උපාලි මහරහතන් වහන්සේ.

 

විනයධාරි භික්‍ෂූන් අතරින් උපාලි තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේ වනාහි තථාගතයන්වහන්සේ සමීපයෙන්ම කමටහන් ගෙනවිදසුන්වඩා රහත්බවට පැමිණියහ. තථාගතයන්වහන්සේ සමීපයෙන්ම විනය පිටකය උගෙන භරුකච්ඡක වස්තුවද අජ්ජුක වස්තුවද කුමාරකාශ්‍යප වස්තුවද යන මේ වස්තු තුන සර්‍වඥතාඥානය සමඟ සසඳා ප්‍රකාශ කළහ. එබැවින් විනයධරයන් අතුරෙන් අග්‍රනම් වූහ.

පියුමුතුරා බුදුන් දවස මෙතෙමේ හංසවතියෙහි කුලගෙයක උපන්නේ එක්දිනක් බුදුන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක්භික්‍ෂුවක විනයධරයන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම්කොට එම තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කොට දෙව්මිනිසුන් තඅර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපු (කරණවෑමි) ගෙයක පිළිසිඳගත්තේය. ඔහුට උපාලි දාරකයයි නම් තැබූහ. හෙතෙම වියපත්වූයේ ක්‍ෂත්‍රියයන් සයදෙනාගේ කරණවෑමියාවී තථාගතයන්වහන්සේ අනුපිය අඹවනයෙහි වසනකල්හි පැවිද්ද සඳහා නික්මෙන්නාවූ ඒ ක්‍ෂත්‍රියයන් සයදෙනා සමඟ නික්ම පැවිදිවූයේය. ඔහුගේ ප්‍රව්‍රජ්‍යා විධානය පෙළෙහි ආයේමය.

හෙතෙම පැවිදිව උපසපන් වුයේ ශාස්තෘන්වහන්සේ ලවා කමටහන් කියවා ගෙන ‘ස්වාමීනි, මට ආරණ්‍යවාසය අනුදැන වදාළමැනව’යි කීවේය. මහණ, ආරණ්‍යයෙහි වසන්නාවූ ඔබට එකම ධුතාංගයක් වැඩෙයි. ‘අප සමීපයෙහි වසන්නාවූ ඔබට වාසධුරයද ග්‍රන්‍ථධුරයද පිරෙන්නේය’යි වදාළසේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නාහු නොබෝ දිනකින්ම රහත්බවට පැමිණියහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ තමන් වහන්සේම ඔහුට සියලු විනය පිටකය උගැන්වූසේක. හෙතම මෑත කාලයෙහි යට කියනලද වස්තු තුන විනිශ්චය කළේය. ශාස්තෘන්වහන්සේ එකිනෙකක් විනිශ්චය කළකල්හි සාධුකාර දී තුන්වස්තුවේම විනිශ්චයන් අර්ථෝපත්ති කොට තෙරණුවන් විනයධරයන් අතුරෙන් අගතැන්හි තැබූසේක.

error: Content is protected !!