රාහුල මහරහතන් වහන්සේ – රට්ඨපාල මහරහතන් වහන්සේ.

 

අතීතයෙහි පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්හ. ඔවුන්ගේ කුඩාකාලයෙහි නම හෝ ගෝත්‍රය නොකියනුලැබේ. වියපත්වූවාහු ගිහිගෙහි පිහිටා තම තමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් දෙදෙනාම තමතමන්ගේ රුවන් ගබඩාකරුවන් කැඳවා අපමණ ධනය දැක මෙපමණක්වූ මෙම ධනසමූහය මුතුන්මිත්තාදීහු තමන් සමඟ රැගෙන යාමට නොහැකි වූවාහුය. අප දැන් යම්කිසි උපායකින් මේ ධනය ගෙනයාමට වටනේයයි සිතා දෙදෙනාම සිවු වරෙක දුගීමගී යාචකාදීන්ට මහදන්දීමට පටන් ගත්හ. එක් කෙනෙක් තමන්ගේ දානාග්‍රයෙහි ආ ආ ජනයන් විමසා කැඳ කැවිලි ආදිය අතුරෙන් යමක් යමෙකුට කැමතියයි සිතේද ඔහුට එය දුන්නේය. ඔහුට ඒ කරුණින්ම ‘ආගතයාචකො’යනුවෙන් නමක්ද විය. අනෙකා නොවිමසාම ගත්ගත් බඳුන් පුරව පුරවා දෙයි. ඔහුටද එකරුණින්ම අනග්ගපාකයයි නමක්විය. අප්‍රමාණවූ පාක ඇත්තේ යන අත්‍ථර්‍ය

ඒ දෙදෙනාම එක්දිනක් උදෑසනම මුවදෙවීම සඳහා පිටගමට ගියහ. එසමයෙහි හිමවතින් මහත් සෘද්ධි ඇති තාපසවරු දෙදෙනෙක් පිඬුහැසිරීම සඳහා අහසින් අවුත් ඒ යහළුවන්ගේ නුදුරෙහි බැස මොවුහු අප නොකිත්වායි එකත් පසෙක සිටියාහුය. ඒ දෙදෙනාද ඔවුන්ගේ ලබුබඳුන් ආදී පිරිකර සංවිධානය කොට ඇතුළුගම සඳහා යවනලද්දාවුන්ගේ සමීපයට අවුත් වැන්දාහුය. ඉක්බිති ඒ තාපසයෝ ‘මහපිණැත්තනි, කවර වේලාවක ආවාහුදැයි ඇසූහ. ඔවුහු ස්වාමීනි, දැන්ම’යය කියා ඔවුන්ගේ අතින් ලබුබඳුන් ගෙන තම තමන්ගේ ගෙවලට පමුණුවා බත්කිස අවසන්හි නිබඳව භික්‍ෂාව ගැනීම සඳහා පිළිණ ගත්තාහුය.

ඔවුනතුරින් එක් තවුසෙක් දැවිලිසහිත ශරීර ස්වභාවය ඇත්තේ විය. හෙතෙම තමාගේ ආනුභාවයෙන් මහමුහුදේ දිය දෙකඩ කොට පඨවින්ධරනාගරාජයාගේ භවනයට ගොස් දිවා විහරණයෙහි හිඳියි. හෙතෙම සෘතු සප්පාය ගෙන පෙරළා අවුත් තමන්ගේ උපස්ථායකයාගේ නිවසෙහි භූත්තානුමෝදනාව කරන්නේ පඨවින්‍ධර නාගරාජ භවනය මෙන් වේවා! පඨවින්‍ධරනාගභවනය මෙන් වේවායි කියයි. ඉක්බිති එක්දිනක උපස්ථායක තෙමේ ඔහුගෙන් ‘ස්වාමීනි, නුඹවහන්සේ අනුමෝදනය කරමින් පඨවින්‍ධර නාගභවනය මෙන් වේවායි කියහු. අපි එහි අදහස නොදනිමු. ස්වාමීනි. මෙය කුමක් කියනලද්දේ වේදැයි ඇසුවේය ‘එසේය, කෙළඹිය, මම ඔබගේ සැපත පඨවින්‍ධර නාගරාජයාගේ සැපත මෙන් වේවායි කියමි’යි තවුසා පැවසීය. එතැන්පටන් කෙළෙඹිතෙමේ පඨවින්‍ධරනාගභවනයට සිත ඇලවීය.

