අපේ බුදුහාමුදුරුවෝ 349 (සන්තිකේ නිධානය)

 

චතුරංග සමන්නාගත මහා සංඝ සන්නිපාතය, අගසවු තනතුරු ප්‍රධානය , සහ ප්‍රථම පාමොක් දේශනය 02

ආණා ප්‍රාතිමෝක්‍ෂය සහ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය

ආණා ප්‍රාතිමෝක්‍ෂය

 ආණා ප්‍රාතිමෝක්‍ෂය සහ ඕවාද ප්‍රාතිමෝක්‍ෂයැයි ප්‍රාතිමෝක්‍ෂය දෙවැදෑරුම් වනවා.. ඒවා අතර, ‘සුණාතු මෙ භන්තෙ’ ආදිකොට ඇත්තේ ආණා ප්‍රාතිමෝක්‍ෂයයි. එය බුදුවරුන් දේශනා කරනු ලබන්නේ නැහැ. එය බුදුවරුන්ගෙන් අසා දැනගෙන ශ්‍රාවකයෝම දේශනා කරනු ලබනවා. අඩ මසකට වරක් පොහොය සීමාවකට රැස්වන උපසපන් භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම නමින් සිදුකරනුයේ මෙම ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම යි.

ඕවාද ප්‍රාතිමෝක්‍ෂය

එදා අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානයෙන් පස්සේ අපේ බුදුරජාණන් වහන්සේට තවත් සුවිශේෂී කටයුත්තක් සඳහා කාලය එළඹියා. ඒ තමයි සියලු බුදුරජාණන් වහන්සේලා විසින් තම භික්ෂු මහා සංඝයා විෂයයෙහි කරනු ලබන ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන කිරීම. ඕවාද යනුවෙන් අදහස් කරන්නේ අවවාදය යන්නයි. පාතිමොක්ඛෙ යනුවෙන් ඒ උතුම් මෝක්‍ෂය, උතුම් මිදී යාම, උත්තමශීලය, සුගතියට බාධාකර ධර්මයන්ගෙන් ආරක්ෂා කරයිද, දුගති බියවලින් මුදවා ගනීද, යමක් වනාහි ඔහුව ආරක්ෂා කෙරේද ඔහුව මුදවාගනීද යන අර්ථයෙන් පාතිමොක්ඛයැයි කියනු ලබනවා.

එහෙත් අපේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයෙ පටන් මුල් විසිවස අවසන් වන තුරුම ශ්‍රාවකයන් හට විනය ශික්ෂාපද පැනවීමට හෙවත් ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට තරම් ප්‍රබල වරදක් සංඝයාගෙන් විද්‍යමාන වුනේ නැහැ.. එවිට බුදුරජාණන් වහන්සේලා භික්ෂූන් සමඟ පොහොය කිරීමේ දී දේශනා කරනු ලබන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. එබැවින් සංඝයාගේ හික්මීම පිණිස ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වුණි. මෙහි දී අවවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. එදින පළමු වරට මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂය රහතන් වහන්සේලා විසින් වෙනුවෙන්ම දේශනා කිරීම තවත් විශේෂත්වයක්. ඒ මෙලෙසයි.

සියලු බුදුවරුන් දෙසූ ඕවාද ප්‍රාතිමෝක්‍ෂ ගාථා රත්න.

“ඛන‍්තී පරමං තපො තිතික‍්ඛා;

නිබ්බානං පරමං වදන‍්ති බුද‍්ධා;

න හි පබ්බජිතො පරූපඝාතී;

න සමණො හොති පරං විහෙඨයන‍්තො.

ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ශාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නො වෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නො වෙයි.

“සබ්බපාපස‍්ස අකරණං, කුසලස‍්ස උපසම්පදා

සචිත‍්තපරියොදපනං, එතං බුද‍්ධාන සාසනං.

කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදී සියලු අකුශල කර්ම නො කිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුශලයන් ඉපදීම ද, උපදවන ලද කුශලයන් වැඩීම ද, පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසිදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන් ගේ අනුශාසනා යි.

“අනුපවාදො අනුපඝාතො, පාතිමොක‍්ඛෙ ච සංවරො

මත‍්තඤ‍්ඤුතා ච භත‍්තස‍්මිං, පන‍්තඤ‍්ච සයනාසනං

අධිචිත‍්තෙ ච ආයොගො, එතං බුද‍්ධාන බුද්ධානසාසනං

ජාත්‍යාදීන් පරහට ආක්‍රෝශාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නො කිරීමත්, පාණි ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නො කිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවරශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත් සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි

පසු කලෙක ආනන්ද තෙරුන් වහන්සේ දිවා ස්ථානයේ සිටිමින් මෙලෙස සිතුවා. බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදුවරයන්ගේ දෙමාපියෝ, ආයුෂ ප්‍රමාණය, බෝධිය, ශ්‍රාවක සන්නිපාත, අග්‍රශ්‍රාවකයින්, උපස්ථායක, මේ සියල්ල පවසා තිබෙනවා. එහෙත් උපොසථය ගැන නම් අපහට කියා නැහ. මෙයට හේතුව කුමක්ද? ඒ උතුමන්ලාගේ උපෝසථය අපේ උපෝසතයට වඩා වෙනස්ද? උන්වහන්සේ බුදුන්වෙත එළඹ මේ කරුණ විමසා සිටියා. එවිට අප බුදු පියාණන් වහන්සේ ඒ ඒ බුදුවරුන් විසින් වදාළ කාලයන්හි අතර පරතරයෙහි වෙනසක් ඇතත් ගාථාවන්හි කිසිදු වෙනසක් නැතැයි යැයි පවසා පසුගිය සත්බුදුවරුන් ගැන මෙලෙස පහදා දුන්නා. විපස්සි බුදුරජාණන් වහන්සේ වසර හතකට වරක් උපෝසථය සිදු කළා. ඒ එක් දිනෙක දෙනලද අවවාදය වසර 7කට තරම් ප්‍රමාණවත් වුනා. සිබි හා වෙස්සභූ බුදුවරු වසර 6කට වරක් උපොසථය කරනු ලැබුවා. කකුසඳ කෝණාගම බුදුවරු වසරක් පාසා ද කාශ්‍යප බුදුහු මාස 6කට වරක් උපෝසථය කරනු ලැබුවා.. එක් දිනෙක දෙන ලද අවවාදය මාස හයකට ප්‍රමාණවත් වුනා. . මේ නිසා බුදුරජාණන් වහන්සේ කාල ප්‍රභේද පවසා සියල්ලගේ උපෝසථ එකම උපෝසථයක් කරමින් ඉහත ගථා තුන යලිත් පැවසුවා. එය පසුවට එන කතාවක්.

උපකාර වූ මුලාශ්‍ර 

මහාපදාන සූත්‍රය

 ඛුද්දකනිකාය – ධම්මපද අට්ඨකථා – බුද්ධවග්ගය -ආනන්ද තෙරුන්ගේ උපොසථ ප්‍රශ්න පුවත

 ඕවාද ප්‍රාතිමෝක්‍ෂය – ඛුද‍්දකනිකාය ධම්මපදපාලි බුද්ධවග්ගය

error: Content is protected !!