Ape Budu Hamuduruwo 386

අපේ බුදුහාමුදුරුවෝ 386 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශකයින් දමනය කිරීම 01

අභිඥාපාදක සතරවෙනි ධ්‍යානය

ඔබ දන්නා අයුරින් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය යන සතර ධ්‍යානයන් යම්කෙනෙකුට චිත්ත සමාධිය පිණිස හේතුවනවා, තවත් කෙනෙකුට විදර්‍ශනා පාදක වනවා. තවත් කිසිවෙක්හට අභිඥාපාදක වනවා. තවත් උත්තමයෙකුට නිරෝධපාදක වනවා. තවත් ලෞකික පෘථග්ජනයෙකුට භවයෙහි උත්පත්තිය පිණිසත් වනවා.

 එහි රහතුන් වහන්සේට චිත්ත සමාධිය දිට්ඨධම්මසුඛවිහරණය සඳහා ප්‍රයෝජනකොට සිටියා වනවා. එනම් උන්වහන්සේ ධ්‍යානයට සමවැද එකඟ වූ සිත් ඇතිව දවස මුළුල්ලෙහි සුවසේ වසන්නෙමුයි මෙසේ කිසිණු පිරියම් කොට අෂ්ට සමාපත්තී උපදවනවා.

සමවතින් නැගිට සමාධිගත වූ සිතින් විදර්‍ශනා කරන්නෙමුයි ධ්‍යාන උපදවන්නා වූ ශෛක්‍ෂ්‍ය පෘථග්ජනයන්ට විදර්‍ශනා පාදක වනවා.

යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා අභිඥාපාදකද්ධ්‍යානයට සමවැද සමාපත්තියෙන් නැගිට ‘එකොපි හුත්‍වා බහුධා හොති’ කියූනයින් අභිඥා ප්‍රාර්‍ත්‍ථනා කරමින් ධ්‍යාන උපදවත්ද, ඔවුන්ට අභිඥා පාදක වනවා.

යම්කෙනෙක් වනාහි අෂ්ට සමාපත්තීන් උපදවා නිරොධසමාපත්තියට සමවැද සත්දවසක් මුළුල්ලෙහි අචිත්තකව ඉහාත්මයෙහිම නිරෝධ නම් වූ නිවනට පැමිණ සුවසේ වසන්නෙමුයි ධ්‍යාන උපදවත්ද, ඔවුන්ට නිරෝධපාදක වනවා.

 යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා නොපිරිහුනු ධ්‍යාන ඇතිව බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නෙමුයි ධ්‍යාන උපදවත්ද ඔවුහු භවයෙහි උත්පත්තිය ප්‍රයෝජනකොට ඇත්තෝ වනවා.

අපේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ චතුර්‍ත්‍ථද්ධ්‍යානය බෝධිවෘක්‍ෂ මූලයෙහිදී උපදවන ලැබුවා. එය උන්වහන්සේට විදර්‍ශනාපාදකද අභිඥාපාදකද නිරෝධපාදකද සර්‍වකෘත්‍ය සාධකදැයි සියලු ලෞකික ලෝකෝත්තර ගුණදායක වූයේ යයි දතයුතු බව විනය අටුවාවේ “පුබ්බෙනිවාසකථා” හි කියනවා. .

මෙම අභිඥාපාදකධ්‍යානයට සමවැදී බොහෝ දේ කල හැකියි. චූලපන්‍ථක රහතන් වහන්සේ දහස්ගණනින් තමන් වැනිම අනුරූ මවන ලද්දේ මෙම ධ්‍යානයට සමවැදීමෙන්. එමෙන්ම මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මණ්ඩපයේ චක්‍රලක්‍ෂණ දහසකින් සමලංකෘත දසබලයන් වහන්සේගේ පාදයෝ කපු වැදැල්ලක් සමග වස්ත්‍ර යුගල පන්සියයක් ද ස්වර්ණමය දෙන ද සඳුන් චිතකය ද දෙකට බෙදී අවුත් මාගේ හිස මුදුනේ පිහිටාවායි අධිෂ්ඨාන කළේත් ඒ අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී. එය එසේනම් සම්මා සම්බුදුවරයෙකුට එයින් කල හැකි දේ කොතරම් බලවත් විය හැකිද?

 භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් මහරහතුන් විසින් පිරිවරමින් පනවන ලද බුද්ධාසනයෙහි සමාධිමත් සිතින් වැඩසිටිනවා. මානයෙන් දැඩි වූ ශාක්‍යයෝ ශාස්තෲන් වහන්සේට තවමත් වන්දනා කරන්නෙම නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස දැක මානය බිඳ ඔවුන් ධර්‍ම දේශනාවට බඳුන් කරගන්නා අදහසින් ඒ ගාම්බීර අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදී එම ධ්‍යානයෙන් නැගිට ඔවුන්ගේ හිසෙහි පා පස් වගුරුවන්නා සේ අහසට පැන නැගී සම්මා සම්බුදුවරයෙකු හට පමණක්ම කල හැකි යමාමහ පෙළහරක් පාන්නට සැරසුණා.

