වප්ප මහරහතන් වහන්සේ.

 

පදුමුත්තර බුදුරජාණන්‌ වහන්සේගේ කාලයේ දී හංසවනී නුවර සිටුගෙයක ඉපිද වැඩිවියට පත්ව, “අසුවල්‌ අසුවල්‌ තෙරවරු ශාස්තෘන්‌ වහන්සේගේ පළමු ධර්ම දේශනාව පිළිගත්හ” යි යන්න අසා ඉතා සතුටට පැමිණියේ ය. පසුව භාග්‍යවතුන්‌ වහන්සේ වෙත එළඹ වැඳ තමා තෙරුවන්‌ සරණයන බව පවසා.,”ස්වාමීනි ! මම ද අනාගතයේ දී නුඹ වහන්සේ වැනි සම්බුදුවරයකුගේ ප්‍රථම ධම්දේශනාව අසන්නවුත්‌ අතුරින්‌ එක්‌ අයෙකුවෙම්‌ වා” යි ප්‍රාර්ථනා කළේය. ඔහු දිවි ඇති තාක්‌ එලෙසින්‌ පින්දහම්‌ සිදුකොට ඉන්‌ චුතව දෙව්‌ – මිනිස්සු දෙගතියේ සැරි සරා අපගේ බුදුරජාණන්‌ වහන්සේ පහලවන සමයෙහි කපිලවස්තුවේ වාසෙට්ඨ නම්‌ බමුණාගේ පුතෙතු වී උපන්නේය. දෙමාපියෝ ඔහුට වප්ප යන නම තැබුහ. ‘අසිත සෘෂිවරයා විසින්‌ සිදුහත්‌ කුමරු සර්වඥ වන්නේය” (බුදුවන්නේය) යනුවෙන්‌ පවසන ලද බැවින්‌ කොණ්ඩඤ්ඤ පුමුඛ බ්‍රාහ්මණ පුතුන්‌ සමග ගෘහවාසය හැරදමා තාපස ප්‍රවෘජ්‍යාවෙන්‌ පැවිදි වී එකුමරු බුද්ධත්වයට පත්‌ වූ පසුව, උන්වහන්සේ සමීපයට ගොස්‌ බණ අසා නිවන්‌ අවබෝධ කරගන්නෙම්‌” යි සිතා උරුවේලාවෙහි වාසය කළේය. මහ බෝසතාණෝ සයවසරක්‌ දුෂ්කර ක්‍රියා කොට, ඉන්‌ වෙන්ව දළ ආහාර ගැනීමට පටන්‌ ගත්කල්‌ හි උන්වහන්සේ හැර දමා ඉසිපතනයට ගිය වප්ප තවුසා, සම්බුද්ධපවයට පත්‌ වු ශාස්තෘන්‌ වහන්සේ සත්‌ සති ගෙවා ඉසිපතනයට වැඩ දම්සක්‌ පැවතුම්‌ සුත්‍රය දේශනා කිරීමෙන්‌ පසුදින සෝවාන්‌ ඵලයෙහි පිහිටියේය. පස්වන දින අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී තවුසන්‌ සමග ම මහරහත්‌ ඵලයෙහි පිහිටි වප්ප තෙරණුවෝ, සිය චරිතාපදානය මෙසේ දක්වුහ.දෙව්‌ රජුන්‌ දෙදෙනෙකුගේ මහා සංග්‍රාමයක්‌ එළඹුණි. බොහෝ දෙවියෝ රැස්වුවාහු මහා ඝෝෂාවක්‌ හටගත්තේය. ලෝකයාගේ පූජාවන්‌ පිළිගත්නා වු තුන්‌ ලෝ මැනවින්‌ දත්‌ ශාස්තෘ වු පදුමුත්තර බුදුරජාණන්‌ වහන්සේ අහසෙහි වැඩ හිදිමින්‌ මහජනයා සංවේගයට පත්කළ සේක. එකෙණෙහි සියලු දෙවියෝ තුටුව බැහැර ලු ආයුධ හා යුධ ඇඳුම්‌ සහිතව බුදුරජාණන්‌ වහන්සේට වැඳ එකඟ සිතින්‌ පසෙක සිටියහ. අපගේ සිත්‌ දැනගත්‌ බුදුරජාණෝ මේ ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළ සේක. හටගත්‌ අනුකම්පාවෙන්‌ යුධ ගිනි නිවුසේක.