අනෙක් තවුසා තවුතිසාභවනයට ගොස් හිසුවූ මහරිවන විමානයක දිවාවිහරණය කරයි. හෙතෙම යමින් එමින් සක්දෙව්රජුගේ සැපත් දැක තමන්ගේ උපස්ථායකයාට අනුමෝදනා කරන්නේ සක්විමනමෙන් වේවායි කියයි. ඉක්බිත් ඒ කෙළෙඹියාද, අනෙක් යහළුවා ඒ තාපසයාගෙන් ඇසුවාක් මෙන් ඔහුගෙන් විමසීය. හෙතෙම ඔහුගේ කීම අසා ශක්‍රභවනයෙහි සිත ඇලවීය. ඒ දෙදෙනාම පැතූ තැන්හිම උපන්නාහුය.

පඨවින්‍ධර නාගභවනයෙහි උපන්නේ පඨවින්‍ධර නාගරාජයා නම්විය. හෙතෙම උපන් කෙණෙහි තමන්ගේ ආත්මභාවය දැක කුලුපග තවුසා සිත් නොඅලවන තැනක් මට වර්‍ණනා කළේය. මෙය ඒකානත්යෙන්ම උරයෙන් බඩගා හැසිරෙන තැනකි. හෙතෙම අන්තැනක් නොදන්නේදැයි විපිළිසර වූයේය. ඉක්බිති ඔහුට එකෙණෙහිම මනාව පිළියෙළ කරනලද නාට්‍යාත්මක තූර්‍ය්‍යභාණ්ඩයෝ සියලු දිශාවන්හි හඬ නැංවූහ. හෙතෙම එකෙණෙහිම ඒ අත්බැව අතහැර මානවක රුවක් ඇත්තේවිය. සතරවරම් මහරජවරු අඩමසකට වරක් සක්දෙවියන්ට උපස්ථානයට යති. එබැවින් හෙතෙමේද විරූපක්‍ඛ නාරජු සමඟ සක්දෙවියන්ගේ උවටැනට ගියේය. සක්දෙව් තෙමේ දුරදීම එන්නාවූ ඔහු දැක හැඳින ගත්තේය. ඉක්බිති ළඟ ට අවුත් සිටිකල්හි ඔහුගෙන් ‘යහළුව, කොහි උපන්නෙහිදැයි ඇසීය. ‘මහරජ, නොකියනු මැනවි, උරයෙන් බඩගා යන තැනක උපන්නෙමි. නුඹවහන්සේ නම් කල්‍යාණමිත්‍රයකු ලැබුයේ වන.’ ‘යහළුව, නුඹ නුසුදුසු තැනක උපන්නෙමියි සැක නොකරන්න. පියුමතුරා බුදුරජාණන් වහන‍්සේ ලොව පහළවූ සේක. උන්වහන්සේට පින්කම් කොට මෙතැනම ප්‍රාත්‍ථර්‍නා කරව. අපි දෙදෙනාම සුවසේ වසන්නෙමු’යි කීවේය. හෙතෙම ‘ස්වාමීනි, එසේ කරන්නෙමැ’යි ගොස් පදුමුත්තර තථාගතයන්වහන්සේට නිමන්ත්‍රණය කොට තම නාගභවනයෙහි නාපිරිස සමඟ සියලු රෑ සත්කාර සම්මාන පිළියෙළ කළේය.

