සුප්රතිෂ්ඨිත පාද ලක්ෂණය (1)
මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි පෙර බෙවෙහි පෙරැ වුසූ තන්හි දී, පෙරැ මිනිස් වූයේ ම (පෙරැ මිනිස් වැ ඉපැද සිටි කල්හි) කුසල් දහම්හි දැඩි ගැනුම් ඇත්තේ, නිසල සමාදන් ඇත්තේ වී ද, කාය සුචරිතයෙහි ද වාක් සුචරිතයෙහි ද මනස්සුචරිතයෙහි ද, තමා ලත් කොටස බෙදා දී වැළඳීමෙහි ද, පන්සිල් ඈ සිල්සමාදන් වැ ගැන්මෙහි ද, පෙහෙවස් වුසුම්හි ද මවට කටයුතු වතාවත්හි ද පියාට කටයුතු වතාවත්හි ද මහණුනට කටයුතු සත්කාරයෙහි ද, බමුණනට කටයුතු සත්කාරයෙහි ද, කුලදෙටුවන් පුදන බව්හි ද, තවත් මෙ බඳුවූ අන් අන් වෙසෙසි කුසල් දහම්හි දැඩි ගැනුම් ඇත්තේ නිසල සමාදන් ඇත්තේ වී ය යන යමෙක් ඇද්ද, හෙ තෙම ඒ කර්ම කළ බැවින්, පුන පුනා කළ බැවින්, ඒ කර්මයාගේ උත්සන්න බැවින් අප්‍රමාණ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. එහි ඒ මහපුරිස් තෙමෙ දෙව් ආයෙන් ද, දෙව් පැහැයෙන් ද, දෙව් සැපයෙන් ද, දෙව් යසසින් ද, දෙව් අධිපති බැවින් ද, දෙව් රුවින් ද, දෙව් හඬින් ද, දෙව් ගඳින් ද, දෙව් රෙසෙන් ද, දෙව් පහසින් ද යන දස කරුණෙකින් අන් දෙවියන් ඉක්මැ සිටී. හේ එයින් සැව මේ මිනිසත් බවට පැමිණියේ ම මේ මහපුරිස් ලකුණු ලබයි. හේ සුපිහිටි පා ඇත්තේ වෙයි, බිමැ සම ලෙස පා තබයි, සම ලෙස පා නඟයි. සියලු අවයවයෙන් යුත් පත්ලෙන් සමලෙස බිම පහසී (පාගායි). හේ ඒ ලකුණින් සමන්විතවූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ වී නම්, දසකුසල් දහම් රක්නා, දැහැමෙන් රජ වූ, සිවු සයුර හිම් කොටැති සිවු මහදිවයිනට නායක වූ, සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්වාගත වූ සක්විති රජෙක් වෙයි. සක්රුවන ඇත්රුවන අස්රුවන මිණිරුවන ඉතිරිරුවන ගැහැවිරුවන සත් වනු පුත්රුවන ම යැයි ඔහුට මේ සත් රුවන් කෙනෙක් වෙත්.
ශූර වූ, වීර ඇඟ රුවැති, සතුරු සෙන් මඩිනුයෙහි බුහුටි, අයිරාදහස් පුත් කෙනෙක් ඔහුට වෙත්. හේ සයුර හිම් කොටැති, සතුරන් නමැති හුල් නැති, උවදුරට කරුණු නැති, සතුරන් නමැති කටු නැති (නොහොත් සොරුන් සතුරන් නැති), සමෘද්ධ වූ සැපතින් පිරුණු, බිය රහිත, උවදුරු නැති, සොර සතුරු කැලැල් නැති මේ පොළොව දඬුයෙන් අවියෙන් තොර වැ දැහැමෙන් අත්පත් කොට ගෙන, නායක වැ වෙසෙයි. හෙ තෙමෙ රජ වන්නේ කුමක් නම් ලබා ද? හේ මිනිස් වූ කිසිදු සතුරු පසමිතුරක්හු විසින් නො මැඩැ ලියැ හැක්කේ වෙයි. රජ වනුයේ හේ මේ අනුසස් ලබයි. ඉදින් හෙ තෙමෙ ගිහි ගෙන් නික්මැ පැවිදි වන්නේ නම්, රහත් වූ ලොවැ සිඳ පෙරළා හළ කෙලෙස් සෙවෙණි ඇති සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදු වූයේ ම කුමක් නම් ලබා ද? ඇතුළතැ හෝ බැහැරතැ සිටි සතුරන් විසින්, පසමිතුරන් විසින් රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියක්හු විසින් හෝ මරක්හු විසින් හෝ බඹක්හු විසින් හෝ ලොවැ කිසිදු එකක්හු විසින් මැඩැලියැ නොහැක්කේ වෙයි. බුදු වූයේ ම මේ අනුසස් ලබයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය ම ගාථාබන්ධනයෙන් කියනු ලැබේ:
“හෙ තෙම සබවස්හි ද දස අකුසල්දහම්හි ද ඉඳුරන් දමනුයෙහි ද සිල් හැවුරුමෙහි ද තුන්දොරින් පිවිතුරු බව්හි ද සිල්රැක්මෙහි ද පෙහෙවස් වුසුම්හි ද දීමෙහි ද මෙරමා නොපෙළීමෙහි ද රෞද්‍ර නොවූ ක්‍රියාහි ද ඇලුණේ එය තරයේ සමාදන් ව ගෙන, නිමාවට ම පිරී ය.
හේ ඒ කුසල් කමින් දෙව්ලෝ පැමිණියේ ය. සැප ද කෙළිසුව ද පස්කම් ද හේ වැළැඳුයේ ය. එයින් සැව නැවැත මෙහි ආයේ, සම දෙපත්ලෙන් පොළොව පැහැසී.
රජගෙට සපැමිණි ගත ලකුණු කියන බමුණෝ “සම ලෙස බිමැ පිහිටුනා පතුල් ඇතියහුගේ සිටි තැනින් සැලීමෙක් නොවෙයි”ද, “ඒ සුපිහිටි පා ලකුණ ගිහියකු හෝ පැවිද්දකු හෝ පිළිබඳ වූ ඒ අරුත පවසනුයේ වේ යැ”යි ද පැවැසූහ.
හේ ගිහි ගෙහි වසන්නේ නම්, සතුරන් විසින් නො මැඩැලියැ හැකි, අනුන් මැඩැ පවත්වනුයෙහි සමත්, සතුරන් මඩනා සක්විත්තෙක් වෙයි. ඒ කම්හුගේ ඵලයෙන් මිනිස් වූ කිසිවකු විසිනුත් සෙලැවියැ නො හැක්කේ වෙයි.
එ බඳුවූ ඒ නුවණැත්තේ මහණදහම්හි ඇලුණේ ඉදින් පැවිදි වන්නේ නම්, ලොවට අගපත් වූයේ, හැම සත්නට උතුම් වූයේ, කිසි කලෙකත් මෙරමා ගෙන් සැලෙන බවට නො පැමිණෙයි. මේ ඒ මහාපුරිස්හු පිළිබඳ ධර්මතා යි.
පාදතලයන්හි චක්රලක්ෂණ (2)
මහණෙනි, තථාගත තෙම පෙර දෑහි පෙර බෙවෙහි, පෙරැ වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම උද්වේග (සොර ආදීන්ගෙන් වන) බිය ද, උත්‍රාස (යක් ආදීන්ගෙන් වන උවදුරු) බිය ද දුරැලනුයේ දැහැමි රැකවරණ සලසනුයේ බොහෝ දෙනාගේ සුව පහසුව පිණිස වූයේ ය, පිරිවෙර සහිත ව දන් දුන්නේ ය යන යමෙක් ඇද්ද, හෙ තෙමෙ ඒ කර්ම කළ බැවින්, පුනපුනා කළ බැවින්, ඒ කර්මයාගේ උත්සන්න බැවින් අප්‍රමාණ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොව උපදී … හේ එයින් සැව, මෙ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස් ලකුණ ලබයි. ඔහුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම් වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක්ලකුණු පහළ වූවෝ වෙත්. ඒ ලකුණෙන් සමන්විත හෙ තෙමෙ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වූයේ ම කුමක් ලබා ද? මහ පිරිවර ඇත්තේ වෙයි. ඔහුගේ ඒ පිරිවර බමුණන් හා ගැහැවියෝ ය, නිගම්වැස්සන් හා දනවු වැස්සෝය, ගණකයන් (රජුගේ අයවැය ගණින්නන්) හා මහ ඇමැත්තෝ ය, සෙනඟ රක්නා ඇමැත්තෝ ය, දොරටු පල්ලෝ ය, පිරිස ද (පරපුරෙන් ම රජ පිරිසැ වූ) ඇමැත්තෝ ය, රජ දරුවෝ ය, ගම් මුදලියෝ ය, රජකුමරහු ය යන මහත් පිරිවර ඔහුට වෙයි. රජ වන්නේ හේ මෙකී දෑ ලබයි.
ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ පෙරැළු කෙලෙස් සෙවෙණි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි. බුදු වනුයේ කුමක් ලබා ද? මහපිරිවර ඇත්තේ වෙයි. මහණහුය, මෙහෙණියෝ ය, උවසුවෝ ය, උවැසියෝ ය, දෙව්හු ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගඳෙවුහු යැ යි මහ පිරිවර ඔහුට වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළසේක. එහි ගාථා බන්ධන වශයෙන් මෙය කියනු ලැබේ:
“පෙරැ බොහෝ පූර්ව කාලයෙහි පළමු ජාතීන්හි දී මිනිස් වූයේ බොහෝ දෙනාට සුව එළැවී ය. උද්වේග උත්‍රාස නිසා උපදනා බිය දුරු කරන්නේ විය. ගෝපනයෙහි ද රක්ෂාවරණයෙහි ද උත්සුක විය.
හේ ඒ කර්මයෙන් දෙව්ලෝ ගියේ ය. දෙව්ලෝ සුව ද දිව්‍ය ක්‍රීඩා හා පංචකාරම රතීන් ද වින්දේ ය. එයින් සැව, නැවත මෙහි ආයේ, හාත්පස නිම්වළලු ඇති, දහසක් දැවි ආදිය ඇති සක් ලකුණු දෙපත්ලෙහි ලබයි.
රජගෙට රැස්වූ නිමිත්තපාඨක බමුණෝ සිය පින් ලකුණු ඇති, කුමරහු දැක, මෙ තෙම මහත් පිරිවර ඇති, සතුරන් මඩින සක්විති රජෙක් වන්නේ ය. එසේ හෙයින් ම එයට පෙර නිමිති විසින් පතුල්හි හාත්පස නිම්වළලු ඇති සක්ලකුණු ඇත.
ඉදින් එබඳු තැනැත්තේ පැවිද්දට නො පැමිණේ නම්, අණසක පවත්වයි, පෘථිවියට අනුශාසන කෙරේ. ඔහුට මෙහි ක්ෂත්රියයෝ අනුයුක්ත වෙත්. මහත් යශස් ඇත්තාහු ඔහු හාත්පස පිරිවරත්.
ඉදින් නෛෂ්කාම්යඡන්දයෙහි ඇලුණු එබඳු ඒ නුවණැත්තේ පැවිදි බවට පැමිණෙන්නේ නම්, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද යක්ෂයෝ ද රකුසෝ ද, ගන්ධර්වයෝ ද, නාගයෝ ද, පක්ෂීහු ද, සිවුපාවෝ ද අනුත්තර වූ දෙව්මිනිසුන් විසින් පුදන ලද මහත් යසස් ඇති ඔහු පිරිවරත්.
ආයතපණ්හිතාදි තුන් ලකුණු (3, 4, 5)
මහණෙනි, තථාගත තෙමේ පළමු ජාතීන්හි, පෙරැ සසරෙහි, පෙරැ වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ ම ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැළැක්කේ වී ය, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ශස්ත්‍ර ඇත්තේ, පණිවායෙහි ලජ්ජා ඇත්තේ, සත්වයන් කෙරෙහි දයායෙන් යුක්ත වූයේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ විසීය යන යමෙක් ඇද්ද, හෙ තෙමෙ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින්, උත්සන්න බැවින්, අප්‍රමාණ බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව, මේ මිනිස්බවට පැමිණියේ ම, මේ මහ පුරිස් ලකුණු තුන ලබයි. හේ දික් විලුම් ඇත්තේ වෙයි, දිගැඟිලි ඇත්තේ ද වෙයි. බඹහට බඳු ඍජු ශරීරය ඇත්තේ වෙයි. ඒ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ හෙ තෙමේ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, … සක්විති රජෙක් වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? හේ බොහෝ කල් ජීවත් වනුයේ දීර්ඝායුෂ්ක වෙයි. දීර්ඝ ආයුෂයක් රක්ෂා කෙරෙයි. මනුෂ්‍ය වූ කිසි සතුරකු විසින් පසමිතුරකු විසින් අතරැ දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? බොහෝ කල් ජීවත් වනුයේ දීර්ඝායුෂ්ක වෙයි, දීර්ඝ ආයුෂ පාලනය කෙරෙයි. කිසි සතුරු පසමිතුරු මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවකුදු විසින් අතරැ දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. බුදු වන්නේ මෙය ලබයි.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් මෙසේ කියනු ලැබේ:
‘තමහට මරණ වධයෙන් උපන් බිය දැන, මෙරමා නැසීමෙන් වැළැක්කේ විය. ඒ කුශලකර්මයෙන් ස්වර්ගයට පැමිණියේ ය. කුශල කර්මයාගේ ඵලවිපාකය අනුභව කෙළේ ය.
දෙව්ලොවින් සැව, නැවැත මෙහි ආයේ ම, ලක්ෂණ තුනක් ලබයි. මහත් වූ දික් විලුම් ඇත්තේ වෙයි. බඹහු මෙන් මොනොවට ඍජු වූයේ ශෝභන වෙයි, මොනොවට උපන් ගාත්‍ර ඇත්තේ වෙයි.
යහපත් බාහු ඇත්තේ, තරුණ වූයේ, මනා සටහන් ඇත්තේ, මොනොවට උපන්නේ වෙයි, ඔහුගේ මොළොක් තරුණ ඇඟිල්ලෝ දික් වෙත්. මෙකී ශ්‍රේෂ්ඨ වූ තුන් මහ පුරිස් ලකුණින් කුමරහු බොහෝ කල් ජීවත් වනු පිණිස (සමතක්හු කොට) නිමිත්තපාඨකයෝ දක්වත්.
ඉදින් ගිහි වන්නේ නම්, බොහෝ කල් ජීවත් වේ. ඉදින් පැවිදි වන්නේ නම්, වශීතාප්රාප්ත වූයේ, ඍද්ධි භාවනායෙන් යුක්ත වූයේ, එයට වඩා බෝකල් ජීවත් වෙයි. මෙසේ දීර්ඝායුෂ්ක බවට ඒ ලකුණැ යි කීහ.
සප්තෝත්සද ලක්ෂණ (6)
මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි, පෙර සසරෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම ප්‍රණීත වූ රසවත් වූ කෑ යුතු දෑ ද, බුදියැ යුතු දෑ ද, රස වින්ද යුතු දෑ ද, ලෙවියැ යුතු දෑ ද, අෂ්ට පානයන් ද දෙන්නේ වි ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින්, ඒ කර්මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි … හේ එයින් සැව මේ මිනිස් බවට පැමිණියේ ම මෙ මහ පුරිස්ලකුණ ලබයි: සත් තැනෙක උත්සන්න වෙයි: සත් තැනෙක්හි පිරිපුන් මස් ඇති වෙයි: දෙ පිටු අත්ලෙහි පිරිපුන් මස් ඇති වෙයි. දෙ පිටු පතුල්හි පිරිපුන් මස් ඇති වෙයි, දෙ උරහිස්හි පිරිපුන් මස් ඇති වෙයි, කරෙහි පිරිපුන් මස් ඇති වෙයි. හෙ තෙමේ ඒ සප්ත උත්සද ලක්ෂණයෙන් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වෙසේ නම්, … සක්විති රජ වෙයි. රජ වන්නේ මෙය ලබයි. ප්‍රණීත වූ රසවත් වූ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙයයන් ලබන සුලු වෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබා ද? ප්‍රණීත වූ රසවත් වූ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙයයන් ලබන සුලු වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ගාථාබන්ධනයෙන් මෙය කියනු ලැබෙයි:
‘ලෝකෝත්තම තෙමේ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය ස්වාද්ය යන අග්‍ර රස දෙන්නේ විය. හේ ඒ කුශල කර්මයෙන් බොහෝ කල් නදුනුයනෙහි වෙසෙසින් ප්‍රමුදිත වෙයි.
මෙහි උත්සන්න වූ සත් තැනක් ලබයි. මෘදු වූ අතුල් පතුල් ද ලබයි. ඛාද්‍ය භෝජ්‍ය රස ලබන බවට එය ලකුණෙකැ’යි ලක්ෂණ ශාස්ත්‍රඥයෝ කීහ.
ඒ ලක්ෂණය ගිහියාටත් ඒ අර්ත්ථය ප්‍රකාශ කරන්නේ වෙයි. පැවිදි වන්නේ ද එය ලබයි. එය උතුම් ඛාද්‍ය භෝජ්‍ය රස ලබන සුලු, සියලු ගිහිබැඳුම් සිඳිනා කෙනකු පවසයි.
