අපේ බුදුහාමුදුරුවෝ 425 (සන්තිකේ නිදානය)

 

භද්දිය රජ, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුද, උපාලි කපුවාද යන සත්දෙන සාසනයට ඇතුළත්වීම.

බත සැළියෙන් ඉබේ පහළවනු බව සිතූ අනුරුද්ධ කුමාරයා. 01

මේ ගතවෙන්නේ අප බුදුපියාණන් වහන්සේගේ හතලිස්පස්වසරක වස් කාලය තුල දෙවැනි වස් සමයයි. මේ කාලය තුල බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට පැමිණ තම ආදරණීය පියා, සුළු මව, බිරිඳ, පුතු, සහෝදරයා නන්ද කුමරු ඇතුළු ඥාති පිරිවර නිවන් මාවත වෙත යොමු කොට අවසන්. එහෙත් උන්වහන්සේ බැහැදැකීම සඳහාම කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරමින් පැමිණි සම්බුද්ධ රාජ්‍යයම තවමත් ඒකරාශී වී නැහැ. ඒ නිසා උන්වහන්සේ ඒ යුතුකම ඉටුකිරීමෙන් අනතුරුව තවදුරටත් ඔවුන්ගේ රාජකීය ලාභ සත්කාර ලබමින් එහිම නොරැඳී රජගහ නුවරින් පිටත්වීමට අදහස් කරන්නට ඇත්තේ ඒ අනෙකුත් අයටත් තම ප්‍රර්ථනා සඵල කරදීමේ අදිටනින්ම වෙන්නට ඇති. ඒ නිසාම උන්වහන්සේ කපිලවස්තු පුරයෙන් නික්ම මල්ල ජනපදයට පැමිණ එහි අනෝමා නදී තීරයෙහි අනුපිය නිගමනයට සම්ප්‍රාප්ත වී එහි වූ මනහර අඹ වනය වාසය සඳහා තෝරාගත්තා. ඒ අනුපිය නම් නියම් ගම අයත් වුනේ මල්ල රජදරුවන්ට.

බෝසතාණන් වහන්සේගේ දේහ ලක්ෂණ බැලූ බමුණන් පිරිස බිලිඳා වැඩිවිය පැමිණි පසු සම්මා සම්බුද්ධත්වයට හෝ සක්විති රජකමට පත්වන බව පැවසූ දිනයේදී රැස් වූ අසුදහසක් වූ නෑයන් පිරිස කුමරා රජවුවත් බුදුවූවත් ක්ෂත්‍රියයන් පිරිවරා හැසිරෙන්නේ යයි ප්‍රතිඥා දුන්නා. ඒ බව ශුද්ධෝදන රජතුමා නෑයින් හට මතක් කිරීමෙන් පසු ඒ සෑම කෙනෙකුම තම පවුලෙන් අවම වශයෙන් එක කුමරෙකු හෝ සාසනය වෙත පූජා කිරීමට පටන් ගත්තා. ඒ සමගම, ප්‍රකට වූ ශාක්‍ය කුමරුන් සය දෙනෙක් වූ භද්දිය රජ, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුද, සහ ඔවුන්ගේ කරණවෑමියා වූ උපාලි කපුවාද පැවිදි දිවියට එක්වුණා. ඔවුන් මේ සාසනයේ සුප්‍රසිද්ධ චරිත. ඒ නිසා මෙම කෙටි විස්තරය ඔවුන් පිළිබඳවයි..

අනුරුද්ධ මහරහතන් වහන්සේ නමින් හඳුන්වන්නේ දිවැස් ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයයි සැළකු මහරහතන් වහන්සේ. ඔහුට එය ලැබුනේ බුදුන් හමුවේ කරනු ලැබූ ප්‍රාර්ථනා හමුවේ පමණක්ම නෙවෙයි. දිවා රෑ දෙකෙහිම නොනවත්වා පුරුදු කරනලද ආලෝක කසිණ භාවනාවේ අග්‍රභාවය හමුවේම යන්න දතයුතුම කරුණක්. තෙරුන්වහන්සේ බොජුන් සඳහා පමාවීම පමණක් හැර ඉතිරි කාලය පුරාවටම ආලෝකය වඩා දිවැසින් සත්වයන් බලමින්ම වාසය කරන්නට වුණා යන්න “අනුරුද‍්ධත්‍ථෙරවත්‍තු” වේ සඳහන්. මෙසේ දිවාරාත්‍රියෙහි පුරුදුකරනලද දක්‍ෂතාව හේතුකොටගෙන උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වුණා. තවද කල්පලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රර්ථනා කරලද බැවින්ද උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානය ලැබුවා. මේ උන්වහන්සේගේ අතීත කතා පුවත කෙටියෙන්.

