අපේ බුදුහාමුදුරුවෝ 403 (සන්තිකේ නිදානය)

 

සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත්වීම

මේ ආදී නරසීහ ගාථා අටකින් ගුණ වර්ණනා කරමින් යසෝදරාව නොහොත් රාහුල මාතාව තම පුතණුවන් හට කිසිදා නොදුටු තම පියාණන් වහන්සේව හඳුන්වා දුන්නේ එහෙමයි. ඒ අතර තුර තමයි ඇය දැක්කේ බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර පිඬුසිගා වඩින බව. සමහරවිට ඇය සිතා ඉන්නට ඇත්තේ මාළිගාවට වඩිනවා කියා වෙන්නට ඇති. එම දර්ශනයෙන් ඇය මවිතයට පත්වුනා. තම මාළිගාව පෙනී පෙනී සිඟමන් යැදීමක් බවයි ඇය දැක්කේ. ඇය වහාම පුතණුවන් හා සමග දිවගියේ රජතුමා වෙතට. “අන්න ඔබ පුතණුවෝ ආහාර ගන්නවා” එම දර්ශනයෙන් ඇති වූ කම්පනය නිසාම වෙන්නට ඇති කඳුළු පිරි දෙනෙතින් ඇයට කියවුනේ ඒ විදිහට. රජතුමා ඒ වනවිටත් සියලු බෝජන සකස්කොට තම පුතණුවන් දැන් දැන් පැමිණේවී යන බලාපොරොත්තුවෙන් සිටියේ. මෙය ඇසීමෙන් කම්පනයට හා ලැජ්ජාවට පත් වූ ඔහුටත් උන්හිටිතැන් අමතක වුණා. රජතුමා සැලෙන හදවතින් ඇඳිවතද අතින් සකස් කරමින් වහවහා නික් ම බුදු රජුන් ඉදිරියට දිව ගියා. එතැන් සිට ඇතිවුන ඒ පුංචි දෙබස රජතුමාගේ සසර ගමන නිමා කිරීමට රුවන් දොරටු විවර කිරීමක් වුණා.

රජතුමා – ස්වාමීනි අපට ලැජ්ජා කැරෙමින් කුමකට පිඬු පිණිස හැසිරෙනවාද? අපට මෙපමණ සඟ පිරිසකට ආහාර දිය නොහැකියැ යි සිතුව ද?

බුදුරජාණන් වහන්සේ – මහරජ, මේ අපගේ පරම්පරා චාරිත්‍රයක්.

රජතුමා – ස්වාමීනි, ඔබවහන්සේට අමතකවෙලා, අපගේ වංස පරම්පරාව මහා සම්මත ආදී රාජ පරම්පරාව බව දැන් මතකේ නැද්ද? මේ මහා සම්මත රාජ පරපුරෙහි එක ද රජ කෙනෙක්වත් පිඬු සිඟා ගියේ නැහැ.

බුදුරජාණන් වහන්සේ – මහරජ, ඒ ඔබගේ රාජ වංසයයි. අපගේ වංසය එය නො වේ. දීපංකර කස්සප ආදී අපගේ බුද්ධ වංසයෙහි නොයෙක් දහස් ගණන් බුදුවරු පිඬු පිණිස මෙලෙසම හැසිරුණා. එයින් ම ජීවත්වූවා යැයි පවසමින් වීථිය තුළ දී ම ඒ මහා කාරුණිකයන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළා .

“උත‍්තිට‍්ඨෙ නප‍්පමජ‍්ජෙය්‍ය, ධම‍්මං සුචරිතං චරෙ;

ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති.

“පිඬු සිඟීමෙන් ලැබෙන මිශ්‍ර ආහාරයෙහි පමා නො වන්නේය. සුචරිත දහමෙහි හැසිරෙන්නේය. දහම්හි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහි ම සැප සේ ජීවත් වෙයි.”

මේ වනවිටත් සතර ඉන්ද්‍රිය දර්ම බොහෝ ලෙස මුහුකුරා ගොස් ගිය සිටි ඔහු මෙම ගාථාව අවසානයෙහි සෝවාන් ඵලයෙහි පිහිටිය. ඒ තමයි නුවණ මුහුකුරා ගොස් සිටි මොහොත. සෝවාන් ඵලයට පත් වූ රජතුමා තවත් ප්‍රමාද වූයේ නැහැ. බුදු රජුන්ගේ පාත්‍රයද රැගෙන ඒ මහා සඟ පිරිසද සහිතව බුදුන් වහන්සේව මහා ප්‍රාසාදයට වැඩම කරවුනු ලැබුවා. පනවනු ලැබූ ආසන වල අසුන්ගත් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසෙන් මුළු මාලිගාව ඇතුළු රාජකීය උද්‍යාන කහවතින් බබළන්නට ඇති. රජතුමා තම ආදරණිය පුතණුවන් හා සතුටු සාමිචියේ යෙදිලා. දහසකුත් දේවල් හිතේ කියන්නට ගොනුවෙලා තියෙන්නට ඇති. ඒ මහා කරුනිකයාණන් වහන්සේ සසර පුරාවට බොහෝ ආත්මභාව තුලදී තමාගේම පියාණන් වූ ඒ උතුම් පුරුෂ රත්නයට දෙවැනි ගාථාවත් දේශනා කරනු ලැබුවා.

“ධම‍්මං චරෙ සුචරිතං, න නං දුච‍්චරිතං චරෙ;

ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති.

“සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය. ඒ දුසිරිතෙහි නො හැසිරෙන්නේය. දහම්හි හැසිරෙන්නා මෙලොව, පරලොව දෙක්හි ම සැප සේ ජීවත්වෙයි.”

රජතුමා මේ ගාථාව අසා සකදාගාමී ඵලයෙහි පිහිටිය.

ඉන් අනතුරුව ප්‍රණීත ආහාර පානයෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවරට සංග්‍රහ කරනු ලැබුවා. රජතුමාටත් එය ඉතාමත් සතුටු දිනයක්. ඒ වසර ගණනාවකට පසු තම පුතු රජමාලිගාවේ ආහාර ගැනීමයි. ඒ අත්දැකීම දරුවෝ ඉන්න සෑම වැඩිහිටි දෙමාපියන්ටම තියෙන්නට ඕනේ.

උපකාර වූ මුලාශ්‍ර

සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාව –

අපදාන අටුවාව – ග්‍රන්ථාරම්භ කථා

සුද්ධෝදන රජුගේ කථා පුවත කුදුගත් සඟිය අටුවාව ධම්මපද අටුවාව-. ලොක වර්ගය

රාහුලවත්‍ථුකථා මහාවග‍්ග – අට‍්ඨකථාමහාඛන්‍ධකං

 

 
error: Content is protected !!