ශාස්තෘන් වහන්සේ දෙවන දිනයෙහි අරුණු, නැඟී කල්හි තමන්ගේ උපස්ථායකවූ සුමනතෙරුන්ට, ‘සුමන, අද තථාගයන් වහන්සේ දුර භික්‍ෂාචාරයකට යන්නාහ. පෘථග්ජන භික්‍ෂුහු නොඑත්වා! ත්‍රිපිටකධර පිළිසිඹියාපත් ඡළභිඤ්ඤාලාභී භික්‍ෂූහුම එත්වා!යි පැවසූසේක. තෙරණුවෝ ශාස්තෘන්වහන්සේගේ වචනය අසා සියල්ලන්ට සැළකළහ. ශාස්තෘන්වහන්සේ සමඟ ලක්‍ෂයක් භික්‍ෂූහු අහසට පිවිසියාහුය පඨවින්‍ධර තෙමේ නා පිරිස සමඟින් දශබලයන්වහන්සේට පෙර ගමන් පැමිණියේ ශාස්තෘන්වහන්සේ පිරිවරා මුහුදමතින් මිණිවන් රැළ මඬිමින් වඩින භික්‍ෂුසංඝයා බලා මුලින් ශාස්තෘන්වහන්සේද කෙළවරෙහි සංඝනවකවූ තථාගතපුත්‍ර උපරෙවතනම් සාමණේරයන්වහන්සේද බලමින් ‘සෙසු සව්වන්ගේ මෙබඳුවූ සෘද්ධ්‍යනුභාවයක් ආශ්චර්‍ය්‍යමත් නොවේ. මේ තරුණ ලලිත බවින්යුත් දරුවාගේ මෙබඳුවූ සෘද්ධ්‍යනුභාවයක් අතිශයින්ම ආශ්චර්‍ය්‍යය’යි ඉමහත් ප්‍රීතියක් ඉපිදවීය.

ඉක්බිති, ඔහුගේ භවනයෙහි තථාගතයන්වහන්සේ වැඩහුන් කල්හි සෙසුභික්‍ෂූන් කෙළවරෙහි සිට වැඩහිඳිත්දී හාස්තෘන්වහන්සේ ඉදිරියෙහිම උපරෙවත සාමණේරයන්ට අසුනක් පැනවීය. නාරජු කැඳ දෙමින්ද කැවිලි දෙමින්ද වරක් බුදුරදුන් දෙස බලයි. වරක් උපරේවත සාමණේරයන් දෙස බලයි ඔහුගේ සිරුරෙහි තථාගතයන්ගේ සිරුරෙහි මෙන් දෙතිස් මහා පුරුෂලක්‍ෂණ පැනෙයි. ඉක්බිති නාරජ තෙමේ, ‘මේ සාමණේර නම බුදුවරුන්ට සමානව පෙනෙයි. මේ කිමෙක් වේදැයි නුදුරෙහි හුන් එක්තරා භික්‍ෂුවකගෙන් ‘ස්වාමීනි. මේ සාමණේර තෙමේ දශබලයන්වහන්සේට කවරෙක් වේදැයි ඇසීය ‘මහරජ, පුතුය.’ හෙතෙම, ‘පුදුමයෙකි, මේ භික්‍ෂුව මෙසේ රූපයෙන් හා යසසින් අගතැන්පත් තථාගතයන්වහන්සේගේ පුත්‍රභාවය ලැබීය. මොහුගේ ශරීරයද ඒකදේශයකින් බුදුන්ගේ ශරීරයට සමානව පෙනෙයි. මාද අනාගතයෙහි මෙබන්දකු වීම වටනේයයි සිතුවේය. හෙතෙම සත්දිනක් මහදන්දී ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ ආනුභාවයෙන් මේ උපරේවත මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ පුතෙක් වන්නෙම්වායි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ පුත්‍රයා වන්නෙහියයි විවරණදී වැඩිසේක.

