Ape Budu Hamuduruwo 306

අපේ බුදුහාමුදුරුවෝ 306 (සන්තිකේ නිධානය)

 

චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

පළමු ධර්ම දූත පිරිස වූ භික්ෂූන් හැට නමක් ඇතුළු බුදුපියාණන් වහන්සේ දර්ම ප්‍රචාරය සඳහා වැඩම කිරීම.

යසකුල පුත්‍රයා ඇතුළු පිරිසගේ සසරෙහි සැඟවුන තවත් ලස්සන කතාවක් තිබුණා. එයත් දැනගැනීම හොඳයි කියා සිතුවා. ඒ කතාවෙන් කල්‍යාණ මිතුරු මිතුරියන් වශයෙන් මෙම දීර්ඝ සංසාරයේ ඔබත් මමත් පැමිණෙන ගමන කොච්චර ආශ්චර්ය ජනකද කියලා සිතුනා.

එක් ආත්මභාවයක යසකුල පුතුන් ඇතුළු මේ යහළුවන් පිරිස සුවිශේෂ පුණ්‍යමය කටයුත්තක නියැලුනා. ඒ තමයි පිහිටවන්නට කෙනෙකු නැති මළ සිරුරු රැගෙන ගොස් ආදාහනය කිරීම. හරිම පුදුම සේවයක්. එදින දුරුවෙකු ප්‍රසූත කිරීමට ගොස් මියැදුන තරුණ ස්ත්‍රියකගේ මළ සිරුරක් ආදාහනය කිරීමට තමයි නියමිතව තිබුණේ. වෙන කිසිවක් නොතිබුන නිසා වෙන්නට ඇති යසකුල පුත්‍රයා ඇතුළු පස් දෙනෙකු ඒ කටයුත්ත සඳහා නවතා අනෙකුත් අය ගෙවල් වලට ගියා. තරුණියක් නිසා දේහය ලස්සනට තියෙන්නටත් ඇති. ඒ කෙසේවෙතත් දර සෑය මත තබා ආදාහනය කරන අතර තුර දේහය හොඳින් දැවීමට එහාට මෙහාට පෙරල්ලනටත් වනවා. ඒ කටයුත්ත කරනු ලැබුවේ යසකුල පුත්‍රයා. ඒ ලස්සනට තිබුන සිරුර ගින්නෙන් දැවී ක්‍රම ක්‍රමයෙන් විකුර්ති භාවයට පත්වෙන සැටි දුටුව යසකුල පුත්‍රයාට හදිසියේම අශුභසංඥාව පහළවුනා.

ඔහු අනික් සිවුදෙනාහටද ‘පින්වත්නි’ මේ පිළිකුල් අශුචිය බලවු’යි යැයි පහදාදෙද්දී ඔවුනටද අශුභසංඥාව මනාවට පහලවුනා. ඉන්පසු ඔවුන් පස්දෙන ගමට ගොස් සෙසු යහලුවන්ට ද ඒ බව දන්වා සිටියා. යස දාරක තෙමේ ගෙට ගොස් තම මවුපියන්ට හා අඹුවටද මෙය දන්වා සිටියා. හරිම පුදුමයි. ඒ සියල්ලෝම අශුභ භාවනාව වැඩූවා. මේ මොවුන්ගේ පූර්‍වප්‍රයෝගය යනුවෙන් විනය පිටකයේ මහාවග්ග පාලියේ සඳහන්. මේ හේතුවෙන්ම තමයි කියනවා ආයුෂ්මත් යසහට තම මාළිගයෙහි දී තැන තැන වැටි නිදන නාට්‍යංගනාවන් දැක ඔවුන් කෙරෙහිද සුසානසංඥාවම ඇතිවුනා කියන්නේ. ඒ උපනිශ්‍රයසම්පත්තියෙන්ම සියල්ලන්ම බුදුන් හමුවේ විශේෂාධිගමය ක්‍ෂණිකව පත්වුන බව විනය පිටකයේ සඳහන්.දැන් හිතන්න අප සාසනයේ රහත්භාවයට පත්වුණ මේ පිරිසට මිනිසුන්හට දර්මය පහදා දීමට සංසාරය පුරා ප්‍රගුණ කරමින් පැමිණි කොතරම් දක්ෂතාවයක් තිබෙන්නට ඇතිද?

මේ වනවිට පස්වග මහණුන්, සකුල පුත්‍රයා, ඔහුගේ යහළුවන් පනස් හතර දෙනා, බුදුරජාණන් වහන්සේත් ඇතුළුව සාසනයෙහි රහතුන් හැටඑක් නමක් බිහිවෙලා අවසානයි. වස්සාන කාලය ක්‍රමක්‍රමයෙන් නිමවෙමින් තිබුනේ. තවත් මාසයක් (ඉල් මස පසොළොස්වක් දා වන තුරුත්) භාග්‍යවතුන් වහන්සේ බරණැස ම වැඩ වාසය කළා. උන්වහන්සේට හිතෙන්නට ඇති තවත් ප්‍රමාද විය යුතු නැහැයි කියලා. උන්වහන්සේ එදින රාත්‍රියේ රහතුන් හැටදෙන කැඳවනු ලැබුවා. තමන් ඉදිරියෙහි ඇති භාරදූර කටයුත්ත මෙසේ විස්තර කරනු ලැබුවා.

