Ape Budu Hamuduruwo 402

අපේ බුදුහාමුදුරුවෝ 402 (සන්තිකේ නිදානය)

 

අපගේ ශාස්තෲන් වහන්සේ කපිලවස්තුවට පැමිණි ඒ දීප්තිමත් දෙවෙනි දිනයේ විසිදහසක් භික්‍ෂූන් පිරිවරා තමනට ආසන්නයේ පිහිටා තුබූ නිවසේ පටන් සපිළිවෙළින් කපිලවස්තු නගර මාධ්‍යය දෙසට පිඬුසිඟා වඩිමින් ගමන් කරනු ලැබුවා. “ආර්ය සිද්ධාර්ථ කුමාරයා පිඬු පිණිස හැසිරේ” යනුවෙන් දෙමහල් තුන්මහල් ආදී පහයවල සිටි මිනිසුන්, සිහ කවුළුව විවෘතකොට බලා සිටිය. මහජනයාත් වටවී මේ විරල දර්ශනය බලා සිටිය. හැබැයි යම් දර්මතාවයක් මත කිසිවකුටත් දානය සඳහා ආරාධනය කිරීමට අමතක වුනත් හැමෝම වගේ පිණ්ඩපාත දානයට සැරසිලා. මිනිසුන් විතරක් නෙවෙයි, ශුද්ධෝදන රජතුමාත් රාජකීය බෝජන සකසා වඩිනතුරු බලා සිටිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අති ශෝභමාන වුත් ගාම්බිර වුත් ශාන්ත වුත්, ඹබයක් පුරාවට බුද්ධ රශ්මිය විහිදෙන අපේ බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝ පිරිස රාජමාලිගාව දෙසට පිඩුසිඟා වඩිමින් පැමිණෙනවා. එතැන සිටි බොහෝ අය තරුණවියේ සිටි සිටුකුමාරවරු ඒ නිසා කහවතින් මුළු පරිසරයම බැබෙලෙනවා. කල්පකාලන්තරයක්ම පෙරමග බලා සිටි දෙනතින්ම එදිනත් අරුණලි වැටීමට පෙර සිටම යසෝදරාව බුදුරජාණන් වහන්සේ වඩින පෙරමග දෙස බලා සිටයේ නොවිසිල්ලෙන්.

මිනිසුන්ගේ සාදුකාර හඬ දසත පැතිරෙනවා. දැන් උන්වහන්සේ පෙණෙන තෙක් මානයේ. රාහුල පුත් දුවගෙන විත් ඇයට තුරුල් වුනේ තම පියා අද දිනයේ එන බව අම්මා කියා සිටි නිසා වෙන්නට ඇති. ඔහු නොවිසිල්ලෙන් තාත්තා ගැන අහනවා. ඒ මොහොතේ තම සැමියා කෙරෙහි වූ අසීමිත ආදරයෙන්, අසීමිත ගෞරවයෙන් ඇය මෙලෙස ගාථා නවයකින් ලෝකනායක වූ පුතුගේ පියාගේ ගුණ සහ රූපශ්‍රීය වර්ණනා කරන්නට වුණා.

චක්ක වරංකිත රත්ත සුපාදෝ

ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී

චාමර ඡත්ත විභූසිත පාදෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ

 

චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ

ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ

චාමර සත් බැබලෙන පා පතුලේ

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි..

 

සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ

ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ

ලෝක හිතාය ගතෝ නරවීරෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ

 

ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා

පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා

ලෝ යහපත වෙත ආ නරවීරා

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි…

 

පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ

දේව නරාන පියෝ නරනාගෝ

මත්ත ගජින්ද විලාසිත ගාමී

ඒසහි තුය්හ පිතා නරසීහෝ

 

පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි

දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි

මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි..

 

ඛත්තිය සම්භව අග්ග කුලීනෝ

දේව මනුස්ස නමස්සිත පාදෝ

සීල සමාධි පතිට්ඨිත චිත්තෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ

 

අග්‍ර කුලය වූ කැත් කුල වංශේ

දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ

ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි..

 

ආයත යුත්ත සුසන්ඨිත නාසෝ

ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ

ඉන්දධනූ අභිනීල භමූකෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ

 

උසින් දිගින් සුපිහිටි සොද නාසේ

ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ

දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි…

 

වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ

සීහ හනූ මිග රාජ සරීරෝ

කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ .

 

මනාව වටකොට සැදි ගෙල ඇත්තේ

සිංහ හනුද මුව රජ වැනි සිරුරේ

රන්පාටින් බැබලෙන ගත සිරියේ

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි..

 

අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ

කංචන පට්ට විසුද්ධ ලළාටෝ

ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ .

