Ape Budu Hamuduruwo 180

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 180

 

අප මහා බෝධිසත්වයන් වහන්සේහට ආචාර්යවරුන් සිටියේද? නැද්ද? යන ප්‍රශ්නය.

අද ලිපිය පින්වත් ඔබ විසින් අමුලිකා ශ්‍රද්ධාවෙන් තොරව ඉතාමත් තියුණු තීක්ෂණ විචාර බුද්ධියකින් විමසිය යුතු කාරණාවක් බව හැඟුනේ මිට පෙර බෝධිසත්වයන් වහන්සේ හට ශිල්ප ඉගැන්වීම සඳහා සබ්බමිත්ත ආචාර්යවරයා කැඳවීම සහ ඔහු කෙරෙන් ශිල්ප ඉගෙනගත් බවට සහ බෝසතාණන් වහන්සේලා හට ආචාර්යවරුන් නැති බවට තාරක විතර්ක කරමින් ලියූ යම් ප්‍රතිචාර නිසාය.

මා හට අද දින ලිවීමට ඇත්තේ බෝධිසත්වයන් වහන්සේගේ ආචාර්යවරයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින්ම හැඳින්වෙන ආළාරකාලාම, උද්දකරාමපුත්‍ර‍ නම් තපස්වීන් පිලිබඳවය. මෙහිදීද ඉහත තර්කය නැවත මතුකර හැකි නිසාත් අට්ටකථා ආචාර්යවහන්සේලාත් අනුපිළිවෙල කතාවේ මේ කොටස බැහැර කොට ඇති නිසාත් මා ඔබහට ලියන දේ පිළිබඳ ශාස්ත්‍රීය භාවය සහ නිරවද්‍ය භාවය පිලිබඳ මනා වගකීමක් මා කෙරෙහි පැවරී ඇතිනිසාත්, ලිපියට පෙර ප්‍රවේශයක් ලෙස මෙම ලිපිය සකස් කිරීමට සිත්විය. මේ සඳහා මා හට ගුරුඋපදෙස් ලැබුණු භික්ෂූන් වහන්සේලා දෙනමක් පිළිබඳව මූලිකවම ගෞරවාන්විතව පුණ්‍යානුමෝදනා කරන්නට කැමැත්තෙමු. ඒ කම්මට්ඨානාචර්ය, අභිධර්ම විශාරද, ති‍්‍රපිටකාචාර්ය ධර්මකීර්ති ශ්‍රී‍්‍ර පුජ්‍ය දිගන සුගතවංශ ස්ථවිරයන් වහන්සේ සහ රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ යන ගෞරවනීය භික්ෂුන් වහන්සේලා දෙනමය.

මේ ප්‍රශ්ණයට නිවැරදි ශාස්ත්‍රීය විසදුමක් දෙන අප බෞද්ධ සාහිතයේ ඉමහත් ගෞරවයට පත්‍ර වූ “මිලින්ද ප්‍රශ්ණය” ග්‍රන්ථයේ සඳහන් මිලින්ද රජු විසින් අසනු ලැබූ “ගුරුවිරහිත” ප්‍ර‍ශ්නයත් ඊට නාගසේන මහරහතන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුරත් මේ අයුරින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එය මගේ මතයක් නොවන බැවිනි.

මිලින්ද රජු,

ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො”.

යන මේ ගාථාවෙන් “මට ආචාර්ය කෙනෙක් නො ම ඇත. මට සදෘශ කෙනෙකු දු නැත්තේ ය. දෙවියන් සහිත වූ ලොකයෙහි මට වැඩි පුද්ගලයෙක් නැත්තේ ය” යි කියා මේ ගාථාව වදාරණ ලද්දේ ය. නැවත ද:-

“ඉති ඛො භික්ඛවෙ ආලාරොකාලාමො ආචරියො

මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි.

උළාරාය ච මං පූජාය පූජෙසි” යි.

යන මෙයින් “මහණෙනි, මෙසේ ආළාරකාලාමතෙම මට ආචාර්ය වූයේ අන්තෙවාසික වූ මා තමා හා සම සම ව තැබුයේ ය. මට මහත් වූ පූජාවක් පූජා කෙළේ ය. යි කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින්:-

න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො යි.

මෙම ගාථාව වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන්

ඉති ඛො භික්ඛවෙ ආළාරොකාලාමො ආචරියො

මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි

යි කී වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන්වහන්සේ විසින් ඉති ඛො භික්ඛවෙ ආළාරොකාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති යනාදි වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඒ ප්‍ර‍ශ්නයතෙම ඉසිලියයුත්තේ ය යි කීහ.

මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“මට ආචාර්ය කෙනෙක් නො ම ඇත. මට සදෘශ කෙනෙකු දු නැත්තේ ය. දෙවියන් සහිත වූ ලොකයෙහි මට වැඩි පුද්ගලයෙක් නැත්තේ ය”

යන මේ ගාථාවත් වදාරණ ලද්දේ ය. නැවත ද:-

“මහණෙනි, මෙසේ ආළාරකාලාමතෙම මට ආචාර්ය වූයේ අන්තෙවාසික වූ මා තමා හා සම සම ව තැබුයේ ය. මට මහත් වූ පූජාවක් පූජා කෙළේ ය.”

කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. ඒ වදාළ වචනය වනාහි බුදු වීමට පූර්වයෙහි ම අභසම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ ආචාර්යභාවය සඳහා වදාරණ ලද්දේ ම ය. මහරජානෙනි, බුදු වීමට පූර්වයෙහි ම යම් කෙනෙකුන් විසින් අනුශාසනා කරණ ලද්දා වූ බොධිසත්වයන් වහන්සේ ඒ ඒ තන්හි දවස් හැර වදාළසේක් ද, ඒ අභිසම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ මේ ආචාර්යවරයෝ පස්දෙනෙකි. ඒ ගුරුවරයෝ පස්දෙන කවරහු ද?

