සෝභිත මහරහතන් වහන්සේ.

 

පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමෙහි සමතුන් අතුරෙන් සෝභිත තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. පෙරවිසීම අනුපිළිවෙළින් සිහිකරමින් කල්ප පන්සියයක් අඤ්ඤීභවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය අහසෙහි පියවර දක්වන්නාක් මෙන් නය (ක්‍රම) වශයෙන් ගත්තේය. එබැවින් පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නවුන් අතුරෙන් අග්‍රනම් වුයේය.

පියුමුතුරා බුදුන් දවස හංසවතී නුවරෙහි කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වුයේ බුදුන්වහන්සේගේ ධර්‍මය අසමින් එක්භික්‍ෂුවක පෙරවිසීම් පිළිබඳ නුවණ ලැබූවන් අතුරින් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කම්කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත් නුවරෙහි බමුණුකුලයක උපන්නේය. ඔහුට සෝභිතයයි නම් කළාහුය.

හෙතෙම පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්‍මය අසා ලබනලද සැදැහැඇත්තේ පැවිදිව විදසුන් වඩා රහත්බව ලබා පෙරවිසූ කඳපිළිවෙළ පිළිබඳ දැනුමෙහි පුරුදු කරනලද වසඟතාව ඇත්තේවිය. හෙතෙම අනුපිළිවෙළින් තමන්ගේ උපන් තැන් සිහි කරන්නේ අසංඥී භවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය දක්වා පිළිසිඳ ගැනීම් දුටුවේය. එයින් අනතුරුව අතරතුර කල්ප පන්සියයක පුවත් නොදැක අවසානයෙහි චුතිය දැක මේ කිමෙක්දැයි සිහිකරන්නේ නය වශයෙන් අසංඥීභවය වන්නේයයි නිෂ්ටාවට ගියේය. ශාස්තෘන්වහන්සේ මේ කාරණය අර්ථෝපත්ති කොට තෙරුන් පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන්නන් අතුරින් අගතැන්හි තැබූසේක.