Ape Budu Hamuduruwo 408

අපේ බුදුහාමුදුරුවෝ 408 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 02

පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේ

පටන් එක්ව පැමිණි අප මහා බෝසතාණෝ සහ යසෝදරා 02

 පුරාණ ශාක්‍යගෝතම බුදුරජාණන් වහන්සේ පටන් මධ්‍යම දීපංකර හෙවත් නියත විවරණ ලබාගත් බුදුරජාණන් වහන්සේ දක්වා අසංඛ්‍ය නවයක් පුරා වචනයෙන් පාරමී පුරාගෙන පැමිණි වාග්ප්‍රණිධාන සමය අතිදුරේ නිදානය වශයෙන් හඳුන්වනු ලබනවා.

ඒ ඒ අසංඛ්‍ය කල්ප වල නම් සහ පහළ වූ බුදුරජාණන් වහන්සේලා සැකවින් මෙලෙස ජිනකාලමාලී ප්‍රකරණයේ දැක්වෙනවා.

භද්දො සබ්බඵුල්ලා – සබ්බරතනො උසභක්ඛන්ධෝ මානිභද්දො ච පදුමො – උසභක්ඛන්තුත්තමෙව ච සබ්බභාසො අසංඛ්‍යෙයෙය්‍යො – නවමොනි පවුච්චති

එහි දී

1.භද්‍ර

2.සබ්බඵුල්ල

3.සබ්බරතන

4.උසභක්බන්බ

5. මානිභද්‍ර

6. පදුම

7.උසභ

8.ඛන්තුත්තම

9. සබ්බභාස වශයෙන් අසංඛ්‍ය නවයක් ගැන කියවෙනවා. ඉන්පසුව ඒ ඒ අසංඛ්‍යයන්හි පහළ වූ බුදුවරු ගැන විස්තරයක් මෙලෙස සඳහන් කොට තිබෙනවා.

පණ්ණාස බුද්ධ සහස්සානි – සබ්බ භද්දෙ අසංඛ්‍ය

සට්ඨි බුද්ධ සහස්සානි – සබ්බ ඵුල්ලේ අසංඛ්‍ය

සත්තති බුද්ධ සහස්සානි – සබ්බ රතනෙ අසංඛ්‍ය

අසීති බුද්ධ සහස්සානි – උසභක්ඛන්ධ අසංඛ්‍ය

නවුති බුද්ධ සහස්සානි – මානිභද්දෙ අසංඛ්‍ය

වීසති බුද්ධ සහස්සානි – පදුමම්හි අසංඛ්‍ය

දස බුද්ධ සහස්සානි – උසභම්හි අසංඛ්‍ය

පඤ්ච බුද්ධ සහස්සානි – ඛන්තුත්තමෙ අසංඛ්‍ය

ද්වේ ච බුද්ධසහස්සානි – සබ්බභාසෙ අසංඛ්‍ය

අසංඛ්‍යෙයෙ නවාමිං – එත්තකානි පවුච්චති

සියලු ගාථාවන්ගේ භාවාර්ථය නම් :-

සබ්බභද්ද අසංඛ්‍යතුල බුදුරජාණන් වහන්සේලා 50 000 ක්ද,

සබ්බඵුල්ල අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 60 000 ක්ද,

සබ්බරතන අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 70 000 ක්ද,

උසභක්ඛන්ද අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 80 000 ක්ද,

මානිභද්ද අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 90 000 ක්ද,

පදුම අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 20 000 ක්ද,

උසභ අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 10 000 ක්ද,

බන්තුත්තම අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 5 000 ක්ද,

සබ්බභාස අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 2000 ක්ද, වශයෙන් මෙලෙස නවාසංඛ්‍ය තුල පහල වූ සියලු සම්මා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ ප්‍රමාණය 387000ක් වනවා.

තීණි සතසහස්සානි – සත්තාසි ති සහස්සඤ්ච

ගණනානඤ්ච බුද්ධානං – සබ්බ බුද්ධෙහි මණ්ඩිතං

අප බෝසතාණන් වහන්සේ නව අසංඛ්‍යයක් තුල වචනයෙන් බුදුබව පතන සමයෙහි තුන්ලක්ෂ අසුහත්දහසක් (387000) සම්මා සමුබුදුරජාණන් වහන්සේලා හමුවේ දානාදි කුසල පාරමී පූරණයෙන් වාග් ප්‍රණිදානය මුදුන්පත්කොට ගෙන තිබෙනවා. මෙම කාල පරිච්ඡේදය අතිදූරෙ නිදානය වශයෙන් හැඳින්වෙනවා. මෙලෙස සොළසාසංඛ්‍යයක් තුල ලොව පහළ වී වදාළ සියලු බුදුවරයන් වහන්සේලා පන්ලක්ෂ දොළොස් දහසක්. (512 000)

දැන් ඔබ මෙම කරුණුත් සිතේ තබාගෙන යසෝධරාපදානයේ 998 වන ගාථාවෙහි සඳහන් “බ්‍රහ්මදේව නම් වු ලෝකනායක පුරාණ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අප දෙදෙනාම දුටුවා. අපරභාගයෙහි පහළ වූ අන්‍ය ලෝකනාථයන් වහන්සේලාගෙන්ද ඔබවහන්සේ හා මා ආශීර්වාද ලැබුවා.. ” යනුවෙන් යසෝදරා තෙරණිය විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කල ප්‍රකාශය ගැන මෙනෙහි කරන්න. එවිට එම පුරෝකථනය මෙම කරුණු හා සැසදීමේදී ඔබට ඇය අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සඳහා කැප කරනු ලැබූ කාලය ගැන අදහසක් සිතේ ඇතිකරගත හැකියි.

