බාල පණ්ඩිත සූත්‍රයෙහි දැක්වෙන පරිදි,

මේ මහා සාගරයට ම පාවෙන එකම වියසිදුරක් ඇත්නම්, එම වියසිදුර සියලු දිසාවන්ට හමන සුළඟ නිසා සියලු දිසාවන්ට පාවී යයි නම්,

අවුරුදු සියයකට වරක් සාගරය මතට පැමිණ අහස බලන එක ඇසක් පෙනෙන කැස්බෑවෙක් ඇත්නම්,

එම කණ කැස්බෑවා එම වියසිදුරෙන් ම අහස බැලීම සිදු විය හැකි වාර ගණන කොතරම් දුර්ලභද ?

( එය සිදුවිය නොහැකි යැයි කෙනෙකුට සිතන තරම් දුර්ලභ ය )

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එම කණකැස්බෑවා එම වියසිදුරෙන්ම අහස බලන වාර ගණනටත් වඩා අඩු වාර ගණනකින්, සතර අපායට වැටුණ මනුෂ්‍යයෙකු නැවත මනුෂ්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබන බව ය.

නමුත් අපි සියලු දෙනා බොහෝ වර මනුෂ්‍යයව ඉපදී ඇති බව පිළිගනිමු.

මේ අනුව,

සිදු විය නොහැකි මට්ටමේ දෙයක් පවා, ඉතා දීර්ඝ කාලයක් තුළ ( 1 වරක් හෝ ) සිදුවිය හැකි බව බොහෝ දෙනෙකු පිළිගනී.

මේ අනුව,

යම් කාලයක් තුළ, යම් දෙයක් එකවරක් සිදු විය හැකි නම්,

ඊට වඩා දීර්ඝ කාලයක් තුළ,

අතිදීර්ඝ කාලයක් තුළ එම දෙයම නැවත නැවත සිදු විය හැකි බව පිළිගැනීමට සිදු වේ.

උබ්බරී කථා වස්තුවේ ද දක්වා ඇත්තේ සසරෙහි ඇති අතිදීර්ඝ බව ය.

එකම නමකින්,

එකම ස්ථානයක,

එකම ස්වාමියාට බිරිඳ ව,

86,000 වතාවක් ඉපදී,

එකම ආකාරයෙන් වැලපීමට සිදුවීම බොහෝ දෙනෙකුට විශ්මයජනක කරුණක් ලෙස වැටහෙනු ඇත.

සංසාරය අති දීර්ඝ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත. එය ( සසරෙහි ඇති දීර්ඝ බව ) සාමාන්‍ය ජනයාට පැහැදිලි කර දීම පහසු නොවන තරම් අති දීර්ඝ බවකි.

බොහෝ දෙනෙකු විශ්මයට පත් වන්නේ එකම දෙය නැවත නැවත එකම ලෙස සිදුවීම පිළිබඳ ව ය.

නමුත් එහි ගැබ්ව ඇති, අතිශය විශ්මයජනක කරුණ නම්,

මෙවැනි ප්‍රකාශයක් කරන්නා වූ සෘෂි වරයෙක්ගේ අභිඥාවෙන් දැකිය හැකි පරාසයෙහි ඇති අතිපුළුල් බවයි.

එක් සත්වයෙක් බ්‍රහ්ම ලොකයන්, දිව්‍ය ලෝකයන්, මනුෂ්‍ය ලෝකය හා සතර අපායන් අතර මැරි මැරී ඉපදෙමින් ගෙවන සංසාරයෙහි විවිධත්වය අචින්ත්‍යය ය. උදාහරණයක් ලෙස තිරිසන් ලෝකයෙහි පමණක් තිරිසනුන් වර්ග ගණනය කළ නොහැකි ප්‍රමාණයක් ඇත. එම හැම භවයකම අප ඉපදී ඇත. සසර එතරම් දිග ය. ඒ ඕනෑම භවයක් ගත් කල, එම එක භවයක අප බොහෝ වාර ගණනක් ඉපදී ඇත. සසර එතරම් අති දීර්ඝ ය.

පැහැදිලි කරණ ලද මෙම ප්‍රමාණය මදි යැයි සිතේ නම් උදාහරණ සහිතව පැහැදිලි කළ හැකිය.

උබ්බරී කථාවස්තුවෙන් අවබෝධ කරගත යුත්තේ සසරෙහි ඇති අති දීර්ඝ බව හා ඕනෑම සිදුවීමක් බොහෝ වාර ගණනක් එකම ලෙස සිදු වී ඇති බව ය.

මේ අනුව,

අප කරන බොහෝ දේ සිදු කරන්නේ ද, මුහුණපෑමට සිදුවන බොහෝ අවස්ථාවන්ට ද මුහුණ පාන්නේ ද, පළමු වතාවට නො වන බව ය.

අති දීර්ඝ සසර තුල කවදාවත් සිදු නොවුන කරුණු කිහිපයක් ඇත.

1. සෝතාපන්න මාර්ග සිත, ඵල සිත අපගේ චිත්ත පරම්පරාවේ හි ඇති වී නොමැත.

2. සකදාගාමී මාර්ග සිත, ඵල සිත අප අත්දැක නැත.

3. අනාගාමී මාර්ග සිත, ඵල සිත අප අත්දැක නැත.

4. සුද්ධාවාස බ්‍රහ්ම තලයන්හි කිසි දා අප ඉපදී නැත.

5. අර්හත්වයෙහි සුවය අප අත්දැක නැත.

6. නිවනෙහි සුවය අප අත්විඳ නැත.

මහත් වූ පරාක්‍රමයකින්, මහත් වූ වීර්යයකින් පාරමී දම් පුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වන්නේ,

සියලු සත්වයන්හට කිසිදා නොලැබුන අතිශය සුව දායක නිවන් සුවය ලබා දෙනු පිණිස ය. සසරෙහි ඇති අති මහත් දුකෙන් ගලවා ගනු පිණිස ය.

මෙතරම් වෙහෙස වී භාග්‍යවතුන් වහන්සේ මනා කොට ධර්මය දේශනා කොට ඇති කල්හි ත් බොහෝ දෙනා ඉතා වැදගත් යැයි සිතා අතිශයින් වෙහෙස වන්නේ, පෙර සංසාරයේ බොහෝ වාර ගණනක් අත්විඳ ඇති සිදුවීම් ( අලුත් සිදුවීම් යැයි සිතා ) තව වරක් හෝ අත්විඳීමට ය.

අති දීර්ඝ සංසාරයේ තුළ නැවත නැවත කරන ලද කාර්යයන් ම,

මේ ජීවිතය තුළ ද නැවත නැවත කිරීමට වෙහෙස වීම පසෙක තබා,

කිසි දා අත් දැක නැති නිවන් සුවය සාක්ෂාත් කිරීම පිණිස සියල්ලෝ ම වෑයම් කරත් වා !