අපේ බුදුහාමුදුරුවෝ 422 (සන්තිකේ නිදානය)

 

රාහුල කුමාරයා 05

බුදුවරයෙකුගේ පුතෙකු වීමට පැතූ රාහුල කුමරු සහ ඔහුගේ කලණ මිතුරු රට්ඨපාල කුමරු 02

පදුමුත්තර ශාස්තෘන් වහන්සේ දෙවන දිනයෙහි අරුණු නැග එන වෙලාවේ තමන්ගේ උපස්ථායක වූ සුමනතෙරුන්ට, ‘සුමන, අද තථාගයන් වහන්සේ දුර භික්‍ෂාචාරයකට යන්නට තිබෙනවා. පෘථග්ජන භික්ෂූන්ට ආරාධනා නොකරන්න. ත්‍රිපිටකධර පිළිසිඹියාපත් ඡළභිඤ්ඤාලාභී භික්‍ෂූන් වහන්සේලා හට පමණක්ම ආරාධනා කරන්න. යනුවෙන් පවසා සිටියා. ඊට හේතුවක් තිබුණා. ඒ, එදින සාගරය ඇසුරුකොට පැවති පඨවින්‍ධර නාරජු වෙසෙන නාග ලෝකය වෙත යායුතුව තිබුණ නිසා. තෙරණුවෝ ශාස්තෘන්වහන්සේගේ ඒ වචනය අසා ඒ බව සියලුම අභිඥාලාභී සංඝයා වහන්සේලාට සැලකරනු ලැබුවා. එදින ශාස්තෘන්වහන්සේ සමඟ ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේලා අහස්ගැබට පිවිසියේ පඨවින්‍ධර නාරජුගේ භවනට යාමට. මේ අදෘශමාන විමාන කොහේද ඇත්තේ යන්න ඉදිරියේදී යම්දිනක ඔබහට කියවන්නට ලැබේවි යැයි සිතනවා. මෙවැනි යම් නාග විමනක් සම්බන්ධව මීට පෙර දූරේ නිදානයේත් යම් පමණකට ලිය තිබුණා.

එදින පඨවින්‍ධර නාරජුත් තම පිරිස සමඟින් දශබලයන්වහන්සේ පිළිගන්නට පෙර ගමන් පැමිණියා. ශාස්තෘන්වහන්සේ පිරිවරා මුහුද මතින් මිණිවන් රැළ මඬිමින් වඩින භික්‍ෂුසංඝයා දෙස ඔහු බලා සිටියේ මහත් භක්තියෙන්. ඒ පිරිස අතර වූ සුවිශේසී කුඩා භික්ෂුවකට ඔහුගේ සිත ඇදී යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ඒ උපරේවතනම් වූ සාමණේරයන්වහන්සේ. ඔහු නිකම්ම සාමණේරයන් වහන්සේ කෙනෙක්ම නෙවෙයි. ඉර්ධිලාභී මහරහතන් වහන්සේ නමක්. නැත්නම් මේ ගමන එන්නට බැහැනේ. පඨවින්‍ධර නාරජුගේ දෙනෙත් රැඳී තිබුණේ පදුමුත්තර ශාස්තෘන්වහන්සේ දෙස සහ ඒ අසලින්ම වඩින සංඝනවක වූ තථාගතපුත්‍ර උපරේවත නම් සාමණේරයන්වහන්සේ දෙස පමණයි. රජතුමා තවදුරටත් විමතියෙන් මෙලෙස සිතනවා. (ඇත්තෙන්ම රජතුමාටම මෙහෙම හිතෙනවද? එහෙම නැත්නම් තවත් ස්වල්ප මොහොතකින් කල්ප ගණනකට පසුව ලැබෙන්නට යන මහා ලාභයට ස්වභාව ධර්මය විසින්ම සිත සකසනවාද දන්නේ නැහැ). ඔහු මෙලෙස සිතනවා. “බුදුන් වහන්සේ සමග වඩින සෙසු සව්වන්ගේ මේ පුංචි සාමණේර ස්වාමීන්වහන්සේගේ තරම් සෘද්ධ්‍යානුභාවයක්, ආශ්චර්‍ය්‍යමත් බවක් මට පෙනෙන්නේ නැහැ. මේ තරුණ ලලිත බවින් යුත් දරුවාගේ මෙබඳු වූ සෘද්ධ්‍යානුභාවයත්, රූප ස්වභාවයත් අතිශයින්ම ආශ්චර්‍ය්‍යය’යි සිතමින් ඉමහත් වූ ප්‍රීතියක් ඔහු සිත තුල ඉපිදවනු ලැබුවා.

