සමො සමාන, සමෙහි විපස්සී ආදී බුදුවරු සහ ඒ බුදුවරු මෙන් අවබෝධය ලද බැවින් සම වූ යැයි කියනු ලබති. උන්වහන්සේලා අවබෝධ කළ සියලු කරුණුවලද, අත්හළ යුතු වූ වැරදිවලද කිසිදු වෙනසක් නැත. (අවබෝධයට) පැමිණි මග, ආයු කාලය, කුලය, උස, මහබිනික්මන, දහම් අවබෝධයට ගත් උත්සාහය, සෙවන දුන් බෝධිය හා රැස්මාලාවෙහි නම් වෙනස්කම් ඇත. එසේ උන්වහන්සේලා විසින් අවම ලෙසින් අසංඛෙය්ය සතරකුත් කප් සියදහසක් පෙරුම්දම් පුරති. උපරිම කාලය අසංඛෙය්ය දහසයකුත් කප් සියදහසකි. මේ වූකලී බුදුවරුන්ගේ අද්ධානවෙමත්තතා නම් වෙයි. ජීවත්වන අඩුම කාලය වසර සියයක් ද ජීවත්වන වැඩිම කාලය වසර සිය දහසක් අතර පවත්නා යුගයක බුදුවරු උපදිති. මේ උන්වහන්සේලාගේ ආයුවෙමත්තතා වෙයි. රජකුලයෙහි (කැත්කුල) හෝ බමුණු කුලයෙහි ඉපදීම කුලවෙමත්තතා නම් වේ. වැඩිම උසින් අසූඅට රියනකි. අවම උස පහළොස් රියනක් හෝ දහඅට රියනක් පමණ වෙයි. මෙය පමාණවෙමත්තතා වේ. අහසින් හෝ ඇතුපිටින් හෝ, අසකු පිටින් හෝ රියකින්, දෝලාවකින් හෝ මහබිනික්මන් කරති. විපස්සී, කකුසඳ (බෝසත්වරු) අස්රියෙන් නික්මුණහ. සිඛී, කෝණාගම (බෝසතුන්) ඇතුන් පිටිනි. වෙස්සභූ (බෝසත්) දෝලාවෙනි. කස්සප (බෝසත්) අහසිනි. සැකිමුනි (බෝසත්) අසුපිටිනි. මෙය නෙක්ඛම්ම වෙමත්තතා ය. දහම් අවබෝධයට සත්දිනක්, අඩමසක්, එක්මසක්, දෙමසක්, තෙමසක්, හයමසක්, එක් වසරක්, වසර දෙකක්, තුනක්, හතරක්, පහක් හෝ හයක් ගතවේ. පධාන වෙමත්තතා නම් මෙයයි. බෝරුක් ලෙස ඇසතු හෝ නුග හෝ වෙනත් ගසකි. මෙය බොධිවෙමත්තතා ය. බුදුරැස් විහිදීම බඹයක්, බඹ අසූවක් වන අතර, පැහැයෙහි සීමාවක් දැක්විය නොහැකිය. එහි ආලෝකය බඹයක් දුර වුවත්, බඹ අසූවක් වුවත්, හැමටම එක සමානය. අපමණ වූ රැස් දහරා ආලෝකය දුරටද, ළඟටද විහිදෙයි. ගවුවක්, ගවු දෙකක්, යොදුනක්, යොදුන් බොහෝ ගණනක් හෝ සක්වළ කෙළවරටද විහිදේ. මංගල බුදුරදුන්ගේ සිරුරේ පැහැයෙහි ආලෝකය දසදහසක් සක්වළ පැතිර ගියේය. කරුණු මෙසේ වුවද සියළුම බුදුවරුන්ගේ සිත් අදිටන් පරිදි, කැමති පමණ දුරකට පැතිරෙයි. රංසිවෙමත්තතා නම් මේ වෙනස්කම් අට හැර, අවබෝධ කළ යුතු සියළුම දෙයෙහිත්, අත්හැර දැමිය යුතු යැයි හෝ, වරද සේ පෙන්වාදෙන කරුණුවල හෝ බුදුවරුන් අතර වෙනස් බවක් නැත. එහෙයින් සමාන යැයි කියනු ලැබේ. මෙසේ ඒ බුදුවරු සමවූවන් හා සමවෙති.
විසමෙහි දූරෙ පසේබුදුවරු පසේබුදුවරුන් හා සමවෙති. අනෙක් සියළු සතුන් හා සම නොවෙති. මුළු දඹදිව මුළුල්ලේම ළංවන සේ, එකට ගෑවෙන සේ පසේ බුදුවරුන් වැඩසිටියද ගුණවලින් එක සම්මා සම්බුදුවරයකු හා සළකන විට දහසයෙන් එක් කොටසක්වත් තරම් නොවේ. එසේනම් (බුදු) සව්වන් පිළිබඳව කවර කතාද? එහෙයින් විසමෙහි දූරෙ යැයි කීහ. තථාගතො හොති වචන දෙක අතර දූරෙ යනුවෙන් (තථාගතො දූරෙ හොති) අනන්ත පඤ්ඤො අපමණ වූ නුවණින්, පොදු මිනිසුන්ගේ නුවණ හා සළකනවිට, සෝවාන් මග ආ තැනැත්තාගේ නුවණ වැඩිය. සෝවාන් බවට පත් තැනැත්තාගේ නුවණ ඊටත් වැඩිය. මෙසේ අරහත් වූවකු දක්වා සළකනවිට, පසේ බුදුවරයකුගේ නුවණ වැඩිය. පසේ බුදුනුවණ හා සළකනවිට තථාගතයන් වහන්සේගේ නුවණ වැඩියැයි නොකිව යුතුය. එහිදී කිවයුත්තේ තථාගත නුවණ පමණ කළ නොහැකි බවයි. එහෙයින් එහි කෙළවරක් දැක්විය නොහැකිය. එහෙයින් අනන්ත පඤ්ඤො යැයි කීහ. අනුපලිත්තො තණ්හා ආසා හා දැඩිව ගත් හැඟීම්වල නොඇළුණු, ඉධ වා හුරං වා මෙලොව හෝ පරලොවෙහි, මේ කරුණුවලින් අදහස් වන්නේ, බුදුවරයකුම හා සම වූ, අන් සියළු දෙනාගේම සමතාවයෙන් ඉතා දුර වූ බවයි. (අසම සම) කවර හෙයින්ද? නුවණින් අපමණ වූ, මෙලොව හෝ පරලොව හෝ කිසිම දෙයක නොඇළුණු, තථාගතයන් වහන්සේ (යාග) බත හා කැවිලි ආදිය පිළිගැනීමට සුදුසු වෙති.