Ape Budu Hamuduruwo 348

අපේ බුදුහාමුදුරුවෝ 348 (සන්තිකේ නිධානය)

 

චතුරංග සමන්නාගත මහා සංඝ සන්නිපාතය, අගසවු තනතුරු ප්‍රධානය , සහ ප්‍රථම පාමොක් දේශනය 01

ඉතින් ඔය අයුරින් තමයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේ අරහත්වයට පත්වුණේ. බුදුරජාණන් වහන්සේට මේ තත්වය පෙනෙන්නට ඇත්තේ දර්ම දේශනයට කලින්මයි කියලා මට හිතුනේ ඒ නිසාමයි. ඒ දැනටමත් අපට බුද්ධ ඥාන පිලිබන්ධව සුළු වශයෙන් හෝ අවබෝධයක් තිබුන නිසා. සාරිපුත්ත හිමිපාණන් වහන්සේට අරහත්වය ලැබුනාට පස්සේ බුදුරජාණන් වහන්සේට තව දුරටත් එම භුමියේ වැඩ සිටින්නට වුවමනා වුයේ නැහැ. ඒ තවත් සුවිශේෂ කාරණා කිහිපයකටම එදිනම මුල පිරිය යුතු බැවින්. ඒ ප්‍රථම සංඝ සන්නිපාතය, අගසවු තනතුරු පිරිනැමීම, සහ ඕවාද ප්‍රතිමොක්ෂය දේශණා කිරීම ප්‍රථම වතාවට එදිනටම දී තිබුන නිසා. භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල හොඳින් දන ඒ සැණින්ම අහසට නැග ක්ෂණයකින් වෙළුවනයට වැඩියේ ප්‍රථම මහා සංඝ සන්නිපාතයට, තව තව වැඩි වෙලාවක් නැති බැවින්. ඒ මොහොතේම සැරියුත් තෙරණුවොත් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩියෙදයි ආවර්ජනා කරන්නට වුනා. ඒ මොහොතේ උන්වහන්සේටත් පෙනෙන්නට වුනා භාග්‍යවතුන් වහන්සේ වේළුවනයට වැඩි බව. ඔබට ප්‍රශ්ණයක් ඇතිවේවි ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේට නොදන්වා වැඩියේ කියලා. එයට පිළිතුර ඊළඟ පරිච්චේද කිහිපයේදී ලැබේවි. උන්වහන්සේත් ක්ෂණයකින් අහසට නැග වේළුවනයට වැඩියේ ඒ සුවිශේෂ අවස්ථාවේ උන්වහන්සේත් ඒ භුමියේ සිටිය යුතු නිසාමයි.

සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී කරුණු රැසක් සිදු වූ නවම් පොහොය

එදා තවත් නවම් පුන්පොහෝ දිනක්. පොහෝ සඳ අහසේ පායන්න නොවිසිල්ලෙන් බලා ඉන්නවා වගේ. එදා උදාවුන නවම් පොහොය බෞද්ධයිනට සුවිශේෂී පොහෝ දිනයක් වුණා. ඒ සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලැබීමත්, සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීමත්, එදිනම සිදුකරනු ලැබූ ඕවාද ප්‍රාතිමොක්ෂයත් නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය අත්හැරීමත් ඇතුළුව මෙම සුවිශේෂී කාරනා සියල්ලම සිදුවුනේ මෙවන් නවම් පුනු පුන්පොහෝ දිනයකදීමයි

චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය

ඉහතින් කි පරිදිම ඒ වනවිටත් භාග්‍යවතුන් වහන්සේ දීඝ නඛට දෙසූ ධර්ම දේශනාව සූර්යයා නොබැසසිටියදීම නිමවා අහසින්ම වේළුවනයට වැඩමකොටයි සිටියේ. එදින තවත් විශේෂ සිදුවීමක් වුණා. එක්දහස් දෙසිය පනහක් පමණ වූ මහා විශාල සංඝ පිරිසක් ඒ මොහොතේම එම භූමියට වැඩම කිරීමයි. එවැනි විශාල සංඝයා රැස්වීමක් හමුවීමක් සාසනයේ “සංඝ සන්නිපාතයක්” යන නමින් හඳුන්වනවා. මෙය සියලු බුද්ධ සාසන තුල සිදුවූවක්. සමහර බුද්ධ සාසන වල ලක්ෂ ගනින් බව ඔබ මීට ඉහත මෙම ලිපි පෙලින්ම කියවා තිබෙනවා මතක ඇති. එහෙත් අප සාස්තෘන් වහන්සේගේ සාසනය තුල සිදු වූ මෙම සංඝ සන්නිපාතය එහෙම නැත්නම් සංඝ රැස්වීම සුවිශේෂී නමකින් හඳුන්වනු ලැබුවා. ඒ “චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය” යන නමින්. ඊට හේතු වුනේ මෙම මහා සංඝයාගේ රැස්වීම සුවිශේෂී අංග සතරකින් සමන්නාගත වීමයි. එම අංග හතර නම්

  1. එදින මා නැකතින් යුත් පුන් පොහෝ දිනයක්වීම
  2. මේ මහා සංඝ පිරිස සෘද්ධියෙන් ලැබුණු පාත්‍රා සිවුරු ඇතිව කිසිවකු විසින් ආරාධනය නොකරම වඩිනු ලැබීම.
  3. පෘථක් ජනයෙක් හෝ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, සුක්ක විපස්සක රහතුන්, යන අය ඒ අතර නොසිටීමයි. සියල්ලෝ ෂට්අභිඥලාභී රහතුන්ම වීම
  4. ඒ වගේම මෙහි කිසිවෙක් ආයුධයකින් කෙස් කපා පැවිදිවූවෙක් නම් සිටියෙම නැහැ. ඒ එම සියලු දෙනාම එහිභික්‍ෂුභාවයෙන් පැවිදි වූවන් වීමයි.

පුරාණ ජටිලයන්ගේ පිරිස දහසකුත් අගසව් දෙනමගේ පිරිවර දෙසියපනහකුත් වශයෙන් එක්දහස් දෙසිය පනහක පරිසක් එදින එම සංඝ සන්නිපාතයට සහභාගී වී තිබූ බව මහාපදාන සුත්ත වර්ණනාවෙහි ශ්‍රාවක සන්නිපාත පරිච්ඡේදයේ සඳහන් වනවා. ඉතින් මේ මහා සංඝ පිරිස මැද අපේ බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මොග්ගල්ලාන රහතුන්වහන්සේලා දෙනමට අපගේ සාසනයේ අගසව් තනතුරු ප්‍රධානය කරනු ලැබුවා.

Ape Budu Hamuduruwo 347

අපේ බුදුහාමුදුරුවෝ 347 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 05

බුදුරජාණන් වහන්සේ මෙලෙස දර්මය දේශනා කරමින් යනවිට දීඝ නඛ පරිබ්‍රාජකයා ගේ පමණක් නොවේයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේගේත් ප්‍රඥා ඇස විවිර වෙන්නට පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඉන් අනතුරුව සත්වයා බෙහෙවින් ඇලුම් කරන රූප කය ගැනත්, එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැනත්, එය හෙතුප්‍රත්‍යයෙන් ඇතිවීම සහ නැතිවීම ගැනත්, ත්‍රිවිධ වේදනා ගැනත්, එහි ප්‍රහාණය ගැනත් තවදුරටත් මෙලෙස සවිස්තර වශයෙන් දේශනා කරන්නට වුනා. බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත් වේගයෙන් දීර්ඝ වශයෙන් දේශනා කරන ලද එවැනි දේශනා පෙළෙහි සඳහන් වෙන්නේ ඉතාමත් කෙටියෙන් කියලයි මම අහලා තියෙන්නේ. ඒ මෙලසින්.