  1. මහරජානෙනි, යම් ඒ බ්‍රාහ්මණයෝ අටදෙනෙක් බොධිසත්වයන් උපන් කල්හි ලක්ෂණ පරීක්ෂා කළාහු ද, හේ කවරහු? යත්:- චතුර්වෙදයෙහි නිපුණ වූ රාම ය, ධජ ය, ලක්ඛණ ය, මන්ති ය, යඤ්ඤ ය, සුයාම ය, සුභොජ ය, සුදත්ත ය යන ඒ බ්‍රාහ්මණයෝය. බොධිසත්වයන්ගේ දෙතිස්මහාපුරුෂලක්ෂණාදිය බලා “මේතෙම ගෘහ වාසයෙහි විසී නම් චක්‍ර‍වර්තිරජ වෙයි. මහණ වී නම්, ලොවුතුරා බුදු වෙ” යි කියා දෙඇඟිලි නැඟූහ. හැමට ම බාල සුදත්ත නම් බ්‍රාහ්මණයා මකුළුහුයක් වඅන් ඌර්ණාරොම ධාතුව බලා “මේ තෙම එකාන්තයෙන් ම ලොවුතුරා බුදු වේ ම ය” යි කියා එකැඟිල්ලක් නඟා ලී ය. මෙසේ බොධිසත්වයන්ගේ සිරිසෙත් ප්‍ර‍කාශ කොට කියා රක්ෂා කට යුතු කෙරෙව්වාහු ය. ඒ අට දෙන පළමුවන ආචාර්යයෝ ය.
  2. නැවත ද, මහරජානෙනි, බොධිසත්වයන්ගේ පිතෘ වූ සුද්ධෝදන නම් මහරජානෝ එසමයෙහි විශෙෂජාති ඇති උදිච්චබ්‍රාහ්මණවංශ ඇති පදක වෙය්‍යාකරණඡළංගශාස්ත්‍ර‍ දන්නා සබ්බමිත්ත නම් බ්‍රාහ්මණයෙකු ලඟට ගෙන්වා ස්වර්ණභිංකාරයෙන් පැන් වත්කොට “මේ කුමාරයාට ශිල්ප උගන්ව” යි කියා භාර දුන්නාහු ද, මේ දෙවෙනි ආචාර්යයා ය.
  3. තවද, මහරජානෙනි, බොධිසත්වයන් වහන්සේ සාරමසින් සාර මසින් ශක්‍රදෙවෙන්ද්‍ර‍විලාසයෙන් සැරසී උද්‍යානක්‍රීඩාවට වඩනා කල්හි යම් ඒ දෙවතාවෙක් මහණවෙසය සතර වැනි කොට ජරා ව්‍යාධි මෘත රූපයන් දක්වා බොධිසත්වයන්ට සංවෙග කෙළේ ද යම් දෙවතාවකුගේ ආනුභාවයෙන් කියූ රථාචාර්යයාගේ වචනය අසා බොධිසත්වයන් වහන්සේ තුන් භවය ම ගිනි ගත් දෙයක් සේ සිතා සසර කලකිරී උද්විග්න ව ඒ ක්ෂණයෙහි ම නෛෂ්ක්‍ර‍ම්‍ය නික්ම පැවිදි වූසේක් ද මේ තුන්වැනි ආචාර්යයා ය.
  4. තව ද, මහරජානෙනි, අප මහබෝසතනානන් වහන්සේ පාණ්ඩව නම් පර්වතගුහායෙන් නික්ම ඒ ඒ තැන විහරණය කරණසේක් අරූපසමාපත්තිලාභී වූ ආළාරකාලාම නම් තපස්වීන් කරා එළඹ වාසය කොට අෂ්ටසමාපත්ති උපදවා ගෙණ මේ ආචාර්යයාගේ සමයයෙහි නිවන් මෙතෙක් ම ය යි එතැනින් ඉවත වැඩිසේ. මේ සතරවැනි ගුරුවරයා ය.
  5. නැවැතත්, මහරජානෙනි, බොධිසත්වයෝ උද්දකරාමපුත්‍ර‍ නම් තපස්වීන් කරා ගොස් වාදය කොට ධ්‍යානමාත්‍ර‍යක් මිස එහිත් නිවන් නැතැ යි සිතා එහිත් නො රඳා උරුවෙලාවට වැඩියසේක. මේ පස්වැනි ආචාර්යතෙම ය.

මහරජානෙනි, සම්බොධියට පූර්වයෙහි ම සම්බුද්ධ නො වූ බොධිසත්වයන් වහන්සේගේ මේ ගුරුවරයෝ පස්දෙනා ය. ඒ ආචාර්යවරයෝ වනාහි ලෞකිකගුණධර්මයෙහි යෙදූහ. මහරජානෙනි, මේ ලොකොත්තර වූ නිර්වාණගුණධර්මයෙහි සර්වඥතාඥානය ප්‍ර‍තිවෙධ කිරීමෙහි තථාගතයන් වහන්සේට අනුත්තර වූ අනුශාසක ගුරුවරයෙක් නැත්තේ ය. මහරජානෙනි, අප තථාගතයන් වහන්සේ අන්‍යොපදෙශ විරහිත ව ස්වයම්භූඥානයෙන් ම බුදු වූ සේක. ආචාර්ය විරහිතසේක. ඒ කාරණයෙන් බුදුරජානන් වහන්සේ විසින්:-

න මෙ ආචරියො අත්‍ථි-සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං-නත්‍ථි මෙ පටිපුග්ගලො. යි.

(“මට ආචාර්ය කෙනෙක් නො ම ඇත. මට සදෘශ කෙනෙකු දු නැත්තේ ය. දෙවියන් සහිත වූ ලොකයෙහි මට වැඩි පුද්ගලයෙක් නැත්තේ ය” )

යන මේ ගාථාව වදාරණ ලදැ යි වදාළසේක.

මිලින්ද රජ,

යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නය ද එසේ ම මමත් පිළිගන්නෙමි යි රජතුමා කීහ.

ගුරුවිරහිතප්‍ර‍ශ්නය නිමි.

මෙය ඔබ සැමට බෝධිසත්වයන් වහන්සේගේ ගුරුවරුන් සම්බන්ධව සෑහීමකට පත්විය හැකි සටහනක් යැයි සිතමි.

උපකාරක ග්‍රන්ථ – මිලින්ද ප්‍රශ්ණය

Ape Budu Hamuduruwo 179

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 179

 

රජගහනුවර බිලි පූජා සහ සත්වඝාතන නතර කළ අප මහා බෝසතාණෝ.

මෙම කතාව අපගේ පෙළපොත් වල සඳහන් නැති එහෙත් බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතයේ අඩංගු කතා පුවතක්. මෙහි මූලාශ්‍ර පිළිබඳ සඳහනක් උන්වහන්සේ ගේ පොතෙහි දක්නට ලැබුණේ නෑ. මෙය විශේෂයෙන්ම වර්තමානයට ඉතා වටින කතාවක් ලෙස හැඟී ගිය හෙයින් එහි ඇති අයුරින්ම මෙලෙස සඳහන් කරනවා.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ විශාලා මහනුවරට යන අදහසින් ගංගා නදියෙන් එතෙරව යා යුතු බැවින් ඒ දෙසට ගමන් කළා. මේ අතර 500ක් පමණ වූ බැටලු රංචුවක් දක්කාගෙන රජගහනුවර අතට යන අජ පල්ලෙකු ඉදිරියේ මුණගැසුණා. රජගහ නුවර කියන්නෙ ඒ කාලේ මගධ රට ප්‍රධාන රාජ්‍යයයි. එය ගිරිව්‍රජ රාජ්‍යය යන නමින් ද හැඳින් වුනා . ඒ බැටළු රැලෙහි හැමටම පස්සෙන් කොර ගසමින් අමාරුවෙන් පිය නගන බැටලු පැටියෙක් ද වුනා . ඒ අසලින් ඌගේ මව වූ බැටලු දෙන ද ආවා. ඒ අජපල්ලා කිසිම කරුනාවක් නැතිව කෝටුවකින් තලමින් ඒ බැටළු පැටියාව ඉදිරියටම මෙහෙයවන්නට වුනා . බෝසතාණන් වහන්සේ ඔහු හමුවී මේ සතුන් කොහේ ගෙන යන්නේ දැයි විමසා සිටියා.