“මුත්තෝ’හං භික්ඛවේ සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා,

තුම්හේ’පි භික්ඛවේ මුත්තා සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා.

‘පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය’

“චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

‘පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න’

“මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං, ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ.

‘දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න’

“සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති.

‘කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි’

මහණෙනි, මමත් උරුවෙල් දනව්වට ධර්ම දේශනා පිණිස යන්නෙමි” යි වදාළ සේක.

මෙසේ වදාරා ඒ රහත් ධර්ම දූතයන් හැට නම හැට දෙසකට යොමු කොට තමන් වහන්සේත් උරුවෙල් දනවු බලා තනියෙන්ම පිය නගන්නට වුනා.

විනයපිටක/මහාවග‍්ගපාළිය/මහාක‍්ඛන්‍ධකං/එකොළොස්වන මාරකතාව

Ape Budu Hamuduruwo 305

අපේ බුදුහාමුදුරුවෝ 305 (සන්තිකේ නිධානය)

 

ඒරක පත්ත නා රජුගේ කථා පුවත 02

මීට ඉහත කි පරිදී, උත්තර මාණවකයා ඉතා සතුටින් එම ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා.

ඒ වෙලාවේ නාගපෙණය මත සිටින නාග මානවිකාව ලස්සනට නටමින් ගීය ගයනවා. උත්තර මානවකය සෙනග අතරින් ඉදිරියට පැමිණියා

“භවත්නී, මා විසින් පිළිතුරු ගී හදාගෙනයි ආවේ. මටත් අවස්ථාවක් දෙන්න” කියලා උත්තර මාණවකයා සෙනඟ පීරා ගෙන ඉදිරියට ගියා. නාග මාණවිකාව නටමින් ‘කිංසූ අධිප්පතී රාජා….’ යන ගීය ගැයුවා. උත්තර මාණවකයා ‘ඡද්වාරා අධිප්පතී රාජා….’ යන පිළිතුරු ගීය හඬනගා කිව්වා. ඊටපස්සේ නාග මාණවිකාව ‘කේනස්සු වුය්හති….’ යන ගීතය ගායනා කළා. එතකොට උත්තර මාණවකයා ‘ඕඝේන වුය්හතී…’ යන පිළිතුරු ගීය හඬ නගා කිව්වා. නාගරාජයා මේ පිළිතුරු ගී අසා ඉතාම සතුටට පත්වුණා.

“හප්පේ….! මදෑ. බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා. මේ පිළිතුරු ගීය මෙතෙක් කාලෙකට අසන්නට බැරිවුණා. ඒකාන්තයෙන්ම බුදුකෙනෙකු ලෝකයේ පහළ වෙලා තියෙනවාමයි” කියා සතුට වැඩිකමට නාගරාජයා වළිගය ඔසොවලා ඉතා වේගයෙන් ජලයට පහර දුන්නා. දෙපැත්තට මහා රළක් පැන නැංගා. ගංගාවේ ඉවුරු දෙපස බිඳිලා ගියා. ගවයෙකුගේ ප්‍රමාණයේ උසට දෙපස හිටපු මිනිසුන් වතුරේ ගිලුණා. නාගරාජයා එබඳුම මිනිසුන් ප්‍රමාණයක් පෙණ ගොබයෙන් වතුරෙන් ඔසොවා ගොඩබිම තිබ්බා. ඔහු උත්තර මාණවකයා ළඟට ගියා.

“ස්වාමීනී, ශාස්තෘන් වහන්සේ කොහේද වැඩඉන්නේ…?”

“මහරජ, එක් රුක් සෙවණක වැඩඉන්නවා.”

“ස්වාමීනී, එහෙම නම් අපි යමුද?” කියලා උත්තර මාණවකයා සමඟ පිටත් වුණා. මහජනයාත් ඔවුන් සමඟ පිටත් වුණා. නා රජු බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වන්දනා කරමින් හඬා වැළපෙන්න ගත්තා.

“මහරජ, මක්නිසාද අඬන්නේ…?”

“අනේ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ලැබුණා. බඩගාගෙන යන්න වුණා. බුද්ධාන්තරයක් ගෙවිලා යනවා. මේ ආත්මයෙන් චුත වුණේ නැහැ නෙව. මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ නැහැ. නුඹවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දර්ශනයක් ලැබුණේ නෑ” කියා විලාප දුන්නා.

ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“නාරජ, ඒක ඇත්ත. මනුෂ්‍ය ආත්මභාවය ඉතාමත් දුර්ලභයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයත් දුර්ලභයි. බුද්ධෝත්පාදයත් දුර්ලභයි. මේවා ඉතාමත් දුකසේ දුර්ලභවයි ලැබෙන්නේ” කියලා මෙම ගාථාරත්නය වදාළා.

කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධම්මසවනං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

ඉතා දුකසේමයි කෙනෙකු හට – මිනිස් ලොව උපතක් ලැබෙන්නේ ලද මිනිස් බව සුරැකගන්නට – නොමඳ වෙහෙසක්මයි යොදන්නේ උතුම් සම්බුදු බණ අසන්නට – නිතර කෙනෙකුට නැහැ ලැබෙන්නේ කලාතුරකින්මයි ලොවේ මේ – උතුම් සම්බුදු උපත වන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒරකපත්ත්‍ර නාගරාජයා ආදි කොටැති ඒ පිරිසට දහම් දෙසනු ලැබුවා.

“මනුෂ්‍යත්වය දුර්ලභ ය. සත්ත්වයන් ගේ දිවි පැවැත්වීම දුකසේ කටයුතු ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය. බුදුවරුන්ගේ පහළ වීම දුර්ලභ යැ”යි විස්තරයෙන් දහම් වදාරනු ලැබුවා. . දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය වුනා.

කල්ප ගණනක් බලාගෙන සිටියත් එදා නාගරාජයාට භාග්‍යවතුන් වහන්සේ මුණගැහුණා කියලා පලක් වුණේ නෑ. මාර්ග ඵල ලබන්නට නොහැකි වුනා. මිනිස් ලොව ඉපිද සිටියා නම් මාර්ගඵල ලැබීමේ අවස්ථාවක් තිබුණා. නාගයෝනියෙහි ඒ අවස්ථාව නෑ. දැන් බලන්න මිනිස් ලොව විසිදහසක් අවුරුදු මහණදම් පිරූ පින මතුකරගන්න බැරිවුණේ ඉතා සුළු දෝෂය පවා සිහි කරමින් පසුතැවුණු නිසයි. මෙය අප කාටත් හොඳ පාඩමක් නේද?

Ape Budu Hamuduruwo 304

අපේ බුදුහාමුදුරුවෝ 304 (සන්තිකේ නිධානය)

 

ඒරක පත්ත නා රජුගේ කථා පුවත 02

ඒ අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ සත්සතිය ගෙවා බරණැසට වැඩ දම්සක් දෙසා පළමු වැසි සමයෙහි ඉසිපතන්හි වසන කාලේ, එක් පසොළොස්වක් දිනෙක අලුයම්හි සිරිත් පරිදි නිවන් අවබෝධ කළ හැකි සත්ත්වයන් සොයනු පිණිස ලොව දෙස දිවැස යොමු කළා. අප මහා මහාකාරුණිකයාණෝ බුදුඇසින් එලෙස ලොව දෙස බලද්දී උත්තර නම් මාණවකයෙකුට සෝවාන් ඵලයට පත්වීමේ පින ඇති බව දැක වදාළා. ඒ සමගම ඒරක පත්ත නාගරාජයාගේ කල්පාන්තරයක බලාපොරොත්තුවත් දැක්ක. ඒ වගේම මේ උත්තර මාණවකයාට අර නාගරාජයාගේ ගීයට පිළිතුරු දීමේ වාසනාව තිබෙන බවත් දුටුවා. උන්වහන්සේ මේ සියලූම කාරනා සඵල වන අයුරින් බරණැසින් නොදුරු තන්හි ප්‍රසිද්‍ධ වැ පැවැති රිටිගස් සතින් එකක් මුලට වැඩම කොට සමාධි සුවයෙන් නියමිත හෝරාව එන තෙක් වැඩ සිටියා.

උත්තර මාණවකයාට නාගරාජයාගේ කතා පුවත සැළවුණා. ඔහුත් පිළිතුරු ගීයක් නිර්මාණය කරගත්තා.

එදා ඒරකපත්‍රයාගේ නාගදියණිය පෙණ ගොබය මත නටන දවසයි. උත්තර මාණවකයා එතැනට යන්නට පිටත් වුණා. බරණැසට නුදුරින් මහරි රුක් සතකින් හෙබි ඉතා යහපත් සෙවණ ඇති තැනක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ එක් මහරි රුක් සෙවණක වැඩහිටියා. උත්තර මාණවකයා ඔය අසලින් ගමන් කරමින් සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“උත්තර, මෙහි එන්න.”

“ස්වාමීනී, ඇයි?”

“මෙතනට එන්න.”

එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා. පැත්තකින් වාඩිවුණා.

“උත්තර, කොහේද යන්නේ?”

“ස්වාමීනී, ඒරකපත්‍ර නාගරාජයාගේ නාගදියණිය ගායනා කරන තැනටයි යන්නේ.”

“ඉතින් ඔබත් පිළිතුරු ගීයක් හදාගත්තාද?”

“එහෙමයි ස්වාමීනී” කියලා උත්තර මාණවකයා ඒ ගීය පැවසුවා.

“උත්තර, ඔය පිළිතුරු ගීය වැඩක් නෑ. මං ඔබට පිළිතුරු ගීයක් කියලා දෙන්නම්. එය රැගෙන යන්න.”

“එහෙමයි ස්වාමීනී” උත්තර මාණවකයා ඉතා සතුටට පත්වුණා.

“උත්තර, දැන් නාගමානවිකාව ගීය ගයන වෙලාවට ඔබ මේ පිළිතුරු ගීය ගයන්න.