සත්වයා බෙහෙවින් ඇලුම් කරන රූප කයෙහි යථා ස්වභාවය පැහැදිලි කිරීම,

“අග්ගිවෙස්සනය, සතර මහා භූතයන් ගෙන් හටගත් මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් සම්භව වූ, බතින් හා කොමුපිඩුවලින් වැඩුණු රූපය අනිත්‍යය. ඇඟඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාසය, ස්වභාවකොට ඇත්තාවූ රූපසමූහයක් වන මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ලාමකවූවක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසීම් වශයෙන් සූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් දැක්කයුතුය. මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසෙන්නක් වශයෙන් සූන්‍යවූවක් වශයෙන් අනාත්ම වශයෙන් දක්නාවූ ඔහුගේ කය කෙරෙහි යම් ඇල්මෙක් කයෙහි යම් ස්නෙහයෙක් කය අනුව යාමක් වේද, එය දුරුවෙයි.’

ත්‍රිවිධ වේදනා පිලිබන්වදව සහ එහි නිරෝධය පිලිබන්වදව පැහැදිලි කරන ලද විස්තරය.

“අග්ගිවෙස්සනය, වේදනා තුනක් පවතිනවා. ඒ සැප වේදනාය, දුක් වේදනාය, දුක්දනොවූ සැපද නොවූ වේදනාවය යන වේදනා තුනයි. අග්ගිවෙස්සනය, යම් කලෙක සැපවූ වේදනාව විඳීද, එකල්හි ඔහු හෝ ඇය දුක්වූ වේදනාව ද දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද විදින්නේ නැහැ.. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්වූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනාවක් විදින්නේ නැහැ. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද විදින්නේ නැහැ. එකල්හි දුක්වූ වේදනාවම විඳියි. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්නොවූ සැපද නොවූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනා නොම විඳියි. දුක්වූ වේදනාව නොවිඳියි. එකල්හි දුක්ද නොවූ සැපද නොවූ වේදනාවම විඳියි.

අග්ගිවෙස්සනය, සැප වේදනාවද අනිත්‍යය, සකස් කරනලදී, හේතුප්‍රත්‍යයන් ගෙන් (පටිච්චසමුප්පන්න) හටගන්නීය. ක්ෂය වන ස්වභාව ඇත්තීය. විනාසය ස්වභාව කොට ඇත්තීය. විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය. අග්ගිවෙස්සනය, දුක් වේදනාවද අනිත්‍යය, සකස් කරනලද්දීය. ප්‍රත්‍යයෙන් හටගත්තීය. ක්ෂයවීම ස්වභාව කොට ඇත්තීය, විනාසය ස්වභාව කොට ඇත්තීය, විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය, අග්ගිවෙස්සනය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද අනිත්‍යය සකස් කරන ලද්දීය, ප්‍රත්‍යයෙන් හටගත්තීය, ක්ෂයවන ස්වභාව ඇත්තීය, විනාසවන ස්වභාව ඇත්තීය, විරාග ස්වභාව ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,

අග්ගිවෙස්සනය, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම සැප වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි. (නිබ්බින්දති) දුක් වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි.

අවබෝධයෙන් කලකිරෙන ඔවුන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. එලෙස මිදුනු කල්හි ඔවුනට මිදුනේය යන දැනීම ඇතිවේ. එවිට ජාතිය ක්ෂය කරණ ලද්දීය, (ඛීණා ජාති) බ්‍රහ්මචර්ය වැස නිමවන ලද්දේය (වුසිතං බ්‍රහ්මචරියං). සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුනු සිත් ඇත්තාවූ භික්ෂු තෙමේ වනාහි කිසිවෙකු සමගත් විරුද්ධව කථා නොකෙරෙයි. කිසිවෙකු සමගත් විවාද නොකෙරෙයි. ලෝකයෙහි යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරයි. දෘෂ්ටි වශයෙන් නොගනියි.

ඒ මොහොතේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ. එවිට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙබඳු අදහස් පහලවුනා.

 ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ දුරු කිරීම වදාළේය. සුගතයන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ධර්මයන්ගේ දුරලීම වදාළේයයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අලවා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදී ගියා. දීඝනඛ පරිව්‍රාජකයාහට වනාහි යම් කිසිවක් ඉපදීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි (‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති) කෙලෙස් රජස් රහිතවූ පහවූ මල ඇති ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ගඥානය) පහලවූවා.

ඉන්පසේ දීඝ නඛ නම් පරිව්‍රාජකය හට දක්නාලද ධර්මය ඇතිව, පැමිණියාවූ ධර්මය ඇතිව, දැනගන්නාලද ධර්මය ඇතිව, බැසගත්තාවූ ධර්මය ඇතිව, දුරු කළාවූ විචිකිච්ඡා ඇතිව පහවූ සැකය ඇතිව විසාරද බවට පැමිණ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන බවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොටයමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොටයමි. භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වායි” බැගෑපත්ව ඇයද සිටියා.

Ape Budu Hamuduruwo 346

අපේ බුදුහාමුදුරුවෝ 346 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 04

බුදුරජාණන් වහන්සේ තව දුරටත් ඒ ගාම්භීර දේශනාව පවත්වාගෙන යනු ලැබුවේ සමහර විට ඔහු නිසාම නොවෙන්නත් ඇති. මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත තෙරුන්ගේ අවධානය නිසා වෙන්නට ඇති කියලා මට හිතෙනවා. උන්වහන්සේ තව දුරටත් මෙලෙස වදාරනු ලැබුවා.

සමහරක් මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය යනුවෙන් සිතීමෙහි ආදීනව.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සමහරක් මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි වේද, ඒ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට ළංවේ. සංයෝජන වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි (ලෝභය හා වැරදි දැකීම්) වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි දෙක්හි ගිලීමෙන් සසරට ළංවේ. යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි නොවේද ඒ දෘෂ්ටිය සසර නොඇලීමට ළංවේ. නොබැඳීමට ළංවේ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු නොවීමට ළංවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ළංවෙයි.

එයින් ඇතිවියහැකි කොළාහල සහ වාද විවාද දෘෂ්ටීන්ගේ ප්‍රහානය.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, එහි නුවණ ඇති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ‘සියල්ල මට රුචිවේය’ යන යම් මේ මාගේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වශයෙන් අල්වාගෙන ඇතුලත්ව මෙයම සත්‍යය, අනික හිස්යයි ව්‍යවහාර කෙරෙම්ද, ඒ මට දෙයාකාරයකින් කොලාහල උපදින්නේය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි’. මෙබඳු වාද ඇත්තේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොළාහල උපදින්නේය. මෙසේ කොලාහලය ඇති කල්හි විරුද්ධ වචන කීම වන්නේය. විරුද්ධ වචන කීම ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි හිංසාව වන්නේය. මෙසේ හෙතෙම කොලාහලයද විවාදයද පහරදීමද හිංසාවද තමාට ඇතිවන බව දැන ඒ දෘෂ්ටියද දුරු කරයි. අනික් දෘෂ්ටියක්ද නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානයවේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ මට සියල්ල රුචි නොවේයයි, මෙසේ වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන් අතුරෙන් නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි. ‘සියල්ල මට රුචි නොවේ යයි,’ මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම ‘මේ දෘෂ්ටිය මෙයම සත්‍යය, අනික සිස්යයි,’ දැඩි වශයෙන් අල්වාගෙණ ඇතුළත්ව වාසය කෙරෙම්ද, මට දෙයාකාරයකින් කොලාහල වන්නෝය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සියල්ල රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සමහරක් රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේද, මේ දෙයාකාරයෙන් මට කලහය වන්නේය. මෙසේ කලහය ඇති කල්හි විවාදය වන්නේය. විවාදය ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි වෙහෙස වන්නේය.’ මෙසේ හෙතෙම කලහයද, විවාදයද, පහරදීමද, හිංසාවද, තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද හැරදමයි. අනික් දෘෂ්ටියක්ද අල්වා නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරු කිරීම වේ. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

