උරුවෙලකස්සප මහරහතන් වහන්සේ.

 

මහත් පිරිවර ඇත්තවුන් අතුරින් උරුවෙලකස්සප තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. අනෙක් තෙරවරුන්ට වනාහි කිසියම් කාලයක් පිරිවර මහත්වෙයි. කිසියම් කාලයක මඳ වෙයි. මේ තරුන්ට වනාහි දෙබෑයන් සමග ශ්‍රමණයින් දහසක් නිබඳ පිරිවර වූයේය. ඔවුනතුරින් එක් කෙනෙකු එක්කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවනකල්හි දෙදහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. එහෙයින් හෙතෙම මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූයේය. කස්සප යන මොහුගේ ගෝත්‍රයයි. උරුවේලාවෙහි පැවිදිවූ බැවින් ‘උරුවෙලකස්සප’යි ප්‍රසිද්ධ විය.

පියුමුතුරා බුදුන් කළ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අගබව පැතුවේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක.

ඒ කුලපුත් තෙමේත් දිවිහිමියෙන් කුසල්දම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මෙයින් කල්ප අනූදෙකක් මත්තෙහි ඵුස්ස බුදුන්වහන්සේගේ වෙනත් මවකගෙන් උපන් කනිටු බෑයාවී උපන්නේය. පියා මහින්‍ද නම් රජවිය. මොහුට වෙනත් කනිටු සොහොයුරෝ දෙනනෙක් වූහ. මෙසේ ඒ තුන්බෑයෝ වෙන්වෙන්ව තනතුරු ලැබූහ. ඔවුහු යට කියනලද ක්‍රමයෙන් කිපියාවූ ප්‍රත්‍යන්තය සංසිඳුවා පියාවෙතින් වරලැබ තෙමසක් බුදුන්වහන්සේ පිළිදැගුම් කරන්නෙමුයි වරයක් ගත්තාහුය. ඉක්බිති ඔවුනට මෙසේ අදහසක් විය. ‘දශබලයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක් කිරීමට වටී’ යනුවෙනි. එක් අමතියකු නිෂ්පාදක ස්ථානයෙහි තබා එකෙකු අයවැය දන්නෙකුකොට එකෙකු බුදු පාමොක් මහසඟනට අහර දෙමින් විධාන කරන්නෙකුගේ තනතුරෙහි තබා තමන් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රැක්කාහුය. ඒ ඇමතිවරු තිදෙන යටකියන ලද අයුරින්ම මේ බුද්ධෝත්පාදයෙහි බිම්බිසාර, විශාඛ හා රට්ඨපාල යන අයවූහ.

ඒ රජකුමරුවෝ වනාහි භාග්‍යවතුන්වහන්සේ විසූවස් ඇති කල්හි සියතින් බුදුපාමොක් සඟනට ප්‍රත්‍යය පූජාවෙන් පුදා දිවිඇති තෙක් කුසල් දහම් කොට අපගේ බුදුන්වහන්සේට පෙරටුවම බමුණුකුලයක ඉපිද තමන්ගේ ගොත්‍ර වශයෙන් තිදෙනාම කාශ්‍යප නම් වුවාහුය. වියපත් ඔවුහු ත්‍රිවේදයන් උගත්තාහුය. ඔවුන්ගේ දෙටු බෑයාට පන්සියයක් මානවකයෝ පිරිවරවූහ. මැඳුම් බෑයාට තුන්සියයකි. කනිටු බෑයාට දෙසියයකි. ඔවුහු තමන්ගේ ග්‍රන්‍ථයෙහි හරය බලන්නාහු ඉහාත්මයෙහිම බැලුවාහුය. පරලොව අයත් දෙය නොබැලුවාහුය. ඉක්බිති ඔවුන්ගේ දෙටු සොහොයුරා තමන්ගේ පිරිපර සමඟ උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව උරුවෙලකස්සප නම් වූයේය. මහගඟ නදීවංකයක පැවිදිවූ තැනැත්තේ නදීකස්සප නම් වූයේය. ගයා ශීර්ෂයෙහි පැවිදිවූ තැනැත්තේ ගයා කස්සප නම්විය.

