සරණාගමන කථා
සරණය, සරණාගමනය, සරණගතයා මේ වනවිට එම සරණාගමනයන් විෂයෙහි, දක්‍ෂ බව පිණිස සරණය සරණාගමනය යමෙක් සරණ යේද, හෙතෙම සරණාගමන ප්‍රභේදය සරණගමන ඵලය, සරණාගමනය කිලුටුවීම යන මේ දතයුත්තේය. සෙය්‍යථිදං ඒ කවරේද පදාර්ථ වශයෙන් හිංසා කෙරේනුය සරණ නම් වේ. එම සරණාගමනයෙන් සරණාගතයන්ගේ භය, තැතිගැනීම් දුක්, දුගති, පරික්ලේශ නැතිකරයි. විනාශ කෙරේය යන අර්ථයි. සරණ යනු තුණුරුවන්ට නමකි.
නැතහොත් හිතවත් බැව්හි පැවැත්මෙන් අහිතයන් වැලැක්වීමෙන් ද සත්ත්වයන්ගේ භයට හිංසා කෙරේනුයි භගවත් තෙම භව කතරින් එතර කිරීමෙන් හා අස්වැසිලි දීමෙන් ධර්මයද ස්වල්ප වූ සත්කාරයකින් මහත් වූ ප්‍රතිඵල හේතුවෙන් සංඝ තෙම ‘සරණ’ නම් වෙයි. එහෙයින් මෙම ක්‍රමයෙන්ද, රතනත්‍රය සරණ නම් වෙයි. තප්පාසාද තග්ගරුතා යන මෙයින් වෙසෙසින් නසන ලද කෙලෙස් ඇති තත්පරායණාකාරයෙන් පැවැත්තා වූ චිත්තෝද්පාදය තෙම සරණගමණ නම් වෙයි. එයින් යුත් පුද්ගල තෙම සරණ ගියේ වෙයි. උත්තප්‍රකාර චිත්තෝද්පාදයෙන් යුත් මට මේ තෙරුවන් සරණය. තෙරුවන් පිහිටයයි (පරායනයයි) මෙසේ එළඹියේය යන අරුති. මෙසේ පළමුකොට සරණය සරණයාමය යමෙක් සරණයේද හෙතෙමේ ද යන මේ තුන් කරුණු දතයුතුයැ.
සරණාගමන ප්‍රභේද
සරණාගමන ප්‍රභේද දුවිධ වේ. ලෝකෝත්තර සරණාගමනයද, ලෞකික සරණාගමනයද යනුවෙනි. ඔවුනතුරෙන් ලෝකෝත්තර සරණාගමනය නම් මග නැණින් දත් සිවුසස් ඇත්තහුට මහ නැණ පහළ වන මොහොතෙහි සරණාගමනය පිළිබඳ උප ක්ලේශයන්ගේ සමුච්ඡෙද ප්‍රහාණයෙන් අරමුණු වන හෙයින් නිවන අරමුණුව කිස සපුරමින් රත්නත්‍රය සම්පූර්ණ වීමයි.
ලෞකික සරණාගමනය පුහුදුන් හට සරණාගමන උප ක්ලේශයන්ගේ විෂ්කම්භනයෙන් අරමුණු වන හෙයින්, බුද්ධාදි ගුණයන් අරමුණු වීමෙන් සමෘද්ධ වෙයි. එය අර්ථ වශයෙන් බුද්ධාදී වස්තූන්හි ශ්‍රද්ධා ප්‍රතිලාභයයි. ශ්‍රද්ධාව මුල්කොට ඇත්තා වූ සම්මා දිට්ඨිය දශපුණ්‍ය ක්‍රියා විෂයෙහි දිට්ඨුජ්ජ කම්ම යයි කියනු ලැබේ.
ඒ මේ ලෞකික සරණාගමනය සිව් ආකාරයකින් පවතී. අත්ත සන්නීයාතන, තත්පරායනතා, සිස්සභාවූපගමන, පණිපාත යනුවෙනි. ඔවුන් අතුරෙහි අත්තසන්නීයාතන සරණාගමන නම්, මම අද පටන් මගේ ආත්මභාවය බුදුරදුන්ටද, ධර්මයටද, සංඝයාටද පාවා දෙමියි මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාග යයි.
තත්පරායනතා සරණාගමනය නම් මම අද පටන් කොට බුදුරදුන් පිහිටකොට ඇත්තේ වෙමි. ධර්මය පිහිටකොට ඇත්තේ වෙමි. සංඝයා පිහිටකොට ඇත්තේ වෙමියි මා දැරුව මැනවයි (සරණ යාම) තත්පරායතනතා සරණාගමනයයි.