“අප රජතුමාගේ අපල උවදුරු දුරු කරන්නට වේද නියමය පරිදි අද නුවර ලඟ දෙවොලෙහි බිලි පූජාවක් කෙරෙනවා.රාජ නියෝගයෙන් බැටළුවන් පන්සියයක් ගෙන යාමට මට නියම වුනා ” යනුවෙන් අජපල් ලා කියා සිටියා.

මේ ළදරුවාට තලන්න එපා මේ පැටියා මම ගෙනවිත් දෙන්නම්. මෙසේ වැදෑරු අප මහා කාරුණිකයාණෝ ළදරු බැටළු පැටියා වඩාගෙන බැටළු රළ පසුපසින් ඔහු සමග යන්නට වුනා . බැටළු පැටියා ගේ මවට ද උන්වහන්සේගේ කාරුණික බව හැඟී බෝසතාණන් වහන්සේගේ පසුපසින්ම යන්නට වුනා .

බෝසතාණන් වහන්සේ කෙළින්ම පූජාසනය කරා වැඩිය. එකෙනෙහිම පුදසුනෙහි හුවා සිටි බැටළුවෙකු ඔසවාගත් පූජකයා ඌගෙ බෙල්ලට මුවහත් පිහිය තැබීමට සැරසුණා පමණයි. බෝසතාණන් වහන්සේ වහාම ඉදිරියට විත් ඔහුව නවතනු ලැබුවා. බෝසතාණන් වහන්සේගේ තේජාන්විත භාවය දුටු පූජකයා මෙල්ල වී පසුබැස්සා. ඔහු අසරණ වී එහි පැමිණ සිටි බිම්බිසාර රජු දෙස බැලුම් හෙලුවා. රජතුමාත් බෝසතාණන් වහන්සේ දැක නිහඬව බලා ගත් වනම බලා සිටියා. එවිට බෝසතාණන් වහන්සේ රජතුමා හට මෙලෙස පවසා සිටියා. අසරණ සතුන් බිලි දෙමින් තමන්ගේ උවදුරු දුරු කරගන්නට සිතා කරන ක්‍රියාවලින් වඩාත් පව් රැස් වනු මිස විපත් වැඩිවනු මිස ඒවා අඩු නොවනු ඇතැයි දේශනා කළා. මේ අසරණ සතුන් බිලිගන්නා තැනැත්තෙක් වෙතොත් ඒ දෙවියෙක් නොව හීන දීන රකුසෙකු යයිද යන ආදියෙන් කරුණු පවසා අවවාද කළා. බිම්බිසාර රජතුමා ඒ අවවාදය පිළිගෙන එවෙලේම සිය රටෙහි සත්ව බිලිපූජා තහනම් කරනු ලැබුවා. බුද්ධත්වයෙන් පසු තම මාලිගාවට වඩින්නයි නැවතත් ආරාධනය කර නික්ම ගියා. අප මහා බෝසතාණන් වහන්සේ ද විශාලා මහ නුවර බලා වඩින්නට ගංගා නම් නදිය වෙතට පිය නැග්ගා.

උපකාරක ග්‍රන්ථ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය,

Ape Budu Hamuduruwo 178

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 178

 

බිම්බිසාර රජතුමා පරිත්‍යාග කල රජකම ප්‍රතික්ෂේප කල අප මහා බෝසතාණෝ.

මේ අයුරින් බෝසතාණන් වහන්සේ රජගහ නුවරට පැමිණියේ එක් දවසක උදේ වරුවේ. පිඬුසිඟා යාමට කාලය එළඹ ඇති බැවින් උන්වහන්සේ පාත්‍රය ද අතින් ගෙන ප්‍රධාන නගරය වෙත නික්මුණා. රජගහ නුවර ඒ වනවිට රජකම් කරනු ලැබුවේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේගේ අදෘෂ්ට මිත්‍රයෙක්. ඔබට මතක ඇති මින්පෙර ඔවුනොවුන් අතර තෑගි සහ ලිපි හුවමාරු වුන බව ලියා තිබුණා. නිසා ඔවුන් කුඩා කල සිට ම හොඳ මිත්‍රයෝ. එහෙත් බිම්බිසාර රජතුමා දැනන් හිටියෙ නෑ මේ වන විටත් ඔහුගේ ඒ නුදුටු මිත්‍රයා තම නගරයට පැමිණ ඇති බව. ඒ බව දැන සිටියා නම් මේ කතාව තව ටිකක් වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. ඒ කෙසේ වෙතත් අප බෝසතාණන් වහන්සේට වුවමනා වුණේ නැහැ ඔහුට මේ බව දන්වා සිටින්න. බෝසතානන් වහන්සේ මෙහෙම හිතුවා.

“ මා මෙහි ආ බව රජුට දැන් වුවොත් මහත් සත්කාර සංග්‍රහ ලැබුණු ඒකාන්තයි. එහෙත් දන්වා යවා සංග්‍රහ ලැබීම නුසුදුසුයි. පිඬු සිඟා ගොස් ලත් දෙයින් යැපීම ඊට වඩා උතුම් ය.