උපකාර වූ මුලාශ්‍ර

විනය අටුවාව – පුබ්බෙනිවාසකථා පාරාජික අටුවාවවේරඤ්ජකාණ්ඩ වර්ණනාව

මහාපරිනිබ්බාන සූත්‍ර වර්ණනාව දික් සඟිය අටුවාව මහා වර්ගය අටුවාව

සූත්‍ර අටුවාව – නිදාන කථා කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා

 

Ape Budu Hamuduruwo 385

අපේ බුදුහාමුදුරුවෝ 385 (සන්තිකේ නිදානය)

 

ශුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශකයින්

 බුදුරජාණන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා පිළිගැනීම. 02

මෙලෙස නිග්‍රෝධ ශාක්‍ය වංශිකයාගේ පිනට පහල වූ නිග්‍රෝධ උයන කොතරම් රමණීය උයනක් වන්නට ඇතිද? ඒ නිසාම රජතුමා ඇතුළු සියලුම ශාක්‍ය වංශකයින් ඒකපාර්ශිකව නිග්‍රෝධ උයන බුදුරජුන් ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා වැඩ සිටීම සඳහා යොදාගැනීමට එකඟ වුණා. ඔවුන් රජුගේ අනුග්‍රහයෙන් ඒ උයන රාජකීය උත්සවයක් සදහා සරසන අයුරින් සරසා රාජශ්‍රීයෙන් බබළවන්නට ඇති. ඒ වනවිටත් සුන්දර වසන්තය අභියස සියලු ගහකොළ දළු දමා හරිත වර්ණයෙන් බැබළෙමින් තිබුණා. සරත් සෘතුව අවසානයේ සහ වසන්තය ආරම්භයේ පිපෙන සුවහසක් මල් වලින් ඒ උයන බබලන්නටත් ඇති. ඒ විතරක් නෙවෙයි නිග්‍රෝධ බ්‍රාහ්මණයාගේ පිනට ඇදහැලෙන සල් වැසි තව තවත් පරිසරය මනස්කාන්ත කරන්නටත් ඇති. බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ උත්තම මහා සඟ පිරිස වෙසක් පුර පසොළොස්වක දින ඒ සල් වැසි වියන් අතරින් නිග්‍රෝධ උයනට ඇතුළු වුණා.

ශාක්‍ය රජවරු ඇතුළු ශාක්‍ය වංශකයින් “අපගේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් දකින්නෙමු” යි රැස්ව නිග්‍රෝධාරාමය භාග්‍යවතුන් වහන්සේටත් භික්‍ෂු සංඝයාටත් වාසයට එලෙස සුදුසු ලෙස සකස් කොට රාජ කුමාර කුමරියන් සුවඳමල් ආදිය ද අත් ඇතිව පෙරගමන් කොට ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවූවා. අපේ භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් මහරහතුන් විසින් පිරිවරන ලඳුව පනවන ලද බුද්ධාසනයෙහි වැඩසිටියා. සියලු කටයුතු එලෙස සැලසුවත් උපතින්ම මානයෙන් දැඩි ශාක්‍යයෝ ශාස්තෲන් වහන්සේට වන්දනා කිරීමට තරම් නිහතමානී වුනේ නැහැ. ඒ වෙනුවට ඒ ශාක්‍යයෝ ‘සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ අපට වඩා ඉතා ළදරුමය, කනිටුය, සොහොයුරාගේ පුතෙකි, අපගේ මුනුපුරාය ආදිය සිතමින්, ළදරු රාජකුමාරයන්ට මෙසේ කීවා. නුඹලා වඳිවු. අපි නුඹලාගේ පිටුපසින් ගොස් හිඳින්නෙමු’යි කියා තරුණ කුමාර කුමරියන් ඉදිරියට යවා ඔවුන් පසුපසට වී සිටියා.

භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ මෙම අදහස දකිනු ලැබුවා. සමහරවිට එය රහතන්වහන්සේලා හටත් දැනෙන්නට ඇති. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමයෙන් කරනු ලැබුවේ ඔවුන්ගේ මේ අධික මානය බිඳහෙළීමට කටයුතු කිරීමයි. ඊට හේතුව මේ අවස්ථාව පාදක කොටගෙන ඉදිරියේදී ඉන් බොහෝ දෙනෙක් සෝවාන් මාර්ග සහ ඵල යන උතුම් නිර්වාන මාර්ගයට අවතීරණය වීමයි. අධික මාන්නය මේ මූලික පියවර සඳහා ඇති විශාලතම බාදකයයි. එහෙත් මෙවැනි අයගේ මාන්නය බිඳ හෙලීම ඒ තරම්ම ලේසි කටයුත්තක් නෙවෙයි. ඒ නිසාම ඒ මහා කාරුණිකයාණෝ ඔවුන්ගේ අධික මාන්නය මර්දනය කිරීමට ගණ්ඩබ්බ රුක්මුල පෑ යමක ප්‍රාතිහාර්ය හා සමාන ප්‍රාතිහාර්යක් දැක්වීමට තීරණය කරනු ලැබුවා. මහාබෝධි මණ්ඩපයේදී කරන ලද ප්‍රාතිහාර්ය ද, ඤාති සමූහයා මැද කරන ලද ප්‍රාතිහාර්යද පාටික පුත්‍ර සමූහයා ඉදිරියේදී කරන ලද ප්‍රාතිහාර්ය සියල්ලද ගණ්ඩබ්බ රුක්මුලදී (අඹගස මුලදී) කරන ලද ප්‍රාතිහාර්ය එක හා සමාන වුණා. උන්වහන්සේ ඒ සඳහා අභිඥාපාදක සතරවෙනි ධ්‍යානයට සමවදින්නට වුණා. මුළු පරිසරයම නිහඬයි. හැමෝගෙම නෙත් සමාධියට වැද සිටින භාග්‍යවතුන් වහන්සේ වෙත යොමුවෙලා.

