්ධාව කියල.

  1. අධිගම ශ්‍රද්ධා

සෝවාන් ආදි මාර්ගඵල ලාභී උත්තමයන්ට පිහිටන මාර්ගඵල ප්‍රතිලාභයෙන් ලැඛෙන ශ්‍රද්ධාව. මෙය මාර දිව්‍ය පුත්‍රයාටවත් සොලවන්නට බැහැ. අධිගම ශ්‍රද්ධාව. මෙන්න මේ ශ්‍රද්ධාවේ අවස්ථා හය අතුරින් විශේසයෙන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරන්නේ ́ඕකප්පන ලක්ඛණ ශ්‍රද්ධාව ගැනයි.

මෙලෙසම මේ ඉන්ද්‍රිය ධර්ම පඤ්චකය යම් යම් ප්‍රමාණයකටද සත්ව සන්තානවල වැඩිල තිඛෙන්නේ ද , ඒ ප්‍රමාණය මැනගන්නා වූ තීරණය කර ගන්නා වූ, ඤාණයටයි බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය, කියල හඳුන්වන්නේ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » රාජවග්ගො » බොධිරාජකුමාරසුත්‍ර අට්ට කතා. – පාටික වග්ග අට්ට කතා

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)227

ෂට් අසාධාරණ ඤාණ 06
අසිරිමත් බුදුගුණ වරුණ 21

 

  1. ආසයානුසයේ ඤාණය

කතමං තථාගතස්ස සත්තානං ආසයානුසයේ ඤාණං

තථාගතයන් වහන්සේගේ සන්තානයේ පිහිටි සත්වයන් පිළිබඳ ආසයානුසයේ ඤාණය නම් කුමක් ද?

ඉධ තථාගතෝ සත්තානං

ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං

ජානාති, අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බේ

සත්තේ පජානාති.

මේ ආසයානුසයේ ඤාණයට මාතෘකාවයි. තථාගතයන් වහන්සේ ලෝක සත්වයාගේ 1. ආසය දන්නවා. 2. අනුසය දන්නවා. 3. චරිතය දන්නවා. (පූර්‍වකෘතකර්‍ම) 4. අධිමුත්තිය දන්නවා. 5. භව්‍ය 6. අභව්‍ය සත්වයන් දන්නවා. මෙම කොටස් හය භාග්‍යවතුන් වහන්සේලා විසින් සම්මා සම්බුදුවරයෙකුට පමණක් සීමාවූ විශේෂ ඤාණයකින් දැනගන්නවා. ඒ දන්නා දැනගන්නා වූ වූ ඤාණය යි ආසය අනුසයේ ඤාණය කියා හඳුන්වනු ලබන්නේ.

මෙහිදී ආසය, අනුසය කියන වචන දෙකට චරිත අධිමුත්ති දෙකත්, භව්‍ය අභව්‍ය දෙකත් ඇතුළත් වෙනවා. එනිසා තමයි ආසයානුසයේ ඤාණය කියල මේ කෙටි වචනයෙන් හඳුන්වන්නේ. එසේ නැත්නම් චරිත, අධිමුත්ති, භව්‍ය, අභව්‍ය කියන කොටස් හතරත්, මේ වචන දෙකෙන් කියයුතු වෙනවා.

සරවඥයන් වහන්සේ බෝධි මූලයේ දී අරහත් මාර්ග ඤාණය ප්‍රතිලාභ කරන කොටම, තමන් වහන්සේගේ සන්තානයේ පහළ වූ බුද්ධ චක්ඛු කියන මේ ඉන්ද්‍රිය පරෝපරිය ඤාණය, සහ ආසය අනුසය ඤාණය යන ඤාණ දෙකෙන් ලෝකධාතුව බලා වදාළේ. නෙලුම් පොකුණක, මානෙල් පොකුණක නෙලුම්, මානෙල් කැකුළු අවස්ථා හතරකින් තිඛෙන ආකාරය උන්වහන්සේට අරමුණු වුණා. නෙලුම් මානෙල් විල්වල, මඩයට, දිය යට හටගෙන තිඛෙන නෙලුම් මානෙල් කැකුළු සමහර ඒවා වතුරෙන් උඩට මතුවෙල, හිරුරැස් වැටෙන විටම පිපෙන්න සූදානමෙන් තිඛෙනවා.

ඇතැම් නෙලුම් මානෙල් කැකුළු දිය මට්ටමට පවතිනවා. ඒවා දවසකින්, දෙකකින් නමුත් පිපෙන්ට පුළුවන්. තවත් සමහර ඒවා දියේ යට තිඛෙනවා. දින ගණනාවකින් හරි ඒවා පිපෙනවා. තවත් සමහර නෙලුම් මානෙල් කැකුළු තිඛෙනවා විල් පතුලේම. ඒවා කවර කලෙක, කවර දිනෙක පිපෙයි ද කියා කියන්නට බැහැ. ඒ වගේම මේ ලෝකධාතුවෙහි සත්වයන් කොට්ඨාස හතරකට උන්වහන්සේ දැක වදාළා.

උද්ඝටිතඥ
විපඤ්චිතඥ
නෙය්‍ය
පදපරම මේ තමා එම පුද්ගල කොට්ඨාස හතර.

 

  1. උද්ඝටිතඥ

උද්ඝටිතඥ කියන්නෙ ධර්ම දේශනාවක් සඳහා ධර්ම පාඨයක්, ධර්ම ගාථාවක් මාතෘකා කළ පමණින් ඒ මාතෘකාව තුළින් එය දරාගෙන, නුවණින් කරුණු වටහා ගෙන, ඒ මොහොතේ ම මාර්ගඵල නිවන අවබෝධ කර ගන්නන්ට කියනවා උද්ඝටිතඥ පුද්ගලයෝ කියලා. ශාරීපුත්ත, මහ මුගලන්, දාරුචිරිය මහරහතන් වහන්සේලා වැනි උත්තමයෝ එම උද්ඝටිතඥ පුද්ගල සංඛ්‍යාවට ගැනෙනවා.

  1. විපඤ්චිතඥ

තවත් සමහර අය ඉන්නවා ධර්ම මාතෘකාවක් කරලා එය විස්තරාත්මකව දේශනා කරද්දී මඟඵල, නිවන්සුව අවබෝධ වෙනවා. ඒ උතුමන්ට කියන්නේ, විපඤ්චිතඥ පුද්ගලයෝ ̃ කියලා.

  1. නෙය්‍ය

තවත් සමහර කෙනෙක් ඉන්නවා ධර්මය ශ්‍රවණය කරලා එ තුළින් මාර්ගඵල නොලබා, සීලයක පිහිටා කෙලෙසුන් තුනී කරමින්, සල්ලේඛ ප්‍රතිපත්ති අනුගමනය කරමින්, සමථ විපස්සනා භාවනා වඩමින්, ඒ ජීවිතේ කවදාහරි මඟඵල නිවන් ලබනවා. ඒ අයට කියනවා නෙය්‍යය පුද්ගලයෝ ̃ කියලා.

  1. පදපරම

තවත් සමහර අය ඉන්නවා, කොපමණ බණ ඇසුවත්, කොපමණ සිල් රැක්කත්, කොපමණ භාවනා කළත්, මඟඵල නිවන් නොලබන අය. එවැනි අයට කියන්නේ පදපරම පුද්ගලයෝ ̃ කියලයි.

මෙම කොටස් හතරට අනුව කොටස් තුනක් ම මඟඵල නිවන් සුව ලබන්නට සුදුස්සන් බව දැනගන්නේ උතුම් වූ බුද්ධ ඤාණ ධාතු අතුරින් ඉන්ද්‍රිය පරෝපරිය ඤාණය, සහ ආසය අනුසය ඤාණ දෙකෙන්. ඒ දෙකටයි බුදු ඇස කියා කියන්නේත්. මෙම බුදුඇස සෑම දවසේ ම අලුයම් කාලයේත්, සවස් කාලයේත් දෙවාරයක් ම ලෝකධාතුව වෙත විහිදුවනවා.

ආසය

අපි හොඳට අහල පළපුරුදු වචන තියෙනවා ජලාශය, ගුහාසය, බිලාසය, අධ්‍යාසය’ කියලා. මේ ආසය කියන්නේ කුමක් ද? රැස්වෙන තැන, තැන්පත් වෙන තැන, නවතින තැන, ධර්මයට අනුව කියනවා නම් පරිභාවිත බව. ඒ කියන්නේ සිතේ පළපුරුද්ද. සිතේ පළපුරුද්දෙන් පිහිටාගෙන සිටින ස්ථානයට කියනවා ආසය ̃ කියලා.

යම්කිසි දෙයක් රැස්වෙලා තියෙනවා නම් එතැනටත් කියනවා ආසය කියලා. ජලාශය කියන්නේ ජලය රැස්වෙන ස්ථානය. ගුහාසය කියන්නේ යම්කිසි ගුහාවක් ආශ්‍රය කරන ගුහාවක් ඇති තැන එහි වාසය කරන පුද්ගලයාට කියනවා ගුහාසයා කියලා. බිලාශය කියන්නෙත් එහෙමයි. යම්කිසි කෙනෙක් වාසස්ථානයක් හැටියට භාවිත කරනවා නම් ඒ ස්ථානයට කියනවා ආසය කියලා.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ කියන මේ ස්කන්ධ පහේ දැඩි සේ ඇලී ගත් සත්වයා නම් පුද්ගලයාගේ චිත්ත සන්තානයේ අතොරක් නැති මෙම සංසාරයේ සැරිසැරීමෙන් රැස්වූ කෙලෙස් ආසව නමින් හඳුන්වනවා.

අනුසයෝ

සන්තානය තුළ නොනැසී, ප්‍රහීණ නොවී, අවස්ථානුකූලව පැන නැගීමට සුදුසු කෙලෙසුන්ට කියනව අනුසය කියල.

මාර්ග ඤාණයන්ගෙන් ප්‍රහීණ නොකළ හෙයින්, නැවත නැවත අවස්ථානුකූලව, නයා පෙණේ කරන්නා වාගේ මතුවන ස්වභාවය ඇති කෙලෙසුන්ට අනුසය කියල කියනව. අප්‍රහීණ අර්ථය කියන්නේ ඒකයි.

හරියට ලිඳක පතුලේ තැන්පත් වී තිඛෙන්නා වූ රොන්මඩ වාගේ. වතුර ඇති ළිඳක සමහර විට උඩින්, මතුපිටින් වතුර පිරිසිදුව තිඛෙන්නට පුලුවන්. නමුත් ලිං පතුලේ තියෙන රොන්මඩ ලී කැබැල්ලකින් හෝ ගල් කැටයකින් හෝ භාජනයකින් හෝ කැලැත්තුවොත් (කැළඹුණොත්) මු වතුරම බොර වෙනවා. අන්න ඒ වාගේ තමයි මාර්ගඵල නොලැබූ පෘථග්ජන සන්තාන අප්‍රහීනතාවෙන් පවත්නා වූ ශක්තිමත් භාවයට පත් වූ කෙලෙස් හතක් තිඛෙනවා.

යම් අරමුණක් ලැබුණ වෙලාවේ නයා පෙණේ කරන්නා වාගේ, අවස්ථානුකුලව ඒ කෙලෙසුන් ක්‍රියාකාරී බවට පත්වෙනවා. පරියුට්ඨාන, වීතික්කම බවට පත්වෙනවා. ඒ තත්වයට පත්වීමට හැකි කෙලෙස් හතට තමයි.

  1. කාමරාගානුසයෝ 2. පටිඝානුසයෝ 3. මානානුසයෝ 4. දිට්ඨානුසයෝ 5. විචිකිච්ඡානුසයෝ 6. භවරාගානුසයෝ 7. අවිජ්ජානුසයෝ කියල කියන්නේ.

සම්මා සම්බුදුවරයෙකු විසින් මෙම කෙලෙස් මට්ටම් ඉහතින් දැක්වූ අකරයට 1. ආසය වශයෙන් 2. අනුසය වශයෙන් 3. චරිතය වශයෙන් (පූර්‍වකෘතකර්‍ම) 4. අධිමුත්තිය වශයෙන් 5. භව්‍ය වශයෙන් 6. අභව්‍ය වශයෙන් මැන බලන විශේෂ නුවනට කියනවා ආසයානුසයේ ඤාණය කියලා.

( ලිපිය දීර්ඝ වන නිසා මෙම කරුණු වෙන් වෙන් වශයෙන් වෙන් නොකොට කෙටි කරන ලදී. )

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)228

ෂට් අසාධාරණ ඤාණ 07
අසිරිමත් බුදුගුණ වරුණ 22

 

03 යමක ප්‍රාතිහාර්ය ඤාණය.

හැඳින්වීම

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසාධාරණ ඤාණ හය අතරින් තුන්වන ඤාණය, යමක මහා ප්‍රාතිහාර්ය ඤාණයයි. ප්‍රතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප්‍රතිහාර්ය ඥානය ලෙස හඳුන්වනව. මෙය සම්මා බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබිය හැකි සුවිශේෂී ඥානයන්ගෙන් එකක්. අතිශය දුෂ්කර කාර්යයක් වන යමක ප්‍රතිහාර්ය පෑම රහතන් වහන්සේලාට අර්හත්වයේ අනුහසින් කළ නොහැකිය. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප්‍රතිහාර්ය පෑමට අසමත් වනවා.

යමක ප්‍රාතිහාර්ය පෑමට හේතු.

ඒ යමක ප්‍රාතිහාර්ය ඤාණයෙන් සර්වඥයන් වහන්සේ ලොවට යමාමහ පෙළහර පා වදාළ අවස්ථා කිහිපයක් තිඛෙනවා. ඒ යමාමහ පෙළහර පෑමෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගල සන්තානවල ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් අවදි කරවලා, ඒමඟින් චිත්ත ප්‍රසාදය ඇති කරවලා චිත්ත සමාධියත්, විපස්සනා ඤාණයන් පහළ කරවමින් මාර්ගඵල නිවන් අවබෝධ කරවා දීමයි.

යමක ප්‍රාතිහාර්ය පෑ අවස්ථා ගණන

මේ විදියේ ප්‍රාතිහාර්යන් පෑවේ අවස්ථා පහකදී පමණක් බව සඳහන් වනවා. එයින් අවස්ථා තුනක් ජීවමාන කාලයේදීත් අවස්ථා දෙකක් පිරිනිවීමෙන් පසු බවත් සඳහන්. පරිනිර්වාණයෙන් පසු අවස්ථා දෙක සිදුවුනේ ශ්‍රි ලංකාව තුල. බුද්ධ අධිෂ්ඨාන බලයෙන් ථූපාරාම චෛත්‍යය රාජයාණන් වහන්සේ තුළ දකුණු අකුධාතුන් වහන්සේ නිදන් කරන උත්සවයේ දී ඒ ධාතූන් වහන්සේ අහසට පැන නැඟී යමාමහ පෙළහර පෑම සිද්ධ වුණා.

නැවත රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ තුල ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කරන උත්සවයේ දී, එලෙසින් ම නිර්මිත බුදුරුවක් මැවී මේ සක්වලටම පෙනෙන හැටියට යමාමහ පෙළහර පෑම සිද්ධ වුණා. ඒ අතුරින් ථූපාරාම චෛත්‍යයේ පැවැත්වූ ප්‍රතිහාර්යයෙන් සිංහල කුල දරුවෝ තිස් දාහක් දෙනා පැවිදි වී සිව්පිළිසිඹියා ඤාණලාභීව අරහත්වයට පත් වුණා.

රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතූ නිධාන දවසේ දී, දැක්වූ ප්‍රතිහාර්ය දැකල දෙවියන්, බ‍්‍රහ්මයන්, මනුෂ්‍යයන් අතුරින් දොළොස් කෝටියක් දෙනා සිව්පිළිසිඹියා ඤාණලාභීව අරහත්වයට පත්වුණා.

ඒ විදියේ යමක මහාප්‍රාතිහාර්ය පළමුවෙන් ම පවත්වා වදාළේ ලොවට ධර්මානුසාසනා කරන්නට හෝ ධර්මාවබෝධ කරවන්න නෙවෙයි. දෙවියන්ගේ සැක දුරුකරන්ටයි. ඒ තමයි බෝධිමූලයේ දී බුදුවීමෙන් දෙවන සතිය අන්තයේ බුදුවීමෙන් 14වන දවසේ දී බෝධීමූලයේ දී යමාමහ පෙළහර පා වදාළ අවස්ථාව. එයට හේතුව වූයේ, පළමුවන සතියේ පර්යංකය නොලිහා නිවන් සැපම විඳිමින් වැඩහිටිය. බෝධිමූලයේ දී, වජිරාසනයේ දී දෙවන සතියේ දී කළගුණ සැලකීම් ශීර්ෂයෙන් ඒ වජිරාසනයෙන් බිමට වැඩම කරලා බෝධීන් වහන්සේටත්, වජිරාසනයටත්, අනිමිස ලෝචන පූජාවෙන් පූජා කළා දින හතක් ම. මෙය දුටුවා වූ දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද සිතුවා, සිද්ධාර්ථයන් වහන්සේගේ අභිප්‍රාය තාම සඵල වෙලා නෑ නේද කියලා. මේ බෝධීන් වහන්සේ දිහාවෙත් වජිරාසනය දිහාවෙත් බලාගෙන ඉන්නේ ඒ නිසා නේද කියලා සැක හිතුවා. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල දකින්න බැහැනේ. තවමත් බුදුවෙලා නැහැ කියලයි ඔවුන් හිතුවේ. ඒ නිසා ඔවුන්ගේ සැකය දැනගත් තථාගතයන් වහන්සේ, 14 වන දවසේ දී බෝධීන් වහන්සේට ඉහළින් අහසට පැන නැඟී, රුවන් සක්මනක් මවා, යමාමහ පෙළහර පා වදාළා. එයින් මේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සැකය දුරු වී සර්වඥයන් වහන්සේ බුදුබවට පත් වුණා නේද කියලා සියල්ලෝම පිළිගත්තා.

දෙවෙනි වරට යමාමහ පෙළහර පෑම සිද්ධ වුණේ ඤාති සමාගමේ දී. ඒ කියන්නේ කාළුදායි ̃ මහ රහතන් වහන්සේගේ මාර්ග වර්ණනාවන් අනුව, සුදොවුන් මහරජතුමාණන්ගේ ආරාධනය නිසා, රජගහනුවර වේළුවනාරාමයේ සිට විසිදහසක් මහ රහතන් වහන්සේලා සමඟ කපිලවස්තු නුවරට වැඩම කරන්න පටන් ගත්තේ මැදින් මස පුරපසළොස්වක පොහෝ දවසේ. දවස් හැටකින් එම ස්ථානයට වැඩියා. එම ස්ථානයේ මවුපස ඤාතීන් අසූදහසක්, පියපස ඤාතීන් අසූදහසක් පිරිස විශාල ජනසමූහයක් එක්කාසු වී සිටියා නිග්‍රෝධාරාමයට. ඛේමක ̃ කියන ශාක්‍ය රජතුමාගේ නිග්‍රෝධ ̃ කියන උයන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට එදා සඟසතු කොට පූජා කළා. ඈත අතීතයේ පහළ වූ සර්වඥයන් වහන්සේලා ඤාති සමාගමේ දී ඤාතීන්හට බුදුමහිමය දක්වනු පිණිස යමාමහ පෙළහර පෑම සිදුකර ඇති බව දැනගත් තථාගතයන් වහන්සේ ද, අහසට පැන නැඟී රුවන් සක්මනක් මවා, නිර්මිත බුදුරුවක් මවා, සවනක් ඝන බුදුරැස් විහිදුවමින්, ප්‍රශ්නෝතර සාකච්ඡාවක් ද කරමින්, ඉරියව් මාරුකරමින්, ශ්‍රී ශරීරයෙන් ගිනිකඳ, ජලකඳ නිකුත් කරමින් යමාමහ පෙළහර සිද්ධ කළා. වෙස්සන්තර ජාතකය ද, එදා දේශනා කළා. මහපොළොව ද කම්පා වුණා. පොකුරු වැසි වැස්සා. එදා දිනයේ දී කෝටි ලක්ෂයක්, දෙවියන් රහත් වුණා. අසංඛෙය්‍ය අසංඛෙය්‍ය බැගින් පිරිස සෝවාන් වුණා. සකදාගාමි වුණා. මේ තමයි දෙවෙනි යමාමහ පෙළහර පෑමේ අවස්ථාව. මේ ඤාති සමාගමේ දී යමාමහ පෙළහර පෑම සිය ̈ සර්වඥයන් වහන්සේලාගේ ධර්මතාවක්, චාරිත්‍රයක්.

තුන්වැනි යමාමහ ප්‍රාතිහාර්ය සිදුවුණේ බුදුවීමෙන් හත්වැනි අවුරුද්දේ ඇසළ පුර පසළොස්වක පොහෝ දවසේ. මේ තමයි තීර්ථක මාන මර්දනය සඳහා පා වදාළ ප්‍රාතිහාර්ය. මෙයත් සියලුම සර්වඥයන් වහන්සේලා පවත්වනු ලබන ප්‍රාතිහාර්යයක්. ඒ කියන්නේ සියලූම සර්වඥයන් වහන්සේලා බුද්ධත්වයෙන් හත්වන වර්ෂයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දවසේ, තව්තිසා භවනට වැඩම කරනවා තෙමසක් අභිධර්ම දේශනය සඳහා. සමහර බුද්ධ ශාසන කාලයන්හි දී තීර්ථකයන් ඇත්තේම නැහැ. නමුත් අර චාරිත්‍රය සම්පූර් ණ වනු පිණිස සියලූම සර්වඥයන් වහන්සේලා ඒ දවසේ දී යමාමහ පෙළහර පවත්වලයි තව්තිසාවට වැඩම කරන්නේ.

කුමක් නම් තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය වේද? මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට අසාධාරණවූ යමක ප්‍රාතිහාර්ය දක්වයි.

උඩුකයින් ගිනිකඳ පවතියි. යටිකයින් දිය දහර පවතියි. යටිකයින් ගිනිකඳ පවතියි. උඩුකයින් දිය දහර පවතියි.

