ඒ රජගහ නුවරෙහි ම කාළවිලංගික (කාකවලිය) නම් දුප්පත් මිනිහෙක් ඇත. ඔහුගේ බිරිඳ ඇඹුල් කොළ කැඳක් පිසුවාය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට කවරෙකුට සංග්‍රහ කරන්නෙම් දැයි සිතන්නේ කැඳ පිසූ බව දැන ගොස් ගේදොර වැඩසිටියහ. ඇය පාත්‍රය ගෙන කැඳ සියල්ල පාත්‍රයට බෙදා තෙරුන් වහන්සේට දුන්නාය. තෙරුන් වහන්සේ විහාරයට ගොස් ශාස්තෘන් වහස්ට පිළිගැන්වූහ. ශාස්තෘන් වහන්සේ යැපෙන ප්‍රමාණයක් ගත් සේක. ඉතිරි කැඳ පන්සීයක් භික්ෂූන් වහන්සේලාට ප්‍රමාණවත් විය. කාළවිලංගියා ද ඒ ස්ථානයට පැමිණි හෙයින් කැඳ ස්වල්පයක් ලැබුවේය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ බුදුරදුන්ගෙන් කාළවිලංගියාට ලැබෙන විපාක ඇසූහ. මෙයින් හත්වෙනි දවස ඔහුට සිටු තනතුර ලැබෙන්නේ යැයි බුදුරදුන් වදාළහ. කාළවිලංගියා ඒ කථාව අසාගොස් බිරිඳට කිවේය.

එකල්හි රජතුමා නගරයෙහි සංචාරය කරන්නේ පිට නගරයෙහි පණ පිටින් හුල සිටුවා ඇති මිනිහෙක් දැක්කේය. මිනිසා රජු දැක දේවයන් වහන්ස ඔබ වහන්සේ වළඳනු ලබන ආහාරයක් එවනු මැනවයි මහත් බියෙන් කීවේය. රජතුමා එවන්නෙමි යි කියා ආහාරය එළඹි කල්හි මේ ආහාරය ගෙන යෑමට සමර්ථයෙකු දනුවයි කී නගරයෙහි දහසක් බැඳි පියල්ලක් දෙන බවට අඬබෙර ගැස්සුහ. තුන්වන වාරයෙහි කාළවිලංගියාගේ බිරිඳ අඬබෙරය නවතාලූහ. ඇය රජුට දක්වන ලදී. ඇය පුරුෂ වේෂයක් ගෙන පංචායුධයන්ගෙන් සමන්විතව බත් පාත්‍රය ගෙන නගරයෙන් නික්මුණාය. පිටත නගරයෙහි තල් ගසට අධිගෘහිත දීඝතඵල නම් යක්‍ෂයා ගස මුලින් යන්නා වූ ඇය දැක නවතිනු. තී මාගේ ගොදුර යැයි කීය. මම නුඹේ ගොදුර නොවෙමි. මම රාජ දූතයෙක්මි. කොහි යන්නේදැයි ඇසූ කල්හි ජීව සුලයෙහි සිටිනා පුරුෂයාගේ සමීපයට යැයි කී කළ මාගේ ද එක් පණිවිඩයක් ගෙන යන්නට හැකිදැයි ඇසූ කල්හි එසේය, හැකියැයි කීවාය. දීඝතඵලයාගේ බිරිඳ වූ සුමන දෙව්රජුගේ දියණිය වූ කාළිය පුතෙකු වැදුවා යැයි දක්වවයි කීය. මේ තල්ගස මුල නිධන් කළ හතක් ඇත. නුඹ ඒවා ගනුවයි කීය. ඇය දීඝතඵලායාගේ බිරිඳ වූ සුමන දෙව්රජුගේ දියණිය වූ කාළිය පුතෙකු වැදුවා යැයි මහත් හඬින් කියමින් ගියා.

යක්ෂ සමාගමෙහි සිටියා වූ සුමන දිව්‍යරාජයා එය අසා එක් මනුෂ්‍යයෙක් අපට ප්‍රිය පුවතක් ගෙන එයි. ඔහු කැඳවන්න යැයි කීය. පණිවිඩය අසා පැහැදී මේ වෘක්ෂයේ පරිමණ්ඩල ඡායාව පැතිරුණු තැන්වල ඇති නිධන් කළ නුඹට දෙමියි කීය. ජීව සුලයෙහි සිටින පුරුෂයා බත් කා මුව පිස්නා කල ස්ත්‍රියක් බව දැන කෙස් වැටියෙන් ඩැහැගත්තේය. ඇය කඩුවෙන් තමන්ගේ කෙස් වැටිය කපා දමා රජු ළඟට ම ගියා. පුරුෂයා බත් අනුභව කළ බව කෙසේ දැනගන්නේදැයි ඇසූ කල්හි කෙස් වැටිය කැපූ සළකුණින් යැයි කියා රජුට දන්වා ඒ ධනය ගෙන්වා ගත්තේය. මෙතරම් ධනයක් අන් අයෙකුට නැති බව දැන ඒ නගරයෙහි සිටු තනතුර රජු විසින් දෙන ලදී