ඡද්වාරාධිප්පතී රාජා – රජ්ජමානෝ රජ්ජිස්සරෝ අරජ්ජං විරජෝ හෝති – රජ්ජං බාලෝති වුච්චති

අධිපති නම් දොරටු හයට ඔහුටයි ‘රජු’ කිව යුත්තේ කෙලෙස්වලට ඇලෙන කෙනා ‘රජිසුරු’ යැයි කිව යුත්තේ කෙලෙස් නොමැති උතුමා හට ‘විරජ’ කියා කිව යුත්තේ කෙලෙසුන් තුළ ඉන්න කෙනා ‘බාල’ කියා කිව යුත්තේ

ඉතින් උත්තර දැන් ඔබ ඔය පිළිතුරු ගීය පැවසූ විට නාගමානවිකාව තව ගීයක් ගයාවි. එය මෙයයි.

කේනස්සු වුය්හති බාලෝ – කථං නූදති පණ්ඩිතෝ යෝගක්ඛේමී කථං හෝති – තම්මේ අක්ඛාහි පුච්ඡිතෝ

අනුවණ බාලයා ගසා ගෙන යන්නේ කුමකින්දෝ නුවණැත්තා ලොවේ සියලු ජයගන්නේ කෙලෙසින්දෝ ‘යෝගක්ඛේමී’ යන නම කිව හැක්කේ කෙලෙසින්දෝ මේ පැණයන් හට පිළිතුරු දෙන්නේ මට කවුරුන්දෝ

උත්තර, ඔය ගීයට පිළිතුරු දිය යුත්තේ මෙන්න මේ ගීයෙනුයි.

ඕඝේන වුය්හති බාලෝ – යෝගානූදති පණ්ඩිතෝ සබ්බයෝග විසංයුත්තෝ – යෝගක්ඛේමීති වුච්චති

සැඩපහරින් අනුවණයා දුකට ගසා ගෙන යන්නේ නුවණැත්තා වෙරවඩමින් ජීවිතයයි ජයගන්නේ සියලු කෙලෙස් බන්ධනයෙන් යමෙකුන් නිදහස් වන්නේ යෝගක්ඛේමී නාමය ඔහුටයි කිව යුතු වන්නේ

උත්තර, ඔබ නාගමාණවිකාවියට ඔය පිළිතුරු ගී පවසද්දී දිනුම ඔබට ලැබෙනවා.”

උත්තර මාණවකයා ඉතා සතුටින් මේ ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා.

Ape Budu Hamuduruwo 303

අපේ බුදුහාමුදුරුවෝ 303 (සන්තිකේ නිධානය)

 

ඒරක පත්ත නා රජුගේ කථා පුවත 01

මේ ඔබ කියවන්නට යන්නේ තම සංසාරික ගමනට ඉතාමත් වැදගත් පණිවිඩයක් දෙන කතා පුවතක්. විශේෂයෙන්ම තම අතින් යම් ඇවැතක් වරදක් සිදුවුනත් එය ගැන සිත සිතා ලතවිම තමාට මෙලොව මෙන්ම පරලොවද අවැඩක් ගෙනෙන බව මෙයින් මනාවට ප්‍රකාශ වෙයි. එමනිසා තමා විසින් නොදන්නා කමින් හෝ නොදැනුවත්ව කරනු ලැබූ සියලු අකුසල් අමතක කොට කුසල්ම මෙනෙහි කරන්න. එයින් සතුටු වන්න.

පෙර කස්සප සම්මා සම්බුද්ධ ශාසනයෙහි තරුණ භික්ෂුවක් ලෙස සිටියදී ගංගාවක නැවක නැගී වඩින අතර ඒරක නම් වූ තණ පඳුරක කොළයක් අල්ලා ගත්තේ සමහරවිට සෙල්ලමට වගේ වෙන්නට ඇති. සැඩ පහර වේගයෙන් ගලන විටත් උන්වහන්සේ එය අත් හරියේ නැහැ. සැඩ පහරේ සැරට ඒරක පඳුරත් කඩාගෙන එම යාත්‍රාව දියඹෙහි ඇදී ගියා. සාසන විනයෙහි භික්ෂුවකට ගස් කැපීම තබා කොලයක් කැඩීම පවා වරදක්. පාදයෙහි පිහිටි ඇගිලිවලින් පොලව සෑරීමවත් කිරීම බරපතල වරදක්. ඉතින් විනය ගරුක වූ උන්වහන්සේ ඒ අත්වරදින් සිදු වූ ස්වල්ප මාත්‍ර වු එම ඇවත ගැන සිත සිතා ලතවෙන්නට වුනා මිසක් පොහොය කිරීමේදී එම ඇවත කමා කොට ගැනීමටවත් උත්සහවන්ත වුනේ නැහැ.