උපකාර වූ මුලාශ්‍ර

විනය අටුවාව – රාහුලවත්ථුකථා මහවග අටුවාවමහාඛන්‍ධක වර්‍ණනාව

සුත්‍ර අටුවාව – දසවර ගාථා කුදුගත් සඟිය අටුවාව ජාතක අටුවාව මහා නිපාතය. මහාවෙස්සන්තර ජාතකය

සුත්‍ර අටුවාව – නිදාන කථා කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා

සුත්‍ර අටුවාව – මහාපරිනිබ්බාන සූත්‍ර වර්ණනාව දික් සඟිය අටුවාවමහා වර්ගය අටුවාව

Ape Budu Hamuduruwo 384

අපේ බුදුහාමුදුරුවෝ 384 (සන්තිකේ නිධානය)

 

ශුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශකයින්

බුදුරජාණන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා පිළිගැනීම.

නීග්‍රෝධගේ අති රමණිය උයන

පුරා මාස දෙකක් එනම් දින සැටක් පුරාවට අපේ බුදුපියාණන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝ පිරිස පිරිවරාගෙන ශුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන් මෙම සංසාර දුකින් එතෙර කිරීමට පැමිණියේ හේතු රහිතව නෙවෙයි හේතු සහිතව. මෙම පිරිස බෝසතාණන් වහන්සේ පාරමී පුරපු ඒ දීර්ඝ සංසාර ගමනේ අනේක විධි අකාරයෙන් බුද්ධත්වය සඳහා පිහිට වුන අය. ඔබට ඒ සම්බන්ධව ඉදිරියේදී කියවන්නට ලැබේවි.

මෙයත් බුද්ධවංශ කතාවෙහි විශේෂ දින කිහිපයක්. දෙමසක් පුරාවට පාද යාත්‍රාවක පැමිණි ඒ උතුම් පිරිසට කොතරම් වෙහෙසක් තිබෙන්නට ඇතිද? පිය පියරජතුමාටත් මෙය හොඳින්ම දැනෙන්නට ඇති. එතුමා උන්වහන්සේලා වඩින්නට පෙරම උන්වහන්සේලාගේ නවාතැන් පහසුකම් පිළිබදව සකච්චාකොට තිබුනේ. ඒ එක්කම රජතුමාට අවශ්‍යතාවය තිබුනා භාග්‍යවතුන් වහන්සේ වැඩියායින් පසුව උන්වහන්සේ ඇතුළු පිරිසට තමන්ගේ ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශික ඤාති සමාගම පෙන්වීමටත්. විසිදහසකට නවාතැන් සැපයීමත් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. විශේෂයෙන්ම සියල්ල අතහැර ආරණ්‍යවාසිව වෙසෙන සංඝ පිරිසකට. ඒ අය ඒ සඳහා තෝරාගනු ලැබුවේ නිග්‍රෝධ ගේ අති සුන්දර උයන. ඒ ඇයි කියලා ඔබට උන්වහන්සේගේ නිධාන කතාව ඇසුවාම තේරේවි.

සැලකිය යුතු කරුණක් තමයි මෙම උයන නිග්‍රෝධ ආරාමය සහ නිග්‍රෝධ උයන වශයෙන් දෙයාකාරව හැඳින්වුවත් ඒ පිළිබඳව විශේෂ විස්තරයක් මෙම දේශනාව තුළ සඳහන් වන්නේ නැහැ. පසු කාලයේ මෙම උයන සඟ සතුකොට තව දුරටත් විහාර ගොඩනැගිලි තනන බව ඔබට පසුවට කියවන්නට ලැබේවි. පාලි භාෂාවෙන් නිග්‍රෝධ යන්නෙහි අර්ථය නුග ගස, නුග රුක කියන එකයි. ඊට අමතරව ව්‍යාමය, බඹය යන අර්ථත් අවස්ථානුකුලව යෙදෙනවා. ඒ නිසාම අපිට නිග්‍රෝධාරාමය කී සැණින් සිතට නැගෙන්නේ නුග වනයක් හෝ නුග උයනක්. ඒ නිසාම කවුරුත් ඊට වඩා වැඩි අර්ථදැක්වීමක් නොකරන්නේ නමේම අර්ථය ගැබ් වන බැවින්. එහෙත් මම සුපුරුදු ලෙස එයින් සෑහීමකට පත්වුණේ නැත්තේ මෙම ලිපිපෙළ මගින් හැකි උපරිම දත්ත ඔබ වෙනුවෙන්ම එක් තැනකට රැස්කිරීමට ගන්නා උත්සාහය නිසාමයි. නිග්‍රෝධ කියන්නේ එම භූමියට හිමිකම් කියූ ශාක්‍ය කුලපුත්‍රයාගේ ගෝත්‍ර නාමය හෝ මුල් නමයි. ඒ සම්බන්ධව සුපුරුදු පරිදි වැඩිදුර පෙළෙහි ඇති කරුණු අධ්‍යයනය කිරීමේදී ලද තොරතුරු පින්වත් ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු හා සාකච්ඡා කොට මෙලෙස ඉදිරිපත් කරන අතර මෙය ඉහත සඳහන් පරිදී ත්‍රිපිටකය සහ අට්ඨකථා පරිශීලනය කොට කරුණු ගැලපීමෙන් අනුමානකොට සකස් කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

