මෙකල විශේෂත්වය නම් සතර අපායෙන් මුදවා ගැනීම පිණිස ලෝ වැසියන්ට අනුකම්පාවෙන් , නිවැරදි ත්‍රිපිටකය අනුව ධර්මය දේශනා කරන විට පිළිගන්නා පිරිස, අනුගමනය කරන පිරිස අඩු බව ය.

සද්ධාවෙන් තොරව තමනුත් පැටලී, අතරමංවී අනුන්ට අනුකම්පා නො කර තමන් අපායට යන ගමනේ අනුන්වත් අපායට කැදවා ගෙන යන, ධර්මයට විරුද්ධ කරුණු පවා තමන්ට සිතෙන සිතෙන පරිදි විසිතුරු කර දේශනා කරන විට පිළිගන්නා පිරිස, අනුගමනය කරන පිරිස බොහෝ සෙයින් වැඩි ය.

වැරදි බණ අසන පිරිස, තිසරණ නැති අසරණයන් වන බවට කදිම උදාහරණ දැන් දැන් දක්නා ලැබේ.

කෝකාලික භික්ෂූන් වහන්සේ වැනි සීලය සම්පූර්ණ කරණ ලද උතුමන් පවා තිසරණ බිඳ ගෙන සසර අතරමන් වූ බව සඳහන් කල්හි, දේවදත්ත භික්ෂූන් වහන්සේ වැනි සීලය, සමාධිය, අභිඥා ආදී උත්තරමනුෂ්‍ය ධර්ම සපුරන ලද උතුමන් පවා තිසරණ බිඳ ගෙන සසර අතරමන් වූ බව සඳහන් කල්හි මෙකල සිටින අල්පමාත්‍රගුණ සහිත පුද්ගලයන් අපායට යොමු වී රැස් කරගන්නා අකුසල් පිළිබඳ විශ්මයට පත්විය යුතු නැත.

ඔවුන් සිතන්නේ අකුසල් සිදු වන්නේ ශික්ෂා පද සමාදන් වුවහොත් පමණ බව ය. එය එසේ නම් ශික්ෂා පද සමාදන් වීම ම අනතුරු දායක ය. එය එසේ නම් ශික්ෂා පද අන්‍යන්ට දේශනා කරන ලද භාග්‍යවතුන් වහන්සේ අපට අවැඩ පිණිස, අහිත පිණිස එම දේශනා කරන ලද විය යුතු ය.

ඇතැම් මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිතෙන්නේ බුද්ධ රත්නයට චෛත්‍යය බෝමළු ආදී පූජා ස්ථාන මුල් කරගෙන හෝ අන් අයුරකින් හෝ අගෞරව කළ විට, ධර්ම රත්නයට අගෞරව කළ විට අකුසල් සිදුවන්නේ භික්ෂූන් වහන්සේලාට බවය. අගෞරව කළත් ගිහියන්ට ඒ අකුසල් සිදු වන්නේ නැති බව ය. එසේ ගත් කළ මිථ්‍යා දෘෂ්ටිකයන්ට නම් මොන දේ කලත් අකුසල් සිදු නොවන බව කෙනෙකුට සිතෙන්නට පුළුවන.

මෙසේ සිතිවිලි පහළ වීමට මූලික හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ක්‍රමයෙන් බැහැරව හොර පාරෙන් නිවන් දකින්නට තිබෙන තණ්හාවයි.

භාග්‍යවතුන් වහන්සේ කොතෙක් දේශනා කළත් භාග්‍යවතුන් වහන්සේට හෝ ධර්ම රත්නයට ගරු කරන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ය.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි අනුගමනය කිරීමෙන් පමණක් නිවන් දැකිය හැකි බව ඔවුනට අවබෝධයක් නැත.

තමන්ගේ කායික වාචසික ක්‍රියා සිතෙහි පවතින තන්හා වේ පිළිබිඹුවක් බව ඔවුන් නොදනී. තමා තුල පවතින කෙලෙස් පිළිබඳ අවබෝධයක් නොමැති බැවිනි. ධර්ම ශ්‍රවණය කරන විට තමන් ඉන්න ඉරියව්ව තමන්ගේ ක්ලේශයන් ට අනුකූල බව ඔවුන් නොදනී. ධර්මයට අගෞරව කරන්න වූ පුද්ගලයාට විශාල අකුසල් ප්‍රමාණයක් රැස් වන බවද ඔවුන් නොදනී.

භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දී පමණක් නොව විහාර සීමාවට ඇතුළු වන විට පවා තම හිස වසාගෙන ඇතුළු වීම භික්ෂූන් වහන්සේලාට ද තහනම් කර ඇත. භික්ෂූන් වහන්සේලාට එසේනමි ගිහියන්ට කෙසේ විය යුතුද.

භාග්‍යවතුන් වහන්සේට සිතිවිලි මාත්‍රයකින් අගෞරව කරන ලද මිත්‍යා දෘෂ්ටිකයන් අවීචියෙහි ඉපදුන බව ධර්මයෙහි සඳහන් ය.

( අන්ධයන් අනුගමනය කරමින් ) අන්ධානුකරණයෙන් නිරයට යන මොවුන් බේරා ගැනීමේ ක්‍රමයක් සොයාගැනීම අපහසුය.