පෙර කයින් ගිනිකඳ පවතියි. පසුකයින් දිය දහර පවතියි. පසු කයින් ගිනිකඳ පවතියි. පෙර කයින් ගිනිකඳ පවතියි.

දකුණු ඇසින් ගිනිකඳ පවතියි. වම් ඇසින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පවතියි. දකුණු ඇසින් ගිනිකඳ පවතියි.

දකුණු කණින් ගිනිකඳ පවතියි. වම් කණින් දිය දහර පවතියි. වම් කණින් ගිනිකඳ පවතියි දකුණු කණින් දිය දහර පවතියි.

දකුණු නාස් පුඩුවෙන් ගිනි කඳ පවතියි. වම්නාස් පුඩුවෙන් දිය දහර පවතියි. වම් නාස් පුඩුවෙන් ගිනිකඳ පවතියි. දකුණු නාස් පුඩුවෙන් දිය දහර පවතියි. දකුණු උරහිසින් ගිනිකඳ පවතියි. වම් උරහිසින් දියදහර පවතියි. වම් උරහිසින් ගිනිකඳ පවතියි. දකුණු උරහිසින් දියකඳ පවතියි.

දකුණු අතින් ගිනිකඳ පවතියි. වම් අතින් දියකඳ පවතියි. වම් අතින් ගිනිකඳ පවතියි. දකුණු අතින් දියදහර පවතියි.

දකුණු අංසයෙන් ගිනිකඳ පවතියි. වම් අංසයෙන් දිය දහර පවතියි. වම් අංසයෙන් ගිනිකඳ පවතියි. දකුණු අංසයෙන් දිය දහර පවතියි.

දකුණු පාදයෙන් ගිනිකඳ පවතියි. වම් පාදයෙන් දිය දහර පවතියි වම් පාදයෙන් ගිනිකඳ පවතියි. දකුණු පාදයෙන් දිය දහර පවතියි.

ඇඟිල්ලකින් ඇඟිල්ලකින් ගිනිකඳ පවතියි. ඇඟිලි අතරින් දිය දහර පවතියි. ඇඟිලි අතරින් ගිනිකඳ පවතියි. ඇඟිල්ලකින් ඇඟිල්ලකින් දිය දහර පවතියි. එක් එක් රෝමයකින් ගිනිකඳ පවතියි. එක් එක් රෝමයකින් දිය කඳ පවතියි. රෝම කූපයකින් රෝම කූපයකින් ගිනිකඳ පවතියි රෝම කූපයකින් රෝම කූපයකින් දිය දහර පවතියි.

ඒ අවස්ථාවේ සකල ශරීරයෙන් නීල පීත ලොහිත ඔදාත මංජ්‍යෙෂ්ට ප්‍රභාස්වර යන සවණක් රැස් පවතියි.

ඉන් අනතුරුව නිර්මිත බුදුරුවක් මවා භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරනසේක. නිර්මිත බුදුරජතෙම සිටින්නේ හෝ හිඳින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනසේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ හිඳින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනසේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ සිටින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සයනය කරන සේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ සිටින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. නිර්මිත බුදුරජ තෙම සක්මන් කරයි. භාග්‍යවතුන් වහන්සේ සිටිනසේක් හෝ වැඩහිඳිනසේක් හෝ සයනය කරනසේක් හෝ වෙති. නිර්මිත බුදු රජතෙම සිටින්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරණසේක් හෝ වැඩහිඳිනේ හෝ සයනය කරණසේක් හෝ වෙති. නිර්මිත බුදුරජ තෙම හිඳින්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරණසේක් හෝ සිටිනසේක් හෝ සයනය කරණසේක් හෝ වෙති. නිර්මිත බුදුරජතෙම සයනය කරන්නේ වෙයි. භාග්‍ය වතුන්වහන්සේ සක්මන් කරණ සේක් හෝ සිටිනසේක් හෝ හිඳිනසේක් හෝ වෙත්. මෙය භාග්‍යවතුන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඤාණ නම් වේ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර;- ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » යමකපාටිහීරඤාණනිද්සදේසය.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)229

ෂට් අසාධාරණ ඤාණ 08
අසිරිමත් බුදුගුණ වරුණ 23
මහාකරුණා සමාපත්ති ඤාණය 01

මහාකරුණා සමාපත්ති ඤාණය කියාපුවාම අපේ සන්තානවලට ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මැවී පෙනෙනව. ඒ කුමක් නිසාද? දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාරයක් ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මහාකරුණා සමාපත්තියට සමවදිනවා. භාග්‍යවතුන් වහන්සේගේ තිබුණ, පංචවිධ බුද්ධ කෘත්‍ය කියල දිනචරියාවක්. මේක සැමදාම අඛණ්ඩව පැවැත්වුවා. පංචවිධ බුද්ධ කෘතියෙහි දවසේ අන්තිම පශ්චිම යාමය කොටස් තුනට

බෙදාගෙන තිබුණා. රාත්‍රි දෙකේ සිට 3.20 දක්වා සක්මන් භාවනාව, 3.20 සිට 4.40 දක්වා සැතපී විවේක ගැනීම. 4.40 සිට ඉර උදාව දක්වා මහාකරුණා සමාපත්තියට දොළොකෝටි ලක්ෂ වාරයක් සමවැදීම. ????

සෑම දවසේ මේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උදේ පාන්දර දොළොස්කෝටි ලක්ෂ වාරයක්, ඉන් අනතුරුව ඉන්ද්‍රිය පරෝපරිය, ආසය අනුසය ඥාණ දෙකෙන් දස දහසක් ලෝකධාතුව බලා වදාරනවා. ඒ ඤාණ දෙකට කියනව බුදු ඇස කියලා.

මගඵල නිවන් ලබන්න හේතු සම්පත් ඇති අය ඒ බුදු ඇසට මැවී පෙනෙනව. මේ බුදු ඇසින් බලා, දවසේ වැඩ සටහන සනිටුහන් කරගන්නව. නැවත සන්ධ්‍යාවේ ධර්ම දේශනාවෙන් පසුව, බෞද්ධයන් විහාරස්ථානයෙන් පිටව ගියාට පසුව පැපහසු වෙලා, භික්ෂු සංඝයා විහාරස්ථානයට රැස්වන තුරු සන්ධ්‍යාවේ ද දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනව. ඉන් අනතුරුව නැවතත් බුදු ඇසින් දස දහසක් ලෝකධාතුව බලා වදාරනවා. මේ විදියට දොළොස් කෝටි ලක්ෂ වාර ගණන් දිනකට දෙවාරයක්, සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහාකරුණා සමාපත්තියට සමවදිමින්, ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහ මුළුල්ලේ ලෝකයාට ශාන්ත වැඩ සටහනක් පවත්වා වදාළා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්ගේ සන්තානයේ තිබෙන කරුණාව, මහා කරුණාව නමින් හඳුන්වනවා.

කරුණාව

කරුණාව කියන්නේ කුමක් ද? කියන එක පළමුවෙන් තෝරාගන්ට ඕනෑ.

පරදුක්ඛේ සති සාධුනං හදේ කම්පනං කරෝතීති කරුණා.

ඒ අර්ථ කථාවේ දැවෙන තේරුමක්. අනුන්ගේ දුකක් දුටු තැන, සත්පුරුෂයන්ගේ හදවත උණුවන ස්වභාවයට තියනවා කරුණාව කියලා. කිරිබොන දරුවෙක් ඉන්න අම්මා කෙනෙකු දරුවා හඬන වේලාවේ අම්මාට කිරි උණනවා. කිරි එරෙනවා. ඒ කුමක් නිසාද? ඒ දරුවා දුකින් මුදා ගැනීමේ පරම කරුණාවෙන්. මනුෂ්‍යයන්ට පමණක් නොවෙයි. තිරිසන්ගත සතුන්ට පවා මේ තමන්ගේ දරුවන් ගැන පුදුම උණු වීමක් තිබෙනවා.මේ තරම් තිරිසන්ගත සතුන්ට පවා තමන්ගේ පැටවුන් කෙරෙහි බලවත් උණුවීමක්, කරුණාව, මෛත්‍රියක් තියෙනවා. ඒ වගේ තමයි සෑම සත්වයන් වෙත දුකට පත් වූ සත්වයන්

වෙත අනුන්ගේ හිත්තේ උණුවෙන ස්වභාවයක්, අනුන්ගේ හිතේ ඇතිවන අනුකම්පා ස්වභාවයක් වෙයි නම්, ම්කට කියනව කරුණාව කියලා.

කීනාතිවා පරදුක්ඛං හිංසතීතිවා කරුණා

තවත් තේරුමකින් කරුණාව හඳුන්වනවා. එනම් අනුන්ගේ දුක නසන්නෙමුයි, කරුණාව නම් වනවා. අනුන්ගේ දුක නසන ආකාරයෙනුයි හිතේ කරුණාව පහළ වෙන්නේ.

කිරියතිවා දුක්ඛිතේසු ඵරණවසේන පසාරි යතීති කරුණා

දුක්ඛිත සත්වයන් වෙත, මෛත්‍රිය වඩන්නාක් මෙන් වඩන බැවින් ද, කරුණාව කියල හඳුන්වනවා. මෙන්න මේ “කරුණා” කියන අකුරු තුනේ වචනයේ තේරුම අට්ඨ කථාවල මෙලෙස හඳුන්වල තිබෙනවා.

පනස් දෙකක් වූ චෛතසිකයන් අතුරින්, කරුණාව අයිති වෙන්නේ, සෝභන චෛතසික රාශියටයි. ඒ අතුරෙන් දෙකක් තිබෙනවා අප්පමඤ්ඤා කියලා. “කරුණා සහ මුදිතා” එයින් ඒ කරුණා චෛතසිකය ශෝභන චෛතසිකයක්. මේ කරුණා චෛතසිකය සිතේ පහළ වෙන්නේ සත්පුරුෂයන්ගේ

සන්තානවලයි. ඒ සත්පුරුෂයන්ගේ සිත්වල පහළ වන කරුණාවෙන්, තමන් දුකින් මිදී, අන් අය දුකින් මුදවා ගැනීමේ ආකාරයෙනුයි එම කරුණාව පවතින්නේ. එයින් ලෝක සත්වයන් වෙත පවත්වන කරුණාව අතුරෙන්,

කෝටියක් මව්වරුන්ගේ කරුණාවට වඩා,

කෝටියක් පියවරුන්ගේ කරුණාවට වඩා,

කෝටියක් බ්‍රහ්මයන්ගේ කරුණාවට වඩා,

කෝටියක් දෙවියන්ගේ කරුණාවට වඩා,

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේන්ගේ කරුණාව පිහිටා තිබෙනවා. පැතිරීම් වශයෙන් විශාල බැවිනුත්, සන්තාන වශයෙන් විශාල බැවිනුත්, භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේන්ගේ සන්තානයේ පහළවන කරුණාවට කියනව “මහා කරුණාව” කියලා. සැබැවින් ම මේ කරුණාව නිසයි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙන්නේ.

දීපංකර පාදමූලයේ දී, අනිච්චාවත සංඛාරා කියන ගාථාව වැනි සතර පද ගාථා මාත්‍රයක් ඇසූ කෙණෙහි, සිව්පිළිසිඹියා ඤාණ සහිතව මහා රහත් භාවයට පත් වීමේ භාග්‍යය සුමේධ තාපසයන් වහන්සේට තිබුණා. එදා උන්වහන්සේ මෙසේ කල්පනා කළා,

කිම්මේ ඒකේන තිණ්ණේන පුරිසේන ථාම දස්සිනා
සබ්බඤ්ඤුතං පාපුණිත්වා තාරෙම් ජනතං බහුං

එක්කෙනෙක් වූ මම, මේ දුකෙන් මිදීමේ ඇති තේරුම කුමක් ද? දෙවියන් සහිත ලෝකයා ද දුකෙන් මුදවන්නට මම මතු බුදුවෙවා කියලා උන්වහන්සේගේ සිතේ කරුණාව පහළ වුණා. එදා උන්වහන්සේ ,

  1. මිනිසත් බව, 2. පුරුෂ ආත්මභාවය, 3. රහත්වීමේ හේතු සම්පත්තිය, 4. ශාස්තෘන් වහන්සේ නමක් දැකීම, 5. පැවිදි වී සිටීම, 6. ධ්‍යාන අභිඥාලාභීව සිටීම, 7. ජීවිත පූජාවෙන් බුද්ධ පූජාවක් පැවැත්වීම සහ 8. බුද්ධත්වය ලැබීමේ දැඩි ඡන්දතාවය කියන කරුණු අට සම්පූර්ණ වීමෙන් එදා බුද්ධ රාජ්‍යය පිණිස පියවර තැබුවේ, අනන්ත අපරිමාණ ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන්, මේ අෂ්ඨ ධම සමවධානයෙන් එදා නියත විවරණ ලබා ගත් මහා බෝධි සත්වයන් වහන්සේ , දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා යනාදි පිළිවෙළින් සමතිංසත් පාරමී ධර්මයන් පුරා වදාළේ මහා කරුණාවෙන්, පංච මහා පරිත්‍යාග ත්‍රිවිධ අර්ථ චර්යා පිරුවේ මේ මහා කරුණාවෙන්මයි.

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)230

ෂට් අසාධාරණ ඤාණ 09
අසිරිමත් බුදුගුණ වරුණ 24
මහාකරුණා සමාපත්ති ඤාණය 02

තථාගතයන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඤාණය නම් කවරේද?

නොයෙක් ආකාරයෙන් ලොව දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙනවා. එය පටිසම්භිදාමග්ගපාළියෙහි සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙලෙස වර්ගකොට බෙදා දක්වා තිබෙනවා.

  1. ආදිත්තෝ ලෝකසන්නිවාසෝ’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහාකරුණා ඔක්කමති.

මෙය තමයි පළමුවන මහා කරුණා සමාපත්තියට සම වැදීමේ අරමුණ, “ආදිත්තෝ ලෝක සන්නිවාසෝ”.

ලෝක සන්නිවාස කියන්නේ, මෙතැන ලෝක සත්වයාට නමක්, ලෝක කියන්නේ කවුද? කුමක් ද?

පච්චයේහි, සංකරියති, ලුජ්ජති, පලුජ්ජතීති, ලෝකෝ.

හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වන, හේතු ප්‍රත්‍යයන්ගේ ශක්තියෙන් ම කැඩි කැඩී, බිඳී බිඳී, නැති වෙවී යන සංස්කාර රාසියට කියනව ලෝකය කියලා. ඒ මේ ලෝකයට ම අයත් බැවින්, සියලුම සත්වයෝ ද, පුද්ගලයෝ ද, ලෝක සන්නිවාස නමින් හඳුන්වනව. ඒ මේ ලෝක සත්වයා ආදිත්තෝ, ගිනෙන් දැවෙනවා. මේ ලෝක සත්වයා ගින්නෙන් (රාගාදි ගිනි වලින්) දැවෙනවා. මේ ගින්න නිවන්නට මා හැර කවුද වෙන ඉන්නේ. මේ ගින්න නිවන්න මා ඉදිරිපත් විය යුතුයි කියල මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

2. උය්‍යුත්තෝ ලෝකසන්නිවාසෝ

මේ ලෝක සන්නිවාස හෙවත්, ලෝක සත්වයා, නිරන්තරයෙන් අතරක් නෑර දුකක් විඳීමේ පීඩාවකින් ඉන්නව. උය්‍යක්තෝ කියන්නේ, උත්සහයකින් නිතර දුකට පිළියම් කරනව. උදේ අවදි වූ තැන් පටන්, නැවත නින්දට යන තුරු නිරන්තරයෙන් ම මේ දුකට පිළියම් කිරීමේ විශාල ව්‍යායාමයක යෙදී සිටිනවා. “

මේ දුකට පිහිට වෙන්නට වෙන කවුද ඉන්නේ. වෙන කිසිවකු නැති බැවින් මම පිහිට වෙන්නට ඕනැ කියල ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනවා.

3. පයාතෝ ලෝකසන්නිවාසෝ,

මේ ලෝක සත්වයා නිරන්තරයෙන් ජරාමරණයන්ට පවරල තියෙනවා. උපන් දා පටන් ජරාමරණයට පවරල තියෙනවා. හරියට මරණ සහතිකයක් වගේ. බලවත් රාජ අපරාධකාරයෙකු හට, අසවල් දවසේ අසවල් තැනදී අසවල් විනාඩියට එල්ලා මරන්නට ඕනෑ කියල නියමයක් කරල තියෙන්නා වගේ, මේ ලෝක සත්වයා උපන් දා පටන් ජරාවට මරණයට කැප වෙලා ඉන්නවා. ජරාවට මරණයට හිමිකාරයෙක් වෙලා ඉන්නවා.

මෙන්න මේ කරුණ ගැන සිතන කොට ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මහාකරුණාව පහළ වෙනවා.

4.කුම්මග්ග පටිපන්නෝ ලෝකසන්නිවාසෝ …..

මේ ලෝක සත්වයා වැරදි මාර්ගයකට පිළිපැද ගමන් කරනවා. නිවන් මගට යන මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. නරකාදියට යන මාර්ගයේ ගමන් කරනවා. තිරිසන් අපායට යන මාර්ගයේ ගමන් කරනවා. ප්‍රේත අපායට යන මාර්ගයේ ගමන් කරනවා. පිට සක්වලට යන මාර්ගයේ ගමන් කරනවා. මිනිසත් බවට යන මාර්ගයේ ගමන් කරනවා. ඉතා ටික දෙනෙක් දේවත්වයට යන මාර්ගයේ ගමන් කරනවා. මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යා සංකප්පාද වූ මිථ්‍යා මාර්ගයේ ම ගමන් කරනවා. අවවාදයක් කළත් ඒක නොමඟින් තමයි පිළිගන්නේ. මෙන්න වැරදි මාර්ගයේ ගමන් කිරීම නිසා ලෝක සත්වයා ජරාමරණාදී දුකෙන් පෙළනවා.

මේ සත්වයා වැරදි මාර්ගයෙන් ගොඩ ගෙන, නිවැරදි මාර්ගයට යවන්නට මා ඉදිරිපත් විය යුතු යයි කියා ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

5. උපනීයති ලෝකෝ අද්ධුවෝ ……..

මේ ලෝක සත්වයා උපන් දා පටන්, ජරා මරණ වෙත ඇදීගෙන යනවා. උපනීයති කියන්නේ පමුණුවනු ලබනවා කියන එක. වධකස්ථානයට ගෙන යන හරකෙකු තබන තබන පියවරක් පාසා වධක ස්ථානයට සමීප වෙලා වගේ, එසේම මරන්නට නියම වූ වරදකරුවෙකු තබන තබන පියවරක් පාසා ඔහුගේ මරණයට සමීප වෙන්නා වාගේ, ළඟා වෙන්නා වාගේ, උපන් දා පටන් අවුරුද්දෙන් අවුරුද්ද, මාසයෙන් මාසය, සතියෙන් සතිය, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, මේ ආත්මභාවය ජරා, මරණ වෙත ඇදීගෙන යනවා. උදේ උදා වූ සූර්ය මණ්ඩලය මොහොතක් එක තැන නොසිට, පැය දොළහක් ඇතුළත අස්තයෙන් අස්තයට බැසගෙන යනවා. අවරට යනවා. මේ වාගේ සෑම සත්වයෙක් ම ජරා මරණ වෙත ඇදීන්ගෙන යනවා. මේ සත්වයා හට මා හැර වෙන කෙනෙක් නැහැ නේ ද පිහිට වෙන්ට කියා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

6. අතාණෝ ලෝකෝ අනභිස්සරෝ …..

මේ ලෝක සත්වයා තමාගේ යැයි කියන ලද සියල්ල හැර දාල අනාථව පරලොව යනව. හරිහම්බ කළ වස්තුවත් මගේ මගේ කියමින් හදාවඩා ගත්ත මේ ශරීර කුඩුවත් මහ පොළොව මත හැර දාල, අනාථව පරලොව යන්න සිදුවෙනවා. මේ බව සලකා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහාකරුණා සමවතට සමවදිනවා.

7. ඌනෝලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ ති …..

මේ ලෝක සත්වයා සැමදාම, නොපිරුණු කළයක් වාගේ තෘෂ්ණාවෙන් සෑහීමකට පත් නොවී අතෘප්තිකර ජීවිතයක් ගෙවනවා. තෘෂ්ණාවට වහල් වෙලා ජීවත් වෙනවා. මොවුන්ට මා හැර වෙන කෙනෙක් පිහිට වෙන්නෙ නෑ කියලා මෙනෙහි කරමින් මහාකරුණා සමවතට සමවදිනවා.

8. අතායණෝ ලෝකසන්නිවාසෝ …

ලෝක සන්නිවාස හෙවත් මේ ලෝක සත්වයාට ආරක්ෂා වෙන්නට තැනක් නැහැ. හැමතැනම තියෙනවා, මේ සංසාර වධබන්ධන. ඒක නිසා ලෝක සත්වයාට ආරක්ෂා වෙන්නට තැනක් නැහැ කියන කාරණය සිහිපත් කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමවතට සමවදිනවා.

9. අලේණෝ ලෝකසන්නිවාසෝ ….

ලෝක සත්වයාට සැඟවී ඉන්න තැනක් ලෝක ධාතුවේ කොතැනකවත් නැහැ. ගල් කුහරයකවත්, පර්වත කුහරයකවත්, අහසේත්, මහමුහුදේවත් සැග වී ඉන්න තැනක් නැහැ. තමා කළ කර්මයේ විපාක තමාම විඳින්න ඕනැ. තමන් ගොඩනගා ගත්ත ප ස්කන්ධ දුක තමන් ම විඳින්නට ඕනෑ. මේ නිසා ලෝක සත්වයාට ආරක්ෂා ස්ථානයක් නැහැ, සැඟවී ඉන්න ස්ථානයක් නැහැ කියන කරුණ සිහිපත් කරමින් මහාකාරුණිකයන් වහන්සේ මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

10. අසරණෝ ලෝකසන්නිවාසෝ ….