මෙලෙස සිතූ අප මහා බෝසතාණන් වහන්සේ පිඬුසිඟා යමින් රජගහනුවර ප්‍රධාන වීදි වෙතට පිය මැන්න. මුළු නගරයම බෝසතාණන් වහන්සේගේ රූපය දැකීමෙන් ධනාල නම් ඇතා පිවිසි රජගහනුවර මෙන් මෙන් කැලඹුනා. මෙයට පෙර කිසි කලෙක නො දුටු ඒ අපූර්ව රූපශ්‍රීයෙන් බබලන බෝසතානන් වහන්සේ දුටු නුවර වැසියෝ විශ්මයට පත්වුණා. බෝසතාණන්ගේ රූපශ්‍රීයෙන් වශීකෘත වූ ඔවුන් තමන්ගේ වැඩ කටයුතු නවතා උන්වහන්සේ දෙස බලාගත් වනම බලා සිටියා. “මේ නම් මනුෂ්‍යයෙක් නොවේ. මහා බ්‍රහ්මයා කිසියම් අදහසකින් මිනිස් වෙසින් පැමිණ සිට යැයි” කෙනෙක් කීවා. සමහරු මොහු බ්‍රහ්මයා නොවේ කලින් කළ ලොවට එන විෂ්ණු දෙවියන්ගේ මනුෂ්‍ය අවතාරයක් යැයි කියා සිටිය. තවත් මහරු මේ ශිව දෙවියෝ ද, සමහරු මේ සඳ මඩලට අරක්ගත් සඳ දෙව්රජ ද, තවත් කෙනෙක් මේ හිරු මඬලට අරක්ගත් සූර්ය දිව්‍යරාජයාද, තවත් කෙනෙක් මොහු වෙන කිසිවෙකු නොව අනංගයාම විය යුතු යැයි තමන්ගේ ඇදහිලි අනුව විවිධ මත පළකරන්නට වුනා . ගැඹුරින් කරුණු විමසන යම් කිසි කෙනෙක් “මේ ඔය කියන කිසිවෙක් නොවේ ලෝවැඩ පිණිස පහළ වූ කිසියම් මහා පින් ඇති උත්තමයෙක්” යැයි කියා සිටියා.

මේ අතර මේ සියල්ල දෙස විමසිලිවත්ව බලා සිටි රාජපුරුෂයෝ වහාම බිම්බිසාර රජතුමා වෙත ගොස් බැහැදැක “දේවයන්වහන්ස රටට මහා ශාන්තියක් සැලසෙන පෙරනිමිත්තක්, දෙවියෙක්ද මිනිසෙක් දැයි නො දනිමු. පෙර නොදුටු විරූ විශ්මය උපදවන රූපශ්‍රීයෙන් යුත් කෙනෙක් පැවිදි විසින් නුවර පිඬුසිඟා වඩිති. යැයි කියා සිටියා. රජතුමාද සීමැදුරු කවුළුව හැර බලනුයේ බෝසතාණන් වහන්සේ දැක විශ්මයට පත්ව ඒ දෙසම බලා උන්නා. මොහු ආශ්චර්යමත් කෙනෙක්, දැකුම් කළු අඟ පසෙකින් යුක්ත ආරෝහපරිණාහ සම්පන්න දේහයෙන් පිරිසිදු බබළන වර්ණයෙන් යුක්ත සිත පහදවන ඉරියව්වෙන් යුක්ත වූ දෙවියකු හෝ අමනුෂ්‍යයෙක් විය හැකියි. යම් හෙයිකින් මොහු දෙවියෙකු හෝ අමනුෂ්‍යයෙක් වන්නේ නම් ටික දුරක් ගොස් අදෘශ්‍යමාන විය යුතයි. මිනිසෙක් වී නම් කිසියම් තැනකට ගොස් පිඬුසිඟා ලත් ආහාර වළඳය යුතුයි. ඒ නිසා මොහො පසුපස ගොස් විමසා බලා ඒ බව මට කියවයි රජතුමා රාජපුරුෂයන් පිටත් කොට යැවුවා.

අප මහා බෝසතාණන් වහන්සේද පිඬුසිගා අවසානයේ පිවිසි දොරටුවෙන්ම නගරයෙන් නික්ම පාණ්ඩව පර්වතයට මුහුණලා හිඳ ආහාර පිළිගැනීමට පටන් ගත්තා. රාජ බෝජනයෙන් යැපුණු ඔහුට අමාරුවෙන් වැලඳු ආහාර පෙරළා අවුත් මුඛයෙන් නික්මෙන ඔක්කාර ගතියක් දැනෙන්නට වුනා . ඒ මේ ආත්මභාවය තුල මේවනවිට මෙබඳු ආකාර ආහාරයක් ඇසින් නොදුටු විරූ නිසයි. එයින් ආහාරයේ පිළිකුල් බව සලකනු ලබන්නේ මෙසේ තමන් තමන්ටම අවවාද කර ගත්තා. ” සිද්ධාර්ථ ඔබ ආහාර පාන සුලභ කුලයක වාසය කළා සුවඳසැල් භෝජන නොයෙක් අනර්ඝ රසයෙන් වළඳනා තැනක උපත ලබා වැරහැලි එක් පාංශුකූලික සිවුරක් පොරවා ගත් අයකු දැක කවර දා හෝ මමත් මෙබඳු ආකාර වී පිඩු පිණිස හැසිර අනුභව කරන්නේ මේ වන්නෙමි. මට ඒ සුදුසු කාලය යයි සිතා රජකමද රාජ්‍යයද අතහැර පැමිණියා. දැන් කුමක් නම් කරන්නේද ? දැන් ඒ ආහාර පිලිකුල් කරන්නේද?” මෙසේ තමන් තමන්ටම අවවාද දී කලකිරුණේ වී නමුත් ආහාර අනුභව කළා.

මේ සියල්ල දෙස බලා සිටි රාජපුරුෂයෝ හැකි ඉක්මණින්ම රජතුමාව දැනුවත් කළා. රජු දූතයන්ගේ වචන අසා වේගයෙන් නගරයෙන් පිටවී බෝසතාණන් වහන්සේ සමීපයට පැමිණි රජු ඇතුළු පිරිස සන්සුන් හික්මුණු ඉරියව් ආදියෙන් සැදී පැහැදී බෝසතාණන් වහන්සේ අසළ එකත් පසෙක හිඳගෙන මෙලෙස පවසනු ලැබුවා.

ඔබ ඉතා සියුමැලි කෙනෙක් තවම තරුණ වියේ පිඬුසිඟා යකුන් ඔබ වැන්නෙකුට නොවැටී පින්වතා නිමි මේ අංග මගධ දෙරට විශාලයි දෙකට බෙදා කොටසක් ඔබට පියනම ඉතිරි කොටස මම ගනිමින් මෙසේ අපි දෙදෙනා මේ රට පාලනය කරමු යැයි කියා සිටියා

බෝසතාණන් වහන්සේ ඔහුගේ කතාව අසා මේ රජ මා නොහඳුනති. ඉතා තමන්ව හඳුන්වා දෙන්නට මේ සුදුසුම අවස්ථාවයි සිතුව.

මහරජ භූමි ප්‍රදේශ වශයෙන් කෝසල රටට ඇතුළත් ශාක්‍ය නම් රටක් හිමවත් පාමුල ඇත. බොහෝ පෙර සිට පරම්පරා උරුමයෙන් රටට අධිපති ව පාලනය කරන සූර්යවංශික වූ ශාක්‍ය නමින් ප්‍රකට පරම්පරාවක් ඇත. සහ දුක්වලින් ලොව පෙනෙන්නා දැක එයින් මිදෙන මගක් වනු වස් මට අයත් රජකම හැර දමා ඒ ශාක්‍ය කුලයේ නික්ම පැවිදි වුණෙමි ිමුක්ති මාර්ගය යන රාජ්‍යයන් මට වැඩක් නැත බෝසතාණන් වහන්සේ වදාරනු ලැබුවා.

