අපේ බුදුහාමුදුරුවෝ 426 (සන්තිකේ නිදානය)

 

භද්දිය රජ, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුද, උපාලි කපුවාද යන සත්දෙන සාසනයට ඇතුළත්වීම. 02

කනුකැමති වේලාවට බත තැටියෙන් ඉබේ පහළවනු බව සිතූ අනුරුද්ධ කුමාරයා. 02

මේ සසර හරිම පුදුමයි. එක් භවයක සිටුවරයෙක් වශයෙන් උපදින තැනැත්තාම තවත් භවයක අන්ත දිළින්දෙක්. ඒ, සසරෙහි කිසියම් භවයක කල කී දෑ අනුව. ඔහුටත් ඒ විශ්ව නියාමය එලෙසම බලපෑවා. යළි බුදුකෙනෙකුන් පහළනොවූ කාලයක එනුවරම දිළිඳු කුලයක ඔහු යලිත් උපත ලැබුවා. ඒ නුවර හිටියා සුමන නම් සිටුවරයක්. ඔහු සුමන සිටුවරයා ඇසුරුකොට වාසය කරනු ලැබුවා. එකල ඔහු “අන්නභාර”. යන නමින් හැඳින්වුණා. ඒ සුමන සිටුතුමා ද දුගීමගී යාචකයන්ට තමන්ගේ ගෙදර මහා දන්දුන්නා. එක් දිනක් උපරිට්ඨ නම් වූ පසේබුදුන්වහන්සේ ගන්‍ධමාදන පව්වෙහි නිරෝධ සමාපත්තියට සමවන්සේක් එයින් නැගිට ‘අද කවරකුට අනුග්‍රහ කිරීමට වටනේදැ’යි විමසා බැලුවා. බුදුවරු බලනවා ඇත්තේ දිළිඳු කමට වඩා පූර්ව කුසල ශක්තිය. උන්වහන්සේ “අද මා විසින් අන්නභාරට අනුග්‍රහ කිරීමට වටනේයයි” සිතා දැන් අන්නභාරතෙමේ වනයෙන් තමන්ගේ ගෙට එන්නේයයි දැන පාසිවුරු ගෙන ගන්‍ධමාදන පව්වෙන් අහසට නැගී ගම්දොරෙහිදීම අන්නභාරගේ ගෙමිදුලෙන් බිමට වැඩියා.

අන්නභාර තුමා හිස් පාත්‍රය අතැති පසේබුදුන්වහන්සේ දැක පසේබුදුන් වැඳ, ‘ස්වාමීනි දානය සඳහා වැඩම කළාදැ’යි අසා සිටියා. එවිට උන්වහන්සේ ‘මහ පිනැත්ත, ලබනෙමුය’යි පවසා සිටියා. එසේනම් ස්වාමීනි, මඳක් මෙහිම වැඩසිටින්නැ’යි පවසා වේගයෙන් ගොස් තමන්ගේ බිරිඳගෙන්, ‘සොදුර මට තැබූ බත්පංගුව ඇද්ද නැද්දැ’යි විමසුවේ නිවෙසෙහි වෙන කිසිවක් නැතිනිසා වෙන්නට ඇති. ආදරණීය බිරිඳක් තමා නොකෑවත් තම ස්වාමිපුරුෂයාගේ බත්පත අමතක කරන්නේ නැහැ. ‘ඇත, ස්වාමීනි’, කිවේ ඒ නිසාම වෙන්නට ඇති. ඔහු ඒ සැණින්ම ගොස් පසේබුදුන්වහන්සේගේ පාත්‍රය ගෙන අවුත් ‘සොදුර, අපි පෙර පින් නොකළ බැවින් බොජුන් සොයමින් හැසිරෙමු. අපට දෙනු කැමැත්ත ඇති කල්හි දානවස්තුවක් නොවෙයි. දාන වස්තුව ඇතිකල්හි පිළිගන්නෙකු සොයා ගැනීමට නොහැකියි. අද ඒ කරුණු දෙකම සඵල වූ දවසක්. අද උපරිට්ඨ පසේ බුදුන්වහන්සේ ද වැඩලා. මගේ බත්පංගුව ද තියෙනවා. ඒ නිසා මගේ පංගුව මේ පාත්‍රයෙහි හෙලන්නැ’යි කියා සිටියා.