මෙම කුලපුත්‍රයා පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේගේ කාලයෙහි නිතිපතා දහම් ඇසීම සඳහා වෙහෙරට යන මහජනයා සමඟ විහාරයට යාමට පුරුද්දක් කොට සිටියා. ඔහු ඒ කාලයේ එක්තරා අප්‍රසිද්ධ නම් ඇති ධනවත් පුද්ගලයෙක්. ඔහු භාග්‍යවතුන්වහන්සේට වැඳ පිරිස් කෙළවරෙහි සිට දහම් අසයි. එක දිනක් පදුමුත්තර ශාස්තෘන්වහන්සේ දේශනාව අනුසන්‍ධි ගන්වා එක් දිවැස් ඇති භික්‍ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තබනු ලැබුවා. ඒ දෙස බලා සිටි ඔහුට මෙසේ සිත්වුණා. “ශාස්තෘන්වහන්සේ යමෙකු මෙසේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රභාවයෙහි තැබූසේකද ඒකාන්තයෙන්ම මේ භික්‍ෂුව ශ්‍රේෂඨයෙකි. ‘අහෝ! මමද අනාගතයෙහි පහළවන බුදුවරයකුගේ සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙහි අග්‍රවන්නෙමි නම් යෙහෙකැ’යි” සිත් උපදවා පිරිස අතුරෙන් ගොස් හෙට දිනය සඳහා භික්‍ෂු සංඝයා සමඟ භාග්‍යවතුන්වහන්සේට ඇරයුම් කරනු ලැබුවා. ඇරයුම් කොට දෙවැනි දිනයෙහි බුදුපාමොක් බික් සඟනට මහදන්දී මාවිසින් මහත් වූ තනතුරක් පතනලදැයි ඒ ක්‍රමයෙන්ම අද සඳහා හෙට සඳහා යනුවෙන් ආරාධනා කොට එලෙස දින සතක් මහදන් පවත්වා පිරිවර සහිත භාග්‍යවතුන්වහන්සේට උතුම් වස්ත්‍රදී, ‘භාග්‍යවතුන්වහන්ස, මේ සත්කාරය මම දිවසැපත් සඳහා මිනිස් සැපත් සඳහා නොකරමි. ඔබවහන්සේ මෙයින් දින සතකට මත්තෙහි යම් භික්‍ෂුවක දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක්ද මමද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි ඒ භික්‍ෂුව මෙන් අග්‍ර වෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කොට වැද නමස්කාර කරමින් සිටියා. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ පැතුම ඉටුවන බව දැන මෙසේ වදාරනු ලැබුවා. ‘පින්වත් පුරුෂය, ආනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුරජාණන්වන්සේ මෙලොව උපදිනවා.. උන්වහන්සේගේ සසුනෙහි ඔබ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වූ අනුරුද්ධ නම් වනවා.’ මෙසේ පවසා බුත්තානුමෝදනාවකොට විහාරයටම වඩිනු ලැබුවා.

ඔහුද බුදුරජාණනන්වහන්සේ වෙසෙන තෙක් අත් නොහැරම යහපත් කටයුතු කොට ශාස්තෘන්වහන්සේ පිරිනිවන් පෑ කල්හි සත් යොදුන්වූ ස්වර්‍ණ චෛත්‍යය තනා නිමවූ කල භික්‍ෂුසංඝයා වෙත එළඹ, ස්වාමීනි දිවැසට උපකාරක දේ කුමක්දැයි විමසනු ලැබුවා. ‘උවසුව, පහන්දානය දීම නම් වටනේය’යි උන්වහන්සේලා පවසා සිටියා. ‘මැනව, ස්වාමීනි කරන්නෙමි’යි දහසක් පත් ඇති පහන්ගස් දහසක් ඉඳිකරවනු ලැබුවා. ඉන් අනතුරුව ඊටතරමක් අඩු, ඊටත් තරමක් අඩු ආදී වශයෙන් නොයෙක් දහස් ගණන් පහන්ගස් කරවනු ලැබුවා. ඒ වටා වූ ඉතිරි පහන් වනාහි අප්‍රමාණ වුණා.

මෙසේ දිවි ඇති තෙක් පින්කම්කොට දෙවියන් අතුරෙහිද මිනිසුන් අතුරෙහිද සැරිසරමින් කල්පලක්‍ෂයක් ඉක්මවා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක ඉපිද ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑකල යොදනක් වූ චෛත්‍යය නිම වූ කල්හි බොහෝ රන් පාත්‍ර කරවා ඉතා පිරිසුදු ගිතෙල් පුරවා මැද එකෙනක උක්සකුරු පිඬක් තබා මුවවිටින් මුවවිට ගටවමින් චෙත්‍යය වටකොට දල්වනු ලැබුවා. ඉන්පසු තමාට සියල්ලෙන් මහත් වූ රන් බඳුනක් කරවා පිරිසුදු ගිතෙල් පුරවා එහි මුවවිටෙහි හාත්පසින් වැටිදහසක් දල්වා මැද කොත රෙදිවලින් වෙලා ඒ බදුන හිසෙහි තබා සියලුරැය යොදුනක් වූ සෑය වටේ පැදකුණු කරනු ලැබුවා. මෙසේ ඒ අත්බැවින්ද දිවි ඇතිතෙක් පින්කම් කොට යලිත් දෙව්ලොව උපන්නා.

 

උපකාර වූ මුලාශ්‍ර –

අනුරුද‍්ධත්‍ථෙරවත්‍ථු – අඞ‍්ගුත‍්තරනිකාය -එකකනිපාත-එතදග‍්ගපාළි -පඨමඑතදග‍්ගවග‍්ගය

සඞ්ඝභෙදක්‍ඛන්‍ධ වර්‍ණනාව – චූළවග්ග අට්ටකථා