එය ඇසූ කෙණෙහි ම රජුට කාරණය වැටහී ගියා. පින්වතාණන් වහන්ස, ශාක්‍ය දේශාධිපති සුද්ධෝදන මහ රජාණන්ගේ පුත් සිද්ධාර්ථ කුමාරයාණන් සතර පෙර නිමිති දැක ගිහි ගෙයින් නික්ම ගොස් පැවිදි ව බුදු වනු ඇතයි අසා ඇත්තෙමි. ළදරුවියේ සිටම මා හා හසුන් හා තුටුපඬුරු හුවමාරුවෙන් මිතුරු වී සිටින මගේ හිත මිතුරු ඔබ වහන්සේ දැකීමෙන් ඉතා ප්‍රීතියට පත්වීමි. වහන්ස ඔබේ මනෝරථය සඵල වේවා!! ඔබ වහන්සේ විසින් ප්‍රර්ථනා කරන්න වූ බුදු බව ලැබූ පසු කල්නොයවා මගේ නුවරට ද වඩින සේක්වා!! ඔබවහන්සේ ලැබූ විමුක්ති සැපය දී අපවද සනසන සේක්වා!! යැයි රජතුමා කියා සිටියා බෝසතාණන් වහන්සේ ද එසේය, බුදු වූ පසු පැමිනෙන්නෙමි යි වදාරනු ලැබුවා. ඉක්බිති රජ ද පිරිසද බෝසතාණන් වහන්සේට මහත් වූ ආදර බුහුමන් දක්වා වැඳ පැදකුණු කොට නික්ම ගියා. බෝසතාණන් වහන්සේ ද එදා රෑ ගිජුකුළු කඳු පදෙස අසපුවක වැඩ සිට පසුදින උදේ විසාලා මහනුවරට යනු පිණිස එතැනින් පිටත් වුනා  .

උපකාරක ග්‍රන්ථ – අපදානට්ඨ කතා, ජාතකට්ඨකථාව. ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය,

Ape Budu Hamuduruwo 177

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 177

 

මෙසේ තමන්ගේ පුර්ව ජන්මයේ කල්‍යාණ මිත්‍ර ඝටීකාර බ්‍රාහ්ම රාජයා වෙතින් ලැබුණු සිවුරු හැඳ පොරවා පත්‍රයද උරේ එල්ලගෙන කිඹුල්වත් නුවර දෙසටම නික්ම ගියා. ඒ යන අතර අඹවනයක් දැක ඒ තුලට වැඩම කළා. මේ මල්ලරට මායිමේ වූ අනුපිය නම් නුවර සමීපයේ වූ අඹ වනයයි.

ළදරු වියේ සිට නවවිසි වන වස තෙක්ම නිතර පැවැති නැටුම් ගැයුම් වැයුම් හා ඇසුරු කලවුන් ගේ කතාබස් ආදී වශයෙන් කිසිදු නිසි විවේකයක් නොලබා කල්ගෙවූ බෝසතාණන් වහන්සේට ඒ සියල්ලන්ගෙන්ම වෙන්ව පටන්ගත් මේ හුදෙකලා ජීවිතය මහත් සැනසිල්ලක් බව වැටහුණා. ලෝක තත්ත්වය ජීවිත තත්වය සිතා බලන කෙනෙකුට අවශ්‍ය වනුයේ ජනයාගෙන් වෙන් වූ හුදෙකලා බවයි.එය ලත් බෝසතාණන් වහන්සේ එයින් උපන් විවේකය ද ඒ නිසාම උපන් ප්‍රීතිය ද භුක්ති විදිමින් නුවණින් ජීවිත තත්ත්වය විමසමින් සතියක්ම කල් යැවූවා. ඒ කාලය තුළ සා පිපාසාවක් ඇති වුනේ නැහැ. මේ අතර මාගේ වියෝගයෙන් ඇතිවන ප්‍රිය විප්‍රයෝග දුක දරා ගැනීමේ ශක්තිය පියාණන් වහන්සේට කුඩා මෑණියන් වහන්සේටත් යශෝධරාවන්ට නන්ද කුමාරයාට නන්ද කුමරියටත් සෙසු ඥාති ජනයාටත් යන හැම දෙනාටම ඇති වේවා. එයින් කිසි කෙනෙකුටවත් කිසිම විපතක් නොවේවා යි තරයේ අධිෂ්ඨාන කරනු ලැබුවා. බෝධිසත්වයන් වහන්සේ අනුපිය අඹ වනයෙහි සතියක් එහි වැඩ සිට එයින් නික්මී, ශාක්‍යා බ්‍රාහ්මණි නමින් ප්‍රසිද්ධ තපස්විනියක ගේ අසපුවට වැඩියා. තපස්විනිතොමෝ භෝජන වලින්ද නවාතැනින් ද උන්වහන්සේට සංග්‍රහ කළා. එතැනින් උගත යුතු දෙයක් නැති සේ දැක එහි නුදුරෙහි වූ පද්මා නම් තපස්විනිතොමෝ ගේ අසපුවට වැඩිය. එහිදී ද මහත් ආදර සත්කාරයෙන් පිළිගන්නා ලද්දේ එතැනිනුත් උගත යුතු දෙයක් නැති නිසා එතනිනුත්නික්මුණා. ඉන්පසු එම අසපුවට නොදුරු රේවත නම් සෘෂිහු ගේ අසපුවට වැඩම කළා. ඒ සෘෂීහු ගේ ද ධර්මයෙහි සාරයක් නො දැක එතැන නොසිට එතැනිනුත් නික්මුණා. මෙසේ රජගහ නුවරට සමීප අසපුවක යාගහෝම කරමින් නොයෙක් වත පුරමින් වසන තවුසන් සමූහයක් ඉන්න භාග්‍රවාශ්‍රමයට පිවිසියා. ඒ අසපුවට අධිපති භාර්ගව තෙම මහත් සත්කාරයෙන් බෝසතාණන් වහන්සේ පිළිගත්තා. ඔහුගේ දහම විමසා බලනුයේ සංඝ සුව පතා යාගහෝම කරනුව ට වැඩියෙන් දෙයක් නැතැයි දැක එතැනින්ද නික්මෙන්ට සැරසුනා. ඒ දුටු එහි වෘත පුරන මහලු තවුස් කෙනෙක් ඔබ සොයන දහම උගන්වන ආළාර නම් තව කෙනෙක් විශාලා මහනුවර අසපුවක වෙසෙති. එහි වඩින්නැයි කීවා. විසාලා මහනුවරට යෑමට රජගහ නුවරට ගොස් ගංගා නදියෙන් එගොඩ යා යුතුය. එබැවින් බෝසතාණන් වහන්සේ පළමුකොට රජගහනුවර අතට ගමන ඇරඹුවා.

