අපේ බුදුහාමුදුරුවෝ 421 (සන්තිකේ නිදානය)

 

රාහුල කුමාරයා 04

බුදුවරයෙකුගේ පුතෙකු වීමට පැතූ රාහුල කුමරු සහ ඔහුගේ කලණ මිතුරු රට්ඨපාල කුමරු

පුංචි රාහුල තෙරණුවන් පැවිදි වූ දින පටන් උදෑසනම අවදිවීමෙන් පසු අතපුරා ගත් වැලි අහුරක් උඩදමා ‘අද මම බුදුන්වහන්සේගේ මෙන්ම ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන්ගේ ද සමීපයෙන් මෙපමණක් අවවාද ද අනුශාසනා ද ලබන්නේනම් යෙහෙකැයි” පතයි. ඒ නිසා පසුකාලයක දී උන්වහන්සේ පෙරභවයේ පැතූ පරිදී ශික්‍ෂාකාමීන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වීමට හැකි වුණා.ඒ එක්කම උන්වහන්සේට තවත් ප්‍රාර්ථනයක් තිබුණා. එයත් දැනගැනීමට ඔබ කැමැත්තෙන් ඇති වගේම මේ සියලු තනතුරු උපත් අහඹු ලෙස නොලබන බවට මෙයත් හොඳම ශාක්ෂියක් විය හැකියි. එහි නිධාන කතාව මෙසේයි.

රාහුල මහරහතන් වහන්සේට කල්ප ගණනක සිට එකට පැමිණි හොඳම මිත්‍රයෙක් සිටියා. ඒ තමයි පසුකාලයේ රට්ඨපාල මහරහතන් වහන්සේ හැටියට ප්‍රසිද්ධ වුන රට්ඨපාල තෙරණුවෝ. “රට්ඨපාල” යන්නෙහි තේරුම රටක් පාලනය කිරීමට සමත්වූයේ හෝ බිඳුනු රටක් එක් කිරීමට සමත් කුලයක උපන්නේ යනුයි. ඔහු එවැන් කුලයක උපන් නිසා රට්ඨපාලයයි ප්‍රසිද්ධියට පත්වුණා. උන්වහන්සේ ගිහිකාලයේ බුදුන්වහන්සේගේ ධර්ම දේශනයක් අසා ඇතිවුන මහා ශ්‍රද්ධාවෙන් මහණ දම් පිරීමට දෙමාපිය අවසර ඉල්ලුවත් එය ලබාගැනීමට අපොහොසත් වුනා. පසුව දින තුදුසක් භත්තචජේදය නොහොත් ආහාර නොගැනීම කොට මව්පියන් පැවිද්දට කැමැති කරවා ගෙන පැවිදි දිවියට පත්වුනා. ඒ නිසාම පසුකලෙක ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රස්ථානයට ඔහු පත්වුණා. ඔහුත් ඒ තනතුර පතාගෙනයි පැමිණියේ. මේ ඔවුන් දෙදෙනාගේ අතීත කතා පුවතින් සුළු කොටසක්.

මේ දෙදෙනාම අතීතයෙහි පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්නා. දෙදෙනාම හොද යාළුවෝ. ඔවුන්ගේ කුඩාකාලයෙහි නම හෝ ගෝත්‍රය එහි සඳහන් නැහැ. ක්‍රම ක්‍රමයෙන් ඔවුන් වියපත්භාවයට පැමිණුනා. තම තමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් දෙදෙනාම තමතමන්ගේ රුවන් ගබඩාකරුවන් කැඳවා අපමණ ධනය දැක ‘මෙපමණක් වූ මෙම ධනසමූහය මුතුන්මිත්තාදීහුන්ට තමන් සමඟ රැගෙන යාමට නොහැකි වූවා. අප දැන් යම්කිසි උපායකින් මේ ධනය ගෙනයාමට වටනේ’යයි සිතා දෙදෙනාම සිවු වරෙක දුගීමගී යාචකාදීන්ට මහදන්දීමට පටන් ගත්තා. එක් කෙනෙක් තමන්ගේ දානාග්‍රයෙහි ආ ආ ජනයන් විමසා කැඳ කැවිලි ආදිය අතුරෙන් යමක් යමෙකුට කැමතියයි සිතේද ඔහුට එය දුන්නා. ඔහුට ඒ කරුණින්ම ‘ආගතයාචකො’යනුවෙන් නමක්ද පටබැඳුනා. අනෙකා නොවිමසාම ගත්ගත් බඳුන් පුරව පුරවා දෙන්නට වුනා. . ඔහුටද එකරුණින්ම “අනග්ගපාක”යයි නමක්ද පටබැඳුනා. අප්‍රමාණ වූ විපාක ඇත්තේ යන්න එහි අර්‍ත්‍ථයයි.

