සැරියුත් මහ රහතන් වහන්සේ සහ මුගලන් මහ රහතන් වහන්සේ.

 

මෙයින් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි සැරියුත් තෙමේ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නේය. නමින් සරද මානවනම් වූයේය. මුගලන් තෙමේ ගෘහපතිමහාසාර කුලයෙහි උපන්නේය. නමින් සිරිවඞ්ඪ කෙළෙඹි නම්වූයේය. ඒ දෙදෙනාම වැළිකෙළියෙහි පටන් යහළුවෝ වූහ. සරද මානව තෙමේ පියාගේ ඇවෑමෙන් කුලයට අයත් මහාධනය පිළිපැද එක් දිනක් රහසිගතවූයේ, ‘මම ඉහාත්මභාවය ගැන පමණක්ම දනිමි. පරලොව ආත්මභාවය ගැන නොදනිමි. උපන්සත්‍වයන්ට මරණයනම් ඒකාන්තය, මවිසින් එක් පැවිද්දකින් පැවිදිව මොක්‍ෂධර්‍මගවේෂණයක් කිරීම වටනේය’යි සිතීය. හෙතෙම යහළුවා වෙත එළඹ ‘යහළු’ සිරිවඩ්ඪ, මම පැවැදිව මොක්‍ෂධර්‍මය සොයමි. ඔබ මා සමඟ පැවිදි වීමට හැක්කෙහිද නොහැක්කෙහිදැයි ඇසීය. නොහැක්කෙමි, යහළුව, ඔබම පැවිදි වන්නෙහි’යි කීය. හෙතෙම, පරලොව යන්නාහු යහළුවකු හෝ නෑමිතුරන් හෝ ගෙනගියෝ නම්නැත. තමා කළදෙය තමාටම වෙයි’යි සිතීය. ඉක්බිති රුවන්ගබඩාව අරවා දුගීමාගීයාචකයන්ට මහදන්දී පර්‍වතපාදයට පිවිස සෘෂිපැවිද්දෙන් පැවිදිවිය. ඔහුට එකෙක් දෙදෙනෙක් තිදෙනෙක්යයි මෙසේ අනුපැවිද්දෙන් පැවිදිවූ සිවුසැත්තෑදහසක් පමණවූ ජටිලයෝවූහ. හෙතෙම පංචාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ඒ ජටිලයන්ටද කසිණපරිකමර්‍ය කියාදුන්නේය. ඔහු සියල්ලෝද පංචාභිඥාද අෂ්ටසමාපත්තීන්ද ඉපදෙව්වාහුය.

එකල්හි අනොමදස්සී නම් බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. නුවර චන්‍දවතී නම් වූයේය. පියා යසවන්ත නම්වූ ක්‍ෂත්‍රියයායි. මව යශෝධරා නම් වූ දේවියයි. බෝධිය කුඹුක් ගසයි. නිසභ තෙරුන්ද අනෝම තෙරුන්ද යන දෙදෙනා දැගසව්වෝයි. උපස්ථායකයා වරුණ තෙරනම්වූයේයි. සුන්‍දරාද සුමනාද යනු අග්‍රශ්‍රාවිකා දෙදෙනායි. උන්වහන්සේට ආයුෂ (අවුරුදු) ලක්‍ෂයක් වූයේය. සිරුර අටපනස් රියන් උස් වූයේයි. සිරුරු පැහැය දොළොස් යොදුනක් පැතිරිණි. භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර ඇත්තෝවුසේක.

ඉක්බිති එක්දිනක් උදෑසන කල්හි මහාකරැණා සමවතින් නැඟිට ලොව බලනසේක් සරද තවුසා දැක ‘අද මා සරද තවුසා වෙත යාමේ හේතුවෙන් මහත් ධර්‍මදේශනාවක්ද වන්නේය. හෙතෙමේද අගසවු තනතුර පතන්නේය. ඔහුගේ යහළු සිරිඩ්ඪ කෙළෙඹියා දෙවැනි ශ්‍රාවක තනතුර (පතන්නේය) දෙසුම කෙළවර ඔහුගේ පිරිවර සිවුසැත්තෑ දහසක් ජටිලයෝ රහත්බවට පැමිණෙන්නාහුය. මා එහි යාමට වටනේය’යි තමාගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නොඅමතා සිංහයකු මෙන් ඒකචාරීවී සරද තවුසාගේ අතවැස්සන් පලාපල සඳහා ගිය කල්හි මාගේ බුදුබව දනීවායි සරද තවුසා බලාසිටියදීම අහසින් බැස පොළොවෙහි පිහිටි සේක. සරද තවුසා බුද්ධානුභාවයද උන්වහන්සේගේ ශරීරනිෂ්පත්තියද දැක ලක්‍ෂණ ශාස්ත්‍රය විමසා මේ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ තැනැත්තේ නම් ගිහිගෙහි වසන්නේ සක්විති රජ වෙයි. පැවිදිවන්නේ ලෝකයෙහි දුරුකළ මෝහාදිය ඇති බුදුකෙනෙක් වෙති. මේ පුරුෂයා නිසැකවම බුදුකෙනෙකැයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුනක් පනවා දුන්නේය. භාග්‍යවතුන්වහන්සේ පනවනලද අසුනෙහි වැඩහුන්සේක. සරද තවුසාද තමන්ට සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හුන්නේය.