සැලකිය යුතුයි – මෙම කොටස අපගේ අට්ඨ කතාවේ සඳහන් නැති හෝ මා හට හමු නොවූ කොටසක්. උපුටා ගනු ලැබුවේ ගෞරවනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නායක හිමිපාණන් වහන්සේගේ බුද්ධ චරිතය ග්‍රන්ථයෙනි.

Ape Budu Hamuduruwo 176

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 176

 

මහාභිනිෂ්ක්‍රමණය 02

බෝසතාණන් වහන්සේ : ඔබ කවුද?

මම වසවර්ති මාරයා වෙමි.

මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුනා .

මහපොළව කරකැවී බෝසතාණන් වහන්සේට අවසන් වරට මාළිගය ඇතුළු නුවර පෙන්වීම.

මෙසේ බෝසතාණන් වහන්සේගේ අතට පත් සක්විති රාජ්‍යය කෙළ පිඩක් මෙන් අනපේක්ෂිතව හැරදමා උතුරුසල නැකත පවත්නා කාලවෙලාවේම නගරය සහ තමා මෙතෙක් කල් ජීවත් වූ මාළිගාවනද, ආදරණිය බිරිඳද, සිගිති පුතුද , පියා සුළුමව ඇතුළු මුළු නෑ හිතවත් සංහුරයම හැරදා යන්නට පිටත් වුනා. එහෙත් නගරයෙන් පිටත්වන මොහොතේම යලිත් තමා මෙතෙක් කල ජීවත් වූ නුවර දෙස ආපසු හැරී බලන්නට කැමැත්තක් ඇති වුයේ සමුගන්නට අවසර පැතීමට වාගේ. මේ සිතිවිල්ල උපන් කෙණෙහිම මහා පුරුෂය ඔබ පෙරුම්පිරුවෙ නැවතී ආපසු හැරී බැලීම සඳහා නොවෙයි කියන්නාක් මෙන් මහ පොළොව කුඹල් සකක් මෙන් කැරකැවී මාළිගය ඇතුළු නගරය බෝසතාණන් වහන්සේට පෙන්නුවේ ඔහුට ආපසු හැරෙන්නට අවසර නොදෙමින්. ඒ තමයි බුද්ධත්වය සඳහා මිහිකත දැක්වූ සහය එක අවස්ථාවක. බෝසතාණන් වහන්සේ නගරයට මුහුණලා නුවර දෙස බලා නැවතුණු ප්‍රදේශය කන්ථක අශ්වයා නැවතුණු සෑය වශයෙන් සනිටුහන් කොට යළි අසු ගමන්මගට අභිමුඛ කොට මහත් සිරි සොභාවයෙන් ඉදිරියටම ගියා.

මග දෙපස දෙවියන් විසින් දැල්වූ සැටදහසකට වඩා වැඩි පහන් වැටි සහ මදාරා මල් වැසි.

එදින දෙවියො බෝසතාණන් වහන්සේ යන මග පෙරටුව සැට දහසක් ආලෝක වැටි දල්වා සිටියේ ඒ මහා අභිනික්මනට ආශීර්වාද කරමින්. එසේම බෝසතාණන් වහන්සේගේ පිටුපස ද, දකුණු පස ද, වම්පස ද සැට සැට දහස බැගින් ආලෝක වැටි දරන්නට වුනා . සමහර දෙවිවරු හා නා, ගුරුළු ආදීහු ද දිව්‍යමය මල් සුවඳ සුණු ආදියෙන් පුදමින් පසුපසින් යන්නට වුනා. සමහර විට ඔබත් මමත් ඒ අතර ඉන්නටත් ඇති. ඝන වලාවකින් වැගිරෙන වැසී ධාරා මෙන් පරසතු මදාරා මල් වලින් අහස වැසී ගියා. දිව්‍යමය සංගීත හඬ දසත පැතිරී ගියා. හාත්පස අට වග බෙර සැටවග බෙර වශයෙන් සැට දහසක් බෙරවාදනය වුනා . ඒ එක්කම මහ මුහුද ඇතුළත් මහා මේඝනාදයක් ඇතිවුනා . යුගදුරු කුස මුහුද ගිගුම් දෙන කල මෙන් වුනා .

කන්ථක අශ්වරාජය බෝසතාණන් වහන්සේව ගමනාන්තය දක්වා එක් රැයකින් රැගෙන ඒම.

මෙසේ මහත් උපහාරයෙන් බෝසතාණන් වහන්සේ එක රැයකින් ම තුන් රජයක් ඉක්මවා තිස් යොදුනක් ගමන්කොට අනෝමා ගංතෙරට පැමිණ එහි නතර වුනා . ඔබ හිතනවද ඒ අශ්වරාජයාට ඊට වඩා දුර යන්නට බැරිව නතර වුනා  කියලා. නැහැ, නොහැකිව නො වෙයි. ඔහු වනාහි එක සක්වල වටයක් මැද අක්ෂයෙන් තබන ලද රිය සක නිම් වළල්ල වටා යන්නාක් මෙන් කෙළවරට ගොස් තමා සඳහා සැපයූ භෝජනය බුදීමට සමත්. එහෙත් එදා දෙව් නා ගුරුළු ආදීන් විසින් අහසෙහි සිට විසුරුවන ලද සුවඳ මල් ආදියෙහි කළවා පෙදෙස දක්වා ගිලුණු සිරුර ඔසවා මල්ගැට ආදිය ඉවත් කරමින් ගමන් කිරීමට සිදුවීම නිසා ගමන ඉතා ප්‍රමාද වුනා . එම නිසා එක රැයකට තිස් යොදුනක් පමණක් ගමන් කළ හැකි වුනා .

මෙලෙස සෙමින් සෙමින් අනෝමා ගංතෙර වෙත පැමිණි බෝසතාණන් වහන්සේ ගංතෙර සිට ඡන්න ඇමති අමතා මේ ගග කුමක් දැයි විමසුවා. දේවයිනි, මෙම නදිය අනෝමා නම් වන බව ඔහු පවසා සිටියා. එවිට එකවරම බෝසතාණන් වහන්සේට මෙලෙස කියවුනා .

අපගේ පැවිද්ද? අනෝම වේ. ලාමක නො වෙයි යැයි පවසා විළුඹින් අසුට සන් කරනු ලැබුවා. කන්ථක අශ්වයා ද උඩට පැන අට ඉස්බක් පළල්වූ ගඟෙහි එතෙරට ඔවුන්ව පමුණුවනු ලැබුවේ බෝසතාණන් වහන්සේට අවසන් වශයෙන් කෙරෙන උපහාරයක් ලෙස වෙන්නට ඇති.