මෙහි ඉහත “පුරාණ බ්‍රහ්මදේව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල්කොට පුරාණ සක්‍යමුණි භාග්‍යවතුන් වහන්සේ දක්වා අසංඛ්‍ය සතක් තුලදී පිරූ පාරමී සමය මනෝප්‍රණිදාන හෙවත් සිතින්ම බුදුබව පතාගෙන පැමිණි කාලය ලෙස හැඳින්වෙනවා. එවිට ඇයගේ ප්‍රකාශය තුල “පුරාණ බ්‍රහ්මදේව” බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් නිසා මෙම ගමන එවක් පටන් මේ දක්වා පැමිණි දීර්ඝ ගමනක් බවත් ඇයට එවන් කාලයක් ආවර්ජනය කිරීමේ ශක්තිය පැවති බවත් ප්‍රකටවනවා. එම නිසා බෝසතාණන් වහන්සේගේ බිරිඳක් කියන්නේ ඇත්තෙන්ම බුද්ධත්වය සඳහා නොව බුද්ධත්වය ලබාදීමට පාරමී පුරන බෝසත් ස්ත්‍රී ආත්මභාවයක් බව තරයේ මතක තබාගෙන ඊළඟ ලිපි පෙළ කියවීමෙන් ඇය කෙරෙහි මෙන්ම කාන්තාවන් කෙරෙහි මෙතක් ඔබ සිත තුල නැති ගෞරවයක් ඇතිවනවා යන්න හිරු සඳ මෙන්ම විශ්වාස කළ හැකි බව මගේ හැඟීමයි.

උපකාර වූ මුලාශ්‍ර

ජිනකාලමාලී/සීමා විසෝදනී ,

ත්‍රිපිටකාචාර්‍යය,අභිධර්ම විශාරද ගෞරවණීය දිගන සුගතවංශ හිමිපාණන් වහන්සේ විසින් රචිත මහා බෝසතාණෝ ග්‍රන්ථය.

 
 

Ape Budu Hamuduruwo 407

අපේ බුදුහාමුදුරුවෝ 407 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 01

පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන්

එක්ව පැමිණි අප මහා බෝසතාණෝ සහ යසෝදරා

යසෝධරාපදානයේ 998 වන ගාථාවෙහි සඳහන් “බ්‍රහ්මදේව නම් වු ලෝකනායක පුරාණ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අප දෙදෙනාම දුටුවා. අපරභාගයෙහි පහළ වූ අන්‍ය ලෝකනාථයන් වහන්සේලාගෙන්ද ඔබවහන්සේ හා මා ආශීර්වාද ලැබුවා” යනුවෙන් යසෝදරා තෙරණිය විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කල ප්‍රකාශය කියවීමෙන්. මෙයින් ප්‍රකටවන කරුණු දෙකකුත් අප්‍රකට කරුණකුත් වනවා. ප්‍රකටවන කරුණු දෙක තමයි ඒ තරම් දීර්ඝ කාලයක් ඇයට සිහිකිරීමට හැකි බවත්, එතරම් දීර්ඝ කාලයක පටන් බෝසතාණන් වහන්සේ සමග පැමිණි බවත් යන කරුණු දෙකයි. ඔබට එකවර නොහැඟෙන අප්‍රකට කරුණ වන්නේ ඒ කාලය තුල ඇය විසින් විඳිනු ලැබූ දුක්ගැහැට ප්‍රමාණයයි. ඒ සියලුම ආත්මභවයන්හි කොතරම් වාර ප්‍රමාණයක් බෝසතාණන් වහන්සේ ඇයව අත්හැර යන්නට ඇත්ද යන කරුණම එය සනාතකර ගැනීමට ප්‍රමාණවත් බව මට හිතෙනවා. ඒ පිළිබඳව යසෝදරා තෙරණිය බුදුරජාණන් වහන්සේ සම්මුඛව කරනු ලැබූ ප්‍රකාශ වලින් මෙම ලිපිපෙළෙහිම පසුව ඔබට කියවන්නට හැකිවේවි.

 යසෝදරාවන් බෝසතාණන් වහන්සේ සමග පැමිණි දීර්ඝ කාලය.