 

සුසිනිල කේශය අඤ්ජන වර්ණය

රන්පටයක් බඳු නිමල ලලාටය

ඕසධි තරුවක් සේ පිරිසිදු විය

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි..

 

සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ

හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ

වීසති වීසති සේත සුදන්තෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ

 

සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන

හිංගුල කන්ද සෙ දිව යහපත් වේ

විස්ස බැගින් යුත් සමසතලිස් දත්

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි..

 

ගච්ඡති නීල පථේ විය චන්දෝ

තාර ගණා පරිවේඨිත රූපෝ

සාවක මජ්ඣතෝ සමණින්දෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ

 

අහස් කුසේ සරණා පුන්සඳ සේ

තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්

ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා

මේ උත්තම මුණි නුඹේ පියා වෙයි.

 
 
 

Ape Budu Hamuduruwo 401

අපේ බුදුහාමුදුරුවෝ 401 (සන්තිකේ නිදානය)

 

මෙතරම් ආශ්චර්ය අද්භූත විවිධ දර්ශන දැකීමෙන් බුදුන් දැකීමට පැමිණි සියල්ලෝම වගේ මහත්වූ ශ්‍රද්ධාවෙන් මෙන්ම තුෂ්නිම්භූතව සිටියේ. ඒ වගේම දැනුන අධික වෙහෙසත් නිසා ඉක්මනින්ම වන්දනා කොට නිවෙස් බලා යන්නට ඇති. ඒ අතර තවත් රජවරු ඇමතියෝ සිටුවරු වගේ ප්‍රභූ පිරිස් විශාල ප්‍රමාණයක් ඉන්නට ඇති. පිය රජතුමා ඇතුළු නෑ පිරිසත් එලෙසම භාග්‍යවතුන් වහන්සේට වැඳ පිටත් වුනා. එහෙත් එයත් තව ධර්මතාවයක්ද මන්දා කිසිම කෙනෙකුට පහුවදාට දානය සඳහා තම නිවසට හෝ මාළිගයට ආරාධනය කිරීම සඳහා මතක් වුනේ නැහැ. මම එහෙම ලිවේ ඇයි කියලා ඉදිරි පරිච්චේදය කියවනවිට ඔබට තේරේවි. පොඩි පිරිසකුත් නෙවෙයි බුදුන් ඇතුළු විසිදහසක් සංඝ පිරිවරක්.

භාග්‍යවතුන් වහන්සේ ඇතුළු පිරිස නිග්‍රෝධාරාමයේම රාත්‍රිය ගතකලා. ඒ අපේ බුදුහාමුදුරුවන්ට තවත් සුවිශේෂී වූ දිනකිහිපයක ආරම්භය මෙලෙස නැවතත් සනිටුහන් වුණා. හිතන්න නිග්‍රෝධ තෙරුන්ගේ පිනට පහලවුන සල්මලින් පිරුන අතිරමණීය උයනක වසන්තයේ හිරු උදාවෙන තවත් එක් සුන්දර උදෑසනක සුවය. වසන්තය අවසානයේ ගිම්හානය ආරම්භයේ හොඳින් හිරු පෑයූ මෙවැනි උදෑසනක් ගැන ශ්‍රී ලංකික ඔබට බොහෝ අත්දැකීම් නොතිබුනත් ශීත සෘතුවෙන් බැටකන බොහෝ විදේශවල පදිංචි අපගේ ශ්‍රී ලාංකිකයනට ඉතාම හොද අත්දැකීම් තියෙන්නට ඕනේ.

