අපේ බුදුහාමුදුරුවෝ 364 (සන්තිකේ නිධානය)

 

භාග්‍යවතුන් වහන්සේ ශුද්ධෝදන රජතුමා වෙත වැඩමකරවීමට කල්පයක් පෙරුම් පිරූ කාළුදායි මහරහතන් වහන්සේ.

කාලය මෙසේ සෙමින් ගතවෙද්ද්දී ශුද්ධෝදන රජතුමා තම පුතුණුවන් පිළිබඳව සොයා බැලීම අතහැරියේ නැහැ. බෝසතාණන් වහන්සේ ගිහි ගෙන් නික්ම පැවිදි වූ තැන් සිට ම ශුද්ධෝදන රජතුමා උන් වහන්සේගේ තොරතුරු සොයා දැන අවුත් තමාට දැන්වීමට රහස් දූත පිරිසක් යොදවලයි තිබුනේ. බෝසතාණන් වහන්සේ යන එන හැම තැනම උන්වහන්සේට නො දැනෙන සේ සොයා බැලීමට මේ දූත පිරිස සමත් වුණා පමණක් නෙවෙයි ඔවුන් අතරින් කිහිප දෙනෙක් නිතර නිතර කිඹුල්වත් නුවරට පැමිණියා. රජුට තොරතුරු දන්වා සිටියා. මෙසේ මාරුවෙන් මාරුවට කිඹුල්වත් පුරට යමින් එමින් සාවුරුද්දකට වැඩි කලක් ඔහු මේ රහස් සේවයෙහි යෙදුනා. බෝසතාණන් වහන්සේ බුදු වී දම්සක් පවත්වා රජගහ පුර වැඩ එහි වසන තොරතුරුත් ශුද්ධෝදන රජතුමාට සැපවුයේද මේ රහස් දූතයෝයි. ශුද්ධෝදන රජතුමා ඔවුන් ගෙන් තොරතුරු දැන “දැන් පුත්‍රයාණන් වහන්සේ තම නුවරට වැඩම කැරැවීමට කාලයැ” යි සිතන්නට වුණා. සිතා එහි වඩින්නට ආරාධනා කරන පිණිස ඇමතියකුට පැවරුවා. එපමණක් නෙවෙයි ඔහුට රාජපුරුෂයන් දහසක් පිරිවර කොට දී රජගහ නුවර භාග්‍යවතුන්වහන්සේ වෙතට යන්නට පහසුකම් සැලසුවා. කිඹුල්වත් පුර සිට රජගහ නුවරට පොඩි දුරක් නෙවෙයි තිබ්බේ. යොදුන් හැටදෙකක්. යොදුනක්න් කියන්නේ සැතැප්ම දහසයක් කියනවනේ. ඔවුන් මේ සඳහා කොතරම් කාලයක් ගත්තද කියා සඳහනක් නැහැ. ඔවුන් කිඹුල්වත සිට රජගහ පුර දක්වා වූ ඒ සැට යොදුන් මාර්ගය ගෙවා වේළුවනාරාමයට කෙසේ හෝ පැමිණිය. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ දම් දෙසමින් සිටියේ. ඒ වනවිට ඔවුන්ගේ සතර ඉන්ද්‍රියධර්ම කොතරම් වැඩි තිබුනාද කිවහොත් ඒ දේශනය අවසානයේම ඔවුන් අරහත්වයට පත්වුණා. ඉන්පස්සේ ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේත් ඔවුන්ව ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් කරනු ලැබුවා. රහත් වූවායින් පස්සේ මධ්‍යස්ථ වීම ආර්‍ය්‍යන් ගේ ස්වභාවයක් බැවින් ඒ තෙරණුවෝ රජු එවූ පණිවුඩය භාග්‍යවතුන් වහන්සේට දැන්වීමෙහි යුහුසුලු වුනේ නැහැ. ඒ සඳහාම සසර පෙරුම් පුරමින් පැමිණි කෙනෙකු ඉන්නා බව සමහරවිට ඔවුනට දිවසින් පෙනුන නිසා වෙන්නටත් ඇති කියලා මට හිතෙනවා.

සුදොවුන් රජු බලාගෙන සිටිය හැම දිනකම. එහෙත් කිසිම පණිවිඩයක් නැහැ. බැරිම තැන පළමු පරිද්දෙන් ම තවත් දහසක් පිරිවර සහිත වූ ඇමැතියකු යැවූවා. ඒ පිරිස ද පළමු පිරිස සේ ම රහත් ව තුෂ්ණිම්භූත නිසා මෙසේ පුරුෂයන් දහස බැගින් පිරිවර කොට ඇති ඇමැතියන් නව දෙනකුන් වරින් වර යවනු ලැබුවා. ඒ කියන්නේ පිරිස නවදහසක්. ඒ සියලු දෙන ම පෙර පරිදිම රහත් වැ පැවිදි ව තුෂ්ණිම්භූත වුණා. හිතන්න ආදරණිය පියෙකුට කොතරම් හිතට දුකක් දැනෙන්නට ඇතිද? රජු හසුන් මාත්‍රයක්වත් නැතිව කිසිදු තොරතුරක් නොලැබ මෙසේ සිතුව. මේ හැමදෙනා මට සෙනෙහස නැති බැවින් ලියුම් කැබැල්ලක්වත් පෙරළා නොගෙනාව. මගේ අවශ්‍යතාව කවරෙක් ඉටු කරන්නේදැයි සියලු රජ බලසෙනග බලමින් විපරම් කරන අතරේ කාලුදායි අමතියාව දැක්කා. ඒ විතරක් නෙවෙයි ඔහු මේ සඳහාම සසරෙහි පෙරුම් පුරමින් පැමිණියේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටයි.