ඒ පින්වත් බිරිද මෙලෙස සිතුවා, “යම් හෙයකින් මගේ සැමියා බත්පංගුව දෙයිද මා විසිනුදු මේ දානයෙහි කොටස්කාරියක විය යුතුයි” සිතා තමාගේ බත් කොටස ද උපරිට්ඨ පසේබුදුන්වහන්සේගේ පාත්‍රයටම පූජා කරනු ලැබුවා. අන්නභාරතුමා ද පාත්‍රය ගෙන පසේබුදුන් වහන්සේගේ අතෙහි තබා ‘ස්වාමීනි, මේබඳු වූ දුක් ජීවිතයෙන් මිදෙන්නට ලැබේවා’ යනුවෙන් පවසා සිටියා. උන්වහන්සේත් ‘මහපිනැත්ත, එසේම වේවා’යි වදාරනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි ඔහු තමන්ගේ උතුරු සළුව පොළොවෙහි එක් තැනක එළා ‘ස්වාමීනි, මෙහි හිඳ වළඳන සේක්වා’යි යනුවෙන් ද පවසා සිටියා. පසේ බුදුන්වහන්සේ එහි වැඩහිඳ නව ආකාර පිළිකුල් බව ප්‍රත්‍යවේක්‍ෂා කරමින් වැළඳූ පසු අන්නභාරතුමා පැන් ද, පා දෙවුනා දිය ද ලබා දුන්නා. පසේබුදුන්වහන්සේ අවසානයේ

“ඔබේ ඉටූ පැතූ සියල්ලම ඉටුවේවා! පසළොස්වක් සඳමෙන් සියලු සංකල්පයෝ සපිරෙත්වා”යි! ආශීර්වාද කොට නැවත ආපසු වැඩියා.

එදින තවත් පුදුම දෙයක් වුනා. සුමන සිටුවරයාගේ ඡත්‍රයට අධිගෘහිත වූ දේවතාවා, ‘ආශ්චර්‍ය්‍යයකි, දානයක්, උත්තම දානයක් උපරිට්ඨ පසේ බුදුන් කෙරෙහි පිහිටුවනලදැ’යි කියා තෙවරක් සාධුකාර දුන්නා. මෙය ඇසුණු සුමන සිටුවරයාට පුදුම හිතුනා. මෙතරම් ඔහු විසින් දන් දුන්නත් මෙම දේවතාව කිසිදිනක මෙහෙම සාදුකාර දීලා නැහැ. ඔහු මෙහෙම ප්‍රශ්න කරනු ලැබුවා. ‘දේවතාවෙනි, කිම, ඔබ මෙපමණ කලක් දන් දෙන්නා වූ මා නොදක්නෙහිඳ’? එවිට ඒ දේවතාව මෙලෙස පිළිතුරු දුන්නා.

 ‘මම ඔබේ දානයට සාධුකාර නොදෙමි. අන්නභාර විසින් උපරිට්ඨ පසේබුදුන් වහන්සේට දුන් පිණ්ඩපාතයෙහි පැහැදී සාධුකාර දෙමි’යි යනුවෙන්.

එය ඇසු සුමන සිටුවරයාට මෙහෙම සිතිවිල්ලක් පහළ වුනා. ‘මෙය පුදුමයකි, මම මෙතෙක් කල් දන් දුන්නත් දෙවියන් ලවා සාධුකාර දෙවීමට නොහැකි වූයෙමි. මේ අන්නභාර තෙමේ මා නිසා වසන්නේ මනා වූ ප්‍රතිග්‍රාහක පුද්ගලයකු ලදබැවින් එක් පිණ්ඩපාත දානයකින්ම සාධුකාර දෙවීය. මොහුට සුදුසු දෙයක් කොට මේ පිණ්ඩපාතය මා සතු. කර ගැනීමට වටීය’යි යනුවෙන්. ඔහු අන්නභාරව කැඳවා ‘අද ඔබවිසින් කිසිවකුට කිසියම් දානයක් දෙනලදදැ’යි විමසුවා. ‘ආර්‍ය්‍යයෙනි, එසේය, උපරිට්ඨ පසේබුදුන් වහන්සේට මා විසින්, මා සන්තකව තිබූ එකම බත් පත දනට දෙනු ලැබුවා’.