එකල්හි සිවුසැත්තෑදහසක් ජටිලයෝ මිහිරිමිහිරිවූ ඔදවන් පලාපල ගෙන ඇදුරුවරයාගේ සමීපයට පැමිණියාහු බුදුන්වහන්සේද ඇදුරුවරයාද හුන්නාවූ අසුන් බලා, ‘ආචාරීනි, අපි මේ ලෝකයෙහි ඔබවහන්සේට වඩා උසස් වූවෙක් නැතැයි (සිතා) හැසිරෙමු. මේ පුරුෂයා ඔබවහන්සේට වඩා උසස්යයි හැඟේය’යි කීවාහුය. ‘දරුවනි, කුමක් කියහුද? අබැටක් සමඟ සැට අට ලක්‍ෂයක් යොදුන් උසැති මහමෙර සම කිරීමට කැමැත්තහුද? දරුවනි, සර්‍වඥවූ බුදුරදුන් සමඟ මා උවම් නොකරහු’යි තවුසා කීය. ඉක්බිති ඒ තවුසෝ ‘ඉදින් මෙතෙම ශ්‍රෙෂ්ඨ පුරුෂයෙක්නොවීනම් අපගේ ඇදුරුවරයා මෙබඳු උපමා නොඑළවන්නේය. මෙතෙම ඒකාන්තයෙන් මහාපුරුෂයකැ’යි (සිතා) සියල්ලෝම වැදහෙව හිසින් නැමඳූහ.

ඉක්බිති ඔවුන්ට ඇදුරුවරයා ‘දරුවනි, බුදුරජාණන්වහන්සේට සුදුසුවූ දියයුතු දෙයක් අපවෙත නැත. ශාස්තෘන්වහන්සේද පිඬුපිණිස හැසිරෙන වේලෙහි මෙහි පැමිණිසේක. අපිදු හැකි පරිද්දන් දානයක් දෙන්නෙමු. නුඹලා යම් යම් මිහිරිතමවූ පලවැලක් වේද ඒ ඒ දෙය ගෙනඑවයි ගෙන්වාගෙන අත්දොවා තෙමේ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටෙවව්වේය. ශාස්තෘන්වහන්සේ විසින් පලවැල පිළිගත් කෙනෙහි දෙවියෝ දිව්‍යඔජස් හෙළුවාහුය. තවුසා දියද තෙමේම පෙරා දුන්නේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ බත්කිස නිමවා හුන්කල්හි සියලු අත්වැසියන් කැඳවා ශාස්තෘන්වහන්සේ බත්කිස නිමවා හුන්කල්හි සියලු අතවැසියන් කැඳවා ශාස්තෘන්වහන්සේ අගසව්දෙනම බික්සඟන සමඟ පැමිණෙත්වායි සිතූසේක. උන්වහන්සේලා ශාස්තාන්වහන්සේගේ සිත දැන රහතුන්වහන්සේලා ලක්‍ෂයක් පිරිවරකොට ඇත්තෝ අවුත් ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය.

ඉක්බිති සරදතවුසා, ‘දරුවනි, බුදුරදුන් වැඩහුන් අසුනද පහත්ය. ශ්‍රමණයන්වහන්සේලා ලක්‍ෂයටද අසුන් නැත නුඹලාවිසින් අද උදාරවූ බුද්ධසත්කාරයක් කිරීමට වටනේය. පර්‍වතපාදයෙන් පැහැයෙන් සහ සුවඳින් යුත් මල්ගෙනෙවු’යි අතවැසියන් ඇමතීය. කියනකාලයම පමාවක්මෙන් වෙයි. සෘද්ධි ඇත්තවුන්ගේ වනාහි ගෝචරය අචින්ත්‍යයි. මොහොතකින් පමණ ඒ තවුසෝ පැහැයෙන් හා සුවඳින්යුත් මල් රැගෙන බුදුන්වහන්සේට යොදුනක් පමණවූ මලසුනක් පැනවූහ. අගසව් දෙනමට තුන්ගව්ද සෙසු භික්‍ෂූන්ට අඩයොදුන් ආදී භේද ඇත්තේද සංඝනවකයන්ට ඉස්බක් පමණදවිය. මෙසේ අසුන් පැනවුණු කල්හි සරද තවුසා තථාගතයන්වහන්සේගේ ඉදිරියෙහි ඇඳිළිබැඳ සිටියේ ‘ස්වාමීනි අපට බොහෝ කලක් හිතසුව සඳහා මේ මලසුනට නඟිනුමැනවයි කීවේය.

නොයෙක් මල්ද සුවඳද එකට රැස්කොට මලසුනක් පනවා මේ වචනය කීවේය.
(මහා) වීරය, ඔබට සුදුසුසේ මේ අසුන පනවනලදී. මගේ සිත පහදමින් මලසුනෙහි හිඳිනු මැනවි.
බුදුරජාණන්වහන්සේ සත් රෑදහවලක් දෙවියන් සහිත (ලොව) බබුළුවමින් මගේ සිත පහදවා මලසුනෙහි වැඩහුන්සේක.

