දස පුණ්‍ය ක්‍රියා අතුරෙන් මොනයම් හෝ පුණ්‍ය ක්‍රියාවක් සිදු කරද්දී එම පුණ්‍ය ක්‍රියාව සිදු කරන පුද්ගලයාට ඇති වන ( ජවන ) සිත් වල ඇති වන චේතනාව ප්‍රධාන අනිකුත් චෛතසික වල ශක්තිය පුණ්‍ය ශක්තිය නමින් හැඳින්වේ. මෙම පුණ්‍ය ශක්තිය හැඳින්වීමට පින, කුසලය, පුණ්‍ය ක්‍රියාව, කුසල ක්‍රියාව යන නම් භාවිතා වේ.

උදාහරණයක් ලෙස දානයක් දීමේ දී දානය දෙන පුද්ගලයා ට ඇති වන චේතනා ශක්තිය දානමය පුණ්‍ය ක්‍රියාව නමින් හැඳින් වේ. මෙම දානය තව කෙනෙකුට අනුමෝදන් කිරීමට ක්‍රියා කිරීමේදී දායකයා ට ඇති වන චේතනා ශක්තිය ( පත්තිදාන ) පින් දීම නම් වූ පුණ්‍ය ක්‍රියාව යි. මෙම පින් දීම නම් වූ පුණ්‍ය ක්‍රියාව අයිති වන්නේත් දායකයාට මය.

එම පින් දීමේ ක්‍රියාවලිය ඇසින් දැක හෝ කනින් අසා හෝ සතුටු වන විට ඒ සතුටු වන පුද්ගලයාට ඇති වන සිත් වල ඇති චේතනා ශක්තිය ( පත්තානුමෝදනා ) පින් අනුමෝදන් වීම නමින් හැඳින්වේ. මෙම පුණ්‍ය ක්‍රියාව අයිති වන්නේ අනුමෝදන් වන්නාට ය.

මෙසේ අනුමෝදන් විය හැක්කේ එම පින දැකීමෙන් හෝ හෝ ඇසීමෙන් පසු සතුටු වෙන පුද්ගලයන්ට පමණ ය.

මනුෂ්‍ය ලෝකය, තිරිසන් ලෝකය, නිරය, ආදී ලෝකවල සිටින විට අන්‍යයන් කරන පින් දැනගැනීමට හැකියාවක් නැත.

දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය ආදී ලෝක වල සිටින විට දිවැසින් දැකීම හො දිව්‍ය කනින් ඇසීම කළ හැකි වුවත් එ් සඳහා කැමැත්තක් සහ ⁣කාලයක් නොමැති විට සිහි කිරීමක් සිදු නොවන නිසා අනුමෝදන් වීමක් ද සිදු නොවේ.

නමුත් ඥාති ප්‍රේත තත්වයෙන් සිටින සත්වයෝ විශේෂයෙන් මෙම අනුමෝදන් වීම සිදු කරති. ඔවුන්ට තම ඥාතීන් දකින හැකියාවත් අනුමෝදන් වීමේ කැමැත්තත් ඇති බැවිනි.