මේ ලෝක සත්වයා පරම අසරණ තත්වයෙන් වාසය කරනව. තමන්ට එන භය සන්සිඳවා ගන්නටත් බැහැ. අන් අයට එන භය සන්සිඳවන්න සමර්ථකමකුත් නැහැ. ඒක නිසා අසරණයි ලෝක සත්වයා කියා, මොවුන්ට මා හැර වෙන කෙනෙක් පිහිට වෙන්නෙ නෑ කියලා මෙනෙහි කරමින් මහාකරුණා සමවතට සමවදිනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)231

ෂට් අසාධාරණ ඤාණ 10
අසිරිමත් බුදුගුණ වරුණ 25
මහාකරුණා සමාපත්ති ඤාණය 03
  1. අසරණිභූතෝ ලෝකසන්නිවාසෝ

උපතින්ම මේ ලෝක සත්වයා අසරණයි. උපතින්ම තමාට තමා පිහිටක් නැති හැටියට උපන්නා. මේ උපන්න අසරණ ජීවිතය, අසරණව ගෙවල, අසරණව පරලොව යනව. අසරණව මේ සංසාර කාන්තාරයේ එහා මෙහා සැරිසරනව කියා සිහිපත් කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමාපත්තියට සමවදිනව.

  1. උද්ධතෝ ලෝකෝ අවුපසන්තෝ …

මේ ලෝක සත්වයා අලු ගොඩකට ගලක් ගැසුවාම විසිරී යන්නා වගේ, ජලාශයකට ගල් කැටයක් දමපුවාම ජලය කැලඹෙන්නා වගේ, චංචල සිතින් වාසය කරනවා. සන්සුන් මනසක් නැහැ. අසහනකාරි සිතින් වාසය කරනවා. “උද්ධචයෙන්” විසිරුණු සිතින් වාසය කරනවා. ගසක් මුදුනේ බැන්ද කොඩියක් සුළඟින් විසිරී යන්නාක් මෙන්, නිරන්තරයෙන් ම විසිරුණු සිතින් වාසය කරනවා. මේ විසිරුණා වූ සිත් ඇත්තා වූ සත්ත්වයාට මා පිහිට වෙන්න ඕනෑ කියලා මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

  1. සසල්ලෝ ලෝකසන්නිවාසෝ විද්ධෝ පුථුසල්ලේහි තස්ස

නත්ථඤ්ඤො කෝවි සල්ලානං උද්ධාතා අඤ්ඤත්‍ර මයා ති ….

 මේ ලෝක සත්වයා උල් හතකින් ඇනීගෙන, ඇමිණීගෙන වාසය කරනව.

  1. රාගසල්ල 2. දෝස සල්ල 3. මෝහ සල්ල 4. මානසල්ල 5. දිට්ඨිසල්ල 6. කිලේස සල්ල 7. දුච්චරිත සල්ල කියා උල් ජාති හතක් මේ සත්ව සන්තානයේ ඇනී ගෙන තිබෙනවා. උල් හතකින් ඇනී ගත්ත මේ සත්වයාගේ ඒ උල් ගලවන්නට මා හැර වෙන කෙනෙක් නැහැ කියල ඒ තථාගතයන් වහන්සේ මහාකරුණා සමාපත්තියට දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමවදිනවා.
    අවිජ්ජන්ධකාරාවරණෝ ලෝකසන්නිවාසෝ කිලේසපඤ්ජරපක්ඛිත්තෝ

14. තස්ස නත්ථඤ්ඤෝ කෝචි ආලෝකං දස්සේතා අඤ්ඤත්‍ර මයා ති …

මේ ලෝක සත්වයා අවිද්‍යා නමැති ඝනාන්ධකාරයක ගිලීගෙන වාසය කරනවා. ක්ලේශ නමැති මහා මැදිරියකට කොටුවෙලා වාසය කරනවා. මේ අවිද්‍යා අන්ධකාරයෙන් නිමක් නොදැක සිටින මේ ලෝකසත්වයා හට මා හැර වෙන ආලෝකය දෙන්න කෙනෙක් නැහැ නේද කියලා මහාකාරුණිකයන් වහන්සේ, මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

  1. අවිජ්ජාගතෝ ලෝකසන්නිවාසෝ අන්ඩභූතෝ

පරියෝනද්ධෝ තණ්හාකුලකජාතෝ ගුළාගුණිධීකජාතෝ

මුඤ්ජබබ්බජභූතෝ අපායං දුග්ගතිං විනිපාතං

සංසාරං නාතිවත්තතී ති……..

මේ ලෝක සත්වයා අවිද්‍යාවට ඇතුවෙලා වාසය කරනවා. හරියට බිජුවක සත්වයෙක් ජීවත් වෙන්න වගේ. අවිද්‍යාවෙන් වටවී වාසය කරනවා. නූල් හැරයක් (නූල් පන්දුවක්), මීයෙකු විසින් අවුල් කරන ලද නූල් හැරයක් වාගේ අවුලෙන් අවුලට පත් වී සිටිනවා. වඩු කුරුලු කූඩුවක කෙඳි අවුලෙන් අවුලට පත්වෙලා තියෙන්න වාගේ මේ සත්වයෝ තෘෂ්ණා අවුලෙන්, අන්තෝජටා, බහිජටා, වී වාසය කරනවා. නරකාදී සතර අපාය නොඉක්මවා වූ, මේ සත්වයාගේ කෙලෙස් අවුල ලිහන්නට මා හැර අන් සමතෙක් නැහැ. එනිසා මා ඉදිරිපත් විය යුතු යැයි සලකා මහා කරුණා සමවතට සමවදිනව.

16. අවිජ්ජාවිසදෝසසංලිත්තෝ ලෝකසන්නිවාසෝ කිලේසකලලීභූතෝ’ ති

මේ ලෝක සත්වයා අවිද්‍යා කැමති විෂ දෝෂයෙන් ඇලීගෙන, තැවරීගෙන වාසය කරනවා. කෙලෙස් නැමති මඩ කලල්වල එරීගෙන වාසය කරනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. රාගදෝසමෝහජටාජටිතෝ ලෝකසන්නිවාසෝ

තස්ස නත්‍ථඤ්ඤෝ කෝච් ජටං විජටෙතා අඤ්ඤත්‍ර මයා’ ති

මේ ලෝක සත්වයා රාග, දෝස, මෝහ කියන මහා ජටාවකින් පැටලිලා වාසය කරනවා. ගැට ගැසී වාසය කරනවා. මොවුන්ගේ මේ කෙලෙස් ගැට ලිහන්නට, තථාගතයන් වහන්සේ හැර වෙන කෙනෙක් නැහැ කියල මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. තණ්හාසඬඝාටපටිමුක්කෝ ලෝකසන්නිවාසෝ

මේ ලෝක සත්වයා තෘෂ්ණා නැමති දඬුකඳක ගැටීගෙන වාසය කරනවා. රාජ අපරාධ කළ අයට දෙනව දඬුකඳේ දඬුවමක්. අදකාලේ දඬුකඳ” දකින්න නැතත් ඒ කාලේ දඩුකදේ ගහල දින ගණන්, සතිගණන් තියලා පුද්ගලයන් හික්මවනව. ඒ වාගේ තෘෂ්ණා නැමති දඬුකඳේ ගහල ඉන්නවා මේ සත්වයා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)232

ෂට් අසාධාරණ ඤාණ 11
අසිරිමත් බුදුගුණ වරුණ 26
මහාකරුණා සමාපත්ති ඤාණය 04
  1. “තණ්හාජාලේන ඔත්ථටෝ ලෝකසන්නිවාසෝ”

වටු වැද්දෙක් වටු රංචුවකට දැලක් දැම්මා වාගේ තෘෂ්ණා නැමති දැලෙන් වටවෙලා ඉන්නවා මේ ලෝක සත්වයා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “තණහාසෝතේන වුයිහති ලෝකසන්නිවාසෝ …..

ගංගාවකට වැටුණ අසරණයෙක් වාගේ, ලෝක සත්වයා තෘෂ්ණා නැමති ගංගාවේ සැඩ පහරේ පාවෙනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “තන්හාසංයෝජනේන සඤ්ඤත්‍තෝ ලෝක සන්නිවාසෝ……

ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහා බැම්මකින් සංයෝජනයකින් සංසාරයෙහි බැඳීන්ගෙන සිටිනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “තන්හානුසයේන අනුසටෝ ලෝකසන්නිවාසෝ…

ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහා අනුසය හතකින් එනම් 1.රාගානුසය, 2. පටිඝානුසය, 3. දිට්ඨානුසය, 4. විචිකිච්ඡානුසය, 5. මානානුසය, 6. භවරාගානුසය, 7. අවිඡ්ඡානුසය යන අනුසයන්ගෙන් බැඳී දැඩිලෙස කෙලෙස් බරින් වාසය කරනවා.

මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

23 “තහාසත්තාපේන සන්තප්පති ලෝකසන්නිවාසෝ ….

මේ ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහ තැවීමකින්, දැවිමකින් දැවෙමින් වාසය කරනවා. මේ නිසා මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. තණ්හාපරිලාහේන පරිදයිහති ලෝකසන්නිවාසෝ ….

ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහා දාහයකින් දැවී දැවී වාසය කරනවා. මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

  1. ” දිට්ඨිසංඝාටපටිමුක්කෝ ලෝකසන්නිවසෝ…..

මේ ලෝක සත්වයා මිථ්‍යා දිට්ඨි නැමති දඬුකඳක බැදීන්ගෙන වාසය කරනවා. මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

26.”දිට්ඨිජාලේන ඔත්ථටෝ ලෝකසන්නිවසෝ…..

ලෝක සත්වයා දිට්ඨි නැමති දැලකට යටවී වාසය කරනවා. මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

  1. “දිටඨිසෝතේන වුයිහති ලෝකසන්නිවසෝ…..

 ලෝක සත්වයා දිට්ඨි නමැති මහ සැඩපහරකට හසුවී ගහගෙන යනවා. ” මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

  1. දිෂ්ටිසංයෝජනේන සඤ්ඤුත්තෝ ලෝකසන්නිවසෝ…..

ලෝක සත්වයා දිට්ඨි නැමති සංයෝජනයකින් බැඳී වාසය කරනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “දිට්ඨානුසයේන අනුසතෝ ලෝකසන්නිවාසෝ….

අප්‍රහීණ වශයෙන් ශක්තිමත් බවට පත් වූ දිට්ඨියකින් ලෝක සත්වයා බැඳීගෙන වාසය කරනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “දිට්ඨිසන්තාපේන සන්තප්පති ලෝකසන්නිවාසෝ……

මේ ලෝක සත්වයා දිට්ඨි නැමති මහා දාහයකින් දැවෙමින් වාසය කරනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “දිට්ඨිපරිළාහේන පරදයිහති ලෝකසන්නිවාසෝ…

මේ ලෝක සත්වයා දිට්ඨි නැමති මහා දැවිල්ලකින් දැවි දැවී වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “ජාතියා අනුගතෝ ලෝකසන්නිවාසෝ ……

මේ ලෝක සත්වයා ජාතිය නැමති දුකෙන් ගැලී ගමන් කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “ජරාය අනුසතෝ ලෝකසන්නිවාසෝ ……

මේ ලෝක සත්වයා ජරාවෙන් වැළඳී ගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “ව්‍යාධිනා අභිභූතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා ව්‍යාධියෙන් මැඬගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “මරණේන අබ්බාහතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා මරණයෙන් විනාශ වෙවී වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. ” දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකසන්නිවාසෝ ….

මේ ලෝක සත්වයා විශාල දුක්ඛයක පිහිටා ගෙන වාසය කරනවා කියා මේ එකක් පාසා මෙනෙහි කරමින් ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනව.

  1. “තණ්හාය උඩ්ඩිතෝ ලෝක සන්නිවාසෝ…

මේ ලෝක සත්වයා තෘෂ්ණා නැමති ඇණයක එල්ලීගෙන වාසය කරනවා. ඇඳුම් එල්ලන්නට ගෙවල් වල තිබෙනව “නාග දත්ත” කියල ඇත්දළවලින්, මුව අංවලින්, එල්ලන තැන් හදල තියෙනවා. ඒවාගේ එල්ලී ගෙන තෘෂ්ණාවෙන් වාසය කරනව. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය . අතිගරු පූජනීය ත්‍රිපිටකාචාර්ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත “සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවේණික ෂට් අසාධාරණ ඤාණ” ග්‍රන්ථය .

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)233

ෂට් අසාධාරණ ඤාණ 12
අසිරිමත් බුදුගුණ වරුණ 27
මහාකරුණා සමාපත්ති ඤාණය 05
 
  1. ජරාපාකාරපරික්ඛිත්තෝ ලෝකසන්නිවාසෝ…..

ලෝක සත්වයා “ජරා නැමති පවුරකින් (ප්‍රාකාරයකන්) වටවෙලා වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “මච්චුපාසේන පරික්ඛිත්තෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා මරණය නැමති මහා පසකයකට බැඳී වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

  1. “මහාබන්ධනබධෝ ලෝකසන්නිවාසෝ රාගබන්ධනේන්න, දෝසබන්ධනේන්න, මෝහබන්ධවෙන්න, මානබන්ධනේන්න, දිට්ඨිබන්ධනේන්න, කිලේස බන්ධනේන්න, දුචරිත බන්ධනේන්න.

මේ ලෝක සත්වයා, 1..රාග බන්ධනයෙන්, 2. දෝස බන්ධනයෙන්, 3. මෝහ බන්ධනයෙන්, 4. මාන බන්ධනයෙන්, 5. දෘෂ්ටි බන්ධනයෙන්, 6. ක්ලේශ බන්ධනයෙන්, 7. දුශ්චරිත බන්ධනයෙන් කියන බැඳුම් හතකින් බැඳීන්ගෙන වාසය කරනවා. මේ බැඳුම් ලිහන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනව

  1. “මහාසම්බාධපටිපන්නෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා මහා සම්බාධයකට පත් වී වාසය කරනවා.

  1. “මහාපළිබෝධේන පළිබුද්ධෝ ලෝකසන්නිවාසෝ….

මේ ලෝක සත්වයා මහා පලිබෝධයකින් වෙලාගෙන වාසය කරනවා.

  1. “මහාපපාතේ පතිතෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා මහා සංසාර ප්‍රපාතයක වැටීගෙන වාසය කරනවා.

  1. මහා කන්තාරපටිපන්නෝ ලෝකසන්නිවාසෝ…..

 මේ ලෝක සත්වයා “මහා කාන්තාරයක වැටීගෙන වාසය කරනවා.

  1. “මහාසංසාර පටිපන්නෝ ලෝකසනිවාසෝ…..

සංසාර විදුගයක මේ ලෝක සත්වයා එහා මෙහා පෙරලී පෙරලී වාසය කරනවා.

  1. “මහාපළිපේ පළිපන්නෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා සංසාරයේ කෙලෙස් නැමති මහා මඩ ගොහොරුවක එරීන්ගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාහට මා හැර වෙන පිහිට වෙන්නට සමතෙක් නෑ නේන්ද? කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම වදිනව.

  1. “අබිභහතෝ ලෝකසන්නිවාසෝ……

මේ ලෝක සත්වයා ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් අභිභවනය වී මැඩීගෙන වාසය කරනවා.
මොවුනට පිහිට වෙන්න මාහැර වෙන කෙනෙක් නෑ කියා මහා කරුණා සමාපත්තියට සම වදිනව.

  1. ආදිත්තෝ ලෝකසන්නිවාසෝ රාගග්ගිනා, දෝසග්ගිනා, මොහග්ගිනා, ජාතියා, ජරා, මරණෙන්, සෝකේහි, පරික්වෙහි, පරිදේවේහි, දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, තස්ස නත්තඤෙඤෝ කෝච් නිබ්බාපේතා අඤ්ඤත්‍ර මයාති …

මේ ලෝක සත්වයා, එකොළොස් මහා ගින්නකින් දැවීගෙන. වාසය කරනවා. 1. රාග ගින්නෙන්, 2. දෝස ගින්නෙන්, 3. මෝහ ගින්නෙන්, 4. ජාති ගින්නෙන්, 5. ජරා ගින්නෙන්, 6.මරණ ගින්නෙන්, 7. සෝක 8. පරිදේව, 9. දුක්ඛ 10. දෝමනස්ස, 11. උපායාස කියන ගිනි එකොළහකින් දිවා රාත්‍රී දෙකේ නිරන්තරයෙන් දැවී දැවී වාසය කරනවා. මේ මහා දුක් ගින්දරෙන් දැවෙන්නා වූ කෙලෙස් ගින්නෙන් දැවෙන්නා වූ මොවුනට නිවීමක්, සිසිලසක් සලසා දෙන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය .

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)234

ෂට් අසාධාරණ ඤාණ 13
අසිරිමත් බුදුගුණ වරුණ 28
මහාකරුණා සමාපත්ති ඤාණය 06
  1. “උන්තීතකෝ ලෝකසන්නිවාසෝ භඤ්ඤති නිච්චමතාණෝ පත්තදණ්ඩෝ තක්කරෝති…..

වදයට නියම වුණා වූ පුද්ගලයෙකුට තමා කළ රාජ අපරාධයට අනුරූපව වද විඳින්නාක් මෙන්, මේ ලෝක සත්වයා උපන්න දා පටන් වද විඳිනව. උපන්න දා පටන් හුස්ම ගන්නව, හෙලනව, උපන්න දා පටන් අත්පා නමනව, දිගහරිනව, ඉරියව් මාරු කරනව, උපන්න දා පටන් කෑම බීම ගන්නට වෙනවා, උපන්න දා පටන් ක‍ෙළ, සොටු, මළ, මුත්‍රා බැහැර කරනව. උපන්න දා පටන් සීතල, උණුසුම, විඳින්න වෙනව. උපන්න දා පටන් මැසි, මදුරු, අවැසි, සුළං විෂඝෝර සර්පාදීන්ගේ ස්පර්ශ විඳින්න වෙනව. උපන්දා පටන් සාපිපාසාදී දුකට පත් වෙන්න සිදු වෙනව. උපන්දා පටන් වාත, පිත, සෙම තුන්දොස් කිපීමේ රෝගයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ඒ වාගේ අනේක විධ වද වේදනාවන්ට මුහුණ පාමින් මේ ලෝක සත්වයා දුකෙන් පෙලෙනවා. දුකෙන් පෙලෙන මොවුනට පිහිට වෙන්නට මා හැර ලොව වෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

  1. “ වජ්ජබන්දනබද්ධෝ ලෝකසන්නිවාසෝ ආඝාතනපච්චුපට්ඨිතෝ…….

 මේ ලෝක සත්වයා තමා කළ වැරදින් බැඳීන්ගෙන දඬුවමක් විඳින වදක ස්ථානයට ගෙනයනු ලබමින් සිටිනව. උපන්දා පටන් මේ වදකස්ථානයට යන්නෙ. මරණ ස්ථානයට යන්නෙ. මොවුන් මේ බන්ධනයෙන් මුදවන්න, තමන් වහන්සේ හැර වෙන කෙනෙක් නැ කියා මෙනෙහි කරමින් මහා කරුණාවට සමවදිනව.

  1. “අනාථෝ ලෝකසන්නිවාසෝ, පරමකාපඤ්ඤප්පතෝ …….

මේ ලෝක සත්වයා අතිශයින් ම අනාථයි. පරම කරුණාවට ලක් වූ අරමුණක් වෙනවා. මේ ලෝක සත්වයා මොවුනට මා පිහිට විය යුතු යැයි සිතා මහා කරුණාවට සමවදිනව.

  1. “දුක්ඛාභිතුන්නෝ ලෝකසන්නිවාසෝ නිච්ච පිපාසිතෝති……

මේ ලෝක සත්වයා තෘෂ්ණාදී ලේශයන්ගෙන් ගිජු වෙලා වාසය කරනවා. ලුණු වතුර පිපාසයට පානය කරන්න වාගේ තව තවත් මේ තෘණා පිපාසයෙන් පිපාසිත වෙලා වාසය කරනව. මොවුනට මා පිහිට වෙන්නට ඕනෑ කියා මහා කරුණාවට සමවදිනව.

  1. අන්ධෝ ලෝකසන්නිවාසෝ අචක්ඛුකෝ…..

මේ ලෝක සත්වයා අන්ධයි. ඇසක් නැහැ පෙනෙන්නේ. මෙලොව පේන්නෑ. පරලොව පේනෑ. කුසල් අකුසල් පේන්නෑ, හොඳ නරක පේන්නෑ, කර්මවිපාක පේන්නෑ. හේතුඵල පේන්නෑ. මෙලොව පරලොව පේන්නෑ. මේ විදිහේ නොපෙනෙන අන්ධභූත ජීවිතයක් මේ ලෝක සත්වයා ගෙවන්නේ. මොවුන්ගේ ඇස පාදන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියලා මහා කරුණාවට සමවදිනව.

  1. “හතනෙත්තෝ ලෝකසන්නිවාසෝ අපරිනායකෝ ….

මේ ලෝක සත්වයා උපත්තේදී ඇස් තිබුණත් අතරකදී සම්පූර්ණයෙන් ම නුවණැස අන්ධ වී ගියා. තමාගේ කණවැල අල්ලන්න කෙනෙක් නැතුව වාගේ. මේ සංසාර ගමන්නේ මේකයි හරි මාර්ගයය, මේකයි වැරදි මාර්ගය කියලා පෙන්නන්නට කෙනෙක් නැති බැවින් අසරණව සංසාරයේ එහා මෙහා ජරා මරණාදී දුකෙන් පීඩා විඳිමින් වාසය කරනවා. මොවුන්ට මම පිහිට වෙන්නට ඕනෑ කියලා මහා කරුණාවට සමවදිනව.

  1. “විපථපක්ඛන්තෝ ලෝකසන්නිවාසෝ අඤ්ජසාපරද්ධෝ….. තස්ස නත්ථඤෙඤ් කෝව් අරියපථං ආනේතා අඤ්ඤත්‍ර මයා ති. …..

මේ ලෝක සත්වයා වැරදි මාර්ගයක ගමන් කරනවා. ආර්ය මාර්ගයෙන් ඉවත්වෙලා ගමන් කරනවා. මේ ආර්ය මාර්ගයට කවුද වෙන ගන්නේ. මා හැර වෙන කෙනෙක් නෑ නේද? කියා මහා කරුණා සමවතට සමවදිනව.