“එක්‌ ප්‍රාණියකු හෝ නසන දුෂිත සිත්‌ ඇති මනුෂ්‍යයා එම නපුරු සිත නිසා අපායෙහි ම උපදින්නේ ය. යුධ පෙරමුණෙහි බොහෝ ප්‍රාණීන්‌ සිය සිත නිවවු, නැවත නැවත නො නසවු.”

මෙය ඇසු යක්‍ෂ සේනාවෝ විශ්මයට පත්‌ වුහ. තාදි ගුණ ඇති ලෝක නායකයන්‌ වහන්සේගේ සරණ ගිය ඔවුහු යුද්ධය නැවැත්වුහ. පසැස්‌ ඇති බුදුපියාණෝ ජනසමුහයාට කරුණු අවබෝධ කරවා පවින්‌ ගොඩ ගත්හ. දෙවියන්‌ විසින්‌ බලාසිටිය දීම උන්වහන්සේ උතුරු දෙසට වැඩිසේක. ඒ අසිරිය දුටු මම පළමු කොට බුදුන්‌ සරණ ගියෙමි. එහි ආනුභාවයෙන්‌ කල්ප ලක්‍ෂයක්‌ මුලුල්ලෙහි දුගතියක නුපන්නෙමි. මෙයින්‌ තිස්‌ දහස් වන කල්පයේ දී රජවරු අතර ශ්‍රේෂඨ වු මහා දුන්දුහි නාමයෙන්‌ සක්විති රජවරු දාසයක්‌ ව සැප වින්දෙමි. දැන්‌ මම සියලු කෙලෙස්‌ නැසුයෙමි. බුදුරජාණන්‌ වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”‘

රහත්‌ බවට පත්‌ වු උන්වහන්සේ තමා ලැබු සම්පත්‌ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම්‌ වශයෙන්‌ නුවණින්‌ විමසා, ශාස්තෘන්‌ වහන්සේගේ ගුණ අසීමිත බව දන, “මෙවැනි බුදුවරයෙකුට බාහුලිකාවදයෙන්‌ කථාකළෙමු. අනේ පුහුදුන්‌ බව නම්‌ අන්ධ අවස්ථාවකි. ඇස්‌ නැති බවකි. ඇස්‌ ඇති බව නම්‌ ආර්යභාවයමයැ” එනිසාම අපි පෙර තවුසන්‌ ව සිටිය දී නිවැරදි දැක්මක්‌ නොවු හෙයින්‌, සියලු ඥාන සාගරයේ පරතෙරට ගොස්‌ ලොව සියලු දෙය අතැඹුලක්‌ සේ දන්නාවු දක්නා වූ භාග්‍යවතුන්‌ වහන්සේ පිළිබදව අවබෝධ කරගැනීමට අපොහොසත්‌ ව ආවුසෝ වාදයෙන්‌ කථා කළෙමු. උන්වහන්සේ තත්වාකාරයෙන්‌ වටහා නො ගත්තෙමු. දන්‌ වනාහී බුද්ධානුභාවයෙන්‌ යුක්තව ආර්ය්‍යයන්‌ ද පුහුදුන්‌ පුද්ගලයන්‌ ද තත්‌ වු පරිදි අවබෝධ කරගැනීමට දැකීමට සමත්‌ වෙමි. සේවනය කළයුතු නො කළ යුතු ධර්මයන්හි හා පුද්ගලයන්‌ කෙරෙහි තමන්‌ වහන්සේගේ අවිපරීත ප්‍රතිපත්තිය මෙසේ දක්වුහ.