මට හිතෙන විදිහට නොදැනුවත්තම හෝ මේ පිළිගැනීම සඳහා කල්ප එක්දහස් අටසියයකට පෙරම මුල් පියවර තබල තියෙන්නේ නිග්‍රෝධ තෙරුන් වහන්සේ විසිනුයි. ඒ මෙහෙමයි,

මෙයින් කල්ප එක් දහස් අටසීයකට පෙර බමුණු මහසල් කුලයක උපන් මෙම තෙරුන්, වැඩිවියට පත්ව කාමයේ ආදීනව හා පැවිද්දෙහි අනුසස් දැක ගෘහ බන්‍ධනාදිය අත්හැර ආරණ්‍යයකට පිවිසියා. ඒ දවසේ කැළයේ එක්තරා සල් වන පෙදෙසක පන්සලක් තනාගෙන තවුස් පැවිද්දෙන් පැවිදි වී වන-මුල්-ඵලාදිය අහරට ගෙන ජීවත් වෙමින් තමයි සිටියේ. මෙම කාලයේ ම පියදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටියා, දෙවියන් සහිත ලෝකයාට දහම් අමා වැසි වස්වමින්, කෙලෙස් සන්තාපයන් නිවා දමමින් ලොව හිත වැඩ වසමින් සිටි උන්වහන්සේ එක් දිනක් තාපසතුමා කෙරෙහි හටගත් අනුකම්පාවෙන් එම සල් වනයට පිවිස නිරෝධ සමාපත්තියට සමවැදුන. තවුසා වන මුල් ඵල ගෙන පන්සල පැමිණි මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිත් ඇතිව පිපුණු සල් අතු ගෙන කොළ අතු මණ්ඩපයක් සාදා එහි සැම තැනම සල් මල්වලින් වසා බුදුරදුන්ට වන්දනා කරනු ලැබුවා. පසුව ආහාර සඳහාවත් පිටත නොයා, හටගත් ප්‍රීති සොම්නස් සහගත සිතින් ම තථාගතයන් වහන්සේට නමස්කාර කරගෙන ම සිටිය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි ශාස්තෲන් වහන්සේ මේ තවුසාට අනුකම්පා පිණිස “භික්‍ෂු සංඝයා එත්වා” යි සිතූවා. ඒ එක්කම “මොහුගේ සිත භික්‍ෂු මහා සංඝ රත්නය කෙරෙහි ද පහදිත්‍වා” යනුවෙන්ද පතනු ලැබුවා. ඒ පැතූ එකෙණෙහිම එම ස්ථානයට බුදුරජුන්ගේ වරුණ නම් ශ්‍රාවකතුමා ලක්‍ෂයක් රහතුන් සමඟ බුදුරජුන් වෙත එළඹිය. තාපසතුමා එම භික්‍ෂු මහා සංඝරත්නය දැක, පැහැදුණු සිත් ඇතිව, උන්වහන්සේලාට වැඳ ඇඳිලි බැඳගෙනම සිටිය. භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ සිනහ පහළ කරනු ලැබුවා. පියදස්සී බුදුරජුගේ අනුරුද්ධ නම් උපස්ථායක සිවුර එකස් කොට බුදුරජුන්ගෙන් මෙසේ විචාරනු ලැබුවා.

 “භාග්‍යවතුන් වහන්ස, ශාස්තෲන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක්ද? ශාස්තෘන් වහන්සේ කරුණක් ඇති කල්හි ම සිනා පහළ කරනු ලබනවා. එවිට ඒ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාරනු ලැබුවා.

යම් මාණවකයෙක් සතියක් පුරා ම මා හට මල් සෙවණක් දැරුවේද ඔහුගේ ඒ ක්‍රියාව සිහිපත් කර මම සිනා පහළ කෙළෙමි.

යම් තැනක එම පිනෙහි විපාකය දේ නම් එබඳු තැනක් මම නොදකිමි. දෙව්ලොව හෝ මිනිස් ලොව ඇති සැප ඊට නොසෑහේ.

මේ පින්කම හේතුවෙන් දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස සල් සෙවණවලින් වැසුනෝ වෙති.

ඔහු එසේ පින්කමේ විපාකය සමග එක් වී එම දෙව්ලොව, දිව්‍යමය වූ නෘත්‍ය-වාදිත ගීතයන් හි හැමදා සිත අලවමින් වසන්නේය.