ශාස්තෘන් වහන්සේ මෙසේ හුන් කල්හි අගසව් දෙනමද සෙසු භික්‍ෂූහුද තමතමන්ට ලැබුණු අසුන්හි හුන්නාහුය. සරද තවුසා මහත්වූ මල් කුඩයක් ගෙන තථාගතයන් මත්තෙහි දරමින් සිටියේය. ශාස්තෘන්වහන්සේ ජටිලයන්ට මෙම සත්කාරය මහත්ඵල වේවායි නිරෝධසමාපත්තියට සමවන්සේක. ශාස්තෘන්වහන්සේ සමවත් බව දැන දෑගසව්වෝද සෙසු භික්‍ෂුහුද සමවතට සමවන්නාහුය. තථාගතයන්වහන්සේ සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද හුන්කල්හි අතවැස්සෝ පිඬුසිඟා හැසිරෙන වේලාව පැමිණිකල්හි වනමුල්පල වළඳා සෙසු කල්හි බුදුන්ට ඇඳිලි බැඳ සිටිති. සරද තවුසා පිඬුහැසිරීමටද නොගොස් මල් කුඩය අල්වාගත් ක්‍රමයෙන්ම දිනසතක් ප්‍රීතිසුවයෙන්ම කල්ගෙවීය.

ශාස්තෘන්වහන්සේ නිරෝධයෙන් නැඟිට දකුණුපස්හි හුන් අගසව් නිසඟ තෙරුන් ඇමතූසේක. ‘නිසහය, සත්කාර කරන්නාවූ තවුසන්ට පුෂ්පාසනානුමෝදනාව කරව’ යනුවෙනි. තෙරුන්වහන්සේ සක්විති රජෙකුවෙතින් ලැබූ මහාලාභයක් ඇති යෝදයෙකු මෙන් සතුටු සිත්ඇත්තෝ ශ්‍රාවකපාරමීඥානයෙහි සිට මලසුන් අනුමෙවෙනි බණ ඇරඹූහ. උන්වහන්සේගේ දෙසුම අවසන්හි දෙවැනි සව් ඇමතූසේක. ‘මහණ, ඔබද ධර්‍මදේශනා කරන්න’ යනුවෙනි. අනෝමතෙරුන්වහන්සේ ත්‍රිපිටක බුද්ධවචනය විමසමින් ධර්‍මදේශනා කළහ. දෙසව්වන්ගේම දෙසුමෙන් එකෙකුටද අභසමය නොවූයේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ අප්‍රමාණවූ බුද්ධවිෂයෙහි සිට දම්දෙසුම ඇරඹූසේක. දෙසුම කෙළවර සරද තවුසා හැර සියලුම සිව්සැත්තෑදහසක් ජටිලයෝ රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ‘මහණෙනි, එවයි අත දිගහළසේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස්රවුළු අතුරුදහන්විය. අටපිරිකර සිරුරෙහි පැළඳගත්තෝම වූහ.

සරදතවුසා කුමක්හෙයින් රහත්බවට නොපත්වූයේදයත්? විසිරුණු සිත් ඇතිබැවිනි. ඔහුට වනාහි බුදුන්වහන්සේගේ දෙවැනි අසුනෙහි හිඳ ශ්‍රාවකපාරමීඥානයෙහි සිට දම් දෙසුම කරන්නාවූ අගසව්වන්වහන්සේගේ දෙසුම ඇසීමට පටන්ගත් අවස්ථාවෙහි සිට මම ද ඒකාන්තයෙන්ම අනාගතයෙහි පහළවන බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මේ ශ්‍රාවකයන්වහන්සේ විසින් ලබනලද තනතුර ලබන්නේනම් යෙහෙකැයි සිතක් උපන්නේය. හෙතෙම ඒ පරිවිතර්‍කනයෙන් මගපල අවබෝධකිරීමට අසමත්වූයේය. තථාගතයන්වහන්සේ වැඳ හමුවෙහි සිට, ‘ස්වාමීනි, නුඹවහන්සේට අනතුරු අසුනෙහි හුන්නාවූ භික්ෂුව නුඹවහන්සේගේ සසුනෙහි කවරෙක්නම් වේදැ’යි ඇසීය. ‘මාවිසින් පවත්වනලද ධර්‍මචක්‍රය අනුපවත්වන්නාවූ ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණි සොළොස්ඥානයන් අවබෝද කොට සිටියාවූ මෙතෙම මගේ සසුනෙහි අගසව් නම් වෙයි’යි පැවසූසේක. ‘ස්වාමීනි සත්දිනක් මල්කුඩයක් දරන්නාවූ මවිසින් යම් සත්කාරයක් කනරලද්දේද මම මෙහි ප්‍රතිඵලයෙන් අන්‍යවූ ශක්‍රආත්මයක් හෝ බ්‍රහ්මාත්මයක් නොපතමි. අනාගතයෙහිවනාහි මේ නිසඟ තෙරුන් මෙන් එක් බුදුකෙනෙකුන්ගේ අගසව් වන්නෙමියයි පැතුමක් කෙළෙමියි පැවසීය.

ශාස්තෘන්වහන්සේ මේ පුරුෂයාගේ ප්‍රාත්‍ථර්‍නය සඵල වන්නේදැයි අනාගතංසඥානය යොමා බලනසේක් කල්පලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයයක් ඉක්මවා සමෘද්ධවනබව දුටුසේක. දැක සරද තවුසාට, ‘ඔබගේ මේ පැතුම හිස්නොවෙයි. අනාගතයෙහිවනාහි කල්පලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයක් ඉක්මවා ගෞතමනම් බුදුකෙනෙක් උපදිති. ඔහුගේ මව මහමායා දේවිය නමු. පියා සුද්ධෝන මහරජ නමි. පුතා රාහුලනමි. උපස්ථායකයා ආනන්‍ද නමි. දෙවැනි සව්වා මුගලන් නමි. ඔබ වනාහි උන්වහන්සේගේ අගසව් වන දම්සෙනෙවි සැරියුත් වන්නෙහි’යි පැවසූසේක. මෙසේ තවුසාට විවරණදී දම්දෙසා බික්සඟන පිරිවරකොට ඇත්තාහු අහසට පැනනැගුණුසේක.