  1. “මහෝඝපක්ඛත්තෝ ලෝකසන්නිවාසෝ …….
    මේ ලෝක සත්වයා ක්ලේශ ඕයන්ට බැසගෙන වාසය කරනවා. 1. කාමෝඝ, 2. දිට්ඨි ඕඝ, 3. අවිද්‍යා ඕඝ, 4. භව ඕඝ කියන මේ සතර මහා ඕඝයකින් පෙලෙන මේ සත්වයා ඕඝයෙන් එතෙර කරවන්නට තමන් වහන්සේ හැර වෙන සමතෙක් නැ කියා මහා කරුණා සමාපත්තියට සම වදිනව.
  2. දව්හි දිට්ඨිගතේහි පරියුට්ඨිතෝ ලෝකසන්නිවාසෝ ……

සාස්වත සහ උච්ඡේද යන දෘෂ්ටි දෙකකින් මේ ලෝක සත්වයා අතරමං වී වාසය කරනවා. මොවුන්ගේ ඇස පාදන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියලා මහා කරුණාවට සමවදිනව.

  1. “තීහි දුච්චරිතේහි විප්පටිපන්නේ ලෝක සන්නිවාසෝ….

ලෝක සත්වයා දුශ්චරිත තුනකින් නොමඟ ගමන් කරනවා. 1. කායදුශ්චරිත, 2. වාග්දුශ්චරිත, 3. මනෝදුශ්චරිත කියන දුශ්චරිත තුනකින් නොමග ගිහින් වාසය කරනවා. මොවුන්ගේ ඇස පාදන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියලා මහා කරුණාවට සමවදිනව.

  1. චතුහි යෝගේහි යුත්තෝ ලෝකසන්නිවාසෝ, චතුයෝගයෝජිතෝ…..

  2. කාමයෝග, 2. භවයෝග, 3. දිට්ඨියෝග, 4. අවිද්‍යා යෝග කියන සතර මහා යෝගයකින් මේ ලෝක සත්වයා බැඳීගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.
  3. චතුහි ගනයේ ගන්‍ථහි ගන්ථිතෝ ලෝකසන්නිවාසෝ ……

  4. අභිජ්ඣාකාය ග්‍රන්ථ, 2.ව්‍යාපාද, කාය ග්‍රන්ථ, 3. ඉදං පච්චාහි නිවේස කාය ග්‍රන්ථ 4. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ කියන මේ කාය ග්‍රන්ථ හතරකින්

මේ ලෝක සත්වයා ගැට ගැසී වාසය කරනව. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

63. චතුහි උපාදානේහි උපාදියති ලෝකසන්නිවාසෝ …….

  1. කාම උපාදාන 2. දිට්ඨි උපාදාන 3. සීලබ්බත උපාදාන 4. අත්තවාද උපාදාන කියන මේ උපාදාන හතරකින් මේ සත්ත්වයා දැඩි ලෙස ගෙන සංසාරයේ වාසය කරනව. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

64. ” පඤ්චගතිසමාමාරුළ්හෝ ලෝකසන්නිවාසෝ ……

65. නරක ගතිය, 2.ප්‍රේත ගතිය, 3. තිරස්චීන ගතිය, 4. මනුෂ්‍ය ගතිය, 5. දේව ගතිය, කියන පංච ගතියට පමණක් මේ ලෝක සත්වයා ගමන් කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)235

ෂට් අසාධාරණ ඤාණ 14
අසිරිමත් බුදුගුණ වරුණ 29
මහාකරුණා සමාපත්ති ඤාණය 07

66. “පඤ්චහි නිවරණෙහි ඔත්ථටෝ ලෝකසන්නිවාසෝ ….

මේ ලෝක සත්වයා 1.කාමච්ඡන්ද නීවරණය 2.ව්‍යාපාද නීවරණය 3. ථීන මිද්ධ නීවරණය 4. උද්ධච්ච කුක්‌කුච්ච නීවරණය 5. විචිකිච්ඡා නීවරණය කියන පංචනීවරණයන්ගෙන් බැඳීගෙන ආවරණ වී ගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

67. “ පඤ්චහි කාමගුණේහිරජ්ජති ලෝකසන්නිවාසෝ …….

1.රූප 2. ශබ්ද, 3. ගන්ධ, 4. රස, 5. ස්පර්ශ යන පංච කාම ගුණයකින් ඇලීගෙන, බැඳීගෙන, වෙලීගෙන, පැටලීගෙන, එරීගෙන, මේ ලෝක සත්වයා වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

68. “ජහි විවාදමූලේහි විවදති ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා විවාද මූල හයකින් විවාද කරමින්, සංසාරය දිග් කරගන්නවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

69. ජහි දිට්ඨිගතේහි පරියුට්ඨිතෝ ලෝකසන්නිවාසෝ …..

මේ ලෝක සත්වයා දෘෂ්ටි හයකින් වටවී වාසය කරනවා. ආවරණය වී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

70. ඡහි තණ්හාකායේහි රජ්ජති ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා තෘෂ්ණා හයකින් ඇලීගෙන, බැඳීගෙන, වෙලීගෙන, පැටලීගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

71. සත්තහි මානේහින්නතෝ ලෝකසන්නිවාසෝ …..

ලෝක සත්වයා සප්තවිධ මාන්නයකින් උන්නත වෙලා, උඩගු වෙලා වාසය

කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

72. සත්තහි සංයෝජනේහි සංයුත්තෝ ලෝකසන්නිවාසෝ……

සංයෝජන හතකින් බැඳීගෙන ලෝක සත්වයා වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

73. සත්තෙහි අනුසයේහි අනුසටෝ ලෝකසන්නිවාසෝ…..

අප්‍රහීණ වශයෙන් ශක්තිමත් බවට පත් වූ කෙලෙස් හතකින් බැඳීන්ගෙන ලෝක සත්වයා වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

74 .අට්ඨහි ලෝකධම්මේහි සම්පරිවත්තති ලෝකසන්නිවාසෝ …..

ලෝක සත්වයා අටලෝ දහමකින් කම්ප වෙවී, පෙරලි පෙරලී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

75. අට්ඨහි මිච්ඡතේහි නිය්‍යාතෝ ලෝකසන්නිවාසෝ ….

ලෝක සත්වයා මිච්ඡත්ත මාර්ග අටකින් අනුව ගමන් කරනවා.මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

76. “අට්ඨහි පූරසදෝසේහි දුස්සති ලෝකසන්නිවාසෝ……

ලෝක සත්වයා පුරුෂ දෝෂ අටකින් කිළිටි වෙවී, අපිරිසිදු වෙවී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

77. නවහි ආඝාත වත්ථුහි ආඝාතිතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා නව ආඝාත වස්තුවකින් බැඳීන්ගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

78. නවහි තණ්හාමූලකේහි ධම්මෙහි රජ්ජති ලෝකසනිවාසෝ….

මේ ලෝක සත්වයා තෘෂ්ණ මූලික ධර්ම නවයකින් ඇලීගෙන, බැඳීගෙන, වෙලීගෙන, පැටලීගෙන, මුලාවීන්ගෙන, යටවීගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

79. නවවිධමානේහි උන්නතෝ ලෝකසන්නිවාසෝ. ….

මේ ලෝක සත්වයා නව ආකාර මාන්නයකින් උඩඟු වී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

80. දසහි ආඝාත චත්ථූහි අඝාතිතෝ ලෝකසන්නිවාසෝ …..

ක්ලේශ වස්තු දහයකින්, මේ ලෝක සත්වයා කිලිටි වේවි. කිලිටි වෙවී අපිරිසිදු වේවී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

81. දසහි සංයෝජනේහි සංයුතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා දස අකුසලයකින් සමන්නාගතව වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)236

ෂට් අසාධාරණ ඤාණ 15
අසිරිමත් බුදුගුණ වරුණ 30
අසූනව ආකාර වූ මහා කරුණා සමාපත්ති ඤාණ විග්‍රහය 08 (අවසන් කොටස)

 

82. දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතෝ ලෝකසන්නිවසේ….. මේ ලෝක සත්වයා දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියකින් සමන්නාගතව වාසය කරනවා.

83. දසවත්ථුකාය අත්තග්ගාහිකාය, දිට්ඨියා, සමන්නාගතෝ ලෝකසන්නිවාසෝ…. ලෝක සත්වයා අන්ත්‍රග්‍රාහික මිත්‍යා දෘෂ්ටි දහයකින් බැඳීගෙන වාසය කරනවා.

83. ද්වාසට්ඨියා දිට්ඨිගතේහි පරියුට්ඨිතෝ ලෝකසන්නිවාසෝ ……. මේ ලෝක සත්වයා හැට දෙකක් වූ මිථ්‍යා දෘෂ්ටින්ගෙන් ආවරණය වී මැඩලාගෙන වාසය කරනවා.

84. අට්ඨසතතණ්භාපපඤ්චිසතේහි පපඤ්ච්තෝ ලෝකසන්නිවාසෝ…… මේ ලෝක සත්වයා එකසිය අට (108) වැදෑරුම් තණ්හා ප්‍රපඤචයකින් පපඤ්ච්ත වෙලා වාසය කරනවා.

85. අහඤ්චම්හි තිණ්ණො, ලොකො ච අතිණ්ණො – මම වනාහි සංසාර සාගරයෙන් එතෙර වුණා, නමුත් ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතෙර වී නැහැ.

86. අහං චම්හි මුත්තො, ලොකො ච අමුත්තො – මම සියලු දුක්ඛයෙන් අත මිදුනා, නමුත් ලෝක සත්වයා දුක්ඛයෙන් අත මිදී නැහැ.

87. අහඤ්චම්හි දන්තො, ලොකො ච අදන්තො – මම ඉඳුරන් දමනය කළා, නමුත් ලෝක සත්වයා ඉඳුරන් දමනය කර නැහැ.

88. අහං චම්හි සන්තො, ලොකො ච අසන්තො – මම කෙලෙසුන් සංසිඳවා ගත්තා, නමුත් ලෝක සත්වයා කෙලෙසුන් සංසිඳවාගෙන නැහැ.

89. අහං චම්හි අස්සත්ථො, ලොකො ච අනස්සත්ථො – මම පරම අස්වසිල්ලට පත් වුණා, නමුත් ලෝක සත්වයා අස්වසිල්ලට පත් වී නැහැ.

90. අහං චම්හි පරිනිබ්බුතො, ලොකො ච අපරිනිබ්බුතො – මම ක්ලේශ පරිනිර්වාණය කළා, නමුත් ලෝක සත්වයා පිරිනිවී නැහැ.

91. පහොමි ඛ්වාහං තිණ්ණො තාරෙතුං, මුත්තො මොචෙතුං, දන්තො දමෙතුං, සන්තො සමෙතුං, අස්සත්ථො අස්සාසෙතුං, පරිනිබ්බුතො පරෙ ච පරිනිබ්බාපෙතුන්ති – පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ඉදං තථාගතස්ස මහාකරුණාසමාපත්තියා ඤාණං.

මම සංසාරයෙන් එතෙර වී සිටින බැවින්, අන් අය සංසාරයෙන් එතෙර කරවීමට සමර්ථයි.

මම සියලු කෙලෙසුන්ගෙන් මිදී සිටගෙන, අන් අය ද මුදවන්නට සමර්ථයි.

මම ඉඳුරන් දමනය කරගත් බැවින්, අන් අය ද දමනය කරවීමට සමර්ථයි.

මම කෙලෙසුන් සන්සිඳ වූ බැවින්, අන් අයට ද සන්සිඳුවීමට සමර්ථයි.

මම පරම අස්වැසිල්ලට පත් වූ බැවින්, අන් අයට ද අස්වැසිල්ල ලබාදීමට සමර්ථයි.

මම ක්ලේශ පරිනිර්වාණය කළ බැවින්, අන් අයට ද ක්ලේශ පරිනිර්වාණය සලසාලීමට සමථයි කියා, මේ අයුරින් අර්ජාකාරයෙන් සලකන්නා වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේ සූවිසි කෝටි ලක්‍ෂවාරයක් දිනපතා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“ඉදං තථාගතස්ස මහාකරුණා සමාපත්තියා ඥාණං” මෙන්න මේ කියන ලද්දේ අසූනව ආකාරයකින් පමණක් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඤාණයයි කියා, ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ මහා කරුණා සමාපත්ති දේශනාව නිමාකොට වදාළා. මේ දහම් කරුණු අසූනවය එකක් එකක් පාසා විස්තර වශයෙන් විග්‍රහ කරනවා නම්, දිනගණනාවක් සති, මාස ගණනාවක් යන්නට පුළුවන්. නමුත් තෝරා බේරා ගන්නට ධර්ම කරුණු රාශියක් මෙතන තිබෙනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)237

ෂට් අසාධාරණ ඤාණ 16
අසිරිමත් බුදුගුණ වරුණ 31
අනාවරණ ඤාණය 01

තෙසැත්තෑ ඤාණ එකක් එකක් ගානේ ඉතාමත් පැහැදිලිව විස්තරාත්මකව පටිසම්භිදාමග්ග පාළියට ඇතුළත්ව තිබෙනවා. එයින් සර්වඥතාඥාණය සහ අනාවරණ ඥාණය යන ඤාණ දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව, පහත සඳහන් පරිදී ඉදිරිපත් කර තිබෙනවා. අපි සළකා බලමු මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම ගැන.

කතමං තථාගතස්ස සබ්බඤඤුඤාණං

සබ්බං සංඛතමසංඛතං අනවසේසං

ජානාතීති සබ්බඤ්ඤුතඤාණං

තත්‍ථ ආවරණං නත්ථිති අනාවරණඤාණං

තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය නම් කවරේද? සියලු සංඛත, අසංඛතයන් සර්වප්‍රකාරයෙන් දැනීම, සර්වඥතාඥාණය නම් වෙනවා. එහිලා ආවරණයක් නැතිබැවින්, අනාවරණ ඥාණය නම් වේ යනු මෙහි කෙටිම තේරුමයි.

සබ්බං සංඛත අසංඛත අනවසේසං,

ජානාතීති තත්‍ථ, ආවරණං නත්ථි ති

අනාවරණ ඥාණං

එයින් පැහැදිලි වෙනව, සර්වඥතාඥාණයත් අනාවරණ ඤාණයත් එකක් බව. ඒ කියන්නේ සර්වඥතා ඤාණයෙන් අරමුණු කරනවා. ඊට බාධාවක් නැති බව නිසා, එයට ම අනාවරණ ඤාණය කියනව.

ඊළගට අපි සලකා බලමු සංඛත අසංඛත කියන්නේ කුමක්ද? කියලා. මේවා අපි තේරුම් ගතොත් සර්වඥතාඥාණය පැහැදිලි කරගන්න හැකිවෙනවා.

සංබත

සංබත කියන්නේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන ලද්දේ යන තේරුමයි. ලෝක ධාතුවෙහි සියල්ල හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් දේවල් බව අපි තේරුම් ගන්නට ඕනැ. නිර්වාණ ධාතුව හැර, අනිකුත් සියල්ලම සකස් වෙලා තිබෙන්නේ හේතුන්ගෙන්, මහ පොළොව සංඛතයක්, මහ සයුර සංඛතයක්, ඉර, හඳ, තාරකා සංඛත, සතර අපාය සංඛත, මනුලොව සංඛත, දෙලොව හය සංඛත, බඹලොව දහසය සංඛත, අරුප ලෝක හතර සංඛත, මේ සක්වල සංඛත, පිටසක්වල සංඛත, අපේ ශරීර සංඛත, අපි පරිහරණය කරන ඇදුම් පැලඳුම් සංඛත, යාන වාහන සංඛත, ඇඳපුටු ආදී පරිහරණය කරන භාණ්ඩ සංඛත, හැම දෙයක් ම සංඛත, හැම දෙයක් ම සකස්වෙලා තිබෙන්නේ යම් යම් හේත්තු සම්භාර, කාරණා රාශියක් නිසයි.

අසංඛත

අසංඛත කියන්නේ නිර්වාණ ධාතුවටයි. නිර්වාණ ධාතුව කිසිම හේතුවකින් හටගන්න දෙයක් නොවෙයි. නිර්වාණ ධාතුවේ නාම, රූප කිසිවක් නැහැ. ස්කන්ධ නැහැ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ නැහැ. චිත්ත චෛතසික ධර්ම නැහැ. කොටින්ම ඇතිව නැතිව යන කිසිවක් නිර්වාණ ධාතුවේ නැහැ. නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවූ බැවින්මයි කාලයකට යටත් නැතිවෙන්නේ. අතීත නිර්වාණය කියලා හෝ අනාගත නිර්වාණය කියල හෝ වර්තමාන නිර්මාණය කියලා හෝ නිර්වාණයට කාල පරිච්ඡේදයක් කාල භේදයක් නැත්තේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටනොගන්නා නිසයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා නම් එතන අනිත්‍ය, තිබෙනවා. දුක්ඛය තිබෙනවා. අනාත්මය තිබෙනවා. නිර්වාණ ධාතුවේ අනිත්‍ය ලක්ෂණයත්, දුක්ඛ ලක්‍ෂණයත් අනාත්ම ලක්‍ෂණයත් නැහැ. එනිසා, නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන් ගෙන් හට නොගත්ත නිසා අසංඛතයි.

සබ්බං සංඛතං අනවසේසං ජානාතීති සබ්බඤඤුඤාණං

ලෝක ධාතුවට අයිති හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, සිත ඇති සිත නැති සෑම ස්වභාවයක් ම, සෑම ධර්මතාවක් ම, සෑම නාම රූපයක් ම, සෑම ස්කන්ධයක්ම, සෑම ආයතනයක්ම, සෑම ධාතු ස්වභාවයක් ම ඉතිරිවක් නැතිව දන්නේ සර්වඥතාඥාණයෙන්, ඒ දැන ගැනීමේදී කිසිදු බාධාවක් නැති ස්වභාවය අනාවරණ ඤාණය නම් වෙනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)238

ෂට් අසාධාරණ ඤාණ 17
අසිරිමත් බුදුගුණ වරුණ 32
අනාවරණ ඤාණය 02

සර්වඥතාඥාණයත් අනාවරණ ඤාණයත් එකක් බව මිට පෙර ලිපියේ සඳහන් කළා. සියලු සංඛත, අසංඛතයන් සර්වප්‍රකාරයෙන් දැනීම, සර්වඥතාඥාණය නමිනුත් මෙහිලා අරමුණු කිරීමෙහිදී සංකත අසංකත වශයෙන් හෝ අතීත වර්තමාන අනාගත වශයෙන් කාල අවකාශ වශයෙන් හෝ එහිලා ආවරණයක්, බාධාවක් සීමාසහිත බවක් නැතිබැවින්, එය අනාවරණ ඥාණය වශයෙන් හඳුන්වන බව දැනගත්තා. සර්වඥතාඥාණය කොතරම් ප්‍රභලදැයි කිවහොත් සම්මා සම්බුදුවරයෙකු සතු ඒ සර්වඥතාඥාණය දේශණා කිරීමේදී පවා මහපොළව සෙලවී යන බව සඳහන් වනවා.

බ්‍රහ්මදත්ත මානවක තුමන් දෙදෙනාගේ බහින් බස් වීමක් නිමිතිකරගෙන “බ්‍රහ්මජාල සූත්‍රය” දේශනා කල අවස්ථාවේ එදා හැටදෙවාරයක් උන්වහන්සේ සර්වඥතා ඥාණය ප්‍රතිඥා කළා. ඒ හැටදෙවාරයම පොළව කම්පා වුණා.

තවත් අවස්ථාවක සාකේත නගරයේ කාලකාරාම සූත්‍රය දෙසූ දවසේ, හත් වාරයක් සර්වඥතාඥාණය ප්‍රතිඥා කළා. හත් වාරයක් ම පොළොව කම්පා වුණා.

තවත් අවස්ථාවක් තමයි, පන්සීයක් භික්ෂූන් වහන්සේලාට විශාලා මහනුවර සමීපයේ ගෝතමක චෛත්‍යස්ථානයේදී තුන්වාරයක් බුද්ධත්වය, සර්වඥතාඥාණය ප්‍රතිඥා කළා. මහ පොළොව තුන් වාරයක් කම්පා වුණා.

මේ තරම් පොළොව කම්පිත වෙන තරම්, පුදුම දෙයක් තමයි, තමන් වහන්සේ සර්වඥයි කියලා අභීතව ප්‍රකාශ කිරීම. මේ තරම් අභීතව සීහනාද කරන්න සුදුසු උතුම් වූ ප්‍රඥාව සර්වඥතා ඤාණයයි. සර්වඥතා ඤාණයෙහි සීමා රහිත අසීමිත බව අනාවරණ ඥාණයයි.

දැන් අපි සලකා බලමු, සර්වඥතාඥාණය පිළිබඳව ධර්මසේනාධිපති ශාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ වචන දෙස. වචන වශයෙන් ගැඹුරු වෙන්න පුළුවන්. අපි හැකිතාක් එය තේරුම් ගැනීමට පුළුවන් තරම් නුවණ යොදමු.

  1. අතීතං සබ්බං ජානාතීති සබ්බඤඤුඤාණං

 තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

අතීත කාලයෙහි යම්තාක් සංඛත අසංඛත තිබුණා නම්, ඒ සියල්ලම උන්වහන්සේ දන්නවා. ඒ සියල්ලම ආවරණයක් නැතිව දන්නවා. ඒ නිසා සර්වඥතාඥාණය අනාවරණ ඥාණයත් අතීත කාලය පිළිබඳව පවතිනවා.

  1. අනාගතං පච්චුපන්නං

අනාගත කාලයේ සංඛත, අසංඛත සියල්ල සර්වඥයන් වහන්සේ දන්නවා. එහි ආවරණයක් නැතිව දන්නවා. වර්තමාන කාලයේ සංඛත, අසංඛත සියල්ලම සර්වඥයන් වහන්සේ දන්නව. එහිලා ආවරණයක් නැතිව දන්නවා. එනිසා තුන් කාලය පිළිබඳව සියල්ල දන්නා බැවින්, සර්වඥතා ඤාණයයි. සියල්ල දැකීමේදී ආවරණයක් නැති නිසා, අනාවරණ ඥාණයයි.

