අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 174

 

සංසාර ගමනක සමුගැන්ම.

ගිහිහෙයි ගතකල අවසාන රාත්‍රිය.

මේ සිදුහත් කුමරු අභිණික්මනට සැරසෙන සහ යොමුකරන අවසාන රාත්‍රියයි. ඒ යොමු කරන්නේ වෙනත් කිසිවෙකු නොවෙයි. උන්වහන්සේ විසින් සරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පුර්ණය කරනු ලැබූ පාරමී ශක්තියයි. උන්වහන්සේ යසෝදරා දේවියගෙන් වෙන්වී පැමිණ මද වෙලාවක් විවේක සුවයෙන් ගතකොට රාත්‍රියේ නර්තන ශාලාව වෙත පැමිණියේ සුපුරුදු ලෙස. එකෙණෙහි ම සියලු අලංකාරයෙන් සැරසුණු නැටුම් ගැයුම් කලාවන්හි මනාව පුහුණු වූ දෙවගනන් මෙන් රුවින් අග තැන්පත් වනිතාවෝ නොයෙක් තුර්ය භාණ්ඩ ගෙන පිරිවරා කුමරුන් සතුටු කරවනු පිණිස නැටුම් ගැයුම් ආරම්භ කළා. බෝසතාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් නො ඇළුණු සිත් ඇති බැවින් නැටුම් ගැයුම් හි නොඇලීම නිසාවැඩි වෙලාවක් නොගොසින්ම නින්දට වැටුනා. ස්ත්‍රීන්ද “අපි යමකු සඳහා නැටීම් ආදිය කරමුද ඔහු දැන් නිදිගතව සිටී. අපි දැන් කුමකට වහෙසේමුදැයි” සිතා අත තිබු තුර්ය භාණ්ඩාදිය මැඩගෙන ම නින්දට වැටුනා. සුවද තෙල් පහන් තවමත් දැල්වෙනවා. හදිසියේ පිබිදුණ බෝසතාණන් වහන්සේ සිය යහනෙහි ම පළක් බැදගෙන අවට බලන්නට වුනා. ඒ වනවිටත් තැන තැන වැටි නිදමින් සිටි විප්‍රකාර වූ ඒ ස්ත්‍රීන් දුටවා. ඔවුන් මීට මොහොතකට පෙර සිටියේ දිව්‍යංගනාවන් වගේ. සමහර ගැහැණු කුණු කෙළ වගුරුවමින් නිදි. සමහරු ගොරවනවා. සමහරු දොඩවනවා. සමහරු අයාගත් මුඛ ඇත්තෝ වුනා . බෝසතාණන් වහන්සේ මේ විකාර රූප දැකීමෙන් වඩවඩාත් කාමයෙහි නො ඇලුණු සිත් ඇත්තෙක් වුනා . සර්වාලංකාරයෙන් පිළියෙළ වූ සක් දෙවිදු විමන හා සමාන වූ මාහැගි පැහැය තැන තැන දමන ලද මළ කුණු ඇති අමු සොහොනක් මෙන් වැටහුණා. කාම, රූප ,අරූප භාවත්‍රය ම ගිනි ගත් ගෙවල් මෙන් දැනිණ. පින්වතුනි,මේ ලෝකය උවදුරුවලින් පිරී ඇත. පින්වතුනි,මේ ලෝකය පීඩාවලින් පිරී ඇත. එවැනි හැගීම්බර වාක්‍යය මුවෙන් පිටවුනා . තව තවත් පැවිද්දටම සිත නැමුණා. අද ම මා මහබිනික්මන් කළ යුතු යි සිතුනා.

පසුගිය දින සතෙහිම නිදි වැරූ රජ මාළිගයේ වගේම ආරක්ෂාවට තබා සිටි සියල්ලන්ටම නින්ද ගිහින්. බෝසතුන් වහන්සේ සයනයෙන් නැගිට දොර ළගට ගොස් මෙහි නිදන්නේ කව්දැයි විපරම් කරලා බැලුව. එහි එළිපත හිස තබා අඩ නින්දේ නිදා සිටියේ ජන්න. සිද්ධාර්ථ කුමරු පැමිණි මොහොතේම ඔහු අවදිවුනා. තමා සඳහා අශ්වයකු සුදානම් කරන ලෙස ජන්නට අණ කරණු ලැබුවා. ස්වාමීනි මේ මැදුම් රෑ කොහි යන්නටද? යි ජන්න විමසුවේ විමතියෙන් වගේම බියෙන්. මම පැවිදි වන්නට ගිහිගෙයින් නික්මෙමියි” බෝසතාණන් වහන්සේ පවසා සිටියා. ස්වාමිනී මාපිය නෑදෑ පිරිස් හැරදමා කොහි වඩින්නද? එසේ නොම වඩින්න. ජන්න ඇමති අසරණව හඬන්නට වුනා . බෝසතාණන් වහන්සේ නොයෙක් සැටියෙන් කරුණු කියා දී ඔහුව කැමති කරව ගත්තා.