එදත් ඒ වගේ සුන්දර උදෑසනක්. උයන පුරා පිපී තිබුණ සල්මල් සහ අනෙකුත් මල් වර්ගවලින් හමා එන සුවඳින් මුලුපරිසරයම නැහැවිල. අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ තමා ජිවත් වුන රාජධානියේ. එහෙත් හිරු හවරට යන්නට පෙර විසිදහසක් සංඝයා වහන්සේ ඇතුළු තමන් වහන්සේත් දානය සඳහා පිටත්ව යා යුතුයි. එහෙත් කිසිවෙකුගෙන්වත් ආරාධනයක් නැහැ. කිසිවෙකුත් පෙරමගට පැමිණ පාත්‍ර සිවුරු ගන්නට හිටියේත් නැහැ. උන්වහන්සේටත් ප්‍රශ්ණයක් මතුවුනා. ඒ තමයි කොයි නිවහනටද කුමන අනුපිළිවලිකටද දැන් දානය සඳහා වඩින්නේ කියලා. බලන්න බුදුකෙනෙකුගේ අනතිමානී ගුණය. කෙලින්ම රජමාලිගාවට යන්නට සිතුවේත් නැහැ. අවශ්‍යනම් තම ඥාතීන්ගේ ගෙවල් වලටත් යන්න පුළුවන්, එහෙම නැතිනම් තමන් දන්නා සිටුවරු කුල පුතුන් ඕනෑතරම් ඉන්නට ඇති. එතැනින් පටන් ගන්නටත් පුළුවන්. ඒත් උන්වහන්සේ ඒ සියල්ලම පසෙකින් තබලා මෙහෙම දෙයක් කල්පනා කළා. අතීතයේ විසූ බුදුවරයෝ නෑකුලය සතු නුවරෙහි පිඬුපිණිස හැසුරුණාද, එවැනි අවස්ථාවලදී , උත්පටිපාටියෙන් ඉසුරුමත් ජනයන්ගේ ගෙට පමණක් වැඩියාද, නැතහොත් සපදානචාරිකාවෙහි හැසුරුණහුදැ’යි ආවර්‍ජනය කරනු ලැබුවා. ඒවිට එකද බුදුවරයකුගේ හෝ පිළිවෙළ වරදවා වැඩි ගමනක් නොදැක ‘මා විසින්ද දැන් මේ වංශය මේ ප්‍රවෙණිය දැඩිව ගතයුතුය, මත්තෙහිද මාගේ ශ්‍රාවකයෝද මටම, අනුව හික්මෙන්නාහු පිණ්ඩාචරියවත පුරන්නාහ’යි සිතමින් වීථියෙහි කෙළවර පිහිටි නිවෙසෙහි පටන් ගෙපිළිවෙළින් ගෙපිළිවෙළිට ක්‍රමානුකුලව පිඬුපිණිස හැසිරෙන්නට වුනා.

උපකාර වූ මුලාශ්‍ර

මහාධම්මපාල ජාතකය (447) කුදුගත් සඟිය අටුවාව ජාතක අටුවාව10. දසක නිපාතය

රාහුලවත්‍ථුකථා මහාවග‍්ග-අට‍්ඨකථාමහාඛන්‍ධකං

 
 

Ape Budu Hamuduruwo 400

අපේ බුදුහාමුදුරුවෝ 400 (සන්තිකේ නිදානය)

 

බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 04

සධම්මතා

දැන් සියලු බුදුවරයන් වහන්සේලාගේ අසාධාරණ ධර්මතාව ප්‍රකාශ කරන්නෙමි යනුවෙන් මෙම කරුණු තිහද සඳහන් වෙනවා. ඒ මෙසේයි.

1.පශ්චිමභවික බෝසතාණන් වහන්සේගේ මනා සිහිනුවණින් මවුකුස පිළිසිඳ ගැනීම

2. මවුකුස පර්යංකයෙන් පිටත බලා හිඳීම

3. බෝසත් මව හිටගෙනම ප්‍රසූත කිරීම

4.අරුණයෙහිම මවුකුසින් බිහිවීම

5.රන්පටෙහි පිහිට වූ පාදයෙන් උතුරුදිග බලා සත්පියවරින් ගොස් සිවුදිග බලා සිංහනාද කිරීම

6.සතර නිමිති දැක පුතුන් උපන් පසු මහාසත්ත්‍වයන්ගේ මහබිනික්මන කිරීම

7.අරහත්ධජය පිළිගෙන පැවිදිව, යටත් පිරිසෙයින් සතියක් ප්‍රධන් වැඩීම

8. බුදුබවට පත්වන දින කිරිපිඬු භෝජනය

9. තණ ඇතිරියෙහි වැඩහිඳ සර්වඥතාඥානය අවබෝධ කිරීම

10 ආනාපාන කර්මස්ථාන පරිකර්මය

11.මාරබල නැසීම

12.බෝපලඟෙහිම ත්‍රිවිද්‍යාව ආදිකොට අසාධාරණඥානාදි ගුණ ප්‍රතිලාභය

13.සත්සතිය බෝධිසමීපයෙහිම ගතකිරීම

14.ධර්ම දේශනාව පිණිස බ්‍රහ්මයාගේ ආයාචනය

15. ඉසිපතන මිගදායෙහි දම්සක් පැවැත්වීම

16.නවම් පුර පසළොස්වක සිවුවනක් පිරිස් රැස්වීමෙහි පාමොක් දෙසීම

17.ජේතවන ස්ථානයෙහි නිත්‍යවාසය

18.සැවැත්නුවර දොර යමාමහ පෙළහර දැක්වීම

19.තව්තිසා භවනයෙහි විජම්බණ දෙසීම

20.සකස්පුර දොර දෙව්ලොවින් බැසීම

21.නිරන්තර පලසමවතට සමවැදීම

22.දැහැන් දෙක්හි විනෙයජනයන් දෙස බැලීම

23.හේතුවක් උපන් කල ශික්‍ෂාපද පැනවීම

24.හේතුවක් ඇතිව ජාතක දේශනාව

25. ඤාතිසමාගමයෙහි බුද්ධවංසය දේශනා කිරීම

26.ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කිරීම

27.ආරාධිතයන්ට නොදන්වා වස් නිමවා නොවැඩීම

28.දවසක් පාසා පෙරබත පසු බත පෙරයම මැදියම අලුයම කටයුතු කිරීම

29.පිරිනිවන් දිනයෙහි මස්රස වැළඳීම

30.සූවිසි කෙළදහසක් සමවත් සමවැද පිරිනිවීම යන මේ සමතිස් සියලු බුදුවරුන් වහන්සේලාගේ ධර්මතායි.