  1. චක්ඛුඤ්චේ ව රූපා ච ඒතං සබ්බං ජානාතීති

සබ්බඤඤුඤාණං තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

අපි යමක් දක්නා ඇසක් තිබෙනවානෙ චක්ඛු කියලා. මේ චක්ඛුව පිළිබඳව සියල්ලත්, චක්ඛුවට අරමුණුවන වර්ණරුප සියල්ලත් ඒ සර්වඥයන් වහන්සේ දන්නව. ඒ දැනීම සවඥතා ඤාණයයි. ඒ හා දැකගැනීමට බාධාවක් නැති බව අනාවරණ ඤාණයයි.

  1. සෝත ප්‍රසාදය හා ශබ්ද අරමුණු

ඝාන ප්‍රසාදය හා ගන්ධ අරමුණු

ජිව්හා ප්‍රසාදය හා රස අරමුණු

කාය ප්‍රසාදය හා ස්පර්ශ අරමුණු

සිත හා සිතට අරමුණු වන ධර්ම අරමුණු,

මේ සම්බන්ධව ඒ සදොරත් සදොරට අරමුණු වන සෑම අරමුණත් පිළිබඳවත් සියල්ල දක්නා බැවින් සර්වඥතා ඤාණයයි. එහිලා ආවරණයක් නැති බැවින් අනාවරණ ඥාණයයි.

ඊළගට සඳහන් කරනවා ත්‍රිලක්‍ෂණය

  1. යාවතා අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනන්තට්ඨං

 තං සබ්බං ජානාතීති සබ්බඤඤුඤාණං

තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

අනිත්‍ය කියා යම් අර්ථයක් තිබෙනවා. දුක්ඛ නැමැති අර්ථයක් තිබෙනවා, අනාත්ම නැමැති අර්ථයක් තිබෙනවා.

අනිත්‍ය කියන්නේ – යමක් ඇතිව නැතිව යනවා නම් එය අනිත්‍යයි.

දුක්ඛය කියන්නේ – ඇතිවීම නැතිවී දෙකෙන් නිතර පෙලෙනවා නම් යමක්, ඒක දුකයි.

අනාත්ම කියන්නේ – කැමති කැමති සේ නොපවතිනවා නම් යමක් අසාර නිස්සාර නම් යමක්, එය අනාත්මයි.

අනිත්‍ය නිසා දුකයි. අනාත්මයි.

දුක්ඛය නිසා අනිත්‍යයි. අනාත්මයි

අනාත්මය නිසා අනිත්‍යයයි. දුකයි.

මේ තුන ඒකාබද්ධ ලක්‍ෂණ තුනක්. යම් වස්තුවක අනිත්‍ය ලක්‍ෂණය ඇතොත්, එතන තියෙනවා දුකත්, අනාත්මයත්. යම් තැනක දුක්ඛ ලක්‍ෂණය ඇතොත්, එතන තිබෙනවා අනිත්‍යයත්, අනාත්මයත්. යම් තැනක අනාත්ම ලක්‍ෂණය ඇතොත්, එතන තිබෙනවා අනිත්‍යයත්, දුකත්. මේ ත්‍රි ලක්‍ෂණයට කියනවා සාමඤ්ඤ ලක්‍ෂණ. පොදු ලක්‍ෂණ. සෑම වස්තුවක් ම පාසා තිබෙනවා.

ඊළඟට දේශනා කරනවා කවර කවර දෙයක් පිළිබඳව ද අනිත්‍ය දුක්ඛ, අනත්ත දකින්නේ කියල.

යාවතා රූපස්ස අනිච්චට්ඨං දුක්ඛට්ඨං

අනන්තට්ඨං තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤත ඥාණං,

තත්ථ ආවරණං නත්ථිති අනාවරණඤාණං

මේ ලෝකයේ යම්තාක් රූප ඇතොත්, රූප ජාති තියෙනවානේ සියල්ල සත්වසන්තාන තුළ 28ක්, බාහිර අචේතනික වස්තුවල නම් රූප ජාති අටක් හෝ නවයක්, ඒ සියලුම ආධ්‍යාත්මික, බාහිර වූ රූපයන් පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සියල්ල දක්නා බව සර්වඥතා ඤාණයයි. එහිලා ආවරණයක් නැති බව

අනාවරණ ඥාණය නම් වෙනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ නිද්දේශය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)239

ෂට් අසාධාරණ ඤාණ 18
අසිරිමත් බුදුගුණ වරුණ 33
අනාවරණ ඤාණය 03

 

6. යාවතා අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨං

විශිෂ්ඨ ඤාණයෙන්දතයුතු සියල්ල දන්නා බව අභිඥාර්ථයයි.

7. යාවතා පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨං

“පරිඤ්ඤට්ඨ” යනු පිරිසිඳ, පිරිසිඳකොට, දතයුතු ලෞකික ධර්මයි. එනම් දුක්ඛ සත්‍යය පිළිබඳ සියල්ලයි. පහානට්ඨ නම් ප්‍රහාණය කළයුතු සියල්ල දැනීමේ ඤාණයයි. එනම් සමුදය සත්‍යය පිළිබඳ දැනුමයි. භාවනටිඨ නම් භාවනා වශයෙන් දතයුතු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයයි. සච්චිකිරියට්ඨ නම් ප්‍රත්‍යක්‍ෂ කළයුතු නිර්වාණය අවබෝධයයි.

ඒ සියල්ල පිළිබඳ දන්නා වූ සර්වඥතා ඤාණයයි. එහිලා ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි. යාවතා භාවනාය භාවන…

භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග අංග තිබෙනවා. ඒ සම්බන්ධව අවබෝධ සර්වඥතා ඥාණයයි. ආවරණයක් නැති

බව අනාවරණ ඥාණයයි.

  1. යාවතා භාවනාය භාවනට්ඨං

භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග අංග තියෙනවා. ඒ සම්බන්ධ අවබෝධය සර්වඥතා ඥාණයයි. ආවරණයක් නැති

බව අනාවරණ ඥාණයයි.

  1. යාවතා බන්ධානං බන්ධිට්ඨං පෙ: ධාතුනං

ධතුට්ඨා පෙ: ආයතනානං ආයතනට්ඨංපෙ:

සඬබතානං සඬබතට්ඨං පෙ: අසඬබතස්ස

අසංඛතට්ඨං තං සබ්බං ජානාතීති සබ්බඤඤුත

ඤාණං තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

ස්කන්ධයන් පිළිබඳව යම්තාක් දතයුතු දේ ඇතොත්, ඒ සියල්ල දන්නා බව සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි. යම්තාක් අටලොස් ධාතූන් පිළිබඳව, දොළොස් ආයතන පිළිබඳව, සංඛත ධරම සියල්ල පිළිබඳව, අසංඛත නිර්වාණ ධාතුව පිළිබඳව දතයුතු දේ ඇතොත්, ඒ සියල්ල දක්නා ඥාණය සාර්වඥතා ඤාණයයි. ආවරණයක් නැතිබව අනාවරණ ඥාණයයි.

  1. යාවතා කුසලේ ධම්මේ සබ්බං ජානාතීති

සබ්බඤඤුත ඥාණං තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

කුසල ධර්ම සියල්ල විසිඑකක් තියෙනවානේ. කුසල් සිත් විසිඑකයි. එහි යෙදෙන චෛතසික තිස් අටයි. ඒ සියල්ලම දන්නා වූ ඤාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

යම්තාක් අකුසල තියෙනවා නම්, අකුසල චිත්තෝත්පාද වශයෙන් 12යි. සම්ප්‍රයුක්ත චෛතසික වශයෙන් 27යි. සියල්ල උන්වහන්සේ දන්නවා. ඒ සියල්ලම දන්නා වූ ඤාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

යම්තාක් අව්‍යාකෘත ධර්ම වෙතොත් ඒ කියන්නේ අව්‍යකෘත, විපාක, ක්‍රියා, ධර්ම සියල්ලත්, උන්වහන්සේ දන්නවා. ඒ දන්නා ඤාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

නැවත භූමි වශයෙන් වෙන් කරනව.

  1. යාවතා කාමාවචරේ ධම්මේ සබ්බං ජානාතීති

සබ්බඤඤුත ඥාණං තත්ථ ආවරණං නත්ථිති

අනාවරණඤාණං

කාමාවචර ධර්ම සියල්ල සිත් වශයෙන් 54යි. එහි යෙදෙන චෛතසික 52යි. රූප 28යි. මේ සියල්ල දක්නා ඥාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඤාණයයි.

  1. යාවතා රූපාවචරේ ධම්මේ පෙ:

රූපාවචර සිත් වශයෙන් 15යි. චෛතසික ධර්ම 35යි. මේ සියල්ලම මැනැවින් දන්නා වූ ඤාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

  1. යාවතා අරූපාවචරේ ධම්මේ පෙ:

අරූපාවචර ධර්ම සිත් වශයෙන් 12යි. චෛතසික වශයෙන් 30යි. මේ සියල්ලම මැනැවින් දන්නා වූ ඤාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

යාවතා පරියාපන්නේ ධම්මේ පෙ:

ලෞකික ධර්ම වශයෙන් සිත් 81යි. එහි යෙදෙන චෛතසික 52යි. රූප 28යි. මේ සියල්ලම මැනැවින් දන්නා වූ ඤාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

  1. යාවතා අපරියාපන්නේ ධමේ පෙ:

ලෝකෝත්තර සිත් 8යි. චෛතසික 36යි. නිර්වාණයයි. මේ සියල්ලම මැනැවින් දන්නා වූ ඤාණය සර්වඥතාඥාණයයි. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ නිද්දේශය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)240

ෂට් අසාධාරණ ඤාණ 19
අසිරිමත් බුදුගුණ වරුණ 34
අනාවරණ ඤාණය 04

 

  1. යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨං තං සබ්බං ජානාතීති

සබ්බඤඤුත ඥාණං තත්ථ ආවරණං නත්ථිති

අනාවරණඤාණං

දුක්ඛය පිළිබඳව යම්තාක් දුක්ඛාර්ථයක් වෙයි නම් පීලන, සංඛත, සංතාප, විපරිණාම, ඒ සියලුම දුක්ඛාර්ථයන් තත්වාකාරයෙන් දක්නා ඥාණය, සර්වඥතා ඤාණයයි.

සමුදය, නිරෝධය, මාර්ගය, අර්ථ ප්‍රතිසම්භිදාව, ධම්ම ප්‍රතිසම්භිදාව, නිරුත්ති ප්‍රතිසම්භිදාව, ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව, ඉන්ද්‍රිය පරෝපරිය ඥාණය, ආසය අනුසය ඥාණය, යමක ප්‍රාතිහාර්යය ඤාණය, මහා කරුණා සමාපත්ති ඥාණය, සර්වඥතාඥාණය, අනාවරණ ඤාණය කියන මේ ධර්මතා සියල්ල පිළිබඳව දන්නා ඤාණය සර්වඥතා ඤාණයයි. එහිලා ආවරණයක් නැති ඤාණය අනාවරණ ඥාණයයි.

 ඊළඟට දේශනා කළ සමස්ථයක් වශයෙන් සම්පිණ්ඩනය කරලා,

  1. යාවතා සදේවකස්ස, ලෝකස්ස, සමාරකස්ස, සබ්‍රහ්මකස්ස, සස්සමණබ්‍රාහ්මණියා පරියේසිතං, අනුච්චරිතං, මනසා, සබ්බං, ජානාතීති,

සබ්බඤ්ඤුතඥාණං, තත්ථ ආවරණං නත්ථිතී අනාවරණඥාණං.

දෙවියන් සහිත, මනුෂ්‍යයන් සහිත, බ්‍රහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, මේ ලෝක සත්වයා කෙරෙහි යම් යම් කෙනෙක් යමක් දකිනවා නම්, යමක් අහනවා නම්, යමක් ආඝ්‍රාහණය කරනවා නම්, යමක් රස විඳිනවා නම්, යමක් ස්පර්ශ කරනවා නම්, යමක් සිත සිතා සිටිනවානම්, තමා වෙත පැමිණි අරමුණක් හරි, තමා සොයාගත්ත අරමුණක් හරි, ඒ කවර විදිහ් අරමුණකින් සිටියත්, මේ ලෝක ධාතුවේ සත්වයෝ අනන්තයි. ඒ අනන්ත සත්වයන් එක එක්කෙනා සිතන, කියන, දකින, අහන, සෑම දෙයක් ම ආවර්ජනා කළ පමණින්, සර්වඥයන් වහන්සේ දන්නවා. එය සර්වඥතා ඤාණයයි. ඒ සම්බන්ධ ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

එනිසාම එම සැරියුත් මහරහතන් වහන්සේ, ගාථාවකින් නැවත එය සනාථ කරනව.

න තස්ස අද්දීට්ඨමිධත්ථි කිඤ්චි

අථෝ අවිඤ්ඤාතමජානිතබ්බං

සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං

තථාගතෝ තේන සමන්තචක්ඛු ති.

ඒ තථාගතයන් වහන්සේට අතීතකාලයේ නොපෙනෙන දෙයක් ඇත්තේම නැත. අනාගත කාලයේද අවබෝධ නොවන දෙයක් ඇත්තේම නැත. වර්තමාන කාලයේද නුවණින් නොදක්නා දෙයක් නැත. සියල්ලම ඒ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත් බැවින් “සමන්තචක්ඛු” නම් වන සේක.

මේ ඒ ගාථාවේ තේරුමයි. ඒ සමන්තචක්ඛු කියන වචනය තෝරාගන්නට බුද්ධ ඤාණ 14ක් ඉදිරිපත් කළා. දුක්ඛය, සමුදය, නිරෝධය මාර්ග ඥාණ 4යි. අර්ථ ප්‍රතිසම්භිදා ඤාණය, ධර්ම ප්‍රතිසම්භිදා ඥාණය, නිරුත්ති ප්‍රතිසම්භිදා ඤාණය, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඤාණය, ඉන්ද්‍රිය පරෝපරිය ඥාණය, ආසයානුසය ඥාණය, යමකමහා ප්‍රාතිහාරිය ඤාණය, මහා කරුණා සමාපත්ති ඥාණය, සර්වඥතාඥාණය, අනාවරණ ඥාණය යන මේ ඤාණ 14 ඉදිරිපත් කළා. සමන්තචක්ඛු කියන වචනය හදුන්වන්න. සමන්ත කියන්නේ හාත්පසන්නේ. හාත්පස දක්නා ඇස සමන්තචක්ඛු. හාත්පස දක්නා ඇසක් ඇති සර්වඥ තථාගතයන් වහන්සේටයි සමන්තචක්ඛු කිවේ. එතකොට මේ සමන්තචක්ඛු කියන සර්වඥයන් වහන්සේ සියල්ලම දකිනව.

  1. යාවතා දුක්ඛස්ස දුක්ඛයෝ සබ්බෝ

ඥාතෝ අඤ්ඤතෝ දුක්ඛට්ඨෝ නත්ථි ති සබ්බඤ්ඤුත ඤාණං

තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

දුක්ඛය පිළිබඳව යම් දුක්ඛ අර්ථයක් තිබෙනවා නම්, ඒ සියල්ලම උන්වහනසේ දන්නවා. නොදන්නා අර්ථයක් නැහැ. එලෙසින් ම සමුදය නිරෝධය, මාර්ගය ගැනත්, අර්ථ ප්‍රතිසම්භිදා ධර්ම ප්‍රතිසම්භිදා, නිරුක්ති ප්‍රතිසම්භිදා, ප්‍රතිභාන ප්‍රතිසභිදා ගැනත් ඉන්ද්‍රිය පරෝපරිය ඥාණය, ආසයානුසය ඤාණය යමක ප්‍රාතිහාර්ය ඥාණය, මහා කරුණා සමාපත්ති ඤාණය ගැනත් යමක් යමක් දතයුතු නම්, එහිලා සියල්ල දක්වා බැවින් සර්වඥතා ඥාණය නම් වෙනවා. ආවරණයක් නැති බව අනාවරණ ඥාණයයි.

නැවතත් සමස්ථයක් වශයෙන් ගෙන, ලෝකවාසී දෙවියන් සහිත, මනුෂ්‍යයන් සහිත, මාරයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, සමස්ථ ලෝක සත්වයා අතරට දක්නා ලද දේ, අසන ලද දේ, ආඝ්‍රාණය කරන ලද දේ, සිතන දේ, සියල්ලම ඒ සර්වඥයන් වහන්සේ දන්නව. උන්වහන්සේ නොදන්නා අරමුණක් ඇත්තෙන්ම නැත කියන එකයි. ඒ සමන්තචක්ඛු කියන වචනයෙන් සවඥතාඥාණය ඉදිරිපත් කොට වදාළේ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ නිද්දේශය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)241

ෂට් අසාධාරණ ඤාණ 20
අසිරිමත් බුදුගුණ වරුණ 35
අනාවරණ ඤාණය 05

 

න තස්ස අද්දිට්ඨමිධතථි කිඤ්චි

අථෝ අවිඤ්ඤමජාතිබ්‍බං

සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං

තථාගතෝ තේන සමන්තචක්ඛු ති.

අතීත කාලයේ යමක් දත යුතු නම් ඒ සියල්ල උන්වහන්සේ දැක වදාළ. අනාගත කාලයේ යමක් දත යුතු නම් ඒ සියල්ල ඒ තථාගතයන් වහන්සේ දකිනව. වරතමාන කාලයේ යමක් දතයුතු නම් ඒ සියල්ල ඒ සර්වඥයන් වහනසේ දකිනව.

ඒ නිසා සියල්ල දක්වා අර්ථයෙන් “සමන්තාචක්ඛු” නම් වෙනවා.

මෙතනදී අප තේරුම් ගන්නට ඕනෑ නැවත වරක්, “සර්වඥතාඤාණය ගැන ප්‍රතිඥා කරන ශාස්තෘවරු ඉන්නව. ඒ ශාස්තෘවරුන් කොටස් පහකට බෙදනවා.

  1. බණ සබ්බඤ්ඤු
  2. සකිං සබ්බඤ්ඤු
  3. සතත සබ්බඤ්ඤු
  4. සත්ති සබ්බඤ්ඤු
  5. ඤාත සබ්බඤ්ඤු වශයෙන්.

 

  1. බණ සබ්බඤ්ඤු

බණ සබ්බඤ්ඤු කියන ඇතැම් ශාස්තෘ කෙනෙක් ප්‍රතිඥා කරනවා, මම අනුපිළිවෙලින් තමයි සියල්ල දකින්නේ. ඉතිං අනුපිළිවෙලින් දැකල අවසන් වෙන්නේ කවදාද? ඒක පිළිගන්න බැරි සර්වඥතාවක්.

  1. සකිං සබ්බඤ්ඤු

 සකිං සබ්බඤ්ඤු කියන්නේ, මම සියල්ල එකවර දකිනව. ඒකත් වෙන්න බැරි දෙයක්. සියල්ල එකවර බලන්න බැරි එක එක ආකාර අරමුණුනේ තිබෙන්නේ. ඒ නිසා එයත් පිළිගන්න බැරි සර්වඥතාවක්.

  1. සතත සබ්බඤ්ඤු

 සතත සබ්බඤ්ඤු තවත් ශාස්තෘවරයෙක් කියනවා, මම නිරන්තරයෙන් සියල්ල දැක දැක ඉන්නවා. ඒකත් පිළිග න්න බැහැ. හේතුව ඇහෙන් දකින අරමුණු වෙනයි. කනෙන් අහන අරමුණු වෙනයි. එක එක දොරටුවෙන් ගන්න අරමුණු විවිධාකාර නිසා ඒක පිළිගන්න බැහැ.

  1. සත්ති සබ්බඤ්ඤු

සත්ති සබ්බඤ්ඤු කියන්නේ, මට ඕනෑම වේලාවක සියල්ල දැකගන්න පුළුවන්. ඒකත් පිළිගන්න බැහැ. විවිධාකාර අරමුණු තිබෙන බැවින් ඒක පිළිගන්න හැකි සර්වඥතාවක් නොවෙයි.

  1. ඤාත සබ්බඤ්ඤු

“ඤාත” කියන්නේ සියල්ල අරමුණු කළ පමණින් ආවර්ජනා කළ පමණින්, දැකගන්න පුළුවන් වෙනවා. මෙය නියම සර්වඥතාවයි. ඒ නිසා දර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ තවත් තැනක දේශනා කරනවා,

සබ්බේ ධම්මා බුද්ධස්ස භගවතෝ

ආවජ්ජනපටිබද්ධා ආකංඛණපටිබද්ධා

චිතුප්පාදපටිබද්ධා මනසිකාරපටිබද්ධා කියලා

 

තථාගතයන් වහන්සේට යමක් දැකගන්න අවශ්‍ය නම් ” ආවර්ජනපටිබද්ධා” ආවර්ජනා කළ පමණින්, ඒක දකින්න හැකි

වෙනවා. “ආකංඛණපටිබද්ධා” ඕනෑ කමක් තිබෙනවා නම් යමක් දකින්න, ඒ ඕනෑකම අනුව දකිනවා. “චිතුප්පාදපටිබද්ධා” යමක් දැකගන්න සිතක් පහළ කරගත්තොත් ඒ අනුව දකින්න පුලුවන් වෙනවා. “මනසිකාරපටිබද්ධා” යමක් මෙනෙහි කළ පමණින් දැකගන්න පුලුවන් වෙනවා.

මෙන්න මේ තමයි ඤාතසබ්බඤ්ඤා කියන වචනයේ තේරුම. ඥාත කියන්නේ මෙතන ලෝකයේ දතයුතු දේවල් තිබෙනවා සියල්ල පහක්. ඒවට කියනවා පංච විධ ඥෙය්‍ය මණ්ඩල. මොනවාද පංචවිධ ඥෙය්‍ය මණ්ඩලය කියන්නේ,

  1. සංකාර 2. විකාර 3. ලක්ඛණ 4. නිර්වාණ 5. පඤ්ඤප්ති

මේ පහට මුලු ලෝකයේ සියල්ලම අයිති වෙනවා.

මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ සතු සර්වඥතාඤාණය සහ එහි ආවරණයක් නොමැතිකම ෂට් අසාධාරණ ඤාණයන්හි අවසාන ඥාණය වශයෙන් අනාවරණ ඤාණය හදුන්වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ නිද්දේශය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)242

දශබලඥාන හැඳින්වීම
අසිරිමත් බුදුගුණ වරුණ 36

ඤාණ සාගරයේ අතරමංවීම

අවිදුරේ නිධානය අවසන් කිරීමට මත්තෙන් අප මහා බුදුපියාණන් වහන්සේ බෝධිමුලයේදී අවබෝධකොටගත් බුද්ධ ඥානයෙන් ගැන යමක් ලියන්නට හිතුවා. එහෙත් ලියාගෙන යන විට එහි අතරමං වූ බවක් වගේ දැනුණේ එය මහා සාගරයක් වගේ වන බැවින්. මුළු මහත් ත්‍රිපිටකයේ අසුහාරදහසක් ධර්මස්කන්ධය පුරාම ලියවී ඇත්තේ ඒ මහා අවබෝධයයි. කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරකරන්නද කියා සිත සිතා සිටින විට ඉදිරියේදී තව බොහෝ කරුණු ලිවීමට ඇති බැවින් දශබලඥාන චතු විශාරදඥාන ගැන ලියා අවිදුරේ නිධානය අවසන් කරන්න යනුවෙන් සිත කීවේ තව ජීවිත්වීමට ඇති කුඩා කාලය ගැන සිතමින් අපේ බුදුහාමුදුරුවෝ නම් වූ ඒ ශ්‍රේෂ්ඨ චරිතාපදානයට උපරිම සාධාරණයක් ඉටු කිරිමට නිසා වෙන්නටත් ඇති. ඒ නිසා මෙතැන් සිට දශබලඥාන සම්බන්ධව කෙටියෙන් සහ මට කරුණු කියවීමට ලැබූ සැටියෙන් ලියවෙනවා.

හැඳින්වීම

“මහණෙනි, මෘගරාජන්වූ සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කිලිපොලයි. කිලිපොලා හාත්පස සිවු දිග බලයි. හාත්පස සිවු දිග බලා තුන් වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කර ගොදුරු පිණිස පිටත් වෙයි. ඊට හේතු කවරේද? ‘මම විසම ස්ථාවල සිටින පොඩි සතුන් විනාශයට නොපමුණුවමිය’ යි සිතායි.

“මහණෙනි, සිංහ යනු අර්හත් සම්‍යක් සම්බුද්‍ධ තථාගතයන් වහන්සේට නමකි. මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසෙහි යම් ධර්මයක් දේශනා කෙරේද, මෙය උන් වහන්සේගේ සිංහ නාදය වෙයි.

“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උතුම් කරුණ දන්වයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ.

මෙලෙස දස බලඥාන නාමයෙන් හඳුන්වන විශේෂ ඥාන දශයක් තථාගතයන් වහන්සේටතියෙනවා. ඒ ඥානයන් නිසාත් තථාගතයන් වහන්සේට ලෝකයේ උසස් ම තැන හිමි වී තිබෙනවා. එය දසබල ඤාණ නමින් අඞ්ගුත්තරනිකායේ » දසකනිපාතපාළියේ » මහාවග්ගයේ » දසබල සූත්‍රයේ මෙලෙස හැඳින්වෙනවා.

දශබල ඥානයෝ නම් :-

  1. ඨානාඨානකෝසල්ල ඤාණය,
  2. විපාක ඤාණය,
  3. සබ්බත්ථගාමිනීපටිපදා ඤාණය,
  4. අනේකධාතු නානාධාතු ඤාණය,
  5. නානාධිමුත්තික ඤාණය,
  6. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය,
  7. ඣානවිමොක්ඛසමාධිසමාපත්ති ඤාණය,
  8. පුබ්බේනිවාසානුස්සති ඤාණය,
  9. දිබ්බචක්ඛු ඤාණය,
  10. ආසවක්ඛය ඤාණය,යන මොවුහු ය.

‘දස ඛෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’

තව දුරටත් මෙසේ මහාසීහනාද සුත්‍රයෙහි වදාරා ඇති පරිදි තථාගතයන් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල දශයක් තිබෙනවා. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි වාසය කරන උසස් පිරිස් අතර උත්තම ස්ථානයට පැමිණි සිටිනවා. ඒ පිරිස් මෙසේයි.

  1. ක්ෂත්‍රිය පිරිස ය,
  2. බ්‍රාහ්මණ පිරිස ය,
  3. ගෘහපති පිරිසය.
  4. ශ්‍රමණ පිරිස ය,
  5. චාතුර්මහාරාජික පිරිස ය,
  6. තාවතිංස පිරිසය,
  7. මාර පිරිස ය,
  8. බ්‍රහ්ම පිරිසය යන අට පිරිසෙහි අභීත සිංහනාද පවත්වනවා. බ්‍රහ්මචක්‍ර නම් වු උත්තම ධර්‍මචක්‍රය පවත්වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය, සහ පටිච්ච සමුප්පාද විවරණ ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)243

දශබලඥාන 02
අසිරිමත් බුදුගුණ වරුණ 37
පළමුවන තථාගත බලය

 

  1. ඨානාඨානකෝසල්ල ඤාණය (ස්ථානාස්ථාන දන්නා නුවණ)

‘ඉධ සාරිපුත්ත තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති.’

(මහාසීහනාද සුත්ත)

මේ පාඨයෙහි ඨාන යන වචනයෙන් දක්වන්නේ ඒ ඒ කරුණු සිදුවීමේ ඒ ඒ දෙය ඇති වීමේ හේතුව ය. අට්ඨාන යන වචනයෙන් දැක්වෙන්නේ හේතු නොවන දෙය ය.

එහි කෙටි අර්ථය

තථාගතයන් වහන්සේ ඒ ඒ දෙය සිදුවීමේ හේතු ද නිවරදි ලෙස දන්නාහ. එසේ ම අහේතු ද නිවරදි ලෙස දන්නාහ. ඒ හේතු අහේතු දෙක ඇති සැටියට ම නො වරදවා දන්නා නුවණ පළමුවන තථාගත බලය ය. ඒ බලයෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රස්ථානයට පැමිණ සිටින්නාහ. අටපිරිස මැද සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ.

එහි තේරුම රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ විස්තර කර ඇති ආකාරය අනුව

මේ ඥානයෙන් තථාගතයන් වහන්සේ සෝවාන් පුද්ගලයෙකු විසින් කිසි සංස්කාරයක් නිත්‍යය කියා ද සුඛය කියා ද ආත්මය කියාද වරදවා සිතා ගැනීමට කරුණක් නැති බව දන්නා සේක. පෘථග්ජනයකු විසින් නම් එසේ වරදවා සිතා ගැනීමට කරුණු ඇති බව දන්නා සේක.

සෝවාන් පුද්ගලයෙකු විසින් මව මැරීමට පියා මැරීමට රහතුන් මැරීමට නපුරු සිතින් තථාගත ශරීරයෙහි ලේ මතුකිරීමට සංඝයා බිඳවීමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයකු විසින් එසේ කිරීමට කරුණු ඇති බව දන්නාහ.

සෝවාන් පුද්ගලයකු විසින් භාවාන්තරයේ දී වුව ද බුදුරදුන් හැර අන්‍යයකු තමාගේ ශාස්තෲවරයා සැටියට පිළිගැනිමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයන්ට වනාහි අන්‍යයන් තමන්ගේ ශාස්තෘවරයා සැටියට පිළිගැනීමට කරුණු ඇති බව දන්නාහ.

සෝවාන් පුද්ගලකුට සසර අටවන වරටත් ඉපදීමට හේතුවක් නැති බවත්, එක් ලෝකධාතුවක එකවර ලොවුතුරා බුදුවරයන් දෙනමක් පහළවීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එකවර සක්විති රජුන් දෙදෙනකු පහළවීමට හේතු නැති බවත්, ස්ත්‍රිත්වයෙහි සිට ලොවුතුරා බුදු විය හැකි වීමට චක්‍රවර්ති රජ විය හැකිවීමට, ශක්‍රන්‍වය කළ හැකි වීමට මාරත්වය කළ හැකි වීමට බ්‍රහ්මත්වය කළ හැකි වීමට හේතුවක් නැති බවත් දන්නා සේක. කායදුශ්චරිත වාක්දුශ්චරිත මනෝදුශ්චරිත යන මේවායින් ඉෂ්ඨ විපාක ලැබිමට කරුණක් නැති බවත්, කායසුචරිත වාක්සුචරිත මනෝසුචරිත යන මේවායින් අනිෂ්ටවිපාක ලැබීමට කරුණක් නැති බවත් දන්නාහ. මෙසේ සියල්ල පිළිබඳව හේතු අහේතු දන්නාහ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)244

දශබලඥාන 03
අසිරිමත් බුදුගුණ වරුණ 38

 

  1. දෙවන තථාගත බලය. (පළවෙනි කොටස)

කාලත්‍රයවර්තී වු කර්‍මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදනානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’

(මහා සීහනාද සුත්ත)

අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි වු කූශලාකුශලකර්මයන්ගේ විපාක තත්ත්වාකාරයෙන් දන්නා නුවණ දෙවන තථාගත බලය බව මේ පාඨයෙන් දැක්වේ. කර්මවිපාක තත්වය ඉතාම ගැඹුරු කරුණෙකි. එය බුදුවරුන්ට මිස ශ්‍රාවකයනට අවිශය කරුණකි. ශ්‍රාවකයන්ට දත හැක්කේ කර්මවිපාකයෙන් සුළු කොටසක් පමණෙකි. තමතමන්ට දත හැකි ප්‍රමාණයෙන් කර්මවිපාක තත්ත්වය දැන ගැනීමට ශ්‍රාවකයන් විසින් ද උත්සහ කළ යුතුය. එය සර්වාකාරයෙන් ම දැනගන්නට උත්සහ කළ හොත් සිතන්නට ගිය හොත් ඉන් ශ්‍රාවකයා අමාරුවට පත් වෙනව මිස ඔහුට අන් පලක් නො ලැබේ.

එහෙයින්:-

‘කම්මවිපාකො භික්ඛවේ, අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චිනිතෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

යනුවෙන් ‘මහණෙනි, කර්මවිපාකය නො සිතිය යුත්තකි. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ය’ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

තථාගතයන් වහන්සේගේ කර්මවිපාකඥානය වු දෙවන තථාගතබලය අභිධර්මපිටකයේ විභංගප්‍රකරණයේ ඤාණවිභංගයේ මෙසේ සොළොස් ආකාරයකින් විස්තර කර තිබේ.

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ගතිසම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නො හැකි ව ඇත් ඇතම් පාපකර්මයෝ ඇතහ යනු එහි තේරුමය.

ගති යනු ආත්මභාවයට නමෙකි. කුශලකර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්මභාවයෝ ගතිසම්පත්තිය ය. කුශලකර්මයකින් යහපත් ආත්මභාවයක් ලද කල්හි බෙහෙවින් කුශලකර්මයෝ ම විපාක දෙති. අතීතයෙහි කළ බොහෝ අකුශලකර්ම ඇතියවුට ඒ ආත්මභාවයේ දී ඒවා විපාක නො දෙති. ගතිසම්පත්තිය ඒවායේ විපාක දීම වළක්වයි.

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපාධිසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

උපධිසම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා විපාක නො දෙන ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ යනු එහි තේරුම ය.

උපධිසම්පත්තිය යනු හොදීන් වැඩුණු අංගප්‍රත්‍යංග ඇති ශීතෝෂ්ණාදියට ඔරොත්තු දෙන වැඩට ඔරොත්තු දෙන වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇති කරන ශෝභන ශරීරය ය. අතීතයෙහි කළ බොහෝ අකුශල කර්මයන් ඇතියකු විසින් යම්කිසි කුශලයකින් උපධිසම්පත්තිය ලද මොත් රූපශෝභාව නිසා ඔහුට ගිය ගිය තැන සැළකිලි ලැබේ. උපධිසම්පත්තිය ඇති තිරිසන් සතාද බොහෝ සැප ලබති. ඇතැම් තිරිසනුන් දුප්පත් ඇතැම් මිනිසුන්ට ද වඩා සැප ලබන්නේ උපධිසම්පත්තිය නිසා ය. උපධිසම්පත්තිය ඇති තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය බැවින් ඔහුට බොහෝ දෙනාගෙන් සැළකිලි ලැබෙන බැවින් සාගින්නේ සිටවන පාපකර්මය ඔහු සාගින්නෙන් සිටවීමට සමත් නොවේ. හොද ඇඳුම් පැළදුම් නැති කොට, කිළිටි වැරහිලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැතිකිරිමට සමත් නොවේ. වාසස්ථානයක් නැති කරන කර්මය ඔහුට වාසස්ථානයක් නැතිකිරිමට සමත් නොවේ. මෙසේ උපධිසම්පත්තිය නිසා බොහෝ අතීත අකුශලකර්මයෝ තමන්ගේ විපාකය ඇති කිරිමට නො සමත් වෙති.

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

කාලසම්පත්තිය වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නො දෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇතහ යනු එහි තේරුම ය.

හොඳ රජුන් ඇති හොඳ ආණ්ඩු ඇති, කලට වැසි ලැබෙන – පමණට වැසි ලැබෙන කාලය සම්පත්ති කාලය ය. සම්පත්තිකාලයේ කාහටත් පහසුවෙන් ජීවත් විය හැකි ය. සත්ත්වයන් සාගින්නෙන් පෙළන පිපාසාවෙන් පෙළන රෝග වලින් පෙළන තවත් නොයෙක් අයුරින් සත්වයන් පෙළන අකුශල කර්මයන්ට කාලසම්පත්තියේ දී සත්වයන් පෙළිමට ඉඩ නො ලැබේ. තමන්ගේ විපාක දානයට කාලසම්පත්තිය බාධා කරන බැවින් ඇතැමුන්ගේ බොහෝ අකුශලකර්මයෝ විපාක නො දි පවතිත්.

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ප්‍රයෝගසම්පත්තියෙන් බාධිත බැවින් විපාක නො දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇතහ. ප්‍රණවධාදි අකුශල ක්‍රියාවලින් වැළකීම, සුචරිතය පිරීම, පමණට ආහාර ගැනීම, පමණට වියදම් කීරීම, ගොවිකම් අත්කම් ආදියෙහි යෙදීම, අන්‍යයන් හා හොදීන් විසීම ප්‍රයෝගසම්පත්තිය ය. එහි අනික් පැත්ත ප්‍රයෝගවිපත්තිය ය. ඇතැමකුට බොහෝ අතීත පාපකර්මයන් ඇත ද එයින් බොහෝවක් ප්‍රයෝගසම්පත්තිය ඇති ව සිටිනා කල්හි විපාක දීමට සමත් නො වන්නාහ.

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ගතිවිපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. අපායගතිය ගතිවිපත්තිය ය. යම්කිසි අකුශලයකින් අපායෙහි උපත හොත් ගතිසම්පත්තිය නිසා විපාක දීමට අසමත් ව තුබු අකුශලකර්මයෝ ගතිවිපත්තියේ දී විපාක දෙන්නට පටන් ගන්නාහ. ඉතා දුබල වූ ද අකුශලකර්මයට ගතිවිපත්තියේ දී විපාක දීමට අවකාශ ලැබේ. ගතිවිපත්තියට වරක් පැමිණියා වූ සත්වයාහට ඔහු නැවත නැවත වරින් වර දිගට ම තිරිසන් බවින් ප්‍රේත බවට ද ප්‍රේතලෝකයෙන් නරකයට ද නරකයෙන් නැවත තිරිසන් බවට ද ප්‍රේතබවට ද පමුණුවමින් දිර්ඝකාලයක් අකුශලකර්මයෝ විපාක දෙන්නාහ. ඉතා දිර්ඝකාලයකින් මිස නැවත ඔහුට සුගතියට එන්නට ඉඩ නො ලැබෙන්නේ ය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)245

දශබලඥාන 04
අසිරිමත් බුදුගුණ වරුණ 39
  1. දෙවන තථාගත බලය. (දෙවන කොටස)

 

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

උපධිවිපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. ශරීරය අශෝභන විම හා අංග විකල වීම උපධිවිපත්තිය ය. ඇතැමුන්ට උපධි විපත්තිය උත්පත්තියෙන් ම හිමි වේ. ඇතැම්හු උත්පත්තියෙන් උපධිසම්පත්තිය ලබා පසු කාලයේ රෝගයන් හා අන්තරායයන් නිසා උපධිපත්තියට පැමිණෙති. උපාධිවිපත්තියෙහි පිහිටි විරූපී පුද්ගලයා ජනයාට අප්‍රිය ය. සහෝදර සහෝදරියන්ට මවු පියන්ට වුව ද එතරම් ප්‍රිය නැත. මා පියෝ ද උපධි සම්පත්තිය ඇති දරුවාට වඩා සලකති. එය නැති දරුවාට වැඩි සැලකිල්ලක් නො කරති. ගිය ගිය තැනදි විරූපී පුද්ගලයා කොන් කරති. ඒ නිසා උපධිසම්පත්තියේ දී විපාකදීමට නො සමත් දුබල අකුශලකර්මයෝ ද මේ අවස්ථාවේ දී ඔහුට විපාක දෙති.

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාල විපත්තිං ආගම්ම විපච්චන්ති.

කාල විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. නපුරු රජුන් ඇති නපුරු ආණ්ඩු ඇති, නපුරු මිනිසුන් ඇති, කලට වැසි නො ලැබෙන ගොවිතැන් පාළු වන රෝග බහුල ආහාර දුබල කාලය විපත්තිකාලය ය. කාලවිපත්තියේ දී මනුෂ්‍යයාට නිතර ම පැමිණෙන්නේ දුක් කරදර ය. ඒ දුක් කරදර පැමිණිම කාලසම්පත්තියේදී විපාක දීමට නො සමත් ම තුබු දුබල පාපකර්මයන් විපාක දීමට පටන් ගැනීම ය.

  1. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයෝගවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ප්‍රයෝගවිපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මයෝ ඇතහ. බේබදුකම, සල්ලාලකම, සූදූව, පමණට වඩා උඬඟු වීම, අසල්වැසියන් විරුද්ධ කර ගැනීම, නො සැළකිල්ලෙන කටයුතු කිරිම හා තවත් නොයෙක් පව්කම් කිරිම ප්‍රයෝගවිපත්තිය ය. ඒ නිසා ඇතැමුන්ට නින්ඳා ලබන්නට පහර කන්නට නඩුවලට අසු විමට රෝග වලට ගොදුරු වීමට රැකියාවෙන් පහ වීමට සුදු වේ. සමහර විට ඔවුන්ගේ ධනය ද සතුරෝ පැහැර ගනිති. සමහර විනාශ කර දමති. එසේ දුක් කරදර අලාභ හානි වීම ප්‍රයෝගසම්පත්තියේ දී විපාක නො දිය හැකිව තුබු පාපකර්මයන් ප්‍රයෝගවිපත්තියේ දී විපාක දීම.

  1. අත්ථෙකච්චානි පාපකානි කළ්‍යාණානි ගතිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති

ගති විපත්තිය නිසා විපාක නො දෙන්නා වූ ඇතැම් කුශල කර්මයෝ ඇතහ. ඇතැම්හූ බොහෝ පින්කම් කරති. එසේ පින්කළ අයගෙන් ඇතමෙක් මරණාසන්නයේ දී දූ දරුවන්ට හෝ ගේ දොර වතු පිටිවලට හෝ සඟවා ඇති යම්කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිට ප්‍රේත ව හෝ තිරිසන්ව හෝ උපදිති. ප්‍රේත ගතිය තිරශ්චීන ගතිය කුශලයන්ට විපාක දීමට තැනක් නො වන බැවින් ගතිවිපත්තියෙන් ඒ කුශලයෝ විපාක නො දෙති. තිරශ්චීන ප්‍රේතගති දෙක්හි ස්වල්ප වශයෙන් කුශලයන්ට විපාක දීමට අවකාශ ඇත. නිරයගතියට හෝ අසුර ගතියට පැමිණිය හොත් එහිදී කුශලයන් හට විපාක දීමට තැනක් ඇත්තේ ම නැති බව කිය යුතු ය.

  1. අත්ථෙකච්චානි කළ්‍යාණානි කම්මසමාදානානි උපධිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති

උපධි විපත්තියෙන් බාධා වීම නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇතහ. බොහෝ පින් ඇත්තා වූ කෙනකු යම්කිසි පාපකර්මයකින් ප්‍රේතයකු සේ විරූපව උපත හොත් ඉපදීමෙන් පසු සුදුකබර ආදි රෝගයකින් හෝ විරූප වුව හොත් අනතුරකින් අංගවිකලත්වයට හෝ පැමිණිය හොත් ඔහුට උපාධිසම්පත්තියේ දී විපාක දිය හැකි කුශල කර්මයෝ විපාක නොදෙති. උපධි විපත්තිය නිසා බිරියක් ලැබිමට පින් ඇති තැනැත්තා බිරියක් නොලබයි. සැමියකු ලැබිමට පින් ඇති කත සැමියකු නො ලබයි. උසස් තනතුරු ලැබීමට පින් ඇත්තා තනතුරු නො ලබයි. පැවිද්ද ලැබීමට පින් ඇත්තා පැවිද්ද නො ලබයි.

  1. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලවිපත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

කාලවිපත්තිය නිසා විපාක නො දෙන්නා වු ඇතැම් කුශලකර්මයෝ ඇතහ. ලෝකය ගුණධර්ම වලින් පිරිහී ඇති, නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලය පවතින දුර්භික්ෂභය රෝගභය අමනුෂ්‍යභය ඇති විපත්තිකාලයේ දී අතීතයෙහි කළ පින් ඇතියවුන්ට ද සැපසම්පත් නො ලැබේ. ඒ කාලයේදී සම්පත් ලබා දීමට කුශලකර්ම සමත් නො වේ. බොහෝ සම්පත් ලබා දීමට සමත් කුශලකර්මය වුව ද ඒ කාලයේදී සමත් වන්නේ සුළු සැපතක් ලබාදීමට පමණෙකි.

