අපේ බුදුහාමුදුරුවෝ 342 (සන්තිකේ නිධානය)

 

මුගලන් තෙරණුවෝ නවම් පුර අටවක් දා රහත් වීම

ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන්ගේ චරිතයට අනුරූපව සුවිශේෂී දර්ම දේශනාවක් සිදුකරනු ලැබුවා. අගසවුදෙනම හැර සෙස්සෝ රහත් භාවයට පත්වුණා. අගසවු දෙපළගේ ඉතිරිමාර්ගත්‍රය පිළිබඳ කටයුතු තවම නිමිවෙලා නැහැ.. ඊට හේතුව ශ්‍රාවක පාරමීඥානයේ මහත් බව නිසා කියලයි පෙළෙහි සඳහන් වෙන්නේ. ඒ නැතත් එහි අතිශෝක්ති කරුණු සඳහන් කොට නැහැ. සැම දෙයක්ම සිදුවූ සැටියෙන්ම සඳහන්.

මුගලන් තෙරුන් කල්ලවාලමුත්ත ගමටවැඩම කිරීම.

ඉන් අනතුරුව ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පැවිදි වීමෙන් සත්වෙනි දවස වනවිට මගධරට කල්ලවාලමුත්ත නම් ගම ඇසුරෙහි තිබූ කැලයක විදර්ශනා වඩමින් තමයි වාසය කරනු ලැබුවේ. ඒ වන විටත් උන්වහන්සේ දැඩිව වෙහෙසෙමින් වීර්යෙන් විදර්ශනා වඩමින් දින සතක් පුරාවට පරියන්කයේම සිටීම නිසා කායිකව මානසිකව දැඩි වෙහෙසටත්මැ, ඒ නිසාම මැලිබවටත් නිදිවැරීම නිසාම දැඩි නිදිබර ගතියටත් පත්ව සිටියේ.

භාග්‍යවතුන් වහන්සේ භග්ග රටට වැඩම කරවීම

ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ මෘගදාව නම් භේසකලාවනයෙයි. භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටිනු දැක බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිග හරින්නේ යම් සේද, දිග හරින ලද අතක් හකුළුවන්නේ යම් සේද, එපරිද්දෙන්ම භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයෙහි මිගදාය නම්වූ භෙස කලාවනයෙහි අන්තර්ධානවී, මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි ආයුෂ්මත්වූ මොග්ගල්ලාන ස්ථවිරයන් ඉදිරියෙහි පෙනීහිටියේ නිමේෂයකින්. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටිමින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ ඉතා වටිනා උපදෙසක් දෙනු ලැබුවා.

“මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද? “ස්වාමීනි, එසේය.”

1.“එසේ නම් මොග්ගල්ලානය, යම් සංඥාවක් ඇතිව වාසය කරන්නාවු ඔබ මැලි ගතියට බැස ගන්නෙහිද, ඒ සංඥාව මෙනෙහි නොකරව. ඒ සංඥාව බහුල වශයෙන් මෙනෙහි නොකරව. යම් සේ මෙසේ වාසය කරණ ඔබට මැලි ගතිය පහවන්නේය යන කරුණු පවතී.

2.මෙසේ වාසය කරණ ඔබට ඉදින් ඒ මැලි ගතිය පහනොවන්නේ නම්, එබැවින් අසන ලද ධර්‍මයක් සිතින් නැවත කල්පනා කරව. නැවත සිහි කරව. සිතින් නැවත විමසව. සිත මෙහෙයවා බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

3.“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, මොග්ගල්ලානය, එබැවින් ඔබ දෙකන් සිදුරු යා කරන්නෙහිය. අතින් ශරීරය පිරිමදින්නෙහිය. (2) යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

4.“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ අස්නෙන් නැගිට ඇස් තෙමා දිශාවන් බලව. නැකැත් තරු හා තරු රූප බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

5.“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ ආලෝක සංඥාව සිහි කරව. දහවලය යන සංඥාව සිතින් ගනුව. ‘දවාල යම් සේද, රාත්‍රියත් එසේය. රාත්‍රිය යම් සේද, දවාලත් එසේය’ යි මෙසේ විවෘතවූ වට නොකළ සිතින් ප්‍රභා සහිත සිත වඩව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

6.“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේ නම්, එතැන් පටන් ඔබ ඉදිරිය, පසුව යන හැඟීම ඇත්තේ, අභ්‍යන්තර ගත ඉන්‍ද්‍රියයන්ගෙන් විවේකවූ සිතින් ඒ සක්මනට බසුව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.

7.“මෙසේ වාසය කරණ ඔබට ඒ නිදි මැලි ගතිය ඉදින් දුරු නොවේද, ඉක්බිති මොග්ගල්ලානය, ඔබ පයින් පය එකට තබා සීහ සෙය්‍යාව කරව. සිහි ඇත්තේ, මනා දැනීම් ඇත්තේ, උත්‍ථාන (නැගිටීමේ) සංඥාව මෙනෙහි කොට මොග්ගල්ලානය, පිබිදියාවූ ඔබ නිද්‍රා සුඛය, ස්පර්‍ශ සුඛය, මැලි බවෙහි සුඛය යන මෙහි නොයෙදුණේ වාසය කරන්නෙමියි වහාම නැගිටිය යුතුය.

මුගලන් තෙරණුවෝ නවම් පුර අටවක් දා රහත් වීම

මහා කාරුණිකයන් වහන්සේ මොග්ගල්ලාන ආයුෂ්මතුන් වහන්සේට මෙම කරුණු සත ඇතුළුව ධාතු කර්මස්ථාන දේශනයෙන් දහම් දේශනා කරනු ලැබුවා. ඒ අනුව සිහි නුවණ යෙදූ තෙරණුවෝ එහි දී ම රහත් භාවයට පත්වුණා. මේ වනාහි උන්වහන්සේ පැවිදිවීමෙන් සත් වන දිනයයි. ඒ තවත් නවම් පුර අටවක දිනක්.

උපකාර වූ මුලාශ්‍ර

අඞ්ගුත්තරනිකාය » සත්තකනිපාතපාළි » අබ්‍යාකතවග්ගො » පචලායන සූත්‍රය

error: Content is protected !!