අනන්තරායිකධම්ම

ඒ එක්කම විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලාට අතුරු අන්තරා කල නොහැකි බව දැක්වීම මෙලෙස විස්තර කෙරෙනවා. සියලු බුදුවරුන් වහන්සේලා උදෙසා එළවන ලද සිවුපසයට අන්තරාය කිරීම කිසිවෙකු විසිනුත් නොකළ හැකිය. එමෙන්ම කිසිම බලවෙතුකට උන්වහන්සේලාගේ ආයුෂයටද අනතුරු කළ නොහැකියි. එලෙසින්ම අනුන්ලවා හෝ අනුන්ගෙ උපක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ දිවි තොර කරන්නේය යන යමක් ඇත්ද මෙයද සිදුවීමට අවකාශ නැත්තේයයි සඳහන්, එමෙන්ම බුදුවරුන්ගේ උතුම් දෙතිස් මහපුරිස් ලකුණුවලට අසීති අනුව්‍යඤ්ජනවලට කිසිවකු විසිනුත් අන්තරාය කළ නොහැක්කේය යන්නත් සඳහන් වනවා. එලෙසම බුදුරැස්වලට පවා අනතුරු කිරීම කිසිවකුටවත් කළ නොහැක්කේය යනුවෙන් මේ සතර අන්තරාය නොකළ හැකි ධර්ම ලෙස නම් කරනවා

තව බොහෝ ආශ්චර්ය අද්භූත කරුණු මෙලෙස ත්‍රිපිටකය පුරා ඇතත් උන්වහන්සේ මෙම සුවිශේෂී කරුණු කිහිපය මතුකර දක්වමින් මධුරත්‍ථවිලාසිනී අට්ඨකථාව අගට තබා එම වටිනා ග්‍රන්ථය නිමාවට පත්කරනවා.

උපකාර වූ මුලාශ්‍ර

සන්තිකෙනිදානකථා – කුදුගත් සඟිය අටුවාව – බුද්ධවංශ අටුවාව – ගොතම බුද්ධවංස වර්ණනාව

සුත‍්ත අට‍්ඨකථා – වෙමත‍්තකථා – ඛුද‍්දකනිකායො -බුද‍්ධවංසඅට‍්ඨකථා – බුද‍්ධපකිණ‍්ණකකථා

 
 
 

Ape Budu Hamuduruwo 399

අපේ බුදුහාමුදුරුවෝ 399 (සන්තිකේ නිදානය)

 

බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 03

සතර අවිජහිත භූමි

ඒ වගේම සියලු බුදුවරුන් වහන්සේලා විසින් අත් නොහරින ස්ථාන සතරක් භාරතයේ ඇති බව කියවෙනවා. ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන සුවිශේෂ භාරතයේ ස්ථාන සතර බුද්ධගයාව, ඉසිපතනය, සැවැත්නුවර සහ සංකස්සපුරය නම් වනවා.

1 සියලු බුදුවරුන්ට බෝධිපර්යංකය එනම් වජ්රාසන භුමිය සෑම බුදුවරයෙකු විසින් අත්නොහරින එකම ස්ථානයක වනවා.

2.එමෙන්ම සෑම බුදුවරයෙකුම දම්සක් පැවැත්වීම, ඉසිපතන මිගදායෙහි ලෙස වර්තමානයේ හැඳින්වන භූමියේම සිදුකරනු ලබනවා.

3.මාතෘ දිව්‍යරාජයන් ඇතුලු දෙව්පිරිසට අභිධර්ම දේශනාව පවත්වා අවසානයේ දෙවොරෝහණ වෙලාවෙහි සකස්පුර දොර මෙළොවට පළමු පාතබන තැන සියලු බුදුවරුනට පොදු වනවා.

4.දෙව්රම ගඳකිළියෙහි ඇඳෙහි සතර පා තබන තැනත් සියලු බුදුරජාණන් වහන්සේලාට නොවෙනස්වම පවතිනවා. එහෙත් ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ විහාරය වනාහි කුඩා හෝ ලොකු හෝ වන අවස්ථා ඇතත් නගරය වෙනස් නොවන බව පවසනවා.