ඉන්පසු, ඔහුගේ භවනයෙහි තථාගතයන්වහන්සේ වැඩහුන් පසු සෙසු භික්‍ෂූන් වහන්සේලා කෙළවරෙහි වැඩහිඳිත්දී ශාස්තෘන්වහන්සේ ඉදිරියෙහිම උපරේවත සාමණේරයන් වහන්සේට අසුනක් පනවනු ලැබුවා. නාරජු කැඳ දෙමින් කැවිලි දෙමින් වරක් බුදුරදුන් දෙසත් වරක් උපරේවත සාමණේරයන් දෙසත් බලන්නට වුණා. උන්වහන්සේගේ සිරුරෙහිත් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි මෙන් දෙතිස් මහා පුරුෂලක්‍ෂණ තිබෙනවා. ඉන්පස්සේ නාරජ, ‘මේ සාමණේරයන්වහන්සේ බුදුරදුන්ට සමානව පෙනෙනවා. ඒ මක්නිසාද යනුවෙන් සිතමින් නුදුරෙහි සිටි එක්තරා භික්‍ෂුවකගෙන් මෙලෙස ඇසුවා. ‘ස්වාමීනි. මේ සාමණේරයන් වහන්සේ දශබලයන්වහන්සේට කවරෙක් වේදැයි” අසා සිටියා. එවිට උන්වහන්සේ ‘මහරජ, පුතුය.’ යනුවෙන් පවසා සිටියා. ‘පුදුමයෙකි, මේ භික්‍ෂුවට මෙසේ රූපයෙන් හා යසසින් අගතැන්පත් තථාගතයන්වහන්සේගේ පුත්‍රභාවය ලැබීලා. මොහුගේ ශරීරයද ඒකදේශයකින් බුදුන්ගේ ශරීරයට සමානව පෙනෙනවා. මාද අනාගතයෙහි මෙබන්දකු වීම වටින්නේ යැ’යි සිතක් පහල වුණා ඉන්පසේ ඔහු සත්දිනක් මහදන්දී ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ ආනුභාවයෙන් මේ උපරේවත හිමිපාණන් වහන්සේ මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ පුතෙක් වන්නෙම්වා’යි ප්‍රාර්‍ත්‍ථනා කරමින් තම සිත තුල සැඟවී තිබූ ආශාව බුදුන් හමුවේ පවසා සිටියා.. ශාස්තෘන්වහන්සේ ද එහි අනතුරක් නොදැක අනාගතයෙහි කල්ප ලක්ෂයකට පසුව පහළවන ගෞතම බුදුරජාණන්සේගේ පුත්‍රයා වනබවට විවරණදී ආශීර්වාද කරනු ලැබුවා!

පටවින්‍ධර නා රජු යළිත් අඩමසකට පසු පෙර පරිදීම විරූපාක්‍ෂ දෙවරාජෝත්තමයාණන් වහන්සේ සමඟ සක් දෙවියන්ගේ උවැටනට ගියා. එවිට දෙවුරජ සමීපයෙහි සිටි ඔහුගෙන් සක්දෙව් රජ මෙහෙම ඇසුවා. ‘යහළුව, ඔබ අප කතා කරගත් පරිදී පදුමුත්තර බුදුන් හමුවේ මතු ඉපදීමට මේ දෙව් ලොවම පතන ලද්දේද? එවිට ඔහු. ‘ස්වාමීනි, නොපතන ලදී.’ යනුවෙන් පිළිතුරු දෙනු ලැබුවා. එවිට සක්දෙවිඳු පුදුම වුණා. පුදුම වෙලා මෙහෙම ඇසුවා. ‘ඒ, මේ දෙවුලොව තුල ඇති කවර දොසක් ඔබ දුටුව නිසාද?’ ‘මහරජ, දොසක් නැත. මම දශබලපුතු වූ උපරේවත සාමණේරයන් වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ දුටු කල්හි සිට මගේ සිත අන්තැනකට නොනැමුනේය. මම අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ මෙබඳු වූ පුතෙක් වන්නෙම්වා’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළෙමි. ඔබද මහරජ, එක් පැතුමක් කරව. එවිට ඒ අපි මතු උපදින තැන නොවෙන් වන්නෙමු’යි පවසා සිටියා.

සක්දෙවියෝද ඔහුගේ වචනය පිළිගෙන පසුකලෙක එක් මහානුභාව ඇති භික්‍ෂුවක දැක ‘මේ කුලපුත් තෙමේ කවර කුලයකින් නික්ම පැවිදි වූයේයදැ’යි සිහි කරන්නට වුණා. උන්වහන්සේ බිඳුණු රටක් එක් කිරීමට හැකි කුලයක පුත්‍රයෙක්වී “තුදුස් බත්සිඳීමක්” කොට පැවිද්දට මව්පියන් කැමති කරවාගෙන ගෙන පැවිදි වූයේයයි දැන ගත්තා. “තුදුස් බත්සිඳීමක්” යනුවෙන් අදහස් කරන්නේ දාහතර වතාවක් ආහාර ගැනීම වර්ජනය කළා යනුවෙන්. ඒ බව දැන, නොදන්නකුමෙන් එක් කලෙක තථාගයන්වහන්සේ හට සත්දිනක් මහාසත්කාර කොට ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් නුඹවහන්සේගේ සසුනෙහි මේ කුලපුත්‍රයා මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍ර වන්නෙම්යයි ප්‍රාර්‍ත්‍ථනා කරනු ලැබුවා. ශාස්තෘන්වහන්සේ ද එහි අනතුරක් නොදැක ‘මහරජ, නුඹ අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී නැවත වැඩම කළා. සක්දෙව්තෙමේද තමන්ගේ දෙවිපුරයටම ගියා. .

උපකාර වූ මුලාශ්‍ර 

රාහුල-රට්ඨපාල ත්‍ථෙරවත්‍ථු අංගුත්තර නිකාය අට්ඨකථා එකකනිපාත -අට්ඨකථා – එතදග‍්ගපාළි – තතියඑතදග‍්ගවග‍්ගො