රාජා කාලිඞ්ගො චක්කවත්තී – ධම්මෙන පඨවි මනුසාසං,

අගමා බොධි සමීපං – නා ගෙන මහානුභාවෙනා තී

කාලිංග නම් වූ සක්විති රජු ධර්මානුකූලව පොළොව (රාජ්‍යය) අනුශාසනා කරන්නේ මහත් වූ ආනුභාවයෙන් යුක්ත ඇතුපිටින් ශ්‍රී මහා බෝධිය සමීපයට ගියේය.

ඉක්බිති රජුගේ පුරෝහිතයා රජු සමග යන්නේ අහසෙහි ආවරණයක් නම් නැත. කවර කරුණකින් රජු ඇතු මෙහෙයවන්නට නොහැකි වේදැයි විමසන්නෙමියි අහසින් බැස සියළු බුදුවරුන්ගේ ජයපළඟ වූ පොළොවෙහි නැඹ වූ මහමෝමැඩ දුටුවේය. එකල්හි එහි රාජකීය මිනුමෙන් අටකිරියක් පමණ තැන සාවුන්ගේ දැලි රැවුල් පමණුදු තණ ගසක් නම් නැත. රිදීපටක පැහැ ඇති වැලි විසුරුනේ වෙයි. හාත්පස තණකොළ-වැල්-වනස්පතීහු බෝමැඩ ප්‍රදක්‍ෂිණා කර කරකැවී බෝමැඩට අභිමුඛව සිටියාහුය. පෙරෙවි බමුණා බිමිකොටස බලා මෙය සියළු බුදුවරුන්ගේ සියළු කෙලෙස් නසන තැනයි. මෙහි මතු භාගයෙන් ශක්‍ර ආදීන් විසින්ද යන්නට නොහැකි යයි සිතා කාලිංග රජුගේ සමීපයට ගොස් බෝමැඩෙහි වර්ණනාව කියා රජු බිමට බසුවයි කීවේය.

කාලිංග භාරද්වාජ පුරෝහිත බමුණා බිම පරීක්‍ෂා කර බලා චක්‍රය ප්‍රවර්තනය කරන (සක්විති වූ) මේ තවුසාගේ පුත් වූ කාලිංග රජුට බඳෑදිළිව මේ බව කීවේය.

යම් සේ මෙම භූමිභාගය බුදුවරුන් විසින් වර්ණනා කරන ලදද මහරජතුමනි, බිමට බසුව. මෙහිදී අපමණ වූ බුදුවරු බුද්ධත්වයට පත්වූවාහු බබළති.

මේ භූමිභාගයෙහි තෘණ ලතාවෝ දක්‍ෂිණාවෘතව කැරකැවී සිටිති. මහරජතුමනි, මෙය මහාපොළොවෙහි උසස් තැන යයි අප විසින් අසන ලදි.

මේ ස්ථානය සයුර කෙළවර කොට ඇති සියළු සතුන් දරා සිටින්නා වූ පෘථිවියෙහි උසස් තැනයි. බැස නමදිනු මැනවි.

මවගෙන්ද පියාගෙන්දැයි (උභය පාර්ශ්වයෙන්ම) උසස් වූ ජන්ම ඇති යම් මේ ඇත්තු වෙත්ද? ඒ ඇත්තු මෙතෙක් කල් මේ ප්‍රදේශයට නොඑළඹෙත්මය.

ඔබගේ ඇතා උසස් ජන්ම ඇත්තියෙකි. දළ ඇති ඒ ඇතු ඒකාන්තයෙන් මෙහෙයවේවා! මෙතෙක් මේ ප්‍රදේශය ඇතුපිට නැගී එළඹෙන්නට නොහැකිය.

කාලිංග රජු ඒ අසා පණ්ඩිත වූ ලක්ෂණ ශාස්ත්‍ර දන්නා වූ ඒ බ්‍රාහ්මණයාගේ වචනයට එසේම වන්නේදැයි තත්වූ පරිදි දැනගන්නෙමුයි කියා ඇතු මෙහෙයවීය.

රජතුමා විසින් මෙහෙයවන ලද ඇතා කොස්වා ලිහිණියෙකු මෙන් නාද කර මහත් වූ බරක් නොඉවසන්නෙක් මෙන් පසුබැස සිටියේය.

සියළු බුදුවරුන් විසින් වර්ණනා කරන ලද. අසමාන වූ. අප්‍රමාණ වූ. නසන ලද සියළු කෙලෙස් නම් අඳුර ඇති මධ්‍යාහ්නයේ හිරු මෙන් මෙහි හුන්නාහු බබලත්. යොදුන් දෙලක්‍ෂ සතලිස් දහසක් ඝන වූ පෘථුවියෙහි උසස් වූ සාර වූ මැඩලිය නොහැකි වූ සෙලවිය නොහැකි වූ තැනයි. කල්පය නැවත හටගන්නා කල්හි පළමුව හටගනී. නැසෙන කල්හි පසුව නැසේ. අප විසින් ලක්‍ෂණ ප්‍රකාශිත මන්තර වශයෙන් මෙසේ අසන ලදි. අහසින් බැස සියළු බුදුවරුන්ගේ කෙලෙස් පඳුරු නසන්නා වූ මේ තැනට නමස්කාර කරව. පූජාසත්කාර කරව.

යම් ඒ සක්විති රජුගේ හස්තිරත්නය නම් වූ උපෝෂත කුලයෙහි උපන් ඇත්තු. දියමන්තිමය හෙණ්ඩුවෙන් සංඥා දී මෙහෙයවයි. ඒ ඇතා ඒ රජු විසින් දියමන්තිමය හෙණ්ඩුවෙන් මෙහෙයවා පිටත්කර හරනා ලදුයේ කොස්වාලිහිණි පක්‍ෂියෙකු මෙන් නාදකොට පසුබැස සොඬය ඔසවා බෙල්ල උඩට නවා මහත් වූ බරක් ඉසිලීමට නොහැකි වන්නෙක් මෙන් අහසෙහිම හුන්නේය.