ඒ දිරඝායුෂ පැවැති කාලයක්. මෙලෙස වර්ෂ විසිදහසක් කල් අරණ්‍යයේ මහණ දම් කරද එම සිදුවීම සිතෙන් අමතක කිරීමට නොහැකි වුණා. අපවත්වන විට ඒරක පඳුරේ සිඳලීම මහ බරක් ලෙස සිතා ඇවත දෙසීමට කැමති වුවත් ඒ සඳහා අනෙක් තෙරනමක් සොයා ගැනීමටද නොහැකි වුණා. මගේ ශීලය පිරිසිදු නොවේයයි උපන් විපිළිසර සිත් ඇතිව ඉන් චුත වී ඒරක ගසක නැවක් (ඔරුවක්) පමණ නාගරාජයෙක් ව නාගයෝනියේ උපන්නා. ඔහුගේ නමද “ඒරක පත්ත” නම් වුණා. ඔහු උපන් කෙනෙහි පූර්ව ආත්මභාවය බලා මෙපමණ කලක් මහණ දම් පිරුවත් අවසානයේ අහේතුක ආත්මභාවයක මැඩියන් කන ස්ථානයක උපන්නේ යයි දුක්වෙන්නට වූනා. ඔහුට ඉක්මනින්ම මෙම මරු කතරින් නික්ම යන්නටද උවමනවද තිබ්බා. ඒත් කෝ බුදුකෙනෙක් ඒ සඳහා?

මෙහෙම යනකොට ඔහුට පසුකලෙක ලස්සන දියණියක් ලැබුනා. ඔහු ඒ මනරම් දියමත මහ පෙනය ඔසවා දුවණිය ඒ පෙනය මත තබා නටවමින් විශේෂ රැඟුමක් ද ගායනයක් ද ඇය ලවා ඉදිරිපත් කරමින් එය නරඹන ජනීජනයා හට ගීතයකින් ප්‍රශ්ණයක් ඉදිරිපත් කළා. .ඒ යම් උපායක් වශයෙන්. ඒ ගී පැනයෙන් ඇසුවේ මේ කෙලෙස් ගංගාවෙන් කෙලෙස එගොඩ වේද කියලා කෙටියෙන් කිවොතින්. ඒ කාන්තයෙන්ම එයට පිළිතුරු දෙන්න බුදු බණ අසා තියෙන්න ඕනේ. බුදුබණ අසන්නට නම් බුදු කෙනෙකු මේ මිහිතලය මත යළිත් පහල වෙන්නට ඕනේ.. “ඒකාන්තයෙන් මම මේ උපායෙන් බුදුන් උපන්විට ඔහුගේ උපන්බව අසන්නෙමි. යමෙක් මගේ ගීයට පිළිතුරු ගීයක් නිවැරදිව පවසයිද ඔහුට මහත් සැප සම්පත් සමග මේ මගේ රූපශ්‍රීයෙන් අග තැන්පත් දියණිය පාවා දෙන්නෙමි. මෙලෙස මෙම නාග රාජයා අඩ වසකට වරක් පෙහෙවස් දිනයෙහි ඒ දියණිය පෙනය මත තබාගෙන නටවමින් ඇය ලවා මෙම පැනය ගිතානුසරයෙන් මිනිසුන්ට ඉදිරිපත් කරනු ලැබුවා.

කිංසු අධිප්පති රාජා – කිංසු රාජා රජ්ජිස්සරෝ කථංසු විරජෝ හෝති – කථං බාලෝති වුච්චති

කුමක් නිසාදෝ රජු හට ‘අධිපති’ යැයි පවසන්නේ කුමක් නිසාදෝ රජු හට ‘රජිසුරු’ යැයි පවසන්නේ කෙලෙසින්දෝ ලොවේ කෙනෙක් ‘විරජ’ බවට පත්වන්නේ කෙලෙසින් සිටිනා කෙනාද ‘බාල’ නමට නිසි වන්නේ

සියලු දඹදිවවාසීන් අතර මෙය ප්‍රසිද්ධ වුණා. නාග මානවිකාව පාවා ගැනීමට හැමෝම උත්සුක වුණා. තම තමන්ගේ නැණ පමණින් පිළිතුරු ගී පද බඳිමින් ගායනා කරන්නට පටන් ගත්තා.එවිට ඇය ඒවා වැරදියි කියා ප්‍රතික්ෂේප කරන්නට වුණා. ඔය අයුරින් අඩමසක් පාසා පෙණය මත සිට ගායනා කරමින් බුද්ධාන්තර කල්පයක් ගෙවිලා ගියා.

Ape Budu Hamuduruwo 302

අපේ බුදුහාමුදුරුවෝ 302 (සන්තිකේ නිධානය)

 

යස කුල පුතුගේ තවත් යහළුවන් පනස් දෙනෙක් පැවිදිවීම සහ රහතුන් සැටඑක් නමක් ලෝකය තුල බිහිවීම.

යස මහරහතන් වහන්සේ ගේ ගිහිකල වංශවත් කුල පරම්පරාවේ පරම්පරා ගණනක් සිට සමීපයෙන් ඇසුරු කරමින් පැමිණි සමීප ඥාතී සහ ඥාතී නොවන පිරිසක් සිටියා. ඒ පිරිස අතර යස මහරහතන් වහන්සේගේ ගිහිකල යහළුවන් පනහක් සිටියා. ඒ අයටත් තම අතිජාත මිතුරා යසකුල පුත්‍රයා සියලු සැප සම්පත් අතහැර කසාවත දරා මහණ දිවියට ඇතුලත් වූ බව දැනගන්නට ලැබී මෙලෙස කතිකාවක් ඇති වුණා.