මොහුද පෙර බුදුවරුන් හමුවෙමින් විර්යය කරමින් අප මහා බෝසතාණන් වහන්සේ සමගම එකෙට පැමිණි කෙනෙක්. හැබැයි ඔහුගේ පින ඵල දුන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙ. ඔහු ඒ කාලයේ හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැන උගත් බවට පත්වී ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාවක් අසමින් සිටියා. එදින පදුමුත්තර ශාස්තෲන් වහන්සේ භික්‍ෂුවක කුල පහදන්නවුන් අතර අගතන්හි තබනු දැක එබඳු ප්‍රාර්ථනාවක් කොට ඔහුද මතු දිනක ඒ තනතුර ම පතා සිටියා. ශාස්තෲන් වහන්සේත් ඔහුට ඒ විවරණ ලබා දුන්නා. ඔහු දිවි ඇති තාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරමින් අපගේ බෝධිසත්ත්වයන් මව්කුස පිළිසිඳ ගන්නා දවසෙහි දෙව්ලොවින් චුතව කපිල වස්තුවෙහිම ඇමති කුලයෙක පිළිසිඳ ගත්ත. බෝසතුන් සමග එකම දවසෙහිම උපන්න නිසා එදවසම ඔහුව දුහුල් සුඹුළුවක හොවා බෝසතුන්ට උපස්ථානය පිණිස ගෙන ගියා. බෝසතුන් සමග බෝධිවෘක්‍ෂය, රාහුල මාතාව, සතරමහා නිධාන, ආරෝහනී හස්තියා, කන්ථක, ඡන්න, කාළුදායී යන මේ සත්දෙන එක්දිනයෙක උපන් බැවින් සහජාත නම් වූනා. ඉන්පස්සේ ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි උද්දාමයට පත් සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායි යැයි නමක් තැබූවත් මදක් කාළවර්ණ බැවින් කාළුදායී යනුවෙන් ප්‍රසිද්ධියට පත්වුනා. ඔහු බෝධිසත්ත්වයන් සමග කුමරකෙළිහි යෙදෙමින්ම වැඩිවියට පත්වුණා. ඒ තමයි ඔහුගේ අතීත කතා පුවත.

 ඒ නිසාම කාළුදායී රජුගේ සියලු කටයුතු කරන, අභ්‍යන්තරික ඉතාම විශ්වාසවන්ත ඇමතියා ද වනවා. ඒ නිසා අවසාන වශයෙන් රජු ඔහුට ආමන්ත්‍රණය කරනු ලැබුවා. “දරුව, කාළුදායී, මම මගේ පුතා දකිනු කැමතිව දහසක් පිරිවරකොට ඇමැතියන් නවදෙනෙකු පුරුෂයන් නවදහසක් සමග යැව්වෙමි. ඔවුන් අතර එකකුදු අවුත් පණිවිඩ මාත්‍රයක්වත් දැනුම් දුන්නේ නම් නැත. මම දැන් මහලුයි. මගේ ජීවිතයට අන්තරායක් වේදැයි නොදනිමි. ජීවමානවම මම මගේ පුතා දකිනු කැමැත්තේ වෙමි. මගේ පුතා කැඳවාගෙන එන්නට හැකිවන්නෙහිද?”

ඔහු එකවරම කැමති වුනේ නැහැ. ඒ සඳහා යම් ඉල්ලීමක් කරනු ලැබුවා. රජතුමනි “ඉදින් පැවිදි වීමට ඉඩ ලැබෙන්නේ නම් හැකිවන්නෙමි.” රජතුමා එයට ඉඩ දෙන්නට ඇත්තේ පුතා කෙරෙහි තිබුණු අසීමිත ආදරය නිසාම වෙන්නට ඇති. මොකද විශ්වාසවන්ත අමතියත් නැති වන නිසා. ‘යහපති දේවයන් වහන්ස’ යයි රජුගේ හස්නක් ගෙන ඔහුද දහසක් පිරිවර සමග රජගහනුවරට පැමිණියා. ඒ යනවිටත් ශාස්තෲන් වහන්සේ ධර්ම දේශනාවක් කරමින් සිටියේ. ඔවුන් නිහඬවම, පිරිස කෙළවර හිඳ, බණ අසා, පිරිවර සහිතව රහත්ඵලයට පැමිණ ඒහිභික්‍ෂු භාවයෙන් පැවදි භාවය ලැබුවත් ආරාධනය කිරීමට ඉක්මන් වුයේ නැහැ. ඒ සඳහා කාලය පැමිණෙන තෙක් නිහඬ වුණා.

උපකාර වූ මූලාශ්‍ර

සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ග්‍රන්ථාරම්භ කථා,

කාළුදායි ථෙර අපදාන වර්ණනාව