කරවරණමෘදුතාජාලතාලක්ෂණ (7, 8)
මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි පළමු අත්බව්හි, පළමු වාසස්ථානයන්හි පෙරැ මිනිස්වූයේ ම, දානයෙන් ප්‍රිය වචනයෙන් අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සමානාත්මතායෙන් යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් ජනයාට සංග්‍රහ කරන්නේ වී ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින්, ඒ කර්මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු, මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව, මෙ මිනිස්බවට ආයේ ම මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: හේ මොළොක් තරුණ අතුල් පතුල් ඇත්තේ ද දැල් කවුළුවකට බඳු අත් පා ඇත්තේ ද වෙයි. හේ ඒ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙයි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජවන්නේ කුමක් ලබයි ද? (සිවු සඟරා වතින්) මොනොවට සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් බමුණු ගැහැවි ජනයෝ ද, නිගම් වැසි දනවු වැසි ජනයෝ ද, අයවැය ගණන් කරන්නෝ ද, මහා මාත්‍රයෝ ද, සේනාඞ්ගරක්නා හස්ත්යාචාර්ය්යාදීහු ද ඇමැතියෝ ද පරම්පරාගත වැ රජ පිරිසෙහි වූවෝ ද, රජහු ද, රජුන්ගෙන් ලත් භෝග සම්පත් ඇත්තෝ ද, රජකුමරුවෝ ද යන මොහු හැම ඔහු විසින් මොනොවට සංග්‍රහ කරන ලද්දාහු වෙත්. රජ වන්නේ මෙය ලබයි. බුදු වන්නේ කුමක් ලබා ද? යත්: මොනොවට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් මහණහු ද මෙහෙණෝ ද උවසුවෝ ද උවැසියෝ ද දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද මොනොවට සංග්‍රහ කරන ලද්දාහු වෙත්. බුදු වන්නේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි එය මෙසේ ගාථායෙන් කියනු ලැබේ:
‘හෙ තෙම දානය ද අර්‍ත්‍ථචර්‍ය්‍යාව ද ප්රියවාදිතාව ද සමානාත්මතාව ද කොට බොහෝ දෙනාට මැනැවින් සංග්‍රහ කොට, අනින්දිත (ප්රශස්ත) ගුණ හෙයින් ස්වර්ගයට යෙයි.
එයින් සැව නැවත මෙහි ආයේ ම ළදරු වූයේ, ඉතා සිවුමැලි වූයේ, ඉතා පැහැපත්, ඉතා මනෝඥ, දැකුම් කටයුතු, මොළොක් වූ අතුල් පතුල් ද ජාලලක්ෂණ ද ලබයි.
පිරිවර ජන තෙමේ කීකරු වේ. කටයුත්තෙහි මෙහෙයැවියැ හැකි වේ. මොනොවට සංග්‍රහ කරන ලද්දේ මෙ පොළොවෙහි වෙසෙයි. පිය බස් කියන්නේ, හිත සුව සොයනුයේ, වෙසෙසින් සිත්කලු වූ ගුණයන් වඩන්නේ වෙයි.
ඉදින් සියලු පස්කම් සුව හරනේ නම් පව් දිනූයේ (බුදු වූයේ) දහම් දෙසයි. උන්වහන්සේගේ දේශනාව අසා ඉතා පහන්වූවාහු, වචනය පිළිපදනාහු ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරත්.
උත්ශංඛපාද උර්ධවාග්රලෝමතා ලක්ෂණ (9,10)
මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි, පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම බොහෝ දෙනාට දෙලෝ වැඩ ඇසුරු කළ, දශ කුශලකර්මපථ ඇසුරු කළ වචන කියන්නේ වීය. බොහෝ දෙනාට දෙලෝ වැඩ දැක්වී ය. සත්නට හිතසුව එළවනුයේ, ධර්මදානය කරන්නේ වීය” යන යමෙක් ඇද්ද, ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින්, ඒ කර්මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි … හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණු දෙක ලබයි. මත්තෙහි වූ ගොප් ඇට ඇති පා ඇත්තේ ද, උඩුකුරු වූ අක් ඇති ලොම් ඇත්තේ ද වෙයි. හේ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි … රජ වනුයේ කුමක් ලබා ද? සියලු සත්නට අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි. බුදු වනුයේ කුමක් ලබා ද? සියලු සත්නට ද අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි. බුදු වනුයේ මෙය ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. එහි මෙය ගාථායෙන් මෙසේ කියනු ලැබේ:
“පෙරැ අර්ත්ථ හා ධර්ම හා නිඃශ්‍රිත වූ වචන කියනුයේ, බොහෝ දෙනාට දෙලෝ වැඩ දැක්වීය. ප්‍රාණීනට හිත සුව එළවන්නේ විය, නො මසුරු වැ ධර්මයාගය කෙළේ ය.
හෙ තෙමේ ඒ කුශලකර්ම බලයෙන් ස්වර්ගයට යෙයි, එහි සතුටු වෙයි. මෙහි ආයේ උතුම් සැප ඇති වන බවට නිමිති වූ ලකුණු දෙකක් ලබයි.
හේ තෙමේ උඩට නැමුණු ලොම් ඇත්තේ වෙයි. පාගැට (ගොප් ඇට) මොනොවට පිහිටියේ වෙයි. ඔහුගේ කෙණ්ඩා ද මසින් ලෙයින් පිරුණාහු, සිවියෙන් වැසුණාහු ශෝභන වෙත්.
ඉදින් එබඳු පුද්ගල තෙමේ ගෙහි වසන්නේ නම්, කාම අතුරෙහි අග්‍ර බවට යෙයි. ඔහුට වඩා උතුම් වූවක් ඇති නො වෙයි. දඹදිව (මහපොළොව) අභිභවා වෙසෙයි.
අලාමක විහරණ ඇති හෙ තෙමේ පැවිදි වන්නේ ද සියලු සත්නට අක් බවට යෙයි. ඔහුට වැඩිතරම් කිසිවෙක් නොමැති වෙයි. හේ මුළු ලොව අබිබවා වෙසෙයි.
ඒණිජඞ්ඝා ලක්ෂණය (11)
මහණෙනි, “තථාගත තෙම පෙර භවයෙහි පළමු වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ ම, කෙසේ නම් මොහු ශිල්ප ද විද්‍යා ද චරණ ධර්ම (ශීලය) ද කර්මස්වකතාව ද වහා දැනගන්නාහු ද, කෙසේ නම් මොහු වහා ඒ දෑ පිළිපදනාහු ද, බොහෝ කල් නො වෙහෙසෙන්නාහු දැ යි ඒ ශිල්පාදිය සකසා කියවන්නේ විය” යන යමෙක් ඇද්ද හේ ඒ කර්මය කළ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි … එයින් සැව මේ මිනිසත්බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණ ලබයි. ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. එ ලකුණින් යුත් හෙ තෙම ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි … රජ වන්නේ කුමක් ලබා ද? රජක්හට සුදුසු වූ ඇත් අස් ආදි යාන ද, රජුනට අවයව වූ සේනා ද, රජුනට උපභෝග වූ යම් දෑ ඇද්ද, රජුනට නිසි වූ තවත් යම් දෑ ඇද්ද, ඒ සියල්ල වහා ලබයි … බුදු වනුයේ කුමක් ලබන්නේ ද? ශ්‍රමණයනට සුදුසු වූ ශ්රමණාවයව වූ ශ්‍රමණයන්ගේ උපභෝග පරිභෝග වූ ශ්‍රමණයනට නිසි වූ යම් දෑ ඇද්ද, ඒවා වහා ලබයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථා බන්ධනයෙන් කියනු ලැබේ:
“ශිල්පයන්හි ද විද්‍යා හා චරණයන්හි ද කර්මස්වකතායෙහි ද කෙසේ වහා දැන ගන්නේ දැ යි හේ කැමැති වෙයි. යමෙක් කිසිවකුගේත් විනාශය පිණිස නොවේ ද, යමක් උගන්නට බොහෝ කල් නො වෙහෙසෙන්නේ ද, එපරිද්දෙන් ඒ දෑ වහා උගන්වයි.
කුසල් වූ සුව වඩන ඒ කර්මය කිරීමෙන් මොනොවට පිහිටි, වට වූ, මනාසේ හටගත්, පිළිවෙළින් නැංගාවූ, සියුම් සිවියෙන් වැසුණු, මන වඩන ජඞ්ඝා (කෙණ්ඩා) ද, අක් උඩුකුරු ව සිටි රෝම ද ලබයි.
(එසේ වූ) ඒ පුද්ගලයා එණෙය්යජඞ්ඝ (ඕළුමුවන්ගේ කෙණ්ඩා බඳු කෙණ්ඩා ඇත්තේ) යැ යි ලක්‍ෂණපාඨකයෝ කීහු. ඒ ලක්ෂණය මෙහි දී වහා සම්පත් ලබනුවට නිමිත්ත යැ යි කීහු. පැවිදි නො වන්නේ යම් කලෙක ගිහිගෙට අනුලොම් වූ (සුදුසු වූ) දෑ කැමැති වේ ද, ඒ කල එය ද මෙහි දී වහා ලබයි.
නෛෂ්කාම්ය ඡන්දයෙහි ඇලුණු නුවැණැති අලාමක විහරණ ඇති එබඳු පුද්ගල තෙමේ ඉඳින් පැවිදි වන්නේ ද, ඔහුට සුදුසු වූ අනුලොම් වූ යම් දැයෙක් ඇද්ද, එය වහා ලබයි.