ඔහුගේ සියලු පිරිස මල් සුවඳින් සුවඳවත් වූයේ වේ. එකෙණෙහි සල්මල් වැසි ද වසින්නේය.

මේ මිනිස් තෙම දෙව්ලොවින් චුතව මිනිසකු ලෙස උපදී නම්, මේ මිනිස් ලොවේද හැමදා සල්මල් සෙවණක් ම දරන්නේය.

සමාන වූ තාල ඇති නෘත්‍ය – ගීතාදියෙන් යුතු පිරිවර නිතර ඔහු පිරිවරාගෙන සිටින්නේය. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.”

“හිරු උදාවන කල්හි සල්මල් වැසි වසී. පින් කමෙන් යුක්ත වූ මොහුට හැමකල්හිම සල්මල් වැසි වසී.

මෙයින් එක් දහස් අටසිය වන කල්පයේදී ඔක්කාක කුලයේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවන සේක.

මේ තාපස තෙම උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ, ධර්මයෙන්ම නිර්මිත වූ ඖරස බුද්ධ පුත්‍ර වූයේ සියලු ආශ්‍රව මනාව දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

ධර්මය අවබෝධ කළා වූ මොහුට සල්මල් සෙවනක් ඇතිවේ. පිරිනිවීමෙන් පසු සෑය දැවෙන කල්හි ද එහි සල්මල් සෙවනක් පවතින්නේය.”

“මහාමුනි වූ පියදස්සී බුදුරජාණෝ මෙලෙස පින්කමේ විපාකය වදාරා, දහම් වැස්සෙන් සැම දෙන සනහමින් දහම් දෙසනු ලැබුවා. ඉන්පසුව උන්වහන්සේ දෙවියන් අතර කල්ප තිහක් දිව්‍ය රාජ්‍යය හොබවමින් හැට හත් වරක් සක්විති රජ වෙමින් .

පැමිණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවැත් නුවර බමුණු මහසල් කුළයක උපන් ඔහු, “නිග්‍රෝධ” නාමයෙන් ප්‍රකටව ප්‍රසිද්ධියට පත්වුණා. මේ ආකාරයට තමයි ශාක්‍ය කුලයේ ඉපිද ඒ පෙර පිනෙන්ම මනරම් සල් උයනකට හිමිකම් කිවේ. ඔහු අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද “ජේතවනාරාමය පිළිගන්නා දවසෙහි පැවති බුද්ධානුභාවය දැක, උපදවා ගත් ශ්‍රද්ධාව ඇතිව පැවිදි වී, විදසුන් වඩා නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලාභියෙකු බවට පත්වුණා මෙම තොරතුරු අපදාන පාළියේ සවිස්තරව වනවා ශාක්‍යවරුන් බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිසට එදින නවාතැන් පහසුකම් සළසා දුන්නේ ඒ ඔහුගේ පිනට පහල වූ අති සුන්දර උයනේම කියලයි මට සිතෙන්නේ.

 

උපකාර වූ මුලාශ්‍ර

සූත්‍ර අටුවාව – නිග්‍රෝධ ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවථේරගාථා අටුවාව. ඒකකනිපාතයතෘතීය වර්‍ගය

සූත්‍ර අටුවාව නිදාන කථා කුදුගත් සඟිය අටුවාවචරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා

සුත‍්ත අට‍්ඨකථා සන‍්තිකෙනිදානකථා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාජාතක-අට‍්ඨකථාගන්‍ථාරම‍්භකථා

මලලසේකර ත්‍රිපිටක පාළි සඤ්ඤා නාම ශබ්දකෝෂය ,

ඡට්ඨසංගායනා

 

Ape Budu Hamuduruwo 383

අපේ බුදුහාමුදුරුවෝ 383 (සන්තිකේ නිධානය)

 

කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන

බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 04

බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාවේ සිට ගත වූ මේ අට මසක් පමණ වූ කාලය අතරතුර නානා දිශාවලට වඩිනලද භික්‍ෂූන්ද, පුරාණ ජටිල භික්ෂූන් එක දහස් තුන් දෙනෙක් ද, සැරියුත් මුගලන් දෙදෙනා ඇතුළු පුරාණ පරිව්‍රාජක භික්ෂූන් දෙසිය පනස්දෙකක්ද, අංග මගධ දෙරට කුලපුතුන් මහණ වුවන් දස දහසක් පමණ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූවන් දස දහස් දස දෙනෙක් ඇතුළුව සියල්ලෝ ම එක් විසි දහස් තෙ සිය පස් පනසක් පමණ රහතන් වහන්සේලා පිරිවරාගත් අපේ බුදුහාමුදුරුවෝ කපිලවස්තු පුරය දක්වා ඇති දීර්ඝ ගමනට යන්නට සැරසුණා. බුදුවරයෙකුගේ ගමන ඉතාමත් ශාන්තයි. ඉක්මන් ගමන් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු පිරිස රජගහ නුවර සිට කපිලවත්ථු නුවර දක්වා තිබූ යොදුන් සැටක් වූ ඒ මාර්ගයේ දිනකට යොදුන බැගින් දෙමසකින් යමි යි නො ඉක්මන් ගමනින් ඉතාමත් ශාන්තව වඩින්නට පටන්ගත්තා. මගදෙපස අලුත දළු ලෑ කොලවලින්ද, මල්වලින්ද සැරසිලා, කුරුළු බිත්තර වලින් එලියට එන කුරුළු පැටවුන් වගේම කුරුළු අම්මලාගේ කීචිබිචි ශබ්දය හැමතැනම. වනලහැබ සිසාරා හමා එන සිසිල් සුළගත්, ගමනේ තෙහෙට්ටුව නිමාකරන්නටම සැරසිලා වගේ. ඒ වුනාට කාළුදායි තෙරණුවන්ටනම් විශාල වගකීමක් පැවරිලා කියලා උන්වහන්සේටම හිතෙන්නට ඇත්තේ මේ දීර්ඝ ගමන ආරම්භ වෙන්නේ උන්වහන්සේගේම ආරාධනයෙන් නිසා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට ඒ දින හැට ඇතුළත දන්පැන් පිළියෙළ කිරීම නම් උන්වහන්සේට තිබුන ලොකුම වගකීම වෙන්නට ඇති. ඒ එක්කම බුදුරජුන් ඇතුළු විසිදහසක් පමණ පිරිස වඩින බව ශුද්ධෝදන රජුට දන්වන්නත් ඕනේ.