සරද තවුසාද අතවැසි තෙරුන් සමීපයට ගොස් ‘ස්වාමීනි, මගේ යහළුවාට, ඔබේ යහළු සරද තවුසා විසින් අනෝමදස්සී බුදුරදුන්ගේ පාමුලෙහි අනාගතයෙහි පහළවන ගෞතම බුදුරදුන්ගේ සසුනෙහි අගසව්තනතුර පතනලදී. ඔබ දෙවෙනි සව්තනතුර පතන්නැයි කියනු මැනවැ’යි යහළු සිරිවඩ්ඪ කෙළෙඹියාට හසුනක් යැවීය. මෙසේද කියා තෙරුන්වහන්සේලාට කලින්ම එක් පසෙකින් ගොස් සිරිවඩ්ඪගේ නිවෙසදොරටුවෙහි සිටියේය.

සිරිවඩ්ඪ තෙමේද බොහො‍්කලකින් මගේ ආර්‍ය්‍යයා ආයෝයැයි අසුනෙහි හිඳුවා තමා පහත් අසුනෙක හුන්නේ ‘ස්වාමීනී, ඔබවහන්සේගේ අතවැසි පිරිස නොපැනේයයි විමසීය. ‘එසේය, යහළුව, අපගේ අසපුවට අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ වැඩියහ. අපි උන්වහන්සේට අපගේ ශක්තියෙන් සත්කාර කෙළෙමු. ශාස්තෘන්වහන්සේ සැමට දහම්දෙසූසේක. දෙසුම කෙළවර මා හැර සෙස්සෝ රහත්බවට පත්වූවාහු පැවිදිවූහ’යි කීය. ‘ඔබ වහන්සේ කුමක් නිසා පැවිදි නොවූයේද? ‘මම ශාස්තෘන්වහන්සේගේ අගසව් නිසඟ තෙරුන් දැක අනාගතයෙහි පහළවන්නාවූ ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසව් තනතුර පැතුවෙමි. නුඹද උන්වහන්සේගේ සසුනෙහි දෙවැනිසව්තනතුර පතන්නැ’යි කීවේය. ‘බුදුවරුන් සමඟ මගේ (ඇසුරෙන්) පරිචයක් නැත. ස්වාමීනි’. ‘බුදුන්සමඟ කථාකිරීමට මට භාර වේවා. ඔබ මහත්වූ අධිකාරයක් (සත්කාරයක්) පිළියෙළ කරන්න.’

සිරිවඩ්ඪතෙමේ ඔහුගේ වචනය අසා තම නිවෙස දොරටුවෙහි රජමිම්මෙන් කිරියඅටක් පමණවූ තැන සමතලාකරවා වැලිවිසුරුවා විළඳ පස්වැනි කොට ඇති මල් විසුරුවා නිලුපුල් පියැසි ඇති මණ්ඩපයක් කරවා බුද්ධාසනය පනවා සෙසු භික්‍ෂූන්ටද අසුන් පිළියෙළකොටදී මහත්වූ සත්කාර සම්මාන සාදවා බුදුරදුන්ට ඇරයුම්කිරීම සඳහා සරද තවුසාට සංඥාවක් දුන්නේනය. තවුසා ඔහුගේ වචනය අසා බුදුපාමොක් බික්සඟන ගෙන ඔහුයේ නිවෙසට ගියේය. සිරිවඩ්ඪතෙමේ පෙරගමන්කොට තථාගතයන්වහන්සේගේ අතින් පාත්‍රය රැගෙන මණ්ඩපයට පිවිසුවා පනවනලද අසුන්හි හුන්නාවූ බුදුපාමොක් බික්සඟනට දක්‍ෂිණොදකයදී මිහිරි බොජුනෙන් වළඳවා බත්කිස අවසන්හි බුදුපාමොක් බික්සඟන මාහැඟි වස්ත්‍රයන්ගෙන් හඳවා, ‘ස්වාමීනි මේ පටන්ගැන්ම සුළුතැනක් සඳහා නොවේ. මේ නයින්ම දිනසතක් අනුකම්පා කරනු මැනවැ’යි කීවේය. ශාස්තෘන්වහන්සේගේ ඉවසූසේක. හෙතෙම ඒ නයින්ම සත්දිනක් මහදන් පවත්වා භාග්‍යවතුන්වහන්සේ වැඳ ඇඳිලිබැඳ සිටියේ, ‘ස්වාමීනි, මගේ යහළු සරද තවුසා යම් ශාස්තෘන්වහන්සේ කෙනෙකුට අගසව් වෙමැයි ප්‍රාර්ථනා කලේද? මම උන්වහන්සේටම දෙවැනි සව්වා වෙමැ’යිකීවේය.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ පැතුම ඉටුවනබව දැක විවරණ දුන්සේක. ‘ඔබ මෙයින් කල්පලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයක් ඉක්මවා ගෞතම බුදුන්වහන්සේගේ දෙවැනි සව්වා වන්නෙහිය’ යනුවෙනි. බුදුරදුන්ගේ විවරණය අසා සිරිවඩ්ඪතෙමේ තුටුපහටුවූයේය. ශාස්තෘන්වහන්සේද භුත්තානුමෝදනය කොට පිරිවරසහිතවූසේක් විහාරයටම වැඩිසේක. සිරිවඩ්ඪතෙමේ එතැන්පටන් දිවිඇතිතෙක් පින්කම්කොට දෙවැනි අත්බැව්හි කාමාවචර දෙව්ලොව උපන්නේය. සරද තවුසා සිවුබඹවිහරණ වඩා බඹලොව උපන්නේය.