Ape Budu Hamuduruwo 345

අපේ බුදුහාමුදුරුවෝ 345 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 03

එදා මා නැකතින් යුත් පුන්පොහෝ දිනයක්. ඉතින් 343 වෙනි කොටසෙහි කියූ ලෙස සාරිපුත්ත තෙරුන්වහන්සේගේ බෑණානුවන් වූ දීඝනඛ පරිව්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ ආගිය තොරතුරු කතාබස්කොට පසෙකින් සිටියා. ඒ වෙලාව වනවිටත් ගල්ලෙන මදක් රත්වී තිබුන නිසාදෝ සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන්සලමින් සිටියේ. දීඝනඛ පරිව්‍රාජකයාත් බුදුරජුන් සහ තම මාමණ්ඩිය හමුවේ තමා ගැන ඇගයීමක් කිරීමට අවස්තාවක් බල බලා සිටියේ. ඒ වනවිටත් ඔහු දැන් සිටින්නට ඇති බුදුරජාණන් වහන්සේ සියල්ලම අත්හළ උත්තමයෙක් කියලා. ඔහු මෙලෙස එතැනින්ම කතාව පටන් ගන්නට මුල පිරුවා

“භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ‘සියල්ල මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වෙමියි” කියා සිටියේ මදක් ආඩම්බරයෙන්. ඔහුට කියන්නට ඕනේ වෙන්නට ඇත්තේ මමත් ඔබවහන්සේ වගේම සියල්ලන්ටම ඇති ආශාව දුරු කල කෙනෙක් කියලා වෙන්නට ඇති. මෙහි සියල්ලම යනුවෙන් ඔහු අදහස් කලේ සියලු උපත් බව යනුවෙන් පෙලේ සඳහන් වනවා. ඒත් ඔහු නොදැන සිටි තව බොහෝ දේ තිබුනා.එයින් එකක් වන්නේ එක් තැනක් අත්හරින විට තවත් තැනක් අල්ලා සිටින බවයි. බුදුරජාණන් වහන්සේ එතැනින්ම ඔහුගේ සසර ගමන නිම කිරීමට ප්‍රවේශයක් ගත්තා.

 “අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචි නොවේයයි’ ඔබ මොහොතකට පෙර පැවසුවා. එතකොට ‘සියල්ල මට රුචි නොවේයයි යම් මේ දෘෂ්ටියක් වේනම් මේ දෘෂ්ටියද තොපට රුචි නොවේදැයි?” අසා සිටියා. එවිට ඔහු කෙලින්ම ඔවු කියලා කිවේ නැහැ. ටිකක් පටලලා මෙහෙම උත්තරයක් දුන්නා.

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ දෘෂ්ටිය මට රුචි වනවා කියන්නෙම අර මිට ඉහත කියපු සියල්ල මට රුචිනොවේ’ යන දෘෂ්ටියද එලෙසම සැබෑ වන බවම නේද? .”. ඒත් ඔහුට පෙනුනේ නැහැ ඔහු එය පිළිගත්තේ නැහැ හුදෙක් ඒ උච්ඡේද දෘෂ්ටියෙන් යලිත් උච්ජේදයම ගන්නා බව. ඒ මහා කාරුණිකයාණන් වහන්සේ ඔහුගේ සිත නොරිදවා නොබිඳවා වෙනස් අකාරයකට ඔහුට ඔහුගේ යම් ගුණයක් මතුකරමින් නිවන් මග දක්වා මෙහයවන්නට වුණා.

“අග්ගිවෙස්සනය, යම් කෙනෙක් ‘එයද එබඳුම වන්නේය’ එයද එබඳුම වන්නේයයි’ කියමින් ඒ දෘෂ්ටිය අත්නොහැරම අනික් දෘෂ්ටියක් ගන්නවාද එවැන්නෝ ලෝකයෙහි ඉතාම බහුලයි.

