අපේ බුදුහාමුදුරුවෝ 408 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 02

පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේ

පටන් එක්ව පැමිණි අප මහා බෝසතාණෝ සහ යසෝදරා 02

 පුරාණ ශාක්‍යගෝතම බුදුරජාණන් වහන්සේ පටන් මධ්‍යම දීපංකර හෙවත් නියත විවරණ ලබාගත් බුදුරජාණන් වහන්සේ දක්වා අසංඛ්‍ය නවයක් පුරා වචනයෙන් පාරමී පුරාගෙන පැමිණි වාග්ප්‍රණිධාන සමය අතිදුරේ නිදානය වශයෙන් හඳුන්වනු ලබනවා.

ඒ ඒ අසංඛ්‍ය කල්ප වල නම් සහ පහළ වූ බුදුරජාණන් වහන්සේලා සැකවින් මෙලෙස ජිනකාලමාලී ප්‍රකරණයේ දැක්වෙනවා.

භද්දො සබ්බඵුල්ලා – සබ්බරතනො උසභක්ඛන්ධෝ මානිභද්දො ච පදුමො – උසභක්ඛන්තුත්තමෙව ච සබ්බභාසො අසංඛ්‍යෙයෙය්‍යො – නවමොනි පවුච්චති

එහි දී

1.භද්‍ර

2.සබ්බඵුල්ල

3.සබ්බරතන

4.උසභක්බන්බ

5. මානිභද්‍ර

6. පදුම

7.උසභ

8.ඛන්තුත්තම

9. සබ්බභාස වශයෙන් අසංඛ්‍ය නවයක් ගැන කියවෙනවා. ඉන්පසුව ඒ ඒ අසංඛ්‍යයන්හි පහළ වූ බුදුවරු ගැන විස්තරයක් මෙලෙස සඳහන් කොට තිබෙනවා.

පණ්ණාස බුද්ධ සහස්සානි – සබ්බ භද්දෙ අසංඛ්‍ය

සට්ඨි බුද්ධ සහස්සානි – සබ්බ ඵුල්ලේ අසංඛ්‍ය

සත්තති බුද්ධ සහස්සානි – සබ්බ රතනෙ අසංඛ්‍ය

අසීති බුද්ධ සහස්සානි – උසභක්ඛන්ධ අසංඛ්‍ය

නවුති බුද්ධ සහස්සානි – මානිභද්දෙ අසංඛ්‍ය

වීසති බුද්ධ සහස්සානි – පදුමම්හි අසංඛ්‍ය

දස බුද්ධ සහස්සානි – උසභම්හි අසංඛ්‍ය

පඤ්ච බුද්ධ සහස්සානි – ඛන්තුත්තමෙ අසංඛ්‍ය

ද්වේ ච බුද්ධසහස්සානි – සබ්බභාසෙ අසංඛ්‍ය

අසංඛ්‍යෙයෙ නවාමිං – එත්තකානි පවුච්චති

සියලු ගාථාවන්ගේ භාවාර්ථය නම් :-

සබ්බභද්ද අසංඛ්‍යතුල බුදුරජාණන් වහන්සේලා 50 000 ක්ද,

සබ්බඵුල්ල අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 60 000 ක්ද,

සබ්බරතන අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 70 000 ක්ද,

උසභක්ඛන්ද අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 80 000 ක්ද,

මානිභද්ද අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 90 000 ක්ද,

පදුම අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 20 000 ක්ද,

උසභ අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 10 000 ක්ද,

බන්තුත්තම අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 5 000 ක්ද,

සබ්බභාස අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 2000 ක්ද, වශයෙන් මෙලෙස නවාසංඛ්‍ය තුල පහල වූ සියලු සම්මා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ ප්‍රමාණය 387000ක් වනවා.

තීණි සතසහස්සානි – සත්තාසි ති සහස්සඤ්ච

ගණනානඤ්ච බුද්ධානං – සබ්බ බුද්ධෙහි මණ්ඩිතං

අප බෝසතාණන් වහන්සේ නව අසංඛ්‍යයක් තුල වචනයෙන් බුදුබව පතන සමයෙහි තුන්ලක්ෂ අසුහත්දහසක් (387000) සම්මා සමුබුදුරජාණන් වහන්සේලා හමුවේ දානාදි කුසල පාරමී පූරණයෙන් වාග් ප්‍රණිදානය මුදුන්පත්කොට ගෙන තිබෙනවා. මෙම කාල පරිච්ඡේදය අතිදූරෙ නිදානය වශයෙන් හැඳින්වෙනවා. මෙලෙස සොළසාසංඛ්‍යයක් තුල ලොව පහළ වී වදාළ සියලු බුදුවරයන් වහන්සේලා පන්ලක්ෂ දොළොස් දහසක්. (512 000)

දැන් ඔබ මෙම කරුණුත් සිතේ තබාගෙන යසෝධරාපදානයේ 998 වන ගාථාවෙහි සඳහන් “බ්‍රහ්මදේව නම් වු ලෝකනායක පුරාණ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අප දෙදෙනාම දුටුවා. අපරභාගයෙහි පහළ වූ අන්‍ය ලෝකනාථයන් වහන්සේලාගෙන්ද ඔබවහන්සේ හා මා ආශීර්වාද ලැබුවා.. ” යනුවෙන් යසෝදරා තෙරණිය විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කල ප්‍රකාශය ගැන මෙනෙහි කරන්න. එවිට එම පුරෝකථනය මෙම කරුණු හා සැසදීමේදී ඔබට ඇය අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සඳහා කැප කරනු ලැබූ කාලය ගැන අදහසක් සිතේ ඇතිකරගත හැකියි.

මෙහි ඉහත “පුරාණ බ්‍රහ්මදේව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල්කොට පුරාණ සක්‍යමුණි භාග්‍යවතුන් වහන්සේ දක්වා අසංඛ්‍ය සතක් තුලදී පිරූ පාරමී සමය මනෝප්‍රණිදාන හෙවත් සිතින්ම බුදුබව පතාගෙන පැමිණි කාලය ලෙස හැඳින්වෙනවා. එවිට ඇයගේ ප්‍රකාශය තුල “පුරාණ බ්‍රහ්මදේව” බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් නිසා මෙම ගමන එවක් පටන් මේ දක්වා පැමිණි දීර්ඝ ගමනක් බවත් ඇයට එවන් කාලයක් ආවර්ජනය කිරීමේ ශක්තිය පැවති බවත් ප්‍රකටවනවා. එම නිසා බෝසතාණන් වහන්සේගේ බිරිඳක් කියන්නේ ඇත්තෙන්ම බුද්ධත්වය සඳහා නොව බුද්ධත්වය ලබාදීමට පාරමී පුරන බෝසත් ස්ත්‍රී ආත්මභාවයක් බව තරයේ මතක තබාගෙන ඊළඟ ලිපි පෙළ කියවීමෙන් ඇය කෙරෙහි මෙන්ම කාන්තාවන් කෙරෙහි මෙතක් ඔබ සිත තුල නැති ගෞරවයක් ඇතිවනවා යන්න හිරු සඳ මෙන්ම විශ්වාස කළ හැකි බව මගේ හැඟීමයි.

උපකාර වූ මුලාශ්‍ර

ජිනකාලමාලී/සීමා විසෝදනී ,

ත්‍රිපිටකාචාර්‍යය,අභිධර්ම විශාරද ගෞරවණීය දිගන සුගතවංශ හිමිපාණන් වහන්සේ විසින් රචිත මහා බෝසතාණෝ ග්‍රන්ථය.

 
 
error: Content is protected !!