ශුක්ෂමච්ඡවිලක්ෂණය (12)
මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම, මහණකු හෝ බමුණකු හෝ කරා එළැඹ “වහන්ස, කුසල් නම් කිම? අකුසල් නම් කිම? කිමෙක් වරද සහිත ද? කිමෙක් වරද රහිත ද? කිමෙක් සෙවියැ යුතු ද? කිමෙක් නො සෙවියැ යුතු ද? මා විසින් කිමෙක් කරනු ලබනුයේ බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස වන්නේ ද? මා විසින් කිමෙක් හෝ කරනු ලබනුයේ බොහෝ කල් හිත පිණිස සුව පිණිස වන්නේ දැ?” පුන පුනා ‘විචාරන්නේ විය’ යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින් කාබුන් … මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි … හේ එයින් සැව, මෙ මිනිස් බවට ආයේ ම, මේ මහ පුරිස් ලකුණ ලබයි. සියුම් සිවිය ඇත්තේ වෙයි. සිවිය සියුම් බැවින් රජස් දැලි කයෙහි නො ලැගෙයි. ඒ ලක්ෂණයෙන් යුත් හෙ තෙමේ ඉදින් ගිහි ගෙයි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? මහා ප්‍රඥා ඇත්තේ වෙයි. කාමභෝගීන් අතුරෙහි ප්‍රඥායෙන් ඔහුට සමානයෙක් හෝ වැඩි තරම් වූයෙක් හෝ නො වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබයි ද? මහ නුවණැත්තේ වෙයි, (ස්කන්ධාදී නානාතන්හි) පැතිරැ පැවැති නුවණැත්තේ වෙයි, සතුට බහුල ව මගපල පසක් කරන නුවණැත්තේ වෙයි, ස්කන්ධාදියෙහි වහා දිවෙන නුවණැත්තේ වෙයි, තියුණු නුවණැත්තේ වෙයි, විනිවිද යන නුවණ ඇත්තේ වෙයි, සියලු සතුන් අතුරෙහි මොහුට නුවණින් සමාන හෝ විශිෂ්ට වූ කිසිවෙක් නො වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක, එහි මෙය (ගාථායෙන්) කියනු ලැබෙයි:
‘පෙරැ ඉතා පෙරැ පළමු ජාතීන්හි දී, දැනගනු කැමැත්තේ, ප්‍රශ්න පුළුවුස්නේ විය. ඇසියැටි වනුයේ පැවිද්දහු ඇසුරු කරන්නේ විය. අරුත් දැන ගන්නා සිතැත්තේ අර්ත්ථකථනය ඇසී ය.
මිනිස් වූයේ, ප්‍රඥාව ලබනු පිණිස පැවැති කර්මයෙන් සියුම් සිවි ඇත්තේ විය, උත්පාද ශාස්ත්‍රයෙහි ද ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද දක්ෂ පඬිහු මෙ තෙම සියුම් අරුත් අවබෝධකොට දක්නේ යැ යි පැවැසූහ.
එබඳු තැනැත්තේ ඉදින් පැවිද්දට නොපැමිණෙන්නේ නම්, අණ සක පවත්වයි, පොළොව පාලනය කෙරෙයි, අර්ත්ථානුශාසනයන්හි ද, අර්ත්ථානාර්ත්ථ පිරිසිඳ දැන්මෙහිද, උන්වහන්සේට වැඩිතරම් හෝ සමාන වූ හෝ එකෙක් නොමැති වෙයි.
එබඳු තැනැත්තේ නෙක්ඛම්ම ඡන්දයෙහි ඇලුණේ, ඉදින් පැවිද්දට පැමිණෙන්නේ නම්, විශිෂ්ට ප්‍රඥාව ලබයි, උතුම් වූ මහත් නුවණැත්තේ නිරුත්තර බෝධියට (සම්යක්සම්බුද්ධත්වයට) පැමිණෙයි.
ස්වර්ණවර්ණතාලක්ෂණය (13)
මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ නොකිපෙන සුලු වූයේ, උපායාස බහුල කොට නැත්තේ විය. බොහෝ සේ ද කියන ලදුයේ ම ක්‍රෝධ වශයෙන් නො ගැටුණේ ය, නො කිපුණේ ය, සිතැ කුණු ඇති බවට (ව්‍යාපාදයට) නො පැමිණියේ ය. ක්‍රෝධය සිතැ නො පිහිටුවී ය, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙළේ ය. සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද, පොරෝනා ද, සියුම් කොමු පිළී ද සියුම් කපුපිළි ද සියුම් තිහිරි පිළි ද සියුම් පලස් ද දෙන්නේත් විය, යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින් කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට පැමිණියේ ය. එයින් සැව මේ මිනිස් බවට ආයේ ම මේ මහපුරිස් ලකුණ ලබයි. හේ රන්වන් වෙයි. රන් බඳු පැහැති සිවිය ඇත්තේ වෙයි. හේ ඒ ලකුණින් සමන්විත වූයේ ගිහිගෙහි වසන්නේ නම් සක්විති රජ වෙයි … රජ වනුයේ කුමක් ලබයි ද? සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද පිළි ද සියුම් තිහිරි පිළි ද සියුම් පලස් ද ලබන්නේ වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබයි ද? සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද පොරෝනා ද සියුම් කොමු පිළි ද සියුම් සියුම් කොමු පිළි ද, සියුම් කපු පිළි ද, සියුම් තිහිරි පිළි ද සියුම් පලස් ද ලබන්නේ වෙයි. බුදු වනුයේ මෙය ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් කියනු ලැබේ.
‘පළමු බෙවෙහි සිටියේ අක්‍රෝධය ද ඉටී ය, පොළොව තෙමන මේඝය මෙන් දන් ද දුන්නේ ය. සියුම් වූ මනා පැහැති වස්ත්‍ර ද දුන්නේ ය.
ඒ කර්මය කොට මෙයින් සැව, දෙව්ලෝ පැමිණ, කුසල් පල විඳ, මෙ ලොව්හි දී දෙවියනට ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්රයා මෙන් රන් බඳු පැහැති සිරුර ඇත්තේ වෙයි.
ඒ මිනිස් තෙම අප්රව්රජ්යාව (ගිහිබව) කැමැති වන්නේ, ගිහිගෙහි වසන්නේ නම්, මහත් පොළොව අබිබවා අනුශාසන කෙරෙයි (පාලනය කෙරෙයි.) හේ වනාහි මහත් වූ ද සියුම් වූ ද මනා පැහැත්තාවූ ද ඉතා උතුම් වස්ත්‍ර ලබයි.
ඉදින් පැවිද්දට පැමිණෙන්නේ නම්, හඳනා වස්ත්‍ර හා සෙසු වස්ත්‍ර ද (කොඳුපලස් ඈ) පාමොක් පොරෝනා ද ලබන සුලු වෙයි. හේ වනාහි පළමු අත් බව්හි කළ කුශලයන්ගේ ඵලය විඳියි. කළ කුශලයේ විපාක නොදී වැනැසී යෑමෙක් ද නො වෙයි.
කෝෂාවහිත වස්ත්රගුහ්යතා ලක්ෂණය (14)
මහණෙනි, පළමු දෑහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම බොහෝ කල් දක්නට නැති වැ ගිය, ඉතා බොහෝ කල් පිට රටැ වුසූ නෑයන් ද මිතුරන් ද සුහෘදයන් ද යහළුවන් ද එක් තැනට පමුණුවන්නේ (ගළපන්නේ) වී ය, මව ද පුතු හා හමු කරන්නේ විය, පුතු ද මව හා හමු කරන්නේ විය, පියා ද පුතු හා හමු කරන්නේ විය, පුතා ද පියා හා හමු කරන්නේ විය, සොහොවුරා ද සොහොවුරා හා හමු කරන්නේ විය, සොහොවුරා ද සොහොවිරිය හා හමු කරන්නේ විය, සොහොවිරිය ද සොවුරා හා හමු කරන්නේ විය, සොහොවිරිය ද සොහොවිරිය හා හමු කරන්නේ විය. සමගිඑකතු කොට ද එයට සතුටු වන්නේ විය යන යමෙක් ඇද්ද, ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින්, හෙ තෙමේ කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණියේ ය … එයින් සැව, මේ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණ බලයි. කෝෂාවහිත වස්ත්රගුහ්ය ලක්ෂණය ඇත්තේ වෙයි. හේ ඒ ලක්ෂණයෙන් සමන්විත ඉදින් ගිහිගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ඔහුට ශූර වූ (බිය නො ගන්නා) මූර්තිමත් වීර්‍ය්‍යය බඳු වූ සතුරු සෙන් මඩනට සමත්, දහසකට වැඩි තරම් පුත්‍රයෝ වෙත් … බුදු වූ යේ කුමක් ලබයි ද? බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ඔබට වනාහි ශූර වූ උතුම් වීර සාර ස්වභාවය ඇති ප්රතිපක්ෂ සේනා මඩින්නට පොහොසත් ශ්‍රාවක පුත්‍රයෝ ද නොයෙක් දහස් ගණන් වෙත්. බුදු වනුයේ මේ අනුසස් ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. එහි මෙය ගාථා බන්ධනයෙන් මෙසේ කියනු ලැබේ:
“පෙරැ, බොහෝ පෙරැ, පළමු දෑහි, බොහෝ කල් නො දක්නා ලද ඉතා බොහෝ කල් වෙන් ව වුසූ නෑයන් ද මිතුරන් ද යහළුවන් ද එකතු කෙළේ ය. සමගි කොට ද එයට සතුටු විය.