මෙය මෙම මාතෘකාව යටතේ සංග්‍රහ වන කරුණක් නොවුනත් හදිසියේ මතකයට පැමිණි කරුණක් නිසා වෙනම සඳහන් කිරීමට සිත්වුනා. ඒ තමයි බුද්ධත්වයට පත්ව සම්බඤ්ඤුත ඥානය හෙවත් සියල්ල දන්නා නුවණ අවබෝධ කොට සියලු බුදුවරයන් වහන්සේලා විසින් අත්නොහරින ලද ප්‍රීති වාක්‍යය එකක්ම වීම. එනම් අනෙකජාතිසංසාරං සන්‍ධාවිස‍්සං අනිබ‍්බිස යන ගාථා රත්නය. (අවිදූරෙ නිදාන කතා අවසානය)

සහජාතපරිච්ඡෙද සහ නක්ඛත්තපරිච්ඡෙදය

අප භාග්‍යවතුන් වහන්සේට පමණක් සහජාත පරිච්ඡේදයක් සහ නක්‍ෂත්‍ර පරිච්ඡේදයක් දක්වා තිබෙනවා. අපගේ සර්වඥ බෝසතුන් සමග

1.රාහුලමාතාව

2.ඡන්න ඇමති

3. කන්ථක අශ්වයා

4. හස්තයා

5.සිවුමහ නිදන්සැළි

6. මහාබෝධිය

7. කාළුදායී යන මේ සත එක්ව උපන්න. මෙය සහජාත පරිච්ඡේද නම් වනවා.

ඒ වගේම නැකත් සාස්තර අනුව අප මහා බෝධිසත්වයන් වහන්සේ මවුකුස පිළිසිඳ ගනු ලැබීම,. මහබිනික්මන, දම්සක් පැවැත්වීම, යමාමහ පෙළහර, යන මේවා උතුරුසළ නැකතින් වී තිබුනා. එමෙන්ම විසා නැකතෙන් ඉපදීම, බුදුවීම පිරිනිවීම, වී තිබුණා. මාඝ නැකතින් ද උන්වහන්ගේ ශ්‍රාවක සන්නිපාතයද ආයුසංස්කාර අතහැරීමද සිදුවී තිබුණා. අස්විද නැකතින් දෙවාරෝහණය සිදුවුණා. මෙය නක්‍ෂත්‍ර පරිච්ඡේදය යනුවෙන් හැඳින්වෙනවා.

උපකාර වූ මුලාශ්‍ර –

සන්තිකෙනිදානකථා – කුදුගත් සඟිය අටුවාව – බුද්ධවංශ අටුවාව – ගොතම බුද්ධවංස වර්ණනාව

සුත‍්ත අට‍්ඨකථා – වෙමත‍්තකථා – ඛුද‍්දකනිකායො -බුද‍්ධවංසඅට‍්ඨකථා – බුද‍්ධපකිණ‍්ණකකථා

 

Ape Budu Hamuduruwo 398

අපේ බුදුහාමුදුරුවෝ 398 (සන්තිකේ නිදානය)

 

බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 02

5.ශරීර රශ්මියේ වෙනස (රස‍්මිවෙමත‍්තං)

මෙලෙස ශරීර රශ්මිය මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දසදහසක් සක්වළ පැතිර සිටියා කියලා කියනව. මේ සම්බන්ධව රසවත් තොරුතුරු මිට පෙර සුවිසිවිවරණ යටතේ ලියා තිබෙනවා. එහෙත් එයම පදුමුත්තර බුදුන්ගේ දොළොස් යොදුන් ප්‍රමාණක් පමණයි පැතුරුණේ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පැතුරුන ප්‍රමාණය සත් යොදුනකක්. සිඛී බුදුන්ගේ තුන් යොදුන් පමණ වුණා. කකුසඳ බුදුන්ගේ දස යොදුන් පමණ විහිදුනා. එහෙත් අපේ බුදුහාමුදුරුවන්ගේ බුදුරැස් විහිදුනේ හාත්පස බඹයක් පමණයි. සෙසු බුදුවරුන්ගේ නියමයක් තිබුනේ නැහැ. උන්වහන්සේලාගේ අදහස අදහස කැමැත්ත අවශ්‍යතාව මතම පැතිරුණා. යම් බුදුකෙනෙකු යම් පමණ කැමතිද උන්වහන්සේගේ ශරීරයෙන් එපමණක් පැතිරුණා. එහෙත් එහි ගුණයෙහි වර්ණයෙහි කිසිදු වෙනසක් තිබුණේ නැහැ. . මේ රශ්මි වෙනස නම් වනවා.