‘එම්බා පින්වත, කහවණු ගෙන ඒ පිණ්ඩපාතය මට දෙව’යි එවිට සුමන සිටුවරයා කියා සිටියා. ඔහු ‘ස්වාමීනි නොදෙමි’යි පිළිතුරු දුන්නා. හෙතෙම දහස දක්වා (කහවණු ගණන) ඉහළට නංවනු ලැබුවා. අන්නභාර තුමා ද ‘දහසකිනුදු නොදෙමි’යි නැවත කියා සිටියා. ‘පින්වත එසේ වේවා, ඉදින් ඔබ පිණ්ඩපාතය නෙදෙහි නම් දහසක් ගෙන පින මට දෙව’යි නැවත වෙනත් අයුරකින් එය ඉල්ලා සිටියා. ‘එයද දීමට සුදුසු ද නොසුදුසුදැයි නොදනිමි. ආර්‍ය්‍ය වූ උපරිට්ඨ පසේබුදුන්වහන්සේ විමසා ඉදින් දීමට සුදුසුවන්නේ නම් දෙන්නෙමැ’යි ඔහු පවසා සිටියා.

පසේබුදුන්වහන්සේ වෙත පැමිණි ඔහු, ‘ස්වාමීනි, සුමන සිටුතුමා මට දහසක් දී නුඹවහන්සේට දුන් පිණ්ඩපාතයෙහි පින ඉල්ලා සිටිනවා. දෙම්දැයි නොදම්දැයි මට තේරුමක් නැහැ’. එවිට පසේ බුදුරජාණන් වහන්සේ අප කා හටත් වැදගත් ලස්සන උපමාවකින් එය මෙලෙස පැහැදිලි කළා. ‘පණ්ඩිතය, ඔබට උපමාවක් ඉදිරිපත් කරමි. යම්සේ කුල සියයක් ඇති ගමක එකම ගෙයක පහනක් දල්වන්නේද? සෙස්සෝ තමන්ගේ තෙලින් වැටි තෙමා දල්වා ගන්නාහු ද, පළමු පහනෙහි ආලෝකය ඇතැයි කිවයුතු ද නැතැයි කිවයුතුදැ’යි ඇසූසේක. ‘ස්වාමීනි, වැඩි වූ ආලෝකයක් වේයයි එවිට ඔහු පැවසුවා. ‘පණ්ඩිතය එසේම, හැන්දක කැඳ වේවා! හැන්දක හික්‍ෂාව වේවා! තමන්ගේ පිණ්ඩපාතයෙහි පින අනුන්ට දෙන්නහුට සියයකට හෝ දහසකට හෝ දේවා! යම් පමණක් දෙයි ද එපමණටම ඒ පිනත් වැඩෙයි. ඔබ දෙපල එකම පිණ්ඩපාතයක් දුන්නෙහිය. සුමන සිටුව දුන් පිනෙන් පිණ්ඩපාත දෙකක් වෙයි. එකක් නුඹටය, එකක් ඔහුටය යනුවෙනි’යි වදාරනු ලැබුවා.

හෙතෙම පසේබුදුන්ට වැද සුමන සිටුවරයාගේ සමීපයට ගොස්, ‘ස්වාමීනි, පිණ්ඩපාතයෙහි පින ගනුමැනවැ’යි කියා සිටියා. ‘එසේනම්, කහවණු දහසක් ගනුව’යි සිටුතුමාද පිළිතුරු දුන්නා. ‘මම පිණ්ඩපාතය නොවිකුණමි. සැදැහැයෙන් නුඹවහන්සේට පින දෙමි’යි ඔහු පෙරළා පිළිතුරු දුන්නා. ‘දරුව නුඹ මට සැදැහැයෙන් පින දෙනු ලබනවා. මම වනාහි නුඹගේ ගුණය පුදමින් දහසක් දෙමි. ගන්න දරුව’යි කියා සිටියා. ඔහු ‘එසේ වේවා’යි කහවණු දහස ගනු ලැබුවා. ‘දරුව නුඹට දහස ලැබුණු කාලයෙහි සිට සියතින් වැඩ කීරීමක් නැත. වීථියෙහි ගෙයක් තනවා වසන්න. යමකින් ඔබට වැඩක් ඇත්නම් එය මට පමුණුවා ගනුව’යි යනුවෙන් සිටුවරයා නැවතත් කියා සිටියා.

උපකාර වූ මුලාශ්‍ර –

අනුරුද‍්ධත්‍ථෙරවත්‍ථු – අඞ‍්ගුත‍්තරනිකාය -එකකනිපාත-එතදග‍්ගපාළි -පඨමඑතදග‍්ගවග‍්ගය

error: Content is protected !!