ගෝතමක සූත්‍රය.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක.
මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්රත්යනීකධර්මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි.
මහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්රත්යනීකධර්මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, නෙරලීම් රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය.
මහණෙනි, “භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය හ, ධර්මය ස්වාඛ්‍යාතය, සඟහු සුප්‍රතිපන්නයහ”යි තොපට තුෂ්ටියට නිසිය. සතුටු සිත් ඇති සෙයට නිසිය. සෞමනස්‍යයට නිසිය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ සියමනා මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව තුස්නවුහු. මේ වෙය්‍යාකරණය වදාරණු ලබත් ම සහස්‍රී ලෝකධාතුව කම්පිත විය.
භාග්‍යවතුන්වහන්සේ විසින් මෙම සූත්‍රය අර්ථොත්පත්තියෙහි පවසනලදැයි දතයුතුය. කවර අර්ථොත්පත්තියකද යත්? මුලපරියාය අර්ථොත්පත්තියෙහිය. බොහෝ බමුණු පැවිද්දෝ තමන් උගත් බුද්ධවචනය නිමා දැනීම් (දන්නේය යන) මදය උපදවා සම්මා සම්බුදුන්වහන්සේ දෙසනසේක් අප දන්නා දෙයම පවසන සේක. නොදත් දෙයක් නොවේයයි ධර්මශ්රවණ ශාලාවට නොයත්. භික්ෂූහු දෙසුමෙන් ආගිය තැන් නොදුටුහ. නොදක්නාහු සම්මා සම්බුදුන්වහන්සේ මගේ කථාවෙන් බැහැරවන සේකැයි මුවට පැමිණියක් පවසන්සේකැයි සිතුවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිතදැන මේ සූත්‍රාන්තය ඇරඹූසේක.
මේ ස්කන්ධපස, දොළොස් ආයතන, අටළොස්ධාතු, දෙවිසි ඉන්ද්රිය, සිවුසස්, හේතු නවය, ස්පර්ශපස, වෙදනාසත, චෙතනා සත, සංඥාසත, සිත්සතැයි දැන, මානව දැන, ප්රත්යක්ෂ කොට එසේ මේ සතර සතිපට්ඨානයයි ආදී ක්‍රමයෙන් ඒ ඒ ධර්මයන් දැන මනාව දැන ප්රත්යක්ෂ කොට ප්‍රත්‍යය සහිත කොටම කියමි. ප්රත්යයරහිතකොට නොවේ. විරොධතා ඉවතලීමෙන් ප්රාතිහාර්ය සහිතවූවක්ම කොට කියමි. ප්රාතිහාර්ය රහිතවූවක් කොට නොවේ. නුඹලාට යුතුදෙයයි. සම්මා සම්බුදුන්වහන්සේ භාග්යවත්වූසේක. ධර්මය මනාව කියනලද්දේය. සංඝයා මනාව පිළිපන්නේයයි තෙරුවන ගුණවශයෙන් සිහිකරන්නාවූ නුඹලාට සතුටුවීම සුදුසුය. යන අර්ථයි. සෙසුපද දෙකෙහිද එම ක්‍රමයමයි.