අපේ බුදුහාමුදුරුවෝ 387 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 02

ත්‍රිවිධ ප්‍රාතිහාර්යයෝ

දැන් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මාන්‍යයෙන් පිරි ශාක්‍යයන්ට ඉහලින් අහසෙහි වැඩ සිටිනවා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය පෑමට. ප්‍රාතිහාර්යයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය, ආදේසනා ප්‍රාතිහාර්ය, අනුසාසනා ප්‍රාතිහාර්ය යයි ත්‍රිවිධාකාර වනවා. නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම ඉද්ධි ප්‍රාතිහාර්යයි. මෙයත් එවැන්නක්. උන්වහන්සේ මෙවැනි ප්‍රාතිහාර්යය ඒ තරම්ම අගය කරනු ලැබුවේ නැහැ. ඒ නිසාම චාරිත්‍රානුකූලව එවැන්නක් කරනු ලැබුවේ ඉතාමත් සීමිත අවස්ථාවන්හි පමණයි.

ප්‍රකට ප්‍රාතිහාර්ය සහ අප්‍රකට ප්‍රාතිහාර්ය

 ප්‍රාතිහාර්ය පෑමේදී ප්‍රාතිහාර්යපාන පුද්ගලයාගේ පෙනී සිටීම සහ නොපෙනී සිටීම අයුරින් එය දෙයාකාර වනවා. එනම් ප්‍රකට ප්‍රාතිහාර්ය සහ අප්‍රකට ප්‍රාතිහාර්ය වශයෙන්. අප්‍රකට ප්‍රාතිහාර්යයෙහිදී සෘද්ධිය පෙනෙනවා. එහෙත් ඒ සෘද්ධිය කරනු ලබන සෘද්ධිමතා අන් අයට පෙන්නේ නැහැ. එය මහක සූත්‍රයද බ්‍රහ්ම නිමන්තණික සූත්‍රයද කියවා දැනගත හැකියි. නැතිනම් මෙම ලිපි පෙළෙහිම ඉදිරියේදී අවස්ථානුකුලව ලියවේවි. එහෙත් ප්‍රකට ප්‍රාතිහාර්යයෙහිදී සෘද්ධියද, සෘද්ධිමතාද අන් අයට පෙනෙනවා. මෙම යමක මහා ප්‍රාතිහාර්යත් එවැන්නක්. ප්‍රකට ප්‍රාතිහාර්යක්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේව හැමෝටම පෙනෙනවා.

තථාගතයන් වහන්සේලාගේ කායබලය හා ඤාණබලය

තථාගතයන් වහන්සේලාගේ බලය දෙයාකාරයකින් හඳුන්වනු ලබනවා. ඒ කායබලය හා ඤාණබලය වශයෙන්. එහි කාය බලය හඳුන්වනු ලබන්නේ සද්දන්ත ඇත්කුල අනුසාරයෙන්. ඒ ගැනත් මීට පෙර ලියා තිබෙනවා. ඒත් මෙවැනි ආශ්චර්යමත් ප්‍රාතිහාර්යක් පාන්නේ එවැනි කායබලයකින් නෙවෙයි. ඤාණබලයෙන්. ඤාණ බලය පෙළෙහි විවිධ තැන්වල විවිධ අකාරයෙන් දක්වනවා. දසබල ඤාණය මජ්ඣිම නිකායෙහි දැක්වෙනවා. චතුර් වෛශාරද්‍ය ඤාණය, අට පිරිස්හි අකම්ප්‍ය ඤාණය, සිව්යෝනි පිරිසිඳ දක්නා ඤාණය, පඤ්චගති පිරිසිඳ දක්නා ඤාණය සංයුක්ත නිකායාගත තෙසැත්තෑ ඤාණ, සත් සැත්තෑ ඤාණදැයි මෙසේ අන්‍ය වූ නොයෙක් ඤාණ වශයෙන් විවිධාකාර ඤාණ දහස් ගණනක් ඇති බව පටිසම්භිදාමග්ග අටුවාවේ බලකථා කතාවන්හි සඳහන්. එම ඤාණ මෙහිදී ඤාණබලය යනුවෙන් අදහස් කරනවා. මෙම යමක මහා ප්‍රාතිහාර්යය සම්මා සම්බුදුවරු පානු ලබන්නේත් එවැනි සුවිශේෂී බුද්ධ ඥාන බලයකින්. ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ෂඩ් අසාධාරණ ඤාණ නමින් හඳුන්වන බුදුවරුනට පමණක්ම පිහිටන සුවිශේෂී බුද්ධ ඥාන සයකින් එකක්. ඒ සම්මා බුදුරජාණන් වහන්සේලා හට පමණක් සාධාරණ වූ පසේ බුදුවරු සහ අනෙකුත් ශ්‍රාවකයන්ට අසාධාරණ වූ ඒ ඤාණ සය මෙසේ යි .

