අපේ බුදුහාමුදුරුවෝ 397 (සන්තිකේ නිදානය)

 

 බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා

“අපේ බුදුහාමුදුරුවෝ” නමින් ඔබ හමුවේ තැබූ බුද්ධවංශ කතා පෙළහරේ මේ දක්වා ලිවීමට සහ විශේෂයෙන් “දූරේ නිදානය” නමැති මුල්කොටස ලිවීමට බොහෝ සෙයින් උපකාර වූයේ මධුරත්‍ථවිලාසිනී බුද්ධවංස අර්ථකථාවෙහි ගොතම බුද්ධවංසයයි. එය ලියු ගුරුන් විසින් තබන ලද “බුද්ධදත්ත” යන නමින් ප්‍රකට ඒ තෙරණුවෝ මධුරත්‍ථවිලාසිනී අට්ඨකථාව කොට පරපුරෙන් පරපුරට ශ්‍රද්ධාව ඇති කරන මේ පොත තබා සියලු සංස්කාර දර්මයෝ අනිත්‍ය වශයෙන් තව තවත් අපට පැහැදිලි කොට අපවත් වී මෙලොවින් සමුගත්තා. ඒ වටිනා ග්‍රන්ථය අවසන් කිරීමට මත්තෙන් තවත් බුදුවරුන් සම්බන්දව වටිනා සුවිශේෂී කරුණු රාශියක් සංෂිප්ත වශයෙන් සඳහන් කොට තිබුනා. එයත් ඔබගේ සෘතමය ඥානය පිණිස මෙලෙස මෙහි සටහන් කොට තැබීමට සිත්වුනා.

 උන්වහන්සේ ඒ ඒ බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා මෙලෙස වෙමත්තකථා, අවිජහිතට්ඨානකථා, සධම්මතාකථා, අනන්තරායිකධම්මකථා, නිගමනකථා වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වනවා. එය මේ ආකාරයටයි.

වෙමත්තකථා (වෙනස්කම් , අසමානකම්)

මේ මුළුමහත් බුද්ධවංසයෙහි දක්වන ලද බුදුරජාණන් වහන්සේලා විසිපස්නමගේ වෙනස්කම් අටක් දතයුතුයි. එනම්

1.ආයු වෙනස

2.ප්‍රමාණ වෙනස

3.කුල වෙනස

4.ප්‍රධන් වෙනස

5.රශ්මි වෙනස

6.යානා වෙනස

7.බෝධිවෘක්‍ෂ වෙනස

8.පර්යංක වෙනස යනුවෙනුයි.

 

1 ආයු වෙනස (ආයුවෙමත‍්තං)

එහි ආයු වෙනස නම් සමහර බුදුවරු දීර්ඝායුෂ්ක වනවා. සමහරු අල්පායුෂ්ක වනවා. දීපංකර, කොණ්ඩඤ්ඤ, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, අත්‍ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්‍ථ, තිස්ස යන මේ නව බුදුවරයන් වහන්සේලා වර්ෂ ලක්‍ෂයක් ආයු ඇත්තෝ වුණා. මංගල, සුමන, සෝභිත, නාරද, සුමේධ, සුජාත, පියදස්සී, ඵුස්ස මේ අටබුදුවරයන් වහන්සේලා අනූදහසක් අවුරුදු ආයු ඇත්තෝ වුණා. රේවත, වෙස්සභු දෙනම හැටදහසක් අවුරුදු ආයු ඇත්තෝ වුණා. විපස්සී භාග්‍යවතුන් වහන්සේ අසූදහසක් අවුරුදු ආයුෂ වැළඳුවා. සිඛී, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන මේ සතර බුදුවරයන් වහන්සේලා ක්‍රමයෙන් සැත්තෑදහස් සතලිස්දහස් තිස්දහස් විසිදහස් අවුරුදු ආයු වැළඳුවා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු සියයකට වඩා අඩු වුණා. රැස්කරන ලද පුණ්‍යසම්භාර ඇත්තා වූද දීර්ඝායුෂ්ක පැවතීමට හේතුකර්මයන් ඇත්තා වූද බුදුවරුන් වහන්සේලාට යුග වශයෙන් ආයු ප්‍රමාණය අප්‍රමාණ වුණා. මේ ආයු පිළිබඳ වෙනසයි.