  1. අත්ථෙකච්චානි කල්‍යාණාකි කම්මසමාදානානි පයොග විපත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ප්‍රයෝගවිපත්තිය නිසා විපාක නො දෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ. නො මනා පැවැත්ම ඇති කල්හි මොහු බේබද්දෙක සල්ලාලයෙක සොරෙක බොරුකාරයෙක කපටියෙක කියා සෙස්සෝ ඔහු වර්ජනය කරති, ගෙදරකට බාර නො ගනිති. ගෙදරකට පැමිණිය ද ඔහු ආදරයෙන් නො පිළිගනිති. මේ ධනය මොහුට පැවරුහහොත් විනාශ කරනු ඇත කියා එබඳු දරුවාට දායාද දීමට මවුපියෝ නො කැමති වෙති. එවනි පුද්ගලයාට අතීත කුශලයන් ඇත ද ප්‍රයෝගවිපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබේ.

  1. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

ගතිසම්පත්තිය නිසා විපාක දෙන්නා වු ඇතැම් කුශලකර්‍මයෝ ඇතහ. ඇතැමකුට ඇත්තා වු කුශල කර්‍මයෝ ගතිවිපත්තියට පැමිණ ඇති බැවින් විපාක නො දෙති. එබඳු පුද්ගලයකුට යම්කිසි කුශලයකින් සුගතියෙහි උපන හොත් එතැනට ඒ කර්ම පැමිණ වරින් වර විපාක දෙන්නට වන්නේය. එසේ විපාක දෙන්නට පටන් ගැනීම නිසා හෙතෙමේ මිනිස් ලොවින් දෙව්ලොවට දෙව්ලොවින් මිනිස් ලොවට නැවත නැවත උපදිමින් සැප ලබන්නේ ය.

  1. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි උපධිසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

උපධිසම්පත්තිය නිසා විපාක දෙන්නා වු ඇතැම් කුශලකර්මයෝ ඇතහ. උපධිසම්පත්තිය ඇත්තේ ජනයාට ප්‍රිය ය. ගිය ගිය තැනදී ඔහු ආදරයෙන් පිළිගනිති. ඔහුට සංග්‍රහ කරති. නැවත ද පැමිණෙන්නට ආරාධනා කරති. උපධිසම්පත්තිය ඇති දරුවා ගැන වැඩි ආදරයක් මවුපියන්ට වුවද ඇති වේ. එබැවින් ඔවුහු උපධිසම්පත්තිය ඇති දරුවාට වැඩි සැලකිල්ලක් දක්වති. ඔහු දියුණු කිරීමට වැඩියෙන් උත්සහ කරති. වැඩක් ඇති කල්හි ඔහු ලවා එය නො කරවා තුමු ම කර ගනිති. වැඩ කරන කල්හි ද ලෙහෙසි වැඩ ඔහුට දී බර වැඩ තුමු කරති. මේ සැලකිලි ලැබීම කුශලකර්ම වල විපාක දීමකි. එහෙත් එය ලැබෙන්නේ උපධි සම්පත්තිය ලද හොත් ය.

  1. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

කාලසම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුශල කර්මයෝ ඇතහ. සමහර කෙනෙකුට බොහෝ පිං ඇත. එහෙත් විපත්තිකාලවලදී විපාක ඇති කිරීමට ඒ පින් සමත් නොවේ. සම්පත්ති කාලය පැමිණි විට කාලවිපත්තියෙන් යටපත්ව තිබු ඒ කුශලකර්මයෝ බොහෝ සුඛවිපාක ගෙන දෙති. විභංග අටුවාවෙහි එයට සාධක වශයෙන් මහාසෝණ තෙරුන් වහන්සේගේ හා වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ කථා දක්වා තිබේ. කර්මතත්ත්වය පමණක් නොව පැරණි හාමුදුරුවන්ගේ හා සැදැහැවත් ගිහි බෞද්ධයන්ගේ තතුද දැන ගැනීමට උපකාර වන බැවින් බෞද්ධයන් අතර ප්‍රසිඬියක් නැති ඒ කථා දක්වනු ලැබේ.

  1. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි පයොගසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

ප්‍රයෝගසම්පත්තිය නිසා විපාක දෙන්නා වු ඇතැම් කුශල කර්මයෝ ඇතහ. ඇතමතුට බොහෝ පින් ඇත ද ප්‍රායෝගසම්පත්තිය නැති කල්හි ඒවා විපාක දීමට අසමත්ව තිබී ප්‍රයෝගසම්පත්තිය ඇතිවු විට විපාක දෙයි. ගුණදම් පිරීම ප්‍රයෝගසම්පත්තියය.

තවද ‘අහෝසි කම්මං අහෝසි කම්ම විපාකෝ’ යනාදීන් පටිසම්පදාමග්ගයේ දැක්වෙන කර්මවිභාගය ද මෙතන්හි දැක්විය යුතුය. සර්වාකාරයෙන් ම කර්ම හා විපාකයන් තත්ත්වාකාරයෙන් දන්නාවූ ඥානය මෙලෙස දෙවන තථාගත බලය වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)246

දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 40
  1. තුන්වන තථාගත බලය –

සබ්බත්ථගාමිනීපටිපදා ඤාණය – සර්වත්‍රගාමිනී ප්‍රතිපත් දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’

(මහාසීහනාද සුත්ත)

‘තථාගතයන් වහන්සේ සත්ත්වයන් සුගති දුර්ගති භවවලට පැමිණෙන්නා වු ද, අර්හත්ව ආදි තත්ත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නා සේක ඒ දැනීම තථාගතයන් වහන්සේගේ එක් තථාගත බලයෙකි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයේ උච්චස්ථානයට පැමිණ ඇත්තාහ. පිරිස්වල සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත් වන්නාහ’ යනු ඒ පාඨයේ තේරුම ය.

සසර සැරිසරනා සත්ත්වයන් ඒ ඒ සුගති දුර්ගති භවවලට පැමිණෙන්නේ ඔවුන් කළ කර්මයන් අනුව ය. එක් එක් කර්මයකින් ලැබෙන විපාකය සැමටම ඒකාකාරයකින් ම ලැබෙන්නේ නො වේ. ප්‍රාණඝාතාදි එක් එක් කර්මයකින් අනේකාකාර විපාක ලැබෙන්නේ ය. දානාදි එක් එක් කුශලකර්මයකින් ලැබෙන විපාක ද අනේකාකාර වන්නේ ය. ගමක මිනිසුන් එක් ව සැම දෙනාගෙම ප්‍රයෝජනය පිණිස සතකු මැරූ කල්හි සැම දෙනාටම වෙනසක් නැතිව ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ. සෑම දෙනාට ම ප්‍රාණඝාත චේතනාව ඇතිවේ. ඔවුනට එක සතා මැරීමේ විපාකය ලැබෙන්නේ එක් එක් තැනැත්තාට වෙනස් වෙනස් ආකාරවලිනි. ඒ සතා මැරීමට එකෙක් තමාගේ ඕනෑකමින්ම ද අනිකෙක් අනුන් කතා කරන නිසා නො කැමෙත්තෙන් ද එයට සහභාගි වේ. අනිකෙක් කැමැත්තෙන් සහභාගි වේ. තවත් එකෙක් විනෝදය පිණිස එයට සහභාගි වේ. එයින් එකම සතා මැරිමේදි පාපකර්මය ඒ ඒ පුද්ගලයාට වෙනස් වෙනස්ව ඇතිවේ. එබැවින් එක් වී එක් සතෙකු මැරීමේ පාපයෙන් එයට සහභාගි වූවන් අතුරෙන් එකෙක් මහානරකයෙහි උපදී. එකෙක් කුඩානරකයක උපදී. එකෙක් ප්‍රේත ව උපදී. එකෙක් අසුරකායයෙහි උපදී. එකෙක් තිරිසන් අපායෙහි උපදි. තිරිසන් අපායෙහි උපදනා කල්හි ද එකෙක් බලු ව උපදී. එකෙක් කපුටු ව උපදී. එකෙක් බළල් ව උපදී. ගව ව උපදී. මෙසේ එක ම සතකු මැරීමේ පාපය අනේකාකාරයෙන් විපාක දෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ සියල්ල සර්වාකාරයෙන් දන්නා සේක. ගමක මිනිසුන් එකතුව දානයක් දුන් කල්හි සැමදෙනාටම ඇතිවුයේ දානය අරමුණ කරන කුශල චේතනාවකි. එහෙත් ඒ කර්මයෙන් ඇතමෙක් මිනිස් ලොව උසස් පවුල් වල උපදිති. මධ්‍යම පවුල් වලත්, ඇතමෙක් පහත් පවුල්වලත් උපදිති. ඇතමෙක් චාතුර්මහාරාජිකයෙහි ද, ඇතමෙක් තාවතිංසයෙහි ද, ඇතමෙක් යාමයෙහි ද, ඇතමෙක් තුෂිතයෙහි ද, ඇතමෙක් නිර්මාණරතියෙහි ද, ඇතමෙක් පරනිර්මිත වශවර්තියෙහි ද උපදිති. ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නා සේක. කර්මවලින් ඇතමෙක් ප්‍රතිසන්ධි දානය කෙරෙති. ඇතමෙක් ප්‍රවෘත්තිවිපාක පමණක් දෙති. ඇතමෙක් කිසිවිපාකයක් නො දෙති. ඒ සියල්ල ද තථාගතයන් වහන්සේ දන්නා සේක.

ජනසමූහයක් විදර්‍ශනා වඩනා කල්හි ඔවුන් විදර්‍ශනා කරන සැටියෙන් මොහු මේ විදර්‍ශනා කිරීමෙන් අර්හත් ඵලයට පැමිණෙන්නේ ය. මොහු අනාගාමී. ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු සකෘදාගාමී ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු සෝවාන් ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු මාර්ගයකට ඵලයකට නොපැමිණෙන්නේ ය. මොහු ලක්ෂණාරම්මණ විදර්‍ශනාවෙන් නවතින්නේය. මොහු ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු නාමරූපපරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු අරූප පරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු රූපපරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහුට කිසි ඥානයක් ලැබිය නො හෙන්නේ ය යි තථාගතයන් වහන්සේ දන්නා සේක.

බොහෝ දෙනකුන් කිසුණු පිරියම් කරන කල්හි මොහු පරිකර්මභාවනා මාත්‍රයෙන් නවතින්නේ ය. නිමිත්ත නො ලබන්නේ ය. මොහු නිමිත්ත ලබන්නේය. එහෙත් අර්පණාව නුපදවන්නේ ය. මොහු ධ්‍යානය පාදක කොට විදසුන් වඩා අර්හත්වයට පැමිණෙන්නේ ය යි තථාගතයන් වහන්සේ දන්නා සේක. මෙසේ සත්ත්වයන් ඒ ඒ භවවලට හා අර්හත්වාදි තත්ත්වලට පැමිණෙන ප්‍රතිපත්ති තථාගතයන් වහන්සේ නිවරදි ලෙසට දන්නාහ. ඒ නුවණ සබ්බත්ථගාමිනීපටිපදාඤාණ නම් වු තුන්වන තථාගත බලය ය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)247

දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 41
  1. සිවුවන තථාගත බලය.

අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යාථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො අනෙකධාතු නානා ධාතුලෝකං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’.

අනේකධාතු නානාධාතු ලෝකය තත්ත්වාකාරයෙන් දන්නා ඤාණය එක් එක් තථාගත බලයක් බව මෙයින් දක්වන ලදී. සම්පූර්ණයෙන්ම නැති වන බැවින් ද මඳින් මද කොටස් වශයෙන් දිරී බිඳී පලුදු වන බැවින් ද ස්කන්ධධාත්වායතනයෝ ලෝක නම් වෙති. තමතමන්ගේ ස්වභාවයෙන් ඇත්තා වු සියල්ල ධාතු නම් වේති. රූපය පෙනෙන ස්භාවයෙන් ඇති බැවින් රූප ධාතු නම් වේ. ශබ්දය ඇසෙන ස්භාවයෙන් ඇති බැවින් ශබ්දධාතු නම් වේ. ගන්ධය නාසයට දැනෙන ස්භාවයෙන් ඇති බැවින් ඝ්‍රාණධාතු නම් වේ. මෙසේ ඒ ඒ ස්වභාවයෙන් ඇති සියල්ල ධාතු නම් වේ. ලෝකයෙහි චක්ඛුධාතු සෝතධාතු යනාදි වශයෙන් ද කාමධාතු ව්‍යාපාදධාතු යනාදි වශයෙන්ද බොහෝ ධාතු ඇත්තේය. ලක්ෂණවලින් එක් ධාතුවක් අනික් ධාතුවකට වෙනස් බැවින් ධාතුහු අනේකප්‍රකාර වන්නාහ. බොහෝ ධාතු ඇති බැවින් ද ලක්ෂන වශයෙන් අනේප්‍රකාර ධාතු ඇති බැවින් ද ලෝකය අනේකධාතු නානාධාතු ලෝක නම් වේ. අනේකධාතු නානාධාතු ලෝකය දන්නා නුවණ විස්තර කිරීමේදී පඤ්චස්කන්ධය, ආයතන දොළස, ධාතු අටලොස යන මේ ධර්ම විස්තර කළ යුතුය.

මේ ඥානය ඇත්තා වු තථාගතයන් වහන්සේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය නිවැරදි ලෙස ද සර්වසම්පූර්ණ ලෙස ද දන්නාහ. එක් එක් ස්කන්ධයක අනේකප්‍රකාර විශේෂවිභාග ද නිවැරදි ලෙස සම්පුර්ණයෙන් දන්නා සේක. ආයතන දොළොස දන්නා සේක. දශායතනයක් කාමාවචර ය, ආයතන දෙකක් චාතුර්භූමක ය යනාදීන් ඒවායේ නානත්ව ද දන්නා සේක. මේ චක්ඛුධාතුවය මේ රූප ධාතුවය යනාදීන් වෙන් වෙන් වශයෙන් ධාතු අටළොස දන්නා සේක. එහි ධාතු සොළොසක් කාමාවචර ය, ධාතු දෙකක් චාතුර්භූමකය යනාදීන් ඒවායේ විශේෂ විභාග ද දන්නා සේක. තථාගතයන් වහන්සේ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානාත්වය ද දන්නා සේක.

පසේබුදුවරුන් හා අග්‍රශ්‍රාවකයෝ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය එක්තරා ප්‍රමාණයකින් දනිති. අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය නො දනිති. ලොවුතුරා බුදුවරු වනාහි මේ මේ ධාතුන්ගේ උත්සන්නත්වය නිසා, මේ මේ ධාතුන්ගේ හීනත්වය නිසා මේ ගසෙහි කඳ සුදු ය, මේ ගසෙහි කඳ කළුය, මේ ගසෙහි කඳ මට්ටම්ය, මේ ගසෙහි කඳ රළුය, මේ ගසෙහි පොතු තුනී ය. මේ ගසෙහි පොතු ඝනය. මේ ගසෙහි මැද හරය ඇත. මේ ගසෙහි හරය ඇත්තේ පිටත ය, මේ ගසෙහි කොළ වටය. මේ ගසෙහි කොළ දිගය. මේ ගසෙහි කොළ මහත්ය. මේ ගසෙහි කොළ කුඩා ය, මේ ගසේ මල් සුදු ය, මේ ගසේ මල් රතුය, මේ ගසේ ගෙඩි මිහිරිය, මේ ගසේ ගෙඩි තිත්ත ය, මේ ගසේ ගෙඩි ඇඹුල්ය, මේ ගසේ ගෙඩි කසටය, මේ ගසෙහි කටු ඇත, මේ ගසෙහි කටු නැත යනාදීන් අනුපාදින්නක සංස්කාර ලෝකයේ තතු සර්වාකාරයෙන් දන්නාහ. මෙය ශ්‍රාවකයනට අසාධාරණ ඥානයකි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)248

දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 42
  1. පස්වන තථාගත බලය.

සත්ත්වයන්ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’

අධිමුක්ති යනු අදහස ය. එය සත්ත්වයන් තුළ පවත්නා, තෙරුම් ගැනීමට දුෂ්කර වු අනුශය ධාතුවකි. සමහර විට ඒ ඒ පුද්ගලයෝම ද අනුශය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස් නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සෑම දෙනාගේ ම අදහස් නිවරදි ලෙස දැනගනිති. ඒ අන්‍යයන්ගේ අදහස් දැනගන්නා වු ඥානය පස්වන තථාගත බලය බව ඉහත දැක් වු පාඨයෙන දැක් වේ.

සත්ත්වයෝ නොයෙක් අදහස් ඇත්තෝය. සමහරු අනුන්ට දුක්දෙන අදහස් ඇත්තෝ ය, ඇතැම්හු සතුන් මරණ අදහස් ඇත්තෝ ය, ඇතැම්හු සොරකම් කරන අදහස් ඇත්තෝ ය, ඇතැම්හු අනුන් අයත් දෑ විනාශ කරන අනුන්ට අලාභ කරන අදහස් ඇත්තෝ ය. ඇතැමුහු අනුන්ගේ දියුණුව වළක්වන අදහස් ඇත්තෝ ය. ඇතැමුහු කාමය වරදවා හැසිරෙන අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන්ගේ සැපයට බාධා කිරීමේ අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන් රුවටීමේ අදහස් ඇත්තෝ ය. ඇතැම්හු සුරාපානය කිරීමේ අදහස් ඇත්තෝ ය. ඇතැම්හු අන්‍යන් ඔවුනොවුන් හා බිඳවන අදහස් ඇත්තෝ ය. ඇතැම්මු තුමුම උසස්ය. සෙස්සෝ පහත් ය, ඔවුන් තමන්ට ගරු කළ යුතුය යන අදහස ඇත්තෝ ය. ඇතැම්හු මතු ඉපදීමක් නැතය යන මිථ්‍යාධ්‍යාෂය ඇත්තෝ ය. ඇතැම්හු සත්ත්වයා ක්‍රමයෙන් උසස් වනු මිස පහත් තත්වයකට පැමිණෙන්නේ නැතය යන මිථ්‍යා අදහස් ඇත්තෝය. ඇතැම්හු සුචරිතයෙන් මතු යහපතක් නැත ය යන අදහස ඇත්තෝ ය. මේ ආදි අදහස් ලාමක අදහස් ය. ලාමක අදහස් ඇත්තෝ හීනාධිමුක්තික නම් වෙති.

නැතියන්ට දෙන අදහස, පිදිය යුත්තන්ට පුදන අදහස, පව්කම් නො කරන අදහස, මාපියන්ට ගුරුන්ට වැඩිමහල්ලන්ට ගරු කරන සලකන අදහස, බණ කියන අදහස, බණ අසන අදහස, දහම පිළිගන්නා අදහස, සිල් රකින අදහස, කාමයන්ගෙන් වෙන්වන අදහස, වැඩිහිටියන්ගේ අවවාදයට නැමෙන අදහස, භාවනා කරන අදහස යනාදි යහපත් අදහස් ඇත්තෝ ප්‍රණීතාධිමුක්තික නම් වෙති. කල්‍යාණාධිමුක්තික නමුදු වෙති. අධිමුක්ති අනුව පුද්ගලයන් සංසන්දනය වීම ඔවුනොවුන් එකතු වීම මිත්‍ර වීම තථාගතයන් වහන්සේ දන්නාහ. එකතු වී සිටින දෙදෙනෙක් එකතු වී සිටින්නේ කිනම් කරුණකින්ද යන බව ඔවුහු නො දනිති. අධිමුක්ති අනුව ඔවුන් එකතු වී ඉන්නා බව තථාගතයන් වහන්සේ දන්නාහ. එසේ දන්නා බැවින්

‘සෙය්‍යථාපි භික්ඛවෙ, ගූථො ගූථෙන සංසන්දති සමෙති. මුත්තං මුත්තෙන සංසන්දති, සමෙති, ඛෙළො ඛෙළෙන සංසන්දති සමෙති, පුබ්බො පුබ්බෙන සංසන්දති සමෙති, ලොහිතං ලොහිතෙන සංසන්දති, සමෙති. එවමෙව ඛො භික්ඛවේ, ධාතුසො සත්තා සංසන්දෙන්ති, සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දෙති සමෙන්ති, අතීතම්පි භික්ඛවේ, අඬානං ධාතුසො ව සත්තා සංසන්දිංසු, සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසො’ව සත්තා සංසන්දිස්සන්ති, සමෙස්සන්ති, හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති. සමෙස්සන්ති. එතරහි’පි ඛො භික්ඛවේ පච්චුප්පන්නං අද්ධානං ධාතුසො ව සත්තා සංසන්දන්ති, සමෙන්ති. හීනාධීමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති, සමෙන්ති.’

යනුවෙන් ‘මහණෙනි, යම්සේ අසූචිය අසූචිය හා සංසන්දනය වේ ද සම වේ ද මුත්‍රය මුත්‍රය හා සංසන්දනය වේ ද සම වේද කෙළ කෙළ හා සංසන්දනය වේ ද සම වේ ද සැරව සැරව හා සන්නසන්දනය වේද සම වේ ද, ලේ ලේ හා සංසන්දනය වේ ද සම වේ ද මහණෙනි, එමෙන් ධාතුන්ගේ සැටියට ම සත්ත්වයෝ සංසන්දනය වෙති. සම වෙති. හීනාධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වෙති. සම වෙති. මහණෙනි, අතීතකාලයෙහි ද ධාතුන් අනුව ම සත්ත්වයෝ සංසන්දනය වූහ. සම වූහ. හීනාධිමුක්තිකයෝ හීනාධීමුක්තිකයන් හා සංසන්සනය වූහ. සමවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ද ධාතුන් අනුවම සත්වයෝ සංසන්දනය වන්නාහ. සම වන්නාහ. හීනාධිමුක්තිකයෝ හීනාධීමුක්තිකයන් හා සංසන්සනය වන්නාහ. සම වන්නාහ. මහණෙනි, මේ වර්තමාන කාලයෙහි ද ධාතුන් අනුවම සත්ත්වයෝ සංසන්දනය වෙති. සමවෙති. හීනාධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වෙති. සම වෙති’ යි වදාළහ.