“අග්ගිවෙස්සනය, යම් කෙනෙක්, ‘එයද එබඳුම වන්නේය, එයද එබඳුම වන්නේයයි, කියමින් ඒ දෘෂ්ටියද දුරු කරමින් අනික් දෘෂ්ටියක්ද නොගන්නා වේද, එවැන්නෝ ඉතාමත් අල්පයි.

“අග්නිවෙස්සනය, ‘සියල්ල මට රුචි වේයයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ සිටිනවා. . අග්ගිවෙස්සනය, ඒ වගේම ‘සියල්ල මට රුචිනොවේයි,’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝද ලොවෙහි ඉන්නවා. .

අග්ගිවෙස්සනය, ඒ වගේම ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණෝද ලොවෙහි බොහෝ ඉන්නවා.

“අග්ගිවෙස්සනය, දැන් මේ ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට සමීපයි. . සංයොජන වශයෙන් සසරට සමීපයි. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටුවීම් වශයෙන් සසරට සමීපයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි ගිලීමෙන් සසරට සමීප වෙයි.

අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි නොවේය.’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට සමීපයි. සසර නොබැඳීමට සමීපයි. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට සමීපයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ආසන්න වෙයි.”

බුදු පියාණන් වහන්සේ මෙසේ වදාළ විට දීඝ නඛ පරිව්‍රාජකයාට පුදුම සතුටක් ඇතිවුනේ. ඇයි ඔහුව වර්ණනා කළා වගේ දැනුනේ. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියන්නට “භවත් ගෞතමයන් වහන්ස ඔබවහන්සේ මාගේ දෘෂ්ටිය උසස් කරනවා. “භවත් ගෞතමයන් වහන්ස ඔබවහන්සේ මාගේ දෘෂ්ටිය ඉතා උසස් කරනවා”.

මෙලෙස බුදුරජාණන් වහන්සේ තව දුරටත් දේශනා කරන්නට වුනා.

Ape Budu Hamuduruwo 344

අපේ බුදුහාමුදුරුවෝ 344 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 02

සාරිපුත්ත හිමිපාණන් වහන්සේ අරහත්යට පත් වූ සුත්‍ර දේශනාව කුමක්ද?

අප විදේශ රටක සිටියත් ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුධය අපගේ සිත් තුළටත් රිංගලා. තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල ඇති නොසන්සුන්තාව තරමටම අපේ සිතත් නොසන්සුන්, වෙහෙසකාරීයි. ඒ නිසාම අකුරු කරන්නට මනස සන්සුන්කරගන්නට බැරිව මසකට වැඩි කාලයක් ගතවුනාද මන්දා. අදත් හොඳටම නිදිමතයි. එත් වචන දෙකක් හෝ ලියනවා කියා සිතුවා.

ලියන්නට ඇත්තෙත් සාරිපුත්ත තෙරුන් අරහත්භාවයට පත් වූ ගාම්භීර සුත්‍ර දේශනාව වූ වේදනා පරිග්‍රහ සුත්‍රය පිළිබඳව, ඒත් එහෙම සුත්‍රයක් සුත්‍ර පිටකයේ සොයාගන්නට නැහැ. ඒ නිසාම තවත් දිනෙන් දින ලිවීම ප්‍රමාද වී සිත සම්පුර්ණයෙන්ම අලසභාවයේ ගොදුරක් බවට පත්වුනා. බැරිම තැන අපගේ කල්‍යාන මිත්‍ර එංගලන්තයේ පදිංචි හලහකෝන් මැතිතුමාට කතාකලේ හැමදාම සොයාගැනීමට නොහැකි ධර්ම කරුණු ගිහි පැවිදි සැමට සොයා දුන්නේ ඒ උත්තමයා නිසා. පුතා මට ටික වෙලාවක් දෙන්න. හලහකෝන් අංකල් කීවා. අවසානයේ එහි හෝඩුවාව මතුවුනේ ඉංග්‍රීසි ත්‍රිපිටකයට පිංසිද්ද වෙන්න. එහි වේදනා පරිග්‍රහ සුත්‍රය හඳුන්වන තවත් නමක් හැටියට දිඝනඛ සුත්‍රය වශයෙන් උප්ග්‍රන්තයන්හි සඳහන් වී තිබුනා. ඉංග්‍රීසීන්ට කටට එන්නම් වාලේ බැන්නට ඔවුන් රැස්කළ බොහෝ කරුණු අපිට සිංහල ත්‍රිපටකයේ සොයාගන්නට බැරි අවස්ථා බොහෝ විට හමුවෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා හලහකෝන් අංකල්ට දීර්ඝායුෂ පතන්නේ බුදුදහමේ උන්නතිය වෙනුවෙන් ඔහුගෙන් තව බොහෝ සේවාවන් ගිහිපැවිදි උතුමන්ට අවශ්‍ය නිසා.

