භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන දියමෙරළියමල් සිදිසි සුනිල් පිරිසුදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සදිසි සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සදිසි සුරත් පිරිසිදු දැකුම්කලු රත්පැහැ වෙයි. මැද රුකපෙණල ඇට සදිසි ඉතා කළු මොළොක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සදිසි ඉතා සුදු සිත පඬෙර පිරිසිදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයි දු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද; හිරු අස්තයට ගියේ වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැඟුණේත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකිති, එහි ඒ බිත්තියක් හෝ දොරක් පවුරක් ගලක් ගසක් වැලක් හෝ රූපදර්‍ශනයට ආවරණයෙක් නොවේ. ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැලෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නඟාගන්නා සේක. බුදුන්ගේ පියවි මැසැස මෙසේ පිරිසිදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු විවටචක්ඛු වන සේක.