6.අභිණික්මන නොහොත් ගිහිගෙය අතහැර ගිය යානයන්හි වෙනස (යානවෙමත‍්තං)

මෙහිදී උන්වහන්සේලා අභිණික්මන සඳහා උපකාරී වූ සජීවී, අජීවී වස්තුන් යානා නමින් හඳුන්වනවා. ඒ ආකාරයට බලන විට සමහර බුදුරජාණන් වහන්සේලා ඇත් යානයෙන්ද, තව සමහරක්, අස් රථ, පද පාසාද, සිවිකාදි, යන්දියෙන් නික්ම ගොස් තිබෙනවා. දීපංකර, සුමන, සුමේධ, එුස්ස, සිඛී, කෝනාගමන යන බුදුරජාණන් වහන්සේලා ඇත්යානයෙන් නික්මුණා. ඒ වගේම කොණ්ඩඤ්ඤ, පදුම, රේවත, පියදස්සී, කකුසන්‍ධ බුදුවරු නික්මුනේ රථයානයෙන්. මංගල, සුජාත, අත්‍ථදස්සී,

 තිස්ස, ගෝතම බුදුවරු අස් යානයෙන්ද, අනෝමදස්සී, සිද්ධත්‍ථ, වෙස්සභූ සිවිකාවෙද,. නාරද බුදුහු පාගමනින්ද, නික්මුනා. එහෙත් මේ සියල්ලන්ටම වෙනස්ව ආශ්චර්ය අද්භූත ලෙස සෝභිත, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප යනබුදුරජාණන් වහන්සේලා වැඩම කලේ තමන් ජීවත්ව සිටි රජ මාළිගාව පිටින්ම අහසට නැග ඒ ප්‍රාසාදයෙන්ම නික්ම ගියේ සිව්රංග සේනාව සමගයි. මේ සියල්ල මීට පෙර සුවිසිවිවරණ යටතේ විස්තර සහිතව ලියා තිබෙනවා. ඒ ගමන හරිම විචිත්‍රවත්. මේ යානා වෙනසයි.

7.බෝරුක් වෙනස (බොධිවෙමත‍්තං)

ඒ ඒ බුදුරජාණන් වහන්සේලා හට බුද්ධත්වය සඳහා පිටදුන් වෘක්ෂයන්හි වෙනස්කම් බෝරුක් වෙනස නමින් මෙහි හඳුන්වනු ලබනවා. දීපංකර බුදුන්ගේ බෝධිය ගිවුළු රුක බෝධියයි. කොණ්ඩඤ්ඤ බුදුන්ගේ සල්කලණ ගසයි. මංගල, සුමන, රේවත, සෝභිත බුදුවරුන්ගේ නාරුක බෝධියයි. අනෝමදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක්ගසයි. පදුම, නාරද බුදුවරුන්ගේ බෝධිය මහාසොණ වෘක්‍ෂයයි. පියුමතුරා බුදුන්ගේ හොරගස බෝධියයි. සුමේධ බුදුන්ගේ බෝධිය කොළොම්ගසයි. සුජාත බුදුන්ගේ බෝධිය හුණගසයි. පියදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක් ගසයි. අත්‍ථදස්සී බුදුන්ගේ බෝධිය සපුගසයි. ධම්මදස්සී බුදුන්ගේ බෝධිය කුරවක වෘක්‍ෂයයි. සිද්ධාර්ථ බුදුන්ගේ බෝධිය කිණිහිරි රුකයි. තිස්ස බුදුන්ගේ පියාගසයි. ඵුස්ස බුදුන්ගේ නෙල්ලිගසයි . විපස්සී බුදුන්ගේ පළොල් රුකයි. සිඛී බුදුන්ගේ සුදුඅඹ ගසයි. වෙස්සභූ බුදුන්ගේ සල්රුකයි. කකුසඳ බුදුන්ගේ සරස රුකයි. කෝනාගමන බුදුන්ගේ දිඹුල් රුකයි. කස්සප බුදුන්ගේ නුගරුකයි. ගෝතම බුදුන්ගේ ඇසතු රුකයි. මේ බෝරුක් වෙනසයි.

8.පර්යංක වෙනස -වජ්‍රාසනය (පල‍්ලඞ‍්කවෙමත‍්තං)

මෙහිදී පර්යංකය යනුවෙන් අදහස් කරන්නේ වජ්‍රාසනයයි. පර්යංක වෙනස නම් දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ට

තෙපනස් රියන් (53) පර්යංක වුණා. කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ට

සත්පනස් (57) රියන් විණා. සුමන බුදුන්ට සැටරියන් පර්යංකයද,. සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ට

අටතිස්රියන් (38) ද, සුජාත බුදුන්ට දෙතිස්රියන් ද,. සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ට සතළිස් රියන්ද,. සිඛී බුදුන්ට

දෙතිස්රියන් (32) ද,. කකුසඳ බුදුන්ට සිව්විසිරියන්ද, කෝනාගමන බුදුන්ට විසි රියන්ද, කසුප් බුදුන්ට පසළොස් (15)රියන්ද වුණා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පර්යංකය තුදුස්රියන්ක් (14) වුණා. මේ පර්යංක වෙනස නම් වනවා.