2.ප්‍රමාන වෙනස (පමාණවෙමත‍්තං)

 එනම් සමහර බුදුවරුන් වහන්සේලා බොහෝ උස්වුණා. සමහරු මිටි වුණා. . දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ගේ ශරීර ප්‍රමාණය අසූරියනක්. කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ගේ ශරීරය අට අසූරියන් පමණ වුණා. සුමන බුදුරදුන්ගේ ශරීරය අනූරියන් උස්වුණා වගේම සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ගේ ශරීරය අටපනස් රියනක් වුණා. සුජාත බුදුරජාණන් වහන්සේගේ සිරුර පනස්රියනක් වුණා. සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ගේ ශරීරය හැටරියනක් වුණා. සිඛී බුදුන්ගේ සිරුර සැත්තෑරියනක් පමණ වූවා. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන්ගේ ශරීරය පිළිවෙලින් සතලිස් තිස් විසි රියන් පමණ වුණා. අප භාග්‍යවතුන් වහන්සේ අටළොස් රියන් වුණා . ප්‍රමාණ වෙනස මෙයයි.

3.කුල වෙනස (කුලවෙමත‍්තං)

කුල වෙනස කියන්නේ ඒ ඒ කාලයන්හි ඉහල ගරුබුහුමන් ලබන කුලවල වෙනසයි. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේලා ඉපදෙන්නේ ඒ ඒ කාලවල උසස් යැයි සලකන, ඉහලින්ම ගරුබුහුමන් කරනු ලබන කුලවලයි. සමහරු කැත් කුලයෙහි උපදිනවා. සමහරු බමුණු කුලයෙත් උපදිනවා. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන් වහන්සේලා බමුණු කුලයෙහි උපන්නා. සෙසු දෙවිසි බුදුවරුන් වහන්සේලාම කැත් කුලෙහි උපන්නා. මේ කුල වෙනස නම් වනවා

4.වීර්ය වැඩීමේ වෙනස (පධානවෙමත‍්තං)

 වීර්ය වැඩීමේ වෙනස යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ඒ බුදුරජාණන් වහන්සේලා දුෂ්කරක්‍රියා කිරීම සඳහා ගතකරනු ලැබූ කාලයේ වෙනස නොහොත් අඩු වැඩි භාවයයි. දීපංකර, කොණ්ඩඤ්ඤ, සුමන, අනෝමදස්සී, සුජාත, සිද්ධත්‍ථ, කකුසන්‍ධ බුදුවරුන් වහන්සේලාගේ වීර්ය වැඩීමේ කාලය දසමසක්. මංගල, සුමේධ, තිස්ස, සිඛී බුදුවරුන් වහන්සේලාගේ ප්‍රධාන චර්යාව අටමසක් වුණා. රේවත බුදුරජාණන් වහන්සේගේ සත්මසක්. සෝභිත බුදුන්ගේ සිවුමසක් පමණ වුණා. පදුම, අත්‍ථදස්සී, විපස්සී බුදුවරුන්ගේ අඩමාසයක් තරම් අඩු වුණා. එහෙත් නාරද, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරුන්ට ඒ සඳහා ගතවුනේ සතියක් පමණ සුළු කාලයක්. පියදස්සී, ඵුස්ස, වෙස්සභූ, කෝනාගමන බුදුවරුන්ගේ සමසක්. එහෙත් අපේ බුදුහාමුදුරුවෝ ඒ සදහා සය වසක් ගතකලා. ඒ ප්‍රධන් චර්යාවේ එසේත් නැතිනම් වීර්ය වැඩීමේ වෙනසයි.

උපකාර වූ මුලාශ්‍ර –

සන්තිකෙනිදානකථා – කුදුගත් සඟිය අටුවාව – බුද්ධවංශ අටුවාව – ගොතම බුද්ධවංස වර්ණනාව

 
error: Content is protected !!