ඒ දෙදෙනාම එක්දිනක් උදෑසනම මුවදෙවීම සඳහා පිටගමට ගියා. ඒ මොහොතේ හිමවතින් මහත් සෘද්ධි ඇති තාපසවරු දෙදෙනෙක් පිඬුහැසිරීම සඳහා අහසින් අවුත් ඒ යහළුවන්ගේ නුදුරෙහි බැස එකත් පසෙක සිටියා. යහුළුවන් දෙදෙනාත් ඒ තාපසවුරුන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් අනුග්‍රහ දක්වමින් ඔවුන්ට හැකි සෑම මොහොතකම ඔවුනට කෑම බීම ඇතුළු අනෙකුත් පිරිකර සපයමින් ඔවුන්ගේ අවශ්‍යතා පිරිමැසුවා.

ඔවුන් අතුරින් එක් තවුසෙක් දැවිලිසහිත ශරීර ස්වභාවය ඇත්තෙක් වුනා. ඔහු තමාගේ ආනුභාවයෙන් මහමුහුදේ දිය දෙකඩ කොට පඨවින්ධරනාගරාජයාගේ භවනයට ගොස් දිවා විහරණයෙහි කාලය ගතකලා. හෙතෙම සෘතු සප්පාය ගෙන පෙරළා අවුත් තමන්ගේ උපස්ථායකයාගේ නිවසෙහි භුත්තානුමෝදනාව කරන්නේ පඨවින්‍ධර නාගරාජ භවනය මෙන් වේවා ! පඨවින්‍ධරනාගභවනය මෙන් වේවායි යැයි කියමින්. ඒ වර්තමානයේ රට්ඨපාල තෙරුන් වහන්සේට. ඉන්පස්සේ එක්දිනක උපස්ථායක තෙමේ ඔහුගෙන් මෙලෙස විමසුවා. ‘ස්වාමීනි, නුඹවහන්සේ පින් අනුමෝදනය කරමින් පඨවින්‍ධර නාගභවනය මෙන් වේවායි කියනවා. එහෙත් අපි එහි අදහස දන්නේ නැහැ නොවැ. ස්වාමීනි. මෙය කුමක් නිසා කියනලද්දේ වේදැ’යි අසා සිටියා. එවිට ‘එසේය, කෙළඹිය, මම ඔබගේ සැපත පඨවින්‍ධර නාගරාජයාගේ සැපත මෙන් වේවායි කියමි’යි තවුසා පවසා සිටියා. එතැන්පටන් කෙළෙඹිතෙමේ නොහොත් පුර්වභයේ රට්ඨපාල කුමරු පඨවින්‍ධර නාගභවනයට සිත අලවමින් වාසය කරනු ලැබුවා.