කාළුදායි තෙරණුවෝ ද බුදු රජුන් නික්මුණු බව රජුට දැන්වීම සඳහා අහසට පැන නැඟී රජ මැදුර අබියස පෙනී සිටිය. රජ තෙරුන් දැක සතුටු ව මාහැඟි පළඟක වඩා හිඳුවා තමා උදෙසා පිළියෙල කළ නොයෙක් අග්‍ර රසයෙන් යුත් භෝජනය පාත්‍රය පුරවා පිරිනැමුවා. එහෙත් උන්වහන්සේට එලෙස චාරිත්‍රනුකුලව දන් පිළිගැනීමට හැකියාවක් තිබුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට දානය පිළියෙළ කල යුතුවනවා. ඒ නිසා තෙරණුවෝ නිහඬවම නැඟිට යා යුතු ආකාරය දැක්වූවා. කිසිවත් නොදත් රජතුමා වැඩහිඳ දන් වළඳන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටියා. රජතුමනි, මම බුදු රජුන් වෙත ගොස් වළඳමි යි තෙරණුවෝ පවසා සිටියා. එවිට රජතුමා ස්වාමීනි, මපුතණුවෝ කොහි ද? අසා සිටියේ මහත් කුතුහලයෙන්. වසර කීයක් තම එකම ආදරණිය පුත්‍ර රත්නය දැක්කේ නැද්ද? මහරජ විසි දහසක් මහසඟන පිරිවරා ඔබ දැකීම සඳහාම ගමනට පිටත්වූනා. ඉතා සතුටු වූ රජතුමා ස්වාමීනි, මේ ආහාර ඔබ වහන්සේ වළඳනු මැනවි. යම්තාක් කලකින් මපුතණුවෝ මෙනුවරට වඩිත් ද ඒතාක් මෙහි සිට පිණ්ඩපාතය ගෙනයනු මැනවැ යි ආරාධනය කරනු ලැබුවා. තෙරණුවෝ ඒ ආරාධනය පිළිගත්තා.

රජතුමා තෙරණුවන් වළඳවා පාත්‍රය සුවඳ විලවුන් ගල්වා රසවත් ආහාර පුරවා බුදු රජුන්ට පිළිගැන්වීම සඳහා තෙරුන් අත තැබුවා . තෙරණුවෝ සියල්ලන් බලා සිටිත් දී ම පාත්‍රය අහසට දමා තමන් ද අහසට පැන නැඟී බුදු රජුන් වෙත අවුත් පිණ්ඩපාත පාත්‍රය උන් වහන්සේගේ අත තැබුවා. බුදුන් වහන්සේ ඒ දානය වැළඳූවා. මේ ක්‍රමයෙන් තෙරණුවෝ දිනපතා පිණ්ඩපාතය ගෙන ආවා. බුදුන් වහන්සේ ද අතරමග කාලයේ දී රජුගේ ම පිණ්ඩපාත දානය වැළඳූව. තෙරණුවෝ බත් කිස කෙළවර අද බුදු රජුන් මෙපමණ වැඩියහැ යි ගමන් මග සඳහන් කොට බුදු ගුණ සඳහන් කථාවෙන් බුදු රජුන් නො දැක ම රජ කුලය පැහැදවූවා. එම නිසා ම බුදු රජහු මහණෙනි, මගේ ශ්‍රාවකයන් අතුරින් කුල පහදවන්නන් අතුරින් මේ කාළුදායී පෙරමුණේ සිටිති යි අග තනතුරෙහි තැබූවා .