මහත් අභිඥාවන්ට පත්වූ භික්‍ෂුණීන් අතුරින් බද්දාකච්චානා නොහොත් යසෝදරා තෙරණිය අග්‍රයයි දැක්වනවා. ලොව පහළවන සම්මා සම්බුදුවරයෙකුට කොතරම් ශ්‍රාවක පිරිසක් සිටියත් සතර දෙනෙක් පමණක්ම මහා අභිඥා ඇත්තෝ වනවා. ඉතිරි ශ්‍රාවකයෝ එසේ නොවනවා. එනම් අවශේෂ ශ්‍රාවකයන්හට කල්පලක්‍ෂයක්ම පමණක් සිහිකිරීමට හැකියාව තිබෙනවා. එයින් එපිට සිහිකිරීමට නොහැකි වනවා. මහා අභිඥාප්‍රාප්ත ශ්‍රාවකයන් හට කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍යයක් සිහිකිරීමට හැකිවනවා. අපගේ ශාස්තෘ ශාසනයෙහිද අගසව් දෙනම, බක්කුල තෙරුන්වහන්සේ, භද්දාකච්චානා තෙරණිය, යන සතරදෙනා පමණක් එවැනි දීර්ඝකාලයක් සිහි කිරීමට සමත් වූවන් අතරට එක්වනවා. එබැවින් යසෝදරා තෙරණිය මහා අභිඥාප්‍රාප්ත භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ගත්තා. විශ්වයෙන් මෙම අවස්තාව ශ්‍රාවිකාවන් අතරින් ඇයටම හිමි කර දුන්නේ අනේක දුක් කරදර විදිමින් බෝසත්වරයෙක් හා පැමිණි ගමන පිළිබඳව මෙම ආවර්ජනාව බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රකාශකිරිමටද කියා මට සිතෙනවා. එලෙසම මෙම ප්‍රකාශය තුලින් ඇය ලැබූ “මහා අභිඥා ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරින් අග්‍රස්ථානය” යන ප්‍රකාශය සත්‍ය වන බව ඇය විසින් මෙම ප්‍රකාශ කරනු ලැබූ කාලය ඒ තරම්ම දීර්ඝ බව මෙම ලිපියෙහි පහත විස්තරය කියවන ඔබටම පැහැදිලි වේවි. ඒ නිසා ඒ ලොව උතුම් ශ්‍රේෂ්ඨ උත්තමාවියට කරන උපහාරයක් වශයෙන්ම ඒ දීර්ඝ කාලය පිළිබඳව මෙලස කෙටි සටහනක් ඔබගේ සුතමය ඥානය පිණිස ගෙන එනවා.

 අප බෝසතාණන් වහන්සේගේ අනියත විවරණ සමය.

බෝසතාණන් වහන්සේගේ අනියත විවරණ සමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා.

  1. බාහිර නිදාන
  2. මහා නිදාන
  3. අතිදූරෙ නිදාන වශයෙනි

අප බෝසතාණෝ යටගිය දවස මව්තුමිය කර තියාගෙන පිහිනමින් ගොඩබිමට බැසගත් මොහොතේ මෑණියන්ගේ මුවින් ලැබුණු ආශිර්වාදය පටන් බරණැස බ්‍රහ්මදත්ත රජු ලඟ සුතතාප නමින් ඉපිද රජව කාමාස්වාදය ආදීනව දැක සසර කලකිරී බ්‍රහ්මර්ෂි නමින් පැවිදිව කුස ගින්නෙන් පෙලුණු ව්‍යාඝ්‍ර ධේනුවට ජීවිත පූජාවෙන්ද, පිහිටුවාගත් බුදුවීමේ ප්‍රාර්‍ථනාවත්, පුරාණ දීපංකර බුදුන් සමයේ ඉටිකුමාරි ලෙස පූර්‍ව කර්‍ම විපාක වශයෙන් ඉපිද අබ තෙල් පුදා සිද්ධත්ථ යන නම් ඇතිව පිහිටුවාගත් බුදුවීමේ ප්‍රාර්ථනා හේතුවෙන් නැවත කාන්තා ආත්ම භවයෙක්හි නොම ඉපදෙමින් බුද්ධකාරක ධර්‍මයන් පූරණය කළ කාලය අප බෝසතාණන් වහන්සේගේ අනියත විවරණ බාහිර නිදානයි. එනම් මනොප්‍රණිධානය ආරම්භයටත් පෙරටයි

පොරාණ බ්‍රහ්මදේව බුද්ධං ආදිං කත්වා යාව පොරාණ සක්‍යගොතමො මනසාව චිත්තෙන්තස්ස සත්ත අසංඛෙය්‍යානි විතිවත්තානි.

අප බෝසතාණෝ පුරාණ බ්‍රහ්මදේව සම්මා සම්බුදුරජානන් වහන්සේ මුල්කොට පුරාණ සක්‍යමුණි භාග්‍යවතුන් වහන්සේ දක්වා අසංඛ්‍ය සතක් තුලදී පිරූ පාරමී සමය මනෝප්‍රණිධාන හෙවත් සිතින්ම බුදුබව පතාගෙන පැමිණි කාලයයි.

එනම් :-

නන්දො සුනන්දෝ පථවි – මණ්ඩො ධරණි සාගරො

පුණ්ඩරිකො ඉමෙ සත්ත – අසංඛෙය්‍යා පකාසිතා

නන්ද – සුනන්ද – පථව් – මණ්ඩ – ධරණි – සාගර – පුණ්ඩරික යනු සිතින් බුදුබව පතමින් සිටි අසංඛ්‍ය සතක කාලයයි. ඒ ඒ අසංඛ්‍ය කල්ප වල පහළ වූ සම්බුදුරජාණන් වහන්සේලා ගේ ප්‍රමාණයන් මෙසේයි.