සිස්ස හාමූපගමන සරණාගමනය නම්, මම අද පටන් බුදුරදුන්ගේ අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි. සංඝයාගේ අතවැසියෙක් වෙමියි මා දැරුව මැනවයි මෙසේ ශිෂ්‍යභාවයට පැමිණීමයි.
පණිපාත සරණාගමනය නම්, මම අද පටන් අභිවාදන – පච්චුපට්ඨාන – අඤ්ජලිකම්ම, සාමීචිකමම බුද්ධාදි තුණුරුවන්ට කරමි යයි මා දැරුව මැනවයි මෙසේ බුද්ධාදීන් කෙරෙහි අතිශයින් පහත් (නිහතමානි) පැවතුම් ඇති ආකාරයයි.
මේ සතර ආකාරයන් අතුරෙන් එක්තරා ආකාරයකින් කරන්නහු විසින් සරණාගමනය ගන්නා ලද්දේම වෙයි.
තව ද භාග්‍යවතුන් වහන්සේට ආත්මභාවය පරිත්‍යාග කරමි. ධර්මයට ද, සංඝයාට ද ආත්මභාවය පරිත්‍යාග කරමි. ජීවිතය පරිත්‍යාග කරමි. මා විසින් ආත්මභාවය පරිත්‍යාග කරන ලද්දේමය. මා විසින් ජීවිතය පරිත්‍යාග කරන ලද්දේමය. ජීවිතය අන්තකොට බුදුන් සරණ යමි. මට බුදුසරණයි, නිලීනස්ථාන යයි ආරක්‍ෂ ස්ථානයයි මෙසේත් අත්ත සන්නීයාතන සරණාගමනය දතයුතුයි.
සත්‍ථාරඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්තමෙව පස්සෙය්‍යං, සුගතඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්ත මෙම පස්සෙය්‍යං, සම්මා සම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්තමෙව පස්සෙය්‍ය යනුවෙන් මෙසේත් මහා කාශ්‍යප තෙරුන් බුදුන් සරණ යාම මෙන් භාවූපගමන සරණාගමනය දතයුතුයැ.
සො අහං විචරිස්සාමි ගාමගාමං පුරාපුරං
නමස්සමානො සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං
(ආලවක නම් වූ) මම සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමින් ධර්මයාගේද සුධර්මභාවය ප්‍රකාශ කරමින් ගමින් ගම නගරයෙන් නගරය හැසිරෙන්නෙමි.)
මෙසේ වූ ආලවක ආදීන්ගේ සරණාගමන මෙන් තත්පරායනතා සරණාගමනය දතයුත්තේය. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසංග කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙනච පරිචුම්බති පාණිහිච පරිසම්හාහති නාමඤ්ච සාවෙති. බ්‍රහ්මායු අහං භොගොතම බ්‍රහ්මායු බ්‍රාහ්මණො අහං භොගොතම බ්‍රාහ්මණො.
(ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම, හුනස්නෙන් නැගී සිට උතුරු සළුව එකස්කොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුහුණින් ද සිඹියි. අතුල්වලින් ද පිරිමදී. නමද අස්වයි. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි.)
යනුවෙන් මෙසේස්ත ප්‍රණිපාත සරණාගමනය දතයුතුයි.
ඒ මේ ප්‍රණිපාත සරණාගමනය, ඤාති – භය – ආචරිය දක්ඛිණෙය්‍ය වශයෙන් සිව්වැදෑරුම් වේ. එහි දක්ඛිණෙය්‍ය සරණාගමනයම සරණාගමන වෙයි. අන්‍යයන්ගෙන් සරණාගමනය නොවෙයි. ශ්‍රේෂ්ඨ වශයෙන් සරණය ගනු ලැබේ. ශ්‍රේෂ්ඨ වශයෙන්ම සරණාගමනයෙහි බිඳීමද වෙයි. යම් ශාක්‍ය වංශිකයෙක් හෝ කෝලිය වංශිකයෙක් හෝ බුදුරජ අපගේ නෑයෙකැයි වඳී ද, සරණයෙහි නොපිහිටියේ වෙයි. යමෙක් භවත් ගෞතමයන් වහන්සේ රාජපූජිතය. මහත් ආනුභාව සම්පන්නය. නොවැන්දොත් අනර්ථයක් කරන්නේ යයි බයින් වඳීද, සරණයෙහි නොපිහිටියේ වෙයි. යම් කෙනෙක් බෝධිසත්ව කාලයෙහි භාග්‍යවතුන් හමුවේදී කිසිවක් උගත්තේ යයි සිහිකොට බුද්ධ කාලයෙහි හෝ
එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය ද්වීහිකම්මං පයෝජයෙ
චතුත්‍ථඤ්ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති
(භෝගයන්ගෙන් එක් කොටසක් පරිභෝග කරන්නේය. කොටස් දෙකක් කර්මාන්තයෙහි යොදන්නේය. සතරවැනි කොටස විපතක් ආපදාවකදී ගැනීමට තැන්පත් කරන්නේය.)