උපකාර වූ මුලාශ්‍ර

සූත්‍ර අටුවාව සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාවඅපදාන අටුවාවග්‍රන්ථාරම්භ කථා

සූත්‍ර අටුවාව. කාළුදායි ථේර අපදාන වර්ණනාව කුදුගත් සඟිය අටුවාවඅපදාන අටුවාවථේර අපදාන. කුණ්ඩධාන වර්‍ගය

සූත්‍ර අටුවාව – කාළුදායී ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාව ථේරගාථා අටුවාව. දසක නිපාතය

 

Ape Budu Hamuduruwo 382

අපේ බුදුහාමුදුරුවෝ 382 (සන්තිකේ නිධානය)

 

කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන

බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 03

 අසූ මහා ශ්‍රාවකයන් අතර කුලයන් පහදවන්නවුන් අතරින් අග්‍රස්ථානය ලද්දේ කාළුදායි මහරහතන් වහන්සේයි.විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක උසස් කුලයන්ට අයිති පිරිස් පහදවිම ලේසි කටයුත්තකුත් නොවන බව අපි සැවොම හොඳින් දන්නා කරුණක්. උන්වහන්සේ ඒ කාර්යය සඳහා කොතරම් දක්ෂද කියලා ඔබට මේ උන්වහන්සේ විසින් සජ්ජායනා කරන ලද ගාථාවන්හි ගැඹුරු අර්ථ ලෙස බැලුවොත් තේරේවි.

“පස්සන්තු තං සාකියා කොලියා පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං” රෝහිණී නම් නදිය ශාක්‍ය කෝලිය ජනපද දෙක අතරින් උතුරු දෙස සිට දකුණු දෙසට ගලා යනවා. රජගහ නුවර ද ඒ රෝහිණී නදියට පෙරදිගින් පිහිටිය. එනිසාම රජගහ නුවර සිට කපිල වස්තුවට යන විට ඒ රෝහිණී නදිය තරණය කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ පශ්චිම (බටහිර) දිසාවට මුහුණ ලා වැඩම කළ යුතුවනවා. මෙසේ “පැසුළු දිගට මුහුණ ලා රෝහිණී නදිය තරණය කරන බුදුපියාණන් වහන්සේ ශාක්‍යකෝලිය ජනපදවාසීහු දකිත්වා” යන ප්‍රකාශයෙන් කිඹුල්වත් පුර ගමනට භාග්‍යවතුන් වහන්සේව තව තවත් උත්සාවන්ත කරනබව පෙනෙනවා වගේම ඉන් එක්වරින් ශාක්‍ය සහ කෝලිය යන පාර්ශව දෙකටම යහපතක් වනබව පෙන්වනවා.

තම ආයාචනාත්මක ප්‍රාර්ථනාව උන්වහන්සේ දැන් උපමාවකින් මෙලෙස දක්වනවා. “අසාය කසතෙ ඛෙත්තං” ගොවියා කෙත සීසානුයේ ද බීජ වපුරනුයේ ද හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙමිනි. “ආසාය වාණිජායන්ති” ධන උපයනු කැමති වෙළෙන්දෝ ධනාශාවෙන් මුහුදු තරණය කර විදේශයන්ට යෑමට නැව් නැගෙති. “යාය අසාය තිට්ඨාමි”, මම ද මෙහි ආශාවක්, ප්‍රාර්ථනාවක් ඇතිව, ඔබ වහන්සේගේ කපිලවත්‍ථුවට වැඩවීමට කැමැත්තෙන් සිටිමි. “සා මෙ අසා සමිජ්ඣතු” යන්නෙන් “නුඹවහන්සේ කපිලවත්‍ථුවට වැඩවිය යුතු වේ” යන අදහසද ගෙන දෙනවා. එම ක්‍රියාව කරවනු කැමති සිත මෙහි දී “ආසාය” කැමැත්තෙන් යනුවෙන් අදහස් වනවා මෙන්ම එය ආශ්‍රවයෙක් ද නොවන බව වනවා.

ගමන් මඟ වර්ණනා කරමින් නොයෙක්වර ආරාධනා කිරීමට සිදු වූ බවට හේතුව “පුනප්පුනං” යනාදී ගාථාවලින් කියැවෙනවා. එහි අර්ථය මෙසේය. “එක්වරක් වපුරා සම්පූර්ණ නොවූ කල්හි ගොවියෝ දෙවනුව ද තෙවනුව ද බීජ වපුරති. වැසි දෙවියෝ ද එක්වාරයක් ම වැසි නොවස්වති. කලින් කලට, වරින් වර, නැවත නැවත වැසි වස්වති. ගොවියෝ ද සීසානුයේ එක්වරක් නොවෙති. මහත් අස්වැන්නක් ලැබීමට පස, මඩ මෘදු කිරීමට කෙත නැවත නැවත සීසාති. එක්වරක් ධාන්‍ය ගෙනවුත් කොටුගෙවල් පිරවීම ප්‍රමාණවත් නොවේ. නැවත නැවත කොටුගෙවල් පිරවීම් වශයෙන් සහල් ආදි ධාන්‍ය රට තුළට නැවත නැවත ගෙනෙයි.

යාචකයෝ ද යදිමින් නැවත නැවත පවුල් වෙත පැමිණෙති. එක්වරක් යැද පිටත නොයති. දානපතියෝ ද නැවත නැවත දන් දෙති. එක් වරක් දී නොසෑහෙති. දිය යුතු දේ දන්දෙන දානපතීහු දානාදී පින්කම් නැවත නැවත සිදුකර නැවත නැවත සවර්ගයේ උපදිති. ප්‍රතිසන්‍ධි වශයෙන් දෙව්ලොවම ඉපදෙති. එනිසා මම නැවත නැවත ඔබවහන්සේට ආරාධනා කරමි. භාග්‍යවතුන් වහන්ස, මාගේ මනෝරථය මස්තකප්‍රාප්ත කරනු මැනවි.”