නන්ද අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 5000 කුත්

සුනන්ද අසංඛ්‍ය තුල බුදුරජානන් වහන්සේලා 9000 කුත්

පථවි අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 10000 කුත්

මණ්ඩ අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 11000 කුත්

ධරණි අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 20000 කුත්

සාගර අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 30000 කුත්

පුණ්ඩරික අසංඛ්‍ය තුල බුදුරජානන් වහන්සේලා 40000 කුත් වශයෙන්.

මෙසේ සත් අසංඛ්‍ය ක් තුල පහල වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයයි.

එකං සතසහස්සානි – විසතී ච සහස්සඤ්ච

සෙසා පඤ්ච සහස්සානි – සබ්බ බුද්ධෙහි මණ්ඩිතා’ නි

එකී සත් අසංඛ්‍යයක් තුල ලොව පහළ වූ එක්ලක්ෂ විසිපන්දාහක් (125 000) පමණ සම්මා සම්බුදුරජානන් වහන්සේලා හමුවෙහි දානාදි පාරමී ගුණ පූරණයෙන් මනෝ ප්‍රණිධානය මුදුන්පත් කොට ගනු ලැබුවා.. මෙම කාලය මහානිදාන සමයයි.

උපකාර වූ මුලාශ්‍ර

ජිනකාලමාලී/සීමා විසෝදනී

ත්‍රිපිටකාචාර්‍යය,අභිධර්ම විශාරද ගෞරවණීය දිගන සුගතවංශ හිමිපාණන් වහන්සේ විසින් රචිත මහා බෝසතාණෝ ග්‍රන්ථය.

 
 

Ape Budu Hamuduruwo 406

අපේ බුදුහාමුදුරුවෝ 406 (සන්තිකේ නිදානය)

 

ශුද්ධෝදන රජතුමා මහා ධර්මපාල ජාතකය අවසානයේ අනාගාමි ඵලයට පත්වීම

කල්ප ලක්ෂයකට එහායින් ලැබුන තරුණවියේදී නොමැරෙන රහස 02

දිසාපාමොක් ආචාර්‍යය වරයාට දැනගන්නට උවමනාවෙලා තිබුණේ ඔවුන්ගේ කුලයෙහි තරුණයන් පරම්පරා හතක කාල පරාසයක් තුල කිසිදින අඩුවයසින් මියදිනොයාමට හේතු වූ රහසයි. ඔහු ගුරුවරයෙක් නිසා සමහරවිට ඔවු යටතේ ඉගෙන ගන්නා ශිෂ්‍ය පරපුරටත් මෙය බොහෝ ප්‍රයෝජනවත් වේවි යනුවෙන් සිතෙන්නට ඇති. ඇත්ත වශයෙන්ම මෙය කියවන ඔබටත් මෙය බොහෝ ප්‍රයෝජනවත් වනවා නොඅනුමානයි. එහි ඇත්තේ ආගමික කරුණු නොව මේ විශ්ව මාතාව විසින් මනුෂ්‍ය සහ ස්වභාවධර්මයේ යහපත් සාමකාමී පැවැත්ම අපේක්ෂාවෙන් ආගම් භේදයකින් තොරව භාවිතයට ගැනීම සඳහා විශ්වය තුලම ලේඛන ගත කල සටහන් පෙළයි. ඉතින් ඔහුගේ ඉල්ලීම මත “බ්‍රාහ්මණය, මේ ගුණයන්ගේ අනුභාවයෙන් අප කුලයෙහි තරුණයෝ නොමියයි” කියමින් එම සුවිශේෂ ගුණ මෙලෙස ගාථා නමයකින් වර්ණනා කරන්නට වුනා.

1.”අපි දහමෙහි හැසිරෙමු. බොරු නොකියමු. පවිටු කර්මයන් වර්ජනය කරමු. සියළු නින්දා කටයුතු ක්‍රියා දුරුකරමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.

2.සත් පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මය අසමු. අසත්පුරුෂයන්ගේ ධර්මය රුචි නොකරමු. අසත්පුරුෂයන් අත්හැර සත්පුරුෂයන් අත් නොහරින්නෝ වෙමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.

3.දන් දීමට පෙර සතුටු සිත් ඇත්තෝ වෙමු. දන් දෙන්නේද සතුටු සිත් ඇතුවම වෙමු. දන් දී පසුව නොතැවෙමු. එහෙයින් අපගේ දරුවෝ නොමැරෙත්.

4.අපි ශ්‍රමණයන්ද, බ්‍රාහ්මණයන්ද, මගියන්ද, ගුණ කියා ඉල්ලන්නන්ද, යාචකයන්ද, දිළින්දන්ද යන මොවුන් කෑමෙන් හා බීමෙන් සන්තර්පණය කරමු.

5.අපි සිය භාර්යාව ඉක්මවා නොයන්නෙමු. අපගේ භාර්යාවෝද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අන් ස්ත්‍රීන් පිළිබදව බඹසර හැසිරෙමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙති.

6.අපි සියල්ලෝම ප්‍රාණඝාතයෙන් වැලකෙමු. ලොව නොදුන් දේ වර්ජනය කරමු. මත්පැන් නොබොමු. බොරු නොකියමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.