මෙලෙස පස්විසි බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් අටක් ආයු වෙනස, ප්‍රමාණ වෙනස, කුල වෙනස, ප්‍රධන් වෙනස, රශ්මි වෙනස, යානා වෙනස, බෝධිවෘක්‍ෂ වෙනස, පර්යංක වෙනස යනුවෙන් බුද්ධවංශයේ වෙමත්තකථා යනුවෙන් දක්වා තිබෙනවා..

උපකාර වූ මුලාශ්‍ර –

සන්තිකෙනිදානකථා – කුදුගත් සඟිය අටුවාව – බුද්ධවංශ අටුවාව – ගොතම බුද්ධවංස වර්ණනාව

සුත‍්ත අට‍්ඨකථා – වෙමත‍්තකථා – ඛුද‍්දකනිකායො -බුද‍්ධවංස අට‍්ඨකථා – බුද‍්ධපකිණ‍්ණකකථා

 

Ape Budu Hamuduruwo 397

අපේ බුදුහාමුදුරුවෝ 397 (සන්තිකේ නිදානය)

 

 බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා

“අපේ බුදුහාමුදුරුවෝ” නමින් ඔබ හමුවේ තැබූ බුද්ධවංශ කතා පෙළහරේ මේ දක්වා ලිවීමට සහ විශේෂයෙන් “දූරේ නිදානය” නමැති මුල්කොටස ලිවීමට බොහෝ සෙයින් උපකාර වූයේ මධුරත්‍ථවිලාසිනී බුද්ධවංස අර්ථකථාවෙහි ගොතම බුද්ධවංසයයි. එය ලියු ගුරුන් විසින් තබන ලද “බුද්ධදත්ත” යන නමින් ප්‍රකට ඒ තෙරණුවෝ මධුරත්‍ථවිලාසිනී අට්ඨකථාව කොට පරපුරෙන් පරපුරට ශ්‍රද්ධාව ඇති කරන මේ පොත තබා සියලු සංස්කාර දර්මයෝ අනිත්‍ය වශයෙන් තව තවත් අපට පැහැදිලි කොට අපවත් වී මෙලොවින් සමුගත්තා. ඒ වටිනා ග්‍රන්ථය අවසන් කිරීමට මත්තෙන් තවත් බුදුවරුන් සම්බන්දව වටිනා සුවිශේෂී කරුණු රාශියක් සංෂිප්ත වශයෙන් සඳහන් කොට තිබුනා. එයත් ඔබගේ සෘතමය ඥානය පිණිස මෙලෙස මෙහි සටහන් කොට තැබීමට සිත්වුනා.

 උන්වහන්සේ ඒ ඒ බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා මෙලෙස වෙමත්තකථා, අවිජහිතට්ඨානකථා, සධම්මතාකථා, අනන්තරායිකධම්මකථා, නිගමනකථා වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වනවා. එය මේ ආකාරයටයි.

වෙමත්තකථා (වෙනස්කම් , අසමානකම්)

මේ මුළුමහත් බුද්ධවංසයෙහි දක්වන ලද බුදුරජාණන් වහන්සේලා විසිපස්නමගේ වෙනස්කම් අටක් දතයුතුයි. එනම්

1.ආයු වෙනස

2.ප්‍රමාණ වෙනස

3.කුල වෙනස

4.ප්‍රධන් වෙනස

5.රශ්මි වෙනස

6.යානා වෙනස

7.බෝධිවෘක්‍ෂ වෙනස

8.පර්යංක වෙනස යනුවෙනුයි.

 

1 ආයු වෙනස (ආයුවෙමත‍්තං)

