අපේ බුදුහාමුදුරුවෝ 418 (සන්තිකේ නිදානය)

 

රාහුල කුමාරයා 01

ශික්‍ෂාකාමීන් අතර අග තනතුර සඳහා විවරණ ලැබූ නිදාන කතාව

රාහුල කුමාරයා පිළිබඳ අපි කොතෙකුත් සරලව අසා තිබුනත් අනෙකුත් උතුම් මහා ශ්‍රාවක පිරිසගේ මෙන්ම නොදත් කරුණු බොහොමයි. ඒ නිසාම ඒ උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේගේ සසර ගමනෙහි “ශික්‍ෂාකාමීන් අතර අග තනතුරෙහි” විවරණ ලැබූ අවස්ථාවේ පටන් දැනගැනීම වටිනා සේ හැඟී ගියා.

ඒ කුමරුගේ උපත ඇසූ සිදුහත් බෝසතාණන් වහන්සේ “රාහුලයෙක් උපන්නා, බන්‍ධනයක් ඇතිවුණා”යි කියූ වදන් ගෙන සුදොවුන් මහරජතුමා “රාහුල” යන නාමය සිය මුණුබුරාට තබනු ලැබුවා. සබ්‍රහ්මචාරී තෙරවරු උන්වහන්සේට “රාහුල භද්‍ර” යැයි අමතනු ලැබුවා. එහි “භද්දො” යනු ප්‍රශංසාත්මක වදනක්. යහපත් වූ භද්‍ර වූ යන්න එහි අර්ථයයි. එසේ උපතේ සිටම පිය ආදීන් විසින් තමා ඇමතූ නමම ගෙන – නුවණැත්තෝ ද උන්වහන්සේට “රාහුල භද්‍ර” යැයි අමතන්නට පටන්ගත්තා.

පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හී පින් දහම් රැස් කරමින් පැමිණි රාහුල කුමරු මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණින් මුහුකුරා ගියා. දිනක් ධර්ම ශ්‍රවණය කරමින් සිටි ඔහු ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක් “ශික්‍ෂාකාමීන් අතර අග” තනතුරෙහි තබනු දැක තමාද එම තනතුර ප්‍රාර්ථනා කරමින් සෙනසුන් පිරිසිදු කිරීම්, බැබළවීම් ආදියෙන් මහත් වූ පින්කම් කරනු ලැබුවා.

ඉන්පස්සේ තව සුවිශේෂී වූ පින්කමක්ද ඔහු විසින් කරනු ලැබුවා. ලෝක ජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්මහල් ප්‍රාසාදයක කැඩපතක් මෙන් ශෝභාමත් ඇතිරියක් අතුරා පූජා කරනු ලැබුවා.

ඒ දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ මහාමුනි වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් පිරිවරා ගෙන එදින ගඳ කිළියට පිවිසියා. දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ ගඳකිළිය බබුළුවමින් බික් සඟන මැද වැඩ හිඳ මෙසේ වදාරනු ලැබුවා.

“යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැඩපතක් මෙන් ප්‍රභාමත් ඇතිරිල්ලක් මනාව මෙහි අතුරන ලද්දේ ද මම ඔහුගේ අනාගතය පවසමි. ඒ මාගේ වදන් සාවධානව අසවු.

මොහුට සිත සතුටු කරන රන්, රිදී, වෙරළුමිණි වලින් කළ කැඩපත් පහළ වේ.

ශක්‍ර දේවේන්‍ද්‍ර වී සැට සතර වරක් දෙව්රජය කරන මෙතෙම දහස් වරක් සක්විති රාජ්‍යය කරන්නේය.

මෙයින් විසි එක්වන කල්පයේදී සිවුමහා දිවයින හා සිවුමහා සාගරය සහිත පෘථිවියම පාලනය කරන, සතුරු රජුන් ජයගන්නා වූ විමල නම් සක්විති රජව උපදින්නේය.

ඔහුගේ ගඩොලින් කළ නගරය රේණුවතී නමි. එය දිගින් යොදුන් තුන්සීයකි. හතරැස් හැඩයෙන් යුක්තය.

උතුම් වූ කුළු ගෙවලින් යුත් සත් රුවනින් අලංකාර කරන ලද විශ්ව කර්මයා විසින් මැවූ සුදර්ශන නම් ප්‍රාසාදයක් මොහුට පහළ වේ.

නීති විද්‍යාධරයන් ගැවසී එය දශවිධ ශබ්දයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්ශන නගරය මෙන් ශෝභාමත්ය.

එම ප්‍රාසාදයේ ශෝභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුව හාත්පස අටයොදුන් තැන බබළන්නේය.

මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.

කුසල බල මහිම ඇති මෙතෙම තුසී පුරයෙන් නික්ම, උන්වහන්සේගේ ඖරස පුත්‍රව උපදින්නේය.

ඔහු ඉදින් ගිහි ගේ වෙසේ නම් සක්විති රජ වන්නේය. තාදී ගුණ සහිතයෝ ගිහිගෙයි ඇලීමට යාම සිදු නොවන දෙයකි.

සුශික්‍ෂිත වූ මෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වන්නේය. ඔහු රාහුල නමින් රහත් වන්නේය.”

මේ ඔහුගේ අතීත ප්‍රර්ථනා සහිත වූ නිධාන කතාවයි.

උපකාර වූ මුලාශ්‍ර –

රාහුලභද්‍ර ස්ථවිරගාථා වර්ණනාව – කුදුගත් සඟිය අටුවාව – ථේරගාථා – චතුක්ක නිපාතය