අපේ බුදුහාමුදුරුවෝ 409 (සන්තිකේ නිදානය)

 

 ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 03

 බුදුරජාණන් වහන්සේ සමග කල්ප කාලාන්තරයක් එකට දෙවු මිනිස් ලෝකයන්හි සැරි සැරූ තම නෑ හිත මිත්‍රාදී බොහෝ දෙනෙක් මේ වෙනකොට අරහත්භාවයට පැමිණ සංඝ පිරිවර විසිදාහක් ලෙස උන්වහන්සේව පිරිවරාගෙන. තවත් විශාල එවැනිම පිරිසක් මාළිගාවේ ඇතුලත සහ පිටත රැස්වෙලා වන්දනා කරමින් සාදුකාර නගමින් පියරජතුමා සමග ධර්මපාල ජාතකය ශ්‍රවණය කරනු ලැබුවා. ඒත් ඒ අතර සිටියම යුතු කෙනෙක් නැහැ. ඒ වෙන කවුරුත් නෙවෙයි. කල්ප ගණනක් තම දුක සැප සොයාබලමින් සම්බෝධියට උදව්කරමින් පැමිණි, කිසිදිනක තම සිත නොරිද වූ, එමෙන්ම අන් පුරුෂයන් හට පොළඹවා ගැනීමට නොහැකි වූ මෙන්ම පතිවත දිවි හිමියෙන් සුරැකියා වූ යසෝදරාව නොහොත් රාහුල මාතාව. ලෝකයේ අපි අසා ඇති උතුම්ම බිරිඳගේ සංකේතය. මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ගමන එන්නම ඇත්තේත් විශේෂයෙන්ම ඇය වෙනුවෙන් බව ඉහත ලිපියේ ඇය බෝසතාණන් වහන්සේගේ පසුපසින් පැමිණි කාල පරිච්ඡේදය දෙස බලන ඔබටම තෙරේවී.

මෙම මාළිගාව බුදුපියාණන් වහන්සේට නුහුරු තැනක් නෙවෙයි. යසෝදරා එක් අධිෂ්ඨානයක දැඩිව එළඹිලා.ඒ තමයි තමන්ගේ යම් ගුණයක් තිබේනම් බුදුරජාණන් වහන්සේ තමන්ව බලන්නට එන්න ඕනේ කියන එක. ඒ සුළු කාලය තුල ඇයගේ දෙනතින් ගලාගිය කඳුළු ගංගාව මෙතෙකැයි කියන්නට බැහැ. ඒ නිසාම දහවල් දානයෙන් පසු ඇයගේ ගුණ වර්ණනා කරමින් දේශනා කරන්නට නියමිතව තිබූ ධර්ම දේශනාව ඇය ඉදිරිපිටම කරන්නට සිතු ඒ මහා කාරුණික වූ අපගේ බුදුපියාණන් වහන්සේ එසේත් නැතිනම් අතීතයේ සිට මේ දක්වා කෝටි ගණනක ආත්මභාවයන්හි ඇගේ ආදරණිය ස්වාමිපුරුෂයා වූ උන්වහන්සේ තම පියාණන් ලවා පාත්තරය ගෙන්වා නැගී සිට ඇය වෙතට වඩින්නට ශ්‍රී පාදය පෙරට තිබ්බා.. ඒ තනිවම නෙවෙයි, සාරිපුත්ත මොග්ගල්ලාන යන තම අග්‍රශ්‍රාවකයින් දෙනමත් සමගින්.

ඒ මොහොතෙත් යසෝදරාව, එසේත් නැතිනම් රාහුල මාතාව සිටියේ හතළිස් දහසක් වූ නළගණන් පිරිවරාගෙන. ඒ අතරින් ක්‍ෂත්‍රිය කන්‍යාවන්ගේ සංඛ්‍යාව එක්දහස් අනූ එකක්. මෙතරම් පිරිසක් පිරිවරාගෙන සිටියත් ඒ වෙලාවේ තිබුණේ දැඩි නිහඬතාවයක්. ඒ වනවිටත් යසෝදරාවන් හට බුදුන් වහන්සේ වැඩම කරන බව කන වැකි තිබූ නිසා ඒ සියලු පිරිවරට කහවතින් සැරසී සිටින්න කියා ඇය විසින් අණ කරනු ලැබුවා.

බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් තිබුණා. ඒ තමයි යසෝදරාවට කැමති පරිදී ඇයගේ ශෝකය ප්‍රකාශ කිරීමට ඉඩහරින්න යන්න. ඇයට කිසිවෙකුට බාධා කරන්නට එපා යන්න. ඒ වෙලාවේ ශාස්තෘන් වහන්සේ ඉතාමත් ශාන්ත ගමනින් වැඩම කොට පනවනලද ආසනයෙහි අසුන් ගත්තා පමණයි යසෝදරා දේවිය වේගයෙන් පැමිණ බුදුන්වහන්සේගේ ගොප්මඩුළු අල්ලාගෙන ශ්‍රීපාදය පාමුල සිරස තබා ඉක්බිඳිමින් වන්දනා කරන්නට වුණා. ගත වූයේ සුළු මොහොතයි අර හතළිස් දහසකට වැඩි වූ පිරිසත් එක් වරම මහා හඬින් හඬන්නට පටන්ගත්තා. එය මුළු රජමාලිගාවම සොලවනු ලැබූ මහා විළාපයක් වුනා. ඒත් යසෝදරාව හැඬුවේ ශබ්ද නගලා නෙවෙයි, කල්ප කාලාන්තරයක් සිට පැමිණි අසීමිත ආදරයක දෝංකාරය බුදුන් ගේ සවනට සිතට පමණක් දැණෙන පරිදී හෙමිහිට. ඒ කඳුලැලි වලින් බුදු සිරිපා තෙත්වන්නට ඇති. බුදුරජුන් ඇයට සිතේ දුක තුනී වෙන තෙක් හඬන්නට හැර නිසලව සමාධිමත් දෑසින් ඇය දෙස බලා සිටියා. යසෝදරාව ඇති තරම් වැලපී ශෝකය මදකට දුරු කොට ශාස්තෘන් වහන්සේට රාජකීය බුහුමණින් ගෞරව සහිතව වැඳ නමස්කාර කරමින් පසෙකට වුණා.