7.මනා ශීලයෙන් යුත් මේ උතුම් ස්ත්‍රීන් කෙරෙහි යම් දරු කෙනෙක් උපදිත්ද මහාප්‍රාඥ වූ බුද්ධිමත්හු වෙති. බහුශ්‍රැතයෝද වෙති. වේදයන්හි පරතෙරට ගියෝද වෙති. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.

8.මවද පියාද සහෝදරී සහෝදරයෝද පුත්‍රයෝද බිරින්දෝද යන අපි සියල්ලෝ පරලොව සැප සලකා ධර්මයෙහි හැසිරෙමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙති.

9.දාසයෝ ද දාසියෝ ද අප නිසා දිවි රැකගන්නෝ ද පිරිවර ජනයෝ ද කම්කරුවෝ ද යන සියල්ලෝ පරලොව සැප සලකා ධර්මයෙහි හැසිරෙත්. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත් යි.” යැයි පවසමින් ගථා නාමයකින් පිළිතුරු සපයනු ලැබුවා.?

බලන්න ඒ කරුණු කොතරම් අවිහිංසාවාදීද කියලා. මෙම ප්‍රතිපදාවේ රටක් රාජ්‍යයක් සිටිනම් අකල් මරණ පමණක් නොව, දිර්ඝායුෂ, සමගිය; සමාදානය, සතුට සාමය පමණක් නොව සෞභාග්‍ය, ආර්ථික දියුණුව,සොරසතුරු කරදර නැතිව අතීතයේ මෙන්ම ගෙවල් දොරවල් හැරදා නිදාගැනීමටත් හැකිවේව්! අවසානයේ ඔහු මෙම ගාථා දෙකෙන් ධර්මයෙහි හැසිරෙන්නවුන්ගේ ගුණ ද වර්ණනා කරන්නට වුණා. ඒ තමයි ඔබට දැන් නිතර වර්තමානයේ මුහුණු පොතේ සහ විවිධ සන්නිවේදන මාධ්‍යන් තුල භාවිතා වන ගථා රත්න දෙක.

“ධම්මෝ හවෙ රක‍්ඛති ධම්මචාරිං, ධම්මෝ සුචිණ‍්ණො සුඛමාවහති;

එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී.

ඒකාන්තයෙන්ම ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය තෙමේම රකියි. ධර්මයෙහි මනාව පුරුදු කරන ලද සුචරිත ධර්මය සැප එළවයි. මනාව පුරුදු කරන ලද ධර්මයෙහි මේ ආනිසංසය වේ. දහම්හි හැසිරෙන්නා දුගතියට නොයයි.

“ධම්මෝ හවෙ රක‍්ඛති ධම්මචාරිං, ඡත‍්තං මහන‍්තං විය වස‍්සකාලෙ;

ධමේමන ගුත‍්තො මම ධම්මපාලො, අඤ‍්ඤස‍්ස අට්ඨිනි සුඛී කුමාරො”ති.

වැසිකල්හි මහත් කුඩයක් (කුඩය දරන්නා රකින්නාක්) මෙන් සුචරිත ධර්මය දහම්හි හැසිරෙන්නා රකී. මගේ ධර්මපාලයා ධර්මය විසින් ආරක්‍ෂා කරන ලද්දේ වෙයි. මේ ඇට අනිකකුගේය. කුමාරයා සැපෙනි.

මේ ගාථා දෙකෙන් එලෙස ධර්මයෙහි හැසිරෙන්නවුන්ගේ ගුණ ඔහු විසින් වර්ණනා කරනු ලැබුවා.

ඒ අසා ආචාර්යවරයා මෙලෙස කීවා.

” මගේ පැමිණීම මනා වූ පැමිණීමකි. ඵල සහිත වූවකි. නිෂ්ඵල නොවූවකි යි හටගත් සොම්නස් ඇත්තේ ධර්මපාලගේ පියා ක්‍ෂමා කරවා පැමිණෙන්නා වූ මා විසින් තොප විමසනු පිණිස මේ එළු ඇට ගෙනාවේ වෙයි. තොපගේ පුතා නිරෝගී වූයේම වෙයි. ඔබ රකින ධර්මය මටද දෙව්” යයි ලිපියක් ලියා දින කීපයක් එහි වාසය කර තක්‍ෂිලාවට ගොස් ධර්මපාල කුමරුට සියළු ශිල්පයන් උගන්වා මහත් වූ පිරිවර සමග නැවත එවනු ලැබුවා.

ශාස්තෲන් වහන්සේ සුදොවුන් මහරජුට මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය වර්තමාන චරිත හා ගලපා වදාරනු ලැබුවා. ඒ කාලයේ මව්පියෝ අද මහරාජකුලය වුණා. ආචාර්යයා සැරියුත් තෙරුන් වූවා. එහි සිටි පිරිස බුද්ධ පිරිසයි. ධර්මපාල කුමාරයා මම ම වීමි යයි වදාරනු ලැබුවා.ශුද්ධෝදන රජතුමා මෙම දේශනාවසානයෙහි අනාගාමී ඵලයෙහි පිහිටිය. පසු කාලයේ මරණ මංචකයේ සුදුකුඩය යට සිරියහනේම රහත් බවට පත්වුනා. ඒ සම්බන්ධව ඔබට ඉදිරියේදී කියවීමට ලැබේවි. අරණ්‍යවාසය කිරීමක් හෝ ප්‍රධන් වීර්ය වැඩීමක් ශුද්ධෝදන රජුට තිබුනේ නැහැ. සුඛා පටිපදාවෙන්ම නිවන අවබෝධ කරගත්තා.