ෂඩ් අසාධාරණ ඤාණ

  1. ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය
  2. ආසයානුසය ඤාණය
  3. යමකමහාපාටිහාරිය ඤාණය
  4. මහාකරුණාසමාපත්ති ඤාණය
  5. සබ්බඤ්ඤුත ඤාණය
  6. අනාවරණ ඤාණය යනුවෙන්.

මෙම ඤාණ පිළිබඳව මීට පෙර ලියා තිබෙනවා. යමක පාටිහාරිය ඤාණය නම් යමාමහ පෙළහර පෑමේදී උදව් කරගන්නා ඒ සුවිශේෂී .ඤාණයයි.

ඒක වචන නිර්මිතයෝ සහ බහු වචන නිර්මිතයෝ

තවත් මෙහිදී සිහිපත් කලයුතු සුවිශේෂී කරුණක් තිබෙනවා. ඒ එකම අවස්ථාවේ විවිධ ඉරියව් මැවීම සහ එකම අවස්ථාවෙහි යුගලයන් මෙන් එකම ඉරියව් මැවීම යනුවෙන්. මේ දක්ෂතාවය තිබුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් චූලපන්‍ථක තෙරුන්වහන්සේට විතරමයි. උදාහරණයක් වශයෙන් චූලපන්‍ථක තෙරුන් වහන්සේද විවිධ ඉරියව්වලින් යුත් භික්‍ෂූන් දහසක් මවනු ලැබුවා. විශේෂත්වය වුණේ මේ එක් අයෙක් වෙන් වෙන් වශයෙන් විවිධ ක්‍රියාකාරකම් වල නියැලුනා. කෙනෙකු පඬු පොවයි, එක් අයෙක් සක්මන් කරයි, එක් අයෙක් බවුන් වඩයි ආදී වශයෙන්. එහෙත් අන් අයට කලහැක්කේ සෙවනැල්ල මෙන් එකම ඉරියවු පවත්වන විවිධ අනුරුව මැවිමයි. ඔවුනට විවිධ ඉරියව් සමන්විතයින්ගේ විවිධ රූපයන් නිර්මාණය කිරීමක් සිදුකල නොහැකියි. නිර්මිත රූ කරන කියන දෑ සෘද්ධිමතා සමාන වූවාම වනවා. සිටීම් හිඳීම්, කථාකිරීම්, තෘෂ්ණීම්භූතාදියෙහි සෘද්ධිමතා යම් යම් දැයක් කරයිද, නිර්මිතයද ඒ ඒ දැයම කරනවා. එහෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යමා මහා පෙළහර පෑමේදී මෙලෙස බහු නිර්මිතයන් ප්‍රාතිහාර්ය තුල දක්වනවා. තවත් විශේෂත්වයක් තියෙනවා. චූලපන්‍ථකභික්ෂූන් වහන්සේලා වැනි සුවිශේෂී ශ්‍රාවකයන් වහන්සේලා මේ අය මෙවැනි දෑ කරත්වායි වෙන් වෙන්ව ආවර්ජනා කොට අදිටන් කිරීමෙන් ඒ විවිධ කාර්යය කරන්නාවූ නිර්මිතයන් බිහිවනවා. එහෙත් තථාගතයන් වහන්සේලා ඒකාවර්ජන අධිෂ්ඨානයෙන්ම නානාප්‍රකාර නිර්මාණ සිදුකරනවා.

යමක මහා ප්‍රාතිහාර්ය පෑම.