‘සෙය්‍යථාපි භික්ඛවෙ, ඛීරං ඛිරෙන සංසන්දති සමෙති, තෙලං තෙලෙන සංසන්දති, සමෙති. සප්පි සප්පිනා සංසන්දති, සමෙති. මධු මධුනා සංසන්දති, සමෙති. ඵාණීතං ඵාණිතෙන සංසන්දති, සමෙති. එවමෙව ඛො භික්ඛවේ, ධාතුසො’ ව සත්තා සංසන්දන්ති, සමෙන්ති. කළ්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සංසන්දන්ති, සමෙන්ති, අතීතම්පි භික්ඛවෙ අද්ධානං ධාතුසො’ ව සත්තා සංසන්දිංසු, සමින්සු. කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු, සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසො’ ව සත්තා සංසන්දිස්සන්ති, සමෙස්සන්ති. කළ්‍යාණාධිමුත්තිකා කළ්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති. සමෙස්සන්ති. එතරහි’ පි ඛො භික්ඛවෙ පච්චුප්පන්නා අද්ධානං ධාතුසො’ ව සංසන්දන්ති, සමෙන්ති කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.’

යනුවෙන් ‘කිරි කිරි හා ද, තෙල් තෙල් හා ද, ගිතෙල් ගිතෙල් හා ද, මී මී හා ද, පැණි පැණි හා ද, සංසන්දනය වන්නාක් මෙන් ධාතුන් අනුව සත්ත්වයෝ ඔවුනොවුන් සංසන්දනය වන්නාහ. සම වන්නාහ. කල්‍යාණාධිමුක්තිකයෝ කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන්නාහ. සම වන්නාහ. අතීතයෙහි දඅනාගතයෙහි ද වර්තමානයෙහි ද සත්ත්වයෝ ධාතුන් අනුව ම සංසන්දනය වන්නාහ. සම වන්නාහ. කල්‍යාණාධිමුක්තිකයෝ කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන්නාහ. සම වන්නාහ’ යි වදාළ සේක.

ධාතුන් අනුව සත්ත්වයන් සංසන්දනය වීම ගැන තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇති සාධකයන් මෙසේය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එසමහෙහි සැරියුත් මාහිමියෝ බොහෝ භික්ෂුන් සමග තථාගතයන් වහන්සේට නුදුරු තැනක සක්මන් කෙරෙති. මුගලන් මහ තෙරණුවෝ ද බොහෝ භික්ෂුන් හා භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සක්මන් කරති. මහකසුප් තෙරණුවෝ ද, අනුරුදු තෙරණුවෝ ද, පුණ්ණ තෙරණුවෝ ද, උපාලි තෙරණුවෝ ද ආනන්ද තෙරණුවෝද දෙව්දත් තෙරණුවෝ ද බොහෝ බොහෝ භික්ෂූන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන් වල සක්මන් කෙරෙති.

තථාගතයන් වහන්සේ ඒ සක්මන් කරන භික්ෂූන් දෙස බලා වදාරා සමීපයෙහි සිටි භික්ෂූන් අමතා සැරියුත් මහතෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහු මහාප්‍රාඥයෝය යි ද, මුගලන් මහතෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහූ සෘද්ධි ඇත්තෝ යයි ද, මහ කසුප් තෙරුන් වහන්සේ සහ සක්මන් කරන සියලූ භික්ෂුහු ධුතවාදීහු යයිද අනුරුදු තෙරුන් වහන්සේ සහ සක්මන කරන සියලූ හික්ෂුහු දිවැස් ඇත්තෝ ය යි ද, පුණ්ණ තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහු ධර්මකථීකයෝය යි ද, උපාලි තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂුහු විනයධරයෝ යි ද, ආනන්ද තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහු බහුශ්‍රැතයෝ ය යි ද, දෙව්දත් තෙරුන් හා සක්මන් කරන සියලූ භික්ෂුහු පාපේච්ඡයෝය යි ද වදාරා, ධාතුන් අනුව සත්ත්වයන් සංසන්දනය වන බව හා හීනාධිමුක්තිකයන් හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වන බව ද, කල්‍යාණාධිමුක්තිකයන් කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන බව ද වදාළ සේක.

සැරියුත් මහ තෙරුන් වහන්සේ මහාප්‍රාඥ බැවින් මහාප්‍රාඥයෝ උන් වහන්සේට එකතු වෙති. මුගලන් මහතෙරුන් වහන්සේ ඝෘඬිමත් බැවින් සෘඬි ඇත්තෝ උන් වහන්සේට එකතු වෙති. මහකසුප් තෙරුන් වහන්සේ ධූතවාදී බැවින් ධූතවාදීහු උන්වහන්සේට එකතු වෙති. සෙස්සන් ගේ එකතු වීම ද එසේ සමාන කම්වලින් ම විය. සමාන අදහස් ඇතියන් එකතු වන බවට සාධක වශයෙන් විභංග අටුවාවෙහි මේ කථාව දක්වා තිබේ.

ත්‍රිපිටක චූලාහය තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනාව සඳහා භික්ෂූන් පන්සීයයක් සමඟ වඩනා කල්හි මිනිසුන් එක් ගමකට වැඩම කරන ලෙස ආරාධනා කළෝය. උන්වහන්සේ පිරිස සමඟ එහි වැඩම කළහ. සමීප විහාරයෙහි භික්ෂුහු ද එහි වැඩම කළහ. චූලාභය තෙරුන් වහන්සේගේ පිරිසෙහි නො සරුප් පැවතුම් ඇති එක් භික්ෂුවක් විය. සමීප විහාරයේ ද එබඳුම භික්ෂුවක් විය. ඒ දෙනම අතර කලින් කිසි හැඳිනිමක් සම්බන්ධකමක් නො තිබිණි. එහෙත් ඒ දෙනම ඔවුනොවුන් දුටු සැටියේම මිත්‍ර වී සිනාසෙමින් කථා කරමින් සිටියහ. තෙරුන් වහන්සේ ඔවුන් දැක ‘සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැන ගෙනම ධාතුසංයුත්තය වදාළහ’ යි කීහ. මෙසේ සත්ත්වයන්ගේ අධිමුත්ති දැන තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයාට ගැලපෙන පරිදි දහම් දෙසන්නාහ සෙස්සන්ට එසේ නො කළ හැකි ය.

සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)249

දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 43
  1. සවන තථාගත බලය

සත්වයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියන් දියුණු වුණු නුවුණු බව දන්නා නුවණ. 01

‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති, යම්’ පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’

මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් මෝරා ඇති බව හා නැති බව දැනෙන්නා වු ඉන්ද්‍රිය පරෝපරියත්තඤාණය එක් තථාගත බලයක් බව ය. ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ ඒ සත්වයෝ නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන් ගේ ඉන්ද්‍රිය තත්ත්වය සලකා බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක. එසේ දැන කරන ධර්ම දේශනය සර්වාකාරයෙන්ම සාර්ථක වේ. පුද්ගල තත්ත්වය නො දැන දහම් දෙසන්නවුන් ගේ දේශනා සාර්ථක වන්නේ කලාතුරකිනි. විඟඬ්ගපාළියෙහි මේ ඥානය විස්තර කර ඇත්තේ:-

‘ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුචිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.’

යනුවෙනි ‘තථාගත තෙමේ සත්ත්වයන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිත දනිති, අධිමුක්ති දනිති. නුවණැසෙහි මඳ රාගාදි රජස් ඇත්තා වූ ද, නුවණැසෙහි බොහෝ රාගාදි රජස් ඇත්තා වූ ද, තියුණු ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, නො තියුණු ශ්‍රාඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් ආශයාදිය ඇත්තා වු ද, නොමනා ආශයාදිය ඇත්තා වූ ද, ධර්මය තේරුම කර දීම පහසු වූ ද, ධර්මය තේරුම කර දීම අපහසු වූ ද, මඟ පල ලැබීමට භව්‍ය වු ද, මඟ පල ලැබීමට අභව්‍ය වු ද සත්ත්වයන් දනිති’ ය යනු එහි තේරුම ය. අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශයාදිය දන්නා නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය බව එයින් දක්වන ලදී.

ආශය යනු වාසය කරන ස්ථානය ය. යමෙක් යම්කිසි කරුණක් මෙය මෙසේමය යි තදින් පිළිගෙන එය ම මූලකාරණය කරගෙන එහි පිහිටා කටයුතු කෙරේ නම්, ඒ කරුණත් වාසස්ථානයකට සමාන වන බැවින් එයට ද ආශයයි කියනු ලැබේ. ‘සත්තානං ආසයං පජානාති’ මෙහි ආශය නමින් කියැවෙන්නේ එබඳු කරුණු ය. මිථ්‍යාදෘෂ්ටිය හා යථාභූතඥාන නම් වු සම්‍යක්දෘෂ්ටිය එබඳු කරුණූ දෙකකි. මෙහි ආශය නමින් කියනුයේ ඒ ධර්ම දෙකය.

ලෝකයෙහි ඇතමෙක් ආත්මය නිත්‍ය දෙයකැයි ගනිති. ඇතැමෙක් ආත්මය ශරීරය සමඟම නැසෙන අනිත්‍ය දෙයකැ යි ගනිති. ඇතමෙක් ආත්මය පර්‍ය්‍යන්තයක් නැති විශාල දෙයකැයි ගනිති. ඇතෙමෙක් පර්‍ය්‍යන්ත පරිච්ජේදය ඇතියකැයි ගනිති. ඇතැමෙක් ශරිරය ආත්මය යන දෙක ම එකකැ යි ගනිති. ඇතමෙක් ශරීරය ආත්මය යන දෙක දෙකකැ යි ගනිති. ඇතමෙක් ආත්මය මරණින් පසුද ආත්මය නිරෝගීව ඇතැය යි ගනිති. ඇතැමෙක් මරණින් පසු ආත්මයක් ඉතිරි නො වෙතැයි ගනිති. ඇතමෙක් මරණින් මතු ඇතැමුන්ගේ ආත්ම ඇත, ඇතැමුන්ගේ ආත්ම නැතය යි ගනිති. ඇතැමෙක් මරණින් මතු ආත්මයක් ඇත්තේ ද නො වේ නැත්තේ ද නොවේ යයි ගනිති. මරණින් මතු ආත්මය ඇතය යි ගැනීම ශාශ්වත දෘෂ්ටි නම් වේ. ආත්මය මරණින් සිඳේය නැතිවේ ය කියා ගැනීම උච්ජේද දෘෂ්ටි නම් වේ. ශාස්වත දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ ශාශ්වත දෘෂ්ටිය මුල් කර ගෙන ය. උච්ජේද දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ උච්ජේද දෘෂ්ටිය මුල් කර ගෙන ය. එබැවින් ඒ දෘෂ්ටි දෙක ඔවුනට වාසස්ථානයක් බඳු වන බැවින් ආශය නම් වේ.

ලෝකයෙහි ඇතමෙක් සත්පුරුෂාශ්‍රය ලැබ සද්ධර්මශ්‍රවණය කොට ශාශ්වතෝච්ජේද සංඛ්‍යාත දෘෂ්ටි දෙකට නො බැස අවිද්‍යා දී හේතුන්ගේ හා සංස්කාරාදි ඵලයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්නා වු අනුලෝමිකක්ෂාන්තිය යි කියනු ලබන විදර්ශනා ඥානය ලැබ ඒ විදර්ශනා ඥානය අනුව එහි පිහිටා ක්‍රියා කෙරෙති. ඇතමෙක් යථාභූතඥාන නම් වු මාර්ගඥානය ලැබ එහි පිහිටා එයට අනුව ක්‍රියා කෙරෙති. එබැවින් විදර්ශනාඥානය හා මාර්ගඥානය ද ආශය නම් වේ. ශාශ්වතෝච්ජේද දෘෂ්ටි දෙක ලාමක සත්වයාගේ ආශය ය. අනුලෝමිකක්ෂාන්තිය හා මාර්ගඥානය ශුද්ධ සත්වයන්ගේ ආශය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන්ගේ ආශය දැන ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක.

ශාශ්වතදෘෂ්ට්‍යාදිය ආශය කොට ඇත්තා වූ පුද්ගලයන් තුළ ඒ දෘෂ්ට්‍යාදිය නිරතුරු ව පවත්නේ නොවේ. පුද්ගලයා අන් සිතකින් අන්‍යක්‍රියාවක යෙදී ඉන්නා අවස්ථාවේදී ද තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයා ගේ ආශය දන්නා හ. එබැවින් තමන් වහන්සේ වෙත පැම්ණෙන කා හටත් ඔවුන්ගේ ආශය බලා සුදුසු සේ දසම් දෙසීම තථාගතයන් වහන්සේට කළ හැකිය. ධනය රැස් කර ගෙන අඹුදරුවන් ඇති කරගෙන පස් කම් සැප විඳිමින් එහි ඇලී ගැළී සිටින ඇතැම්හු නෛෂ්ක්‍රම්‍යගරුකයෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇත්තෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය යනු කාමයන් හැර දැමීමේ අදහස ය. තථාගතයන් වහන්සේ එ බව දනිති. ඒ බව දැන ඔවුනට සුදුසු ධර්මයක් දේශනය කළ කල්හි ඔවුන් කෙරෙහි යටපත් වී ඇති නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය මතු වී අවුත් මඟපල ලබති. ඇතැමෙක් පැවිදි වෙති.

තථාගතයන් වහන්සේ බුදු වු අලූත ලෝකයෙහි රහතුන් සැටඑක් නමක් ඇති වූ පසු ඒ රහතුන් ලෝකයේහි ධර්මය පැතිරවීම සඳහා පිටත් කර යවා උරුවෙල් දනවුවට වැඩම කරන සේක්, අතරමග එක් වනයක පිවිස ගසක් මුල වැඩහුන් සේක. එදින භද්‍රවර්ගික නම් කුමාරවරු තිස් දෙනෙක් ද කම් සැපයෙන් විනෝදය ලබනු රිසියෙන් ස්ත්‍රීන් ද කැඳවා ගෙන ඒ වනයට පැමිණ සිටියෝ ය. බිරියක් නැති කුමරෙකු විසින් එදා කැඳවාගෙන ආ ගණිකාවක් ඔවුන්ගේ බඩු ද ගෙන පලා ගියාය. කුමාරයෝ ඇය සොයමින් වනයෙහි ඇවිදිනාහු තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ වෙත ගොස් ‘ස්වාමීනි, ස්ත්‍රියක් දුටුසේක් දැ’ යි විචාළහ. ‘කුමාරවරුනි, තෙපි කුමට ස්ත්‍රියක් සොයන්නහුදැ’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමීනි, අපගේ එක් යහළුවෙක් ඔහුට බිරියක් නැති බැවින් ගණිකාවක් කැඳවා ගෙන ආවේ ය. ඕ අපගේ ප්‍රමාදයක් බලා බඩුත් ගෙන පළා ගියා ය. අප යහළුවාට උපකාර පිණිස ඇය සොයමින් ඇවිදින්නෙමු’ යි ඔවුහු කීහ. එකල්හි තථාගතයන් වහන්සේ ‘කුමාරවරුනි, තොපට ගැහැනියක සොයමින් ඇවිදිනවාට වඩා තමන් ගැන සෙවීම නරකදැ’ යි වදාළහ. ‘ස්වාමීනි අපට තමන් ගැන සෙවීම නම් වඩා හොඳය’ යි ඔවුහු කී හ. ‘එසේ නම් කුමාරවරුනි, හිඳිගනිව් තොපට දහම් දෙසමි’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුහු තථාගතයන් වහන්සේ වැඳ දහම් අසනු පිණිස හිඳගත්තෝ ය. අන් ධර්මධරයෙක් නම් කාමයෙන් මත්ව මෙසේ වනයෙහි සල්ලාල කමින් ඇවිදිමින් සිටින ඒ පිරිසිට කාමායෙන් ඈත්ව වෙසෙන උදාර අදහස් ඇතියන්ටම සුදුසු වන කෙලෙසුන්ට විරුද්ධ වන මේ ධර්මය දේශනය නො කරන්නේ ය. ඔවුන් විසින් දහම් දෙසන්නට ආරාධනා කළ ද ඔවුහු දහම් දෙසීමට සුදුසු පිරිසක් නො වෙති යි’ සිතා දහම් නො දෙසන්නාහ. තථාගතයන් වහන්සේට ඔවුන් තුළ ඇති නෛෂ්ක්‍රම්‍ය ගරුකත්වය නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය පෙනෙන බැවින් ඔවුනට දහම් දෙසූ සේක, දහම් ඇසුවා වූ ඔවුනට ඒ ධර්මය අවබෝධ වී සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත ධර්මචක්ෂුස පහළ වී සැම දෙනම තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය

 

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)250

දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 44
සත්වන සහ අටවන තථාගත බලය.
  1. සත්වන තථාගත බලය.

ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’

ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද රූපී රූපානි පස්සති යනාදින් දේශිත අෂ්ට විමෝක්‍ෂයන්ගේ ද සවිතර්කසවිචාර සමාධ්‍යාදි තෙවැදෑරම් සමාධීන්ගේ ද ප්‍රථමධ්‍යානසමාපත්‍යාදි නව වැදෑරුම් සමාපත්තීන්ගේ ද සංක්ලේශ – ව්‍යවදාන – ව්‍යුත්ථාන දන්නා නුවණ තථගත බලයක් බව එයින් දැක්විණ.

ධ්‍යානභාවනා කරන්නා වු ඇතැම්හු එය ගැන හොඳ දැනුමක් නැති බැවින් ධ්‍යානය ලබා ද තවම ධ්‍යානයක් ලැබී නැත යයි සිතති. තමන් වඩන කර්මස්ථානය නියම කර්මස්ථානයක් වුව ද අකර්මස්ථානයකැයි සිතති. ඇතමෙක් ධ්‍යාන නො ලැබ ම තමන් ධ්‍යාන ලබා ඇත ය යි සිතති. තමන් අකර්මස්ථානයක් වඩමින් එය කර්මස්ථානයකැ යි සිතති. සමහර විට භාවනාවෙහි යෙදී සිටිනා අතර ඇතැම්හු නිද්දට වැටෙති. ධ්‍යානය නො ලැබම ධ්‍යාන ලදිමුය යි සිතන්නවුන් එසේ සිතන්නේ නින්ද ධ්‍යානය යි සිතා ගැනීමෙනි. මෙකල ඇතමුන් සමාධි වීමු යි කියන්නේ ද මේ නින්දට වැටීමෙනි. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේම ධ්‍යානාදිය පිළිබඳ නියම තත්ත්වය දන්නාහ. එය සත්වන තථාගත බලය ය.

  1. අටවන තථාගතබලය.

අතීත ජාති දන්නා නුවණ

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියෝ තිංසම්’පි ජාතියෝ චත්තාර්සම්’පි ජාතියෝ පඤ්ඤාසම්’පි ජාතියෝ ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’ මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී එව’ මායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං තත්‍රාපාසිං ඒවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධුපපන්නොති, ඉති සාකාරං සඋද්දෙසං අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං? එකම්පි ජාතිං ද්වෙපි ජාතියෝ -පෙ – ඉතිං සාකාරං සඋද්දෙසං? අනෙකවිභිතං පුබ්බෙනිවාසං අනුස්සරති ඉදම්’ පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති-පෙ- පවත්තෙති. ”

මේ පාඨයෙන් දැක්වෙන්නේ තමන් වහන්සේගේ අතීත භව පරම්පරාව දක්නා නුවණ තථාගතයන් වහන්සේගේ එක් ඥානබලයක් බව ය. තමන් වහන්සේ අතීතයෙහි මෙබඳු නාමයකින් මේ නම් ගෝත්‍රයක් ඇති ව මෙ බඳු ආහාර පාන ඇති ව මෙ බඳු සුව දුක් ඇති ව මෙ පමණ ආයු ඇතිව විසුවෙමි ය. ඉන් චුත ව අසවල් තැන උපන්නෙමි ය. එහි මෙ බඳු ශරිරයක් විය. මෙ බඳු පැහැයක් ඇත්තේ වීමි ය. මෙ බඳු නමක් විය. අසවල් ගෝත්‍රය විය. මේ මේ දේ ආහාර කොට ගතිමි ය. මෙ බඳු සුව දුක් ලැබීමි ය. මේ පමණ ආයුෂ විය මෙසේ පිරිසිදු ලෙස ම අනේකකල්පකොටීන්හි තමන් වහන්සේ උපන් අතීත ජාතීන් භාග්‍යවතුන් වහන්සේලා දන්නා සේක.

පර්‍ය්‍යන්ත පරිච්ජේදයක් නැති ව කැමති පමණක් අතීත ජාතීන් දැකිය හැකි නුවණක් ලොවුතුරා බුදුනට ඇත්තේ ය. එක්තරා ප්‍රමාණයක්න් අතීතජාති දැකීමෙහි සමත් පුද්ගලයො ඇතහ. ඔවුන්ගෙන් ඇතමෙක් වර්තමාන ජාතියට සමීප වු අතීත ජාතිය පමණක් දකිති. ඇතමෙක් ජාති දෙක තුනක් සතරක් පසක් දකිති. ධ්‍යානාභිඥා ලබා ඇති ඇතැම් බාහිර තවුසෝ සතළිස් කපක අතීත ජාති දකිති. නාමරූප පරිච්ඡෙදයක් නැති බැවින් ඔවුන්ගේ නුවණ දුබල ය. ඒ බැවින් ඔවුහු සතළිස් කපින් ඔබ අතීතය දක්නට සමත් නො වෙති. ඔවුනට වඩා අධිකව නුවණ ඇති බැවින් තථාගතයන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ කල්ප සියයක දහසක අතීතය දකිති. ඔවුනට වඩා නුවණැති බැවින් අසූ මහාශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක අතීතය දකිති. අග්‍ර ශ්‍රාවක දෙනම එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතය දකිති. පසේ බුදුහු කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් අතීතය දකිති.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය