අපේ බුදුහාමුදුරුවෝ 407 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 01

පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන්

එක්ව පැමිණි අප මහා බෝසතාණෝ සහ යසෝදරා

යසෝධරාපදානයේ 998 වන ගාථාවෙහි සඳහන් “බ්‍රහ්මදේව නම් වු ලෝකනායක පුරාණ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අප දෙදෙනාම දුටුවා. අපරභාගයෙහි පහළ වූ අන්‍ය ලෝකනාථයන් වහන්සේලාගෙන්ද ඔබවහන්සේ හා මා ආශීර්වාද ලැබුවා” යනුවෙන් යසෝදරා තෙරණිය විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කල ප්‍රකාශය කියවීමෙන්. මෙයින් ප්‍රකටවන කරුණු දෙකකුත් අප්‍රකට කරුණකුත් වනවා. ප්‍රකටවන කරුණු දෙක තමයි ඒ තරම් දීර්ඝ කාලයක් ඇයට සිහිකිරීමට හැකි බවත්, එතරම් දීර්ඝ කාලයක පටන් බෝසතාණන් වහන්සේ සමග පැමිණි බවත් යන කරුණු දෙකයි. ඔබට එකවර නොහැඟෙන අප්‍රකට කරුණ වන්නේ ඒ කාලය තුල ඇය විසින් විඳිනු ලැබූ දුක්ගැහැට ප්‍රමාණයයි. ඒ සියලුම ආත්මභවයන්හි කොතරම් වාර ප්‍රමාණයක් බෝසතාණන් වහන්සේ ඇයව අත්හැර යන්නට ඇත්ද යන කරුණම එය සනාතකර ගැනීමට ප්‍රමාණවත් බව මට හිතෙනවා. ඒ පිළිබඳව යසෝදරා තෙරණිය බුදුරජාණන් වහන්සේ සම්මුඛව කරනු ලැබූ ප්‍රකාශ වලින් මෙම ලිපිපෙළෙහිම පසුව ඔබට කියවන්නට හැකිවේවි.

 යසෝදරාවන් බෝසතාණන් වහන්සේ සමග පැමිණි දීර්ඝ කාලය.

මහත් අභිඥාවන්ට පත්වූ භික්‍ෂුණීන් අතුරින් බද්දාකච්චානා නොහොත් යසෝදරා තෙරණිය අග්‍රයයි දැක්වනවා. ලොව පහළවන සම්මා සම්බුදුවරයෙකුට කොතරම් ශ්‍රාවක පිරිසක් සිටියත් සතර දෙනෙක් පමණක්ම මහා අභිඥා ඇත්තෝ වනවා. ඉතිරි ශ්‍රාවකයෝ එසේ නොවනවා. එනම් අවශේෂ ශ්‍රාවකයන්හට කල්පලක්‍ෂයක්ම පමණක් සිහිකිරීමට හැකියාව තිබෙනවා. එයින් එපිට සිහිකිරීමට නොහැකි වනවා. මහා අභිඥාප්‍රාප්ත ශ්‍රාවකයන් හට කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍යයක් සිහිකිරීමට හැකිවනවා. අපගේ ශාස්තෘ ශාසනයෙහිද අගසව් දෙනම, බක්කුල තෙරුන්වහන්සේ, භද්දාකච්චානා තෙරණිය, යන සතරදෙනා පමණක් එවැනි දීර්ඝකාලයක් සිහි කිරීමට සමත් වූවන් අතරට එක්වනවා. එබැවින් යසෝදරා තෙරණිය මහා අභිඥාප්‍රාප්ත භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ගත්තා. විශ්වයෙන් මෙම අවස්තාව ශ්‍රාවිකාවන් අතරින් ඇයටම හිමි කර දුන්නේ අනේක දුක් කරදර විදිමින් බෝසත්වරයෙක් හා පැමිණි ගමන පිළිබඳව මෙම ආවර්ජනාව බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රකාශකිරිමටද කියා මට සිතෙනවා. එලෙසම මෙම ප්‍රකාශය තුලින් ඇය ලැබූ “මහා අභිඥා ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරින් අග්‍රස්ථානය” යන ප්‍රකාශය සත්‍ය වන බව ඇය විසින් මෙම ප්‍රකාශ කරනු ලැබූ කාලය ඒ තරම්ම දීර්ඝ බව මෙම ලිපියෙහි පහත විස්තරය කියවන ඔබටම පැහැදිලි වේවි. ඒ නිසා ඒ ලොව උතුම් ශ්‍රේෂ්ඨ උත්තමාවියට කරන උපහාරයක් වශයෙන්ම ඒ දීර්ඝ කාලය පිළිබඳව මෙලස කෙටි සටහනක් ඔබගේ සුතමය ඥානය පිණිස ගෙන එනවා.

 අප බෝසතාණන් වහන්සේගේ අනියත විවරණ සමය.

බෝසතාණන් වහන්සේගේ අනියත විවරණ සමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා.

  1. බාහිර නිදාන
  2. මහා නිදාන
  3. අතිදූරෙ නිදාන වශයෙනි

අප බෝසතාණෝ යටගිය දවස මව්තුමිය කර තියාගෙන පිහිනමින් ගොඩබිමට බැසගත් මොහොතේ මෑණියන්ගේ මුවින් ලැබුණු ආශිර්වාදය පටන් බරණැස බ්‍රහ්මදත්ත රජු ලඟ සුතතාප නමින් ඉපිද රජව කාමාස්වාදය ආදීනව දැක සසර කලකිරී බ්‍රහ්මර්ෂි නමින් පැවිදිව කුස ගින්නෙන් පෙලුණු ව්‍යාඝ්‍ර ධේනුවට ජීවිත පූජාවෙන්ද, පිහිටුවාගත් බුදුවීමේ ප්‍රාර්‍ථනාවත්, පුරාණ දීපංකර බුදුන් සමයේ ඉටිකුමාරි ලෙස පූර්‍ව කර්‍ම විපාක වශයෙන් ඉපිද අබ තෙල් පුදා සිද්ධත්ථ යන නම් ඇතිව පිහිටුවාගත් බුදුවීමේ ප්‍රාර්ථනා හේතුවෙන් නැවත කාන්තා ආත්ම භවයෙක්හි නොම ඉපදෙමින් බුද්ධකාරක ධර්‍මයන් පූරණය කළ කාලය අප බෝසතාණන් වහන්සේගේ අනියත විවරණ බාහිර නිදානයි. එනම් මනොප්‍රණිධානය ආරම්භයටත් පෙරටයි

පොරාණ බ්‍රහ්මදේව බුද්ධං ආදිං කත්වා යාව පොරාණ සක්‍යගොතමො මනසාව චිත්තෙන්තස්ස සත්ත අසංඛෙය්‍යානි විතිවත්තානි.

අප බෝසතාණෝ පුරාණ බ්‍රහ්මදේව සම්මා සම්බුදුරජානන් වහන්සේ මුල්කොට පුරාණ සක්‍යමුණි භාග්‍යවතුන් වහන්සේ දක්වා අසංඛ්‍ය සතක් තුලදී පිරූ පාරමී සමය මනෝප්‍රණිධාන හෙවත් සිතින්ම බුදුබව පතාගෙන පැමිණි කාලයයි.

එනම් :-

නන්දො සුනන්දෝ පථවි – මණ්ඩො ධරණි සාගරො

පුණ්ඩරිකො ඉමෙ සත්ත – අසංඛෙය්‍යා පකාසිතා

නන්ද – සුනන්ද – පථව් – මණ්ඩ – ධරණි – සාගර – පුණ්ඩරික යනු සිතින් බුදුබව පතමින් සිටි අසංඛ්‍ය සතක කාලයයි. ඒ ඒ අසංඛ්‍ය කල්ප වල පහළ වූ සම්බුදුරජාණන් වහන්සේලා ගේ ප්‍රමාණයන් මෙසේයි.

නන්ද අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 5000 කුත්

සුනන්ද අසංඛ්‍ය තුල බුදුරජානන් වහන්සේලා 9000 කුත්

පථවි අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 10000 කුත්

මණ්ඩ අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 11000 කුත්

ධරණි අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 20000 කුත්

සාගර අසංඛ්‍ය තුල බුදුරජාණන් වහන්සේලා 30000 කුත්

පුණ්ඩරික අසංඛ්‍ය තුල බුදුරජානන් වහන්සේලා 40000 කුත් වශයෙන්.

මෙසේ සත් අසංඛ්‍ය ක් තුල පහල වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයයි.

එකං සතසහස්සානි – විසතී ච සහස්සඤ්ච

සෙසා පඤ්ච සහස්සානි – සබ්බ බුද්ධෙහි මණ්ඩිතා’ නි

එකී සත් අසංඛ්‍යයක් තුල ලොව පහළ වූ එක්ලක්ෂ විසිපන්දාහක් (125 000) පමණ සම්මා සම්බුදුරජානන් වහන්සේලා හමුවෙහි දානාදි පාරමී ගුණ පූරණයෙන් මනෝ ප්‍රණිධානය මුදුන්පත් කොට ගනු ලැබුවා.. මෙම කාලය මහානිදාන සමයයි.

උපකාර වූ මුලාශ්‍ර

ජිනකාලමාලී/සීමා විසෝදනී

ත්‍රිපිටකාචාර්‍යය,අභිධර්ම විශාරද ගෞරවණීය දිගන සුගතවංශ හිමිපාණන් වහන්සේ විසින් රචිත මහා බෝසතාණෝ ග්‍රන්ථය.

 
 
error: Content is protected !!