අපේ බුදුහාමුදුරුවෝ 424 (සන්තිකේ නිදානය)

 

යශෝධරාව පුතු නැති සොවින් පැවිදිවන්නට සැරැසීම

භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමරු මහණ කැරැ වූ බව ඇසූ රජතුමාට පමණක් නොවේ යශෝධරාවනටද දරු සෙනෙහසින් හටගත් ශෝකය ඉවසා ගත නොහැකිව හඬා වැලපුණා. එහෙම නොවුනා නම් තමයි පුදුමය. තම ආදරණීය සැමියා ලෝසත වෙනුවෙන් තමාව සහ එකම දරුවාව අතහැර අභිනික්මන් කළ දිනයේ සිට තමා හට හිත සනසා ගැනීමට, තනිකම මකා ගැනීමට සිටියේ එකම එක පුත්‍ර රත්නය පමණයි. ඔහුත් තමාව තනිකොට ගියවිට කෙලෙස මවක් විසින් නම් ඒ ශෝකය ඉවසා ගන්නේද?

“ම පුතණුවන් මගෙන් උදුරා ගත් බැවින් මම ද ගිහි ගෙයි නො වසමි. මහණ වෙමි” යි ඇය සැහැසි වන්නට වුණා. එය කණ වැකුණු සුදොවුන් රජ්ජුරුවෝ ඇය කරා ගොස් මෙ සේ ඔවදන් දෙන්නට වුණා.

“දියණිය, එදා වදාළ වෙස්සන්තර ජාතකයෙහි තොප වැදු දරුවන් පූජක බමුණාට බැඳ දුන් කළ පවා තොප දරු ශෝකය ඉවසා සිටි බව නො ඇසුවහු ද? දානපාරමිතාව පුරන අනන්ත ජාතීන්හි තොප වැදූ දරුවන් ඉල්ලා ආවුනට බැඳ දුන් වැල් පමණක් ගොඩ කළොත් මේරු පර්වතයටත් වඩා උස් වන බව වදාළා නො ඇසුවහු ද? මේ කිසි තැනෙක දී තොප දොම්නස් නො වූ බව වදාළා නො ඇසුවහු ද? මෙසේ කළ උන් වහන්සේ දැන් බුදු වී, සිය පියා වූ මාත් ඇතුළු සකල ලෝකවාසීන් දරු කොට ගත් කලැ, තමන්ගේ ම දරුවා මහණ කැරැගත් බව ගැන කවර දොසක් කියමෝ ද? රාහුල කුමරුන් මහණ කැරැවූ බව අසා අද මම උන්වහන්සේ කරා ගියෙමි. ගොස් උන්වහන්සේ ගේ ධර්ම කථාව අසා, ඔබට තවත් පුතකු නො සිටින හෙයින් මිස, සිටියි නම් ඔහුත් උන්වහන්සේ වෙතැ පැවිදි කරවා ලනු කැමැති වීමි. අද ඔබද ඒ බණ ඇසුවහු නම් මහණ කරවන්නට තවත් පුතක්හු ඇතොත් කොතරම් යසෙක් දැ”යි සිතන්නහු ම ය. පෙරැ බොහෝ දරුවන් දන් දුන් උන්වහන්සේට දැන් එක පුතකු නිවන් සැප වින්දැවීමට තමන් වහන්සේ වෙතට ගැනීම ගැන ඔබ ශෝක කිරීම අයෝග්‍ය ය. ඒ ඔබ වැන්නනට සුදුසු නො වේ. ඔබගේ පුතුට හොඳක් ම උන්වහන්සේ කළ සේක. පුත්‍රයා මහණ වී සිය පියාණන් ළඟ, සඳු පස්සේ යන නැකත් තරුවක් සේ, සිටින්නහු දක්නා දරුවන් ඇතියවුනට ලොවැ තවත් එ වැනි සතුටෙක් කොයින් ද? තව ද දියණියනි, මේ අවස්ථාවෙහිදී ඔබ මහණ වූවොත් “එය සැදැහැයෙන් නො වේ. දරු සොවින් ම කළ එකෙකැ” යි ලෝවැසි තෙම ඔබ හෙළා දකී. ඒ බැවින් දැන් ම මහණ නො වන්න.”

ශුද්ධෝදන රජතුමා මෙ සේ අවවාද කොට ඇගේ ශෝකය ද නිවා මහණ වීමට නොදී ඇයව තවදුරටත් මාළිගාවෙහිම රඳවාගත්තා. එහෙත් ඇය සෑම දිනකම හිමිදිරියේ සිට රාත්‍රී අඳුර නගරය වසා ගන්නා තෙක් පෙරමග බලා ඉන්නට ඇති, යලිත් පිය පුතුගේ ඒ සුන්දර දසුන දැකීමේ අරමුණෙන්.

 

උපකාර වූ මුලාශ්‍ර –

ගෞතම බුද්ධ චරිතය – බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිරයන් වහන්සේ , මේ සඳහා මුලශ්‍රයක් මා හට ත්‍රිපිටකය තුලින් සොයාගැනීමට නොහැකිවිය.

error: Content is protected !!