දස්‌සනභූමි පඨමමග්‌ගඵලධම්‌මා. භාවනාභූමි අවසිට්‌ඨමග්‌ගඵලධම්‌මා.

දස්සනභූමිය යනු සොතාපත්ති (ප්‍රථම) මාර්ග ඵල ධර්මයන් ය.

භාවනා භූමිය යනු අවශේෂ මාර්ග ඵල ධර්මයන් ය. එනම් සකදාගාමී අනාගාමී අර්හත් මාර්ග ඵල ධර්මයන් ය.

මෙයින් කියවෙන්නේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන් අතර ප්‍රථම මාර්ගයට “දස්සන” යන නාමයත් ඉතුරු මාර්ගයන්ට “භාවනා” යන නාමයත් යෙදෙන බවයි.

අද කාලයේ මිත්‍යා දෘෂ්ටිකයන් පැහැදිලි කරන ආකාරයට “දස්සන” යනු ඇසෙන් බැලීමක් වත්,

“භාවනා” යනු ඇස් දෙක පියාගෙන කරන ක්‍රියාවක් වත් නො වන බව ය.

‘කස්‌මා පන සොතාපත්‌තිමග්‌ගො දස්‌සනං නාම ජාතො’ති? ‘පඨමං නිබ්‌බානදස්‌සනතො’

කුමන කරුණකින් සෝතාපත්ති මාර්ගය ට “දස්සන” යන නාමය ඉපදුනේ ද (පහළ වී ද ) ? ප්‍රථමයෙන් නිවන දකින ලද හෙයිනි.

සබ්බාසව සූත්‍රයේ සඳහන් වන අයුරින්
“අත්ථි ආසවා දස්‌සනා පහතබ්බා” යනුවෙන් සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, සක්කාය දිට්ඨි යන සංයෝජනයන් ප්‍රහාණය කරන්නේ චක්ඛු ද්වාරයෙහි (ඇසෙහි) ඇති වන දැකීමකින් නො ව,

මනස නම් වූ ඉන්ද්‍රියෙහි පහළ වන (පටිපදා ඤාණ දස්සන විසුද්ධියේදී ඇතිවන) විදර්ශනා ඥාණ යන්ටත් වඩා ප්‍රබල ව, ඉතා තියුණුව විපස්සනා ව පිහිටන සෝතාපන්න මාර්ග සිතෙනි.

එය ඇසින් දැකීමක් නොවේ.

සුළු මොහොතක කෝටි ප්‍රකෝටි වාර ගණනක් ඉපිද බිඳෙන නාම රූප ඇසින් දැකිය නොහැකි ය. තමා ගේ ඇසට මේ තරම් වේගවත් රූපයන් වෙන්කර හඳුනා ගත හැකියැයි යමකු තර්ක කළ හොත් ඔහු ට පැවසිය යුත්තේ ;

ඒ තරම් වේගවත් දෙයක් වෙන් කර හදුනා ගැනීමට ප්‍රථමයෙන්, තත්පරයකට රූප රාමු 30 ක් පමණ පෙන්වන චිත්‍රපටයක රුප රාමු ඇසින් වෙන් කර හඳුනාගත හැකි විය යුතු බවයි.

ඇසින් නාම රූප වෙන් කර හඳුනා ගත නොහැක. නිවන ද දැකිය නො හැකිය.

මනස නම් වූ ඉන්ද්‍රිය දියුණු කර ගැනීමෙන් පමණක් විදර්ශනා ඥාණ ලැබීමත් මාර්ග ඵල අවබෝධ කර ගැනීමත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමත් ඉෂ්ට සිද්ධ කර ගැනීමට පුළුවන.