හේ ඒ කර්මයෙන් දෙව්ලෝ ගියේ ය. දෙව් සුව ද ක්රීඩාරතීන් ද අනුභව කෙළේ ය. එයින් සැව, යලි මෙහි ආයේ කොශාවහිත වස්ත්රගුහ්යතා ලක්ෂණය ලබයි.
එබඳු තැනැත්තේ බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ගිහි වූ මොහුට ශූර වූ ද වීර වූ ද සතුරන් මඩනුයෙහි පොහොසත් වූ, ප්‍රීතිය උපදවන්නා වූ, පිය බස් තෙපලන දහසකට වැඩි දෙනෙක් පුත්‍රයෝ වෙත්.
පැවිදි වැ වසන්නහුට ඉතා බොහෝ වූ, වචනය පිළිපදනා, ශ්‍රාවක පුත්‍රයෝ වෙත්. ඒ (කොශාවහිත වස්ත්රගුහ්ය) ලක්ෂණය ගිහියාට හෝ වැලි පැවිදි වූවාහට හෝ ඒ අරුත පවසන්නේ වෙයි.
පරිමණ්ඩලතා – අනවනත – ජානුපරාමර්ශනතා ලක්ෂණ (15,16)
මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම මහජනයාට සංග්‍රහ කිරීම සම ව දකිනුයේ (ඒ ඒ තැනැත්හු හා) සම වූවහු දනී, තෙමේ දනී, පුරුෂයා දනී, පුරුෂයන්ගේ වෙසෙස දනී, මෙ තෙමේ මෙයට සුදුසු ය, මෙ තෙමේ මෙයට සුදුසු යැ යි ඒ ඒ දැයෙහි පුරුෂයන්ගේ වෙසෙස දැන කටයුතු කරනුයේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින්, කාබුන් මරණින් මතු මනාගති ඇති, සග ලොවට යෙයි. හේ එයින් සැව මෙ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණු දෙක ලබයි. නුග රුකක් සේ සම පමණ ඇත්තේ වෙයි. සිටියේ ම නො නැමෙන්නේ දෙ අත්ලෙන් දෙදණ පිරිමදියි, හේ ඒ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? ආඪ්‍ය වෙයි, මහත් ධන ඇත්තේ වෙයි, මහත් භෝග ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇත්තේ, බොහෝ වස්තු උපකරණ ඇත්තේ, බොහෝ ධන ධාන්‍ය ඇත්තේ, පිරිපුන් වස්තු ගබඩා හා කොටුගුල් ඇත්තේ වෙයි. රජ වනුයේ මෙය ලබයි. … බුදු වනුයේ කුමක් ලබයි ද? ආඪ්‍ය වෙයි, මහත් ධන ඇත්තේ වෙයි, මහත් භෝග ඇත්තේ වෙයි. ඔහුට ශ්‍රද්ධාධනය, ශීලධනය. හිරිධනය, ඔත්තප්පධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය යන මේ ධනයෝ වෙත්. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් කියනු ලැබෙයි.
‘පෙර ජාතියෙහි නුවණින් කිරා බලා, නැවැත නැවැත පිරික්සා සිතා, මහජනයාට සංග්‍රහ කිරීම සම ව අපේක්ෂා කරනුයේ, ‘මෙ තෙමේ මෙය ලබන්නට සුදුසු වේ යැ’ යි ඒ ඒ තන්හි පුරුෂයන්ගේ වෙසෙස දැන සංග්‍රහ කරනුයේ විය.
ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන් හේ සිටියේ ම නො නැමෙනුයේ දෙ අත්ලෙන් දෙ දණහිස් ස්පර්ශ කෙරෙයි, නුග රුකෙක පිරිමඩුල්ල මෙන් පිරිමඩුලු වූ සිරුර ඇත්තේ විය.
බොහෝ විවිධ නිමිත්ත ලක්ෂණ දන්නා ඉතා සියුම් නුවණැති බමුණු පඬිහු ‘ළදරු වූ ළපැටි වූ මේ කුමර ගෘහස්ථයනට සුදුසු වූ බොහෝ වූ ද විවිධ වූ ද වස්තූන් ලබතැ යි ද,
ඉදින් මෙහි රජෙක් වී නම් මොහුට ගිහියනට සුදුසු වූ කාමසම්පත් විඳිනුවට අවශ්‍ය වූ බොහෝ උපකරණයෝ වෙත්. ඉදින් සියලු කම්සැපත් අත් හරනේ නම්, නිරුත්තර වූ උතුම් ආර්ය ධනය ලබන්නේ යැ’ යි ද හෙළි කොට කීහ.
සිංහපූර්වාර්ධකායාදි ත්‍රි ලක්ෂණ (17, 18, 19)
මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම, “මේ සත්වයෝ කෙසේ නම් සැදැහැයෙන් වැඩෙන්නාහු ද? ශීලයෙන් වැඩෙන්නාහු ද? සුභාෂිතශ්රවණයෙන් වැඩෙන්නාහු ද? ත්යාගගුණයෙන් වැඩෙන්නාහු ද? ලෞකික ධර්මයෝ වැඩෙන්නාහු ද? ප්‍රඥායෙන් වැඩෙන්නාහු ද? ධනධාන්‍යයෙන් වැඩෙන්නාහු ද? කෙත්වතින් වැඩෙන්නාහු ද? දෙපා සිවුපා සතුන්ගෙන්, අඹුදරුවන්ගෙන් දැසි දස් කම්කරු පුරුෂයන්ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන්, (පරම්පරාගත) බන්ධුන්ගෙන් වැඩෙන්නාහු දැ?’යි බොහෝ දෙනාට වැඩ කැමැති වූයේ, අභ්‍යුදය කැමැති වූයේ සැප කැමැති වූයේ, නිරුපද්‍රැත බව කැමැති වූයේ විය.
“හෙ තෙමේ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින් … කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට ගියේ ය. හේ එයින් සැව, මේ මිනිසත් බවට ආයේ ම, මේ මහ පුරිස්ලකුණු තුන ලබයි. සිංහයාගේ පෙරඩ කය මෙන් පරිපූර්ණ වූ (පූර්වාර්ධ අපරාර්ධ යන) සියලු සිරුර ඇත්තේ වෙයි. මසින් පිරුණු පිටිකර ඇත්තේ වෙයි. සම ව වට වූ කඳ ඇත්තේ වෙයි. හේ ඒ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? නො පිරිහෙන ස්වභාවය ඇත්තේ වෙයි, ධනධාන්‍යයෙන් කෙත්වතුයෙන්, දෙපාසිවුපාවන්ගෙන්, අඹුදරුවන්ගෙන්, දැසි දස් කම්කරු පුරුෂයන්ගෙන් නෑයන්ගෙන්, මිතුරන්ගෙන්, බන්ධූන්ගෙන් නො පිරිහෙයි. සියලු සැපතින් නො පිරිහෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබයි ද? නොපිරිහෙන සැහැවි ඇත්තේ වෙයි. ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන් නො පිරිහෙයි. සියලු සැපතින් නො පිරිහෙයි. බුදු වනුයේ මෙය ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළසේක. එහි මෙය (ගාථායෙන්) මෙසේ කියනු ලැබේ:
ශ්‍රද්ධායෙන් ද ශීලයෙන් ද ශ්‍රැතයෙන් ද ප්‍රඥායෙන් ද ත්‍යාගයෙන් ද ධර්මයෙන් ද යන බොහෝ සාධු ගුණවලින් ද, ධනයෙන් ද ධාන්‍යයෙන් ද කෙත්වතුයෙන් ද දරුවන්ගෙන් ද භාර්ය්යාවන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද
නෑයන්ගෙන් ද මිත්‍රයන්ගෙන් ද බන්ධූන්ගෙන් ද ශරීරශක්තියෙන් ද වර්ණයෙන් සැපයෙන් යන දෙකින් දැ අන්‍යයෝ කෙසේ නම් නො පිරිහෙන්නාහු ද?’යි හේ කැමැති වෙයි. මේ අනුන්ගේ සමෘද්ධිය හේ පතයි.