එතැන්සිට මේ දෙදෙනාගේම අතුරැකර්‍මයක් නොකියනලදී. අපගේ බුදුරදුන්ගේ උපතට පෙරම සරද තවුසා රජගහනුවරට නුදුරෙි උපතිස්ස ගමෙහි සාරි නම්වූ බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. ඒදිනයෙහිදීම යහළුවාද රජගහනුවරටම නුදුරෙහි කොලතගමෙහි මොග්ගලී බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. ඒ කුලදෙකම සත්වැනි කුලපරපුරතෙක් එකට බැඳුණු යහළුකුලමය. ඒ දෙදෙනාටම එකම දිනෙක ගැබ් රැකවරණ දුන්නාහුය. දසමසක් ඇවෑමෙන් උපන්නාවූ ඔවුනට සසැටක් කිරිමවුවරුන් එළවූහ. නම්තබන දිනයෙහි සාරිබැමිණියගේ පුතුට උපතිස්සයයි නම් කළාහුය. අනෙකාට කෝලිත ගමේ දෙටු කුලයේ පුතු බැවින් කෝලයයි නම්කළාහුය. ඒ දෙදෙනාම වියට පැමින සියලු ශිල්පයන්ගේ පරතෙරට ගිහය.

උපතිස්ස මානවකයාට කෙළිපිණිස නදියට හෝ උයනට හෝ යනකල්හි රන්සිවි පන්සියයක් පිරිවරවිය. කෝලිත මානවකයාට පන්සියයක් ආජානෙයරථවිය. දෙදෙනාම පන්සියය බැගින්වූ මානවකයන් පිරිවර කොට ඇත්තෝවෙත්. රජගහනුවරෙහිද අවුරුදු පතා ගිරග්ග නමැති නාට්‍යඋත්සවයක්වෙයි. ඒ දෙදෙනාටම එකම තැනක හැඳ (අසුනක්) බදිත්. දෙදෙනාම එක්ව හිඳ නාට්‍යඋත්සවය නරඹන්නාහු සිනාසිය යුතු තන්හි සිනාසෙත්, සංවේග වියයුතු තන්හි සංවේගයට පත්වෙත්. තෑගි දියයුතු තන්හි තෑගි දෙත්. මේ ක්‍රමයෙන් එක් දිනක් නාට්‍යඋත්සවය නරඹන්නාවූ මේ දෙදෙනාගේ නුවණ මුහුකුරා ගිය හෙයින් මුල්දිනයෙහි මෙන් සිනාසිය යුතුතැන සිනහවක් හෝ සංවේග විය යුතු තැන සංවේගයක් හෝ තෑගිදියයුතු තැන තෑගි දීමක් නොවූයේය. දෙදෙනාම මෙසේ සිතූහ: ‘මෙහි බැලියයුත්තක් ඇත්ද? මේ සියල්ලම වසර සියයක් නොපැමිනිකල්හි (වසර සියයක් ගත වීමට පෙර) නොමැතිබවට යයි. අප විසින් වනාහි එක් විමුක්තිධර්‍මයක් සෙවීමට වටනේය’යි අරමුනක් ගෙන හුන්නාහුය.

ඉක්බිති කෝලත ‘යහළු උපතිස්ස, ඔබ අන් දිනක මෙන් තුටුපහටුවූයේ නොවෙහි, නොසතුටුස්වභාවය ඇත්තහි, නුඹ විසින් කුමක් සලකන ලදදැ’යි උපතිස්සට කීවේය. ‘යහළු කෝලිතය, මේවා බැලීමේ හරයක් නැත. මෙය නිසරුය. තමන්ගේ මොක්‍ෂධර්‍මයක් සෙවීමට වටනේයයි සිතමිනු හුන්නෙමි’යි උපතිස්ස කීවේය. ‘නුඹ වනාහි කුමක් නිසා නොසතුටු සිතැත්තහිදැ’යිද ඇසීය. හෙතෙමේද එයම කීවේය. ඉක්බිති ඔහුගේ තමා සමඟ එක් අදහස් ඇතිබව දැන උපතිස්සතෙමේ මෙසේ කීවේය. අප දෙදෙනා විසින්ම මනාව සිතනලදී. මෝක්‍ෂ ධර්‍මයක් සොයන්නවුන් විසින් ඒක පැවිද්දක් ලැබීමට වටී. කවරකු සමීපයෙහි පැවිදි වෙමුද’ යනුවෙනි.