පටවින්‍ධර තෙමේ යළි අඩමස පැමිණිවිට විරූපාක්‍ෂ සමඟ සක් දෙවියන්ගේ උටවැනට ගියේය. ඉක්බිති සමීපයෙහි සිටි ඔහුගෙන් සක්දෙව් තෙමේ, ‘යහළුව, මේ දෙව් ලොව පතන ලද්දේදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නොපතන ලදී.’ ‘කවර දොසක් දැක්වේහිද?’ ‘මහරජ, දොසක් නැත. මම දශබලපුතුවූ උපරෙවත සාමණේරයන් දුටුවෙමි. ඔහුදුටු කල්හි සිට මගේ සිත අන්තැනක නොනැමුනේය. ඒ මම අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ මෙබඳුවූ පුතෙක් වන්නෙම්වා’යි ප්‍රාත්‍ථර්‍නා කෙළෙමි. ඔබද මහරජ, එක් පැතුමක් කරව. (එනම්): ‘ඒ අපි උපදින තැන නොවෙන් වන්නෙමු’යි කියාය. සක්දෙව් තෙමේ ඔහුගේ වචනය පිළිගෙන එක් මහානුභාව ඇති භික්‍ෂුවක දැක ‘මේ කුලපුත් තෙමේ කවර කුලයකින් නික්ම පැවිදි වූයේයදැ’යි සිහි කරන්නේ මෙතෙම බිඳුණු රටක් එක් කිරීමට හැකි කුලයක පුත්‍රයෙක්වී තුදුස් බත්සිඳීමක් කොට පැවිද්දට මව්පියන් අනුදන්වා ගෙන පැවිදි වූයේයයි දැන ගත්තේය. දැනද නොදන්නකුමෙන් තථාගයන්වහන්සේගෙන් අසි සත්දිනක් මහාසත්කාර කොට ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් නුඹවහන්සේගේ සසුනෙහි මේ කුලපුත්‍රයා මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍ර වන්නෙම්යයි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ‘මහරජ, නුඹ අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක. සක්දෙව්තෙමේද තමන්ගේ දෙවිපුරයටම ගියේය.

ඒ දෙදෙනාම උපන්තැනින් සැට දෙවිමිනිසුන් අතුරෙහි සැරසරමින් නොයෙක් කල්ප ගණන් ඉක්මවූහ. මෙයින් කල්ප අනූදෙකකට මත්තෙහි ඵුස්ස නම් බුදුරජානන්වහන්සේ ලොව පහළවූ සේක. ඔහුගේ පියා මභින්‍ද නම් රජ වූයේය. අන් මවුන්ගෙන් උපන් කනිටු සහෝදරයෝ තිදෙනෙක් වූහ. රජතෙමේ දිනපතා බුදු රජාණන්වහන්සේ මගේමය, මගේමයයි සංඝයා මගේමයයි මමායනය කරමින් තෙමේම දශබලයන්වහන්සේ නිබඳ වළඳවයි.