පෙරැ කරන ලද, මොනොවට රැස් කරන ලද ඒ කර්ම හේතුයෙන් හෙ තෙමේ සිංහයකුගේ පෙරඩ කය බඳුව පිරිපුන් ව සුපිහිටි, කයැත්තේ විය. සම ව වට වූ, මසින් පිරුණු පිටිකර ඇත්තේ විය. තථාගතයන් වහන්සේ නො පිරිහෙන ඒ කර්මය ඒ ලක්ෂණත්රයයාගේ ලැබීමට පෙර නිමිති වෙයි.
කුමර තෙමේ ඉදින් ගිහි ව සිටී නම්, ධනයෙන් ද ධාන්‍යයෙන් ද දූ පුතුන්ගෙන් ද භාර්ය්යාවන්ගෙන් ද සිවුපාවන්ගෙන් ද වැඩෙයි. ඉදින් කිසි ධන රැස් කිරීමෙක් නැති පැවිද්දෙක් වී නම්, නිරුත්තර වූ නොපිරිහෙන ධර්මතා වූ බුදුබවට පැමිණේ’යැ යි ලක්ෂණශාස්ත්රඥ බමුණෝ පැවැසූහ.
රසග්රාසාග්රතා ලක්ෂණය (20)
මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි, පෙර බෙවෙහි, පෙරැ වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම අතින් හෝ කැටින් හෝ දඬුමුගුරෙන් හෝ අවියෙන් හෝ සතුන් නො පෙළන ස්වභාවය ඇත්තේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලෝ ගියේ ය. හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස් ලකුණ ලබයි. අග්‍ර රස එළවන රස නහර ඇත්තේ වෙයි. ඔහුගේ ග්‍රීවායෙහි උඩුකුරු වැ කෙළින් නැඟී සිටි සම ව රසය එළවන රස නහරයෝ හටගත්තාහු වෙත්. හේ ඒ ලකුණින් සමන්විත වූයේ ඉදින් ගිහිගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, සමවෙපාකිනි වූ කර්මජ තේජෝධාතුයෙන් සමන්විත වූයේ, නීරෝග වෙයි, නිදුක් වෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබා ද? යත්: ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ මධ්‍යම වූ ප්‍රධන් වීර්‍ය්‍ය වඩනුවට පොහොසත් වූ. කර්මජ තේජෝධාතුයෙන් සමන්විත වූයේ, නීරෝග වෙයි, නිදුක් වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි මෙය ගාථායෙන් මෙසේ කියනු ලැබේ:
‘හේ අතින් හෝ දඬු මුගුරින් හෝ නොහොත් කැටින් හෝ අවියෙන් හෝ, තවද සිර ගෙහි ලෑමෙන් හෝ තරවටු කිරීමෙන් හෝ ජනතාව නො පෙළී ය. හේ ජනතාව නොපෙළන්නෙක් විය.
එ හෙයින් ම පර ලෝ ගොස් සුගතීන්හි සතුටු වෙයි. සැප පල දෙන කර්ම කිරීමෙන් සුව විඳී. මොනොවට රස එළවන්නාවූ රසනහරයෝ තුමූ ම මොනොවට පිහිටියාහු වෙත්. මෙසේ මෙහි (මේ මිනිස්බවට) පැමිණියේ රසග්රාසාග්රිතාව (අග්රරසනහර ඇති බව) ලබයි.
එ හෙයින් ඉතා සියුම් නුවණැති (නිමිත්තපාඨක) පඬිහු ඔබට ‘මෙ මිනිස් තෙමේ සුව බහුල කොටැති වන්නේ’ ය. නැවැත ද ගිහියකුට හෝ පැවිද්දකුට හෝ ඒ කරුණ හෙළි කරන ඒ ලක්ෂණය වෙයි.
අභිනීලනේත්‍ර ගෝපඛුමතා ලක්ෂණ (21, 22)
“මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ ම, කෝපයෙන් ඇස් ඔරවා බලන්නේ නො වී ය, (ක්රෝධපර වැ) හිස ඇළ කොට ඇස් කොනින් බලන්නේ ද නො වී ය. ක්රෝධපර ව අනුන් දෙස රහසින් රවා බලන්නේ ද නො වී ය. ඍජු ව ද ඇස් පුරා ද ඍජු සිත් ඇත්තේ සිය ඇසින් බොහෝ දෙනා දෙස බලන්නේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින් කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට ගියේ ය. හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස්ලකුණු දෙක ලබයි. වෙසෙසින් නිල්වන් වූ ඇස් ඇත්තේ වෙයි, එකෙණෙහි උපන් රතු වස්සකුගේ ඇස් පියුම් (ඇස්ගුළිය) බඳු ඇස් පියුම් ඇත්තේ වෙයි. මේ ලක්ෂණවලින් සමන්විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වන්නේ කුමක් ලබයි ද? ප්‍රිය වූ දැකුම් ඇත්තේ වෙයි. බමුණනට, ගැහැවියනට, නිගම්වැසියනට දනවුවැසියනට, ගණකයනට, මහාමාත්රයනට, සේනාඞ්ගරක්ෂකයනට, ද්වාරපාලයනට, පරම්පරාගත වැ රාජපර්ෂද්හි වූවනට, රජුනට, රාජදෙය භෝග සම්පත් විඳුනවුනට රජකුමරුවනට, යන බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබයි ද? ප්‍රිය දැකුම් ඇත්තේ වෙයි. බොහෝ දෙනාට ප්‍රිය වෙයි, මනවඩන්නේ වෙයි. මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට දෙවියනට මිනිස්නට අසුරයනට නාගයනට ගඳෙව්වනට ප්‍රිය වෙයි, මනාප වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය (ගාථායෙන්) කියනු ලැබේ:
‘ක්‍රෝධයෙන් ඇස් ඔරවා ද නො බලන්නේ විය. කෝපයෙන් හිස ඇළ කොට ඇස් කොනින් බලන්නේ ද නො වී ය. රහසින් අනුන් දෙස රවා බලන්නේ ද නො වී ය. ඍජු ලෙස, ඇසපුරා, ඍජු සිතැති ව, ප්‍රිය ඇසින් බොහෝ දෙනා දෙස බලන්නේ විය.
හේ එහි ඵලවිපාකය සුගතීන්හි විඳියි. එයින් එහි සතුටු වෙයි, නැවැත මෙහි උපදනේ ද, එ කෙණෙහි උපන් වස්සකුගේ බඳු ඇසිපියුම් ඇත්තේ, වෙසෙසින් නිල් වූ ඇස් ඇත්තේ, ශෝභන දැකුම් ඇත්තේ වෙයි.
ලක්ෂණශාස්ත්ර හැදෑරීමෙහි යෙදුණු සියුම් නුවණැති, නිමිති සතර දන්නා, සියුම් නේත්රවිද්යායෙහි දක්ෂ වූ බමුණෝ ‘ප්‍රිය දර්ශන ඇත්තේ යැ’යි ඔහු වෙසෙසින් දක්වත්.
ගිහි වන්නේ ද ප්‍රිය දැකුම් ඇත්තේ, බොහෝ ජනයා විසින් ප්‍රිය කරන ලද්දේ වෙයි. ඉදින් ගිහි නොවන්නේ නම්, බොහෝ දෙනාට ප්‍රිය වූ, ජනයාගේ ශෝක නසන ශ්‍රමණයෙක් වෙයි.
ඌෂ්ණීෂශීර්ෂලක්ෂණය (23)
“මහණෙනි, ‘පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම කුසල් දහම් හි බොහෝ දෙනාට ගණදෙටු විය, කායසුචරිතයෙහි ද වාක්සුචරිතයෙහි ද මනස්සුචරිතයෙහි ද දන් දීමෙහි ද ශීල සමාදානයෙහි ද පෙහෙවස් වුසුම්හි ද මවට උවටන්හි ද පියාට උවටන්හි ද මහණුන් පිදීමෙහි ද බමුණන් පිදීමෙහි ද කුලදෙටුවන් පිදීමෙහි ද තව තවත් අධිකුශලධර්‍මයන්හි ද බොහෝ දෙනාට ප්රමුඛ විය’ යන යමෙක් ඇද් ද, හේ, ඒ කර්ම කළ හෙයින් … කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි. හේ එයින් සැව මේ මිනිසත් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණ ලබයි. හේ නලල්පට බන් සෙයින් පිරිපුන් නලල ද පිරිපුන් හිස ද ඇත්තේ වෙයි. හේ ඒ ලක්ෂණයෙන් යුක්ත වූයේ, ඉදින් ගිහිගෙයි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? මහා ජන තෙමේ ඔහු අනුව යන්නේ වෙයි. බමුණුගැහැවියෝ ද නියම්ගම් දනවු වැසියෝ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද සේනාඞ්ගරක්ෂකයෝ ද ද්වාරපාලයෝ ද ඇමැතියෝ ද පරම්පරාගත ව රාජපර්ෂත්හි වූවෝ ද, රජුහු ද, රාජ දත්ත භෝග ලැබ පරිභෝග කරන්නෝ ද, රජකුමරුවෝ ද ඔහු අනුව යන්නෝ වෙත්. රජ වනුයේ මෙය ලබයි. … බුදු වනුයේ කුමක් ලබා ද? මහණ, මෙහෙණ උවසු උවැසි දෙවි මිනිස් අසුර නාග ගන්ධර්ව යන මහා ජනයා ඔහු අනුව යන්නේ වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය මෙසේ ගාථායෙන් කියනු ලැබේ:
හේ සුචරිත ධර්මයන්හි පුරෝගාමී විය, ධර්මචර්ය්යායෙහි ඇලුණේ විය. එහි බොහෝ දෙනා ඔහු අනුව යන්නේ විය. එහි පින්පල සගලොව්හි දී වින්දේ ය.