 සියල්ලෝම සාදු කාර දුන්නා. මෙහි මගේ හිත ගත්ත දෙයක් තිබ්බා. එදා බෝසතාණන් වහන්සේගේ ගුරුවරයා වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්තායක ගෝලයා. එදා ගුරුවරයාගේ හොඳම ගෝලයා අද ඔහුගේම ගුරුවරයා බවට පත්වෙලා. එහෙමයි අපි ඉන්න මේ සංසාරේ චක්‍රය කැරකි කැරකි යන්නේ.

උපකාර වූ මුලාශ්‍ර

මහාධම්මපාල ජාතකය (447) කුදුගත් සඟිය අටුවාවජාතක අටුවාව. දසක නිපාතය

 
 

Ape Budu Hamuduruwo 405

අපේ බුදුහාමුදුරුවෝ 405 (සන්තිකේ නිදානය)

 

සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත්වීම 02

කල්ප ලක්ෂයකට එහායින් ලැබුන තරුණවියේදී නොමැරෙන රහස

ධර්මපාල මානවකයාගේ පරම්පරාවේ තරුණවියේ කිසිවෙකු නොමියන බව අසා දිසාපාමොක් ආචාර්ය වරයාද පුදුමයට පත්වුනා. ඔහු ඒ දිනවල සියල්ල දත් රටේ ප්‍රසිද්ධම අදුරු තුමාණන්. ඔහුත් ඒ රහස මොකක්ද කියලා දන්නේ නැහැ. ඔහු ධර්මපාල මනවකයාව කැඳවා ඒ කරුණ සත්‍යක්දයි පවසා සිටියා.

” දරුව, ධර්මපාලය, තොපගේ කුලයෙහි තරුණ කාලයෙහි නොමියත් යනු ඇත්තද? ආචාර්යතුමනි, ඇත්තයි.”

ඔහු ඒ ධර්මපාලගේ කථාව අසාමෙහෙම සිතුවා. “මොහු අතිශයින් පුදුම වූවක් කියයි. මොහුගේ දෙමාපියන් හමුවට ගොස් විමසා ඉදින් මෙය සත්‍ය නම් මමද එම ධර්මයම සම්පූර්ණ කරන්නෙමි”. ඔහු පුතාගේ අවසන් කටයුතු නිමකිරීමෙන් පසු පූර්න කළයුතු අනෙකුත් කටයුතු නිමකර සත්-අට දවසක් ඇවෑමෙන් ධර්මපාල කැඳවා “දරුව, මම බැහැර යන්නෙමි. ඔබ මා පැමි‍ණෙන තෙක් මේ මානවකයන්ට ශිල්ප උගන්වන්න” කියා එක් එළුවෙකුගේ ඇට ගෙන සෝදා පසුම්බියක සකස් කොට එක් සුළු උපස්ථායෙකු සමග තක්‍ෂිලාවෙන් නික්මී පිළිවෙලින් එගමට පැමිණ මහාධර්මපාලගේ ගෙය කොහිදැයි විමසා ගොස් දොරටුව අසළ සිටගත්තා. බ්‍රාහ්මණයාගේ දාසයන් වූ මිනිසුන් අතර යමෙක් යමෙක් පළමුව දුටුවේද ඒ ඒ තැනැත්තා ආචාර්යයන්ගේ අතින් කුඩය ගත්ත. පාවහන ගත්ත. උපස්ථායකයාගේ අතින් පසුම්බිය ගත්ත. ඉන්පස්සේ ඉක්මනින්ම ඔබතුමාගේ පුතු වූ ධර්මපාල කුමාරයාගේ ගුරුවරයා දොරටුව අසළ ඔබ වෙනුවෙන් රැඳී සිටියි යනුවෙන් කුමාරයාගේ පියාට දදන්වනු ලැබුවා. මේ හදිසි පැමිණීම සම්බන්ධව ඔහුත් මවිතයට පත්වුණා. වේගයෙන් දොර මුලට දුව ගිය ඔහු පාදෙවීම් ආදී සියලු කටයුතු නිමකොට ගෙතුලට කැඳවා පළගෙහි හිඳුවා ප්‍රණීත කෑම බීම ආදියෙන් සංග්‍රහ කොට පැමිණි කාරණය විමසා සිටියා.

