අපේ බුදුහාමුදුරුවෝ 346 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 04

බුදුරජාණන් වහන්සේ තව දුරටත් ඒ ගාම්භීර දේශනාව පවත්වාගෙන යනු ලැබුවේ සමහර විට ඔහු නිසාම නොවෙන්නත් ඇති. මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත තෙරුන්ගේ අවධානය නිසා වෙන්නට ඇති කියලා මට හිතෙනවා. උන්වහන්සේ තව දුරටත් මෙලෙස වදාරනු ලැබුවා.

සමහරක් මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය යනුවෙන් සිතීමෙහි ආදීනව.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සමහරක් මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි වේද, ඒ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට ළංවේ. සංයෝජන වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි (ලෝභය හා වැරදි දැකීම්) වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි දෙක්හි ගිලීමෙන් සසරට ළංවේ. යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි නොවේද ඒ දෘෂ්ටිය සසර නොඇලීමට ළංවේ. නොබැඳීමට ළංවේ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු නොවීමට ළංවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ළංවෙයි.

එයින් ඇතිවියහැකි කොළාහල සහ වාද විවාද දෘෂ්ටීන්ගේ ප්‍රහානය.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, එහි නුවණ ඇති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ‘සියල්ල මට රුචිවේය’ යන යම් මේ මාගේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වශයෙන් අල්වාගෙන ඇතුලත්ව මෙයම සත්‍යය, අනික හිස්යයි ව්‍යවහාර කෙරෙම්ද, ඒ මට දෙයාකාරයකින් කොලාහල උපදින්නේය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි’. මෙබඳු වාද ඇත්තේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොළාහල උපදින්නේය. මෙසේ කොලාහලය ඇති කල්හි විරුද්ධ වචන කීම වන්නේය. විරුද්ධ වචන කීම ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි හිංසාව වන්නේය. මෙසේ හෙතෙම කොලාහලයද විවාදයද පහරදීමද හිංසාවද තමාට ඇතිවන බව දැන ඒ දෘෂ්ටියද දුරු කරයි. අනික් දෘෂ්ටියක්ද නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානයවේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ මට සියල්ල රුචි නොවේයයි, මෙසේ වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන් අතුරෙන් නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි. ‘සියල්ල මට රුචි නොවේ යයි,’ මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම ‘මේ දෘෂ්ටිය මෙයම සත්‍යය, අනික සිස්යයි,’ දැඩි වශයෙන් අල්වාගෙණ ඇතුළත්ව වාසය කෙරෙම්ද, මට දෙයාකාරයකින් කොලාහල වන්නෝය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සියල්ල රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සමහරක් රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේද, මේ දෙයාකාරයෙන් මට කලහය වන්නේය. මෙසේ කලහය ඇති කල්හි විවාදය වන්නේය. විවාදය ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි වෙහෙස වන්නේය.’ මෙසේ හෙතෙම කලහයද, විවාදයද, පහරදීමද, හිංසාවද, තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද හැරදමයි. අනික් දෘෂ්ටියක්ද අල්වා නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරු කිරීම වේ. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

error: Content is protected !!