අපේ බුදුහාමුදුරුවෝ 348 (සන්තිකේ නිධානය)

 

චතුරංග සමන්නාගත මහා සංඝ සන්නිපාතය, අගසවු තනතුරු ප්‍රධානය , සහ ප්‍රථම පාමොක් දේශනය 01

ඉතින් ඔය අයුරින් තමයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේ අරහත්වයට පත්වුණේ. බුදුරජාණන් වහන්සේට මේ තත්වය පෙනෙන්නට ඇත්තේ දර්ම දේශනයට කලින්මයි කියලා මට හිතුනේ ඒ නිසාමයි. ඒ දැනටමත් අපට බුද්ධ ඥාන පිලිබන්ධව සුළු වශයෙන් හෝ අවබෝධයක් තිබුන නිසා. සාරිපුත්ත හිමිපාණන් වහන්සේට අරහත්වය ලැබුනාට පස්සේ බුදුරජාණන් වහන්සේට තව දුරටත් එම භුමියේ වැඩ සිටින්නට වුවමනා වුයේ නැහැ. ඒ තවත් සුවිශේෂ කාරණා කිහිපයකටම එදිනම මුල පිරිය යුතු බැවින්. ඒ ප්‍රථම සංඝ සන්නිපාතය, අගසවු තනතුරු පිරිනැමීම, සහ ඕවාද ප්‍රතිමොක්ෂය දේශණා කිරීම ප්‍රථම වතාවට එදිනටම දී තිබුන නිසා. භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල හොඳින් දන ඒ සැණින්ම අහසට නැග ක්ෂණයකින් වෙළුවනයට වැඩියේ ප්‍රථම මහා සංඝ සන්නිපාතයට, තව තව වැඩි වෙලාවක් නැති බැවින්. ඒ මොහොතේම සැරියුත් තෙරණුවොත් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩියෙදයි ආවර්ජනා කරන්නට වුනා. ඒ මොහොතේ උන්වහන්සේටත් පෙනෙන්නට වුනා භාග්‍යවතුන් වහන්සේ වේළුවනයට වැඩි බව. ඔබට ප්‍රශ්ණයක් ඇතිවේවි ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේට නොදන්වා වැඩියේ කියලා. එයට පිළිතුර ඊළඟ පරිච්චේද කිහිපයේදී ලැබේවි. උන්වහන්සේත් ක්ෂණයකින් අහසට නැග වේළුවනයට වැඩියේ ඒ සුවිශේෂ අවස්ථාවේ උන්වහන්සේත් ඒ භුමියේ සිටිය යුතු නිසාමයි.

සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී කරුණු රැසක් සිදු වූ නවම් පොහොය

එදා තවත් නවම් පුන්පොහෝ දිනක්. පොහෝ සඳ අහසේ පායන්න නොවිසිල්ලෙන් බලා ඉන්නවා වගේ. එදා උදාවුන නවම් පොහොය බෞද්ධයිනට සුවිශේෂී පොහෝ දිනයක් වුණා. ඒ සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලැබීමත්, සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීමත්, එදිනම සිදුකරනු ලැබූ ඕවාද ප්‍රාතිමොක්ෂයත් නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය අත්හැරීමත් ඇතුළුව මෙම සුවිශේෂී කාරනා සියල්ලම සිදුවුනේ මෙවන් නවම් පුනු පුන්පොහෝ දිනයකදීමයි

චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය

ඉහතින් කි පරිදිම ඒ වනවිටත් භාග්‍යවතුන් වහන්සේ දීඝ නඛට දෙසූ ධර්ම දේශනාව සූර්යයා නොබැසසිටියදීම නිමවා අහසින්ම වේළුවනයට වැඩමකොටයි සිටියේ. එදින තවත් විශේෂ සිදුවීමක් වුණා. එක්දහස් දෙසිය පනහක් පමණ වූ මහා විශාල සංඝ පිරිසක් ඒ මොහොතේම එම භූමියට වැඩම කිරීමයි. එවැනි විශාල සංඝයා රැස්වීමක් හමුවීමක් සාසනයේ “සංඝ සන්නිපාතයක්” යන නමින් හඳුන්වනවා. මෙය සියලු බුද්ධ සාසන තුල සිදුවූවක්. සමහර බුද්ධ සාසන වල ලක්ෂ ගනින් බව ඔබ මීට ඉහත මෙම ලිපි පෙලින්ම කියවා තිබෙනවා මතක ඇති. එහෙත් අප සාස්තෘන් වහන්සේගේ සාසනය තුල සිදු වූ මෙම සංඝ සන්නිපාතය එහෙම නැත්නම් සංඝ රැස්වීම සුවිශේෂී නමකින් හඳුන්වනු ලැබුවා. ඒ “චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය” යන නමින්. ඊට හේතු වුනේ මෙම මහා සංඝයාගේ රැස්වීම සුවිශේෂී අංග සතරකින් සමන්නාගත වීමයි. එම අංග හතර නම්

  1. එදින මා නැකතින් යුත් පුන් පොහෝ දිනයක්වීම
  2. මේ මහා සංඝ පිරිස සෘද්ධියෙන් ලැබුණු පාත්‍රා සිවුරු ඇතිව කිසිවකු විසින් ආරාධනය නොකරම වඩිනු ලැබීම.
  3. පෘථක් ජනයෙක් හෝ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, සුක්ක විපස්සක රහතුන්, යන අය ඒ අතර නොසිටීමයි. සියල්ලෝ ෂට්අභිඥලාභී රහතුන්ම වීම
  4. ඒ වගේම මෙහි කිසිවෙක් ආයුධයකින් කෙස් කපා පැවිදිවූවෙක් නම් සිටියෙම නැහැ. ඒ එම සියලු දෙනාම එහිභික්‍ෂුභාවයෙන් පැවිදි වූවන් වීමයි.

පුරාණ ජටිලයන්ගේ පිරිස දහසකුත් අගසව් දෙනමගේ පිරිවර දෙසියපනහකුත් වශයෙන් එක්දහස් දෙසිය පනහක පරිසක් එදින එම සංඝ සන්නිපාතයට සහභාගී වී තිබූ බව මහාපදාන සුත්ත වර්ණනාවෙහි ශ්‍රාවක සන්නිපාත පරිච්ඡේදයේ සඳහන් වනවා. ඉතින් මේ මහා සංඝ පිරිස මැද අපේ බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මොග්ගල්ලාන රහතුන්වහන්සේලා දෙනමට අපගේ සාසනයේ අගසව් තනතුරු ප්‍රධානය කරනු ලැබුවා.

error: Content is protected !!