“බ්‍රාහ්මණය, ඔබගේ පුත් වූ ධර්මපාල කුමාරයා හරිම නුවණැත්තෙක්. පන්සියයක් මගේ ශිෂ්‍යයන් අතරින් දක්ෂම ශිෂ්‍යා. ඔහු ඉතාමත් ඉක්මනින්ම ත්‍රිවේදයන්හිද අටළොස් ශිල්පයන්ගේද නිමාවට පැමිණිය. එය එසේ වුවත් ඔහු එක් රෝගයකින් ජීවිතක්‍ෂයට පත් වුණා. සියළු සංස්කාරයෝ අනිත්‍යයි. සෝක නොකරන්න යනුවෙන් කියා සිටියේ ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේදැයි කුතුහලයෙන්. පියතුමා අතින් අත ගසා මහ සිනහවක් නැගුවා. බ්‍රාහ්මණය, කවරකින් සිනාසෙයිද? යි කී විට “මගේ පුතා නොමැරෙයි. අන් කිසිවෙක් මැරුනේ වන්නේය” යනුවෙන් දැඩි විශ්වාෂයෙන් යුතුව කියා සිටියා. එවිට දිසාපාමොක්, “බ්‍රාහ්මණය, ඔබගේ පුතාම මළේය. එහෙනම් ඔබගේ පුතාගේ ඇට දැක විශ්වාස කරන්න යනුවෙන් රැගෙන පැමිණි එළු අට පිටතට ගෙන මේ ඔබගේ පුතාගේ ඇටයි කීයා සිටියා. එවිට පියතුමා එක්වරම මේවා එළුවෙකුගේ හෝ සුනඛයෙකුගේ හෝ ඒවා වෙන්නට ඕනේ. මගේ පුතා කොහෙත්ම මැරෙන්නට විදිහක් නැහැ. අපගේ කුලයෙහි සත්වන පරපුර දක්වා තරුණ කාලයෙහි මැරුණ කෙනෙක් නම් නැහැ. ඔබ බොරු කියයි.” ඒ එක්කම සියල්ලෝම අතින් අත ගසා මහ හඬින් සිනාසුනා. ආචාර්ය තුමාට ඒ ආශ්චර්යය දැක සොම්නසට පත් වී “බ්‍රාහ්මණය, ඔබගේ කුල පරම්පරාවෙහි තරුණයන් නොමැරීම හේතු නැතිව වීමට නොහැකිය. කවර කරුණකින් ඔබගේ තරුණයෝ නොමියෙත්දැයි” ගාථාවකින් විමසා සිටියා. එයම තමයි ඔහුට දැනගැනීමට අවශ්‍ය වුණේ.

කිං තෙ වතං කිං පන බ්‍රහ‍්මචරියං, කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො;

අක‍්ඛාහි මෙ බ්‍රාහ‍්මණ එතමත්‍ථං, කස‍්මා නු තුම‍්හං දහරා න මීයරෙ”ති.

ඔබගේ ව්‍රතය කුමක්ද? උසස් හැසිරීම කුමක්ද? මේ විපාකය කවර සුචරිතයක් නිසාද? බ්‍රාහ්මණය. මේ කරුණ මට කියව. කුමක් හෙයින් තොපගේ තරුණයෝ නොමියෙත්ද?

පියතුමා මෙය අසා ගාථා නාමයකින් තරුණ වියේ අඩුආයුශයෙන් නොමැරී සිටීමට ඔවුන් අනුගමනය කල පිළිපදාව කියා සිටියා. මේ වචන මීට කල්ප ලක්ෂ ගාණනාවකට පෙර ප්‍රකාශ කරපුවා. විශ්වය අදටත් එයටගරුකරනවා ඇති. මෙම ජාතක කතාව මෙතන සඳහන් කිරීමෙනුත් මම බලාපොරොත්තු වුනේ ඔබටත් ඒ රහස හෙළිකිරීමට ඔබත් අද සිට අත්හදා බලන්න. මේ පිරිසිදු බුද්ද වචනයෙන්ම දෙසු බුද්ධ ශ්‍රිමුඛ දේශනා.

උපකාර වූ මුලාශ්‍ර

මහාධම්මපාල ජාතකය (447) කුදුගත් සඟිය අටුවාවජාතක අටුවාව. දසක නිපාතය

 
 
 

Ape Budu Hamuduruwo 404

අපේ බුදුහාමුදුරුවෝ 404 (සන්තිකේ නිදානය)

404 error  

Ape Budu Hamuduruwo 403

අපේ බුදුහාමුදුරුවෝ 403 (සන්තිකේ නිදානය)

 

සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත්වීම

මේ ආදී නරසීහ ගාථා අටකින් ගුණ වර්ණනා කරමින් යසෝදරාව නොහොත් රාහුල මාතාව තම පුතණුවන් හට කිසිදා නොදුටු තම පියාණන් වහන්සේව හඳුන්වා දුන්නේ එහෙමයි. ඒ අතර තුර තමයි ඇය දැක්කේ බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර පිඬුසිගා වඩින බව. සමහරවිට ඇය සිතා ඉන්නට ඇත්තේ මාළිගාවට වඩිනවා කියා වෙන්නට ඇති. එම දර්ශනයෙන් ඇය මවිතයට පත්වුනා. තම මාළිගාව පෙනී පෙනී සිඟමන් යැදීමක් බවයි ඇය දැක්කේ. ඇය වහාම පුතණුවන් හා සමග දිවගියේ රජතුමා වෙතට. “අන්න ඔබ පුතණුවෝ ආහාර ගන්නවා” එම දර්ශනයෙන් ඇති වූ කම්පනය නිසාම වෙන්නට ඇති කඳුළු පිරි දෙනෙතින් ඇයට කියවුනේ ඒ විදිහට. රජතුමා ඒ වනවිටත් සියලු බෝජන සකස්කොට තම පුතණුවන් දැන් දැන් පැමිණේවී යන බලාපොරොත්තුවෙන් සිටියේ. මෙය ඇසීමෙන් කම්පනයට හා ලැජ්ජාවට පත් වූ ඔහුටත් උන්හිටිතැන් අමතක වුණා. රජතුමා සැලෙන හදවතින් ඇඳිවතද අතින් සකස් කරමින් වහවහා නික් ම බුදු රජුන් ඉදිරියට දිව ගියා. එතැන් සිට ඇතිවුන ඒ පුංචි දෙබස රජතුමාගේ සසර ගමන නිමා කිරීමට රුවන් දොරටු විවර කිරීමක් වුණා.