එකල්හි සංජය පරිබ්බාජකතෙමේ මහත් පිරිවැජි පිරිසක් සමඟ රජගහනුවර වාසය කරයි. ඔවුහු ඔහුගේ සමීපයෙහි පැවිදිවෙමුයි මානවකයන් පන්සියයක් සමඟ සංජයගේ සමීපයෙහි පැවිදිවූහ. ඔවුන් පැවිදිවූ කාලයෙහි සිට සංජය තෙමේ අතිරේක ලාභයෙන් හා කීර්තියෙන් අග බවට පත්වූයේවිය. ඔවුහු කිහිපදිනකින්ම සංජයගේ සියලු සමය (දහම) පිරිමැඳ ‘අඳුරනි, ඔබ දන්නා දහම මෙපමණෙක්මද නැතහොත් මත්තෙහිත් ඇද්දැ’යි ඇසූහ. සංජය තෙමේ, මෙපමණෙක්මය. ඔබව විසින් සියල්ල දන්නාලදැ’යි කීය. ඔවුහු ඔහුගේ කථාව අසා’ මෙසේ ඇති කල්හි මොහුගේ සමීපයෙහි බඹසර විසුම නිසරුය. අපි මොක්‍ෂධර්‍මයක් සෙවීමට නික්මුණෙමු. එය මොහුගේ සමීපයෙහි ඉපදවීමට නොහැකිය. දඹදිව වනාහි ඉමහත්ය. ගම්නියම් රජදහන්හි හැසිරෙන්නාහු අවශ්‍යයෙන්ම මෝක්‍ෂධර්‍මදේශක එක් ආචාර්‍ය්‍යවරයකු ලබන්නෙමු’යි සිතූහ. ඔවුහු එතැන්පටන් යම්යම් තන්හි පණ්ඩිත වූ මහණ බමුණන් ඇතැයි අසත්ද ඒ ඒ තන්හි ගොස් ප්‍රශ්න සාකච්ඡා කරත්. ඔවුන් විසින් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට සමත් අනෙකෙක් නැත. ඔවුන් දෙදෙනා වනාහි ඔවුන්ගේ ප්‍රශ්න විසඳත් මෙසේ සියලු දඹදිව පරීක්ෂා කොට පෙරළා සිය තැනටම අවුත් ‘යහළු කෝලිත යමෙක් පළමුව අමාව (විමුක්තිය) ලබා ගනියිද හෙතෙම සැළකරාවා’යි කතිකා කළාහුය.

එකල්හි අපගේ ශාස්තෘන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පත්ව පවත්වනලද උතුම් දම්සක් ඇත්තෝ පිළිවෙළින් රජගහනුවරට සැපත්වූවෝවෙත්. ඉක්බිති සැටඑක්නමක් රහතන්වහන්සේලා ලොව පහළවූවාහුවෙතැයි කියනලදකල්හි ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිත සඳහා සැරිසරවුයි තෙරුවනෙහි ගුණ පැවසීම සඳහා මෙහෙයවන ලද භික්‍ෂූන් අතුරෙහි පස්වග මහණුන්ට අයත්වන අස්සජි තෙරුන්වහන්සේ පෙරළා රජගහනුවරටම පැමිණියේ දෙවන දිනයෙහි උදැසනම පාසිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස හැසුරුණහ.

එකල්හි උපතිස්ස පිරිවැජිතෙමේ උදෑසනම බත්කිසකොට පිරිවැජි අරමට යන්නේ තෙරුන් දැක, මාවිසින් මෙබඳුවූ පැවිද්දෙක් නොදුටුවිරූය. ඒකාන්තයෙන් ලෝකයෙහි රහත් වූහෝ රහත් මඟට පිළිපන්වූ යමෙක් වෙත්ද මෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් කෙනෙකි. මම මේ භික්‍ෂුව වෙත එළඹ ඇවැත්නි, නුඹ කවරකු උදෙසාපැවිදි වූයෙහිද? ඔබගේ ශාස්තෘවරයා හෝ කවරෙක්ද? නුඹ කවරෙකුගේ ධර්‍මයට රුචි වෙහිදැ’යි අසන්නෙම්නම් යෙහෙකැයි සිතීය. ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් විය. මේ භික්‍ෂුවගෙන් ප්‍රශ්න විචාරීමට මේ නොකල්ය. ඇතුළු ගමට පිවිසියේ පිඬුපිණිස හැසිරෙයි. මේ භික්‍ෂුව පිටුපසින් පිටුපසින් ළුහුබඳින්නේ නම් යෙහෙයක. අවශ්‍යතාව ඇත්තවුන් විසින් මඟ අනුදන්නාලදැ’යි යනුවෙනි. ලැබූ පිණ්ඩපාතය ඇති, කිසියම් තැනකට යන්නාවූ තෙරුන්වහන්සේ දැක, උන්වහන්සේගේ හිඳිනු කැමැත්ත දැන තමන්ගේ පිරිවැජි පුටුව පනවා දුන්නේය. කරනලද බත් කිස අවසන්හිද උප්වහන්සෙට තමාගේ කෙණ්ඩියෙන් දිය දුන්නේය.

