එතුමාගේ උපන් ඇසිල්ලෙහි පිළිසිඳ ගැනීමේ අවස්ථාවෙහිදී මෙන් දෙතිසක් පෙරනිමිති පහළ වීය.
- මේ දස දහසක් ලෝකධාතුව කම්පා විය. මොනවට ප්‍රකම්පා විය. වෙව්ලීය.
- දස දහසක් සක්වල අපමණ ආලෝකයක් පැතිරුනි.
- ඔහුගේ එම ඓශ්වර්යය දකිනු කැමැත්තාහු මෙන් අන්ධයෝ ඇස් ලැබූහ.
- බීරෝ ශබ්ද ඇසූහ. ගොලුවෝ මනාව කථා කළහ. කුදු ඇත්තෝ සෘජු ශරීර ඇත්තෝ වූහ. කොරු පයින් ගමනය ලදහ.
- බැමිගත වූ සියළු සත්ත්වයෝ දම්වැල් බැමි ආදියෙන් මිදුනාහුය.
- සියළු නිරයන්හි ගිනි නිවුනි.
- ප්‍රේත ලෝකයන්හි සා-පවස් සන්සිඳුනි.
- තිරිසනුන්ට බියක් නොවීය.
- සියලු සත්ත්වයන්ගේ රාගය සන්සිඳුනි.
- සියළු සත්ත්වයෝ ප්‍රිය තෙපුල් ඇත්තෝ වූහ.
- මිහිරි ලෙස අශ්වයෝ හේසාරව කළහ. ඇත්තු ගර්ජනා කළහ.
- සියළු තූර්ය භාණ්ඩ සිය නාදයන් විදීය. නොගැටුනා වූම අත් ආදීන්ගේ පැළඳි නොගැටුනා වූම ආභරණයෝ මිහිරි ලෙස නාද කළහ.
- සියළු දිසාවෝ ඉතා ප්‍රසන්න වූහ.
- සත්ත්වයන්ට සැප එළවමින් මෘදු සීතල වායුව හැමීය.
- අකාල වර්ෂාවක් වැස්සේය.
- පොළොවෙන් ද ජලය මතු වී විසිරී ගලා ගියේය.
- පක්ෂීහු අහස් ගටන අත්හළහ.
- නදීහු නොගලා යමින් සිටියහ.
- මහ මුහුදෙහි ජලය මිහිරි විය.
- කිළිටින් මිදුන සූර්යයා පෙනෙන කල්හිම අහස්ගත සියළු තාරකාවෝ බැබලුනාහ.
- අරූපාවචර දෙවියන් හැර සියළු දෙවියෝ ද සියළු නිරිසත්තුද දක්නා ලබන රූප ඇත්තෝ වූහ.
- ගස් පර්වත කවුළු ගල් ආදීහු ආවරණ රහිත වූවාහුය.
- සත්ත්වයන්ගේ චුති උත්පත්ති නොවීය.
- සියළු අප්‍රසන්න ගන්ධය අභිබවා දිව්‍යමය සුවඳ හැමීය.
- ඵල දරන්නා වූ සියළු වෘක්ෂයෝ ඵල දරන්නෝ වූහ.
- මහමුහුද සියළු තැන පැතුරුන පස් පැහැයෙන් යුත් පියුමින් වැසුන තලාවක් විය.
- ජලයේ හටගන්නා වූද පොළොවේ හටගන්නා වූද සියළු මල් පිපිණි. වෘක්ෂයන්හි කඳමල්ද හාඛාවන්හි අතුමල්ද වැල්වල වැල්මල්ද පිපුණි.
- පොළොවෙහි ගල්තලාවන් බිඳ මතුමත්තෙහි සතක් සතක් වී දඬු පියුම් නම් පියුම් නික්මුණි.
- අහසෙහි එල්බෙන පියුම් උපනි.
- හාත්පස මල් වැස්සක් වැස්සේය.
- අහසෙහි දිව්‍යමය තූර්යයෝ වාදනය වූහ.
- සියළු දසදහසක් සක්වල කැටිකර විසුරුවා හළ මල් ගුලාවක් මෙන් කැටිකොට බඳනා ලද මල්කළඹක් මෙන් අලංකාරකොට සරසනලද මලසුනක් මෙන්ද එකට බැඳුන මල්මාලා ඇත්තී සැලෙන වල්විදුනාවක් වැනි වූවා මල් සුවඳින් හා සුවඳදුම් සුවඳින් සුවඳ කවන ලද්දී සෞභාග්‍යයෙන් අතිශයින් අගතැන් පැමිණියා වූවාය.ඒ පූර්වනිමිති මත්තෙහි අවබෝධ කටයුතු බොහෝ විශේෂ අධිගමයන්ට පෙරනිමිති වූයේම විය. මෙසේ නොයෙක් ආශ්චර්යයන් පහළවීමෙන් හොබනා වූ මේ උතුම් උපතක් වීද යමක් පිණිස මෙතුමා විසින් සම්බුද්ධත්වය පතන ලද ද ඒ සම්බුද්ධත්වයේ ඒකාන්ත සිදුවීම එසේම විය. වෙනස් නොවීය. අන් අයුරකින් නොවීය.