“යසකුලපුත්‍ර තෙමේ හිසකේ රවුලු බැහැර කරවා කුසාවත් හැඳ ගිහිගෙන් නික්ම යම් ශාසනයෙක්හි පැවිදි වූයේ ද, ඒ ධර්‍මවිනය ඒකාන්තයෙන් ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය”

ඉන් අනතුරුව ඒ යහළුවෝ ආයුෂ්මත් යස භික්‍ෂුව වැඩසිටි තැනට පැමිණියා.. පැමිණ , ආයුෂ්මත් යස යස රහතන් වහන්සේ හට වැඳ නිහඬව පසෙකින් සිටියේ මහත් විශ්මයෙන්. ඇයි මිට සති කිහිපයකට පෙර මහත් වූ කාම සැප සම්පත් විදිමින් සිටි ඒ තම මිතුරා ඒ සියලු ඉඳුරන් දමනය කොට ශාන්ත ලීලාවෙන් ඉන්නා ආකාරය දැක. ආගිය තොරතුරු කතා බස් කිරීමෙන් අනතුරුව යස මහරහතන් වහන්සේ පණසක් පමණ වූ ඒ ගිහියහළුවන් කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ඔවුනට ලබාදිය හැකි උතුම්ම ත්‍යාගය දීමට.

පසෙක හුන්නා වූ යස රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දනවුවැසි පරම්පරාවශයෙන් පිළිවෙළින් පැරණි වූ කුලයන්ගේ පුත්‍ර වූ පණසක් පමණ වූ මොහු මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා. අනුශාසනා කරණ සේක්වා” යි සැළකොට සිටියා.

එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව දේශනා කරනු ලැබුවා. . එනම්: දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගෙන් දෝෂය ලාමකබව කෙලෙසීම, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද යනාදියයි. එවිට යම් සේ පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් මනා කොට ම සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම ඔවුනට ඒ ආසනයෙහි දී ම “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති (ශ්‍රෝතාපත්ති) මාර්‍ගඥානය පහළ වුණා. ඔවුන් දක්නා ලද සිවුසස්දහම් ඇත්තාහු, පැමිණි සිවුසස්දහම් ඇත්තාහු, අවබෝධ කළ සිවුසස්දහම් ඇත්තාහු, බැස ගත් සිවුසස්දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තාහු, බුදුසස්නෙහි විශාරද භාවයට පැමිණියාහු, බුදුසස්නෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි සැළ කොට සිටියා. එවිට, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මනා ව දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරා සිටියා. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ගේ උපසම්පදාව වුණා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කථාවෙන් අවවාද කරනු ලැබුවා.. අනුශාසනා කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන ඔවුන්ගේ චිත්තයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් සදහටම මිදීගියා. එවිට ඒ සමගම ලෝකයෙහි රහත්හු සැට එක්දෙනෙක් (බුදුරජාණන් වහන්සේ ඇතුළුව) මෙලෙස බිහිවුණා

Ape Budu Hamuduruwo 301

අපේ බුදුහාමුදුරුවෝ 301 (සන්තිකේ නිධානය)


බුදුන් වැඩ සිටි අඳුන් වනය යට කරමින් පැමිණි මහා ජලකඳ සෘද්ධි බලයෙන් අහසට නැංවූ ගවම්පති මහ රහතන් වහන්සේ.

දැන් මම ඔබට කියන්න යන්නේ යසකුල පුත්‍රයාගේ හොදම යාළුවන් සතර දෙනාගෙන් එක්කෙනක් පිළිබඳ. උන්වහන්සේගේ ගිහිකල නම ගවම්පති. උන්වහන්සේත් මීට පෙර පහල වූ බුදු වරු හමුවේ බොහෝ පින්කම් කොට විවිධ ප්‍රාර්ථනා කල පින්වත් උතුමෙක්.

දැන් මම ඔබට කියන්න යන්නේ යසකුල පුත්‍රයාගේ හොදම යාළුවන් සතර දෙනාගෙන් එක්කෙනක් පිළිබදව. ඔහුගේ ගිහි කල නම ගවම්පති. ගවම්පති මීට පෙර පහල වූ බුදු වරු හමුවේ බොහෝ පින්කම් කොට විවිධ ප්‍රාර්ථනා කල පින්වත් උතුමෙක්.

මනසින් කල පුෂ්ප පූජාවෙන් කල්ප ගණනක් දෙව් ලොව සැප විඳි මුව වැද්දා.