හේ සුචරිතයේ ඵලය විඳ, මෙහි උෂ්ණීශීර්ෂ බව ලැබී ය. ලක්ෂණ ශාස්ත්‍රධරයෝ ‘මෙ තෙමේ බොහෝ දෙනාට පුරෝගාමී වන්නේ යැ’යි පැවැසූහ,
මෙහි මිනිසුන් අතුරෙහි වතාවත් කරුවෝ ඒ කල්හි පළමු ළදරු වියෙහි ම ඔහුට කුදුමහත් වතාවත් එළවත්. ඉදින් පොළොවට අධිපති රජෙක් වී නම්, හේ වතාවත් කරන බොහෝ ජනයන් ලබයි.
ඉදින් ඒ මිනිස් තෙමේ පැවිදි වන්නේ නම්, ධර්මයන්හි (ධ්‍යාන සමාපත්ති ධර්මයන්හි) පුහුණු වූ, පුරුදු කළ වශිතා ඇතියෙක් වෙයි. ඔහුගේ අනුශාසන ගුණයෙහි ඇලුණු බොහෝ ජනයා ඔහු අනුව යන්නේ වේ.
ඒකෙෙකලෝමතා – ඌර්ණාලක්ෂණාදීහු (24, 25)
“මහණෙනි, ‘තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම මුසවා හැරැ මුසවායින් වැළැක්කේ, ඇත්ත කියන සුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපනුයේ, තහවුරු බස් ඇත්තේ, හැදැහිය යුතු බස් ඇත්තේ, ලොව නො රවටනුයේ වීය’ යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින්, ඒ කර්මය රැස් කළ බැවින් … කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස්ලකුණු දෙක ලබයි: එක් එක් ලෝම කූපයෙහි එක් එක් ලෝමයක් ඇත්තේ ද වෙයි, දෙ බැම අතුරෙහි සුදු පැහැති මොළොක් පුලුන් රොදක් බඳු වූ ඌර්ණරෝමයෙක් ද හටගත්තේ වෙයි. හේ ඒ ලක්ෂණයන්ගෙන් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබන්නේ ද? බමුණෝ ය, ගැහැවියෝ ය, නිගම්වැස්සෝ ය, දනවුවැස්සෝ ය, ගණකයෝ ය, මහාමාත්‍රයෝ ය, සේනාඞ්ගරක්ෂකයෝ ය, ද්වාරපාලයෝ ය, අමාත්‍යයෝ ය, පරම්පරාගත වැ රාජපර්ෂත්හි වූවෝ ය, රජුහු ය, රාජදත්ත භෝග ඇත්තෝ ය, රජකුමරුවෝ ය යන මහා ජනයෝ ඔහු අදහස අනුවැ පවත්නාහ. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුර නාග ගන්ධර්ව යන මහා ජනයා ඔබ අදහස අනුව පවතී. බුදු වනුයේ මෙය ලබයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් කියනු ලැබේ:
“පෙර දෑහි සත්‍ය ප්‍රතිඥා ඇත්තේ, දෙසැටියෙකින් නො පැවැති ඒකාන්ත වචන ඇත්තේ, මුසා බස් දුරැලී ය. හේ කිසිවකුත් නො රවටන්නේ විය, සත්‍ය වූ තථ්‍ය වූ තත්ත්වාකාර වූ වචනයෙන් කථා කෙළේ ය.
(එයින්) සුදු පැහැති, ඉතා සුදු වූ, මොළොක් පුලුන් බඳු වූ උර්ණාවෙක් දෙබැම අතුරෙහි මැනැවින් හට ගත්තේ විය. ලෝමකූපයන්හි එකෙක දෙකෙක් නො වී ය. එකි එකී ලොම්කුයෙහි එක් එක් ලෝමයක් ම හට ගත් සිරුර ඇත්තේ වී ය.
උත්පාදශාස්ත්ර නිමිත්තශාස්ත්රයන්හි දක්ෂ වූ ශරීරලක්ෂණ දන්නා බොහෝ දෙනෙක් රැස්වූවාහු, “මොහු සිරුරැ ඌර්ණාව ද ලෝමයෝ ද යම්සේ මොනොවට පිහිටියාහු ද, එහෙයින් බොහෝ දෙනා මෙබන්දහු අදහස් අනුව පවතී යැ”යි එය පැවැසූහ.
පූර්ව ජාතීන්හි කරන ලද කර්ම හේතුයෙන් බහු ජන තෙමේ ගිහි වැ ඉන්නා වූ ද කුමරු අනුව යෙයි. බොහෝ දෙනා කිසි ධන රැස් කිරීමක් නැති, පැවිදි වැ බුදු වූ ම ඔබ අනුව යෙයි.
චත්වාරිංශත්දන්ත – අවිරලදන්තතාදි – ලක්ෂණ (26, 27)
මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම කේලාම් බස් හැර, කේලාම් බසින් වැළැක්කේ විය, මෙතැනින් අසා, මොවුන්ගේ බිඳීම පිණිස පිණිස එ තැන්හි නො කියන්නේ විය, එ තැන්හි හෝ අසා, ඔවුන්ගේ බිඳීම පිණිස, මොවුනට නො කියන්නේ විය, මෙසේ බිඳුණුවන් ගළපන්නේ ද, ගැළපුණවුනට අනුබල දෙන්නේ ද විය, සමගියෙන් සිටිනවුනට කැමැත්තේ, සමගියෙන් සිටිනවුන් කෙරෙහි ඇලුණේ, සමගියෙන් සිටිනවුනට සතුටු වූයේ, සමගිය ඇති කරන බස් කියන්නේ විය” යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින් … සග ලොවට ගියේය. හේ එයින් ච්‍යුත වූයේ මෙ මිනිස්බවට ආයේ ය, මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: දත් සාළිසක් ඇත්තේ, විරළ නොවූ දත් ඇත්තේ ද වෙයි. හේ ඒ ලක්ෂණයන්ගෙන් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? නො බිඳියැ හැකි පිරිස් ඇත්තේ වෙයි, බ්‍රාහ්මණ ගෘහපති නිගමවාසී ජනපදවාසී ගණක මහාමාත්‍ර සේනාඞ්ගරක්ෂක ද්වාරපාල අමාත්‍ය පාරිෂද්ය රාජ කුමාර යන ඔහුගේ පිරිස්හු නොබිඳියැ හැක්කාහු වෙත්. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබා ද? නොබිඳියැ හැකි පිරිස් ඇත්තේ වෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුර නාග ගන්ධර්ව යන ඔබ පිරිස්හු නොබිඳියැ හැක්කාහු වෙත්. බුදු වනුයේ මෙය ලබයි”.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි මෙය (ගාථායෙන්) කියනු ලැබේ:
‘හේ පෙර අත්බව්හි ගැළපුණවුන් (සමගියෙන් සිටිනවුන් බිඳුවන්නේ හෝ භේදවැඩෙන විවාද පහළ කරන්නේ හෝ කලහ වැඩෙන නොකටයුතු කරන්නේ හෝ නො වීය. ගැළපුණුවුන්ගේ භේද උපදවන වචන ද නො කීයේ ය.
විවාද වැඩීම කරන සුලු නොවූ, බිඳුණවුනට සමගිය උපදවන සුලු වචන කීයේ ය. සමඞ්ගී … ජනයාගේ කලහ දුරු කෙළේ ය. සමගියෙහි පිහිටියවුන් හා සතුටු වෙයි, ප්‍රමුදිත ද වෙයි.
සුගතීන්හි ඵලවිපාක විඳියි, එහි සතුටු වෙයි. මෙහි උපන් ඔහුගේ දත් අවිරළ වේ, එකට සම්බන්ධ වෙයි. ඔහුගේ දන්තයෝ සතළිසෙක් මොනොවට පිහිටියාහ.
ඉදින් පොළොවට ස්වාමී වූ ක්ෂත්රියයෙක් වී නම්, ඔහුගේ පිරිස්හු නො බිඳැලිය හැකි වෙත්. ඉදින් මහණ වන්නේ නම්, පහ වූ කෙලෙස් ධූලි ඇතියේ, පහ වූ කෙලෙස්මල ඇතියේ වෙයි. ඔබ පිරිස ඔබ අනුව ගියේ ස්ථිර වෙයි.