බෝසතාණන් වහන්සේ පැවිදිවීම කෙටියෙන්

බෝසතාණන් වහන්සේ අසුපිටින් බැස රිදී පටක් සමාන වැලි තලාවෙහි සිට ඡන්න ඇමති අමතන්නට වුනා .

බෝසතාණන් වහන්සේ

යහළු ඡන්න, ඔබ මගේ ආභරණද කන්ථක අසු ද රැගෙන ආපසු යන්න. මම පැවිදි වෙමි.

ඡන්න ඇමති

දේවයාණන් වහන්ස, මම ද පැවිදි වෙමි.

මෙලෙස තුන් වතාවක්ම ඔහු වැළකූ බෝසතාණන් වහන්සේ ආභරණද කන්ථක අසු ද ඡන්නට දී ආපසු යන ලෙස අණ කරනු ලැබුවා.

අනතුරුව බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුනා . කෙස්කලඹ පැවිද්දන්ට සරුප් නොවේ. බෝසතාණන් වහන්සේ කෙස් කැපීමට සුදුසු කෙනෙකු නැති හෙයින් තමාම දකුණතින් කඩුව ගෙන වමතින් සිළුමිණ සහිත කෙස් වැටිය ගෙන කපා දැම්මා. දෑගුල් පමණ වූ කෙස් දකුණට කැරකැවී හිස සමග ඇලී සිටිය. රැවුල ද එපමණ ම වුනා . බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය තුළ කෙස්ද රැවුලද එපමණම වුනා . නැවත කිසිදිනක කෙස් රැවුල් බා තැබීමේ කාර්යයක් සිදුවුණේ නැහැ. ඉන් අනතුරුව බෝසතාණන් වහන්සේ සිළුමිණ සහිත කෙස්කලඹ ගෙන මම බුදු වන්නේ නම් අහසෙහි සිටිවා නොඑසේ නම් බිම වැටේවා යි අහසට විසි කලා. කෙස්කලඹ යොදුනක් පමණ අහසට ගොස් නැවතුණා. සක්දෙවිඳු දිවැසින් දැක අවුත් යොදුනක් පමණ රුවන් කරඬුවකින් පිළිගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය පිහිටුවූවා.

“ලෝකනායක බෝසතාණන් වහන්සේගේ උතුම් සුවඳ ගල්වන ලද ඒ කෙස් කළඹ අහසේම රැඳුනා. අප සාසනය නිරන්තරයෙන්ම සුරකින බෝසතාණන් වහන්සේගේ පාරමිතා පුර්ණයේ දී අවශ්‍ය සෑම විටකම උදවු උපකාර කල දහසක් නෙත් ඇතිi සක්දෙවිඳු ඒ මොහොතේදීත් එතැන අහසෙහි රැඳී සිටියා. අහසෙහි රැඳුන ඒ කෙස් කළඹ රන් කරඬුවකින් රැගෙන හිස් මුදුනින් පිළිගත්තා.”

නැවත බෝසතාණන් වහන්සේ ට මෙහෙමද සිතුණා. “මේ රාජකීය කසී සළුපිළි කිසිවක් ශ්‍රමණයන්ට සුදුසු නොවේ.” ඒ සමඟම කසුප් සම්බුදු කළ යහළු වූ ඝටීකාර මහා බඹු බුද්ධාන්තරයක් ගෙවුනද දැඩි මිත්‍ර භාවය නිසා “මාගේ යහළු බෝසතාණන් වහන්සේ අද මහබිනික්මන් කළහ. ඒතුමන්ට ද ශ්‍රමණයන්ට ද සුදුසු අටපිරිකර ගෙන යමි” සිතා, ශ්‍රමණ අටපිරිකර බෝසතාණන් වහන්සේට පිළිගැන්වූවා. අප මහා බෝසතාණන් වහන්සේ රහතන්වහන්සේගේ කොඩිය වූ තුන් සිවුර හැඳ පෙරවා උතුම් පැවිදි වෙස් ගෙන ඡන්නය, මාගේ වචනයෙන් මව්පියන්ට සුව බව කියව. බෝසතාණන් වහන්සේ ඡන්න ඇමතිට ආපසු ගමන සඳහා සමු දුන්නා. ඔහු බෝසතාණන් වහන්සේට වැද පැදකුණු කොට නැවත කපිලවස්තු පුරය බලා පිටත් වුනා .

කන්ථක අශ්වරාජයාගේ වියෝව සහ චන්න ඇමති හඬමින් ආපසු තනිවම රජමාළිගය කරා නික්මීම.

කන්ථක අසු මේ සියල්ල දෙස බලා සිටියා.බෝසතාණන් වහන්සේ ඡන්න ඇමැති සමඟ කළ කතාව අසා මාගේ හිමියාගේ දැකීමක් මට තව නැතැයි සිතා බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් ස්නේහයෙන් ලෙවකන්නට වුනා . ඔවුන් එකට ඉපදී එකට උස් මහත් වුණේ සහෝදරයන් වගේ. මෙවැනි සමුගැනීමක් කෙලෙස ඉවසන්නද? බෝසතාණන් වහන්සේ තම දර්ශනයෙන් ඉවත් වෙත්ම හටගත් ශෝකය ඉවසාගත නොහැකිව ළය පැලී එතැනම කළුරිය කොට තව්තිසා දෙව්ලොව කන්ථක නමින් දේව රාජයෙක්ව උපන්නා. ඡන්න ඇමැති හට පළමුව පැවතියේ බෝසතාණන් වහන්සේගේ වෙන්වීමේ දුක පමණයි. නමුත් කන්ථක අසුගේ මරණයෙන් දෙවෙනි ශෝකයක් ද හට ගැනුණා. ඔහු හඬමින් වැලපෙමින් කිඹුල්වත් පුරයට යන්නට පිටත් වුණේ තනිවමයි. මෙලෙස එකමග පැමිණි මෙම තුන් පිරිස අවසානයේ තුන් පෙදෙසකට වෙන්ව ගියා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා

Ape Budu Hamuduruwo 175

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 175

 