මහ හඬින් සිනාසුනු කන්ථක අශ්වරාජයා.

ජනන අශ්වයා සැදීමට අවශ්‍යය උපකරණ ගෙන අස් හළට ගොස් සුවද තෙල් පහන් දැල්වෙද්දී සමන් මල් විසුරුණු වියන යට සිත්කළු බිම් පෙදෙසක සිටින කන්ථක අශ්ව රාජයා දැක අද මොහුම සැකසිය යුතුයි සිතූ හෙතෙම ඔහු වෙත පියමැන්නා. සැකසෙන අයුරින් ම කන්ථක අශ්ව රාජයාට කාරණය දැනුණා. අද සැකසීම ඉතා දැඩිය. අන් දිනවල උයන්කෙළි අඩිය සඳහා යන ගමනට සැකසීම මෙන් නොවේ. මාගේ ආර්යය පුත්‍රයා අද මහබිනික්මන් කැමැත්තේ විය යුතුයැයි සිතූ අශ්ව රාජයා සතුටු සිතින් මහා සිනාවක් පහළ කළා. ඒ සිනා හඩ මුළු නුවර පුරාම පැතිර ගියා. එහෙත් දෙවියෝ එම ශබ්දය වලකා කිසිවකුට අසන්නට ඉඩ ලබා දුන්නේ නැහැ.

යසෝදරාව අවදිකිරීමට මහ හඬ නැගු ජන්න ඇමති.

කරුණු එසේ වුවත් ජන්න අසු සරසන අතරත් බෝසතාණන් වහන්සේගේ ගමන නතර කරන්න තවත් උත්සාහයක් ගත්තා. ඔහු කන්ථක අසු සරසන අතර යසෝදරාවට ඇසෙන මානයට ගොස් ඇය පුබුදුවන්නට මහා හඬක් පවත්වා පෙරළා පැමිණියා. එහෙත් යසෝදරවනට ඒ හඬ ඇසුණේ නැහැ. එසේත් නැත්නම් දෙවිවරුන් විසින් ඒ හඬ අහන්නට සැලැස්සුවේ නැහැ. යසෝදරාව තවමත් නිදි.

සංසාර ගමනක සමුගැන්ම.

සිදුහත් බෝසතාණන් වහන්සේ ජන්න ඇමති අසු සැකසීමට යවා පළමුවරට තම පුතු දකිමියි සිතා යශෝදරා දේවිය වෙසෙන ශ්‍රී යහන් ගැබ වෙත පියමණින්නට වුනා . කුමරිය සැතපෙන කාමරය වෙතට පැමිණ සෙමින් දොර විවර කළා. ඒ අවස්ථාව වනවිටත් යහන් ගැබ තුළ සුවද තෙල් පහන් දැල්වෙනවා.

රහල් මව දෑ සමන් සීනිද්ද ආදි මල් අමුණක් පමණ අතුරා සැරසූ යහනෙහි පුතු මත අත තබාගෙනම නින්දට වැටිලා. බෝසතාණන් වහන්සේ එළි පතෙහි පය තබා සිටි වන සිට බලා සිටම මෙලෙස සිතන්නට වුනා . “මම දේවියගේ අත ඉවත් කොට පුතු අතට ගන්නේ නම් දේවිය පිබිදෙනවා. එවිට මාගේ අභිනික්මන ට එය බාධාවක් වන්නට පුළුවන්. සම්බෝධියට පැමිණ ම පුතු දකින්නට එනවා.” මෙලෙස සිතමින්ම මව සහ පුතු දෙස මොහොතක් බලා සිටි අප මහා බෝසතාණෝ සංසාර ගමනකට එලෙස සමුදී අප වෙනුවෙන්ම ප්‍රසාදයෙන් බිමට බැස්සා. මෙලෙස ජාතක අටුවාවෙහි රාහුල කුමරුන් ඉපද සත්වෙනි දවසෙහි අබිනික්මන කළ බව සඳහන් වෙනවා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

error: Content is protected !!