මෙසේ ඔවුන් සෘෂි පැවිද්දෙන් පැවිදිව එහි වසන කල්හි බොහෝ දිනකට පසුව අපගේ බෝසතුන්වහන්සේ මහබිනික්මන් නික්මලද සර්‍වඥතාඥාන ඇත්තාහු අනුපිළිවෙළින් දම්සක් පවත්වා පස්වග තෙරුන් රහත්බවෙහි පිහිටුවා යසදාරකයන් ප්‍රමුඛවූ පස්පණස් යහළුවන්ද හික්මවා රහතුන් සැටනම ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිතසුව සඳහා චාරිකාවෙහි හැසිරෙවුයයි යවා භද්‍රවර්ගීයයන් හික්මවා උරුවෙල් කසුප්ගේ හේතුව දැක ‘මා ගිය කල්හි දහසක් පිරිවර ඇති තුන්බෑයන් රහත්බවට පැමිණෙති’යි දැන හුදෙකලාව දෙවැන්නකු නොමැතිව උරුවෙල් කසුප් වසනතැනට ගොස් විසීම සඳහා ගිනිහල්ගෙය ඉල්වා එහිදී කරනලද නාගදමනය ආදිකොට ඇති ප්‍රාතිහාර්‍ය්‍යයන්ගෙන් පිරිස් සහිත උරුවේල කාශ්‍යප හික්මවා පැවිදි කරවූයේය. ඔහු පැවිදිවූ බව දැන පිරිස් සහිත සෙසු දෙබෑයෝද අවුත් පැවිදිවූහ. සියල්ලෝම සෘද්ධිමය පාත්‍රචීවරධාරී එහිභික්‍ෂූහු වූහ.

ශාස්තෘන්වහන්සේ ඒ මහණුන් දහසගෙන ගයා ශීර්ෂයට ගොස් සමතලා ගලක්මත වැඩහුන්සේක් මොවුනට කවරනම්වූ ධර්‍ම දේශනයක් ගැලපේදැයයි බලන්නාහු ‘මොවුහු ගිනි දෙවියන් පුදමින් හැසිරුනාහුය. මොවුනට භවත්‍රය ගිනිගෙයක් සමාන කොට දැක්වීමට වටීය’යි ආදිත්තපරියාය සූත්‍රය දෙසූසේක. දෙසුම කෙළවර සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් විසින් පිරිවරණලද්දාහු පෙරදීම බිම්සර රජුට දුන් පිළිණ ඇති බැවින් රජගහනුවර ලට්ඨිවනොද්‍යානයට වැඩිසේක. රජතෙමේ බුදුන්වහන්සේ වැඩිබව අසා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමඟ ශාස්තෘන් වෙත එළඹ වැඳ එකන්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ සියල්ලන් ඇතුළත්වූ පිරිස දෙස බලනසේක් මහජනයා උරුවෙල් කසුප්ට ගරුකරනු දැක මොවුහු මගේ හෝ කසුප්ගේ මහත්බව නොදනිති. සැක ඇත්තෝ නම් දේශනාව වටහා ගැනීමට නොහැක්කෝ වෙතියි සිතා කාශ්‍යපය, නුඹේ උපස්ථායකයන්ගේ සැකය සිඳුවයි තෙරුන්ට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේට පසඟ පිහිටුවීමෙන් වැඳ තල්ගසක් පමණවූ අහසට පැන නැඟස සෘද්ධිවිකුර්වණයන් දක්වා ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෲය. මම ශ්‍රාවකයා වෙමි’යි කියා බැස බුදුන්වහන්සේගේ පාවැන්දාහ. මේ ක්‍රමයෙන් සත්වැනි වාරයෙහි තල්ගස්සතක් පමණ අහසට නැඟ යළි අවුත් බුදුන්වහන්සේගේ පා නමැඳ එකත්පසෙක හුන්හ.

එකල්හි මහජනයා මෙතෙම ලෝකයෙහි මහාශුමණයා ශාස්තෘන්වහන්සේ කෙරෙහි නිසැක ඇත්තේවිය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට දහම් දෙසූසේක. දෙසුම කෙළෙවර රජතෙමේ එකොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියේය. එක් නහුතයක් උපාසකබව ප්‍රකාශ කළේය. ඒ උරුවෙල් කසුප්ගේ දහසක් පමණවූ පිරිවර භික්‍ෂූහු තමන්ගේ පුරුදුකිරීම් වශයෙන් සිතුවාහුය: ‘අපගේ පැවිදිකිස මුදුන්පත් විය. පිටත ගොස් කුමක් කරන්නෙමුදැ’යි උරුවෙල් කසුප් තෙරුන්ම පිරිවරා හැසුරුණාහුය. ඔවුන් එකිනෙකා එක් එක් ආශ්‍රය කරන්නෙකු ගත්කල්හි දෙදෙහසෙකි. දෙදෙනෙකු බැගින් ගන්නා කල්හි තුන්දහසක් වේයයි මෙතැන් පටන් ඔවුන් ඇසුරු කරන්නාහු යම් පමණවෙත්ද එපමණක් කීමට වටීය යනු මේ මෙහි කථාවස්තුවයි. මෑත කාලයෙහි වනාහි ශාස්තෘන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසයකරනසේක් තෙරුන්වහන්සේ මහපිරිස් ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.