මෙසේ ඇදුරුවත්කොට කරනලද බත්කිසඇති තෙරුන් සමඟ මිහිරි පිළිසඳරකොට ‘ඇවැත්නි, ඔබවහන්සේගේ ඉඳුරෝ ප්‍රසන්නයහ. සමේපැහැය පිරිසුදුය. පැහැපත්ය. ඇවැත්නි, ඔබවහන්සේ කවරෙකු උදෙසා පැවිදිවූවහුද? ඔබවහන්සේගේ ශාස්තෘන්වහන්සේ හෝ කවරෙක්ද? නුඹවහන්සේ කවරකුගේ දහම රුචි කරන්නහුදැ’යි ඇසීය. තෙරුන්වහන්සේ, ‘ඇවැත්නි, ශාක්‍යකුලයෙන් පැවිදිවූ ශාක්‍යපුත්‍රවූ මහාශ්‍රමණයෙක් ඇත. ඒ භාග්‍යවතුන් උදෙසා මම පැවිදි වූයෙමි. හෙතෙමේ මගේ භාග්‍යවත් වූ ශාස්තෘන්වන්සේය. ඒ භාග්‍යවතුන්වහන්සේගේම ධර්‍මය මම කැමති වෙමි’යි කීහ. ඉක්බිති උන්වහන්සේගෙන්, ආයුෂ්මතුන්ගේ ශාස්තෘවරයා කුමක් ප්‍රකාශ කරන්නේද, කුමක් කියන්නේදැයි ඇසීය. ‘මේ පිරිවැජියෝ නම් සසුනට ප්‍රතිපක්‍ෂවූවෝය. මොහුට සසුනේ ගැඹුරුබව දක්වනනෙමි’යි තෙරුන්වහන්සේ සිතූහ. තමන්ගේ (සසුනට) අලුත්බව දක්වමින් මෙසේ කීහ. ‘ඇවැත්නි, මම වනාහි නවකයෙක්මි, ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍මවිනයට අලුත පැමිණියෙක්මි. මම තවමත් විස්තර වශයෙන් ධර්‍මය ප්‍රකාශකිරීමට අපොහොසත් වන්නෙමි’ යනුවෙනි. පිරිවැජිතෙමේ, ‘මම උපතිස්ස නමි. ඔබවහන්සේ හැකිපමණින් මඳක් හෝ බොහෝවක් හෝ කියනු මැනවි. මෙය නයසියයෙන් නයදහසින් වටහා ගැනීම මට භාරයයි සිතා (මෙසේ) කීවේය:

ම‍දක් හෝ බොහෝවක් හෝ කියනු මැනවි, මට අත්‍ථර්‍ය පමණක්ම කියන්න. අත්‍ථර්‍යෙන් පමණක්ම මට වැඩ ඇත. බොහෝවූ බ්‍යංජනය කුමක් කරන්නේද

මෙසේ කීකල්හි තෙරුන්වහන්සේ ‘යෙ ධම්මා හෙතුප්පභවා’ යන ගාථාව කීහ. පරිබ්බජකතෙමේ පළමු පාද දෙක අසාම දහසක් නයින් යුතු සොවාන් පෙලෙහි පිහිටියේය. ඉතිරි පාදදෙක සෝවාන්වූ කල්හි නිමවීය.

සෝවාන් වූවෙක්වී මතුවිශේෂතාවන් නොපවත්නා කල්හි මෙහි කරුණක් වන්නේයයි සලකා. ස්වාමීනි, මත්තෙහි ධර්‍මදේශනාව නොවඩනු මැනව. මෙපමණක්ම වේවා! අපගේ ශාස්තෘන්වහන්සේ කොහි වසනසේක්දැයි තෙරුන්වහන්සේගෙන් ඇසුවේය. ‘පිරිවැජිය. වෙළුවනයෙහිය’. ‘ස්වාමීනි, අපට පෙරටුව වැඩමවන්න. මගේ එක් යහළුවෙක් ඇත. අප විසින්, ‘යමෙක් පළමුව විමුක්තිය අවබෝද කරයිද හේ සැලකරාවා’යි ඔවුනොවුන්ට කතිකාවක් කෙළෙමු. මම ඒ පොරොන්දුව මුදා යහළුවා රැගෙන නුඹවහන්සේ ගිය මගින්ම ශාස්තෘන් සමීපයට එන්නෙමි’යි පසඟ පිහිටුවීමෙන් තෙරුන්ගේ පාළඟ හෙව තෙවරක් පැදකුණුකොට තෙරුන්වහන්සේ පිටත් කොට යවා පිරිවැජි අරම දෙසට ගියේය.

කෝලිත පිරිවැජිතෙමේ එන්නාවූ ඔහු දුරදීම දැක, අද මගේ යහළුවාගේ මුවපැහැය අන් දිනයන්හි මෙන් නොවේ. ඒකාන්තයෙන්ම මොහු විසින් නිවණ අවබෝද කරන්ලද්දේවන්නේයයි (සිතා) නිර්‍වාණාධිගමය ගැන විමසීය. හෙතෙමේද මොහුට, ‘එසේය ඇවැත, නිවන අවබෝධකරනලදැ’යි හඟවා ඒ ගාථාවම කීවේය. ගාථාවගේ කෙළවර කොලිත තෙමේ සෝවාන් පෙලෙහි පිහිටා, යහළුව, ශාස්තෘන්වහන්සේ කොහි වෙසේදැයි ඇසීය. ‘යහළුව, වෙළුවනයෙහිය, මෙසේ අපගේ ආචාර්‍ය්‍යවූ අස්සජිතෙරුන් විසින් කියනලදැයි පැවසීය. ‘එසේනම් යහළුව, යමු ශාස්තෘන්වහන්සේ බලන්නෙමු’යි කීය. සැරියුත්තෙරුන් නම්වූ මෙතෙම හැමකල්හිදු ගුරුපුද කරන්නෙක්මය, එබැවින් යහළු කෝලිත මානවකයාට, ‘යහළුව, අපවිසින් ලබාගත් විමුක්තිය ගැන අපගේ ඇදුරුවූ සංජය පිරිවැජියාටද කියමු. අවබෝධ කරන්නේ ප්‍රතිවෙධ කරන්නේය. ප්‍රතිවෙධ නොකරන්නේ අප අදහා ශාස්තෘන් සමීපයට යන්නේය. බුදුන්වහන්සේගේ දෙසුම අසා මාර්‍ගඵලප්‍රතිවේධකරන්නේ’ යයි පැවසීය.