මහාභිනිෂ්ක්‍රමණය

බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ ප්‍රසාදයෙන් එළියට පිය මැන්නේත් සසර පුරාවට පුරුදු කල මහා උපේක්ෂාවෙන්. ඒ එනවිටත් කන්ථක අසු අජාන් අස්වයෙකු මෙන් සරසා පිළියල කොට තිබ්බේ. සිදුහත් කුමරු උපත ලත් දිනයේම “සත සහජාත” නමින් තවත් උපත් සතක් සිදුවුන බව අප 156 වෙනි කොටසේ ලීවා. එයින් දෙදෙනෙක් තමයි ඡන්න ඇමතියා සහ කන්ථක අශ්ව රාජයා. ඒ බුද්ධත්වය සඳහාම අනුග්‍රහ දැක්වීමට. මෙතන මම දකින තවත් අසිරිමත් කරුණක් තිබෙනවා. එනම් මෙම තුන්දෙනාගේ නික්ම යාම කෙළවර වන්නේ එකිනෙකට වෙනස් අන්ත තුනකින්. ඡන්න ඇමතියා නැවත ආපසු රජමාළිගාවටම හැරී එනවා. ඒ ලව්කික දිවියට. කන්ථක අශ්වරාජයා ගේ ගමන අවසන් වන්නේ මෙලොවින් සමුගෙන දිව්‍ය කුමාරයෙකු ලෙස දිව්‍ය අප්සරාවන් පිරිවරමින් පූර්ව පක්ෂයෙහි නැකැත් තරු පිරිවරකොට ඇති චන්ද්‍රයා යම්සේද, තාරකාවන්ට අධිපති චන්ද්‍රයා හාත්පස හැසිරෙද්ද? අහසෙහිද රැස් ඇති සූර්යයා පහළවන්නාක් මෙන් එවැනි දිව්‍ය විමානකය. ඉදිරියේදී ඔබට ඒ කතාවද මෙම ලිපි පෙලින් කියවන්නට ලැබේවි. එහෙත් අප මහා බෝසතාණන් ගේ ගමන කෙලවර වුයේ සියලු සත්‍වයන් දුකෙන් එතෙර කරවූ එතෙර කරවීමට මග සැදුවා වූ ලොව්තුරා බුද්ධත්වයෙනි.

හක්ගෙඩියක පැහැයගත් කන්ථක අසු රාජකීය ඇඳුමින් සැරසී සමන් මල් විසුරුණු යායක් මැද ගාම්භීරව සිටියේ තවත් බුදුවරයෙකුගේ මහා අභිණික්මනක් සඳහා මවනු ලැබූ දිව්‍යමය අජාන් අශ්වයකු ලෙසයි. මෙසේ බෝසතාණන් වහන්සේ මාලිගයෙන් බැස කන්ඨක අසු ළඟට ගොස් ඔහුගේ කණට කොඳුරා මෙලෙස රහසක් කියන්නට වුනා .

“කන්ඨක ඔබ මා මේ රැය එතෙර කරවන්න. ඔබ නිසා මම බුදු වී දෙවියන් සහිත ලෝකයා එතෙර කරවන්නෙමි.”

අනතුරුව බෝසතාණන් වහන්සේ උඩ පැන අසු පිටට නැග්ගා. කන්ථක අශ්වරාජයා වනාහි බෙල්ලෙහි පටන් අටළොස් රියනක්. ඊට අනුරූප උසින් ද යුක්ත වුනා . ශක්තියෙන් හා ජවයෙන්ද අන් අශ්වයෙකුට සම නොකලහැකි වුනා . ඔහුගේ මුලු සිරුරම සුදු වන්ය. ඔප කළ හකක් හා සමානය. ඔහුගේ හේෂාරාවය සහ පිය ගැටෙන ශබ්දය මුළු නගරයේ පුරාම පැතිරෙනවා. ඒ නිසාම දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් ඔහුගේ පියසටහන් කිසිවකුට නො ඇසෙන සේ වළකා අසු තබන තබන පියවර අත්හළ පිරිනැමුවා. බෝසතාණන් වහන්සේ අසු පිට සිටියදී චන්න ඇමති අසු වලිගය අල්ලා ගෙන මැදියම් රැයෙහිම නගර දොරටුව ළඟට පැමිණියා. ඒ වනවිට පිය රජතුමා සිදුහත් කුමරුට යම්කිසි වේලාවක් නගර දොරටුව හැර නික්මීමට නොහැකි වන පරිදි දොර පවුරු දෙකෙහි එකක් පුරුෂයන් දහසකින් විවර කළ හැකි සේ තනවා තිබුණා. බෝසතාණන් වහන්සේ ඉතා ශක්තිමත් ඇතුන් ගණනින් කෙළ දහසක් ඇතුන්ගේ බල දරයි.

පුරුෂ ගණනින් දශ කෙළ දහසක් බල දරයි. දොරටුව අසළට එන විටත් එහි ආරකෂාව සඳහා යොදවා තිබූ සියලුම දෙනා පසුගිය දින හතෙහිම අක දිගටම නිදිවැරීමෙන්ද, දෙවිවරුන්ගේ අනුහසින්ද තද නින්දට වැටි සිටියා. එවිට බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුනා . “ඉදින් දොර නො හැරුණේ නම් තමා අසුපිට සිටියදීම ඡන්න වලිගය ගෙන සිටිය දීම අසූ දෙකලව යෙන් තද කොටගෙන අටළොස් රියන් උස පවුරු උඩින් පැන යන්නෙමි.” මේ අතර චන්න ඇමතිත් මෙලෙස සිතන්නට වුනා . ‘ඉතින් මේ දොර නො හැරුණේ නම් බෝසතාණන් වහන්සේ උරහිසෙහි තබාගෙන කන්තක ගේ කුස දකුණු අතින් වෙළාගෙන කිසිලි අතරෙහි තබාගෙන පවුරු පැන යමි.’ කන්ථක ද මෙසේ සිතන්නට වුනා . “දොර නො හැරුණේ නම් තම ස්වාමියා පිට උඩ සිටියදීම වලිගය ගෙන සිටින ඡන්ද සමඟම උඩට පැන පවුරු ඉක්මවමි.”

වසා තිබු ඒ මහා දොරටුව අභියසට පැමිණි ඔවුන් තිදෙනා එලෙස වෙන් වෙන්ව සිතන්නට වුනා . මේ දොරටුවට අධිගෘහිත දෙවිකෙනෙක් හිටියා. මේ අය මෙලෙස සිතනකොට දොරටුවට අධිගෘහිතදෙවියාට මෙහෙම හිතුණා. යම් විදිහකින් මේ දොර නො හැරුණේ නම් තුන් දෙනාගෙන් එක් අයකු සිතූ පරිදි එම කාර්යය සිදු වන්නේය. ඒ නිසා දොරටුව විවුර්ත කල යුතුයි. මෙලෙස සිතූ දොරටුවට අධිගෘහිත දෙවියා දොර විවෘත කළා.

ඒ අතර තුර මේ සියල්ලම අහසෙහි සිට බලා සිටි තව කෙනෙක් සිටියා. ඒ මාර දිව්‍ය පුත්‍රයා. එකෙණෙහිම මාර දෙව් පුත් අහසෙහි සිට බෝසතාණන් වහන්සේගේ ගමන වළක්වමින් සිතා “නිදුකාණනේ නොයනු මැනවි. මෙයින් සත්වෙනි දවසෙහි ඔබට සක්විති රාජ්‍ය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවරකොට ඇති සතර මහා ද්වීපයන්ට සක්විති රජ වන්නෙහිය. නවතිනු මැන”.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා