අපේ බුදුහාමුදුරුවෝ 347 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 05

බුදුරජාණන් වහන්සේ මෙලෙස දර්මය දේශනා කරමින් යනවිට දීඝ නඛ පරිබ්‍රාජකයා ගේ පමණක් නොවේයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේගේත් ප්‍රඥා ඇස විවිර වෙන්නට පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඉන් අනතුරුව සත්වයා බෙහෙවින් ඇලුම් කරන රූප කය ගැනත්, එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැනත්, එය හෙතුප්‍රත්‍යයෙන් ඇතිවීම සහ නැතිවීම ගැනත්, ත්‍රිවිධ වේදනා ගැනත්, එහි ප්‍රහාණය ගැනත් තවදුරටත් මෙලෙස සවිස්තර වශයෙන් දේශනා කරන්නට වුනා. බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත් වේගයෙන් දීර්ඝ වශයෙන් දේශනා කරන ලද එවැනි දේශනා පෙළෙහි සඳහන් වෙන්නේ ඉතාමත් කෙටියෙන් කියලයි මම අහලා තියෙන්නේ. ඒ මෙලසින්.

සත්වයා බෙහෙවින් ඇලුම් කරන රූප කයෙහි යථා ස්වභාවය පැහැදිලි කිරීම,

“අග්ගිවෙස්සනය, සතර මහා භූතයන් ගෙන් හටගත් මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් සම්භව වූ, බතින් හා කොමුපිඩුවලින් වැඩුණු රූපය අනිත්‍යය. ඇඟඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාසය, ස්වභාවකොට ඇත්තාවූ රූපසමූහයක් වන මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ලාමකවූවක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසීම් වශයෙන් සූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් දැක්කයුතුය. මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසෙන්නක් වශයෙන් සූන්‍යවූවක් වශයෙන් අනාත්ම වශයෙන් දක්නාවූ ඔහුගේ කය කෙරෙහි යම් ඇල්මෙක් කයෙහි යම් ස්නෙහයෙක් කය අනුව යාමක් වේද, එය දුරුවෙයි.’

ත්‍රිවිධ වේදනා පිලිබන්වදව සහ එහි නිරෝධය පිලිබන්වදව පැහැදිලි කරන ලද විස්තරය.

“අග්ගිවෙස්සනය, වේදනා තුනක් පවතිනවා. ඒ සැප වේදනාය, දුක් වේදනාය, දුක්දනොවූ සැපද නොවූ වේදනාවය යන වේදනා තුනයි. අග්ගිවෙස්සනය, යම් කලෙක සැපවූ වේදනාව විඳීද, එකල්හි ඔහු හෝ ඇය දුක්වූ වේදනාව ද දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද විදින්නේ නැහැ.. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්වූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනාවක් විදින්නේ නැහැ. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද විදින්නේ නැහැ. එකල්හි දුක්වූ වේදනාවම විඳියි. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්නොවූ සැපද නොවූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනා නොම විඳියි. දුක්වූ වේදනාව නොවිඳියි. එකල්හි දුක්ද නොවූ සැපද නොවූ වේදනාවම විඳියි.

අග්ගිවෙස්සනය, සැප වේදනාවද අනිත්‍යය, සකස් කරනලදී, හේතුප්‍රත්‍යයන් ගෙන් (පටිච්චසමුප්පන්න) හටගන්නීය. ක්ෂය වන ස්වභාව ඇත්තීය. විනාසය ස්වභාව කොට ඇත්තීය. විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය. අග්ගිවෙස්සනය, දුක් වේදනාවද අනිත්‍යය, සකස් කරනලද්දීය. ප්‍රත්‍යයෙන් හටගත්තීය. ක්ෂයවීම ස්වභාව කොට ඇත්තීය, විනාසය ස්වභාව කොට ඇත්තීය, විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය, අග්ගිවෙස්සනය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද අනිත්‍යය සකස් කරන ලද්දීය, ප්‍රත්‍යයෙන් හටගත්තීය, ක්ෂයවන ස්වභාව ඇත්තීය, විනාසවන ස්වභාව ඇත්තීය, විරාග ස්වභාව ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,

අග්ගිවෙස්සනය, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම සැප වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි. (නිබ්බින්දති) දුක් වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි.

අවබෝධයෙන් කලකිරෙන ඔවුන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. එලෙස මිදුනු කල්හි ඔවුනට මිදුනේය යන දැනීම ඇතිවේ. එවිට ජාතිය ක්ෂය කරණ ලද්දීය, (ඛීණා ජාති) බ්‍රහ්මචර්ය වැස නිමවන ලද්දේය (වුසිතං බ්‍රහ්මචරියං). සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුනු සිත් ඇත්තාවූ භික්ෂු තෙමේ වනාහි කිසිවෙකු සමගත් විරුද්ධව කථා නොකෙරෙයි. කිසිවෙකු සමගත් විවාද නොකෙරෙයි. ලෝකයෙහි යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරයි. දෘෂ්ටි වශයෙන් නොගනියි.

ඒ මොහොතේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ. එවිට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙබඳු අදහස් පහලවුනා.

 ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ දුරු කිරීම වදාළේය. සුගතයන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ධර්මයන්ගේ දුරලීම වදාළේයයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අලවා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදී ගියා. දීඝනඛ පරිව්‍රාජකයාහට වනාහි යම් කිසිවක් ඉපදීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි (‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති) කෙලෙස් රජස් රහිතවූ පහවූ මල ඇති ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ගඥානය) පහලවූවා.

ඉන්පසේ දීඝ නඛ නම් පරිව්‍රාජකය හට දක්නාලද ධර්මය ඇතිව, පැමිණියාවූ ධර්මය ඇතිව, දැනගන්නාලද ධර්මය ඇතිව, බැසගත්තාවූ ධර්මය ඇතිව, දුරු කළාවූ විචිකිච්ඡා ඇතිව පහවූ සැකය ඇතිව විසාරද බවට පැමිණ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන බවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොටයමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොටයමි. භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වායි” බැගෑපත්ව ඇයද සිටියා.

error: Content is protected !!