රජතුමා – ස්වාමීනි අපට ලැජ්ජා කැරෙමින් කුමකට පිඬු පිණිස හැසිරෙනවාද? අපට මෙපමණ සඟ පිරිසකට ආහාර දිය නොහැකියැ යි සිතුව ද?

බුදුරජාණන් වහන්සේ – මහරජ, මේ අපගේ පරම්පරා චාරිත්‍රයක්.

රජතුමා – ස්වාමීනි, ඔබවහන්සේට අමතකවෙලා, අපගේ වංස පරම්පරාව මහා සම්මත ආදී රාජ පරම්පරාව බව දැන් මතකේ නැද්ද? මේ මහා සම්මත රාජ පරපුරෙහි එක ද රජ කෙනෙක්වත් පිඬු සිඟා ගියේ නැහැ.

බුදුරජාණන් වහන්සේ – මහරජ, ඒ ඔබගේ රාජ වංසයයි. අපගේ වංසය එය නො වේ. දීපංකර කස්සප ආදී අපගේ බුද්ධ වංසයෙහි නොයෙක් දහස් ගණන් බුදුවරු පිඬු පිණිස මෙලෙසම හැසිරුණා. එයින් ම ජීවත්වූවා යැයි පවසමින් වීථිය තුළ දී ම ඒ මහා කාරුණිකයන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළා .

“උත‍්තිට‍්ඨෙ නප‍්පමජ‍්ජෙය්‍ය, ධම‍්මං සුචරිතං චරෙ;

ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති.

“පිඬු සිඟීමෙන් ලැබෙන මිශ්‍ර ආහාරයෙහි පමා නො වන්නේය. සුචරිත දහමෙහි හැසිරෙන්නේය. දහම්හි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහි ම සැප සේ ජීවත් වෙයි.”

මේ වනවිටත් සතර ඉන්ද්‍රිය දර්ම බොහෝ ලෙස මුහුකුරා ගොස් ගිය සිටි ඔහු මෙම ගාථාව අවසානයෙහි සෝවාන් ඵලයෙහි පිහිටිය. ඒ තමයි නුවණ මුහුකුරා ගොස් සිටි මොහොත. සෝවාන් ඵලයට පත් වූ රජතුමා තවත් ප්‍රමාද වූයේ නැහැ. බුදු රජුන්ගේ පාත්‍රයද රැගෙන ඒ මහා සඟ පිරිසද සහිතව බුදුන් වහන්සේව මහා ප්‍රාසාදයට වැඩම කරවුනු ලැබුවා. පනවනු ලැබූ ආසන වල අසුන්ගත් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසෙන් මුළු මාලිගාව ඇතුළු රාජකීය උද්‍යාන කහවතින් බබළන්නට ඇති. රජතුමා තම ආදරණිය පුතණුවන් හා සතුටු සාමිචියේ යෙදිලා. දහසකුත් දේවල් හිතේ කියන්නට ගොනුවෙලා තියෙන්නට ඇති. ඒ මහා කරුනිකයාණන් වහන්සේ සසර පුරාවට බොහෝ ආත්මභාව තුලදී තමාගේම පියාණන් වූ ඒ උතුම් පුරුෂ රත්නයට දෙවැනි ගාථාවත් දේශනා කරනු ලැබුවා.

“ධම‍්මං චරෙ සුචරිතං, න නං දුච‍්චරිතං චරෙ;

ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති.

“සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය. ඒ දුසිරිතෙහි නො හැසිරෙන්නේය. දහම්හි හැසිරෙන්නා මෙලොව, පරලොව දෙක්හි ම සැප සේ ජීවත්වෙයි.”

රජතුමා මේ ගාථාව අසා සකදාගාමී ඵලයෙහි පිහිටිය.

ඉන් අනතුරුව ප්‍රණීත ආහාර පානයෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවරට සංග්‍රහ කරනු ලැබුවා. රජතුමාටත් එය ඉතාමත් සතුටු දිනයක්. ඒ වසර ගණනාවකට පසු තම පුතු රජමාලිගාවේ ආහාර ගැනීමයි. ඒ අත්දැකීම දරුවෝ ඉන්න සෑම වැඩිහිටි දෙමාපියන්ටම තියෙන්නට ඕනේ.

උපකාර වූ මුලාශ්‍ර

සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාව –

අපදාන අටුවාව – ග්‍රන්ථාරම්භ කථා

සුද්ධෝදන රජුගේ කථා පුවත කුදුගත් සඟිය අටුවාව ධම්මපද අටුවාව-. ලොක වර්ගය

රාහුලවත්‍ථුකථා මහාවග‍්ග – අට‍්ඨකථාමහාඛන්‍ධකං