ඉක්බිති එක් දිනක් ඔහුගේ පසල් දනව්ව කිපියේය. නුඹලා හෝ මා හෝ යායුතුය. ඉදින් මම යන්නෙම් නම් නුඹලා විසින් මේ ක්‍රමයෙන් දශබලයන්වහන්සේට සේවය කළයුතුය.’ ඒ තිදෙනාම එක විටම පියාණෙනි, නුඹට ගමන්කිසක් නැත. අපි සොරුන් විනාශ කරන්නෙමුයි. කීවාහුය. පියා වැඳ ප්‍රත්‍යන්තයට ගොස් සොරුන් විනාශ කොට සටන ජයගෙන ආපසු පැමිණියාහුය. ඔවුහු අතරමගදී සේවකයන් සමඟ, ‘දරුවනි, අපගිය කොණෙහිම පියා වර දන්නේය. කවරවරයක් ගන්නේමුදැයි සාකච්ඡා කළාහුය. ස’වාමිවරුනි, නුඹවහන්සේලාට පියාගේ ඇවෑමෙන් දුර්‍ලභවූ කිසිවක් නම්නැත. නුඹවහන්සේලාගේ දෙටු බෑයන් වන ඵුස්ස බුදුන්වහන්සේ පිළිදැගුම් කිරීමේ වරය ගනු මැනවැ’යි කීවාහුය. ඔවුහු ‘නුඹලා විසින් යහපතක් කියනලදැ’යි සියල්ලෝම එක්සිත්ව ගොස් පියා දුටුවාහුය. එකල පියා ඔවුන්ට පැහැද වරයක් දුන්නේය. ඔවුහු ‘තෙමසක් තථාගතයන් පිළිදැඟුම් කරන්නෙමුය’යි වරය ඉල්ලූහ. රජතෙමේ ‘ මෙය දිය නොහැකිය. අන් වරයක් ගණුව’යි කීවේය. ‘පියාණෙනි, අපට අන්වරයකින් වැඩක් නැත. ඉදින් නුඹවහන්සේ දෙනු කැමැත්තෝ නම් අපට එම වරයම දෙනු මැනවැ’යි කීහ. රජතෙරෙම් ඔවුන් නැවත නැවතත් කියද්දී තමා පිළිණදුන් බැවින් නොදීමට නොහැකැයි සිතා, ‘දරුවනි, මම නුඹලාට වරයදෙමි. එතකුදු වුවත් බුදුවරු නම් ළංවීමට අපහසු අයවෙති. සිංහයන් මෙන් එකළාව හැසිරෙන්නෝය. බුදුන්වහන්සේ පිළිදැගුම් කරන නුඹලා අප්‍රමාද වන්නැ’යි පැවසීය.

තථාගතයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක්කොට පිළිදැඟුම් කිරීමට වටනේයයි ඔවුහු සිතූහ. සියල්ලෝම එක්කැමැත්තෝව දසසිල් සමාදන්ව පිළීගඳනැත්තෝවී ශාස්තෘන්වහන්සේට දන්දෙන තැන පාලනය කරන පුරුෂයන් තිදෙනෙකු තැබූහ. ඔවුනතුරින් එකෙක් ධනධාන්‍ය උපදවන්නෙක් වූයේය. එකෙක් මිනුම් කරුවෙක් වුයේය. එකෙක් දානසංවිධායකයෙක් වුයේය. ඔවුන්ගේ (ධනධාන්‍ය) උපදවන්නා අනාගතයෙහි බිම්බිසාර මහරජ වූයේය. මිනුම්කරුවා විශාඛ උපාසක වූයේය. දානසංවිධායක තෙමේ රට්ඨපාල වූයේය. හෙතෙම එහි දිවි ඇතිතෙක් කුසල් කොට දෙව්ලොව උපන්නේය. මේ රාහුල තෙරණුවෝ නම් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි කිකි රජුගේ දෙටුපුතාවී උපන්නේය. ඔහුට පඨවින්‍ධර කුමාරයායයි නමක් කළාහුය. ඔහුට සොහොයුරියෝ සත් දෙනෙක් වූහ. ඔවුහු බුදුන්වහන්සේට පිරිවෙන් සතක් කරවූහ. පඨවින්‍ධර තෙමේ යුවරජකම ලැබීය. හෙතෙම ඒ සොහොයුරියන්ට, ‘නුඹලා විසින් කරවනලද පිරිවෙන් අතුරින් මටද එකක් දෙන්නැයි කීවේය. ‘සොහොයුර, නුඹ යුවරජතනතුරෙහි සිටියෙහිය. නුඹවිසින් නම් අපට දියයුතුය. නුඹ අපට අන් පිරිවෙණක් කරව’යි කීවාහුය. හෙතෙම ඔවුන්ගේ කීම අසා විහාර පන්සියයක් කරවූයේය. පිරිවෙන් පන්සියයක්දයි කියත්, හෙතෙම එහි දිවි ඇතිතෙක් කුසල් කොට දෙවිපුරයෙහි උපන්නේය. මේ බුද්ධෝත්පාද කාලයෙහි පඨවින්‍ධර කුමාර තෙමේ අපගේ බෝසතුන්ගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ යහළුවා කරුරට ථුල්ලකොටඨිත නියම්ගමෙහි රට්ඨපාල සිටුගෙහි උපන්නේය.