මීට කල්ප තිස්‌ එකකට පෙර ලොව පහළ වූ සිබි භාග්‍යවතුන්‌ වහන්සේ ගේ කාලේ ඔහු ද මෙලොව ඉපදී තිබුනා. ඒ කාලේ ඔහු ජීවිකාව සරිකරගත්තේ මුව වැද්දෙක් ලෙසයි. දෛවයක මහත. ඔහු සිටි වනයට එක දිනක් සිබි භාග්‍යවතුන්‌ වහන්සේ වැඩම කළා. හදිසියේම දුටු ඒ පුණ්‍යවන්ත දර්ශණයෙන් පැහැදුණු ඔහුට භාග්‍යවතුන් වහන්සේ වෙත පූජා කරන්න මල් ටිකක් තිබුනේ නැහැ. මොකක් හෝ හේතුවකට. අධික වූ ශ්‍රද්ධාවෙන් ඔහු කලේ සිතෙන්ම මවාගත් මල් කළඹක් උන්වහන්සේ හට සිතෙන්ම පුජා කිරීමයි. සිතින්‌ මල්‌ පූජා කළ එතුමන් ඒ පිනෙන් දෙව්‌ ලොව ඉපිද බොහෝ සැප වින්දා. මෙම කුසල විපාකයට මුල් වුනේ භෞතිකමය පූජා භාණ්ඩ නෙවෙයි. ඒ අපරමිත ශ්‍රද්ධාවයි. ඔහු මුවන් මැරීමෙන් එතෙක් කල අකුසල කර්මද අහෝසි වී හෝ පසුපසට යන්නට ඇති. ඒත් දිගින් දිගටම කරනු ලැබූ කුසල ක්‍රම වල බල මහිමයෙන් වෙන්නට් ඇති ඒවා ඵල දුන් බවක් සඳහනක් නැහැ.

මහරි දඬු සතරකින් රහත් තෙරුන් වහන්සේ නමකට සෙවන දුන් පිනෙන් මහා උද්‍යානයක් අභියස දෙව්ලොව උපන් ගවම්පති තෙරුන් වහන්සේ.

එලෙසම උන්වහන්සේ ඒ ඒ භවයන්හි විවිධ පුණ්‍යමය කටයුතු වල යෙදෙමින් තව තවත් පින්‌ දහම්‌ කරගත්තා. කෝණාගමන භාග්‍යවතුන්‌ගේ කාලයේ උන්වහන්සේගේ සෑයට ඡත්‍රයක්‌ ද වේදිකාවක්‌ ද ඔහු විසින්‌ ඉදි කරනු ලැබුව. එවැනි පින්කම් නිසා තව තවත් සසරේ දෙවු මිනිස් සුඛවිහරණ ලැබුවා. එහෙම අය ඉපදෙන්නේ බොහෝ විට සිටු ගෙවල් වල. එලෙස ම උන්වහන්සේ කස්සප බුදුන්‌ දවස එක්තරා ධනවත්‌ සිටුගෙයක උපත ලැබුවා. එම ගෙදර විශාල ගව සම්පතක්‌ තිබුණා. ඒ කාලේ එවැනි විශාල ගව පට්ටි තිබුනේ ධනවත් ව්‍යාපාරිකයනට හෝ සිටුවරුන්ට. ගොපල්ලෝ එම ගව සම්පත සුරකිනු ලැබුවා. මොහු එහි අතරින්‌ පතර යුතු අයුතු දේ විමසමින්‌ සොයාබලමින් ගොපල්ලන්ගේ ඕනෑ එපාකම් අවශ්‍යතා සොයා බැලුවා.

මේ අතර ඔහු ටික දිනක සිට විශේෂ සිදුවීමක් කෙරෙහි විපරම් කරමින් සිටියා. ඒ රහතන්‌ වහන්සේ නමක්‌ ගමට පැමිණ පිඬු පිණිස හැසිර, ඉන් පසු ගමින්‌ පිටත සිට දිනපතා ම එම දානය වළදන බව දුටුවා. සසරේ පින් කල අයට මොන කාරනේදීත් පිනටම තමයි සිත යෙදවෙන්නේ. එයත් සසර පුරුද්දෙන්. ඔහු දැක්කා උන්වහන්සේ දැඩි හිරුරශ්මියේම සෙවනකින් තොරව ඒ දානය වලදන බව. “ආර්යයන්‌ වහන්සේ සුර්ය තාපයෙන්‌ වෙහෙසට පත්වන්නේය” යි සිතූ ඔහු මහරි දඬු සතරක්‌ ඔසවා, ඒ මත්තෙහි මහරි අතු දමා ගස්‌ අතු මණ්ඩපයක්‌ කරවා පූජා කළා. එමෙන්ම එම මණ්ඩප සමීපයේ මහරි ගසක්‌ රෝපණය කළ බව ද කියනවා. ඔහු කෙරෙහි මහත් අනුකම්පාවෙන්‌ රහතන්‌ වහන්සේ එදින සිට දිනපතාම එහි හිද පිඬු සිගා පැමිණි දානය වළදනු ලැබුවා. ඔහු ඒ පින්කම හේතුවෙන්‌ නැවතත් දෙවුලොව ඉපදුණා. දෙව්ලොව ඔහුගේ විමන්‌ දොර අභියස මහත්‌ වූ මහරි වනයක්‌ පහළ වුණා කියනවා. එහි වණිගපධ සම්පන්න වු පුෂ්පයෝ සැම කල්හි ම පැවතුණා . එනිසා එම උයන ”’සේරිස්සක” නාමයෙන්‌ ප්‍රකට වුණා. ඒ දෙව්‌ පුතු ද එක්‌ බුද්ධාන්තරයක්‌ දෙව්‌ මිනිසුන්‌ අතරෙහි සැරි සරා, මේ බුද්ධෝත්පාද කාලයෙ හි යස තෙරුන්ගේ යහළුවන්‌ සතර දෙනා අතුරින්‌ ගවම්පතී නම්‌ යහලුවා ලෙස උපන්න. එහෙමයි උන්වහන්සේ ට යසකුල පුත්‍රයා මුණගැසුනේ. සමහරවිට ඒ ආත්මභාව වලත් එකටම ලඟින් ඉන්නට ඇති.