දීඝනඛ සුත්‍රය කියවා බැලීමේදී එහි සියලු කරුණු ඉතාම හොඳින් ගැළපෙන බව වැටහෙනවා. එහෙත් සුත්‍ර පිටකයේ වේදනා පරිග්‍රහ සූත්‍ර නාමය වෙනුවට දීඝනඛ යනුවෙන් වෙනස් කරනු ලැබුවේ ඇයිද යන්නත්, බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් බුද්ධ චරුතය ග්‍රන්ථයෙහි උපග්‍රන්ත සටහනෙහි මෙය වේදනා පරිග්‍රහ සුත්‍රය යන්නෙන් සඳහන් කරනු ලැබුවේත් ඇයිද යන්නත් මට මහත් ප්‍රෙහෙලිකාවක් වුනා. ඒ නිසාම නිරවුල් මනසින් ලිපිය ලිවිම ප්‍රශ්නයක් වීම නිසා තවත් කාලය ගතවුනා. පසුව එම කරුණ විසඳා ගැනීම සඳහා කතා කරනු ලැබුවේ ගෞරවනීය අපගේ කල්‍යාන මිත්‍ර මිස්සක කමලසිරි හිමිපාණන් හට. ඊට හේතුව වුනේ උන්වහන්සේගේ ගුරු හිමිපාණන් වහන්සේ ආනන්ද මෛත්‍රී මහනායක හාමුදුරුවෝ නිසා. උන්වහන්සේ විසින් විස්තර කල පරිදි 1920 ගණන් වලදී බුද්ධ චරිතය ග්‍රන්ථය ආනන්ද මෛත්‍රිය නාහිමිපාණන් විසින් ලියන අවස්ථාවෙහි බුද්ධ ජයන්ති ත්‍රිපිටකය මුද්‍රණය කොට තිබුනේ නැත. එවකට පුස්කොළ පොත්වල සඳහන් වී ඇත්තේ මෙම සුත්‍ර දේශනාව වේදනා පරිග්‍රහ යනුවෙන්. පසුව බුද්ධජයන්ති ත්‍රිපිටකය සංස්කරණය කිරීමේදී යම් යම් සුත්‍ර දේශනාවල අන්තරගතයට අනුරූපව සුත්‍ර දේශනා හඳුන්වනු ලබන නාමයන් වෙනස් කොට ඇති බවයි. එලෙස මෙහි සාරිපුත්ත හිමිපාණන් වහන්සේගේ බෑණනුවන් ගේ නමින් දීඝනඛ යනුවෙන් වෙනස්කොට ඇත. මෙම කරුණු ඔබටද ප්‍රයෝජනයක් විය හැකි බැවින් මෙලෙස සටහන් කර තබන්නට සිතුවා.