ඉක්බිති දෙදෙනාම සංජය සමීපයට ගොස්, ‘ඇදුරනි, නුඹ කුමක් කරන්නෙහිද? ලොව බුදුකෙනෙක් පහළවූහ. ධර්‍මය මනාව දෙසනලදී. සංඝයා මනාව පිළිපන්නේය. යමු දශබලයන්වහන්සේ දකින්නෙමු’යි කීය. හෙතෙම, ‘දරුවනි කුමක් කියහුදැ’යි ඔවුන්ද වළක්වා මහත්ලාභකීර්තීන්ට පැමිණීම ගැනම ඔවුන්ට කීවේය. ඔවුහු, ‘අපගේ අතවැසිබව නිබඳවම වේවා, නුඹවහන්සේගේ යාම හෝ නොයාම දනුමැනව’යි කීවාහුය. සංජය තෙමේ මෙපමණක් දන්නාවූ මොවුන් මගේ කීම නොකරතැ’යි දැන ‘දරුවනි, නුඹලා යන්න. මම මහළු කල්හි අතවැසිව විසීමට නොහැක්කෙමි’යි කීවේය. ඔවුහු නොයෙක් කරුණුවලින් ඔහු අවබෝධකරවීමට නොහැක්කාහු තම අවවාදයෙහි පිහිටන ජනයා රැගෙන වෙළුවනයට ගියාහුය. ඉක්බිති ඔවුන්ගේ අතවැසි පන්සියයෙන් දෙසියපනසක් දෙනා නැවැත්තාහුය. දෙසියපනසක් දෙනා ඔවුන් සමඟ ගියාහුය.

ශාස්තෘන්වහන්සේ සිවු පිරිස මැද දහම් දෙසනසේක් ඔවුන් දුරදීම දැක, ‘මහණෙනි, කෝලිත සහ උපතිස්ස යන මේ දෙයහළුවෝ පැමිණෙති. මේ මාගේ යහපත්වූ අගසව් යුවළ වන්නේය’යි භික්‍ෂූන් අමතාවදාළසේක. ඉක්බිති ඒ පිරිසට හැසිරීම්වශයෙන් දහම් එළවූසේක. දෙඅගසව්වන් හැර ඒ සියලු දෙසිය පණසක් පිරිවැජියෝ රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ‘එව් මහණෙනි’යි අත විදහු සේක. සියල්ලන්ගේ කෙස්රැවුළු අතුරුදහන් විය. සෘද්ධිමයවූ පාසිවුරු පැමිණියේය. මතුමග තුන පිළිබඳ කිස නොනිමියේය. කුමක් හෙයින්ද යත්? ශ්‍රාවක පාරමීඥානයේ මහත්බව නිසාය.

ඉක්බිති ආයුෂ්මත් මුගලන් තෙමේ පැවිදිවූ දිනෙන් සත්වැනි දිනයෙහි මගධ රට කල්ලවාල ගම ඇසුරුකොට මහණදම්කරන්නේ ථිණමිද්ධය බැස ගන්නා කල්හි ශාස්තෘන්වහන්සේ විසින් උත්සාහවත් කරනලද්දේ ථිනමිද්ධය දුරුකොට තථාගතයන්වහන්සේ විසින් දෙන ලද ධාතු කර්‍මස්ථානය අසමින්ම මතුමගතුනෙහි කිස නිමවා ශ්‍රාවකපාරමීඥානයේ මුදුන්පත් වූයේය. සැරියුත් තෙරණුවෝද පැවිදිවූ දිනෙන් අඩමසක් ඉක්මවා ශාස්තෘන්වහන්සේ සමඟ එම රජගහනුවර ඇසුරුකොට සූකරඛත ලෙණෙහි වසන්නාහු තමන්ගේ බෑණණුවන්වූ දීඝනඛ පිරිවැජියාට වෙදනාපරිග්ගහ සූත්‍රාන්තය දෙසනුලබන කල්හි සූත්‍රානුසාරයෙන් ඥානය යොමු කොට අනුනට වඩනා ලද බතක් වළඳන්නකු මෙන් ශ්‍රාවක පාරමී ඥානයේ මුදුන් පත්වූහ. උන්වහන්සේගේ බෑණා දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහිටියේය. මෙසේ මහසව්වන් දෙදෙනාගේම තථාගතයන්වහන්සේ රජගහනුවර වෙසෙත්දීම ශ්‍රාවකපාරමීඥාන කෘත්‍යය මුදුන් පැමිණියේය. පසුකලෙකවනාහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවසනසේක් මහපැනවතුන් අතුරෙන්. යම් මේ සැරියුත් තෙරණුවෝද සෘද්ධිමතුන් අතුරෙන් යම් මේ මුගලන් තෙරණුවෝදැයි දෙඅගසව් තනතුරෙහි තැබූසේක.