බුදුන් වැඩ සිටි අඳුන් වනය යට කරමින් පැමිණි මහා ජලකඳ සෘද්ධි බලයෙන් අහසට නැංවූ ගවම්පති මහ රහතන් වහන්සේ.

මෙසේ පැමිණ අප භාග්‍යවතුනේ සාසනයේ රහත්බවට පත්ව ඒ හි භික්‍ෂු පැවිදි උපසම්පදාව ලැබු ගවම්පතී තෙරුන්‌, විමුක්ති සුවය විඳමින්‌ සාකේත නුවර අඳුන්‌ වනයෙහි වාසය කළා. එසමයෙහි මහත්‌ වු භික්‍ෂුසංඝයා පිරිවරාගත්‌ භාග්‍යවතුන්‌ වහන්සේ සාකේත නුවරට වැඩම වා අඳුන්‌ වනයට ද පිවිසියා. එම වනයෙහි වැඩම කල මහා සංඝ රත්නයට වැඩසිටීමට සෙනසුන්‌ ප්‍රමාණවත්‌ වුනේ නැහැ. ඒ එක්කම මධ්‍යම රාත්‍රියෙහි වනය මැදින් ගලා ගිය නදියේ ජලය වැඩි වෙන්නට පටන් ගත්තේ කඳු මුදුනට වසින නිසා වන්නට ඇති. ජල පහර ඉවුරු ඉක්මවා මහා හඬින් ගලා යන ශබ්දයට බිය වූ බැවින්‌ සාමණේරා දී හු මහත්‌ හඬින් ශබ්ද කරන්නට පටන්ගත්තා. භාග්‍යවතුන්‌ වහන්සේ එම මහා ශබ්දය අසා ගවම්පතී තෙරුන්ට මෙසේ අණකරණු ලැබුවා.

 “ගවම්පතිය ! යන්න, ජල සඬපහර මැඬ පවත්වා භික්‍ෂුන්‌ වහන්සේ සඳහා සුවපහසු වාසයක්‌ ඇතිකරවන්න”

ගවම්පතී තෙරුණුවෝ ද එය අසා “ ස්වාමීනි යහපතී” යි පවසා, එතැනට වැඩ සෘද්ධිබලයෙන්‌ නදියේ ජල පහර මැඩ පැවැත්වුහ. එසේ මැඬපැවැත්‌ වු ජල පහර ඉතා දුරින්‌ පර්වත කුටයක්‌ මෙන්‌ අහසට නැගී සිටියා. එතැන්‌ පටන්‌ ගවම්පතී තෙරැන්ගේ ආනුභාවය (බලමහිමය) සැමතැනම ප්‍රකට වුණා.

උන්වහන්සේගේ කිර්තිය මනුස්ස ලොව පමණක් නොව දෙවුලොවද පැතිර ගියා. දෙවුලොව අල්පේශාක්‍ය මහා ශාක්‍ය දෙවිවරුන් නිරතුරුවම උන්වහන්සේ බැහැදැක බණ ඇසීමට අඳුන් වනය ආලෝකමත් කරමින් පැමිණියා. එක්දිනක්‌ භාග්‍යවතුන්‌ වහන්සේ මහත්‌ වූ දෙව්‌ පිරිස්‌ පිරිවරා දහම්‌ දෙසන එම තෙරුන්‌ දැක, ලොවට අනුකම්පා පිණිස එම තෙරුන්ගේ මහත්‌ වු ගුණයන්‌ ප්‍රකට කරන සේක්‌, එම ගුණයන්ට ප්‍රශංසා කරමින්‌ “යො ඉද්ධියා සරභුං” යන ගාථාව වදාරනු ලැබුවා.

යෝ ඉද්ධියා සරභුං අට්ඨපේසි
සෝ ගවම්පතී අසිතෝ අනේජෝ
තං සබ්බසංගාතිගතං මහාමුනිං
දේවා නමස්සන්ති භවස්ස පාරගු’න්ති.

ඔහුට පුළුවන් වුණා ‘සරභූ’ නම් ගංගාවේ ගලා බැසීම ඍද්ධි බලයෙන් නවත්වන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නෙ කෙලෙස් නැතිවයි. තණ්හා නැතිවයි. කෙලෙස් ඉක්මවා ගිහින් ඉන්නෙ. භවයෙන් එතෙර වෙලා ඉන්නෙ. ඒ මහා මුනිවරයාට වඳින්න දෙවියනුත් පැමිණෙනවා.

“දෙවා නමසසනති” යනු උන්වහන්සේට දෙවියෝ ද වඳිති යන්නයි. සෙසු ජනයා පිළිබදව කියනු කිම? මෙම ගාථාව අවසානයේ දී බොහෝ දෙනාට ධමාවබෝධ වුණා. තෙරුන්‌ වහන්සේ සිය රහත්බව ප්‍රකාශ කරන සේක්‌, “ශාස්තෘන්‌ වහන්සේ පුදන්නෙමි” යි එම ගාථාව ම වදාරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ- අපදාන පාළිය