ඉක්බිති අපගේ භාග්‍යවතුන්වහන්සේ අභිසම්බෝධයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තෝ අනුක්‍රමයෙන් කිඹුල්වතට වැඩ රාහුල කුමරු පැවිදි කරවනසේක. ඔහුගේ ප්‍රව්‍රජ්‍යා විධානය පෙළෙහි අයේමය. මෙසේ පැවිදිවූ රහල් තෙරුන්ට නිතර අවවාද වශයෙන් ශාස්තෘන්වහන්සේ රාහුලොවාද සූත්‍රය දෙසූසේක. රහල් තෙරණුවෝද උදයෙන්ම අවදිව අතින් වැළි ඔසවා බුදුන්වහන්සේගෙන් මෙන්ම ආචායර්‍ය උපාධ්‍යායයන්ගේද සමීපයෙන් අද මෙපමණ අවවාද ලබම්වායි කියති. බික්සඟන මැද ‘රාහුල හෙරණ තෙමේ අවවාදක්‍ෂමය. පියාට සුදුසු පුතෙකි’යි කථාවක් හටගත්තේය. ශාස්තෘන්වහන්සේ භික්‍ෂූන්ගේ සිත්හසර දැන ‘මා ගියකල්හි එක් ධර්‍මදේශනයක්ද වැඩෙයි. රාහුලගේ ගුණයද ප්‍රකට වන්නේය’යි වැඩමවා ධර්‍ම සභාවෙහි බුද්ධාසනයෙහි වැඩහුන්සේක් ‘මහණෙනි, කවරනම් කථාවකින් යුක්තව හුන්නහුදැ’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, රාහුල තෙරණුන්ගේ අවවාදක්‍ෂම භාවය කීමු’යි භික්‍ෂූන්වහන්සේ පැවසූහ. ශාස්තෘන්වහන්සේ මේ කරුණ අරභයා රහල් තෙරණුන්ගේ ගුණය ප්‍රකට කරනු සඳහා මිගජාතකය ගෙනහැර දක්වා වදාළසේක.

ත්‍රිවිධශයනයක් ඇත්තාවූ නොයෙක් මායා දන්නාවූ, කුර අටක් ඇති අඩ රැයෙහි දිය බොන්නාවූ මුවාට (මුවමායං හොදින් ඉගැන්වීමි) (කෙසේදයත්) එක් නාස්තුඩුවකින් පොළොවට සුසුම් හරිමින් බෑනණුතෙමේ සවැදෑරුම් මෘගමායා කලාවෙන් (වැද්දා) ඉක්මවා සිටියි.