ඒ ඇතු එම කාලිංග රජු විසින් නැවත නැවතත් විදිනු ලබන්නේ වේදනාව ඉවසන්නට නොහැකි වන්නේ කළුරිය කළේය. රජු ඌ මළ බව නොදන්නේ එලෙස හුන්නේම වීය.

කාලිංග භාරද්වාජ බමුණා ඇතා මළ බව දැන කාලිංග රජුට මෙසේ කීවේය. මහරජතුමනි, ඇතා මළේය. අන් ඇතෙකු වෙත එළඹෙවයි.

තොපගේ ඇතා මරණයට පත් වූයේය. කවරක් කරන්නාහු නමුත් ඇතු පිට හුන්නහු විසින් බෝමැඩ මත්තෙන් යන්නට නොහැකිය. අන් ඇතෙකු වෙත මාරු වෙවයි.

රජුගේ පුණ්‍යමය සෘද්ධි බලයෙන් උපොසථ කුලයෙන් අන් ඇතෙක් අවුත් පිට නැමුවේය. රජු උගේ පිටෙහි හුන්නේය. එකෙනෙහිම මළ ඇතා බිම වැටුනේය.

කාලිංග රජු ඒ අසා වහා අන් ඇතකු පිට නැගුනේය. රජ මාරුවූ කල (මළ) ඇතා එහිම බිම වැටුණි. පණ්ඩිත වූ බමුණාගේ වචනය යම්සේ වීද එසේ ඇතු (මරණයට පත්වූයේ) වීය.

ඉක්බිති රජු අහසින් බැස බෝමැඩ බලා පෙළහර දැක භාරද්වාජට ස්තුති කරන්නේ (මෙසේ) කීවේය.

කාලිංග රජු කාලිංග භාරද්වාජ බමුණාට මෙම වචනය කීවේය. ඔබම සියල්ල දන්නා වූ දක්නා වූ සම්බුදු වෙහිය.

කාලිංග බ්‍රාහ්මණයා එය නොඉවසන්නේ තමා පහත් තැනෙහි තබා බුදුවරුන්ම උසස්කොට වර්ණනා කළේය.

කාලිංග බ්‍රාහ්මණයා එම වචනය නොඉවසන්නේ මෙය කීවේය. මහරජතුමනි, අපි ලක්‍ෂණ ශාස්ත්‍රය දන්නෝ වෙමු. බුදුවරු සියල්ල දත්තෝ වෙති.

බුදුවරු ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොව, සර්වඥතාඥානයෙන් සියල්ල දන්නාහුය. සියල්ල අවබෝධ කළාහුය. අපි උගත් දෙය බලය කොට ඇත්තෝ එක දේශයක් දත්තෝ වෙමු. බුදුවරු වූ කලී සියල්ල දනිත්.

මහරජතුමනි, අපි ලකුණු දැක විස්තර කරන්නට සමර්ථ වූවෝ වෙමු. එහෙයින් සුතබුද්ධ නම් වෙමු. බුදුවරු වනාහි සියල්ල දත්තෝය. සියල්ල අවබෝධ කළාහුය. බුදුවරු අතීතාදී සියල්ල දනිත්. ප්‍රකාශ කරත්. උන්වහන්සේලා සර්වඥතාඥානයෙන් සියල්ල දනිත්. ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොවේ. අපි වනාහි තමා උගත් ශිල්ප බලයෙන්ම දනිමු. එය එක් කොටසකි. බුදුවරු සියල්ල දනිත් යයි.

රජු බුද්ධ ගුණයන් අසා සොම්නසට පත් වූයේ වී සියළු සක්වල වැසියන් ලවා බොහෝ සුවඳ හා මල් ගෙන්වා බෝමැඩ සත්දිනක් බෝධිපූජාව කරවීය.

වාදනය කරනු ලබන නොයෙක් තූර්යයන්ගෙන් බෝධියට ගරුකොට මල් ගඳවිලවුන් ගෙනවුත් පවුර වටකිරීම කරවීය. ඉක්බිති රජු පිටත්ව ගියේය.

කාලිංග රජු ගැල් සැටදහසක් මල් රැස් කරවීය. උතුම් බෝමැඩ පිදුවේය.

මව්පියවරුන්ගේ සමීපයට ගියේය. හෙතෙම මහබෝ මැඩහි අටළොස් රියනක් උස රන් ටැඹක් නැංවීය. එයට සත්රුවන් මුවා වේදිකාවක් කරවීය. රුවන් මිශ්‍රවූ වැලි විසුරුවා පවුරින් වටකිරීම කළේය. සත් රුවන්මය දොර කොටුවක් කරවීය. දිනපතා සැටදහසක් මල් ගැල් රැස්කරවීය. මෙසේ බෝමැඩ පිදීය.

මෙසේ මහා බෝධිපූජා කොට ගොස් මව්පියන් කැඳවාගෙන දන්ත පුරයටම අවුත් දන්දීම් ආදී වූ පින්කර තවුතිසා භවනයෙහි උපන්නේය.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, ආනන්ද තෙරුන් දැන් පමණක් නොවේ. පෙරද බෝධිපූජා කළේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි කාලිංග රජු ආනන්ද හිමි වීය. කාලිංග භාරද්වාජ බ්‍රාහ්මණයා මම ම වීමි යයි වදාළ සේක