නන්‍දක මහරහතන් වහන්සේ.
මේ තෙරණුවෝ වනාහි ධර්‍මදේශනා කරමින් එකම කුළුගැන්වීමකදී භික්‍ෂුණීන් පන්සියයන් රහත්බවට පැමිණවූහ. එබැවින් භික්‍ෂුනීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ.
පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නාහු ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක භික්‍ෂුනීන්ට අවවාද දෙන්නවුන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම් කොට එම තනතුර පැතූහ. හෙතෙම දිවිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙන් සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලැබූ සැදැහැ ඇත්තේ ශාස්තෘන් සමීපයෙහි පැවිදිව විදසුන් වඩා රහත්බවට පැමිණ පෙරවිසූ කඳ පිළිවෙළ පිළිබඳ ඥානයෙහි පුරුදුකළ වසඟ බව ඇත්තේ විය. හෙතෙම සිවුපිරිස එක්වූ කල්හි සියල්ලවුන්ගේ සිත් ගෙන කථා කිරීමට හැක්කේනුයි ධර්‍මකථික නන්‍දක නම් වූයේය. තථාගතයන් වහන්සේද රෝහිනී නදීතෙරෙහි චුම්බටක සටනෙහිදී නික්ම පැවිදිවූ පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරවරුන්ට උකටලීබවක් ඇතිවු කල්හි ඒ භික්‍ෂූන් ගෙන කුණාල විලට ගොස් කුණාල ජාතක කථාවෙන් ඔවුන්ගේ සංවේගීබව දැන චතුරාර්‍ය්‍යසත්‍යය පවසා සෝවාන් පෙලෙහි පිහිටවූසේක. මෑත කාලයෙහි මහාසමය සූත්‍රය පවසා අග්‍රඵලයවූ අර්‍භත්වයෙහි පිහිටවූසේක. ඒ තෙරවරුන්ගේ පැරණි භාර්ය්යවෝ අපි දැන් මෙහි කුමක් කරන්නෙමුදැ’යි කියා සියල්ලෝම එක්සිත්ව මහාප්‍රජාතපති ගොතමිය වෙත එළඹ පැවිද්ද ඉල්ලූවාහුය. ඒ පන්සියයම තෙරණියගේ සමීපයෙහි පැවිද්ද ද උපසම්පදාවද ලැබූහ. ගතවූ අනතුරු ජාතියෙහි ඒ සියල්ලෝම රාජාත්ම භාවයෙහි සිටි නන්‍දකස්ථවිරයන්ගේ භාර්‍ය්‍යාවරු වූහ.
එසමයෙහි ශාස්තෘන් වහන්සේ භික්‍ෂූහු භික්‍ෂූණීන්ට අවවාද කෙරෙත්වායි පැවසූ සේක. තෙරණුවෝ තම වාරය පැමිණි කල්හි ඔවුන්ගේ පෙර ආත්ම භාවයෙහි තමන්ගේ පාදපරිචාරිකාභාවය දැන මෙසේ සිතූහ. ‘මේ භික්‍ෂුණී සංඝයා මධ්‍යයෙහි හිඳිමින් උපමාද කරුණුද ගෙනහැර දක්වමින් ධර්‍මය කියන්නාවූ මා දැක වෙනත් පූර්‍වෙනිවාසාඥානලාභී භික්‍ෂුවක් මෙකරුණ බලා ‘ආයුෂ්මත් නන්‍දක තෙර අද දක්වාත් අතොවුර නොහරියි. ආයුෂ්මතුන් අතොවුර විසින් පිරිවරණ ලද්දේ හොබනේයයි කියන්නේ වන්නේය’ එබැවින් තෙමේ නොගොස් අන් භික්‍ෂුවක යැවීය. ඒ පන්සියයක් භික්‍ෂූණීහු තෙරුන්ගේම අවවාදය බලාපොරොත්තු වෙත්. මෙකරුණින් භාග්‍යවතුන් වහන්සේ තම වාරය පැමිණි කල්හි අනෙකකු නොයවා තෙමේම ගොස් භික්‍ෂුණී සංඝයාට අවවාද කරව’යි තෙරුන්ට පැවසූ සේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ කථාව යටපත් කිරිමට නොහැකි වන්නේ තම වාරය පැමිණිකල්හි තුදුස්‍වකෙහි භික්‍ෂුණී සංඝයාට අවවාද දී ඒ සියලුම භිකෂුණීන් ෂඩ් ආයතනයන් පිළිබදඳවූ ධර්‍මදේශනාවෙන් සෝවාන් පෙලෙහි පිහිටවීය.
ඒ භික්‍ෂුණීහු තෙරුන්ගේ ධර්‍මදේහනාවට සතුටු සිත් ඇත්තාහු ශාස්තෘන් සමීපයට ගොස් තමන් විසින් අවබෝධ කළ ගුණයන් සැළ කළාහුය. ශාස්තෘන්වහන්සේ ‘කවරකු නම් දහම් දෙසනකල්හි මේ භික්‍ෂුණීහු මතු මාර්‍ග ඵලයන්ට පැමිණෙන්නාහුදැයි සිහිකරනසේක් ‘යළි නන්‍දක තෙරුන්ගේ ඒ ධර්‍මදේශනාවම අසා මේ පන්සියයක් භික්‍ෂුණීහු රහත්බවට පත් වන්නාහුය’යි දැක දෙවැනි දිනයෙහිද තෙරුන්ගේම සමීපයට දහම් ඇසීම සඳහා යැවූසේක. ඔවුහු දෙවන දිනයෙහි දහම් අසා සියල්ලෝම රහත්බවට පත්වූවාහුය. එදවස භාග්‍යවතුන්වහන්සේ ඒ භික්‍ෂුණීන් තමන්වෙත පැමිණිකල්හි දම්දෙසුම සඵල බව දැන ‘ඊයේ නන්‍දකගේ ධර්‍මදේශනාව තුදුස්වකෙහි සඳ වැනිය විය. අද පසළොස්වකෙහි සඳ වැනියය’ පවසා තෙරුන්ට සාධුකාරදී තෙරුන් භික්‍ෂුණීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අගය තැන්හි තැබූ සේක.