ප්රහූතජිහ්වතා – බ්රහ්මස්වරතා – ලක්ෂණ (28, 29)
මහණෙනි, “පළමු දෑහි පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මනුෂ්‍ය වනුයේ පරොස් බස් හැර, පරොස් බසින් වැළැක්කේ විය. නිදොස් වූ, කනට සැප වූ, පෙම් කටයුතු වූ, සිතැ වැදැ ගන්නා, නියැරියනට සුදුසු වූ, බොහෝ දෙනාට කාන්ත වූ, බොහෝ දෙනාගේ මන වඩන්නා වූ යම් වචනයෙක් වේ ද, එබඳු වචන කියන්නේ වී ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් … සග ලොවට ගියේ ය. හේ එයින් සැව, මේ මිනිස්බවට ආයේ ම මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: දික් පුලුල් වූ දිව ඇත්තේ වෙයි, බඹහුගේ බඳු ගැඹුරු හඬ ඇත්තේ, කුරවි කොවුලකුගේ බඳු මිහිරි හඬ ඇත්තේ වෙයි. හේ ඒ ලක්ෂණයන්ගෙන් සමන්විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ ද, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? පිළිගත යුතු වචන ඇත්තේ වෙයි, බමුණෝ ද ගැහැවියෝ ද නිගම්වැසි දනවුවැසි ජනයෝ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද සේනාඞ්ග රක්ෂකයෝ ද ද්වාරපාලයෝ ද ඇමැතියෝ ද පරම්පරාගත ව රාජපර්ෂද්හි වූවෝ ද රජුහු ද රජහු දුන් භෝගසම්පත් බුත්ති විඳින්නෝ ද රජකුමරුවෝ ද යන ඔහුගේ පිරිස්හු ඔහු බස් පිළිගනිත්: රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? පිළිගත යුතු වචන ඇත්තේ වෙයි. මහණ මෙහෙණෝ ද උවසුඋවැසියෝ ද දෙව්හු ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගඳෙවුහු ද ඔබ වචන පිළිගනිත්. බුදු වනුයේ මෙය ලබයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ (ගාථායෙන්) කියනු ලැබේ:
“හෙ තෙමේ ආක්‍රෝශ කලහ හිංසා යන මේ දෑ කරවන, සිත පෙළන, මහජනයාගේ සිත් රිදුවන. කැකුළු වූ පරොස් බස් නො බිණුයේ ය. ඉතා ප්‍රේම සහිත වූ මෘදු වූ මිහිරි බස් බිණූයේ ය.
හේ සිතට ප්‍රිය වූ, සිතැ වැදැගන්නාවූ, කනට සැප වූ, වචන කියයි. වාක්සුචරිතයාගේ ඵලය හේ වින්දේ ය. ස්වර්ගයන්හි (වාක්සුචරිතමය) පිනේ පල වින්දේ ය.
හේ සුචරිතයේ විපාක ලැබීමෙන් මෙහි දී, බ්රහ්මස්වර බව ලැබී ය. ඔහුගේ දිව දික් ද පුලුල් ද වෙයි. හේ පිළිගත යුතු වචන ඇත්තේ වෙයි.
යම්සේ කියන ගෘහස්ථයාගේ ද වචනය සිදු වන්නේ ද ඉදින් ඒ මිනිස් තෙමේ පැවිදි වන්නේ නම් බොහෝ ජනයාට බොහෝ වූ මනාප වචන කියන ඔබගේ වචන ජනතාවෝ පිළිගනිත් යැ යි නෛමිත්තකයෝ කීහ.
සිංහහනු – ලක්ෂණය (30)
මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි, පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම සම්ඵප්‍රලාපය හැර, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ, කල් දැන කියනුයේ, සත්‍යය ම කියනුයේ, වැඩ සලසන බසක් ම කියනුයේ, කුසල් දහම් අසළ බසක් ම කියනුයේ, විනය අසළ බසක් ම කියනුයේ විය, සිතැ තබා ගන්නට නිසි වූ, කරුණු සහිත වූ, සසීම වූ අර්ත්ථනිඃශ්රිත වූ වචන සුදුසු කල්හි කියන්නේ වී ය” යන යමෙක් ඇද්ද, හෙ තෙමේ ඒ කර්මය කළ බැවින් … සග ලොවට පැමිණියේ ය. එයින් සැව මෙ මිනිස් බවට ආයේ ම මේ මහපුරිස්ලකුණ ලබයි: හේ සිංහයකුගේ යැටි හනුව සේ පිරුණු උඩු යැටි දෙහනු ඇත්තේ වෙයි. ඒ ලක්ෂණයෙන් සමන්විත වූ හෙ තෙමේ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? මිනිස් වූ කිසි දු සතුරෙකු විසින්, පසමිතුරකු විසින්, නෙරැපියැ නො හැක්කේ වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? අන් සත්නට උපදනා පරිදි රාගය විසින් හෝ ද්වේෂය විසින් හෝ මෝහය විසින් හෝ මෙසේ අභ්‍යන්තරික සතුරන් පසමිතුරන් විසින් හෝ මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ මෙසේ බාහිරක සතුරන් පසමිතුරන් විසින් හෝ ලොවැ කිසි දු කෙනකු විසින් හෝ නෙරැපියැ නොහැක්කේ වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. එහි මෙය (ගාථා වචන විසින්) කියනු ලැබේ:
“හේ පැණවතුන්ගේ වචන පරම්පරාවක් නොවූ සම්ඵප්‍රලාප නො දෙඩී ය. හේ නොවිසුරුණු වචනයැ යි කියන ලද වාඞ්මාර්ගය ඇත්තේ විය. අවැඩ හා බැඳුණු බස් ද දුරැ ලී ය. අභිවෘද්ධිදායක වූ ද බොහෝ දෙනාට සුව එළවන්නාවූ ද බස් බිණී ය.
එය කොට මෙයින් සැව, දෙව්ලොවට පැමිණියේ ය. මොනොවට කළ කර්මයාගේ ඵලවිපාක වින්දේ ය. එයින් සැව, නැවැත මෙහි ආයේ ම, සිංහහනු ලක්ෂණය ලද්දේ ය.
මිනිස්නට ඉන්ද්‍ර වූ, මනුෂ්යාධිපති වූ, මහ තෙදැති, කිසිසේත් බැහැරැ නො කටහැකි රජෙක් වෙයි, සක්දෙව් බඳු වෙයි. සුරශ්රේෂ්ඨ වූ ඉන්ද්රයා බඳු වෙයි.
ඉදින් එබඳු ස්වභාවය ඇත්තේ, එබඳු ලක්ෂණ ඇත්තේ මෙහි උපදනේ ද, සතර දිග ද අනුදිග ද උඩ යට දෙදිග ද වසන ගඳෙවු යක් රකුස් දෙව් යන කිසි දු කෙනෙකු විසින් හෙලාලි යැ නො හැක්කේ වෙයි.”
සමදන්ත – සුශුක්ල දංෂ්ට්රා ලක්ෂණ (31, 32)
මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම මිථ්‍යා ආජීවය හැර, සම්‍යගාජීවයෙන් දිවි පැවැත්වී ය, තුලාකූට (තරාදියෙන් කරන වඤ්චාව) කංසකූට (රන් තලුතැටියෙන් කරන වඤ්චාව,) මානකූට (මිනීමෙන් කරන වඤ්වාව,) උත්කෝටන (අල්ලස් ගෙන නොහිමියන් හිමියන් කිරීම,) වංචන (නොයෙක් උපායෙන් අනුන් රැවැටීම,) නිකති (බොරු රන් බොරු මැණික් ආදිය දීමෙන් කරන වඤ්චාව) සාචියෝග (උත්කෝටනාදි ක්‍රියා) ඡේදන වධ බන්ධන විපරාමෝස (සැඟැවි සිට අන් සතු දෑ පැහැරැ ගැන්ම,) ආලෝප (ගම්පැහැරුම් නුවර පැහැරුම් ආදිය.) සහසාකාර (බලාත්කාරයෙන් ගැන්ම) යන මෙයින් වැළක්කේ වී ය” යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින්, බොහෝ සේ කළ බැවින්, මහත් කොට කළ බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ දිව්‍ය ආයුෂයෙන් ද දිව්‍ය වර්ණයෙන් ද දිව්‍ය සැපයෙන් ද දිව්‍ය යශසින් ද දිව්‍ය ආධිපත්‍යයෙන් ද දිව්‍ය රූපයන්ගෙන් ද දිව්‍ය ශබ්දයන්ගෙන් ද දිව්‍ය ගන්ධයන්ගෙන් ද දිව්‍ය රසයන්ගෙන් ද දිව්‍ය ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් ද යන කරුණු දශයෙකින් අන් දෙවියන් ඉක්මැ (මැඩලා) සිටියි. හේ එයින් සැව, මෙ මිනිස්බවට ආයේ ම, මෙ මහපුරිස් ලකුණු දෙක ලබයි: සමදත් ඇත්තේ ද, ඉතා සුදු පැහැ දත් ඇත්තේ ද වෙයි.