Ape Budu Hamuduruwo 343

අපේ බුදුහාමුදුරුවෝ 343 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 01

වේදනා පරිග්‍රහ සුත්‍රය

මේ වනවිටත් සැරියුත්තෙරණුවෝ පැවිදි වෙලා අඩමසක් පමණ ඉක්මවා ගිහින්. ඒ මොහොත වනවිට උන්වහන්සේ බුදුරදුන් සමඟ රජගහනුවර සමීපයෙහි තිබුන ගිජුකුළුපව්වෙහි සූකරඛත නම් වූ ලෙනෙහි වැඩ වාසය කරමින් සිටියේ. ඒ ලෙන ගැනත් ලස්සන නිධාන කතාවක් තියෙනවා.එය කාශ්‍යප බුදුන් කාලයේ පරිහරණය කරන ලද්දක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාද කියලා හරියටම පැහැදිලි නැහැ. ඒ ලෙන එලෙස එක් බුද්ධාන්තරයක් පොළොව වැඩෙන කල පොළොව තුළට ගිලා බැහැලා තිබුනේ. ඉන්පස්සේ එක්දවසක් කොහෙද සිට පැමිණි පින්වත් ඌරෙක් එහි වහල කෙළවර සමීපයෙහි පස් හාරන්නට වුණා. මෙම කතාව ඉවරවනවිට ඌරා පින්වත් වුනේ කොහොමද කියලා ඔයාටම තේරේවි. ඉන් පස්සේ වස්සාන කාලය එළඹුණා. වැසිජලය වැටෙන විට ඌරා විසින් හාරපු වලේ පස් ඉබේටම වගේ සේදී වහලේ කෙළවර පෙනෙන්නට පටන් ගත්තා. එය වනචාරියෙක් දැක පෙර සිල්වතුන් විසින් පරිභෝග කරන ලද ලෙනක් වියයුතුයයි සිතා එය පිළිදැගුම් කරන්නෙමියි සිතා හාත්පස පස් ඉවත් කොට ලෙන සෝදා බිත්තියකින් ආවරණයක් කොට දොර කවුළු යොදා මැනවින් නිමකරන ලද සුණු පිරියම්, චිත්‍රකර්ම ඇති රිදීපටක් වැනි වැලි අතුරන ලද මිදුල ඇති ලෙනක් කොට ඇඳපුටුද පනවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස පරිත්‍යාග කරනු ලැබුවා. ලෙන ගැඹුරවුනා පහළට බැස නැගිය යුතු වුනා. මෙම කරුණු නිසාත් ඌරෙකු විසින් හාරන ලද්දක් වූ බැවිනුත් මෙම ලෙන සුකරඛත නමින් හැඳින් වූවා.

ඒ කාලේ සාරිපුත්ත තෙරණුවන්ට දීඝනඛ කියලා ඥාති පුතෙක් හිටියා. සාරිපුත්ත තෙරුන්වහන්සේ පැවිදිව අඩමසක් ගතවුණාට පස්සේ ඔහුට මෙහෙම සිතිවිල්ලක් පහල වුණා. “මාගේ මාමා වෙනත් පාෂාණ්ඩයකු වෙත ගොස් වැඩිකල් නොසිටී දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් අඩමසක් විය. ඔහුගැන ප්‍රවෘත්තියක් වත් නො අසමි. ශාසනය ඔදවත් විය යුතුය. එය දැනගන්නෙමිය” යනුවෙන් ඔහු බලන්නට යාමට සිතක් පහල වුණා. ඔහු සාරිපුත්ත තෙරුන් සොයමින් සූකරඛත ලෙනට එන විට තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමිනුයි සිටියේ. පිරිවැජියා මාමා කෙරෙහි භය සහ ලජ්ජාවෙන් සිටියදීම භාග්‍යවතුන් වහන්සේ වෙතට ප්‍රශ්නයක් යොමුකරනු ලැබුවා. එය ඉතාමත් ගැඹුරු දර්ම දේශණාවක් අරඹයා බුදුරජාණන් වහන්සේට ඇරයුම් කළා වගේ.

උපකාර වූ මුලාශ්‍ර 

මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » පරිබ්බාජකවග්ගො » දීඝනඛ සුත්‍රය