මෙබඳු වූ අනුශාසනයක් ඉගෙන හෝ මගේ ආචාර්ය මගේ ආචාර්යවරයෙකැයි වඳීද, සරණ නොපිහිටියේම වෙයි.
යමෙක් මෙතෙම ලෝකයෙහි අග්ග දක්ඛිණෙය්‍ය වේයයි වඳිද, එයින් හෙතෙම සරණයෙහි පිහිටියේ වෙයි.
මෙසේ පිහිටි සරණ ඇති. උපාසකයාගේ හෝ උපාසිකාවගේ හෝ අන්‍ය තීර්ථකයන් කෙරෙහි පැවිදි වූ නෑයෙකු මේ තෙම මගේ නෑයෙකැයි වඳින්නහුගේ සරණාගමනය නොබිඳෙයි. පැවිදි නොවූවකු ගැන කියනුම කවරේද? භය වශයෙන් රජෙකු වඳින්නහුගේද එසේමැයි. යම් හෙයකින් හෙතෙම රටවැසියා විසින් පුදන ලද බැවින් නොවැඳීම නිසා අනර්ථ නමුදු කරන්නේය. එබැවින් එසේම යම්කිසි ශිල්පයක් උගන්වන්නා වූ තීර්ථකයෙකු පවා මගේ ආචාර්යවරයෙකැයි වඳින්නහුගේ සරණය නොබිඳේ. මෙසේ සරණාගමනයෙහි ප්‍රභේද දතයුත්තේය.
මෙහිද සතර සාමඤ්ඤඵලයෝ ලෝකෝත්තර සරණාගමනයාගේ විපාක ඵලයයි. සියලු දුක් නැති කිරිම ආනිශංස ඵලයයි. එහෙයින් කියන ලදී.
යොච බුද්ධඤ්ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගතො
චත්තාරි අරිය සච්චානි සම්මප්පඤ්ඤාය පස්සති
(යමෙක් බුදුන් දහම් සඟුන් සරණකොට ගියේද හෙතෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්‍යග් ප්‍රඥාවෙන් දකී.)
දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං
අරියඤ්චට්ඨිංගිකං මග්ගං දුක්ඛූප සම ගාමීනං
එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං
එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති
(දුක්ඛ සත්‍යය ද සමුදය සත්‍යය ද දුක ඉක්ම වූ නිරෝධ සත්‍යය ද දුක් සංසිඳුවීමට පමුණුවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද සම්‍යග් ප්‍රඥාවෙන් දකී.) මේ ලෝකෝත්තර සරණාගමනය වනාහි ක්‍ෂේමය උතුම් සරණයද වේ. ලෝකෝත්තර සරණාගමනයට පැමිණ සියලු සසර දුකින් මිදෙයි.
තවද නිත්‍ය වශයෙන් ද අනුපගමනාදි වශයෙන් ද මේ ලෝකෝත්තර සරණාගමනයාගේ ආනිශංස ඵලය දතයුතුය. මෙසේ වදාරණ ලද්දේමය. අට්ඨාන මෙතං භික්ඛවෙ අනවකාසො යං දිටඨිසමපන්නො පුග්ගලො කඤ්චි සංඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය සුඛතො උපගච්ඡෙය්‍ය කඤ්චි ධම්මං අත්තනො උපගච්ඡෙය්‍ය මාතරං ජීවිතා වොරොපෙය්‍ය පිතරං ජීවිතා වොරොපෙය්‍ය අරහන්තං ජීවිතා වොරොපෙය්‍ය දුට්ඨ චිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්‍ය, සංඝං භින්දෙය්‍ය අඤ්ඤං සත්‍ථාරං උද්දිසෙය්‍ය, නෙතං ඨානං විජ්ජති
(මහණෙනි, යම් හෙයකින් දිටඨි සම්පන්න පුග්ගල තෙම සංස්කාරයන් අතුරෙන් කිසිදු එක් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ ද, යන මේ කාරණය හේතු රහිතය. ප්‍රත්‍ය රහිතය. සැප වශයෙන් ගන්නේ ද, මව ජීවිතයෙන් තොර කරන්නේ ද පියා ජීවිතයෙන් තොර කරන්නේද රහතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්නේද, දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ උපදවන්නේ ද, සංඝභේදය කරන්නේද අන්‍ය ශාස්තෘවරයෙක් අදහන්නේ ද යන මේ කාරණා නොවන්නේමය.)