මාන්නයෙන් හිස උදුම්මාගත් ශාක්‍යයන් ඇස් ලොකු කොටගෙන මුව ඇරගෙන අහසෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දෙස නෙත් හෙලාගෙන හිටියා. මෙතෙක් නිසලව සිටි බුදුපියාණන් වහන්සේගේ දේහයින් එක්වරම උඩුකයින් මහා ගිනිජාලාවක් පිටවෙන්නට පටන්ගන්නවා. ඒ එක්කම යටිකයින් මහා දියදහරක් දසත විහිදෙනවා. ඒ හා සමගම උන්වහන්සේ යටිකයින් මහා ගිනිකඳක් පවත්වන්නට වනවා. ඒ සමගම උඩුකයින් දියදහර පවත්වනවා. පෙරපසින් ගිනිකඳ පවත්වනවා, පසුපසින් දියදහර පවත්වනවා; පසුපසින් ගිනිකඳ පවත්වනවා, පෙරපසින් දියදහර පවත්වනවා; ඒ සමගින්ම දකුණැසින් මහා ගිනිකඳක් පිටවෙන්නට පටන්ගැනෙනවා,, වමැසින් දියදහර පවත්වනවා; වමැසින් ගිනිකඳ පවත්වනවා, දකුණැසින් දියදහර පවත්වනවා; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වනවා, වම්කන්සිළින් දියදහර පවත්වනවා; වම්කන්සිළින් ගිනිකඳ පවත්වනවා, දකුණුකන්සිළින් දියදහර පවත්වනවා; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වනවා, වම්නැහැසිළින් දියදහර පවත්වනවා; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වනවා, දකුණු නැහැසිළින් දියදහර පවත්වනවා; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වනවා, වම්දසරියෙන් දියදහර පවත්වනවා; වම්දසරියෙන් ගිනිකඳ පවත්වනවා, දකුණුදසරියෙන් දියදහර පවත්වනවා; දකුණතින් ගිනිකඳ පවත්වනවා, වමතින් දියදහර පවත්වනවා; වමතින් ගිනිකඳ පවත්වනවා, දකුණතින් දියදහර පවත්වනවා; දකුණුපසින් ගිනිකඳ පවත්වනවා, වම්පසින් දියදහර පවත්වනවා; වම්පසින් ගිනිකඳ පවත්වනවා, දකුණුපසින් දියදහර පවත්වනවා; දකුණුපයින් ගිනිකඳ පවත්වනවා, වම්පයින් දියදහර පවත්වනවා; වම්පයින් ගිනිකඳ පවත්වනවා, දකුණුපයින් දියදහර පවත්වනවා; එක් එක් ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වනවා, ඇඟිලි අතුරින් දියදහර පවත්වනවා; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වනවා, එක් එක් ඇඟිල්ලෙන් දියදහර පවත්වනවා; එක් එක් රෝමයෙන් ගිනිකඳ පවත්වනවා, එක් එක් රෝමයෙන් දියදහරපවත්වනවා; එක් එක් රෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එක් එක් රෝමකූපයෙන් දියදහර පවත්වනවා; නීල යැ පීත යැ ලෝහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්‍රභාස්වර යැ යන ෂඩ්වර්‍ණයන්ගේ රස්මිහු යුග්ම පවත්වනවා. ඒ මහා ගිනි ජාලාවෙන් මුළු පරිසරයම ආලෝකමත් වෙන්නටත් උණුසුම් වෙන්නටත් ඇති. ඒ එක්කම ඒ මහා ජල ධාරාව ගිනි ජාලාවෙන් හටගත් පරිසරයේ උණුසුම මකා මුළු උද්‍යානයම සිහිල් කරන්නටත් ඇති.

උපකාර වූ මුලාශ්‍ර

යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව, පටිසම්භිදාමග්ග අටුවාව. මහා වර්‍ගය ඥාන කතා

ඉද්ධිවිධ ඤාණ නිර්දේශ වර්ණනාව

බල කථා – කුදුගත් සඟිය අටුවාවපටිසම්භිදාමග්ග අටුවාව- යුගනද්ධ වර්‍ගය

යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය -යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය සහ යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව – කුදුගත් සඟිය අටුවාව -පටිසම්භිදාමග්ග අටුවාව. මහා වර්‍ගය ඥාන කතා

 
error: Content is protected !!