එහි ආයු වෙනස නම් සමහර බුදුවරු දීර්ඝායුෂ්ක වනවා. සමහරු අල්පායුෂ්ක වනවා. දීපංකර, කොණ්ඩඤ්ඤ, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, අත්‍ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්‍ථ, තිස්ස යන මේ නව බුදුවරයන් වහන්සේලා වර්ෂ ලක්‍ෂයක් ආයු ඇත්තෝ වුණා. මංගල, සුමන, සෝභිත, නාරද, සුමේධ, සුජාත, පියදස්සී, ඵුස්ස මේ අටබුදුවරයන් වහන්සේලා අනූදහසක් අවුරුදු ආයු ඇත්තෝ වුණා. රේවත, වෙස්සභු දෙනම හැටදහසක් අවුරුදු ආයු ඇත්තෝ වුණා. විපස්සී භාග්‍යවතුන් වහන්සේ අසූදහසක් අවුරුදු ආයුෂ වැළඳුවා. සිඛී, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන මේ සතර බුදුවරයන් වහන්සේලා ක්‍රමයෙන් සැත්තෑදහස් සතලිස්දහස් තිස්දහස් විසිදහස් අවුරුදු ආයු වැළඳුවා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු සියයකට වඩා අඩු වුණා. රැස්කරන ලද පුණ්‍යසම්භාර ඇත්තා වූද දීර්ඝායුෂ්ක පැවතීමට හේතුකර්මයන් ඇත්තා වූද බුදුවරුන් වහන්සේලාට යුග වශයෙන් ආයු ප්‍රමාණය අප්‍රමාණ වුණා. මේ ආයු පිළිබඳ වෙනසයි.

2.ප්‍රමාන වෙනස (පමාණවෙමත‍්තං)

 එනම් සමහර බුදුවරුන් වහන්සේලා බොහෝ උස්වුණා. සමහරු මිටි වුණා. . දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ගේ ශරීර ප්‍රමාණය අසූරියනක්. කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ගේ ශරීරය අට අසූරියන් පමණ වුණා. සුමන බුදුරදුන්ගේ ශරීරය අනූරියන් උස්වුණා වගේම සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ගේ ශරීරය අටපනස් රියනක් වුණා. සුජාත බුදුරජාණන් වහන්සේගේ සිරුර පනස්රියනක් වුණා. සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ගේ ශරීරය හැටරියනක් වුණා. සිඛී බුදුන්ගේ සිරුර සැත්තෑරියනක් පමණ වූවා. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන්ගේ ශරීරය පිළිවෙලින් සතලිස් තිස් විසි රියන් පමණ වුණා. අප භාග්‍යවතුන් වහන්සේ අටළොස් රියන් වුණා . ප්‍රමාණ වෙනස මෙයයි.

3.කුල වෙනස (කුලවෙමත‍්තං)

කුල වෙනස කියන්නේ ඒ ඒ කාලයන්හි ඉහල ගරුබුහුමන් ලබන කුලවල වෙනසයි. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේලා ඉපදෙන්නේ ඒ ඒ කාලවල උසස් යැයි සලකන, ඉහලින්ම ගරුබුහුමන් කරනු ලබන කුලවලයි. සමහරු කැත් කුලයෙහි උපදිනවා. සමහරු බමුණු කුලයෙත් උපදිනවා. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන් වහන්සේලා බමුණු කුලයෙහි උපන්නා. සෙසු දෙවිසි බුදුවරුන් වහන්සේලාම කැත් කුලෙහි උපන්නා. මේ කුල වෙනස නම් වනවා

4.වීර්ය වැඩීමේ වෙනස (පධානවෙමත‍්තං)

 වීර්ය වැඩීමේ වෙනස යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ඒ බුදුරජාණන් වහන්සේලා දුෂ්කරක්‍රියා කිරීම සඳහා ගතකරනු ලැබූ කාලයේ වෙනස නොහොත් අඩු වැඩි භාවයයි. දීපංකර, කොණ්ඩඤ්ඤ, සුමන, අනෝමදස්සී, සුජාත, සිද්ධත්‍ථ, කකුසන්‍ධ බුදුවරුන් වහන්සේලාගේ වීර්ය වැඩීමේ කාලය දසමසක්. මංගල, සුමේධ, තිස්ස, සිඛී බුදුවරුන් වහන්සේලාගේ ප්‍රධාන චර්යාව අටමසක් වුණා. රේවත බුදුරජාණන් වහන්සේගේ සත්මසක්. සෝභිත බුදුන්ගේ සිවුමසක් පමණ වුණා. පදුම, අත්‍ථදස්සී, විපස්සී බුදුවරුන්ගේ අඩමාසයක් තරම් අඩු වුණා. එහෙත් නාරද, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරුන්ට ඒ සඳහා ගතවුනේ සතියක් පමණ සුළු කාලයක්. පියදස්සී, ඵුස්ස, වෙස්සභූ, කෝනාගමන බුදුවරුන්ගේ සමසක්. එහෙත් අපේ බුදුහාමුදුරුවෝ ඒ සදහා සය වසක් ගතකලා. ඒ ප්‍රධන් චර්යාවේ එසේත් නැතිනම් වීර්ය වැඩීමේ වෙනසයි.

උපකාර වූ මුලාශ්‍ර –

සන්තිකෙනිදානකථා – කුදුගත් සඟිය අටුවාව – බුද්ධවංශ අටුවාව – ගොතම බුද්ධවංස වර්ණනාව