බුදුරජාණන් වහන්සේ තාමත් නිහඬයි. ඒ බුදු සිතට කොතරම් නම් අත්මභාවයන් ඒ මොහොතේ පෙනෙන්නට ඇතිද? එයින් ඇති වූ මහා කරුණාව රාහුල මාතාවගේ හිතේ ගින්දර මොහොතකට හෝ නිවන්නට ඇති. ඒ දැඩි නිහැඬිතාවය බින්දේ පිය තුමා. ඒ සුද්ධෝදන මහරජ තුමා. ඒ යසෝදරාවගේ ගුණ කථනය ආරම්භ කරමින්.

එය බුදු කෙනෙකු හා සමග කරනු ලබන සුපුරුදු සාකච්ඡාවකට වඩා හාත් පසින් වෙනස් වුවක්. පිය පුතු හා ලේලිය අතර කරන පවුලේ කතාවකට වැඩිය පිය පුතු හා දුව හා සමග කරන කතාවක් වගේ; මොකද ශුද්ධෝදන රජතුමා යසෝදරාවට තමන්ගේම දුවට වගේ ආදරය කළා; ඒ නිසා එදත් ආමන්ත්‍රණය කරනු ලැබුවේ මගේ දුව කියලා;

“ස්වාමීනි, මගේ දියණිය ඔබ විසින් කසාවත් හඳිනු බව අසා සුසිනිදු කසීසළු ඉවත්කොට රළු කසාවත්ම පැළඳුවා . රජමාලිගවේදී ඔබ විසින් පැළඳි මල්මාලාදිය හරනා ලදැයි අසා ඇයත් මල්මාලා අතහැර බිම හොවන්නට වුනා. ඔබ පැවදි වූ කල්හි ඇය වැන්දඹු වුවා. අන් රජවරුන් විසින් එවනු ලැබූ තුටු පඬුරු පිළිනොගත්තා. මෙසේ ඔබ වහන්සේ කෙරෙහි ස්නේහෙයෙන් වූ සිත් ඇත්තී වුවා” යනුවෙන් ඇයගේ නන්විරූ ගුණ කතාවම පවසනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලම නිහඬව අසා සිටියා. අවසානයේ හඬ අවදිකරන්නට වුනා.

ඒ වනවිටත් රජතුමා අනාගාමි ඵලයට පත්වෙලා තිබුණ නිසාම දෝ දෙනෙත් තෙත් නොකට මෛත්‍රී සහගත සිත් පෙරටුකොට ඒ දීර්ඝ වර්ණනාව කරන්නට ඇති කියලා හිතෙනවා. මේ කිසිවක් නොදත් රාහුල පුතු කඳුළු සලන තම ආදරණීය මව දෙසත් කිසිදා නොදුටු පියා දෙසත් මාරුවෙන් මාරුවට දෙනෙත් යවමින් බලා සිටියේ සංත්‍රාසයෙන්. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලම නිහඬව අසා සිටියා.

පිය රජතුමාගේ කතාවෙන් පසු බුදුරජාණන් වහන්සේගේ ඒ ගාම්භීර වුත් මිහිරි වුත් කටහඬ අවදි වුයේ හෙමිහිට වුවත් ඒ රැස්වූ ලක්‍ෂසංඛ්‍යාත පිරිසටම ඇහෙන පරිදී. දේශනාවට මාතෘකා කොට ගත්තේ පිය රජතුමා කතාව අවසන් කල වදන් අතළොස්සෙන්. ඒ ” අන් රජවරුන් විසින් එවනු ලැබූ තුටු පඬුරු නොගත්තා.” යන්නයි.

මහරජ දැන් ඔබ විසින් ආරක්ෂා කරන ඇය මුහුකුරා ගිය ඥානය ඇත්තියක්. පෙර ආත්ම භවයක ඥානය මුහුකුරා නොගිය මෙම රාජ දියණිය අනාරක්‍ෂිත වූ පර්වත බෑවුමක කිසිවකගේ රැකවරණයක් නැතිව සිටියදීත් තමාව ආරක්ෂා කරගත්තා. එපමණක් නොවේ. මැය දැන් මාගේ අවසන් ආත්මභාවයෙහි මා කෙරෙහි අසීමිත සෙනෙහෙ සිත් ඇතිව ඇලුන සිත් ඇතිව පති භක්තියෙන් වෙන කෙනෙකුන් හට පාවා ගැනීමට නොහැකිවූවා අසිරිමත් නොවේ. මැය තිරිසන් යෝනියෙහි ද ඉපිද මා කෙරෙහි ඇලුණු සිත් ඇතිව අනිකෙකු විසින් අද මෙන්ම පාවාගත නොහැකි වුවාමයි යනුවෙන් සඳ කිඳුරු ජාතකය දේශණා කිරීම ආරම්භ කළා. එහෙම තමයි “චන්‍ද්‍රකින්නර ජාතකය” එළි දැක්කේ.

උපකාර වූ මුලාශ්‍ර

සන‍්තිකෙනිදානකථා

චන්‍දකින්නර ජාතකය

 
 
error: Content is protected !!