දැන් යම් අර්ථයක්, යහපතක් සඳහා ශාස්තෲන් වහන්සේ කපිල වස්තුවට යායුතු වේද එම කාරණය “වීරො හවෙ” යන ගාථාවෙන් දක්වයනවා. එහි අර්ථය මෙසේයි.

 “යම් කුලයක වීර වික්‍රමාන්විත, මහා ප්‍රඥාවන්ත, ඥානවන්ත පුද්ගලයෙක් උපදින්නේ ද, ඒ උතුම් පුද්ගලයා නිසා ඒකාන්තයෙන්ම පරම්පරා සතක, පියා, සීයා ආදී ලෙස, සත් පරම්පරාවක් සත්වන පියා දක්වාම පිරිසිදු වනවා, නින්දා අපහාස සෝදා හරියි” යැයි මෙසේ ලොව අදහසක් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ ලොව සියලු දෙවියන්ටම වඩා උසස් ව “දෙවොතිදෙව” යනුවෙන් හඳුන්වනවා. පාපයෙන් වැළකීමෙන් ද යහපතෙහි පිහිටීමෙන් ද යුතු ඔබවහන්සේට වඩා පවිත්‍ර වූ උතුමෙක් ලොව නැතැයි සිතනවා. කුමක් නිසාද? “තයාභිජාතො මුනි සච්චනාමො” ඔබවහන්සේ ආර්‍ය්‍ය ජාතියෙහි උපන් බැවින් ලැබූ “මුනි” නම් ඇති නිවා. මුනිවරයෙක්ව ආත්මාර්ථ පරාර්ථ සාධනයත් මෙලෝ පරලෝ සුගතියත් ගෙන දෙන බැවින් ද චතුරාර්ය සත්‍ය තනිවම අවබෝද කරගත් බැවින් ද “මුනි” නම් වනවා. “මුනි” නාමය සත්‍ය වූ, ඔබ වහන්සේටම සුදුසු වූ නාමයක්. එනිසා සත්ත්‍වයන්ට ඒකාන්තයෙන් ම උභයාර්ථ සිද්ධිය සැලසීම සඳහා ඔබවහන්සේගේ ගමන උපකාරී වනවා. එබැවින් කිඹුල්වතට වඩිනු මැනවි.

මෙලෙස සැටක් පමණ ගාථාවලින් සෑදුණු ගැඹුරු අර්ථයෙන් බුදුරදුන්ගේ කුල(පිය) නගරයට පැමිණීමේ ගමන වර්ණනා කරනු ලැබුවා. මෙහි අර්ථ රසය අපට වඩා දස දහස්වාරයකින් බුදුරජාණන් වහන්සේට වැටහෙන්නට ඇති. සියල්ල සාවධානව අසා සිටි අපේ බුදුහාමුදුරුවෝ උදායි, කුමක් නිසා මෙලෙස මිහිරි ස්වරයෙන් ගමන වර්ණනා කරන්නේදැයි අසා සිටියා. එවිට ස්වාමීනි, ඔබ වහන්සේගේ පියා, සුද්ධෝදන මහරජතුමා ඔබව දකිනු කැමතිව මග බලා සිටිනවා. ඒ වගේම ඤාතීන්ට සංග්‍රහ කිරීම සුදුසුය බවත් යටහත් පහත්ව කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ ” උදායි යහපති. එසේ කරන්නෙමි. ඤාතීන්ට සංග්‍රහ කිරීමට භික්‍ෂු සංඝයාට දැනුම් දෙන්න. ගැමිවත් සම්පූර්ණ කරන්නැයි භික්‍ෂූන්ට කියන්න. එවිට ස්වාමීනි යහපතැයි තෙරුන් වහන්සේ ගෞරවයෙන් කියා සිටියා. ඔබ මෙම කොටස අවසානය දක්වා හොඳින් අවධානයෙන් යුතුව කියවුවානම් මෙතක් කල් නොමැති වශාල ගෞරවයක් කාළුදායි මහරහතන් වහන්සේ කෙරෙහි ඇතිවිය යුතුයි.

උපකාර වූ මුලාශ්‍ර

සූත්‍ර අටුවාව සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාවඅපදාන අටුවාවග්‍රන්ථාරම්භ කථා

සූත්‍ර අටුවාව. කාළුදායි ථේර අපදාන වර්ණනාව කුදුගත් සඟිය අටුවාවඅපදාන අටුවාවථේර අපදාන. කුණ්ඩධාන වර්‍ගය

සූත්‍ර අටුවාව – කාළුදායී ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාව ථේරගාථා අටුවාව. දසක නිපාතය

සූත්‍ර අටුවාව – සන‍්තිකෙනිදානකථා ඛුද‍්දකනිකාය අට්ඨකථා අපදාන-ග්‍රන්‍ථාරම්භකතා