අනෙක් තවුසා තවුතිසාභවනයට ගොස් හිසු වූ මහරිවන විමානයක දිවාවිහරණය කරනු ලැබුවා. හෙතෙම යමින් එමින් සක්දෙව්රජුගේ සැපත් දැක තමන්ගේ උපස්ථායකයාට එනම් පූර්ව භවයේ රාහුල කුමරුනට පින් අනුමෝදනා කරමින් සක්විමනමෙන් වේවායි කියයි. ඉන්පසු යම්දිනක ඒ කෙළෙඹියාද, අනෙක් යහළුවා ඒ තාපසයාගෙන් ඇසුවාක් මෙන් ඔහුගෙන් ‘එසේ ප්‍රාර්ථනා කරන්නේ ඇයි’ යනුවෙන් විමසා සිටියා. ඔහුද ඒ තාපසයාගේ කීම අසා ශක්‍රභවනයෙහි සිත අලවා වාසය කරනු ලැබුවා. ඒ දෙදෙනාම ඒ ඒ පැතූ තැන්හිම උපන්නා.

පඨවින්‍ධර නාගභවනයෙහි උපන්න කුමරා පඨවින්‍ධර නාගරාජයා නම්වුනා. ඔහු උපන් කෙණෙහි තමන්ගේ ආත්මභාවය දැක

 “කුලුපග තවුසා සිත් නොඅලවන තැනක් මට වර්‍ණනා කළේය. මෙය ඒකානත්යෙන්ම උරයෙන් බඩගා හැසිරෙන තැනකි. හෙතෙම අන්තැනක් නොදන්නේදැයි” විපිළිසරවුනා. ඔහුට එකෙණෙහිම මනාව පිළියෙළ කරනලද නාට්‍යාත්මක තූර්‍ය්‍යභාණ්ඩයෝ සියලු දිශාවන්හි හඬ නැංවූවා. ඔහුට ඒ මොහොතේම ඒ නාග ස්වරූපය අතහැර මානවක රුවක් ඇති වුනා. ඒ තමයි නාග ලෝකයේ ස්වභාවය.

සතරවරම් මහරජවරු අඩමසකට වරක් සක්දෙවියන්ට උපස්ථානය සඳහා යනවා. එබැවින් ඔහුද එදින විරූපක්‍ඛ නාරජු සමඟ සක්දෙවියන්ගේ උවටැනට ගියා. එදා සක්දෙවිඳු බවට පත්වී සිටියේ ඔහුගේ යාළුවා වන රාහුල කුමරු. සක්දෙව් තෙමේ දුරදීම එන්නා වූ ඔහු දැක හැඳින ගත්තා. ඉන්පස්සේ ළඟ ට අවුත් සිටිකල්හි ඔහුගෙන් ‘යහළුව, කොහි උපන්නෙහිදැයි ඇසුවා. එවිට ඔහු . ‘මහරජ, නොකියනු මැනවි, උරයෙන් බඩගා යන තැනක උපන්නෙමි. නුඹවහන්සේ නම් හොඳ කල්‍යාණමිත්‍රයකු ලැබූ නිසා ඔහුගේ අනුභාවයෙන් මෙවන් තැනක උපන්නා යනුවෙන් කියමින් දුක් වුනා. එවිට සක්දෙවිඳු ‘යහළුව, නුඹ නුසුදුසු තැනක උපන්නෙමි’යි සැක නොකරන්න. පියුමතුරා බුදුරජාණන් වහන‍්සේ ලොව පහළ වී සිටිනවා. උන්වහන්සේට පින්කම් කොට මෙතැනම ප්‍රාර්‍ත්‍ථනා කරන්න. එවිට අපි දෙදෙනාම සුවසේ වාසය කරමු. ’යි යැයි කියා සිටියා. ඉන්පසු ඔහු ‘ස්වාමීනි, එසේ කරන්නෙමැ’යි ගොස් පදුමුත්තර තථාගතයන්වහන්සේට නිමන්ත්‍රණය කොට තම නාගභවනයෙහි නාපිරිස සමඟ සියලු රෑ සත්කාර සම්මාන පිළියෙළ කරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර 

රාහුල-රට්ඨපාල ත්‍ථෙරවත්‍ථු අඅංගුත්තර නිකාය අට්ඨකථා එකකනිපාත -අට්ඨකථා – එතදග‍්ගපාළි – තතියඑතදග‍්ගවග‍්ගො

error: Content is protected !!