ඉක්බිති උන්වහන්සේට සත් අවුරුදු සාමණේ කාලයෙහි ‘රාහුල, ළදරු බවින් කෙළිපිණිසවත් දැන දැන බොරු නොකීය’යි අම්බලට්ඨිය රාහුලොවාද සූත්‍රය දෙසූසේක. අටළොස්වියැති සාමණේර කාලයෙහි බුදුන්වහන්සේ පිටුපසින් පිඬුපිණිස හැසිරෙමින් ශාස්තෘන්වහන්සේගේ මෙන්ම තමාගේද රූපසම්පත්තිය දැක ගෙහසිත විතර්‍කයෙන් විතර්‍කනය කරන්නහුට ‘යං කිඤ්චි රාහුල රූපං’ යනාදි නයින් මහාරාහුලොවාද සූත්‍රාන්තය දෙසූසේක. සංයුත්ත නිකායෙහි රාහුලොවාදයද අංගුත්තර නිකායෙහි රාහුලොවාදයද තෙරුන්වහන්සේගේ විදර්‍ශනාචාරයමයි. ඉක්බිති බුදුරජාණන්වහන්සේ ඔහුගේ ඥානපරිපාකය දැන උපසම්පදාවෙන් වර්‍ෂයක් නොපිරුණු භික්‍ෂුකාලයෙහි අන්‍ධවනයෙහි හුන්සේක් චූලරාහුලොවාදය දෙසූසේක. දෙසුම් කෙළවර රහල් තෙරණුවෝ කෙළදහසක් දෙවියන් සමඟ රහත් බවට පැමිණියහ. සෝවාන් සකෘදාගාමී අනාගාමී බවට පත් දෙවිවරුන්ගේ ගණනක් නැත. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි සඟමැද වැඩහුන්සේක් තෙරණුවන් මේ සසුනෙහි ශික්‍ෂාකාමීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

ශාස්තෘන්වහන්සේ කුරුරටෙහි චාරිකාව සඳහා නික්ම ථුල්ලකොට්ඨිතයට නොපත් කල්හි රට්ඨපාල කුලපුත් තෙමේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලබනලද ශ්‍රද්ධා ඇත්තේ මවුපියන් අනුදන්වාගෙන ශාස්තෘන්වහන්සේ වෙත එළඹ ශාස්තෘන්වහන්සේගේ ඇණවීමෙන් එක්තරා තෙර කෙනකුන් සමීපයෙහි පැවිදිවූයේය. ඔහු පැවිදිවූ දිනයෙහි පටන් සිටුගෘහපති තෙමේ තම නිවස දොරටුවෙන් යන භික්‍ෂූන් දැක නුඹවහන්සේලාට මේ ගෙහි කවර වැඩක්ද? මේ ගෙහි එක් පුතෙක් විය ඔහුගෙ ගිහය. දැන් කුමක් කරන්නහුදැයි බණියි. නින්දා කරයි. ශාස්තෘන්වහන්සේ අඩමසක් ථුල්ලකොට්ඨිතයෙහි වැස නැවත සැවතටම වැඩිසේක. එහිදී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ යෝනිසෝ මනසිකාරයෙහි කටයුතු කොට විදසුන් වඩා රහත්බවට පැමිණියහ. හෙතෙම ශාස්තෘන් අනුදන්වාගෙන මාපියන් දැකීමට ථුල්ලකොට්ඨිතයට ගොස් එහි ගෙපිළිවෙළින් පිඬු හැසිරෙන්නේ පිය නිවසෙහි පෙරදිග සවසට අයත් (පිළුණුවූ) කුම්මාසය ලැබ එය අමාව මෙන් වළඳන්නේ පියා විසින් ඇරයුම් කරනලද්දේ ඉවසා දෙවෙනි දිනයෙහි පියනිවසෙහි පිණ්ඩපාතය වළදා අලංකාර ලෙස සැරසුණු ස්ත්‍රීජනයන් කෙරෙහි අසුභසංඥාව උපදවා සිටියේම දහම් දෙසා දුනුදියෙන් මිදුණු හීයක් මෙන් අහසට පැන නැඟී කොරව්‍ය රජුගේ මිගාචිරයට ගොස් මගුල්ගල්තලාවෙහි හුන්නේ (තමන්) දැක්මට පැමින රජුට සතර විනාශයන් පිළිබඳ ධර්‍මයක් දෙසා පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ යළි ශාස්තෘන්වහන්සේ සමීපයටම පැමිණියේය. මෙසේ මේ වස්තුව නැඟීසිටියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ආර්‍ය්‍යසමූහයා මැද හුන්සේක් තෙරුන් මේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූ කුලපුතුන් අතුරින් අගතැන්හි තැබූසේක.