ලෞකික සරණාගමනයාගේ භව සම්පත් ද භෝග සම්පත් ද ඵලයම වේ. එහෙයින් කියන ලදී.
යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ නතෙ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති
(යම් කිසිවෙක් බුදුරදුන් සරණ ගියාහුද, ඔවුහු සතර අපායට නොයන්නාහුය. මිනිස් සිරුර හැර දේවකාය පූරණය කරන්නාහුය.)
අනිකකුදු කියන ලදි. අථ ඛො සක්කොදෙවානමින්‍දො අසීතියා දෙවතා සහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසංකමි -පෙ- එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්‍දං ආයස්මා මහා මොග්ගල්ලානො එතදවොච සාධු ඛො දෙවානමින්‍ද බුද්ධං සරණාගමනං හොති. බුද්ධං සරණං ගමන හෙතු ඛො දෙවා නමින්‍ද එවමිධෙ කච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජන්ති තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධි ගණ්හන්ති. දිබ්බෙන ආයුනා දිබ්බෙන වණ්ණෙන සුඛෙන යසෙන ආධිපතෙය්‍යෙන දිබ්බෙහි රූපෙහි සද්දෙහි ගන්‍ධෙහි රසෙහි පොට්ඨබ්බෙහීති.
(ඉක්බිති සක්දෙව් රජ අසූදහසක් දේවතාවන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹියේය. -පෙ- එකත්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙම මෙසේ වදාළහ. දෙවිඳුනි, බුදුන් සරණ යාම යහපති. දෙව්රජුනි, බුදුන් සරණ යාම හේතුකොටගෙන මෙසේ මෙලොව ඇතැම් සත්ව කෙනෙක් කය බිඳීමෙන් මරණින් මත්තෙහි, සොඳුරු ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයකට උත්පත්ති වශයෙන් පැමිණෙති. ඔවුහු අන්‍ය දෙවියන් කරුණු දහයකින් යටපත් කරත්. දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්ණයෙන් සැපයෙන් යසසින් අධිපති භාවයෙන් දිව්‍ය වූ රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් යයි.)
ධර්මය සරණයාමෙහිද සංඝයා සරණයාමෙහිද මේ නයමැයි. තවද වේලාම සූත්‍ර ආදින්ගේ වශයෙන් ද සරණාගමනයාගේ ඵල විශේෂය දතයුතුයැ. මෙසේ සරණාගමන ඵලය දතයුතුයැ.
එහි ලෞකික සරණාගමනය වස්තු තුන විෂයෙහි, අඥාන, ශංසය, මිථ්‍යා ඥානාදීන් හේතුකොට කිලිටු වන්නේය. මහා බැබලීමක් ඇති නොවේ. මහත් පැතිරීමක් නොවෙයි. (මේ විපාක වශයෙනි) ලෝකෝත්තර සරණගමයාගේ කිලිටිවීමක් නොමැත.
ලෞකික සරණාගමනයාගේ භේද දෙකකි. සාවජ්ජ, අනවජ්ජ කියායි. ඔවුනතුරෙන් සාවජ්ජ භේදය අන්‍ය ශාස්තෘවරයන් විෂයෙහි අත්ත සන්නිය්‍යාතනාදි වශයෙන් වෙයි. එය අනිටුඵල ඇත්තේ වෙයි. අනවජ්ජ (නිවැරදි) භේදය කළුරිය කිරීමෙන් වෙයි. හේ විපාක නැති බැවින් අඵලය. ලෝකෝත්තර (සරණාගමනයාගේ) භේද නොම ඇත්තේය. ඒ එසේමැයි. භවාන්තරයෙහිදු අරියසාවක තෙමේ අන්‍ය ශාස්තෘවරයෙකු නොඅදහයි. මෙසේ සරණගමනයාගේ කිළිටිවීම් ද භේද ද දතයුතුයැ.
උපාසකො මං භවං ගොතමො ධාරෙතු යනු මා උපාසකයකැයි භවත් ගෞතමයන් වහන්සේ මා මෙසේ දරන සේක්වා. දැනගන්නා සේක්වා යන අර්ථයි